Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- ගුණමිණි, දයාදාස, සහයක, 1 මිනිසා, 2 මිනිසා, නිලධාරී

(සංගීතය අතරින් ගුණමිණි සහ දයාදාස කථා කරයි.)

ගුණමිණි- ඒත්, මේ වැඩෙන් පස්සේ සියල්ල උඩුයටිකුරු වෙයිද?

දයාදාස- අනිවාර්යයෙන්ම වෙනවා.

ගුණමිණි- සීයට සීයක්ම විශ්වාසද?

දයාදාස- උඹ එකම කතාවනේ ආයේ ආයේ මතුකරන්නේ. සීයට සීයක් නෙමෙයි සීයට දාහක් ෂුවර්. රටේ අගමැති තුමා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවෙදි එහි සභාපතිවරයා විදිහට තමන්ගෙ කථාවෙදී තමන්ව අවමානයට ලක්කර ගැනීම, තමාගේ කුණුවෙච්ච ඉතිහාසය අනාවරණය කිරීම, තමා දේශද්‍රෝහියෙක් වගේ වචන වලින් ආමන්ත්‍රණය කරගැනීම කියන්නේ මේ අරාජික ෆැසිස්ට්වාදයේ නිරුවත හෙලිකිරීමක්. ඒකෙන් ඔහු ජාත්‍යන්තර ජනනායකයො වගේම දේශීය සමාජය ඉදිරියේ විශාල අපහාසයකට ලක්වෙනවා. හෑල්ලුවෙනවා. ප්‍රතිරූපය කුඩුපට්ටම් වෙනවා. මේ අත්තනෝමතික පාලනය දෙදරවා බිඳවැට්ටීමේ පළමු වෙඩිමුරය තමා මේක. ඊට පස්සේ අපි අපේ සූක්ෂම දේශපාලනික උපක්‍රම ක්‍රියාත්මක කරලා රටේ ප්‍රධාන විපක්ෂය විධියට මේ රටේ පාලන බලය අතට ගන්නවා. අපේ අරමුණ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට යහපාලනයක් ඇති කිරීම.

ගුණමිණි- අගමැති මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා විදිහට අගමැතිතුමා මාව පත්කළේ මං ගැන ලොකු විශ්වාසයකින්. අපි අතරේ ඈත අතීතයේ ඉඳලා දැඩි කුළුපග සම්බන්ධතාවක් තියෙනවා. මං වෘත්තියමය වශයෙන් බැඳිලා ඉන්නේ එතුමාගේ ප්‍රතිරූපය ගොඩනගන්න. එතුමාගේ සියළු නිල කථා රචනාකරන්නේ ඒ අදහස අදහස මුල් කරගෙන. මං මේ සියල්ලටම පිටුපාලයි උඹලා එක්කලා එකතු වෙන්නේ.

දයාදාස- (බාධා) උඹ එකම දේවල්නේ මේ කියන්නේ. අපිට උඹව දසදහස් ගුණයක් විශ්වාස නිසා තමයි මේ බැරෑරුම් කාර්ය කරන්න බාර දෙන්නේ. මේක ජනතා සුභසිද්ධිය උදෙසා අප කළයුතු මෙහෙවරක් කියලා හිතට ගනින්.

ගුණමිණි- (බාධා) ඒත්, මේ වැඩෙන් පස්සේ...

දයාදාස- (බාධා) උඹව අත්තඩංගුවට පත්වෙනවා. උඹෙන් ප්‍රශ්න කරනවා, අපරාධ විමර්ශණ ඒකකය මෙවැනි රාජ්‍ය ද්‍රෝහි කාර්යක් කිරීමේ කුමන්ත්‍රණයේ අගමුල.

ගුණමිණි- එතකොට?

දයාදාස- ඒක තමයි මං කලින් පැය ගණනක් පුරා පැහැදිලි කළේ. එතකොට උඹ නිර්භයව පිළිතුරු දෙන්න ඕන. වර්තමාන රාජ්‍ය සම්බන්ධව තියෙන අප්‍රසාදය නිසා ඒකට ප්‍රතිරෝධය දක්වන්න ක්‍රියාකළ බව කියන්න ඕන.

ගුණමිණි- ඊට පස්සේ.

දයාදාස- ඒෆ් එම් නිවේදකයෙක් වගේ එකමදේ ආයේ ආයේ අහන්න එපා. ඊට පස්සේ උඹව රක්ෂිත බන්ධනාගාර ගතකරනවා. උඹට විරුද්ධව සියළු ක්‍රියාමාර්ග ගන්නවා. අන්න එතනදී තමයි සෝෂල් මූමන්ට් එකක් විධියට අපි අපේ කාර්යභාර්ය ඉටුකරන්නෙ. අපි මුලින්ම කරන්නේ මේ ඉෂූ එක ජාත්‍යන්තරය දක්වා මාධ්‍ය හරහා රැගෙන යනඑක. අපි දිවිපරදුවට තබා සටන්වදිනවා උඹව නිදහස් කරගන්න. අපේ ප්‍රධානම දේශපාලන ව්‍යාපෘතිය උඹ වෙනවා. සටන් පාඨය උඹ වෙනවා. ඒ විතරක් නෙවේ, අපි අපේ පක්ෂයේ නායකත්වයත් උඹට පිරිනමනවා. අවසානයේ උඹව නිදහස් කරගෙන පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාදීලා මේ රටේ විපක්ෂ නායකත්වයට පත්කරනවා. ඉන් පස්සේ රාජ්‍යබලය ලබා ගැනීම දක්වා සටන් කරනවා.

ගුණමිණි- (බාධා) මේ ඔක්කොටම කලින් උන් මාව මරලා දානවා සිකුරුයි.

දයාදාස- හිතන්න එපා ඒක ඒ තරම් ලෙහෙසි වෙයි කියලා.

ගුණමිණි- මොකද ඒක අමාරු. මාව රහසිගතව මරලා මගෙ ඇටකටු දියවෙන්න ඇසිඩ් දමයි. එහෙම නැත්තම් මළකුණ පෙති ගහලා මූද මැද්දේ දමයි. එතකොට සියල්ල අභිරහසක්. මේ වගේ අභිරහස් කීයක් මං.

දයාදාස- (බාධා) අන්න ඒ නිසා තමයි මේ ජාතික පොදුරාජ්‍ය මණ්ඩලීය කථාව රචනා කරන්න සැලසුම් කරනවත් එක්කම, උඹ වෙනුවෙන් අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නේ. ඒ හරහා අපි ඉල්ලා සිටිනවා උඹගේ ජීවත්වීමේ විනිවිද බව ලෝකයට පෙන්නන්න කියලා.

ගුණමිණි- බැරි වෙලාවත් මං ලියපු කථාව අගමැති වෙනස්කරලා කිව්වොත්.

දයාදාස- අගමැතිට කොළයක් බලාගෙන කථාවක් කරනවා ඇරෙන්න තාර්කිකව හිතලා යමක් කිරීමේ දැනුමක් නෑ කියලා හොඳාකාරවම උඹ දන්නවනේ. ඒකනේ උඹලා වගේ අය පත්වෙලා ඉන්නේ මේ වගේ සියළු සබඳතා මෙහෙයවන්න.

ගුණමිණි- (බාධා) හරි බැරිවෙලාවත් එදාට අගමැති කථාපවත්වන එක නතර කළොත්?

දයාදාස- මිනිහෝ, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවකදි එහි සභාපති විධියට කථාවක් නොපවත්වන රාජ්‍යය නායකයා කවුද?

ගුණමිණී- (බාධා) මං අහන්නේ බැරිවෙලාවත් මිනිහා...

දයාදාස- (බාධා) නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුයි තවත් ටිකකුයි ඕනලු. ඇත්ත කියපන් උඹ මේ වැඩේට බයයි නේද?

ගුණමිණී- මං කිසිම දේකට බයවෙන්නේ නෑ. මට උඹලගේ පක්ෂයේ නායකත්වය ලැබෙනවා කියලා ලිඛිත සහතිකයක් දෙනවා නම්, මං මොකටද බයවෙන්නේ. මට හරිම සංතෝෂයි මේ තරම් ඉක්මනින් රටේ නායකත්වය දක්වා ගමන් කරන්න අවස්ථාව ලැබිච්ච එකට. මං නොබියව මේ වැඩේ කරනවා.

දයාදාස- අන්න එහෙම ස්ථීර තීරණේක හිටපන්. බුදුන් බුද්ධත්වයට පැමිණියෙත් බුදුවී මිස නොනැගිටිමි කියන ස්ථීර තීරණේ නිසා.

ගුණමිණි- උඹ ආගම දහම ගැනත් දන්නවානේ.

දයාදාස- ආගම දහම පාවිච්චි කරලා මිනිසා රැවටීමේ ව්‍යාපෘති අවබෝධ කරගන්න හොඳට ආගම දහම ස්ටඩි කරන්න වෙනවා. මට සීයට සීයක්ම විශ්වාසයි අගමැතිකාරයා උඹ රචනා කරන කථාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළු දිනයෙදි පවත්වනවා කියලා. හිතට දිරිය ගනින්. අනවශ්‍ය කිසිම දෙයක් මනසට ගන්න එපා. අපි එක අරමුණකින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමු. උඹ වටා විශාල පිරිසක් පවුරක් වගේ ශක්තිය සපයනවා. අපේ පක්ෂය උඹ වෙනුවෙන් දිවි පරදුවට තබා වැඩ කරනවා. ලියපන්, උඹේ කතාව හොඳම භාෂාව පාවිච්චි කරලා ලියපන්, මේ අරාජිකවාදියා හැඳිගෑවිලා යන්න. ඔව්, මේ රටේ යහපාලනයක් ගොඩනැගීමේ පළමු වෙඩි මුරය තමයි මේක.

(සංගීතය)

සහයක- මොකද ඔබතුමා අද මළගෙදරක නිදිමරලා වගේ.

ගුණමිණි- මං මේ කල්පනා කළේ?

සහයක- මොකක්ද?

ගුණමිණි- අගමැති තුමාගේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළු දින කථාව ගැන.

සහයක- ඔබතුමා රචනා කරලා දුන්න කථාව අගමැති අතට ලැබෙන්න සැලැස්සුවා. මට හොඳටම විශ්වාසයි අදත් රසවත්ව කථාව කරාවි කියලා.

ගුණමිණි- කරුණාකරලා මට උදව්වක් කරන්න.

සහයක- කියන්න, ඔබ තුමාට නොකරන උදව්වක් තියේද ඔබේ සහයක ගාව.

ගුණමිණි- උඔට පුළුවන්ද අගමැතිතුමා අතට පත්වෙච්ච කථාව ආපහු අරගෙන එන්න.

සහයක- එතකොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළු කථාවට මොකද වෙන්නේ?

ගුණමිණි- මං කියන එක අහපන්. මට විශාල වැරදීමක් වුණා.

සහයක- වැරදීමක්?

ගුණමිණි- ඔව්, විශාල වැරදීමක්. මං එතුමාට ලබාදීලා තියෙන්නේ වැරදි කථාවක්.

සහයක- වැරදි කථාවක්? කොහොමද එහෙම වැරැද්දක් වුණේ?

ගූණමිණි- (බාධා) මං ලියමින් හිටපු රේඩියෝ නාට්‍ය පිටපතක් මාරුවෙලා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළු දින කථාව විදියට අගමැති තුමා අතට ගිහින්.

සහයක- ඒ කියන්නේ ඔබතුමා රේඩියෝ නාට්‍යයත් රචනා කරනවා. ෂා, රේඩියෝ නාට්‍යයක් අහපු කාලයක් මටනම් මතක නෑ. එහෙනම් අපිට අපූරු රේඩියෝ නාට්‍යයක් මෙදා සැරේ අහන්න ලැබෙයි. රේඩියෝ නාට්‍යයක් රඟපානවා වගේ අපූරුවට අගමැතිතුමා මෙදාපාර කථාව කරාවි එහෙනම්.

ගුණමිණි- (බාධා) මේ අහපන් මිනිහෝ, ඔය කථාව කීයටවත් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළු දිනයට ගැලපෙන්නෑ.

සහයක-
මොන නොගැලපීම තිබුණත් ඔය විදේශීය ජන නායකයෝ දේශීය මිනිස්සු වශීකරවලා බලය රැකගන්න පුළුවන්නම් ඒ ඇතිනේ.

ගුණමිණි- මං කියන එක අහපන්. කරුණාකරලා අගමැති අතේ තියෙන කථාව අරගෙන, මෙන්න මේ නිවැරදි කථාව එතුමා අතට පත්කරපන්. ඉක්මනට පලයන්. එතුමා අතේ තියෙන කථාවේ වැරදි ගොඩාක් තියෙනවා.

සහයක- ඔය ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය, පද බෙදීම වගේ වැරදි නොසලකා හරින්න. ගොළු බසින් හරි මිනිස්සු නම්මගන්න පුළුවන් නම් ඒ ඇති කියලා අගමැති තුමා නිතරම කියනවානේ.

ගුණමිණි- මිනිහෝ, මගේ නියෝගය පිළිපැදපන්. ඉක්මන් කරලා මේ කථාව එතුමාට දීලා, ඒ කථාව අරගෙන වරෙන්. එතුමා අතේ තියෙන කථාවේ අන්තර්ගතය බොහෝම බයානකයි.

සහයක- පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළු සභාපති කථාවට තියෙන්නේ තව මිනිත්තු කිහිපයයි. පේනවද හැමතැනම ආරක්ෂක කපොළු. මං කොහොමද එතුමා ගාවට යන්නේ. මට එහෙම බලතල නෑ.

ගුණමිණි- හරි, කරන්න තියෙන්නේ එක දෙයයි. එහෙනම් මං යනවා මේ කථාව අරගෙන.

සහයක- ඕකත් රේඩියෝ නාට්‍යය පිටපතක්ද? එහෙනම් ඔබතුමාගේ කථා ලිවීමේ අළුත්ම ආකෘතිය මේක.

ගුණමිණි- උඹට තේරෙන්නේ නෑ මිනිහෝ. මං ජීවත්වෙන්න ආසයි. මං බයයි මරණයට. මං බයයි ඒකට.

සහයක- ඔන්න අගමැති තුමා මයික්‍රෆෝනය ගාවට නැග්ගා.

ගුණමිණි- මොකක්..?

සහයක- බලන්නකෝ මේකප් එකට එතුමාගේ තේජස වෑහෙනවා. ඔන්න ඔල්වරසන් හැඬ මැද්දේ එතුමා කථාව පවත්වන්න සූදානම් වෙනවා. බලන්න පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෑම නායකයෙක්ම සීරුවට අසුන්ගෙන ඉන්න හැටි. මාධ්‍යකාරයෝ කැමරා මයික්‍රෆෝන එතුමා දිහාවට මානනවා.

ගුණමිණි- දැං මොකද කරන්නේ. කරන්න තියෙන හොඳම දේ මං මගේ කන්දෙක වහගන්න එක.

(සංගීතය)

අගමැති- සාධු සාධු සාධු. මගේ මුණුපුරාණෙනී, මාගේ දරුවනී, මාගේ සිඟිත්තනී, මාගේ පැංචනී, මාගේ පැටික්කනී, මාගේ කෙල්ලනී, මාගේ කොල්ලනී, මාගේ වැසියනී, ජාත්‍යන්තර ගජයිනි, උඹලා දන්නවා මගේ මී මුත්තා දකුණු ඉන්දීය දේශ දීපංකරයේ ඉඳලා මූදු කරිජ්ජෙන් මෙහාට පීනලා තොලොංචි වෙච්ච කල්ලතෝනියෙක්. කොචින් කියන නගර රාජ්ජෙ ඉඳලා මෙහාට සේන්දු වුණ හින්දා කොච්චියා කියලා මිනිහට කටමැත කියනවා. ඉංග්‍රීසි කාරයෝ මේ දේසේ යකඩ යකාට කෝච්චි පාර හදන කාලේ කුලී වැඩකාරයෝ හැටියට අපේ මුත්තට රාජකාරී කරන්න වාසනා සම්පත්තිය ලැබුණා. ඔන්න ඔය සන්ධියේ තමා මූදුකරයේ කරාව කුල ධූරවලියේ ඉස්තිරියාවක් වෙච්චි අපේ මී මිත්තනීව කැන්දා ගෙන තියෙන්නේ. මගේ මී මුත්තට මේ පොළෝතලයේ මූණපාන්න වෙලා තියෙන කටුකොහොල් දුක්ඛ දෝමනස්සයන් බෝමයි. ඒත් පූර්ව වාසනා සම්පත්තියක් ඉහේ කඩා වැටිච්ච හින්දා මේ සියල්ලගෙන්ම ගැලවීමේ පිංකුසලය ලැබුණා. මගේ මී මුත්තාට මීරන් පතලයක් එක්ක පූට්ටු වෙන්න ලැබීම තමයි ඒකේ මුල්ම පියවර. උත්පත්තියෙන්ම මිනිහා රට කපටියා. මෝල් ගස් ගිලලා වතුර බොන්න තරම් නුවණක් මිනිහට තිබ්බා. මිනිහගේ කෙරුවාව කොච්චරද කියනවානම්, එකට උන්නු අනෙක් ගොයියෝ හැමෝන්ටම කොලේ වහලා මීරන් පතල පාඩු ලබන බවට ඇස්පනාපිට විජ්ජාවක් මවලා පෙන්නුවා. පතල වහලා දොර අඟුල් දාන විධියට හැම යටිකූට්ටු වැඩක්ම කළා. ඒත් හිත්බොක්කෙන් මී මුත්තා දැනගෙන උන්නා පතලේ කොහේ හරි මුල්ලක මීරන්කුට්ටි හැංගිලා තියෙනවා කියලා. ඔය නිසා අනෙක් බයියෝ හැමෝන්ගෙම ඇස්වලට වැලි ගහලා පතලේ උරුමක්කාරකම ලැබෙන විධියට ප්ලෑන සකස් කළා. මෑනුවා වගේම ඇස්පනාපිට මිනිරන් කුට්ටි ගොඩබෑවේ පෝරණුවෙන් පාන් බාන්නා වගේ. ගස්වලින් කඩනවා වගේ රිදී පනම් කන්දරාවක් මී මුත්තා අත්පත්කරගත්තා. ඉහේ මලක් පිපුණා වගේ ඉඩම් අක්කර යායක ඔප්පු තිරප්පු ලියාගත්තා. ඉස්තරම් රබර් කට්ටි යායවල්, අරක්කු රෙන්ද මෝලවල් තමන් සන්තක කර ගත්තා. මේ හැමදේකින්ම සල්ලි මිටි ගනන් දෝරේ ගලාගෙන ආවේ වැව් පිටවාන ඇරියාවගේ. මී මුත්තා තමන්ගේ වාසගම උඩුයටිකුරු කළා. පටකම්බා, රත්තරං බොත්තම් අල්ලපු කබාකෝට්, සාටක, නැමිපනා, ඇඳගෙන සැරසුනා. විස්කි බ්‍රැන්ඩි වලින් උගුර කට තෙමා ගත්තා. හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑම වට්ටෝරු බඩට බස්සවා ගත්තා. මොනවා වුණත් අදින්න පුබ්බක වගේ අරපරිස්සං වුණා. මී මුත්තට තවත් මී මිත්තනියෝ කිහිප දෙනෙක්ම උන්න බව හැමෝම දන්න කයිකතන්දරයක්. ඒ අයගෙන් මට කිරි අත්තලා කීපදෙනෙක්ම උන්නා. මොන කුම්මැහියා වුණත් මේ අයට කිසිම අඩුපාඩුවක් මී මුත්තා කළේ නෑ. මගේම අත්තාටත් හොඳට සැලකුම් සංග්‍රහකළා. මේ දේසෙන් එපිට එංගලන්ත රාජ්ජෙට අඩිය තියලා විස්සවිද්දියාල කොලීජියක දැනමුතුකම් ගන්න වියහියදම් කළා. මෙහෙව් විදිහට අපේ අත්තා මහා උගත් උත්තමයෙක් වුණා. එතුමා අකුරු කෙරිල්ල අහවර කරලා කොලොම්පුරේ ජැටියට ගොඩබැස්සා. ඉන්පස්සේ අපේ දේශයේ ආගම, සංස්කෘතිය, සදාචාරය ආරක්ෂා කරන්න පොළවට බැහැලා වැඩකළා. ධර්මපාල උන්වහන්සේගේ ප්‍රතිපත්ති එක්ක එක්කාසු වුණා. කොලුකෙල්ලන්ට ඉස්කෝල හරිගස්සලා දුන්නා. අති පූජනීය සංඝයා වහන්සේලාට පන්සල් කරවලා දුන්නා. කන්න බොන්න නැති දුගී දුප්පතුන්ට ගෙවල්දොරවල් හරි ගස්සලා දුන්නා. අන්න ඒ කෙලෙහිගුණ සලකළා මගේ අත්තට පාර්ලිමේන්තුවට අඩිය තියා ගන්න වරම් හම්බවුණා. මගේ අප්පොච්චීත් ගියේ අත්තගෙම අඩිපාරේ. ඒ උත්තමයා නැතිබැරිකම ඇතිහැකිකම දක්වා වැඩි වර්ධනය කළා. මේ දීපය ධර්මිෂ්ඨ රාජ්ජයක් කරන්න මහන්සිගත්තා. අද ඔබ තමුන්වහන්සේලා භුක්ති විඳින සර්ව සාධාරණ, යහගුණවත්, නීති ගරුක, ආශ්චර්යයමත්, පිළිිවෙතින් සැකසුණු වටපිටාව කියන්නේ මගේ මීමුත්තගේ ඉඳං මගේ අප්පොච්චි දක්වා ඒ උත්තමයානන් හදාවඩා දුන්න දේවල්. ඒ වැදගත් උන්දැලාගේ අතිමහත් ලේ දහඩිය කැපකිරීම් කන්දරාවක ආනිසංසයෙන් උරුමවෙච්ච දේවල්. මට පපුකැහුත්තෙන්ම සංතෝෂයි මගේ පුරවැසියනි, ජාත්‍යන්තර ගජයිනි අන්න මේ පරපුරට ලේ නෑදැකම් කියන්න වාසනා ජන්ම බලසම්පත්තිය උරුම වෙච්ච එකට. මං නොබියව කියනවා ඉතිහාසයේ අපි හොරකම් කරලා තියෙනවා. මිනී මරලා තියෙනවා. අපචාර, දූෂණ කරලා තියෙනවා. මං ඉහමුදුනින්ම මේ ගැන ආඩම්බර වෙනවා. මගේ අධිෂ්ඨානය තමයි හොඳින් හෝ නරකින් හෝ ජීවිතාන්තය දක්වා මේ නායකත්ව පුටුවේ ඈදිගෙන ඉන්න එක. ඒකට කඩු අමෝරන ඕනෑම බලවේගයක් සුන්නත්දූලි කරන්න මං මගේ ත්‍රිවිධ හමුදා ශක්තියම පාවිච්චි කරන්න සූදානම්. මේ රට මගේ. මම මේ රටේ. මං ආදරෙයි මේ රටට. මේ රට ආදරෙයි මට. මට බෑ මගේ රට නැතුව මොහොතක්වත් ජීවත් වෙන්න.

(හඬ මැකී යයි)

සහයක- හ්ම්, හරිම අපූරුයි හරිම අපූරුයි.

ගුණමිණි-
ඒ කියන්නේ සමුගන්න වෙලාව හරි ජීවිතෙන්ම.

(සංගීතය)

1 මිනිසා- මේ වගේ නිරිව්‍යාජ නායකයෙක් මං දැක්කේ නෑ මේ ලෝකේ කිසිම රටක.

2 මිනිසා- අර කථාවක් තියෙනවානේ, දියසේන කුමාරයෙක් පහළ වෙනවා කියලා වසර දෙදහස් පන්සීයකට පස්සේ බුදු දහම ඇතිවෙලා. මං කියන්නේ මේ තමයි ඒ උත්තමයා.

1 මිනිසා- තමන්ගේ ඉතිහාසය ගැන දේශීය හා ජාත්‍යන්තරය ඉදිරියෙ සත්‍යය ප්‍රකාශ කරන්න තරම් කොන්ද පණ තියෙන එක කොයිතරම් නිර්භීත කමක්ද? මේ කතාව ඇහෙනකොට මට අගමැති තුමා ගැන බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවුණා.

2 මිනිසා- මගේ හත්මුතු මුණුපුරන් හැමෝන්ටම අනාගතයේදී මේ සැමලගේ පරම්පරාවට ඡන්දය ප්‍රකාශ කරන්න කියලා මං සියළු උපදෙස් සපයනවා. ඔබට දීර්ඝායුෂ නායකයාණෙනී.

(සංගීතය)

නිලධාරී- රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා විදියට මං ඔබට නියෝග කරනවා කරුණාකරලා ඇත්ත ප්‍රකාශ කරන්න කියලා. සත්‍ය ප්‍රකාශ කළොත් කිසිම කරදරයක් වෙන්නේ නෑ.

ගුණමිණි- මං ලියපු රේඩියෝ නාට්‍යය පිටපතක් වැරදිලා.

නිලධාරී- (බාධා) රේඩියෝ නාට්‍යය?

ගුණමිණි- මං මේකෙන් උත්සහ කළේ?

නිලධාරි- (බාධා) කොහොම වුණත් අපි තීරණය කළා.

ගුණමිණි- (බාධා) අනේ මං ඉල්ලා සිටිනවා මට අගමැති සමාවක් ලබා දෙන්න කියලා. අගමැති තුමයි මා අතරයි තියෙන අතීත මිතුදම සළකලා. මං එතුමට කොයිතරම් උදව් කරලා තියෙනවද? අපි දෙන්නා එකට ඒකාලේ...

නිලධාරී- (බාධා) මට තේරුම් ගන්න පුළුවන්. ඔබතුමා හොඳ රචකයෙක්. හොඳ පරිකල්පනයක් තියෙන පුද්ගලයෙක්. ඔබතුමා ලියූ කතාව නිසා අගමැතිතුමාගේ කීර්තිය දෙගුණ තෙගුණ වෙලයි තියෙන්නේ. එතුමාගේ නිර්ව්‍යාජත්වය ගැන මුළු මහත් ජාත්‍යන්තරයම දැන් කතා කරනවා. අන්න ඒ නිසා එතුමා ඔබට සම්මානයක් දෙන්න තීරණය කළා.

ගුණමිණි- මොනවා?

(සංගීතය)

ගුණමිණි- මේ ව්‍යාපෘතිය උඩුයටිකුරු වුණේ මගේ වරදකින් නෙවී. මං මගේ කාර්යභාර්ය අකුරටම ඉටුකළා. අන්න ඒ නිසා ගිවිසුම් ප්‍රකාර විධියට මට වාමාංශික ජාතික පක්ෂයේ නායකකම හිමිවෙන්න ඕන.

දයාදාස- ඔව්, අපි පොරොන්දුව ඉටු කරන්නම්. ඒත්, උඹ මතක තියා ගන්න ඕන ඉදිරියට වැඩ කරන්න වෙන්නේ විරුද්ධ පක්ෂයේ නායකයා විධියට කියලා. අපි මේ අරාජික පාලනය පෙරලා දාලා පාලන බලය අතට ගන්න නව වැඩපිළිවෙලක් හිතන්න වෙනවා.

ගුණමිණි- රටක් කරනවා කියන එක උඹ හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නෙවේ.

දයාදාස- කිසිම දර්ශනයකින් න්‍යායකින් විග්‍රහකරන්න බැරි සමාජයක් අපි ඉදිරියේ තියෙන්නේ.

ගුණමිණි- බුදු දහමෙත් කියන්නේ විග්‍රහ කරන්න බැරි දේවල් ගැන ඕනවට වඩා වෙහෙසෙන්න එපා කියලානේ.

දයාදාස- ඒත්, කොහොමහරි මේ අරාජික පාලනය අපි වෙනස් කරන්න ඕන.

ගුණමිණි- අරාජිකයි කිව්වට මේ පාලනය බහුතරයකට සරාගිකයි. මට වෙලාවකට හිතෙනවා අපි මේ වගේ නිර්භීත නායකයින්ව කෙහෙල් ගහ කපනවා වගේ එකපාරම ගහලා බිම දාන්න හොඳ නෑ කියලා. මං තීන්දු කළා මට ලබාදෙන සම්මානය අරගන්න.

දයාදාස- මොකක්?

ගුණමිණි- මේක මට ජාත්‍යන්තර කීර්තියක් අත්වෙන අවස්ථාවක්.

දයාදාස- ඔය වැඩෙන් අපේ මුළු ව්‍යාපෘතියම කණපිට ගහනවා.

ගුණමිණි- මේ සම්මානය නොගත්තොත් මං ගැන මහා සැකයක් ඇති වෙන්න පුළුවන්. මීඩියාවලින් මට පහරපිට පහර ගසාවී, බොරු චෝදනා අධිකරණයේ ඔප්පු කරලා හිරේ විලංගුවේ යවාවි.

දයාදාස- මිනිහෝ, දැන් උඹ විපක්ෂ නායකයෙක් විධියට බුද්ධිය මෙහෙයවන්න ඕන. අපි ඔය සම්මානය නිර්දය විදියට ප්‍රතික්ෂේප කරමු. සම්මාන වේදිකාවට නැගලා අගමැතිට දෝෂාරෝපණය කරමු. එතකොට ඒක හොඳ ජාත්‍යන්තර ඉෂු එකක් බවට පත්වෙනවා.

ගුණමිණි- මං කෙහොමද මේ වගේ වෙලාවක...

දයාදාස- (බාධා) අපේ පක්ෂයේ විධායක මණ්ඩලයේ තීරණය මේක. ඒක අනිවාර්යයෙන්ම උඹට ක්‍රියාත්මක කරන්න වෙනවා. දැන් උඹ තමයි අපේ පක්ෂයේ නායකයා.

ගුණමිණි- එතකොට මං කවදද පක්ෂ නායකත්වයේ දිවුරුම් දෙන්නේ?

දයාදාස- ඉක්මනින්ම. හිතට දිරිය ගනින්, අපි අපේ ව්‍යාපෘතිය ජයග්‍රහණය කරා අරගෙන යමු. රටේ පාලනය අතට ගමු. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමු.

ගුණමිණී- හොඳයි. එහෙම නම් මං සම්මානය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනවා. සම්මාන වේදිකාවේ මගේ විවේචනය කරනවා.

(සංගීතය)

දයාදාස- දසදහස් ගණනක ජන ගංගාවක් සම්මාන උළෙල බලන්න එක්රොක් වෙලා. මේ දේශද්‍රෝහී පාලන තන්ත්‍රය අපහාසයට ලක්වෙන හැටි සකලවිධ ලෝකවාසී ජනතාවට ඇස්පනාපිටම දැන් දැකගන්න පුළුවන් වේවි. හ්ම්, සම්මානය ලබාදීමේ අවස්ථාව උදාවෙන්නයි යන්නේ.

(තූර්යවාදක හඬ)

නිවේදක- යුගයේ විශිෂ්ඨතම සන්නිවේදක පුත්‍ර අපූර්ව පරිකල්පන සර්වඥ පණ්ඩිත ප්ලැටිනම් සම්මානය ආචාර්ය ගුණමිණි රක්තමුතු මහතාට මේ අවස්ථාවේදී පුදදීමට සූදානම්. අපි ගෞරවයෙන් එතුමාට වේදිකාවට ආරාධනා කරනවා. ඔව්, අත්පොළසන්දී අපි එතුමව පිළිගනිමු.

දයාදාස- හරි, ඔන්න ගූණමිණි වේදිකාවට නැග්ගා. මොකක්? කවුද අර තුවක්කුවක් මානන්නේ මිනිහව ඉලක්ක කරලා? මොනවා වැඩේ වරදින්නයි යන්නේ. කොහොමද මේක මං වළක්වන්නේ.

නිවේදක- ඔව්, මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රික සමාජ හා මානව හිතවාදී ජනරජයේ නායක, විධායක අගමැති, අතිගරු පූජනීය විජයරාජ පලිහවඩන කීර්තිසිංහ අගමැති උත්තමයාණන් අතින් ආචාර්ය ගුණමිණි රක්තමුතු මහතා සම්මානය ලබාගැනීමටයි සැරසෙන්නේ.

(ගෝෂාව හා අත්පොලසන් හඬ වැඩි වේ.)

දයාදාස- (තමාට) මේ මොකක්ද වුණේ. මොනවා, මුළු ව්‍යාපෘතියම කණපිට, මේකා සම්මානය බාර ගත්තා නේද?

(අත්පොලසන් හඬ)

නිවේදක- ඔව්, මේ වනවිට ආචාර්ය ගුණමිණි රක්තමුතු මහතා විපක්ෂනායක ධූරයෙන් ද පිදුම් ලබා තිබෙනවා. සිය නූතන, තාර්කික, සූක්ෂම පරිකල්පනා ඥානය නිසා. ආණ්ඩු පක්ෂය විධියට අපි එතුමට සුභ පතනවා. ඒ වගේම ආරාධනා කරනවා විපක්ෂය විදියට අත්වැල් බැදගෙන මේ රජය ක්‍රියාත්මක කරන ධාර්මික ප්‍රතිපත්ති වලට සහය දක්වා ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න කියලා. ඔව්, අපි ආචාර්ය ගුණමිණි රක්තමුතු විපක්ෂ නායකතුමාට ජාතියේ ආචාරය පුදකරමු.

(අත්පොලසන් හඬ හා ගෝෂා හඬ)

දයාදාස- මොනවා? මේ මොකද වුණේ? කමක් නෑ, මොනවා වුණත් ප්ලැටිනම් සම්මානය අපේ අතේ. ඒත්, අපි මේ සටන අතාරින්නෑ. කොහොමහරි මේ අරාජික පාලන තන්ත්‍රය පරාජය කරන්න මේ සම්මානය පෙරටුකරගෙන අළුත්ම වැඩ පිළිවෙලක් සොයා ගන්නවා.

(අවසන් සංගීතය)

[-ෆන්සල (රේඩියෝ නාට්‍ය) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails