Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිරුවත හෝ ලිංගිකත්වය යනු කලාවක්. ලිංගික කෲරත්වය යනු මානසික රෝගී තත්වයක ප්‍රකාශනයක්. කෙසේ වෙතත් නිරුවත හෝ ලිංගිකත්වය භාවිත කලාවට උපයෝගී කර ගැනීමේ දී අපේ වැනි පසුගාමී සමාජයකට එය අරුම පුදුම නොකළයුතු මනා දෙයක් වීම සාමාන්‍ය තත්වයක්. විශේෂයෙන් දෘශ්‍ය කලාවන්ට එය භාවිත කරන විට අපේ සමාජයේ පුහු සුචරිතවාදීන් එය දරා ගැනීමට නොහැකිව සීගිරි අප්සරාවන්ට 'ට්‍රයම්ප්' තනපට අන්දන්න සූදානම් වෙනවා. මේ කුහක ලිංගික මාත්සර්යය අපේ කලා නිර්මාණයන්ට කරන හානිය බරපතලයි. සමහර නිර්මාණ අපට විඳින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් සඟවනවා. මෑත කාලීන් සිනමා නිර්මාණ ගණනාවක්ම ඒ ගිලටීනයට හසුවුනා. අශෝක හඳගම ගේ "අක්ෂරය", විමුක්ති ජයසුන්දර ගේ "සුළඟ එනු පිණිස", සත්‍යජිත් මාඉටිපේ ගේ "බොරදිය පොකුණ" හා සංජීව පුෂ්පකුමාර ගේ "ඉගිලෙන මාලුවෝ" ඒ ජුදාස්ලා ගේ ගොදුරු.

කෙසේ වෙතත් මෑත දිනක මට "ඉගිලෙන මාලුවෝ" නරඹන්නට ලැබුණේ පරිගණක මෘදු පිටපතක් ලෙසින්. එය නැරඹූ විගසින්ම මට ඇතිවූ ගැටලුව වූයේ, මෙය තහනම් කලේ මොන හේතුවක් පදනම් කරගෙනද කියායි. එය ප්‍රේක්ෂකයා ගෙන් වසන් කරන්නට තරම් "වටිනා" හේතුවක් චිත්‍රපටය දෙවන වර නැරඹුවද මට සොයා ගත නොහැකි වුණා. තහනම් කිරීමේ ඊනියා හේතුව වීරෝධාර හමුදාවකගේ චරිත ඝාතනය යැයි පැවසුවද මට දැනෙන දෙයනම් එයට ද සාධාරණ හේතුවක් මෙ චිත්‍රපටය තුල සොයා ගන්නට නොහැකිය යන්නයි.

චිත්‍රපටයේ මුඛ්‍ය චරිත වන්නේ හමුදා සෙබළා හා ඇගේ පෙම්වතිය. හමුදා සෙබළා සමග පවත්වන ලිංගික ඇසුරකින් ඇය ගැබ් ගන්නවා. අනතුරුව හමුදා සෙබලා චිත්‍රපටයේ හාමුදුරුවෝ පවසන ආකාරයට ස්ථාන මාරුවකින් පලා යන්නේලු. ඉන් කිපෙන තරුණිය හමුදා සෙබළා රවටා ඔහුගේ අංගජාතය කපා දමනවා. මෙය චිත්‍රපටයේ දිවෙන එක කතාවක්. අනෙක් කතාව, මවක් සොර සැමියෙක් සමග ලිංගික ඇසුරක් පවත්වනවා දකින ඇගේ වැඩිමහල් පුතා ඇයව ඝාතනය කරනවා. මේ අතර LTTE සංවිධානයට කප්පම් ගෙවීමට නොහැකිවන දෙමළ පුද්ගලයෙක් LTTEය විසින් ඝාතනය කරනවා. ඉහත කී තරුණිය හමුදා සෙබළා සමග එළිමහනේ ලිංගිකව එකවන බව දකින තරුණියගේ පියා යැයි සැක සිතිය වයස්ගත තැනැත්තෙක් තුවක්කුවක් රැගෙන හමුදා බංකරයකදි වෙඩි තබාගෙන සිය දිවි නසා ගන්නවා. මෙවැනි සිදුවීම කිහිපයක සංස්කරණීය එකතුවක් තමයි මේ චිත්‍රපටය.

සංජීව මේ කියන්නට උත්සාගන්නේ කුමක්ද? යුද සමයක සිදුවිය හැකියැයි ඔහුගේ කාල්පනික ලෝකය තුල ගොඩනැගුණු ෆැන්ටසිමය සිතුවිලි ධාරාවන් කිහිපයක් ද? නැතිනම් කන්තලේ තඹලගමුවේ උපන් සංජීව පුෂ්පකුමාර සිය ජීවිතය තුල අත්දුටු ඇත්ත ජීවිතයද? නැතිනම් ඔහු තුල උපන් යුධ විරෝධය බාලාංශ මට්ටමෙන් ප්‍රකාශ කිරීමක් ද? නැතිනම් බටහිර රටකට පදිංචි වීම සඳහා දේශපාලනික අනාථයකු බවට පත්වීමට ගන්නා උත්සාහයක් ද?



මේ චිත්‍රපටය තුල මා දකින්නේ ඉතා ආධුනික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ දුබල උත්සාහයන් කිහිපයකි. ඔහු කොරියාවේ චිත්‍රපටකරණය හදාරන නිසා අඩුම තරමින් ඒ ඉගෙන ගත් දේ වලින් බිඳක් හෝ මෙයට ඇතුලත් වී ඇතැයි අපි බලාපොරොත්තු වුනා. නමුත් එවැන්නක් අහල මානයකවත් දකින්නට නෑ. මේ චිත්‍රපටය පුරා ඇති පැනුම් කැපුම් (Jump Cut) ගණනාව ඊට උදාහරණ සපයනවා. සමහර චිත්‍රපට රාමු ඔහුට කැමරාව ස්ථානගත කරගැනීමට පහසු ආකාරයෙන් ගොඩ නගා තිබෙනවා. හමුදා සෙබලා තරුණිය සමග ලිංගිකව එකවන ස්ථානය. මොන තරම් ලිංගික හදිසිකාරයෙකු වුවත් බිඳ වැටුණු ගොඩනැගිල්ලේ කාටත් පෙනෙන කෝණයක සිය ලිංගික කාර්ය සිදුකරන්නේ නෑ නොපෙනෙන මුල්ලකට යනවා විනා. සංජීවට අවශ්‍ය වූයේ ඒ කර්තව්‍ය අපට පෙන්නීමට නම් එයද එතරම් සාර්ථක වී නැත්තේ එය මැදි දුර රූපයකට පමණක් සීමා කිරීම නිසා.

යුද්දයෙන් පරිපීඩිත ජනතාවක් පෙලන්නේ හුදෙක් ලිංගික පීඩනය පමණද? ආර්ථික පීඩනය හා දේශපාලන පීඩනය ඊට වඩා ප්‍රමුඛ වන්නේ නැත්ද? ආරක්ෂාව පිළිබඳ පීඩනයකින් ඔවුන් පෙලුනේ නැතිද? මානවායාගේ මූලිකම අවශ්‍යතාවන් වන්නේ ආහාර, ආරක්ෂාව හා ලිංගික උවමනාව වුනත් යුධ පීඩනයකදී ආහාර හා ආරක්ෂාව වඩාත් ප්‍රමුඛ ජීවිත අවශ්‍යතාවන් බවට පත්වෙන බව අමුතුවෙන් කිව යුතු නෑ.

චිත්‍රපටයේ කටුක බව රඳවාගන්නට කපුටන්, වාහනයකට හසුවූ බලුකුණ, මාලුන් ගලකින් තැලීම බලහත්කාරයෙන් යොදා ගත්ත ද එය එවැනි අරුතකට වඩා දනවන්නේ බීභත්ස්‍ය රසයක්. සංකේතාර්ථයෙන් පිරිපුන් අවස්ථා දෙකක් මේ චිත්‍රපටයේ මගේ මතකයේ රැඳුනා. ඒ මව තම අනියම් සැමියා සමග නටබුන් ගොඩනැගිල්ලක ලිංගිකව එක් වීමෙන් පසු ඇය අනියම් සැමියාගේ හිසෙහි නර කෙසක් ගලවා දමන අවස්ථාව සහ චිත්‍රපටයේ අවසාන දර්ශනයේ දී හමුදා සෙබලාගේ අංගජාතය කපාහෙලන ගැබ්ගත් තරුණිය හා සිය මව ඝාතනය කර පලායන තරුණයා රැගත් බස් රථය රියදුරෙකුගෙන් තොරව බොරළු මාර්ගය ඔස්සේ ධාවනය වීම පමණයි.

කෙසේ වෙතත් මෙම තහනම් කිරීමෙන් සිදුවී ඇත්තේ එයට අනවශ්‍ය වටිනාකමක් එක්වී සංජීව පුෂ්පකුමාර අධිතක්සේරුවට පත්වීම පමණයි. ඒ ඇරෙන්න්නට දුර්වල චිත්‍රපටයක් යනු කුමක්දැයි නරඹා හඳුනා ගැනීමට තිබූ කදිම අවස්ථාවක් මේ තහනම නිසා ප්‍රේක්ෂකයාට අහිමි වෙනවා.

අවසාන වශයෙන් කිවයුත්තේ ඉගිලෙන මාලුවන්ට ගොඩ පිහිනීම සඳහා පියාපත් සවි නොකර සිටීම අපගේ සමාජ වගකීමක් බවයි. එම සමාජ වගකීම ඉටුනොවුනහොත් පියාඹන මාලුන් පියාමැස්සන් බවට පත්වීම අනාගතය තුල සිද්ධවෙනු අපට ජීවමානවම දැක ගත හැකිවේවි.

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails