Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුරුලු හදවත මගේ හදවත ස්පර්ශ කල විදිය හා එය මාව කම්පනය කල මොහොතවල් හෝ අවස්ථා ගැන මෙතෙක් කෘතිය ගැන පලවූ හා මට කියවන්න ලැබුනු විචාරවලින් හරියට කියවුනේ නැති බවයි මගේ අදහස. නැතිනම් ඔවුන් ඒ විචාරමය කතිකාව සඳහා අල්ලා ගත්තෙ මා අල්ලාගත් පෙදෙසම නොවෙයි. මේ ලිපිය ලියවෙන්න මාව ඉක්මන් කළ මූලිකම හේතුවත් ඒක. ඒ නිසා කෘතිය ගැන මගේ වින්දනයේ කේන්ද්‍රයෙන් මම කතිකාව ආරම්භ කරන්නම්.

මම පොත විඳින්න පටන් ගත්තෙ හරියටම පොතේ භාගයකුත් කියවා අවසන් උනාට පස්සෙයි. මේක කුල පීඩනය ගැන කියවෙන සාමාන්‍ය කතාවක් තරමට නොගැඹූරු වෙයි කියල මුලදි මුලදි හිත හිතා කියෙව්වත් කුරුලු - ගංගොඩ ලෙස කුරුලුගංගොඩ නිර්මාතෘවම විභේදනය වෙමින් දිනසිරිගේ පරිවර්තනීය උත්පත්තිය ලැබීම ඒකී සිතුවිල්ල සිතීම ගැන මාව පසුතැවිල්ලකට පත් කලා. මෙතෙක් ප්‍රබන්ධයීය වීරයා ලෙසින් මතුව එමින් සිටි දිනසිරි කුරුලු බවට පත් වීමෙන් ද්‍රෝහියෙකුගේ තත්වයට පත්වන සීග්‍රගාමී පියාසැරිය පොතේ එතෙක් ගලාගෙන එන ප්‍රබන්ධමය රසය හදවත කිතිකවන බුද්ධිමය කතිකාවකට තල්ලුකිරීමේ මූලාරම්භය බව කියන්න පුලුවන්. ඒක උපරිම තලයකට අරගෙන එන්නෙ සරත්ගේ පුනරාගමනය. ඇතුම් විට අමරකීර්ති සරත්ගෙන් ලබා ගන්නෙ මාර්ටින් වික්‍රමසිංහ තිස්සගෙන් ලබා ගත්තු මෙහෙයම වෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් ඒ ප්‍රයත්නය කොයිතරම් දුරට සාර්ථකද කියන එකයි මෙතනදි වඩා වැදගත් වෙන්නෙ.

කුරුලුට සරත්ව මුන ගැහෙන අනපේක්ශිත මොහොතේ සිට කුරුලු මෙතෙක් හුරු පුරුදු තම ජීවිත විලාසිතාව පිලිබඳ යලි හැරී බලන්නට පෙලඹීම, "තමාවම ප්‍රශ්න කිරීම" තේමාත්මකය ප්‍රබල කිරීමක්.

"ඉස්සර මාත් දිනේ වගේම තමයි. කාගෙ හරි මැරුණ කෙනෙක්ගෙ නමක් දැක්කොත් ලිව්වා.."

"මාත් එහෙම තමයි ඉස්සර. හෙටත් පෝස්කාට් එකක් ලියන්න තිබ්බොත් ඇති කියල තමයි හිතං උන්නෙ"

"ඒ විදියම තමයි මාත්" (පි:232, 233)


කුරුලු දිනසිරී විදියට තමන් දිහා යලි හැරී බලන්නෙ එතැනින්. සමහර විට සරත්ගෙ අවංක හා බුද්ධියට අමතන වචනවල තිබුනු දාර්ශනිකත්වය නොදැනුවත්වම කුරුලුගෙ අදහස් ආක්‍රමනය කලා වෙන්නත් පුලුවන්. දිනසිරී වශයෙන් ඉඳිද්දී හමු වූ සරත් තුල නොතිබූ දැක්මක් මේ මොහොතෙදි ඔහුට හමුවෙන්න ගැනීම මේ නැවත හැරී බැලීමට වද දුන් කාරනාව උනා වෙන්නත් පුලුවන්.

"ඒ උනාට මං ලිව්වෙ මගෙ නමමයි. සරත් ලිව්වෙ අනුන්ගෙ නම්. ඒකයි වෙනස."

"දෙකම එකයි දිනේ. අනුන්ගේ නම් පොතක ලිය ලිය මං හෙව්වෙත් මගෙ නමම වෙන්ඩැති."(පි:233
)

සරත්ගෙ දේශපාලන දැක්ම කලින්ට වඩා පුලුල් බව ව්‍යාජයක් ජීවත් කරවන අතරෙදි උනත් කුරුලු හඳුනා ගන්නවා. කුරුලුගෙ ක්‍රියාකාරකම් ඍජුව විවේචනය කරන්නෙවත් බලහත්කාරයෙන් ඔහුව පක්ශ දේශපාලනයටවත් ඈඳා ගැනීමටවත් උත්සාහ නොකරන සරත් ඒ මොහොතේ කරන හෙලිදරව්ව ඔහුගේ අවංක දේශපාලන හා ජීවන දෘශ්ටිය එක්ක ඒකාබද්ධ වෙන බව කුරුලු නොදැනුවත්වම තේරුම් ගන්නවා.

"මොනවද ඇත්තටම වෙන්ඩැත්තෙ"

"ඒක කවදාවත් දැනගන්ඩ ලැබෙන්නෑ. අපිට තියෙන්නෙ අපිට අවශ්‍ය විදියට සිද්ධි අර්ථකථනය කරන්න විතරයි. විජේවීර, ගමනායක දෙන්න එක්ක කොටසක් වැලලුනා. ප්‍රේමදාස එක්ක තව ටිකක් වැලලුණා. රංජන් විජේරත්න එක්ක තව ටිකක් වැලලුණා. ලලිත් - ගාමිණී දෙන්න එක්ක තව කොටසක් වැලලුණා. තව තව වැලලෙනව මිසක් ගොඩ එන්ඩ තියෙන ඉඩ අඩුයි. ඒක කෑලි ගොඩක් නැති උන ප්‍රහේලිකාවක්."

"එහෙම පුහේලිකාවක් මොකටද පුරවන්නෙ. ප්‍රහේලිකාවම පැත්තකින් තියන එක හොඳයි." (පි:243, 244)


සරත් එතෙක් සිදුවූ සිදුවීම් වලට ඍජු අර්ථකථන නොදැක්වීමම ඔහුගේ පරිණතභාවය ප්‍රකට කරන්න පුලුවන් තරමේ නිදර්ශනයක්. කොටින්ම ඔහු 88/89 සිදුවීම් පෙල කියවන්න පවා අසීරු තත්වය හා එය තනි අර්ථකථනයකින් පෙන්වාදිය හැකි තරම් සරල කාරනයක් තත්වයට ලඝු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු සිදුකරන්නෙ තමන්ගේ පාර්ශවය හා තමන්ට වැරදුනු අවස්ථා ගැන ස්වයං විවේචනයක්. සංකීර්ණ දේශපාලන සිදුවීමක මූලය මේ යයි නොපවසන ඔහු එහි ප්‍රබල තැන්, මෙතෙක් දේශපාලන විචාරකයන් අතින් ලිස්සා ගිය සියුම් තැන් මතු කරන්නට වෙරදරනවා.

"නැත්තං ඒ කාලෙ කියවුණා ප්‍රේමදාසගෙ උපන්දිනේ දාට ජේවීපී කොල්ලො ටිකක් මරල තමයි ජේආර් ප්‍රේමදාසට රිදෙව්වෙ කියල. අපිට හොඳ වැඩේ අනුන්ගෙ සුලි වලින් වාසි ගන්ඩ යනවට. අවසානෙදි අපි අවිඥානිකව කරල තියෙන්නෙ අපි හතුරො කියල හිතපු අයගෙ සවිඥානික සැලැස්මවල්වලට උදව් කරපු එක."

"නිහඬතාව."

"මේ මට දැන් හිතෙන විදිය. ආයෙ දවසක ඇහුවොත් මංම දෙන්ඩ ඉඩ තියෙනවා වෙනම අර්ථකථනයක්."(පි:245)


මේ විදියට සරත් කුරුලු අතර අඳුරේ මතුවන සංවාදය කෘතියට අලුත් ආලෝකයක් සපයනවා. හරියටම මෙතනදී අතීතය හා වර්තමානය යා කෙරෙනවා. ඒ කියන්නෙ අතීත දේශපාලන සංසිද්ධියෙන් පස්සෙ මේ මොහොතේ අපි භුක්ති විදිමින් ඉන්න දේශපාලන යථාර්ථය යන දෙක එම සංවාදයත් එක්ක හරි අපූරු විදියට එක්කාහු කරන්න කතුවරයා සමත් වෙනවා. (කෘතියේ මුල් පරිච්ජේද කිහිපය ද කෘතියට වැදගත් මෙහෙයක් ඉටු කරනවා යයි කෘතියේ මැද කොටසෙදි ආයෙත් මට හිතෙන්න පටන් ගන්නවා) දිනසිරිට තමාගේම නොදැනුවත් භාවයෙන් නැටවෙන රූකඩයක් ලෙස කුරුලුව පෙනෙන්නට ගැනීමෙන් ඔහුගේ ආධ්‍යාත්මය කලඹන්නෙ මෙතැන් සිටයි. මුත්තු අත්තා ද බීමතින් දොඩවන වචන ඔහුට කනේ පහරවල් තරම් ප්‍රබල වන්නේත් මේ ආධ්‍යාත්මික කම්පනයේ ප්‍රබලත්වය නිසයි.

ඌරු මස් කමින් සුදුවා බොන මුත්තු අත්තා දිගට හරහට දක්වන 'පෙතිචාර' සරත් සමග කල සංවාද වලට වඩා තියුනු විදියට කුරුලුගෙ හදවගේ ඇනෙන්න ගන්නෙ උපහාස හා හාස්‍ය රසය මතුවන මොහතකයි. සරත්ගෙන් පිරි නොමැසෙන අඩුව කුරුලුගේ සිත පාරමින් උවත් දැඩි ස්වරයකින් කියන්න මුත්තු අත්තාව යොදා ගැනීම කතුවරයා තමන්ගේ අවශතාවය ප්‍රබන්ධමය වශයෙන් සූස් කට්ටකමින් ජයග්‍රහනය කිරීමක් විදියට හදුන්වන්න පුලුවන්. අනික් අතින් මේක තත්‍ය ලෝකයේ ඇත්ත ගමක ස්වරූපය ද මවා පෑමක්.

"උඹහැට රේඩියෝ එකෙන් නං කියන්ඩ බැරිවෙයි ඌර තැරි ගහන හැටි. ඕන් නං මං කියල දෙන්නං. මං බය නෑ." මුත්තු අත්තා දිනසිරි දිහාට බත්තම දික් කෙරුවා....

"කියකො පුලුවං නං අපි ඌරෙක් වැටුනහම පන්සලටත් ටිකක් පූජ කරනව කියල."(පි:275)

"මට නං සුදුව භාගයක්වත් නැතුව දැති ගොයියෙක් හොල්ලන්ඩ බෑ." මුත්තු අත්තා සරත් දිහා බලල නිහඩතාවය තිබ්බෙ සරත්ට හිනාවෙන්න ඉඩදෙන්න.

"මී හරකුන්ට වඳිනවලු. හොඳ වැඳිල්ල. පේර කෝටුවෙන් දෙන්නෙ"(පි:276)


කුරුලුගේ හඬින් මුලු රට තුලම අහිතකර ජාතිකවාදී විසබීජ පතුරුවා ඇති බව වඩා ගැඹුරු දේශපාලන අර්ථයකින් කුරුලු හඳුනාගන්නෙ සරත්ගේ මැදිහත් වීමෙන්. තමා ජයප්‍රියත්වයට පත් වීමට ගම උත්කර්ශවක් කරමින් බොරු කීම තව දුරටත් අහිංසක ප්‍රයත්නයක් පමනක් නොවන බව කුරුලුට හදුනාගන්න බොහෝ කල් ගතවෙන්නෙ නැහැ. එය මුත්තු අත්තා දකින හිටගෙන බොරු කීම, ගම ගැන සෙල්ලම් කතා කීම තරම් සරල කාරනයක් නොවන බව සරත් ඔහුගේ පරාජිත දේශපාලන ජීවිතයෙන් ලත් සමාජ- දේශපාලනාවබෝධයෙන් පසක් කර සිටිනවා.

"දැන් මාධ්‍යකාරයො ගසා කන්නෙත් අපේ දේශපාලන භාෂාවමයි. ඒ අදහස්මයි. අර මුත්තු අත්ත කියන සෙල්ලම් කතා නියමෙට ගැලපෙනව මේ වැඩ වලට. සරත් කෙලින්ම දිනසිරි දිහා බැලුවා. "(පි:284)

"නෑ මං කිව්වෙ අපි කැරැල්ල ගහන්ඩ පාවිච්චි කරපු වචනම අරගෙන කෘෂි සමාගං, සබන් සමාගං, රෙදි සමාගං ගමට එනවා. විප්ලවේ කරන්නෙ අපිද එයාල ද කියල හිතන්න බැරි විදියට. අනික් පැත්තෙන් ඒ වචනම පාවිච්චි කරකර ජාතිකවාදියො පෙලපාලි යනවා. සරත් අඳුර දෙස බලාගෙන කිව්වා" (පි:285)


කුරුලුගේ ඇතුලාන්තය නවකතාව තුල කොතනකදීවත් ගැඹුරින් හෙලිදරව් නොවූවත් එතැන් සිට ඔහුගේ මරණය දක්වාම ඔහු ගතකරන අතෘප්තිකර දෙබිඩි ජීවිතය මෙකී සංවාද ඔහුගේ මනස තුල සක්‍රීය වූ බයට ඉඟි කරනවා. ද්‍රෝහියෙක් වෙලා සිටිය වීරයාව වීරයා හා ද්‍රෝහියා භූමිකාව තුල දෝලනය වන්නේ මෙම සිදුවීම් ජාලය හා සමඟයි. කුරුලු නොදැනුවත්වම හසුවූ යාන්ත්‍රනයෙන් ඔහුට ගැලවීමක් නැහැ. එතෙක් තෘප්තියකින් ඔහු ජීවත් කල කුරුලු කිචිබිචිය අදෝනාවක් වි ඔහුටම ඇසෙන නිමේශයක අඩ නිදිරැයක ඔහු වල්මත් වෙනවා. වරෙක ඔහු කුරුලුට පන දෙනවා. තවත් වරෙක සරත්ගේ හා මුත්තු අත්තාගේ අබියස ගොලුව සිටිනවා. ඒ ඇසුරින් වලංගංගොඩ කුරුලුගංගොඩක් කරන්න වෙහෙස වූ, ගුවන් විදුලියට පෝස්කාට් යැවූ දිනසිරිගේ අහිංසකත්වය යලි හිස ඔසවනවා. ඇද වැටෙනවා.

සරත් හා දිනසිරි අතර අඳුරේ මතුවන සංවාදය කෘතියේ උච්චස්ථානය ලෙස මට දැනෙන්නෙ මේ නිසා. එය කොතරම් ඍජු දේශපාලන මැදිහත් වීමක් වුවත් කෘතියේ ඒ හා නොදෙවනි ප්‍රබන්ධමය ගුණය, සජීවී භාශාව පරිකල්පනීය සිදුවීම් මාලාව ඊට ඍජු ලෙස නැගෙන්නට ඉඩ දෙන්නෙ නැහැ. නවකතාව විශිශ්ට වන්නේම ඒ නිසයි. දේශපාලනික අරුත් පණගැන්වෙන කොයියම්ම මොහොතක වුවත් කතුවරයා ප්‍රබන්ධමය සාරය ද අත් හරින්නේ නැහැ.

කෘතිය ගැන තව කරුනු කාරනා රැසක් හිස වටා භ්‍රමනය වුවත් කෘතිය ගැන මෙම ලිපියෙන් කෙරෙන මගේ මැදිහත් වීම අවසන් බවයි මට හැඟෙන්නේ. ප්‍රබල කෘතියකින් මේ මොහොතේ මා අල්ලා ගන්නේ අතිශයින් මා කම්පනය කලා යයි සිතන මෙතෙක් පල වූ විචාර වලින් බැරෑරුම් ලෙස කතිකා නොවූවා යයි මට හැඟුන පරිච්ජේද කිහිපයක් පමනයි. කුරුලු හදවත මේ මොහොතේ ලාංකීය කොයි කවුරුත් කියවිය යුතු ආකාරයේ කෘතියක්. මෙය බාල මහලු ලොකු කුඩා උගත් නූගත් ඕනෑම වර්ගයේ පාඨකයෙකුට තම රසවින්දන පරාසය හා බුද්ධිමය ධාරිතාව අනූව ඒ ඒ මට්මමින්ද කියවිය හැකි, රසවිඳිය හැකි පොතක්. කතුවරයාගේ සියුම් දේශපාලනික මැදිහත් වීම බොහෝ පාඨකයන් අතින් ගිලිහී යාමේ අවදානම ද ඒ තුල නැත්තේ නැහැ. කෘතියක් පිලිබඳව කෙරෙන විචාර සංවාද අදුරේ කෘතිය කියවන පාඨකයාට අලුත් ආලෝකයක් සපයන බවයි මගේ පිලිගැනීම. ඒ අතින් මගේ උත්සාහය සියුම් ආලෝක ලපයක් වුවත් මා එයින් සෑහීමකට පත් වෙනවා. සරත් තමාගේ පාසල් අවදියේ මිතුරාට - දිනසිරිට යවන අවසන් ලිපියෙන් මේ ලියමන හමාර කිරීම සුදුසු බව මට හිතෙනවා. එය හුදෙක් දිනසිරිට පමනක් ලියවෙන ලිපියක් බව සිතීමෙන් අපට නවතින්නට පුලුවන්දැයි නැවත නැවතත් සිතා බැලිය යුතුයි.

"අපේ ගම අපේ සංස්කෘතිය දැනටමත් විශිෂ්ටයි. අපි තමයි හොඳම මිනිස්සු කියල මේ තරම් ළාමක විදියට හිතන ජනතාවකට අපේ රටේ කිසිම වැදගත් වෙනසක් කරන්න බෑ. අපි හොඳම ජාතිය කියලා හිතාගෙන ඉඳලා විනාශ වෙලා ගිය ජාතියක් හැටියට අපි ඉතිහාසයෙන් අතුගෑවිලා යයිද? මට නං ඔය බය තියෙනවා. ඒකත් ජාතිවාදී බයක් ද මංදා. නැත්නම් වෙනස් වෙන්න බැරි ජාතියක් වඳ වෙලා ගියාම මොකද කියල පැත්තකට වෙලා ඉන්න පුලුවන්නෙ. මට එහෙම පැත්තකට වෙන්න බැහැ. (පි:297)

ධම්මික ප්‍රසාද් තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails