Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අභ්‍යන්තරික ව්‍යුහමය ස්වභාවය විසංගතික වූ නූතන සමාජ සංවිධාන අතරින් 'විවාහය' ප්‍රධාන එකකි. මනුෂ්‍ය සම්බන්ධතා බෙහෙවින්ම ද්‍රව්‍යකරණය වූ සමාජ ක්‍රමයකදී මේ තත්ත්වය වඩාත් අවදානම් සහගතවීම සහ මනුෂ්‍ය සම්බන්ධතාවල ද්‍රවශීලතාව එන්න එන්නම ඉහළ නගිමින් තිබෙන අයුරු අපි අත්දකිමින් සිටින්නෙමු. 'විවාහය' වැනි ව්‍යුහයක් විසින් ඉල්ලන 'අවංක පැවැත්ම' අද බරපතළ ප්‍රශ්නයකට මුහුණදී තිබේ. විවාහයට හඳුන්වාදී ඇති ආචාරධර්ම, පවරාදී ඇති වගකීම් හා යුතුකම් (ව්‍යුහමය වුවමනා) 'සුරැකීම' හා 'ඉෂ්ට කිරීම' බෙහෙවින් ව්‍යාජ අඩිපාරවල්වලට තල්ලු වී ඇත. විවාහයේ ආචාරධාර්මික වුවමානවක් ලෙස සලකන 'තම සැමියා හෝ බිරිඳ සමග පමණක් ලිංගිකව එකතුවීමේ' ආචාරධර්මය පවා 'ආසාවෙන් කඩ කරන', 'හංගන්නට වළිකන' ස්වරූපයකට පැමිණ තිබේ. පිට අය සමග ආසාවෙන් සෙක්ස් කර ආයාසයෙන් එය වසංගන්නට වළිකන්නේ විවාහය නම් ව්‍යුහය රකින්නට කඩදාසියක අස්සන් කර ඇති නිසාම පමණක් නොව සංස්කෘතික කැඩපත ඉදිරියේද තමාගේ රෙදි ගලවාගන්නට අකමැති නිසාය. එහෙත් අප මේ ගතකරමින් සිටින පාරිභෝජනවාදී විනෝද සමාජය, අස්සනක් ගසා සීල් කර තැබිය නොහැකි මිනිස් ආසා කලම්බන්නට අවසර කල් රහස් තැන් පාද පාදා සිටී. එබැවින් සමකාලීන පිරිමි සහ ගැහැණු ආසා පස්සේ ලුහුබැඳීම සහ සංස්කෘතික ව්‍යුහ සුරැකීමේ දයලෙක්තික ගැටුමේ එකවර පැටලී සිටිති. එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නොව නව ලිබරල් සංස්කෘතික තර්කනයේ යථාර්ථයකි. දීප්ති දහනකගේ 'බාලසූරිය ආර්. ආර්' නම් කෙටිකතා සංග්‍රහයේ පළමු කෙටිකතාවේ තේමාත්මකය. මේ සංස්කෘතිකමය දෙබිඩි බව පිළිබඳ නැවත කල්පනා කරන්නකි.

මේ කෙටිකතාවේ කථකයා තම බිරිඳගේ තිස්දෙවැනි උපන්දිනයේදී උපන්දින තෑග්ගකුත් අරගෙන බිරිඳට නොකියාම නිවෙසට පැමිණෙන්නේ ඈව ආදරයෙන් පුදුම කිරීමේ අරමුණෙනි. ඔහු ටෙලිනාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් බව පෙනේ. මේ දිනවල ඔහු ඇඹිලිපිටියේ ෂූටිංවලට ගොස් සිටින නිසා ඇගේ උපන්දිනය දවසේ පැමිණෙතැයි ඇය කිසිසේත්ම සිතන්නේ නැත. එබැවින් කථකයා සිතන්නේ 'ඔහුටම විතරක් රහසක් වෙච්ච' විදියකට සූක්ෂමව දොර ඇරගෙන කුස්සිය පැත්තෙන් ගෙට ඇතුළුවී ඇයව පුදුම කරන්නටය. එහෙත් නොසිතූ හද කකියවන දර්ශනය මගින් ඔහු පුදුමයට පත්වෙයි. "කාමරේ ඇඳ උඩ මගේ ගෑනි බදාගෙන මිනිහෙක් නිදි!" (15 පිටුව) වෙනත් ඕනෑම ස්වාමිපුරුෂයකුට සිතෙන පරිදි ඔහුටද එක්වරම සිතෙන්නේ මේ දෙදෙනාම මරාදමන්නටය.

එහෙත් ඔහු ඒ 'හදිසි කෝපය' නම් කල්පනාවේ වහලෙක් නොවී විශාල සිතුවිලි අවකාශයක චාරිකා කරයි. තමන්ගේ භාර්යාව මෙවැනි දෙයක් කරාවි යැයි ඔහුට අදහාගන්නට බැරිය. ඒ නිසා ඔහු තව තවත් ළං වී බලයි. ඔව්. ඒ ඈම තමයි. ඔහු වහා කුස්සියට පැන පිහිය රැගෙන විත් මේ දෙන්නා මරන්නට පිහිය මානයි. කෙටිකතාවේ මුල සිට ඔහු අභ්‍යන්තරයෙන් මතුවෙන කිසියම් තුන්වැනියෙක් මේ වෙලාවේදීත් ඔහුව ප්‍රශ්න කරමින් වළක්වයි. 'අටවක පුත්තු' නවකතාවේ එන 'අඩහඳයා' චරිතය තම අභ්‍යන්තරයේ සිටද කතා කරන බව කථකයා පවසයි. තමා වෙනත් ගැහැනුන් සමග පවත්වන සම්බන්ධතා ඔහුගේ කල්පනාවේ පැටළෙන්නට වෙයි. ඔහුට මේ ඇඳ මත සිටින දෙදෙනා පමණක් වරදකරුවන් නොවන බව අවංකවම සිතෙයි. එහෙත් යළිත් ''පිරිමියෙක් විදිහට හිතපන්'' යැයි ඔහුට ඇතුල් සිත බලකරයි. නැවත ඔහු පිහිය උස්සා නිදාසිිටින යුවළ අසලට ගොස් ඔවුන් කීතු කීතු කර දමන්ට සැරසෙයි. නැවතත් දෙගිඩියාව. 'අපි තුළම ඉඳගෙන, අපිවම විමර්ශනය කරන අදිසි චරිතයක් මගේ ඇඟ ඇතුළෙම, මාවම කාගෙන ඉන්න මේ පරපෝෂිතයා කවුද? හඳගමගේ දුන්හිද අද්දර අර අද්භූත චරිතෙ වගේ...' (16 - 17 පිටු) අටවක පුත්තු නවකතාවේ සහ දුන්හිද අද්දර චරිතය කතුවරයා එළිපිටම තම කතාවේ තේමාත්මකය සමග ඈඳා ගන්නට උත්සාහ කළද එම චරිත සහ කතාව අතර අන්තර්පඨිතමය සම්බන්ධය දික්ගස්සන්නට කතුවරයා ඒ තරම් උත්සාහගන්නේ නැත.

දෙකට කැඩුණු තමාගේම ඇතුල් සිතේ ප්‍රශ්නවලට හසුවෙන ගමන් ඔහු නීතිය ගැනද සිතයි. තවත් වෙලාවකට මේ යුවළ නිදාගෙන සිටින ආකාරය ගැන සෞන්දර්යාත්මක හැඟීම් පහළවෙයි. (ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් නිසා මේ චරිත දෙක දෙස නොයෙක් ආකාරවලින් බලයි.) 'හඳ හරියටම ජනේලෙ හරහා ඇඳ විට්ටමට පහළින් ගෑනිිගෙ මූණ පැත්තකටත්, අරූගෙ උරහිසටත් වැටෙන්න ලයිට්වෙලා. චන්න දේශපි්‍රය කැමතිම ලයිට් සෝස් එකක්!'(17 පිටුව) ඒ ගමන් ඔහුට සිතෙන්නේ තමා "නියම පොන්නයෙක්" බවය. වෙනත් පිරිමියෙක්ගේ තුරුළට ගොස් පිරිමසාගන්නට තරම් ඇයට ඇති අඩුපාඩුව කුමක්දැයි ඔහු වරෙක කල්පනා කරයි. ඒ ගමන්ම ඔහුට තම බිරිඳ අසලින් නිදා සිටින්නා මූර්තියක් මෙන් පෙනේ. ග්‍රීක මූර්ති "පිරිමි බවේ ප්‍රතිමූර්ති" නිසා ඔහුට ඔහු ගැනම අඩුවක් හැඟවෙන අවස්ථාවකි මෙය. මේ අඩුපාඩු කතාව මතක් වෙන විට ඔහුගේ අත තමාගේ යටිකය පෙදෙසට ගමන් කරයි. "ඔය ෆීල්ඩ් එකේ වැඩකරද්දි කොච්චර නම් සිද්ධිවෙලා තියෙනවද? ඔය අපේ ඔවුන් කියන්නෙ විජේගෙ රෙකෝඩ් කඩන්නද හදන්නෙ කියල."

''එතකොට මට විතරද එහෙම පුළුවන්? මගේ ගෑනිට බැරිද?

යකෝ! අපි පිරිමි!!!

මෙතන ඉන්නෙ මම විතරයි. හරි නම් මම කියන්න ඕනෙ,''යකෝ, මම පිරිමියෙක්!!! කියලයි.

එතකොට කවුද මේ අපි? කවුද මේ මාත් එක්ක සන්ධාන ගහගෙන ඉන්න එකා?
(19-20 පිටු)

මේ ආකාරයට ඔහු පිටත සිට නොව තමා ඇතුළත සිට තමාවම ප්‍රශ්න කරයි. ඒ ගමන් ඔහු තමන්ගේ දරුවන් ( දරුවන් යනු ශිෂ්ටාචාරගත පෙම් පල අපලය/කරදරය, පෙම්පල වාසනාව) ගැන සිතයි. අවසානයේ ඔහු තීරණයකට පැමිණෙයි. "Forgiveness is the hoblest revenge!" (එහෙත් ''සමාවදීම'' නමැති සිතිවිල්ල තුළ තමා නිළියන් හෝ වෙනත් ගැහැනුන් සමග නිදාගත් ඒවා ''වැරදි ලෙස නොපෙනී යයි.) මේ කෙටිකතාව අවසන් වන්නේ පසුවදනකිනි. එම පසුවදනේ ලියවෙන පරිදි කථකයා දොරට ගසා විනාඩි 15කට පමණ පසු බිරිඳ දොර හරින අතර සුපුරුදු ලෙස ඔහු ඇගේ නළල සිඹ සුබ උපන්දිනයක් පතයි. "ඇගේ උපන්දින තෑග්ග සහ පිහිය ඩිවානය මත දැක ඈ තුෂ්ණිම්භූත වූවාය. වේදිකා නාට්‍යයන්හි පරිපාලකවරයකු ලෙස රංගභාණ්ඩ නිසි තැන නොතියන දරුණු පුරුද්ද මට සිහිවිය. නලුවාට පමණක් ඇසෙන්නට පෙළ මතක්කර දෙන්නා ලෙස ස්වර තන්තු හා බැඳුණු පැහැදිලි හා තියුණු හඬින් මා ඇයට පැවසුවේ එකම වදනකි. ''අමතක කරල දාන්න'' (25 පිට) එනම් තමන්ගේ විවාහය නමැති ''නාට්‍යය'' ලෝකය/ලොකයා ඉදිරියේ රඟපාන්නට තවදුරටත් ඔවුන් විසින් තීරණය කිරීමයි.

බැලූ බැල්මට මේ කෙටිකතාව යටිපෙළක් නැති සෘජුව තමන්ගේ හැඟීම් එළියට දාන ප්‍රබන්ධමය ලියවිල්ලකි. එහෙත් දීප්තිගේ කෙටිකතාවේදී කරන්නේ වෙනත් පුරුෂයකු සමග නිදා සිටිනා තම බිරිඳ දකින පුරුෂයකු ඉතාම සුළුවෙලාවක් තුළ දීර්ඝ ස්වයං විවේචනයකට හා සංස්කෘතික හෙජමොනික සිතිවිලි සමග සොක්‍රටික සංවාදයකට ඉඩකඩ සැලසීමයි.

තථ්‍ය ලෝකයේ මෙවැනි සිදුවීමක් සිදුවිය හැකිද? මේ වාගේ 'පිරිමි' සිටීද නැද්ද යන්නට වඩා මෙවැනි කෙටිකතාවල ප්‍රබන්ධ චරිත කරන්නේ දේශපාලනික අර්ථයෙන් එම සිද්ධීන් අවුස්සා බැලීමය. 'විවාහය' වැනි ව්‍යුහයක පැවැත්ම දෙදරායාමට ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනාම වගකිව යුතු වුවත් සාපේක්ෂව එහි වැඩිබර පැටවෙන්නේ ස්ත්‍රිය වෙතය. වෙනත් ස්ත්‍රීන් සමග නිදාගෙන "යකෝ අපි පිරිමි" යයි කෑගසන්නට තරම් අපිට හයිය ලැබී ඇත්තේ ඒ සංස්කෘතික හෙජමොනිය නිසාය. එනම් පිරිමින්ට 'පිරිමි' වීම නිසාම ගැහැනු වැඩිදෙනෙක් සමග නිදාගැනීම එක අතකින් සංස්කෘතිකමය පොරත්වයකි. ස්ත්‍රිය 'බඩුවක්' වීම සංස්කෘතික වශයෙන් ඉතාම පහළින් සැලකුවත් පිරිමියෙක් 'බඩුකාරයෙක්' වීම සෑහෙන ලොකු වැඩකි. 'බඩුව-බඩුකාරයා' වැනි අන්‍යොන්‍ය ප්‍රතිපක්ෂමය වරනැඟීමක් පවා රකින්නේ උසස් - පහත් අන්‍යොන්‍ය ප්‍රතිපක්ෂ (bionary oppositions) ධූරාවලියමය. දීප්තිගේ කෙටිකතාවේ වැදගත්ම දෙය ස්ත්‍රිය හා පුරුෂයා අතර මේ සංස්කෘතික ධූරාවලිය සෘජුව හා එළිපිටම ප්‍රශ්න කිරීමය. ස්වයං විවේචනාත්මකව ප්‍රශ්න කිරීමය. එනම් මෙවැනි ප්‍රශ්නවලදී පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රියට විවාහය (සංස්කෘතික ව්‍යුහ) වැනි ආයතන තුළ සිදුවන ව්‍යුහමය හිංසනය පිළිබඳ සාමාන්‍ය පාඨකයාට නැවත සිතා බලන්නට බලකිරීමයි.

බාලසූරිය ආර්.ආර් නමින් එන කෙටිකතවේ කතා නායකයා සොල්දාදු පෙම්බරෙකි. පෙම්බර සොල්දාදුවෙකි. ඔහු පාරේ බසයකට නැඟ හඬමින් තමාගේ පෙම්වතියගේ වෙන්වීම ගැන බස්රථයේ සිටින මිනිසුන්ට කියන්නට පටන් ගනියි. ඒ ගමන් තමා සහ පෙම්වතිය අතර හුවමාරු කරගත් පෙම් ලියවිලි සීට් ගානේ ගොස් බෙදයි. ඔහු මේ කරන්නේ පාරේ බස්වල හිඟන්නෝ කොල කෑලි බෙදා සල්ලි ඉල්ලීම වැනිම හිඟාකෑමක අනුකරණයකි. හිඟන්නාගේ වැඩේ පෙම්වතා භාර ගැනීමත් තම පෙම්වතිය හැරයාම නිසා ප්‍රසිද්ධ බසයක සෙනඟ මැද හඬන්නේ සොල්දාදුවකු වීමත් යන කාරණා සාහිත්යික අපූර්වත්වයකින් සහ උත්ප්‍රාසයකින් දීප්ති මේ කතාවට ගෙනෙයි. මේ කතාව මූලික වශයෙන් හසුන්මැදි ප්‍රේමයක වගතුග විස්තරයක් ලෙස පටන්ගත්තත් තේමාත්මක ඉලක්කය වන්නේ සිංහල බෞද්ධ සමාජය සහ අල්ලපු ගෙදර දෙමළ ජාතික හිතවතාට අප සලකන හැටි ගැන ඉඟි කිරීමය. දීප්තිගේ තේමාව සඳහා ඔහු යොදාගන්නා කතා වින්‍යාසය අපූර්ව එකකි. එනම් හිඟාකෑමේ සංස්කෘතික ආදර්ශ මත ආදරයේ වගතුග එළිදරව් කිරීමක් ඔස්සේ සාමාන්‍ය ජනතාවට ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ කාරණා දෙස කල්පනා කරන්නට ආරාධනා කරන කතා වින්‍යාසයකි.

දීප්තිගේ උත්සාහය සාර්ථකද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුත්තකි. කෙසේවෙතත් මේ කෙටිකතාව සඳහා ඔහු යොදාගන්නා චරිත හා සිද්ධි කෙටිකතාවේ තේමාත්මකය තුළ සන්දර්භගත කරන ආකාරය මගින් ඔහු ප්‍රති-සමාජ කියවීමක් වෙත ආලෝක සංඥා සපයයි. (සමාජයේ ඝනීභූත වී ඇති දෘෂ්ටිවාදවලට පිහියෙන් අනියි) රණවිරු චරිතය පිළිබඳ ඔහුගේ ප්‍රවේශය එවැන්නකි. "Why is this person crying? Is he a beggar?" බස්සෙකේ ගමන් ගන්නා පෙර පාසල් සිඟිත්තියක් අසයි. එහෙත් ඇගේ මව ඔහු සෙබළෙක් බව සිඟිත්තියට පැහැදිලි කර දෙයි. "Soldier! He isn't a good soldier. Good soldier didn't Cry !" මෙසේ කියන්නේ පෙරපාසල් සිඟිත්තියකි. අප දෘෂ්ටිවාදවලින් තවම අපිරිසිදු වී නැතැයි සිතන ළාබාල අය පවා ඒ වයසටත් සමාජයේ නොයෙක් දේ පිළිබඳ සත්‍ය බවට ගොඩනැගි ඇති දෘෂ්ටිවාද අන්තරීකරණය කරගෙන ඇති බවය. මෙතැනදී නම් සොල්දාදුවෝ යනු හිත්පිත් නැති අය බවය. (එවැනි දෘෂ්ටිවාද ගොඩ නැගීම සඳහා බලපෑ අතුරු කතන්දර රාශියක් ඇති බවද කියවීමේ ක්‍රියාවලිය සමග අමුණා ගත්තාට කමක් නැත.)

බාලසූරිය ආර්.ආර් හෙවත් මේ රණවිරුවාට සාමාන්‍ය සමාජය තුළ ගොඩනැගී ඇති 'රණවිරු' ප්‍රතිරූපයක් නැත. ඔහු යුද්ධය උපරිම කාලයේ සටන් බිමේ සිටි, හැබැයි රණවිරුවා කියනවාට අකමැති ආමිකාරයා කියනවාට කැමති 'රණවිරු' දෘෂ්ටිවාදයම ප්‍රශ්න කරන්නෙකි. බාලසූරියගේ තාත්තාගේ කතාවක් කෙටිකතාවේ අතුරුකතාවක් ලෙස ඉදිරිපත් කර ඇත. එනම් තම දමිළ අසල්වැසියාට අසල්වැසිභාවය අහිමි කරලීමේ කතාවයි. (අසල්වැසියාට දෙමළ වීම නිසා ගෙදරින් යන්නට වෙයි) ඔහුට තම නිවෙස් හැර දමා යන්නට සිදුවන්නේ තම 'රත්තරන්' පවා අතහැර දමාය. (රත්තරන් යනු සංස්කෘතික ආර්ථීක හර පිළිබඳ හොඳ සංකේතයකි.)

මේ රත්තරන් හිමිවන්නේ අසල්වැසි බාලසූරිය (බාල+සූර) සිංහල පවුලටමය. එහෙත් මේ රත්තරන් ගැන විකල්ප ඇසින් බලන 'ආමි බාලසූරිය' අහන්නේ "රත්තරන් පොදිබඳින, රත්තරං කොල්ලකන ඉතිහාසයක් විතරමද අපට උරුම?" කියාය. ඔහුට අවශ්‍ය වන්නේ මේ ඉතිහාසයේ වරදින් ගැලවීමටය. බාලසූරියගේ උක්ත ප්‍රේම අවුලටද හවුල් වන්නේ මේ රත්තරන් ඉතිහාසය කතන්දරයට කිට්ටු එකකි. ඈත් සිතන්නේ ඔහු පරිදිමය. එනම් ආමි බාලසූරිය විසින් අනෙකාගේ රත්තරන් කොල්ල කන තමා පරම්පරාවේ ආයුෂ කෙළවර කිරීමේ වුවමනාවට අතවැල් අල්ලන්නියක වීමයි. මේ 'ගැලපීම' හෙවත් එකම විදිහට සිතීම මව්පියන් විග්‍රහ කරන්නේ 'දියුණු වෙන්නට හිතක් නැති දෙන්නෙක්' ලෙසය. එයද මේ සමාජ ක්‍රමයේම හැටිය. එබැවින් රත්තරන් කොල්ලකන ඉතිහාසය ප්‍රතිනිෂ්පාදනයට හවුල් වීම අතහැර දමන දෙදෙනකුට 'නියම' ප්‍රේමයක පැටලිය නොහැක. අපේ යුගයේ ආදර අර්ථකථනය, කොල්ලකෑමේ යථාර්ථය සමග ඕනෑවටත් වඩා නෑකම් කියන්නක් නොවේද?

මේ කෙටිකතා දෙකේම තේමා දීප්ති ගොඩනගන්නේ සාහිත්යික උත්ප්‍රාසයකිනි. සෑහෙන තරම්දුරට බුද්ධිමය කතිකාව තුළ සාකච්ඡා වී ඇති මෙවැනි තේමාවල දීප්තිගේ මැදිහත් වීම අපූරුවට දනවන්නේ සාමාන්‍ය පාඨකයා වෙත බව මගේ අදහසයි. කෙසේවෙතත් ප්‍රබන්ධ කතා කලාවේ දියුණු සාහිත්යික රචනාමය උපක්‍රම අතින් වඩාත් සාර්ථක නිර්මාණය ලෙස මා දකින්නේ 'ගල් රෝල' නමැති කෙටිකතාවයි. එය විශිෂ්ට කෙටි කතා විදියක් වන රූපකාත්මක කෙටිකතාවකට කිට්ටු එකකි.

මේ කතාව නිර්මාණය කර ඇත්තේ ඡන්දය ජයග්‍රහණයෙන් පසු හරියට පාරක්වත් නැති තමන්ගේ ආධාරකාර ජනතාවට ගමට පාරක් තනාදීමේ ආරම්භය ලෙස අලුත් මන්ත්‍රි විසින් ගල්රෝලක් ගමට ගෙන ඒම නිසා ඇතිවන නාටකීය සිද්ධි පසුබිම් කරගෙනය. ගමට අලුත් පාරක් ලැබීමට වඩා ගල්රෝල ගමට පැමිණීම ගම්මුන්ට වඩාත් ආශ්වාදජනක අත්දැකීමක් වෙයි. ගල්රෝල පදවන්නේ ඉතා කෙසඟ සිරුරක් ඇති රියදුරෙකි. සුළු අතපසුවීමකින් ගල් රෝලේ පාලනය ඔහු අතින් ගිලිහී ගොස් ප්‍රශ්න තොගයක් ගමේ නිර්මාණය වෙයි. ගල්රෝල පෙරළී ගොස් නිවෙසක වහළක් මත රඳයි. රියදුරා රෝහල්ගත කරයි. ගල් රෝල නිසා උභතෝකෝටික ප්‍රශ්නවැලකට ගම්මු මුහුණ දෙති. පොලිස් පොතට අලුත් මෙවැනි සිද්ධි පැමිණිලි සඳහා වෙනම අංශයක් පවා ආරම්භ කරන්නට සිදුවෙයි. පොලීසියේ කඩාවැදීම්, අඬදබර, ඇනකොටා ගැනීම් ඉතාම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වෙයි. (දීප්තිගේ ප්‍රබන්ධ චරිත හා සිද්ධි පෙහෙවින්ම රූපකාත්මය)

මේ ගල්රෝල වහලයෙන් ඉවත්කිරීමට ගෙන එන යෝජනාද විමල් වීරවංශ ලෝක බැංකුවේ ප්ලග් එක ගැලවීම ගැන කළ යෝජනාවට කිසිසේත් දෙවැනි ඒවා නොවේ.

"ගල් රෝල රෝදවල හුළං ඇර බර අඩු වූ පසු එය ගොඩගැනීමට පහසුයි."

"ඕක ලේසි වැඩක්. ගල් රෝලේ කෑල්ලෙන් කෑල්ල ගලවල අයින් කරමු"

"බිත්ති කඩල ගල්රෝල බිමට පාත්කරල ගත්තොත් හරි"


අවසානයේ පාර සකස් කිරීම නතර කර දමයි. මේ කෙටිකතාව දෘෂ්ටාන්තයකට කිට්ටු යැයි සිතෙන තරම්ය. එහෙත් රූපකාත්මක කෙටිකතා යනු දෘෂ්ටාන්ත හෝ උපමා කතා නොවන බව අපි දනිමු. මෙවැනි කෙටි කතා උපමා කතා හෝ දෘෂ්ටාන්තවලට වඩා විෂයාත්මක ලෙස තේමාත්මකයක් සමග බද්ධ වෙයි. ඒවා ගැන සංකීර්ණ සංවාදයකට අවශ්‍ය ආවේශය සපයයි. තේමාත්මකයෙහි නොයෙක් ඉසව් වෙත ආලෝක දෘෂ්ටි හෙළයි. කෙසේවෙතත් මෙවැනි රූපකාත්මක කෙටිකතාවලට විවිධ අර්ථකථන සපයන්ට පුළුවන. පාඨකයාගෙන් පාඨකයාට මෙන්ම එකම පාඨකයා තුළ ද වරින් වර විවිධ කියවීම් මතු වෙන්නට පුළුවන.

කෙනකුට මේ කෙටිකතාව තේමා කර ගන්නේ සමකාලීන ජනතා නියෝජිතයන්ගේ ඡන්ද පොරොන්දු ඉෂ්ට කිරීමේ ස්වභාවය නිසා ජනතාවට සිදුවන කාලකන්නිකම් යයි අර්ථකථනය කරන්නට පුළුවන. එහෙත් ඊට වඩා පළල්ව එහෙත් සෘජු දේශපාලනික අර්ථයකින් මේ කෙටි කතාව ලංකාවට විවෘත ආර්ථීකය හඳුන්වාදීම ගැන සංකීර්ණ කාරණා අඩංගු කතාවක් ලෙස කියන්නටද පුළුවන. තවත් පළල්ව සිතුවොත් මේ කෙටිකතාව නව ලිබරල්වාදය පිළිබඳවම රූපකයක් යැයි කියන්නටද පුළුවන. කෙටිකතාව අවසානයේ 'ගල් රෝලේ' සියලු වැරදි පැටවෙන නව මන්ත්‍රීවරයා මේ 'පශ්චාත් නූතන මොහොත' ලෙස අර්ථකථනය කරන්නටද පුළුවන. (ගමට පාරක් තනා දීම යනු එක්තරා ආකාරයකට සංස්කෘතික කලවම්කිරිල්ලකි) කෙසේවෙතත් මේ රචනයෙහි ඉඩ මේ සියල්ල විස්තර කිරීමට තරම් අවසර ලබා දෙන්නේ නැත. ඒවා අවශ්‍ය තරම් විස්තර කරමින් විචාරයටද/අර්ථකථනයටද අපේ විචාර කලාව අසමත්ය. (කියවන්නාට මෙන්ම විචාර ලියන්නාටද ඒ ඉවසිල්ල අපි ක්‍රමයෙන් වගා කර ගත යුත්තකි) ඉතිං අඩු තරමින් අප කළ යුත්තේ හොඳ සාහිත්‍ය කෘති සාමාන්‍ය පාඨකයන්ට කියවීම සඳහා හැකි තරම් වපුරා බැලීමවත්ය. ඒ අර්ථයෙන් සාහිත්‍ය විචාරය පොත් 'හඳුන්වාදීමේ සටහන්' ලෙස හෝ ඉතිරිව තිබීම වුව වැදගත් බව මම සිතමි. මා දීප්ති දහනකගේ පොත ගැන ලීවේ එය එවැනි හොඳ පොතක් බව මා කල්පනා කරන නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. මේ රචනයේදී සාකච්ඡා නොකළත් දීප්ති තම කතා කීමට අලුත් ආකාර සොයමින් සිටින බවද පෙනේ. එනම් ආකෘතික අත්හදාබැලීම්ය. එය හොඳ ලකුණකි.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails