Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා
සනියො හදන්ටා සනියො රජුන් කරන්ටා
බා ලොලි ලොලී බා ලොලි ලොලී....

සනියලා දුක් ගන්නේ පප්පො නසන්ටා
පප්පො නසන්ටා නසලා බම්බු ගහන්ටා
ඕ බලි බලී ඕ බලි බලී....

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි.

අම්මා:

මගෙ සුදු දුව කොතැන ගියේ
රන්සළු විල් දියට ගියේ
දියේ මලක් පිපිලා යේ
එමල කඩා එන්ට ගියේ

දුව:

අම්මේ මං ගඟේ ගියේ
බෝ සමිඳු ට කියා ගියේ
වේලක් සරි කර ගන්නට
අරුංගලය එවා තියේ

අම්මා:

රනින් නෙළා ගත් දෝණී
රන් කිරි කට ගෑ දෝණී
රන්වන් සළු වියු දෝණී
රන් දියඹට ගිය දෝණී

දුව:

රන් කිරි මතකය පමණී
රන් විමනක සුව නූනී
රන්වන් හදවත බිඳුණී
උඹ නාඬන් උලලේනී

අම්මා:

උඩු නියරේ පැකිළෙම්මා
යටි නියරේ වැටුනෙම්මා
රන් කිරි කර පෙව්වෙම්මා
උඹ කොහෙදෝ මයෙ අම්මා

දුව:

ලිප ගිනි රතු මල් පිපෙන්න
මල්ලිට රංකිරි පොවන්න
රන් නූලෙන් සළු මැහුවේ
සංසාරෙන් එතෙර වෙන්න

අම්මා:

අනේ පුතේ ඇතින්නියා
උඹ එන මඟ රකින්නියා
පොලීසියට දුවන්නියා
කනේ කොහොඹ හලන්නියා

දුව:

මයෙ අප්පා කළුම කළුයි
මයෙ අම්මා කළුම කළුයි
මං හැංඟුණ ගඟත් කළුයි
ඒ හින්දා මාත් කළුයි

අම්මා:

නිම්මා නැති සංසාරේ
පෙම්මා නැති මල් පීදේ
උඹ බුදු වෙන මතු වාරේ
අම්මා වෙමි ඒ වාරේ

දුව:

මෙතේ බුදුන් ළඟ මෙතිනේ
දහම් දීප සඟ සරණේ
පෙරුම් පුරන බෝසතුනේ
රනින් ද නිවනත් හැදුණේ

[සිතුවම : Andreu Martró]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ආගන්තුකයා හාමුදුරුවන්ට වැන්දේ නැත. උසට උසේ සිටගෙන සිටියේය. මුහුණේ නිශ්චිත හැඟීමක් ද නොවීය. ‘ඉඳගන්න. ’ අන්තිමේදී ලොකු හාමුදුරුවෝ කීහ. ඔහු කුමක් නම් කරන්නේද කවුරුත් බලා සිටියහ. ටික වෙලාවකට පසු ඔහු හිඳ ගත්තේය. ඒ ලොකු හාමුදුරුවන්ට මුහුණ ලා ගල් ආසනය පාමුල ය. ඔහුගේ නළලේ ලේ කැටි ගැසුණු තුවාලය මනාව පෙනී ගියේය. ලොකු හාමුදුරුවෝ ඒ දිහා නොව, ඔහු දෑස හරහා යන තියුණු සන්සුන් බැල්මකින් බලා සිටියහ. ඔහු ද සෘජුවම උන්වහන්සේගේ දෑස කෙරෙහි අවධානයෙන් සිටියහ. දෙදෙනාම දෙදෙනාගේ චිත්ත සන්තානයේ ගැබ් වු කිසියම් ගුප්ත අර්ථයක් අන්‍යෝන්‍යව වටහා ගන්නට මෙන් තීක්ෂණ භාවයකින් අන්‍යෝන්‍ය නේත්‍රාවන්හි ගිලී සිටියහ. වෙලාවකට පසු ලොකු හාමුදුරුවෝ අවබෝධාත්මක සිහින් සිනාවකින් දෙතොල සරසාගෙන කතා කළහ."

දැන් මේ තමයි සයිමන් නවගත්තේගම ගේ අලුත් ම කෘතිය "සංසාරාරණ්‍යය අසබඩින්" මා දැක්වු කොටසක්. ඉතින් මා හිතන්නේ සයිමන් නවගත්තේගම කියපු ගමන් ඔබේ මතකයට නැගෙන්න පුළුවන් නාට්‍යකරුවෙක්. ඒ වගේම විචාරකයෙක්. වගේම නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, එක්තරා විදිහකට විප්ලවීය සාහිත්‍යකරුවෙක් ඔබේ මනසට නැගෙන්න පුළුවන්. ඔහු මේ මෑතදී ලියු නවකතා කිහිපයක්ම විචාරකයන්ගේ අවධානයට යොමු වුණා. "සංසාරාරණ්‍යය අසබඩ" මා දකිනවා සුවිශේෂ නවකතාවක් විදියට. මේක මේ අපි සාමාන්‍යයෙන් කියවා අහකට දාන්න පුළුවන් හුදු නවකතාවක් නෙවෙයි. බොහෝ විට නවකතා කිව්වම අපි කිසියම් සමකාලීන සිදුවිම් මාලාවක්, දේශපාලන ආර්ථීකමය මොනවහරි දෙයක් මුල් කර ගත් චරිත මගින් ඉදිරිපත් කරන කිසියම් කාල වකවානුවක් පිළිබඳ වෘත්තාන්තයක් තමයි අපි නවකතාවකින් අපේක්ෂා කරන්නේ.

නමුත් මීට වඩා එහාට යමින් නවකතාව ගැඹුරු ජිවිත විඥානය අවබෝධ කරන්නක් විදියට කිසියම් දාර්ශනික කරුණු පිළිබඳව හෘදය සංවාදයක යෙදෙන්නට සලසන නවකතාවක් විදියට තමයි සයිමන් නවගත්තේගම ඔහුගේ නවකතාව භාවිත කර තිබෙන්නේ. දැන් ඔහුගේ නවකතා වල ඔබ දන්නවා හුඟක් විට වන්නිකරයේ ජන ජිවිතය පරිසරය සොබාදහම හා මිනිසා අතර තිබෙන සම්බන්ධතාව, ඒ සමගම ඔහු පෙර අපර දෙදිගම දාර්ශනිකයන්ගේ ඇතැම් දර්ශන ඉදිරිපත් කර තිබෙනවා.

මා හිතන්නේ මේක තමයි, ඉතාම වැදගත් කාරණය. ඉතින් අපි අපේ රසිකයන් වෙනුවෙන් ආරාධනා කළා සයිමන් නවගත්තේගම මහතාට.

ඉතින් මා මුලින්ම දැනගන්න කැමතියි මේ "සංසාරාරණ්‍යය අසබඩ" ඔබේ නවකතාවට දීලා තියෙන නම ම කිසියම් හේතු පාඨයක් වගෙයි. මොකද ඒ ගැන කියන්නේ?

ඔව්.. මේ මාතෘකාව සාමාන්‍යයෙන් පොතේ අන්තර්ගත වෙන කායික, මානසික, ආධ්‍යාත්මික වශයෙන් ඇතුළු වෙන ජිවිතය තුළින්ම ආපු මාතෘකාවක්. මේක එක පාරටම පහළ වෙච්ච දෙයක් නෙමෙයි. බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ ජිවත් වෙමින්, ඒ අත්දැකිම් හදාරමින්, ඒ අත්දැකිම් ඇතුළට කිමිද යන්න මා ගත්තු උත්සාහය. ඒ සඳහා කරන ලද අභ්‍යාස, ඒ අභ්‍යාස කිරීමේ දී අපි ළං වෙච්ච යම් කිසි අභ්‍යන්තරයේ හැංගී තිබෙන අධි තාත්වික ගැඹුරක් කෙරෙහි අපේ හිත යොමු කරන විට අපට පෙනෙන දෙයක් තමයි, අපි යථාර්ථවාදී නවකතාවෙ බටහිරිනුත් ඉගෙන ගත්තු ඒ සම්ප්‍රදායේ, එයින් විස්තර කෙරෙන යථාර්ථයට වැඩි, එහි යටින් තිබෙන එය අභිභවනය කරන අධිතාත්වික යථාර්ථයක් කෙරෙහි ළඟ වීම තමයි, මගේ උත්සාහය. ඒ සඳහා මුල් කාල වල මං යම් යම් අත්හදා බැලිම් කරලා තිබුණා.

අපි කියමු… මං පොඩිකාලේ තිබෙන අත්දැකිම් හා මගේ පුද්ගලික අත්දැකිම…. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එක චරිතයක් …… දඩයක්කාරයා .. නමුත් දඩයම් කිරීම හා දඩයම් කිරීමට ආශ්‍රිත අත්දැකිම් ඔස්සේ මට පෙනුණා අතීත අත්දැකිම් අපේ මනුෂ්‍යයන්ගේ සහ වනාන්තරය අවට, ඇතුළත, ජිවත්වුණ පුරුෂයන්ගේ ගැහැනුන්ගේ චරිත දිහා බලන කොට ඇතැම් චරිත වලට ගොනු කරන්න පුළුවන්, බොහෝ මනුෂයන් අතර විසිරී තිබෙන යම් යම් අත්දැකිම් ගති ස්වභාවයන්, චරිත ලක්ෂණ කැටි කරන්න පුළුවන්. සමහර චරිත තුළ … ඔය දැන් අපි කියනවා මුනිවරු කියලා. ඉතා ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෝ ඉඳලා තියෙනවා. රාෂ්ඨ පාලකයෝ, එතකොට වෙනත් ශ්‍රේෂ්ඨ කාන්තා චරිත, ඒවායේ දී අපට පෙනෙනවා ඒ අය තුළ විසිරි තිබෙන යම් යම් චරිත ලක්ෂණ හා සත්‍යයන් සත්තාවන් ගොනු වෙලා තියෙනවා.

මෙකේ තේරුම බොහෝ ගණනක් විවිධ සත්වයින්ගේ, මනුෂ්‍යයන්ගේ, ගැහැනුන්ගේ එහෙම ශ්‍රේෂ්ඨ තත්වයන් නෑ කියනවා නෙමෙයි. හැම කෙනෙක්ම ඇත්ත වශයෙන්ම හොයලා බැලුවොත් බෝධිසත්ව චරිතයක්. ඒවා එක්තරා සමාජ අවස්ථා, සමාජ තල වල විකාශයට පත් වෙන්නේ මතු පිටින්. නමුත් අභ්‍යන්තරයට යන්න යන්න අපිට පේනවා හැම මනුෂ්‍යයෙක් තුළම ගැඹුරු යථාර්ථයක් තිබෙන බව.

මගෙ දඩයක්කාරයාගේ කතාව. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා ග්‍රන්ථ ගත්තහම මම ඒ වනාන්තරය එක්ක වෙසෙන, වනාන්තරය තමන්ගේ ග්‍රහණයට ගත්තු තමන්ගේ ආරම්මණයට භාජනය කරගත්තු එක්තරා පුද්ගලයෙක්. මුනිවරයෙක් වගේ. එයා දඩයම් කළාට දඩයක්කාරයෙක් වෙඩික්කාරයෙක් නෙමෙයි. ඒ වගේ චරිත වලින් මට කියන්න ඕන සත්‍ය කියවෙනවා, කියලා මට හිතුණා.

ඒ කියන්නේ මේ දඩයක්කාර සතුන් මරන, අප දකින සාමාන්‍ය දඩයක්කාරයෙක් විතරක් නෙවෙයි. ගහකොළ පිළිබඳ, අපේ මිනිස්සුන්ගෙ පාරම්පරික උරුමය පිළිබඳ අවබෝධයක්, අරමුණක් තියෙන දඩයක්කාරයෙක්. ඔබේ දඩයක්කාරයා, නිකම්ම නිකං මස් වැද්දෙක් නෙමෙයි. දැන් මෙකෙත් ඉන්නව දඩයක්කාරයෙක්, ඔබ කලින් කිව්ව වගේ දඩයක්කාරයා, සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා වගේ. ඒ විතරක් නෙමෙයි, ගහකොළ, ගංගා, වර්ෂා, මේ හැම දෙයක්ම ඔබේ කතාවල එනවා. ඇත්තටම මට මතක් වෙනවා, දැන් ඔය කුරසෝවාගේ චිත්‍රපටිවල වගේ. මේ වගේ ගහකොළ සොබාදහමේ තිබෙන දේවල්, ඔබ, වෙනත් නවකතාකරුවන්ට වඩා විශාල අභිරුචියකින් භාවිත කරනවා. දඩයක්කාරයා විශේෂයි. ඇයි?

එකට හේතුව අපේ … ඒක මේ පොත විග්‍රහ කරන කොට තවදුරටත් පැහැදිලි වෙයි. අපේ ආදීම යුගයක වනාන්තරයේ අපි ජිවත් වුණේ සහජීවනයෙන්. තව සත්තු, ගහකොළ, අහස, වර්ෂාව මේ සේරම වෙන් කරන්න බැරි එකම ජිවිතයේ අංශු. ඒ පරම්පරාවලින් ඉගෙන ගෙන ඒ අත්හදාබැලිම් කරලා, දැකලා, ඊළගට අයෙ කෘෂිකාර්මික යුගයකට එනවා. එතකොට එළිමහනක ජිවත් වෙනවා. ආයෙ වනාන්තරයක ජිවත් වෙනවා. නමුත් වනාන්තරය අසබඩ. වනාන්තරය එක්කම, එත් ඒ මිනිස්සුන්ට වනාන්තරයෙනුත්, සොබාදහමෙනුත් සම්පුර්ණයෙන්ම මිදෙන්න බැරිවුණා. ඒ කියන්නේ ක්ෂෙත්‍රයක්, කුඹුරක් කැළේ එළි කරලා ගොඩනැගුවත් ඒක දකින්නෙත් අර වනාන්තරයත් සමඟමයි. මහ පොළොවට වැස්ස වහින්නේ, වියළෙන්නේ, දේශගුණික විපර්යාස ඒ සේරමත් එක්ක තමයි. වනාන්තරය ඇතුළෙත් වනාන්තරය පිටපත් මනුෂ්‍යයෝ ජිවත් වුණේ. අද සමාජ ක්‍රමය ටිකක් වෙනස් වෙලා තියෙන නිසා බොහෝ දෙනාට ඒක පේන්නේ නෑ. දැන් පේන්නේ හැම දෙයක්ම අපේ ගොදුරු බවට පත් කර ගන්න කියලා. නමුත් සොයා ගෙන යනකොට ඒ චරිත වසර කෝටි ගණන් අප උරුම කරගත්තු දෙවල් අපේ චිත්ත සන්තානයේ තවම පවතිනවා.

දැන් මෙහි එනවා, ආගන්තුකයෙක්. ඔබේ අලුත් "සංසාරාරණ්‍යය අසබඩ" කියන කෘතියේ මේ ආගන්තුකයා පිළිබඳ ඔහු කෙබඳු කෙනෙක්ද කියලා අපට අනාවරණය වෙන්නේ නෑ. නමුත් මේ කතාවෙ දිගටම ඔහු කේන්ඳ්‍රීය චරිතයක් බවට පත්වෙලා තිබෙනවා. ඇයි ඔබ ඔහු ඒ විදියට හඳුන්වල තියෙන්නේ. මහ සද්දන්තයෙක්. පුරුෂයෙක් බව පේනවා. මිනිස්සුන්ට ඔහු පිළිබදව ඔබේ විවිධ කතාවල තියෙන අධිතාත්වික රීතිය මෙවැනි චරිත ඉදිරිපත් කරන විට භාවිත කරනවද?

දැන් මේක දිහා දෙවිදියකට බලන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය සාහිත්‍යයික ආකෘතික ප්‍රයෝගයක් හැටියට. එක්කෝ උඩින් මත්තෙන් බැලුවොත් අපට දකින්න පුළුවන්. මේක ආරම්භයේම තිබෙන්නේ "වස්සාන කාලය විය. දෙගොඩ තලා බස්නා ගංගා හැඩපාර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්‍රාප්ත විය." – එක්තරා ආගන්තුකයෙක් …. පළමු කොටම ඔහු දර්ශනය වුයේ ආරණ්‍යයේ හාමුදුරුවන්ටය. දැන් හාමුදුරුවෝ කිව්වහම මෙතැන නිශ්චිතවම හාමුදුරුනමක්. නමුත් මේක ආගන්තුකයා ඇතුළු වුණායින් පස්සේ … ඒත් එක්කම දෙයක් සිද්ධ වෙන්න ගන්නවා. "කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වුයේය. අධ්‍යාත්ම ශ්‍රි සංයමයෙන් වු සියලු රාග, මෝහ මානයන් කැලඹී සිටියහ." දැන් මෙයාගේ පැමිණිමත් සමග බාහිර වශයෙන් හා අභ්‍යන්තරික වශයෙන් මෙතෙක් මේ සමාජයේ, ඒ ගම්මානයේ, සැඟවිලා තිබුණු ගම්මානය … ඒ අසලින් ගලා යන ගංගාවක්, කඳු පර්වතයක් තියෙනවා. ඊළගට ආරණ්‍යයක්. එතකොට මේ සේරම තුළ තියෙන ජිවිත කැලඹෙන්න ගන්නවා. ඒ කැළඹීමේ කතාව තමයි උඩින් මත්තෙන් මේකේ තියෙන්නේ, මේ ආගන්තුකයා ගංගා හැඩපාර දිගේ ආපහු ආ විදියෙන්ම යනකල්.

අනිත් පැත්තෙන් මේකේ තව විදියක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒකේ තියෙන විදියට කෙනෙකුට රස විඳින්න පුළුවන්. උඩින් මත්තෙන් කතාන්දරයක් විදියට. අනික් පැත්තෙන් මේ ආගන්තුකයා නිශ්චිතවම හඳුන්වලා නැත්තේ. හදුන්වන්න ගිය ගමන් මුළු පොතේම අභ්‍යන්තරය අරමුණ කඩා වැටෙනවා. මොකද මේකෙ ඉන්න හුඟක් චරිත සම්පුර්ණයෙන් මෙහෙම වෙන්න පුළුවන් කියලා, පොත අන්තිමට යනකොට මැවෙනවා. මේ වගේ චරිත ලක්ෂණ තියෙනවා. මේ වගේ දේහ ලක‍ෂණ තියෙනවා කියලා. නමුත් මේ හාමුදුරුවෝ පරම්පරා ගණනක් ආරණ්‍යයේ අත්දැකීම් ගොනුකර ඉන්න කෙනෙක්. ආගන්තුකයා සමහර විට ඊටත් වඩා දැවැන්ත බලවේගයක් වෙන්න පුළුවන්. එයා තුළ වෙන්න පුළුවන් මේ සියලුම දේවල් සිද්ධවෙන්නේ මොකද? හාමුදුරුවොත් යම් යම් ගැටලු වලට මුහුණ දෙන්නේ, ආධ්‍යාත්මික වශයෙන්, එයා ආපු තැන ඉඳලා ගොඩබහින දවසේ ඉඳලා. දැන් … ගංගාවෙන් ගලා ඇවිල්ලා ගොඩගහන තැන ඉඳලා, ගංගාව සංසාරික ජිවිතය කියලා ගත්තොත් ඒ අසබඩ ඉන්න හාමුදුරුවෝ ඒ ජිවිතය තුළ ගලා ඇවිත් හමුවෙන, ගොඩබහින, ආගන්තුකයා ඒ දෙන්නා අතර තමයි මේ ඉතාම අභ්‍යන්තර … චිත්ත අභ්‍යන්තරයේ සිද්ධවෙන අවධියේ ඉන්න විටත් ස්වප්න ලෝකයේ ඉන්න විටත් අතරෙ තමයි. මානව ගැටුම්, ඒ සිදුවීම්, සිද්ධ වෙන්නේ. ඒවා එක අතකින් බලවේග වෙන්න පුළුවන්. එක තමයි ප්‍රශ්නය. මේක එක එක තල වලින් විචාරයට ලක් කරන්න පුළුවන්. නමුත් මට කියන්න ඕන හොඳම විධිය තමයි මේ පොතේ කියලා තියෙන්නේ.

නමුත් මා විරුද්ධ වෙන්නේ … මේක කියවලා රසවිඳපු කෙනෙක් ආපහු මේ ගැන හිතන කොට කොහෙන් හරි පොටවල් අල්ල ගන්න බලනවා. මේකට ප්‍රවිෂ්ඨ වෙන්න. ඒ ප්‍රශ්නය එනවා. අර දඩයක්කාරයා ගැන කියනවා වගේම අර ක්ෂීර සාගරයේ දැවැන්ත අධිරාජයා ගැන කියවෙනවා වගේම මේ ආගන්තුකයා විස්තර නොවීමම තමයි එයාගේ චරිතය.


දැන් මටත් ඇති වුණා විශාල ගැටලුවක්. මේ ආගන්තුකයා කොහොමද? ඔහු ගඟක ගහගෙන එනවා. ඔහු සද්දන්ත මිනිහෙක්. ඔහු ගැන කතා කරනවා. ඉතින් ඇත්තටම එකක් තමයි විචාරකයන්ට එක්තරා විධියක අභියෝගයක් ඔබේ මේ කෘතිය. මොකද මෙකේ කොතනින්ද අල්ලගන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් මේකේ ස්වප්න ලෝකේ සිද්ධවෙන දේවල්, යථාර්ථවාදය, සමහරවිට මෙය සිහිනයක්ද? ඔබ සඳහන් කළා වගේ දඩයක්කාරයා, මේවා පුද්ගලයන්ට වඩා නැත්නම් කිසියම් සංස්ථාවක් වශයෙන් කිසියම් ප්‍රබල පරාසයක් දකිනවා. ඒ එක්කම මෙහි තවත් ඉතා වැදගත් දෙයක් තමයි සමහර නවකතාවලින් දෙන දෙයට වඩා මෙහි ගැඹුර පෙර අපර දෙදිග දර්ශනය පිළිබඳ, තන්ත්‍රයානය පිළිබඳ නොයෙක් භාරතීය සෘෂිවරුන්ගේ සංකල්ප ආලයේ විඥානය වගේ දෙවල්. ඒවා මේ නවකතාවෙ ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ නවකතාව සාමාන්‍ය පාඨකයෙක් කියෙව්වත් රසවින්දත්, ඊට වඩා මේ විෂය පිළිබඳ, සාහිත්‍ය කලාව පිළිබඳව දර්ශනවාද පිළිබඳ යම් තරමකට දන්න කෙනෙකුට මීට වඩා බොහෝ දේවල් මේ නවකතාවෙන් ඇතිකරලා තියෙනවා නේද?

ඇත්ත වශයෙන්ම ආලයේ විඥානය කිව්වහම බටහිර ඒ හා සමානව මානව විද්‍යාව දියුණු කරල තියෙනවා. කාල්යුංග් එනකොට සහ ඊට පෙර ආලයේ විඥානය වෙනත් ප්‍රඥා මාර්ගයක් ලෙස සොයාගත්තේ පෙරදිග මුනිවරු. බෞද්ධ, හින්දු, තාන්ත්‍රික ඒ ශාස්තෘවරු. දැන් මෙයින් අදහස් කරන්නේ අපේ භෞතික ශරිරය ගත්තොත්, ජාන ගත්තොත් ඒ ජානයේ භෞතික විපරිණාමය අනුව තමයි අද වනතුරු අපි, මනුෂ්‍යයින් විපරිණාමයට භාජනය වෙලා තියෙන්නේ, ඒ භාපනයවීමේ ඓතිහාසික විකාශය අපේ ජානවල තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසයි ඔබගෙයි මගෙයි සහ මගේයි. අපේ, සහකාරියන් සමග එක්වුණාම ආදී කාලින විපරිණාමයන් අවස්ථාවක චිම්පන්සියෙකු වැනි සතෙක් උපදින්නේ නැත්තේ. මොකද අපේ ජානයේ තැන්පත් වෙලා තියෙනවා, අද වෙනකල් භොතික ශාරීරික විකාශන අවස්ථාවන් ඒ වගේ මුළු සංහතියෙහිම, සත්ව සන්තතියෙහිම ආධ්‍යාත්මික ජිවිතයත් ඒ ශක්තියත් ඒ ජානයේ තව දරුවෙක් මීට වර්ෂ 5000 කට උඩ දී විපරිණාමය වෙච්ච අවස්ථාවක් නැහැ. බිහිවෙන්නේ අද දක්වා විකාශනය වු ජාන පරම්පරාවෙ වර්තමාන පුරුකේ දරුවෙක් හැටියට. ඒ දරුවගේ ශාරීරික ජාන කොටස භෞතික කොටස වගේම, ආධ්‍යාත්මික මුළු මනුෂ්‍ය සංහතියේම විඥානමය ගති ලක්ෂණත් මේ ජානයේම තියනවා.

අපි අද ටික කාලෙකට ජිවත් වෙලා මැරුණට, ඒ මැරෙන හැම අවස්ථාවකම අපේ සිහින වලත් ඇත්ත ජිවිත වලත් ඒ ජානයේ අපි උරුම කරගත්තු ඒවා භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම එදිනෙදා ජිවිතයෙන් ටිකක් ඈත් වෙලා, ඒ ගෑඹුරට සමවන්න උත්සාහ ගන්න හැම කෙනෙකුටම කිමිදිලා යන්න පුළුවන්. ඒ අතීත ඥාන පරම්පරාවේ, ජාන පරම්පරාවෙ ඥානමය සහ ශාරිරික කොටසකට. ඉතින් ඕක බොහෝ විට මතුවෙනවා ස්වප්න ලෝකයේදී.

දැන් ඒ නිසා තමයි බටහිර මනෝ විද්‍යඥයෝ ප්‍රතිකාර කරන්නේ කෙනෙකුගේ රෝගයක් තියෙනවද නැත්නම් ඒ ස්භාවයන්ගේ විකෘතිමය තත්ත්වයක් තියෙනවද කියලා. ප්‍රතිකාරය පාවිච්චිය කරන්නෙ ඒ ස්වප්න විභාග කිරීමෙන්.

ඉතින් දැන් අපි අද බැලුවොත් මේ පොතේ මා යොදල තියෙනවා යම් යම් රූපවල ඡායරූප. චිත්‍ර මුර්ති වල ඡායරූප. ඒ දේ වලදි පේනවා ඉතා ඈත අතීතයේ නොයෙක් ගෝත්‍ර වල, කවදාවත් එකට මුණ නොගැසුණ ගෝත්‍ර වල කලා වස්තු නිෂ්පාදනය කරපු යම් යම් තන්ත්‍ර. ඒවා එක සමානයි. අදත් අපි මේ පොත එක්තරා වෙන මට්ටමකට, තාන්ත්‍රික යානයක් හැටියට හෝ වෙනත් පදනමක් අනුව විග්‍රහ කරන කොට අපිට ළඟා වෙන්න පුළුවන්. ඒ අතීතයේ අය මොනව හරි ඉවකින් අන්තර් ඥානයෙන් පසක් කරපු දෙයක්ම අපට මේ පොත තුළිනුත් අඳුරගන්න පුළුවන්. නමුත් සෑම පාඨකයෙකුට ම එය අවශ්‍ය නෑ…. නවකතාවක් වශයෙන් රස විඳින්න.

සමහර විට ඔබ දක්වලා තියෙන ඇතැම් ජායාරූප දර්ශනවාද සමග සම්බන්ධ වෙනවා. මේ දර්ශන වාද පිළිබඳ අවබෝධයක් නැති පාඨකයෙකුට කුතුහලයක් ඇතිවෙනවා. මොනවද මේ කියලා. ඒක ඔබ සඳහන් කළා වගේම එය නවකතාව රසවිඳින්න බාධාවක් නෑ නේද?

එක එක තල වල ඉඳ ගෙන රසවිඳින්න පුළුවන්. කෙනෙකුට මෙය කතාන්දරයක් විදියට ලියන්නත් පුළුවන්. හාමුදුරු කෙනෙක් ඉන්නවා. දුෂ්ටයෙක් ඉන්නවා.

ඔබේ නවකතා වල ඉන්න චරිත සාමාන්‍ය පුද්ගලයන් සමාජය පිළිබඳ කිසියම් උත්තේජනයකින්, අභ්‍යන්තරික හා බාහිර සමාජය තුළ ගැඹුරු තලයකට යනවා. හින්දු, තන්ත්‍ර, පෙරදිග, බටහිර දෙකේම, දර්ශන වාද පිළිබඳ ඔබ සාකච්ජා කරනවා. මේවා ඔබ ඔබවම සාකච්ජාවට බඳුන් කිරිමක්ද? ඔබ තුළ ඇතිවන ප්‍රශ්න ද? බටහිර දාර්ශනිකයන් තමන් තුළ ඇතිවන ප්‍රශ්න තමයි මේ විදියට සාකච්ජා කරන්නේ. ඔබේ නවකතා තුළත් ඒ දේ තියෙනවා. හාමුදුරුවෝ, නිළෙමෙ, දඩයක්කාරයා, රා බඩා වුණත්.. හැම කෙනෙකුගේම චරිත වල මේ ලක්ෂණ තියෙනවා.

එක පැත්තකින් මට කියන්න පුළුවන් සමාජ යථාර්ථය දේශපාලනිකයි. ඒක කරන කෙනෙකුට මෙහි යම් යම් සමාජ බලවේග සමඟ ගැටීමෙන් සමාජ විපර්යාස ඇති වෙනවා. නරක පැත්ත පරිහානියට පත් වෙනවා. විශිෂ්ඨ පැත්ත උඩට මතු වෙනවා.

ඔබ යොදා ගෙන තියෙන්නේ පාරිභෝගිකවාදය වෙනුවට තෘෂ්ණාව කියන වචනය. ඒ කියන්නේ අපි ඉන්නේ සරල තලයේ. ඔබේ නවකතාව තුළ එන්නේ තෘෂ්ණාව කියන ගැඹුරු ධර්මය.

දැන් සමාජ දේශපාලනය වශයෙන් එන ගැටුම් මෙහි රසවිඳින ගමන් මේ සේරම කැටි කරගත් ජිවිතය හා විපරිණාමයට බඳුන් වන ජිවිතය සමස්තයක් වශයෙන් අරන්, අපි කලාකරුවන් වශයෙන් අපේම අත්දැකිම් තියුණුව, භුක්ති විඳින අය විදිහට, මේවා ගැන හිතන්න, භාවනා කරන්න, උත්සාහ කරන හැටි පේනවා. උඩින් මතු වන බලවේග වලට වඩා ගැඹුරු අර්ථ කරා යන්න පුළුවන්. මට මගේ ගවේෂණය තුළින් මීට පෙර සිටි මුනිවරුන්, ශ්‍රේෂ්ඨ කලාකරුවන් සහ මනුෂ්‍යයින්ගේ ඇසුරෙන් ගවේෂණයක යෙදෙනවා. මං ආසයි නිර්මාණයක් කරන කොට, යම් ගැඹුරක් දුටු විට ඒ අත්දැකිම් අනෙක් අය සමග බෙදා ගන්න. නවකතාව නමැති නිර්මාණ වලින් මට හරියට කියන්න බෑ. කොච්චර දුරට මේ ගැඹුර කරා යන්න පුළුවන් වෙලාද කියලා. ඒක ඉදිරියේදී මේ සංසාරයේදී... ජිවත් වෙද්දී... මේ පොතේ කියන විදියට ජිවිතය මරණයෙන් කෙළවර වෙන්නෙ නෑ. එහෙම කියන්න ගියොත් හැම මොහොතකම අපි ඉවර වෙනවා. අනෙක් පැත්තෙන් කල්පනා කළොත් මරණය නිසා තමයි අපි ජිවත් වෙන්නේ. දැන් මේකෙම විස්තර වෙනවා අනිත්‍යතාව ගැන. අනිත්‍යතාව දුකයි කියලා එක් පරම්පරාවක් උගන්නලා තියෙනවා. තව පරම්පරාවක් උගන්නලා තියෙනවා අනිත්‍යතාව නිසා තමයි මේ ලස්සන සෞන්දර්යය පවතින්නෙ. අනිත්‍යතාව නිසා තමයි ඉපදුණු දා සිට මහලු වන තෙක් ජිවත්වන්නේ. ඒ දිහා බලන දෘෂ්ටිය අනුව... දෘෂ්ටීන් සියල්ල අන්තර්ජාතික සොයා බැලුවොත් තන්ත්‍ර වාද, දර්ශන වාද, කලා අත්දැකිම් තුළින් අපි උරුම කරගත් දේ හැකිතාක් දුරට ඒ තුළින් ජිවිතය දිහා බලලා ගැඹුරු සෞන්දර්යය මතු කරගන්න පුළුවන්.

[සංකථන සංහිතා කෘතියෙන් උපුටා ගන්නා ලදි. ]

ගාමිණී සුමනසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අඳුර එළා එන හැන්දෑවක
පිච්ච මල් - සුවඳ පිදුවා අනන්තයට
සේපාලිකා
ඇහැරෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දිම
කලුම කලු මූණක් හිනැහුණා
අමාවක හඳ අස්සෙන්ම

පිපිරුණු දෙතොල් මත මඳහසක් පුප්පගෙන
ලේ වැකුණු කටු අගට කොපුල් පෙති ළං කරන
වතුසුද්ද ගහ පුරා මල් මැකුණු වසන්තය
කලු බඹරු විස රුදුරු දවයි හදවත ඉමක

සංසාරය තරම්ම දිග - ඇහිපිල්ලන් ගහන
සාරි පොටකට ඇලෙන ගණාඳුරු සුසුම් කඳ
තාරකා නැති අහස බිඳන් එන කෙඳිරිල්ල
පේ‍්‍රමයේ සදාතන යහනකිය ඕවිල්ල

පිරිමි දහදිය ඇළෙන
උරපතක ඇති හයිය
තරන් මහා විසාලය
ගැහැණු හිතකැති පේ‍්‍රමය

පාරමිතාවකි ඇස ඇස ගැටෙන
පාලමකි පරණ - උනුන් යා කෙරෙන
පා පතුල - හැපි හැපී පුලිනතල විසිර
පාවාඩයකි ජීවිතේ ඇඟිළි සළකුණු තබන

තිලකයම නිමිත්තකි - භාවනාවකි පුරන
දෙකොපුලේ උපුල් පෙති සීරුවට සිඹින
දඩබ්බර හිත අරන් දෝතින්ම පුදන
ජීවිතේ අග්ගිහේ තණපතක දිලෙන

අදිසි සිරුරකි එය
ආත්මය එල්ලා හැළෙන
පේ‍්‍රමයේ දිගු කවිය
පපුතුරේ දිලෙන
වෙළී, වෙළි වෙළී
එතී එති එතී ඔවුනොවුන් සිඹින
පේ‍්‍රමාලිංගනයකි - මල් පෙති මත්තේ - පා ගැටෙන

ඇබිත්තන් සිතුවිළි ඇවිත් ගැස්සී බිඳෙන
බිඳී ආයෙත් ඇහිපියෙහි නිදන
හුස්ම පොදකි - සුළෙඟ් එතෙන්නටම ඕන බව කියන

වැස්සේම දියව ගොස්
මන්දාරම් එවන
ගිගුරුම් දෙවූවත් ආකහේ සිදුරු නැති අරුම
දැදුරු හිතකි - එකම තැන තියෙන
සදාකාලික පේ‍්‍රමය බහා දොරගුළු වසන!

[සිතුවම : Jahar Dasgupta]

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සොහොන් කොත් අතර මැද
සෙමෙන් පියවර තබමි
මළවුන්ට රිදෙන්න
සිතක් ඇතියැයි සිතමි

නන්නාඳුනන උනුන්
එකම සමබිම හිඳින
මහ පොළොව සයන කොට
එකට තුරුළුව නිදන

සිව් රියන් පස් යටින්
ආදරේ මුල් දුවන
කවුරුවත් නෑ ඉතින්
එයට බාධා කරන

ඉඳහිටක අර අතන
නමක් නැති ගසක් මත
ආදරේ සඟවගත්
සුදු පාට මල් පිපෙන

පිපී පරවෙන කලට
සොහොන් කොත් මත වැතිර
මුදු සිතින් පෙති සලා
මිහිදන් වෙන්න පතන

සඳ එළිය ඇති රෑට
කවුරුවත් නැති කලට
පෙම්වතුන් ඔවුනොවුන්
සෙමින් මුමුණනු අසන

දිවා කල නෙලාගත්
පිච්ච මල් මිටත් ගෙන
මම මගේ ආදරය
වැළලූ තැනක් සොයන

හැමදාම මේ වගේ
සඳ නොමැති රෑ කලට
සොහොන් කොත'කුදු නොමැති
තැනක එය ඇස ගැසෙන

කාලාන්තරයක්ම
සොයමින් තැනින් තැන
මෙය නොවෙද ඒ පෙම
ළදරු වයසින් මැරුණ

පිච්ච මල් මිට තබා
මොහොතක් බලා හිඳින
කරුණ කිම මේ විලස
එමල් රතු පැහැ ගැනෙන...

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ම'සිත් එ'දළ රළ පතර
නොහිම් සෙනෙහස් මුතු අහුර
ගෙන හොවා හද ගැඹර
සිඹින, මුදුවට...නළලත

මල් කෙමි වතළ තුරු අස
සඳ මිණි දුලන අතු අග
සරන වෙරළත
සුපෙම්බර මඳ නළ
නිරිඳ ඔබ ම මිස -අන් කවරෙද

සිත'ග රළ රැළි ලන
කින්නර නාද රඟ'තර
සඳෙව් පෙමැ'දුරු
වැළඳ ගත් දිවි තෙර

සකිසඳ....,
ඔබ සයුර..මා එහි දියඹ...

[සිතුවම : Gustav Klimt]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අමරදේව මහත්තයගේ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු.

මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට ඒ පළාත බොහොම ප‍්‍රසිද්ධයි. කොරලවැල්ල ගම ගඟටත් මුහුදටත් අතරින් පිහිටලා තිබුණේ. මුහුදු වෙරළ ගමේ සුන්දරත්වය වැඩි කළා. අට දෙනෙක් සිටි පවුලේ බාලයා හැටියටයි මම උපදින්නේ. ඒ 1927 දෙසැම්බර් 05.

වඩු කාර්මික පවුලක ඉපදුණු අමරදේව මහත්තයට සංගීතයට නැඹුරු වෙන්න තරම් උත්තේජනයක් සැපයූ පසුබිම මොකක්ද?

ඒක හරි අපූරු ලස්සන කතාවක්. මගේ පියා ඉතා සියුම් වඩු වැඩවලට ප‍්‍රදේශයේ ජනප‍්‍රියත්වයක් ඉසිලූ නිසා වටපිටාවේ සිටි සංගීතකාරයන් තමන්ගේ කැඩුණු බිදුණු වයලීන් අලූත්වැඩියා කරගැනීමට පැමිණියේ තාත්තගේ වඩු මඩුවට. මම ඒ අබලන් වයලීනවල තත් පිරිමදිමින් කුඩාම අවදියේ මහත් ආස්වාදයක්, සතුටක්, වින්දනයක් ලැබුවා. මගේ ආසාව තේරුම් ගත් තාත්තා අවුරුදු 07 උපන් දිනයට එයාම අතින් හදපු වයලීනයක් තෑග්ගක් විදිහට මට දුන්නා.

ඊට පස්සේ මොකද වුණේ....

මගේ ලොකු අයියාත් (ඩබ්. ඞී. චාල්ස් පෙරේරා) මේ කාලයේ සංගීතය ඉගෙන ගන්න උනන්දුවක් දක්වපු කෙනෙක්. එයා කොරලවැල්ලේ ඉඳන් මරදානේ ඇම්. ජී. පෙරේරා කියන සංගීත ශාස්ත‍්‍රඥයා ළඟට සංගීතය ඉගෙන ගන්න දවස් ගාණක් ගියා. ඒ ගිහින් ඇවිත් එයා ඉගෙනගත්ත රාග, තාල පිළිබඳ එයාට පුළුවන් විදිහට මට කියා දුන්නා. මේ තුළින් වයලීනයෙන් යම්යම් නාද සිත්තම් මවන්නට සහජයෙන්ම හැකියාවක් මට ලැබුණා. හැන්දෑ කාලයේ මුහුදු වෙරළේ ඇවිද ඇවිද ඈත අහසේ වළාකුළු එහා මෙහා පාවයන චලනයට අනුරූපව නාද සිත්තම් සිතින් සිතා මුවින් මුමුණා ආස්වාදයක් ලැබීමට පුරුදු වුණා. ගායනය, වාදනය භාෂණය යන සියලූ දේට මට තිබුණ සහජ හැකියාව බොහෝ දෙනාට අවබෝධ වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ.

වයලීන් වාදනයට අමතරව ගායනය පැත්තට අමරදේව මහත්තයා නැඹුරු වෙන්නේ කොහොමද?

කුඩා කාලයේ මධුර ලෙස කවි ගායනා කරන්න මට හැකියාව තිබුණා. පියා බෞද්ධ නිසා පන්සලේ ආභාසයත්, අම්මා මෙතෝදිස්ත ආගමේ නිසා පල්ලියේ ආභාසයත් මට ලැබුණා. කුඩා කාලයේ ඉඳන්ම මම තාත්තා එක්ක පන්සල් යන්නත්, අම්මා එක්ක පල්ලි යන්නත් පුරුදු වුණා. වෙසක්, පොසොන් කාලයට පන්සලේ බැති ගී වගේම සල්පිලේ කියන කවි මගේ දෙසවන් පිනෙව්වා. කවි, ගාථා මධුර ලෙස ගායනා කිරීමට මට තිබුණ හැකියාව ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ අවබෝධ කරගත් පසුව දොරකඩ අස්න කීමට පවා මට පැවරුවා. පසුව සල්පිලේ කවි ගායනා, බැති ගී වගේ ඒවට මාව නැතුවම බැරි කෙනෙක් වුණා. කුඩා අවධියේම ගීතිකා ගායනා කරන්නට තිබූ හැකියාව නිසා පල්ලියටත් එහෙමයි. මාව ඇතුළත් කර ගෙන කැරොල් කණ්ඩායමක් පවා හැදුවා.

ඊට අමතරව අමරදේව මහත්තයට ඉස්කෝලේ අත්දැකීම් මේ සඳහා බලපාන්නේ කොහොමද?

මාව ඉස්සෙල්ලාම ඇතුළත් කළේ කොරලවැල්ලේ ශ‍්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලට. මේ පාසලේ ප‍්‍රධානාචාර්ය කු. ජෝ. ප‍්‍රනාන්දු මහත්තයා හෙළ හවුලේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක් වගේම මුනිදාස කුමාරතුංග මහත්තයත් බොහොම ළඟින් ඇසුරු කළා. එතුමා මගේ දක්‍ෂතා හඳුනාගෙන දවසක් කුමාරතුංග මහත්තයා ළඟට රැගෙන ගොස් මාව එතුමාට හඳුන්වලා දුන්නා. කුමාරතුංග මහත්තයා ඉදිරියේ පවා කවි ගායනා කරලා ප‍්‍රශංසාවට ලක්වෙන්න මට වාසනාවක් තිබුණා. කුඩා අවදියේම මෙවැනි පඬිවරු ඇසුරුකරන්න ලැබීමෙන් දේශීය අනන්‍යතාවට වගේම භාෂා ශාස්ත‍්‍රාදියට ඇල්මක් ඇතිවුණා.

මුලින්ම ගුරුවරයකුගෙන් සංගීතය ඉගෙනගැනීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම කොරලවැල්ලේ සද්ධර්මෝදය ඉස්කෝලේ 05 පන්තියේ ඉගෙන ගනිද්දී ඩබ්. ජී. ප‍්‍රනාන්දු කියන සංගීත ගුරුවරයා කළුතර ඉඳන් කොරලවැල්ලේ මම අධ්‍යාපනය ලැබූ ඉස්කෝලෙට මාරුවීමක් ලැබී ආවා. එතුමා මගේ දක්‍ෂතා මැනවින් හඳුනාගෙන මාව ගායනයට, වාදනයට යොමුකළා. එතුමාගේ ගුරු හරුකම් ලබා මම පාසල් මට්ටමින් තිබුණ හැම කවි ගායනා තරගයකින්ම ජයග‍්‍රහණය ලබා ගත්තා. ගුරුතුමා නැති අවස්ථා වල සංගීත පන්තිය මෙහෙයවීමට පවා එතුමා මට පැවරුවා. මේවන විට කොරලවැල්ලට පමණක් සීමා වී තිබුණු මගේ කීර්තිය ටිකෙන් ටික එළියට යන්න පටන් ගත්තා. මේ නිසාම පාසල් කීපයක්ම මට ශිෂ්‍යත්වයක් ලබා දීමට ඉදිරිපත් වුණා.

අමරදේව මහත්තයා ගියාද?

ඔව්. ඊට පස්සේ මම පානදුරේ ශී‍්‍ර සුමංගල විද්‍යාලයට ඇතුළත් වුණා. එහි ටික කලක් ඉඳලා පසුව මොරටුව විද්‍යාලයටත් ගියා. මේ පාසලේ සංවිධානය කළ කවි ගායනා තරඟයකින් පළමුවන ස්ථානය දිනා ගත්තාට පස්සේ එම ගායනය ගුවන්විදුලියෙන් රටටම ඇහෙන්න ඉදිරිපත් කරන්න භාග්‍ය ලැබුණේ මේ කාලයේදීයි. මොරටුව විද්‍යාලයෙන් පසුව මට බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයට යන්නත් සිදු වුණා. මෙහෙම ඉස්කෝලෙන් ඉස්කෝලෙකට මාරුවෙන්න මට මගේ සංගීත ගුරුතුමත් හේතුවක් වුණා. එතුමා මා කෙරෙහි මොනතරම් පැහැදී සිටියාද කිව්වොත් මම යන යන තැනට එතුමා මාරුවීමක් අරන් ආවා. නැත්නම් එතුමාට මාරුවීමක් ලැබුණ ඉස්කෝලෙට මාවත් එක්කර ගත්තා.

ඉස්කෝල කීපයකටම මාරු වෙවී යන්න ලැබුණු එක මොන විදිහටද අමරදේව මහත්තයගේ ජීවිතයට බලපෑවේ?

පඬිවරු බොහෝ දෙනෙක් හඳුනා ගන්න අවස්ථාව උදා වුණා. පළමුවරට ‘කිරිහාමි’ කියන නාට්‍යට සංගීතය සම්පාදනය කරන්නට ලැබුණෙත් මොරටුව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේයි. ඊට පස්සේ බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුළත් වුණාම එහි විදුහල්පති මාර්ගයෙන් අශෝකමාලා චිත‍්‍රපටයේ සංගීත කණ්ඩායම හඳුනා ගන්නත් ලැබුණා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න ඒක බලපෑවා.

අශෝකමාලා චිත‍්‍රපටියේ සංගීත කණ්ඩායම හඳුනාගත්තාට පස්සේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද?

මේ වෙනකොට මම අවුරුදු 17ක විතර ගැටවරයෙක්. මේ කාලයේදීම මොහොමඞ් ගවුස් මාස්ටර් හඳුනාගන්න ලැබීම ජීවිතේ ලොකු පෙරළියක් වුණා. එතුමා අශෝකමාලා චිත‍්‍රපටියට සංගීතය සපයන්න ඇවිත් නැවතිලා හිටියේ බම්බලපිටියේ ඡයා පාරේ තිබුණ ශාන්ති කලා නිකේතනයේ. මම ගවුස් මාස්ටර්ට සුරුට්ටු මිටියකුත් රැගෙන දිනපතා බම්බලපිටියට යන්න එන්න පටන් ගත්තා. මගේ හැකියාවන් හඳුනාගත් එතුමා ප‍්‍රධාන වයලීන් වාදකයා ලෙස එතුමාගේ සංගීත කණ්ඩායමට එක්කර ගත්තා. ඊට පස්සේ මම පාසල් අධ්‍යාපනය නතර කරලා අශෝකමාලා චිත‍්‍රපටියේ නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ මදුරාසි නුවර සෙන්ට‍්‍රල් චිත‍්‍රාගාරයට ගවුස් මහත්තයා සමඟ ගියා.

අමරදේව මහත්තයාගේ චිත‍්‍රපට සංගීතයේ ආරම්භය වගේම චිත‍්‍රපට ගායකයකු විදිහට මතුවෙන්නෙත් අශෝකමාලා චිත‍්‍රපටිය තුළින්ම නේද?

ඔව්. මම සංගීතයෙන් සහය වූවාට අමතරව මේ චිත‍්‍රපටියට ‘‘ඇයි කළේ යමෙක් ආලේ.... ’’ සහ ‘‘භවේ භීත හැර දේශිත තිලෝනා... ’’ යන ගීත දෙක ගායනා කළා. ඒ විතරක් නෙවෙයි මේ චිත‍්‍රපටියේ තාපසයාගේ චරිතය රඟපෑවෙත් මම. එවකට නර්තන ශිල්පියෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්වෙලා හිටපු ශාන්ති කුමාර් තමයි මේ චිත‍්‍රපටියේ අධ්‍යක්‍ෂවරයා. 1947 දෙවන සිංහල චිත‍්‍රපටිය ලෙස මේ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කළා. ඊට පස්සේ තාපසයාගෙ චරිතය රඟපෑ නිසා කොරලවැල්ලේ තාපසයා කියලා පහුවදා පත්තරවලත් ගියා.

අශෝකමාලා චිත‍්‍රපටියෙන් පසු මොකද වෙන්නේ?

චිත‍්‍රපටියේ වැඩ කටයුතු වලින් පස්සේ ලංකාවට ඇවිත් ගවුස් මාස්ටර් ගුවන් විදුලියෙන් ඉදිරිපත් කරන සංගීත වැඩසටහන් වලට වයලීන් වාදනයෙන් සහය වුණා. සුනිල් ශාන්තයන්ගේ ‘ආදර නදියේ ’ ගීතයට වගේම ‘මෙතරම් සුන්දර මල් ’ වැනි ගීතවලටත් වයලීන් වාදනයෙන් සහය වුණා. එහෙම ඉන්නකොට දවසක් යූ. ඞී. පෙරේරාගේ ගේය පද රචනයක් වූ ‘රසයි කිරියි ’ ගීතයට සංගීතය සැපයුවේ ගවුස් මාස්ටර්. වයලීන් වාදනය කළේ මම. මේ ගීතය ග‍්‍රැමෆෝන් තැටියට ගායනා කිරීමේදී ගායකයා ගීතය වැරැද්දුවා. අවස්ථා කීපයක්ම වැරදියට ගායනා කළ නිසා ගවුස් මාස්ටර් මා ලවා එම ගීතය ගායනා කෙරෙව්වා. මාව ග‍්‍රැමෆෝන් ගායකයෙක් වෙන්නේ එහෙම. චිත‍්‍රසේන, පේ‍්‍රමකුමාර වැනි විශිෂ්ට නර්තනවේදීන්ටත්, එදිරිවීර සරච්චන්‍ද්‍රගේ පබාවතී වැනි නාට්‍යවලටත් මම ගායනයෙන් වාදනයෙන් යන දෙකෙන්ම සහභාගී වුණා.

මේ වෙනකොට මම ගුවන්විදුලි ගායනාවලටත් සම්බන්ධ වෙලා ශිල්පියෙක් විදිහට අනන්‍යතාවක් ගොඩනඟා ගෙන තිබුණා. ඔය කාලේ ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය කිරීමට භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාලයේ අධිපති මහාචාර්ය ශ‍්‍රී රත්නජංකර් පඬිතුමා ලංකාවට ආවා. ඉහළම ශ්‍රේණියේ ගායකයෙකු ලෙස මාව පරීක්‍ෂණයෙන් තේරුවා. ඊට පස්සේ සංගීතඥ ලයනල් එදිරිසිංහ මහත්තයා මට ඉන්දියාවට ගිහින් වැඩි දුරටත් සංගීතය විධිමත්ව හදාරන්න උපදෙස් දුන්නා. ඊට පස්සේ ලක්නව් හී භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාපීඨයට ඇතුළත් වෙලා වැඩිදුරටත් සංගීතය ඉගෙන ගත්තා. සංගීතඥ ලයනල් එදිරිසිංහ මහත්තයත් මෙයට ඇතුළත් වෙලා සංගීත උපාධියක් ලබාගත් කෙනෙක්. මං වගේ දක්‍ෂයෙක් සිනමා සංගීතයට පමණක් කොටුවෙලා වැනසෙයි කියලා එතුමා තුළ බියක් තිබුණා.

වඩු කාර්මික පවුලක ඉපදුණ අමරදේව මහත්තයට ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න තරම් වත්කමක් තිබුණද? කොහොමද ඉන්දියාවට යන්නේ....

මේ වෙනකොට එදිරිවීර සරච්චන්‍ද්‍රයන්ගේ ‘පබාවතී ’ නාට්‍යයේ සංගීතය සපයලා අපි දෙන්නා අතර ලොකු අවබෝධයක් තිබුණා. එතුමාගේ ඉසිවර නුවණින් මා යන දුර කල්තියාම හඳුනාගත්තා. එවකට ලංකාදීප පත්තරේ කර්තෘ ඞී. බී. ධනපාල මහතාට මං ගැන කියලා එතුමාගේද, සහයෙන් අරමුදලක් ආරම්භ කරලා ඉන්දියාවට යන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා මට උදවු කළා. විදේශයකට යද්දී දේශීය නමක් සහිතව යන්න ඕන කියලා එතුමා මගේ නම පවා වෙනස් කරනවා. ඇල්බට් පෙරේරා කියලා මුලින් තිබුණ නම වෙනස් කරලා අමරදේව කියන නම දැම්මේ සරච්චන්‍ද්‍ර මහත්තයා. මම ඉන්දියාවට යන්නේ අමරදේව නමින්.

ඉන්දියාවේදී ලැබුණු අත්දැකීම් කොහොමද?

එහිදී අතිවිශිෂ්ට සංගීත ආචාර්යවරුන්ගෙන් සංගීතය පිළිබඳ ශිල්පීය ඥානයත්, ඔවුන්ගේ ඇසුරත් ලැබීමට මට හැකිවුණා. ශ‍්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඞ් අලි ඛාන් වගේ අයගෙන් ඉගෙනගන්න ලැබුණා. ශ‍්‍රී කෘෂ්ණ නාරායන, රතන්ජංකර් වැනි පඬිවරුන් ගෙන්ද, සංගීතය හැදෑරුවා. 1955 දී සමස්ථ ඉන්දීය වයලීන වාදනයෙන් පළමු ස්ථානය දිනා ගන්නත් මට පුළුවන් වුණා. ඒ වගේම 1956 වෙනකොට භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාපීඨයේ සිටි අතිදක්‍ෂ සංගීතඥයන් 10 දෙනා අතරින් කෙනෙකු වීමටත් මට හැකිවුණා. මගේ නිර්මාණ හැකියාවට පැහැදුණු ශ‍්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් පඬිතුමා තම මුණුබුරාට නම තිබ්බෙත් අමරදේව කියලා.

අමරදේව මහත්තයා ආපහු ලංකාවට එන්නේ කොයි කාලෙද?

මට මතක හැටියට 1959 අවුරුද්දේ තමයි එන්නේ. ඒ එනකොට ගුවන්විදුලිය, ග‍්‍රැමෆෝනය, සිනමාව ඔස්සේ හින්දි, දෙමළ අනුකාරක තනු පැතිරීයමින් තිබුණා. මම ගුවන්විදුලියේ දේශීය අංශයට සම්බන්ධ වෙලා සාම්ප‍්‍රදායික දේශීය සංගීතයක් බිහිකරන්න උත්සහා ගත්තා. අනුකාරක සංගීත සම්ප‍්‍රදාය ප‍්‍රතික්‍ෂේප කරලා සුනිල් ශාන්තයන්ගේ, ආනන්ද සමරකෝන් වැනි ප‍්‍රවීණයන්ගේ ආභාසය ලබමින් දේශීය සංගීතයක් බිහිකර ගන්න කටයුතු කළා. ජන ගායනා, මධුවන්ති, රස මියුරු වැනි වැඩසටහන් ගුවන්විදුලිය හරහා විකාශය කළා.

අමරදේව මහත්තයට බොහෝ ගීත ලිව්වේ මහගමසේකර. මේ සේකර අමරදේව සුසංයෝගය සිද්ධවෙන්නේ කොහොමද?

ගුවන්විදුලියට සම්බන්ධ වුණාට පස්සේ සම්භාව්‍ය වැඩසටහන් කීපයක්ම විකාශය කළා. ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණ සම්භාව්‍ය ගීත වැඩසටහනක් තමයි ‘මධුවන්ති ’. මේ වැඩසටහන නිෂ්පාදනය කළේ එච්. එම්. ගුණසේකර. ගීත ලිව්වේ මහගමසේකර. සංගීත උපදේශක මණ්ඩලයේ සරච්චන්‍ද්‍රත් හිටියා. සේකරගේ ප‍්‍රතිභාන්විත ගී පදමාලාවට මගේ හඬ මැනවින් ගැළපුනා. සේකරට තිබුණා ගීතය කාව්‍යක් ලෙස රචනා කිරීමේ දක්‍ෂතාවක්. මේ මධුවන්ති වැඩසටහන හරහා තමයි අපි දෙන්නා එකතු වෙන්නේ. ඒ කාලේ බොහෝ දෙනා කිව්වේ ගී පොතයි - මී විතයි කියලා. ගී පොත සේකර, මී විත මම.

අමරදේව මහත්තයට බිරිඳ මුණගැහෙන්නේ කොහොමද?

එයත් සංගීත දිවියේම කොටසක්. ගුවන්විදුලියෙන් දේශීය සංගීත සම්ප‍්‍රදායක් ගොඩනගා ගැනීමට ආරම්භ කළ තවත් වැඩසටහනක් ‘ජන ගායනා’ වැඩසටහන. ජන ගී මේ වැඩසටහන හරහා විකාශය කළා. මේකට කවි ගායනා කරන්න ආව අයගෙන් කෙනෙක් තමයි විමලා. එයාගේ කවි අහලා රසවත් වෙලා තමයි මගේ හිතේ ආදරයක් ඇතිවෙන්නේ. පස්සේ මමත් එයාට කවියක් ලිව්වා.

මොකක්ද ඒ කවිය.... කියන්න කැමතිද?

'අතැර නොයන සෙවණැල්ලක් සේ රඳන
නිතර සදාලන සුවසෙත රැකවරණ
කවිය තුළින් ජන ආරේ රස මවන
සවිය ඔබයි විමලාවනි මන නදන'

(මෙම ලිපිය මුල් වරට රාවය පුවත් පතේ පළ විය. 2012.12.02)

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රෙජීමය
ඔන්න මා උඩ දමයි
ගුවනට ම විසිකරයි

ඉලව්වේ කියාගෙන
වැටෙන කොට
දෝතින් ම මා වඩාගෙන නටයි

රෙජීමය ආදරෙන් තොත්තු දෙයි
නළල සිඹ සුබ පතයි
කරකවා අත අරියි

බඹරෙ වගෙ කැරකිලා
හතර ගාතෙන් මාව වැටුණා ම
ආයෙමත් වඩාගෙන
දෙකොපුලට තොත්තු දෙයි

බඩගිනිව
මා හඬන විට හනික
බෝතලේකට සූප්පුව ගසා
බොරතෙල් ද කළුතෙල් ද මට පොවයි
උගුර ගාවට ම බී ඉස්මුරුත්තා හැදී
මා හඬන මොහොතේ ම
හනික මා වඩාගෙන ආදරෙන්
පිටට තට්ටුව දදා ගුඩුස් ඇර
දේශාභිමාන ගීයක් කියයි

දවල් මට පස් කවයි
රෑට ටකරං කවයි
බැදපු චීනච්චටිටි ගිල්ලා ම
ඇල්වතුර නිවා මට බොන්න දෙයි

බේසමේ නාන කොට
වැලි කොළෙන් පිටේ කුණු අතුල්ලයි
හෙළුවැල්ලෙ දුවන කොට
පොලිතීන් ජංගි මට අන්දවයි
කඩදාසි ඔටුන්නක් හිස තියා
පාන් පිටි පුයර මුහුණේ උලයි

පපුව
අත ගගා මං
කහිනකොට
භූමිතෙල් අල්ලක් ම උල උලා
ඉතිපිසෝ ගාථාව
බොහෝ බැතියෙන් කියයි

රෙජීමය
එරමිණිය ගොතාගෙන
මා උකුලෙ තියාගෙන
වඳිනකොට
අපට ටී වී සාධු බණ කියයි
ෂෝට් කට් නිවන් මග කියා දෙයි

රෙජීමය
ඔන්න මා උඩ දමයි
කරකවා අත අරියි
දෙකම්මුල් රතු වෙන්ට
උම්ම දී
බුරිය ළඟ කිති කවයි
මට හරිම සනීපයි

[සඳ කත් මිණි ගඟුල පත්ලෙ | 2012]

කුමාර හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(මොහාන් රාජ් මඩවලගේ 'මාගම් සෝලිය' නවකතාව 2013 ජනවාරි 31 වන දින බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරුණි. මේ එහි දී රත්න ශ්‍රී විජේසිංහ විසින් කරනු ලැබූ දේශනය යි.)

මීට අවුරුදු තිහකට පමණ පෙර මම ගුරුවරයෙකු වශයෙන් මොණරාගල රාජකීය පාසැලේ සේවය කළෙමි. 1983 අවුරුද්දේ එක්තරා දිනක එවකට ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශයේ අධිපතිව සිටි සී. ද එස් කුලතිලක මහතා මා සොයාගෙන පැමිණියේය. තමා ඌව වෙල්ලස්සේ ජන ගී, ජනශ‍්‍රැති පටිගත කරන්නට පැමිණි බවත් ඒ ගමනට මා සහභාගී වන්නේ නම් බෙහෙවින්ම කැමති බවත් ඔහු මට කීවේය. මම ඒ ආරාධනාව අහක නො දමා එක් වරම පිළිගතිමි.

ඒ අනුව අපි ඌව වෙල්ලස්සේ පැරෑල, බදුලුවෙල නම් ගම්මානවලට ගියෙමු. එවකට හරි හමන් පාරක් තොටක් නොවූ බැවින් එය බෙහෙවින් ම දුෂ්කර ගමනක් විය. බදුලුවෙල දී වයස අවුරුදු 80 ක පමණ වු අම්මා කෙනෙකු අපට මුණ ගැසිණ. ඇගේ නම ඩිංගිරි අම්මා විය. ඈ ඇගේ ගෙදරට මා රැගෙන ගියාය. පසුව ඒ කුඩා නිවසේ වැදුම් ගෙය තුළ යට ලීයේ එල්ලා තිබූ කඹයක් මට පෙන්නුවාය. "මේක තමයි පුතේ 'විලි රෑන' කියන්නෙ" ඈ මට කීවාය. " මේ වගේ වැදුම් ගෙයක දරු ප‍්‍රසූතියෙන් මිය යන අම්ම කෙනෙක් තමයි බෝදිලිමා වෙලා උපදින්නේ "

මා මුල් වරට බෝදිලිමා කතාව අසා දැනගත්තේ ඇගෙනි. බෝදිලිමා ඇවිත් අඬන විට ගෙදර සිටින පිරිමි ඔක්කොම ගෙට දමා බවලත් උදවිය ඉලපත් අරගෙන එළියට බහින බවත්, පසුව දන්නා තරම් අසභ්‍ය වචන වලින් බෝදිලිමාට බණින බවත් ඈ මට තේරුම් කර දුන්නාය. ස්ත‍්‍රීත්වයේ පරායත්තභාවය, නැතිනම් ස්ත‍්‍රීත්වය විඳින පීඩාව මා තුළ දැවැන්ත ලෙස හොල්මන් කරන්නට වූයේ මේ නාඳුනන ඩිංගිරි අම්මාගේ හමුවීමෙන් පසුවය.

මොහාන් රාජ් මඩවල සිය ප‍්‍රථම කෘතිය නම් කර තිබුණේ 'බෝදිලිමා' නමිනි. මා කලින් සඳහන් කළ පුරාණෝක්තිය ඔහු ඒ නමින් යුත් කෙටි කතාවට පාදක කරගෙන තිබුණේය. මේ ජනශ‍්‍රැති, පුරාණෝක්ති කෝෂ්ඨාගාර දෙවෙනි වතාවට විකසිත කරන්නට ගත් උත්සාහය ඔහුගේ 'මාගම් සෝලිය' නම් නවමු නවකතාවෙන් පැහැදිලි වේ. ඒ සමඟ 1818 දී ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව ඌව වෙල්ලස්සෙන් මතු වූ පළමුවන ජන අරගලයත්, එහිදී ඉංග‍්‍රීසින් විසින් කළ දැවැන්ත විලෝපනයේ කතාවත් ඔහු 'මාගම් සෝලිය' හරහා දිග හැර තිබේ. මාගම කියන වචනය අපට එන්නේ පාලියෙනි. "මාතුගාමයෝ වනාහී පාපය බන්ධනය කරන්නෝය" යනුවෙන් පූජාවලියේ කතුවර බුද්ධපුත‍්‍ර හිමියන් සඳහන් කරයි. මේ මාගමුන්ගේ නැතහොත් ස්ත‍්‍රීත්වයේ ක‍්‍රය ශක්තිය කෙතරම් දැවැන්තද යන්න 'මාගම් සෝලිය' නවකතාව පුරා නිරූපණය වී තිබේ.

මේ නවකතාවේ ඇති විස්තීර්ණ පවුලේ මූලිකයා වන්නේ පුංචි රාළයි. ඔහුගේ බිරිඳ ගෝමරී නම් වේ. සුදු බණ්ඩා, සේදරා, රනා, පුංචා, වල්ලී, ටිකිරි මැණිකා, එතනා ආදී දරුවන් ඔවුන්ට සිටී. ඊට අමතරව පොඩිනා, ආරච්චිල, සුරඹා, සොබනී ආදී අතුරු චරිත වේ. මේ චරිත සියල්ලම හරහා ඔහු කරන මේ වියමන ඉතා රසවත් අපූරු වියමනක් බව අකුටිලව ප‍්‍රකාශ කළ යුතුය. කියවන්නට අතට ගත් පසු මේ පොත බිමින් තියන්නට මට සිතුනේ ම නැති තරම් ය. වරින් වර නතර කර කියෙව්වේ පොත ඉක්මනට ඉවර වේය කියන බය මා දැඩිව වෙළා ගත් බැවිනි. සැබවින්ම මෙය එපමණ මිහිරි වියමනක් බව මා නැවත කිව යුතුයි.

'මාගම් සෝලිය' නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය. නමුත් එය සම්ප‍්‍රදායික පන්සලක් නොවේ. නුවර යුගයේ බෙහෙවින් පරිහානියට ගිය මේ පන්සල්වල බොහෝ විට සිටියේ භික්ෂූන් වහන්සේලා වෙනුවට ගණින්නාසේලා යි. ඔවුහු පවුල් රක්‍ෂා කළහ. බිරින්දෑවරු, දරුවන් රැකබලා ගත්හ. ඉස්සර මෙවැනි පන්සල් නම් කළේ 'ගනේ වලව්ව' නැත්නම් 'ගනේ ගෙදර' වැනි නම් වලිනි. නවකතාව මැද භාගයේ පන්සලට එන ඇබිත්ත උන්නාන්සේ එවැනි චරිතයක් වුනත් මුල් භාගයේ පන්සලේ සිටින ලොකු හාමුදුරුවෝ එවැනි චරිතයක් නොවේ. උන්නාන්සේ විදර්ශනා වඩන ධ්‍යානලාභී උත්තමයෙකි.

ඇතැම් විට මෙතුමන් සෝවාන් ඵලයට ලඟා වූ අයෙක් වන්නට පුළුවන. මෙසේ සෝවාන් නැතිනම් සෝතාපණ්න පුද්ගලයෙක් අතින් වුවත් පව් (වැරදි) සිදු වීමට ඉඩකඩ ඇතිවිය හැකියි. සංයුක්ත නිකායේ සරකාණි වග්ගයේ සරකාණි සූත‍්‍රයේ සඳහන් පරිදි සරකාණි නම් බමුණා මධ්‍යසාරයට ඇබ්බැහි වූවෙකි. සෝවාන් වූ පසුවත් ඔහුට මේ මත්ලෝලී බව අත්හැර ගත හැකි වන්නේ නැත. ඒ අනුව සෝතාපණ්න පුද්ගලයා පෘථග්ජන ජීවිතයත් සමඟ කිට්ටු සබඳතාවයක් ඇති බව අපට පැහැදිලි වේ. ධ්‍යානලාභියෙක් වුණත් මේ ලොකු හාමුදුරුවෝ ඉවකින් වගේ අනාගතය හඳුනා ගනී. උන්නාන්සේ තම ශිෂ්‍ය නමක් වූ පල්ලේගම හාමුදුරුවන්ට ගමේ පන්සල අතහැර ජනඅරගලයට නායකත්වය දෙන ඉහගම හාමුදුරුවන් මුණ ගැසීමට මල්වතු විහාරයට යන්නට අණ කරන්නේ එබැවිනි. විදර්ශනා වඩන සෝතාපණ්න පුද්ගලයෙක් වුණත් සමාජය හා ජනතාව වෙනුවෙන් වූ තම වගකීම ඉටු කරන්නේ ඒ අයුරිනි.

සුදු බණ්ඩා කියන මේ පවුලේ පළමුවෙනි දරුවා වයස අවුරුදු දාහතරේදී කිසියම් නොපනත් කමකට ගොදුරු වී අවසානයේ තම රක්ෂා ස්ථානය ලෙස තෝරා ගන්නේ මේ පන්සලයි. ඔහු මහණ නොවේ. නමුත් විදර්ශනා වඩමින් අර්ධ පැවිදි ජීවිතයක් ගත කරයි. මුලින් ගම්මුන්ගේ "ඇබිත්තයා" බවට පත්වන ඔහු පසුව ඔවුන්ගේ "ඇබිත්ත උන්නාන්සේ" බවට පත්වේ. ඔහු ත‍්‍රිපිටකය වනපොත් කරයි. අකුරු ඉගෙන ගනියි. මේ නවකතාවේ කේන්ද්‍රීය චරිතය වන්නේ ඔහුයි.

නමුත් හුදු ථෙරවාදය පමණක් ගුරු කොට නවකතාකරු මේ නවකතාව රචනා කළ බව නොපෙනේ. මහායානික සහ තන්ත‍්‍රයානික සම්ප‍්‍රදායන් ඔහු පැහැදිලිව ඇසුරු කර ඇති බව පෙනේ. තන්ත‍්‍රයානයේ එන "ඕම් මණි පද්මේ ඕම්" (මැණික ඇත්තේ පද්මය තුළය) කියන කියමන නැතිනම් කාමය කටුවක් සේ සැලකීම ඔහු ගුරු කොට ඇති බව පෙනේ. කකුලක කටුවක් ඇණුනු විට එය ඉවත් කළ යුත්තේ තවත් කටුවකිනි. එපරිදිම කාමය ඉවත් කිරීමට කාමයේ හැසිරීම ම තන්ත‍්‍රයානය නිර්දේශ කරයි.

'මාගම් සෝලියේ' බොහෝ පාත‍්‍ර වර්ගයා හැසිරෙන්නේ අතිශයින් ලිංගිකත්වයට නැඹුරු වූ චරිත ලෙසයි. මෙහි එන සුදු බණ්ඩා ඇබිත්ත උන්නාන්සේ වූ පසු ඔහු අතින් කාම මිථ්‍යාචාරය සිදුවේ. සෝතාපණ්න (සෝවාන්) පුද්ගලයෙක් අතින් සිදුවන වැරදි පඨවිරතෝ ඝනයට වැටේ. රහතන් වහන්සේලාගේ වැරදි වැටෙන්නේ වේරමණී ඝනයටයි. ඒ අනුව පඨවිරතෝ ඝනයේ වැරදි සෝතාපණ්න පුද්ගලයෙක් අතින් වුනත් සිදු විය හැකිය.

'මාගම් සෝලිය' රචනා වී තිබෙන්නේ යථාර්තය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්තවාදය නැතිනම් අධියථාර්තවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.

පන්සලේ ලොකු හාමුදුරුවෝ වරක් ඇබිත්ත කොලුවාට තම ඇඳ ලඟ ආසන දෙකක් පනවන ලෙස අණ කරයි. ආසන පනවා ඇබිත්ත කොලූවා බලා සිටින්නේ මේ පැමිණෙන අමුත්තා කවුදැයි කියා දැනගන්නටය. තුන් මාසයක් ගත වුවත් කිසිවෙකු පැමිණෙන්නේ නැත. නමුත් එක දවසක් රාත‍්‍රියේ දෙවි කෙනෙක් ඇවිත් ලොකු හාමුදුරුවන් සමඟ සංවාදයේ යෙදෙන අයුරු ඇබිත්ත කොලූවා සංඥාර්ථ වශයෙන් දකී. මේ සිද්ධියෙන් ඉක්බිතිව ලොකු හාමුදුරුවෝ වැහැරෙන්නට පටන් ගනී. එයට හේතුව සිද්ධ වීමට නියමිත මහා ව්‍යසනය උන්නාන්සේ තමාට ස්වීකරණය කර ගැනීමය. එවැනි නිරූපණශීලී උපක‍්‍රම නවකතාකරු මේ නවකතාව තුළ භාවිතා කර තිබේ.

'මාගම් සෝලිය' නවකතාවේ පොඩිනා යනු වින්නඹු මාතාවකි. ගෝමරී බිංදු වදන විට වින්නඹුකම් කරන්නේ ඇය යි. නමුත් ගෝමරීට තම දරුවා නිසා කිරි නො එරෙයි. බිංදු වෙනුවෙන් කිරි එරෙන්නේ පොඩිනාටයි. කිහිපවරක් තමන්ගේ ලිංගිකත්වය ප‍්‍රශ්න කරන බිංදු වරක් තම පුරුෂ නිමිත්ත තලා ගනී. එයට බෙහෙත් කරන පොඩිනා එම බෙහෙත් අඹරන්නේ තම තන කිරි වලිනි. මේ බෙහෙතෙන් පසුව බිංදුගේ පිරිමියා විශාල වන්නට පටන් ගනී. මේ ආරංචිය පසුව ලැව් ගින්නක් මෙන් අහල ගම්වල පැතිරී රට පුරා මිනිස්සු පොඩිනාගෙන් මේ රහස් බේත ගන්නට පැමිණෙති. කුමක්ද නවකතාකරු මෙයින් කීමට උත්සාහ කරන්නේ? අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නැඟී සිටීමට නම් සිංහලයන්ගේ පෞරුෂය වර්ධනය විය යුතු බව ඔහු සංකේතවත් කර ඇත්තේ කෙතරම් අපූර්ව ලෙසද?

නවකතාවේ වල්ලී කියන පුංචිරාළගේ ලොකු දුව මායම් වී සාත්තර කියන යකදුරුකම් කරන ගැහැණියකි. ඇයත් ගමේ ආරච්චිලගේ පුතා පොඩිනිළමේත් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවය අතිශයින්ම පරපීඩකයි. ඇතැම් විට බෙහෙවින්ම හාස්‍යජනක ලෙස මේ චරිත හැසිරෙන අයුරු දිස්වේ. නවකතාකරු මේ චරිත ඇතැඹුලක් සේ ගෙන හසුරුවන ආකාරය සැබවින්ම විස්මයජනකය. එසේම අධියථාර්තවාදයෙන් මේ තරම් දේශීය ආකාරයට ප‍්‍රයෝජනයට ගත් නවකතාකරුවෙකු මට පළමු වතාවට මුණ ගැසෙන්නේ 'මාගම් සෝලියෙන්' බව බොහොම අකුටිලව සඳහන් කළ යුතුයි.

නමුත් නවකතාවේ මුල් අදියරේ දී පවතින සමාජ දේශපාලනික යථාර්ථය බැහැර කර තිබෙන බවක් පෙනේ. එය සැබවින්ම අඩුවකි. එසේම වැඩවසම් සමාජය නිරූපණය කිරීමේදී ඒවා හසුරුවන ප‍්‍රාග්ධනය ඇතුළු සමාජ දේශපාලන බලවේග නවකතාකරු ඇතැම් විට අමතක කර තිබේ. නමුත් මඩකලපුවේ සිට ගමට එන අබ්දුල් නැමැති මුස්ලිම් ජාතික වෙළෙන්දා ඔහු ඉතා මැනවින් නිර්මාණය කර තිබේ. ගමට අරක්කු ඇතුළු දුරාචාර හඳුන්වා දෙන්නේ ඔහුයි. අබ්දුල්ගේ මේ සුළි සුළඟට හසුව සේදරා ව්‍යසනයට පත්ව ගසාගෙන යන අයුරු ඉතා සියුම්ව නවකතාවේ ඉදිරිපත් වී තිබේ.

නවකතාවේ කැරැල්ල සඳහා වෙන් කර තිබෙන්නේ එක් පරිච්ඡේදයක් පමණි. එය සැබවින්ම සක‍්‍රීය වුවත් අධියථාර්ථවාදය එහිදී ද භාවිතා කර ඇති බැවින් එය ඇත්ත කැරැල්ලක් ද නැතිනම් අධියථාර්තවාදී කැරැල්ලක්ද කියා සැකයක් මතුවේ. කැරැල්ලෙන් පසු වහින වැස්ස පුරා දෙමසක් එක දිගට සිදුවන බව කතාවේ සඳහන් ය. ඉන් පසු මළමිනී කුණු වී වසංගත රෝග පැතිරේ. ඇල්බයා කැමූගේ 'මහාමාරිය' නවකතාව සිහි ගන්වන මේ වසංගත කාලය තුළ මිනිසුන් හැසිරෙන ආකාරය එකිනෙකා කෙරෙහි බැඳෙන ආකාරය නවකතාකරු ඉතා ශූර ලෙස නිරූපණය කර තිබේ. පොදු ව්‍යසනයකින් ඉක්බිතිව මිනිසුන් වඩා ශක්තිමත්ව නැඟී සිටින බව ඔහු මෙතනදී අවධාරණය කරයි.

1818 දී ලක්‍ෂ 40 ක් වූ ශ‍්‍රී ලාංකීය ජනගහනයෙන් අවුරුදු 18 ට වැඩි කිසිම පිරිමියෙකු ඉතුරු නො කර රොබට් බ‍්‍රවුන්රිග් ඌව වෙල්ලස්සේ තිස් දහසක පමණ සිංහලයන් ඝාතනය කළ බව ඉතිහාසයේ සඳහන් ය. හතලිස් ලක්‍ෂයකින් තිස් දහසක් වූ කලී කෙතරම් විශාල ප‍්‍රතිශතයක් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ම්ලේච්ඡ සංහාරයට එරෙහිව සාමූහික විඥානයෙන් එකතු වූ එවක ඌව වෙල්ලස්ස ජනතාවගේ ජීවන චක‍්‍රයෙන් බිඳක් හෙළි කිරීමට මොහාන් රාජ් මඩවල 'මාගම් සෝලිය' නවකතාව හරහා දරා ඇති වෑයම සැබවින් ම ප‍්‍රශස්ත ය.

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දමා යනු කෙලෙසද
නිබඳ කට පුරා හිනැහෙන
පණ වුව දෙන්නට කතා කරන
ලොව වටිනාම
මේ බිතු සිතුවම්

පන්තියට ගිය එක දවසක
හිස් වූ සුදු බිත්ති මත
ඇඳී තිබිණ තනිකම
කොහිද මේ බිතු සිතුවම්

මහ මන්දිර වල
මතු මහල් වල
සීත කාමර වල
වසන්ත උයනේ බිත්ති මත
සිටියෝය ඔවුහු
සිනා මල් වට්ටි දෝතින් ම ගෙන

වියළි කටුක බිම
ගඩොල් ද ගැලවුණු
බිත්ති මත
මාගේ සිතුවම අඳින
සිත්තරාගෙන ඇසුවෙමි
මේ දුකට හේතුව

"දුක් කැමති නැත්තේ
හොර හොරෙන් විත්
මගේ අත මිට මෙලෙවුවේ
මං ඔවුන් ගෙන ගොස්
සුගතියේ තැබුවේ"

....

ඉනික්බිති දිනක් මට
ඒ බිතු සිතුවම්
අසලින් යන්නට සිදු විය.

ඔවුහු
වහා බිත්තියෙන් නැමී
මා අත අල්ලා ගත්තෝය
කට පුරා සිනාසුණෝය
පණ වුව දෙන්නට කතා කළෝය.

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අම්මේ ඉතින් නුඹ රැඟුවත් දුර නගරේ
තුන් වේලට ම දුක පමණයි නිරන්තරේ
නළා හඩක් ඇසුණොත් ළඟ වනන්තරේ
නයෙක් වුණත් මගෙත් ඉබේ ඇස පෑරේ

දළත් බිඳී අබලන් වී විෂත් හැලී
තාත්තගේ හදවත පණ අදියි පෙළී
බේත් හේත් ණයටයි තුඹසටත් කුලී
දිවත් පෙනේ කර යයි ගැරඬිනුත් කැලේ

රැයක් දවාලක් නැත වැඩපළේ මට
දඩයම්වලට පොඩි ගානයි පොඩි අපට
නාකි මුගටි සිකුරිටි පෙම් නුරා මට
පාටිවලට අඬගහනව රෑට මට

කැලේ තියෙන දේවල් දැන් රස නැතුවා
අව්වේ තියෙන රැස් මාලා වැඩිවෙනවා
මාත් නටන්නට පන්තියකට යනවා
දළත් කඩා ඔහෙ එන්නට හිත දෙනවා

[සිතුවම :John Aslarona]

නදුන් යසිත දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යුද්ධය තුළ මේ රටේ මුස්ලිම් ජාතිකයන් සිටියේ දෙමළාගෙන් රට බේරා ගැනීමේ සිංහල ව්‍යාපෘතිය තුළය. එහි දී සිංහලයා විසින් දෙමළාට එරෙහිව ගොඩනගන ලද සකල ප‍්‍රබන්ධ මුසල්මානුවා ද පාවිච්චි කෙළේය. එදා ත‍්‍රස්තවාදයට විරුද්ධව පෙළගැසුණු පොදු මතවාදයක් ඇත්තෙන්ම තිබුණි. රටේ සාමාන්‍ය ජනතාව සිටියේ ඒ අසහනකාරී තත්ත්වයෙන් මිදීමේ මගක් සොයමිනි. එය, ‘ත‍්‍රස්තවාදය ඉවරයක් කර දැමීම’ නැමති ‘අවසාන විසඳුම’ තුළ ඇතැ යි ඔවුහු විශ්වාස කළහ. පොදු ජනයා තුළ පැවති ඒ නියාලූ අපේක්ෂාව, පාලකයාගේ බල ව්‍යාපෘතිය සූක්ෂම ආකාරයෙන් පෙළගස්වා ගැනීම සඳහා පාවිච්චි කිරීමේ දේශපාලනයක් සඳහා පාවිච්චියට ගැනෙමින් තිබුණු බව, සාමාන්‍යයෙන් මේ රටේ පොදු ජනයාටත්, විශේෂයෙන් සුළුජාතීන්ට හෝ අන්‍යාගමිකයන්ටත් එදා වැටහුනේ නැත. අද පැමිණ ඇත්තේ ඔවුන්ගේ හෝරාවයි. එක පැත්තකින් ඉස්ලාම් බැතිමතා ය. අනිත් පැත්තෙන්, කිතුණු බැතිමතා ය.

මේ මොහොතේ රටේ පැන නැගෙමින් තිබෙන ‘ආගමික ආතතිය’ කළමනාකරණය කර ගැනීම සඳහා තමන්ට සහාය වන්නැ යි ඊයේ ආණ්ඩුව විරුද්ධ පක්ෂයෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කරයි. මේ කතා කරන්නේ ‘ආගමික ආතතියක්’ ගැන ද, එසේ නැත්නම්, ආගමික අන්තවාදයක් ගැන ද?

යුද්ධයේ ජයග‍්‍රහණයේ හයියෙන් ගොඩනැගුණු ‘ආගමික සහ ජාතික ආතතියක්’ ඇත්තෙන්ම රටේ තිබේ. මේ සා දුෂ්කර කාලයක් ගෙවා, මහත් වූ කැපවීමකින් අත්කරගත් යුදමය ජයග‍්‍රහණයේ පූර්ණ දේශපාලනික ප‍්‍රතිලාභ පාලකයා අත්කර ගන්නා විට, එහි අවශේෂ සමාජ ප‍්‍රතිලාභ සිංහල- බෞද්ධයාට හිමිවිය යුතු බව, රටේ නායකයාගේ සිට වර්තමාන සමාජයේ පහළම ස්ථර දක්වා ගලා එමින් ඇති නිල නොවන දෘෂ්ටියයි. මෙය, තමන්ට තරගයකින් තොරව අත්විය යුතු ව්‍යාපාරික ආයෝජනයක් වශයෙන් සිංහල- බෞද්ධ වෙළෙන්දාගේ ගිණුම්පොතේ ලියැවෙයි. එසේ වූ කල, ‘නෝ ලිමිට්’ (මුස්ලිම්) සාප්පුවේ නොමිලේ බෙදාහැරෙන ටොෆියකිනුත්, තවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විකුණන යට ඇඳුම්වල තවරා ඇතැ යි කියන යම් රසායනිකයකිනුත්, සිංහල පිරිමින්ව වඳ භාවයට පත්කෙරෙන බව, අපට දැනුම් දෙනු ලැබේ. එසේ ඇති කෙරෙන සමාජ ආතතිය, ජාතික හෙළ උරුමය වැනි ආන්තික පතුරු සහ නවතමයෙන් ගොඩනැගෙන බොදුබල සේනා වැනි උමතු අන්තවාදී පිරිස්වල වේදිකාව බවට පත්වෙයි. මෙය, එක ප‍්‍රශ්නයක කොටස් දෙකකි. ඒ සඳහා වන විසඳුම, එකකි. එහෙත්, අදියර දෙකකි.



උදාහරණයකින් එය මෙසේ පැහැදිළි කරගමු. ඇතැම් මානසික අසමබරතාවෙන් (ආතතියෙන්) පෙළෙන අයවලූන්, අහලපහල ගෙදරක පැවැත්වෙන තොවිලයක බෙර හඩක් ඇසෙන විට ආවේශ වන සැටි අප කුඩා කල දැක තිබේ. තොවිලය කරන්නේ, වෙනත් ‘ආතුරයෙකු’ වෙනුවෙනි. එහෙත් ඉන් ආවේශ වන්නේ, තොවිලයට සම්බන්ධයක් නැති අල්ලපු ගෙදරක වෙනත් කෙනෙකි.

යුද්ධයේ ජයග‍්‍රහණය විසින්, උතුරු-නැගෙනහිරට වෙනස් ආකාරයකින්, දකුණේ සමාජය ආතුර කොට තිබේ. පාර තොටේ යන එනකොට එය අපට නොපෙනේ. දකුණේ සෑම නගරයක්ම, ගම්නියම්ගමක්ම, බැලූ බැල්මට ‘සාමාන්‍යය’ යි. එහෙත්, ඈතින් ඇසෙන බෙර හඬකින් ආවේශ විය හැකි ‘ආතතියකින්’ මේ වැසියන්ගෙන් බහුතරයක් පෙළෙත්. සාමාන්‍ය තත්වයේ දී මතුපිටට නොඑන එම මනෝභාවය, ‘තොවිලයක්’ කොට ඇවිස්සිය හැකිය. ඒවා, ‘සිංහල කම’, ‘අපේ කම’, ‘බෞද්ධ කම’ සහ ‘මහ ජාතිය’ වැනි, මානසික අසමබරතාවන් ය.

‘අපේ කම’, ‘බෞද්ධ කම’ හෝ ‘සිංහල කම’ නරකක් දැ යි කෙනෙකු අසන්නට පිළිවන. නැත, ‘මේ සිංහල අපගේ රටයි, අප ඉපැදෙන මැරෙන රටයි’ යනුවෙන් නන්දා මාලිනී ගායනා කරන කාලයේ එහි වරදක් නොතිබුණි. එවැනි දේශාභිමානී ගී සෑම ජාතියක්ම ගයති. (දේශාභිමානය ගැන ලේඛකයාගේ සාරාර්ථ අදහස් මීට වෙනස් බව, මේ කියන කාරණයට අදාළ කර නොගැනේ. එබැවින් ඒ ගැන මෙහි දී සඳහන් නොකරමි). එදා, ‘මේ ඊලාමය අපගේ රටයි, අප ඉපැදෙන මැරෙන රටයි’ යනුවෙන් දෙමළෙන් ගායනා කළත්, එය වරදකැ යි සිංහලයා නොසිතනු ඇත. මන්ද යත්, එදා ‘සිංහල කම’ හෝ ‘දෙමළ කම’ විසින් ආතුරයෙකු බිහිකොට නොතිබුණු බැවිනි. ‘අපේ කම’ අහිංසක පරමාර්ථ සඳහා මෙන්ම, විනාශකාරී පරමාර්ථ සඳහා ද යොදාගැනේ. එය තීරණය කෙරෙන්නේ යුගයේ ස්වභාවය අනුවයි.

ඉතිං, 70,000 කට අධික දෙමළ සිවිල් වැසියන් පිරිසක් සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ ඝාතනය වී ඇතැ යි කියන, තවමත් ලක්ෂ ගණනක් නොවේ නම් දස දහස් ගණනක්වත් අවතැන්ව සිටින යුද්ධයක ජයග‍්‍රහණයකින් පසු, ‘සිංහල කම’ නැමති කුටුම්භ සංකල්පය අන්තරයාකර වෙනසකට භාජනය කෙරෙමින් ඇති බව අප වටහාගත යුතුව තිබේ. පාරට බස්සන ‘සිංහල කම’, ඒ තත්ත්වය තුළ, මොන විදිහකින්වත් අහිංසක වීමට ඉඩක් නැත. සෑම විනාශයකම අගතීන් ඒ තුළ කෙටී ඇත්තේය.

ඉතිං, මුලින්ම කළ යුතුව ඇත්තේ, අර තොවිලය නතර කොට බෙර හඬ නිශ්ශබ්ද කිරීම යි. එහෙත් එපමණකින්, තොවිලයට නිමිත්ත වූ ගෙදර ‘ආතුරයාව’ නිරෝගී වන්නේවත්, මේ බෙර හඩින් ආවේශ වූ අල්ලපු ගෙදර තැනැත්තාගේ ‘ආතතිය’ දුරු වන්නේවත් නැත. ඒ සඳහා දියුණු ප‍්‍රතිකාර වට්ටෝරුවක් අවශ්‍ය කෙරේ. එවැනි ප‍්‍රතිකාරයක එක කොටසක්, ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිෂන් වාර්තාවේ ඇතුළත් ය. එය, ‘සුද්දාගේ’ හෝ ‘අධිරාජ්‍යවාදී හොර දොස්තරෙකුගේ’ ප‍්‍රතිකාරයක් නොවේ. ‘අපේම’ වන, දේශීය ප‍්‍රතිකාරයකි. මේ ‘තොවිලය’ නතර කොට, විද්‍යානුකූල ප‍්‍රතිකාරය නියම කළ හැකි වෛද්‍යවරයා කවුද? ඒ වෙන කිසිවෙකු නොව, ජනාධිපතිවරයා ය. එසේ තිබිය දී එම වෛද්‍යවරයා කරන්නේ, තමන්ගේ නිවෙසට අර බෙරකාරයන්ව ගෙන්වා, බෙරේ ටිකක් හෙමින් ගහන්නැ යි ඔවුන්ට ‘අර්ථයෙන් ධර්මයෙන්’ අනුශාසනා කිරීම යි.

අද අප මුහුණදෙන භයානක අනතුරේ මූලය ඇත්තේ, වෙන කොතැනකවත් නොව, එතැනයි. එය අනුන්ගේ මත ද ඉවසන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයෙකුගේ ගති ලක්ෂණයක් ද? හොඳයි, අපි එහෙනම් ඒ පැත්තත් සළකා බලමු.



ලෝකයේ තිබුණා යැයි කියූ ‘භයානකම ත‍්‍රස්තවාදී ව්‍යාපාරය’ ආණ්ඩුව අතුගා දැම්මේය. එහි දී විරුද්ධ පක්ෂයේ අදහස් හෝ ජාත්‍යන්තරයේ මතය ආණ්ඩුව භාරගත්තේ නැත. ඊළඟට, අර්ධ– ඒකාධිපති ව්‍යවස්ථාව අවම හානියක රඳවා ගතහැකිව තිබූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කටුගා, ජනාධිපතිවරයාව ව්‍යවස්ථාපිත ඒකාධිපතියෙකු කෙරෙන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කරගත්තේය. විරුද්ධ පක්ෂයේ අදහසක් එහි දී අහලකටවත් මායිම් කෙරුණේ නැත. ඊළඟට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන මුරගෙය වශයෙන් පැවති අධිකරණයේ ස්වාධීනත්වය වළලමින්, හිටපු (සහ තවමත් සිටින) අගවිනිසුරුවරියට නීති විරෝධී ආකාරයෙන් අධිකරණයේ දොරටුව වැසුවා පමණක් නොව, දේශපාලනික ගැතිකම් ඕනෑවටත් වඩා ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කරමින් සිටි පුද්ගලයෙකුව නීති විරෝධී ආකාරයෙන් එම පුටුවේ වාඩි කැරැවුණි. එදා මේ රටේ ශිෂ්ට සම්පන්න සමාජයත්, ජාත්‍යන්තරයත් සිටියේ අධිකරණයේ ගේට්ටුවට පිටතිනි. මේ කිසි ක‍්‍රියාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයකින් ආණ්ඩුව ‘ජයග‍්‍රහණය’ කෙළේ යැයි කිව නොහැක. ඒ සියල්ල කෙළේ, බලය පෙරදැරිව ජනාධිපතිවරයා ගත් තති තීරණයක්, පාර්ලිමේන්තුවේ රූකඩ නියෝජනය හරහා බලහත්කාරීව ‘නීතිගත’ කොට, සමාජගත කරමිනි.

ඉතිං, ‘ආගමික/ජාතික ආතතියට’ ප‍්‍රතිකාර කිරීමටත්, බෙරකරුවන් නිහඩ කිරීමටත්, මර්දනය සම්බන්ධයෙන් ඒ සා ‘විරු විකුම් පෑ’ ජනාධිපතිවරයෙකුට, විරුද්ධ පක්ෂයක සහාය අවශ්‍ය කරන්නේ ඇයි? උත්තරය ඉතා සරළ ය. මෙය, එනම්, ‘ආගමික/ජාතික ආතතිය’ මර්දනය කළ යුතු දෙයක් වශයෙන් ජනාධිපතිවරයා විශ්වාස නොකරන නිසා ය. තිත්ත ඇත්ත එය යි.

තමාට අවශ්‍ය කරන දේ හැරෙන තැපෑලෙන් අත්පත් කර ගැනීමටත්, තමාට අවශ්‍ය නොකරන දේ සිදු නොවන තැනට වගබලා ගැනීම සඳහා හොරගල් ඇහිලීමටත් ශූර නායකයෙකුගේ මනා පැතිකඩක් මේ ආශ‍්‍රයෙන් අප ඉදිරියේ චිත‍්‍රණය කෙරේ.

පරම්පරා දෙකක් තිස්සේ ජාතික අගතියේ දේශපාලනයකින් අත්කරගත් විනාශය, එහි එක් පාර්ශ්වයක් පරදා අනිත් පාර්ශ්වය අත්කරගත් හමුදාමය ජයග‍්‍රහණයකින් සමනය වන්නේ නැත. එසේ තිබිය දී ආගමික අන්තවාදයකුත් ඊට එක් වීම, ‘ඉන්ටවල්’ එකකින් තොරවම විනාශයේ ඊළඟ වටයට අතවැනීමකි. එය ඉවසන සහ ඊට අනුබල දෙන රාජ්‍ය නායකයන් සිටින රටකට අප ඉල්ලා සිටින්නේ මොන දෙවියන්ගේ පිහිටක් ද?

(-අවරදිග ආවර්ජනා. රාවය. 2013.02.24)

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ආගම්වාදීන්, ජාතිවාදීන් අන්ධයන් පෙළක් වැනිය. මුලින් සිටින්නා ද නොදකියි, මැද සිටින්නා ද නොදකියි- පිටුපසින් සිටින්නා ද නොදකියි.

-බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි (1896- 1998)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු අප තරම් නිර්භය නොවන්නෝ ය.

- සොෆී ෂෝල්. 1943 පෙබරවාරි 21 වන දා. හිට්ලර්ගේ කැලෑ උසාවිය ඉදිරියේ කළ ප්‍රකාශය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|



ලෙයින් පිසගෙන කිරිබත්
තලුමරා අනුභව කළ,
අධිවේගයෙන් ගැස්සුන
දෙමළ හෘදස්ඵන්දන
රතිඤ්ඤාවට කැටි කළ,
මානුෂික රටේ ජනයිනි,

මරණය ලාබ යුගයක වුව
සිඟිති සඳකට වෙඩි තැබු
විලස් දැක මහද නැවතුණි

ළපැටි මොළකැටි අතකට
විස්කෝතු දී කන්නට
බලා එල්ලය හරියට
ගිනි බින්දා ද හදකට
වෙඩි තිබ්බාද සඳකට

මින් මනත කිසි දිනෙක
කිසිවක් කිසිදාක
උපමා කළ හැකි ද සඳකට?

"බාල චන්ද්‍ර පටු නළල" ගැන
එමියුරු නදැති අමරස්වර
විඳිය හැකි වේද යළි කිසි දින?

කවියෙකු වන්ට පළමුව මිනිසෙකු බැවිනි මා මිත
ඇට සම් මස් නහර සිඳ, ඇට මිඳුළු තෙක් නිබඳ වේදනා දෙන
පුතු සෙනෙහෙ හද රැඳි මා ද පියෙකිය මා පුත!

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නොකිළිටි හිත් ඉඩකඩට
කිළිටි සුළඟක්
රැයක ඇවිදින් හෙමිහිට
නිදා ගන්නට අවසර
නොදී ඉන්නට හිතට නොහැකි ය

තිබුණු සුවඳක වගක්
හිස් හිතට
දැනුනේම නෑ
හිතට හිස රදයක්
ගෙනෙනා තුරුම
කිළිටි සුළඟ

හිත සතර අත
ඇර දා කවුළු
ඉඩ හැර යන්න සුළඟට
ගසා හැර දා
ඇතුලත ඇති සැම
පළවා හරින්නට හැදුවත්
හැර ගියේ නෑ
හිත හැර දා

වැසුවත් හැර දැමූ කවුළු
ඇරියත් වසා ලූ කවුළු
තැවරුණු කොහොල්ලෑ බඳු වූ සිතිවිලි
කිළිටි කළ ඒ කිළිටි නළ රැළි

හිනාවෙති පිවිස
අහුරමින් ඉඩකඩ
හිස්බව තුළම වූ
සුවඳ නැතිකර

[සිතුවම : Massimo Pulini]

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ වෙන‍කොට ලංකාවේ ඉන්න සිංහල හා මුස්ලිම් ජනතාව අතර ජාතික වශයෙන් යම් ආතතියක් ඇති වෙලා තියෙනවා. ‍මේක යම් යම් පරිමාණයෙන් විවිධ ස්ථර දක්වා ව්‍යාප්ත වෙමින් පවතිනවා. පහුගිය කාලය පුරාවට මේ තත්ත්වය වඩ වඩාත් තියුණු වෙමින් පවතිනවා මිසක් ඒක සමනය ‍වෙන බවක් දක්නට ලැබෙන්නෙ නැහැ. මේ තත්ත්වය මත රජයේ විවිධ ඇමතිවරු මෙන්ම ජනාධිපතිවරයා ද, සෘජු සහ වක්‍ර ලෙසින් සිංහල - මුස්ලිම් ආතතිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම් මෙන්ම යෝජනා ද සිදුකොට තිබුණා. බොදු බල සේනා නම් සංවිධානය හමුවී ජාතික සමගිය පිළිබදව අදහස් දැක්වීම ඊට එක් උදාහරණයක්. ඉස්ලාම් ආගමට අදාළ හලාල් සහතිකය ලංකාවේ නිකුත් කිරීමට බලය ඇති සමස්ත ලංකා ජමියතුල් උලාමා සංවිධානය පවා සිය ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නෙ මෙහි ප්‍රතිඵලයක් විදිහට.

ඒ අනුව සිංහල - මුස්ලිම් ජාතීන් මුල්කරගෙන පවතින ගැටුමකට වඩා මෙය හඳුන්වන්න පුළුවන් බෞද්ධ හා ඉස්ලාම් ආගම් අතර වෙන ගැටුමක් විදිහට. මෙය නිශ්චිතව බෙදා වෙන්කළ නොහැකි වුනත්, සිංහල ජාතියට අයිතිවෙන ක්‍රිස්තියානි හා කතෝලික භක්තිකයින්ට මේ ගැටුම තුළ නියෝජනයක් ලැබෙන්නෙ නෑ. ඒ අනුව සිංහල බෞද්ධ පිරිස හා ඉස්ලාම් භක්තිකයින් හෝ මුස්ලිම් ජාතිකයින් (මේ නම් දෙකෙන්ම හඳුන්වන පිරිස එකම පිරිසක්) අතර ඇති යම් ආතතියක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.

මෙම ගැටුමට මූලික වෙන කතිකාව වෙන්නේ ශ්‍රී ලංකාව පිරිහෙමින් පවතින බවත්, එහිදී සිංහල බෞද්ධ ජනතාවගේ පිරිහීම වැඩිබවත්, මේ නිසා පිරිහෙන ලංකාවටත්, සිංහල බොදු දහමත් වෙනුවෙන් සිංහල බෞද්ධයින් පෙනී සිටිය යුතු බවත්, ශ්‍රී ලංකාවේ හා සිංහල බොදු දහමේ විනාශය වෙනුවෙන් කටයුතු කරන දේශිය හා විදේශීය පාර්ශවයන්ට එරෙහිව සිංහල බෞද්ධයින් ලෙස නැගී සිටිය යුතුයි කියන අදහස මූලික කරගෙන. (හැඳින්වීම- බොදු බල සේනා) මේ තර්කයට අනුව ලංකාවේ ඉන්න ඉස්ලාම් ආගමිකයින් විසින් පිළිපදින යම් යම් ප්‍රතිපත්ති සහ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයන් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවට වගේම, ජන සංයුතිය පාලනකිරීම සදහාත් හේතුපාදක වෙනවා කියලයි චෝදනා නැගෙන්නෙ. ඊට හොදම උදාහරණ‍ය වෙන්නෙ හලාල් සහතිකය. එතනදි හලාල් සහතිකය නිකුත් කිරිම හරහා මුස්ලිම් නොවන ව්‍යාපාර පාලනය කිරීමට උත්සාහ කරන බවටත්, ඉන් අතිවිශාල මුදලක් උපයමින්, ඒක ලංකාවේ මුස්ලිම් ගහණය ව්‍යාප්ත කරලීම සදහා යොදාගන්නා බවටත් චෝදනාවක් සිංහල බෞද්ධ පාර්ශවයෙන් නැගී ආවා. මීට සමාන්තරව මුස්ලිම් ව්‍යාපාර ස්ථාන වර්ජනය කිරීම, රජයේ මුස්ලිම් ඇමතිවරු විසින් සිය ජාතිය වෙනුවෙන් යම් යම් විශේෂ උදව් උපකාර කිරීම් (නීති විභාග ගැටලුව) මෙන්ම මුස්ලිම් ජාතිකයින් විසින් නැගෙනහිර ඓතිහාසික සිංහල බෞද්ධ සිද්ධස්ථාන නටඹුන් ආක්‍රමණය කිරීම් වැනි කරුණු කාරණා ඉස්මතු වුණා.

මේ කරුණු කාරණා වල සත්‍ය අසත්‍ය බව හෝ දේශපාලන, සංස්කෘතික පසුබිම සම්බන්ධය කියවීමට වඩා මගේ උත්සාහ වෙන්නෙ මේ තත්ත්වය පිළිබදව ගැටුම්, ත්‍රස්තවාදය, භූ දේශපාලනය වැනි සංකල්ප ඇසුරින් යම් කියැවීමක් සිදුකිරීම.



මෙහෙම වුනේ ඇයි?

ලංකාවේ අවුරුදු 30ක් දිග්ගැස්සණු සන්නද්ධ යුද්ධයත්, ඊටත් වඩා ඉතිහාසයක් තියෙන ජනවාර්ගික අර්බුදය වගේම දකුණු ප්‍රදේශයේ ඇතිවුණු තරුණ සන්නද්ධ කැරළි දෙකකිනුත් පීඩා විදලා, එක් පසෙකින් රටක් සමස්ත ජනතාවගේම සංවර්ධනය මගහැරිලා තියෙනවා වගේම, අනෙක් පැත්තට සියළු ජනතාව ඉන් හෙම්බත් වෙලා ඉන්නෙ. ඊළාම් යුධ ජයග්‍රහණය වෙනුවෙන් කරන ලද සිංහල බෞද්ධ ජාතිකවාදයේ ඔසවා තැබීම තවමත් පහ නොවුණු තත්ත්වයක පවා, රටක් ලෙස තවත් සන්නද්ධ යුද්ධයක් වෙත යන්න මොනයම්ම හෝ මනුස්සයෙක් කැමති වේ යැයි කියන්න අමාරුයි. යුද්ධයෙන් පස්සෙ යම් ආර්ථික දියුණුවක් ලබන්න උත්සාහ ගන්නවා වෙනුවට තවත් යුද්ධයකට අතවැනීම මනෝවිකාරයකට මෙහා දෙයක් නෙවෙයි. ඒකෙ කිසිම දේශපාලනික සාධාරණභාවයක් හොයන්න බෑ. වසර 30ක් ගෙවුණු යුද්දෙට වැයවුණු ජීවිත වල අගය අයින්කරලා මුදල විතරක් සලකා බැලුවොත්, ලංකාවේ ඉන්න මිලියන 20ක ජනතාව අතර රුපියල් මිලියනය ගානෙ බෙදලා දෙන්න පුළුවන්. (ඇමරිකානු ඩොලරයක් රුපියල් 100ක් යැයි උපකල්පනය කළොත්.)

ආගමික වශයෙන් වැඩි ප්‍රතිශතයක් සිටින‍ බෞද්ධ පාර්ශ‍වයෙන් (70%) සුළුතරයක් වුණු ඉස්ලාම් (10%ක් පමණ) ජනගහණයට විරුද්ධවයි මේ වන විට ගැටුම්කාරී තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ. මේ වෙන කොට බෞද්ධ පාර්ශවය නියෝජනය කරන පිරිස් ගැටුමට එළැඹෙන ස්වරූපයකුත් (Offensive) සහ ඉස්ලාම් සමස්ත පිරිස ආරක්ෂාකාරී (Defensive) ක්‍රම අනුගමනය කරන තත්ත්වයකුයි තිබෙන්නෙ. තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් ගැටුමේ ස්වභාවය ප්‍රචණ්ඩාත්මක ස්වරූපයක් ගැනීමේ හැකියාවත් තිබෙනවා. ඉන් පසුව ප්‍රචණ්ඩත්වය ඉදිරියට යෑම ඇතුලෙ ගැටුමේ ස්වරූපය වෙනස් වෙනවා. මේ වෙනස්විම ගැන අපි ඉදිරියෙදි කතා කරමු.

ඇත්තටම සිංහල බෞද්ධ හා මුස්ලිම් ජනතාව අතර ඇති මේ ගැටුම ඉදිරියට ගොස් ඒක ප්‍රචණ්ඩත්වයටත්, ඒ වගේම සන්නද්ධ තත්ත්වයකටත් පත්වීමට හැකියාවක් තියෙනවද? මේ හැකියාව ගැන සලකා බලමු.

වාර්ගික ප්‍රතිවිරෝධතාව රාජ්‍ය පාලන උපක්‍රමයක් ලෙස (Divide and Rule)

රටක් පාලනය කරන ආණ්ඩුවකට ඒ රටේ තියෙන සමාජ, දේශපාලන විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න බැරිනම් ඒ ආණ්ඩුව අවදානමකට ලක්වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයේ මූලික අංග වුණු විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ගැන තියෙන මහජන විශ්වාසය බිදවැටිලා නම් ඒ රට අසාර්ථක රාජ්‍යයක් වෙනවා. එත‍කොට මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නෙ නැතුව, එහෙමත් නැත්නම් හොයන පිළිතුරු අසාර්ථක නම්, රාජ්‍ය පාලන ආණ්ඩු විසින් රටේ ජීවත් වෙන ජනතාවට මේ පවතින ප්‍රශ්න අමතක කරන්න "බෙදාවෙන්කොට පාලනය" කියන යටත්විජිතවාදී පාලන උපක්‍රමය අලුත් විදිහකින් අත්හදා බලනවා.



ලෝක මට්ටමෙන් උදාහරණ ගණනාවක් වගේම, ලංකාවේ 1983 කළු ජූලිය සිද්ධ වුණු අවස්ථාවෙදි ජනතා පීඩනය, දෙමළ සිංහල එකිනෙකා මත පටවන්න එවකට පැවති රජය ක්‍රියාකර තිබුණා. (‘Black July’ 1983: Remembering the Horrors of a Pogrom) ඒ අවස්ථාවෙදි බහුතර ජනය පාලනය කිරීමට, ඔවුන්ගේ අවධානය රටේ එවකට පැවති ආර්ථික දේශපාලන ප්‍රශ්න වලින් පිටමං කරලා තබන්නට දෙමළ ජනතාව ඇමක් ලෙස භාවිතා කරා.

මේ වන විට පවතින මුස්ලිම් විරෝධය පිටුපසත් පාලක රජයේ සහයෝගය ලබන පිරිස් ඉන්නවා කියන එක රහසක් නෙවෙයි. විශේෂයෙන් එල්ටීටිඊ සංවිධානය පරාජය කිරීම තුළින් ලබාගත්තු ජයග්‍රාහී ආවේගයන් මුස්ලිම් ජනතාව මතත් මුදාහරින ආකාරය දකින්න පුළුවන්.
සංස්කෘතික වශයෙන්, භූ විෂමතා වශයෙන්, ජාති ආගම් වශයෙන්, කුල වැනි සම්ප්‍රදායික බෙදුම් මිමි වලින් වෙනස්කම් වලින් යුතු මිනිස්සු එකම රටක ජීවත් වෙනකොට යම් යම් නොහොද නෝක්කාඩුකම්, අමනාපකම් පැවතීම සාමාන්‍ය දෙයක්. ජාතික රාජ්‍යයක් ගොඩනගනවා කියන්නෙම මේ වගේ වෙනස්කම් තියෙන විවිධ ජනකොටස් එකම රාජ්‍යයක් වෙත අනුගත වීමක් (Integration). (Nation-building) එහෙම එකට ජීවත් වෙන විවිධ ජනකොටස් අතරට ඓතිහාසික වශයෙන් ගොඩනැගුණු ආරවුලක් ඉස්මතුකරලීමට යම් පාර්ශ්වයකට අවශ්‍යනම් ඒ සදහා පදනම් හොයාගන්න එක එතරම් අපහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන් අනෙකුත් බෙදීම් පරදා සාර්ථක ජාතික රාජ්‍යයක් ගොඩනැගීම සිදු‍නොවුණු ලංකාව වගේ රටක මෙවැනි ආරවුල් ඉතා පහසුවෙන් ඉස්මතු කර ගන්න පුළුවන්. රාජ්‍ය පාලන උපක්‍රමයක් විදිහට තමන්ගේ බලය, සංවිධාන හැකියාව, ප්‍රචාරණ යාන්ත්‍රණ උපයෝගී කරගෙන ආණ්ඩු විසින් ජනතාව අතර බෙදීම් උලුප්පාලන්නේ මේ අනුවයි.

දැන් තියෙන තත්ත්වය ප්‍රචණ්ඩත්වයෙන් යුතු ගැටුමක් බවට පත්වෙන්න පුළුවන්ද?

මේ ප්‍රශ්නයට පිළිතුර තියෙන්නෙ දැන් පවතින තත්ත්වය කොතෙක් දුරට පාලනය කරනවාද සහ ඒ සදහා ආණ්ඩුවේ දායකත්වය කොතෙක්ද කියන කාරණය මත. මේ වෙනකොට මේ තත්ත්වයට විරුද්ධව මුස්ලිම් දේශපාලන නායකයින් සහ ආගමික නායකයින් සාමකාමී විරෝධතාවයන් දක්වලා, රටේ නීතිය ක්‍රියාත්මක කිරීමටත්, සාමය ස්ථාපිත කිරීමටත් ඉල්ලීම් කරලා තියෙනවා. සිංහල බෞද්ධ නායකයින් බොහෝමයක් මේ තත්ත්වයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා තිබුණත්, ගැටුම්කාරී පිරිසේ ආවේගශීලිත්වයත්, ඔවුන් වෙත නායකත්වය දීම සදහා බෞද්ධ හිමිවරුන් එකතුවීමත් සමගම ‍ගැටුම්කාරී සිංහල බෞද්ධ සුළුතරයේ බලපෑම වැඩිව තියෙනවා.

මෙය පාලනය කිරීමට ඇති එකම විකල්පය රටතුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට රාජ්‍යය විසින් අපක්ෂපාතී විදිහට කටයුතු කරන එක. ඒත් ඉහත සදහන් කරලා තියෙන මේ ගැටුම පිටිපස්සෙ ආණ්ඩුව ඉන්නවනම් නීතියේ හා සාමය ස්ථාපිත කිරීම ගැන සැකසංකාවක් හටගන්නවා.

පීඩිත පාර්ශවයේ නායකත්වයේ වෙනස් වීම

මේ වෙන විට මුස්ලිම් ජනතාවගේ දේශපාලන නායකත්වය විසින් සිය ජාතියේ පුරවැසියන් හට මුහුණ දෙන්න ‍වි තියෙන ගැටළු ගැන විසඳුමකට එන්නට උත්සාහ කරමින් සිටිනවා. ඒත් බැලූ බැල්මට පේන්නෙ ඊට වඩා බෞද්ධ පිරිස් හසුරුවන නායකත්වයේ බලපෑම වැඩි බවත්, ආණ්ඩුව නාමමාත්‍රිකව පමණක් මේ ආවේගශීලි ක්‍රියාවන්ට විරෝධයක් දක්වන බවත්. මේ මෙ‍‍හෙයුම සදහා ආණ්ඩුව නියෝජනය කරන පාඨලී චම්පික ඇමතිවරයාත් එකතු වෙන්නෙ මේ අතරෙ.

මුසලිම් ප්‍රභූ පන්තියේ නායකත්වය මෙකී තත්ත්වය පාලනය කිරීමට අසමත් වෙන තත්ත්වයක් ඇතුලෙ වෙන්න පුළුවන් දේ මොකද්ද? තමන්ට වෙන හිංසාවන්ට හා අසාධාරණයන්ට එරෙහිව මුස්ලිම් ජනතාව ස්වයං ආරක්ෂාව සළසා ගැනීම, ඔවුන් විසින් හිංසාවට හිංසාවෙන් මෙන්ම, වඩා සංවිධානාත්මක පිළිතුරු සෙවීමට උත්සාහ ගැනීම. මේ අවස්ථාවෙදි ප්‍රභූ පන්තියේ නායකත්වය වෙනුවට භූමිය තුළ ක්‍රියාත්මක නායකත්වයක් මුස්ලිම් ජනතාව අතරින් ඉදිරියට එනවා. භූමියේ වැඩකටයුතු වලට වඩා දක්ෂ මේ නායකත්වය දේශපාලනික වශයෙන් පරිණත වීමට හැකියාවක් නැහැ.

එතැන ඉදලා මුස්ලිම් ජනතාවගේ දේශපාලනය තීරණය වෙන්නෙ මේ නායකත්වයේ තීරණ අනුව. මේ තත්ත්වය ද්‍රවිඩ දේශපාලන අරගලය ඇතුලෙ බොහෝම පැහැදිලිව දකින්න පුළුවන් දෙයක්. භූමියේ ක්‍රියාකාරීත්වයට වඩා දක්ෂ මේ නායකත්වය දේශපාලනික පරිණතභාවය අතින් දුර්වල මට්ටමක පැවතීම අපේක්ෂා කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම අධ්‍යාපන මට්ටම, රටේ අනෙකුත් ජාතීන් සම්බන්ධයෙන් පවතින ආකල්පය වගේම අනෙකුත් දේශපාලන නායකයින් සමග වන සම්බන්ධකම් හා සන්නිවේදනයන් සම්බන්ධයෙන් අපේක්ෂා කළ හැක්කේ වඩා හිතකර තත්ත්වයක් නෙවෙයි. මේ නිසාම ගැටුම් පරිසරයක් තුළින් ගොඩනැගෙන නායකත්වයන් බොහෝ විට යම් අන්තවාදයක් වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක් දකින්න පුළුවන්.

ලංකා‍වේ පවතින අර්බුදකාරී තත්ත්වයේ ව්‍යාප්තිය ගැන නිශ්චිතවම අනාවැකි පළ කළ නොහැකිමුත්, එය ගමන් කරන දිශාව ගැන අවධානයෙන් පසුවීම පුරවැසියන් සතු යුතුකමක්. අපි විසින් අනුබල දෙන ක්‍රියාකාරීත්වයන් වල ප්‍රතිඵලයන් කොතරම් භයානකද? එය සමාජයෙ ගමන් මගට කොතරම් බලපෑම් කරනවාද කියන එක තුළින්, අපේ ක්‍රියාකාරීත්වයන් තීරණය කරනවා නම් එය මුළු මහත් මානව සමාජයේම ඉදිරි ගමනකට සහයෝගයක් වීම නො අනුමානයි.



කාටූන් උපුටාගත්තේ- අවන්ත ආටිගල මූණු පොත් පිටුවෙන්. [facebook.com/Awantha.artigala]

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නම් අති දැවැන්ත හිනමා පටිය නැරඹීමෙන් පසු හෝල් එක ළඟ බිම වාඩි වී ඉහ අත් බදාගෙන ගායනා කරන ලද ගීතය!)

ලයිටුත් නැති- සවුන්ඩුත් නැති- ෆිලුමුත් නැති- මකුණොත් කති
මළ හෝල් ඉලව්වේ- අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ

නලුවොත් නැති- නිළියොත් නැති- ඇනුම් යති- නිදිමත වෙති
මළ හෝල් ඉලව්වේ- අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ

ඔලුවක් නැති- මිනිසුන් ඇති- පිදුරුම කති- උන් රජවෙති
මේ වසල කොදෙව්වේ- අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ

අපි අසරණ වෙලා වගේ- හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ....

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිද්ධාර්ථ!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක
ඍතුවෙන් ඍතුවට සත් මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත
එබැවින් ඔබට මෙන්
ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන්

මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝය
උන්ට බොන්ඩ ටින් කිරි පිටි හොයා දෙන්ඩ
මා නැත්නම් කෙනෙක් නැති ය
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොචිචරවත් දැලි පෙරාන
ඇටයි හමයි
පිටි කොටනවා, කිරි හදනව,
කැඳ උයනවා, රෙදි මදිනව

අම්ම කෙනෙක් වගෙයි
අක්ක කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි
දිළිඳු ගෙයක සාගතයක
උන් තනි කර යා නොහැකිය

සංසාරේ කලකිරිලා මං එන කොට
නිරංජලා හිටියා මුඩුක්කුවක
දරු පැටියෙකුත් එක්ක අතරමං ව
කාගෙන් වත් හව්හරණක් නැතිව
ඇගෙ සැමියා මැරිලා බර ඇදලා
ඒ බර මම අර ගත්තේ
ඈ ගැන අනුකම්පාවෙන්

දෑතේ කරගැට සිබ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරැසා වී
කරල් බරින් පීදි වැගිරෙයි

අඩ සඳ මෝරන නිසසල අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇත මව් දෙරණේ
සත් රැවනින් තව නිදහන් මතු වී
පුතුගෙ සිනහවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුළැලි පිස දා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සැපතක් වෙයි මට
ඔබ දකිනා කල පුංචි පුතුන්
දෙදහස් පන්සිය වරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

සිද්ධාර්ථ!
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව

මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපි ගොනු අතර මැද …
හාන පෝරු ගාන – වී වපුරන වෙල් යායක
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර-
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ සවස වැඩට යනෙන කොච්චියක
දෙනෝ දහක් සෙනඟ අතර
බුදු වීමට
තනියම නොව
දෙනෝ දහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම – එකට බුදු වීමට

(ප්‍රබුද්ධ)

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිර්මාණකරණය විෂයෙහි වූ ප‍්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ‍්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ ව්‍යවහාරික කලා ලෙසත් මානසික ශ‍්‍රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්‍යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්‍ය කලාහි නියුක්ත පැරණි ඡේකයෝ බොහෝ සෙයින් ම ධන බල ණැන ආදි ඖදාර්යයෙන් පෝෂිත වූහ. ඔවුහූ රාජ රාජ මහා මාත්‍යාදින්ගේ නො මඳ ආදර සත්කාරයට බඳුන් වූවෝ වෙති. සියබස්ලකර කතු අබා සළමෙවන් ද, කව්සිමිණි කතු කලිකල් සවැනි නිරිඳුන් ද, රජුහු වෙත්. අමාවතුර කතු ගුරුළුදැමියන් ද, බුත්සරණ කතු විදු සක්විත්තන් ද, රජමැදුරු සේවනය කළ පඬිවරු වෙතියි චිර සම්මත ය. තොටගමුවේ සිරි රහල්, වෑත්තෑවේ, වීදාගම ආදි පැවිදි යතිවරු ද, බොහෝ නැණ බල සපන් රාජ රාජ මහාමාත්‍යාදින්ගේ නො මද උපචාරයට ලක් වූවෝ වූහ. මෙ පරිද්දෙන් සාහිත්‍යාදී මනඃශ‍්‍රම සුක්ෂ්ම වියත් කලාවෙහි නියුත්ත වූවෝ වරප‍්‍රසාදිතයහ.

එහෙත් එදිනෙදා දිවියෙහි අත්කම් බැර කම් ලිය කම් කරමින් ව්‍යවහාරික කලා පෝෂණය කළ පිත්තල වඩුවන්, ලී වඩුවන්, පන් වියන්නන් ගල් වඩුවන් බට පොතු වියන්නන් ආදිහූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් අත් විඳිමින් සිය කලා මාධ්‍යයෙහි අතීත නිර්මිත සත් සම්ප‍්‍රදායන් රකිමින් ද වඩා ඔප මට්ටම් කරමින් ද ඒවා රක්ෂා කළෝ වෙති. ඔවුන්ගේ දිවි තතු අප‍්‍රිය ද අමනාපී ද විය. රාජ බියෙන් ද අමනුෂ්‍ය බියෙන් ද රෝග බියෙන් ද ඔවුහූ පරි පීඩිත වූහ. මෙලෙස කායික ශ‍්‍රමය මානසික ශ‍්‍රමයට වඩා ඌණ අගයකින් සැළකීම පුරාතන නිෂ්පාදන ප‍්‍රාකාරයන්හි සිට ම නො අඩු ව දක්නට හැකි වූ දුර්භාවිතයකි.

තතු එසේ වුව සිය කලා මාධ්‍යයන්හි ජීව ගුණයත් උදාරත්වයත් නො නසා රැක ගැන්මට මේ පිරිස් සමත් වූහ. ගොවියාගේ නෙළුම් කවියත් එඬෙරාගේ අඬහැරයත් තොටියාගේ පාරු කවියත් හේන් ගොවියාගේ පැල් කවියත් ඓන්ද්‍රීය කලා මාධ්‍ය ලෙස පරපුරෙන් පරපුරට දායාද විය. ඒවා ද ව්‍යවහාරික ජන කලා වේ. ඒ සියල්ල කායික ශ‍්‍රමය සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතී.

මේ ව්‍යවහාරික කලා අතර අපට හමු වන ඉපැරණි ම සම්ප‍්‍රදායන් වනුයේ සිතුවම් හා සුරුවම් කලා ය. රළු බිතෙහි හෝ ගල් බෙයඳෙහි නන් විසිතුරු ලාක්ෂාවෙන් සිතුවම් මැවූ සිත්තරුන්ගේ දස්කම් සීගිරියේත් තිවංක පිළිම ගෙයිත් අපට දැකිය හැකි ය. රළු පරළු පාශාන, කටුවෙන් ඔප දමා හනා වනා කර ඇති නන් විධ පිළිම හා කැටයම් සම්භාරය ගල් වඩුවන්ගේ විසිතුරු අත් හුරුව විද්‍යමාන කරයි. ගල් වඩුවෙකු සිය කටුවෙන් හා මිටියෙන් ගත තවමින් සිතෙහි සමාධිය නො මුදමින් නෙලනා පිළිමය විශිෂ්ට කලා නිර්මාණයක් වනුයේ එය ඊට අයත් සම්ප‍්‍රදායෙහි නියාම ධර්මයන්ට අනුගත වුවහොත් පමණි. එලෙස වියත් ජන පැසසුමට ලක් වන පිළිමයෙහි අධාත්මික සළකුණු දුටුවන් තුළ රස භාව උද්දීපනයෙහි පොහෝනා වේ. එම පිළිමයේ සාර භූත ප‍්‍රතිභා ගුණය වියත් ජන මන පුබුදයි. ඔවුන්ගේ අධ්‍යාත්මය විකසිත කොට පෝෂණය කරයි. එහෙත් මේ ගල් වඩුවන්ගේ දිවි තතුහි නම් ඒ සොඳුරු සොබා සිරි පළට නො කෙරෙයි. රජී වෙල්ගම නමැති නව පරපුරේ ගීත රචකයා ඒ ඓතිහාසික නො පෑහීම මෙලෙස ගීතයට නඟයි.

".... මේ තරම් සියුමැලි ද කළුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...."


මේ පද පෙළ ධ්වනිතාර්ථවත් වේ. ගල් වඩුවන් කළුගලෙන් කර ඇති සියුම් සිත්තම් ඇස ගැටෙන විට කළුගල් මෙතරම් සියුමැළි දැයි කවියා තුළ කුකුස් උපදි. ඒ කුකුස් එම නිමැවුම කළ ශිල්පියා ගෙන් ම විමසීමට කවියා පෙළඹේ. කළුගල් යනු ඉතා දෘඩ කර්කශ පාෂාණයකි. එය බරින් අධික වන අතර ම ශක්තියෙන් ද තද බවින් ද අනූන වේ. එවැනි රළු ගොරෝසු වස්තුවකින් සියුම් හැඟීම් දනවන කලා නිර්මාණයක් කිරීම විස්මයජනක වේ. කවියා අවුකන බුදු රුවෙහි වූ ශාන්ත විතරාගී ගුණ මහිමය සංජානනය කොට ඉන් විස්මිත ව කළු ගල් මෙතරම් සියුමැළිදැයි ව්‍යාකූල වනුයේ බුදු රුවෙහි දෑසේ රැඳි මහා කරුණා ගුණය මතකයට නගමිණි. පතළ මහා කරුණාවෙන් ලෝකයා දෙස බලමින් සියලූලෝ වැස්සන් වෙත සිය මෙත් සිසිළ විහිදූ, පූර්ණක, අංගුලිමාල, නාලාගිරි, නන්දෝපනන්ද, ආලවක, ජටිල, තීර්තකාදීන් කරුණා මහිමයෙන් දමනය කළ බුදු රදුන්ගේ දෑස් පාෂාණමය අනුරුවකට නැංවිම ම අරුමැසි පුදුමැති පෙළහරකි. එවැනි නිමැවුමක් කළ නිර්මාණකරුවා විශ්මකර්මයෙකි. ශත සහශ‍්‍ර සංඛ්‍යාත සත් ජනයා සාධුකාර නගමින් පුදන්නේ ද වඳින්නේ ද ඒ සුවිශේෂ වූ ප‍්‍රතිභා ගුණයට විණා දෘඩ පාෂාණ උද්ගතයට නොවේ.

නිර්මාණකරුවාගේ වෙහෙස, ප‍්‍රතිභාවේ මහිමය ආදිය ඉතාමත් මැනවින් බසෙහි සිරි විසිතුරු ද රකිමින් සරල ව පැවසීමට කවියා සිය වදන් වැල පෙළ ගස්වයි.

නිර්මාණයේ විශිෂ්ට ගුණ සමඟ නිර්මාණකරුවාගේ අපි‍්‍රය අමනාප දිවි තතු අප වෙත එක පැහැර විදාරණය කෙරෙයි.

" ...... කලා වැව ළඟ ඉළුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා.... "


සොබා දහමෙන් ලද ප‍්‍රාකෘතික ජීවිතය පමණක් රකිමින් කලාකරුවා අනිස දම් මෙනෙහි කරමින් දිවි ගෙවයි. ඔහු කළ මහා නිර්මාණ අත් විඳින ජනයාගේ දිවි තතු එහි වූ කලා පරිචයෙහි අයමින් හා විතරින් විශිෂ්ටත්වයට ද සුපුෂ්පිත භාවයට ද පත් වෙති. එහෙත් එහි නිර්මාපකයා වැව් තාවුලක මැටි පිලක ඉළුක් කොළ හෙවනක සිය ගත රිදුම් සිය දෑතින ම පිරි මැද ගනිමින් අනිස දම් මෙනෙහි කරයි. ඒ නැගෙන බසින රළ දෙස නොව මැරෙන ඉපදෙන රළ දෙස බලමිණි. දිය රළ ද බුදු දහමෙහි දේශිත සසර සැරීම මෙන් ම ඇති වී නැති වී යළි ඇති වෙයි. එය සමථයට මෙන් ම විදර්ශනාවට ද ආරම්මණ වනුයේ එහෙයිනි.

දෘඩ භෞතික වස්තුවක ලොව්තුරු සිරි පෑ මේ මහා කලාකරුවා දුක්ඛ භෝජන දුක්ඛ සෙය්යාවන්ගෙන් පරිපීඩිත ව සකර දම්හි අනිස දකිමින් කාලය ගෙවයි. ජීවිතයට පෙම් බඳින මිනිසුන්ට අරමුණු වූ සත් කලා නිමැවුම් නිමැ වූ මේ නිර්මාණකරුවා ලෞකික සුඛ හා ප‍්‍රිය සම්ප‍්‍රයෝගාදියෙන් පරත්වාරෝපිත ය.

"... ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැන ද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...."


ඉසුරුමුණි පෙම් යුවලගේ හාව භාව ලීලා රසික හදවත් තුළ ශෘංගාර හැඟුම් වඩන්නේ වේ. රතිය උද්ධීපනය කරන්නේ ද වේ. ස්ත‍්‍රී පුරුෂ සම්භෝගයෙහි සාධනීය අරුත්භාරය එහි පාෂාණීභූත ව උපලක්ෂිත ය. දකින්නෝ ඒ පෙමෙහි ලොබ වඩත්, දිවියෙහි සොඳුරු අරුත් සොයා ඔද වැඩෙත්. එහෙත් මේ නිර්මාණය කළ කලාකරුවා ඒ සියලු සොඳුරු දිවි තතුවලින් පළවා හැර ඇත. දවස මුළුල්ලේ කළු ගල් සමඟ ඔට්ටු වී තැළුම් ගත් ගත ද වෙහෙස පත් සිත ද තෙල් සාත්තු කොට සතපා නිවා සනහාලන්ට කවරෙකු හෝ නැත. පැලෙහි නිරතුරු පාළුව ම රජයයි. සිය සුසුම් වැල්හි උණුසුම ම නො පැටලී එකලාව දැනේ. අඳුරේ සිසිල් පහස් නො දැනේ. පේ‍්‍රමයෙහි සොඳුරු නිමේෂයන් මන දල්වන පරිකල්පනා පමණි. මේ හුදකලාව ම අවනඩුවකි. ඔහු දරිද්‍රතාවෙන් පීඩිත ව හුදකලා බවින් මර්දිත ව දිවි කතරෙහි විඩා ව කළකිරුණු සිත් ඇත්තේ උකටලී ව වෙසෙයි. හිස් දියඹේ රළට සිත් දි කල් මරයි.

මේ ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ යතිවර හඬින් ළයාන්විත ව ගැයෙන අතර දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් පෝෂිත ය. තාම්පූරාවේ රළු තත් සැලෙන හඬ හා මුසු වන වයලීනයේ ගැස්ම ගල් වඩුවාගේ වේදනාකාරී ජීවිතය රිද්ම වර්ණයට නගයි. ඒ සමඟ ම වයලීනය සිහින් හඬින් හඬා වැටේ. සිතාරයේ තත් ශාන්ත රස මවමින් ඒ වේදනාව පිස ගෙන දිය රළ පෙරළෙන අයුරු අපගේ දෙසවන්හි මවයි. තබ්ලාවේත් ඝටම්හිත් කිඳා බසින ගැඹුරු තාල, වයලීනය හා සිතාරය මගින් මවන වේදනාවේත් උපේක්ෂාවේත් වර්ණයෝජනයෙහි වූ දයලෙක්තිකය නොබිඳි ගෙත්තමක් ලෙස රකියි. වස්දඬුවේ වැළපුමෙන් සංගීත ගෙත්තම තුළ පාළුව දැනවේ. ගීතයේ සාහිත්‍යාත්මක පද මාලාවේ භාව පාර්ශවය සංගීත ප‍්‍රස්තාරය බවට පත් ව ඇත. පද මාලාවේ නිසඟ භාව මණ්ඩලය තත් හා තාල මාධුර්යයට නැංවිමට සංගීත අධ්‍යක්ෂවරයා සමත් ව ඇත.

ඓන්ද්‍රීය නිර්මාණකරුවෝ හැම විට ම සංවේදි මිනිස් පිරිසක් වෙති. ඔවුහූ මානව සමාජයේ සොඳුරු සියුම් ගුණ සිය දහස් ගණනින් වඩමින් මතු පරපුරට දායාද කරති. එහෙත් ඔවුන්ගේ දිවි තතු හැම විට ම මෙපරිදි වූ කටුක පාළු පරාජිත බවින් හා දරිද්‍රතාවෙන් පරි පීඩිත වේ. ඔවුන් ජීවිතය ආස්වාදනය කිරීමේ හැකියාවෙන් පිටමං කොට තිබේ. ඔවුහූ සිය නිර්මාණ හරහා වඩා උත්කෘෂ්ට වූ සුපුෂ්පිත වූ ජීවිතයක් ඉල්ලා හඬ නගති. ඒ ප‍්‍රකාශනය නො නැසී පවත්නා දිව්‍යමය පෙළහරක් බඳු ය.

වඩා සියුම් සංවේදි මිනිසුන් නො තකා හැර ඇති රස විහීන කලා නාශක බලවේග ම වැඞී වර්ධනය වී අධිනිශ්චය වී ඇති ලාංකේය සංස්කෘතික අවකාශයට මේ ගීතයෙන් කෙරෙන සමච්චලය දැනෙන්නෝ කවරහු වෙත් ද? ඔවුන් ම වැඩෙත් වා!



පදරචනය: රජී වෙල්ගම.
සංගීතය: දර්ශන රුවන් දිසානායක.
ගායනය: සුනිල් එදිරිසිංහ

සමන් එම්. කාරියකරවන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නැගුණ දුම් රැළි කවියකි
අළු බිඳින අතැඟිලි නළුවකි
නා දළු සදිසි දෙතොලකි
අනන්තය පහුරුගාන
දිලිසෙන බළල් ඇස් සඟළකි......

යන්තමට තැවරුව සුවඳකි
දෙහි මලක සේ දුරට රිදුමකි
සුරඟනන් සතු වෙච්ච පැහැයකි
එය සොරාගෙන දිලෙන කොපුළකි....

තනිවම විඳින ගීයකි
තවමත් නාව දුම්රියකි
දුරින් රාව දෙන මිතුරු කට හඬ ගොන්නකි
හැරීවත් නොම බලන
දඟකාර දඩබ්බර ඉටි රුවකි.....

එහෙ මෙහෙ සැලෙන නෙතු සඟලකි
අප දැවී හලුවන සොඳුරු ගිනි දැල්ලකි
කොටට හැඳි පාසල් ගවුම නම් සකි
හවසට බහින ඉර වගේ
සරාගික තෙලිතුඩු පහරකි.....

'උදෑසන නම් මෙයැයි' කියනා යෞවනයකි
පිනි වඩාගත් ගාර්ඩ්නියා මල් කැකුලකි
දෙසවනින් වයරය පන්නා
ඔරවා බලන එකමෙ'ක බැල්මකි
පියවි සිහියට එළඹී
ගේ දොර අඹු දරුවන් සිහිවී
කන් දෙකත් මදක් රතුවී
දෙනෝදාහක් අතර ඇසිල්ලේ නිවන් යන
එක්තරා පිරිමි ආත්මයකි.....

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails