Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ලංකාවේ හැම වෘත්තිකයෙක්ම තමන්ගේ ගෞරවය තියාගෙන වැඩ කරන්නේ. කලා ක්‍ෂේත්‍රය වෘත්තියක් හැටියට ඉතාම ගරුත්වයෙන් පිළිඅරගෙන තියෙන වෙලාවක රටේ පිළිගත් රූපවාහිනී මාධ්‍යයක විකාශනය වන ටෙලි නාට්‍යයකින් අධ්‍යක්‍ෂවරුන් ඇතුළු අනෙකුත් ශිල්පීන් විසින් නිළියන් තමන්ගේ අයුතු ප්‍රයෝජනවලට යොදාගන්නා අයුරු දක්වන නිර්මාණයක් කරලා තියෙනවා. කවුරුවත් තමන්ගේ වෘත්තීය හෑල්ලුවට ලක් කරන්නේ නෑ. මේ නාට්‍යය වෘත්තිය ගෞරවය හෑල්ලුවට ලක් කරලා තියෙනවා. මේක බරපතළ ඛේදවාචකයක්. මේකෙන් සමස්ත ක්‍ෂේත්‍රයම කඩා වැටෙන්න පුළුවන්. මේ කරන්නේ උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්. මේ ක්‍රමය වහාම නවත්වන්න. මේ රටේ වෙන තේමා නැද්ද කතා කරන්න?"

මේ ප්‍රකාශය කර ඇත්තේ ටෙලිනිස සංගමයේ සභාපති සුරේෂ් අබේසේකරය. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වන ජේ. ශිවගුරුනාදන්ගේ "මුතු පලස" ටෙලිනාට්‍යයට විරෝධය දක්වමිනි. "මුතු පලස" ටෙලිනාට්‍යය වාරණයට ලක්කරන ලෙස ටෙලිනිස සංවිධානය විසින් ස්වර්ණවාහිනී ආයතනයෙන් සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇත.

මොවුන් "මුතු පලස" ටෙලිනාට්‍යයට එරෙහිව අවි අමෝරා ඇත්තේ මෙම ටෙලිනාට්‍යය මගින් ගමේ සිට නගරයට රඟපෑම සඳහා පැමිණෙන තරුණියක ලිංගික සූරාකෑමට ලක්වන ආකාරය ගැන කතා කිරීම හේතුවෙනි. ටෙලිනාට්‍ය හා චිත්‍රපටවල රඟපෑම සඳහා එන තරුණියන් ලිංගික සූරාකෑමට ලක්වීම අතීතයේ පටන්ම සිදුවන්නකි. සෑම අධ්‍යක්‍ෂවරයෙකු යටතේම එසේ සිදු නොවුනද බොහෝ අධ්‍යක්‍ෂවරුන් යටතේ එසේ සිදුවන බව බොහෝ දෙනකු දන්නා රහසකි. ඒ සඳහා උදාහරණ ද ඕනෑ තරම් ඇත. සිදුවූ එකම දේ වූයේ මේවා මේ ආකාරයෙන් සමාජයට අනාවරණය නොවීමය.

මුතු පලස ටෙලි නාට්‍යය මගින් නිළියන් ලිංගික සූරාකෑමට ලක්වීම ගැන කතා කිරීම පිරිසකගේ සිත් රිදවන්නක් වී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ නිළියන්ගේ ඉරණම මීටත් වඩා ශෝචනීය එකකි. පසුගිය කාලය තුළදී ගණිකා වෘත්තියේ යෙදුණු නිළියන් අත්අඩංගුවට පත්වීම නිරන්තරව අසන්නට ලැබුණු සිදුවීමකි. බොහෝ නිළියන් ගණිකා වෘත්තියේ යෙදී ඇත්තේ නිළියක වීමෙන් පසුව ගොඩනැගුණු සමාජ තත්ත්වය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආර්ථිකය ගොඩනගා ගැනීමටය.

ටෙලිනාට්‍ය සඳහා මුදල් වියදම් කරන නිෂ්පාදකයාගේ මනදොළ පිනවීම වෙනුවෙන් නිළියන් බිලිවන අවස්ථා ඉතා සුලබය. කලාවට කිසිදු සම්බන්ධයක් නැති ඇතැම් කෝටිපතීන් ටෙලිනාට්‍ය සඳහා මුදල් වියදම් කිරීමේ එකම අරමුණ වන්නේ තමාගේ සිත්ගත් නිළිය වසඟයට ගැනීමය. එසේම නිළියන් එක එක ව්‍යාපාරිකයන්ට විකිණීමේ පිම්පි අධ්‍යක්‍ෂවරුන් ද ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම අධ්‍යක්‍ෂවරුන්ට හා නිළියන්ට පොදු සාධකයක් නොවුව ද නිරන්තරව සිදුවන්නකි. ශ්‍රී ලංකාවේ නිළියන් මුහුණපාන මේ ඛේදනීය තත්ත්වය පිළිබඳ යම් පමණකින් හෝ කතා කිරීම ඉතාම අගය කළ යුත්තකි. මෙහිදී ටෙලිනිස වැනි සංවිධානයක වගකීම වන්නේ මෙවැනි සිදුවීම් අවම කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමය.

එහෙත් ඔවුන් මැදිහත් වී ඇත්තේ එම හෙළුව සමාජය ඉදිරියේ නිරාවරණය වීම වළකාලීම සඳහාය. ඔවුන්ගේ ප්‍රධානම තර්කය වී ඇත්තේ මෙම ටෙලිනාට්‍ය විකාශනය වීම හේතුවෙන් තරුණියන් රඟපෑමට එක්වීම හා ටෙලිනාට්‍ය රූගත කිරීමට පසුතල ලබාගැනීමේදී ගැටලු මතුවන බවය. අනෙක් තර්කය වී ඇත්තේ තමන්ට බිරිඳ හා දරුවන් සමග එම ටෙලිනාට්‍යය නැරඹිය නොහැකි බවය.

අබ කෑ මිනිහාගේ මොළේ දන බවට කතාවක් ඇත!

මේ ටෙලිනාට්‍යය හේතුවෙන් කලබල වී ඇත්තේ එවැනි පිරිසකි. තම වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගෙන හරවත් නිර්මාණයන් කරන අධ්‍යක්‍ෂවරුන්ට මෙම ටෙලිනාට්‍යය ප්‍රශ්නයක් වී නැත.

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‛ආකාස කසුම්’ චිත්‍රපටයේ තේමාව වූයේද මෙවැනිම කතා පුවතකි. ‛ආකාස කුසුම්’ ප්‍රශ්නයක් නොවූ මොවුන්ට මෙම ටෙලිනාට්‍යය ප්‍රශ්නයක් වී ඇත්තේ ක්‍ෂේත්‍රයේ සැබෑ තත්ත්වය අධ්‍යක්‍ෂවරුන්ගේ පවුලේ උදවිය දැන ගැනීමය.

ලිංගික සූරාකෑම, ලිංගික අල්ලස් ගැනීම අද සමාජයේ නිරන්තරව දක්නට ලැබෙන්නකි. රැකියා ලබාදීම සඳහා දුප්පත්, අහිංසක තරුණියන් යහනට ගන්නා දේශපාලනඥයන්, උසස්වීම් ලබාදීමට, වරප්‍රසාද දීමට සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්නා නිලධාරීන්, පන්ති සාමාර්ථයක් ලබාදීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් බිලිගන්නා ආචාර්ය, මහචාර්යවරුන්, දරුවන් පාසලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ගන්නා විදුහල්පතිවරුන් පිළිබඳව නිරන්තර අසන්නට ලැබුණද ඊට එරෙහිව සමාජයේ කතිකාවක් ගොඩ නැගී නැත.

සැබෑ කලාකරුවන් නම් තම නිර්මාණ සඳහා පාදක කරගත යුත්තේ සමාජයේ පීඩිතයන්ගේ දුක, කඳුලය. එහෙත් අද හිසේ කෙස් ගාණට බිහිවන අවර ගණයේ ටෙලිනාට්‍යවල ඒ කිසිවක් නැත. ඔවුන්ගේ ටෙලිනාට්‍යවල එකම තේමාව වී ඇත්තේ මධ්‍යම පාන්තික පවුල්වල සිදුවන පවුල් ආරවුල්ය. පෙම් පටලැවිලිය. එයින් බැහැරව ටෙලිනාට්‍යයක් බිහිවන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. වර්තමානයේ ඇති ටෙලිනාට්‍ය කලාව යනු පල් වී දුගඳ හමන මඩ වළකි. "මුතු පලස" ටෙලිනාට්‍යය යනු එම මඩවළෙන් යම් පමණකින් හෝ ගොඩවීමට දැරූ ප්‍රයත්නයකි. මේ මුතු පලසට වාරණ පනවන්න උත්සාහ කරන පිරිස ටෙලිනාට්‍ය කලාව ඇදවැටී ඇති මේ දරුණු අගාධය ගැන වචනයක් හෝ කතා කරන්නේ නැත.

ටෙලිනාට්‍ය නිළියන් වෘත්තියේ රැඳී සිටීම වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන රටක, නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගන්නා රටක, කලාකරුවන් ඒ ගැන සංවේදී නොවීම කණගාටුවට කරුණකි. මේ සංවේදී කලාකරුවන්ට එකම ප්‍රශ්නය වී ඇත්තේ වර්තමානයේ නිළියන් මුහුණ පාන ගැටලුව නොව එය හෙළිවීමය.

මේ ප්‍රශ්නයේදී ලොකුම අනතුර වී ඇත්තේ ටෙලිනාට්‍ය වාරණය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමය. කලාවට, ජනමාධ්‍යයට දේශපාලකයන් ලවා වාරණ පනවා ගැනීම ඉතාම දරුණු අනාගතයක ආරම්භයකි. මේ සිදුවීමම දඩමීමා කරගනිමින් දේශපාලනඥයන්ගේ වෘත්තීය හෑල්ලුවට ලක්වන බව ප්‍රකාශ කරමින් දේශපාලනඥයන්ගේ ජඩකම් හෙළිකරන කලාකෘතිවලට ද වාරණ පැනවීමේ හැකියාව ඇත. ශ්‍රමණ වේෂධාරීන්ගෙන් කාන්තාවන්ට හා දරුදැරියන්ට සිදුවන ලිංගික හිංසන පිළිබඳව සොයා බැලීමට ආයතනයක් පිහිටුවීමට කළ කථිකාවකට එරෙහිව පසුගියදා අන්තවාදී බලසේනාවක් පෙළපාළි ගියේය.

මේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ගේ විරෝධය ඊට සමාන එකකි. මෙය පයබරවායට පිටිකර බෙහෙත් බැඳීම වැනි ක්‍රියාවකි. මේ මුතු පලසට විරෝධය දක්වන (ටෙලිනිස) සංවිධානයේ බහුතරය පසුගිය ජනාධිපතිවරණය සමයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දෑත් ශක්තිමත් කිරීමට කඩේ ගිය සංවේදී කලාකරුවන්ය. වේදිකා නාට්‍යකරුවන්ගේ තිඹිරිගෙය වූ ජෝන් ද සිල්වා සමරු රඟහල, කලාභවන කඩා දමන විට මේ සංවේදී කලාකරුවන් කිසිවෙකුටත් ඇහැරුනේ නැත. සංවේදී නායකයා විසින් රටට කැසිනෝ, ගණිකා ව්‍යාපාරය ගෙන්වීමට අණපනත් සකසන විටද මේ සංවේදී කලාකරුවන් සිටියේද තද නින්දේය. එහෙත් මේ සංවේදී කලාකරුවන් හදිසියේ ඇහැරී ඇත. ඒ තම ක්‍ෂේත්‍රයේ හෙළුව එළිවන විටය. මේ සංවේදී කලාකරුවන් තම හෙළුව වසාගැනීමට ගෙන ඒමට යන වාරණ සළුව ඉදිරියේදී මුළු කලාවේම ගෙල සිරකරන තොණ්ඩුව කරගැනීමට බොහෝ දුරට ඉඩ ඇත.

-ප්‍රවීණා මුදලිගේ
ලංකා | 2013 නොවැම්බර් 17 ඉරිදා

"මුතු පලස ගැන කවුරුවත් කලබල විය යුතු නෑ...."
ශිවගුරුනාදන් -අධ්‍යක්‍ෂ, මුතු පලස ටෙලිනාට්‍ය

"මේ ටෙලිනාට්‍යයට කේන්ද්‍රවන කතාව අස්සෙ පොඩි අතුරු කතාවක් විදිහට තමයි ගමෙන් නගරයට රඟපාන්න එන ගෑනු ළමයෙකුට වෙන සිද්ධි සමුදායක් විස්තර කෙරෙන්නෙ. එහෙම නැතුව මේ ක්‍ෂේත්‍රය හෑල්ලුවට ලක්කරන්නවත්, කාටවත් පුද්ගලිකව මඩ ගහන්නවත් අපේක්‍ෂාවක් මං ළඟ තිබුණේ නෑ.

චිත්‍රපටයක් නැත්නම් ටෙලිනාට්‍යයකින් අපි විවිධ ක්‍ෂේත්‍ර ගැන කතා කරනවා. නමුත් අපි නියෝජනය කරන ක්‍ෂේත්‍රය ගැන කතා කරල නෑ. අනික් ක්‍ෂේත්‍ර වගේම කලා ක්‍ෂේත්‍රයත් සාමාන්‍ය ක්‍ෂේත්‍රයක්. ඒ ක්‍ෂේත්‍රය තුළ සිදුවෙමින් පවතින දෙයක් හෝ සිදුවෙතැයි සිතිය හැකි දෙයක් පිළිබඳව උපකල්පනය කර නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැතුව උඩ බලාගෙන කෙළ ගහන්න හිතාගෙන කළ නිර්මාණයක් නෙවෙයි. එහෙම නම් අනික් ක්‍ෂේත්‍රවල සිදුවෙන දේවලුත් අපට නිර්මාණ හරහා කතා කරන්න බෑනෙ. එහෙනම් ඒ ක්‍ෂේත්‍ර නියෝජනය කරන අයත් විරුද්ධ වෙන්න ඕනෑනේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම ක්‍ෂේත්‍රයකට අදාළ සිද්ධි සමුදායක් කලා නිර්මාණ හරහා කතා කිරීමට හැකියාවක් තියෙනවා. මේ නිර්මාණය ගැන අපේ කලා ක්‍ෂේත්‍රයේ කිසිවෙකුත් කලබල විය යුතු නෑ."

ප්‍රවීණා මුදලිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails