Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දාහක් අති සොඳුරු ගීත
වැදූ කුසකි පිපිරුණේ
දාහක් නව ගීත කළල
පිරුණු ගැබකි කුඩුවුණේ

ඒ පතරොම්
කාගෙ ලාච්චුවෙන් ආවදෝ
අවිය යළිත්
කාගෙ පෙට්ටගමට ගියාදෝ

තාප මනැස් සනසන්නයි
උල්පත ලොව සැදුණේ
වතුරත් ගිනි ගන්න රටක
තවුල්පතකි සිඳුණේ

පෑන අරන් එකම වරක්වත් දිවියේ
ගී පදයක් කුරුටු ගෑව ඇඟිල්ලකින්
එදා කොකා ඇදෙන්න ඇති
ඊට කලින් එකම වරක්වත් දිවියේ
ඔහුගේ ගීයක තාලය අල්ලන්නට
ඒ ඇඟිල්ල සැලෙන්න ඇති

ඔහු ලියු ගී වනපොත් කරනා පරපුර
නටත ඔහේ ඔහු මළ සැටි අමතක කර
බල කාමයෙ ළිඳට වැටුණු
කුහුඹු කලාවේ ඉරණම
දුරවබෝධ සුතුරක් වී
මැකේද දිය බුබුළු අතර

නොදැන කිසිදු අරගලයක
දිවියක ගීතයක ගැඹුර
එ සෝ දිනෙහි මනෙත ළිහූ
කඳුළු හුයේමයි අද වුව
අමුණන්නේ හිල් කර කර
කුරු දුක්බර අකුර අකුර

කවදා හරි දාහක් හිත්
අත් මානෙට ළං වන තෙක්
මගේම පපුවේ ඇන ගෙන
හංඟාගෙන සිටියෙමි මම
මේ උල් කවි අල්පෙනිත්ත

ඇන්නෙමි අද
එයින් ඔබට

ඔබ අඬන්න !

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-මේ බලාසිටින්නන්ගේ යුගයයි යනුවෙන් ලියූ සජීවනී කස්තුරිආරච්චි කිවිඳියට
කණගාටුව පළ කර…..

සීතල පිනි කැට වැටෙනා
මේ හිමිදිරිය සොඳුරුයි
එහෙත් එය කටුකයි
මා බලා සිටිනා ඉසව්වට
යන්න වේලාසන වැඩියි

වැටෙන පිනි කැට පොද වැස්ස වී
සීතලින් ගැහිලා
සේපාලිකා මල් තෙතබත් වෙලා
එහෙත් ඒ මල් එකින් එක ගෙන
මේ ගමන යා යුතුයි

උඳුවප් මහේ අවසන් නොවන
ජනේරුවෙන් ආරම්භ නොවන
ගමන වේලාසන වැඩියි
එහෙත් කවදා හෝ
මා යා යුතුයි

මේ කටුක සීතල මැදින්
සොඳුරු උදයේම යායුතුයි
බොහෝ ගැහැණුන් සේ
පැතුම් මල් පොදි බැඳ
යන්න සිත් නොදෙයි

පොදි ගැහෙන පුරවරය මැද
අරමුණක් නැති ගමනක් නම්
තව පමා වූවත් කැපයි
එහෙත් මේ පැය වුව
පමා වන්නට නොහැකියි

අජන්ත එම්. ජයසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වැසි දියෙන් තෙමී ගිය මං දිගේ තනිව ඇවිදිමි
කැළණි වෙහෙරට නුදුරු නිවසක් සොයා වෙහෙසෙමි
පටුමගක ඔහු කියූ මග ලකුණු දැන හැඳින නවතිමි
මළ කෑ අගුලු හැර තීන්ත සුවඳ වෙත පිවිසෙමි

එහි ඇත අඳුරු කුටියක්
දොර ළඟ කැඩුණු පුටු සැටියක්
පාට ඝන වූ "පැලට්*" තැටියක්
සමග බිම වෙයි අඩක් ඉරු දුම් වැටියක්

කුටිය මැද විසල් මේසයක්
එහි වෙයි යකා නැටු වේසයක්
ඒ මේ අතට පෙරළුණු තීන්ත බඳුන් මැද
සුන් බුන්ව ගිය සූට් කේසයක්

එතුල වූ ලේ බින්දු ඉහිරුණු
විවිධ කැන්වස් චිත්‍ර අතරින්
සොයාගත්තෙමි, ඇගේ කිවහැකි
වර්ණවත් ආලේඛය චිත්‍රය.
එය තැපැල් කර පැමිණ ඈ හට,
කඳුළු අතරින් සෙමින් මුමුණමි
"ඔන්න මම ඉටුකළා ඔබගේ - ඒ පැතුම, මා සොඳුරු මිත්‍රය"

...............................

තනියෙන් කතා කර කර
පෝස්ටර් ඇන්ද ඒ සිත්තරා
දැරූ මත නොරිසි උන්
මැරවර පිරිස මත් කරා
උන් පැමිණ දස අතින්
කුටියෙ බිම රන් ලෙයින් තෙත් කරා
රෝහලේ මියයන්න මොහොතකට පෙරඅතුව,
හිතුණු අවසන් පැතුම ඔහු මෙසේ මා අතට පත්කරා

[* පැලටය -Pallete]

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පානි රජා සහ පිරිවර කම්බ හොරූ
ගෝනි නැතුව කර මත නැග කරති බොරූ
පාන මත වැටෙන තුරු රඟපාති මෙරූ
සීනි වලට මොකටද බොල ඇමතිවරූ

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උදුරාගත්ත සොයුරන්
සඟවාගත්ත මිතුරන්
ඉඳුල් බත් වෙනුවෙන්
පාවාදුන්න බැලයන්

එලවා සටන් සගයන්
උදුරා පෑන් පින්සල්
උගුල්ලා අබිමන්
හීලෑකළ හපුටු කතුවන්

පොළුගසා හිස්
පළා මද කා හදවත්
මැටියෙන් අඹාගත්
පිළිම මැද වැජඹෙනා මැරයන්

දත් නැති උසාවිත්
ලැජ්ජා නැති පොලීසිත්
අතර කොඳු ඇති සගයන්
දරා දිරිගෙන තාම අසිපත්

ඔව් වසර හතරක්
කළු ජනේරුම හතරක් !
අතක් ඔසවා කෑ ගසන්නට
අහසක් අහිමි මිනිසෙක්මි
මම්..........

ඉදින් සොයුරනි
'කළු ජනේරුව' කියන වදන ම
ඇතැම්විට මා බියෙන් සසලයි.
''කළුනං අල්ලලා
අපුල්ලාපියව් ඔය ජනේරුව සුදුවෙන්ඩ......!''
සිය ඇපිල්ලුම් ඇනියට
කොයිවෙලේ අණදෙයිද
මහරජාණන්?

-ජනවාරි 2013

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගලා යන නදී දිය
කොයිතරම් සැහැසි ද
සිතා ගන්නට පවා බෑ නේද
ගං ඉවුර මත හිඳින
අරවින්ද...

අරවින්ද...
ජීවිතය අරවින්දයක් නොවේ
සැහැසි ගං දිය වගෙයි
ඉතින් හිස ඔසවාන
ගඟේ දිය උල්පතේ
සීත දෝතට ගන්න
අරවින්ද...

අරවින්ද..
එපා මේ ජීවිතය
නරඹන්න
දෝත ගත් දිය බිඳෙහි
සිහිල විඳගෙන ඉන්න
ජීවිතය නරඹන්නෙ
මැරුණු ජීවිත නේද
අරවින්ද..

නිල්පාට ඇස් දෙකට
එබී එය කියවන්න
තව කොතෙක් නම් පාට
ඒ කඳුළු වල ඇත් ද
අරවින්ද...

උණුසුමට අයිතියක්
කියන්නට නම් එපා
අරවින්ද
ඉතින් එය විඳගන්න
හැමදාම සීතලයි
කියන්නට බෑ නේද
අරවින්ද

සිනාසෙන නෙත් එක්ක
හෙමි හෙමින් මුමුණන්න
අරවින්ද...
දුක් කතා අසාගෙන හිඳීවී
ඒ දෑස
අරවින්ද....

ජීවිතය මහා දුක් ඕඝයක්
ඔව් ඒක නම් ඉතින්
එහෙම වෙනවා තමයි
අරවින්ද..
ජීවිතය කාලයක්
විලස අරගන්නෙපා
අරවින්ද...
ජීවිතය කියන්නේ
කාලයෙන් අංශුවක්
ලෙසින් ගමු
අරවින්ද...

කතා කරනා දෑස
කාගෙදැයි සොයන්නට
වෙහෙස වෙන්නට එපා
අරවින්ද..
ඒ දෙනෙත පතුලේ
ඔබේ අඩවන් දෙනෙත
තිබේ නම් එපමණයි
ජීවිතය කියන්නේ
අරවින්ද....

[සිතුවම : David Agenjo]

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කුඹුක් අත්ත නැමී විටින් විට
සිඹියි ගංදිය කොපුලත
රවුම් වටකුරු සිනා රැල්ල
අසංඛ්‍යාත වාරයක් එන්න ඇති මා ළඟට

දිය සීරාව බැඳුණු අසමාන ගල් මත හිඳ
දෙපතුල් පොවාගෙන හීල් දියට
බලා හිඳිම් ඈතින් නිවී ගිලෙන හිරු මඬළ දෙස
හැමදාම රැවටුනු ඇස් දෙකෙන්

හෙට උදෑසනත් ඒවි හිරු තුරු හිස් මතින්
පෙරී දෙපතුල් ළඟට උණුසුමින්
ආයෙමත් එන්න බැරි වුනාට මදහසින්
සුදුහාමිනේට අමතක වෙයිද මාව හදවතින්

කළු වලාකුළු අහස් දොර කවුළුවෙන්
එබෙන විට පුරහඳ නුඹෙ උවන සිහිකරන්
මට මැවෙයි එකම හීන ලෝකයක්
ගඟ දියට ඉහ අද්දරින්

අප වටා නැගුණු දොඹ මල් පියලි
අහන විට තනිකම ගැන කරමින් ඇවිටිලි
කොහොම කියන්නද සිතයි නුඹ ගැන මැසිවිලි
මම දන්න එකම දෙය නම් නුඹම පමණයි දන්නෙ මගේ සිතිවිලි

අඳුරු වලාවකින් වැසී පුරහඳ
හඬන විට අහසෙ චන්දිරම් වැහිලිය
නුඹ හා මා අතර දුර මැනගෙන ඇවිත් මේ සීතල මදනල
මට කියනවා නුඹ වටා ඇති උණුසුම ගැන

සුදෝ සුදු නිල් වලාකුළු සේල නිල් අහස
නීල වන තුරුපත් අගින් ඇති හරි මැද තැනක
අපේ සිහින සිතුවිලි ඇති කාටවත් නොපෙනෙන්න
අපට එ‍රෙහිව ගතු කියූ කිසිවෙකුට නොරිදෙන්න

අත්වැල ලිහී ගිය දුර හැකිය පියවර මැන යන්න
සිත්වල දුර වියතක් නොවේ පිරිපත වැටහෙන දවසට
තිත්තම තිත්ත ඇත්ත කාටවත් නොකියන
හීනයකි මට මේ තනිකම

කේ. ඩී. ප්‍රදීප් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සාදය කිමද
නාදයත් ඔතරම්
හාදව නොවෙද
කොණ්ඩයක් ඇත්තෙකු හා

වීදිය කොනක
පාළුව තුරුළෙ උන්
යාළුව මට ද
ගීතයක් ඈ ගැයුවා

ඉතින් සමුගමු’ය
හිතින් බර ගැයුම්
දුකින්වද ඇය
ඉගිල්ලූණෙ හැර මා

දුරින් තුරු මොටද
ළඟින් නැතිවද යම්
රිකිල්ලක පතර
කැදැල්ලක් අගනා

එයා රිසි ඉමට
නොයාමත් බැරිනම්
සලන් පිය දුර
තනිවෙන්න යළි මා

කාලයත් ආ විට
ආලයත් ළඟ නම්
තාලයක් කැටි කර
ගයාපන් හඬගා

ඉසුරු අබේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" බවට පත්විය යුතුද? කොතරම් මතභේදාත්මක වුවත්, සැඟව සිට නිර්මාණ කළත් කලාකරුවෙක් සිය නිර්මාණය මුදා හළ විට එය අත් වන්නේ ජනතාවටයි. ප්‍රධාන ධාරාවේ කලාවට සංස්කෘතික ලෙසින් ගරිල්ලා ප්‍රහාර දියත්කර ඇති අයෙකු විසින් කලා ලෝකය දෙදරවමින් සිටී.

"බැන්ක්සි" ය.

"බැන්ක්සි" කලා ලෝකයේ සුපිරිතරුවකි. ධනවාදී වෙළඳපොල ක්‍රමයට අනුව නම් සුපිරි මිලක් නියම වූවෙකි. එහෙත් ඔහු "කලාව" යන ප්‍රධාන ධාරාවේ නිර්වචිත අර්ථය කඩාබිඳ දමමින් විකල්ප කලා භාවිතාවක නිරතවන්නෙකි. "බැන්ක්සි" ගේ කලාවේ මාධ්‍යය චිත්‍ර කලාවයි. එහෙත් ඔහු තමන්ගේ හැකියාවෙන් නිර්මිත චිත්‍රය අදින්නේ සුවපහසු කැන්වසයක හෝ කඩදාසි මත හෝ නොව ප්‍රසිද්ධ ස්ථාන වල ඇති ඉඩකඩවලය. එනම් ග්‍රැෆිටි (Graffiti) ස්වරූපයෙනි. වීදි වල, තාප්ප මත, උස් බිත්ති, දුම්රිය වල හෝ ප්‍රසිද්ධියේ හමුවන ඕනෑම ඉඩකඩක ග්‍රැෆිටි නිර්මාණ සිදුකරනු ලබයි. බැන්ක්සි තරුවක් වන්නේ ග්‍රැෆිටි නිර්මාණ නිසාම පමණක් නොව ඔහුගේ භාවිතාවේ ස්වභාවය නිසාය.

ග්‍රැෆිටි නිර්මාණ සම්බන්ධ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනකට පෙර ලියා ඇති "සීගිරි කුරුටු ගී" පවා ග්‍රැ‍ෆිටි නිර්මාණය. එහෙත් නව නගර බිහිවීමත් සමග ස්ප්‍රේ කෑන් හෝ මාර්කර් පෑන් ආශ්‍රය කොට ගෙන ග්‍රැෆිටි ඇදීම සිදුකරනු ලබයි. ලංකාව තුළද ග්‍රැෆිටි ගණනයට අයත් දෑ සුවි‍ශාල වශයෙන් දක්නට හැකි වුවද, ඒවා කලාත්මක බවින් හා නිර්මාණාත්මක බවින් කොතරම් පොහොසත් ද යන්න ගැටළුවකි.


ලොව පුරා සිටින දස දහස් ගණනක් නිර්මාණ කරුවන් අතරින් බැන්ක්සි සුවිශේෂී වන්නේ ඇයි? බැන්ක්සිගේ භාවිතාව ගැන යම් විමසා බැලීමක් කරමු.

ග්‍රැෆිටි නිර්මාණ වල යෙදීම යනුම විකල්ප නිර්මාණ භාවිතාවකි. මහා සම්ප්‍රදාය උල්ලංඝනය කරමින්, ඒවායේ පූර්ව නිශ්චිත තත්ත්වයන් ගණනකට නොගනිමින් කලාව වීදිය දක්වා ගෙන ඒම තුළ මහා සම්ප්‍රදාය තුලින් එල්ල චෝදනාවන් අතිමහත්ය. ඒ අතර බැන්ක්සි විසින් සිය නිර්මාණ සදහා උපයෝගී කරගනු ලබන්නේ ක්‍රම විරෝධී මාතෘකාවන්ය. යුධ විරෝධය, ප්‍රචණ්ඩත්වය එරෙහි වීම, වෙළද‍පොළකරණයට එරෙහි වීම, අධිරාජ්‍ය විරෝධය, ගෝලීයකරණ විරෝධය, නුතන තාක්ෂණය විසින් වෙළදපොළ අත්පත්කරගැනීම, ඒ හරහා වෙළදපොළ විසින් මනුෂ්‍යයා අත්පත්කරගැනීම වැනි විකල්ප මාතෘකා ඊට අයත්ය.


බැන්ක්සිට ඇති ජනප්‍රියතාව දිනෙන් දින තවදුරටත් ඉහළයෑමට හේතුව නම් ඔහු විසින් දිගින් දිගටම සගවාගෙන සිටින ඔහුගේ අනන්‍යතාවයයි. රටවල් ගණනාවක සිය නිර්මාණ සිදුකරමින්, එසේම අතිශයින් ජනප්‍රියත්වයට පත් ප්‍රදර්ශන රැසකින් අනතුරුව තවදුරටත් ඔහුගේ අනන්‍යතාව රහසක්ව ඇත. එංගලන්තයේ බ්‍රිස්ටල් නගරය මූලික කොට ගෙන ග්‍රැෆිටි නිර්මාණ ආරම්භකිරීමෙන් අනතුරුව එංගලන්තයේ ලන්ඩන් නුවර ඇතුළුව බොහෝ ප්‍රදේශ ගණනාවක සිය නිර්මාණ කිරීම් සිදුකරත්, එංගලන්තයේ සමහර දේශපාලකයින් මෙන්ම සංවිධාන විසින් චෝදනාකරනු ලබන්නේ ඔහු ඇතුළු ග්‍රැෆිටි නිර්මාණකරුවන් විසින් සිදුකරමින් සිටිනුයේ ප්‍රසිද්ධ ස්ථාන විනාශ කිරීමත් අපවිත්‍රකිරීමත් (Vandalism) බවය. මෙනිසා ඔහුගේ ප්‍රසිද්ධ ග්‍රැෆිටි නිර්මාණ වලට එරෙහිව ඔහුව නිතිය ඉදිරියට ගෙන ඒමේ අවදානමක්ද ඇත. එංගලන්තය තුළ ප්‍රසිද්ධ ස්ථාන විනාශ කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වීම වසර 10ක් දක්වා සිරදඬුවම් විදිය හැකි වරදකි.

බැන්ක්සිගේ නිර්මාණ ලොවපුරා කලාගාර වල අතිශයින්ම ඉහළ මිලගණන්වලින් මේ වන විට ද අලෙවි වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සිය වෙබ්අඩවිය තුළ දක්වා ඇත්තේ ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වූ Henri Matisse ගේ කියමනකි. එනම් "මගේ චිත්‍ර ඉතා ඉහළ මිළගණන් වලට අලෙවි වීම ගැන මම ලැජ්ජා වෙනවා. මම කැමති නෑ මට චෝදනාකරනවට කවදහරි මම නිර්මාණය කරලා තියෙන්නෙ අග්‍රකෘති (masterpieces) විතරයි කියන එකට."



බැන්ක්සිගේ රසිකයින් අතර බ්‍රැඩ් පිට්, ඇන්ජලිනා ජොලී වැනි ඉතා ජනප්‍රිය හොලිවුඩ් නළු නිලියන්, කෝටිපති ව්‍යාපාරිකයින්, අලෙවිකරණ සමාගම් හිමිකරුවන් වැනි විශාල පිරිසක් සිටිති. සුප්‍රකට සාචි සහ සාචි සමාග‍මේ හිමිකරු චාල්ස් සාචිද බැන්ක්සිගේ රසිකයෙකි. තමන් විසින් චාල්ස් සාචි හට සිය නිර්මාණ අලෙවිකරන්නේ ද යන ප්‍රශ්ණයට බැන්කිසි පවසා තිබුනේ "ඔහුට ඔහුගේ මුදල් ඔහු ළගම තියාගන්න පුළුවන්, මම කැමති මගේ නිර්මාණ එක් අයෙක් ළග තියාගන්නවාට වඩා මිනිස්සු දස දහස් ගණනක් අතරෙ තබන්න." යනුවෙන්.

බැන්ක්සිට වෙළඳ දැන්වීම් නිර්මාණකරන සමාගම් වලින් ලැබෙන ආරාධනා බොහෝය. සුප්‍රකට NIKE සමාගම වෙනුවෙන් වෙළද දැන්වීම් නිර්මාණය කිරීම සදහා ඔහුට ආරාධනා කළ විට ඔහු පවසා තිබුණේ. "මම විකිණෙන්න කැමති නෑ, මම කැමතියි මගේ නිර්මාණ වෙනුවෙන් අවධානය යොමුකරන්න."


බැන්ක්සි විසින් නිර්මාණය කරන ලද ඩයනා කුමරියගේ රුව රැගත් බ්‍රිතාන්‍ය පවුම් 10 නෝට්ටුව දැඩි ආන්දෝලනයකට ලක්විය. සාමාන්‍යයෙන් පවුම් නෝට්ටු හෝ කාසි සදහා යොදාගනුයේ බ්‍රිතාන්‍ය රැජිණගේ රූපය වුවද, බැන්ක්සි විසින් ඇයගේ රූපය වෙනුවට සම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රජපවුලේ මතබේදාත්මක චරිතයක් වූ ඩයනා කුමරියගේ රූපය යොදා ව්‍යාජ නෝට්ටුවක් සකස් කොට තිබුණි. එහි Bank of England වෙනුවට Banksy of England ලෙසට ද වෙනස් කොට තිබුණි. මෙම මුදල් නෝට්ටු ‍එංගලන්තයේ කළුජාතික‍යින්ගේ සාම්ප්‍රදායික නොටින්ග්හැම් සැණකෙළිය තුළ බෙදාහැර තිබුණි. මෙම මුදල් නෝට්ටු උපයෝගී කොටගෙන පිරිස් විසින් බඩුභාණ්ඩ මිළදී ගත් බවද කියැවේ. කෙසේ වුවද මෙම මුදල් නෝට්ටු Ebay වෙබ් අඩවිය තුළ බ්‍රිතාන්‍ය පවුම් 100කටත් අධික මුදලක් දක්වා දැනටත් විකිණෙමින් පවතී.


බැන්ක්සි වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකුද වේ. ඔහු විසින් නිර්මාණය කරන ලද Exit Through the Gift Shop නම් වාර්තා චිත්‍රපටය 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා ද නි‍ර්දේශ වූවකි. එය ග්‍රැෆිටි චිත්‍රකලාව හා විදී නිර්මාණකරණය හා එකී නිර්මාණකරුවන් පිළිබඳව ඇමරිකාවේ ජීවත් වන ප්‍රංශජාතික ග්‍රැෆිටි නිර්මාණකරුවෙකු වන මිස්ටර් බ්‍රේන්වොෂ් හෙවත් Thierry Guettaගේ ග්‍රැෆිටි නිර්මාණකරණය ඇසුරෙන් නිපදවූවකි. බැන්ක්සි ඇකඩමි සම්මාන උළෙල සදහා සිය අනන්‍යතාව ‍එළිදක්වමින් උළෙලට සහභාගීවෙතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටියද ඔහු ඊට සහභාගී වූයේ නැත.

මේ සටහන ඔහුගේ වෙබ් අඩවියේ [www.banksy.co.uk] Shop කොටසෙනි.

"ඔබගේ පුද්ගලික පරිහරණය සදහා ඕනෑතරම් බාගත කිරීම සදහා මම ආරාධනා කරමි. ඒත්, ‍මින් ඔබ තමන්ගේම නිර්මාණ කිරීමට හෝ විකිණීම සදහා යැයි කියමින් නිල වශයෙන් හෝ සැබෑ බැන්ක්සි නිර්මාණ යැයි පැවසීම නරකය, හොදටම වැරදිය.
-බැන්ක්සි"




බැන්ක්සි විසින් පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ ඊශ්‍රායලය හා පලස්තීනය වෙන්කිරීමට ඊශ්‍රායලය විසින් ඉදිකොට ඇති සැතපුම් 425ක් දිගු තාප්පය මත ග්‍රැෆිටි චිත්‍රණය කොට ඇත. ආරක්ෂක වශයෙන් ඉතා දැඩි උණුසුම්කාරී ප්‍රදේශයක් ලෙස ‍සැලකෙන මෙහි ආරක්ෂාව ‍පිළිබදව නොතකා පලස්තීන ජනතාව විදින පීඩාවන්ට කලාත්මක ලෙසත් විරෝධය දක්වමින් චිත්‍ර 9ක් ඇදීමට ඔහු හැකියාව ලැබී ඇත. [මෙතනින් බලන්න.]

කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සංසරණය වන කලා ලෝකයේ බැන්ක්සි යනු සුපිරි වටිනාකමක් නියමවුණු තවත් කලාකරුවෙකි. ඔහු විසින් සිය ක්ෂේත්‍රය තුළ දක්ෂතා දක්වමින් එකී හැකියාව ලබාගෙන ඇත. එහෙත් ඔහුගේ සුවිශේෂිත්වය නම් ඔහුගේ නිර්මාණ සදහා මුදල් වලට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි වීමයි. සරලවම ඔහු විකිණෙන්නේ නැත. ජනප්‍රියත්වය හඹායන ලෝකයේ ඔහු තරුවක් වුවත්, ඔහුගේ අනන්‍යතාවය ඔහුගේ දෙමව්පියන්වත් නොදන්නා බව ද කියැවේ. එය සැබැවින්ම ක්‍රම විරෝධීය. ඔහු සැරිසරන්නේ නවීන ලෝකය තුළය. ඔහු ක්‍රමයට ‍විරෝධය පෑමට අතීතයට ගමන් ගන්නෙක් නොවේ.

සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විචාරකයෙකු හට නොතකා හැරිය නොහැකි අයුරේ කලා නිර්මාන බිහි වෙතොත් ඒ ඉතා කලාතුරෙකිනි. පසුගිය ජූලි මස කොලඹ ජාතික කලාභවනේ දී පැවැත්වුනු බී. විමලරත්නගේ චිත්‍ර හා මූර්ති දැක්ම එවැන්නකි. තෙල් සායම් 42කින් සහ මූර්ති කීපයකින් සමන්විත මේ ප්‍රදර්ශනය නම් කෙරී තිබුනේ depth (ගැඹුර) යනුවෙනි. සැබවින් ම, කලාත්මක පරිපූර්නත්වයෙන් අනූන එම නිර්මාන සමුච්චය ඒවායෙහි මතුපිට තලය විනිවිද ගොස් සහෘද සිත්සතන් කලඹාලන ගැඹුරු අරුත් සම්පාදනයෙහිලා සමත්ව සිටී.

විය යුතු පරිදි, ධනේශ්වර මාධ්‍ය ජාලයට මේ සිතුවම් පිලිබඳව පැවසීමට යමක් නොතිබුනු අතර ඩේලි නිව්ස් පත්‍රය කෙටි සම්මුඛ සාකච්ඡාවකට පමනක් සීමා වී ගති. විමලරත්න එහිලා මෙලෙස පවසයි: "සිත්තරා ප්‍රයත්න දරන්නේ සමාජයෙහි සැඟවුනු අරුත් ඉස්මතු කිරීමට යි. යථාර්ථය එලිමහනට එන්නේ සිතුවමක් නැරඹීමෙන් ඉක්බිති ඔබ ඒ ගැන සිතන්ට පටන් ගත් විට යි."

විමලරත්න වනාහි සුවිශේශ අනන්‍යතාවක් ගොඩනඟා ගත් කලාකරුවෙකි. මේ ප්‍රදර්ශනය ඔහුගේ කලාත්මක පරිනත භාවයේත් තාක්ශනික නෛපුන්‍යයේත් කූටප්‍රාප්තිය සටහන් කරයි. 1971 දී, මූර්ති ශිල්පියෙකු ලෙස කලා ක්ශේත්‍රයට පිවිසි හෙතෙම වැඩි කල් නොයා ම සිත්තරෙකු ලෙස ද සිය කුසලතාව පෙන්නුම් කලේ ය. මේ ඔහුගේ 05වෙනි ඒකපුද්ගල දැක්ම යි. කම්කරු පන්ති ව්‍යාපාරයෙහි දිගුකාලීන මිතුරෙකු වන ඔහු නිතර ම තම අනුභූතීන් තෝරා ගනුයේ කම්කරු ජනයා සහ සෙසු පීඩිතයන් අතරිනි.

සිත්තරාගේ ප්‍රමුඛ ආරම්මනය බවට පත්ව තිබෙනුයේ ස්ත්‍රී රූපය යි. මානව රූප ඇඳීම හා ඇඹීම (human figure art) ශතවර්ශාධික කාලයක් මුලුල්ලේ ලොව පුරා චිත්‍ර ශිල්පීන් ආකර්ශනය කර ගත් තේමාවකි. පුරාන ග්‍රීක හා රෝම කලාව තුල මානව පෞරුශය හා කාය බලය කැපී පෙනින. මධ්‍යකාලීන භාරත ගල් කැටයම් රලු ශෘංගාරය නිබඳ විශය කොට ගති. ක්‍රිස්තියානි පුරාවෘතයෙහි ජනප්‍රිය චරිත - වෙසෙසින් ම, කන්‍යා මරියා රුව (Madonna / Mother and Child) බයිසන්තියානු කලාවෙහි ප්‍රමුඛ අනුභූතියක් විය. එලිසබෙතානු සිත්තරු ධනය, බලය, හා වංශවත්භාවය පිලිබිඹු කෙරෙන ආලේඛ්‍ය සහ අනු රූ නිර්මානය කලහ. ඉන්ද්‍රිය ප්‍රීනනය උත්කර්ශයට නැංවූ රූබන්ස්, රෙනුවා, ඩෙඟා ආදීහු සැතපෙන, දිය නාන, හිස පීරන නග්න රූමතිය (Venus) සිය ජීවමාන ආදර්ශ රූපය හැටියට තෝරා ගත්හ. පෙරදිග ලෝකයේ නූතන චිත්‍ර කලාවෙහි මුල් පුරුකක් ලෙස සැලකෙන ජෝර්ජ් කීට් ද නාරි දේහයෙහි ලාලිත්‍යය හා ඡවි වර්නය කෙරෙහි ආසක්ත විය. වර්තමානයෙහි වුව බොහෝ සිත්තරු ස්ත්‍රී රූපයෙහි සෞන්දර්යය දැඩි අභිරුචියෙන් යුතුව සිතුවමට නඟත්.

එහෙත්, එබඳු ව්‍යායාමයක් සඳහා මනා කුසලතාවක් තිබියදී, විමලරත්න අතින් ඉඳුරා වෙනස් පැතිකඩක් ඥානනය කෙරී ඇත. එනම්, කායිකව හා මානසිකව දහසක් පරිපීඩනයන්ගෙන් තෙරපී ජීවත් වන නූතන ස්ත්‍රිය කෙරෙන් ප්‍රකට වන, සෙසු සිත්තරුන් හට මෙතෙක් ඇස නොගැටුනු විවිධ හැඩතල, වක්‍ර, ඉරියව් හා චලනයන් කෙරෙහි ඔහුගේ ඇස යොමු වී තිබේ. විශාදයට (depression), කනස්සල්ලට ඉච්ඡාභංගයට හා පරාධීනත්වයට පත් මේ ලලනාවෝ අප අබියස සිය අවනඩුව කියා සිටිත්. ස්ත්‍රී රූප පමනක් ම නොව, වික්ශිප්තභාවයට හා බෙලහීනතාවට පත් ඇතැම් පුරුශ රූප ද විමලරත්නගේ නිර්මාන අතර හමු වෙයි. මෙකී ව්‍යාධීන් හට වැඩිපුර ම මුහුන දී සිටිනුයේ, ස්වකීය ශ්‍රමයෙහි සැබෑ හිමිකම අහිමි කරන ලද නාගරික කම්කරු පන්තියෙහි සමාජිකයන් වග නොරහසකි.

සැබවින් ම, ලෝක පරිමානව අර්බුදග්‍රස්ත ධනේශ්වර සමාජ පර්යාය හමුවේ අන් කවරදාටත් වඩා දරුනු ලෙස පරත්වාරෝපනයට (alienation) පත් නූතන මානවයාගේ ඛෙදනීය ඉරනම නොවේ ද මේ? ප්‍රස්තුත මානව දේහ මෙලෙස අවාසනාවන්ත ඉරනම්වලට ගොදුරුව තිබෙනුයේ කවර තතු යටතේ ද යන කුකුස විමලරත්නගේ අගනා සිතුවම් නරඹන සහෘදයා තුල ජනනය වනුයේ නිතැතිනි.

සාමාන්‍යයෙන්, සිත්තරුන් තම පරිකල්පනරූප කෙරෙන් මනෝභාව ප්‍රකට වීමට ඉඩ හරිනුයේ මුහුනින් පල වන හැඟීම් (facial expressions) ඇසුරිනි. මෙයට විපරීතව, විමලරත්න විසින් නිර්මිත පරිකල්පනරූප බහුතරයකට හඳුනාගත හැකි මුහුනු නැත. ඒ මුහුනු අපැහැදිලි ය; හැඟීම් අවිශද ය. ඔවුන් සිය මනෝභාව පල කරනුයේ හුදෙක් ශරීරයෙහි බසිනි (body language). මානව දේහයෙහි සුනම්‍ය ගුනය මෙහිලා නිර්මානාත්මකව උපයෝගී කර ගැනුමට විමලරත්න සමත්ව සිටී. එම කාර්යය ඔහු කොතරම් අපූර්ව ලෙස ඉටු කොට ඇත් ද යත්, එකී රූපකායන්හි මුහුනු දැක ගැනීමේ කුතුහලයක් නරඹන්නා තුල පැන නොනගී. ඇතැම් සිරුරක ලිංග භේදය පවා අවිශද ය. මේ සිරුරු ඒවායෙහි පෙරබිම හා පසුබිම සමඟ අවියෝජනීයව බැඳී ඇත. නැතිව ම බැරි අවස්ථාවක දී හැර, මුහුනු සැඟවීම හා සිරුරු නිර්වස්ත්‍රව තැබීම මගින් තම පරිකල්පනරූපයන්හි ජාතික හා වාර්ගික අනන්‍යතා යටපත් කරන සිත්තරා ඔවුනට සර්වභෞමික, විශ්ව සාධාරන තත්වයක් හිමි කර දෙයි.

යථාර්ථය ජය ගැනුමෙහි ස්වකීය භාවිතාවෙහිලා සිත්තරා මනස සහ සිරුර ඒකාබද්ධ සමස්තයක් ලෙස ගනී. වෙනත් වචනවලින් කියතොත්, සිත හා කය අතර පවතින චිරාගත භේදය මේ සිතුවම් මගින් අභියෝගයට ලක් කෙරේ. කාල් මාක්ස්, මනුශ්‍ය චෛතසිකයට පාර-ලෞකික තත්වයක් හා පැවැත්මක් ප්‍රදානය කෙරුනු දාර්ශනික විඥානවාදය විධ්වංසනය කලේ මනස යනු භෞතික ශරීරයෙහි ම (එනම්, ද්‍රව්‍යයෙහි ම) සුපිරි නිපැයුමක් හෙවත් 'සිතනමතන සිරුර ම' බව පෙන්වා දෙමිනි. විමලරත්න අතින් තෙලිතුඩට නැගී ඇති ශරීරයෝ මේ ප්‍රගාඪ සත්‍යය කලාකරුවෙකුට ආවේනික බසින් තහවුරු කරත්.

අශෝභන, පීඩිත අබිසරුලියන් චිත්‍රනය කරනුව අර්ධ-වියුක්ත (semi-abstract) ශෛලියක් බිහි කල පිකාසෝ (Demoiselles d’ Avignon, 1907) සම්ප්‍රදායික නිරූපනාත්මක චිත්‍රයෙහි සම්භාව්‍ය ආකෘතිය සමතික්‍රමනය කලේ ය. නූතන පරත්වාරෝපිත මනෝගතීන් හා චිත්තාවේග සඳහා උචිත ප්‍රකාශන ශෛලියක් සොයා ගෙන ඇති විමලරත්න මානව රූප ඇඳීමේ කලාවට නව මානයක් එකතු කොට තිබේ. නම් නොතබන ලද (untitled) එම සිතුවම් අතරින් සමහරක් විමසා බලමු.

පාලුව, තනිකම, හුදෙකලාව, කාන්සිය, සාංකාව, ආතතිය, දොම්නස, කලකිරීම යනාදී පරත්වාරෝපිත මනෝගතීන් ප්‍රකට කෙරෙන ඉරියව්වලින් යුතු නග්න ස්ත්‍රී රූප පෙලකි (සිතුවම් 05, 07, 20, 25, 27, 28, 31, 34, 40; මූර්ති 03, 04). මේ තෝන්තු, හෝන්දුමාන්දු, මුස්පේන්තු ලීලාවෙන් යුතු සිරුරු ඔහු හඳුන්වනුයේ "කඩා වැටෙන ස්ත්‍රී රූප" ලෙසිනි. දෙන ලද සමාජයක ප්‍රගතිය මැනෙන හොඳ ම මිම්ම එම සමාජය තුල ස්ත්‍රියට හිමි තැන යයි ප්‍රංශ මනෝරාජික සමාජවාදියා චාල්ස් ෆූරියේ වරෙක පැවසී ය. මාක්ස්වාදීන් විසින් ද නොයෙක් තන්හි මෙය සුප්‍රකාශිත ය. එහෙත්, මේ ග්‍රහලෝකය තුල, පන්ති පීඩනයට අතිරේකව අඩුවැඩි වශයෙන් ජාතික හා වාර්ගික පීඩනයෙන්, ලිංගික පීඩාවෙන් හා පුරුශෝත්තමවාදයෙන් ද බැට කන ස්ත්‍රීන් අති බහුතරයකට ඉතා දුඃඛිත, කාලකන්නි ජීවිත උරුම වී ඇති බව රහසක් නොවේ.


දියසෙවෙලින් කොල පැහැ ගත් පිල්කඩක් අග වැතිර සිටින ලඳකි (05). අඳුරු වටපිටාවෙහි තෙත මුසු පුස් ගඳ අපේ නැහැයට ද දැනෙන්නාක් මෙනි. හිරු පායා ඇතත් ඒ ඇගේ ලෝකයට යටිනි! නැවුම් වාතාශ්‍රයත් අරුනාලෝකයත් සහිත ස්වභාවික පරිසරයක ජීවත් වීමෙහි වරම ඇයට අහිමි වී ඇත.


උඩක සිට පහතට එල්ලා වැටෙන, සුකුමාර බවින් තොර නග්න දෙපයකි (14). පසෙක ලොකු සෙම්බුවකි. පා සලඹ, පා මුදුව හා පිත්තල සෙම්බුව මේ අප්‍රානික දෙපා පීඩිත දෙමල ස්ත්‍රියකගේ බව කියාපායි. මරනය සිදු වූ අයුරු - ඈ ඝාතනය වූවා ද නැතහොත් ගෙල වැල ලා ගත්තී ද යන්න එතරම් වැදගත් නැත. හේතුව කුමක් වුව ඈ පෙලුනු මානසික වධය නරඹන්නා හට පසක් වෙයි.


තවත් සිතුවමක (26), නලලත පොට්ටුව සහිත ස්ත්‍රියක මත පතිත වන අග්නි වැස්සකි. කාලවර්නයෙන් දිස් වන සූර්යයා අකර්මන්‍ය වී ඇත. පුලිඟු කදම්බයෙහි රක්ත වර්නය සහ ඉන් බේරී ගනු පිනිස හිස දවටා ගත් සාරි පොටෙහි සෞම්‍ය පැහැයන් එකිනෙකට ප්‍රතිමුඛ කෙරී ඇත. ලංකාව තුල වාර්ගික පීඩනයට හසු වූ දෙමල ස්ත්‍රිය මුහුන දුන්, දැනුදු මුහුන දෙන බිහිසුනු අන්තරායෙහි පරිමාව මේ සිතුවම් මගින් අනාවරනය කෙරේ.


කුරුසියක ඇන ගැසූ නිරුවත් ලඳකි (07). හිස පහතට කඩා වැටී ඇත. පසෙක දුර්වර්න බෝ පතක් හා චීවරධාරී රුවකි. චීවරධාරියාගේ සිරුර වසා ගත් අඳුර ස්ත්‍රිය වටා ද පැතිරෙයි. සම්ප්‍රදායික නත්තල් පතක නැතිනම් වෙසක් පතක ආකෘතිය දරන මේ සිතුවම උත්ප්‍රාසයෙන් කියා සිටිනුයේ ස්ත්‍රිය දඬු ගැසීමෙහිලා ආගමික දෘශ්ටිවාදයෙන් පිටුබලය සැපයෙන බවකි.


ගෙබිමක් මැද වැතිර සිටින කතකි (12). සිරුර තැනින් තැන තඩිස්සි වී ඇති සෙයකි. දොර ඇරී තිබේ. ගෘහස්ථ හිංසනයක හා ද්වේශසහගත ලෙස හැර යෑමක ලකුනු ය ඒ.


වේලි ගැට්ටක් මත දිගා වී ගැඹුරු ගඟ දිය වෙත එබෙන ස්ත්‍රියකි (35).


තවත් සිතුවමක, පාතාලයට පනින්ට මාන බලන රුවකි (21). අප ජීවත් වනුයේ, තරුන පරම්පරාව අතර පමනක් නොව වැඩිහිටියන් අතර ද සිය දිවි නසා ගැනීම් බහුල අවධියක ය. පරත්වාරෝපිත පුද්ගලයා වඩා පහසුවෙන් ඊට නැඹුරු වෙයි. දියුනු කාර්මික රාජ්‍යයන් ලෙස හුවා දැක්වෙන ජපානය හා දකුනු කොරියාව තුල පවා දිවි නසා ගැනීමෙහි රේට්ටු ඉතා ඉහල අගයන් ගනී. ලංකාව සැලකුවොත්, එය වසරකට 4000කි. මෙහි දිනකට දිවි නසා ගැනීමෙහි ප්‍රයත්න 120ක් සිදු වන අතර ඉන් 10%ක් සාර්ථක වන බව වාර්තා වෙයි (Daily News, 2012.06.13). සංවේදී කලාකරුවා හට ගෝචර වී ඇත්තේ මේ කටුක යථාර්ථය යි.

බිලිඳෙකු රැගත් මවකි (39). ඇගේ වටකුරු උවනෙහි ඇස් කන් නාසා නොමැති වුව ඈ සිය දරුවා ඇකයෙහි හොවා ගෙන සිටින දෘඩතර හා සෙනෙහෙබර ලීලාවෙන් යමෙකුට ඇගේ අනාරක්ශිත, අසරන සිත කියවන්ට පුලුවන.


ධාවනයෙහි යෙදී සිටින ජව සම්පන්න පුරුශ කවන්ධයකි (15). මේ යෞවනයාගේ හිස සිරුර පසුපස ඇදී එයි. මේ වනාහි මලල ක්‍රීඩා ඉසව්වක් හෝ ශරීරික අභ්‍යාසයක් හෝ නොවේ. සමාජ ජීවිතය විශයෙහි දෙකඩ කෙරුනු න්‍යාය (හිස) හා භාවිතය (කඳ) පිලිබඳ කාරනාව එමගින් සංකේතවත් වෙයි. මේ අපූරු චිත්‍රය, ලදරු වලිප්පුවක් ලෙස වරෙක ලෙනින් විසින් ගුනාංගීකෘත අරාජකවාදී, ප්‍රතිසංස්කරනවාදී, අති ධාවනකාරී වාම දේශපාලනය සිහිගන්වයි. එහි විපාක මෙරට මහජනතාව ද ඇති තරම් අත්දැක තිබේ.


හිස් කබලක (23) එක් ඇසක් හා මුඛයෙන් අඩක් රෞද්‍ර විලාසයෙන් පින්තාරු කිරීමෙන් සිත්තරා නූතන සමාජික මිනිසාගේ ද්විත්ව චරිත ස්වභාවය එලිමහනට ගෙනැවිත් තිබේ. පන්ති සමාජය තුල වෙසෙනුයේ දෙබිඩි, කුහක මිනිසුන් වග කිවමනා නොවේ.


වර්තමානයෙහි, ආගමික පූජකයින්ගේ මත් කුහකකම සිත්තරා අනාවරනය කරනුයේ, බෞද්ධ භික්ශුවකගේ යයි කිව හැකි මුඩු හිසකින් යුත් මුහුනක (06) දෙබිඩි ස්වරූපය විදහා දැක්වීමෙනි.


ඇඳක් මත තනි වූ අත් බෑගයකි (08). ඉන් එලියට පනින කුඩයකි. පුපුරා ගිය බිත්තියෙහි ලේ පැල්ලමකි. ස්ත්‍රී දූශනයක නැතිනම් ඝාතනයක සලකුනු ය ඒ. විපතට පත් තැනැත්තිය අදෘශ්‍යමාන වුව නිසැකව ම ඈ ඇඟලුම් කම්හල් සේවිකාවක විය හැකි බවට අත් බෑගය හා කුඩය දෙස් දෙයි.


සපත්තු ජෝඩුවකි (09). එහෙත්, මෙය, වෑන් ගෝ චිත්‍රගත කල ප්‍රකට සපත්තු (A Pair of Shoes, 1886) මෙන් වෙහෙසට පත් ගොවියා විසින් උනා තබන ලද ඉරුනු, ගෙවී ගිය පාවහන් නොවේ. මේ වනාහි, නූල තදින් ගැට ගැසූ, බිය උපදවනසුලු බූට් සඟලකි. එය පැලඳගෙන සිටින තැනැත්තාගේ ඇඟිලි පිටට පැන තිබේ. මිථ්‍යා කථාන්තරයන්හි එන අමනුශ්‍යයෙකුගේ බඳු මේ නිල්වන් පා ඇඟිලි නිදැල්ලේ සරන බත්බැල දේශපාලන මැරයෙකුගේ විය නොහැකි ද?


හිස මුදුන විවර වූ පච්ච වර්න පුද්ගලයෙකුගේ මොල ලොඳ මත වසා සිටින පරෙවියෙකු නිරූපිත සිතුවම (04), තිස් වසරක වර්ගවාදී යුද්ධය කෙලවර කොට බලාත්කාරයෙන් උදා කල ඊනියා 'සාමයෙහි' සැබෑ තතු විදහා පායි. පිත්තල සෙම්බුවක් මත සවි කල ආධාරකයක රැඳ වූ මනුශ්‍ය හිස් කබලෙන් (මූර්තිය 01) ද එය සංකේතවත් වෙයි.

වර්න තෝරා ගැනුමෙහි දී මෙන් ම වර්න සංකලනයෙහි දී ද සිත්තරා අපූරු ප්‍රතිභාවක් පෙන්වයි. තම "කඩා වැටෙන" මානව දේහයන් හට සූර්ය වර්නාවලියෙහි අඩංගු ස්වභාවික පැහැයන් නොගැලපෙන හෙයින් දෝ හෙතෙම ඒ සඳහා උචිත නව වර්න තෙමේ ම පිලියෙල කර ගනී. නිස්තේජ (dull) රූප සහ දීප්තිමත් පසුබිම මනා ලෙස එකිනෙකින් විලක්ශනය කෙරී ඇත. ඇතැම් පසුතලයක සතරැස් වර්න පදාස, රූපය යටපත් කරගෙන ඉස්මතු වී තිබීම දුර්වලතාවකි.

මානව පරත්වාරෝපනය ස්ථීතික හා සදාකාලික සහලක්ශනයක් නොවේ. ලාභය පෙරදැරි කර ගත් ධනේශ්වර නිශ්පාදන මාදිලිය අහෝසි වෙත් ම එය පහව යනු ඇත. ප්‍රබල පන්තියක් වන කම්කරු පන්තිය, මොනයම් මානසික පරිපීඩන හා දුශ්කරතා මැද වුව, බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. අපේක්ශාභංගය වනාහි කම්කරුවන්ගේ ලක්ශනයක් නොව නපුරෙහි මූලයන් අවබෝධ කොට ගත නොහෙන, ඉන් ගැලවෙන මංහසර නොපෙනෙන, අරගලයෙහි නොසමත් පුද්ගලයන්ගේ පොදු ලක්ශනයකැයි ලෙනින් ලිවී ය.

ගැඹුරු පරත්වාරෝපනය නොතකා ධනාත්මකව ප්‍රතිචාර දක්වන මානව රූපයක් දෙකක් ද ප්‍රදර්ශිත සිතුවම් අතර තිබීම සතුට දනවයි.


නිදසුනක් ලෙස, පලාවන් පසුබිමක මේ අප්‍රසන්න හා ජුගුප්සාජනක තතු කෙරෙන් ජයග්‍රාහීව පලා යන ස්ත්‍රියකගේ රිද්මයානුකූල නිදහස් චලනය නිරූපිත සිතුවම (16) සලකන්න.


ඊලඟට, අවදානම මධ්‍යයෙහි වුව දිරිමත්ව එකිනෙකා වැලඳ ගත් යුවලකි (38).


නැවතත්, ආත්මාධ්‍යාසය තකා ස්වකීය කාය ශක්තිය උරගා බලන පුරුශයෙකි (19).

එහෙත්, මේ අධිශ්ඨානපූර්වක, ධෛර්යය සම්පන්න, අපේක්ශාසහගත පුද්ගලයන් හට නිදහස හා විමුක්තිය උදා වනු ඇත්තේ හුදු කේවල හා මනෝබද්ධ ප්‍රයත්න ඔස්සේ නොව කම්කරු පන්තියේ ස්වාධීන, ඒකාබද්ධ, වෛශයික හා ජාත්‍යන්තර ක්‍රියා මාර්ගය ඔස්සේ පමනක් ම බව පීඩිත මහජනතාවන් සේ ම ඔවුන්ගේ ජීවිත ප්‍රතිනිර්මානය කිරීමට පෙලඹෙන කලාකරුවන් ද මැනවින් වටහාගෙන සිටිය යුතු අවධියකට අපි එලැඹ සිටිමු.


-01-



-18-



-25-



-27-



-31-



-20-


(2012.07.08 දින රාවය පත්‍රයෙහි පල වූ ලිපියෙහි විස්තාරනයකි. අක්ශර වින්‍යාසය ලියුම්කරුගේ අභිමතය පරිදි ය).

දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails