Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කාලකට
බත් වේලකට
වැඩකරන පංතියේ
චරිත රංගනයට පැමිණි
කුලී හේවා බලමුළුව පිරිවරා

පංති සතුරා සමඟ නිදිගත්
යෝධ කම්කරු නයුවා
දෙසද්දී
කම්කරු විමුක්තියේ
ශුභාරංචිය

පෑගී තැලී
මිය යමින් සිටියා
මැයි මලක්
කම්හලක
විසල් ද්වාරය ඉදිරිපිට

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චරිත් විජේර්ධනගේ ප‍්‍රථම ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය "Seen Unseen" 2013 මැයි මස 3 වන සිකුරාදා සවස 5ට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි මැරියන් නගරයේ චේම්බර්ස් ගැලරියේ දී විවෘත වේ. චරිත් මෙම ප්‍රදර්ශනයේ චිත්‍ර සඳහා ඇක්‍රිලික් දිය සායම්, පැන්සල් සහ ඩිජිටල් වැනි විවිධ මාධ්‍ය යොදා ගනියි.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යටගිය දවස, ලඞකා නම් වූ නුවරෙකැ, බ්‍රහ්මටෝක්ස් නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි, දානාර්ථ, පිය වචන, සමානාත්මතාදියෙන් ලංකෘතවැ ගිය එනුවර, උතුරින් හටගත් සතුරන් සාධා, නිදාස් කොටැගත් මහත් වූ භූමිය මුලුල්ලෙහි විසිර පැතිර ගියාවු සම්පත් භුක්ති විඳිනට එරජහුගේ සපිරිවරෙහි දානවයෝ අතරැ මහත් වූ තරඟයක් උපන්නේයැ...ඒ තරඟය නිසාම උනුන් හට මහත් අනභිරුචි වන්හ...

මෙසේ වතුදු, ඒ රජහු හට සපිරිවරට බලු කැණහිලුන් තෝරන යම් මැතිවරණයක් පැවති එක්තරා දිනයෙක් හි, කොළොන්නාව නම් වූ යව මැදුම් ගමකැ, මේ සා පබල වූ දානවයෝ දෙදෙනෙකු අතර හටගත් කළිහයෙන් එක් දානවයෙකු එතැනම නැසුණේය...ඒ දානවාතිපතියා නැසෙනු දුටු උහු නැසූ අනෙක් දානවාතිපති වන ධූමේන්ද්‍ර නම් වූ දානවාදිපතියා "මා හට හිසට වෙඩි වන්නේයැ...ඉදින් මා නැතැයි" හිස අත බදා එතැනම වැද හොත්තේය....

සටනින් නැසී ගියා දානවාපති තෙමේද බ්‍රහ්මටෝක්ස් මහ රජහුගේ සමීපතමයෙකු බැවින්, එපස ගෙන සිටි පිරිස් දණ්ඩෙන් පහර ලු සපුන් සේ නැගී, ඒ පසෙහිම අනෙක් දැසි දස්සන්ට විරුදුව වීදි බටහ.... ඉදින් මෙවැන්නක් වන්නට හැරියහොත් හාණ්ඩුව පුපුරා ගොස් තම චක්‍රවර්තී රජ සිරියට විපත් වෙතැයි බියපත් රජ්ජුරුවන් වාන්සේ, මේ ධූමේන්ද්‍ර නම් වූ දානවාතිපතියා මහත් සේවූ වස්තු ඇත්තකු බැවින්, උහු එතෙර යවා, ලී ක්වාන් යූ නරපති තෙමේ සෑදූ මිහිබට ආලකමන්දාව බඳු වූ ඉසුරු පුරයෙහි ශමර්ථ වෙදැදුරන් ලවා ප්‍රතිකාර, සත්කාර කරවා, උහු මුඛය බන්දා, කළ විපතෙහි උණුහුම පහව යන තෙක් එහිමැ රැඳවීය...

වැලිදු, ප්‍රතිකාර කරවන්ට උන් හට ඉසෙන් බසින ආපදාවක් නැතැයි මහ ජනයා මුණු, මුණු ගෑම වළකනු වස්, ඒ ධූමේන්ද්‍රයාගේ හිසේ අභ්‍යන්තරය හුවා දක්වන සේයා රූ තන්හි, තන්හි අලවා ජනයා අතර ප්‍රශිද්ධ කළාහුය....එනයින්, හිස පසාරු කරගෙනැ උණ්ඩයක් ගිය ඒ දානවාතිපති තෙමේ අතකුදු, පයකුදු ඔසවා ගත නොහී, ලත් තැනම හොත්තේය...

එක හමාර වසරක් ඇවෑමෙන් ඒ ඉසුරු පුරයෙහි දෙව් මිනිස් සැප කෙළවර, මේ ධූමේන්ද්‍ර කුළ පුත් තෙමේ ආසින් ලඞකා ද්වීපයට ගෙනවුත්, මෙපුර පිනැති දනන් හට පමණක් ඔසු කරන "නව්‍ය වූ ලෝකය" නම් ගිලානෝපස්ථාන ශාලායෙහි බොහෝ කොට සැප ඇති කුටීරයක බහා තබන ලද්දේ, එහෙත් උන් හට හිසවත් සොලවා ගත නොහී, හිසේ ඇති සැත්කම් පැල්ම ජනතාවට දක්වා, ඉස කෙසින් තොර හිසින් වැද හොත්තේය....

එසමයෙක් හි, ඒ අසරණ දානවයා හට මහත් සේ ප්‍රේමාශක්ථය දැක්වූ එපුර වැසි අනාර්-කෙළී නම් වූ මානවිකාවක්, ඒ ධූමේන්ද්‍රයෝ විඳින රුදුරු වෙයින දැක ශෝකයෙන් බරිතවැ, මෙසේ සිතන්නී "මා පැටි වියෙහි පටන් අප දෙමාපියන් ගුරු සරු කම් දුන් පරිද්දෙන් දිවි දෙවැනි කොට රැක ගත් මාගේ පති වෘත්තාවෙහි බල මහිමය සැබෑ නම්, තාවතින්සාදියෙහි වෙසෙන සදෙව් ලෝ අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ මේ වෙයින බලා වදාර, ධූමේන්ද්‍රයන් සැණකින් නිෂ්ඨා සුවයෙහි පිහිටුවා ලන සේක්වා...!"

අනාර්-කෙළී නම් මානවිකාවගේ පති වෘත්තා බල මහිමය කෙතරම් ද යත්, මේ සත්‍ය ක්‍රියාවෙන්මැ සදෙව් ලෝකාධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වෙසෙන් පාණ්ඩු කම්භල ශෛලාසනය රත්වැ ගියේ, ශක්‍ර දේවේන්ද්‍ර පශ්චාත් භාගය පිළිස්සී, "කා හට විපතක් වී දැයි" මනු ලෝ සිසාරා බලන්නේ, සත්‍ය ක්‍රියාව දැක, "මේ ධූමේන්ද්‍රයෝ නම් උහුට හැකි සමයේ බලවත් පින් කම් කොට ඇත...මා මැ ගොස් මූ සුවපත් කරම්හ" යැයි සිතා, ශක්‍ර ශ්‍රීය වළවාම්භිගාරයෙන් විජෘම්භණය කෙරෙමින් ආකාශ තළයෙන් "නව්‍ය වූ ලෝකයට"පාත් වී, යහනේ අසරණව වැද හොත් ධූමේන්ද්‍රයන්ගේ හිස සිය හස්තයෙන් පිරිමැද, ඒ හිස සුවපත් කොටැ, එමතු නොව, එහි කේශ කළාපයද පිහිටුවා, දඹදිවෙහි සුප්‍රකට ෂාරුක් ඛානයන් සතුවූ කෙස් කළඹ පරිදි කෙස් කෙළින් සිටුවා, "පුත, දැන් නැගී සිටුව..!...ඒ අනාර්-කෙළී නම් වූ මානවිකාවගේ පති වතෙහි බළ මහිමයෙන් තා සුව කළෙමැයි" යළිත් ආකාශ තලයට පැන සිය දිව්‍ය භවනට වන්නේය....එවිට ඒ ආතුර වැ සිටි ධූමේන්ද්‍රයෝ නින්දෙන් පිබිදියාක් සේ දෙපයින් සිට ගත්තේයැ....

මේ ආශ්චර්යය දැක මහත් සේ සිත් පැහැදුණු උහු එන තෙක් නිදි වර්ජිතව බලා සිටි, ඒ දානවකාතිපතියාගේ කෙළ තොලු, කොලු කෙළි, දැසි දස් හු ප්‍රීතියෙන් ඉපිළ ගියේ, ඒ නව්‍ය වූ ලෝකය නම් ගිලානෝපස්ථාගාරය අසබඩ මහත් වූ ඝෝෂා කරමින්, රථ පෙළ ගන්වා, මාළු පාන් ඈ දඩමස් පාරේ යන දුගී, මගීන් හටද දිගු කොට දක්වා, කා පී සැණකෙළි කෙලින්නට වන්නාහ...එවිට, පර්වත ගුහා ද්වාරයෙන් ඉකුත් වන කේශර සිංහ රාජයෙකු පරිද්දෙන් ඒ ධූමේන්ද්‍රයෝ, කිසිදු ගිලානෝපදාවක ලකුණු ගත නැතිව, නව්‍ය ලෝකයෙන් නික්ම මහ පිරිස් මැද පෙරහරින් අවුත්, ඇතුළු නුවර බ්‍රහ්මටෝක්ස් මහ රජ මැදුරට වැදුණේය....

ඒ මහ රජ්ජුරුවන් වාන්සේද, තම දක්ෂිණ හස්තය බඳු වූ මේ දානවකාතිපතියා යළිදු මෙලෙස දෙපයින් නැගී තමන් වහන්සේ අභිමුඛයෙහි සිටගෙන සිටිනා අයුරු දැක මහත් වූ ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා යමින් උහු වැළඳ "පුත, ඉදින් මෙයින් මතු යළිදු තොප මෙතෙක් කරමින් සිටි කර්මාන්තයෝමැ කරව....අප හට රජ සිරි තහවුරු වන්නේ තොප වැනි මානවකයන් නිසාම නොවේදැයි" අසා උන් හට මහත් රාජ සත්කාර කරවූයේය... ( මෙතුවක් කල් මහ ජනයාගේ රාජ භක්ති පූර්වක විය පැහැදමෙන් කරවූ සත්කාරයන්ට අමතරව...)

එයින් මතු පුරා සොළොස් මසක් යන තෙක් එනුවර වැසි දානවකයන් හට ප්‍රීති පානාදියෙහි කිසිදු අග හිඟයක් නොවීය....උන් ගේ හිස මත වන් විදුලි බිල් ඈ සියල්ල උහු අමතක කොටැ, නුවර වස්සන්ගේ .. සමා වෙන්න....නුවර වැස්සන්ගේ පිනෙන් පහළ වූ ඒ රජ්ජුරුවන් වාන්සේ සහ උන් වාන්සේගේ දක්ෂිණ හස්තය සේ බැබළි, බැබළි හිඳුනා ඒ ධූමේන්ද්‍රයෝ ගැනම කථා පැවැත්වූහ.....

දමිත් කේතක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිස රිදෙන විට මහ රෑ
තරු එළියකට බර වෙමි
ඇසග දිළිහෙන සඳ දිය
සොඳුරු අඳුරෙහි සඟවමි

යොර්දානයෙහි ගැඹරට
අකුරක් දමා ගසනෙමි
නැඟෙන දහසක් රැළි මත
දහසක් අකුරු විසුරමි

ගලීලෙට යන මංසල
කුරුස කණුවක් ඉන්දමි
ඉතින් කොයි අත යන්නද
කිසිත් නො කිය ම ඉන්නෙමි

ලිහී විසුරුණ කොන්තය
අත්ලෙහි රුවා ගන්නෙමි
අත්තටු ලැබුණ ඔරසම
අහසට මුදාලන්නෙමි.

පින්න විතරක් දොඩමළු
ගොල්ගොතාවට ළංවෙමි
නින්ද නුපුරුදු සිහිනය
ගෙහන්නාවට දන්දෙමි.

ගීතාවලියෙ ගී වල
අරුත අතහැර යන්නෙමි
වැරදි වෙන්නට ඉඩ හැර
වැරදිකරුවෙකු වන්නෙමි

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(කවන්ධ රූප යනු යුද්ධ භූමියෙහි මිනිසුන් දහසක් හිස් කපා මැරූ විට නැගිට නටන මළ කඳයි. රූපයෙහි කට ළපැත්ත මැද පිහිටයි. – පුරාණ විශ්වාසයක්)

හදිසියේ පණ ඇවිත්
නොමදිරූ අස්ථි පංජරවලට
වළ දැමූ ඇට සැකිළි
අන්න අවදිව නගන හඬ ඇසේ
කවන්ධ රූපයේ ළපැත්තෙන්………………

හිස් කබල එක තැනෙක
කවන්ධය තව තැනෙක
ගුලිවී තෙරපී එක පොදියට………………
පුරුද්දා ඇන ගසා යකඩින්
වෙන්ව නොයනා ලෙස
එක අරමුණකට- එකට සටන් වැද
එකට මිය ගිය වග තහවුරු කරනට………………

කාබන් කාල නීර්ණ කුමටද
මිනීමරුවෝ යෙහෙන් වැජඹෙත
පස් විසිවසරකි ඇස් පනාපිට
මරා දැමූ මේ අපේ මිනිසුන්ය………………
අයියාය, අක්කාය - අම්මාය, තාත්තාය
නංගීය, මල්ලීය - මාමාය, නැන්දාය
මරා දැමූ ගෙල සිඳ…………………
අන්න අවදිව නගන හඬ ඇසේ
කවන්ධ රූපයේ ළපැත්තෙන්…………

මළ මිනී කඳු ගොඩ ගැසුණේ
හිස වෙනමය - කඳ වෙනමය…………
දස වද දී මරා දැමූ
නූල් පොටක් නොමැති ගතේ
තැලීම්ය-සීරීම්ය අපමණ……………

සිව් රියනක් යට නොව
ගැඹුරු වළක පත්ලේ සැඟවූ
සදාකාලික රහස් රැස……………
පස් විසිවසකට පස්සේ
උන් හිටි හැටියේ මාතලෙන්
අන්න අවදිව නැගෙන හඬ………

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-මාස්ටර් යන්නම ගියේය. ඉන්න තිබුණේ දැන් ය. මේ වෘකයින්ගේ හෝරාවයි.-

සිංහයා නික්ම ගිය හන්දා
කමක් නෑ
පරමල් ඇතිරුවට නන්දා
පර මලෙන් මකරන්ද ඉල්ලා
ළඟ ළඟම උන් එනව
වසා ළෙන් දොර
පැන ගන්න නන්දා

ආවොත් යා යුතුය
එන්නෙත් ගිය මිනිස්සුමය

ඉතිහාසය පලන් ආ
මිනිසකුට
හැකි වුණද
වෘත්තියක අත්හළ
කැපුම් ලකුණක් සොයා එන්නට

”සංගීතය සංවේගයක” කෙළවර
යළිත් ඒමක් තියේවිද?

මාලිමාවක් ගිළිහුණු
කොදෙව්වේ ශ්‍රැතිය
යළි බඳින්නට
කාට නම් හැකි වේද?

අතුරන්න නන්දා
පරමල් අතුරන්න
ගුහාවේ දොර වැහෙන්නම

හැංගිලා බලන් ඉමු
උන් බිඳින හැටි
ළෙන් දොර.

[සාදය සූදානම්ය - 2009]

ඩී. එම්. ටීම්රාන් කීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පූර්ව ජන්මයෙහි කළ පින් බලයෙන් ගරු දුමින්ද සිල්වා මන්ත්‍රී උතුමාණන් නිදහස් වී හෝටල් කාමරයෙන් (සොරි... සොරි...) රෝහල් කාමරයෙන්, ස්වකීය වාසභවනයට සැපත් වූ සුපුවත මේ ලියන මොහොත වෙද්දීත් පිළුණු පුවතක් ය. වසර දෙකකට කලින් දීර්ඝ කෝමා නින්දකට ලක් ව සිහි සුන්ව සිටි කිසියම් පුද්ගලයෙකු, ඊයේ රෑ (අප්‍රේල් 27) අවදිව හිරු නාලිකාවේ පුවත් නැරඹුවා යැයි නිකමට සිතන්න. අහෝ... ඒ අසරණ රෝගියා හිරු මුල් පුවතින් දකින දෙය කෙලෙස නම් වටහා ගන්නද? රෝහල් කාමරයෙන් සුදට සුදේ පාවී එන ඇත් රාජයා, උණ්ඩයකින් මස්තිෂ්කය විනිවිද ගිය අසනීපකාරයෙකු බව කෙලෙස නම් හඟින්නද? එපමණක් ද? ඒ ගිජිඳා එන පෙරමග බලමින් පාඟිලි තුඩු මත වරු ගණන් නැග නියපොතු වික විකා (මාලු පාන් කකා- කිරි පැකට් බිබී) හුන් ඒ මහා ජනතා ගංගාව? ඔහුට මතක් වන්නට ඇත්තේ බැටිස්ටාට බැස්ටිය දුන් ෆිදෙල්ලා චේලා එනතුරු හවානාවේ පොදි කෑ ඒ මහ සෙනඟ කන්දරාව හෝ ලෝක කුසලානය දිනූ අර්ජුන ඈ පිරිවර එන තෙක් හිටි මහ ජන සන්නිපාතය හෝ විය යුතුය. ඒ සා විසල් සෙනඟක් පොදි කෑවේ ඇප ලබා එන මිනීමරුවෙකු පිළිගන්නට යැයි අර අසරණ කෝමා රෝගියෙකුට (තබා හොඳ සිහියෙන් හොරට නිදි වගේ ඉන්නා මහාචාර්යවරයෙකුටවත්) කෙලෙසක නම් වටහා දෙන්නද?

නල පුපුරන නව ලෝක ද්වාරය ලඟ සිටි ඒ මහ ජනතාව වනාහී, ඇතුළේ හිටි ඇඟ මහත "ෆිදෙල් කස්ත්‍රෝ"ගේ ම මාළු බනිසියානු- කිරි පැකටියානු කුලීකාර ජනයා බව කෝමා රෝගියෙකුට කෙලෙස නම් වටහා දෙන්නද? එපුවත වන වනා ගුවනට මුසු කරන ඒ හිරු නාලිකාව වනාහී, ඒ එළියට ආ ශාන්තුවරයාගේ ම පවුලේ නාලිකාව බව කෙලෙසක නම් අදහන්නද? සැර මරා, සොමි නගා එපුවත රටට කී කවියෙන් පුවත් කියන සුවර්ණවාහිනිය ඇතුළු සකල විධ රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සහ පුවක්පත් සියල්ලම මේ වන විට, ඒ ශාන්තුවරයාගේ දෙව් පියවරුන්ට ම සේවය කරන බව දරුණු කෝමාවකින් මේ දැන් ඇහැරුණු අයෙකු කෙලෙස නම් වටහා ගන්න ද?


[lankaviews.com]


[lankadeepa.lk]

ඉදින් මිට්‍රවරුනි,එක් රෝගියෙකු නොව දූපතේ මුළු ජනගගණයම පාහේ ඉන්නේ දීර්ඝ අධිමූර්ච්ඡාවක ය; අවිච්ඡින්න- දීර්ඝ කෝමා නිද්‍රාවකය. වරින් වර මාධ්‍ය සංදර්ශන ඇල්පෙනෙත්තකින් ඇහැට ඇණ ඇහැරවනු ලබන ඔවුන් දකින්නේ හීන ද සෑබෑව ද යන්න ගැන ඔවුනට ම නිනව්වක් නැත. එක් විටෙක ඇහැරෙන විට, පාරමිතා පෙරහැරකි. තව විටෙක ඇහෙරෙන විට, නැපිය පිටින් පාර්ලිමේන්තු ගිය බබියෙකි. තව විටෙක ඇහැරෙන විට ග්‍රීස් යක්ෂයෙකි. ඊළඟට ආච්චිලා ඝාතනය කරන අදිසි වැම්පයරයෙකි. ඊටත් පස්සෙන් පහු හිස සුන් රිසානාවකි. පෙම් සුන් චතුරිකාවකි. ඇප ලද ධර්මසිරියෙකි. පින් කළ පුස්ප කුමරෙකි. වල මැද ගුවන් තොටෙකි. කුණු බිත්තර නාන සාරයෙකි. ගල් ගසන මුඩු මහණෙකි. අන්තිමටම ඇහෙරෙන විට දැක්කේ චබීම චබී හුරතල් විදුලි බිලකි.... !

ඉතින්, අපේ කතානායක- "කිරා"ලා කරන්නේ, අර කී ඇල්පෙනෙත්ති විදුමේ සැර ට සමානුපාතික කාලයක් ප්‍රශ්ණයේ කේන්ද්‍රයට නොව පරිවාරයට බුරා- බැණ- ගේම ඉල්ලා යළි නිද්‍රාවට පිවිසීමය. හරියටම කිවහොත් සියලු ප්‍රශ්ණ වල පියා ද සියලු පාතල වල දෙව් පියා ද වන්නේ බැති සිතින් තමන් අදහන ජාතියේ පියා ම බව තේරුම් ගැනීමට මෙකී පිංපියන් ට නොහැකිය. එනිසා, ජාතියේ මහා පිං-පියා අත නැටවෙන දුමින්ද සිල්වා, අති පූ: ගලගොඩඅත්තේ ඥාණසාර, පවිත්‍රා වන්නිආරච්චි වැනි රූකඩ දෙස බලා උන්ට වයිර කොට උන්ගේ කාටූන සමග සටන් කොට බඩගින්න විඳ දරා ගනිති. කුප්‍රකට ඝාතකයෙකුට ඇප ලැබුනේ කෙසේද, ඇප ලැබුණු බව තබා, ඔහුට එරෙහි නඩුවක් අධිකරණයේ විභාග වන බව එක වචන මාත්‍රයකින් නොකියා, ඔහු රෝහලින් වීරයෙකු මෙන් පිටව යාමේ පුවත රටට පෙන්වන්නට රූපවාහිනී නාලිකාවකට ඇති සදාචාරය කුමක්ද වැනි ප්‍රශ්ණ ඉදිරියේදී කිසිවෙකු විසින් නොනගනු ඇත. ඒ වෙනුවට දුමින්ද සිල්වාගේ අප්‍රකට සිංගප්පූරු දිවියේ රස මුසු තැන් සෙවීමට මාධ්‍යවේදීන් යොමු වෙනු ඇත. වෙඩි උණ්ඩයක් හිස පසාරු කිරීමෙන් පසුත් බොඩි එක මේ තරම් නිරෝගීව තබා ගන්නේ කෙසේද යන්න ගැන දේශන පැවැත්වීමට දුමින්ද සිල්වා ට ආරාධනා ගලා එනු ඇත. දුමින්ද සිල්වාට, "උණ්ඩයක් සමග රෝහල් ඇඳක් මත" හිසින් සතිපතා දියත අතිරේකයට කොලමක් ලිවීමට ද හැකි අතර පසුව එය පොතක් ගසා තමන්ගේ දෙව් පියාටම පිළිගන්වා රත්තරං වාගේ ශ්‍රේෂ්ට ලේඛකයෙක් වීමට වුවද හොඳටෝම ඉඩ ඇත.


[lankadeepa.lk]


[lankadeepa.lk]

කිසියම් චැනලයක්, ඉදිරියේදී, මේ වර්ගයේ දෙව් පිය කරුණාව ලබා එළියේ ඉන්නා දුමින්ද සිල්වා, තංගල්ලේ සම්පත් පුෂ්පකුමාර, සුනිල් සාරුවා, මර්වින් සිල්වා, මාලක සිල්වා, ජූලම්පිටි අමරේ, චන්දන කැත්‍රිආරච්චි, සදහම් සිරිසේන, කහවට්ටේ දම්මසේන වැනි සුධීමතුන් එක් කොට එකම මැදිරියකට ගෙන්වා චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනක් කිරීමට ද ඉඩ ඇත. ඒ වන විට බිල් ගෙවා ගන්නට බැරි වීමෙන් විදුලිය විසන්ධි කොට නොතිබුණහොත්, ඔබට ද දුරකථනයෙන් ඒ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනට සෙට් විය හැකිය. සුනිල් සාරුවා වැනි සුධීමතෙකු අමතා "ජීවිතයේ අමතක නොවෙනම දූෂණය කුමක්ද" වැනි පැණි බේරෙන ප්‍රශ්ණයක් ඇසීමට වුවද ඔබට හැකිය. එසේ නොවේ නම් තංගල්ලේ පුෂ්පකුමාර අමතා "සංචාරක කර්මාන්තයට ස්ත්‍රී දූෂණයේ ඇති වැදගත්කම කුමක්ද" වැනි ටිකක් බැරෑරුම් ප්‍රශ්ණයක් වුවද ඇසිය හැක.

තව වෙන මොන ආතල්ද මිට්‍රවරුනි? මිට්‍රවරුනි, මීටත් වඩා ආතල් සොයන්නේ නම් ඔබ රාජ්‍ය විරෝධී දේශද්‍රෝහී ත්‍රස්තවාදියෙකි.

ප.ලි.
මෙනයින්, අතිගරු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ උතුමාණන් විසින් රට පෙළන ආතල් දරීද්‍රතාවය නැමති ඒ භයානක උවදුර මුලිනුපුටා දමා හමාර බව දත යුතුය! එබැව්, තීන්දු ය. නිවාරණ ය.


[සිරස TV, පුවත වාර්තා කළ අන්දම- අප්‍රේල් 28]

කක්ෂපුට



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතිතයේ එක දිනක්
මිනී කුණුවෙන ගඳක්
සිල් සුවඳ පිරි රටක්
මාතලේ ලොකු වලක්

නළුවො නිළියොත් නිවන් පුරනා රටක්
විදුලි බිල ගැන කථාවක් නැති හෙටක්
හලාල් ඉවරද කුරගලින් ගමු සැපක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්

ළඟ ළඟ ම එන තවත් වලවල් වැලක්
උතුරුකරයේ පොලොවේ කිමිදෙයි රැසක්
කටු එකතුකර මිලක් හදනා රටක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්

මචං සාදුල කහ සිවුර හැඳ වැඩක්
තවත් වලකට පංසලේ හොර වැඩක්
බුදුන් ඔබ නිදි සඟුන් මෙහෙ කැත වැඩක්
මේ අතර තුර මාතලේ ලොකු වලක්

වලින් වලටා දිගට ඇදෙනා හෙටක්
ඡන්ද වැඩකට හරියටම හරි වලක්
විකුණගන්නට පොරකනවා හෙන රැලක්
හෙමින් ගොඩගමු දුපතම මීනි වලක්!

ගෙටොවේ එකෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉඳ හිට දුබල නෙළුමක් ඇහැරී බලන
වැටකෙයියා බජිරි තුන් ඉරියා ගහන
කබර අනඟ නර්තන කෝලම් පිරුණ
යායක් පුරන් විය ගමටම බත සදන

වැහි කල් බලාලයි ජල මං තනන්නේ
පඬුරුත් තබාලයි හැම දෙවි යදින්නේ
නිසි කල් බලා හීයට අර අඳින්නේ
එන යල, යාය මඩවන්ටයි හදන්නේ

කළුවර බලා රෑනින් වන වැදීයව්
කුඩුදවුලෙන් නඟුල් කොටේ කපාපව්
තද වානෙන් හී වැල තලවලා ගව්
සොඳ නගුලෙන් හීයට සැරහිලා එව්

කිරි අප්පා දෙයියන්නේ වහු දරුවෝ
හැතපී සොඳින් තලා වැදී හුන් දරුවෝ
බානෙන් බැඳී එන හැඩි දැඩි මහ මිව්වෝ
සේනා සදා දක්කව් මී ගව දරුවෝ

සාර දහක් දෙවි වරු වැඩ හිඳි යාය
රාජ අතින් රන් නගුලෙන් හෑ යාය
හීන අතින් ගෙන ගයමින් ජය ගීය
සාර සිතින් මැඩවිය යුතු නව හීය

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි
විනය ගැන නොසලකයි
හිතුමතේ වැඩ කරයි
හැසිරීම අසතුටුදායකයි

II.
(පන්සලේ රපෝර්තුව)

විචිකිච්චාව, පව් සිතක ලකුණු මැයි
හඳහන ද පින් මඳයැ
වාතයා-රක්තයා කිපී ඇත
දේවධර්මය නොදන්නී
බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු.

III.
(උසාවියේ රපෝර්තුව)

(අ) නීතිය බිඳින්නට තැත්කර ඇත්තේය
(ආ) සාමය - සමාදානය කඩ කොට ඇත්තේය
- සත්‍යය, සම්පූර්ණ සත්‍යයේ නාමයෙන්
(ඇ) කස පහර දිය යුතුය
(ඈ) යහපත් පුරවැසියෙකු කළ යුතුය

IV.
(වෛද්‍යවරයාගේ රපෝර්තුව)

රෝගියෙකි,
මානසික ප්‍රතිකාර නිර්දේශ කරමි
පෝබියා, මේනියා, පැරනොයා, හිස්ටීරියා
නියුරොටික් - සයිකොටික්
ඇබ්නෝමල් - ක්‍රිමිනල්
චර්යාව අස්වාභාවිකයි.

මානසික සැත්කමක් කළ යුතුය
ආවේග මර්ධනය කළ යුතුය
නින්දට පෙර
පෙනබාබිටෝන් පෙති දෙනු

V.
(විත්තිකරු ප්‍රකාශය)

ගොළුබෙල්ලෙක් නොකරව් මා
ශෛලයන් කපා දා
බියගුල්ලෙක් නොකරවු මා
දේවධර්මය දෙසා
මීහරකෙක් නොකරව් මා
මුසාදම් කර ගසා
"හොඳ ළමයෙක්" නොකරව් මා
දෑත කට බැඳ දමා

සොක්‍රටීස් මෙන් ප්‍රශ්න නගන්නට
ඉඩ දියෝ
ඩේකාට්ස් වගේ සැක කරන්නට
ඉඩ දියෝ
ගඟක් මෙන් ගසාගෙන යන්ට
මට ඉඩ දියෝ
පිහියක් මෙන් පලාගෙන යන්ට
මට ඉඩ දියෝ

පුරුෂලිංගයක් සේ
මතුවෙන්ඩ ඉඩ දියෝ!

(අකීකරු පුත්‍රයකුගේ ලෝකය- 1974)

පරාක්‍රම කොඩිතුවක්කු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එ දවස අපි අපේ මිතුරෝය
අනාගෙන නොකෑවද එකම බත්පත
එක පොලොත්තෙන් වතුර බීගෙන
බෙදාගෙන පිරිපත එකට
එකටම වැටී නොසිටියද
එ දවස අපි අපේ මිතුරෝය

එක පෙළපාලියක එකටම
බෙදාගත්තේ නැතත් උගුරෙ ලේ රස
අව් කාෂ්ටකේ දහදියෙන් තෙතබරිත වූ විට
පිළිකුළෙන් අත් හලද
සහෝදර සුවඳට කිසිදා තුරුඵ නොවූවද
එදවස අපි අපේ මිතුරෝය

ගුටි නොකෑවද එකට සටන් වැද මහ මග
හිර කූඩුවල ලැග ලැග
බලු මැක්කන් ද කිණිතුල්ලන් ද ලේ රසම ඉල්ලන
අගු පිළක වැටීගෙන
උනුන් විඳවන රිදුම් පිරිමැද
එක හුස්මෙන්ම හීල්ලූ සගයින් නොවූවද
එ දවස අපි අපේ මිතුරෝය

උනුන් ඇවිලෙන දෙපිළක
දුනු හී අමෝරා සටන් වැදි
දෙපිළක්ව වෙන් වෙන් ගමන් ගිය
සැඩ රළට එරෙහිව උඩුගං බලා පිහිනුව
එ දවස අපි අපේ මිතුරෝය

අනාගෙන කමින් එකම බත් පත එකට
එක කෝප්පෙන් වතුර බීගෙන
පිරිපත බෙදාගෙන එකටම
එකටම හඩන හුල්ලන හොටු පෙරන
මෙ දවස අපි අපේ හතුරෝය

උණුසුමින් වැළඳගෙන හිනාවෙන සුබ පතන
යස ඉසුරු කිත් ගොස මතු පතන
හෘද ස්ඵන්දනය ගැන ගැන
ඉණ සැඟවු සැත රැගෙන කල් මරණ
මෙ දවස අපි අපේ හතුරෝය

ඉදින් අද එක පිළක එකම ගමනක යෙදෙන
එකම ධජයක එකම රණ හඬක පෙළ ගැසුණු
අප වෙතම කඩු කිණිසි දුනු හී ද අමෝරන
මෙ දවස අපි අපේ හතුරෝය
සැඩ රළ ද පරයා පහළටම පිහිනන
මෙ දවස අපි අපේ හතුරෝය.

සෝමසිරි ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අද ලෝක මිහිතල දිනය යි!

අප අවට පරිසරය සහ මිහිතලය තව දුරටත් සාමාන්‍ය ජන සමාජයට අයිති වචනයක් නොවන තරමට දුරස් වෙමින් ඇති මොහොතක ලෝකයට පරිසරය තමාගේ කොටසක් නොවී හුදු බාහිර විෂයක් පමණක් වී ඇති කාලයක නැවතත් මිහිතල දිනය එළඹුණා. අපිට අන් ගැටළු තරම් මිහිතල ගැටළු වැදගත් නොවන්නේ ඇයි? මෙයට නොදැනුවත්කම, නොසැලකිල්ල වගේම වැරදි අවබෝධයත් බලපානවා.

1950 දී මිහිතලයේ භූමි ප්‍රමාණයෙන් 15% ක් වැසී තිබුණේ වැසි වනාන්තරවලින්. අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ 6%ක් පමණයි. තව වසර 40 ක් ගත වෙද්දී ඒ 6%ත් අතුරුදන් ‍වීමට නියමිත යි. හැම තප්පරයකට ම ඉතිරිව ඇති වැසි වනාන්තරවලින් අක්කර එකහමාරක් විනාඩියකට අක්කර 150 ක් වසරකට අක්කර මිලියන 78 ක් මිනිසා වෙනත් වගාවන් සහ දැව වෙනුවෙන් විනාශ කරනවා.. බටහිර ‍ඖෂධවලින් 25% ක් ම නිෂ්පාදනය කරන්නේ වැසිවනාන්තර පැළෑටිවලින්. වන විනාශය නිසා මීළඟ වසර 25 ඇතුළත ලෝකයේ පැළෑටි වර්ග, සත්ත්ව වර්ග සහ ක්ෂුද්‍ර ජීවීන් වර්ග වලින් අඩක් ම සදහට ම වඳ වී යෑමට නියමිත යි. දිනකට අපට සදහටම අහිමි වන සතුන් සහ පැළෑටි වර්ග ගණන 137 ක්. එනම් වසරකට 50,000ක්. ඒ සමගම මාරාන්තික රෝග සඳහා භාවිතයට ගැනෙන ඖෂධත් අපට අහිමි වෙනවා. සංවර්ධිත ලෝකයේ ආහාරවලින් 80% ක් ම නිපදවන්නෙත් වැසි වනාන්තරවලින් ලබා ගන්නා දේවලින්. මෙසේ නො නැවතී විනාශය කරා යෑමට සුළු ලාභ තකා වනය වැනසුවත් වැසි වනාන්නතර තිබෙන්නට ඉඩ හැරීමෙන් අත්වන ආර්ථික, පාරිසරික ලාභය මිළ කළ නො හැකියි.


මේ මිහිතලය මත ජාතීන් 10 ක් දැනටමත් වතුර නැති කමින් තම ජාතිය වඳ වීමේ කර්ජනයට මුහුණ දීලා. සෑම වසරකම සාගරවලට මිනිසුන් විසින් හෙළන අපද්‍රව්‍ය ප්‍රමාණය රාත්තල් බිලියන 14 ක්. අනෙකුත් ජලයට අපවිත්‍ර ජලය ට්‍රිලියන 19 ක් එකතු වෙනවා. ලෝකය පුරා මිලියන 900 ක් ජනතාව බීමට පිරිසිදු වතුර නැතිකමින් පීඩා විඳිනවා. 40%කට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නෑ. මෙහි ප්‍රතිඵලය දරුණු සෞඛ්‍ය අර්බුදයක්. දිනපතා ලෝකයේ පුද්ගලයින් 14000 ක් අපවිත්‍ර ජලය පානය කිරීමෙන් සැදුණු ලෙඩ රෝග හේතුවෙන් මිය යනවා... මේ අතර මියයන ළමයින් ප්‍රමාණය දිනකට 4500ක්. මේ ප්‍රමාණය දිනකය ඒඩ්ස්වලින්, මැලේරියාවෙන් සහ ක්ෂය රෝගයෙන් මියයන ළමුන්ගේ එකතුවට වඩා වැඩියි.


අපවිත්‍ර වූ වාතය නිසා ඕසෝන් ස්ථරයට හානි වන නිසාම මිනිසා ඇතුළු සියලු ස්වභාවික හා ජීවී පද්ධතීන්ට එය බලපානවා. එහි ප්‍රතිඵලය දරුණු ශ්වසානාබාධ, හෘදයාශ්‍රිත ආබාධ, උගුරේ ආසාදන වැනි විවිධ ලෙඩ රෝග යි.පර්යේෂකයින්ට අනුව වසරකට 1% ක ප්‍රමාණයකින් ඔසෝන් ස්ථරය විනාශ වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාවේ පමණක් 2075 වන විට ඉපදෙන දරුවන් මිලියන 60 කට චර්ම පිළකා සහිතව ඉපදෙනු ඇති. එයින් මිලියනයක් මිය යනු ඇති.


පොලිතීන් භාවිතය කියනනෙත් දිනෙන් දින වැඩිවන ව්‍යසනයක්. සෑම වසරකම පොලිතින් භාවිතය හේතුවෙන් මිලියන ගණනක් කුරුල්ලන්, සිවුපාවන් සහ මසුන් මියයනවා. පොළව සහ ජලය අපවිත්‍ර වෙනවා.


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තවත් බරපතල ගැටළුවක්. විද්‍යාඥයින් කියන අන්දමට වසර 2100 වන විට සාමාන්‍ය උෂ්ණත්වය 3% - 5% දක්වා වැඩි වේවි. එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද? මුහුදු මට්ටම මීටර් 25 කින් ඉහළ යනු ඇති. ගංවතුර, නියං, උණුසුම් වායු ධාරා සහ ටොනාඩෝ වැනි ස්වභාවික විපත් ඉහළ යනු ඇති. කෘෂිකාර්මික අස්වනු පහළ යන අතර මැලේරියා වැනි රෝග තුරන් කළ භූමි ප්‍රදේශවල නැවත එම ලෙඩ රෝග හට ගනු ඇති.


මේ සෑම දෙයකටම අප සෑම දෙනෙක්ම ඍජුව සහ වක්‍රව දායක වෙමින් සිටිනවා. ඒ අපි කරන දේවල්වලින් මෙන්ම නොකරන දේවල් වලිනුත්.... අපි පරිසරය, ජලය හෝ වාතය අපවිත්‍ර කරන ජලය අපතේ හරින සෑම මොහොතකම අපේ ක්‍රියාව නිසා ලොව කොතැනක හෝ ළමුන් , මිනිසුන්, සතුන් මිය යන බව අපි අමතක කරනවා. ටොෆි කොළයේ පටන් ෂොපින් බෑග් එක දක්වා එතැනිනුත් එහාට නිවසේ කුණු බාල්දියේ පටන් කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය දක්වා අපි පරිසරයට අත හරිනවා. වැඩිහිටියන් ට ඒ ගැන අදහසක් හෝ පුරුද්දක් නැති නිසාම දරුවනුත් ඒ දේම කරනවා. එළිපිට සිදුවන මහා පරිසර මංකොල්ලකෑම් ගැන කරන කතා ටික දිනකින් යට යනවා. කවර හෝ අරගල නොතකා හැර දේශපාලන සහ මුදල් බලයෙන් මහ පරිමාණයෙන් පරිසරය විනාශ වෙනවා. රක්ෂිත වනාන්තවල, වැව් තාවුළුවල හෝටල් සැදීම මීට හොඳ උදාහරණයක්.


මේ මහා පරිමාණ වැඩවලට සියල්ල බැරකිරීම නිසා පුද්ගලික මට්ටමින් අපට කළ හැකි දේ අපෙන් ගිලිහෙනවා. උදාහරණයක් විදිහට අපද්‍රව්‍ය තැන තැන නොදැමීම, අපද්‍රව්‍ය කළමණාරණය, ජලය සහ බලශක්තිය ප්‍රවේශමින් පාවිච්චි කිරීම, හැකිතාක් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි දේවල් පාවිච්චි කිරීම, අත්‍යවශ්‍ය කරුණක දී හැර කඩදාසිවල මුද්‍රණය කිරීමෙන් වැළකීම, මේ ගැන දරුවන් දැනුවත් කිරීම, අප පය ගසා සිටින, අප දරා සිටින මිහිතලය වෙනුවෙන් නොනවත්වා අරගල කිරීම සහ හරිත පරිසරයක් සඳහා දායක වීම මේ සඳහා පුද්ගලික මට්ටමින් කළ හැකි දේවල්.

ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සංවාද මෙන්ම ඒ මට්ටමෙන් සිදුවන මිහිතල දූෂණය ගැනත් අවබෝධයක් සහිත ඒ සඳහා සිය හඬ අවදි කළ හැකි තරම් දැනුවත් පුරවැසියන් බිහිවීම අත්‍යවශ්‍ය කරුණක්. මේ ප්‍රකට කියමන ඔබ අසා ඇති...

"මිහිතලය යනු අපට අතීතයෙන් ලැබුණු දායාදයක් නොවේ. අනාගත දරුවන්ගෙන් ණයට ඉල්ලා ගන්නා ලද්දකි."

ඔබේ දරුවාගේ දරුවා චර්ම පිළිකා ආසාදිතයෙක් නොවන්නට, අපවිත්‍ර ජල බිඳක් වෙනුවෙන් හඬා නොවැටෙන්නට, කිසිදා හිරු එළිය දකිනු බැරි මිනිස් කුලකයට අයත් නොවන්නට නම්, නොඉඳුල් වනාන්තරවල නොපෙනෙන ඌලකින් ඉපිද පීරාගෙන නිල් සයුරට වැටෙන දිය කඳුරුවලට ද, නිල් පැහැයෙන් බොර පැහැයට හැරෙන් මහා සාගරවලට ද, දිය වෙවී ඔබ සොය එන ග්ලැසියරවලට සහ හිම වලසුන්ට ද, හෙට නිල් අහස දක්නට නොහැකි යැයි තැවෙන උස් කඳු මුදුන්වලට ද, දිනෙන් දින මිහිතලය සදහටම හැරන සතා සීපා වර්ගයන්ට ද, අපේම ක්‍රියාවන් නිසා මිලියන ගණනින් මියැදෙන කුඩා දරුවන්ට ද ඔබේ ආදරය අවශ්‍ය යි. ඔබේ සැලකිල්ල අවශ්‍ය යි.

දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා!

ආශ්‍රිත:
http://uwb2ms.blogspot.com/2010/05/what-will-happen-if-we-continue-to.html
http://en.wikipedia.org/wiki/Pollution
http://en.wikipedia.org/wiki/Rainforest
http://adsoftheworld.com/media/ambient/npo_reflection_project_trash? size=original
http://www.wikihow.com/Help- Save-the- Planet- Earth

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වත්මන් ලාංකේය සමාජය, සාහිත්‍ය කලා ආදිය ගැන එතරම් අවදියකින් පසු නො වන්නේය යන්න නිතර ඇසෙන මැසිවිල්ලකි. එහෙත් කොදෙව්වේ තරමට එහි කෙරෙන කලා කටයුතු ප‍්‍රමාණය කුඩා යැයි අව ප‍්‍රමාණය කිරීම ද නො හොබී. සෑම වසරක ම පළවන නවකථා, කෙටිකථා, කවිපොත් හා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ප‍්‍රමාණය දළ වශයෙන් සියය ඉක්මවයි. මහත් ප‍්‍රකාශක ගොන්නක් ද අද වනවිට ලාංකේය ගත් සයුර මථනය කරමින් වෙසෙති. එමෙන්ම නව සෙව් පරපුරක් ද හිස ඔසවමින් ඇති වග පෙනෙයි. ඊට කදිම නිදසුනක් පසුගිය වසරේ පළව ඇති දුසිමක් තරම් වූ කවි පොත් ගොන්න අතරින් සොයාගැනීමට හැකිවිය. එනම් "පඹයාගේ සාක්කිය" නමැති කුමාර කඹුරුපිටියගේ කවි පොතයි. පසුගිය වසරේ දී ප‍්‍රසිද්ධ කවියන් වූ එරික් ඉලයප්පාරච්චි, නන්දන වීරසිංහ, තිඹිරියාගම බණ්ඩාර, යමුණා මාලනී, මංජුල වෙඩිවර්ධන, අමිල තේනුවර ආදීන් ද කවිපොත් පළ කොට ඇත. ඒවායෙහි ද හොඳ නිර්මාණ දැකිය හැකි ය. ඒ කවි සියළු පොත් අතර "පඹයාගේ සාක්කිය" පහන් ටැඹක් ලෙස සුදිලෙනු දැකිය හැකි විය. ඒ ඔහුගේ නිර්මාණ අපූර්වත්වයෙන් යුතු වූ හෙයිනි. එක් පසෙකින් සමකාලීන විඤ්ඤාණයෙන් පෝෂිත වූ බව ද බස හැසිර වීමේ දී ඔහු යොදාගන්නා භාෂාවේ ධ්වනිය ද ඇතැම් තැන්හි ඇති රිද්මය ද පාඨක සිත් ඇද බැඳ ගනී. ඒවා වත්මන් ජන කවි ලෙස හැඳින්වුව ද කම් නැත.

"රන් මුවා අසිපත" නමැති කවි පන්තියේ මුල් පද පෙළ මෙබඳු ය .

"ඇද ඉර
ඇඳ ඉරෙන්
කැපු ජනයින් වෙත
රන් මුවා අසිපත
සාදරෙන්
පිළිගැන්වූ වගයි......"
කවියා කතිරය ගැසූ බව නො කියයි. ඇද ඉර ඇද ඉරෙන් කැපූ යනුවෙන් මේ කතිරයේ උපතින්ම ඇති ඇදය ධ්වනිත කරයි. මේ අසිපත දී ඇත්තේ කුමකටද?

".. කගපතින් සිඳගන්න
ශීර්ෂය නැති හෙයින්
ඇණගනුව, ඇණගනුව
සියොලඟට
පස්වනක් ප‍්‍රීතියෙන්......"


හිසක් නැති හෙයින් එය සිඳ ගැනීමක් අවැසි නැත. ඒත් කඩුව රත‍්‍රං ය. රන් කඩුවෙන් ඇණගෙන මළත් සැප නොවේ ද? බලයට එන පාළක කණ්ඩායම් ජන්ද දායකයන්ට උදේ හවා මාධ්‍ය පිහිට කොට පුදන්නේ රන් කඩු නොවේද? මේ වදන් වැළ පෙළ ගසන අයුරු කොතරම් අපූරුද?

ඔහුගේ "මල්" නමැති කවිය ද ඉතා බැතින් උදයේ පුදන මල් පරවී කිසිදු ගරු සරුවක් නැති ව සවස කුණු කූඩයට වැටෙන අයුරු කලාත්මක ව ප‍්‍රකාශයට පත් කරයි. එය අප ගතකරන තරගකාරී මිනිස් දිවියේ නිසග හිස්බව පිළිබඳ නැතක් සිතුවිලි අවදි කෙරුමෙහි පෙහෝනා ගුණයෙන් පෝෂිත ය.

"ප‍්‍රවර්ධනය" නමැති කවි පන්තිය ඉතා හොඳ සමකාලීන අනුභූතියක් මුත් එය කවියක තිබිය යුතු පරිසමාප්තියට පැමිණ නැතැයි හැඟේ. එය ඵලදායිතා ප‍්‍රවර්ධනය සඳහා ලොක්කන්ගේ ප‍්‍රධානත්වයෙන් පොඞ්ඩන්ගේ සහභාගීත්වයෙන් විවිධ ආයතනවල කරන බොරු මුදල් නාස්තිය කේන්ද්‍ර කොට ගත් කටයුත්තක ඇතුළත හරය පිටතට ගෙන එයි.

"ලොක්කා ගේ පමාවෙන්
ළතැවෙන
කුකුළා පහණ ළඟ
ඈනුම් අරී ජයටම
කාල කළමණාකරණය......"


පොල්තෙල් පහන දැල්වීමට තව ම ලොක්කා පැමිණ නැත. සියලු දෙනාට එපා වී ඇත. වැඩ ඇරෙන තුරු කෝච්චියට දුවන්නට බලාසිටින මිස්ලා සහ සර්ලා ඈනුම් අරිමින් මැලි කඩමින් හිඳිති. ඈනුම් අරින්නේ මිනිස්සු නොව කාල කළමණාකරණයයි. "අළු" නැමැති කවි පන්තිය ද අපූර්ව අනුභූතියක පරිසමාප්තියේ අසලටම පැමිණ නැවතුණ කවියකි. එහෙත් ඒ අනුභූතියේ ඇති ප‍්‍රබල බව ඉන් මැකී නො යයි.

"පෙට්ටියෙන් පැමිණ
මුට්ටියක යති
උඩු කුරුව සයනය කොට
මෙහි පැමිණි සියළු දෙනා
හැඩයෙන්ද
පැහැයෙන්ද
බරින්ද
කිසිත් වෙනසක් නැති ....."


අළු වූ පසු ධනවතාගේත්, නැණවතාගේත්, දුගියාගේත් අළු සම වේ. වෙනසක් නැත. ඒ මානවවාදී හැඟීම කවියා ඉතා සරල අයුරින් ලියා දමයි.

"පඹයාගේ සාක්කිය" නම් කවි පෙළෙහි ඇති ධ්වනිය දෙදහස් පන්සිය වසරක සංස්කෘතික උරුමය ලාංකික ප‍්‍රජාව විසින් මෙගාස්ටාර් වලට බිලි දී වැනසෙන අයුරු විදුලි සැරක් සෙයින් බසට නඟයි.

"පරම්පරා සිය ගණනක්
තුන් වේලම බත හරිකළ
යායෙ තිබුණ හොඳම කුඹුර
හරියට කිරි වඳින දවසෙ
මා හිටවාලා වෙල මැද
එහෙන් මෙහෙන් මඩ සෝදන්
නුඹත් ගියා හනි හනිකට
හොඳම ගොවි රජා තෝරන
මෙගාස්ටා මංගල්ලෙට
අයාලේ ගිය හරක් රංචු
මහ දවාලේ කුඹුරට පැන
ආල පාලූ කරල දැම්ම
මල්වර වුනු බණ්ඩි ගොයම......"


"..... හරියට
උන් අස්සද්දල වාගෙයි
මඩ නාගෙන වේලි බිඳින
ඌරොත් එක්කල පෑහුනු
කැලේ හිටිය හොර ඇලි රැල
හඳපානේ යකා නැටුව
දැක්කා මේ ඇස් දෙකෙන්ම
මට පුලූවනැ ඔට්ටු වෙන්න
මම පඹයනෙ
ඔය ඔටුන්න බිමින් තියල
දැන්වත් හනිකට ඇවිදින්
ගහපං දඩු වැටක් මාමෙ
එකෙකුටවත්
පනින්න නම් බැරි විඳිහට...."


"සුදු රෙදි හොරු" යන කවි පන්තිය සෘජු දෘෂ්ටිවාද කථනයක් බවට පත්ව ඇත ද එහි අනුභූතිය ලගන්නා වේ.

"දියෙන් මතු වී පිපුන
නෙළුම් සේ පිවිතුරුය
මුලේ මඩ ගොහොරුව
කිසිවෙකුට නොපෙනේය
රෙද්දෙ මඩ ඉහෙන විට
අපුල්ලන්නෝ ද ඇත
දුගඳ මකනා සුවඳ
දුම් ගසන්නෝ ද ඇත."


"රෙදි කඬේ පඹයා" කවි පන්තිය සියලූ සංස්කෘතික උත්සව මුදලාලිලාගේ අල්ලේ නැටවෙන විට පඹයා ද ඒ ඒ කාලවලට ස්වරූපය වෙනස් කොට ගන්නා අයුරු සියුම් උපහාසයක් නංවමින් ප‍්‍රකාශයට පත් කරයිි.

"සේල් ලිඳෙන් සෝදා දැලි පිළි ජයට
ඕන් වසන්තය ඇවිදින් ඔමරි කොට
බ්‍රේක් නොමැති කොහාගෙ අවුරුදු කටට
තාන් ඇඳුම් අන්දයි එක පිට එකට "


"මහ සොහොන් පේ‍්‍රමය"
ගණිකාවන් සහ පාතාලය එක් ව නගරාශ‍්‍රිත ව කරනා මංකොල්ලකෑම් වල ස්වභාවය කලාත්මක ව ප‍්‍රකාශයට පත් කරයි.

"පිපාසිත මනු සතුන්
නොලැබ දිය බිඳ පළිඟු විලකින්
තියෙන මඩ වලකින්
බොන්න සැරසෙති පවස නිවමින්.."


එලෙස මඩවලවල් වල හිස ඔබා පවස නිවා ගන්නට යන වුන්ගේ සියලු දෑ මංකොල්ල කෑමට ලක්වන අයුරු කවියා ධ්වනිත කරයි.

වැටුප් වහලූන් බවට පිරිහෙලා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ගේ ශ‍්‍රමය සූරා කන ධනේෂ්වර භාවිතයත් ඊට අනුගත වූ පිරිස හා ඊට එරෙහි ව අරගල කරන පිරිස අතර සදාතනික ගැටුමත් ප‍්‍රකාශයට පත් වන අයුරු "වක්කඩ" නම් කවි පන්තියෙන් දැකිය හැකි ය.

"කිනිහිරි මල්"
නමැති කවි පන්තිය කම්මල් කරුවාගේ සමාජ යථාර්ථය තත් පරිදි කවියට නඟයි. අප සමාජය ජාති, කුල, ආඟම්, ආදී සකල විධ අගතීන්ගෙන් පරිපෝෂිත වූවකි. කෙතෙක් සඟවා කීවද එය එසේම පවතී. එය සියලූම සමාජ සංස්ථා තුළ දැකිය හැකි ය. කම්මල් කරුවාගෙන් කොපමණ වැඩ ගත්තද හිර දෙන්නට කතා කළොත් වැඩ වරදින අයුරු මෙසේය.

"කැපෙන තරම් හොඳ මුවහත හොයා එන
මහතුන් නො එති හිර ගනු දෙනු පතා ගෙන
සබයෙදි කපයි නුලට කුල ඈඳගෙන
වානේ වගෙයි හිත දැන් ගින්දර ම කන..."


"බාබකියු රාත‍්‍රිය" ලංකා සමාජයේ සුලබව අසන්නට දකින්නට ලැබෙන සිද්ධියක කෲරතර වූ අභ්‍යන්තරයට අප කැඳවාගෙන යයි. රජ සිටු පුත්තු රාත‍්‍රියට ප‍්‍රාඩෝ වලින් ගිනි අවි පුරෝගන දඩයමට වන වදිති.

"සඳට වෙඩි තබා
කිරි බිඳු දසත ගලයි
තරු කැට මුව පුතුන්
ගැහි ගැහි හුස්ම හෙලයි
නලියන මස් වැඳලි
උණු ලේ රහට හොඳයි
ගින්නේ පලහ ගත් විට
මධු විතට ජයයි..."


මුව රැලම මරා මස්කොට පළහමින් කන ප‍්‍රභූ පුත්තු අනෙක් සිල් පද ද යහමින් බිඳ දමති.

"රත් වෙන සියොලඟට
අප්සර ලඳුන් ලඟයි
කණවැන්දුම් යුක්තිය
දුක් සුසුම් හෙලයි
ශේෂ වූ වහස් පති ළඟ
රුක් දෙවි හඬා වැටෙයි..."


මුව රැලේ ඉතිරි වූ කණවැන්දුම් වූ මුවා මේ අවණඩුව කාට කියන්න ද? එළාර රජු රට පාලනය කළ අවධිය වී නම් සාධාරණත්වයේ ඝණ්ඨාවවත් හඬවන්නට තිබිණ. දෙවියන්ට ද දැන් යනෙන මන් නැති ව ගොසිනි. ඔවුන්ගේ දිව්‍ය විමන් කපා බිම හෙළා මොරටුවට පටවා ඇත. ඉතිරි වූ රුක් කිහිපයෙහි ඔවුහු ද සරණාගත ව ගොසිණි.

"ග‍්‍රැහැම්බෙල්ට" නමැති කවි පෙළ දුරකථන තාක්ෂණය දුරගිය තරම මනා ව විශද කරයි.

"...හලෝ ග‍්‍රැහැම්බෙල්
හිතුවෙ නෑ නේද?
වයරින් කරල වගේ
කන් දෙකේම වයර් ගහගෙන
තනියම කතා කරන
පිස්සො රැලක්
බිහිවෙයි කියල..."


මේ එහි පේලි කිහිපයකි. සෙලියුලර් දුරකථනයේ සකල විධ සමාජ දුර්භාවිතයන් ඔහුගේ මේ කවිය මත සටහන් වේ.

දල පුඩු සේසත, වල්බල්ලාගෙන් රට බල්ලාට, සැනසීම, කවියාගේ නවක වදය, කූඨ වාණිජ සමාගම, පින්නවල අලි උලමා, විශේෂ කලාපය, පබාවතී, අභිනික්මන, පරම්පරාවල, රත් පිත් හීන, අපි ඔක්කොම රහත්වෙලා, පව් කාරයාට ගල් ගැසීම, අත්තන ඇට යන කවි පන්ති සමකාලීන සමාජ දේශපාලනයෙහි ඇති අප‍්‍රිය ජනක මිනිස් භාවිතයන් නැතක් ගර්හාවට ලක්කර ඇත.

"කුලී පෝරුව" නම් කවි පන්තිය සමස්ථ විවාහ සංස්කෘතිය ම එක මිටට ගෙන කියුවක් බඳුය. "උදුම්බරා" නමැති කවි පන්තිය හා "කුලී පෝරුව" එකට ගෙන කියවිය යුතුයයි සිතේ. කුලී පොරුවේ රඟ මෙපරිදි ය.

"අෂ්ඨක අහලාම
කුසීතයි ඉර හඳ
පොල් මල් ඔබලාම
උරණය පුන්කළස
කහ දියර උරාගෙන
පුස් බඳියි ලෑලි යට
හීන් කෙඳිරිය නගයි
නැකත ලං වෙන විටම
ඔක්කෝම කුළුඳුලේ
පෝරුව......
බඳු කඩේ"


වාණිජකරණය වූ චාරිත‍්‍ර වල ඇති හිස් බව විශද යග සිය අනුභූතිය අපූර්ව ලෙස බසට නැඟීමට රචකයාට ඇති සමත් බව මෙහි ද පෙනෙයි. "අම්මාගේ දින පොත" නම් කවිය සිය සැමියාගේ නොපනත්කම් කිසිවක් නොලියා දරුවන් රකින්නට කළ වීරිය පමණක් ලියවුණ දින පොතක වරුණකි.



"පිට පොත්ත කපා ගෙන
රබර් ගස දුන් කඳුළු
බිඳක් වත් නො ඉහිරවා
රැුක ගෙන ආපු වග
සල්ලාල මද පවන
මේඝයක් වූ දිනය
තනි අතින්
වක් පිහිය මුවත් කර
බල කොටුව රැකපු වග...."

තිබුණීය සටහනක්
ඇදව ගිය අකුරින්
ළමයින්ගේ තාත්තා
මිය ගිය දවස...."


"පිට කොටුවේ බෝධිය ළඟ සිට ලියමි" අපූර්ව නිර්මාණයකි. ධර්ම දේශනාවක් ද, ලොතරැයි විකුණන හඬද, රෙදි විකුණන හඬද, පොලිස් නිලධාරියෙක් වාහන හසුරුවන හඬද, ත‍්‍රීවිල් පාක් වාසීන් රංඩු වන හඬද, හිඟන හඬද, මගීන් රියදුරන්ට බනින හඬද ඇසේ.....

"මහත්තය මට කීයක් හරි පිනට දෙන්න
හතර වරිගෙම නිවන් දකිනවා
තමුසෙට පිස්සුද ඕයි
මේ හදිස්සියේ මාව නිවන් දක්කන්න හදන්නෙ ...
සයිඞ්, සයිඞ්, සයිඞ්
තව ඩිංගෙන් ඇෙඟ් හැප්පෙනවා කරත්තෙ
මහත්තයා මේක ගෙදර සාලෙ නෙවෙයි
පිට කොටුව, පිට කොටුව
පිංවතුනි ප‍්‍රමාද වෙලා නිවනට යන ගමන
කල් දාගන්න එපා
කවුද දන්නෙ මෛත‍්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලෙ
හරකෙක් වෙලා ඉපදේවි ද කියල..."


අනුභූතියක් තෝරා ගැනීමේදී සමකාලීන සමාජය සමඟ අත්‍යන්තයෙන් බැඳෙන කවියා එය ප‍්‍රකාශයට පත් කිරීමේ දී බසෙහි ඇති ව්‍යංජනා ගුණය උපරිම ලෙස භාවිතයට ගනී. "නැවත ඉපදීම" නමැති කවි පෙළ ලංකාවේ සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය ස්වභාවය වූ මානව දයාවෙන් තොර භාවිතය හා ඒ නැති දයාව පත්තරයට පෙන්වීමේ කුහක කම මනාව පෙන්වයි. මේ කවියට නිමිත්ත වී ඇත්තේ උපන් විගස මහ මඟ දමා ගිය බිලිඳෙක් හෙදියන් අත නැලවෙන ඡායා රූපයක් පුවත් පතක පළ වී තිබීමය.

"රහසින් වත් වරදේ නොබැඳී
රිදී ජුබිලියත් සමරණ
සුජාත දරුවන්ම වැදු
උත්තම කුල පත්තිනි කැල

රස කර කර කියූ පෙලපත
අවජාතක නම් පට බැඳ
නුඹට පෙනුනෙ නැද්ද මපුත
කළලයෙන්ම කැපූ පෙකනිය

වැද්දා නොගෙන සායනයට
දොට්ට දාපු වින්නඹු කැල
පොර කනවා දෝතට ගෙන
පත්තරේට මූන දෙන්න...."


මේ යථාර්ථය දරුවන් ප‍්‍රසූතිය සඳහා ලංකාවේ රජයේ රෝහල් වලට ගොස් ඇති සියලූ ම කාන්තාවන් අත් විඳ ඇත. කවියා කියනවාටත් වඩා මේ අකාරුණික අමනුෂ්‍ය ස්වභාවය ගැඹුරු හා කුරිරු බවක් ම උසුලන බව අපි කවුරුත් දනිමු.

"අංගොඩ ළමයාගේ වාක්‍ය රචනාව" නමැති කවි පන්තිය ලංකාවේ දේශපාලන කතිකාව කොතරම් විකෘති එකක් ද යන්න විශද කරයි.

"චින්තන
චුයින්ගම්
බුලත්විට
බේස්ලට්
ආශ්චර්යය
දුටු ගැමුණු
පරාක‍්‍රමබාහු
ආචාර්ය
අබා
පබා
මෙගා
කිරිපිටි
හාල්....."


මේ සියල්ල දේශපාලන ආර්ථිකය නොහොත් මාක්ස් කියු "අධෝ ව්‍යුහය" නමැති පරිමණ්ඩලයට අයත් සංරචක වේ. ඒවායේ මුසු වීම කෙතරම් විකාර රූපී ද? මෙහි ඇති උපහාසය කාට වුව වැටහේ. එහෙත් මේ නිර්මාණය කාලයට ඔරොත්තු දෙන ගුණයෙන් යුක්ත නැත යන චෝදනාවට ලක් වීමේ අවදානම පවතී.

කුමාරගේ පඹයාගේ සාක්කිය කෘතිය සමකාලීන විංඥානයෙන් යුතු විදුලි කොටන බස් වහරකින් පෝෂිත බසෙහි ව්‍යංජනා ගුණය උපරි ම ලෙස භාවිතයට ගත් දුලබ ප‍්‍රතිභාවක් විශද කරන කවිපොතකි. කවියා විදග්ධ කාව්‍ය සම්ප‍්‍රදාය පිළිබඳ හා කාව්‍ය ශාස්ත‍්‍ර පිළිබඳ විසල් දැණුමකින් හෙබියෙකු නො වන වග පෙනෙයි. එය ම ඔහුගේ හැගුම්ල බස රස කොට ගෙන කවියට නැගෙන්නට හේතු වූවායයි සිතේ. පඹයාගේ සාක්කිය සමකාලීන සමාජ භාවිතයන්හි ඔඩුදුවා ඇති දුර්භාවිතයන්ට එරෙහි ව මහජන අධිකරණයෙහි පවරණ හෘද සාක්ෂියේ නඩුව ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් වූවකැයි කිව යුතු ය. මෙහි සඳහන් වැරදි කරුවන් සියල්ලෝ සිය හෘද සාක්‍ෂිය නමැති අධිකරණයෙහි දඬුවම් ලබත්වා.

සමන් එම්. කාරියකරවන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහාචාර්ය සුචරිත ගම්ලත් යනු සිංහල නූතන සාහිත්‍ය විචාරයේ පුරෝගාමියා වේ. "සව්සත්දම්" වාදයෙන් ඇරඹි නව සම්භාව්‍ය සාහිත්‍ය විචාර ධාරාව ජේම්ස් ද අල්විස් පඬිතුමන්, ඩබ්ලියු.එෆ්. ගුණවර්ධන, මුණිදාස කුමාරතුංග, වැලිවිටියේ සෝරත ආදී ගිහි පැවිදි පඬුවන් රැසකගේ දායකත්වයෙන් වැඩී වර්ධනය විය. එම විචාර ගමන් මග "නිදහස් මානවවාදී" මාවතකට ගෙන එමින් පෙරපර දෙ දිග විචාර සිද්ධාන්ත සමතික්‍රමණය කොට සිංහල මානවවාදී විචාර භාවිතයක් ස්ථාපනය කිරීමේ පුරෝගාමී මෙහෙවර කරනු ලැබූයේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි. එම භාවිතය වඩා නිවැරදි ව සූත්‍රගත කොට ක්‍රමවත් ව සමාජගත කිරීමත් නිරතුරු භාවිතයේ යෙදවීමත් කළේ පේරාදෙණි ගුරුකුලය විසිනි. ඒ අතුරින් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සම්ප්‍රදානය සුවිශේෂ වේ. 1951 දී සරච්චන්ද්‍රයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ "සිංහල නවකථා ඉතිහාසය හා විචාරය" කෘතිය සිංහල නූතන ප්‍රබන්ධ කථා සාහිත්‍යය විෂයෙහි කළ විශිෂ්ට විචාර කෘතියක් විය. එය නව සම්භාව්‍ය විචාර කලාවෙන් ඔබ්බට යමින් නිදහස් මානවවාදී එළඹුමකට මං හෙළි කළේ ය. සරච්චන්ද්‍රයන්ගේ උසස් ම විචාර සම්ප්‍රදානය 1958 දී ප්‍රකාශයට පත් වූ "කල්පනාලෝකය" යි. භාරතීය සෞන්දර්ය සිද්ධාන්ත හා එංගලන්තයේ එවකට ප්‍රචලිත ව පැවති නිදහස් මානවවාදී එළඹුම්හි ගැඹුරු සංකලනයක් එහි දක්නට විය. එමෙන් ම 18 වන සියවස අග භාගයේ ප්‍රන්ස හා ජරමානු රොමෑන්ටික සෞන්දර්යවේදීන්ගේ අදහස් ද ඔහුට බලපාන්නට ඇත. වෝල්ටර් පේටර් හා ඔස්කා වයිල්ඩ් යන එංගලන්ත සාහිත්‍ය විචාරකයන් ඔවුන්ගේ අදහස් වෙත වැඩි බලපෑමක් කර ඇත.

මෙලෙස වැඩී වර්ධනය වූ නිදහස් මානවවාදී සාහිත්‍ය කලා විචාර භාවිතය යුරෝපය තුළ අර්බුධයට ලක් වූයේ "න්‍යාය ව්‍යාපාරය" නමැති නූතන වාදී විචාර භාවිතයේ නැගීමෙණි. සර්වකාලීන සාර්ව භෞමික උත්තර මිනිස් ගුණ මතු කළ මානවවාදී චින්තනය ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් විය. මිනිස් සමාජය පන්ති, ජාති, ස්ත්‍රී පුරුෂ, කලාපීය ආදී ලෙස විභේදනය වී ඇති සැටිත් ඒවා එකිනෙකා මත බලය ක්‍රියාවේ යොදවන අයුරුත් ඔවුන්ගේ විමසුමට ලක් විය. පුරුෂ මූලිකත්වය ස්ත්‍රී පීඩන ක්‍රියාවලියක් ලෙස ක්‍රියා කරන ආකාරය මෙන් ම නිර්ධන පිරිස් ධනපති සූරා කෑමට ලක් වන ආකාරය ඔවුහූ විභාග කළහ. භාෂාව යනු නිත්‍ය අරුත් ජනනය කරන ස්වභාවික ප්‍රපංචයක් නොව හිතුවක්කාරී දියාරු සංඥා පද්ධතියක් බව ව්‍යුහවාදීන් විසින් පවසන ලදි. මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, මනෝ විශ්ලේෂණවාදය වැනි න්‍යායන් සාහිත්‍ය විචාරයෙහි කරළියට පැමිණියේ ය. එම නූතනවාදී එළඹුම් නිදහස් මානවවාදයේ සියලුම අංග නො පිරිහෙලා ප්‍රශ්න කළේ ය.

1970 දශකයේ විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ වැඩී වර්ධනය වූ මේ නූතනවාදී ව්‍යාපාරයේ ලාංකේය ප්‍රකාශනය සුචරිත ගම්ලත් ය. 1986 මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත් කීර්ති බාලසූරිය සමඟ සුචරිත ගම්ලත් විසින් සංග්‍රහ කරනු ලැබූ "කල්පනාලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය" කෘතිය මගින් එතෙක් ස්ථාපිත ව පැවති සරච්චන්ද්‍රගේ නිදහස් මානවවාදී විචාර භාවිතය මථනය කොට ට්‍රොට්ස්කිවාදී ආස්ථානය මූලික කොටගත් මාක්ස්වාදී සාහිත්‍ය විචාර න්‍යායක් නිවැරදි ව සිංහල සාහිත්‍ය විචාරය තුළ ස්ථාපිත කරන ලදී. 1970 දශකයේ දී විවිධ මාක්ස්වාදී කණ්ඩායම් සාහිත්‍ය විචාරයේ යෙදුන ද මාක්ස්වාදී න්‍යාය සාහිත්‍ය හා කලා භාෂණයට උචිත පරිදි හැඩ ගැස්වීමේ භාරදූර කාර්යය ඉටු කරන ලද්දේ ගම්ලත් විසිනි. සරච්චන්ද්‍රගේ මානවවාදී එළඹුම ගම්ලත් විසින් කල්පනාලෝකවාදය ලෙස අභිනවයෙන් නම් කරන ලදි. ඔවුන් මාක්ස්වාදී කලා විචාර න්‍යාය ස්ථාපිත කිරීමේ දී පැරණි භාරතීය හා යුරොපීය මානවවාදී සංකල්පවල සාධනීය අංග සපුරා ම ස්වීකරණය කරගැනිණ. සිංහල සාහිත්‍ය තුළ නිර්ධන පන්ති නියෝජනයක් නිවැරදි ව ස්ථාන ගත වුයේ ගම්ගත්ගේ සම්ප්‍රදානයෙනැයි කිව නිවැරදි ය. හේ ග්‍රාම්ස්චිගේ අර්ථයෙන් කිවහොත් ඓන්ද්‍රීය බුද්ධිමතෙකි.

මාක්ස්වාදී න්‍යායික එළඹුම මැනවින් සංග්‍රහ කිරීමටත් එය භාරතීය රස ධ්වනි ආදී සංකල්ප මෙන් ම එළියට්, අයි.ඒ. රිචඩ්ස් ආදී මානවවාදීන්ගේ භාෂිතයන්ගෙන් ඔප මට්ටම් කිරීමටත් මාක්ස්වාදී සම්ප්‍රදාය වර්ධනය කිරීමට භාවිත කළ හැකි වූ සියලු අදහස් එක් කැටි කොට ගැනීමටත් ඔහුට හැකි විය. වී. ප්ලෙහානව්, වෝල්ටර් බෙන්ජමින්, ජෝර්ජ් ලුකාෂ් ආදී මාක්සියානු සම්ප්‍රදාය පෝෂණය කළ පිරිසගේ දැනුම මතු නොව ලියෝ තොල්ස්තෝයි, ඇන්ටන් චෙකෝව්, මේයර්හෝල්ඩ්, බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ආදීන්ගේ දැනුම ද ඔහු නිසි පරිදි භාවිතයට ගෙන එන ලදි. ඔහු භෞතිකවාදී විචාර න්‍යායක එල්බ සිටිය ද පොදුවේ විංඥානවාදී යයි වරදවා අර්ථ කථනය කොට ගෙන ඇති බෞද්ධ දර්ශනයෙන් ද උපනිෂද් හා වේද පෙරටු කොට ඇති හින්දු චින්තනයෙන් ද බොහෝ වැඩ ගත්තේ ය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා ඔවුහූ මැනවින් දැන සිටියහ. දෙමළ, ලතින් හා ග්‍රීක් ද ඇතැම් ඉන්දියානු උප භාෂා පිළිබඳ ව ද අවබෝධයක් තිබිණ.


(වමේ සිට) සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, සුචරිත ගම්ලත්, ගුණදාස අමරසේකර සහ විමල් දිසානායක. 1968 මාර්තු 25 වන දින බී.බී.සී. ගුවන් විදුලි වැඩසටහනකට සහභාගී වෙමින්....[dailynews.lk]

සිය විචාර ක්‍රමවේදය මනා විනයකින් යුතු ව හැසිරවීමට ඔහු වග බලාගත්තේ ය. පියසීලි විජේගුණසිංහ සමඟ ඔහුගේ නො පෑහීම ප්‍රකාශයට පත් කරනු ලැබුයේ විචාරයේ පුහුණු පරිනත භාවය න්‍යායික දැණුමට වඩා වැදගත් ය යන අවධාරණය යි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයෙන් ඉවත් වුව ද ඔහු එය හා සාධනීය විවේචනයන් අත් නො හැරියේ ය. සිය ට්‍රොට්ස්කිවාදී ආස්ථානය ගෙඩි පිටින් කලා නිර්මාණ මතට අත හැරීම ඔහුගේ භාවිතය නොවී ය. දෙවියෙකු කියූ දෙයක්වත් ආදානග්‍රාහී ව නො අදහන ගුණය කුමරතුඟුවන්ගෙන් ඔහු ගත් මහත් ආභාෂයන්ගෙන් එකකි. ගම්ලත් පෝෂණය ලත් මූලාශ්‍ර මෙතෙකැයි කියා නිම කළ නොහැකි ය. ඔවුන් පොලේ එළවලු විකුනන වට්ටි අම්මාගෙන් ද ගෙදර මේසන් වැඩ කළ සිමියොන් බාස්ගෙන් ද උගත්තේය. තමන් නියෝජනය කළ නිර්ධන පන්තිය කෙරේ ඔවුන් තුළ වූ පක්ෂපාතීත්වය භාෂාතීක්‍රාන්ත ය.

1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ගම්ලත් සිය විශ්වවිද්‍යාල මහාචාර්ය ධූරයෙන් දොට්ට දැම්මේ ය. දොට්ට දැමීමේ දී ඔවුන්ට එල්ල වූ බරපතල ම චෝදනාව නම් පන්තිකාමරයෙන් පිටත ද සිසුන් හා අධ්‍යයන විචාර විමර්ශන ආදියෙහි නිරත වීමත් සිසුන් හා දේශපාලන සාකච්ඡා පැවැත්වීමත් ය. රැකියාව අහිමි ව මහමඟට වැටුනු ගම්ලත් පාලක පන්තියට හිස නමා සමාව ගෙන පස්සා දොරෙන් නැවත සේවයට ඒමට තැත් කළේ නැත. ඒ ගොරතර පාලක පන්තිය විෂයෙහී හිස නො නැමීමේ වික්‍රමය පෑවේ ය. මහ මගට වැටීමෙන් ඔහු උගත් දේ බොහෝ ය. සිය සාහිත්‍ය කලා ඥානය කම්කරු ගොවි හා ප්‍රගතිශීලී කලාකරුවන් සමඟ බෙදා ගත්තේ ඔහු එම අවසරයෙනි. ඔවුන්ගේ පණ ගැහෙන වාග් ශෛලියට පොලේ එළවළු විකුනණ ආරි අක්කලාගේ පේමන්ට් එකේ පොත් විකුණන විමලදාසලාගේ බසෙහි ඇති ප්‍රාණවත් බව ද එක් විය. වරෙක ඔහු "සමාජේ රුදුරු කාන්තාරේ කොහේ අපි යමු ද නොම තේරේයි" මං මුලා ව නන්නත්තාර ව සිටින මිනිසුන් ගැන ලියූවේ ය. තවත් වරෙක "මේ දේශීය ධනපති පන්තිය ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා" යන මනෝ වෘතයට එළඹ ඇතැයි පැවසීය. අප වෙත මේ ධනවාදී සමාජ පර්යාය උරුම කර දී ඇති ජීවිතය "උපන්නාට වැනෙන බැඳගත් බෙරේ ගසන" එකකැයි ඔහු පැවසුවේ ඒ ජනවහරේ ආභාෂය ඇති ව ය. විදු හුරු තකු හුරු තේමා සකු තත්සම සුවියත් වහර හා බජාර් බාසාව එක් කොට හනා වනා පණ ගැහෙන වාග් ශෛලියකින් ප්‍රකාශ කිරීමට ඔවුන් තුළ වූ හැකියාව අන් කවරෙකු තුළ හෝ මා දැක නැත. ගම්ලත්ගේ පණ්ඩිත ප්‍රිය බස මෙන් ම රස්තියාදු ප්‍රිය බස ද සමසේ මේ දෙපිරිස අතර ම ගෞරවයට පත් විය. ඔවුන් ගුරු ගුණ සමරේ භාවිත බස් වහර ගුරුළු දැමියන්ගේ විසිතුරු ලිවි සැරිය ද ආලෝක වර්ෂ පරිමාණයෙන් අතික්‍රමණය කළෙකි. හෙළ හවුලේ බස විකෘති කිරීමේ කුභාවිතය හළ ඔහු ඒ ඖදාර්යවත් ශෛලිය ද කුමරතුඟුවන්ටද නො දෙවෙනි වන සේ භාවිතයට ගත්හ. භාෂාව ඔදවත් ව භාවිත කිරීම විෂයෙහී ඔවුන් තුළ වූ දැණුම හා හැකියාව සුවිශේෂී වේ. පර විචාර මථනයෙහි පොහෝනා තියුනු මුවහත් වදන් වැල නිසා ම ඔවුන්ගේ විචාරය ඇතමුන් සිත් ගත්ත ද ඇතැමුන් සිත් තවන ගුණයෙන් යුතු විය. සරච්චන්ද්‍රයන් වරෙක එය "දෙඤ්ඤං බැටේ නියාය යැයි" කියා තිබුණි. ඒ ඔහුට රිදුණු තරම් ය.

ගම්ලත් අසූ වසක් වූ සිය ජීයන චාරිකාවේ අඩු තරමින් 40 වසක් වත් නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටි භෞතිකවාදී කලා විචාරකයෙකි. සිය ලේඛන හරහා තමන් එළඹ සිටි මතය පැහැදිලි ව සමාජ ගත කිරීමටත් සිය හඬ භාවිත කොට තමන් විශ්වාස කළ දේ හඬ නගා කීමටත් ඔහු සමත් විය. ඔවුන්ගේ කලා විචාර ජීවිතය ම නො සිඳුනු විප්ලවවාදී ආලෝලනයකින් වෙලී පැවතිණ. කම්කරු පන්තියට ඔහු නො වරදින ඓන්ද්‍රීය බුද්ධිමතෙකු විය. ජාතික රාජ්‍ය මිත්‍යාව හේ ප්‍රහීණ කොට සිටියේ ය. සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් ද වෙන වෙනස් ලබ්දිකයන් කෙරෙහි ද ස්ත්‍රීන් කෙරෙහි ද යම් අයෙකු දක්වන ආකල්පයෙන් හා ඔවුන් කෙරෙහී ක්‍රියා කරන ආකාරයෙන් කෙනෙකුගේ මනුස්සකම මිනිය හැකි යැයි හේ පුණ පුණා කීය. ඔවුන් ලෝක කම්කරු පන්තිය කෙරේ විශ්වාසය තැබූ අතර සුළු ධනේශ්වර උගුල්හි රැයේත් උදයේත් දාවලේත් මතු නොව යළි යළිත් වැටෙන ගොවි පන්ති අරගලත් ගැමි ගොවි තරුණයන්ගේ ඊනියා විප්ලවත් නොබා නො පැකිල විවේචනය කළේ ය. 87-89 බොරු විප්ලව කාලයේ රජයේ හමුදා මෙන් ම බොරු විප්ලවවාදී උන්මත්තකයන් ද මරණු සඳහා හේ හඹා ගියේ ය. ලාල් ජයවර්ධනයන්ගේ පිහිටෙන් එකල්හී දිවි රැකගත් බව පසු ව ඔහු අප හා කීය. රාජ්‍ය ත්‍රස්තවාදය උතුරු නැගෙනහිර ද්‍රවිඩ තරුණ තරුණියන් මරා දමමින් ඔවුන්ගේ ස්ව්‍යං නිර්ණය අයිතිය පාගා දමන විට හේ එය පිළිකුල් කළේ ය. ඔහු කිසිදා යුද සෙබල වන්දනයෙහි නො යෙදුනෙකි. ධනේශ්වර මුර බල්ලන් ලෙස විණා අන් ලෙසකින් ආයුධ සන්නද්ධ කාකි කෝට් කාරයන් හඳුන්වන්නට හෙතෙම ඉදිරිපත් නො වීය. ඔහු මියෙන තෙක් ම ජාත්‍යන්තර වාදියෙකු විය. පුරුෂෝත්තම සමාජයේ ස්ත්‍රිය ද්විතීය සත්වයෙකු ලෙස කළකා යටපත් කිරීම මානව සංහතිය උනුන් කෙරෙහි ම උදාකරගත් මහත් ම සිරිපත බැව් ඔවුහූ මතුරක් සෙයින් මැතිරීය.

කලා විචාරයේ දී ඔවුන්ගේ අධ්‍යාශය ඉතා පැහැදිලි එකක් විය. කවර කලා නිර්මාණයක් වුව ප්‍රථම කොට ම මිනිස් භාව මණ්ඩලය ප්‍රකම්පණය කිරීමේ හැකියාවෙන් යුතු වීම අත්‍යාවශ්‍ය විය. දෙ වනු ව ඒ ප්‍රකම්පනයෙන් ජනනය වන රස විඳීමට තරම් වටිනා විඳිය යුතු රසයක් ද යන්න ඥානනය කිරීම අවශ්‍යය. ඒ රස නන් විෂමතාවෙන් යුතු සමාජ පර්යාය තුළ අප අත් විඳින ජීවිතයේ සැබැ තතු වසන් කර හොර පාරෙන් ගොස් ධනපති පන්තිය හෝ පුරුෂ මූලික සමාජ සංස්ථාපිතය නැතහොත් බහු වාර්ගික මනෝ විකාර ඔසවා තැබීමට හෝ ශක්තිමත් කිරීමට කැස නො කවන්නේ විය යුතු ය. එය අප අත් විඳින ජීවිතයේ ඡායා පිටපත් නො ගසා එය කලාත්මක ව ප්‍රතිනිර්මාණය කිරීමෙන් බිහි වූ කෘතියක් විය යුතු ය. නැතහොත් අපට උදාකරගත යුතු උත්තර ජීවිතයේ දිග පළල අපට පෙන්වන කෘතියක් විය යුතු ය. එසෙයින් අපගේ භාව මණ්ඩලය මෙන් ම ඥේය මණ්ඩලය ද එක පැහැර පුබුදුවාලමින් ජීවිත පරිඥානය පෘතුල කරනා නිර්මාණ හැර අනෙක් වා ඔවුන්ගේ නිර්ධය විවේචනයට ලක් විය. පන්ති සමාජය විසින් මානව සංහතිය මත පටවන ලද නිම් හිම් නැති බර ඔවුන්ගේ විස්සෝපයේ උල්පත විය. සිය සමාජ පන්තිය වෙනුවෙන් අවසාන මොහොත දක්වා ම ඔහු ලියුවේ ය. සූරා කන්නන්ගේ ජරපත් පාලකයන්ගේ කුණු පිරි සමාජ භාවිතයන් ඔවුන්ගේ නො මද උපහාසයටත් අපහාසයටත් බඳුන් විය. හේ කිසිවිට දහසින් බැඳි පියල්ලෙහි ලොබ බැඳ ධනපතියන්ගේ පෙරහැරෙහි කස තලන්නට නො ගියේ ය. පොතක් ලියා ලත් මුදලින් යන්තං දිවි ගැට ගසා ගැන් ම ධනපතියන්ගේ ලේ තැවරුණු පිළී ගඳ සල්ලලිවලින් යැපෙනවාට වඩා හේ අගය කළේ ය. මෙහෙයක් නො කොට ශ්‍රමය නො වගුරා ඉබේ ලැබෙන දේ අකැප සේ ඇදහූහ.

ලංකාවේ ශාස්ත්‍රාල තුළ ද ගම්ලත් ලකුණ නො මැකී පවතින්නකි. ඔවුන්ට සිය වෘත්තීය ජීවිතයේ වැදගත් ම කාර්යය වූයේ සිසුන් පිරිවරා ශාස්ත්‍ර වර්ධනයෙහි නියැලීමයි. ඒ සඳහා රැයක් දවාලක් ඔහුට නො වී ය. කියවමින් ලියමින් සාකච්ඡා කරමින් කලා නිර්මාණ රස විඳිමින් කල් ගෙවන්නට ඇත් නම් ඔහුට අන් සැපතක් නො වීය. ප්‍රශ්න නො අසනා සිසුන් කෙරේ මිස ඔවුන් හා ශාස්ත්‍රීය ලෙස ගැටෙනා කිසිවෙක් ඔවුන් අමිත්‍ර සේ නො සැළකුයේ ය. නිසි පරිචය ලත් සිය සිසුන් අගය කළේ යග ඉගැන්වීම වෙනුවට හැදෑරීමට පෙළඹුයේ ය. කවර ප්‍රශ්නයකට වුව උඩින් පල්ලෙන් පිළිතුරු නො දුණි. විචාරයේ දී ඔවුන්ට පැවතියේ එකම එක පක්ෂපාතීත්වයක් පමණි. ඒ සිය සමාජ පන්තිය කෙරේ වූ පක්පාතීත්වය යි. මේ මගේ මිතුරුය, මේ නෑයාය, මේ සිසුවාය යනාදී බැඳීම් සාහිත්‍ය කලා විචාරයේ දී බැමි ලෙස නො සැළකී ය. ඔවුන්ගේ චරිත ලක්ෂණ ඉතා ලගන්නා විය. ඔහු පෙන්වූ ඍජු බව හා විදුලි කොටන වාග් විලාශය ආකර්ශනීය විය. ඉතා පිරිසිදුව සරල ව හා චාම් ව හැඳ පැලඳීමට පුරුදුව සිටි හේ බොහෝ විට වෙලාවට වැඩ කිරීමට පුරුදුව සිටියේ ය. ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ව සිටි අවධියේ සතියට දින තුනක් හෝ හතරක් දෙපාර්තමේන්තුවේ ගත කළේ ය. බොහෝ විට විවිධ ශාස්ත්‍රීය කතාබස් එවක අධ්‍යනාංශය දෙසින් අසන්නට ලැබිණ. ගම්ලතුන් දෙපාර්තමේන්තුවේ සිටිත් නම් නිතර කොක් හඬලා සිනා සෙන හඬ දුරට ඇසේ. උපැස් යුවල යුග්මයක් භාවිත කළ හේ අව්වේ යද් දී මදක් අඳුරු පැහැ උපැස් යුවල පළඳින්නට පුරුදු ව සිටියේ ය. දිලිසෙන චවි වර්ණයෙන් ශෝභිත වූ හේ අඳුරු උපැස් පැළඳ යන විට සුද්දෙක් බඳු යැයි තරුණියෝ ඔහුට ඔච්චම් කළෝ ය.






ගම්ලත් සමුගත් දා- ෂෙහාන් ගුණසේකරගේ කැමරා ඇසින්

පෙර අපර දෙ දිග දර්ශනවාද පිළිබඳ ඔවුන්ට පතළ දැණුමක් විය. නන් නය දැණුමෙන් පිරී පැවතිය ද න්‍යාය කඨෝර ලෙස භාවිත කිරීම ඔවුන් අනුදත් මඟ නොවේ. වරක් ඔහු මට දුන් අවවාදයක් මෙහි දී මතකයට නැගේ. ඒ අවවාදයට පදනම් වූ අත් දැකීම කෙටියෙන් මෙසේ ය. රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී පාඨමාලාව හදාරද් දී අපට සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" නාටකය ද හැදෑරීමට නිර්දේශිත කෘතියක් විය. එය අපට උගන්වන ලද්දේ බණ්ඩාර හේරත් නම් ආධුනික කථීකාචාර්ය වරයෙකි.(ඔහු දැන් ඇමරිකාවේ පෙන්සිල්වේනියා සරසවියේ මහාචාර්යවරයෙකි.) මා එවක ගම්ලත්ගේ විචාර න්‍යායන් මහත් ඕනෑකමින් කියවමින් එම ඥාන ධාරාව විෂයෙහී ආසක්ත ව පැවති අවධියක් විය. ඒ චින්තනමය ආලෝලනයෙන් යුතු ව මා සිංහබාහු නාටක ආඛ්‍යානය විචාරයට ලක් කොට දීර්ඝ ලිපියක් ලිවී ය. සිංහබාහු කතාවේ නිරූපිත ස්ත්‍රීන් එම කතාවේ සිටින පුරුෂයන් ගන්නා තීන්දු තීරණ නිසා නැතක් කරදරයටත් විස්සෝපයටත් විප්පයෝගයන්ටත් මැසිවිල්ලටත් පත් වන අයුරු විදාරණය කරන ලදි. මෙය පුරුෂ මූලික සමාජ ක්‍රමයක ස්ත්‍රියගේ ඛේදවාචකය පෙන්වන කෘතියකැයි මා විසින් සාධනය කරන ලදි. පිටු 20කින් පමණ යුතු සනිදර්ශනාත්මක විචාරයක් වූ මගේ ලිපිය ගම්ලතුන් විසින් ගැඹුරු අවධානයට ගන්නා ලදි. ජයන්ත අමරසිංහ, දර්ශන ලියනගේ, බණ්ඩාර හේරත් යන කථීකාචාර්යවරු ද අපගේ පන්තියේ සිටි සියලු සිසුන් ද ඉදිරියේ ලිපිය කියවීය. සැවොම ඊට දක්වන ප්‍රතිචාර ඔවුන්ගේ අවධානයට ගැනිණ. මා ඉතා තදින් මගේ ස්ථාවරයේ රැඳෙමින් මගේ මතය සනාථ කිරීමට කරුණු පෙළ ගස්වන ලදි. ගම්ලත්හූ මගේ ශාස්ත්‍රීය ශ්‍රමය හා න්‍යායික අවබෝධය සපුරා ම අගය කළේය. ඔහු එදා එම ලිපිය අරඹයා මට දුන් අවවාදය කවර න්‍යායක් භාවිත කොට කලා විචාරයේ යෙදෙන්නෙකුට වුව අතිශය වැදගත් වූවකි. ඒ මෙසෙ ය, "සමන්ට සිංහබාහු විචාරය කරන්න ඕන හැම සුදුසුකමක් ම තියෙනව එකක් හැර. ඒ තමයි ජීවන පරිචය. ඒකනැතුව මොන තරම් දැණුම තිබුණත් විචාරය සම්පූර්ණ වෙන්නෑ. කවද හරි විවාහ වෙලා දරුවො දෙතුන් දෙනෙක් ලබල ඒ අයගෙ විවිධ ප්‍රශ්න එක්ක පොර බදල අත්දැකීම් ලබපු කාලෙක ඔයා සිංහබාහු විචාරයට ලක් කරන්න. ඒදාට ඔයා මේ විචාරය කරන එකක් නෑ..." යනුවෙන් ඔවුන් පැවසීය. කොතරම් නිවැරදි වුව කොතරම් සහේතුක වුව කෙතෙක් සාධනීය වුව න්‍යාය ජීවන පරිචය විසින් හික්මවිය යුතු බව ඔහුගේ අධ්‍යාශය විය.

මහාචාර්ය ගම්ලත් තරම් උපහාසයේත් සියුම් අපහාසයේත් පොහෝනා විදුලිසැරැති දිවක් තිබූ අන් මහැදුරෙක් මා අසා නැත. "කොලෝනියල් කසින්" නමැති හරිහරන් ප්‍රමුඛ ඉන්දියානු සංගීත ශිල්පීන් ලංකාවට පැමිණ පැවැත් වූ සංගීත ප්‍රසංගය ගම්ලත්ගේ විවේචනයට ලක් විය. එම විචාරය එක් සති අන්ත පුවත් පතක පළ වී තිබුණි. අප පන්තියේ සිසුන්ගෙන් එම ලිපිය කියවී දැයි ගම්ලතුන් විමසීය. අප එය කියවනු තබා එවැන්නක් දැන සිටියේ ද නැත. ඔහු සියල්ල නවතා කතාවක් කියන්නට මුල පිරුවේ ය. "මම පෙරේද මැනිං මාකට් එක පැත්තෙ ගියා... අර පාර දිගට මනිබඩු විකුණන කොල්ලො මගෙ එක්ක හරි යාළුයි. උන් මගේ ලිපියක් පළ වුණාම කියවනව, නාට්ටාමිලගෙන් හරි ඉල්ලගෙන. එතන සීඩී විකුණන කොල්ලෙක් කියනව "ඇත්තමයි සර්.... කොලෝනියල් කසින්ල ගැන සර් ලියපුව හරියට හරි මමත් ෂෝ එක බැලුව. ටිකට් එකත් බර ගානක් කිසි වැඩක් නෑ සර්." කියල. බලණ්න ඒ කොල්ලට උපාධි නෑ. උපාධිවලට ඉගෙන ගන්නෙත් නෑ. ඒ වුණාට නියම රසිකයෙක් නෙ ඒ කොලුව" යි පැවසූ ගම්ලතුන් සිනා සුනේ ය. ඔවුන් අප වෙත එල්ල කළ උපහාසය සුළු පටු නො වීය. අප සියලු දෙනා නාට්ටාමිලාට ද පහතින් තැබුවේ අපට ද නො දැනෙන පරිදි ය. තවත් වරෙක ශිෂ්‍යාවන් පිරිසක් කවි තොගයක් ලියාගෙන විත් ගම්ලතුනගේ අතට දී විචාරයක් කරන ලෙස ඉල්ලා තිබුණි. ඔහු එය එතරම් ගණනකට ගත්තේ නැත. මේවා කියවා මෙහි කවි යැයි කිව හැකි එකක් හො ඇත්නම් පෙන්වන්නැයි මා අතට ද ඒවා දුනි. එහි කවි යැයි කිව හැකි නිර්මාණ කිසිවක් මට ද නො ලැබිණ. එහි සිටි ජයන්ත අමරසිංහ, අසේල නානායක්කාර, දර්ශන ලියනගේ යන අයට මතු නොව දෙපාර්තමේන්තුවේ තැපැල්කරු වූ ධර්මදාසට ද දී මේවායෙහි කවි ඇත්නම් කියන්නැයි ඉල්ලී ය. ඒවා කව් සැකිළි මිස කවි නො වන බව පෙනී ගියේ ය. පසුව අවස්ථාවක අර කවි ගෙනත් දුන් තරුණියන් පැමිණ ගම්ලතුන් හමු වී කවි පිළිබඳ විමසී ය. කවි ගැන කතා නොකොට ගම්ලතුන් වෙනත් කතාවකට මුල පිරීය."අපේ ගෙදර තාප්පෙ පදාසයක් ම කඩාගෙන බිම වැටුන එක සැරයක් ලොරියක් තාප්පෙ හැප්පිල. මම අපේ ගෙදර මේසන් වැඩ කරන බාස්ට පණිවිඩයක් ඇරිය ඇවිත් මේක හදා දෙන්න කියල, මිනිහ ආවෙ නෑ හොඳට ම අසනීප වෙලා ඉඳල තියෙන්නේ. ගෙදර කට්ටිය කොහෙන් ද බාස් කෙනෙක් ගෙනැල්ල කොහොම හරි මේ බැම්ම බැඳල තිබුණ. ටික දවසකින් අපේ බාසුන්නැහැ සනීප වෙලා අපේ ගෙදර ආව. මම පෙන්නුව බැඳල තිබුණ බැම්ම. හරියට නයා ගිය පාර වගේ කෙලින්. පළපුරුද්දක් නැති බාස් කෙනෙක්ගෙ බැම්මක්. අපේ බාස් මේ බැම්ම බලල කිව්ව..... මේවත් ඉතින් බැමි තමයි කියල. මම ඇහුව ඇයි කියල, මේක පුරුදුවෙන්න බැඳලද කොහෙද මම අතින් තල්ලු කරල මේක පෙරළල පෙන්නන්නන් කිව්ව. මට ඔයගොල්ලන්ගෙ කවි කියවල කියන්න තියෙන්නෙත් ඒක ම තමයි.... මේවත් ඉතිං කවි තමයි..." පවසා ගම්ලත්හූ ඒ තරුණියන් හා ඉතා සුහද ව සිනා සුනහ. ඉතා ගැඹුරු න්‍යායික කරුණු රැසක් හේ මෙලෙස සරළ කොට පැවසූ සැටි කෙතෙක් නම් අගී ද? ඒ තරුණියන්ගේ නම් සිත් රිදෙන්නට ඇත.

මහැදුරු ගම්ලතුන් අප අතරින් ඉකුත් ව ගොස් ඇති මේ මොහොතේ ඔවුන් තුළ වූ තවත් උසස් ම ගුණයක් මතු කොට දැක්විය යුතු ය. ඒ කිසි දින මුදල් ඉපයීම සඳහා සිය තනතුරු හා වගකීම් භාවිත නො කිරීමයි. අද දවසේ කථීකාචාර්යවරු බඳවා ගනිද් දී ලක්ෂ ගණනින් පගා ගනිතැයි මැසිවිලි හැමතින් ඇසේ. ගම්ලතුන්ගේ පාදස්පර්ෂයෙන් ම ගෞරවනීය වු ශාස්ත්‍රලයකට බෞද්ධ භික්ෂුන් දෙබානක් පගාව දී කථීකාචාර්ය වරු ලෙස පත් වූ පුවතක් පසුගිය කාලයේ අසන්නට ලැබිණ. එහෙත් ගම්ලතුන් නම් කිසිවිට සිය බලය එවැනි නොපනත් කම් සඳහා භාවිත කළේ නැත. ඔහු වරක් තමන් ලද අත්දැකීමක් අප සමග පැවසීය. ඒ ඔහු පරිපාලන සේවා විභාගයේ පශ්නපත්‍ර සැකසීමේ වගකීම ඉසිළු අවධියයි. දිනක් ඔහුගේ කාමරයට පැමිණි මුස්ලිම් මුදලාලි කෙනෙක් සිය දියනිය පරිපාලන සේවා විභාගයට පෙනී සිටින බවත් ඇය සමත් කර ගැනීමට උදව් කරන ලෙසත් දන්වා ඇත. ඇයට හොඳින් සූදානම් වී විභාගයට පෙනී සිටින්නට උපදෙස් දෙන්නැයි ගම්ලතුන් පවසා ඇත. අනතුරුව ලියුම් කවරයක් මේසය මත දමා මේ මුසල්මානුවා පිටවන්නට හැදූ විට "ඔයාගෙ ලියුම් කවරයක් මෙන්න මගෙ මේසෙ උඩ දාල යන්නෙ" යි ගම්ලතුන් පවසා තිබේ. "ආ.....ෂරි ෂරි ඒක මාතියට... මට ප්‍රශ්න ටික විතරක් එවන්ඩකෝ..." යි කියා මුදලාලියා පිට වන්නට හදා ඇත. කෝපයට පත් ගම්ලතුන් ඔහුගේ ලියුම්කවරයෙන් ම ඔහුට දමා ගසා ඔහුට තර්ජනය කොට බැන පන්නාගෙන ඇත. එම ලියුම් කවරයේ ලක්ෂ 2ක චෙක් පතක් දමා තිබූ බව ඔහු පවසයි. සිය වගකීම් මුදල් සෙවීමේ ජාවාරම් බවට පත් කරගැනීම ඔහු තරයේ හෙළා දුටහ. තවත් කලෙක විශ්වවිද්‍යාල ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයෙකු ව සිටි මුත් සතයක හෝ මූල්‍ය වාසියක් ගම්ලත් ඉන් නො ලැබූ බව එම අවධිය දතුවෝ පවසති. එම මණ්ඩලයේ ම සිටි අන්‍ය සාමාජිකයෙක් ඒ අවධියේ කොළඹ තෙ මහල් නිවසක් ඉදි කරන්නට තරම් පොහොසත් වී ඇත. සිය තනතුරුවලින් කිසිදා මුදල් නො ඉපයූ ලාභ ප්‍රයෝජන නො ලැබූ උත්තම ගණයේ ප්‍රතිපත්ති ගරුක මහාචාර්යවරයෙකු ලෙස ඔහු සැළකිය හැකි ය.

මහැදුරු ගම්ලතුන් නිරතුරු සංවාද සාකච්ඡා ආදියෙහි නියැලෙමින් සිසුන්ගේ ශාස්ත්‍රාභිලාෂය වැඩීමත් පර්යේෂණයෙහි යොමු කිරීමත් නැණ නුවණ වර්ධනයට දායක වීමත් සිදු කළේ ය. 1996 වර්ෂයේ මා ඔහු හඳුනාගත් මුල් කාලයේ බොහෝ ශාස්ත්‍රීය සම්භාෂණ ඔහුගේ සහභාගීත්වයෙන් පැවැත් විණ. ඒ අවධියේ ජනක වීරසිංහ නමැති අපට වසර 3කින් ජ්‍යෙෂ්ඨ සිසුවා සමඟ මහාචාර්ය ගම්ලතුන් මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈඳුතු නවකතා පිළිබඳ මාක්ස්වාදී අධ්‍යයනයක් කොට ඒ ආශ්‍රිත දේශන මාලාවක් සති පතා පවත්වමින් සිටියේ ය. මා ද ඒ දේශන සඳහා කැටුව යන්නට නව පරපුරේ ප්‍රචලිත කවියෙකු වූ සරත් කොඩිකාර අමතක කළේ නැත. සරත් කොඩිකාර, ජනක වීරසිංහගේ සමකාලීනයෙක් විය. ගම්ලතුන්ට මා හඳුන්වා දෙනු ලැබූයේ සරත් කොඩිකාර විසිනි. මම තුන්ඈදුතු නවකතා පිළිබඳ සම්පූර්ණ දේශනය පටිගත කරගන්නා ලදි. මේ දේශනමාලාවට සිංහල හදාරණ පිරිස් පමණක් නොව අන්‍ය විෂයන් හදාරණ පිරිස් ද පැමිණියහ. අධ්‍යයනාංශ රැස්වීම් ශාලාව හැම දා ම අතුරු සිදුරු නැති ව පිරී ගියේ ය. මේ අවධියේ දී බී.බී.සී. ලෝක සේවයේ සන්දේශය වැඩසටහනෙන් ප්‍රචාරය වූ "ගී මිණි ආර" සඳහා විචාරය ලියුවේ අප සියලු දෙනා සමඟ අදාල ගීතය රස විඳ පුළුල් සාකච්ඡාවක් කිරීමෙන් අනතුරුව ය. බොහෝ විට විචාරය ලියා නිමවීමෙන් පසු ඒ පිළිබඳ සිසුන් සමඟ කතා කිරීම ඔවුන්ගේ සිරිතක් විය. මහ දිවුල් වැවගේ "දණ්ඩේ ලූ ගිණි" ආරියරත්න ඇතුගලගේ "තුන් බිය" යන ටෙලි නළු මෙලෙස සාමූහික ව නරඹා විචාරයට ලක් කළේ යග "බැන්ඩිට් ක්වීන්" මීරා නායර්ගේ "කාම සූත්‍ර" යන චිත්‍රපට ද එලෙස සාමූහික ව රස විඳ විචාරයට ලක් කළ ඒවා වේ. මේ කාලයේ දී ම ඩයනා කුමරියගේ හදිසි අභාවය සිදු විය. ඒ පිළිබඳ කථීකා කිරීමට වෙන ම සාකච්ඡාවක් එල්.ටී. 3 දේශන ශාලාවට කැඳවන ලදි. ආචාර්යවරු මෙන් ම ගුරුවරු ද ශාලාවේ පිරී සිටියේ ය. ස්පෙන්සර් පවුලේ ආර්ථීක ශක්තිය බෝම්බ නිෂ්පාදනය කොට තුන්වෙනි ලෝකයට විකුනා එයින් උපයා ගත් ධනයෙන් යුක්ත බව ගම්ලත්හූ හෙළි කළේ ය. ඩෝඩි අල් ෆයේඩ් නම් හැරඩ්ස් කමිස නිෂ්පාදන සමාගමේ පැටිකිරිය ද දිගහරින ලදි. ඩයනා සමඟ මිය ගිය ඇගේ පෙම්වතා ඩෝඩි විය. ඩයනාගේ මරණය කුමන්ත්‍රණයක් විය යුතු බව කල් තබා ම හේ පෙර දකින ලදි. එම මරණයේ අපට ශෝක වීමට තරම් දෙයක් නැති බවත් මේ මාධ්‍ය ප්‍රතිරූපවල එල්බ නො ගන්නා ලෙසත් තරයේ අවධාරණය කරන ලදි.

මහාචාර්යවරයෙකු ලෙස ඔවුන්ගේ ඉගැන්වීම් ශෛලිය පිළිබඳ ව ද යමක් කිව යුතු ය. ඔහු කිසිදා සටහන් කියවූයේ නැත. නිර්දිෂ්ට ග්‍රන්ථය පන්තියේ කියෙව්වේ ද නැත. කෘතියේ හාත්පස සියලු කරුණු අප හා සාකච්ඡා කළේ ය. අපට අභිඥාන ශාකුන්තලය ඉගැන්වීමට භාරගෙන තිබුණේ ගම්ලතුන් ය. එහි 4 වැනි අංකය වසර පුරා ම සාකච්ඡා කරන ලදි. හැම වචනයක ම මුල් නිරුක්ති දක්වා යමින් අර්ථ මතු කළ අයුරු ආශ්චර්ය දණවන්නකි. මේ කියවීමේ මාදිලිය නිසා අප නිරායාසයෙන් ම සාකුන්තලය පිළිබඳ ගැඹුරු හැදෑරීමකට යොමු විය. ශාස්ත්‍ර කරණය විෂයෙහි ඔහු පුණ පුණා යළි යළිත් දුන් අවවාදය නම් "හිස ගිණි ගත්තෙකු එගිණි නිවන ලෙස නොතිත් ඇල්මෙන් කියවන ලෙස"යි. ගම්ලතුන් සිය රූපකාය හැරදා ගිය ද ඔවුන්ගේ ගුණස්ථවය සිංහල භාෂාව සජීවී භාෂාවක් ව පවතිනා තාක්කල් ම පවතිණු ඇත. මා ඔහුට නිවන් නො පතමි. මන්ද හේ භෞතිකවාදියෙකු ලෙස නිවන් නො පැතූ බැවිණි. ඔවුන්ට නිවන් හැර මහත් පැතුම් කන්දරාවක් විය. ඒ සාහිත්‍ය කලා හා සාස්ත්‍රෝන්නතිය විෂයෙහි ය. ඔවුන් ආදර්ශයට ගෙන මහපාරට වැටී සිට වුව ශාස්ත්‍රාභිමුඛ වීමත් නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටීමත් ඔවුන් පෑ මග ගැනීමත් හැර වෙන නිවණක් උන්ට කොහි වේ ද? නිර්ධන පන්තිය වෙනුවෙන් දිවි හිම් තෙක් පෙනී සිටි සුචරිත ගම්ලත් නම් පන්ති සඟයාණනි ඔබට අපගේ උත්තමාචාරය යි මේ....

සමන් එම්. කාරියකරවන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



භූමිය සහ ජීවිතය අතර සම්බන්ධය වනාහී මිනිසා සහ හුස්ම මෙනි. ඒවා එකිනෙක ගලවා වෙන වෙන ම පැවැත්මකට හසු කළ හැකි නොවේ. මෙහිදී භූමිය යන්න හුදු ප්‍රාදේශික කලාපයක් විය හැකිය. නමුත් එහි රෝපිත ප්‍රජාව කිසියම් අයුරකින් මුලිනුපුටා පිටමං කරන්නේ නම්..., ඔවුනට වෙනත් භූමි කලාපයක ප්‍රතිශ්ටාපනය වන්නට ඇවැසි සාධක සැපිරී තිබිය යුතුය. කෙසේ වෙතත් භූමියක් හා කිසියම් ප්‍රජාවක් බැඳුනු දිගුකාලීන හුය නොසිඳී තිබෙන තාක් එය කෙතරම් සංකීර්ණ ජීවන සංසිද්ධියක්දැයි යන්න පවතිනු ඇත්තේ අදිසිවය. වෙසෙසින්ම ශ්‍රී ලාංකික පාඨකයාගේ අවධානයට පාත්‍ර විය යුතු, ඇමෙරිකානු ලේඛක ජෝන් ස්ටෙයින්බෙක්ගේ The Grapes of Wrath නව කතාව පෙළ ගැසෙන්නේ එවන් සංදර්භයක් පිළිබඳ සංවේදී වෘතාන්තයක් ලෙසය. 'වෛරයේ මිදි ඵල' නමින් ශ්‍යාමන් හේමකොඩි අතින් එය සිංහලට පරිවර්තනය වී තිබේ.

මිදි ඵල සහ අපි

යුද්ධයෙන් (ලාංකිකයා ට අනුව මානුෂික මෙහෙයුමින්) පසු ගම් බිම් අහිමි වූ ජනයා, තම ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට ඉවහල් වන අවම පහසුකම් යටතේ හෝ මේ වන විට නැවත පදිංචි කොට අවසන් ද? ඊට ඇති පිළිතුර සුබදායී නොවන බැව් අපි දනිමු. 'වෛරයේ මිදි ඵල' මේ ගැටළුව හා සමගාමී ලෙස සහසම්බන්ධ කම්පනයකින් යුතුය. එහෙත් පරිවර්තක ශ්‍යාමන් තම පෙරවදනින් පවසන්නේ නවකතාව තුළ එන සමාජ ඛේදවාචකය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කිරීමේ මෙහෙයුම වෙනුවෙන් ලාංකීය ජනගහනයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වුවත්, ඔවුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත්කිරීමෙහි ලා, නවකතාවේ දැක්වෙන අවාසනාවන්ත ආකාරයට වඩා සංකීර්ණ, ආරක්ෂක, ජාත්‍යන්තර දේශපාලන සහ සම්පත් පිළිබඳ දුෂ්කරතා මධ්‍යයෙහි ශ්‍රී ලංකා රජය සහ සමාජය තුළ පැවැති මානුෂීය කැපවීම විශිෂ්ට බවයි. අමු කෙප්පයක් වුවත් එය අමතක කර 'වෛරයේ මිදි ඵල' පරිවර්තනය උදෙසා ගෙන ඇති වෙහෙස වෙනුවෙන් පාඨක අප හෘදයාංගමව ශ්‍යාමන්ට තුති පුද කළ යුතුය. මන්ද පිටු අටසිය දහතුනක් පුරා සිංහල බසින් එහි තේමාත්මක ගැඹුර අප වෙත සමීප වන්නේ ශ්‍යාමන් වගුරුවන ලද ශ්‍රමයේ ප්‍රථීඵලයක් වශයෙනි. මේ ප්‍රශස්ථ හා විශාල නවකතාව විසිවැනි සියවසේ ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතරින් එකක් යැයි පැවසෙන්නකි. 1939 වසරේ පුලිස්ටර් ත්‍යාගයෙන් පිදුම් ලැබූ එය 1962 දී ජෝන් ස්ටෙයින්බෙක් හට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීට ද බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස ද සැලකේ.



නොනිමි ගමන

'වෛරයේ මිදි ඵල' අමෙරිකාවේ ඔක්ලහෝමාවේ ජන්ම භූමි තුළින් පළවා හරින ලක්ෂ සංඛ්‍යාත අඳ ගොවීන් පිළිබඳ අන්දරයයි. යාන්ත්‍රිකරණයෙන් සක්‍රිය කරනු ලබන මහා පරිමානීය කපු වගාව උදෙසා ඔවුන්ගේ භූමි අත්පත් කර ගනු ලැබෙත්. වාසස්ථාන බුල්ඩෝසර මගින් බිමට සමතලා කරත්. උන් හිටි තැන් හා ජීවන මාර්ගය අහිමිවනු ලබන මොවුන්ගේ විකල්පය වන්නේ කැලිෆෝනියාවේ ගොවිබිම් වෙත සංක්‍රමණය වී එහි කුලී කම්කරු රැකියාවක් ලබා නිවසක් මිලයට ගෙන යළිත් කුටුම්භ ජීවිතය ඇරඹීමේ සිහිනයයි. ඔක්ලහෝමාවේ සිට කැලිෆෝනියාවට සංක්‍රමණය වීම වූකලී සැතපුම් දෙදහසක් පමණ තරණය කළ යුතු දුෂ්කර ගමනාන්තයකි. පවුල් පිටින් මේ දුෂ්කර වේදනාබර චාරිකාවේ නිමග්න වීම ම ඉක්බිති ඔවුන්ගේ ජීවිතය බවට පත්වේ. ඒ අතර පවුල් ඒකක විසිරී යයි. ඇතැමුන් මහමග ම මිය යති. මේ ගමන තුළ වන අවාසනාවන්ත ගතික ස්වභාවය විසින් ඔවුන්ගේ ජීවිත පෙරළියට ලක්වෙත්. මිනිසුන් ලෙස මෙතෙක් දැරූ අභිමානය ද වියැකී යයි. මේ සුවිශේෂී හේතුකාරකය කෘෂිකර්මය ආශ්‍රිතව දිවිගෙවූ ඔක්ලහෝමානුවන් භූමියෙන් ගලවා විසි කිරීම මත පෙළ ගැසේ. එය කෘෂිකර්මය ට තැන දීමෙන් පමණක් රටත් මිනිසාත් දියුණු වෙතැයි ඇදහූ 'පොල්පොට් න්‍යාය' හෝ 'අපි වවමු - රට නගමු' වැනි ව්‍යාජ පාඨ ලියූ සහ ලියන අඳබාලයින්ගේ අතීතකාමයට සමරූපී නොවන ගැඹුරු සබැඳියාවකි. පොළොව සහ මිනිසා අතර හටගන්නා අන්‍යයොන්‍ය අපූරු, දහදියෙන් දයාර්ද්‍රව එකට මුහුවන සංසිද්ධියකි. පැවැත්ම පිණිස බවභෝග රෝපණය හා සත්ත්ව පාලනයත්, ලාලසාවේ ප්‍රමෝදයෙන් දෙදෙනෙකු හා වන පළමු ලිංගික වැතිරීමත් කරණකොට ගෙන අපූර්ව මතක සමුදායක අයිතිය ලබා දෙන්නාවූ යහනාව වන්නේ ත් පොළොවයි. විදුලි කෙටීමක් මෙන් ක්ෂණිකව එවන් භූමියෙන් කෙනෙකු උදුරා දමන විට නැගෙනු ඇත්තේ ලේ ගලන වේදනාවකි. එහෙත් ඔක්ලහෝමා වැසියන්ට ඒ වේදනාව භාර ගැනීමට සිදුවේ.

භූමිය හා සබැඳි සියල්ලෙන් අසීරුවෙන් සමුගන්නා, කැලිෆෝනියාවට ගොස් යම් කුලී මෙහෙයක නියැලී ගෙයක් දොරක් මිලදී ගෙන නව පොළොවක හා නව දිවියක උරුමයට සැරැසෙන මේ මිනිස්කැළ, නව ප්‍රාග්ධන ව්‍යාපෘතියක නින්දා සහගත ගොදුරක් බවට පත්වන්නේ කෙසේද....? සංක්‍රමණිකයන් බවට පත්කෙරුණ ඔවුන් ලාබ ශ්‍රම ආකරයක් වන්නේය. මිනිසුන් සියදෙනෙකුගේ ශ්‍රමය ඇවැසි තැනට මිනිසුන් ලක්ෂයකගේ ශ්‍රමය.... ආහාර වේලක් වෙනුවෙන් පමණක් දැඩි කායික ශ්‍රමයක් වගුරන අවාසනාවන්තයින් බවට ඔව්හු තම උවමනාවෙන් තොරවම රූපාන්තරණයට ලක්වේ.

ඔක්ලහෝමාවේ සිට කැලිෆෝනියාව බලා ඇදෙන මිනිස් මහෝඝයේ අංශුවක් බවට පත්වන 'ජෝඩ්' පවුල වෛරයේ මිදි ඵල සාක්ෂාත් කරයි... කලින් මිනීමැරුමකට නිවැරැද්දේ පැටලී සිර දඬුවමින් ලිහිල් භාවයක් ලද 'ටොම් ජෝඩ්' නම් කිසියම් වගකීමකින් ජීවිතය දෙස බැලූ තරුණයා මෙතැනදී දෙවැනි වරට සබෑ ලෙසම මිනීමරුවකු වන්නේ පෙරුම්පුරා නොවේ. ඔහුගේ සහෝදරයා අස්ථාන ගත වන්නේ, නැතිනම් ගමන අතර මග වෙනතක් බලා සමුගන්නේ ඔහුගේ කැමැත්ත එය වූ නිසා නොවේ. පවුලේ මහළු සීයා සහ ආච්චි ඔරොත්තු නොදෙන මේ දිගු ගමන තුළ මහ මග මියයන්නා සේම අනිවාර්යය වන්නක් බැවිණි.

ඔවුන් සමග ගමන් ගන්නා, නම් නොකළ, 'අම්මා' ගේ භූමිකාව 'පාවෙල්' ගේ මව මෙන් අතිශෝක්තිගත ප්‍රබන්ධ ස්වභාවයක් ගන්නේ නැත. එසේම මේ පෞද්ගලික ජීවිතය අඳුරට යද්දී, තම දරුවන් මියයද්දී රටක අනාගතය වෙනුවෙන් සැනසෙන 'වීරමාතා' නම් ව්‍යාජාලේපය ගල්වා රටක හෙජමොනියට අවශ්‍ය ලෙස සම්පාදනය කරනුලබන මවකගේ ආදර්ශ භූමිකාවක් ද නොවේ. ඈ 'අම්මා නැමැති පර්සෝනාව' මනා ලෙස හැඩගන්වන්නී, මහ මග බිඳී විසිරී යන සිය පවුල ආදරයෙන් එක මිටකට ගෙන රැකගන්නට වෙහෙසෙන ලෙයින්, මසින් සුසැදි ස්ත්‍රී ආත්මයක් ලෙසිනි. ඈ ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදුවන යම් සමාජ ස්ථරයක මාතෘත්වය මෙබඳු විය යුතුයැයි පවසන කේතයක් බඳු වුවත්, කිසිසේත් ආයාසකර කතුවර අභිමතය මත උපන් හුදු ගැහැණියක ලෙස නොපෙනේ. නිරුත්සාහයිකවම ඇයගෙන් ඉටු වන වගකීම වනාහී මිනිසා ශිෂ්ඨාචාර ගත වීමේදී ගැහැණියට වෙන්වූ කාර්යභාරයයි. පිරිමියා මනස හා සිරුර දඩයමින් ආහාර සම්පාදනය කරා යොමුවන විට ගුහාව තුළ සිට දුවා දරු රැකවරණයේ නියැලුණ අතීත ස්ත්‍රිය ගේ පටන් වර්තමාන සංකිර්ණ සමාජයේ පවුලක මව දක්වා ඇය කැටපත්වන්නීය. කිසිවිටෙකත් අභියෝග හමුවේ පලායන්නියක හෝ දෙස් දෙවොල් තබන්නියක නොවේ. පැවැත්ම උදෙසා වූ සියළු සාධකයන් සිඳී යද්දී දරුවන්ද සැමියාද අධෛර්ය නොකරන්නියකි.

ගමේ පාදිලි වු 'කේසි' නම් චරිතය ගත හොත්, ඔහු කතාවට ප්‍රදානය කරන්නේ සහේතුක මානයකි. සියළු ගම්වැසියන්ගේ ජීව පැවැත්ම දියවි යද්දී, මිනිසුන්ගෙන් තව දුරටත් යැපෙමින් දේශනාවේ නියැලීමේ මාර්ගයෙන් ඉවත්ව ප්‍රායෝගිකව මිනිසුන් හා එක්විම වර්තමානයේ ශ්‍රී ලාංකේය සංඝ සමාජය හා සසඳා බලන්නේ නම් 'කේසි' වැනි උදාහරණයෝ හමුවනු නැත. එහෙත් ඔහු ආගමික දේශනාව අත්හැර තිබියදී පවා මිනිසුන් ඔහුගෙන් 'ඔරසමක්' බලාපොරොත්තු වන්නේ ඇයි? ඔහු පූජකවරය එසේ ඉවත ලා ඇතැයි කියද්දී පවා මිනිසුන් දුෂ්කර අවස්ථාවන්හිදී එය ඉල්ලා පෙරැත්ත කරන විට ඔහු යම් ප්‍රමාණයකින් නම්‍යශීලී වීමෙන් පුරවනු ලබන්නේ අන් කිසිවක් නොව මිනිසා ගැලවීම උදෙසා ගැලී සිටින ව්‍යාජයක ඇබ්බැහියේ අවශ්‍යතාවයයි. කේසි මෙසේ කරනුයේ ව්‍යසනයේ මූලය නැසීමේ හැකියාව දෙවියන්ට නැතැයි සබුද්ධිකව නමුදු ඒ මෙහොතේ කිසියම් සමහන්කරණයක් වශයෙනි. එම පසුබිමෙහි මිනිසුන් පීඩිත බවේ පතුලේම ගිලී සිටින විට කිසියම් සහනශීලී විසඳුමක් බිහිකරගැනීම උදෙසා ඔහු කොමියුනිස්ට් ව්‍යාපාරය හා එක්ව අරගල කිරීමට සූදානම් වීම හා ඒ හේතුව මතම ඝාතනය වීමෙන් කෘතිය තුළ සාක්ෂාත් කරන අරුත සරල වූවක් නොවේ.




(නවකතාව පාදක කරගනිමින් John Ford තැනූ The Grapes of Wrath (1940) චිත්‍රපටයෙන්.)

උදා නොවන එදා දිවිය

සංක්‍රමණිකයන්ගේ තැනට පත්වීමට පෙර ඔක්ලහෝමා වැසියන්ට කිසියම් අභිමානනීය ජීවිතයක් තිබිණි. උපන් ගම්බිම් හා ගේ දොර හැරයාමට සිදුවූ අවස්ථාවේ පවා ඔව්හු තමා පිළිබඳ එකී අභිමානයෙන් නොමිදෙති. එහෙත් විකල්පයක් සොයාවන ගමන නිම කිරීමට පෙරාතුව ඔව්හු නින්දිත, අපිරිසිදු, නාවර පෙරා ගත් 'ඔකියෝ' ලෙස හැඳින්වෙන පහළ ජන කොටසක් බවට කතාව තුළ පත්වෙති. එසේ වන්නේ ඇයි...? ඒ වන විට දුක්ඛිත බවේ පත්ලටම වැටී සිටින ඔවුන්ගෙන් යැපිමේ ව්‍යාපාර පවා බිහිවී ඇත. තාවකාලික ලැගුම්පොළවල් හා ආහාරවේලකට ලඝුකොට ශ්‍රමය සූරාකනු ලබන මහා පරිමාණීය ගොවි බිම් උදෙසා 'ඔකියා' සොච්චමක් දී ලබා ගත හැකි ශ්‍රමසම්පතක් වේ. මෙවන් වටාපිටාවක නීතය සංකේතවත් කරන පොලීසිය කොයි කවර කලෙකත් පීඩිතයන් උදෙස ක්‍රියාත්මකවන මර්ධන උපකරණයම බව සංකේතකරණය කෙරේ. 'රත්තෝ' නම් අපර නාමයෙන් වර්ගිකරණය කොට, සාධාරණ අයිතිවාසිකම් ඉල්ලන්නෝ මර්ධනය කිරීම එකලත් මේ පොලීසියේ ධාර්මික ක්‍රියාවයි. පීඩිත ජීවිතය තුළ තරුණයා හා තරුණිය මුහුණදෙන විකසිතවීමේ ක්‍රියාවලිය මර්ධනය වන අතර, වර්තමානයේ මෙන්ම ආගමික සර්වාධිකාරයේ ස්වරූපය 'වෛරයේ මිදි ඵල' තුළ ද සංකේතියව ප්‍රකාශවෙයි. නවකතාකරුවා කෘතියෙන් ඉදිරිපත්කර ඇත්තේ එවැනි යථාර්ථයේ පිටපතක් නොවීම මෙතැනදී ගැඹුරින් විචාරකයා සාකච්ඡා කළ යුතු මානයක් බවට පත්වී තිබෙයි. සියල්ල අහිමි තැනදි පවා, පෙර උරුමව තිබූ ජීවන සංහිඳියාව, උපන් ගම්බිම් හි කවදාහෝ යළිත් ජීවත්වීමට ලැබෙතැයි මෙකී මිනිස් කැළ ඇතැම්විට සිතිවිල්ලක නිමග්න වෙති. එය කිසිදා නොඑළඹෙන සමයක් බව දනිතත් පෙර පුරුදු තැන් වල සිතින් සරති. එතැන්හි කළ යුතු කිසියම් දේ ගැන සිතති.

"මං දන්නව, මට ආපහු කවදාවත් එහෙ දකින්ඩ ලැබෙන එකක් නෑ. මං කල්පනා කර කර හිටියෙ දැන් කොයි විදිහට විලෝ ගස්වල කොළ හැලිල ඇතිද කියලයි. සමහර වෙලාවට දං හිත හිතා ඉන්නව අර දකුණු පැත්තෙ වැටේ තිබුණු සිදුර හදන්නෙ කොහොමද කියල..."
(ටොම් ගේ පියා. පිටුව -760)

"පිරිමි ජීවත්නෙක්නෙම කම්පනෙන්. බබෙක් ඉපදෙනව, පිරිමියෙක් මැරෙනව. ඒක කම්පනයක්. ගොවිපොළක් ගන්නවා. ඒක නැති වෙනව. ඒක කම්පනයක්. ගෑනියෙකුට මේ හැම දෙයක්ම එකම ගලා යාමක්. දොළ පාරවල්, පුංචි දිය සුළි, පොඩි පොඩි දිය ඇලිවලින් එකම ගඟක් හැදෙන්න වගේ ඒක ඉස්සරහටම යනව. ගෑනියෙක් ඒක දිහා බලන්නෙ ඒ විදිහට. අපිව මැරෙන්ඩ යන්නෙ නෑ. මිනිස්සු දිගටම ඉස්සරහටම යනව. සමහරවිට ටිකක් වෙනස් වෙයි. ඒත් නොනැවතී ඉස්සරහට යනවා..."
(ටොම් ගේ මව. පිටුව -761)



යථාර්ථය ප්‍රබන්ධය තුළට උරාගෙන, ප්‍රබන්ධය තුළින් අනුවේදනීය මානුෂික අරුතක් ප්‍රතිනිෂ්පාදනය වී ඇතැයි යන්නට හොඳම සාහිත්‍ය නිදසුනක් මේ යැයි යන්නට මේ නවකතාවේ අවසානය දැක්විය හැකිය. විඳි පීඩාව දෙගුණ කළ ස්වභාවික විපත් වලින් පවා ඔව්හු පැවැත්මේ තර්ජනයට මුහුණදී ඇතිවිට, මේ නෙක කරදර පිරිපත හමුවේ ලොව එළිය නොලබා මවුකුස්හිම දරුවන් මිය යද්දී උදාවන එය මෙහි සඳහන් නොකරන්නට හඟිමි. ඒ අන්කිසිවක් නිසා නොව, ඉඟි ලද පාඨක සමූහයා මේ කම්පනය නොඉඳුල්ව විඳිය යුතු බැවිනි.

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails