Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තද පෑවිල්ලෙන් ඉහිරෙන, වියළි සුළං සරයෙන් පැතිර යන දූවිල්ල, විටෙක ගහකොළ නිල්ල අළුපාටින් තවරයි. එවිට එහි ඇත්තේ මළානික බවකි. එහෙත් උන් හිටි ගමන් ඇද හැළෙන වැහි ගෙනෙන්නේ ගිනිරස්නය නිවාලන සිහිලැල්ලකි. ඒ අලුත් වැස්ස, යළි ගහකොළ නිල්ල වඩවා ඇස තවරන සැනසිල්ල කෙතරම් ද? අප බලා ඉන්නේ එවන් වැහි වැටෙන කාල නැවත නැවතත් එනතුරු ය. 'මීළඟ මීවිත' පුරන්නට, එවිට අපට හැකි ය.

මීවිත ට රොද බදින්නෝ, රසය සොයන්නෝ ය. යමෙක් රසභාව නංවන කාව්‍ය රසය විඳිත් නම්, ඔවූහු පෙදෙහි රසහව් හඳුනන්නෝ ය. රුවන් නම් මාණික්‍ය ය. මාණික්‍යය ඉතා වටින්නේ ය. මිනිසා නිතැතින්ම මිණිකැට දකින්නට ද, අයිති කරගන්නට ද මනාප ය. කවියට පෙම් බඳින්නන්, මිණි කැට වන් කවි සොයා ඇදෙයි. ජීවය ද, සෞන්දර්යය ද කවියකට ආබරණ ය. එවන් අබරණ කුඩා වුව ද උස් තැන් හි ද දිලිහෙනු ඇත. කෙනෙකු සොයන්නේ එවන් මිණි කැට ය. ඒවා සමාජය තුළ ඔප දැමී, සැබෑවින් ම අගනා කවක් වී වැඩෙයි නම්, කවුරුන් වුව ද එතැන නතර වනු ඇත. කෙනකු, තමන් ළඟ නතර කර ගැනීමට කවියකට ඇති ශක්තිය එවැනි ය.

'මීළඟ මීවිත', රුවන් බන්දුජීව ගේ දෙවන කාව්‍ය සංග්‍රහය යි.

ඉස්සරහ වංගුවක කන්දේ
පස් කඩන් වැටිලාලු නන්දේ
ළඟට ආවම මං කියන්නම්
ඔයා එළවන් යන්න නන්දේ

රෑට මොනවද කෑවෙ නන්දේ
පුතා මොනවද ඊයෙ ඇන්දේ
කොණ්ඩෙ තනියෙන් ගොතා ගන්නට
දූට දැන් පුළුවන්ද නන්දේ

කඳුළු පිරි කඳු වළලු මැද්දේ
අර පෙනෙන බෑවුමේ ලන්දේ
සිනාසෙන්නට තවම පුළුවන්
එක තැනක් තියෙනවා නන්දේ

ඇහෙනවද ඒ සිනා සද්දේ............ ?


"ඇහෙනවද ඒ සිනා සද්දේ............ ?" යැයි ඔහු ඇසුව ද, අපට ඉන් ඇසෙන්නේ වැලපීමකි. ඉකිබිඳුමකි. "බසයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් රියදුරු ඇතුළු 8 ක් මරුට. 29 කට බරපතල තුවාල" යැයි පුවතක් පාදක කරගත් රුවන් ගේ ප්‍රකාශනය තුළ ගැබ්ව ඇත්තේ එකී ස්වාමියා ගේ මානසික ලතැවුල යි. එහෙත් බස් රථ රියදුරකු යනු විශාල වගකීමක් ඇති පුද්ගලයෙකු බැවින්, කෙතරම් පෞද්ගලික දුක් කරදර ඉසිලුව ද එය රාජකාරියට අදාළ නොවේ යැයි කෙනකු චෝදනා කරන්නට ද ඉඩ ඇත. ඔහු බස් රථය ධාවනය කරනුයේ ඊට අවධානයෙන් නොව, තෙමසකට පෙර මියගිය සිය බිරිඳ කෙරෙහි වූ සිතුවිළි ධාරාවක එල්බී ගෙන ය. ඒ අත්වැරැද්දේ බරපතලකම සහ වගකීම පැහැර හැරීම පිළිබඳව, කෙනකුට පැනයක් ඇති වීමට හොඳටම ඉඩකඩ තිබෙයි. එහෙත් රුවන් මෙහිදී ඒ රියදුරු වෙනුවෙන් පෙනී සිටියි.

ප්‍රේමවන්තයින් බොහෝ විට වැව් ඉවුරු අසල හිඳින්නට කැමති ය. එවන් වෙලාවක, ඔවුන් අතැති ගල් කැටයක්, මල් පෙත්තක් හෝ පොරි අහුරක් වුව ද වැවට විසි කර දමයි. එහෙත් පසුකලෙක තනි වූ පෙම්වතකු එතැනටම ඇවිදින්, යළි තමන්ගේ අතීතය වෙත ඇවිද යන්නට ඉඩ ඇත. එවන් පෙම්වතකු ට මෙසේ සිතෙන්නට බැරි ද?

වැව, නුඹ
වෙරි විය යුතුය
අද

ඉක්බිති
කතා කළ හැක
අපට

- පොරි අහුරක්-

'පොරි අහුරක්' තුළින් ඔහු ට, වැව හා කතා කරන්නට වුවමනා වී ඇත්තේ ඈ ගැන ය. ඒ සඳහා ජින් බෝතල දෙකහමාරක් ඔහු වැවට පොවයි. බෝතල තුනෙන් ඉතිරි බාගය ඔහුට ය. දැන් ඉතිං දෙදෙනාට දොඩමලු විය හැකි ය. එය සුන්දර හැන්දෑවක දුක මුසු අතීතාවර්ජනයකැ යි මම රූප ඡායා මවා ගනිමි. එහෙත් මේනකා ඊට වෙනස් ය. මීළඟ මීවිතෙහි එන, 'මේනකා' පාඨකයින් සසල කර දැමූයේ මීට ටික කලකට පෙර ය. එපමණක් නොව ඇය ඔබව වර්ෂ 1864 දක්වා ආපස්සට රැගෙන යන්නට සමත් වන්නී ය. එපමණක් ද, ඒ සමඟ ඈ අප බෝගම්බරට ද රැගෙන යයි. 'මේනකා' යනු උතුවන් කන්ද වැටලීමේ සටන හා සම්බන්ධ 'සරදියෙල්' ගේ ගජමිතුරු, මම්මලේ මරික්කාර් ගේ සොයුරිය යි. ඇය හා ඔහු පෙමින් බැඳී සිටියේ යැයි කියැ වේ. එල්ලා මරා දමන්නට නියම වූ සරදියෙල් ට මේනකා ගැන මෙසේ සිහිවන්නට ඇත.

'තුංග උතුවන් කන්ද පාමුල
කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බන්
ඉකිබිඳින හඬ මේනකා... '

- මේනකා-

උතුවන් කන්දේ සූර සරදියෙල් පිළිබඳ පුරාවෘත කෙසේ වුව ද, රුවන් අපට ගෙන එන 'මේනකා'ට අනුව, ඔහු අප්‍රමාණ වූ ප්‍රේමයක් හිතේ දරා ගත්තකු විනා වෙන කිසිවකු නොවේ. සරදියෙල් පිළිබඳ අලුතින් හිතන්නට ද මෙ කව ඉවහල් විය හැකිය. 'මීළඟ මීවිත', පාඨකයින්ගේ "හදවත" සමඟ කෙරෙන ගනුදෙනුවකැයි අපට දැනෙන්නේ මෙවන් නිර්මාණ නිසාවෙනි. මෙහි බොහෝ කවි කෙටි ය. එහෙත් ඉන් ගම්‍ය වන දෑ බොහෝ ය. රුවන්, දිගු කතන්දර කෙටි කර කීමෙහි දක්ෂ ය. ඔහු ට ඇසෙන, පෙනෙන දේ ඔස්සේ පුපුරා යන ඔහුගේ සිතුවිළි, ඔහු ට රිසි දේ ලඝු කරයි. කපුටන් ට පවා උත්තර නැති ප්‍රශ්න තියෙන්නට පුළුවන් බව ඔහු අපට පෙන්නා දෙයි. ඒවායෙහි යටිපෙළ කියවා ගැනීමේ දී, ඇති බුහුටි බවත්, ගැඹුරු බවත් වටහා ගැනීම පාඨකයා සතු ය. 'මීළඟ මීවිත' ගණනය කර ගත්තෝතින්, අපට අනාගත කාව්‍ය පරම්පරාවේ පුරුකක් පුරුද්දා ගන්නට හැකි වනු නිසැක ය.

අම්මා ඉදලත් තුඩින් අරගෙන පාන්දර කූඩුවෙන් ඉගිලෙයි
මල් උයන් - ලොකු මිදුල් - මංපෙත් ඉදල් පහරින් මෙල්ල කර එයි
කොතෙක් කෙරුවත් නරුම තුරු පත් පුරුදු විදිහට හෙටත් ගිලිහෙයි
අම්මෙ අපිටත් පුංචි මිදුලක් තියෙන තැනකට නොයන්නේ ඇයි?

- කපුටන් ට කෝ උත්තර? -

"කපුටන් ට කෝ උත්තර?" කපුටු අම්මලා, කපුටු දරුවන්ගේ බඩකට පුරවන්නට විඳින දුක කෙතරම් දැයි දරුවන් දන්නේ නැත. දරුවන් ට ඇත්තේ අනෙක් සියලු දරුවන් ට ඇති ආශාවන් ය. වුවමනාවන් ය. තමන්ගේ ගෙමිදුලක සෙල්ලමේ වැටෙන්නට දරුවන් ට ඇති ආශාව කිසිවිටෙක වෙනසක් වන්නේ නැත. එහෙත් සමාජය තැනිතලා බිමක් නොවේ. එහි උස් තැන් පරයා ඇත්තේ මිටි තැන් ය. දරිද්‍රතාවයෙන් පෙළෙන දරුපවුල් මොනතරම් දුක් උහුලනවා දැයි රුවන් අපට කියන්නේ කපුටු පැටවුන් ගේ සිතුවිළි ඔස්සේ ය.

මේ දැනුත් පිටකොටුවෙ - ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ
පිපිරෙමින් ඇති කපුටු බිත්තර
පැටව් එළියට ආවම - උන් අහන පැනවලට
කපුටන්ට කෝ උත්තර ?


කපුටු පැටවුන් බිහිවන්නේ මොනතරම් කෲර සමාජ ක්‍රමයක් නිසාදැයි, රුවන්, මේ උත්තර නැති ප්‍රශ්න අසා සමාජය හිරිවට්ටා දමයි. යහපත් සමාජයක දී, කාටත් එක සේ සැළකෙන සමාජ සුබසාධන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙයි. අවම වශයෙන් මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවන් ඉටු කරගැනීමට හැකියාවක් තිබිය යුතු වෙයි. කපුටු දරුවන් ප්‍රශ්න කරන්නේ එයයි.

තවත් එක පඹයෙක් හදන්නට
ගිහින් එක්කහු වෙනව වෙනුවට
උපන් කමතට පොහොර වෙන එක
සැපකි - සතුටකි පිදුරු ගසකට

- සැපකි - සතුටකි-

මෙ කව බැඳෙන්නේ එ පද පේළි හතරෙනි. එහෙත් එහි ඇත්තේ වර්තමාන සමාජයේ පැතිකඩකි. කලින් කීවාක් මෙන් රුවන් සිතුවිළි ලඝු කරන්නට දක්ෂයෙකි. කලින් කලට විවිධාකාර රැළි නැඟෙයි. බොහෝ උන් ඒ රැළි වලට ගසාගෙන යයි. එකකු දෙන්නකු ඉන් බේරී, හුස්ම අල්ලා ඉඳිත්. එහෙත් අනවරතයෙන් රැළි නඟී. ඉතිරි උන්ගෙන් පවා කොටසක් රැල්ලකට යට වී, වැනසී යයි. නැතහොත් වෙනතකට ගසා ගෙන යයි. අර්ථශුන්‍ය යමකට පැටලී පඹයෙක් වනවාට වඩා, කිසිවක් නොකර වුව, උපන් බිමට පොහොර වීම අගේ යැයි ඔහු විශ්වාස කරයි. එය ඔහු ගේ සතුට සේ සළකයි.

එදා, සිදුහත් කුමරු දැක් වූ ශිල්පය ද, අතීත වර්තමාන රාජකුමාරවරු දක්වන ශිල්පය ද පරදවා, වර්තමාන "සාමාන්‍ය තාරුණයා", ශිල්පය හා ම හරඹ කරයි. උසස් අධ්‍යාපනය පසෙක ලා, නැඟෙන රැකියා අර්බුදය සමාජ සංවාදයට එක් කරනු පිණිස රුවන් මෙසේ ශිල්ප දක්වයි. දෑතේ වැඩ ඉගෙනීම වඩා යෙහෙකැයි සිතා අධ්‍යාපනය අතැර ගිය පිරිස ඕනෑතරම් අප සමාජයේ සිටිති. එහෙත් ප්‍රේම සම්බන්ධතා හෝ විවාහයේ දී එයම බාධාවක් වන අවස්ථා ද වෙයි.

ස්ප්‍රේ ගන් එකක් පිරෙන්නම
වර්ණ මූනිස්සම් බහාලමි
ලොරි බොඩිය වෙත ඉලක්කය ගෙන
දිගට හරහට වෙඩි තියන්නෙමි
සොඳුර ටින්කරින් ශිල්පය නම් මෙයය

සොඳුර
ගොසින් එන්නට කියව
තිගේ නෑදෑ පිරිසට
ශිල්ප දක්වමි මම මෙතැන් සිට ..

- ශිල්ප දැක්වීම-

කෙනකුට, මියගිය තම ප්‍රේමයේ සොඳුරු තැන් ද, හිත පාරවන තැන් ද විටින් විට යළි සිහි විය හැකි ය. එහි සුන්දර දෑ සිහි කිරීමෙන් කෙනකුට යළි යළිත් ආශ්වාදයක් ලබා ගත හැකි වුව ද, එතරම්ම හිත පාරවා ගැනීමට ද හැකි ය. අහසෙහි වළාකුළු ද, පුරහඳ ද, පොළොවෙහි හෙන්දිරික්කා මල් තිබූ තැන් ද, එ මල් පෙති මත්තේ පිනිකැට ද මනාව තවරා සුදු කඩදාසියක මත සිතුවමක් නඟන්නට පෙම්වතකුට බැරි වන්නට පුළුවනි ද? එහෙත් ඒ පුරහඳ යටට වී ඔවුන් සිටියේ කොතනදැයි ඔහු, ඇගෙන් අසන්නේ තවමත් හිතේ පැළපදියම්ව ඇති ආදරය නිසාවෙනි. "ඇඳලා දෙනවද මතක හැටියට" යැයි ඔහු ඇගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

පාට කූරක් අරන් ඇවිදින්
මෙන්න මේ කඩදාසියේ මැද
ඇඳලා දෙනවද මතක හැටියට
හිටපු හැටි අපි දෙන්නා සඳ යට ....

- ඇඳලා දෙනවද මතක හැටියට-

ආගම ධර්මය පෙරදැරි කරගෙන තමන්ගේ විමුක්තිය සොයා යන්නන්, අපට ඕනෑ තරම් දැක ගත හැකි ය. එහෙත් තවත් කෙනකු, තමන්ගේ විමුක්තිය සොයා යනු වෙනුවට, ලෝකයට යහපතක් සළසන උන් සොයා ගොස් ඔවුනට අත්වැලක් වන්නට කැමතිය. ඔවුන් වෙනුවෙන් කැපවීම වඩා යහපත් බව ඔවුන් සිතයි. සමනලුන් සිරීපාද වන්දනාවේ ගොස් අත්තටු බිඳ ගෙන මිය යයි. එහෙත් දූරදර්ශී සමහරක් ඒ බව දුර තියා වටහා ගනිති. ජීවිත කාලයක් අත්දැකීම් ලැබූ, පරිණත බුද්ධියෙන් යුතු අයෙකුට ඉදිරියේදී සිදු විය හැකි සමාජ ව්‍යසනයන් ද, ඒවායෙන් පීඩනයට පත් වන ජනතාව බේරා ගත යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ද වෙයි. එබැවින් ඔවූහූ, යහපත් ආකල්පයෙන් සහ ක්‍රියාවෙන් යුතු ආදරණීය මිනිසුන් ආරක්ෂා කරගනු පිණිස නුදුරින් ඇති උවදුරු පිළිබඳ ව දැනුවත් කරති. ඒ ගැන කියා දෙති. "ඉන්නවා සමනල්ලු", ඒ ඔවුන් ය.

ඉන්නවා සමනල්ලු
සිරීපාදේ යන්න අකැමැති
කලින් ගිය නඩ දැන් කොහේදැයි ?
හඬ නගා උන් විමසති

වන්දනාවේ නොයන මුත් උන්
දළඹු පරපුර සොයාගෙන ගොස්
කෝෂ ළඟ රැකවල් ලති

- ඉන්නවා සමනල්ලු-

රුවන්ගේ කවි බොහොමයක් ස්වභාව සෞන්දර්යය හා බැඳුණු ඒවා ය. තමාට ස්වභාව ධර්මයා විසින් සපයා දී ඇති සොඳුරු දෑ, ඔහු කාව්‍ය අනුභූතිය තුළට රිංගවා ඊට අමුතු රිද්මයක් එකතු කරයි. මතුපිටින් පෙනෙන අදහස අභිබවා ඊට යටි අරුත් පුරවා, එය යථාර්ථයක් කර අපට තිළිණ කරයි. විටෙක ඒවායෙහි සාම්‍යයක් ද, විටෙක විස්සෝපයක් ද, නැතහොත් තවත් විටෙක සමාජ අකටයුතුකම් පිළිබඳ ප්‍රශ්න කිරීමක් ද වෙයි. කවියක අර්ථය සහ රිද්මය හැර වෙන කිසිවක් ඔහු මායිම් කරන්නේ නැත. එළිවැට, එළිසමය හෝ වෙනත් කිසිවක් නොතකා රිසි සේ, නිදහසේ ඔහුට අවැසි දේ කියයි. නිදහස් කවි ආර යනු ද එයයි.

රුවන් ගේ සමහර කවි, විටෙක තව කෙනකු ද පාදක කරගන්නා තේමාවන් ඔස්සේ පැමිණිය ද, රුවන් ඉන් ප්‍රකාශ කරන්නේ එහි ප්‍රතිලෝමය යි. 'ඇහෙනවද ඒ සිනා සද්දේ' වුව ද එවැන්නකි. බොහෝ දෙනකු එහි දකින්නේ රියදුරු අතින් වූ වරද යි. එහෙත් රුවන් කල්පනා කරන්නේ රියදුරු ට එසේ වන්නට හේතුව කුමක් ද යන්නයි. එවැනි නිර්මාණ කිහිපයක් ම මෙම කාව්‍ය සංග්‍රහයෙහි අඩංගු වේ. 'වියළි නැළවිළි' ද එවැන්නකි. 'සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද? ', 'බෞද්ධාලෝක මාවතේ අවුකන අනුරුව', 'මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි.. ', 'සමුද්‍රා, මම වීදිය', 'අන්දරේ නැවතෙයි තිගැස්සී' වැනි නිර්මාණ තුළින් සදය උපහාසය ද, උත්ප්‍රාසය ද කැටි කරයි. සංවාදය පිණිස සමාජයීය ප්‍රශ්න සමාජයට ම ඔහු මුදා හරී. රුවන් යනු කවියේ 'මීළඟ මීවිත' කැයි ඔහු අපට තීව්‍ර කර ඇති ප්‍රබල කාව්‍ය නිර්මාණ කිහිපයක් ම මෙහි වේ. එහි, ඔහුගේ ප්‍රතිභාව මොනවට පෙන්වන නිර්මාණය වන්නේ 'කුණ්ඩල කේසී' ය. කුණ්ඩල කේසී යනු "මීවිතෙහි" අග්‍රඵලය යි. ඕනෑම නිර්මාණකරුවකුගේ හදවත ඉතා දරුණු පුපුරා යාමකින් පසුව වඩා හොඳ නිර්මාණයක් බිහි කරයි. වෙනත් නිර්මාණ හා සාපේක්ෂව බලන කල්හි එසේ වීමේ සම්භාවිතාව වැඩිවන්නේ එවැනි ප්‍රකම්පනයකින් බිහි වන නිර්මාණයන්හි ය.

මත්පැන් නිසා සිදුවන සමාජ ව්‍යසනය අතිමහත් ය. තම පියා විසින් දියණිය දූෂණය කිරීම ද, සහෝදරයා විසින් සහෝදරිය දූෂණය කිරීම ද, ගුරුවරු ශිෂ්‍යාවන් දූෂණය කිරීම ද, බාල මහලු භේදයක් නැතිව කාන්තාවන් සහ දැරියන් දූෂණය කිරීම දිනපතා අපට අසන්නට ලැබෙන ශෝචනීයම පුවත් ය. මෙතරම්ම සමාජය වල් වැදුණේ කෙලෙසකදැයි කිසිවකු හට තේරුම් ගත නොහැක්කකි. කුටුම්භය තුළ පවතින ප්‍රචණ්ඩකාරී බව, සමාජය තුළ දිනෙන් දින සිදුවන අපරාධ වල අඩුවීමක් අසන්නට ලැබෙන්නේ නැත. එකිනෙකා දෙස ගෞරවයෙන්, ආදරයෙන් සහ විශ්වාසයෙන් බලන්නට පුළුවන් සමාජයක් දැන් අපට නැත. එවන් වූ, පියා දියණිය නොහඳුනන සමාජයක කුණ්ඩල කේසී වැනි කාන්තාවන් බිහි වීම වැළැක්විය හැක්කක් නොවේ. පැරණි ජාතක කථාවෙහි එන 'කුණ්ඩල කේසී' වනුයේ භද්දා නම් කුමරිය යි. ඈ සත්තුක නම් සොර දෙටුවකු දැක පෙම්වත්ව, ඔහු හා සරණ යයි. ඔහු සිටුකුමරියගේ රත්‍රං අබරණ දැක ලොබ බැඳ ඈ මරා දමන්නට ගන්නා උත්සාහයේදී ඈ ඒ බව දැන, අනතුරුව සත්තුක හෙල ට තල්ලු කර දමයි. අවසන, ඈ යළි එන ගමනෙහි දී ආරාමයක් දැක එහිදී පැවදි වී, පසුව රහත් බවට ද පත් වන්නී ය. එහෙත් නූතන කුණ්ඩල කේසී සටන් වදිනුයේ තම කුසින් වැදූ දියණිය බේරා ගැනීම සඳහා ය. එහි ඇත්තේ, පියකු විසින් තම දියණිය දූෂණය කිරීමේ ශෝචනීය කතාන්දරය යි. රුවන්, මනා සංයමයකින් යුතුව නූතන කුණ්ඩල කේසී නිධාන කථාව ඉදිරිපත් කරයි. එම නිර්මාණයෙහි ඇති පද පේළි කිහිපය ඔස්සේ, එය යමකුට සිනමා පටයක් සේ දකිත හැකි ය. තවත් කෙනකුට නවකතාවක් සේ කියවිය හැකි ය. කෙසේ වුව ද, ඉන් ඔබේ සිත පාරවා, රිදවා ගැනීමට ඔබට සිදු වෙයි. සිතෙහි ඇති වන්නේ දැඩි පිළිකුළකි. තරහවකි. එහෙත්, ඒ පිළිබඳ ව සමාජය තුළ කතිකාවක් ගොඩ නැංවීම සඳහාත්, මෙවන් ව්‍යසනයන් වළක්වාලීම සඳහාත් අප දැඩි අවධානයක් යොමු කළ යුතු ය. වඩාත් ඵලදායී ක්‍රමය වනුයේ තම නිවස තුළ ම මෙවැනි දෑ සංවාදයට ලක් කිරීම ය. තම මිතුරු සමාගම සමඟ සංවාදයේ යෙදීම ය.

සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක
මොනව කළත් මේ වෙනකම් ඉවසපු දේවී
"එපා තාත්තේ " කිය කිය - දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී

සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී .....

- කුණ්ඩල කේසී-

​රුවන් බන්දුජීව ගේ ​ ​'මීළඟ මීවිත' නම් මෙය යි.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails