Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


2009 වසරේ සියොතුන්ට එනු පිණිස සහ 2010 වසරේ වැසි දිය බඳුන් පළ කරමින් කාව්‍ය රසිකයා ඇමතූ උපුල් සේනාධීරිගේ නවතම කෘතිය මෙ'මල් කළඹම නුඹ සතු නමින් පසුගිය දා ජන ගත කැරුණි. මේ ඒ නිමිති කොට ගෙන රත්තනදෙණියේ මේධානන්ද හිමි, උපුල් සේනාධීරිගේ සමග කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි. මෙය මුල්වරට දිවයින පුවත්පතෙහි පළවිය.

වින්සන්ට් වැන්ගෝ ගේ 'මැලවුණු සූර්යකාන්ත මල් බඳුන' නම් චිත්‍රය ඇසුරෙනුයි ඔබ මේ කෘතිය නම් කරන්නේ. එම චිත්‍රය හා ඔබේ කෘතිය අතර ඇති සම්බන්ධය මොකක්ද?

මේක ඇතුළෙ ධ්වනිථාර්ථයක් එනවා. වැන්ගෝ කියන්නේ අති සුන්දර විදිහට චිත්‍ර ඇඳපු කෙනෙක්. මේ සූර්යකාන්ත මල් බඳුන එකවරක් ලෝකයේ විශාලම වටිනාකමක් ලැබෙන චිත්‍රය වෙනවා. ඒත් මේ මල් කළඹ සුන්දර මල් කළඹක් නෙවෙයි. තැලිලා, පොඩිවෙලා, මැලවිලා, ගිය මල් කළඹක්. මම කල්පනා කළා ඇයි මේ මල් කළඹ මෙහෙම තියෙන්නෙ කියන එක. කෙනෙක් මල් කළඹක් දීලා ප්‍රාර්ථනා කරන්නේ ඔබට යහපතක් වේවා, මිහිරක් වේවා කියන එක. ඒත් මේ මල් කළඹ තැලිලා පොඩිවෙලා ගිහින්. මේ මල් කළඹ සංකේතවත්ව දෙන්නේ ස්වාමි පුරුෂයාට. මේ මල් කළඹ ජීවිතයේ ආදරය පිළිබඳ ලැබූ මල් කළඹක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ජීවිතය විඳවලා විඳවලා ලබාගත්ත අහුපෑවත නැත්නම් ඵල සම්පත එයයි. කවියාට වුණත් ජීවිතය තුළ කිමිදිලා කිමිදිලා ලබා ගන්න වෙන දේවල් බොහෝ වෙලාවට හරි අනුවේදනීය වෙන්න පුළුවන්. මේ නම් කිරීම කළෙත් එවැනි ධ්වනිථාර්ථයකින්.

නමුත් ඔබේ සියොතුන්ට එනු පිණිස වැනි මුල් කාලීන කාව්‍ය සංග්‍රහ කිසියම් සාංදෘෂ්ටිකවාදී නැඹුරුවකින් ලියැවුණ බවක් පේනවා. ඒත් මෙය පරිසරය හා මිනිසා අතර සහපැවැත්ම හඳුනා ගන්න කළ ව්‍යායාමයක් ද?

සාංදෘෂ්ටිකවාදය 19 වන සහ 20 වන ශතවර්ෂවල යුරෝපයේ වැඩිදියුණු වූ තවත් දාර්ශනික සම්ප්‍රදායක්. තරුණ කාලේ තිබුණ ආශාවත් එක්ක සෝරේන් කියකිගාඩ්, ෆෙඩ්රික් නීට්ෂේ, ෂොන් පෝල් සාත්‍රේ, ඇලබෙයා කැමූ වැනි සාංදෘෂ්ටිකවාදී ලේඛකයන් පිළිබඳ කියවන්න නැඹුරු වුණා. අනෙක් කාරණය, එකල පැවැති සමාජ ආර්ථීක පසුබිම ඊට ඍජුව බලපෑවා. අපේ තරුණ අවධිය ආර්ථීක වශයෙන් කිසිම සංවර්ධනාත්මක තත්ත්වයක තිබුණු කාලයක් නෙමේ. රැකියාවක් කියන්නෙ හීනයක්. ජීවිතේ ඉලක්ක කියන ඒවා ෆැන්ටසි බවට පත් වෙලා හරිම ඉච්ඡාභංගත්වයක් ඇති වෙලා තිබුණේ. එහි ප්‍රතිඵල තමයි 88 භීෂණය. එතකොට ඒක බලපෑවා සියොතුන්ට එනු පිණිස මුල් කාව්‍ය සංග්‍රහය සාංදෘෂ්ටිකවාදී නැඹුරුවකින් ලියන්න. නමුත් මම දෙවැනුව පරිවර්තනය වෙන්නෙ ඊට වඩා වෙනස් තැනකට. තෙවැනුව මුල් කෘති සම්බන්ධයෙන් ඇති වූ යම් යම් විවේචන ප්‍රශ්න කිරීම් හමු වේ පොඩ්ඩක් භාෂාත්මකව ලිහා ගන්න උත්සාහ කරනවා. නමුත් අර සමාජමය කම්පනයත් ඒ තුළ තිබෙනවා. ඒත් සමහර කවි ඍජුවම දේශපාලන මාතෘකාවලට යටත් වෙච්ච ඒවා.

භෞතික ලෝකයේ දී ඔබට ඇස් දෙකම අහිමි වෙනවා. ඒ අහිමි වීම තුළ අත්දැකීම් සූචනය කර ගැනීමට තිබෙන කවුළුවත් වැසී යනවා. එතකොට ඔබ කොහොමද කවි ලියන්නේ?

මම අත්දැකීමක් හැටියට ගන්නෙ නෑ භෞතික දේවල් ටිකම. භෞතික දේවල් තුළින් මට දැනෙන දේ විතරයි මම නැවත පරිවර්තනය කර ගන්නේ. ඒකට සතතාභ්‍යාසය, ව්‍යුත්පත්තිය, පරිකල්පනය ඔක්කොම දේවල් අවශ්‍යයි. ඉන්ද්‍රියන් 6 න් එකක් හැර අනෙක් ඉන්ද්‍රියන් ටික වැඩ කරනව. කවියකුට ඉන්ද්‍රියන් ගොඩක් තියෙනවා, ඇස් දාහක් තියෙනවා, කන් දාහක් තියෙනවා. කවියාට කෙනෙකු ගේ කට හඬේ ගැඹුර, කම්පනයන්, දුක් මුසු තැන් හැමදේම තේරෙනවා. හැම මිනිහෙක්ම තවත් හිතකට ඇහුම්කන් දෙන්න ලෑස්ති නෑ. හැමෝටම සුළංවල ශබ්දය ඇහෙනවා. හැබැයි නැවතිලා ඒ ශබ්දය අහන්න ලෑස්ති නෑ. කවියාට විතරයි ඒක කරන්න පුළුවන්. මම ගහ කොළ ආශ්‍රය කරලා තියෙනවා, කැලෑවල ඇවිදලා තියෙනවා, මුහුදු වෙරළේ ඉදලා තියෙනවා, සුළං ශබ්දය විඳලා තියෙනවා. එතකොට මේකත් එක්ක එන හැඟීම් මම හිතන්නෙ මිනිසුන්ට ලියන්න අයිතියක් තියෙනවා.

නමුත් ඒ පිළිබඳ ගැටළුවක් මට නැහැ. ඒත් කවියක් ලිය වෙන්න තරම් හැඟීමක් ඇති කරවන්නේ ප්‍රස්තුතයට සංවේදී වන තරමටයි?

අවුරුදු 46 ක් මම ලෝකය හොඳට දැක්කා. කුඩාම කාලේ ඇස් නොපෙනෙන කෙනෙකුට රෝස මලක් කිව්වම මෘදු, මොලොක් දෙයක් විතරයි. ඒකෙ ස්වරූපය, පාට, හැඩය දන්නෙ නෑ. ඒත් මට එහෙම නෙවෙයි. හැබැයි කුඩාම අවධියේ ඇස් නොපෙනෙන කෙනාටත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ රෝස මල මොන පාට ද? පෙති කීයක් තියෙනවාද කියන එක. මල මෘදුයි, සුවඳයි. ඒ ටිකම මදිද තමුන්ට යමක් නිර්මාණය කරන්න. මලට පෙති කීයද? පාට කොහොමද කියන එක නෙවෙයි කවියෙක් ලියන්නෙ. ඒ තුළින් වින්ද ආහ්ලාදයයි. සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ රෝස, මේ අරලිය, මේ ඕකීඩ්, මේ ඇන්තූරියම් කියල වර්ග කර ගන්න එක. ඒකෙන් කරන්නේ අපි ඊට පන්තිමය අගයක් එකතු කරන එක. ඒත් කවියා ඊට එහා යන ව්‍යුහගත දෙයක් කවියෙන් කරන්නේ. 'මලකට කුමකටද වාසගම්' එය මෘදුයි, සුවඳයි, යම්කිසි හැඩතලයක් එක්ක චිත්ත රූපයක් මවා ගන්න ඒ ටිකත් ඇති නේද?

නූතන කවිය මානවවාදී සහ දාර්ශනික වශයෙන් ශානර දෙකකින් විග්‍රහ වෙනවා. මේ ප්‍රවර්ග දෙක පිළිබඳ ඔබේ කියවීම මොකක්ද?

ස්වභාව ධර්මය තුළ තියෙන දාර්ශනිකත්වය අති දැවැන්ත භාවය සංකේතයක් හැටියට දකින දේ මිනිහෙක්ට කවියක් හැටියට ගොඩනඟා ගන්න පුළුවන්. එතකොට වියුක්ත දාර්ශනිකත්වය කියන එකත් අපට යම් පමණකට බැහැර කරන්න බැහැ. ඊළඟට මානවීයත්වය ගැන කතා කළොත් මිනිස් ජීවිතය ගැන, මිනිසාට මිනිසා පිළිබඳ දයාබරව බැලීමට පුළුවන් වීම, දියුණු අය හැටියට ගොඩනැෙඟන මිනිස් අන්තර්සම්බන්ධතා කවියා ගොඩනඟන්න ඕන. හොමෝසේපියන් වානරයාගේ සිට අද වන විට තියුණුම මිනිසා බවට පත් වූ තැන මේ මිනිස් ආධ්‍යාශයන් තවදුරටත් සංවර්ධනය කර කර ඉදිරියට යන්න පුළුවන් තාක්ෂණයට විතරක් නෙවෙයි. අපි දන්නවා අද වන විට ෂෙරීන් වායුව ගහල සිරියාවේ මිනිස්සු දාහක් මරල දැම්මා. ලෝකයේ හැම තැනම යුද්ධ. මේ නැතිවෙන මිනිස් ජීවිතවල තියෙන වටිනාකම් චිත්‍ර ශිල්පියා, කවියා, කලාකරුවා විසින් නැවත ගොඩනඟන්න ඕන. හැබැයි ඒ අතිශය හැඟීම් බර විදියට නම් නෙවෙයි. කලාව තුළින් කළ යුත්තේ මිනිස්සු අඬවන එක නෙවෙයි.

මානවවාදී කවියත්, ඔබේ පිළිගැනීමට ලක් වන බවයි මින් පෙනෙන්නේ. නමුත් ඕබේ කේන්ද්‍රීය විවේචනය වත්මනෙහි ඇති භාවිත ස්වරූපයට ද?

මානව හිතවාදය කියන ඉල්ලුමට සැපයුම දැන් අර්චනයක් වෙලා. හරියට නිකන් ලිංගික අර්චනයක් වගේ. මානවවාදය මානවවාදය කියල කාමරයක් ඇතුළට වෙලා ලිව්වට ඒ ගොල්ලො මහත්මා ගාන්ධි වගේ පෙරට එන්නෙ නෑ. ජනතාව වෙනුවෙන් වෙඩි කන්නෙ නෑ. නමුත් මානවවාදය කියන්නෙ ඊට වඩා පෙනී හිටින දෙයක් බිකෝලෝ වගේ මිනිස්සුන්ට. චේ ගුවේරා, ලෙනින්ලා වගේ මිනිස්සුන්ට. මහත්මා ගාන්ධි, සුභාෂ් චන්ද්‍රහෝෂ් වගේ මිනිස්සුන්ට. හැඟීම් බර දේවල් ඕනෑවට වඩා හැඟීම් බර කරන්න ඕන නෑ. බර්ටෝල් බ්‍රේෂ් ඇයි තදාත්ම්‍ය විඝටනය (Alienation Effect) ගැන කතා කෙරුවේ. ඔහු කියන්නෙ ප්‍රස්තුතයට ආත්මීයව බහින්න එපා. ඒකට පරිබාහිරව ඉදගෙන එය විව්‍යච්ඡේනය කර ගන්න කියලයි. අනේ අපි අඬන්න හරි ආසයි. ප්‍රේමය ගැන අඬන්න ආසයි. දුප්පත්කමට අඬන්න ආසයි. ටෙලි නාට්‍යයෙත් අඬනවා, සින්දුවලත් අඬනවා, කවියෙත් අඬන්න ගියොත් ලෙඩක් වෙනවා. ඒ ඇඬිල්ල හරියට ස්වයං මෝචනයක් වගේ. කවියා කියන්නේ තමන් ගේ තියන අති දුර්වලකම් ලෝකයට හඬගා කියන්නෙක් නෙවෙයි.

බර්ටෝල් බ්‍රේෂ්ගේ නාට්‍යවේදය ගන්න. ඔහු කියන්නේ ඒ චරිතවලට ගිහිල්ලා භාවාතිශය වෙලා එලියෙ ඉන්න කෙනා කම්පනය කර හඬවන එක නෙවෙයි රංගනය විය යුත්තේ කියලා. ප්‍රේක්ෂකයාට ඒක දිහා බුද්ධිමය විදියට බලන්න පුළුවන් වෙන්න ඕන. හුණුවටේ නාට්‍ය බලන්න. ගෲෂාට දරුවා අහිමි වෙන්න යද්දිත් ඇය අඬන්නේ නැහැ. වැලපෙන්නේ නෑ. දරුවා මගේ... හැඳුවේ මම... දරුවා දෙකට ඉරන්න ද කියන්නේ කියල ඇය ප්‍රශ්න කරනවා. කවියා වුණත් පාඨකයා අතිශය භාවාත්මකව කම්පනය කරලා නිද්‍රෝපගත කරන්න යනවා නම් ඒක එච්චර හොඳ නෑ. මම අදට වුණත් දෙවොන්දරා සංට වඩා විරාගයේ අරවින්දට කැමතියි.

භාවාත්මක සිද්ධියක් වුණත් කාව්‍ය ආඛ්‍යානය ගොඩනැංවීමේ දී කවියා කළ යුත්තේ භාවයන් ඉක්මවා යන බුද්ධිමය ආමන්ත්‍රණයක් කියන එකද ඔබ කියන්නෙ?

ඔව්. මේක සූක්ෂමව ග්‍රහණය කර ගන්න ඕන දෙයක්. මම පරිවර්තන නාට්‍යයකින් උදාහරණයක් කියන්නම්. සාර් රජ්ජුරුවෝ වීදියෙ වඩිනවා. ජනතාව දෙපැත්තෙ පිරිලා ඉන්නවා මෙයාට ආචාර සමාචාර කරන්න. මේ සාර් රජු තමයි රුසියානු සමස්තයම සූරා කෑවේ. එතකොට විප්ලවවාදී ව්‍යාපාරයක් සාර් රජු මරන්න කුමන්ත්‍රණයක් කරනවා. ඔවුන් අත් බෝම්බයක් කෙනකුට දීලා යවනවා සාර් රජු පැමිණෙන වීදියට. ඔහු බෝම්බය අරගෙන එන කොට දකිනවා ලස්සන මිණිබිරියෝ දෙන්නත් සුරංගනාවියො වගේ ඔහු සමඟ එනවා. ව්‍යාපාරය ඔහුට බරපතල විදියට චෝදනා කරනවා ඇයි උඹ බෝම්බය ගැහුවෙ නැත්තෙ කියලා. එතකොට ඔහු කියනවා මම කොහොමද බෝම්බය විසි කරන්නෙ අර පුංචි දැරිවියො දෙන්නත් ඉද්දි කියල. මේක හරි භාවාත්මකයි. එනිසා බෝම්බය විසි කරන්න බැහැ.

දෙවනුවට ව්‍යාපාරය ප්‍රශ්න කරනවා උඹ කතා කරන්නේ දැරිවියො දෙන්නෙක් ගැන විතරයි. අප කතා කරන්නේ සමස්ත සෝවියට් දේශයේම ඉන්න දරු දැරියන් ගැනයි. උඹ මොනවද හිතන්නෙ සමස්ත ගොවියන්ගේ, කම්කරුවන්ගේ, පීඩාවට ලක්වන දරු දැරියන් ගැන. එතකොට මේක දැන් බුද්ධිවාදී. මම කියන්නේ නෑ බොල්ෂේවික් විප්ලවය හරි හෝ වැරදි කියලා. ඒ වන විට සෝවියට් සමාජය ඉල්ලා සිටිනවා විප්ලවයක්. එතකොට අර මුලින් කියපු භාවාතිශය වීම තුළ ඒ අරමුණ ඉටු වෙන්නෙ නෑ. ඒකයි මම කියන්නේ කාමරයකට වෙලා හුදෙක් දුක ගැන ලිවීම තුළින් දුක උහුල උහුල ඉන්නවා ඇරෙන්න එතනින් එහාට දෙයක් නෑ. කවියා ගේ අරමුණ විය යුත්තේ එය නොවේ.



කවියා භාවාත්මකව පාඨකයාට ආමන්ත්‍රණය නොකළ යුතු බව ඔබ කියනවා. නමුත් එය ප්‍රකාශනයකට සීමා නොවී උදාහරණ වශයෙන් වර්තමානයට ගලපන්නේ කොහොමද?

මුලින්ම මහින්දගේ කවිය ගමු. එකක තියෙනවා ලියුමක් කියල කවියක්. [කියවන්න.] ලියන්නේ කැරොකේවල ඉන්න ගැහැනු ළමයින්ගේ ජීවිතය ගැන. අපට වෙලා තියෙන්නෙ ඇගපත හීනි කර ගන්න, අපට නින්දක් නෑ.. අම්මගේ විටමින් ටිකට නටන්න සිද්ධ වෙලා තියෙනවා කියල භාවාතිශය විදිහට ලියනවා. මං දන්න විදියට නම් ඔවුන් මේවා කරන්නේ අම්මාව රැක ගන්න ඕන කියන සානුකම්පිත තැනක ඉදලා නෙවෙයි. භෞතිකවාදී පරිසරය තුළ ඔවුන් උපකරණ බවට පත් වෙලා. එයාලා බලන්නේ කොහොමද සාක්කු සුද්ධ කරන්නෙ කියලා. මොකද ඒගොල්ලන්ගෙ රැකියාව ඒක. නමුත් ලියන්නේ අතිශය භාවාත්මකව. කඳුළු විකුණනවාද කියන මේ චෝදනාව ඉන්දියාවේ සත්‍යජිත් රායිටත් තිබුණා.

ඊළඟට "අක්කා" කවිය ගමු. [කියවන්න.] මේ ප්‍රශ්නයම සාකච්ඡා කරනවා ප්‍රසන්න විතානගේ පුරහඳ කළුවර චිත්‍රපටයෙන්. දුප්පත්කම කියන ඛේදවාචකය ඇතුළෙ නංගී වෛශ්‍යයාවක්, වෙලා ඉන්නවා තානායමට එන අයියටම හමුවෙනවා. හැබැයි ප්‍රසන්න චිත්‍රපටය ඇතුළේ අඬන්නෙ නෑ. කවියාටත් පුළුවන් වෙන්න ඕන මතුපිට තියෙන නිශ්චලතාවය හිල් කරගෙන පතුලට ඇතුල් වෙන්න. මඩ කළල් හොයා ගන්න. මනෝ මූලිකව නෙවෙයි විෂය මූලිකව දකින්න පුළුවන් වෙන්න ඕන. "සොල්දාදු උන්නැහේ, පාර දිගේ, බඹරු ඇවිත්" චිත්‍රපට බලන්න. පතිරාජ සියුම් විදියට වාස්තවිකව වටේට අන්වේෂණය කරනවා මිස හැඟීම් බර විදියට බහින්නෙ නෑ.

සිනමාකරුවා රූප රාමු සමඟයි වැඩ කරන්නෙ. නමුත් කවියාට භාෂාවයි අමුද්‍රව්‍ය වෙන්නෙ. ඔබේ උදාහරණ කවියටත් අදාළ කර ගත්තොත්...

එරික් ඉලයප්ආරච්චිගේ "මැදියමේ ගීතය හා තවත් කවි" කෘතිය බලන්න. එහි තියෙනවා "ආලින්දයේ" එන "පෙම්වතකුගේ කට උත්තරයක්" කියන කවිය. ලණු කැරලි ගොතලා ජීවත් වෙන්න අමාරු යුවතියක් නව ආර්ථීක ක්‍රම හමුවේ ගමේ පෙම්වතා අතහැරලා අගනුවරට එනවා. නගරයට ආවාම ඇයට කය විකුණන්න සිද්ධ වෙනවා. ගැබ් ගන්නවා. අන්ත අසරණ භාවයට පත් වෙනවා. ගමට සහ ගමේ පෙම්වතාට මුහුණ දෙන්න බැරිකමට ඇය කැලණි ගඟට පැනලා සියදිවි හානි කර ගන්නවා. මේක අතිශය භාවාත්මක ඛේදවාචකයක්. අවසාන මොහොතෙත් පෙම්වතා ඇගේ ගෞරවය ආරක්ෂා කරනවා. නමුත් කවිය ඇතුළෙ කොතැනකවත් පාඨකයා අඬවන්නේ නැහැ. බුද්ධිවාදී විදියට ගොඩනඟනවා.

ඊළඟට පරාක්‍රම කොඩිතුවක්කුගේ "දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්" කවිය බලන්න. ප්‍රේමය කඩා වැටුණම අඬන්නෙ නැහැ. වැළපෙන්නේ නැහැ. ආදරය නින්දක්ය - පිබිදිලා සිටින මට, ජීවිතය වැරදුණේ මෙතැන විතරක් නොවේ... ඔබ ඔබේ ගමන යන්න. මම මගේ ගමන යන්නම් කියලයි කියන්නෙ.

නඳුන් යසිතගේ බිම් ගෙයට සඳ ඇවිත් කාව්‍ය සංග්‍රහයේ එන "පහන සහ අම්මා" කවිය බලන්න. [කියවන්න.] තාත්තා නැතිව අතිශය දුගී භාවයට පත් ගෙදරක අම්මා කෙනෙක් යනවා ශ්‍රමයට රබර් කිරි කපන්න. රෑ වෙලා ගෙදර එනකම් අයියයි නංගියි බලාගෙන ඉන්නවා. ඒ තුළ තියෙන අඳුර, පාළුව, බිය, දුප්පත්කමේ ඛේදවාචකය හරි අපූරුවට නඳුන් මවනවා. හැබැයි පාඨකයා කම්පනය කරලා කොතැනකවත් හඬවන්නේ නෑ. කියවලා කාමරයකට වෙලා දොර වහගන්න නම් ලියන්නෙ ඒකෙන් වැඩක් නෑ. හැඟීම් වෙනුවට වෛෂ්‍යක පසුබිම වටහා ගන්න ඕන. ඉස්සර වගේ අද මේ පිළිබඳ බැරෑරුම් විචාරයක් නෑ. 'මාවත' වගේ සඟරා ද, විප්ලවවාදී වාමාංශික පක්ෂවල කථීකාවත් ද, අද ඔක්කොම කඩාගෙන වැටිලා. ඒ නිසා මේ සමාජ තත්ත්වයන් ව්‍යවච්ඡේදනය කර ගන්න අද අපිට සිද්ධ වෙලා තියෙනවා. මම මහින්දගේ නිර්මාණ හැකියාව අවතක්සේරු කරනවා නෙවෙයි. ඔහු ගේ 'දයාබර නුගේගොඩ' වැනි කවියක් ගත්තොත් අපූරු රූපකයක්. [කියවන්න.] නමුත් ප්‍රශ්නය කවුරුත් කතා කළේ ඒවා ගැන නෙවෙයි. ලියමන වගේ ඒව ගැන.

නිර්මාණය කියන්නේ සත්‍යත්, කල්පිතයත් අතර ගොඩනඟන්නක්. එතකොට පරිකල්පනය ඇතුළෙ මවන්න බැරිද ලියමන ඇතුළෙ ඉන්නෙ යුවතියක්.

මවන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නෙ ඒක යථාර්ථයක් බවට පත් වෙනවාද කියන එක. පොළොව උඩ ඉඳගෙන මේක දිව්‍ය ලෝකයක් කියල මවන්න බෑනේ. පොළොවේ ඇත්ත ස්වභාවයම තමයි මවන්න ඕන. උදාහරණයක් විදියට මංපහරන්නෙක් ගැන හිතන්න. ඔහු පන්සල් යනවා, මල් පූජා කරනවා, දරුවන් දහම් පාසැල් යවනවා වගේ භාවාතිශය විදියට ලියන්නත් පුළුවන්. ලිව්වට වැඩක් නෑ. ගෝඩ් ෆාදර් වගේ චිත්‍රපටයක් ගත්තොත් මාලන් බ්‍රැන්ඩෝ පල්ලියේ ඉද්දි තමයි මිනී මැරුම් වෙන්නෙ. ඒ සියල්ල සංවිධානය වෙන්නෙ ඔහු ගේ අනුදැනුම යටතේ. එතකොට මේ වගේ චරිතයක් කොහොමද භාවාතිශය විදියට ගොඩනඟන්නෙ. කැරොකි ශාලාවකට ගියොත් තේරෙයි ඔවුන් අතිශය සියුම් විදිහට සාක්කු සුද්ධ කරන බව.

නමුත් භාෂාව පැත්තෙන් තිබෙන සරල බව නිසා පොදු පාඨකයා එවැනි කවිවලට වැඩි වශයෙන් නැඹුරුවන බව පේනවා. ඔබේ කවි තුළ ඇත්තේ භාෂා හරඹයක් පමණක් යැයි ඔබේ දියණිය පවා පවසන බව පූර්විකාවේ ඔබම ලියා තිබෙනවා.

පාඨකයාට එකපාර උඩින් මැද්දෙන් පනින්න බැහැ. එයාට කියවලා ප්‍රැක්ටිස් (Practice) එකක් තියෙන්න ඕන. උදාහරණයක් හැටියට මම 'වඳුරු හාමිගේ දතේ කැක්කුම, විමලාගේ උපන්දිනය, හපනා, විලම්භීත, අඹ යාළුවෝ, තිලක හා තිලකා' වගේ කෘති කියවලා ඊට පස්සේ තමයි 'විජයබා කොල්ලය, රාමායනය' වගේ කෘති කියවන්න ගත්තේ. ඩීමන් ආනන්දගේ කෘති ලක්ෂයක් විතර අලෙවි වෙන්න ඇති. මොකද මමත් කියෙව්වනෙ. එඩ්වඩ් මල්ලවආරච්චි, කුමාර කරුණාරත්න වැනි අය ගේ නවකතා තරුණ තරුණියන්ගේ අත්පොත් වෙලා තිබුණා. ඒගොල්ලො 'ගම්පෙරළිය, විරාගය' වැනි කෘති කියවන්න පෙර ඒවා කියවලා පූර්ව අභ්‍යාසකරලා තියෙන්න ඕන. අමරසේකරගේ 'භාව ගීත, උයනක හිඳ ලියූ කවි, අමල් බිසෝ' මේවා එකපාරට තේරුම් ගන්න බැහැ. මොකද මහින්දගේ කවියට වඩා ඒවා වෙනස්. දයාසේන ගුණසිංහ, සිරි ගුණසිංහ එකපාරටම කියවන්න අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි සූචනය කරගත්තොත් ලැබෙන දේ අරට වඩා සුන්දරයි.

අතිශය සරල තැනකට ගිහින් ලිවීමෙන් කවියට ඕන අලංකාර, කවියේ ධ්වනි, නාද, ගොඩනඟා ගැනීමට බාධාවක් කියල මට හිතෙනවා. නන්දනගේ, රත්න ශ්‍රී ගේ භාෂාව ගත්තොත් ඔවුන් විදග්ධ ලෙස භාෂාව පාවිච්චි කරනවා. රත්න ශ්‍ර්‍රී සංස්කෘත වචන පවා පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ශර්වරී කියන්නේ සංස්කෘතයෙන් රාත්‍රියට. ඒක හරි ලස්සනට නිසි තැන නිසි විදියට රත්න ශ්‍රී යොදා ගන්නවා. එතකොට කාටවත් කියන්න බෑ ශර්වරී වෙනුවට ඇයි රාත්‍රිය කියන්න බැරි, ඇයි නිශාන්තය කියන්න බැරි කියලා.

නමුත් මේ වෙහෙසකාරී භාෂාව නිසා පාඨකයා කවියෙන් ඈත් වෙනවා කියා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්.

චිරන්තන සාහිත්‍ය හොඳට හදාරපු කෙනෙකුට ඒවායේ භාෂාත්මක ලක්ෂණ හොඳින් ග්‍රහණය කර ගන්න එක ගැටළුවක් නෙවෙයි. අපට ඒ දැනුම නැති නිසා කියන්න බැහැ සාහිත්‍ය ලිහිල් විය යුතුයි කියලා. කවිය කියන්නේ උසස් දෙයක්. ඒක හැම කෙනාම අත ගැවසෙන කවි කොළයක් බවට පත් විය යුතු නැහැ. ෂේක්ෂ්පියර්ගේ නාට්‍ය ඛණ්ඩයක් සාමාන්‍ය සමාජයට ගියෙ නැහැ. මෝසාට්ගේ, බේතෝවන්ගේ සංගීත ඛන්ඩයක් හැමදෙනාටම රසවිඳින්න බැහැ. පර්සියානු කවිය ගත්තොත් ඛල්ලි ජිබ්රාන්, ඕමාර් කයියාම්, කියවන්න පූර්ව අභ්‍යාස අවශ්‍යයි. ඒ නිසා පොදු පාඨකයා ගේ රුචිකත්වයෙන් උසස් කලාව මනින්න බැහැ.

නමුත් සම්මාන උළෙලවල දී පවා ඇගැයීමට ලක් වන අවස්ථා තිබෙනවා.

සම්මාන කමිටුවලින් බොහෝ විට ලැබෙන්නේ සාපේක්ෂ අගයක් මිස නිරපේක්ෂ විනිශ්චයක් නොවෙයි. මේවායේ ජූරිවල ඉන්නෙත් මිනිස්සු. පෘතග්ජනයෝ හැටියට ඒගොල්ලොත් සමහර විට පාර්ශ්වීය පැති ගන්න පුළුවන්. නිර්ණායක ඔක්කොම සමානයි නම් සම්මාන උළෙලවල් හතරක් තිබ්බොත් එකිනෙකට වෙනස් කෘති තේරෙන්නේ ඇයි? එකකින් සම්මාන ලැබෙන කොට අනෙක් කමිටුවේ ඒක නිර්දේශ මට්ටමේවත් නැහැ. මෙවර නවකතා, කෙටි කතා, කවි කෘති තුන බැගින් සම්මාන ලැබුවා. ලෝකයේ බුකර්, ඔස්කාර් වගේ සම්මාන ගත්තොත් විනිශ්චයෙන් හැමතිස්සේම ලැබෙන්නේ නිරපේක්ෂ අගයක්. නිර්ණායකවලට අභියෝග කරන්න වෙන් නෑ. බොහෝ අය ඊට එකඟ වෙනවා.

ඉතිහාසය විමසුවොත් 'වස්සානය' රත්න ශ්‍රී ගේ හොඳම කවි පොතක්. ඒත් සම්මාන ලැබෙන්නේ නැහැ. 'මධ්‍යම යාමයත්' පැත්තකට විසි කරලා වෙන එකකට දෙනවා. එතකොට 'ගාලු කොටුවේ සිංහයා' හොඳ කෙටි කතා පොතක්. ඒත් සම්මාන ලැබෙන් නෑ. නන්දනගේ 'සහස් රැස් යට' කිසිම ඇගයීමටක ලක් වුණේ නැහැ. ජයන්ත චන්ද්‍රසිරි ගේ 'මහරජ ගැමුණු' අපූරු ගෙත්තමක්. නිර්දේශ මට්ටමට ආවෙත් නෑ. සම්මාන නොලැබුණා කියලා මේ කෘති බැහැර කරන්න පුළුවන් ද? සී.ඒ. මාතුපේම, මාගම් තෙන්නකෝන්, හේමරත්න ලියනාරච්චි, වගේ ලේඛකයෝ මොනම විදියකින්වත් ඇගයීමට ලක් වුණේ නෑ. සම්මාන නැති වුණත් මෙයාලා අලුත් යමක් එකතු කළා. සිරි ගුණසිංහ, 'හෙවණැල්ල, මන්දාරම' වැනි කෘති ඔස්සේ විඥානධාරා රීතිය අත්හදා බැලුවා. 'බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, දඩයම' වගේ චිත්‍රපටි කළේ සම්මාන බලාගෙන නොව ග්‍රාමක සංස්කෘතියට යමක් එකතු කිරීමේ අරමුණින්. අමරදේව, 'මධුවන්තී' කරන කොට සම්මාන ගැන හිතුවේ නෑ. රටට යමක් එකතු කරන ජාතික වගකීමක් හැටියටයි හිතුවේ. ඒ නිසා ලේඛකයන්ගේ ඉලක්කය විය යුත්තේ සම්මානය නොවේ කියලයි මට හිතෙන්නෙ. ඒත් දැන් ලියන්නේ සම්මානවලට මිස පාඨයන්ට නොවෙයි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails