Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බදු සහ ණය මේ දිනවල ප්‍රමුඛතම මාතෘකාවක් වී ඇත්තේ, අයවැය තුලින් ඉහල දැමූ බදු පිළිබඳ සහ දිනෙන් දින ඉහල යන රටේ ණයගැතිභාවය පිළිබඳ සමාජයේ සියළුම ස්ථර දැනුවත්වෙමින් සිටිනා බැවිනි. රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනා සහන 'බාලගිරි දෝෂය'ට හසුව දිනෙන් දින කල්යාම හේතුවෙන් තවදුරටත් බලාපොරොත්තු සහිතව සිටීමෙන් ප්‍රතිඵලයක් නොවන බව ලාංකිකයන් තේරුම්ගෙන ඇත. අති ප්‍රබල පාර්ලිමේන්තු සහ විධායක බලයකින් සන්නද්ධ රජයක් දිනෙන් දිනම ආර්ථික අගාධයේ අඩියෙන් අඩිය පහළටම යන්නේ කුමක් නිසාවෙන්ද යන්න පිළිබඳ දෙවරක් නොව කීපවරක්ම සිතිය යුතු නොවේද?

ප්‍රධාන වශයෙන්ම මේ රජයට ආර්ථිකය පිළිබඳ සෘජු මෙන්ම ස්ථිරසාර ප්‍රතිපත්තියක් නොමැතිබව කිව යුතුය. ආර්ථික න්‍යායන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති ජාත්‍යන්තරව පවා ඇගයීමට ලක්වන වියතුන් මෙරට තුළ සිටියත් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගැනීමට රජයට අවශ්‍යතාවක් නැත. රටේ ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ සිට ඒවා ක්‍රියාත්මකකර ප්‍රතිඵල මැනීම දක්වාම යොදවා තිබෙන්නේ රට ආර්ථික අර්බුදයකට පත්වීමෙන් ගලවා ගතහැකි පිරිසක් ද යන්න සැක සහිතය. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රබල රටවල් බැටකෑ ආර්ථික අර්බුදයන් (ග්‍රීසිය, සයිප්‍රසය, ඇමරිකාව වැනි රටවල්) අවස්ථාවලදී ලංකාවේ ආර්ථිකය කඩා නොවැටුණේ රටේ ආර්ථික විශ්ලේෂකයන්ගේ සහ බලධාරීන්ගේ දක්ෂතාව නිසා යනුවෙන් උදම් අනනවානම් එවැනි පාර්ශවයන්ට කිව යුත්තේ මෙරට ආර්ථිකය අර්බුද අවස්ථාවල ආරක්ෂාවුනේ මෙරට මහජනතාවගේ පරිභෝජන රටාවේ ඇති "කෑම වෙනුවට ලෙවකෑම" ප්‍රතිපදාව නිසාවෙන් මිස අන්කවර ‍දක්ෂතාවක් නිසාවත් නොවන බවයි.

මෙවර අයවැයෙන් ද බදු සහ අනෙකුත් අයකිරීම් හේතුවෙන් වැඩි වූ වියදම් නිසාවෙන් පුද්ගලයෙක්ගේ මාසික වියදමේ වර්ධනයට සාපේක්ෂව ආදායම වර්ධනයවී නැතිබව පැහැදිලිවම පෙනී යන්නකි. වරක් රජයේ සේවකයන්ගේ පඩි වැඩකරන ලෙස වෘත්තීය සමිති රජයට බලකර සිටි අවස්ථාවක රජය කියා සිටියේ පඩි වැඩකරන්නට නම් රටේ සංවර්ධන ව්‍යාපෘති නතරකර යුතු බවයි. එවිට රාජ්‍ය සේවකයන් නිහඬ විය. දැන් ඇසිය යුතු කාරණයක් ඇත; එනම් ර‍ටේ අමාත්‍ය මණ්ඩලය ලෝකයේ ලොකුම අමාත්‍ය මණ්ඩලය බවට පත්වන විට, රජයෙන් පහසුකම් සපයන්නාවූ හිතවතුන්ට කිසිඳු අඩුවක් නොකරන විට, සංදර්ශණ කිසිවක් අඩුනොවන විට ඒවායින් රටේ සංවර්ධනයට බාධාවක් ‍නොවේද යන්නයි. මෙම බරපතල ප්‍රශ්නයක් වන්නේ අදට වඩා හෙටටය. බදුබරින් පීඩිත ව්‍යාපාරික ප්‍රජාවක් සහ සාමාන්‍ය මහජනතාව අතර පැන නැගී ඇති මානසික අසහනය තුල යුධ සමයටත් වඩා දරුණු මානසික ගැටළුවකට ඉදිරියේදී රට පත්විය හැක.


[Awantha Artigala]

සෘජු හා වක්‍ර බදු තුලින් රජය සැබෑ ලෙසම කරන්නේ කුමක්ද කියා දැනගැනීමට බදු ගෙවන්නන් කැමැත්තෙන් පසුවෙති. උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයෙක් විසින් රජයට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂයක්නම් එම ලක්ෂය රජය යොදාගන්නේ කුමකටද යන්න පිළිබඳ විනිවිදභාවයකින් යුතුව දැනගන්නට අදාල ව්‍යාපාරිකයා හෝ පුද්ගලයාට හිමිකමක් ඇත. එසේ විනිවිදභාවයකින් යුතුව කටයුතුකරනවානම් ගිණුම්ගතභාවයකින් යුතුව කටයුතු කරනවානම් බදු නැමියාවේ වර්ධනයක් ද බලාපොරොත්තුවිය හැක. නමුත් ලංකාව තුල එය සිදුවන්නේ අනිත් පැත්තටය...!

ඊළගට කතාකල යුත්තේ ලංකාවේ ණයගැතිභාවය සහ ණයබර පිළිබඳවය. අප අවශ්‍ය දෙයට මෙන්ම ඊටත් වඩා අනවශ්‍ය දෙය වෙනුවෙන් අප ණයවී ඇත. අපි බඩට නොකා සංදර්ශණ, සැණකෙළි පවත්වා පලක් නැත. ලෝකෙට පරකාසය වන රාජ්‍යයක අනාගතය පිළිබඳ අවිනිශ්චිත බියක් මෙරට සුළුතරයක් හෝ ඇතිකරගැනීම සාධාරණය. චීනය වැනි රටවලට අප විශාල ප්‍රමාණයකින් ණයවීම තුල ඉදිරියේදී ඒවායේ ආර්ථික ආධිපත්‍යයට නතුවීමට සිදුවීම වැලැක්විය නොහැකිය. බටහිර රටවල සංවර්ධන ව්‍යාපෘති සහ මානව සම්පත් යෙදවීමට සාපේක්ෂව චීනයේ ව්‍යාපෘති සඳහා පිරිවැය අඩු බවත්, කාලය අඩු බවත්, මානව සම්පත් යෙදවීමේ කාර්යක්ෂමතාව වැඩි බවත් පිළිගත යුතුය. නමුත් එම ව්‍යාපෘතිවල කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු ඇතිවී තිබීමටද සාධාරණ හේතු ඇත. නමුත් එවැනි දෙයට වඩා හුදු අනවශ්‍ය දේවල් උදෙසා ණයවීම තුල ඒක පුද්ගල ණයගැතිභාවය කීප ගුණයකින් පසුගිය දශකය තුල වර්ධනය වී ඇත. මේ ණය කෙසේ හෝ ඉදිරි පරපුරට ගෙවන්නට සිදුවනු ඇත. අප ආයෝජන ව්‍යාපෘති උදෙසා ණයවන මුදලින් ආදායම් උපයාගත හැකිවනු ඇත. නමුත් මිලියන දහසක් වියදම් වූ බව කියන ව්‍යාපෘති තුල ඇත්ත වශයෙන්ම ව්‍යාපෘතිය සඳහා වියදම් වූ මුදල කොපමණද, දූෂණ, වංචා හා නාස්ති කොපමණ ද කියා විශ්ලේෂණාත්මකව බැලුව හොත් සුළු පිරිසකගේ සාක්කුවට යන මුදලට හා අත්තනෝමතික තීරණ නිසා සිදුවූ විනාශයන්ට ද ර‍ටේ වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරු කීපයකටම වන්දි ගෙවන්නට සිදුව ඇති බව පියවි නෙතින් දැකබලා ගන්නට හැකිවනු ඇත. හෙජින් ගනුදෙණුව එයින් එක් උදාහරණයක් පමණි. මෙසේ දිනෙන් දින වැඩිවන ණයබර පියවීමට, රජය ආදායම් උත්පාදනයට, යොදාගන්නා ප්‍රධානතම උපක්‍රමය වන්නේ ර‍ටේ ජනතාවගෙන් බදු අයකරගැනීමේ ප්‍රමාණය වර්ධනය කිරීම වීම ඉතා දරුණු ඛේදවාචකයකි.


[Awantha Artigala]

සැබෑ ලෙසම මේ සා ණය බරක් හා බදු බරක් ඔසවාගෙන මේ රටට ආශ්චර්යය වෙත ගමන් කල හැකිවේද යන්න ගැටළුවකි. ආර්ථිකමය වශයෙන් අප දියුණුවක් ලැබීමටනම් මෙරට තුල ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වෙනසක් සිදුකල යුතුය. එයට මෙරට ආර්ථික බලධාරීන්ගේ පුටු මාරුවීම ද ඇතුලත්විය යුතුය. කොතරම් ආර්ථික වර්ධනය ගැන පුරසාරම් දෙඩුවත් එය ව්‍යාපාරිකයාගේ පටන් සාමාන්‍ය ගැමියා දක්වාම නොදැනෙන්නේනම් එවන් ආර්ථික වර්ධනයකින් පලක් වේද? ආර්ථික වර්ධනය සමායෝජනය තුලින් ආකල්පමය වශයෙන් රටකට ඉදිරියට යා හැකිවනු ඇත. නමුත් මේ කිසිවක් කිරීමට මේ රජයට කිසිදු වුවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැත. රටේ අති බහුතරයක් මහජනතාගේ දැනුමේ අල්පතාව හේතුවෙන් රිසිසේ රටේ ආර්ථිකය සහ පාලනය හැසිරවීමට බලධාරීන්ට හැකිවී ඇත. ඉදින්, මේ පෙනෙන්නේ රටේ ආර්ථිකයේ අනාගත අඳුරු සෙවණැලිය. දැන් හිතන්නට කාලය එළඹී ඇත. දැනුවත්භාවය තුලින් මේ ගැටළු සියල්ල පිළිබඳ හොඳ අවබෝධයක් ලබා පාලකයින් මේ රට මේ මරඋගුලෙන් ගලවා ගන්නා තැන දක්වා තල්ලු කරවීම ජනතාව සතු යුතුකමකි. ජනතා පරමාධිපත්‍යවත් නිසියාකාරව භාවිතාවට නොගන්නා රටක එවන් වූ ක්‍රියාවක් තුළින් වත්මන් පරපුර නොව අනාගත පරපුරවත් වැටෙන්නට යන ආර්ථිකමය අගාධයෙන් ගැලවෙනු ඇත.

කාටූන්- අවන්ත ආටිගල ('Awantha Artigala' Facebook පිටුවෙන්)

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails