Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රාගය හෙවත් කාමාශක්ත බව රැඳෙන ස්ථානයේ ආදරය නොතිබිය හැකි වුව ද ආදරය ඇති සෑම තැනක ම රාගය හෙවත් කාමාශක්ත බව තිබිය යුතු ම ය. මන්ද ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර හටගන්නා ආදර සබඳතාවයේ අවසන් ඵලය නොහොත් අග්‍රඵලය ලිංගික සුවය යි. මෙය යථාර්ථය ම වුව ද ඇතැම් සාහිත්‍යය නිර්මාණයක "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයයි" යැයි පැවසිය හැකි ය. කුහක සදාචාරවාදීන්ට ද එය එලෙසම යැයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළ හැකි ය. නමුදු එසේ පවසන පුහු සදාචාරවාදීන් බිරිඳට පෙම් කරමින් සිටිනවා පමණක් ද? නැත ඇයට පෙම්කරන අතරතුර කාම සම්භෝගයේ යෙදේ. එපමණකින් නොනැවතී අන් අඟනන් හා ද රති සුව විඳිති. එහෙත් මේ සියලු පිරිමි මතුපිටින් ශුද්ධවන්තයෝ ය.

අතීතයේ විසූ රජුට සම්ප්‍රාදානුකූලව අවාහ කොටගත් කාන්තාව හැර අන්ත:පුර කාන්තාවෝ ද රාශියක් සිටියහ. එහෙත් බිසව වෙනත් පුරුෂයකු කෙරෙහි සිහිනෙන් හෝ බැදුණ හොත් ඇයට හෝ ඇගේ අනියම් පෙම්වතාට උරුම වූයේ මරණය යි. එනයින් බලන කල අනුලා දේවිය විශිෂ්ට ය. මන් ද ඇය පුරුෂාධිපතයයට එරෙහිව මහපොළොවේ සටන් කළ එකම කාන්තාව වන බැවිනි. ලාංකේය ඉතිහාසය මතු නොව ලෝක ඉතිහාසයේ වුව ද එවන් චරිත හමුවන්නේ අතලොස්සකි. එහෙත් පුරුෂාධිපත්‍යයේ දඬුඅඬුවට සිරව සිය ජිවිත කුසුම පවා පුදාහළ කාන්තා චරිත අනන්ත ය, අප්‍රමාණය.

මොහාන් රාජ් මඩවල ලේඛකයාගේ අභිනව සාහිත්‍යය කෘතිය වන "ලොවීනා" තුළින් පිළිබිඹු වන්නේ ද මෙකී යථාර්ථය යි. නිල බලය, ධන බලය සහ මුදල් බලය උපයෝගි කොට ගෙන තමන් රිසි ඕනැම කාන්තාවක් තම යහනට ගන්නට එකල නොව මෙකල බලවතුන් ද පසුබට නොවන්නෝ ය. එහි දී ආදාළ කාන්තාවගේ ජාතිය, ආගම කුලය හෝ තරාතිරම නොසැලකෙන අතර ඒ සියල්ල වලංගු වන්නේ මතුපිට සමාජය ඉදිරියේ පමණි. සමාජයෙන් වහං වී තමන්ගේ සියලු ආශාවන් මුදුන්පත් කරගැනීම සඳහා මේ දුදන සුදනෝ පසුබට නොවෙති.

එවන් දුදුන සුදනන්ගේ නොපනත්කම් සහ ඔවුන්ගේ බලාධිකාරියට නතු වූ කාන්තා චරිත ත්‍රිත්වයක් වටා රචිත "ලොවීනා" සුන්දර ආදර අන්දරයකි. තමාට අහිමි වු ආදරය වෙනුවෙන් පශ්චාත්තාප වනවා වෙනුවට මතු පරපුරේ ආදරය වෙනුවෙන් සිය දිවි කැප කළ අපූරු කාන්තාවකගේ චරිතාපදානයකි. ආදරය තුළ ගැඹුරින් තැන්පත්ව තිබෙන්නා වූ ලිංගිකත්වය සහ ලිංගිකත්වය පමණක් උදෙසා ම කාන්තාවකගේ ජාතිය ආගම සහ කුලය නොසලකා හරින අවස්ථාවාදි කාමුකයන්ගේ නිරුවත විදහා පාන්නකි.

"ලොවීනා" නමින් කෘතිය නම් කොට තිබුණ ද මෙහි ප්‍රධාන චරිතය වන්නේ පුන්නා හෙවත් පුන්නීය. වසර සියයකටත් වඩා වැඩි කාලයක් ආයු වළඳා මිය පරලොව යන ඇය ආදරයේ සංඛේතය යි. පරමාදර්ශය යි. නොපසුබට උත්සාහයේ සහ පරාර්ථකාමයේ මං සලකුණයි.

යථාර්ථවාදි රීතිය මෙන් ම මායා යථාර්ථවාදී රීතිය ද අනුගමනය කරමින් රචිත "ලොවීනා" හි සැම වාක්‍යයක් ම මතුපිටින් විදහාපාන මායාමය ස්වරුපය විනිවිද දකින්නට සමත් යම් පාඨකයෙක් වේ නම් ඔහු/ඇය මෙම කෘතිය ඇසුරෙන් උකහා ගන්නා දෑ බොහෝ ප්‍රබල බව නොරහසකි. එහෙත් අවාසනාවකට මෙන් බහුතර ලාංකීය පාඨක ප්‍රජාව එකී ප්‍රබලත්වය ග්‍රහණය කර ගන්නට තරම් විදග්ධයෝ නොවෙති. එය ඔවුන්ගේ හෝ කතුවරයාගේ වරදක් ලෙස දකින්නට තරම් ලියුම්කරු මුග්ධ නොවන අතර අප අපේ පාඨකයා සාම්ප්‍රදායික, යථාර්ථවාදී රිතියෙන් ඔබ්බට කැඳවා ගෙන යන්නට යත්න දැරිය යුතු ය. මෙහි දී ලියුම්කරුට යම් ප්‍රකාශයක් කළ යුතුව ඇත. එය ඉතා බැරෑරුම් ප්‍රකාශයක් විය හැකි වුව ද එය ප්‍රකාශ කිරීමේ අයිතිය ලියුම්කරුට ඇතැයි විශ්වාස කරමි.



ගම්පෙරළියෙන්, යුගාන්තයෙන් සහ කළියුගයෙන් මෙන් ම විරාගයෙන් නෙත් සිත් ඉවතට ගන්නට නොහැකිව සිටි ලාංකේය පාඨක ප්‍රජාව ඉන් මුදවා වෙනත් ඉසව්වක් කරා යොමු කරවන්නට උත්සාහ කළ ලේඛකයන් අතර සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන්කුමාර සහ අජිත් තිලකසේන (කෙටිකතාකරුවකු ලෙස) ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය හැකි ය. මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" ඇසුරු කිරීමේ දී ඉහත කී ලේඛක පිරිස සිහියට නැඟෙන්නේ නිතැතිනි. නවගත්තේගමගේ "සංසාරන්‍යයේ දඩයක්කාරයා", "සංසාරන්‍යයේ උරුමක්කාරයා", "සංසාරන්‍යය අසබඩ", "සාංකාව", "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා" වැනි කෘති මෙන් ම ටෙනිසන් පෙරේරාගේ "දුට්ඨ ගාමිණී නොමළ වගයි", "සක්වල දඩයම" සහ කේ. කේ සමන්කුමාරගේ "නේරංජනා ස්නානේ" අජිත් තිලකසේනගේ "සුන්නද් දූලි", "සුබ රාත්‍රියක් අහවරයි", "රාත්‍රියේ පූර්ව භාගය" යන කෘති තුළින් අප විදි යම් රසාස්වාදයක් වේද ඒ හා සමාන රසාස්වාදයක් "ලොවීනා" ඇසුරු කිරිමේ දි ලද බව නිර්ලෝභී ව ප්‍රකාශ කළ යුතු ව ඇත. මෙය අතැමකුට විශ්මය දනවන්නක් විය හැකිය. තවකෙකුට ඊර්ෂ්‍යා පරවශ බවක් ඇතිවන්නට හැකි ය. එහෙත් "ලොවිනා" ඇසුරු කිරීමෙන් ලියුම්කරු ලද ආශ්වාදය එය යි.

කතුවරයා ලොවීනාගේ කතන්දරය දිගාරින්නට ප්‍රථමයෙන් වීරපරාක්‍රමබාහු රජ පුවතත්, දස්කොන් ප්‍රමිලා පෙම් පුවතත් හරහා විදාරණය කරනු ලබන්නේ කුමක් ද....? බලවන්තයාගේ පරාක්‍රමය (පුරුෂ) සහ ප්‍රේමවන්තයන්ගේ ඛේදජනක ඉරණම යි. ලිපියේ කලින් සඳහන් කළ පරිදි ම රජුට සිතු සිතු පරිදි තමන් සිත් බැඳගත් කාන්තාවන් සිරි යහනට කැඳවා ගනිද්දි බිසවගේ සිත් බැඳි ප්‍රේමවන්තයා මුහුණ පාන ඉරණම කෙතරම් භයානක ද? නුතනයේ ද මෙම සිදුවිම මේ ආකාරයෙන් ම සිදු වු බව ලාංකේය ප්‍රජාවට රහසක් වුවත් විශ්ව ප්‍රජාවට එය රහසක් නොවේ.

දස්කොන්ගේ ක්‍රියාකලාපය ද මෙහි දී විවේචනයට ලක්විය යුතු බව සැබවි. ඔහු කෙතරම් ප්‍රමිලාට ආශක්ත වි සිටියා ද යන්න ප්‍රමිලාගේ කලවයේ පිහිටි උපන් ලපය ඇගේ රුවට සමාන බලි රුපයේ සලකුණු කිරීමෙන් ගම්‍යමාන වේ. එය නුතන ප්‍රේමවන්තයන්ට ද මහඟු ආදර්ශයක් වනු නොඅනුමාන ය.

මනුෂ්‍යයකු ලෙස උපත ලැබුව ද මනුෂ්‍යයාට හිමි සියලු වරප්‍රසාද මතු නොව එම වරප්‍රසාද වැඩි වැඩියෙන් පවා භුක්ති විඳින්නට උරුමකම් ඇත්තේ බලවන්තයාට ම පමණි. පෑගෙන, පොඩිවෙන පන්තියට එකී සැපසම්පත් ස්පර්ශ කිරිමේ වාසනා මහිමය හෝ නොමැති බව ලොවිනා ස්පර්ශ කළ ඉංග්‍රිසි සෙබළාට අත් වූ ඉරණම හුදී ජනයාට පසක් කරනු ලබයි.

ආදරය සහ ලිංගිකත්වය අතර ඇති සමගාමීත්වය මැනවින් පිළිබිඹු කරන්නට ලොවිනා සහ උතියා අතර ඇති පෙම් සබඳතාව කදිම නිදසුනකි. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයාගේ යහනේ දී හැඟීම් විරහිත ව නිද්‍රාශීලි වන ලොවිනා උතියා අබියස දඟකාර කාමලෝලිනියක සේ හැසිරෙන්නේ ආදරය හා මුසු වන ලිංගිකත්වයේ අපුර්වත්වය විදහා පාමිණි. ලිංගිකත්වය යනු තනිව විඳිමට නොහැකි, දෙපාර්ශවයේ ම සහයෝගයෙන් යුතුව විඳිය යුතු සැපතක් බව එහි අරුත යි.

පුන්නා නම් වූ රූපශ්‍රීයෙන් අගතැන්පත් ගොවිගම කුලකාන්තාව පසුකලක පුන්නී නමින් රොඩි කුලයට පිටුවහල් කරන්නේ ද ප්‍රේම කිරිමේ වරදට ලැබු දඬුවමක් ලෙසිනි. වර්තමානයේ මහත් යෙහෙන් වැජඹෙන කුලවන්තයන් පැවත එන්නේ කුමන පරම්පරාවකින් ද යන්න නිශ්චය කිරීමෙහි ලා පවතින ගැටලුව මෙහි දී වඩ වඩාත් ඉස්මතු වේ. සුනේත්‍රා රාජකරුණානායකගේ "කවිකඳුර" කෘතියේ මෙය කදිමට මතුකොට තිබූ අතර එය වර්තමානයෙන් අවසන් කොට තිබිණ. අනතුරුව සරත් විජේසූරියගේ "සුදම් සභාව" කෘතිය හරහා එය අනාගත පරපුර කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න මැනවින් පිළිබිඹු කොට තිබිණ. "ලොවීනා" කෘතියෙහි නිල, බල ඇති වරප්‍රසාදලාභීන් අනෙකාගේ සැපත කෙරෙහි දක්වන්නා වූ නොකැමැත්ත සහ ඊර්ෂ්‍යාව කදිමට මතුකොට දක්වයි. එමෙන් ම තමන්ට ම ජාතක වු දරුවා වුව ද බලවන්තයා ට පාවා දෙන්නට සිදුවීම කෙතරම් ඛේද ජනක ද....?



අපොන්සුවා නියෝජනය කරන්නේ මෙකී ඉරණමට මුහුණ පෑ සහ වත්මනෙහි ද එකී ඉරණමට මුහුණ පාමින් සිටින පරපුර යි. යම් පුරුෂයකුගේ කාමලෝලීත්වයට ගොදුරු වන කාන්තාවගේ මෙන් ම උපදින දරුවාගේ ද අනාගත යහපත උදෙසා කිසිඳු හවුහරණක් අතීතයේ මතු නොව වර්තමානයේ ද නොපවතින බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. අපොන්සුවා ද තම ලෙයින් ජාතක වූ දරුවා අකමැත්තෙන් වුව ද මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා වෙත යොමු කරවන්නේ එහි ඵලයක් ලෙසිනි. ලොවීනා තමාගේ ම දරුවකු බව දැන සිටියේ ඇගේ මව සහ පුන්නී පමණි. එහෙත් සිය හෘද සාක්ෂියට එකඟව කෙසේ නම් සිය ලෙයින් ජාතක වු දරුවා එවැනි කාමලෝලියකුට බිලි දෙන්න ද? ඒ සියල්ල සිදුවන්නේ අපොන්සුවාගේ පැවැත්ම වෙනුවෙනි. වර්තමානයේ ද එවැනි පියවරු මතු නොව මව්වවරු ද අනන්තවත් වෙසෙති.

කාන්තාවන් බොහෝ විට සිතන්නේ බලවන්තයා තමාට සැබවින් ම ප්‍රේම කරන බවයි. එහෙයින් තමාට වඩා වයසින්, කුලයෙන්, ජාතියෙන්, බලයෙන් උසස් පුරුෂයකු ඇසුරු කිරීමේ දී තම ජීවිතයේ අනේක වූ දුක් කම්කටලු සැපතක් සේ ම බුක්ති විඳිති. එහෙත් කිසියම් නිශ්චිත මොහොතක එකී බලවන්තයා තමන්ගේ ජාතියේ, කුලයේ, ආගමේ, පරම්පරාවේ හෝ පවතින සමාජයේ ගොදුරක් බවට පත්වන බව මොහොතකට හෝ නොසිතන්නී ය. බොහෝ විට සැබෑ ආදරය පවතින්නේ ද කාන්තාව තුළ පමණි. වීරපරාක්‍රමබාහු රජු, අපොන්සුවා සහ මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරා ද සැබෑ ප්‍රේමවන්තයෝ හෝ සැබෑ ආදරවන්තයෝ නොවෙති. ඔවුහු හුදෙක් ස්ත්‍රී සිරුරෙහි පහසට ලොල් වූවෝ පමණක් ම වෙති. ලාංකිය ඉතිහාසයේ සැබෑ ප්‍රේමවන්තයකු ලෙස සාලිය කුමාරයා තැබූ සලකුණ අකා මකා දමන්නට මෙතෙක් කිසිවකු අසමත් ව ඇති බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. අතීතයේ මතු නොව වර්තමානයේ ද යථාර්ථය එයයි. ඒ සඳහා සිංහල සාහිත්‍යයෙන් ගෙනහැර දැක්විය හැකි සාක්ෂි බෝහෝ ඇතත් ලිපියට ඇති ඉඩ- කඩ සීමා සහිත බැවින් කරුණාසේන ජයලත්ගේ "ගැහැනු ළමයි" සාහිත්‍ය කෘතිය සහ ගාමිණී ෆොන්සේකාගේ "පරසතු මල්" සිනමා නිර්මාණය පමණක් සිහි කරමි.

පුන්නී, වීරපරාක්‍රමබාහු රජුගේ අණසකට යටත් වන්නේ ඔහු රජු විම නිසා ම ය. පිංචී, අපොන්සු කෙරෙහි බැඳෙන්නේ කිසිඳු බලහත්කාරයකින් තොරව වුව ද පාලක පෙළැන්තිය හා ඔහුගේ තිබු සහ-සබඳතාව එයට රුකුලක් වූයේ ය. එහෙත් ලොවීනා සැබවින් ම ආදරය කළේ උතියාට පමණි. ආණ්ඩුකාවරයාගේ යෝජනාව ඇසු පළමු දිනයේ ම ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ එහෙයිනි. එහෙත් වත්මන් පාලකයන්ට මෙන් ම එදා පාලකයන්ට ද කළ නොහැකිව තිබුණේ ගැහැණියක් පිරිමියෙක් බවට හෝ පිරිමියෙක් ගැහැණියක් බවට පත් කිරිම පමණි. එහෙයින් කෘතියේ සමස්ථය කැටිකොට ගත් විට අවසන් විග්‍රහය තුළින් ගම්‍යමාන වන්නේ පුන්නි, පිංචී, දස්කොන් - ප්‍රමිලා මතු නොව ලොවීනාගේ ද ඉරණම විසඳෙන්නේ ලිංගික වුවමනාව සහ ලිංගික ඊර්ෂ්‍යයාව මත පදනම් ව බවයි.

ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails