Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පිලිපීනයේ ජනාකීර්ණ නගරයක් වූ "ටැක්ලොබාන්" (Tacloban) වැසියන් වෙත, නොවැම්බර් හය වෙනිදාව යනු ඔවුන්ගේ ඉතිහාසයේ අවසානාවන්තම දිනය බවට පූර්ව අනාවැකි ලැබී තිබුණේ නැත. මයිකොනීසියාවේ, පොම්පෙයි ප්‍රදේශයෙන් කුඩාවට ආරම්භ වූ හයියාන් නිවර්තන සුළි කුණාටුව, නැගෙනහිර පිලිපීනයේ වෙරළාසන්නයේ පිහිටි ටැක්ලොබාන් වෙත කඩා වැදුණේ, තවත් අති දැවැන්ත මිනිස් ඛේදවාචකයකට මුලපුරමිනි. පිලිපීනයේ තවත් දූපත් ගණනාවක් හරහා හයියාන් ඇදී ගොස් ඇති අතර නිලනොවන සංඛ්‍යාවනට අනුව ටැක්ලොබාන් හි පමණක් මිනිසුන් දස දහසකට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අවතැන්ව ඇත. මේ වන විට ගණන් බලා ඇති අන්දමට සමස්ත දේපළ හානිය ඇ. ඩොලර් බිලියන 1.08ක් පමණ වෙයි.

එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් හා තවත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන රැසක් පිලිපීනයේ මුදා ගැනීමේ මෙහෙයුම් ඇරඹූහ. ටැක්ලොබාන් ගුවන් පථයට හානි වීම නිසා එය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබූ අතර එය මේ වන විට යථා තත්ත්වයට පත්කොට ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිලිපීනයේ අවතැන් වූවන් වෙනුවෙන් කෙටිකාලීන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ආධාරයක් ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇත. ‍විනා‍ශයේ ප්‍රමාණාත්මක විශාලත්වය නිසා ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැඩි ලෙස අසරණව සිටින බව වාර්තා වෙයි. මුහුද ගොඩගැලීම නිසා සියලු ජල මූලාශ්‍රයන් අපිරිසිදුව ඇති අතර ආහාර ලබා දීමේ යාන්‍ත්‍රණය ද ක්‍රමවත්ව සිදුවන්නේ නැත‍. මේ නිසාම දැවැන්ත සනීපාරක්ෂක ගැටලුවක අවදානමක් ද උද්ගතව පවතී. විනාශය දැඩි ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් වලට ළගා වීමට ඇති අපහසුව නිසා පිරිසිදු කිරීමේ කටයුතු සිදු නොවන අතර මිය ගිය මළසිරරු දින ගණනක් පරණ වීම හේතුවෙන් දැඩි දුර්ගන්ධයකින් සමහර ප්‍රදේශ පිරී ඇති බව වාර්තා විය.


ටැක්ලොබාන්හී විපතට පත් වූවන් නොමිලේ බෙදා දෙන ආහාර ලබා ගැනීමට පෝලිම් ගැසෙන අයුරු.
REUTERS/Erik De Castro | Telegraph


හයියාන් විනාශය අසාමාන්‍ය එකක් වුවද පිලිපීනයට මෙබඳු විනාශයන් යනු අලුත් ඒවා නොවේ. භූමිකම්පා, ගිනිකඳු පුපුරා යාම්, වන විනාශයේ ප්‍රතිඵල ලෙස නිසා නිතර සිදුවන නායයෑම් නිසා ලෝකයේ මෙබඳු විනාශයන් නිරන්තරයෙන් සිදුවන රටවල් අතර පිලිපීනය ඉහළම තැනක් හිමි කරගෙන ඇත. මෙම නිරන්තර විනාශයන් නිසාම එරට බොහෝ වැසියෝ මුහුදුකරයේ පහත් බිම්වල ජීවත් වෙති. පිලිපීනය මුහුණ පා සිටින මෙම අනතුරුදායක තත්ත්වය කාලගුණික විපර්යාස මගින් වැඩි වර්ධනය කෙරෙන අතර එරට පිහිටා තිබෙන්නේ ද වෙනත් කලාපයනට වඩා වැඩියෙන් මුහුදු මට්ටම ඉහළ නගින කලාපයකය. ගෝලීය උණුසුම ද මෙබඳු නිවර්තන කුණාටු තත්ත්වයන් වැඩි කිරීමට බලපායි. එබඳු අනතුරුදායක තත්ත්වයක සිටින පිලිපීනය මෙන්ම ඒ හා සමාන අසල්වැසි රටවල් වන ඉන්දුනීසියාව වැනි රටවල් ද ස්වභාවික විපත්වලට මුහුණ දීම සඳහා මීට වඩා සූදානම්කාරී පියවර ගත යුතුව ඇත යන්න මෙම විපතත් සමගම ලෝ පුරා කතාබහට ලක්වන්නට විය.


හයියාන් විසින් වනසන ලද මුහුදුබඩ නගරයක ගුවන් දසුනක්.
Erik De Castro—Reuters | lightbox.time.com


සමාජ දේශපාලන පසුබිම

පිලිපීනය යනු දූෂිත දේශපාලනය, යටත්විජිතකරණය, මිලිටරිකරණය, පරායත්තබව සහ මිලියන ගණනක් පෙළන දුගීබව නිසා දීර්ඝ කාලයක් තිස්සේ අවාසනාවන්ත බවට පිරිහෙළනු ලැබූ රටකි. නොවැම්බර් මුල් සතියේ ඇතිවූ කුණාටුවත් සමඟ මෙම සමාජ ගැටළු වඩ වඩාත් අනාවරණය වන්නට විය. ජනගහණයෙන් වැඩිකොටසක් එබඳු ආපදා තත්ත්වයකට කිසිසේත් සූදානම්ව සිටියේ නැත. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මගින් රටක් තුළ නිසැකවම පැන නගින අවම සමාජ ප්‍රතිලාභ, අනිසි පෞද්ගලීකරණය සහ රාජ්‍යයේ දුර්වල ශක්‍යතා මෙරටෙහි ද ප්‍රධාන සාධක ලෙස පවතියි. ජනාධිපති බෙනිනෝ අකිනෝ (Benigno Aquino) යටතේ පිලිපීනයේ යම් ආර්ථික සංවර්ධනයක් ඇති වුවද එකී සංවර්ධනයේ ප්‍රතිඵල සමානව බෙදී නොගියේය. අතොරක් නැති දූෂණ වංචා මගින් උපයන මුදලින් බලවත් වූ පවුල් කිහිපයක් විසින් පිලිපීනයේ ඉරණම තීන්දු කරනු ලබන අතර සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතා මැද ජීවත් වෙති. (කරුණාකර ලංකාව සමග සැසඳීමෙන් වළකින්න!)

විපතට පත් ලෙයිට් සහ සමාර් යනු දුගී බවේ ගැලුණු ප්‍රාන්ත දෙකකි. 2011 අග භාගයේ දී ද මෙබඳු කුණාටුවක් සාමාන්‍යයෙන් කුණාටු එන මඟක නොපිහිටි දකුණු පිලිපීනයට කඩා වැදුණි. ඊළඟ වතාවේ කුණාටුව එන විට නගර වැසියන් සූදානම්ව සිටි අතර අහිමිව තිබුණේ ජීවිත කිහිපයක් පමණි. පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා, පෙරහුරු සහ ආරක්ෂාරී කලාප සූදානම්ව තිබුණි. නමුත් 'ටැක්ලොබාන්' වෙත අලුතින් තේරී පත්ව ආ නායකයා එබඳු අනතුරු ගැන එතරම් උනන්දුවක් දක්වා තිබුණේ නැත.


කුණු වූ මෘත දේහයන්ගෙන් නැගෙන දුර්ගන්ධය නිසා නාස් ආවරණය කරගනිමින් රක්ෂාස්ථාන කරා ඇදෙන ටැක්ලොබාන් වැසියන්.
Bullit Marquez, AP | SocialistProject

පිලිපීනය ආපදා කලාපයක් වන්නේ ඇයි?

පිලිපීනය සහ ඒ අවට රටවල් විවිධ ස්වභාවික විපත්වල ගොදුරු බවට පත් වන්නේ මන්ද යන කාරණය පිළිබඳව National Geographic වෙබ් අඩවිය හේතු පහක් ඉදිරිපත් කොට තිබිණි. ඒ මෙසේය.

උණුසුම් සාගර ජලය

"පිලිපීනය පිහිටා ඇත්තේ ලෝකයේ වැඩිම උෂ්ණත්වයක් සහිත සාගර ප්‍රදේශයේ... අපි ඒකට කියන්නෙ ඉන්දුනීසියාව සහ පිලිපීනය අවට තියෙන උණුසුම් තටාකය කියල." එසේ පවසන්නේ ඊශ්‍රායෙල් ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ ස්වභාව විද්‍යාඥයෙකු වන කොලින් ප්‍රයිස් ය. "ටයිපුනයක් ඇතිවීම සඳහා අවම වශයෙන් 28°C ක උෂ්ණත්වයක් අවශ්‍යයි. බටහිර පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සාමාන්‍යයෙන් අංශක 28°C ට වඩා වැඩියි." ඔහු වැඩි දුරටත් කියයි.

මූදුකරයේ නිවාස

ලෝක බැංකුවේ දත්ත වාර්තාවලට අනුව පිලිපීනයේ ජනතාවගෙන් 60% ක් ම ජීවත් වන්නේ මුහුදුකරයේ පහත් බිම් ප්‍රදේශයේ ය. මෙම කුණාටුව මීටර් හතක් දක්වා උස්ව නැඟී තිබුණි. එම රැළි බී.බී.සී. වාර්තාවලට අනුව දසදහසකට වඩා ජීවිත අහිමි කළ ටැක්ලබාන් ප්‍රදේශයේ ලෙයිට් වැනි ජන ගහණය අධික පහත් බිම් දූපත් යට කර නැඟුණි.

වන විනාශය

Weather Underground වෙබ් අඩවියේ කාලගුණ විද්‍යාඥ ජෙෆ් මාස්ටර්ස් පවසා ඇති අන්දමට, පසුගිය කුණාටුවල දී දිවි ගලවාගත් අය පවා නායයාම්වලින් මිය ගිය ගොස් තිබේ. කඳුකර ප්‍රදේශයේ වනාන්තර විනාශය නිසාම ඉතිරිව ඇති ගස්වල ඉතිරිව ඇති මුල් සවිමත් නැති බැවින් හදිසියේ කඩා හැලෙන වර්ෂාපතනයන් හේතුවෙන් නායයාම් බහුල වී ඇත. මෙම වන විනාශය නිසා අධික වර්ෂාපතනයන්ට පසුව ඇතිවන නිරන්තර නායයාම් හයිටිය වැනි ස්ථානවල ද දක්නට ලැබේ.

ගිනි වළළු

සියල්ලටම වඩා අනතුරුදායක කරුණ වන්නේ පිලිපීනය පිහිටා තිබෙන්නේ පැසිෆික්හි භූමිකම්පා සහ ගිනිකදු වළලු මත වීමයි. සුනාමි කලාපයක් වන පැසිෆික් සාගරයෙහි ඇති පිලිපීන බොහොල් ප්‍රාන්තයේ දිවයිනක, මැග්නිටියුඩ් 7.2 ක භූමිකම්පාවකින් ඉකුත් දා දෙසිය විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

ඌණ සංවර්ධනය

පිලිපීනයේ දුගී, තරුණ ජනගහණය වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රමණය වීම, අනවරත ඉදිකිරීම් සහ අනතුරක දී ඉවත් කිරීමේ සැලසුම් අවම වීම මේ මහා ඛේදවාචකයේ දී ප්‍රධාන සාධක වී තිබේ. දැනට වාර්තා වන ආකාරය අනුව බොහෝ දෙනෙකු මිය ගොස් තිබුනේ කුණාටුව සහ සුළඟ දරා ගත නොහැකිව සිය නිවෙස් තුළ දී ම ය. සමස්තයක් ලෙස ගත හොත්, (මැනිලා හි නිරීක්ෂකයින් පවසන පරිදි,) දුගී බව සහ ජනගහණය ඉහළ යාම යන සාධකවල එකතුව නිසාවෙන් පිලිපීනය ලෝකයේ වෙරළාශ්‍රිත ජලගැලීම් නිසා උපරිම අවදානමක් ඇති රටවල් දහය අතරට එක් වී තිබේ.


[National Geographic]

[පුවත් ඇසුර- SocialistProject, Economist, NationalGeographic, Wikipedia, WSWS ]

බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails