Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



''යෙර්මා'', 2013 ජූනි 5 වන දින, ප.ව. 3:30, 6:30, ශ්‍රී පාලි අරුන්දතී ශාලාවේදී රඟ දැක්වෙයි.

ඉදිරිපත් කිරීම- ශ්‍රී පාලි තරැණ නාට්‍ය සංගමය
පිටපත- අමාලි බොරලුගොඩ
අධ්‍යක්ෂණය- තරිදු ජයමුතුගේ- සුගන්දිකා සේනානි





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රජ වසුරු වළඳන
මාලුන් සැපට වැඩුණ
තඩි කිඹුලන්ද රජයන
දියවන්නා ඔය
පිටතින් රුවට දිලුණට
හිතන්නට බැරි තරම් ගුප්තය

මහ කඩොල්, කිරළ, පර, මණ්ඩ ද
තුරු සපිරි කඩොලාන අතරින
දිව ගොස් දියට පැන
හිත් පුරා දියඹුන් කෙළින්නට
සිත් වුවත් බොළඳ පුත..!
එපා පිහිනා යන්න දියඹට

හිරුගෙ ගන රැස් වැද
පතුල නොගැඹුරු ලෙසට පෙණුනද
වැලි බිඳි බීඳී පහළට
නුඹව ඇදගෙන යයි නරාවට

මළ කුණු කන්න සැරසුණ
පණුවන් නුඹේ ගත විද
නුඹ අපට අහිමි කළ
උන්ම වනසයි නුඹේ මළ කඳ..!

(-මං මුහුදට බයයි- 2005)

අනිල් නිශාන්ත ලොකුගමරාල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය.

වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා ත‍්‍රිත්වයම බෞද්ධයා තුළ දනවන්නේ ශාන්තියකි, සිසිලසකි. ගින්දර එහි ප‍්‍රතිපක්ෂයයි. සිවුරක් පොරවාගෙන සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයෙක් එම දවසේ සිරුරට ගිනි තියාගත්තේය. එසේ කෙළේ, ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයක් එක විට කෙළසීමයි. මෙය, වීරත්වයක් හෝ පූජණීයත්වයක් වශයෙන් කෙනෙකු සළකන්නේ නම්, ඔහු හෝ ඇය මේ මියගිය පුද්ගලයාට වඩා බිහිසුණු ය. සටකපට ය. අබෞද්ධ ය. මන්ද යත්, ගිනි තබාගෙන මියගිය තැනැත්තාගේ දඩබ්බර මුග්ධත්වයට අමතරව ඔහුව සමරන්නා තුළ භයානක අවස්ථාවාදයක් ද රජයන බැවිනි.

සිංහල-බුද්ධාගමේ මූලික ස්වභාවය වන්නේ, බුදුන්ගේ ධර්මය පරයා, ජාතිය/ගෝත‍්‍රය අධිනිශ්චය වීමයි. එහි දී ජාතිය බැබළවීමට බුද්ධාගමට ගිනි තැබෙයි. ඉන්ද්‍රරතන නැමැති මෙම පුද්ගලයාගේ මළකඳ වටා කපුටු රැලක් සේ රොදබඳින දේශපාලඥයන් දැන් කලක සිට නිරත වන්නේ එම කාර්යයේ ය.


lankadeepa.lk

ආගමේ අනුහසින් දේශපාලන බලය රස විඳීම බුද්ධාගමට පමණක් සීමා වන සත්තාවක් නොවේ. අනිත් ආගම් ද ඉතිහාසයේ හරි අපූරුවට එම භූමිකාවට උරදී තිබේ. එහෙත්, අවිහිංසාව මතම පදනම් වන බුද්ධාගම වැනි ආගමක්, හිංසාව විෂය කරගත් බල ලෝභය සඳහා දෛනික මට්ටමෙන් ඔට්ටුවට තැබෙන විට, එම ආගමේ වාටියවත් අවසානයේ දී ඉතිරි වෙතැ යි සිතිය නොහැක. ගංගොඩවල සෝම හිමියන්ගෙන් මෑත කාලයේ පටන්ගෙන, ජයග‍්‍රාහී යුද්ධයක සම්මාදමෙන් ගොඩනැගුණු නූතන සිංහල-බුද්ධාගම තුළ බුදුන් වහන්සේව ඝාතනය කෙරෙන්නේ, වෙඩි උණ්ඩයක් හෝ බෝම්බයක් වැනි ක්ෂණික හිටිවන අවියකින් නොව, ගිය සතියේ ලන්ඩන් නුවර ප‍්‍රධාන වීදියක දී බි‍්‍රතාන්‍ය ජාතික හමුදා සොල්දාදුවෙකුව මහ දවල් කැති පිහිවලින් කෑලි කෑලි කපා ඝාතනය කළ ආකාරයෙනි. එම ඝාතකයන් දෙදෙනා අතේ පිස්තෝලයක් ද තිබුණි. එහෙත් ඝාතනය සඳහා ඔවුන් පාවිච්චි කෙළේ, එම පහසු අවිය නොව, ප‍්‍රචණ්ඩත්වය උත්කර්ෂවත් කෙරෙන පරිදි උපරිමයෙන් ලේ වෑහෙන උල් ආයුධයි. බුදුන් වහන්සේගේ ධර්මය අද ලංකාවේ ඝාතනය කෙරෙමින් තිබෙන්නේ ද එයාකාරයෙනි.

මෑතක සිට පාරතොටේ හමුවන බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලාගේ මුහුණුවල ස්වරූපය, අප කුඩා කල දුටු භික්ෂූන් වහන්සේලාගේ පහන් සංයමයට අහලකින්වත් මායිම් නොවන ස්වභාවයකැ යි අපට සිතී ඇති වාර අනන්තයි. රට රාජ්‍යයන් ජයගත් චණ්ඩාශෝක අධිරාජයා දවසක් උදේ මාළිගාව ඉදිරිපිට පාරේ වඩින කුඩා නිග්‍රෝධ හිමි නමගේ සන්සුන් විලාසයෙන් සැදී පැහැදී ධර්මාශෝක වූ පුවත අප අසා ඇත. පසුගිය කාලයේ, බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය වැනි අන්තවාදී උමතු ව්‍යාපාර හරහා විටින් විට වීදි බැස්සවූ පුංචි සාමනේර හිමිවරුන්ගේ පවා මුහුණුවල තිබූ ප‍්‍රචණ්ඩත්වය කෙනෙකු බිය ගන්වන තරම් ය. බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයාගේ ගිනි පූජාව එම වර්ධනයේ එක් සන්ධිස්ථානයකි.


lankaenews.com

මොහු කවුද? ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහු නීතියට කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකි. කලක් ජාතික හෙළ උරුමයේ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිට පසුව විනය හේතු මත එම පක්ෂයෙන් නෙරපන ලද පුද්ගලයෙකි. මුස්ලිම් පල්ලියකට පහර දෙන අවස්ථාවක දී ප‍්‍රසිද්ධියේ සිවුර ගලවා පපුව නිරුවත් කොට පෙන්වමින් මදාවියෙකු සේ හැසිරෙන ඔහුගේ පින්තූරයක් එක් වෙබ් අඩවියක පළවී තිබේ. ඊට අමතරව, කතෝලික පල්ලියකට පහර දීමේ සිදුවීමකට ද ඔහු සම්බන්ධ ය. තවද, වීරකැටිය පොලිස් ස්ථානයට පහර දීමේ සිද්ධියකටත් මොහු ගෑවී තිබේ. ‘ආගම සහ ජාතිය’ වෙනුවෙන් එසේ ‘වීරකම්’ පෑමට අමතරව, සමෘද්ධි රැකියා දෙන බවට පොරොන්දු වී අසරණයන්ගෙන් වංචනික ලෙසින් මුදල් එක්රැස් කරගෙන එම පළාතෙන් පළා ගිය අයෙකු බව ද, තවත් වාර්තාවකින් කියැවෙයි. කොටින්ම, දිවිනසා ගැනීමට දින තුනකට පෙර එකී වැරදිවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මේ පුද්ගලයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කොට තිබීමෙන් පෙනී යන්නේ, මොහු බෞද්ධ භික්ෂුවක් සේ සැළකීම කෙසේ වෙතත්, බෞද්ධ පන්සලක් අසළකටවත් වැද්දගත යුතු නැති පුද්ගලයෙකුගේ චර්යාවකට නොමසුරුව සම්මාදම්ව සිටි බවයි.

විනය හේතු මත ඔහුව පක්ෂයෙන් පන්නා දැමූ ජාතික හෙළ උරුමයම, සත්ව පැවැත්මේ අතිමූලික ප‍්‍රාථමික විනය පවා කඩකරමින් ගිනි තබාගෙන මියගිය ඔහුගේ මිනිය වීරත්වයෙන් දැකීම තුළ ඇති දේශපාලනය වටහාගත යුතුව තිබේ. යුද ජයග‍්‍රහණයට පෙර සිටි ජාතික හෙළ උරුමය සහ යුද්ධයෙන් පසු ජාතික හෙළ උරුමය අතර වෙනස පැහැදිළිව හඳුනා ගැනීම එහි දී වැදගත් ය. යුද්ධයට පෙර මේ රටේ සිංහල-බෞද්ධ කම ජාතික හෙළ උරුමයේ ඒකාධිකාරී සන්තකයක් විය. එහෙත් යුද ජයග‍්‍රහණයෙන් පසු, ඊට හිමිකම් පාන්නෝ බොහොමයකි. එම තරගය තුළ, ‘සිංහල-බෞද්ධ’ දේශපාලනය සඳහා ඉස්සරටත් වඩා බුද්ධාගම කෙළෙසිය යුතුව තිබේ.

බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පුවත්පතකට දෙන ලද සම්මුඛ සාකච්ඡාවක දී, ඇපල් මුද්දරප්පලම් පිටරටින් ගෙන්වන්නා සේ හරක් මස් ද පිටරටින් ගෙන්විය නොහැක්කේ මන්දැ යි ප‍්‍රශ්න කරයි. ගව ඝාතනය තහනම් කිරීම, අර ගිනි තබාගෙන මියගිය පුද්ගලයාගේ එක ඉල්ලීමකි. දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ශික්ෂා පදයට ගෑවෙන්නේ නැත. ලාංකීය හරකාගේ ජීවිතය තරම් විදේශීය හරකාගේ ජීවිතය වටින්නේ නැත. මේ ස්ථාවරය, හුදෙක් ‘අබෞද්ධ’ යන වචනයෙන් හැඳින්වීම, ඔවුන්ගේ වර්තමාන දේශපාලනය විසින් මේ රටට කරනු ලබන විනාශය අඩුවෙන් තක්සේරු කිරීමකි. (මෙවැන්නන් අබෞද්ධ වන බව අමුතුවෙන් කිව යුතු නැත).

මාළු කෑමෙන් වළකින්නැ යි මොවුන් කිසිවෙකු කිසි දවසක කියනු අප අසා නැති බව මොහොතකට පැත්තකින් තියමු. ඒත්, ඌරු මස් කෑමෙන් වළකින්නැ යි මේ තරම් හයියෙන් ඔවුන් කෑ නොගසන්නේ ඇයි? එසේ කළොත් ඉස්ලාම් ආගමිකයා සමග අනන්‍ය වීමට සිදුවන බැවිනි. අනිත් අතට, ලංකාවේ ගවමස් කර්මාන්තයේ බලය හොබවන්නේ මුස්ලිම් ප‍්‍රජාවයි. ව්‍යාපාරික පදනමකින් කෙරෙන ගව ඝාතනය සහ වෙළඳාම බොහෝ විට පවතින්නේ ඔවුන්ගේ අතේ ය. මේ මොහොතේ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරය තුළ, ගව ඝාතනය තහනම් කැරැවීම යනු, ඒ අනුව, ඊනියා ගව-පේ‍්‍රමයට අමතරව, මුස්ලිම් ප‍්‍රජාවේ එක් ආර්ථික පදනමකට ද අභියෝග කිරීමකි. පිටරටින් හරක් මස් ගෙන්වා වැළඳීම මේ භික්ෂුවට ප‍්‍රශ්නයක් නොවන්නේ එබැවිනි.


lankadeepa.lk

මේ ගිනි තබා ගැනීම කල්තියා සැලසුම් කරන ලද්දක් බව දැන් හෙළිවී තිබේ. දහස් ගණන් මිනිස් ජීවිත විනාශ කෙරෙන යුද්ධයට එරෙහිව වචනයක් නොකියන මෙවැනි භික්ෂූන්, තමාගේ ජීවිතයට වඩා හරකෙකුගේ ජීවිතයක වටිනාකමක් ඇතැ යි සිතීම ගැන අපට ප‍්‍රශ්නයක් නැත. බුදුන්ගේ ධර්මය සකල සත්වයාගෙන් ගලවාගෙන සිංහලයාගේ තනි බූදලයක් කරගන්නා තරමට, එවැනි සාසනික සිතිවිලි පහළ වීම අස්වාභාවික නැති බැවිනි. එහෙත් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මුළු රටක්ම අගතියට පත්වන්නේ නම්, ජාතීන් අතර අසමගිය තව තවත් වැපිරෙන්නේ නම්, ඒ ගැන සැබෑ බෞද්ධයා නිහඩව සිටිය යුතු ද? දේශපාලනය කරට ගත් සංඝයා වහන්සේලා මෙසේ හැසිරෙන විට ගිහියන් ද ඊට නොදෙවැනිව නටති. මේ පුද්ගලයාගේ සිරුර දැවී යන සැටි, ‘රියැලිටි ෂෝ’ ක‍්‍රමයට කැමරාවට හසු කර ගැනීමෙන් ස්වකීය ‘වෘත්තීය’ අනාගතය සරිකර ගත හැකි යැයි සිතූ ‘මාධ්‍යවේදියා’ ඊට හොඳම නිදසුනකි. මිනිස් ජීවිතයක විනාශය වළක්වා ගනු වෙනුවට ඔහුට වැදගත් වුණේ, එය විනාශ වන ආකාරය රූපගත කිරීමෙන්, මාධ්‍ය ඔස්තාද් කෙනෙකු වීමටයි. ඔහු හින්දු, ඉස්ලාම් හෝ කිතුණුවෙකු නොව, සිංහල-බෞද්ධයෙකි.

ඔබට, 'සිංහලයෙකු' විය හැකිය. එසේම, 'බෞද්ධයෙකු' ද විය හැකිය. එහෙත්, ඔබට 'සිංහල-බෞද්ධයෙකු' විය නොහැකිය. මන්ද යත්, ගෞතම බුදුන් වහන්සේව එවිට ඔබට මගහැරෙන බැවිනි.

[ -අවරදිග ආවර්ජනා. රාවය. 2013.06.02 ]

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රී ලංකාව ස්වාභාවික ජල මූලාශ්‍ර විශාල සංඛ්‍යාවකින් හෙබි වූ නිසාත්, සෑම දිස්ත්‍රික්කයකම වැවක් හෝ ගංගාවක් ස්වාභාවිකව පිහිටා ඇති නිසාත්, ගුවන් ගමන් සඳහා කාර්යක්ෂම හා සුදුසුම ප්‍රවාහන මාධ්‍ය ලෙස බලධාරීන් දුටුවේ සී ප්ලේන් ය. ශ්‍රී ලංකා මහා මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩු හා අවහිරතා මගහරවා ගත හැකි හොදම විකල්පය ලෙස ඔවුන් සී ප්ලේන් හඳුනාගන්නට ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය 2013 අප්‍රේල් මාසය තුළ, නුවරඑළියේ ග්‍රෙගරි වැවේත්, නුවර වික්ටෝරියා ජලාශයේත්, දඹුලු ඔයේත්, හම්බන්තොට බැදගිරි වැවේත්, අම්පාර කොන්ඩු වට්ඩුවාන් ජලාශයේත්, ගාල්ල-කොග්ගල කලපුවේත්, හැටන් කාසල් රී ජලාශයේත්, තංගල්ල කලපුවේත්, පෑලියගොඩ කැළණි ගඟේත්, කොළඹ බේරෙ වැව හා මීගමුව කලපුවේත් ගුවන් ගමන් සිදු කරන්නට අවැසි සියලු යටිතල පහසුකම් සකසන ලදි. ඒ සඳහා මූලික වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම යි. එහිදී ඔවුන්ගේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශයන්හි වූ විවිධ දේශගුණික තත්ත්වයන්හි සුන්දරත්වය ඉතා කෙටි කාලයක් තුළ සංචාරයින්ට විඳ ගැනීමට, ඒ අයුරින් ගුවන් සේවා කර්මාන්තයේ සංවර්ධනයත්, එපමණක් නොව ඒ අශ්‍රිත මහජනතාවගේ ස්වයං රැකියා අවස්ථා දියුණු කිරීමටත් ය. එමෙන්ම එවන් දේශීය සංචාරකයින්ගේ විවාහ මංගල කටයුතු සඳහා සහය වන බවටත් ප්‍රචාරය කළහ.

මීගමුව කලපුවේ මෙම සී ප්ලේන් ව්‍යාපෘතිය සඳහා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන විට ප්‍රබල ධීවර විරෝධයක් මතු වී ආ අතර ධීවරයින් සිය දරු පවුල් සමඟ කලපුව මධ්‍යයටත් කොළඹ-මීගමු මහා මාර්ගයටත් පැමිණ සිය ක්‍රියාකාරී විරෝධය පළ කලේ කිහිප දෙනෙකුගේ ලාභ වෙනුවෙන් කලපු ධීවරයින් 5000 කට අධික පිරිසකගේ ජීවනෝපාය බිල්ලට දිය නොහැකි බව කියමිනි. එහි ප්‍රතිපලයක් ලෙස මීගමුව කලපුවේ සී ප්ලේන් ඉවත් කර ගැනීමට පාලකයින්ට සිදු වූ අතර එය දඬුගම ඔය ආශ්‍රිතව ස්ථානගත කිරීමට බලධාරීන් පසු බට නොවූහ.



දඬුගම ඔය ආශ්‍රිතව එම යටිතල පහසුකම් ඇති කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර කඩොලානින් පිරි මුතුරාජවෙල අයත් වටිනා පරිසර පද්ධතියක් සහමුලින්ම වෙනස් කිරීම්වලට භාජනය කරන ලදි. ඒ සඳහා වැය වූ වියදම කොපමණදැයි අපි නොදනිමු. ඔවුන් කලපුව පමණක් නොව ඉහත කී සියලු ස්ථානවල මෙම යටිතල පහසුකම් ඇති කිරීම සඳහා කළාවූ වියදම සුළු පටු විය නොහැක.

එසේ ගුවන් යානා 2ක් ලංකාවට කැනඩාවෙන් ගෙන්වන ලද අතර ගුවන් ගමන් අරඹා මාස 6ක් ගතවීමට පෙර එක් ජලචර ගුවන් යානයක් මෙසිරිලක හැරදා ආපසු ගියේ එම ව්‍යාපාරය පාඩු පිට පාඩු ලබන තත්ත්වයකට පත් වූ හෙයිනි. නමුත් ගුවන් ගමන් සඳහා තබා ගත් අනෙක් යානයට ද ගමන් ඇරඹුම් සිත් පරිදි නොලැබෙන අතර එහි නඩත්තු වියදම් ද අධික විය. දඬුගම ඔයේ සිට නුවරඑළියට එක් ගමන් වාරයක් සඳහා රු.8000ක් බව කියැවිණි. සම්පූර්ණයෙන් 18 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කළ හැකිව තිබූ අතර එක් පුද්ගලයෙකුගේ ගමන් වාරයක් සඳහා වුවද ගුවන් යානය ගුවන් ගත කළ යුතු විය. මෙම තත්ත්වය තුළ විදේශිකයින් කෙසේ වෙතත් දේශීය සංචාරකයින්ට ඉඩ සලසාදීමට කටයුතු කළ ද එය ද අසාර්ථක විය. සී ප්ලේන් ව්‍යාපෘතිය අරඹා හරියටම වසරකින් අනෙක් ගුවන් යානයද කැනඩාවට හරවා යවනු ලැබුණේ, එය දිගින් දිගටම පාඩු පිට පාඩු ලබන ව්‍යාපෘතියක් බවට පත් වූ හෙයිනි. අදූරදර්ශීවත් අත්තනෝමතික ලෙසත් ආරම්භ වන මෙවන් ව්‍යාපෘතිවල බර අවසානයේ දරන්නට වෙන්නේ කාටද යන්න සිතා බැලීම අප කාගේත් ශාරිරික සෞඛ්‍යයට හිත කර විය හැකිය.


මීගමු කලපුවේ උද්ඝෝෂණය

ජූඩ් ප්‍රේමන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කවිය පිළිබඳ සුනන්දගේ තේරුම් ගැනීම මොකක්ද?

කවිය කිව්වාම බඩගිනි වෙලා මා ගිය කළ පුතුගෙ ගෙට කියන ජන කවියෙ සිට ඕමාර් ඛයියාම් ගේ රුබයියාට් දක්වාත්, ඨාගෝර් ගේ ගීතාංජලී දක්වාත් අපට කවි හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි ප්‍රායෝගික පහසුව සඳහා යම්කිසි නිර්වචනයක් උපයා සපයා ගන්න කල්පනා කළොත් "රසය ආත්ම කොට ගත් ප්‍රඥාවෙන් අවසන් වෙන වැකිය කවියයි".

එතකොට මේ කවියෙන් සම්පාදනය කරන ප්‍රඥාව චාතුරාර්ය සත්‍ය, රොකට්විද්‍යාව (Rocket Science), දයලෙක්තික භෞතිකවාදය වගේ ගම්භීර දහමක් නොවේ. කවිය කූටප්‍රාප්තියේ දී මේ ජීවන සත්ථාවෙහි යම් ප්‍රදේශයක් වෙත ආලෝක ධාරාවක් එල්ල කරනවා. ඒක තමයි කවියෙන් සම්ප්‍රදානය කරන ප්‍රඥාව. එය මානව ජීවිතය පිළිබඳ සර්වකාලීන ආලෝචනයක්. ඒ නිසා කවිය වනාහි මිනිසා සඳහා පවතින ප්‍රපංචයක්. ඒ මොකද කිව්වොත් කවිය අපේ භාව ලෝකය පුළුල් කරනවා. අපට විෂයය නොවුනු භාව වීථීන් අපට පාදා දෙන්නේ කවියයි. ඒ අනුව ටී.එස්. එලියට් කියන විදිහට කවියෙන් සමාජයට තිබෙන්නේ දිගුකාලීන බලපෑමක්. (Long Term Effect) ඒ ඇරෙන්න මම කල්පනා කරන්නේ කවියට වෙනත් අරමුණු හෝ අණ පනත් පැනවීම තේරුමක් නෑ කියලයි.

කවියක් ලිවීමට විශාල අභ්‍යාසයක් මෙන්ම කලාත්මක දැනුමක්ද අවශ්‍යයි. සුනන්දට අනුව මේ කරුණ දකින්නේ කොහොමද?

කවියා යම්කිසි දෙයක් උපතින් ඇරන් එන්නත් ඕනේ. ඒක තමයි ප්‍රතිභාව. උපතින් ගේන ප්‍රතිභාව ඔපමට්ටම් කරගන්න ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය අවශ්‍යයි. උපතින් ගේන ප්‍රතිභාව දේව ආශිර්වාදයක් යැයි මා විශ්වාස කරන්නේ නෑ. එය මැණිකක් ඔපමට්ටම් කර වටිනාකම පාදාගන්නවා වගේ ක්‍රියාවක්. පොළවෙන් මතුකර ගත් ප්‍රතිභාව නමැති මැණික ඔපමට්ටම් කරන්නේ නිරන්තර කියවීම සහ අභ්‍යාසය විසින්. එසේ නොවන කවියා එක තැන නැවතුන විලක් වගේ. ඒ නිසා නිරන්තර කියවීමෙන් හා අභ්‍යාසයෙන් පමණයි කවියටත් කවියාටත් ගමනක් තියෙන්නේ.

පරමාර්ථය, රිද්මය, තේමාත්මක ගැඹුර වශයෙන් ගත්විට කාව්‍යක ප්‍රධාන තැන හිමිවිය යුත්තේ කවර අංගයකට කියාද ඔබේ අදහස?

කවිය ප්‍රමුඛ වෙන්නේ තේමාත්මක ගැඹුරට. මොකද කවියා යම්කිසි අනුභූතියක් ගන්නවා. මේ අනුභුතිය හරහා කවියා යම්කිසි සමාජ ආර්ථීක යථාර්ථයක් ඓන්ද්‍රීය තලයේ ගැබ් කරනවා. ඊටත් අමතරව ඔහු මේ අනුභභූතිය ආධාරකයක් හැටියට අරගෙන යම්කිසි සර්වකාලීන ආලෝචනයක් සම්පාදනය කරනවා. කවියේ මෙන්න මේ ගැඹුරට කිමිදීමයි වැදගත්. කවියක් කියවීමට පුහුණු රසිකත්වයක් අවශ්‍යයි කියන්නෙත් මේ නිසයි. කාව්‍ය රසිකයා ටෙලිනාට්‍ය රසිකයෙකු මෙන් නොව ඊට වඩා වැඩි බුද්ධි රසිකයෙක් විය යුතුයි. හේතුව මේ තේමාත්මක ගැඹුර ප්‍රමුඛ නිසයි. කවියේ රිද්මය කියන්නේ ද්විතීක කාරණයක්. ඒ වගේම කවියේ දෘෂ්ටිවාදය, පරමාර්ථය වැනි දෑ සෙවීම ඒ තරම් සාධාරණ නෑ.

ඔබ කවියේ තේමාත්මක ගැඹුර ප්‍රමුඛයි කියන කාරණය උදාහරණයකින් පැහැදිලි කළොත්.

සේන තෝරදෙනිය මහතා මාඕ සේතුං ගේ කවි එකතුවක් විමර්ශනාත්මක පෙරවදනක් සමඟ "ශිශිර වළාකුළු" නමින් පරිවර්තනය කොට තිබෙනවා. එහි සඳහන් මාඕ සේතුං ගේ "කවියක්" නැමැති කවිය මේ සඳහා උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. මාඕ සේතුං කිව්වම අපට මතක් වෙන්නේ කවියෙක් නොව විප්ලවවාදියෙක්. ඔහු තමයි නව චීනයේ නිර්මාතෘවරයා. නමුත් මාඕ දක්ෂ කවියෙක්. ඔහු ගේ කවි හැම විටම විප්ලවවාදී අස්ථානයක් එක්ක බද්ධ වෙලයි තිබුණේ. නමුත් ඒ විප්ලවවාදී අස්ථානයන් මොහොතකට අමතක කළොත් ඉතා විශාල පාඨක පිරිසකට ඔහුගේ කවි රස විඳිය හැකියි. ඊට හොඳම උදාහරණය මාඕ ගේ "කවියක්" කියන කවිය. මාඕට තරුණ කාලයේ දී විප්ලවවාදී කටයුතු සඳහා ඔහුගේ තරුණ බිරිඳත්, බිලිඳු පුතුත් තනිකරලා දුර බැහැර ප්‍රදේශයකට යන්න වෙනවා. මේ සමුගැන්ම ගැනයි "කවියක්" කියන කවියෙන් මා ඕ කියන්නේ. එහි තිබෙන ආකාරයට සමාජ සුභ සිද්ධිය උදෙසා පෞද්ගලික ඛේදවාචකය ඉවසිය යුතුයි, මේ සමාජය වෙනස් කළ යුතුයි, වඩා යහපත් සමාජයකදී අපි නැවත එකතු වෙමු, මිනිසුන්ගේ දුක දෙවියන්ට නොපෙනේද? වැනි විප්ලවවාදී කොටස් අයින් කළාම ඉතිරි වෙන්නේ ශෝකී රසයෙන් අනූන ඉතා නිර්ව්‍යාජ ප්‍රේම කාව්‍යක්. ඒ කවිය රස විඳින්න බෑ කවියේ දෘෂ්ටිවාදය පරමාර්ථය සොයන්න ගියොත්. ඒ නිසයි මම කියන්නේ කවියේ අනෙක් සියල්ල ද්විතීකයි තේමාත්මක ගැඹුර ප්‍රමුඛයි කියලා.



තේමාත්මක ගැඹුර එන්නේ කොහොමද?

අපගේ භාව ලෝකය සංවේදනා ෙක්ෂ්ත්‍රය ස්පර්ශ කිරීම තුළින් තමයි මේ තේමාත්මක ගැඹුර වෙත පිවිසිය යුත්තේ. කවියේ රසය උපදින්නේ එවිටයි.

ඔබ කවියේ තේමාත්මක ගැඹුර ගැන කතා කළත් නිදහස් කවි යුගයේ පුරෝගාමී ආරම්භකයා වූ ජී.බී. සේනානායක මහතා නම් පවසන්නේ කවියේ පරමාර්ථය වැදගත් වන බවයි.

මා ඉතා ප්‍රිය කරන, ගරු කරන ජී.බී. සේනානායක කවියේ පරමාර්ථය යන්නෙන් කුමක් අදහස් කළේදැ යි කියන්න මට බෑ. හොඳ කවියක පරමාර්ථය මොකද්ද? ඒ කවියේ අනුභූතිය ඉක්මවා යමින් යම් තේමාත්මක ගැඹුරක් වෙත ගමන් කිරීම. ඒ තමයි කවියෙන් සම්පාදනය කරන සාර්වත්‍රික, සර්වකාලීන ආලෝචනාව. ඉංග්‍රීසියෙන් කියන්නේ Insight ඇතැම් විට ජී.බී. සේනානායක සඳහන් කරන කවියේ පරමාර්ථයත් මෙය විය හැකියි.

විරිත හා ආකෘතිය කාව්‍ය රූපයට දක්වන දායකත්වය පිළිබඳ ඔබ දකින්නේ කොහොමද?

මම හිතන්නේ විරිත හා ආකෘතිය ඉල්ලා සිටිනු ලබන්නේ කවිය විසින්. කවිය මැණිකක් වගේ නම් ආකෘතිය, විරිත, මැණික කැපීම වගේ. ඒ නිසා වටිනාකම තියෙන්නේ මැණිකේ මිසක් මැණික කැපීමේ නෙමෙයි. තිරිවානා ගලක් කැපීමක්, ඔප දැමීමක් කළොත් එහි වටිනාකමක් නැහැ. මැණිකක් කැපුවොත් පමණයි වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා කවියේ තේමාත්මක මානය කමයි වැදගත්ම දේ. විරිත හා ආකෘතිය එහි අගය ඔප් නංවනවා විතරයි. ඉතා විශිෂ්ට කවිය විශිෂ්ටත්වයට පත් වන්නේ එය විසින් ම විනා විරිත හෝ කාව්‍ය අලංකරණ නිසා නොවේ. "රුබයියාට්", "ගීතාජලී" වගේ කාව්‍ය නිර්මාණ ගත්තොත්, ඒවායේ මුල් විරිත් ආකෘති නැති මුත් අපි ඒවායේ පරිවර්තන වෙනත් භාෂාවකින් රස විඳිනවා. එහෙම පුළුවන් වන්නේ මේවායේ තියෙන තේමාත්මක ගැඹුර නිසා. ජී.බී. පවා කියනවා ඔහුත් කවි ලියන කොට කවියේ තාලය යටපත් කරනවා කියා. හොඳම කවියට එනකොට තාලය, විරිත කවියට බරක්.

ඇකඩමික් කාව්‍ය විචාරකයන් වියුක්ත දාර්ශනික හා සන්දර්භගත දාර්ශනික වශයෙන් කවිය ප්‍රවර්ග කිරීමක් කරනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

ඔය කොයි ප්‍රවර්ගයේ වුවත් කවියක් උපත ලබන්නෙම මේ මිනිස් දිවිතතුව මඟින් කවියා ලබන ආවේශය නිසයි. හොඳ කවිය සන්දර්භගත දාර්ශනිකත්වයෙන් පටන් ගත්තත්, වියුක්ත දාර්ශනිකත්වයෙන් පටන් ගත්තත් මේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ අපට යම් ප්‍රඥාවක් සම්පාදනය කර දෙනවා. ඒ නිසා ඔය කොයි ප්‍රවර්ගයෙ වුනත් ලොකු ගැටළුවක් මට නෑ.

උදාහරණයක් විදිහට ඇල්ෆර්ඩ් ලොඩ් ටෙනිසන් කවියාගේ "ක්‍රොසිංද බාර්" වගේ කවියක් ගත්තොත් ඔහු කියන්නේ තමා වැලිපරය තරණය කොට මුහුදට අවතීර්ණ වන බව. ඒ වැලිපරය තරණය කරාම ඔහුට මේ ගමන යන්න නියමුවා හමුවෙයි කියලා ඔහු කියනවා.
මේ කවිය බැලූ බැල්මට ඒ යුගයේවත් මේ යුගයේවත් සමාජ, ආර්ථීක, දේශපාලන කාරණාවන් ගැන සෘජු සම්බන්ධයක් පේන්න නෑ. ඒ වුනාට මේ කවිය කියන්නේ මරණය සම්මුඛ වීම ගැන. මරණය කියන්නේ අපි කාටත් මුහුණ දෙන්න වෙන සනාථන ධර්මයක්. කවියා මෙහි දී ආලෝක ධාරාව එල්ල කරන්නේ ජීවිතය හා මරණය අතර බෙදුම් රේඛාවට. වැලිපරයෙන් සංකේතවත් කරන්නේ ඒක. සන්දර්භ ගත වුනත්, වියුක්ත වුනත් කවියට විෂය වන්නේ මේ පෘථීවිය මත මිනිස් ජීවිතයම තමයි.

එතකොට කවියා කළ යුත්තේ වචන වලින් යමක් නිරූපණය කිරීමද?

කෙටිම පිළිතුර ඔව්. ඒ වුනාට ඒ නිරූපණය කවිය නෙමෙයි. කවිය යනු වචන ඉක්මවීමයි. වචන කියන්නේ දර, පෙට්රල් නම් කවිය කියන්නේ ගින්නයි. වචන ඉක්මවන තැන තමයි කවිය තියෙන්නේ. උදාහරණයක් විදියට මගේ කෘතියේ පෙරවදනේ මා උපුටා ගත් පර්සි බයිෂෙලී ගේ ඔසිමැන්ඩියස් (Ozymandias) කවිය ගත්තොත් එහි යම් නිරූපණයක් තියෙනවා. නමුත් කවියා එම නිරූපණය හරහා වෙනත් මානයක් වෙත යනවා. සාඩම්බර මනුෂ්‍ය ප්‍රයත්නය දිනක කාලයේ වැලිතලාවෙන් වැසී යනවා. මේ තේමාත්මක මානයට එන්නයි ඒ නිරූපණය ඔහු කරන්නේ.

"අත්දැකීමක් කලාත්මකව ප්‍රතිනිර්මාණය කළ විටයි නිර්මාණය බිහි වෙන්නේ" යන සරල හැඳින්වීම කවියට ගලපා ගැනීමක් කළොත්.

අප විඳින අත්දැකීමක් කලාත්මකව පුනරුච්ඡාරණය කරලා භාව ප්‍රකම්පනයක් ඇති කරන එක කවිය නෙමෙයි. කවිය කියන්නේ ඒ අද්දැකීම පාවිච්චි කරලා මනුස්ස ජීවිතය පිළිබඳව අපට සම්පාදනය කරලා දෙන ප්‍රඥා පාඨවයට. නොහොත් කවිය රස විඳින්න වැය කරපු කාලයට, ශ්‍රමයට, දෙන දිගු කාලීන වැදගත් කමට. කවිය කියවූවාට පසු පෙරහිටපු පුද්ගලයා ක්ෂුද්‍ර වශයෙන් හෝ වෙනස් වෙනවා නම්, මේ දිවිතතුව පිළිබඳ යම් විදර්ශනාවක් ඇති කර ගැනීමට හැකි නම් අන්න ඒක තමයි අත්දැකීම ප්‍රතිනිර්මාණය තුළින් පාඨකයාට විය යුත්තේ.

නමුත් හිරුත් හිම පියල්ලක වැනි කාව්‍ය සංග්‍රහයක් ගත්තොත් ලියමන ඇතුළු එහි බොහෝ කවිවල අත්දැකීම් පාඨකයාට සමීප වූ නිසයි පාඨක සමූහයක් එය වැළඳ ගත්තේ. ඔබ මතු කරන අත්දැකීම ඉක්මවන කවියට වඩා පාඨකයා ප්‍රිය කරන්නේ එවැනි කවියට බවයි ඉන් පෙනෙන්නේ.



නමුත් කවිය කියන්නේ අත්දැකීම නොවෙයි. කවිය කියන්නේ අත්දැකීම හෝ අනුභූතිය ඉක්මවීම. අත්දැකීම කියන්නේ කවියේ ආධාරකය විතරයි. උදාහරණයක් විදියට පිනුම් කාරයෙක් ගත්තොත් ඔහු කුමක් හෝ ආධාරකයකට අත තබලා අහසට නැගෙනවා. නැගිලා අහසේ තමයි පිම්ම ගහන්නේ. එතකොට අපි යන්නේ ඒ පිම්ම බලන්න මිසක් ආධාරකය බලන්න නෙමෙයි. අත්දැකීමත් ඒ වගේ තමයි. කවියා ඒ කාව්‍යමය අත්දැකීම ඔස්සේ අපට මනුෂ්‍ය ජීවිතය පිළිබඳ සම්පාදනය කරලා දෙන සාර්වත්‍රික දැක්ම මොකද්ද? අන්න එයයි කවිය. යම්කිසි අත්දැකීමක් කලාත්මකව ප්‍රතිනිර්මාණය කළාට කවියක් වෙන් නෑ. හුදු භාව ප්‍රකම්පන හෝ භාව විරේචන වෙනුවට මේ දිවි තතුව පිළිබඳ කවිය යම් විදර්ශනාවක් පහළ කළ යුතුයි.

ඔබේ කෘතියේ පෙරවදනට ["කවිය ගැන අදහසක්"] අවධානය යොමු කළොත් කවිය ගීතයෙන් වෙනස් වන්නේ කොහොමද වැනි සියුම් තැන් නොවිමසා ඇයි ඔබ කවිය නවකතාවෙන්, කෙටිකතාවෙන් වෙනස් වන්නේ කෙසේද? වැනි කාටත් සවිඥානික කාරණයක් විමසන්නේ.

මූලික වශයෙන් කෙටිකතාවට හා නවකතාවට වස්තු විෂය වෙන්නෙම ලෝකේ තියෙන තතු. ඒ වුණාට මේ මාධ්‍ය තුන තුළ මේවා එකම විදියට ද භාවිත වෙන්නේ යන ප්‍රශ්නයයි මට තිබුණේ. මම ගීතය දාන්නෙත් කෙටිකතා හා නවකතා ගොන්නට. මේ මාධ්‍ය තුනම වඩා සෘජුවම සමාජ දේශපාලන, ආර්ථීක තතු එක්ක වැඩ කරනවා. නමුත් කවිය එයම වාහකය කොටගෙන වෙනත් තේමාත්මක මානයක් වෙත පිවිසෙනවා. අනෙක් මාධ්‍යවලට වඩා කවියේ දී කවියාගේ ආත්ම ප්‍රකාශනය ප්‍රබලයි කියන්නයි එහෙම කළේ.

නමුත් එහි තැනක ඔබ සඳහන් කරනවා කෙටිකතාව හෝ නවකතාව තදනුබද්ධ සන්දර්භය නොයික්මවන බව. මින් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

කෙටිකතාව හෝ නවකතාව හුදෙක් මේ මතුපිට ජීවන තතු පමණක් ඇසුරු කරනවා හෝ එහෙම නැතුව මේ තදනුබද්ධ සන්දර්භය නොයික්මවන බව මම අදහස් කරන්නේ නෑ. නමුත් කවියට වඩා කෙටිකතාව හා නවකතාව, බෙහෙවින් ඍජු සමාජ විවරණයක් වෙනවා. නමුත් කවිය මිනිසාගේ භාව ලෝකය හා සංවේදන ක්ෂේත්‍රය සමඟ ගනුදෙනු කරමින් වඩා සර්වත්‍රික ආලෝචනාවක් වෙත අප කැඳවනවා.

ඔබට අනුව කවිය විතරද සර්වකාලීන තේමාත්මක මානයක් ගන්නේ. නවකතා හෝ කෙටිකතා සර්ව කාලීන වන්නේ නැද්ද?

නවකතා හා කෙටිකතා සර්වකාලීනයි. ඇනා කැරනිනා, යුද්ධය හා සාමය, අපරාධය හා දඩුවම, හයේ වාට්ටුව, බල්ලා කැටුව යන කාන්තාව, එමා බොවාරි මේ නිර්මාණ සර්වකාලීනයි. නමුත් ඒවා සර්වකාලීන වෙන්නේ ෂේක්ස්පියර් ගේ හෝ මිල්ටන් ගේ, ටී.එස්. එලියට් ගේ කවියක් සර්වකාලීන වෙන විදියට ද? මේ මාධ්‍ය තුනේම එකිනෙකට සීමා හඳුනාගෙන සිදු කැරෙන නිර්මාණ තමයි සර්වකාලීන වෙන්නේ.

කවිය කාලය හා අවකාශය ඉක්මවා යන්නක් බවයි ඔබේ අදහස. ඉන් අදහස් වෙන්නේ මොකක්ද?

හොඳ කවිය හැමවිටම මේ පවතින, අප ජීවත්වන කාලය හා අවකාශය ඉක්මවා යනවා. මේ පවතින දේශපාලන හා ආර්ථීක තතු වෙනස් වූ පමණින් සර්වකාලීන කවිය නිශේදනය වන්නේ නෑ. ඒ මොකද හැම විට ම එහි සර්වකාලීන, සාර්වත්‍රික යටි පෙළක් ඓන්ද්‍රීයව ගැබ් වන නිසා. පාඨකයාගේ මානසික ශ්‍රමයට හා කාලයට ගරු කිරීම තමයි කවියේ තියෙන සර්වකාලීන බව.

කවිය කාලය හා අවකාශය ඉක්මවන්නේ නම් කාව්‍යානුභූතිය සර්වකාලීන තේමාවක් ගැන කතා කරන්නේ කොහොමද?

අනුභූතිය බොහෝ විට පවත්නා සමාජ ආර්ථීක තතු හා බැඳී පවතිනවා. කාලයේ හා අවකාශයේ සීමාවලට නතුව තියෙනවා. එතකොට කවියා කරන්නේ කවියේ අනුභූතිය එසවීම නොවේ. අනුභූතිය ආධාරකයක් ලෙස භාවිතා කරමින් එය පෙළමින් තෙරපමින් මේ ජීවන තතුව පිළිබඳව එහි සුලබ දෛනිකත්වය ඉක්මවන ආලෝචනාවක් සම්පාදනය කිරීමයි. කවිය මේ කියන කාලය හා අවකාශය ඉක්මවන්නේ නැත්නම් ඉතිහාසඥයාටත් පුළුවන් වෙයි කවිය විස්ථාපනය කරන්න. ඒකයි කියන්නේ කවිය කාලය හා අවකාශය ඉක්මවන බව.

එතකොට කාලිකත්වය කවියට අදාලම නැද්ද?

කාලිකත්වය කවියේ ගැබ් විය හැකියි. නමුත් කවිය ප්‍රබල මාධ්‍යක් නිසා කාලිකත්වය ඉක්මවිය හැකියි. අනෙක් මාධ්‍යන්ට වඩා කවියේ තිබෙන විශේෂත්වයත් ඒකයි. කවියේ පරමය කාලීන තතු ඇසුරු කීරීමම නොවේ. එය ඉක්මවා පාඨකයාට වඩාත් සුස්ථීර සම්ප්‍රදානයක් ලබා දීමයි.

ඔබ පෙරවදනේ දී කවිය කළමණාකරන සිද්ධාන්ත ඇසුරින් පැහැදිලි කිරීමට උත්සහ ගෙන තිබෙනවා. කවිය වැනි අථක්ඛාවචර ධර්මතාවයක් කළමණාකරන සිද්ධාන්ත ඇසුරින් පැහැදිලි කරන්න පුළුවන්ද?

බැහැ. නමුත් සෑම කවියෙක් ම ආභාසය ලබන්නේ මේ ජීව ශ්‍රෝතයෙන් වුවත් ඔවුන් එකිනෙකා ඊට විවිධ අයුරින් ප්‍රතිචාර දක්වන්නේ මන්ද කියන ප්‍රශ්නයට තමයි මම ඒ කළමණාකරන ආකෘතිය ගෙනත් පිළිතුරු දෙන්නේ. එහෙම නැතුව මේ වෙනත් ප්‍රවාද වලින් අථක්ඛාවචර කවිය අල්ලන්න දරපු උත්සහයක් නෙමෙයි. කවිය විඳින්න පුළුවන් වෙන්නේ විවිධ දර්ශනවාද, ප්‍රවාද, විද්‍යා, පෞද්ගලික මතවාද ඔස්සේ නොවේ. ඒ කිසිවකින් දැඩිව ශික්ෂණය නොවී සහෘදයා තුළ ඇති යම් අන්තර් ඥානයකින්, නැතහොත් වික්‍රමසිංහ කියන පරිදි යම් වැටහෙන නුවණකින් තමයි මේ අථක්ඛාවචර කවිය විඳිය හැක්කේ.

කළමණාකරන විෂය උපදින්නේ හිඟ සම්පත් මිනිස් අවශ්‍යතා අතර බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කරන්න. එය පැහැදිලිව පරාරෝපිත තත්ත්වයක් පවත්වා ගැනීමට අනුබල දෙන්නක්. කවියට ඔබ මේ තත්ත්වය ගලපන්නේ කොහොමද?

කවිය රස විඳින කොට කරුණාකරලා ඔය සේරම අතාරින්න. අතෑරලා සැහැල්ලු සිතින් කවිය රස විඳින්න. නමුත් ඔබ කවියෙක් නම් බොහෝ ශික්ෂණයන් වෙත අනාවරණය වී තිබීම ඔබට කාව්‍ය කරණයේ දී බලවත් වාසියක්.

පාරභෞතික හා භෞතික වශයෙන්ද කවිය ප්‍රභේද කිරීමක් කර තිබෙනවා. කවිය බිහි වෙන්නෙම භෞතිකය ඉක්මවා යෑමේ මනුෂ්‍ය අවශ්‍යතා තුළ එනම් භෞතිකය තුළ නොවේ ද?

කවිය ලියැවෙන්නේ මිනිසා සඳහා. කවිය ඇසුරු කරන්නේ මේ දිවිතතුව එතකොට එක කවියෙක් පවත්නා මේ දේශපාලන තතු හා දෘෂ්‍යමානය අන්වේෂණය කරනවා වෙන්න පුළුවන්. තව කවියෙක් ඉන්න පුළුවන් දෛනික ජීවිතයෙන් අනුභූතිය අරගෙන වෙනත් පාරභෞතික අස්ථානයක් වෙත ගමන් කරමින්. තව කවියෙක් ඉන්න පුළුවන් එයාගේ අනුභූතිය බැලූ බැල්මට ඓහලෞකිකයි, පාරභෞතිකයි. මරණින් මතු ජීවිතය පිළිබඳ සංවේදනා තමයි අනුභූතිය. මේ හැම ප්‍රවර්ගයකම කවි තියෙනවා. නමුත් විශිෂ්ට කවිය අනුභූතිය කොහෙන් ගත්තත් තමන්ගේ පරමාර්ථය සාධනය කරගෙන තියෙනවා.



ඔබ කවියේ අන්තර් දෘෂ්ටිය පිළිබඳ දැඩිව විශ්වාස කරන කෙනෙක්. කතරගම යුවතියගේ ගීතය වැනි කවිවල එම අන්තර් දෘෂ්ටිය ගිලිහී තිබෙන බව පෙනෙනවා. ඔබේ පෙරවදනටම අනුව එම කවි ගැඹුරු මුහුදේ කිමිඳුම්කරුවකු කිමිදෙන කවි ද, වෙරළේ සිප්පිකටු අහුලන කෙනකුගේ කවි ද?

මම උත්සහ කළා මගේ කවියට බොහෝ පාඨකයන්ට එළැඹිය හැකි ප්‍රවේශ මාර්ග ගොඩක් තියන්න. එතකොට බොහෝ දෙනා ප්‍රිය කරන විදියේ කවිත් මම ඇතුළත් කළා. ඒවා මේ කෘතියට තැබූ ප්‍රවේශ දොරටු. කතරගම මොනර පිල් විකුණන යුවතියගේ ගීතය කියන කවියත් එවැනි කවියක්. කතරගම එන වන්දනා කරුවන්ට මොනරපිල් විකුණමින් ජීවිකාව සරිකර ගන්නා දිළිඳු තරුණියකගේ ජීවන අපේක්ෂා, දෙවියන් සමඟ තරුණියට ඇති හෘදය සංවාදය දරිද්‍රතාව පිළිබඳ ඛේදය මේ කවිය තුළ ගැබ් කරන්න මා උත්සාහ කළා. අනෙක් කවිවලට වඩා මෙහි සංවේදනා ගුණය ප්‍රමුඛ වෙන්න පුළුවන්. ඒත් එය කවියේ පරමය යැයි මම කිසිසේත් ම කියන්නේ නෑ.

කවිය ඇසුරේ සමාජ දේශපාලන යථාර්ථය පිළිබිඹු විය යුතු ආකාරය ඔබ නන්දන, ලාල් හෑගොඩ යන කිවිවරුන්ගේ කවි නිදසුන්වලට ගෙන පෙන්වා දෙනවා. එතකොට මහින්ද හිමි, රත්න ශ්‍රී වැනි අයගේ කවි වලින් නිරූපණය වෙන්නේ දේශපාලනය නෙවෙයිද?

මහින්ද හාමුදුරුවන් ගේ කවි සෘජුවම දේශපාලනිකයි. "කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ" කිව්වම ඍජුවම එවකට නිදහස් සටනට සේවය කරනවා. මම ඒක හඳුනා ගන්නේ දේශපාලනික දේශපාලනය විදිහට. (political politics) නමුත් නන්දන වීරසිංහ ගේ නිහඬ නිරිඳු හෝ රත්න ශ්‍රී විජේසිංහ ගේ පාත ඉඳන් අපි අවේ නාමල් පූජා කරන්න, ධර්මපාල නම් පිය රජ කෙනකු ගේ ප්‍රකාශය වැනි නිර්මාණ වලින් ප්‍රශ්න කෙරෙන්නේ මෙරට සමාජ සංස්කෘතික දේශපාලනයයි. මහින්ද හාමුදුරුවන්ට අප්‍රමාණ ගෞරවය පුදකරන ගමන්ම නන්දන, රණවීර, රත්න ශ්‍රී වැනි කවීන්ගේ නිර්මාණ තුළින් දේශපාලනය කතා කරන විදිහට මම පෞද්ගලිකව කැමැතියි.

(දිවයින පුවත්පතෙහි මුල් වරට පළ වූවකි.)

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගිනි ගන්නවා කහ සිවුරක් උදෑසන
හරක් ගැනයි අනුකම්පා බලාගෙන
කරුණාවයි මෛති‍්‍රයයි බදාගෙන
අලි රංචුව එහා පැත්තේ අඬාගෙන

කිරි අම්මලා දුක් කරදර දරාගෙන
හණ ගහද්දි කුර විදිද්දි සිනාසෙන
බුදුන් බුදුන් වැඳ පුදමින් මීනි කන
හරක් ගැනද අනුකම්පා උදෑසන

දෙමළ කැවුත්තට කෙළිද්දි සිනාසුන
ඌරා කුකුළා මාළු එක්ක ඩෙවල් කන
හම්බ කැවුත්තට කෙළින්න බලාගෙන
හරක් ගැනද අනුකම්පා උදෑසන

විදර්ශනාවට යනවා හරක් ගැන
සුදර්ශනා ගිනි ගනිද්දි සිනාසුන
බුදුන් දෙසු ධර්මෙට ගිනි තියාගෙන
හරක් ගැනද අනුකම්පා උදෑසන

ගෙටොවේ එකෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇනතෝලි වැසිලිවිච් වොඩ්කා බෝතලය අතට ගෙන අමුත්තාගේ වීදුරුව පිරවීය. අනතුරුව ඔහු අපරික්ෂාකාරී ලෙස තම වීදුරුව උතුරා යන ලෙස වොඩ්කා වලින් පිරවූ අතර පිටාර ගැලූ මත්පැන් අපිරිසිදු මේස රෙද්ද විසින් උරා ගත්තේය. මේසය මත තිබු ඇතැම් ලිපි වොඩ්කා වලින් තෙත් වී ගිය නිසා ඔහු තම සහායක වීතියා ඇමතුවේ වියලි හඬකිනි. සහායකයා වහාම මේසය මත තිබු ලිපි සියතට ගෙන වොඩ්කා වලින් නැහැවුණු ලිපි ලේන්සුවකින් තෙත මාත්තු කළේ දරුවෙකු නහවා ඔහුගේ ශරීරයේ ඇති වතුර බින්දු පිසදන මවක් මෙනි. වොඩ්කා වල ඇති මද්‍යසාර නිසා සමහර ලිපි වල තීන්ත බොඳවී ගොස් තිබේ. එම ලිපි අතරින් රයෝනයේ කමඩාන්වරයා විසින් එවන ලද ලිපියේ අත්සනට පහලින් ඇති නිල මුද්‍රාව දිය වී ගොසිනි. මධ්‍යසාර නිසා කළු පැහැති තීන්ත වලින් මුද්‍රා තබා තිබු නට්සි ස්වස්තිකය බොඳවී විකෘති හැඩයක් ගෙන තිබේ. ස්වස්තිකයට පහලින් ඇති උකුස්සාගේ හොට වෙනුවට දැකිය හැක්කේ කළු පැහැති කුඩා ගුලියකි. මද්‍යසාර නිසා පෙඟී ගිය ලිපි තෙත මාත්තු කල වීතියාගේ සුදු පැහැති ලේන්සුව දැන් කළු පැහැයට හැරී ඇත.

තම අපරික්ෂාකාරී බවට සාප කල ඇනතෝලි වැසිලිවිච් ෆිල්ටරය රහිත සිගරෙට්ටුවක් අතට ගෙන එය නාසයට ලං කොට සුවඳ ආග්‍රහනය කළේය. අමුත්තා දෙස යටි ඇසින් බැලු ඔහු කිසිවක් කතා නොකළේය. අමුත්තා රන් දම්වැලක් සහිත වටකුරු සාක්කු ඔරලෝසුවක් ගෙන එය ඇනතෝලි වැසිලිවිච්ට පෙනෙන සේ මේසය මත තැබිය.

“ඇනතෝලි වැසිලිවිච් මම ඔබගෙන් ඉල්ලන අන්තිම උපකාරය මේක තමයි, පොඩ්ඩක් කල්පනා කර බලන්න ඔබගේ පියා මගේ මාමාගේ කිට්ටුම මිතුරෙක්. දෙදෙනාම ජර්මානුන්ට විරුද්ධව නවසිය පහලවේ නැගෙනහිර පෙරමුණේ සටන් කළා. ඒ මිතුදම වෙනුවෙන්වත් කිරිල් නිදහස් කරන්න”

ඇනතෝලි වැසිලිවිච්ගේ මුහුණට කෝපය ආරූඩ විය.

“ගෙනාදී, නුඹට පිස්සු හැදිලද. මට එක සිරකරුවෙකුවත් නිදහස් කරන්න බැහැ, ඒ ඇරත් මම ඔක්කොම සිරකරුවන්ගේ නම් ලැයිස්තුවක් රයෝනයේ කමඩාන්වරයාට යැව්වා. එක හිරකරුවෙකුවත් අඩු උනොත් මටත් යුද අධිකරණයට යන්න වෙයි.”

“ඇනතෝලි වැසිලිවිච්, කිරිල් නිර්දොෂියි, ඔහු වැවට ගියේ මාළු බාන්න, ප්‍රහාරය ගැන ඔහු කිසිම දෙයක් දන්නේ නැහැ, ඔහ පර්ටිසාන්වරු සමග කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ ඇරත් ඔහුගේ වයස අවුරදු දාසයයි “

” ගෙනාදී ,වයස මෙතන වලංගු වෙන්නේ නැහැ. මලෝච්නයා වැව අසලදී ජර්මානු භටයන් දෙදෙනෙකුට වෙඩි තියලා මරා දාලා ඔවුන්ගේ මැෂින් තුවක්කු පැහැරගෙන. මේක අනිවාර්යෙන්ම පාර්ටිසාන් භට කණ්ඩායමක වැඩක්. මේ ගමට කවදාවත් පාර්ටිසාන්වරුන්ගෙන් කරදරයක් තිබුනේ නැහැ. අනිවාර්යෙන්ම ගමේ කෙනෙකුගේ උදවු ඔත්තු නැතුව උන් මෙහෙම කඩා වදින්නේ නැහැ. මට ලැබුණු සාක්ෂි අනුව මේ සිද්දිය වෙන කොට කිරිල් එතන ඉඳලා තියනවා. “

“ඇනතෝලි වැසිලිවිච් දෙවියන්ගේ නාමයෙන් අහන්න ඒක වෙන්න බැරි වැඩක්, කිරිල් කිසිම නීති විරෝධී දෙයකට යන කෙනෙක් නෙවෙයි. ඔහු අහිංසකයි, මෝඩයි. අවාසනාවකට වගේ ඔය සිදුවීම වෙනකොට ඔහු වැවේ මාළු බාමින් සිටියා. කිරිල් කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. මම මගේ බාල පුතා ගැන හොඳට දන්නවා. ඔහු කවදාවත් පර්ටිසාන්වරු සමග ගනුදෙනුවක් තිබුනේ නැහැ.”

ඇනතෝලි වැසිලිවිච් අමුත්තාට ආරාධනයක් නොකර තම වීදුරුවේ තිබු වොඩ්කා එකවරම උගුරට හලා ගත්තේය. ඉක්බිති අපිරිසිදු මේසය මත තිබු අඩක් කා නිම කොට තිබු කැකිරි ගෙඩිය මුවට ලං කළේය. කිරිල් ගැන කතා කලද ගෙනාදී අබ්‍රහමවිච් තම වැඩිමහල් පුත්‍රයා වන යාකොව් ගැන මුනිවත රකියි. ඔහු රතු හමුදාවේ ලයිතන් කෙනෙකි. ජර්මානුන්ට එදිරිව සටන් වදින ගෙනාදී අබ්‍රහමවිච් ගේ වැඩිමහලු පුත්‍රයා යුද්දයට පෙර ගුරුවරයෙකු ලෙස සේවය කළේය.

” ඉතින් ගෙනාදී අබ්‍රහමවිච් කොහොමද යාකොව් ගේ තොරතුරු? “

තම වැඩිමහල් පුත් යාකොව් රතු හමුදාවට බැඳී සටන් කරන බව රහසක් නොවේ. ජර්මනුන් ගම වැටලු අවස්ථාවේදී කිසිවෙකු විසින් එය ජර්මානු භට හමුදාවේ ප්‍රධානියාගේ කනේ තබා තිබුණි. එය ඇනතෝලි වැසිලිවිච් ගේ ක්‍රියාවක් බව ගෙනාදී සැක කළේය. ජර්මානුන් විසින් ඇනතෝලි වැසිලිවිච් ගමේ සිවිල් කටයුතු පරිපාලන නායකයා ලෙස පත් කල නිසා ඔහුගේ බලය නිතැතින්ම වැඩි විය. එම නිසා ඇනතෝලි වැසිලිවිච් තරහා කර ගැනීම විනාශයට පාර කැපීමක් බව ගෙනාදී තේරුම් ගත්තේය. ඇනතෝලි වැසිලිවිච් යාකොව් පිළිබඳව විමසන්නේ සමච්චලයට බව මහලු ගෙනාදී දනියි. නමුත් තම අප්‍රසාදය සඟවාගෙන ඔහු කතා කළේය.

” ඇනතෝලි වැසිලිවිච් ඇත්තම කියනවනම් යාකොව් ගැන කිසිම තොරතුරක් නැහැ. මොස්කව් යුද පෙරමුණේ සිටි බවට තමයි අන්තිමට ආරංචිය ලැබුනේ."

”පුතා කොමිසාර් කෙනෙක්ලු නේද?" ඇනතෝලි වැසිලිවිච් දුම්වැටිය පත්තු කර ගන්නා ගමන් ඇසිය.

සත්‍ය පැවසුවහොත් කිරිල් තවත් අමාරුවේ වැටෙන බව සිතූ ගෙනාදී අබ්‍රහමවිච් දෙවුර සොලවා තමා ඒ ගැන කිසිවක් නොදන්නා බව පෙන්විය.

ඇනතෝලි වැසිලිවිච් එක එල්ලයේ මහළු ගෙනාදිගේ දෙනෙත් දෙස බලා සිටියේය.

"ගෙනාදී නුඹ දන්නවද අපගේ පවුල විප්ලවය වෙනුවෙන් කල කැපකිරීම්?"

ගෙනාදී අසා තිබු පරිදි විප්ලවයේදී ඇනතෝලි වැසිලිවිච්ගේ පාරම්පරික ඉඩම් ජන සතු විය. නමුත් ඔහුගේ පියා රතු හමුදාවට බැඳී සටන් කළේය. ඇනතෝලි වැසිලිවිච් ගේ සොහොයුරා හිටපු පක්ෂ සාමාජිකයෙකි. හොඳ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකි. ප්‍රති විප්ලවවාදී චෝදනා මත 1934 දී හිටිහැටියේම අත්අඩංගුවට ගත් ඔහුට විසි වසරක සිර දඬුවමක් ලැබුණි. දැන් ඔහු සයිබීරියාවේ ශ්‍රම කඳවුරක දහදිය කඳුළු වගුරවයි. ඔවුන්ට දිනකට ලැබෙන්නේ නිසරු ගෝවා සුප් කෝප්පයක් සහ කළු පාන් අවුන්ස කිහිපයකි. දේශපාලනය නොකළ ඇනතෝලි වැසිලිවිච් හොඳින් ඉගනුම ලැබුවේය. ඔහුට කෘෂිකර්ම නිලධාරියෙකු ලෙසට පත්වීමක් ලබා ගත හැකි විය. ජර්මානු ආක්‍රමණය සමගම ඇනතෝලි වැසිලිවිච් ජර්මානුන්ගේ පාර්ශවය ගත්තේය. දැන් වසිලොව්ස්කයා ගම්මානයේ සිවිල් පරිපාලන නිලධාරියා ඔහුය.

“ගෙනාදී නුඹ මට යම් දිනක චෝදනා කරයි මාතෘ භූමියට ද්‍රෝහී වූ ගහලයෙක් හැටියට. මම ජර්මානුන් සමග වැඩ කරන බව ඇත්ත. මගේ අයියා ඇලෙක්සැන්දර් පක්ෂයට ද්‍රෝහී නොවූ අවංක කොමියුනිස්ට්වාදියෙක්. නමුත් බුහාරින්ගේ ගෝලයෙකු යැයි චෝදනා කොට ඔහුව සිරභාරයට ගෙන සයිබීරියාවට යැව්වා. මගේ ආධ්‍යාත්මය සෝවියට් බලය විසින් මරා දමලා. මට හිට්ලර්ගේත් ස්ටලින්ගේත් වෙනසක් නැහැ. මම දැන් කරන්නේ මට නියෝග කරන දෙය."

ගෙනාදී අබ්‍රහමවිච් නිලධාරියාට කිට්ටු විය. ඉක්බිතිව ඔහුට පමණක් ඇසෙන ලෙස කතා කළේය.

"ඇනතෝලි වැසිලිවිච් මම දන්නවා ඔබගේ පවුල. ඔවුන් අවංක මිනිසුන්. ජර්මානුන් අපගේ මිනිසුන්ට කරන කරන දෙය ඔබට පෙනෙනවා නේද. ඔවුන් ගම් පිටින් වෙඩි තබා මරා දමනවා. අපගේ මිනිසුන් වහල් සේවයට ජර්මනියට පටවනවා. ජර්මනුන්ගේ බලය අවසාන වේගෙන එන්නේ. ස්ටාලින්ග්‍රාද් සටනින් ජර්මනුන්ගේ හය වන සේනාංකය පරාජය වන්නට පටන් ගෙන බවට දුසුමාන ආරංචි පැතිරෙනවා. ළඟදීම රතු හමුදාව ජර්මානුන් රයින් නදියෙන් එහාට පලවා හරියි. තව ටික කාලයකින් සෝවියට් බලය යලි එනවා. එතකොට ඔබට මගේ උපකාරය අවශ්‍යයි. රතු හමුදාව ජ්රමනුන් සමග සම්බන්ධකම් පැවැත්වූ සියලු දෙනාම අත්අඩංගුවට ගෙන නඩු අසාවි. ඔබ කිරිල්ව නිදහස් කලොත් මම ඔබගේ පැත්තට සාක්ෂි දෙනවා."

ඇනතෝලි වැසිලිවිච්ගේ මුහුණ ඉදුණු කොමඩු ගෙඩිය මෙන් රත් පැහැ විය. කෝප වූ විට ඔහුගේ වත රත් පැහැ ගැන්වේ. කෝපය නිසා ඔහුට එකවර කතා කර ගැනීමට නොහැකි විය.

”යුදෙවු බල්ලා නුඹ මට තර්ජනය කරනවා නේද? නුඹ ජර්මානු හමුදාවට විරුද්දව කටකතා පතුරුවන්න පටන් ගත්තේ කවදා සිටද? නුඹ දන්නවද කටකතා පැතිර වීමට දඬුවම, මරණය බව? ජර්මානුන් ගම වට කරලා යුදෙව්වන් පිටමන් කරන විට මම නුඹගේ යුදෙවු සම්භවය සඟවා නුඹව රුසියනුවෙකු ලෙසටයි ලියාපදිංචි කලේ. නුඹගේ සියා යුදෙව්වෙක් බව මම හොඳට දන්නවා. සෝවියට් බලය යලි කිසිදින එන්නේ නැහැ එක ඉර හඳ වගේ විශ්වාසයි. ඒක මතක තියා ගනින්. පව්ලස්ගේ භටයන් අද හෙට ස්ටාලින්ග්‍රාද් සම්පුර්ණයෙන් යටත් කර ගනීවි."


”ඇනතෝලි වැසිලිවිච් අද බලය තිබෙන්නේ ඔබගේ අතේ, හෙට එය කා අතට යාවිද දන්නේ නැහැ, කිරිල්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ ඔබගේ නිර්දේශ මත. ඔහු නිර්දොෂියි. ඔහු තවම ළමයෙක්, හේතුවක් නැතිව ඔබගේ දෑත් වල ලේ ගා ගන්න එපා, මම දැන් යනවා මට කීමට ඇත්තේ එපමණයි."

ගෙනාදී අබ්‍රහමවිච් තම වීදුරුවේ තිබු වොඩ්කා එකවරම උගුරට හලා ගත්තේය. අනතුරුව තම හිස් වැසුම පැළඳගෙන පුටුවෙන් නැගිට්ටේය.

”ඇනතෝලි වැසිලිවිච්, ඔබගේ සොහොයුරා ඇලෙක්සැන්දර් වැසිලිවිච්ට අප සැමදා ගරු කරනවා, ඔහු ප්‍රති විප්ලවවාදීයෙක් කියා අප කිසිදා විශ්වාස කලේ නැහැ. ඉදිරියට විශ්වාස කරන්නෙත් නැහැ. මම යනවා සුබ දිනයක් ඔබට“

ඇනතෝලි වැසිලිවිච් තම කාර්යාලයෙන් එලියට යන මහල්ලා දෙස නොබැලීමට වග බලා ගත්තේය. මහල්ලා ගිය පසු ඔහු විසින් තම මේසය මත දමා ගිය රන් දම්වැල සහිත වටකුරු සාක්කු ඔරලෝසුව අතට ගෙන එය වැඩ කරන අයුරු හඬ කනට ලං කොට ඇසුවේය. ඔහු දීර්ඝ වෙලාවක් ඔරලෝසුවේ හඬට කන් දුන් අතර තම කාර්යාලයට පැමිණි ජර්මානු මේජර්වරයා පවා නොදිටීය.

“ගුටන් මෝර්ගන් මයෝර් ” ඇනතෝලි වැසිලිවිච් නැගිට ජර්මානු නිළධාරියාට ආචාර කළේය.

ජර්මානු නිළධාරියා ඇනතෝලි වැසිලිවිච්ට පෙරලා ආචාර නොකොට සිරකරුවන්ගේ නම් විස්තර ඉල්ලා සිටියේය.

”මේජර්තුමනි, මලෝච්නයා වැව අසල සිද්දියට සම්බන්ධ සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත්තා, මෙන්න නම් ලැයිස්තුව. එක සැකකරුවෙක් අවුරුදු දහසයක ළමයෙක්. ඔහුගේ සොහොයුරා රතු හමුදාවේ කොමිසාර් කෙනෙක්. ඔහුවත් මරණ දණ්ඩනයට පත් කිරීමට අවශ්‍ය නම් මම ඔහුගේ වයස දහ අට කරන්නම්.” ඇනතෝලි වැසිලිවිච් සරුසරු ඇතිව ජර්මානු නිළධාරියාගෙන් ඇසීය.

“වයස ප්‍රශ්නයක් නැහැ, සියලුම සිරකරුවන් මගේ භාරයට දැන් ගන්නවා අද හවස වැව අසලදී සියලුම සැකකරුවන්ව පියානෝ වයර් වලින් එල්ලලා මරනවා. මෙය ගමේ මිනිසුන්ට පාඩමක් හැටියට පෙන්විය යුතුයි. ඒ නිසා සියලුම ගම් වැසියන් අද සවස වැව අසලට කැඳවිය යුතුයි. නුඹට තේරුනාද ඇනතෝලි? “

” වර්ෂ්ටීන්(තේරුනා)" ඇනතෝලි වැසිලිවිච් ගෞරව සම්පන්නව පිළිතුරු දුන්නේය.

[සිතුවම : Anthony van Dyck]

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මාලිංග එළියට එයි. "අහ්... මාලිංග මහත්තයා...." කියා නිර්භීත මාධ්‍යවේදියෙකු කිසිදු බියකින් තොරව අසා සිටියේය. "ඇයි මීට කලින් මාව දැකලා නැද්ද... වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..." කියා මාලිංග කාර් එකේ නැගී යන්නට ගියේය. අර නිර්භීත මාධ්‍යවේදියාට මෙන්ම මාධ්‍යයට ගැරහූ මාලිංගට එරෙහිව පෑන් අමෝරාගෙන පත්තර පිටු පුරාද, රූපවාහිනී පුරාද පුවත් නොසෑහෙන්න ගලා ගියේය. අවසානයේ මාලිංගට විනය පරීක්ෂණයක්ද පැවත්වුණි. ඒ පළමු පුවතයි.

රෝහිත රාජපක්ෂ රග්බි විනිසුරුවරයාට පහර දුන්නේ දෙනෝදාහක් බලාගෙන සිටියදීය. ඉහත කී මාධ්‍යවේදීන්ද එය දකින්නට ඇත. මාලිංගට එරෙහිව නීර්භීත වූ ඔවුහු, රෝහිත ඉදිරියේ දෙකට නැමුණි. ලියූ ඒවාද ප්‍රධාන කතෘගේ මේසයෙන් කුණු කූඩයට හැලුණි. විනය පරීක්ෂණ කිසිවක් නොමැතිව ඉන් පසු දිනයේදී ඩේලි මිරර් පුවත්පතෙන් මාතෘකාව වෙනතට ගැනීමට සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදුනි. ඒ දෙවන පුවතයි.

තරුණයන් දෙදෙනෙකුගේ ක්‍රියා දෙකක් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන නරුමභාවය සහ එම නරුමභාවය පවත්වාගෙන යාමට සහය දෙමින් අන්තර් යැපෙන බලවේගයන් පැහැදිලිවම දැකගත හැකිවෙයි. මාලිංගගේ හැසිරීම අනුමත නොකරන ශ්‍රී ලංකා සමාජයට ජනාධිපතිවරයාගේ පුතා වූ පලියට මාලිංගගේ ප්‍රකාශයට වඩා බරපතල වරදක්වූ ක්‍රීඩා තරගයක් තුළදී විනිසුරුට පහර දීම මෙපමණ සරල වන්නේ කොසේද? මෙය පහල තැනින් වතුර ගලා යයි කියා සිත් සනසා ගත යුතු කාරණාවක් නොවන අතර අප රට මුහුණ දී සිටින ආරාජිකත්වයේ ප්‍රකාශණයකි. මීට වඩා උදාහරණයක් ලෙස ඔබගේ දුව රෝහිත රාජපක්ෂ අතින් දූෂණයවුවහොත් හෙට දිනයේදී ඔබට කූඩුවේ ලගින්නට සිදුවනවා විනා එතැනින් වෙනස් දෙයක් සිදුවන්නේ නැත. පහර කෑමට ලක්වූ රග්බි විනිසුරුට සිදුවූයේ එවැනි ආකාරයේ දෙයකි.

මහින්ද පාලනය පුරාම පෙන්වා ඇත්තේ මෙවැනි පූර්වාදර්ශයන්ය. 2005 දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂගේ පාලනයේ වර්තමාන කැඩපතක් බවට රාජපක්ෂ බාල පුතාගේ ක්‍රියාව පත්වීම වැලැක්විය නොහැක. දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරමින් අධිකරණය ඈතුලු සියලු දෑ තමන්ට අවැසි ලෙස හසුරවමින් සිටීමේ අවිඥානික අදහස, මහින්ද තුළැති බලයට ඇති කෑදරකමයි. සිය පුත්‍රයා විනිසුරුට පහර දීමද මහින්ද පාලනයේ අරාජිකත්වයේම දිගුවකි. තමා ජනාධිපති පුත්‍රයා නිසා තමන්ට අවශ්‍ය දෙයක් ඕනෑම තැනකදී කිරීමේ විකෘති මනෝභාවයයි.

මෙහිදී රාජපක්ෂලාටත් වඩා නරුමවාදීන් බවට ජනයා සහ බඩගෝස්තරවාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පත්වී ඇති බව මාලිංග සහ රෝහිත රාජපක්ෂගේ ඉහත සිද්ධීන් දෙක තුළ සනාථ කර තිබේ.

("JOINTඑක" සඟරාවේ පළමු කලාපයෙන් උපුටාගත් ලිපියකි.)

ලක්ෂාන් පීරිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රාවයේ අයිතිය වෙනස් වීමක් ගැන පසු ගිය සති කිහිපයක කාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති ඇතැම් විට අතිශයෝක්තියට නැගුණු අතර ඒ නිසාම නොමග යවන සුළු ගතියක් කියාපෑවේය. වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ සමාජ-දේශපාලනික කතිකාව තුළ විකල්ප සළකුණක් තැබූ එකම පුවත්පත රාවය බව අපේ විශ්වාසයයි. එම කතිකාව, වෙන කවරදාටත් වඩා, අදටත් මින් මත්තටත්, මේ රටට අවශ්‍ය කරන්නේය.

එය, වර්තමාන තත්වයන් තුළ තබා සැලකිල්ලට ගන්නේ නම්, රාවයට ආදරය කරන සියල්ලන්ගේ පරිශ‍්‍රමය සක‍්‍රීය ආකාරයකින් අවශ්‍ය කෙරෙන විශාල අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීම සඳහා රාවයේ වර්තමාන ආර්ථික සහ මූල්‍යමය පදනම වර්ධනය කොට ශක්තිමත් කිරීම අනිවාර්ය කෙරී ඇත. ඒ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 20 ක මුදලක් මේ අවස්ථාවේ දී අවශ්‍ය කෙරේ.

එම තත්ත්වය තුළ, රාවය මෙතෙක් පවත්වාගෙන ආ ස්වාධීන අනන්‍යතාව මතුවටත් රැකෙන ආකාරයෙන්, රාවයේ අයිතියෙන් කොටසක් එහි පාඨකයන්ගේ සහ රාවයේ අනාගත අභිවෘද්ධිය පතන ස්වාධීන සමාජ කොටස් වෙත විවෘත කිරීමට රාවයේ පාලනාධිකාරිය එකඟත්වය පළ කොට තිබීම අපේ සතුටට කාරණයකි. දැන් පැමිණ ඇත්තේ, ඉහත සඳහන් මුදල සම්පාදනය කර දීමෙන් රාවයේ ආර්ථික ස්ථායී භාවය සුරැකීමේ ඔබේ වාරයයි. එහි දී, රාවය හරහා මෙතෙක් ගොඩනැගූ විකල්ප කතිකාව මතුවටත් නඩත්තු කරන පාර්ශ්වකරුවන් බවට ඔබ පත්විය යුතු යැයි අපි සිතමු.

එය, රුපියල් 1000 ක සිට රුපියල් 500,000 ක් දක්වා වන සම්මාදම් දායකත්වයක් සැපයීමෙන් හෝ රාවයේ කොටස් හිමිකාරීත්වයට පත්වීමෙන් හෝ කළ හැකිය.

ඒ පිළිබඳ සියළු විස්තර පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් වෙත යොමු කිරීමෙන් හෝ දුරකථන අංකවලට කතා කිරීමෙන් හෝ දැනගත හැකිය.

1. 0777664757 [ gviyangoda@hotmail.fr ]
2. 0773508328 [ kusal.perera@gmail.com ]
3. 0714204092 [ chulananda65@gmail.com ]

පහත අත්සන් කරන අප, රාවයේ මේ තීරණාත්මක මොහොතේ, ඔබේ යහපත් ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටිමු.

1. ධර්මසේන පතිරාජ
2. ධර්මසිරි බණ්ඩාරනායක
3. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
4. ප‍්‍රසන්න විතානගේ
5. අශෝක හඳගම
6. මහාචාර්ය සරත් විජේසූරිය
7. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
8. ගාමිණී වියන්ගොඩ
9. කුසල් පෙරේරා
10. විජයානන්ද ජයවීර
11. චූලානන්ද සමරනායක
12. විමුක්ති ජයසුන්දර
13. චන්ද්‍රගුප්ත තේනුවර
14. සුදර්ශන ගුණවර්ධන
15. අනෝමා රාජකරුණා
16. ජනක ඉනිමංකඩ
17. උදාන් ප‍්‍රනාන්දු




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පූර්ව යටත් විජිත ශ්‍රී ලංකාව බහුශ්‍රැත සංස්කෘතියකට හිමිකම් කියූ සන්දර්භයක් පැවතුණු රටකි. ජාතක පොතේ සිට මහා වංශය දක්වා ලංකාවේ ලියැවී ඇති සාහිත්‍ය කෘති අසා රසවිඳීම අරමුණු කොට ගෙන රචනා වී පැවතීම එම තත්ත්වය අවබෝධ කර ගැනීමට හොඳ නිමිත්තකි. සමාජය තුළින් පුහුණු කරන ලද්දේ හොඳ බහුශ්‍රැතයෙකු හෙවත් ඇසූ පිරූ තැන් ඇත්තෙකු වන ලෙස දෙන උපදේශයයි. පන්සල් හා ප්‍රභූ නිවෙස් මූලික කරගත් සාහිත්‍ය කෘති අසා රසවිඳීමේ සංස්කෘතිය මෙකල බහුලව ක්‍රියාත්මක වූ බව හඳුනාගත හැකිය. මෙම සංස්කෘතිය ලංකාවට රේඩියෝ තාක්ෂණයේ සංක්‍රමණයත් සමග නිරායාසයෙන් බද්ධ විය. රේඩියෝව මගින් තොරතුරු දැනගැනීමට සමගාමීව එහි විකාශය වූ ප්‍රධාන කලාංගයක් වන රේඩියෝ නාට්‍යය ජනතාව වැළඳ ගත්තේ ඒ ආකාරයෙනි. රේඩියෝ නාට්‍යය කලෙක ජනතාව ආස්වාදය කළේ රේඩියෝව වටා බණ අසන්නාක් මෙන් එක්රොක් වෙමිනි. එක් දහස් නවසිය අසූ හත වැනි කාල වකවානුවකත් රූපවාහිනී ටෙලි නාට්‍යය පරයා රේඩියෝ නාට්‍යය ශ්‍රාවකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් බව අනාවරණය කර ගැනීමට ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රවණ පර්යේෂණ අංශය සිදු කළ "ගුවන් විදුලි නාට්‍යය, ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යය, නාට්‍යය ශිල්පීන් හා නාට්‍යය රචකයින් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණ වාර්තාව" සාක්ෂි දරයි. එහිදී "සුගන්ධිකා" පළමු තැනටත්, "ගුවන් විදුලි රඟමඬල" දෙවැනි තැනටත්, "ගජමුතු" තෙවැනි තැනටත්, "මුවන්පැලැස්ස" සිව්වැනි තැනටත්, "සේසතයි කුමරියයි" පස්වැනි තැනටත්, "මේධා" හයවැනි තැනටත්, "ළමා රංග පීඨය" හත්වැනි තැනටත්, "රක්ෂණ රංග" අටවැනි තැනටත්, "සඳගලතැන්න" නවවැනි තැනටත් පාඨක රුචිකත්වය ලබා තිබිණ. මෙම සමීක්ෂණයේදී රේඩියෝ නාට්‍යය ප්‍රිය නොකළ අය කිසිවකු නොසිටි අතර රූපවාහිනිය ප්‍රිය නොකළ අය සියයට එකක් විය. සමකාලීන නාට්‍යය රචකයා උසස් නිර්මාණ බිහි කරන බව සියයට පනස් හතක් ශ්‍රාවකයින් ප්‍රකාශ කර තිබුණ අතර ඒවා ඒකාකාරී තේමාවන් බව සියයට තිස්තුනක් දක්වා ඇත. රේඩියෝ නාට්‍යය සම්බන්ධව ගුවන් විදුලි සංස්ථාව සිදු කළ අවසාන සමීක්ෂණය හා සමීක්ෂණ වාර්තාව මෙය වේ. මෙහි පිටපතක් ජාතික පුස්තකාලයේ හෝ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නොමැති අතර ගුවන් විදුලියේ ශ්‍රවණ පර්යේෂණ අංශයේ ලාච්චුවක තිබූ පිටු ගැලවී ගිය පිටපතකින් ඉහත තොරතුරු පිටපත් කර ගතිමි.

රේඩියෝ නාට්‍යය ලොව බිහි වූ අටවැනි කලාව ලෙසට නම් කෙරේ. ශබ්දය ආගමනයෙන් පසු රේඩියෝ නාට්‍යය යනු "අත්හැර දැමූ පතලක්" ලෙස ඔර්සන් වෙල්ස් දැක්වීය. එමෙන්ම සමකාලීන අධ්‍යනයක් තුළින් එලීසා ගුරල්නික් එය "යල් පැනගිය හා අභාවිත කලාවක්" ලෙස නම් කළාය. එමෙන්ම ෆෝල් ගයිල්ගුඩ් එය "සින්ඩරෙල්ලාවක්" හෙවත් නොහඳුනන දෙයක් යන අදහස මතු කළේය. නමුත් ගැටලුව වනුයේ මෙම නිර්වචනයන්හි අර්ථ බිඳ දමමින් වර්තමාන ඩිජිටල් සයිබර් අවකාශය තුළද රේඩියෝ නාට්‍යය සෙසු කලාවන් අභිභවා ප්‍රබල ලෙස මතු වීමයි.

දිසි මාධ්‍යයන්ගෙන් නිෂ්පාදනය වන කලාංග නැවත සාහිත්‍ය කෘති ලෙස මුද්‍රණය වී පාඨකයා අතට සංසරණය වීමේ සංස්කෘතිය යුරෝපීය රටවල බහුලව දිටිය හැකිය. සොපොක්ලීස්ගේ සිට ශේක්ස්පියර්, ඉබ්සන්, බ්‍රෙච්ට්, පින්ටර්, දාරියෝ ෆෝ දක්වා නානා විධ ශානරයන්ගේ පුරාණ, සම්භාව්‍ය, නූතන නාට්‍යය කෘති වර්තමාන පාඨකයාට රසවිඳීමට හැකියාව ඇත්තේ ඒවා මුද්‍රණය වී පවතින සාහිත්‍ය සංස්කෘතිය හෙයිනි. සම්මානනීය චිත්‍රපටවල තිර නාට්‍යය ද කෘතින් වශයෙන් නැවත පාඨකයා අත සංසරණය වන්නේ තිරනාටක කතා සාහිත්‍යයක් උත්පාදනය කරමිනි. රේඩියෝ නාට්‍යයට සමගාමීවද මෙම තත්වය වඩාත් ප්‍රචලිතව ක්‍රියාත්මක වන අයුරු සමකාලීන රේඩියෝ නාට්‍යය සාහිත්‍යයක් ලෝක තලය තුළ පැවැතීමෙන් හඳුනාගත හැකිය. රේඩියෝ නාට්‍යය සාහිත්‍යය යනු කෙටි කතා, නව කතාවෙන් ඔබ්බට සාහිත්‍යංගයන්හි ඇති වූ නව මාධ්‍යමය දිගුවයි. එය තවත් අයුරකින් සංරක්ෂණ කාර්යභාරය ද ඉටු කරයි. මෙම මුද්‍රිත කෘතිවල නිෂ්පාදන තොරතුරු, ඒ සඳහා එල්ල වූ විචාර මෙන්ම අභියෝග, දායක වූ ශිල්පීය විස්තර ද දැකිය හැකිය. එමෙන්ම අනාගතයේදී යමෙකුට එම විධික්‍රම අධ්‍යයනය කරමින් නව නිෂ්පාදන හෝ වෙනත් කලාත්මක මාදිලියකට පරිවර්තනය කිරීමේ අවකාශයද සකසයි. රේඩියෝ නාට්‍යය වැනි කලාංග ශබ්දය මුල්කොට ගත් නිර්මාණ ලෙසින් අර්ථ දක්වා පිටපත් කියවීම තුළ එහි සැබෑ රසය විඳගැනීමට නොහැකි යැයි යමෙකුට තර්කයක් ගෙන ආ හැකිය. රේඩියෝ නාට්‍යයක් පිටපතකින්ම පමණක් රසවිඳිම පහසු නොවන බව "හඬනළුව හෙවත් ගුවන් විදුලි නාට්‍යය" කෘතියේදි සුගතපාල ද සිල්වා ද දක්වයි. මම එම අදහස් ප්‍රතික්ෂේප කරමි. රේඩියෝ නාට්‍යය පිටපතකින් හා රේඩියෝ නාට්‍යය නිෂ්පාදනයකින් ද්විත්ව රසයක් උත්පාදනය වේ. ස්වභාවික ශබ්ද, හඬ ප්‍රයෝග, සංගීතය හා නළු නිළියන්ගේ කටහඬ මූලික කරගත් ශාබ්දික රංගයක් ලෙසින් රේඩියෝ නාට්‍යය පැවතුණත්, රේඩියෝ නාට්‍යය පිටපත් ද කියවා අපූර්ව රසයක් පාඨකයෙකුට ලබාගත හැකිය. එහිදී කෙටි කතාවක් කියවීමෙන් ලබන්නා වූ පරිකල්පනීය අවකාශයම පාඨකයෙකුට හිමි වේ.

"රේඩියෝ ප්ලේ", "රේඩියෝ ඩ්‍රාමා", "ඕඩියෝ තියටර්", "රේඩියෝ තියටර්", "ඉන්විසිබල් ප්ලේ" යන ඉංග්‍රීසි චචන සඳහා සිංහලෙන් "ගුවන් විදුලි නාට්‍යය", "රෙදෙව් නාටක", "හඬනළුව", "ශාබ්දික රංගය" ආදී වචන අපට හමුවේ. සුගතපාල ද සිල්වාගේ නාමකරණයක් වන "හඬනළුව" යන වදන එයට ඉතා සුදුසු සිංහල පදයක් ලෙස දැක්විය හැකිය. ඒ තුළ එහි ගැබ්ව ඇති සංකල්පීය අදහස මනා ලෙස හකුළුවා දැක්වේ. එනමුත් මෙම රේඩියෝ නාට්‍ය පිටපත් සාහිත්‍ය සඳහා "රේඩියෝ කතා" යෙදුම යෝජනා කරමි. එයට මුල් වූ හේතුව වනුයේ පාඨකයින් "ගුවන් විදුලි නාට්‍යය පිටපත්" හෝ "හඬනළු පිටපත්" ලෙස දැක්වූ විට මෙම කලාවන් කියවීමට තරමක මැලිකමක් දැක්වීමේ අනුභූතික සත්‍යයයි. මන්ද යත් නාට්‍යය යනු ඇසීම හෝ නැරඹීම යන ප්‍රසාංගික ස්වරූපයකින් යුතු වූවක් බවට නිරන්තරයෙන් ජන විඥානය තුළ කිඳා බැස පැවතීමය. "ජාතක කතා", "ඉතිහාස කතා", "උපමා කතා", "කෙටි කතා", "නව කතා", "චිත්‍ර කතා" කියවා රසවිඳීමේ සංස්කෘතිය සුපුරුදු ලාංකීය පාඨකයාට රේඩියෝ කතා සංස්කෘතියද හඳුන්වා දීමට "රේඩියෝ කතා" යෝග්‍ය යෙදුමකි.

රේඩියෝ කතා රචකයෙකු සෙසු රචකයින්ට වඩා අසීමිත පරිකල්පනීය වපසරියක් භුක්ති විඳියි. එහිදී ශබ්දමය "මොන්ටාජ්කරණය" හෙවත් ප්‍රතිවිරුද්ධ ශබ්ද දෙකක් එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් වෙනත් අර්ථයක් උත්පාදනය කළ හැකිය. සමකාලීන රේඩියෝ නාට්‍යය තුළද සිනමාවේ මෙන් "මිසෙන්සෙන්" හෙවත් රූපාවලෝකන නිර්මිතියක් ගොඩනැගී පවතී. එහි සිනමාවේ මෙන්ම පර්යාවලෝකය සහ ක්ෂේත්‍ර ගැඹුරද මැවිය හැකියි. එය ශ්‍රාවකයාට කැමති අයුරින් "සූම්" කරගත හැකියි. රූප සංයෝජනය, පර්යාවලෝකනය, ක්ෂේත්‍ර ගැඹුර, පසුතල, චරිත සැරිසරන අවකාශ භාෂාව මාදිලිය කරගනිමින් ගොඩනැගේ. පරිසරයන් හා චරිතයන් නිර්මාණය කිරීමේදී එම භාෂාමය පරාසය සෙසු රචකයින් අභිභවා රේඩියෝ නාට්‍යය රචකයාට නිරන්තරයෙන් හිමි වේ. එම පරිකල්පනීය කලාත්මක අවකාශය තම දැනුම ඔස්සේ අර්ථ ගන්වමින් විඳගැනීමට රේඩියෝ නාට්‍යය ශ්‍රාවකයාට මෙන්ම පාඨකයාටත් එක සේ දොරටු විවර වේ.

පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජය හදාරන විට රේඩියෝ නාට්‍යය නම් කලා මාධ්‍යය හා කොයිතරම් වූ බැඳීමකින් ලාංකීය සමාජය කටයුතු කළේද යන වග පෙනේ. අපට මුලින්ම රේඩියෝ නාට්‍යය සංස්කෘතිය හිමිවන්නේ එකදහස් නවසිය විසිපහ තරම් ඈතකදීය. ධර්ම ශ්‍රී මුණසිංහ, ජේ.එච්. ජයවර්ධන මා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ ආකාරයට ආරම්භක යුගයේ නාට්‍යය බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙනි. ආරම්භක යුගයේ නාට්‍ය පුහුණු වන ලද්දේ රචකයාගේ නිවසේය. මෙකල ගුවන් විදුලි නාට්‍යවල රඟපෑම කළේ විනෝදාස්වාදය සඳහා වන අතර නාට්‍යයවලදී ගෙවන ලද්දේ රචකයාට පමණි. මෙම නාට්‍යය බහුතරයක් බී.බී.සී. ආයතනය විසින් නිෂ්පාදනය කළ නාට්‍යයන්හි සිංහල පරිවර්තන හෝ අනුවර්තනයන්ය. උදාහරණ ලෙසට ජෝර්ජ් බර්නාඩ්ෂෝගේ "ද ඩොක්ටර් ඩයිලේමා" නාට්‍යය "වෙදහටන" ලෙසත්, ගීද මෝපසාන්ගේ "නෙක්ලස්" "දියමන්ති මාලය" ලෙසත්, ඇනටොල් ෆ්‍රොන්ස්ගේ "ද මෑන් හූ මැරීඩ් ඩම්බ් වයිෆ්" නාට්‍යය "ගොළු බිරිඳ" ලෙසත් නිෂ්පාදනය වූ ඉතිහාසය දැක්විය හැකිය. එමෙන්ම ආර්.එල්. ස්පිට්ල්, ලෙනාඩ් වුල්ෆ්, පියදාස සිරිසේන, ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ ආදී රචකයින්ගේ කෘති නාට්‍යය ලෙස අනුවර්තනය කොට ප්‍රචාරය වූ සංස්කෘතියක් අනෙක්පසින් හමු වේ. එක් දහස් නවසිය හතලිහ දශකයේ ගුවන් විදුලියේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ ධර්ම ශ්‍රී මුණසිංහ විසින් ඉහත සන්දර්භයන්ගෙන් යුක්ත නාට්‍යයවලට දැඩි විවේචනයක් ගෙන එන ලදි. එනම් එම නාට්‍යයවල ලාංකීය සමාජය ස්පර්ශ කරන තේමාවන් හා වස්තු විෂයයන් නොමැති බව දක්වමිනි. එයට ලැබුණු ප්‍රතිචාරය වූයේ එවකට ගුවන් විදුලියේ නාට්‍යය අංශයේ අයිලින් බ්ලයිට් සරත්චන්ද්‍ර නිෂ්පාදිකාව ධර්ම ශ්‍රී මුණසිංහට එම අභියෝගය ජයගනිමින් නාට්‍යය රචනයට ආරාධනා කිරීමය. ධර්ම ශ්‍රී "ඇහැටුල්ලා" නම් වූ නාට්‍යය රචනා කරමින් සිය නාට්‍යය දිවිය ආරම්භ කරන අතර පසුකාලීනව "මුවන් පැලැස්ස", "ගජමුතු", "මොණර තැන්න", "මේධා", "ආදරණීය ජුලියස්", "මුදලි මංකඩ" ආදී නාට්‍යය රැසක් රචනා කරමින් ලාංකීය රේඩියෝ නාට්‍යය කලාවේ පදනම ශක්තිමත් කළ රචකයෙකි. ලාංකීය රේඩියෝ නාට්‍යය කලාවේ සමකාලීනව මෙවන් පරිඥානයෙන් සමන්විත වූ රචකයෝ ශ්‍රාවකයින්ගේ පරිකල්පනය විනිවිඳීමට සමත් වෙති. එදිරිවීර සරත්චන්ද්‍ර, ඒ.පී. ගුණරත්න, ටී.ජී.ඩබ්. ද සිල්වා, පී.කේ.ඩී. සෙනෙවිරත්න, ටී.ද.එස්. ලීලානන්ද, බී.ඊ. හල්වල, බී.කේ. සෝමපාල, එස්. පියසේන, ලයනල් ජේ. ප්‍රනාන්දු, පී. දේවසිරි පෙරේරා, කුලසිරි අමරතුංග, සුදාස් මාසකෝරාල, විමල් නවගමුව, රත්නසිරි එරත්න, ධර්මදාස කල්දේරා, මීගල මුදියන්සෙ, පෙ.දු. ජිනදාස, පී. වැලිකල, මුදලිනායක සෝමරත්න, වික්ටර් මිගෙල්, ආනන්ද සිරිසේන, කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා, ඇරැව්වල නන්දිමිත්‍ර, සිරිලාල් කොඩිකාර, ගැමුණු විජේසූරිය, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර, ධර්මසේන පතිරාජ, තිලක් ජයරත්න, ඒ.ඩී. විජේදාස, ඇල්ෆ්‍රඩ් පෙරේරා, ජී.ජී. ගුණවර්ධන, පියසීලී විජේනායක, සමන් අතාවුදහෙට්ටි, ජයසේන බුත්පිටිය, රෝහණ කස්තුරි, ආනන්ද අමරසිරි, උදේනි පද්මානන්ද දිසානායක, සුගතානන්ද ලොකුගමගේ, හිඟුල්වල දිසානායක, සීතා රංජනී, ලෙස්ලි බී. සිරිමාන්න, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, රංජිත් අමරසේකර, එල්සන් දිවිතුරුගම, කරුණාතිලක හඳුවල, කරුණාරත්න අමරසිංහ, මර්වින් සේනාරත්න, භද්‍රජී මහින්ද ජයතිලක, අශෝක කොළඹගේ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, සුමිත්‍රා රාහුබද්ධ, සුනිල් විජේසිරිවර්ධන, කපිල කුමාර කාලිංග, ජයලාල් රෝහණ, කැත්ලීන් ජයවර්ධන, සෞම්‍ය ලියනගේ, පියල් කාරියවසම්, සුදර්ශන බණ්ඩාර, උදය ආර්. තෙන්නකෝන් එම රචකයින්ගෙන් සුළුතරයකි. එහෙත් ගැටලුව වනුයේ ඔවුන් විසින් නිර්මිත නාට්‍යය බහුතරයක් පරිශීලනයේ අවස්ථාව වර්තමානයට උදා නොවීමයි. එයට හේතුව වී ඇත්තේ මෙම නාට්‍යය බහුතරයක් නිෂ්පාදන වශයෙන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් හෝ නාට්‍යය පිටපත් සංරක්ෂණ ව්‍යාපෘතියක් හෝ ඒවා මුද්‍රණය වීමක් නොවීමය. සමකාලීන රේඩියෝ නාට්‍යය කලාවේ නිර්මාණාත්මක කෘති සම්බන්ධයෙන් පශ්චාත් අධ්‍යයනකරුවෙකුට ලබාගත හැක්කේ ඒ හා සම්බන්ධ තොරතුරු ස්වල්පයක් පමණි. ලාංකීය පරිසරයේ සංරක්ෂණයේ ස්වභාව කොතෙක්ද යත් දයානන්ද ගුණවර්ධන විසින් රචිත රේඩියෝ නාට්‍ය අත්පිටපතක පසු පිට ඇතුළු පිටු කිහිපයක් ගුවන් විදුලි සංස්ථාවේ ආපන ශාලාවේ අත් පිසීම සඳහා ඉවත දමා තිබෙනු දෙදහස් දෙක වසරේදී මම දුටුවෙමි.

සත්‍ය වශයෙන්ම මේ වන විට රේඩියෝ නාට්‍යය කලාව බහුතර ජන මනස තුළින් ඈතට ගමන් කරමින් පවතී. මේ සඳහා රූපවාහිනිය, සිනමාව දෙස ඇඟිල්ල දිගු කළත් ජාත්‍යන්තරය දෙස විමසිලිමත් වූ විට පෙනී යන්නේ රේඩියෝ නාට්‍යය සිනමාව, රූපවාහිනි නාට්‍යය, වේදිකා නාට්‍යය, එකිනෙක පරයා යන භාවිතාවකින් නව ඉසව් මානයක් කරා සංවර්ධනය වන ධාරණාවයි. අද රේඩියෝ නාට්‍යය ලේබලය අලවා ගත් යම් ව්‍යාපෘති ලාංකීය රේඩියෝ චැනලවල විකාශය වුවද අපට හඳුනා ගත හැකි යථාර්ථය වනුයේ භාණ්ඩ විකිණීම ඒකායන අරමුණ කරගත් න්‍යාය පත්‍රයය. මේවායේ නිර්මාණ භාවිතයක් හෝ ජීවිතය සම්බන්ධ ප්‍රකාශනයක සේයාවක්වත් අපට හඳුනා ගත නොහැකිය. එදා සිට අද දක්වා අසා පුරුදු බොළඳ විහිළු තහළු, දෙපිට කැපෙන වදන්වලින් ගුවන් කාලය අඩු පිරිවැයක් යටතේ පුරවා දමමින් වෙළඳෙ භාණ්ඩ අලෙවි කරන සංස්කෘතියක් හමු වේ. මේ අතර ඵෙතිහාසික කතා, ජාතක කතා, ජනප්‍රිය විශ්ව සාහිත්‍ය කතා ආදී කතන්දරයන් තේමා කොට ගත් නිෂ්පාදන පැවතිය ද එවායේ ඇති ගැටලුව වනුයේද සමකාලීන සමාජය ස්පර්ශ නොකිරීමයි. කාලාන්තරයක් පට්ට ගසන ඒකාකාරී කතන්දර නැවත නැවත ප්‍රචාරය කිරීම තුළ නව කලා භාවිතාවයකට අවකාශ හිමි නොවේ. මවිසින් හේමපාල මුනිදාසගේ "නරක් වූ පිටි බඳුන" කෙටි කතාව අනුසාරයෙන් රචිත රේඩියෝ නාට්‍ය පිටපතක් එකදහස් නවසිය අනුහයේදී නාට්‍යවේදි සුගතපාල ද සිල්වා වෙත යොමු කළෙමි. එය කියවා බලා දිනෙක ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදි ඔහු ප්‍රකාශ කළේ, කෙටි කතා හෝ වෙනත් ජනප්‍රිය කතා දෙබස් අනුසාරයෙන් නැවත රචනා කිරීම පලක් නොවන බවය. "හඬනළුවේ ඇති විශාල පරිකල්පන පරිමාව අවබෝධ කොට ස්වීයව හිතන්න, රචනා කරන්න" යන්න ඔහු දැක්වූ අදහසය.

රේඩියෝ නාට්‍යයේ නූතන යුගය එක් දහස් නවසිය පනහ දශකයේදී සැමුවෙල් බෙකට්, ගයිල්ස් කූපර්, බැරී බර්මෙන්ජ්, මසී කොන්ක්‍රෙට්, රිස් ඇඩ්‍රියන්, ෆෙඩ්‍රික් බර්ඩ්නම්, හැරල්ඩ් පින්ටර්, ජේම්ස් සුන්ඩර්ස්, ජෝ ඕටර්න්, ටොම් ස්ටොපර්ඩ් ආදී රචකයන්ගේ නව භාවිතාමය ආඛ්‍යාන තුළ හමු වේ. සමකාලීන වූ සාම්ප්‍රදායික රේඩියෝ නාටක ආඛ්‍යාන බිඳදමා නවමු රේඩියෝ නාට්‍යය රචනා සංස්කෘතියක් ගොඩනැගීමට මොවුහු පුරෝගාමී වූහ. එහෙත් පනහ දශකයේදී ලාංකීය රේඩියෝ නාට්‍යය කලාව තිබුණේ තවමත් දණ ගාන අවධියක බව පී. වැලිකල සිය "රේඩියෝ නාට්‍යය කලාව" කෘතිය තුළ විවේචනයට ලක් කළේය. මේ බව සනාථකරමින් රාජ්‍ය ගුවන් විදුලියේ ප්‍රගතිය සහ අනාගත සැලසුම් අරමුණු කොටගෙන නෝමන් එඩ්වඩ් වීරසූරියගේ සභාපතිත්වය හා ඒ.එම්.එම්. සහාඩීන්ගේ ලේකම් ධුරය මත එක්දහස් නවසිය පනස් තුනේ ක්‍රියාත්මක වූ "රිපෝට් ඔෆ් ද කමිෂන් ඔන් බ්‍රෝඩ්කාස්ටින්" යටතේ එකල රේඩියෝ නාට්‍යයේ ස්වභාවය සම්බන්ධ තියුණු විශ්ලේෂණයක් හමු වේ. සමකාලීන සිංහල නාට්‍යයවල දැකිය හැක්කේ බටහිර නාට්‍ය හෝ කෙටි කතා අනුසාරයෙන් සිංහල නම් ගම් යෙදූ නාට්‍යය ප්‍රයුංජනයයි. මේවායේ බහුතරයක් අන්තර්ගතව ඇත්තේ ග්‍රාම්‍ය විහිළු හා දෙබස් ඛණ්ඩ වන අතර කාමුක අශ්ලීල යෙදුම් බව දැක්වේ. සමකාලීන ගුවන් විදුලිය තුළ නාට්‍යය පිටපතක ගුණාත්මක බව මැනීමට සුදුසුකම් ලත් නිලධාරීන්ගේ හිඟයක් ඇත. නාට්‍යය නිෂ්පාදනය කරන නිලධාරීන් හා සහයකයින් රටේ බාහිර නිර්මාණාත්මක දක්ෂතා ඇති රචකයින් ඈඳා ගැනීම වෙනුවට අධිකාරිත්වයක් හිමි පිරිසකට අවකාශය සැකසීම ගැටලුවකි. සමකාලීන නාට්‍යවල රංගනයේ නියුතු බහුතර ශිල්පීන්ද කොළඹ ආශ්‍රිත පදිංචිකරුවන් වන අතර චරිත ලබා දීමේ තීරණය ද නිෂ්පාදකවරුන්ගේ මනාපය අනුව සිදුවිය. මෙම බොහෝ රංගන ශිල්පීන්ට සිංහල බස සම්බන්ධ දැනුම මෙන්ම දේශීය සංස්කෘතික අත්දැකීම් ද විරළ නිසා රංගනය කෘත්‍රිම ස්වභාවයක් ගත් බවට විවේචනයක් තිබිණ. එය ගැමි චරිත රංගනයේදී මනාව ඉස්මතු විය. එමෙන්ම නාට්‍යය අංශය වෙත පිටතින් පිටපත් ලැබෙන විට කරනුයේ දුර්වල හා ආධුනික රංගන ශිල්පීන් දමා නිෂ්පාදනය බාළ කිරීමේ සංස්කෘතිය බව කොමිෂන් වාර්තාව දක්වයි. මෙම කොමිෂම සඳහා කේ.එස්. අරුල්නන්දි, එච්.කේ.ඩී. ක්‍රෙට්සර්, ඩී.බී. ඇල්ලෙපොල, අල්හාජ් එම්. ඉස්මයිල්, කේ. කනගරත්නම්, ජේ.ඩී.ඒ. පෙරේරා, මාර්ටින් වික්‍රමසිංහ යන විද්වතුන් අනුයුක්ත විය. රේඩියෝ නාට්‍යයන්හි තත්වය දියුණු කිරීම දුෂ්කර වී ඇත්තේ අත් පිටපත්වල දුර්වලකම නිසා බව ජෝන් ලැම්ප්සන් එක්දහස් නවසිය පනස් එකේ සිය පාලන වාර්තාවෙන් ද දක්වා තිබූ කරුණකි. එහිදී නාට්‍යය අත්පිටපත් උපදේශක කමිටුව සඳහා ඩී.ආර්. ඇන්තනී පියතුමා, එදිරිවීර සරත්චන්ද්‍ර, ඇම්.ජේ. පෙරේරා, ලීලානන්ද කල්දේරා, ඩී.බී.අයි. සිරිවර්ධන ද නාට්‍යය නිෂ්පාදන උපදේශක කමිටුව සඳහා එදිරිවීර සරත්චන්ද්‍ර, ලැඩී රණසිංහ, ඩී.එන්. චන්ද්‍රකුමාර, ආනන්ද සරත් විමලවීර, එම්.එල්. වීරසේකර කටයුතු කරන ලදි. රේඩියෝ සිලෝන්හි එක්දහස් නවසිය පනස් දෙකේ වැඩ බලන වැඩසටහන් අධ්‍යක්ෂ වූ මූර්ෆුට්ගේ විවේචනය වූයේද නාට්‍යය ඉතා දුර්වල මෙන්ම සංවාද හා ආකෘතියද පහළ මට්ටමක ඇති බවයි.


සුනන්ද මහේන්ද්‍ර (දකුණේ) සිය 'චරිත හතරක්' රේඩියෝ නාට්‍යයේ පුහුණුවීම් කරමින්....

සමකාලීන රේඩියෝ නාට්‍යයේ වෙනස් වීම සම්බන්ධව ගුවන් විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂව සිටි ස්ටුවර්ට් වේවල් එක් දහස් නවසිය හැට නවයේදී රචිත "ගුවන් විදුලි ශිල්පය" කෘතිය තුළද කරුණු රැසක් සොයා ගත හැකිය. ඔහුගේ ප්‍රධාන තර්කනය වන්නේ තමා හඳුනන සමාජය ස්පර්ශ කරන අත්දැකීම් මත ගොඩ නැගුණු කතාවක් නිර්මාණය කිරීමට නාට්‍යය රචකයින් උත්සාහ කළ යුතු බවයි. ස්වීය නාට්‍යය කලාවක් මෙරට ස්ථාපිත කිරීම සඳහා එය හොඳ තර්කනයකි. එහෙත් නාට්‍යය රචනය සම්බන්ධයෙන් ස්ටුවර්ට් වේවල් දක්වන ක්‍රමවේදයන් තුළ එවන් සංස්කෘතියක් ගොඩනැගිය හැකිද යන්න ගැටලුවකි.

"ඊළඟට කතා ශරීරය ගැන හිතන්න. කතාවේ කවර අන්දමේ ගැටීමක් ඇති කළ යුතුද, තමා නිර්මාණය කරන ප්‍රධාන චරිත හා සුළු චරිත අතර තිබිය යුතු සම්බන්ධය ද තීරණය කළ යුතුය. ඒ කරුණු ගැන සැලකිල්ල යොමු කිරීමෙන් පසුව ප්‍රධාන ඝට්ටනය ක්‍රමයෙන් ඇතිවන අන්දමත්, අවසානයේ විසඳීම හෝ විනාශය සිදුවන අන්දමත් වෙන් කර ගත යුතුය. ඊළඟ කාර්යය එම සිද්ධීන්වල පසුබිම, ඒවා සිදුවන ස්ථානය තීරණය කිරීමයි. ඒ අයුරින් ස්වභාවික වේලාව පිළිබඳව පැහැදිලි හැඟීමක් අසන්නා තුළ ඇතිවන පරිදි නාට්‍යය රචනා කළ යුතුය. නාට්‍යය රචනයේදී එක් ජවනිකාවක් අවසානයේදී ඊළඟ ජවනිකාවට අසන්නන් සූදානම් කරන ඉඟියක් යෙදීමද රචකයා විසින් සිහියේ තබාගත යුතු කරුණකි. ඒ සඳහා සංවාදයට යම් වචනයක් හෝ වාක්‍යයක් ඇතුළත් කළ හැකිය. ගුවන් විදුලිය මගින් අප නිතරම අදහස් කරන්නේ අප කියන දේ පිළිබඳ සත්‍යතාව අසන්නාට දැක්වීමටයි. මේ සඳහා පිටපත දෙතුන් පාරක් කියවා බලා සත්‍ය ලෙස නොපෙනෙන කරුණු, අස්වාභාවික දෙබස් ආදිය ඉවත් කළ යුතුය. ඇතැම් විට අස්වාභාවික ලෙස පෙනෙන සුළු ජවනිකාවක් ද ඉවත් කිරීමට සිදුවිය හැක." "අපටම ආවේණික නාට්‍යය සම්ප්‍රදායයක් ඇති කරගත හැකිද, එසේනම් කෙසේද? ලංකාවේ පැරණි ඉතිහාස සිද්ධීන් සහ පෙරදිග දේව කතා යනාදිය ආශ්‍රය කරගෙන අපටම ආවේණික රසවත් ජවනිකා අපට නිර්මාණය කිරීමට පිළිවන."

එලෙස ස්ටුවර්ට් වේවල් දක්වා ඇති ක්‍රමවේදයන් නාට්‍යය රචනය හා සම්බන්ධ සාම්ප්‍රදායික විධික්‍රමය ලෙස නාමකරණය කරමි. ලාංකීය රේඩියෝ නාට්‍යය කලාව නව මානයන් ඔස්සේ සංවර්ධනය නොවුණේ මෙවන් ආචාර ධර්මයන්ට අනුකූලව රචකයන් හා නිෂ්පාදකයන් ආකෘතිගත නිර්මාණ බිහි කිරීමට දැරූ යාන්ත්‍රණය නිසාය. නව කලා සංස්කෘතියක් ගොඩ නැගිය හැක්කේ සෑම විටම පවතින සම්ප්‍රදායන් වෙනස් කරමින් සමකාලීන හෙවත් කන්ටෙම්පරරි තේමා සංකල්ප, ආඛ්‍යාන, ආකෘති ස්පර්ශ කළ විට පමණි. ලාංකීය රේඩියෝ නාට්‍යය කලාව තුළ බහුතරයක් අපට හමුවන්නේ සම්ප්‍රදායික ආකෘති ප්‍රතිජනනය කිරීමයි. වර්තමානයේද එම තත්වය රේඩියෝ නාට්‍යය තුළ හඳුනාගත හැකිය.

ලාංකීය පසුතලය තුළ වර්තමානය වන විට රේඩියෝ නාට්‍යය වටා ආකර්ෂණය වූ ජනතාව වෙනත් මාදිලීන් වෙත යොමුව ඇති බව දිටිය හැකි සත්‍යයකි. තත්වය එසේ වුවද රේඩියෝ නාට්‍යය නම් කලාංගයේ බලය එම නිසා බිඳවැටී නැත. කලාංගයක් ලෙස රේඩියෝ නාට්‍යය මේ වන විට නව මානයන් හා ආකෘති ඇසුරින් මනාව පරිපෝෂණය වෙමින් නව අනන්‍යතාවකින් පැවතෙන අයුරු ජාත්‍යන්තර තලයේ අපට හඳුනාගත හැකිය. බී.බී.සී. සේවයේ "චැනල් ෆෝ" හා "චැනල් සෙවන්" ආදී නාලිකා දෙසට යොමු වුවහොත් රේඩියෝ නාට්‍යය කොතරම් වූ සංවර්ධනාත්මක පරිවර්තනයක් ලබා ඇත්ද යන්න පෙනේ. විවිධ තේමා, ආකෘති, ශානරීය අනන්‍යතා විදහාපාන නාට්‍යය රැසක් විනාඩි "පහළව", "තිහ", "හතලිස් පහ", "පැය", "පැය එකහ මාර" ආදි කාල පරාසයන්ගෙන් ශ්‍රවණය කිරීමේ වපසරිය දිනපතා ශ්‍රාවකයාට එහි උදා කෙරේ. එමෙන්ම බී.බී.සී. යටතේ නිෂ්පාදනය වූ නාට්‍යය කෘති නැවත මුද්‍රණයෙන් ද පාඨකයා අතරේ ගමන් කරයි. රේඩියෝ නාට්‍යය මෙවන් දීප්තියකින් ජාත්‍යන්තරය තුළ පවතින්නේ එහි බලය, පරිකල්පනයේ ධාරිතාව එම රටවල සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික, දේශපාලනික යාන්ත්‍රණය අවබෝධ කර ඇති බැවිනි. බී.බී.සී සේවය සිය හැත්තෑ පස්වැනි සංවත්සරය උදෙසා (එක් දහස් නවසිය විසිදෙකේ නොවැම්බර් දා හතර - එක් දහස් නවසිය අනූහතේ නොවැම්බර් දා හතර) කළ සටහනක රේඩියෝ නාට්‍යය විශාල කර්මාන්තයක් බව දක්වයි. එහි නළු නිළියන් "දා හතර දහසක් ද", රචකයින් "දහසක් ද" , නාට්‍යය පැය "එක්දහස් එකසිය හැත්ත හතරක් ද", නව නාට්‍යය "තුන්සීයක් ද" වසරකට සක්‍රිය වේ. බී.බී.සී. සේවයේ නාට්‍යය දෙපාර්තමේන්තුවේ වාර්ෂික අයවැය "ස්ටර්ලින් පවුම් මිලියන දහනවයකි". බී.බී.සී. නාට්‍ය අංශය වෙත වාර්ෂිකව පිටපත් "දසදහසකට" ආසන්න ප්‍රමාණයක් ලැබෙන අතර ඉන් "පන්සියයක්" පමණ ස්වීය රචනා වන බව දක්වයි. වසරකට රේඩියෝ නාට්‍යය නිෂ්පාදන "දෙදහසකට" අධික ප්‍රමාණයක් බී.බී.සී. සේවය ඔස්සේ විසුරුවා හරිනු ලබයි. බී.බී.සී. සේවය අවුරුදු හැත්තෑ පහක් පුරා නිෂ්පාදනය කළ රේඩියෝ නාට්‍යය අතරින් ප්‍රේක්ෂක රුචිකත්වය මත නාට්‍යය අටක් තෝරා ගනු ලැබීය. ඒ අතර "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ෂර්ලොක් හෝම්ස්" 1989, "ද ආචර්ස්" 1951, "බොම්බර්" 1995, "සිගරැට් ඇන්ඩ් චොකලට්ස්" 1988, "ජූඩ් ද ඔබ්ස්කියු" 1986, "ලෝඩ් ඔෆ් ද රින්ග්" 1986, "ස්පුන්ෆේස් ස්ටේන් බර්ග්" 1997, "ද ටේල් ඔෆ් ටූ සිටීස්" 1989, "අන්ඩර් ද මිල්ක්වුඩ්" 1954 පිළිවෙළින් ප්‍රේක්ෂක රුචිකත්වය දිනා ගනු ලැබු නාට්‍යයයි. රේඩියෝ නාට්‍යය සංරක්ෂණය බී.බී.සී. ආයතනය විද්‍යාත්මකව සිදු කරන අතර අවුරුද්දකට වරක් ප්‍රචාරය වන නාට්‍යය එකතු කොට සංග්‍රහයක් ලෙස පළ කිරීම සම්ප්‍රදායයකි. මෙම සම්ප්‍රදාය අනුගමනය කිරීමට ගත් උත්සාහයක් ලෙස කලෙක ලාංකීය ගුවන් විදුලියේ "තරංගනී" සඟරාව තුළ යම් යම් නාට්‍යය පිටපත් පළ කිරීම දැකිය හැකි මුත් එය අඛණ්ඩව ක්‍රියාත්මක නොවීය.

බී.බී.සී. මගින් ප්‍රචාරය වන සෑම රේඩියෝ නාට්‍යයක්ම පාහේ "රීඩින් ආකයිව්ස් ඉන් කූවෂාම්"හි සංරක්ෂණය කෙරේ. එක් දහස් නවසිය අසු හතේ සිට රේඩියෝ නාට්‍යය පෞද්ගලික අනුග්‍රහයන් යටතේ සංවර්ධනය වීමට අවකාශ රැසක් උදා කර ගනු ලැබීය. මේ යටතේ නව වෘත්තීමය රචකයින් බිහි වූ අතර නවමු රචනා විධික්‍රම කෙරෙහි අවධානය යොමු විය. මෙම ක්‍රමය යටතේ රේඩියෝ නාට්‍යයටත් වෙනත් කලාංගවලට මෙන්ම ප්‍රතිපාදන සැකසීමට බලපෑමක් බ්‍රිතාන්‍ය රජයට එල්ල විය. එමෙන්ම රේඩියෝ නාට්‍යය ශ්‍රාවකයා වෙත රැගෙන යාම සඳහා නව ක්‍රමවේද සැකසුණි. රේඩියෝ නාට්‍යය සජීවී ජංගම දුරකතනවල වැඩසටහන් ලෙස බෙදා හැරීමට හා බ්‍රිතාන්‍ය නිදහස් රේඩියෝ නාට්‍යය නිෂ්පාදකවරු අන්තර්ජාල රේඩියෝ නාට්‍යය හඳුන්වා දීම සුවිශේෂය.

රේඩියෝ නාට්‍යය ශ්‍රාවකයා අතර සංසරණය වීමේ මාදිලීන් ද මේ වනවිට නූතන ආරක් ගෙන ඇත. අන්තර්ජාලය තුළ රේඩියෝ නාට්‍යය සජීවීව ශ්‍රවණය කිරීම සඳහා වෙබ් අඩවි රැසකි. wirelesstheatrecompany.co.uk, radiodramarevival.com, radiodramareviews.com, audiodramadirectory.com ජනප්‍රිය අඩවි වේ. මේවායේ නොමිලේ මෙන්ම ඉතා සුළු මුදලක් ගෙවා සජීවිව හා බාගත කරමින් නාට්‍යය ශ්‍රවණය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම ජංගම දුරකථන හා අයිපෝඩ් භාවිතා කරමින් රේඩියෝ නාට්‍යය ශ්‍රවණය කරන්නා වූ මහා සංස්කෘතියක් හමු වේ. වාහනවල දීර්ඝ සංචාරවලදී, ගුවන් ගමන් සඳහා බලා සිටීමේදී, වෙද්‍යවරුන් මුණගැසීමේ දිගු කාලයන්හිදී රේඩියෝ නාට්‍ය ශ්‍රවණය බහුල බව moonlightaudiotheatre.ca වෙබ් අඩවිය දක්වයි. මේ යටතේ රේඩියෝ නාට්‍යය නිෂ්පාදන සමාගම් විසිපහක් නාට්‍යය සම්පාදනය කරන අතර රටවල් අනූවක් සමග ඒකාබද්ධ වෙමින් නාට්‍යය සංසරණය කරවයි. මේ සඳහා උතුරු ඇමරිකාව තුළ පමණක් ශ්‍රාවකයින් මිලියනයකට අධිකය. බොහෝ සන්නිවේදකයින් අද රේඩියෝ නාට්‍යය අන්තර්ජාලය ඔස්සේ බෙදා හරින "ශබ්ද ෆයිල්" ලෙසට බාගත කිරීමේ හැකියාවද උදාකර දී ඇත. එමෙන්ම නූතන "ටෝකිං බුක්" යන සංකල්පය යටතේ සාම්ප්‍රදායික පොත් වෙනුවට කනට ශබ්දය ඇසිය හැකි "සවුන්ඩ් ඩ්‍රාමා" ටෝකින් බුක් මත වෙළඳපළ තුළ දිටිය හැක.

රේඩියෝ නාට්‍යය සම්බන්ධ තරග රැසක් හා උළෙල රැසක් ජාත්‍යන්තරය තුළ හමු වේ. "බී.බී.සී. ඉන්ටර්නැෂනල් ප්ලේරයිට් කම්පිටිෂන්" එහිදී අතිශය ජනප්‍රියය. එමෙන්ම අන්තර්ජාලය පිරික්සූ විට රේඩියෝ නාට්‍යය "ෆාම්", "ඔටාර්ප්", "ඔන්ද එයාර්", රිවිවල්" ආදී නම්වලින් යුක්ත තරගාවලි රැසක් සම්මුඛ වේ. කලෙක ලාංකීය පසුතලය තුළ ද මෙවන් තරග පැවැත්වූ ඉතිහාසයක් දැකිය හැකිය. ශ්‍රී ලංකා ගුවන් විදුලිය එහි ආරම්භයේ සිට විවිධ අවස්ථාවල තරග පවත්වා රචකයින් දිරි ගන්වමින් තෑගි ලබාදීම හා ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය කිරීමේ සංස්කෘතියක් ඈත අතීතයේ පැවතුණි. කලෙක යෞවන සම්මාන උළෙල හා විවිධ සාහිත්‍ය උළෙවල්හිදී රේඩියෝ නාට්‍යය රචනා තරග අංශ පැවතුණ මුත් වර්තමාන කිසිදු සාහිත්‍ය උළෙලක රේඩියෝ නාට්‍යය පිටපත් රචනය තරග අංශයක් ලෙස පවතින සංස්කෘතියක් හමු නොවේ.

විෂයයක් ලෙස රේඩියෝ නාට්‍යය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතී. බ්‍රිතාන්‍යයේ පමණක් "හල්", "ඇබරෙස්ටටුවිස්", "ස්වන්සි", "ග්ලැමොර්න්", "මැන්චෙස්ටර්", "බෝල්ටන්- ඉන්ස්ටිටියුට්", "ෂෙෆීල්ඩ්", "සොල්ෆර්ඩ්", "ලුටන්", "ඊස්ට් ඇන්ග්ලියා", "කෙන්ට්" යන සරසවි අධ්‍යයන අංශයන්හි පාඨමාලා රැසක් පැවැත්වේ. "ගෝල්ඩ්ස්මිත්", "තේම්ස්වැලි", "හඩර්ස්ෆීල්ඩ්" සරසවිවල රේඩියෝ නාට්‍යය සම්බන්ධ ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි අධ්‍යයනයන්ද සිදුවේ. එමෙන්ම නොයෙකුත් අධ්‍යයන අංශ හා ආයතනයන්හි ශාස්ත්‍රීය බුද්ධිමතුන් රේඩියෝ නාට්‍යය සම්බන්ධ ශාස්ත්‍රීය පර්යේෂණ, අධ්‍යයන, ලිපි රචනා, විචාර, දේශන සංවාද රැසක් පවත්වන සන්දර්භයක් මුණගැසේ.

එක් රූපයක් වචන දහසක් වටී යන සංකල්පයක් ඇත. එහෙත් එක් වචනයක් රූප දහසක් දක්වා බලාත්මක කිරීමට රේඩියෝ නාට්‍යයට හැකිය. ශ්‍රාවකයින්ට සිතන්නට, තර්ක කරන්නට, බුද්ධිය මෙහෙයවීමට හෙවත් ශ්‍රාවකයින්ගේ පරිකල්පන සහභාගිත්වය ඇති කිරීමට රේඩියෝව කදිම මාධ්‍යයක් ලෙස බර්ටෝල් බ්‍රෙච්ට් සිය "රේඩියෝ ඈස් ඇන් ඇපරේටස් ඔෆ් කොමියුනිකේෂන්" රචනයේ දක්වා ඇත. බ්‍රෙච්ට්ගේ ආකල්පය වූයේ රේඩියෝව ඒක රේඛීය තත්වයේ සිට බහු රේඛීය විය යුතුය, ව්‍යාපාරික බෙදා හැරීමේ සිට එය අසන්නාට සන්නිවේදනය දක්වා වෙනස් විය යුතුය, සන්නිවේදන ප්‍රතිපාදිතයේදී දැනුම ලබාදීම සඳහා විධික්‍රමයන් සංවර්ධනය විය යුතුය හා එහිදී කලාත්මක භාවිතාව ප්‍රබල යාන්ත්‍රණයක් කරගත හැකි බවය. බ්‍රෙච්ට්ගේ උපන්‍යාසය භෞතිකමය කිරීමට හැකි ප්‍රධාන මාදිලිය රේඩියෝ නාට්‍යය බව මගේ විශ්වාසයයි.

නව ලිබරල්වාදී සමාජ ව්‍යුහයට අවශ්‍ය කරන්නේ තාර්කිකව නොසිතා තම භාණ්ඩ පරිභෝජනය කරන්නා වූ පාරිභෝගියකයින්ය. කාර්ල් මාක්ස් දක්වන ආකාරයට ධනවාදය තුළ මිනිසා පරිභෝජනය කරනු ලබන්නේ ඔහුගේ ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් නොවේ. වෙළඳෙපොළ විසින් පරිභෝජනය කළයුතුයැයි "ෆෙටිෂ්" හෙවත් "අර්චනකාමයන්" උත්පාදනය කරන දේවල්ය. මෙම තත්වයන් තුළ කලා මාධ්‍යයක් වශයෙන් රේඩියෝ නාට්‍යයට සිරුර කණපිට හරවා තමා දෙසට හැරී බැලීමට මිනිස් පරිකල්පනය අවධි කළ හැකි ශක්‍යතාවක් ඇති බව මගේ ප්‍රබල අදහසයි.

[2013.05.19 දින රාවය පුවත්පතෙහි මුල් වරට පළ විය.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රමෝද්‍යා ආනන්තගේ Perburuan කෘතියේ සිංහල පරිවර්තනය- "පලායන්නා", පී.ජී. පුංචිහේවා 2002 වර්ෂයේ අපට හිමි කර දුන් වටිනා ත්‍යාගයක්. මෙය ප්‍රමෝද්‍යා ආනන්තගේ සාහිත්‍ය ජීවිතයේ පළමු නිර්මාණයයි. අධිරාජ්‍යවාදය නිසා යටත්වැසියන් විඳවන අයුරුත්, ඒ අස්සේ වුවද ප්‍රේම‍ය සිය ස්වරූපය වෙනස් නොකර කැපකිරීම් කරන අයුරුත් මේ කෘතියෙන් පිළිබිඹු වෙයි.

හර්දෝ නම් තරුණ සටන්කාමියෙකු වටා ගෙතෙන මෙය එක පසකින් අධිරාජ්‍ය විරෝධී කැරලි කරුවෙකුගේ ජීවිතය ගෙන හැර පායි. තව පැත්තකින් ඔහුගේ හදෙහි තැන්පත්ව සිටි ගැහැණියක පිළිබඳ සෙනහසක ප්‍රබලත්වය පෙන්වයි. මිනිසාට වෙනස් කළ නොහැකි යම් යම් දෛවීය සන්ධිස්ථාන හමුවේ විඳදාරා ගැනීම හෝ බලා සිටීම හෝ හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බවත් පසක් කරයි.

හිඟන්නෙකුගේ වේශයෙන් හැසිරෙන හර්දෝ ජපන් අධිරාජ්‍යයේ යටත් රටක් වූ ඉන්දුනීසියාවේ එවක පැවති අඳුරු යුගයේ වද වේදනාවලින් ගැලවීමට අරගලයක නියුතු වෙයි. ඔහුගේ සහචරයන් හා එකතුව සැඟව සටන් වදියි.

කෘතියේ දෙවන පරිච්ඡේදය වඩාත් ප්‍රබල එකක්. එහිදී හර්දෝ සිය පියා හමුවේ ඔහුගේ රදල මෝඩකම් හා කුහකකම් විවේචනය කරනුත් පියෙක් පුතෙක් වෙනුවෙන් ශෝක වන අයුරුත් නිරූපණය වෙයි.

"කිසිම මිනිහෙක් සියයට සියයක් හරි සිහි බුද්ධියෙන් නැහැ. කවුරුවත් සියයට සියයක් නිදහසුත් නැ. ලෝකෙ කිසිම දෙයක සියයට සියයක් නැහැ. එහෙම හිතනවානම් ඒක මායාවක්."

ඊළඟ පරිච්ඡේදයේදී ආදරය ගැන හර්දෝ කරන කෙටි සටහන අපේ ජීවිතයේ හරස්කඩක් වගේම මේ පොතෙන් එළි දක්වන විස්තර කළ නොහැකි අදහස්වල සාරය ලෙසත් ගත හැකියි.

"මේ අහපන්." හර්දෝ සැරෙන් කීය. "බොළඳ ද නැද්ද කියන එක උඹේ වැඩක්. ඒ වුණාට ජීවතේ වැදගත් දෙයක් ආදරය."

ඇත්තටම ඒක එහෙම තමයි. ජීවිතේ බොළඳ වගේම හරවත්ම දේවල් හැම දේකම සුසංයෝගයක්. ඒ ඒ වෙලාවට දෝලනය වන හැඟීම් භාවාත්මක වගේම භාවාත්මක දේවල් ගැන තාර්කික මේහෙයවීම් වලින් සුසංයෝග වෙලා. හරිම සංකීර්ණයි.

කතාවේ අවසානයේදී ජපන් අධිරාජ්‍යය පරදවලා හර්දෝ දිනුවත් ඔහුගේ ඉදිරිපිටදීම, ඔහුගේ පෙම්වතිය- නින්ග්සිහ් වෙඩිවැදී මියයයි. එය වේදනාකාරී රූප රාමුවක්. කතාව කියවීමේදී ප්‍රේක්ෂකයෙකු ව සිටින පාඨකයා, ඒ ඛේදජනක අක්දැකීම හමුවේ රටක නිදහස ගැන මෙන්ම හදවතක මියැදෙන ආදරයක උණුසුම් සුසුම් සමග එක් වෙයි.

සමන් පෙරමුණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙසක් පුන් පෝ දිනට පෙරදා රැයෙහි ලුම්බිණි විසල් උයනේ
උයන්පල්ලා පෙර නොදුටු දසුනකිය සල් තුරු අතර මැවුනේ
"කිමද සියොතුනි රැයෙහි කළබල?" පුදුමයෙනි ඔහු දෙතොල සැලුනේ
එයට පිළිතුරු බඳිනු පිණිසම එක මලිත්තෙක් පෙරට පැමිණේ

"හිමි, සමාවුව මැනවි අප හට, නොදත්තෙමු රැය ආ වගක්
නුහුරු වූ මග ලකුණු සොයමින් පියා සැලුවෙමු බෝ දුරක්
භූමියට නැමි මෙතැන සල් ශාඛාව දෙස බලනුව මදක්
හෙට දිනේ එහි වේදනාවෙන් වෙලෙනු ඇත සියුමැලි අතක්"

"එවිට නොරිදෙනු පිණිස ඒ අත
ගැට සහිත වූ මෙ'රළු මතුපිට
අපේ තුඩඟින් සිනිඳු කරනට
මෙසේ අරගන්නෙමු තැතක්!"

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බංග්ලාදේශයේ ඩකා නුවර ආසන්නයේ ඇඟළුම් කම්හල් ගොඩනැගිල්ලක කඩාවැටීම හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශයේ ප්‍රතිඵලයන් විදහා දැක්වෙන සේයා රූ දහස් ගණනක් මුදා හැර තිබුණු අතර, ඒ සියළු සේයා රූ අතර වූ එකමෙක සේයාරුවක් සියල්ලන්ගේ හදවත් සසල කරන්නටත් කම්පනයෙන් මුසපත් කරන්නටත් සමත් විය. එය සිය කැමරා කාචයේ සටහන් තැබූයේ තස්ලීමා අක්තර් නම් ඡායාරූප ශිල්පිනිය විසිනි. (තස්ලීමා අක්තර් බංග්ලාදේශයේ ඡායාරූප ශිල්පිණියකි. එමෙන්ම සමාජ ක්‍රියාකාරිනියකි.)

ලේඛකයකු, ඡායාරූපශිල්පියෙකු මෙන්ම දකුණු ආසියානු පත්ශාලා [Pathshala] ඡායාරූප ශිල්පායතනයේ නිර්මාතෘ ද වන සහිදූල් අලාම් මෙම සේයාරුව පිළිබඳ පලකළේ මෙබඳු අදහසක්.

"මේ සේයාරුව සිත් දැඩිව සසල කරන්නක්. ඒවගේම එහි තියෙන්නේ හද සසල කරවන සුළු සුන්දරත්වයක්. මරණීය වැළඳගැනීමක්. එහි මෘදුබව සුන්බුන් අතරින් ඉහළට මතු වෙන්නේත්, අපේ හිත් ස්පර්ශ කරන්නේත් අප පවා බොහෝ සෙයින් අනතුරකට ලක් විය හැකි යයි සිතෙන වටපිටාවකයි. එය හුදු පෞද්ගලිකත්වයේ දසුනක් ලෙස ඉවත දැමීම නොකළ හැක්කක්. මොකද, මේ සේයාරුව අපේ සිහින තුල පවා දෝංකාර දෙමින් සැරිසරණ නිසා. මේ සේයාරුව නිහඬව කියා සිටින්නේ 'කිසිදිනෙක එසේ නොවේවා!' යන්නයි."

ටයිම් සඟරාවේ "ලයිට් බොක්ස්"හි ඩේවිඩ් වොන්ඩ්රේල්ගේ සටහනක් සමග පල වී තිබුණු මේ සේයාරුව ගැන තස්ලීමා අක්තර් මෙසේ ලියුවාය.

"කඩාවැටීමෙ ප්‍රතිපලයක් ලෙස ජීවිත හානි වූ එකිනෙකා වැළඳගත් යුවළගේ සේයාරුව ගැන බොහෝ දෙනෙක් බොහෝ ප්‍රශ්ණ මා වෙත යොමුකළා. ඒ පිළිබඳ කොතරම් වෙහෙස මහන්සි වුනත්, ඔවුන් කවුරුන්දැයි නිශ්චිතව කීමට තරම් හෝඩුවාවක් මෙතෙක් මට හමු වී නැහැ. ඇත්තෙන්ම ඔවුන් කවුරුන්දැයි මා දන්නේ නෑ. ඔවුන් එකිනෙකා අතර තිබුණේ කුමන අයුරක සබඳතාවක් දැයි මා දන්නේ නෑ.

මා මුළු දවසම ගත කළේ ගොඩනැගිල්ල කඩා වැටුණු ස්ථානයේ, සුන්බුන් අතරින් තුවාල ලැබූ ඇඟලුම් සේවක සේවකාවන්ගේ ජීවිත ගලවා ගන්නා අන්දම දකිමින්. මම දුටුවා වේදනාවෙන් හා භීතියෙන් පිරුණු ඔවුන්ගේ ඥාතීන්. එය විසින් මා මානසිකවත් කායිකවත් බොහෝ සෙයින් අඩපණ කරවනු ලැබුවා.

අළුයම 2.00 ට පමණ එකිනෙකා වැලඳගෙන මිය ගිය යුවළක් සුන්බුන් අතර මා දුටුවා. ඔවුන්ගේ සිරුරුවල පහළ කොටස් කොන්ක්‍රීට් තට්ටු අතර සිරවී යට වී තිබුණා. තරුණ මිනිසාගේ ඇස් වලින් රුධිරය වෑහෙමින් තිබුණේ දෑසින් කඳුළු ගලන්නා වාගෙයි. ඔවුන් දුටු පළමු නිශ්චිත මොහොතේ එය මට අදහාගන්නට නොහැකි දසුනක් වුණා. මට දැනුනේ හරියටම මා කලෙක සිට ඔවුන් දන්නා හඳුනන අය බවයි. අසීමිත සමීප බවක් මට දැනෙන්නා වුණා.

එකිනෙකා රැක ගනිමින්, එකිනෙකා ගේ ආදරණීය ජීවිතය බේරා ගන්නට මරණය හා පොරබදමින් සිය අවසන් සුසුම් පොද මුදා හරිමින් සිටි ඔවුන් දෙසා මා මොහොතක් නිසලවා බලාගෙන සිටියා.

මේ සේයාරුව දෙස නැවත හැරී බලන හැම මොහොතකට මා දැඩි අපහසුතාවකට පෙළී පත් වෙනවා. එය මා තුල නැවත නැවත ඉහළ පහළ චලනය වෙමින් දෝංකාර දෙනවා. ඒක හරියටම ඔවුන් මට මෙසේ කියන්නා වාගෙයි. 'අහිමි වුණේ හුදෙක් සංඛ්‍යාත්මක වශයෙන් ජීවිත ගණනක් නෙමෙයි, නොවැදගත් පහත් කම්කරුවන් ද නොවෙයි. පහත් කම්කරු ජීවිත නොවෙයි. අපි ද ඔබ වැනිම මිනිසුන් වෙමු. ඔබේ ජීවිත තරමටම අප ජීවිත වලට ද අගයක් තිබේ. ඔබ තරමටම අපි ද ජීවිතය පිළිබඳ සිහින දකින්නෙමු.'"


නොසැලකිල්ල නිසාවෙන් ඝාතනයට ලක් වූ අහිංසක දුප්පත් මිනිසුන්ගේ කෲර ඉතිහාසයේ ඇසින් දුටු සාක්ෂි කරුවෝ ඔවුහුය. මිය ගිය සංඛ්‍යාව මේ වන විට 750 කි. සිය සහෘද මිනිසුන් සංඛ්‍යාත්මකව පමණක් සලකා බලන්නට තරම් පිළිකුල් සහගත තත්වයකට අප ඇද වැටී ඇත්ද?

මේ අහිංසක නිර්දෝෂි මිනිස් ඝාතන වලට වගකිව යුත්තන්ට ලැබිය යුතු ඉහළ දඬුවම් ලබා දීමට කටයුතු කිරීම සියල්ලන්ගේම යුතුකමයි. එවිට මෙවන් ඛේදවාචකයන් තවදුරටත් අසන්නට නොලැබෙනු ඇත.

මිය ගිය මිනිසුන් අතර ගත වුණු පසුගිය සති දෙකක කාලය තුල මා අතිශය කම්පනයටත් වේදනාව ටත් පත් වුණා. මේ කුරිරු සත්‍යයේ සාක්ෂියක් ලෙස ඒ වේදනාව ඔබ හා බෙදා ගන්නට මා තුල ඇති වූ බලවත් පෙළඹවීම නිසයි මේ සේයාරුව වරක් හෝ ඔබ විසින් දැකිය යුතු යුතු යයි මා සිතුවේ."


( time.com වෙබ් අඩවියේ පළවූ "A Final Embrace: The Most Haunting Photograph from Bangladesh" ලිපියේ පරිවර්තනයකි.)
පරිවර්තනය - නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ෆොන්ටමාරා හන්දියේ උන්
බෙරාඩෝ වයලා වෙතයි
එන්න හැකිනම් අපේ ගමටත්
ඇවිත් යන්නට කාලයයි

මිදි උයන්වතු සිසාරා
රුධිරයෙන් ඉරි ගසාලා
නුඹේ උන් පෙර කළ අමනකම්
මෙහෙත් ගජ රාමෙට කරයි
ගසුත් හිමි නැති
ඵලත් හිමි නැති
ඇස්සෙ පරවේණිය හිමි
මස්සිනාලා විරසකයි

අපේ ගොවි බිම් අපිම වපුරා
අපිම අස්වනු සරි කරන්,
අපේ දුක සැප උහුල ගති නම්
උරුම කරුමට වන ලෙසින්
කුමට අධිරාජයෙක් බිහිකර
ඔහු රකින්න ද දිවි දෙමින් ?
එවන් ලෝකය බිහි කරන්නට
අනේ වයලෝ මෙහෙ වරෙන් ..

රත්නසිරි නල්ලපෙරුම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කිසිවිටෙක
නොඉවසති බොරු
කා දමයි
කාලයක් පුරා රැස්කළ
මිටි ගණන්
පත්තර

[කොවුල් හඩ මගේ හඬ | 1999]

ප්‍රින්ස් සේනාධීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා
උහුලමින් දිව ගිය..

කන්‍යාවන්ගේ තිසර පට ද
නොදරුවන්ගේ අතුණු බහන් ද
බොහෝ කලකට පෙර අඩක් සිඳලූ
මිනිස් පා කැබලි ද
භීතිය කඳුළින් පිස කෑ
වළං කටු කැබලි ද
තැනින් තැන විසිර ගිය

වරක් මහ ජනගඟක්
ඉකි හඬක් නොනඟාම
එකම සළකුණක්වත් නොතබාම
මහ රැයක කළපුවක
ගොළු බිහිරි කඳවුරක
සැඟව යනු පිණිස
නිහඬවම ඇවිද ගිය

මේ පාළු වෙරළ දිග....
සංග්‍රාම භූමියකැයි නම් ලද
එකම මිහිමව් කිරෙන් පණ ලැබුව
එක වණින් ලේ හලා
එකම ලෙය පරදවා ධජ නැගුව
මේ පාළු වෙරළ දිග....
‘විජයග්‍රහණය‘යි නම් ලද

එතැන් සිට ......
පොහොයෙන් පොහොය
සඳ නැගෙයි
වෙසක් පොහොය ම
සතරක් ගෙවෙයි

දහසක් මහා දිග රැයවල් කෙළවර
සදහටම මැකී ගිය
ලේ උනන මතකයේ
ගොහොරු කළු වෙරළ මත
සිනිඳු සුදු වැලි මැදෙයි
ඒ මතින් නෑඹූල්ව වියන ලද
ඉතිහාසයක් ඇඳෙයි

ඒ නැවුම් වෙරළ මත
නැවුම් මතකයක සළකුණු ඇඳෙයි
ඒත් ඒ පා ලකුණු නම් නොවෙයි
බරැති කළු බූට් අඩි
පැරණි කළු මතකයට
කිසිදාක නොගැළවෙන ශෛල මුද්‍රා තබයි
හුදෙකලා තල් මුලක හදවතක් පළාගෙන
සිහ නදින් ගිගුම් දී
කටු කම්බි කණු බසියි

තව වරක්...
එකම එක කටහඬක්
පණැති එක හදවතක්
පාදවා ගනු පිණීස
නියපතින් සූරමින්...
සනුහරේ කා හටත් මඟහැරුණු
මිනිස් හදවත් දෙක තුනක්
වැළපෙමින් ඇවිද යයි

ඉතිං...
අපට ද අපේ දරුවන්ට ද
ගැළවීම වනු පිණිස
ඇඳිවතද ඉරා දමනු ලැබ
අපගේ ම වෛරයේ තිත්ත කාඩිය බොමින්
මාංශය ද රුධිරය ද බෙදා දුන්
උතුරු දිග මනුෂ්‍ය පුත්‍රයිනි දූවරුනි,

උර තබා පාපයේ කුරුසිය
දකුණු දිග කල්වාරිය
නගිනෙමි
වෛරයට කමටහන් දෙනු පිණිස
සසර මග ඇදි ඇදී
අතරමග නවතින
කෙසර පිරි බැතිමතුන්
අතර මැද
ඇද වැටෙමි... ඇද වැටෙමි...

එතැන ...
මාංශය ද රුධිරය ද යළි යළිත් පිදෙන
අලුත් අල්තාරයකි..
ඒ මත
සිංහල ද දෙමළ දැයි නොදන්නා කඳුළකි.

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නොදුන්නද ඇඹුල් වෙරළු
අත මිටට
හා පුරා ආ දාක
උසස් පෙළ පංතියට
ගැටවරකමේ හිතුවක්කාරකම
සොයා දුන්...

දමා හර-බැර කාලයට
සමකොට ශේෂ පත‍්‍රයට
පෝරුවෙදි මගේ අත ගත්
පෙම්වතිය නුඹ...

බිරිඳක්ව බැතිබර
දරුමල්ලන්ගෙ කරදර
හෙට දකින මනහර
හීන ගැනම දොඩවා-
රෑ යහනෙ එහෙම්මම
නින්ද ගිය...

තරහකර නොගෙන
ආනන්දය
ප‍්‍රඥාවෙ තැන
ආලින්දය
දකින අඩු පාඩු ගැන
නොරිස්සුම් පිළිවදන් දුන්නාට
දුක සිතුනදැ’යි
හොරැ’හින් බලන
මගේ පෙම්වතිය
නුඹ....

තැනින් තැන සුදුපාට
වියමන..
වියපත
ගෙදර ආ ඉක්මන
දරුවන්ගෙ දරුවන්ට
ආත්තම්මා උනත්
මගේ පෙම්වතිය-
නුඹට හිමි තැන

සඳ අහසෙ
මළානික දම්පාට
තොටුපොළට
ඔරු නොඒවිද රෑට
රැළි වැටුනු වියපතේ කොළපත
අඩ අඳුරු නෙත සොයයි
ඔය අත..
හැරයටිය අතැ’ර
ගෙන මගෙ අත

සංසාරෙ එහා තොටුපළ
ළඟදි හමුවෙන්න
මටත් රහසින් පැතුව...
උසස් පෙළ පංතියෙදි
ඉඟි කෙරුව
තවම මගෙ පෙම්වතිය
නුඹ..

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යම් රටක නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කොපමණ ආරක්ෂා වී තිබෙනවාද යන්න මැන ගැනීමට හැකි සරලම සාධකය වන්නේ එම රටේ ජනමාධ්‍යයන්ට හිමි නිදහසයි. ජනමාධ්‍ය නිදහස පිළිබඳ පිළිගත් ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ ඉතාමත් පහළ මට්ටමක බව රහසක් නොවේ.

‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’ (Journalists Without Borders) නමැති ජාත්‍යන්තර සංවිධානයේ වාර්තා අනුව, ජනමාධ්‍ය නිදහස අනුව ලංකාවට ලැබී ඇත්තේ 163 වැනි ස්ථානයයි.
[බලන්න.]

2010 වසරේ 158, 2009 වසරේ 162, 2008 වසරේ 165, 2007 වසරේ 156, 2006 වසරේ 141, 2005 වසරේ 115, 2004 වසරේ 109, 2003 වසරේ 89 සහ 2002 වසරේ 051 යන ස්ථානවල එම දර්ශකය අනුව ලංකාව පැවතිණි. මේ අනුව ලංකාවේ ජනමාධ්‍ය නිදහස වත්මන් පාලනය යටතේ දිගින් දිගටම පිරිහීමට ලක්ව ඇති ආකාරය අමුතුවෙන් කිවයුතු නොවේ.

එක්සත් ජනපදයේ ‘ෆ‍්‍රීඩම් හවුස්’ (Freedom House) ආයතනයේ වාර්තා අනුව ලංකාව සිටින්නේ ජනමාධ්‍ය නිදහසක් නැති රටවල් අතරය. 2012 වසරට අදාළව ඔවුන්ගේ දර්ශකය අනුව එය 161 වැනි ස්ථානයයි.
[බලන්න.]

එම සංවිධානය විසින් 2013 වසර සඳහා සකස් කළ නිදහස පිළිබඳ දර්ශකයේ ලංකාව ස්ථානගතව ඇත්තේ අර්ධ නිදහසක් සහිත රාජ්‍යයන් අතරටය.
[බලන්න.]

දේශපාලන අයිතිවාසිකම් (Political Rights) තත්වය එනම්, පාලන ක‍්‍රියාවලිය, මැතිවරණ, දේශපාලනයට ජන සහභාගීත්වය හා බහුවිධත්වය ද සිවිල් නිදහස පිළිබඳ තත්වය (Civil Liberties) එනම්, කැමැති මතයක් දැරීමේ, ඇදහීමේ හා ප‍්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ හා සමාගමයේ නිදහස, නීතියේ පාලනය, පුද්ගල ස්වාධීනතාව හා පෞද්ගලිකත්වය පිළිබඳ අයිතිවාසිකම් පදනම් කරගෙන මෙම දර්ශකය සකස් කළ බව ‘ෆ‍්‍රීඩම් හවුස්’ ආයතනය පවසයි. එම නිර්ණායක අනුව ලෝකයේ රටවල් වර්ගීකරණය කිරීමේ දී ලංකාව දේශපාලන අයිතිවාසිකම් තත්වය අනුව අයත් වන්නේ පස් වැනි කාණ්ඩයටයි. සිවිල් නිදහස පිළිබඳ වර්ගීකරණය අනුව ලංකාව අයත් වන්නේ 4 වැනි කාණ්ඩයටයි. එකී දර්ශකයේ පළමු වැනි කාණ්ඩයට අයත් ලෝකයේ සංවර්ධිත රටවල් සමග අපේ සමාජ තත්වයන් සමපාත කළ නොහැකිය. කෙසේ වුවත් මෙම දර්ශකයේ ස්ථානගත වීමෙන් ම පෙනී යන අන්දමට අප ලෝකයේ පුරවැසියන්ට හිමිව ඇති නිදහස අනුව, පස් වැනි තැනට ඇද දමන ලද පුරවැසියන්ය.

කුමන දර්ශකය නැතත්, පසුගිය වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් කි‍්‍රියාත්මක වීමේ අත්දැකීම්, සමාජයක් ලෙස අපට අමතක කළ නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට පහර දීම, පැහැරගෙන යාම, අත්අඩංගුවට ගැනීම, අතුරුදන් කිරීම සහ ඝාතනය කිරීම යනාදී වශයෙන් අනාරක්ෂිතභාවය විවිධ මුහුණුවරින් දක්නට තිබේ. ජනමාධ්‍ය ආයතන ද ප‍්‍රහාරයට ලක් වීම, ගිනි තබනු ලැබීම සහ බෝම්බ ප‍්‍රහාරයට ලක් වීම වැනි ඍජු ලෙස මර්දනයට හසු වීම දක්නට ලැබේ.



මේ වන විට ජීවිතාරක්ෂාව පතා විදේශගතව සිටින ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව සැලකූ විට රටේ ඇත්තේ ජනමාධ්‍යකරුවන් දඩයම් කරන පාලනයක් බව ඉතාමත් පැහැදිලිය. යම් කරුණක් සම්බන්ධව තමන් දරන මතය ප‍්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කිරීම යනු ප‍්‍රහාරයකට ගොදුරු වීමේ අනතුර කැඳවා ගැනීමක් වන නිසා විදේශයන් හි ආරක්ෂාව පතා ගිය මාධ්‍යවේදීන්ට වසර ගණනාවකින් පසුව පවා මෙරටට ඒමට සුදුසු පරිසරයක් නිමැවී නැත. අතපය කඩාබිඳ දැමීමෙන් පසුව විදේශගත වූ පෝද්දල ජයන්ත යනු සිය ආරක්ෂාව ඉල්ලා සිටිය ද එය නොලැබුණු රාජ්‍ය ජනමාධ්‍ය ආයතන සේවකයෙකි. ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ජනමාධ්‍යයන් හි සේවය කිරීමේ දී ආරක්ෂාවක් නැති නම් සෙසු මාධ්‍ය ආයතනවල සේවකයන් ගැන කුමන කතාද?

ජනමාධ්‍යවේදීන්ටත් ජනමාධ්‍ය ආයතනවලටත් මෙසේ විවිධ තාඩන පීඩනවලට ලක් වන්නට හා අනාරක්ෂිත පසුබිමක් මතුව තිබිය දී ඒ පිළිබඳව ආණ්ඩුවත් විශේෂයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයාත් පොලිසිය, අධිකරණය වැනි නීතිය බලාත්මක කරන ආයතන පවා ප‍්‍රමාණවත් අවධානය යොමුකොට නැත. ජනමාධ්‍යවේදීන්ට පහර දීමේ සිට ඝාතනය කිරීම දක්වා අපරාධ සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන්නට මේ දක්වා ආණ්ඩුව හෝ අදාළ අංශ කටයුතු කර නැත. එවැනි සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන බව විවිධ අවස්ථාවල දී බලධාරීන් විසින් ප‍්‍රකාශ කළත් අදාළ වරදකරුවකු අත්අඩංගුවට ගත් බවක්, හෝඩුවාවක් සොයාගත් බවක් හෝ නඩු පැවරූ බවක් මෙතෙක් වාර්තා වී නැත.

වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාලන කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ අවස්ථා 44ක් සහ ප‍්‍රහාරයට ලක් වූ අවස්ථා 20ක්, පැහැරගෙන ගිය අවස්ථා 05 ක් පිළිබඳ නිසි විමර්ශන සිදු කර නැත. ජනමාධ්‍ය නිදහසට එරෙහිව යම් බලවත් පාර්ශ්වයක් විසින් මෙහෙයවනු ලබන අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව එහි අදහසයි. මේ ජනමාධ්‍යවේදීන් හිරිහැරයට ලක් වූයේ ආණ්ඩුව විවේචනය කරමින් ගෙන ගිය මාධ්‍ය භාවිතයක් තුළ නිසාම එකී අපරාධයන් පිළිබඳ වගකීමෙන් නිදහස් වන්නට ආණ්ඩුවට නොහැකිය. මීට අමතරව ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍ය ආයතනවලට පහර දීමේ අවස්ථා ගණනාවක් වාර්තා විය. නිශ්චිතව අවස්ථා අටක දී ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධ නිසි පරීක්ෂණ සිදු කර වාර්තා ඉදිරිපත් කර නැත.

මෙයින් මහ දවාලේ ‘සිරස’ ප‍්‍රවෘත්ති අංශයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ එම ආයතනය විසින් සිදුවීම වීඩියෝගත කිරීම නිසා සැකකරුවන් කවුරුන්ද යන වග නිශ්චිතවම හඳුනා ගනු ලැබිණි. මර්වින් සිල්වා ඇමැතිවරයා ජාතික රුපවාහිනී සංස්ථාවට අනිසි ලෙස කඩාවැදී සිදු කළ කලබලකාරීත්වය පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැත. එහෙත් එම සිදුවීමෙන් පසුව ඇතැම් රුපවාහිනී මාධ්‍යවේදීන්ට පහර දීම හා තියුණු ආයුධවලින් තුවාල කිරීම සහ මරණ තර්ජන කිරීමක් සිදු විය. අධිකරණ ක‍්‍රියාවලිය මන්දගාමීය. නීතිපතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ සහ ඔවුන් විසින් මෙහෙයවන දෙපාර්තමේන්තුවල අකාර්යක්ෂමතාව හෝ හිතාමතා ප‍්‍රමාද කිරීම් මේ තත්වයන්ට හේතු වී තිබේ.

ඊට අමතරව ජනමාධ්‍ය ආයතන පසුගිය කාලයේ විවිධ හිරිහැරයන්ට ලක් වී තිබේ. නීතිය හා යුක්තිය ඉටු කරන්නට නොහැකි වන තාක් ආණ්ඩුවට එම සිදුවීම් සම්බන්ධ වගකීමෙන් පලා යා නොහැකි බව අවධාරණය කරමු. ජනමාධ්‍ය ආයතනවලට හා මාධ්‍ය වෘත්තිකයන්ට එරෙහිව සිදු කළ අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන පවත්වා ඒ කිසිදු අපරාධකාරී ක‍්‍රියාවක් පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනැවිත් නැත. එසේ වුවත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ජනමාධ්‍ය ආයතනවලට මුද්‍රා තැබීම සඳහා ආණ්ඩුව නීතියේ රැකවරණය ලබා ගනී. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථා 38ක් සහ මාධ්‍ය ආයතන මුද්‍රා තැබීම් 2ක් වාර්තා විය. එසේම පුවත් වෙබ් අඩවි ගණනාවක් තහනම් කරන ලදී. ගුවන් විදුලි නාලිකා තහනම් කළ අවස්ථා ද තිබේ.

රටේ මූලික නීතිය ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය (Freedom of Expression) නිසි පරිදි පවත්වාගෙන යාමටත් ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Know) ආරක්ෂා කර දීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. මැතිවරණවල දී ජනමාධ්‍ය නිදහස රකින බවට පවසන ජනාධිපතිවරයාත් ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ වෙනත් නායකයනුත් ප‍්‍රායෝගික තලයේ ඒ වෙනුවෙන් ප‍්‍රකාශවලට ඔබ්බෙන් ක‍්‍රියාකාරීත්වයක් දක්වා නැති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව ඇත.


"කඳුළු බිඳුවක නොරැඳී- කොතැන ඉන්නෙද සැඟවී
හැංගි මුත්තම ඉවර කළ මැන- දින දෙසීයම දිනෙකී.."

සන්ධ්‍යා එක්නැලිගොඩ මංජුල වෙඩිවර්ධනගේ කවිය [කියවන්න.] කියවමින්- ප්‍රගීත් අතුරුදහන්ව දින දෙසීයක් ගෙවුණු දා....(විකල්ප පුවත් වීඩියෝව)


ජනමාධ්‍ය ආරක්ෂා කිරීමේ පිළිවෙත ක‍්‍රියාකාරීත්වයක් බවට පත් කිරීමට නම් අවම වශයෙන් මේ තාක් හිරිහැරයට පත් ජනමාධ්‍යවේදීන් සම්බන්ධව හා ප‍්‍රහාරයට ලක් වූ ජනමාධ්‍ය ආයතන පිළිබඳව නීතිය හා යුක්තිය ඉටු කළ යුතුව තිබේ. එහි ලා ආණ්ඩුවේ වගකීම එසේම තිබිය දී නීතිය බලාත්මක කිරීමේ කාර්යය වෙනුවෙන් පොලිසිය විසින් වගකිවයුතු කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. පොලිසිය නීතිය අතට ගෙන කටයුතු කරන අවස්ථාවල දී ජනමාධ්‍ය නිදහස අහිමි වන අවස්ථා බොහෝ තිබේ. පොලිස් නිලධාරීන් ඉහළ සිට පහළට කටයුතු කරමින් සිටින්නේ ජනමාධ්‍යවේදීන් සිය ප‍්‍රතිවාදීන් පිරිසක් වැනි ආකල්පයකිනි. අනෙක් අතට ජනමාධ්‍යවේදීන්ට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් අදාළ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ දී ද පොලිසිය හා ආණ්ඩුව දැඩි උදාසීන පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ.

මෙම පසුබිම තුළ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සතු විශේෂ අංගයක් ලෙස ජනමාධ්‍ය නිදහස දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. තමන් විසින් මහන්සියෙන් සොයා ගත් තොරතුරු වාර්තා කිරීම නිසා ජනමාධ්‍යවේදීන්ට බියෙන් යුතුව ජීවත් වන්නට සිදු වේ. සත්‍ය කරුණු ඇතුළත් කරනු වෙනුවට ලිපියක පදාස පිටින් කපා දමා පළ කිරීමට ජනමාධ්‍යවේදීන් පොලඹවන ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් ඇත්ත වෙනුවෙන් තර්ජනයන්ට ලක් වන මාධ්‍යකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ශ‍්‍රමයෙන් ජනප‍්‍රියත්වයට පැමිණි පුවත්පත්වලින් මිලියන ගණන් වාර්ෂිකව ලාභ එකතු කරගන්නා පුවත්පත් හිමිකරුවෝ එකී ගවේෂණාත්මක කාර්යය නිසා මරණ තර්ජනයට ලක් වන තම මාධ්‍ය සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකරති. ඇතැම් ආයතනවල ජනමාධ්‍යකරුවන් අසාධාරණයන්ට ලක් වෙද්දී හා සත්‍යය වාර්තා කිරීම නිසා තර්ජනයට ලක් වීමේ දී නීතිඥ සහාය පවා ලබා දෙන්නට ජනමාධ්‍ය ආයතන ඉදිරිපත් නොවේ. ඒ නිසාම ජනමාධ්‍ය සේවකයෝ ශ‍්‍රම සූරාකෑම නිසා පීඩාවට පත් වන අතරම තම වෘත්තිය නිසා ජීවිතාරක්ෂාව පිළිබඳ අවදානමකට ලක්ව සිටිති. ජනමාධ්‍ය නිදහස පිළිබඳව ලෝකයේ විවිධ ක‍්‍රියාකාරීත්වයන් සිදු වෙද්දී අප රටේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තිය ආරක්ෂා කරගන්නටත් ජීවිත ආරක්ෂා කරගන්නටත් ආයාචනා කරන්නට සිදුව තිබේ.

මේ පසුබිම තුළ ලංකාවේ ජනතාව විසින් සිය නිදහසේ මූලික කොන්දේසියක් ලෙස ‘ජනමාධ්‍ය නිදහස’ රැක ගන්නට ක‍්‍රියාකාරීව පෙරට ආ යුතු කාලය එළඹ තිබේ. ජනමාධ්‍ය පැවැත්මට අදාළ අයිතිවාසිකම් හා නිදහස යනු හුදු ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන වලට පමණක් අදාළ වන්නක් නොවේ.

මුළුමහත් සමාජයේම නිදහස උදෙසා ඒ මුළුමහත් සමාජය විසින්ම ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයමය නිදහසත් තොරතුරු දැන ගැනීමේ අයිතියත් රැකගත යුතු බව වටහා ගන්නට තවත් ප‍්‍රමාද විය යුතු නැත.

******

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය විසින් 2013 ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ‘මරණය සමග වසර නවයක්’ යන තේමාවෙන් නිකුත් කළ 2004 මැයි සිට 2013 මැයි දක්වා ජනමාධ්‍ය මර්දනයේ අත්දැකීම් වාර්තාව-

මාධ්‍ය මර්දනය- මරණය පෙනි පෙනී වසර නවයක්
(2004 මැයි – 2013 මැයි කාලය තුළ ලංකාවේ ජනමාධ්‍ය වෙත එල්ල වූ මර්දනකාරී අත්දැකීම්)

මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් ඝාතනය කිරීම

2004

1. මැයි 31 ‘වීරකේසරී’ පුවත්පතේ තීරු ලිපි රචක අයියතුරේ නඬේසන්
2. අගෝස්තු 16 ‘දිනමුරසු’ පුවත්පතේ මාධ්‍යවේදී කන්දසාමි අයියර් බාලනඩරාජා
3. දෙසැම්බර් 11 ‘ලංකාදීප’ මාධ්‍යවේදී ලංකා ජයසුන්දර


අයියතුරේ නඬේසන්

2005

1. අපේ‍්‍රල් 28 ටැමිල්නෙට්, ඬේලිමිරර්, වීරකේසරී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකි)
2. ජූනි 29 ‘ඊලනාදම්’ පුවත්පතේ බෙදාහැරිම් නිලධාරි කන්නමුත්තු අර්සකුමාර්
3. අගෝස්තු 12 ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකා රෙලංගී සෙල්වරාජා
4. අගෝස්තු 29 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ආරක්ෂක නිලධාරි ඬේවිඞ් සෙල්වරත්නම්
5. සැප්තැම්බර් 30 ඊලනාදම් පුවත්පතේ බෙදාහැරීම් නිලධාරි යෝගකුමාර් ක‍්‍රිෂ්නපිල්ලේ
6. දෙසැම්බර් 02 කාත්තන්කුඩි ප‍්‍රා. ලේකම් කාර්යාලයේ සේවය කළ ලේඛක නෙටිප්ට්ටමුනෙයි ෆලීල්
7. දෙසැම්බර් 22 ‘තිනකුරල්’ පුවත්පතේ බෙදාහැරිම් නිලධාරි කේ නවරත්නම්


ධර්මරත්නම් සිවරාම් (තාරකි)

2006

1. ජනවාරි 24 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ත‍්‍රිකුනාමල වාර්තාකරු සුබ‍්‍රමනියම් සුගිතරාජන්
2. පෙබරවාරි 01 දෙමළ පුවත් සේවා ආයතනයක් පවත්වාගෙන ගිය එස්.ටී.ගනනාතන්
3. මැයි 03 ‘උදයන්’ පුවත්පතේ බෙදාහැරිම් කලමනාකරු බී.ජී.සගයදාස් (සුරේෂ්)
4. මැයි 03. ‘උදයන් පුවත්පතේ බෙදාහැරීම් පරීක්ෂක රාජරත්නම් රංජිත් කුමාර්
5. ජූලි 02 ‘ඉරුදින, සත්දින, ලක්බිම’ මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා
6. ජූලි 27 වීරකේසරි, තිනකුරල් පුවත්පත් බෙදාහැරීම් නියෝජිත මරියදාසන් මනෝජනරාජ්
7. අගෝස්තු 15 උදයන් පුවත්පතේ බෙදාහැරීම් කාර්යමණ්ඩලයේ සතාසිවම් බාස්කරන්
8. අගෝස්තු 20 යාපනයේ පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ කලමනාකරු සින්නතම්බි සිවමහරාජා


සම්පත් ලක්මාල් ද සිල්වා

2007

1. පෙබරවාරි 12 පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ මුද්‍රණ ශිල්පී එස්.රවීන්ද්‍රන්
2. පෙබරවාරි 15 පළවන ‘නමාතු ඉලනාඩු’, ‘වාලම්පුරි’ පුවත්පත්වල වාර්තාකරු සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන්
3. අපේ‍්‍රල් 16 ඊලනාදම්, විරකේසරී ලේඛක සහ ‘නිලාම්’ සඟරාවේ සංස්කාරක චන්ද්‍රබෝස් සුදාකර්
4. අපේ‍්‍රල් 29 ‘උදයන්’ සහ ‘තිනකුරල්’ මාධ්‍යවේදී සෙල්වරාසා රජිවර්මන්
5. අගෝස්තු 01 යාපනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු හා අර්ධකාලීන ලේඛකයකු වූ සහදේවන් නිලක්ෂන්
6. 2007 අගෝස්තු 21 ‘ඊලනාඩු’ පුවත්පතේ සිවතම්බි සිවරාසා
7. නොවැම්බර් 05 ‘යාරි තිනකුරල්’ යාපනයේ පුවත්පත් අලෙවි නියෝජිතයකු වූ ඒ. එස්. සිද්දිරංජන්
8. නොවැම්බර් 17 ‘උදයන්’ පුවත්පතේ සොදුපත් කියවන්නකු වූ වඩිවේලූ නිමලරාජ්
9. නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ඉසයිවිෂි චෙම්පියන් (සුභාෂිනි)
10. නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ කාර්මික නිලධාරි සුරේෂ් ලිම්බියෝ
11. නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ටී.ධර්මලිංගම්
12. දෙසැම්බර් 05 ‘දිවයින’ වාර්තාකරු බඞ්ලිව්. ගුනසිංහ

2008

1. මැයි 28 ‘ශක්ති ටීවී‘ යාපනේ වාර්තාකරු පී. දේවකුමාර්
2. ඔක්තෝබර් 06 ‘සිරස’ වාර්තාකරු රශ්මි මොහොමඞ්
3. ඔක්තෝබර් ‘ඊලනාදම්’ පුවත්පතේ මාධ්‍යවේදී රාසයියා ජෙයන්දිරන්


ලසන්ත වික‍්‍රමතුංග

2009

1. ජනවාරි 09 ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග
2. පෙබරවාරි 12 ‘ඊලනාදම්’, විල්නාදම්, ඉලමුරසු පුවත්පත්වලට ලියූ මාධ්‍යවේදී පුන්‍යමූර්ති සත්‍යමූර්ති
3. මාර්තු 05 ‘ඊලනාදම්’ බෙදාහැරීම් නියෝජිත ශෂී මාදන්
4. මාර්තු 13 ‘ඊලනාදම්’ බෙදාහැරිම් නිලධාරි මහලිංගම් මහේෂ්වරන්
5. මාර්තු ‘ඉලනාදම්’ බොදහැරිම් නියෝජිත ඇන්ටන්
6. අපේ‍්‍රල් 09 ‘ඊලනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී රාජ්කුමාර් ඩෙන්සේ
7. අපේ‍්‍රල් 25 ‘ඊලනාදම්’ මුද්‍රණශිල්පී ජෙයරාජා සුශීදරා (සුගන්දන්)
8. මැයි 14 ‘ඊලනාදම්’ වාර්තාකරු එම්. ඇන්තනි කුමාර්
9. මැයි 14 ‘ඊලනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී තුරයිසිංහම් දර්ශන්
10. මැයි 18 ‘දෙමල ඊලම්’ ටෙලිවිෂන් සේවයේ නිවේදිකා ඉසි ප‍්‍රියා (ෂෝභා)
11. මැයි ‘කොටි හඬ’ ගුවන්විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ තිරුකුලසිංහම් තවබාලන්


2009.01.09- මර්දකයන් ලසන්ත වික‍්‍රමතුංග ඉවත් කළ දිනය.

ජනමාධ්‍යවේදීන් අතුරුදන්කිරීම

2010 ජනවාරි 24 – ප‍්‍රගීත් එක්නැලිගොඩ

ජනමාධ්‍යවේදීන් පැහැරගෙනයාම

1. 2006 අගෝස්තු 28 – නඩරාජා ගුරුබරන්
2. 2008 ජූනි 22 – තිරුචෙල්වම් තිරුකුමාර්
3. 2009 පෙබරවාරි 26 – ‘සුඩර් ඔලි’ ප‍්‍රධාන කර්තෘ එන්. විද්‍යාධරන්
4. 2009 මාර්තු 11 – මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක
5. 2010 ජනවාරි 27 – යාපනයේ මාධ්‍යවේදී නවරත්නම් පරමේශ්වරම්


ඇත්ත වෙනුවෙනි හිරබත- තිස්ස නම් වන හිතවත.... [කියවන්න.]

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම

1. 2007 ඔක්තෝබර් 24 – ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ආතර් වාමනන්
2. 2007 මාර්තු 07 – ජේ.එස්. තිස්සනායගම්
3. 2007 නොවැම්බර් 28 – ‘සන්ඬේ ලීඩර්’ ඡායාරූප ශිල්පී – අශෝක ප‍්‍රනාන්දු
4. 2007 ජූනි 23 ‘උදයන්’ පුවත්පතේ කුමාරදාස්
5. 2008 අගෝස්තු 26 – ස්වාධීන රූපවාහිනියේ නාගලිංගම් කෙන්ඩියුසන්
6. 2008 පෙබරවාරි 12 – ඒ.පී. පුවත් සේවයේ ගැමුණු අමරසිංහ
7. 2008 මාර්තු 08 – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එස්. සිවකුමාර්
8. 2008 ජූලි 30 – ඉන්දිය මාධ්‍යවේදී අලි එක්රම්
9. 2008 නොවැම්බර් – ඒ.ආර්. වාමලෝෂන්
11. 2009 ජූනි – ලංකා ඊනිව්ස් – සඳරුවන් සේනාධීර
12. 2009 සැප්තැම්බර් 02 – ‘ලංකා’ පුවත්පතේ ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, ඡායාරූපශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර බොරු චෝදනා මත දෙනියායේදී අත්අඩංගුවට ගෙන දින 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීම
13. 2009 ඔක්තෝබර් 17 ‘ලංකා’ ප‍්‍රධාන කර්තෘවරයා හෝමාගමදී අත්අඩංගුවට ගැනීම
14. 2010 ජනවාරි 29 – ‘ලංකා’ ප‍්‍රධාන කර්තෘ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන දින 18ක් රඳවාතැබීම
15. 2010 මාර්තු 15 – පානදුර ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු
16. 2010 මාර්තු 16 – මාධ්‍යවේදී රුවන් වීරකොන් අත්අඩංගුවට ගැනීම
17. 2011 අපේ‍්‍රල් – 25 ‘ඊ නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය
18. 2012 ජූනි 29 – ‘ලංකා මිරර්’ සහ ‘ලංකා එක්ස් නිව්ස්’ මාධ්‍යවේදීන් 9 දෙනකු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම
19. 2012 ඔක්තෝබර් 02 – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් යයි පවසා මාධ්‍යවේදී ක‍්‍රිෂාන් රාජපක්ෂ හිරිහැරයට ලක් කිරීම
20. 2012 නොවැම්බර් 27 – මාධ්‍ය වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයකුවන සංජිව සමරසිංහ අත්අඩංගුවට ගෙන නිදහස්කිරීම


ඇමති මර්වින් පෝද්දල ජයන්ත ප්‍රහාරයේ වගකීම ප්‍රසිද්ධියේ භාරගන්නා අන්දම. (දෙරණ පුවත් වීඩියෝව)

ජනමාධ්‍යවේදීන්ට පහරදීම්

1. 2007 ජනවාරි 06 – ‘රිවිර’ මාධ්‍යවේදී තිස්ස රවින්ද්‍ර
2. 2007 ජනවාරි බීබීසී වාර්තාකරු ඥානසිරි කොත්තිගොඩ සහ ‘හරය’ පුවත්පතේ අජිත් සෙනෙවිරත්න
3. 2007 ජනවාරි 28 ‘තිනකුරල්’ කේ.පී.මොහාන්
4. 2007 ජනවාරි 10 ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වික්ටර් සෝමවීර
5. 2008 ජනවාරි 16 – ‘සිරස’ මාධ්‍යවේදී යූ.එස්.බී. බණ්ඩාර
6. 2008 ජනවාරි 25 රූපවාහිනී සංස්ථාවේ ලාල් හේමන්ත මාවලගේ සේවය නිමවී නිවසට යමින් සිටියදී තියුණු ආයුධයකින් කපා තුවාල කිරීම
7. 2008 ජනවාරි 28 ‘තිනකරන්’ පුවත්පතේ සුහයිබ් එන්. කාසිම්
8. 2008 පෙබරවාරි 28 – ස්වාධීන රූපවාහිනියේ පංකජ සංකල්ප
9. 2008 මැයි 09 ‘වාරඋෙරෙයික්කල්’ කර්තෘ එම්.අයි. රහමතුල්ලා
10. 2008 මැයි 19 නිදහස් මාධ්‍යවේදී ජව්ෆර් ඛාන්
11. 2008 මැයි 19 සිරස කැමරා කන්ඩායමට පහරදී කැමරා විනාශ කිරීම
12. 2008 මැයි 22 ‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්
13. 2008 ජූනි 05 එම්.සී. පිලිස්
14. 2008 ජූනි 30 ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර
15. 2008 ජූලි 18 යොහාන් පෙරේරා, ප‍්‍රදීප් දිල්රුක්ෂ
16. 2008 අගෝස්තු 04 සිරස නාලිකාවේ තුෂාර රනවක, වරුණ සම්පත්
17. 2008 අගෝස්තු 28 ‘ලංකාදීප’ යමුනා හර්ෂනී සහ ජානක ගලප්පත්ති
18. 2008 අගෝස්තු 28 ජාතික රූපවාහිනියේ දුෂාන්ත මනෝජ්
19. 2008 අගෝස්තු 28 ‘රිවිර’ ප‍්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්
20. 2008 නොවැම්බර් 29 මඩකලපුවේ මාධ්‍යවේදියකු ප‍්‍රහාරයට ලකම්ම
21. 2008 මාර්තු 05 රූපවාහිනී සංස්ථාවේ රංජනී අලූත්ගේ හේරත්ගේ උරහිස දැලිපිහියකින් කැපීම
22. 2008 මාර්තු 14 රූපවාහිනී සංස්ථාවේ අනුරසිරි හෙට්ටිගේ ප‍්‍රහාරයට ලක්වීම
23. 2008 සැප්තැම්බර් 08 ‘තිනකරන්’ රාධිකා තේවකුමාර්
25. 2009 ජනවාරි 23 ‘මැක්ස් ටිවී’ මාධ්‍යවේදීන්ට පහරදීම
26. 2009 ජූනි වෘත්තිය පත‍්‍රකලාවේදීන්ගෙ සංගමයේ පෝද්දල ජයන්ත
27. 2010 ජනවාරි 16 බීබීසී පොලොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂි
28. 2010 ජනවාරි 28 ජාතික රූපවාහිනියේ රවි අබේවික‍්‍රමට පහරදී මරණ තර්ජන සිදුකිරීම
29. 2010 පෙබරවාරි 02 අනුරාධපුර ‘සිරස’ වාර්තාකරු රිස්වි මොහොමඞ්
30. 2010 පෙබරවාරි 03 ‘සිරස’ මාධ්‍යවේදි ශ‍්‍රී රංගා
31. 2010 පෙබරවාරි 10 ‘සිරස’ සහ ‘ස්වර්ණවාහිනී’ ප‍්‍රාදේශීය වාර්තාකරුවන්දෙදෙනකුට දෙහිඅත්තකණ්ඩියේදී පහරදීම
32. 2010 පෙබරවාරි 10 ‘සිරස’ හා ‘සියත ටීවී’ වාර්තාකරුවන් දෙදෙනකු හම්බන්තොටදී ප‍්‍රහාරයට ලක්වීම
33. 2010 ඔක්තෝබර් 07 උද්ඝෝෂණයක් වාර්තාකිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී බිගුන් මේනක ඇතුළු මාධ්‍යවේදීන් පස්දෙනකු ප‍්‍රහාරයට ලක්වීම
34. 2010 දෙසැම්බර් 07 ‘ලංකා ඊනිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය කටුනායකදී ප‍්‍රහාරයට ලක්වීම
35. 2011 ජූලි 29 ‘උදයන්’ ප‍්‍රවෘත්ති සංස්කාරක ඥානසුන්දරම් කුගනාදන් යාපනේ සිය නිවස අසළදී ප‍්‍රහාරයට ලක්වීම
36. 2012 සැප්තැම්බර් 28 ‘ලංකා ස්ටැන්ඩර්ඞ්’ මාධ්‍යවේදිනි නිර්මලා කන්නන්ගර නන්දිකඩාල්හි සූරියපුරම් හමුදාකඳවුරේදී සොල්දාදුවන් පිරිසකගේ හිරිහැරයට ලක්වීම
37. 2012 සැප්තැම්බර් 29 හලාවත ප‍්‍රාදේශීය වාර්තාකරු ප‍්‍රසාද් පූර්නිමාල් පොලිස් ප‍්‍රහාරයට ලක්වීම
38. 2012 නොවැම්බර් 27 ‘උදයන්’ මාධ්‍යවේදී ටී.පේ‍්‍රම්නාත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට එල්ලවූ ප‍්‍රහාරය වාර්තා කරනවිට පහරදීම
39. 2013 ජනවාරි 15 – මාධ්‍යවේදියකු යාපනයේ බස් නැවතුමේ දී ප‍්‍රහාරයට ලක් වීම
40. 2013 පෙබරවාරි ‘යාෂ් තිනකුරල්’ පුවත්පතේ බෙදාහැරීම් විධායක එස් සිවකුමාරන්ට යාපනයේ දී පහර දී ඔහුගේ යතුරු පැදිය සහ පුවත්පත් තොගය ගිනිතබා විනාශ කිරිම
41. 2013 පෙබරවාරි 17 ‘බොදුබල සේනා’ රැළිය වාර්තා කිරීමට ගිය බී.බී.සී. වාර්තාකරුවන් දෙදෙනකුට සිය කාර්ය කිරිමට ඉඩ නොදී රඳවාගෙන හිරිහැරකිරිම සහ ඔවුන්ගේ කැමරා ආම්පන්න උදුරාගැනීම
42. 2013 පෙබරවාරි 15 ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මාධ්‍යවේදියකු වන ෆාරාස් ෂවුකටලි නිවසේදී වෙඩි තබා මරා දැමීමට උත්සාහ කිරීම
43. 2013 අපේ‍්‍රල් 03 – කිලිනොච්චියේ බෙදාහැරීම් කාර්යාලයට කඩාවැදී අලාභහානි කිරීම

ජනමාධ්‍යවේදීන් වෙත තර්ජනය කළ අවස්ථා

1. 2008 ජනවාරි 29 රූපවාහිනී සංස්ථාවේ දුලිප් දුෂාන්තගේ නිවසට පැමිණ ඔහුගේ මවට තර්ජනය කර මරණ තර්ජනය කිරීම
2. 2008 පෙබරවාරි 27 රූපවාහිනී සංස්ථාවේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රියාල් රංජිත් පෙරේරා වෙත තර්ජනය කිරීම

ජනමාධ්‍ය ආයතන ප‍්‍රහාරයට ලක්වූ අවස්ථා*

1. 2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රණාලයට ගිනිතැබීම
2. 2007 නොවැම්බර් රත්මලාන 21 ලීඩර් මුද්‍රණාලයට ගිනිතැබීම
3. 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම
4. 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම
5. 2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම
6. 2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට ග්‍රෙනේඞ් ප‍්‍රහාරය
7. 2010 ජූනි 30 කොළඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම
8. 2011 ජනවාරි 31 මාලබේ ‘ලංකා ඊනිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම
9. 2013 අපේ‍්‍රල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රණාලය ගිනිතැබීම


2013 අලුත් අවුරුදු ගිනි දැල්වීමේ චාරිත්‍රය ඉටුකරමින් අප්‍රේල් 14 වන දා අලුයම උදයන් පුවත්පත් ආයතනය ගිනි තැබූ වග. (දෙරණ වීඩියෝ වාර්තාව)


මර්වින් සිල්වා රූපවාහිනී නාඩගම. (සිරස වීඩියෝ වාර්තාව)

(* මේ අතුරින් 8ක් සෘජුව ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් ය. 8වැනි අවස්ථාව වන්නේ ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදී එහි කාර්යයන්ට බාධා කිරිමයි.)

[-ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය | democracylanka.wordpress.com]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails