Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එඩ්වඩ් ස්නෝඩන් සිය කැමැත්තෙන් හැර දැමූ ඒ කිසිවක් ඒතරම්ම පහසුවෙන් හෑර දැමිය හැකි වෙනත් අයෙකු සිටීදැයි සිතීමට පවා නොහැක. ස්නෝඩන් මේ වනවිටත්, තමන් නිවැරදියැයි අදහන දෙය වෙනුවෙන්, සිය අධි වැටුප් ලබන රැකියාව, නිවස, පෙම්වතිය, පවුල, ඒ සියල්ලටමත් වෑඩියෙන් සිය නිදහස- මුළුමනින් හැර දමා හමාරය. ඒ, එක්සත් ජනපද ආණ්ඩුව, ලොවට රහසේ තනමින් සිටින යෝධ ඔත්තු බැලීමේ යාන්ත්‍රණය හෙළිදරවු කිරීම පිණිසය. පෞද්ගලිකත්වයක් නොමැති ලෝකයක ජීවත්වීමට තමන්ට අවශ්‍ය නැතැයි ස්නෝඩන් පවසයි. තමන් පවසනා සියළු දෙයත්, තමන් කරනා සියළු දෙයත් වාර්තාගත කරන ලෝකයක ජීවත්වීමට තමන්ට අවශ්‍ය නැතැයි ස්නෝඩන් පවසයි. ස්නෝඩන්ට පින් සිදු වන්නට, ඇමරිකා එක්සත් ජනපදය රඟමින් ඉන්නා "බිග් බ්‍රදර්" ජවනිකාව1 මේ වන විට ජයටම හෙළි දරවු වෙමින් පවතියි. ඉකුත් දා, එක් චීන පුවත්පතක් ස්නෝඩන් අගයමින් සඳහන් කොට තිබුණේ ඔහු වොෂිංටනයේ බක-තපස් වෙස් මුහුණ ඉරා දැමූ බවයි.

1983දී උපන් එඩ්වඩ් ජෝෂප් ස්නෝඩන්, පද්ධති පරිපාලකයෙකු2 ලෙස එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සියට (NSA) හා මධ්‍යම රහස් තොරතුරු ඒජන්සියට (CIA) සේවය කළේය. 2013 ජූනි මස මුල, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය මගින් මෙහෙයවන, මහජන තොරතුරු රහසින් රැස් කිරීමේ වැඩසටහන මාධ්‍යයට හෙළිදරවු කළ ස්නෝඩන් එවක් පටන් ලොව පුරා පුවත් මවන්නෙක් විය. ජූනි 21 වන විට, ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු අනවසරයෙන් සන්නිවේදනය කිරීම සහ රජ‍ය සතු දේපළ සොරකම් කිරීම යන චෝදනා එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඔහුට එරෙහිව ප්‍රසිද්ධ කරන ලද අතර, මුලින් හොංකොං රටෙහි රැකවරණය ලද ස්නෝඩන් ජූනි 23 වන විට මොස්කව් බලා ගොස් තිබිණ.

පහත උපුටා දක්වන්නේ ස්නෝඩන්ගේ ප්‍රකාශ වලින් ගත් උද්ධෘත කිහිපයකි.

1. සංවර්ධිත රටවල දිවි ගෙවන බහුතරයක් ජනතාව, අඩුම තරමේ දිනකට කුඩා වේලාවක් හෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙයි. එකී අවශ්‍යතාව, ආණ්ඩු විසින් අනවශ්‍ය සහ නොමනා ලෙස උල්ලංඝනය කරනු ලබමින්, දූෂණය කරනු ලබමින් පවතී.

2. මා විශ්වාස කරන ආකාරයට ඉතිහාසයේ මේ මොහොත වන විට නිදහසට ඇති දරුණුම අනතුර පැමිණෙන්නේ ද අප ජීවත් වන ආකාරය තීරණය වන්නේ ද ප්‍රතිපත්තිමය ලියකියවිලිවලට එහා ගිය, කිසිවකින්වත් නැවැත්විය නොහැකි සර්වඥ වූ රාජ්‍ය බලය කෙරෙහි ඇති බිය තුළිනි.


"ඔහු ද්‍රෝහීකමක් කළායැයි මට හැඟෙන්නේ නැහැ. ඔහු එක්සත් ජනපද නීතිය කඩලා තොරතුරු හෙළිදරවු කළා. ඇත්තටම ඔහු ද්‍රෝහී වුනේ මේ ආණ්ඩුවට මිසක් එක්සත් ජනපදයේ මහ ජනතාවට නොවේ."
-ලොනී ස්නෝඩන් (එඩ්වඩ් ස්නෝඩන්ගේ පියා.)
[guardian]


3. ආණ්ඩුව තමන්ට කිසිසේත් අයිති නැති බලයක් තමන් වෙත ම ප්‍රදානය කරගෙන ඇත. එහි කිසිදු පොදු,මහජන පාලනයක් නැත. එහි ප්‍රතිඵලය වන්නේ මා වැනි මිනිසුන්ට යා යුතු පමණට වඩා දුරක් යාමට ඉඩක් නිර්මාණය වීමයි.

4. ඇමරිකන් ආණ්ඩුව, පෞද්ගලිකත්වය වනසමින්,අන්තර්ජාල නිදහස ද මූලික මිනිස් නිදහස ද වනසමින් තනනු ලබන මෙම විසල් රහස්‍ය අවේක්ෂණ යන්ත්‍රය, හෘද සාක්ෂියක් ඈති මිනිසෙකු වශයෙන් මට කිසි විටෙක අනුමත කළ නොහැක.

5. ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ඕනෑම දෙයක් "අල්ලා ගත හැකි" අධෝව්‍යුහයක් නිපදවා තිබේ.

6. මෙමගින්, මානව සන්නිවේදන කටයුතු වලින් සාතිශය බහුතර ප්‍රමාණයක්, (නිශ්චිත ඉලක්කයක් නොමැතිව) උකහා ගෙන වාර්තාගත කෙරෙයි. හිතන්න. මට ඔබේ ඊමේල් කියවන්නට හෝ ඔබේ බිරිඳගේ දුරකථන තොරතුරු ලබා ගත යුතුයි කියා- මට කරන්නට ඇත්තේ වාර්තාගත තොරතුරු සමුදායෙන් එය සොයා ගැනීම පමණයි. ඔබේ ඊමේල් පණිවුඩ, මුර පද (passwords), දුරකථන ඇමතුම් වාර්තා, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු මේ සියල්ලට මට පිවිසිය හැකියි.

7. ඕනෑම බුද්ධි තොරතුරු විශ්ලේශකයෙකුට ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකු ඉලක්ක කොට ගත හැකියි. ඕනෑම කෙනෙකුට.... මට මගෙ පුටුවෙ ඉඳගෙන ඕනෑමකෙනෙක් 'ටැප්'කරන්න පුළුවන්.... ඔබ... නැත්නම් ඔබේ ගණකාධිකාරීවරයාගේ සිට නඩුකාරවරයෙක්, ....ඇතැම්විට ජනාධිපති දක්වා... ඕනෑම කෙනෙක්...


Voice of Russia

8. මේ ක්‍රියාවලියේ පරිමාණය කෙතෙක්දැයි සෙනට් සභිකයින් විමසූ විට ඔවුන් (NSA) කියා සිටියා, ඔවුන්ට දත්ත විමසුම් මෙවලම් නොමැති බව. නමුත්, අපි ළඟ අවශ්‍ය මෙවලම් (tools) තිබෙනවා. මා ළඟ තිබුණා වැඩියෙන්ම පිරික්සුමට ලක් වෙන අය පිළිබඳ සැකසුණු සිතියම්. අප වැඩියෙන්ම අංකිත සන්නිවේදන තොරතුරු රැස් කළේ රුසියානුවන් ගැන නොවෙයි; ඇමරිකානුවන් ගැනමයි.

9. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ, සියළු කථාසල්ලාප වලට කන් දෙමින් ලෝකය පුරා සිදු වන සියළු හැසිරීම් නිරීක්ෂණය කොට දැන ගැනීමයි.

10. ඔබ කිසිදු වරදක් නොකළත්, ඔවුහු ඔබ දෙස බලා සිටිති. ඔබ කියන කරන දේ වාර්තා කර ගනිති. ඕනෑම මොහොතක, ඔබ කෙරෙහි ඇති සැකය දැල්වීමට අවශ්‍යවන්නේ, ඔබට ලැබෙන එක් වැරදි දුරකථන ඇමතුමක් තරමේ සුළු සාක්ෂියක් පමණක් විය හැකිය. ඉන් අනතුරුව, ඔවුනට මෙකී රහස් තොරතුරු පද්ධතිය පීරමින්, කාලනුක්‍රමයේ පසු පසට පියමං කොට, කාලාන්තරයක් මුළුල්ලේ ඔබ විසින් ගන්නා ලද සියළු තීරණ සියුම් ලෙස පරීක්ෂා කළ හැකිය. ඔබ කිසියම් හෝ දෙයක් මිතුරෙකු සමග සාකච්ඡා කළේ නම්, ඒ සියළු අවස්ථා පරීක්ෂා කළ හැක. ඒ තොරතුරු පදනම් කොට ගෙන අහිංසකයෙකු වටා සැකයේ බිජුවට රෝපණය කළ හැක.

11. වැරදි හෙළිදරවු කරන බවට වූ ප්‍රතිහිංසක තර්ජන මගින් සිය රටවැසියන් තැති ගැන්වීමට ඇමරිකානු ආණ්ඩුවට ඉඩ හැරීම, මුළුමනින්ම ජනතා විරෝධීය.

12 සියළු දෙනාම පාහේ, මේ දේවල් කෙතරම් නරක අතට හැරෙමින් පවතිනවාද යන්න ගැන තේරුම් ගනිමින් සිටිති. තම පුද්ගලිකත්වය, "ඔත්තු බලන රාජ්‍යයක"ට බිලි දෙනවා ද යන්න තීරණය කළ යුත්තේ තමන් විසින්මය.

13. මා කරනා සියළු දේ, මා කියනා සියළු දේ වාර්තාගත කරනු ලැබෙන ලෝකයක ජීවත්වීමට මට අවශ්‍ය නැත. එබඳු ක්‍රියාවලියක් යටතේ ජීවත්වීමට හෝ ඊට සහයෝගය දැක්වීමට මට අවශ්‍ය නොවේ. පුද්ගලිකත්වයක් නැති, එනිසාවෙන්ම, බුද්ධි ගවේෂණයට හෝ නිර්මාණශීලීත්වයට ඉඩක් නැති, ලෝකයක ජීවත් වීමට මට අවශ්‍ය නැත.

14. මට මා කවුදැයි යන්න සැඟවීමේ කිසිදු අභිප්‍රායක් නැත. මන්ද, මා වරදක් නොකළ බව මා දන්නා හෙයිනි.

15. මම නායකයින් සොයමින් සිටියෙමි. එහෙත්, මා තේරුම් ගත්තේ, නායකත්වය යනු හැකි මුල්ම අවස්ථාවේ දී ක්‍රියාකාරීවීම බවයි.

16. මුදල්වලට වඩා වටිනා දේ තිබේ. මා මුදල් පසුපස ගියා නම්, මේ ලිපි ගොණු ඕනෑ තරම් රටවල් ගණනකට විකිණීමෙන් මහා ධනවතෙකු විය හැකිව තිබිණි.


ඔබාමා සහ ස්නෝඩන්ගේ රුව රැගත් පුවරු ගත් උද්ඝෝෂකයින්- හොංකොංහී ඇමරිකානු තානාපති කාර්යාලය අසල ජූලි 15 දා.
AP Photo/Kin Cheung [abcnews.go.com]


17. අවදානමක් නොගෙන, ලොව ඇති බලවත්ම රහස් තොරතුරු ඒජන්සියට එරෙහිව කටයුතු කළ නොහැකිය.

18. මේ ක්‍රියාව නිසාම මා හට විඳවන්නට වෙන බව දනිමි. මේ හෙළිදරවු කිරීම් මගින් මගේ අවසානය ද සනිටුහන් වන බව දනිමි. නැවත "ගෙදර යාමට" කිසිදු බලාපොරොත්තුවක් මා හට ඇත්තේ නැත. මා බිය වන එකම දෙය නම්, මේ මගින් මගේ පවුලේ උදවියට ඇති වීමට නියමිත හානිකර ඉරණමයි. ඔවුනට උදවු වීම තව දුරටත් මා හට කළ නොහැක්කකි. මා නොනිදා සිතන්නේ ඒ ගැනයි.

19. මා දන්නවා, මාධ්‍ය කැමතියි දේශපාලන සංවාද පුද්ගලයින්ට ආරෝපණය කරන්නට. මා දන්නවා, ආණ්ඩුව මාව "යකෙක්" කරලා පෙන්වන බව.

20. මේ අනාවරණය කිරීම් වල ප්‍රතිඵලය සම්බන්ධයෙන් මා තුළැති මහාත්ම බිය නම්, පවත්නා තත්ත්වයෙහි කිසිදු වෙනසක් නොවේද යන්නයි; එකී වෙනස සඳහා අවශ්‍ය වන නැගී සිටීම් සහ අරගලයන් සඳහා අවදානම දැරීමට ජනතාව සූදානම් ද යන්නයි. කල් ගතවෙත්ම තත්ත්වය තව තවත් දරුණු වනු ඇත. එකල්හී, NSA මෙසේ කියනු ඇත; "පුරෝකථනය කළ නොහැකි තර්ජන නිසා පැන නැගීමට ඉඩ ඇති අර්බුදකාරී භයානක ඉරණම්වලට මුහුණ දීම සඳහා අපට වැඩි වැඩියෙන් බලය සහ අධිකාරත්වය අවශ්‍ය වනු ඇත." ඉතින්, ඒ වන විට ජනතාවට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් නොපෙනෙනු ඇත.

(zerohedge.com සහ guardian ඇසුරෙනි.)

1. ජෝජ් ඕවල්ගේ 1984 නවකථාවේ එන චරිතය. බලන්න.
2. System Administrator

පරිවර්තනය - මේනක බණ්ඩාර සමන්කුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ළමා ළපටි හොරු ගෙන ගිය රාත්‍රියේ
සඳත් කඳුළු සැලුවාදැයි සැකක් තියේ
වළවේ දිය කඳත් ඇවිදින් උසාවියේ
තනියම කීවාය ඇසු දුටු සාක්කියේ

වසන්තය පළමු මල් පැළඳුවා පමණි
සූරාගෙන ගියේ මෝසම් සුළඟ මෙනී
අත පය කපා හල යෞවන තුරු පෙළිනී
ගලාගිය රුහිරු කිරි සුවඳින් පිරුණී

ඔන්න බබෝ බිල්ලෝ එනවා කීවා
බිල්ලො ඇවිත් මව් ඇකයට වෙඩි තීවා
ගිලිහී වැටුණ කඳුළට පාටක් නාවා
මව්වරු ඉදිරියෙන් අරගෙන උන් ආවා

වළවේ දිය කඳට කඳුළැලි වැසි වැටුණී
සූරියකන්ද පාමුල සොහොනක් තිබුණී
මඩ තවරා නොගත් කව්දෝ එහි පැමිණී
සෙල් කුළු සදිසි පියවරු රහසේ ඇඬුණී

කපාගෙන ඇවිත් පස් සූරියකන්දෙන්
දොවාගෙන කඳුළු බිඳු නෙත් අග්ගිස්සෙන්
අනා මැටි පිඬක් වෙව්ලන අතැඟිල්ලෙන්
ගෙනාවා නොවෙද මුන් අඬහැර සද්දෙන්

කොන්තගංතොටට නුදුරෙන් ඉදි කෙරුණූ
දියවන්නා අහස යට අඳුරේ දිලුණූ
අහිංසකාරාමය පෙන්නා සැදුණූ
කලක් තිබුණි උන් පමණක් ජය ගැනුණූ

තිබුණු තැනක් නැත සොරු ගෙන ගියාදෝ
මව්වරු අතින් පිඬුකල දුක කොහේදෝ
එසැඩ මනා බිම්කඩ මිල වුනාදෝ
කන බොන තැන් වලින් පිළිගඳ දැනේදෝ

හිංසකයින් ඇවිත් රඟනා රූ සඳිනී
සව්දිය පුරන මහතුනි, නෝනාවරුනී
මොහොතක් එන්න මගහැර පසතුරු නදිනී
අහිංසක කඳුළු ඉකිබිඳිනවා ඇසුණී

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඈත දියඹ පසුකරගෙන
සීත හිරිකඩත් අරගෙන
අන්ධකාර කොටුව උඩින්
සුළඟ කෑගසා යන විට
නිවුණු පහන් කණුව දෙසින්
සෙමෙන් පියනගා ඇවිදින්
පවුරු මායිමේ සිටගත්
නාඳුනනා ගැහැණිය ඔබ

මොට්ටැක්කිලි තිරෙන් වැසුණු
මුළු මුහුණම නොපෙනුනාට
දළුලන අඩ අඳුර තුලින්
දුටිමි කඳුළු පිරුණු දෑස
ඉබාගාතයේ සෙලවුණු
පොල් තුරු සෙවනැළි අතරින්
අපැහැදිලි නමුත්, නිසැකව
දුටුවෙමි ඔබ සැලෙන දෑත

කිමද මද'ඳුරේ තනිවම
ප්‍රිය හිමි සඳ බැණවැදුනිද?
නැතිනම් දළ රළ නොතකා
ඔහු ඔරුවක පැනනැගුනිද?
කුළිය අසා විද හැරගිය
ගෙහිමිගෙ රළු පරුෂ වදන්
රිදෙන පපුතුරේ ඇමිණී
මුදු හදවත බිඳවැටුණිද?

ගොළු මුහුදට අත මිටිකර
රහසක් කොඳුරා හෙමිහිට
එසැනින් සයුරට පිටුපා
ආපසු පියනැගුවෙ කිමද?
හෙළුවැල්ලෙන් නිවස පුරා
මව සොයමින් කෑමොරදී
පුරුද්දට හඬා වැළපෙන
දරුවන් මතකෙට නැගුණිද?

හිරි ගල් පඩිපෙළ බැසගෙන
ලේන් බාන් පාර දිගේ
සෙමෙන් සෙමෙන් නොපෙනී ගිය
නාඳුනනා ගැහැණිය ඔබ

කරදිය නාගෙන තෙත්වී
මදුවිත තොලගා මත්වී
කොටුවෙ බයිල සින්දු කිව්ව
කොලු පිරිසෙන් එකෙකිය මම!

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඒ අඳුරු නොවැම්බරයේ දිනෙක
උන් ඇවිත් ඔබව ගෙන ගිය පසුව
සිය වසක් ලෙස දැනුණ සිව් වසක්
මම මග බලා සිටියා තාත්තේ
මිදී පලා යා ගත නොහැකිව
මේ වෘක දත් අතර සිරව…

පාළු වංගුවකදී මුණ ගැසුණ
වියරු උන්මත්තකයෙකු වගේ
ඒ රුදුරු මතකය
හැමදාම මා වෙත කඩා පැන
මගෙ පුංචි සිත බිය ක‍ළා තාත්තේ…

මගේ ළමා සිහිනයන්
ගෙලින් ගෙන
සිව් වසක් පුරා ටිකෙන් ටික
උන් මාව මැරුවා
ඇත්තමයි තාත්තේ…

ඔබේ නෑ මිතුරන් නුදුටු මුත්
දෙනෝදාහක් යනෙන මහ මග
මගේ ළමා මළකඳත්
ඔහෙ අසරණව
ඇද වැටුන ලෙනින් පිළිරුව අසල
කාණුවක වැටී තිබුනා.

උන් වෙතින් මිදී
පලා යාමේ එකම මග
මරණයේ දොරටුව පමණමයි,
තාත්තේ ඒ නිසයි මං…..
එය පවා වැරදුණා තාත්තේ

කමක් නෑ තාත්තේ
ඉතින් මම යළි බලා ඉන්නම්
තවත් සියවසක් වුව
හැමදාම ඉකිබිඳින
නැගෙනහිර මුහුද දෙස
රතු රුවල් යෙදූ අව්රෝරාවෙන්
ඊළඟ සැරේ නැව් තොටට
හිනැහී හිනැහී ඔබ එනතුරු

[ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් මස දී අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ සිරගත කරන ලදි. සිය පියා රජයේ හමුදාව විසින් ඝාතනය කරනු ලැබීම සහ ස්වකීය ළමා විය කඳවුරක් තුළ ගෙවාදැමීමට සිදුවීම විසින් දැඩි මානසික පීඩනයට පත්, රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය වූ දසුන් ඊශා පියාගේ මරණයෙන් වසර කීපයකට පසුව සිය දිවි නසාගැනීමට තැත්කළාය. මෙම සිදුවීම පිළිබඳව ලියැවුණ මෙම කවිය 1994 මැයි 22 හිරු පුවත්පතේ පළ විය. ]

අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වැටී ඝන වූ මව්කිරියි මේ ශීත හිම ලෙස පෙනෙන්නේ
උත්තරාද්‍රැව හිම වනේ
වා ගැබම පාරවා හඬවා හෝ හඬින් එහි ඇසෙන්නේ
මවකගේ වැලපුමයි ඒ

හීල් සිඳු දිය පීර පීරා සීල් ගොදුරක් සොයා වෙහෙසුන
මවක මිහිදන් වුණා ග්ලැසියර හිසක් ගිලිහී වැටුණ උදයෙක
අකල් රත් වා අතින් පෙරලුව විසල් ගන හිම කුලක් පාමුල
ළදරුවන් වැලපුණා තනිවම..

මුල්ම කම්පනයයි එ'වැලපුම
මහා හිම ගිරි පෙළක් පෙරළන
සත් මහා සමුදුරම කැළඹී
උදම් රළ ගොඩ බිමක් වනසන

මහද්වීපික ඉමක් නොතකන
වියරු සුළි සුළඟකට ඇරඹුම
සයෙන් මත් වුණු එ'ළදරුවකුගෙ
සුසුම වේ මතු දිනක එළඹෙන

ගන නීල තුරු පලස ගිනිලා
වියරු තාපී වා මුදා හල
විකල් ශිෂ්ටාචාරයක් ළෙහි ගසා අත්
මියැදෙයි නුදුරු දින....

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විජයග්‍රහණය සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහි ද ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබිමුවෙහි දී ඔබ හැමවිටම පෙරමුණ ගත යුතුවන්නේය. එවිට නායකයෙකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍රවනු ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ
ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ
රාත්රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ
සාක්කිය හදවත ම පමණක් ය සහෝදර ප්‍රේමයේ

පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට
නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද
මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට
පින් බිමක් කොහිද බං පින්වතුන් සමු අරන් ගිය දාට

අතීතයෙ 'මල' රඟයි සොඳුරු අවසන් පෙත්ත ගිළිහෙන්ට
පිපාසය සනහන්න කාඩිදිය දෙන මත්ත විඳගන්ට
හිනාවක් තියේවිද තරු අතර උඹ ගත්ත තැන ගන්ට
රිදී රැය නළුවන්ට, මරණෙ විතරයි ඇත්ත මිනිසුන්ට

මේනුවෙන් බලා මේ ජීවිතය තෝර ගත්තා නොවෙයි
සානුවක හමුවෙන්න දුෂ්කර ම මඟ ගෙවූවා හැඟෙයි
සාධුජන හඬ මැකී වේදනාව ම නිනද නැඟෙයි
භානුවෙනි අවසාන කඳුළු බිඳුවට පවා රිදෙයි



2013 ජූනි 25

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත කුමාර විසින් රචිත "සරුංගල් සමනල්ලු" තිර රචනය එළිදැක්වීම හා සිනමා කතාබහ, 2013 ජුනි 27 වන බ්‍රහස්පතින්දා, ප.ව. 2:00ට කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වෙයි. කහටපිටිය සහ චමින්ද සමග කළ මේ කතාබහ ඒ නිමිත්තෙන්.

ප්‍රශ්නය- බොහෝ නිර්මාණකරුවන් කලඑළි බසින්නෙ, කවි පොතක්, නව කතා පොතක් හෝ කෙටි කතා පොතක් එළිදැක්වීමෙන් තිර රචනයකින් පටන්ගන්න එක තරමක් අසාමාන්‍යයි නේද?

කහටපිටිය- ගෙවුණු කාලය තුළ අප දෙදෙනා තනිව හෝ සාමූහිකව විවිධ නිර්මාණ කළා. මුල් කාලෙ ''සිරගත කවිසිත'' නමින් තීරු ලිපියක් සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ ''ලක්ජන'' පුවත් පතට අපි ලිව්වා. ඔහු පුවත්පතින් අයින් වුණාට පසු අපි කොලම් එක නතර කළා. ඊට දශකයකට පසුව තමයි එකතු වෙලා නැවත යමක් අපි ලිව්වේ. දැනට අපි සාමූහිකව වේදිකා නාට්‍යයක් හා යොවුන් නවකතා පෙළක් ලිවීමේ නිරතවෙලා සිටිනවා. කෙටි චිත්‍රපට කිහිපයක් කිරීමේ අදහසින් තිරපිටපත් කීපයකුත් රචනා කරලා තියනවා.

ප්‍රශ්නය- සාමූහිකව නිර්මාණයක් කිරීම, විශේෂයෙන්ම කෘතියක් පළකිරීම කෙබඳු කටයුත්තක්ද?

චමින්ද- ඔව් ඒක අමුතුයි. ඒක භාතිය සංතුෂ් පන්නයේ හෝ ''ජය ශ්‍රී ට්වින්ස්'' විලාසිතාවෙ වැඩක් නොවෙයි. ලෝකෙ ඕනෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙ වාගෙම අපි දෙන්නාගෙත් රුචි අරුචිකම් හා කියවීම් වෙනස්. අපේ සාමූහික නිර්මාණය ඇතුළෙ අපි දෙන්නගෙ අසමානකම් ප්‍රතිවිරුද්ධකම් හා නොගැලපීම් තමයි එළිදැක්වෙන්නෙ.

ප්‍රශ්නය- ඒත් යම් සාහිත්‍ය නිර්මාණයකට ඒකමිතියක්, නිශ්චිත තේමාවක් හා දෘෂ්ටියක් අවශ්‍යයි නේද?

කහටපිටිය- ඇත්ත.... දීර්ඝ කාලයක් සංවාද කරලා තමයි කෘතියක දිශාව තොරාගත යුත්තෙ. එහෙත් කෘතිය තුළ මුණගැසෙන චරිත විවිධයි. දෙන්නෙක් සිටින විට ඒ චරිත දෙස විවිධ මානයන්ගෙන් බලන්න පුළුවන්කම ලැබෙනවා. ඉහත කී වේදිකා නාට්‍ය රචනා කිරිමේදී මට අවශ්‍ය වුණේ මිනිස්සු මුහුණපාන ප්‍රශ්න, අනේක විධ දුක්ඛ දෝමනස්සයන් යම් කිසි දාර්ශනික එළඹුමක් වෙත ගේන්න. හැබැයි චමින්ද ක්‍රිෂාන්තට ඕනෑ වුණේ නාගරික සංවර්ධනයේදී පදික වෙළඳාම ආශ්‍රිතව ජීවත්වන මිනිසුන් යන එන මං අහිමි වෙලා අසරණ වෙන එක ගැන සාකච්ඡා කරන්න. ඔහුගේ හිතේ මැවිලා තිබෙන්නේ පෑලියගොඩ පරණ පාලම ආශ්‍රිත ජන ජීවිතය තමයි. මට ඕනෑ වුණේ මහා ඇලෙක්සැන්ඩර් රජුගෙ කාලෙ පසුබ්මි කරගත්තු කතාවක්. ඉහත කී යුග දෙකම එකම වේදිකාවේ එකම නාට්‍යය ඇතුලෙ එකම සන්දර්භයක නිරූපනය කරන්නෙ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. එහෙම නැතිව අතහරින්නෙ කාගෙ අදහසද කියලා නොවෙයි.

ප්‍රශ්නය- තිර රචනය කියන්නෙ සාහිත්‍යාංගයක්ද?

චමින්ද- මේ ගැන විවිධ මතවාද තියෙනවා. අපේ අත්පිටපත මුලින්ම කියවූයේ විශිෂ්ටතම සිංහල චිත්‍රපටයක් වූ ''පාර දිගේ'' තිර පිටපත ලියූ ප්‍රවීන ලේඛක අජිත් තිලකසේන මහතා. ඔහු දරන්නේ තිරපිටපතකට තනිව පවතින්න බැහැ කියන අදහස. කෙනෙකුට අදහසක් පළ කරන්න පුළුවන් මීට වෙනස්ව. මොකද අපිට කියවන්න ලැබෙනවා ගීත නිර්මාණ ග්‍රන්ථ. ඒ සඳහා සම්මාන පවා පිරිනැමෙනවා. සමහර පදමාලා ගීත බවට නිර්මාණය වෙන්නෙ නෑ. ඒක ගීතය කියවා ගැනීමට බාධාවක් නොවෙයි. ඉතින් මා සිතන්නෙ නෑ ඔබේ ප්‍රශ්නයට නිශ්චිත පිළීතුරක් යෝජනා කිරීම යෝග්‍යයි කියලා.

ප්‍රශ්නය- ඔබ මේ තිර රචනයෙන් සාකච්ඡා කරන්නෙ ලාංකේය සමාජය තුළ මෙතෙක් සාකච්ඡා නොකළ පැතිකඩක්. ඔබේ කෘතිය මගින් යෞවනයන්ගෙ එවැනි හැසිරීම් සාධාරණීය කරනය කරනවාද?

කහටපිටිය- එවැනි චරිත බිහිවෙන වටපිටාව එළිදරව් කරගන්නයි අපි මහන්සි ගත්තෙ. ඒ හේතු සංස්කෘතිය සළුපිළිවලින් ආවරණය කරලා තියෙන්නෙ. ලංකාවේ මේ පරම්පරා දෙකක සංස්කෘතික අන්තරය ඉතාම විශාලයි. මේක තරුණයන්ගෙ කලා භාවිතාවන්, මාධ්‍ය භාවිතාවන් තුළින් හඳුනාගන්න පුළුවන්. මේ පරම්පරා දෙකම ඉතා තදින් ඔවුනොවුන් ප්‍රතික්ෂේප කරනවා. ඔබ කියන්න පුළුවන් ඕනෑම සමාජයකට මේ භේදය පොදුයි කියලා. නැහැ, ඒක මේ මොහොතෙ මේ රටේ තියන තරම් කවදාවත් පැවතුනේ නෑ. එදා තත්ත්වය සාපේක්ෂව වෙනස්. අපේ පරම්පරාවෙ අයට වාමාංශික ධාරාවෙ දේශපාලනය රැඩිකල් භාවිතාවක් වුණා. මහා සම්ප්‍රදායට විරුද්ධ අය ගොනු වුණේ ඒකට. ප්‍රායෝගික භාවිතාවක් විදියට මේ ව්‍යාපාර අසමත් වුණාට ඒවා පසු පස පරාර්ථකාමී දේශපාලන අරමුණු තිබුණා. එමෙන්ම රුසියානු සාහිත්‍ය කෘති මේ දේශපාලන ව්‍යාපාර සඳහා ගාමික බලය සැපයුවා. මේ අය මිහයීල් ෂෝල්හොව්, ගෝර්කි වැනි ලේඛකයන්ගේ පොත් කියෙව්වා වගෙම ඉන් ඔබ්බට ගිහින් චෙකොෆ්ගෙ, දොස්තයෙව්ස්කිගෙ හා ටොල්ස්ටෝයිගෙ කෘතීත් කියෙව්වා. අද පරම්පරාවට එහෙම ආලෝක ධාරාවක් සපයන මූලාශ්‍රයක් නෑ. අද පරම්පරාවෙ මේ අවකාශය පිරවෙන්නෙත් පරිභෝජන අවකාශය ප්‍රසාරණය කර ගැනීමට හඹායාමට පෙළඹවීමෙන්. මේක විනාශකාරී හඹා යෑමක්. එය අවකාශයකට වඩා කුහරයක්. කලු කුහරයක්. ඒ තුළට යෑම් විනා ආපසු ඊම් නැහැ. මේ ධනවාදී, පරිභෝජනවාදී සමාජය හරවා ඇත්තේ මේ කුහරය දෙසට. ඔබට අවශ්‍ය නම් එය නව ලිබරල්වාදය ලෙස නම් කරන්නත් පුළුවන්. පෘථීවියේ අවසාන සම්පත් ටිකත් මේ කුහරය තුළට උරාගත් විට ශේෂ වන්නේ මේ කුහරයම පමණයි. නව පරම්පරාවට රැඩිකල් විය හැක්කේ මේ අසීමිත සම්පත් පරිභෝජනයම යෝජනා කරන මේ ක්‍රමයට එරෙහි වීමෙන්. ඇත්තටම මේ ක්‍රමය බිහි කරන්නෙ දියුණු මිනිසුන් ඒ කියන්නෙ චින්තකයින්, කලාකරුවන්, දාර්ශනිකයින් නොවේ. දියුණු තාක්ෂණික මෙවලම්.

ප්‍රශ්නය- ඔබ කියන මේ මිනිසාත් අවසාන වශයෙන් මේ පෘථිවියත් , විනාශය කරා ගෙන යන මේ ''අසීමිතව සම්පත් පරිභෝජන හැකියාව'' දියුණුව ලෙස සලකන මේ ඛේදවාදකය තරුණයන් ග්‍රහණය කර ගන්නෙ නැත්තේ ඇයි?

කහටපිටිය- ඔව්, අපිටත් අපේ යොවුන් පරම්පරාවටත් එකඟ වෙන්න පුළුවන් දේශපාලනය ඒක තමයි. අධ්‍යාපනය ඇතුළු සියලුම ගාමක බලවේග ඔවුන් තල්ලු කරන්නෙ ''පරිභෝජන අවකාශය පුළුල් කර ගැනීම තමයි මේ ක්‍රමය ඇතුලෙ දියුණුව කියන්නෙ'' කියන තැනට. අධ්‍යාපනය වගෙම ක්‍රීඩාවත් මග පෙන්වන්නෙ මානව දයාවෙන් පිරිපුන් යහපත් පුරවැසියන් බිහිකරන්න නොවෙයි, ධනවතෙක් වෙන්න මඟ කියා දෙන්න. මේ දශකයෙ බිහිවීමට නියමිත නාට්‍යකාරයො, නවකතාකාරයො, කවියන් සියල්ලම ඔවුන්ගේ නිර්මාණ ශක්තිය යොදවන්නෙ මුදල් හොයන්න. ඔවුන් Advertizing Firmsවල Tution Field එකේ ඉහළින්ම ඉන්නවා.

ප්‍රශ්නය- අපි නැවතත් සරුංගල් සමනල්ලු දෙසට හැරෙමු. ඔබ මෙහි එන එඩිසන් සහ බෝසිංහ යන විදුහල්පතිවරුන්ගෙන් ප්‍රතිනිර්මාණය කරන්නෙ අපේ සංස්කෘතිය ගැන ඔබේ පොදු කියවීමද?

චමින්ද- නැහැ. ඒක එහි එක් පැතිකඩක් පමණයි. එය සමස්ථයට ඌනනය කිරීම බලහත්කාරයක්. මහ නාන්නේරිය ගමේ පාසලට ගිය මම පෝෂණය වුණේ ඒ සංස්කෘතියෙන්. තාමත් ඒක ආශ්වාදනීය මතකයක්. ලේඛකයෙක් බොහෝ විට නිර්මාණ සඳහා යොදා ගන්නෙ මහා සංස්කෘතය පිළිබඳ පොදු කියවීම නොවෙයි. එහි පවතින ආන්තික හිංසාකාරී බල ක්ෂේත්‍ර පිළිබඳව. ඒවා සංස්කෘතිකයෙ සළු පිළිවලින් තිරදාලා ආවරණය කරල තියෙන්නෙ. අපි සැඟවුණු චිත්‍රය එළිකළ යුතුයි. හැත්තෑව දශකයෙ අපේ ගමට සමීප විදුහලක දෙවන ලෝක යුද්ධයට සහභාගි වීමෙන් පසුව විදුහල්පති පත්වීම ලැබූ පුද්ගලයෙකු සිටියා. ඔහු දඩයක්කාරයෙක්. ඉතින් අපේ තිර රචනයෙ මූලාශ්‍ර හිතේ මවාගත් ෆැන්ටසි නොවෙයි. ඒවා සත්‍ය සංසිද්ධි නැවත ප්‍රතිනිර්මාණය කිරීමක්.

ප්‍රශ්නය- පුනර්ජීව සිය පරිසරයෙ තියෙන සිදුවීම් හේතුඵල සම්බන්ධයක් ඇතුලෙ කියවාගෙන ඒවාට සංවේදී වෙන්න සමාව දෙන්න තරම් දැනුම් තේරුම් ඇති සුබග දරුවෙක්. ඔහු ඇයි ගෙල වැළලා ගන්නෙ?

කහටපිටිය- අපේ කෘතියෙ සමස්ථ අරමුණ මේ ප්‍රශ්නය සමාජය තුළ මතු කිරීම. මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු පිළිබඳව කතිකාව කෘතිය විසින් සමාජගත කළ යුතුයි.

ප්‍රශ්නය- මෙහි සිටින කාන්තාවන් බද්‍රා සහ භානු ලිංගිකව සූරාකෑමට භාජනය වන කාන්තාවන්. බද්‍රා එම තත්ත්වයෙන් මිඳිම වෙනුවට නැවත නැවත ඊට ගොදුරුවන්නේ ඇයි?

චමින්ද- ඔබවහන්සේ ඉතාම නිවැරදි ප්‍රශ්නය නගනවා. එහෙත් සමාජය සලකන්නෙ මෙය නොහොබිනා (improper) ප්‍රශ්නයක් විදියට. ඔවුන් කැරළි ගසන්නෙ හුදකලාව සිට. උදාහරණයකට ඡන්දයෙන් පත්වූ දේශපාලකයෙක් පාසල් ගුරුවරියක්ව දණගස්වනවා. අපි මාධ්‍යවලින් දුටුවෙ ඇගේ එම පාසලේ අනිකුත් ගුරුවරියන් මුනිවත රකිනවා. පොලිසියෙන් තමන් කරපු පැමිණිලි ඉල්ලා අස්කරගන්නවා. ප්‍රදේශයේ කාන්තාවන් ගොළුවන් සේ හැසිරෙනවා. සමාජය පොදුවෙ සොයන්නෙ ඉහත කී ගුරුවරිය විසින් සිදුකළ පෙර වැරදි සමාජයක් විදියට මිනිස්සු හිතනවා.... ''අන්තිමේදී කොහොම හරි දේශපාලකයා මේ ප්‍රශ්නයෙන් ගැලවෙයි, ඕවා ඔහොම තමයි'' කියලා. ඉතින් ග්‍රීක පුරාවෘත්තයක එන ආකාරයට ''ලාන්ස් ලොට්'' කෙනෙක් එන්නෙ නෑ සමාජය ගලවා ගන්න. අපි මේ ප්‍රශ්න කලාකෘති හරහා හෝ සාකච්ඡා කළ යුතුයි. පුනර්ජීවගෙ මරණයෙ වගකීම බද්‍රාගෙ හිසමත පටවල ඉන් මිදෙන්න සමාජයට යුතුකමක් තියෙනවාද කියන ප්‍රශ්නය අපි මතුකරනවා.

[සංවාදී සටහන- ජයබිම විමලවංශ හිමි]

ජයබිම විමලවංශ හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"Ecstasy and Truth"- Werner Herzog Documentary Film Week
24th - 30th June 2013
@ Goethe Hall
Curator: Anomaa Rajakaruna

Werner Herzog is considered one of the greatest figures of New German Cinema. He is a director, producer, screenwriter, actor and an opera director. Since 1962 Herzog has made more than 25 documentaries. In June, a wide selection of his documentaries will be presented for the first time in Sri Lanka during ‘Ecstasy & Truth’: Werner Herzog Documentary Film Week.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක්තරා රාජ්‍යයක දේශපාලන සිරකරුවෙක්ව සිටි සිවිල් සංවිධාන නායකයෙක් එල්ලා මරා දැමීමට නියෝගය ලැබුණි. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙරාතුව ගෞරවාන්විතව විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සිරකරුවා පැවසූ අතර එයට ඉඩ ලැබුණි. සිරගෙදර තුල දැඩි ආරක්ෂාව යටතේ නිලධාරියෙක් විසින් එම ප්‍රකාශය සටහන් කරගැනීමක් පමණක් එහිදී සිදුවූ නමුත් දේශපාලන සිරකරුවා දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව සහ හැඟීම්බරව එම ප්‍රකාශය සිදු කළේය. මෙයින් මතු දිගහැරෙන්නේ ඒ නොවටිනා එහෙත් වටිනා ප්‍රකාශයයි.

"මා එල්ලා මරා දැමීමට තීරණය කර ඇති අතර මම ඒ තීරණය ගැන කිසි විටක පුදුම නොවන්නෙමි..... මන්ද මෙවන් රාජ්‍යයක් තුල අප වැන ක්‍රියාකාරී හෘද සාක්ෂියක් ඇත්තන්ට හෘද සාක්ෂියක් නොමැත්තන් විසින් ලබාදෙන ඉහලම සත්කාරය මෙය බව මා පෙර සිටම දැන සිටි බැවිනි.... .. මා සතුව ඇති එකම විමතියට කරුණනම් මෙය සති හෝ මාස කීපයක් පසුවීම පමණි.

අප වැනි සමාජය පිළිබඳ විවෘතව සහ බිම් මට්ටමේ සිට පියවරෙන් පියවර අවබෝධය ලබාගත්තවුන් තවත් ඇති බව මා හොඳාකාරවම දන්නෙමි. මහ පොළවේ කටුක බව, ජලයේ නිද්‍රාශීලී සුමට බව සහ දහඩිය බිඳුවක ඇති මානව දයාව අප කුඩා කල සිටම හොඳින් හඳුනන්නෙමු. සමාජයේ ඉහළ ස්ථරවලට නොදැනෙන බොහෝ දේ අප කුඩා කල සිටම අකුරු වලටත් පෙර සිට උගත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අප සමාජයේ කටුක බව තරණය කරන්නන් සහ මිනිසුන්ට දායාව දක්වන්නන් බවට නිරායාසයෙන් පත්වීම සිදුවිය.

මා උගෙන ඇති පරිද්දෙන්... අතීතය විසින් ඔබව රවටනු ලැබූවත් අනාගතය විසින් ඔබව නිවැරදි කරනු ඇත.. අතීතයේ අපට එරෙහිව අවි එසවූවන්ට, අපට එරෙහිව වචන හැසිරවූවන්ට අනාගතය විසින් යථාර්ථය පෙන්වා දෙනු ඇත. අනාගතය විසින් ඔවුන්ව නිවැරදි කරනු ඇත. අප සටන් කලේ මේ රාජ්‍යයේ ජනතාවගේ සැබෑ අයිතීන් වෙනුවෙනි....., ජනතාවගේ නිදහස වෙනුවෙනි......., උහලනු බැරි බඩගින්දර මෙන්ම කිටි කිටියේ ගෙල සිරවෙන ආර්ථික මර උගුලට එරෙහිවය....... නමුත් අවසානයේ අප ගෙලට තොණ්ඩුව වැටෙන්නට ආසන්නය..... මේ රාජ්‍යයේ පාලනයට එරෙහිව කැරළි ගැසීමේ චෝදනාව යටතේ අප පෝරකයට යවන්නට කටයුතු කරයි නම් එයින් අදහස් කරන්නේ අප අපරාධකරුවන් බවයි..... මේ බිමේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ජීවිතයේ වටිනාම කාලය කැපකළ අප අපරාධකරුවන් නම් අපට හිමි දඬුවම වහාම ලබා දෙනු මැනවි. මේ බිමේ ජනතාවගේ බඩගින්දර වෙනුවෙන් ඉවසා ගනු බැරි තැන අවි එසවූ අප අපරාධකරුවන්නම් අපට හිමි පෝරකය වහා පණ ගන්වනු මැනවි, නමුත් අප අපරාධකරුවන් ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගසයි නම් සැබෑ අපරාධකරුවන් වෙනුවෙන් වෙන වදනක් හෙට පටන් ඔබට සොයාගැනීමට සිදුවනු ඇත.. එවිට හෙටින් ඇරඹෙන ලෝකය තුල හෘද සාක්ෂියක් ඇති ජනතාව දේශප්‍රේමියා යන වදනට සමාන වදනක් ලෙස ඔබ විසින් සංශෝධනය කල අපරාධකරුවා යන නාමය භාවිතාකරනු ඇත....!

මේ රාජ්‍යයේ පාලකයන් හට බලය පැවරුවේ ජනතාව මිස ඔවුන් බලය උපද්දවාගනු ලැබූවක් හෝ පිය උරුමයෙන් රැගෙන ආ යමක් නොවේ. එසේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණය මත බලයට පැමිණි පාලන තන්ත්‍රය පිලිබඳ අපද බොහොම සතුටු සිතින් බලා සිටියෙමු. දණගාමින් ඇවිද ගොස් ආධාරකයක් අල්ලාගෙන දෙමව්පියන්ගේ වැර වෑයමින් පිය නගන කුඩා දරුවෙක් දෙස බලා සිටිනවාක් මෙන් චිත්තප්‍රීතියෙන් අපි මෙම පාලන තන්ත්‍රය දෙස බලා උන්නෙමු. තරුණ වියේදී දඩබ්බර කම් කරන විට අප අවවාද කලෙමු.... ඒ උගුර ලේ රහ වනතෙක් කල උද්ඝෝෂණ සහ පා ගමන් තුලින්ය. අපි සමාජය තුලින් ඒ අවවාද අනුශාසනා මේ රාජ්‍යය පාලනය කරන දඩබ්බර තරුණයා වෙත ගෙන ආවෙමු...... එහෙත් ඔහු නෑසුනාක් මෙන් රිසි දේ කරමින් සිටින්නට විය. අවසන තරුණ පාලන තන්ත්‍රය විසින් ඔවුන් හැදූ වැඩූ ජනතාවටම පහර දෙනවිට එය තවදුරටත් ඉවසා සිටින්නට නොහැකි විය. අප වේවැල අතට ගත්තෙමු, ඒ පහර දී හදන්නට හෝ නැතිනම් සමාජය රැකගන්නටය. අද අප කල දේ ප්‍රතිඵලයක් පෙනේනට නොදී සිරකර තබා ඇතත් අනාගතය විසින් ඒ සාර්ථකත්වයේ හිරු කිරණ ජනතාවට පෙන්වනු ඇති. එවිට ජනතාව අවදි වනු ඇත.

අවාසනාවකට මෙම රාජ්‍යයේ ජනතාව තමන්ගේ හිමිකම් ගැන නොදන්නා කොටසකි. එසේම තමන්ට කල හැකි දේ නොදන්නා පිරිසකි. එය වත්මන් පාලකයින් අවියක් කරගෙන ඇති අතර ජනතාව තවමත් දීනභාවය මහා කිරුළක් ලෙස පිළිගනිමින් කල්ගත කරමින් සිටිති. අප උත්සාහ කළේ ජනතාවට තමන් කවුද යන්න පෙන්වා දෙන්නටය. ඔවුන් කිසි දිනක සැබෑ කැඩපතක් දැක නොමැත. ඔවුන් දැක ඇත්තේ තමන් විසින් නූගත් මෝඩයන් බවට ඉබේ පත්කරගෙන ඇති සහ දවස පුරාම පාලකයන් විසින් මෝඩයන් බවට පත්කර ඇති ශරීර කූඩුව සහ ආධ්‍යාත්මය පමණි. නමුත් අප ඔවුන් ඉදිරියේ කැඩපතක් වුනෙමු. එවිට ඔවුන් අප නැමති කැඩපත තුලින් සැබෑ ලෙසම ඔවුන් කව්ද යන්න දකිමින් සිටියහ, නමුත් එවිට මේ පාලකයන්ගේ අණින් හතිලමින් දිවයන බැලමෙහෙවරකරුවන් පැමිණ පාලකයන්ගේ අණින්ම ඒ සැබෑ කැඩපත සුනු විසුනු කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස අපට සිරගත වන්නට විය. අවසානයේ පෝරකය පේන මානයට ද පැමිණ ඇත. ඒ පිළිබඳ කිසිඳු කණගාටුවක් අපතුල නොමැත. මා මෙය හුදෙක් පුද්ගලික ප්‍රකාශයක් ලෙස නොතබා සාමූහික ප්‍රකාශයක් ලෙස තබන්නේ මා සඳහන් කරන මතය මා සමග එකට සටන් කල දිවි දුන් මෙන්ම දිවි දෙන්නට අපේක්ෂාවෙන් සිටින සැබෑ හෘද සාක්ෂියක් ඇතිවුන්ගේ ආත්මකථනයම වන බැවිනි.

කිසි විටක මේ පාලකයන්ට හෝ මේ පාලකයින් විසින් අසීමිත වැරයොදා නඩත්තු කරන පෝරකයට මා ඝාතනය කල නොහැක. මන්ද පාලකයින් මෙන්ම මේ පෝරකයද මා නිවැරදිකරුවෙක් බව හොඳාකාරවම දන්නා නිසාවෙනි. වැරදිකරුවන් කව්ද යන්න මේ නිහඬ පෝරකය පවා යහමින් දන්නා කරුණකි. එසේනම් නිවැරදි අප නැති කිරීමට පාලකයන් අපේක්ෂා කරන්නේ කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙනය. එකක් නම් ඔවුන්ගේ අත්තනෝමතික සහ ලැජ්ජාවක් නොමැති පාලනයේ නිරුවත වසාගැනීමේ අරමුණින්ය. මන්ද අප විසින් රටට මෙන්ම ලෝකයට ද ඔවුන්ගේ නිරුවත පෙන්වන බව ඔවුන් දන්නා බැවිනි, අනෙක් කරුණනම් ජනතාව අපතුලින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය දැකීම සිදුවුවහොත් නිසියාකාරව පාලකයන්ට ගෙදර යන්නට වන බව දන්නා නිසාවෙනි. නමුත් මේ කාරණා දෙකම අප පෝරකයට යවා නවතා ගත හැකි දේවල් නොවන අතර ඒවා සොබාදහම විසින් ස්වාභාවිකවම හෙලිදරව් කිරීමට සිටින දේවල් නිසාවෙන්ය.

ලෝකය විසින් විවිධ කාලයන් හි විවිධ ජනකොටස් වෙත විවිධ වූ වගකීම් පවරනු ලැබේ. ඒවා ඉටුකිරීම මත ඔවුන්ගේ පැවත්ම තීරණය වන බව අප දැනසිටියෙමු. අප වෙත පැවරුණ වගකීම ඉටුකිරීමට අප පෙලගැසුනෙමු. අවිහිංසාවාදී දේශපාලන චින්තනය අප තෝරාගත් අතර එහිලා ජනතාවගේ හදවත්වලට කතා කරන්නට අපි සමත් විය. අපි අවිහිංසාවාදීව කටයුතු කරන තාක්කල් පාලකයන් අපට පෙරලා පෙරලා පහරදුන්හ. ඕනෑම දුර්වලයෙක් පහර කන්නේ යම් සීමාවක් දක්වා පමණි. අප දුර්වලයන් නොවුන බැවින් අප ඒ සීමාවට එන්නටත් පෙරම පහරදීම්වලට විරුද්ධව සෘජුව නෑගී සිටියෙමු. අද මෙලෙස පෝරකය ඉදිරියේ අප සිටින්නේ ඒ නිසාවෙනි. නමුත් මම හෝ මගේ හිතවත් සගයන් කිසිවිටක පෝරකයට කිසි ලෙසකින්වත් බිය නොවන බව මේ පාලකයන් දැනගත යුතුය. අප සටන් බිමට බැස්සේ පණ බේරාගෙන පලායාමට නොව හදවතින් හදවතට ගැටී ඉන් අනතරුව ඉක්මවා යන ආත්ම ධෛර්ය තුලින් ජනතාව වෙනුවෙන් සටන් කර අවසානයේ මිය යාමටය. නමුත් එසේ මේ සටන් බිමෙන් ඉවත් වන්නට පෙරාතුවා මා උරහිස මත පැවරුණ වගකීමේ කොටසක් ලෙස අප හෘද සාක්ෂියේ සැබෑ වගන්ති මේ පාලකයන්ට සහ අනාගතයේ ඇති වෙන්නට නියමිත මෙවන් පාලන තන්ත්‍රයන්ට සහ ජනතාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීම වඩාත් වැදගත් දෙයක් ලෙස මා විශ්වාස කිරීම සිදුකල යුතුය. මම ඇතුලු මගේ දයාබර සගයන් මරා දමා මේ පොලවට පස්වූ දිනක ඒ පස්වල පෝෂණය වර්ධනයෙන් බිහිවන ගස් වැල් වලින් නිදහසේ ඵල ලබන්නට පරපුරක් බිහිවිය යුතුය. ඔවුන් නිවහල් සහ ආත්ම ධෛර්යයෙන් සන්නද්ධ විය යුතුය. කිසි විටික ඔවුන්ට අප මෙන් අයිතීන් සහ බඩගින්න වෙනුවෙන් සටන් කිරීමට ඉඩ නොතැබිය යුතුය. අප සතු සැබෑ වගකීම වන්නේ එයයි. එය අප අනාගතය වෙනුවෙන් කරන උතුම්ම ආයෝජනය වන්නේය.

දිනක අපගේ ශරීරයන් මේ පොලවට ශක්තිමත් පාදමක් නිර්මාණය කරනු ඇත. ඒ පාදම තුලින් සශ්‍රීකත්වයේ ගොඩනැගිලි සහ කම්හල් ඉදිවෙනු ඇත. ඒ කම්හල්වල දැති රෝද සැබෑ මානව හිතවාදී ධෛර්ය සම්පන්න ජාතියක් විසින් පාලනය කරනු ඇත. ඒවායින් උපයාගන්නා ණය නැති ධනයෙන් ඒ ජනතාව සිත් සතුටින් කල් ගෙවනු ඇත. එදිනට එයට පාදම සපයන්නට අප දැරූ වෙහෙස සහ අවසන අපගේ ශරීර ඔවුන්ගේ පයට පෑගෙන පොළව යට නිදන් වී ඔවුන්ගේ පාදම ශක්තිමත් කරන බව ඔවුන්ට නොදැනුනාට කම් නැත. නමුත් අපගේ අවශේෂයන් යටවී ශක්තිමත් වූ පොළව මත පයගසා ජීවත් වන්නේ ආත්ම අභිමානයක් නැති සහ පාලකයන්ගේ මකර කටට පණ බයේ ගැහෙමින් වහලුන් සේ ගෙවන ජාතියක් නම් එදිනට අපගේ අවශේෂයන්ට පවා සැනසීමක් නොදැනෙනු ඇත. මේ ගහකොල සතා සිව්පාවා පවා එදිනට ඒ ජනතාවට එරෙහි වනු ඇත.

මා බොහෝ සෙයින් මේ අවසන් ප්‍රකාශය දික්ගැස්සූ බව මට හැඟී යයි. මේ ප්‍රකාශය අනාගතය තුල අතීතයේ සාක්ෂිකාරයා ලෙස කටයුතු කරනු ඇත. මා කාරුණිකව සහ ඉතාම අවධාරණයෙන් යුතුව මේ සිරකඳවුරේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනාගත පරපුර වෙනුවෙන් මාගේ මේ ආත්ම කථනය ඉදිරිපත් කරන ලෙසයි. එය එසේ කිරීමට ඔවුන් පාලකයන්ගේ බලපෑම මත හෝ ස්වකීය කශේරුකාවේ ශක්තියේ මඳබව නිසා පැකිලෙයි නම් එය මාගේ අනාගත පරපුරට මෙන්ම ඔවුන්ගේ පරපුරට කරන්නා වූ විශාලතම වැරැද්දක් බව මතක තබා ගත යුතුය. මේ ප්‍රකාශයේ කෙලවර මා කව්ද යන්න හෝ ලියවුනේ කවදාද යන්න සඳහන් කිරීම තුලින් අනාගතය තුල වීරයෙක් වීමට මට අවශ්‍ය නැත. නමුත් අප හදවතේ මුල් බැසගත්තාවූ මතය නම් නිසැකයෙන්ම අනාගතයේ මහා වීරයෙක් විය යුතුය. මන්ද එවිට අනාගතය විසින් ඒ විරුවාට හිස නමමින් ස්වකීය නින්ද්‍රාශීලී චින්තනයට පයින් ගසා එලවා දමනු ඇති බැවින්ය.

මා හට ලැබී ඇති කාලය අවසන්ය, මා පෝරකයෙ වෙත යා යුතුය. සැබවින්ම මා හට එය පෝරකයකට වඩා මේ සටනේ මුදුන් කෙලවර ලෙස හැඳින්වීම වඩාවටී. ඒ සටනේ ඉහලම තැනදී මා කිව යුතු බොහෝ දේ මෙම ප්‍රකාශයේ ගැබ්ව ඇත. අප නොදුටු හෙටක් දකින්නට වරම් ලැබෙන පරපුරක් මෙවන් වූ පාලකයන් එරෙහිව අනාගතයේදී කටයුතු කරනු ඇත. එදිනට පෝරකයට තබා ඉන් එහා යමකටවත් ඔවුන්ව නතර කිරීමට නොහැකි වනු ඇත. මන්ද අප විසින් ප්‍රාර්ථනා කරන්නාවූ අනාගතය මව් කිරෙන් පෝෂණය වී ස්වාභාවික වස්තූන්ගෙන් ශක්තිමත් වී ස්වකීය ආත්ම අභිමානයෙන් සුඛිත මුදිත වන පරපුරක් බිහිවන්නා වූ කාලයක් බැවින්ය. එවන් වූ අනාගතයක නැවත මා ඉපදේවා යන්න පමණක් මගේ මෙන්ම අපගේ පැතුමද එය බව පවසමින් මේ ප්‍රකාශය මෙසේ අවසන් කරන්නෙමි."

මෙම ප්‍රකාශනය සටහන් කරගත් නිලධාරියා විසින් එය සුරැකිව තබාගත්තේය. ඔහු එය දේව ලියවිලලක් පරිද්දෙන් සිය අනාගත පරපුර වෙත ප්‍රාදානය කළේය. එබැවින් එය අප වෙත අද ලැබී ඇත.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2011-2012 වසර යනු ශ්‍රී ලංකා අධිකරණය මඟින් දෙවතාවකදී පමණ අසැබි වෙබ් අඩවි ආසන්න වශයෙන් 400 ක් පමණ තහනම් කළ කාලයකි. මාධ්‍ය වාර්තා දෙස බලන විට ලෝකයේ එතරම් සංඛ්‍යාවක් අසැබි වෙබ් අඩවි තහනම් කළ අන් රටක් ඇත්ද යන්න සැක සහිතය. නමුත් රජයේ සෘජු ඉල්ලීම අනුව ශ්‍රී ලංකා අධිකරණය එම තීන්දු ප්‍රකාශයට පත් කළේ රටේ සිදුවන ළමා හා කාන්තා අතවර වලට සෘජුව මෙම වෙබ් අඩවි හේතුවන බව ප්‍රකාශ කරමිනි.

2011 වසරේ සිදු වූ සමස්ත අපරාධ වලින් 48% ක්ම ස්ත්‍රී දූෂණ වන අතර, ඉන් 89% ක්ම අවුරුදු 16 ට අඩු බාලිකාවන්ය. 2011 නොවැ. 30 වන දින තෙක් සිදු වූ කාන්තා අතවර 1636 ක් බව පොලිස් වාර්තා පෙන්වා දුන්නද, කාන්තා සංවිධාන පෙන්වා දෙන්නේ පොලිස් පොතට නොඑන සංඛ්‍යාව එමෙන් 3 ගුණයක් බවයි. එනම් දිනකට 15 ක් පමණ අතවරයන් සිදුවන බවයි. එනම් විනාඩි 90ට එකකි.

පසුගිය දෙසැම්බර් 16වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවර දී සමූහ අතවරයකට භාජනය වූ වෛද්‍ය ශිෂ්‍යාව වන විසිතුන් හැවිරිදි ජෝති සිං පාණ්ඩේ ද මිය යන්නේ ලිංගික අතවර හැරුණු කොට ඇයට හා තම පෙම්වතාට අමානුෂික හා මාරාන්තික ලෙස පහරදීම හේතුවෙනි. ඉන්දියාවේදී සිදු වන මෙවන් කාන්තා අතවර සංඛ්‍යාව විනාඩි 20ට එකක් බව කියවේ. මේ වන විට ඉන්දීය අධිකරණ පද්ධතිය තුළ විභාග වන කාන්තා අතවර නඩු විභාග සංඛ්‍යාව 95,000 පමණය. ජෝති සිං පාණ්ඩේ නම් මෙම වෛද්‍ය සිසුවියගේ මරණයෙන් පසු ඉන්දියාව පුරා පැතිරී ගිය සමස්ත විරෝධතා වලින් කියැවුණේ එම අපරාධකරුවන්ට මරණ දඬුවම දිය යුතු බවයි. නමුත් ඉන්දියාව තුළ ද ස්ත්‍රී අතවර සඳහා ප්‍රමාණවත් නීති නැතුවාම නොවේ. එම නීති ක්‍රියාත්මක කළ ද, සමස්ත අතවරවල අඩුවක්ද වාර්ථා නොවේ. මෙම පරස්පරය අප වටහා ගත යුත්තේ කෙසේද?

ඇත්තෙන්ම ලංකාව තුළ ද අසැබි වෙබ් අඩවි තහනමින් පලක් වූයේ නම් මෙම සංඛ්‍යාව අඩු විය යුතුව තිබුණි. නමුත් සිදුව ඇත්තේ එහි පරස්පරයයි. එමෙන්ම පසුගිය සමයේ රොයිටර් පුවත් සේවය, ගූගල් සමාගම සමඟ එක් වී කළ සමීක්ෂණයකින් හෙළි කරනු ලැබුනේ SEX නමැති වදන අන්තර්ජාලයේ Search කරන රටවල් අතරින් මුල් තැන සිටින්නේ ශ්‍රී ලංකාව බවයි.

පසුගිය වසරේ වැඩිම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කළ රටක මෙවන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ කෙසේද? වැරදී ඇත්තේ කොතැනද? සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයක් බිහි කරන බව පවසමින්, එය රැක ගැනීමට යැයි කියමින් කරනු ලබන තහනම එයටම පාරා වළ ල්ලක් වී ඇත්තේ විදේශ කුමන්ත්‍රණයක් නිසා නොව පන්සල් හා පල්ලි යන බොහෝ සැදැහැවතුන්ගේ චිත්ත සමාධියට එය හේතු වී ඇති හෙයිනි. එය ඉහළ සිට පහළ ටත් පහළ සිට ඉහළ ටත් එසේමය.

ජාතිවාදී, ගෝත්‍රවාදී පදනම් මත පිහිටා වේවා විසඳිය හැකියැයි සිතන්නේ නම්, සෞදියේ වැනි අරාබි හෝ අප්‍රිකානු රටවල ඇති දැඩි නීති රීති වලින් එම රටවල් ඉතා විනය ගරුක රටවල් විය යුතුය. නමුත් සිදුව ඇත්තේ SEX පිළිබඳ තිබෙන සාපිපාසාව ඉතාමත් බරපතල කාමාධික රෝගී තත්වයක් බවට පත් වීමයි.

මේ අතර බටහිර රටවල් ඉතාමත් විවෘත හා නීත්‍යානුකූල ලිහිල් බවක් මත SEX පිළිබඳ කටයුතු කරන අතර, ඉදිරියේදී පාපන්දු ලෝක කුසලානය සඳහා බ්‍රසීලය යටිතල පහසුකම් දියුණු කිරීමක් ලෙස තම රටේ ගණිකාවන්ට ඉංග්‍රීසි පංති පවත්වයි. බෙල්ජියම වැනි රටවල් Red Line Street වැනි ලිංගික කලාප වෙන් කර ඇත්තේ කාලයක සිටය. එම රටවල් බොහොමයක් ගණිකා වෘත්තිය නීතිගත කර තිබේ. නමුත් එයින්ද ප්‍රශ්නයට තීරණාත්මක පිළිතුරු ලැබී නැති වුවද, හය හතර නොතේරෙන කුඩා මල් කැකුළුවන් දරුවන් විනාශ කර මරා සැඟවීමට වඩා සිය ගුණයකින් එය හොඳය. එමෙන්ම අනියම් සබඳතාවයක් හේතුවෙන් තම බිරිඳ සමඟ දරුවන්ද මරා පුළුස්සා දැමීමට වඩා දික්කසාද වීම හොඳය. මන්ද යත් ලිංගිකත්වයට වැටකඩොළු බැඳෙන තරමට එය මනෝ විකාරයක් බවට පත් වී, කාමුක ම්ලේච්ඡත්වයට පාර කැපෙන බව එළිපිටම පෙනෙන්නට ඇති හෙයිනි.

නමුත් මේ හැමටම වඩා ඉතාමත් වැදගත් වන්නේ ගැහැණුන් මිනිසුන් ලෙස අප එකිනෙකා දෙස කාමුකව, රාගිකව බැලීමට වඩා ප්‍රේමාන්විතව බැලීමට යොමු කිරීම සඳහා වන පුළුල් සංවාදයක් රට තුළ මතු කිරීමයි. ප්‍රේමය සුරක්ෂිත බව ඇති කරයි. ප්‍රේමය සැබෑ සතුට ගෙන දෙයි. නමුත් කාමය ම්ලේච්ජත්වය ද, වේදනාව ද අපේ ජීවිතවලට ගෙන එයි. එහෙයින් ඉතා පුළුල් හා ගැඹුරට ගිය යහපත් ලිංගික ආකල්ප ඇති කිරීම සඳහා වන ලිංගික අධ්‍යාපනයක් දරුවන් තුළ ජනිත කිරීම යුගයේ මෙහෙවරකි. ගැටළුව වන්නේ පන්සල්, පල්ලි, කෝවිල් එහිදී අසමත් වී තිබීමයි. මෙය වෙනමම සංවාදයට ලක් කළ යුතුව තිබේ.

ජූඩ් ප්‍රේමන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපේ පුංචි ලංකාවට අන්තර්ජාතික කීර්තිය හිමි කර දුන් ලෙස්ටර් ජේම්ස් පීරිස්, "නිධානය" චිත්‍රපටයෙන් තම විපුල කලා කෞශල්‍යය නැවත වරක් ලෝකයට ඔප්පු කරයි.

"නිධානය" කීප අතකින්ම වැදගත් චිත්‍රපටයකි. අන්තිමේදී සිදුවන්නේ කුමක්ද? කන්‍යාවගේ බොටුව කපා බිලි දුන්නා ම, නිධානය මතුවේ ද නැද්ද යනාදී ප්‍රශ්න මතු කරමින් හුදෙක් කුහුල සංසිදවා ගැනීමට මෙම චිත්‍රපටය නැරඹුවොත් ඔබ අතෘප්තියට පත් වනු ඇත. මෙබඳු චිත්‍රපටයක් නැරඹිය යුත්තේ මනමේ කුඩා කල සිට හොඳින් අසා ඇති ප්‍රේක්ෂකයකු එම කතා පුවත සරච්චන්ද්‍රයන් කියන්නේ කෙලසැදැයි බලන්නට පැමිණි පරිදි ය.

ජී.බී. සේනානායකගේ කෙටි කතාව කියවීමෙන් පසු එය තිස්ස අබේසේකරගේ තිර නාටක රචනයෙනුත් ලෙස්ටර් පීරිස්ගේ අධ්‍යක්ෂණයෙනුත් විකාශනය වී ඇත්තේ කෙලෙසැදැයි අප බලන්නට සූදානම් නම් මුළ සිට අග දක්වා හැම රූප රාමුවකින්ම අමුතු අත්දැකීමක් ඔබට ලැබෙනු ඇත.

මෙය අලුත් විදියකට සිනමා රූප බලන්න ඇහැක් පුරුදු කර ගන්නට හොඳ අවස්ථාවකි. නිධානයේ කැමරාව ජීවිතය නිරීක්ෂනය කරන්නේ තැන්පත්ව ය. සංසුන්ව ය. රූප දෙස බොහෝ වෙලා බලා සිට එහි සෑම සෙවනැල්ලක් ම හැඟුමක් ම ග්‍රහණය කොට ගැනුමට පුහුණුවීමට අවශ්‍ය තරම් සංයමයක් අපට ඇත්නම් ඒ සඳහා කාලය සහ අවස්ථාව නිධානයෙහි තිබේ.

ලෙස්ටර් පීරිස් සුපුරුදු ලෙස නිධානයේ දී වාණිජ චිත්‍රපට මෝස්තරයෙන් අත්මිදී සිටී. සිනමා මාධ්‍යය තමන්ට රුචි පරිදි හසුරුවන්නට ලංකාවේ සිනමා කරුවන්ට බාධා කරන ශිල්පීය ඌනතාවන් බොහෝමක් ඔහු මඟ හරවාගෙන ඇත. ගම්පෙරළියේ දී කලා මෙන් පුද්ගලයන් කීපදෙනෙකු ගේ චරිත සංඝට්ඨනා තුළින් පුලුල් සමාජ විවරණයක් කිරීමට නිධානයේ නිර්මාතෘ සමත් වෙයි. තවත් අතකින් ඔහු ගම්පෙරළියට එහා ගොස් ඇත. එහි සමාජ විවරණය නිධානයේදී, ගැඹුරු ජීවිත විවරණයක් බවට පරිවර්තනයව තිබේ. කිසියම් ජීවිත අරගලයක් වැරදි පුරුෂාර්ථයක් පරමාර්ථ කොට ගෙන යන්නේ නම් අරගලයේ නියතු පුද්ගලයෝ කොතරම් ප්‍රභල ආත්ම වීරියකින් හා කපටි බුද්ධිමත් සංවිධාන ශක්තියකින් යුත් අය වුව ද අවසානයේදී ඔවුන්ගේ සියලු උත්සහයයන් නිශ්ඵල වන සැටි නිධානයෙන් කියැවෙයි.

මෙම වියරණය ඉදිරිපත් කිරීමට සිනමා මාධ්‍යයේ ප්‍රභල ම අංග සකසුරුවමින් හා ඖචිත්‍යයෙන් උපයෝගී කර ගැනීමට ලෙස්ටර් පීරිස්ට හැකියාව තිබේ. ජීවිත කාලයක් කලා මාධ්‍ය පරිහරණය කිරීමෙන් ද එය ජීවිතය දෙවනි කොට දීර්ඝ කාලයක් ඇගයීමෙන් හා හැදෑරීමෙන් ලබන්නා වූ අත්දැකීම් මෙන් කලාකාරයකු ලබන කලාත්මක සංයමය නිධානය පුරා කැපී පෙනේ. ඉතාම සුළු සිදුවීමකදී වුව ද කැටි වී ඇති සංකීර්ණ ජීවිත අර්ථ සියල්ල කලා මාධ්‍යයේ ද විවිධ වූ සංකීර්ණ වූ ශිල්පීය අංග වහල් කොට ගෙන ගැලපීමට ලෙස්ටර්ට තරම් තලත්තෑනි කමක් කලාකාරයෙකු වශයෙන් පැසුණු කෞශල්‍යයක් ඇති සිනමා අධ්‍යක්ෂකවරයෙකු තවත් ලංකාවේ ඇත්දැයි අප සැක කරමු. මෙසේ කීම අපේ තරුණ ශිල්පීන්ට කරන අවමානයක් නොවේ. ලෙස්ටර්ගේ සිනමා රීතියට පිටුපෑම සඳහා වුවද පළමු කොට ඔහු ගුරුත්වයෙන් ගෙන හැදෑරීමෙන් කිසිම ලාංකික කොල්ලෙකුට විපතක් වන්නේ යැයි අපි නො සිතමු.

දක්ෂ අධ්‍යක්ෂකවරුන් ගේ හැකියාවන් අපතේ යාමට බොහෝ විට හොඳ තිර නාටක නොමැති වීම හේතු වන අයුරු අපි දැක ඇත්තේමු. ලෙස්ටර් පීරිස්ගේ දෙලොවක් අතර හා අක්කර පහ අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූයේ එවායේ තිර නාටක වල දුර්වල කම බව අපගේ පුද්ගලික හැඟීමයි. නිධානය සාර්ථක වීමට එක් හේතුවක් අර්ථාන්විත ජීවිත විවරණයකින් යුතු හොඳ තිර රචනාවක් ජී.බී. සේනානායකගේ කතාව ඇසුරින් සකස් කිරීමට තිස්ස අබේසේකරට හැකි වීමයි.

තිස්සගේ දක්ෂතාවය වටහා ගැනීමට ජී.බී. සේනානායකගේ කෙටි කතාව සමඟ තිස්සගේ තිර රචනාව සැසැඳිය යුතු වෙයි. සෑම සිදුවීමකට හා ප්‍රධාන කතානායකයාගේ චරිතාංගයකට හේතු දැක්වීමට තිස්ස උත්සහ ගෙන ඇත. ඔහු ගොඩ නැංවූ අංග සම්පූර්ණ චරිතාපදානය තුළින් පුළුල් සමාජ ජීවිත අර්ථයක් දීමට තරම් පැසුණු ජීවිත බුද්ධියක් හා ඒ සදාතනික ජීවිතය සිනමානු රූපීව සාරගර්භ ලෙස කිරීමට තම් කලා කෞශල්‍යයක් ලෙස්ටර්ට තිබුණි.


ලෙස්ටර් ජේම්ස් පීරිස්
[fantastikindia.fr]


නිධානයේ "විලී" පිරිහීගෙන එන රදළ වාදයේ සංකේතයකි. ආර්ථික වශයෙන් හා මානව සම්බන්ධතා කෙරෙන් විසිරී ගිය පවුලක හුදෙකලා සාමාජිකයෙකි. මෙම රදළ පැලැන්තියේම "ජුලියස්" වැන්නෝ අධිරාජ්‍යවාදී සුද්දන්ට මිත්‍රව හා ගැතිව හිඳ ජාතික දීනත්වය කෙරෙන් ද යැපෙති. අලුතින් බිහිව ආ ධනවාදයට හා වෙමින් රදළයන් වශයෙන් පෙර භුක්ති වින්ද සමාජ බලය ධනවාදී සමාජ රටා තුළ ද සාර්වාදී සමාජ රටාව තුළද සාර්ථක ලෙස භුක්ති විඳිති. "විලී" මෙම සමාජ විපර්යාසයට මුහුණදිය නොහැකිව අනාථ වූවෙකි. අනාථ බාවය නිසාම ඔහු ඇතුළට නැඹුරු වුණු හැඩි දැඩි මනසක් ඇත්තේ වෙයි. හැඩි දැඩි මනෝ ලෝකයක හුදකලා වීම නිසාම රෝගී විකෘති මානසික ස්වභාවයක් ඇත්තේ ද වෙයි. පාරම්පරික අර්ථ ක්‍රමයක මිථ්‍යා විශ්වාසයන්ට ගොදුරු වෙයි. ධනවාදය උත්සහයෙන් වර්ධනය කරගත යුතු පුද්ගලික ව්‍යවසාය මත පදනම් වූවකි. වැඩවසම් ක්‍රමයේ පුද්ගලිකත්වය හා ඊට අනුබද්ධ වරප්‍රසාද හා ධනය පරම්පරාවෙන් නිරුත්සහයෙන් ලැබෙයි. මෙම වැඩවසම් ක්‍රමය මත සකස් වුණු නිරුත්සාහී මානසික ජීවන රටාවක එතුණු විලී නිරුත්සහයෙන් පෝසතකු වීමට නිධානය කෙරෙහි විශ්වාසය තබයි.

එක් අතීත යුගයක නරබිලි සඳහා ඇරෙන නිදන් දොරටු විවෘත කරන බහිරවයන් ධනවාදී ඩයිනමයිට් වලින් විනාශ වී ගොසිනි. රදළවාදය මැඩ නගින ධනවාදයට ධනවාදී අළුත් උපක්‍රම වලින් එක් වීමට අපොහොසත් වන එක් රදළ කොටසකගේ අවාසනාවන්ත ඉරණම විලීගේ ඛේදජනක අත්දැකීම තුළ සංකේතවත් වෙයි.

නිධානය දිහා තවත් විදියකට ද බැලිය හැක. එය ධනවාදයෙන් දූෂණයට පත් මිනිසා පිළිබඳ කතාන්තරයයි. සියලු වටිනාකම් මුදල් වලින් නිශ්චය වෙයි. සියලු පුරුෂාර්ථ ධනය හා සම්බන්ධ ය. මිනිසාගේ සියලු ශක්තීන් හා නිර්මාණාත්මක බුද්ධිය ධනයෙන් බලවත් වීම කෙරෙහි යොමු කොට ඇත. විලීගේ කන්‍යාව මෙන් සියලු ජීවිත සෞන්දර්යය ධනවාදයේ ග්‍රහණයට පත්ව, පරමාර්ථයනට යටපත් වෙයි. ජීවිතයේ හැම ලස්සනක්ම, විවාහය වැනි හැම මානව සබඳතාවයක්ම වාණිජ උපයෝගීත භාණ්ඩයක් බවට පත්වන සැටිත් ඒ සියල්ල ධනවාදී පරමාර්ථ සමඟ විනාශ වී යන සැටිත් "නිධානය" සිනමා පටයෙන් කලාත්මකව විවරණය වෙයි.


තිස්ස අබේසේකර
[nabcommunities.com]


තවත් දෘෂ්ඨියකින් "නිධානය" එක්තරා පුද්ගලයෙකුගේ අංග සම්පූර්ණ චරිතාපදානයකි. ඔහු එසේ හැසිරෙන්නේ ඇයි දැයි හේතු ඵල සහගතව තිරනාටක රචක සහ අධ්‍යක්ෂක නිරූපනය කොට තිබේ. එය විලී නැමැති විශේෂ ගති ගුණ ඇති පුද්ගලයාගේ කතාන්න්තරයයි. සෙසු සියලු චරිත ඔහුගේ චරිතය ගොඩ නැංවීමට අවශ්‍ය ප්‍රමාණයට රූප රාමු වලට ඇතුළු වෙයි. තිරයේ සියළු හෙවනැලි, සිදුවීම් කතාබහ, චරිතාංග විලීගේ චරිතයේ විවිධ පැති වලට ආලෝක ධාරා වගුරුවන තරමට පමණක් අර්ථවත් වෙයි. මෙය එක්තරා පුද්ගලයෙකුගේ අවාසනාවන්ත අත්දැකීමකි. ඔහුගේ ඛේදය පොදුවේ මනුෂ්‍යයන්ගේ සියලු ව්‍යායාමයන් අවසානයේ දී නිශ්ඵල වන බව කියා පායි.

මේ විධියට බැලුවාම "නිධානය" සර්ව සුභවාදී සිනමා කලා කාරයකුගේ දෘෂ්ඨියේ අඩුවක් පෙන්නුම් කරයි. සියළු ව්‍යාසන සහ දුක් දෝමනස්ස අතරින් ප්‍රකට වන රිදී රෙඛාව මේ කලා කෘතිය තුළ නො දිස් වේ. සියළු දුක් දෝමනස්ස වල අපූරු කලා සෞන්දර්යයක් ඇතැයි යන අනියත හැඟිම පමණක් ලෙස්ටර් පීරිස්ගේ "නිධානයෙන්" පිළිඹිබු වේ. මක්නිසා ද, නිධානය මේ යුගයේ ලාංකිකයෙකු අතින් බිහිවුණු විශිෂ්ඨතම දෘෂ්ඨි ගෝචර ශෝකාන්ත කාව්‍යය වන බැවිනි.

"නිධානය" සිනමා මාධ්‍යයේ අධ්‍යක්ෂණය කුමක්දැයි නවකයන්ට උදාහරණ සපයන අභ්‍යසනයකි. චරිත සංඝට්ඨනාවන් ගේ සමබරතාවය නො බිඳෙන අයුරින් රඟපෑම, උචිත අවධානය රැකෙන පරිදි කැමරා කෝණ නිර්මාණය, සංගීතය සංස්කරණය ආදී සියළු අංග ස්වාධීන වූ එක් අධ්‍යක්ෂකවරයෙකුගේ දෘෂ්ඨියෙන් අපූර්ව විධියකට සකසුරුවම් ලෙස සංවිධානය වී තිබේ. කේන්ද්‍රීයගත විකාශනයක් ආත්ම කොට ගත් රූපාවලියකට මේ තරම් සකසුරුවම් ලෙස (ECHONOMICAL) සංගීතය යෙදී ඇත්තේ සිංහල චිත්‍රපට කීයක ද?

කේමදාසගේ සංගීතයට පදනම වන සංගීත න්‍යාය හා සිද්ධාන්ත පද්ධතිය අපි මේ අවස්ථාවේ ප්‍රශ්න නො කරමු. අපට කිව හැක්කේ එය උචිත ලෙස සකසුරුවම් ලෙස රූප රාමු අර්ථවත් කිරීම සඳහා පමණක් යෙදී ඇති බවයි. විලීගේ අවසාන බහිරව පූජාව නිරූපණය කරන රූපාවලියෙහි අර්ථයෙන් හරි අඩක් ප්‍රකාශ වන්නේ පසුබිම් සංගීතයෙනි.

නිධානය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකුගේ කලාත්මක සංයමය ප්‍රකට කරයි. ඇතැම් ප්රේක්ෂකයෙකුට අනවශ්‍ය යැයි හැඟෙන රූප රාමුවක් වුව ද චරිත විභාගය සහ මනෝ විද්‍යාව සඳහා අත්‍යාවශ්‍ය බව හොඳින් කල්පනා කළහොත් වැටහෙනවා ඇත. ද්වනිතාර්ථ දැක්වෙන සේ කැටි කිරීම හා ඉඟියකින් දක්වා සිද්දි විස්තරය කපා දැමීම නිසා හොඳ මට සිලිටි කවියක ලක්ෂණ නිධානය රූපාවලියේ ගැබ් වී තිබේ. ඒ හැර සංකීර්ණ ජීවිත ප්‍රවෘත්තියක අතීතය වර්තමානය හා අනාගතය සම්මිශ්‍රණය වන සැටි දැක්වීමට අන්තර් ඡේදන (INTERCUTTING) බඳු ශිල්ප විධි මහත් වූ සංයමයෙන් පරිහරණය කිරීමට ලෙස්ටර් සමත් වී තිබේ. මට පෙනුණේ එකම අඩුවකි. ඇතම් රූප රාමු කැමරා ශිල්පියාගේ දෑතේ චංචල භාවය නිසා පලුදු වන බව බොහෝ විට දුටුවෙමි.

කතා විකාශනයේ දී සංකේත බෙහෙවින් භාවිතා කොට තිබේ. එහෙත්, ඒවා "අක්කර පහේ" දී මෙන් ආයාසයෙන් ඔබ්බන ලද ඒවා නො වේ. නිධානය පිළිබඳ සංකල්පයම වුව ද මුළු කලා කෘතියේ ජීවිත අර්ථය කැටි කොට ගත් සංකේතයකි. සියලු ජීවිත සෞන්දර්යය කැටිකොට ගත් බිරිඳ ඝාතනය කොට ද නොපැලෙන ගල් පර්වතය ද ප්‍රභල සංකේතයකි. ඇතම් තැනක පමණක් සංකේත භාවිතයේ සුලභත්වයක් ප්‍රකට කලත්, මොනර කූඩුවේ ප්‍රවෘත්තිය බඳු දේ තිර නාටක රචකයාගේ සාහිත්‍යමය කුසලතාවය මනාව පිළිඹිබු කළේ ය. "ගම්පෙරළිය" නවකතාවේ ප්‍රභල සංකේතයක් වන "ගරා වැටෙන මහගෙදර" ගම්පෙරළිය චිත්‍රපටයේ එතරම් අර්ථවත් නො වුවේ ය. එහෙත් ගම්පෙරළිය නවකතාවේ මහගෙදර සංකේතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට නිධානය චිත්‍රපටයේ ලෙස්ටර් පීරිස් සමත් වී තිබේ.


ගම්පෙරළිය (1963 )
[fantastikindia.fr]


නිධානයේ රූප රාමු පුරාම උචිත වූ මනෝවෘතියක් (MOOD) වැතිර තිබේ. මෙය "ලාස්ට් ඉයර් ඉන් මේරියන්බාද්" වැනි චිත්‍රපටයක කාව්‍යමය මනෝ වෘතියක් තරම් අලංකාර ලෙස මතු නො වුයේ ලංකාවේ සිනමා කර්මාන්තයේ ශිල්පීය ඌනතාවය නිසා යැයි සිතමු. නිශ්ඵල ව ජීවිතය නිරීක්ෂණය කළ යුතු ඇතැම් අවස්ථාවක කැමරාව හෙලවීම පමණයි කැමරා ශිල්පී ආනන්ද ගේ දුර්වලකමකට අප දුටුයේ. සියුම් වු චරිතාංග මහත් ආත්ම සංයමයකින් නිරූපණය කිරීමේදී ගාමිණී පොන්සේකා විපල වූ කුසලතාවයක් ප්‍රකට කරයි. ඔහු රඟපාන කබල් සිනමා පටි ගණන දෙස බලන විට හොඳ සිනමා පටයක රඟපෑමේ අවස්ථාව කලාතුරකින් එළඹෙන තුරු තම කලා මාධ්‍යය කෙළෙසා නො ගෙන ඉඳීම ගැන අපි පුදුම වෙමු.

එහෙත් සමන් බොකළවෙලට හා මාලිනී පොන්සේකාට වළව්වේ වැඩකාරයාට තරම් වත් තම දක්ෂතා ප්‍රකට කිරීමට අවස්ථාවක් නො මැති විය. ඔවුන් හැම දෙනාගේම චරිත ප්‍රධාන චරිත විකාශනයේ දී උචිත ලෙස යටපත් කිරීමට සිදු වී තිබීම මීට හේතුවයි.

ලෙස්ටර් පීරිස් ගේ නිධානය අන්තර් ජාතික මටමෙන් සලකා බැලුව ද උසස් වූ සිනමා පටයකි. සමාජ ජීවිත අර්ථයක් කැටි කොට ගත් එය සිනමා කලාවේ පටු ලාංකික සංස්කෘතික ක්ෂේත්‍රයෙහි ස්ථිරසාර වූ සිහිවටනයකි. ශ්‍රේෂ්ඨත්වය කරා යන අපේ කලා කරුවෙකු ගේ නිශ්චිත ඉදිරි පියවරකි.

නිධානය ජීවිතය නැමැති ඛේදජනක අත්දැකීම පිළිබඳ දෘෂ්ඨි ගෝචර ශෝකාන්තයකි. එ සේ ම, කෙනෙකුගේ අවාසනාවන්ත ඉරණම කෙරෙන්, තව ම ජීවත් වන්නා වූ සෙස්සන් ගේ ජීවිතය වාසනාවන්ත භාවයට පත් කිරීමට ඉවහල් වන නිදර්ශනාත්මක අභ්‍යාසයකි. ඉතාම දැඩි දුක්මුසු අත්දැකීමක් අපූර්ව වූ සියුම් ආනන්දයක් බවට පත් කොට අප ගේ රළු නී රස ජීවිතය පෝෂණය කිරීමට කලාවට ඇති ශක්තිය කියා පාන්නකි.

(1972.02.09)

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සදාචාරය සහ ආචාරශීලීකම වෙනුවට අනාචාරය හා නොසන්සුන්තාව ප්‍රබල වී ඇත. එබැවින් මෙවිට වළ ඉහගෙන කෑම පමණක් වරදක් සේ දැකීම අඥානකමකි. අවස්ථාවාදී වන්නා ජයගනී. ‍පොදු යහපත ගැන හෝ අනෙකා ගැන සිතීම තරම් දුසිරිතක් අද තවත් නැත. කාලය නපුරු වී ඇත. එසේ දූෂ්‍ය වූ කාලය විසින් අන් සියල්ල කණපිට හරවා ඇත. ඇතැම් විට උසාවි තීන්දු පවා නොතකා පාලකයින්ගේ තීරණ බලගතු වෙයි. නීතියේ අවකල් ස්වරූපය එබඳුය. සෝමේලා කුමක් කරන්නද? ආචාර්ය සෝමරත්න දිසානායක වඩාත් බලවත් පාර්ශ්වය දෙසට හැරීම වරදක් නොවේ. වළපල්ලට යන මුළු සිනමා කර්මාන්තයම ගැන සිත සිතා වැළලී යනු වෙනුවට ස්වකීය යහපත ගැන පමණක් සිතීම මෙම දුරාචාර සමාජ ක්‍රමය තුළ වරදක්ද? ආචාර්ය මර්වින්ලා වත්මන් දේශපාලනය තුළ කෘතහස්ත දේශපාලනඥයකු වන්නෙත්, ආචාර්ය සෝමේලා ප්‍රශස්ත සිනමාකරුවන් වන්නෙත් වත්මන් අවකල් ක්‍රමයට අනුකූලවලය. අනුයෝජක හැසිරීම යනු එයයි. ප්‍රශස්ත කලාව දුබල වී ප්‍රශස්ති කලාව කාලානූරූපව ඇත. මේ ක්‍රමය තෝරාගත්තෝද අපමණය.

ආචාර්ය සෝමරත්න පවසන පරිදි මෙම ගෝස්තරික ක්‍රමය තුළ තම චිත්‍රපටය පමණක් දැවැන්තය. හඳගම, ප්‍රසන්න, උදයකාන්ත, බෙනට්, සුමිත්‍රා, ලෙස්ටර්, විමුක්තිලාගේ චිත්‍රපට "කෂඩ" චිත්‍රපට වේ. ඒ ඒවා දුවන්නේ නැති නිසාය. ජනතාව වැල නොකැඩී ඒවා බලන්නට එන්නේ නැත. තමන්ගේ පාලකයින්ව තෝරාගන්නේ ජනතාවය. එනම් තමාට වඩාත් සුදුසුම ක්‍රමය තෝරාගන්නෙත් ජනතාවය. සිනමාව තෝරාගන්නෙත් ජනතාවය. ආචාර්ය සෝමේ "ජනතා" හිතකාමී ක්‍රියාකාරිකයෙකි. ලෙස්ටර් හඳගම ප්‍රසන්නලා සිනමාකරුවෝය. ප්‍රේක්ෂකයා යනු සුළුතරයක් වී ‍පොදු ජනතාව බහුතරයක් වීම ආචාර්ය මර්වින්ලාගේ සහ ආචාර්ය සෝමේලාගේ වරදක් නොවේ. ප්‍රේක්ෂකයා පිනවීම සහ ජනතාව පිනවීම යනු පරස්පර විරෝධී වෙනස් කර්තව්‍යයන්ය. සෝමේලා කරන්නේ ඔවුන්ට රිසිදේය. ප්‍රසන්නලා, හඳගමලා, ලෙස්ටර්, සුමිත්‍රලා සංවිධානගතවී ඊට ඒකරාශී වීමෙන් කිසිදු ඵලක් නැත. දිනන්නේ සුළුතර කැමැත්ත නොව බහුතර මනාපයයි. එම බහුතරයට කලාවෙන් ඵලක් නැත. සාහිත්‍යය "කන්ඩදැයි" කීවේද මෙම සත්‍යයට අනුවය. "සෝමේ" යනු සිනමාකරුවෙකු නොව ඊටත් වඩා බල සම්පන්න වූ ජනතා නියෝජිතයෙකි.


asiantribune.com

අද ක්‍රමය තුළ ජනතා නියෝජිතයාට කළ නොහැක්කක් නොමැත. නොදරුවන් දූෂණය කොට නිදැල්‍ලේ සිටිය හැක. මිනිසුන් මරා මතක නැතිවා සේ අහක බලාගත හැක. සාමණේර වහන්සේලා පෙති ගසා මරා දමා මුකුත් නොවූවා සේ පුල් සූට් දේශපාලනයට ආ හැක. සිනමාකරුවකුට හෝ කලාකරුවකුට කළ හැකි එකම කාර්ය එම නිර්මාණකාර්යයම හැර අන් කවරක්ද? අශෝක හඳගමට අඩුම තරමින් තම චිත්‍රපටය අතිගරු ජනාධිපතිතුමාටවත් පෙන්වන්නට හැකිවූවාද? "සිරි පැරකුම්" "සිද්ධාර්ථ" "අබා" "මහින්දාගමනය" සේ එදා කතා නොව "ඉනියවන්" හි වූයේ අද මේ මොහොතෙහි යාපනයේ දෙමළ ජනයාගේ සත්‍ය තත්ත්වයය. අඩුම තරමින් දෙමළ ජනයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය දෙමළ දේශපාලකයින්ගේ ආශීර්වාදයවත් (ප්‍රචාරක පාඨ) ගන්නට හඳගම සමත් වීද? මේ දුෂ්චරිත සමාජ ක්‍රමය තුළ හඳගමලා, ප්‍රසන්නලා, උදයකාන්තලා අසමත් ජාතියකි, ඔවුහු නිර්මාණ කළාට ඒවා අලෙවි කරන හැටි නොදත් දුබලයෝ ය. සෝමේලා යහමින් විකුණති. වළ ඉහගෙන කති. මාධ්‍යකරුවන්ට හොඳින් සලකති. ඡන්දයක් ළංවෙද්දී කලාකරුවන්ව සංවිධානය කරති. දහසක් ‍පොරොන්දු දෙති. පාලකයින් සතුටු කරති. අවසානයේ බලය තමා වටා ඒකරාශී කරගනිති. උදයකාන්තලා ඊට ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? උදයකාන්තලාට කළ හැක්කේද රැස්වීම් පැවැත්වීම නිවේදන නිකුත් කිරීම පමණක් මද? පඩි වැඩිකරන ලෙස ඉල්ලා ලොකු ගසකට නගින හීන්දෑරී කම්කරුවකුට තිබෙන පෞරුෂයවත් හඳගමලාට, ප්‍රසන්නලාට, බෙනට්, සුමිත්‍රාලාට නැත.

චිත්‍රපට සංස්ථා පනතට අනුව එනම්, නීතියට අනුව සහ සදාචාරයටද අනුව රවීන්ද්‍ර, මාලනී, හඳගම, ප්‍රසන්නලා, ඒකරාශී වී ඒකමතික තීන්දු ගනිද්දී සෝමේ සූක්ෂම වී වැඩබලන ඇමැතිවරයකු ලවා ‍පොඩි අත්සනක් ගසා ගැනීමට තරම් දක්ෂ වෙයි. කෙතරම් හපන්කමක්ද? සිනමාව නැංවීමේ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණියට ඊට එරෙහිව කළහැකි කිසිවක් නැත. සිනමාව තුළින් පාර්ලිමේන්තුවට ගිය මාලනීලාටද කළ හැකි කිසිවක් නැත. වඩාත් දක්ෂ සෝමේය. එය පිළිගත යුතුය. ඒ මේ ක්‍රමයේ හැටිය. ශක්තිය ප්‍රයෝජන වන තැනදී ශක්ති සම්පන්නයා ජයගනී. දුර්වලයෝ පරාජය වෙති. දිවීම ප්‍රයෝජන වන තැනදී වේගයෙන් දුවන්නට හැකි සතුන් කලින්ම ආහාර ලැබ ජීවත්වන අතර, දුවන්නට බැරි සතුන් ආහාර නොලැබ පහසුවෙන් සතුරන්ට හසුව මිය යති. උචිතයා ජයගන්නා හැටි මාර්ටින් වික්‍රමසිංහ සිය "සත්ව සන්තතිය" ‍පොතෙහි විස්තර කර ඇත. "උචිතෝන්තතිය" යනු මෙයයි. එනම් සෝමේලා තම පැවැත්ම සඳහා කරන මෙම සටනේදී පවතින ක්‍රමය සමග යහමින් ගැලපී, නොනැසී, ජීවත් වීමයි. සිනමාව තුළ ඉතිරිවන්නේ මෙබඳු වූ පරිසරයට යෝග්‍ය වූවන් පමණකි. හඳගමලා නොවේ.


Sri Siddhartha Gautama Facebook Page

එක් චිත්‍රපටයක් පිටපත් වැඩි ප්‍රමාණයක් මුදා හල විට අනෙකුත් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිත ශාලා ඒ අනෙකුත් චිත්‍රපටවලට අහිමි වී යනු ඇත. සෝමේට අනුව මේ අනෙකුත් චිත්‍රපට ආකර්ශනීය නැත. තමාගේ චිත්‍රපටය දැවැන්ත ආකර්ශනීය චිත්‍රපටයකැයි තමාම විසින් අර්ථකථනය කරන්නට තරම් පෞරුෂයක් ආචාර්ය සෝමරත්නට මෙම බල පරාක්‍රමය විසින් ආරෝපණය කරනු ලැබ ඇත. අති දක්ෂ "මෙග්ලමේනියා" ක්‍රියාකාරීන් අද වැනි යුගයක සැබැවින්ම යුග පුරුෂයෝය. ජයග්‍රහණය ඔවුනටය. පරාජිත අප එය පිළිගැනීමට නිහතමානී විය යුතුය. උදයකාන්තලා ඊට ඊර්ෂ්‍යා කරන්නේ තම පි‍ලේ කිසිවකුට එබඳු වූ පෞරුෂයක් නැති නිසාද? අනික චිත්‍රපට ශාලා මදකම සෝමරත්නගේ වරදක්ද?

දේශපාලන වේදිකාවට නැග සිනමාවේ උන්නතිය උදෙසා දහසක් දේ කරන්නට ‍පොරොන්දු වූ මල් ‍පෝච්චි කලාකරුවන් අඩුම තරමින් පාලකයින් ලවා සිනමාශාලා 100ක් වත් සාදාගන්නට වෙහෙසිය යුතුය. තම පාලකයාට ඡන්ද එකතු කරන්නට සංවිධානය වූ තරම හා රටවටා යමින් වෙහෙසුණු තරම එක් සිනමාහලක් ඉදිකරන්නටවත් යොදවන්නට බැරිවීද? එසේ වෙහෙසුණු මල්‍පෝච්චි කලාකරුවන් තම පුද්ගලික සුඛ විහරණය තකා පාලකයින්ගෙන් ලද වරප්‍රසාද කොතරම් ද? එබැවින් සෝමේ තම චිත්‍රපටය ජනගත කිරීම සඳහා වැඩබලන ඇමැතිවරයකුගේ අත්සනක් ලබාගැනීම වරදක් නැත. නළු උපදේශකවරුන්ට, නිළි මන්ත්‍රීනියන්ට, රාජ්‍ය තානාන්තර හොබවන සිනමාකරුවන්ට වැඩි පඩි ඉල්ලා ගස් උඩ උපවාස කරන කම්කරුවකුට තිබෙන පෞරුෂයවත් නැත්තේ නිකම්ම නොවේ. සෝමරත්න තම චිත්‍රපටය වෙනුවෙන් රාජ්‍ය වරප්‍රසාද ලැබිම ගැන පමණක් කතා කොට ඵලක් නැත.

සිරිපැරකුම් පිටපත් 55ක් තිරගත වීම යනු ඊට එරෙහි වූ දැවැන්ත කලාකරුවන්ගේ, ජනාධිපති උපදේශකවරුන්ගේ සහ ඡන්ද සමයේ අහවලාටම ඡන්දේ දෙන්නැයි ප්‍රකාශ නිකුත් කළ නිර්මාණකරුවන්ගේ පෞරුෂය කුමක්දැයි රටටම පෙන්නුම් කළ සිදුවීමක් විනා සෝමේට බිමදමා පහරදිය යුතු වරදක් නොවේ. ජනතා ආකර්ෂණය දිනාගත හැකි මට්ටමේ චිත්‍රපට නිෂ්පාදන භාණ්ඩ තැනිය නොහැකිකම ප්‍රදර්ශනය කිරීමකි.

මැති ඇමැතිවරුන්ගේ සහ අතීත දැවැන්ත කලාකරුවන්ගේ ප්‍රචාරක පාඨ ලබාගෙන තම චිත්‍රපටය දුවවන්නට ඇඩ් එකක්වත් දමා ගැනීමට බැරි දුබලයින් සෝමෙගේ අවස්ථාවාදීකමට ගරහති. වළ ඉහගෙන කෑම ඇත්තේ සිනමා කර්මාන්තයේ පමණක්මද? අද සිනමාවේ උන්නතියට කෑ කෝ ගසන ජනතා කලාකරුවන්ගේ රාජ්‍ය වරප්‍රසාදිත කොන්ත්‍රාත්තුවල වටිනාකම සෝමේ ප්‍රසිද්ධියේ කරන චිත්‍රපට බිස්නස් එකට වඩා ඉහළය. ඇතැමුන් දොර ඇරගෙන කරනා දේ අපේ බහුතරය දොර වහගෙන පිළිකණුවල කරති. අද පවතින ආර්ථික පරිසරය විසින් අපව නියත කොට ඇත. අපගේ අදහස් ගොඩනැගෙන්නේ මේ ආර්ථික පරිසරයට අනුවය. සමාජයක අදහස් සිතුවිලිවල ස්වරූපය එම සමාජයේ ආර්ථික රටාවට අනුව සැකසෙයි. මෙම ආර්ථික නියතවාදයට සෝමේ මුහුණදෙයි. සිද්ධීන් නිර්මාණය වන්නේ එම යුගයේ ජීවත්වන පුද්ගලයන්ගේ චින්තනයට අනුව නොව එම යුගයේ පවත්නා ආර්ථික ආයතන මගිනි. ඕනෑම මිනිස් සමාජයක මූලික පදනම වනුයේ දිවි පෙවත සඳහා අවශ්‍ය දේ සොයා සාදා ගැනීමේ ක්‍රමයයි. අවසානයේ චිත්‍රපටකරුවා ද බඩ ගෝස්තරවාදී වන්නේ මේ නිසාය.


asiantribune.com

ඉහළම ආදායම් වාර්තා තැබූ කුස පබා චිත්‍රපටය අප අර්ථකථනය කළේ බඩ ගෝස්තරික චිත්‍රපට ස්වරූපයක් ලෙසිනි. තම ගෝස්තරයම ගැන සිතන ‍පොදු ජනතාවගේ ඉල්ලීම් සපුරාලීම සෝමේලා කරන බරපතළ වරදකැයි සිතන්නා මේ ක්‍රමයට අනුව ඊර්ෂ්‍යාකාරයෙකි. තමාට එරෙහිවූ ප්‍රසන්න, හඳගම, උදයකාන්ත, බෙනට් රත්නායක, රවීන්ද්‍ර, මාලනී ආදී වූ සියල්ලන්ම කුහක ඊර්ෂ්‍යාකාරයින් බව සෝමරත්න සෘජුවම චෝදනා කර ඇත. මෙතරම් කෙළින් වැඩකරන කෙළින් කතා කරන ආචාර්ය සෝමේගේ පෞරුෂයත්, ඔහුගේ චිත්‍රපට ව්‍යාපාරයට එරෙහිවූවන්ගේ නිර්ලජ්ජිත පරාජයත් සසඳන්නට අපට සිතේ.

සෝමරත්න සදාචාරාත්මක නැතැයි උදයකාන්ත කියයි. අනාචාරයම තම පැවැත්ම ලෙස තකන සමස්ත සමාජ, දේශපාලන හා ආර්ථික බල රාමුවක් තුළ සෝමේගේ සදාචාරය හමුවෙහිම තැවීම මුග්ධකමකි. පාලකයින් සදාචාරවත්ද? එබඳු වූ දුරාචාර පාලකයින් උදෙසා ඡන්ද හිඟමින් යන කලාකරුවන් සදාචාරාත්මකද?

එසේ බලද්දී ආචාර්ය සෝමරත්න වැඩිපුර පිටපත් 20ක් පෙන්වීම ජාතික ප්‍රශ්නයක් ලෙස ගත යුතු නැත. සෝමේගේ අශෝභන බලපුළුවන්කාරකම ගැන කණගාටුවන බව උදයකාන්ත කියයි. කණගාටුවීමෙන් පමණක් මෙම අවස්ථාවාදය පරාජය කළ නොහැකිය. චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මෙලෝ හසරක් දන්නේ නැතැයි සෝමරත්න ප්‍රසිද්ධියේ කියයි. අපගේ යෝජනාව නම් දැනුම් තේරුම් ඇති සෝමරත්නව සභාපති කරවා සිරි පැරකුම්, සිද්ධාර්ථ, අබා, දළදා ගමනය, මහින්දාගමනය, විජය කුවේණි වැනි රාජ පාක්ෂික යෝධ (block buster) චිත්‍රපට පමණක් මෙරට ජනතාවට පෙන්විය යුතු බවයි. ප්‍රේක්ෂක සුළුතරය අන් අතක් බලා ගත යුතුය. මේ වන විට මෙවන් යෝධ චිත්‍රපට තනා සිය දෙවන චිත්‍රපටයට මුදල් ආයෝජනය නොකර බලාසිටින අබා, විජය කුවේණි, ගාමනී වැනි චිත්‍රපට අයෝජකයින් පිටපත් සිය ගණනින් තම චිත්‍රපට රටට දමනු ඇත.

එබැවින් හඳගමලා ප්‍රසන්නලා ඇතුළු සිනමාකරුවන් සෝමරත්න දිසානායකගේ අතිසාර්ථත චිත්‍රපට ව්‍යාපාරයට එරෙහි වීම නිෂ්ඵල වනු ඇත. මන්ද යත් තීන්දු ගන්නන් සහ ඔවුනට බලය ලැබ දෙන්නන් සමග ජනතාව සිටින නිසාය. ජනතාවට කලාකෘතිවලින් ඵලක් නැත. ජනතාවට වුවමනා වන්නේ භෝජනය සඳහා රසවත් භාණ්ඩ වේ. තම චිත්‍රපට ආකර්ශනීය යැයි ආචාර්ය සෝමරත්න නිර්භයව පවසන්නේ ජන විඥාණය ගැන මනාව දැනගෙනය.

මුළු සමාජ ක්‍රමයම තුච්ඡ වනවිට සහ සියල්ලෝ එම බොරදියෙහි මාළු බානවිට සෝමරත්නගේ අනාචාරය ගැන පමණක් කතා කිරීම හාස්‍යජනකය.

අජිත් ගලප්පත්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අකල්හි හෙන හඬින් වට
මුරුගසන් අසනි වැස්සට
තෙමී හේබා වී ‍බොල්ව
කිරෙන්ද ‍නොනැමි
නෑඹු‍ලේ වියැටය
අවසන් ස්වප්නය දකිනු රිසි
මිහි මවුන් සිප ගැන්මක

ඉකි‍යෙන්ම පෑරුණු
ස්ඵන්දන කම්පනයෙන් ද දෙදරණ
සත් ‍සො‍ළොස්කඩ කඩව
විසිරි ‍පෙති එක් කරනු නුහුණුව
නොකල්හි පුබුදු කළ ‍නෙළුම
මලසුනකටද අපුලව
වියපත් මල් අතර මුල්ලක

ඉතිං අහවරයි ඒ
මුරුගසන් වැසි ටව
අ‍ගෙයි ඉන් නැගි ‍ඉන්ද්‍රචාපය
...................
ඇගේ මිස වරුසා‍‍වෙ වරද ද
බලන් අර ‍ගො‍හොරුව
කිරි ‍නොවැදි වියැටය
නොකලට පිබිද වූ කැකුලිය

තිළිණි ෂැල්වින්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියකින් මතු කරන ආස්වාදය එහි ප්‍රබන්ධ රසයෙන් ඔබ්බට ගොස් කිසියම් දාර්ශනික හෝ දෘෂ්ටිවාදී තලයක් ස්පර්ශ කිරීමට සමත් වන අවස්ථා අපට හමුවේ. අප එවන් අර්ථ ගැන්වීම්වලට පිවිසෙන්නේ එහි ප්‍රබන්ධමය සංරචක වන වස්තු විෂය, චරිත, සිදුවීම් හෝ වස්තු විෂය ආදියත් එහි ආකෘතියත් විමර්ශනයෙනි. එහෙත් මෙබඳු ආකෘතියේ හෝ අන්තර්ගතයේ අංගවලින් මතු කරන අර්ථ ඉක්මවා යන තේමාත්මක අර්ථයක් ඇතැම් සාහිත්‍ය කෘතිවලින් මතු කරයි. ව්‍යවච්ඡේදකයා ද මේ ආකාරයේ අපූර්ව තේමාත්මක අර්ථ ගවේශනයක් සිදු කිරීමට පාඨකයා දිරිගන්වන්නට සමත් වෙයි.

සමස්තයක් ලෙස ගත් විට කෘතියෙන් කියැවෙන්නේ එකල ව්‍යවච්ඡේදකයන් ලෙසින් හඳුන්වනු ලැබූ ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරූවෙකු විසින් තමා පෙළඹවීමට ලක් කළ මෝනා සොෆියා නම් වෛශ්‍යාව දිනා ගැනීමට කාමෝද්දීපනෝපක්‍රමයක් ගවේෂණය කිරීමත්, සිය වෛද්‍යකර්ම ඔස්සේ කාන්තාවන්ගේ භගමණීය හෙවත් ක්ලිටෝරිසය ඔවුන්ගේ ලිංගිකත්වය සමග ඇති දෘඪ බන්ධනය හෙළි කර ගැනීමත්, ඒසමග ඔහු වෙත ආගමික හා පාලන බලාධිකාරයෙන් එල්ල වන බලපෑමත් ඇතුළත් කතාන්දරයකි. ෆෙදෙරිකෝ අන්දහාසිගේ ව්‍යවච්ඡේදකයා ලියා ඇත්තේ පුනරුද යුගය (16 වන සියවස) පසුබිම්කර ගනිමිනි. වෝහාරික වෛද්‍යවරයෙකුගේ ප්‍රේමයක් හා බැඳුණු පෞද්ගලික ගවේෂණයක් පිළිබඳව ප්‍රබන්ධයක් ගෙනහැර දැක්වුවද ඒ සමස්ත කෘතියේ තේමාව වඩාත් ගාම්භීර එකකි. මේ තේමාව කවරක්ද යන්න කෘතියට දී ඇති නමින් ඉඟියක් සැපයෙයි.

ව්‍යවච්ඡේදනය යන්න කොටස්වලට වෙන් කොට සියුම්ව නිරීක්ෂණය කිරීම යන අරුත් නංවයි. ව්‍යවච්ඡේදන යන ක්‍රියාවට සම්බන්ධව ඊට පූර්වයෙන් එන භාවයක් තිබේ. එනම් කුතුහලයයි. කිසියම් අයෙකු ව්‍යවච්ඡේදන කාර්යයක නිරත වන්නේ අනාවරණය නොවූ කිසිවක් අනාවරණය කර ගැනීමේ අරමුණෙනි. එයට පොළඹවන්නේ කුතුහලයයි. ව්‍යච්ඡේදකයා නවකතාව ව්‍යවච්ඡේදනය නැමති තේමාව ඔස්සේ දක්වන්නේ මේ ආකාරයේ අර්ථ තලයන්ය.

මේ කුකුහලයට අමතරව පෙළඹවීම හා පවත්නා තත්තවයක් අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් ව්‍යවච්ඡේදනය කරන්නාට තිබිය යුතුය. ඒ අරුතින් බලන විට ව්‍යවච්ඡේදකයෙකු සමාජයේ පූර්වගාමී චරිතයක් බවටපත් වේ. මැතියෝ කලම්බු සිය සොයාගැනීම වෙනුවෙන් නොබියව පෙනී සිටින්නේත් ඒ මගින් ඇතිවන සමාජ කැලඹීමට නොබියව මුහුණ දෙන්නේත් සැබෑ පූර්වගාමී චරිත ලක්ෂණ විදහා දක්වමිනි. ඒ අනුව ව්‍යවච්ඡේදකයා නවකතාවෙහි මැතියෝ රෙනල්දෝ කලම්බු භෞතික වශයෙන් මෙන්ම ආකල්පීය වශයෙන්ද ව්‍යවච්ඡේදකයෙක් වෙයි. ඒ ව්‍යවච්ඡේදනවලින් ඔහු හෙළි කරගත් ප්‍රතිඵලද විප්ලවීය ඒවා වෙයි.

ෆෙදෙරිකෝ අන්දහාසි

කලම්බු ජීවත් වන 16වන සියවසේ යුරෝපියානු සමාජයේ සියලුම ඉසව් වෙත පල්ලියේ සෙවනැල්ල වැටී තිබූ සමයකි. එමෙන්ම කෘතියේද සඳහන් කරන අන්දමට දහසය වන සියවස ගැහැණුන්ගේ සිය වස යැයි හඳුන්වනු ලැබේ. එයට හේතුව කාන්කාවන්ට සමාජයේ තිබූ බාධක මඬිමින් ඔවුන් කිසියම් පෙරටුගාමී තත්ත්වයකට පැමිණීමට උත්සාහ දරන්නට එම අවධියේදී සමත්වීම නිසාය. ඒ අනුව කාන්තාවන් නිවෙසින් මිදී සමාජ වැදගත්කම හා පිළිගැනීම සෙවීමට පිළිපන්නේ මේ අවධියේ දී ය. එකී සියවසේදී කලම්බුගේ සොයා ගැනීම ඓතිහාසික වශයෙන් ස්ත්‍රියට වැදගත් වන්නේ කෙසේද?

කෘතිය තුළ හමුවන, කලම්බු මධුර දේශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රථම ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරන ඉනේස් ආර්යාවගේ චරිතය හරහා මෙය අවබෝධ කරගත හැකිය. ඉනේස් යනු නැසී ගිය ධන කුවේරයෙකුගේ බිරිඳ වන අතර ඈ කලම්බුගේ අත්හදාබැලීමට යොදාගන්නා විට සිටියේ පල්ලියට සිය දිවිය කැප කළ ආර්යාවක ලෙසිනි. නමුත් කාන්තාවන්ගේ ලිංකත්වයේ පාලනය දරන මධුර දේශයේ රහස ඇය දැනගැනීමත් සමඟ ඇය කරන්නේ ඒ මධුර දේශයේ බලපෑමෙන් මිදී සිය දියණියන් තිදෙනා සමග අති සාර්ථක ගණිකා ව්‍යාපාරයකට පිවිසීමය. යම් කාන්තාවක් ගණිකා ව්‍යාපාරයට පිවිසීම ඔවුන්ගේ ජයග්‍රහණයක් වන්නේ ඉනේස් ආර්යාව එය මනා අවබෝධයකින් සැලසුම් සහගතව සිදු කළ බැවිනි. ඇය ඒ වෙත පිවිසෙන්නේ ඉහළ සමාජ ස්ථරයකට අයත් ධනවත් කාන්තාවක ලෙසිනි. නමුත් ඇය තමා දැනගත් මධුර දේශයේ රහස නිසා යුගයේ වඩාත්ම ප්‍රබල වෛශ්‍යාව වීමට සමත් වෙයි. පුරුෂයන්ට වහලියක් නොවී සිය හැගීම් පාලනයකට නතු කරගන්නා රහස ඇගෙන් ඉගෙනගන්නා තවත් ආධුනික ගණිකාවන් දහස් ගණනකගේ පාලිකාව බවට පත් වෙයි. එමෙන්ම සිය පාරම්පරික ධනය මෙන්සිය කීප ගුණයක ධනය කෙටි කලක් තුළදීම උපයා ගනී. එය සිය සිරුර් සැගවුණු රහසක් තුළින්ම කාන්තාවන් සිය විමුක්තිය කරා එළඹීමකි.

මෙහිදී කලම්බු සිය සොයා ගැනීම සිදුකරන්නේ ස්ත්‍රී සිරුර හරහාය. ඒ අනුව කාන්තා සිරුරේ ඇති අති සුවිශේෂී අවයවයක ක්‍රියාකාරීත්වය පිළිබඳව වන එම සොයාගැනීම ඔහු අතින් නම් වන්නේ මධුර දේශය නමිනි. කෘතිය තුළ මෙම සොයා ගැනීම නම් දක්වා ඇත්තේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකාව සොයා ගැනීමට සමපාත වන ලෙසිනි. ඔහු ස්ත්‍රී සිරුර නැමති ලෝකයෙන් අති විශාල මධුර දේශයක් සොයා ගනී.

ඇමරිකාව සොයාගැනීම අති දේශ ගවේෂණයෙහි පමණක් නොව ලෝක ශිෂ්ටාචාරයේ ගමන් මගෙහි ද එක් වැදගත් ලක්ෂයක් ලෙසින් සැලකිය හැකිය. මැතියෝ කලම්බු විසින් ස්ත්‍රී සිරුරෙන් සොයා ගන්නා ලද මධුර දේශය ද ඒ ආකාරයේ විප්ලවයක් බව සනාථවන කරුණු කිහිපයක්ම තිබේ. එතෙක් මිනිසුන් ස්ත්‍රී සිරුර ලෙස හඳුනාගෙන තිබූ ලෝකය තුළ තවත් ගවේෂණයට ලක් නොවූ ඉසව් ඇති බව පෙන්වා දීම එයින් මවන පළමු වැනි විප්ලවය වෙයි. එය තමන්ට දකුණු දෙසින් තවත් සුවිසල් දේශයක් ඇති බව නොදත් යුරෝපීයයන් ඇමරිකාව සොයාගත් විට ඇති වූ විප්ලවයට සමාන වෙයි.

එමෙන්ම පුරුෂයාගේ ආශාව වන කාන්තාව අත්පත් කරගැනීමට හැකි යතුරක් ඇගේ සිරුරෙහි සැඟවී ඇති බව පෙන්වා දීම ව්‍යවච්ඡේදකයාගේ දෙවැනි විප්ලවීය කරුණයි. මිනිසුන් පරිභෝජනයෙන් සන්තර්පණය කළ හැකි මහඟු සම්පත් ආකරයක් සහිත පොරොන්දු දේශයක් බඳු වූ බිම්කඩක් ලෙස ඇමරිකාව යුරෝපීයයන්ට නතු වූයේද එයට සමාන ලෙසිනි. එමෙන්ම කාන්තාව පිළිබඳව තිබූ සාම්ප්‍රදායික කියවීම බොහෝ සෙයින් වෙනස්ව ගොස් ඇය හඳුනාගැනීමටද ඇගේ ක්‍රියාකාරීත්වයට බලපාන අරුම පුදුම අවයවය හඳුනාගැනීම ද වඩාත් මුහුකුරා ගිය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවකට ඉවහල් විණි. එය ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද තෘප්තිය වෙත කැඳවාගෙන යාමට හදිසියේම විවිර වූ ද්වාරයක් බඳුවිය. එය ඇමරිකාව සොයාගැනීමද මානව වංශයට කළ බලපෑමට සමාන වෙයි. අප වෙසෙන ප්‍රමෝදය සොයන මිනිස් ලෝකයේ ඇමරිකාව යන්න කියවා ගත හැක්කේ පාරිභෝජනවාදයේ කූටප්‍රාප්තිය හඟවන අයිකනයක් ලෙසිනි. ඇමරිකාව සොයාගැනීමට වඩා ඒ තුළ බිහිවන සංස්කෘතික දේශපාලන ව්‍යුහය ලෝක ශිෂ්ටාචාරය තුළ පැහැදිලි වෙනසක් සිදු කොට තිබේ. සංස්කෘතික සීමාවන් වලින් මිදීම හා පුද්ගල නිදහස අධි සැලකිල්ලට ලක් වීම එහි ලක්ෂණය වෙයි. ඇමරිකාව සොයාගැනීම හා ජනාවාස වීම නිසා ලෝක ශිෂ්ටාචිරයේ සීමා පෘථුල වී යාම හා කලම්බුගේ මධුර දේශය සොයාගැනීම වඩාත් සමානුපාතික වන්නේ මෙලෙසිනි.


මෙයින් දනවන්නේ නවුමු දේ ගවේෂණයේ කුතුහලය විසින් පොළඹවනු ලබන මිනිසෙකු විසින් මානව ශිෂ්ඨාචාරයට කළ හැක්කේ කවරාකාර බලපෑමක්ද යන්නයි. ඒ අනුව දේශ ගවේශක ක්‍රිස්ටෝපර් කොලොම්බස් මෙන්ම ව්‍යවච්ඡේදක මැතියෝ කලම්බුද විශිෂ්ට විප්ලවකරුවෝ වෙති.

එමෙන්ම වෝහාරික වෛද්‍යවරයෙකු හෝ දේශ ගවේෂකයෙකු පමණක් නොව ඕනෑම වෘත්තීයෙකු තමා හමුවේ ඇතැ දේ විප්ලවීය අයුරින් විනිවිද දකින ව්‍යවච්ඡේදකයෙකු වන්නේ නම් ඔහුට මිනිස් ශිෂ්ටාචාරයට යමක් දායාද කළ අයෙකු බවට පත් විය හැකිය. එසේනම් මැතියෝ කලම්බු කළ ව්‍යවච්ඡේදනයෙන් ඔහු ඔහු සොයා ගත් විප්ලවීය සොයාගැනීම කුමක්ද? එයට පිළිතුර ඇත්තේ එවන් සොයා ගැනීමක් පවත්නා සමාජ ස්ථරය තුළ ඇති කළ වෙනස කවරක්ද යන්න සෙවීම තුළය. ඒ අනුව ව්‍යවච්ඡේදකයාගේ මධුර දේශය වන ක්ලිටෝරිසය සොයා ගැනීම කෙරෙහි දේශපාලනික හා ආගමික අධිකාරිය විරුද්ධ වන හේතු ගවේෂණයට මෙහිලා ප්‍රයෝජනවත් වෙයි. එය කෘතිය තුළ හමුවන්නේ මෙලෙසිනි.

සාතන්ගේ සත්කාරකයන් අතට පාපයේ සත්‍රී විෂයය පත් වෙතොත් ක්‍රිස්තියානි ධර්මයට කුමකින් කුමක් වෙයිද? කළකිරීමෙන් කෝපයට පත් පල්ලියේ දේව ධර්ම වෙද්දු ප්‍රශ්න කළහ. මිළ අධික අභිසරුලියකගේ ආලය ඕනෑම දිළිඳු කුදෙකුටත් අත් කරගත හැකි වෙතොත් ලාභදායී වෛශ්‍යා වෘත්තියට කුමක් වෙයිද? යනුවෙන් වැනිසියේ බලපුලුවන්කාර ගණිකා මඩම් හිමිකරුවෝ ප්‍රශ්න කළහ. ඒ සියල්ලටමත් වඩා, දෙවියන් වහන්සේ විසින් ආදම්ගේ ඉළ ඇටයෙන් මවන ලද ඒවගේ දියණීයන් දැනගත්තොත් ස්වර්ගයට සහ නිරයට ඇතුලු වන යතුර ඇත්තේ තමන්ගේ කකුල් අස්සේ කියා. (ව්‍යවච්ඡේදකයා - 14 පිටුව)

කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය සංකේන්ද්‍රනය වන ස්ථානය පිළිබඳ රහස අනාවරණය වීම නිසා එදා ඉතාලියේ පමණක් නොව සමස්ත යුරෝපයේ ම පැවති සම්මත සමාජයේ රිද්මය වෙනස් වන අයුරුත් ඒ හමුවේ ධනය හා බලය හිමි පාර්ශ්ව කැළඹෙන අයුරුත් මේ තුළින් පැහැදිලි වේ. ඒ අනුව කලම්බුගේ සොයා ගැනීම ඒ වනවිට සමාජයේ ප්‍රධාන පෙලේ ධනවතුන් ලෙස වැජඹි ගණිකා මඩම් හිමිකරුවන්ද, මේවායෙ සේවය ඇගයූ ධනපතීන්ද කණස්සල්ලට පත් කරවන සුලු එකක් වෙයි. එයින් ඔවුන්ගේ ධනෝපායන මාර්ගයට හා සමාජ තත්ත්වයට බාධකයක් මතු වෙයි. එමෙන්ම සමාජයේ බලය හිමි ආගමික කණ්ඩායම්වල බලයට අභියෝගයක් වෙයි. ඒ ප්‍රතිවිරෝධතාවන් මැද පවා ඔහු සිය සොයාගැනීම වෙනුවෙන් පෙනී සිටී. කලම්බුගේ ව්‍යවච්ඡේචන කාර්යය විප්ලවීය එකක් වන්නේ එබැවිනි. එය මිනිස් සිරුර නම් භෞතිකය ඉක්මවා ගොස් දෘෂ්ටිමය තලයක් සමග ගැටෙයි.

මේ ක්‍රම විරෝධී සොයාගැනීම නිසා ආගමික අධිකාරිය විසින් මෙහෙයවනු ලදුව සිරගත කරන කලම්බුට සිය සොයාගැනීම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදු වෙයි. එහිදී ඔහු චෝදනාවන්ගෙන් නිදහස් වන නමුදු ඔහු විසින් සිය සොයාගැනීම අළලා ලියන ලද පොත තහනම් ග්‍රන්ථ සූචියට ඇතුළත් කෙරෙයි. ව්‍යවච්ඡේදකයාගේ සොයාගැනීම සැඟවී යන නමුත් වඩා වැදගත් වන්නේ ඔහු එය ප්‍රකාශයට අනුමත කරවාගැනීමට දරන්නා වූ ප්‍රයත්නයයි. ඒ සඳහා ඔහු තමන් විසින් ප්‍රතිකාර කරනු ලබන පාප්තුමෙක් පවා උපක්‍රමශීලීව මරණයට පත් කරයි.

මැතියෝ කලම්බුට තම අදහස මුදුන් පමුණුවාගැනීමට නොහැකි වුවද යම් සමාජ වටපිටාවක් තුළ ව්‍යවච්ඡේදකයෙකුට ඉටු කළ හැකි කාරිය කවරේදැයි පෙන්වා දෙයි. එමෙන්ම අපටද අපේ වටපිටාවේ ඇති දේ පිළිබඳව ව්‍යව්ඡේදන මනසින් බැලිය යුත්තේ කෙසේදැයි ඉඟි කරයි. ඒ අනුව අප වෙසෙනා කවරාකර අවකාශයක වුව කිසියම් වෙනසක් සිදුවීම සියලු දෙනා හට වඩාත් සුවපහසු වියහැකි බව අදහන අයට ආවේශදායී ආරම්මනයක් සැපයීමට සමත් තේමාත්මක අගයක් ව්‍යවච්ඡේදකයා ආඛ්‍යානයෙන් අපට හමු වෙයි.

බී.ජී.එම්. ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නා නා නෙ නා නනෙ නානා
නා නා නෙ නා නනෙ නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා

රන් කුරහන් ගල සේමා
හිටියට නානවා බෝමා
දැක්ක ගමන් දුක හිතෙනා
ප්‍රේමී සබන් නම් වානා....!


සාර සුබාවට නානා
මාර කතා යළි නේනා
දැක්ක ගමන් පපු පැලෙනා
දුකට ෂොට් එකක් ඕනා....!


ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"කිසිදාක පොළොව නොතෙමන වැස්ස (Rain that never kisses the earth)"

අරුණ ජයවර්ධනගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "නිකිණි වැස්ස" ආරම්භ වන්නේ ඒ තේමා පාඨය ද සමගිනි. වියළි කලාපයේ වාසය කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අර්බුදයන්ගෙන් එකක් වන ඉඩෝරයේ කටුක බව ඔස්සේ අරුණ ඒ තේමා පාඨය යොදා ගත්තා විය හැකිය.

ආගම් කථා, රජ කථා, යුද වැනුම් ආදී පොදුවේ පවතින දෘෂ්ටිවාදයම තොරොම්බල් කරන සිනමා ඉඩෝරයකට මුහුණ දී "නිකිණි වැස්ස"කට සිනමා ශාලාවේ හරි බරි ගැහුණු ප්‍රේක්ෂකයාට චිත්‍රපටය අවසන, අහස කළු කළ තරමට, වැහි වලාකුළුවලින් බර වුණු තරමටම වැසි නොලබාම, වියළි මනසින් යුතුව පිටතට එන්නට සිදු වූයේ මන්දැයි විමසා බැලීම වටී.

අරුණගේ තේමා පාඨයේ පරිදිම නිකිණි වැස්ස ද ඉඩෝරයට හසුව, වියළුණු සිනමා පොළව තෙමන්නට අසමත් විණිද?

චිත්‍රපටය ඇරඹෙන්නේ මල් ශාලාවක් ඇතුළත දර්ශනයකිනි. එහි එම්බාම් ශිල්පියා ලෙස සිටින්නේ ගැහැණියක බව ද ඇය එම්බාම් කරමින් හිඳ ඇත්තේ තම පියාගේ දේහය බව ද ඊලඟ රූප රාමු පෙළින් අපට පසක් වෙයි. ගම්මුන්ගේ ද තම මවගේ ද (ඉතිරිව සිටින එකම පවුල් වැසියා) නොපහන් සිත් හමුවේ වුව තම පියාගේ මිනී එම්බාම් කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන දියණිය (සෝමලතා) මෙහි ප්‍රධාන චරිතය බවට චිත්‍රපටයේ මුල් රූප රාමු කිහිපයෙන්ම ප්‍රේක්ෂකාගාරය වෙත සංඥා කෙරේ. මේ අවිවාහක ගැහැණියත් ඇයගේ මවත් ඇය යටතේ රැකියා කරන ඇයගේ ඇයගේ රියදුරා මෙන්ම ප්‍රධාන සහයක ද (පියසිරී) තවත් එක් සහයකයෙකු වන ආබාධිත සෙබළා සහ වඩු කාර්මිකයා ද ඇයගේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රතිවාදියා වන ජයසේකර මුදලාලි සහ ගෘහ නිර්මාණ ශිලිපියෙකු ද යන චරිත ප්‍රධාන කොට ගෙන තවත් අවශේෂ චරිත කීපයක් ද මැදි කරගෙන කථාව ගලා යයි.



චිත්‍රපටය ආරම්භයේ එක් තැනක සෝමලතා සිය මවට පවසන්නේ ඇයට තවත් එක ගමේ ගැහැණියක් විය නොහැකි බවයි. එම දෙබස ඔස්සේ අධ්‍යක්ෂවරයා අපට පවසන්නේ කුමක්ද? වෙනස් රැකියාවක් තෝරාගත් නිසාම ඇය රැඩිකල්, අසම්ප්‍රදායික, නූතන පන්නයේ ගැහැණියක වෙන බවද? ජීවෝනෝපාය ලෙස කසිප්පු පෙරන, පොල් ගස් නගින, කුලී වැඩ කරන, ත්‍රී රෝද රථ හයර් කරන ගැහැණින් ගම්වල ඕනෑ තරම් දැකිය හැක. මේ ගැහැණුන් රැකියාව ලෙස කුමක් කරතත්, අනිත් සි‍යලු සෑම අතින් වෙනත් ගැහැණු මෙන්ම සාමාන්‍ය කාන්තාවෝ ද වෙති. සෝමලතාද ජයසේකර මුදලාලි, මන්ත්‍රීතුමා වැනි පිරිමින් හා හරි හරියට හැප්පෙමින් යම් යම් ස්ත්‍රීවාදි ලක්ෂණ පෙන්නුම් කරතත් ඇය තම රැකවරණය/ආදරය උදෙසා පිරිමියෙකු පතන්නීය. අනුරාගයෙන් ඇවිළ යන්නටද , එය විඳින්නටද සමත් වන්නී, විලාසිතාකාමී ද වූ සෝමලතා අපගේ කියවීම අනුව, ඇතැම් විටෙක ගතානුගතික ග්‍රාමීය මූලයන් පෙන්නුම් කරන, පශ්චාත් ස්ත්‍රීවාදී ලක්ෂණ සහිත ගැහැනියකි.

ඉහත ප්‍රධාන කතා තේමාව තුළ හිඳිමින් අරුණ යම් යම් අතුරු සිද්ධීන් (පොදුවේ මිනිසුන් මුහුණ පාන) ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්නට යාමෙන් විටෙක සාර්ථකත්වයක් ද තවත් විටෙක අසාර්ථකත්වයක් ද අත්පත් කරගනී. ජයග්‍රාහී යුද්ධයකට සෙබළුන් සැපයූ වියළි කලාපයේදීම අබාධිත සෙබළාට සිය ඉරණම සතුරු වීම, නන්විධ රෝග පීඩාදියෙන් අසීමිතව මියැදෙන මිනිස් ජීවිත රෝහල්වල සේවකයන් හා මල්ශාලා හිමියන් අතර කෑලි ගණනට ගනුදෙනු වීම ප්‍රේක්ෂකයාට දැනෙන ලෙස පෙන්වීමට අරුණ සමත් වූවත් අලි මිනිස් ගැටුම හා එතනදී නැතිවන ජීවිත ගැන සංවේදී ලෙස ප්‍රේක්ෂකයාට ඒත්තූ ගැන්වීමේදි අරුණ අසමත්ය. උදාහරණයකට ගතහොත්, වලි අලියෙකු පහරදීම නිසා හදිසියේ සිදුවන මේනකාගේ මරණය ඔස්සේ ප්‍රේක්ෂකයා තුළ කිසිදු තිගැස්මක් ජනිත කරවන්නට අරුණ අසමත් වේ.

මරණය මේ චිත්‍රපටයේ එන ගම්මුන්ගේ ජීවිත හා අත්‍යයන්තයෙන්ම බැඳී පවතින්නකි. සර්පයන්ද, අලින්ද එක සේ මරණයට අත වනද්දී, ගම්මුද වැඩි සටනකින් තොරව ඊට අනුගත වෙති. මරණය ඔවුනට සමීප වන තරමට ජීවිතය ඈතය, මිලාධිකය. එහෙයින්, නාගරික මධ්‍යම පාන්තිකයාට මෙන් මෙහි ඉලව් ගෙයක් මෙන්ම මඟුල් ගෙයක් ද යනුවෙන් ද උත්සව නැත්තේය. මළ මිනී යනු කෑලි ගණනට විකිණෙන දෙයකි. අරුණට අහුවෙන එකී ඇත්තෙන් ප්‍රේක්ෂාගාරය හුස්මක් ඉහළ ගන්නටවත් බැරිව කම්පනය විය යුතු තරම් චිත්‍රපටය මළ ගෙවල් යායකි. එහෙත්, බහුතර ප්‍රේක්ෂාගාරයට අරුණගේ තිර පිටපත් වංකගිරියේ පැටලෙන්නට සිදුවීමෙන්, මේ සිනමා සිත්තමක් බලන්නට ආ මොහොතක්ය අමතකව සුපුරුදු ගෙයි දොර කතාබහ සිනමාගාරයෙන් ඇසෙන්නට පටන් ගනී.

සිය ප්‍රේක්ෂකයාගේ අවධානය චිත්‍රපටයෙන් ගිලිහී යන එබඳු අවස්ථාවල අරුණට සිය කථා පුවතේ හිස්තැන් පුරවන්නට සිදුව ඇත. එසේ අනවශ්‍ය සංවාද, දර්ශනාදිය හිස්තැන් පුරවන්නට මදි වූ තැන්වල ජේ.වී.පි.යට ද පැමිණීමට සිදු වීම නම් අතිශයින් හාස‍යජනකය. මෙගා නාට්‍යවල ජෝක් චරිත පුරවන්නට වාමාංශික තරුණයින් යොදා ගන්නා සේ "නිකිණි වැස්සෙහි" ද හිස්තැන් පුරවන්නට ජේ.වී.පි. සහෝදරවරුන්ට සිදු වී ඇත.



එවන් තවත් සමහර දර්ශනවලදී, ස්වකීය ආධුනික බව නිසාදෝ අරුණ එකවරම වැඩි කෑලි සහ පිටින් ගෙනාපු කෑලි ද නොමසුරුව තමන්ගේ චිත්‍රපටයට දමා ඇත. පියසිරි සහ මේනකාගේ යහනේ ලිංගික දර්ශනය තුළට ඔබ්බවා ඇති ගංජා පානය එවැනි තවත් උදාහරණයකි. ගංජා සුරුට්ටුව එතන තිබුණෙ නැතැයි කියා අපිට නම් අවුලක් නැත. තිබුණායින් උනේ හොලිවුඩ් චිත්‍රපට කීපයක් මතකයට නැගීම පමණි.

සිනමා පටය පුරාම අපට දැකිය හැකි පොදු දුර්වලතාවයක් වන්නේ අරුණ තම නිර්මාණය වෙනුවෙන් පරිකල්පිත ගම සහ අරුණට සම්පූර්ණයෙන් පිටස්තර ගම (හඳගමගේ ගමෙන් සහ විමුක්තිගේ ගමෙන් ණයට ගත් දේ) එකට කලවම් කරන්නට යාමෙන් ඇති වන අවුලයි. විටෙක අරුණගේ ගම ද , තවත් විටෙක අරුණ තමන්ට වඩා විශ්වාස කරන වෙනත් කෙනෙකුගේ ගම ද ඉස්මතු වීමෙන් කථාවේ විශ්වාසනීයත්වය සහ සමබරතාවය බිදී ඇත.

චිත්‍රපටයේ එන තවත් එක් විශේෂ චරිතයක් වන ගෘහ නිර්මාණ ශිල්පියා යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙනවා වූව ද එය හරියටම කුමක්දැයි ජයසේකර නම් මල්ශාලා හිමියා තර්කාන්විතව වටහාගන්නා තුරු අරුණවත් වටහා ගන්නා බවක් නොපෙනේ. එ අතින් නම්, ජයසේකර මාරම දක්ෂයෙකි. අධ්‍යක්ෂකවරයාට ද නොකියා, සාමාන්‍ය ගමක වෙසෙන පාදඩ ලක්ෂණ සහිත මිනී එම්බාම් මුදලාලි කෙනෙකුගෙන් වාණිජ හින්දි චිත්‍රපටයක එන දුරදක්නා නුවණ සහ නවීන දැනුමෙන් යුක්ත දුෂ්ටයාගේ චරිතයට ඉබේම මාරු වීමට ඔහුට හැකියාව ලැබී ඇත.

එහෙත්, චිත්‍රපටයේ නුගවෙල- දකුණ ග්‍රාමසේවකගේ සහ ජයසේකරගේ බීමත් කතාබහ මීට වඩා කුමන්ත්‍රණකාරි නොවුණේ මන්දැයි තවම පැහැදිලි නැත්තේ, ජයසේකරට අධ්‍යක්ෂකවරයා චිත්‍රපට අවසානයේ ලබාදෙන විශේෂිත කුමන්ත්‍රණකාරි වරම හේතුවෙනි. හුදෙක් චිත්‍රපටයේ කලින් සඳහන් කළ ආකාරයේ හිස් තැන් පිරවීම් බවට ඒ විනාඩි කිහිපය ද නිරායාසයෙන් පත්ව ඇත.

මෙබඳු අඩුපාඩු මෙන්ම තම ප්‍රථම චිත්‍රපටයෙහි අරුණ ඉතා සාර්ථක ලෙස ඉස්මතු වුණු අවස්ථාද ඇත. පියසිරිගේ චරිතය මෙහෙයවන ආකාරය, ඒ චරිතය හා බැඳුණු සිද්ධීන් මෙන්ම සෝමලතාගේ මවගේ චරිතය ආදිය ඉතා යථාර්ථවාදී ලෙස මෙහෙයවීම ප්‍රශංසනීය බව කිවයුතුය. මේ චරිත රඟපාන ජගත් මනුවර්ණ සහ නෙතලී නානයක්කාරගේ රඟපෑම් ද එයට මනා පිටිවහලක් වී තිබේ. චිත්‍රපටයේ එන පියසිරිගේ විවාහ දර්ශනය ද එක්තරා අන්දමකට අධ්‍යක්ෂකවරයාගේ පරිණත බවක් පෙන්වන දර්ශනයක් බව හැඟේ. එහෙත් ප්‍රධාන චරිතය වන සෝමලතා ට රඟන චාන්දනී සෙනෙවිරත්නට මීට වඩා දෙයක් කළ හැකිව තිබුණේද? නැත්නම් අධ්‍යක්ෂවරයාට සිය තිර පිටපතෙහි සීමාසහිත බව ඉදිරියෙහි ඇගේ දක්ෂතා මොට කරලීමට සිදුවීද යන්න පැහැදිලි නැත. දැනෙන ආකාරයට ඇය මහා දෙයක් නොකරන අතර, ඊට පිටපතෙහි සෝමලතාගේ චරිත පරාසය බාධකයක් වන්නට ද ඇත.

චිත්‍රපටයේ රූප රාමු මාරු වීමට සමහරක් තැන්වල වර්ණවත් සැඳැ අහසත් සමග එක්ව යොදා තිබූ උපක්‍රම ප්‍රශ්නකාරි වුවත් සමස්තයක් ලෙස ගත් කල අධ්‍යක්ෂවරයාගේ රූප රාමු තෝරා බේරා ගැනීම ප්‍රශස්ත මට්ටමක තිබුණා යැයි කිව හැකිය. චිත්‍රපටය පුරාම ගලා යන වියළි කලාපයටම ආවේණික දුඹුරට හුරු බවෙන් ආතුර, අඳුරු වර්ණ සහිත රූප රාමුවල සිට අතිශය වර්ණවත් රූප රාමුවකට ජේදනය වන්නේ එකම වතාවකදී පමණි. ඒ ඇසට නුහුරු තරමේ දිදුලන එළියෙන් හෙබි පියසිරි හා මේනකාගේ හදිසි විවාහය වෙනුවෙනි. නුදුරෙහිදීම ඛේදනීය ඉරණමකට මුහුණ පාන නව යුවතිපතීන්ගේ විවා මඟුල සදහා වන ඒ ආලෝක භාවිතය ප්‍රේක්ෂකයාගේ ඇසට මෙන්ම බුද්ධියට ද කරන ආමන්ත්‍රණයකි. මෙම විවාහය මෙන්ම චිත්‍රපටයේ ඇරඹුමෙහි පටන් කැමරාකරණය චිත්‍රපටයේ රමණීයත්වයට මනා මෙහෙයක් ඉටු කර ඇතැයි පිළිගැනීමට තුඩු දෙන සාධක රැසක් වේ. සංගීතය චිත්‍රපටය තුළ ලොකු දෙයක් කර තිබුණේ නැත ද, එහි තේමා සංගීතය මෑතකාලීනව ලාංකීය චිත්‍රපටයටයකට අපූර්වත්වයක් එක් කළ සංගීත වියමනක් බව කිව යුතුමය.



කෙසේ වෙතත් අරුණ චිත්‍රපටය ආරම්භයේදී ඉස්මතු කළ ජවය රසය, බලාපොරොත්තු ඈ සියල්ල විනාශ කරගනිමින් අරුණත්, ප්‍රේක්ෂක අපත් සියල්ලන්ම අතරමං කර දමයි. අරුණට කතාවට අවසානයක් සිතා ගත නොහැකිය. ඇත්තෙන්ම ගමේදී නම් මේ කතා පුවතට අවසානයක් නැත. උපන් දා සිට මෙබඳු ගම් කතාවලට කොහෙන් හෝ මුක්කු ගහන අපටත් මෙබන්දකට අවසානයක් හිතාගත නොහැකිය. එහෙත්, කාලය ඉක්මවා යන බැවින් අරුණ සිය චිත්‍රපටය අවසාන කළ යුතුය. එම නිසා තිගැස්මක් නැති තවත් මරණයක් සිදු කරවා ප්‍රේක්ෂකයින් ගෙදර යවන්නට ඔහු උත්සාහ දරනු විය හැක. අලි- මිනිස් ගැටුම ආදී නා නා විධ වියළි කලාපීය ප්‍රශ්න එක් රූප රාමුවකින් හෝ වාර්තාකරණයෙන් පමණක් සෑහීමකට පත් විය හැකිදැයි අපට අසන්නට වෙන්නේ අරුණගෙන්මය. ඒ ඔස්සේ අතරමං වන ප්‍රේක්ෂකයින්ට හින්දි වාණිජ චිත්‍රපටයක අවසානයක් දුන්නාට කමක් නැතැයි ඔහු සිතුවා වන්නටද පුලුවන. එහෙත්, ප්‍රේක්ෂාගාරයෙහි සිදුවන්නේ අරුණ අපේක්ෂා නොකළ යමකි. ගමට මේ මරණය දැනුණේ නැතිවා මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද මේ මරණය දැනුණේ නැත. චිත්‍රපටයේ දී මෙන්ම නරඹන්නෝ ද වසර ගණනාවක් තිස්සේ මිනීපෙට්ටිවලට නොයෙක් අයුරින් කර ගැසුවෝ වෙත්.

අරුණ හින්දි චිත්‍රපටයේ සිටි දුෂ්ටයා සහ අවසාන ජවනිකා ගේන්නේ එවන් මොහොතකදීය. අවසානයේ සියලු පින් කැමැත්තන්ගේ අසාධු සිතිවිලි නසනු වෙනුවෙන්දෝ සෝමලතාගේ නම රැගත් නාම පුවරුවක් සහිත වැඩ නිම කළ ආදාහනාගාරය හුදෙකලාව නැගී සිටී. සිනමා පටය නරඹා පිටතට එද්දී, අරුණ ජයවර්ධන තමන්ගේම නිර්මාණයත් එම්බාම් කරගත්තාදැයි අපිට සැක සිතෙන්නේ සිනමහාහලේදී වේලි වේලි ඇවිත් එළියේ මහ වැස්සට තෙමෙන විටදීය.

දිනුක සපුතන්ත්‍රි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අස්ථි මිලියනයකි
කඳුළු බිලියනයකි
ඇස ඇස ගැටෙන අස්ථි මිලියනයකි
ඇස ඇස නැඟෙන කඳුළු බිලියනයකි
ඇහිපියන් පියා ගත් ලෝකයක් ඉදිරිපිට!

එකින් එක හා වෙයි
සැකිළි රූ නැගිටියි
ජීවිතේ සුසුම් පොදි
සුළං වී පා වෙයි

බෝම්බයකට වුණත් බැරිය
තනි තනිව පිපිරෙන්න
තුවක්කුවකට පුළුවනි ද
හදවතක් බිඳ යන්න
භීතියේ සෙවණැල්ල නොවිණි නම් ඒ එක්ක
කිසි දිනෙක හැකි වෙයි ද
මිනිහෙක්ව වළලන්න

අවි තුඩෙක සීරුවට හංගාපු හුස්ම බිඳු
වෘකයින් ඩැහැ ගනී පිපාසව ලේ බිඳූ
ඇඟිළි තුඩු අතර රැඳි තෙළි තුඩෙන් විත් ගැලූ
රක්ත පෑයෙන් රෝස පිපේවිද මතු මතූ

කෙඳිරියක් නඟන්නැති නෙරළුපත් වේළෙයි
අවුෂ්විට්ස් කඳවුරේ මිනීමල් බිය වෙයි
යුග ගණන් ඈත ඉඳ - දුඟන්ධය ඇදී එයි
කොතැන වුව කඳවුරක ඉකිබිඳුම - පාව එයි

හිනා අහුරක් නොමැති පුතෙකු දෙකොපුල රිදී
පියකු මඟ බලනු ඇත කතා දහසක එතී
ස්වේත වර්ණ කාලවර්ණ සමේ පැහැයක් නැතී
ඇටසැකිළි මිලියනය ධවල කන්දකි නැඟී

අවිය යනු බලයකට දුන් තවත් නමක් මිස
මලක පෙති දකිත හැකි හදවතක් එයට නැත
පාන්දර හීතලට පින්න ඉහිරණු මිස
උදා හිරු නවතා ද - සැකිළි පණලනු නැත

ඇස ඇස ගැටෙන අස්ථි මිලියනයකි
ඇස ඇස නැඟෙන කඳුළු බිලියනයකි
ඇහිපියන් පියා ගත් ලෝකයක් ඉදිරිපිට!

16-06-2013

["One Million Bones" නම් වූ ව්‍යාපෘතිය, ලෝකය පුරා සිදු වන මිනිස් සංහාරය වළකනු පිණිස ලෝකවාසී ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කෙරෙන්නකි.]

ඡායාරූපය : www.theartofrevolution.org වෙබ් අඩවියෙන්

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails