Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ක්‍රිෂ්ණ රාජා ටොරොන්ටෝ නුවර සාර්ථක මුද්‍රණ ව්‍යාපාරයක් කරන ඉන්දීය සම්භවයක් සහිත මිත‍්‍රශීලී ලාංකීය දෙමළ තරුණයෙකි. ඔහුගේ මුද්‍රණාලය විසින් සිංහල අපගේ මෙන්ම දෙමළ කාගේත් බංග්ලාදේශ, පකිස්ථානු හා වෙනත් බොහෝ ජාතිකයන්ගේත් මුද්‍රණ කටයුතු කරනු ලබයි. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කොට ප‍්‍රභාකරන්ගේද දිවි තොර කළ බව නිවේදනය වූ දිනයේම වාගේ කි‍්‍රෂ්ණාරාජා මට හමු විය. දැඩි හින්දු භක්තිකයකු වූ ඔහු කීවේ, ප‍්‍රභාකරන්ගේ විනාශය තීරණය වූයේ යාපන ජනයා ප‍්‍රභාකරන් විෂ්ණු දෙවියන්ට සමාන කරන්නට පටන්ගත් දා සිට බවය. කි‍්‍රෂ්ණරාජාගේ ප‍්‍රභාකරන් විෂ්ණු දෙවියන් කිරීමේ කතාව ඇත්තක්යැ’යි මම තවත් දෙමළ ජාතිකයන්ගෙන් අසා දැනගතිමි. කි‍්‍රෂ්ණරාජා කෙතරම් අකමැති වුවත් මෙම ප‍්‍රවාදයෙන් ගම්‍ය වන්නේ දෙමළ ජනයා කෙතරම් පීඩාවකට පත් වුවද ඔවුන්ගේ අරගලය පූජනීය බවත් ඔවුන් විසින් එහි නායකයා දෙවියකු සේ සලකන ලද බවත්ය. එනම් දෙමළ ඉතිහාසයට ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය වඩාත් විශාල වටිනාකමක් ලබාදී ඇති බවයි. එපමණක් නොව ලෝකයේ විවිධ තන්හි ජීවත්වන දෙමළ සමාජයන් අතර යළිත් වරක් යාපන සමාජය උත්කෘෂ්ට වූ වගයි. හින්දු ආගම හා එහි ඉතිහාසය සටන්කාමීත්වය අධිනිශ්චය කරන්නකි. ඒ අනුසාරයෙන්ද එල්ටීටීඊ අරගලය දෙමළ ඉතිහාසයට විශාල දෙයක් ලබා දී ඇත.

උතුරේදී නිල වශයෙන් දෙමළ අරගලය පැරදවීමෙන් පසුව එහි හිදැස පුරවන්නේ සිංහල අන්තවාදය විසින් මුස්ලිම් සතුරකු සොයාගෙන ඔහුට සටනට අඬගැසීමෙනි. විශේෂයෙන් වර්තමාන රෙජීමයේ ආධ්‍යාත්මික ආරක්ෂකයන් වන රණකාමී භික්ෂූන් වහන්සේලාට රිසිසේ ඒ අවදානම්සහගත තිරශ්චීන කටයුත්තේ යෙදීමට නීතිය නිහඬ කර තිබේ. හලාල් වැනි සාකච්ඡාවෙන් විසඳාගත හැකි ප‍්‍රශ්න මුස්ලිමුන්ට හා අනෙකුන්ට කිසිදු අසාධාරණයක් නොවන සේ සාකච්ඡා මගින් විසඳා ගතහැකිව තිබියදීත් කටයුතු සිද්ධ වූයේ මුස්ලිම් හදවත දරුණු ලෙස පාරා දැමීමෙනි.


සිංහල රාවය

මුස්ලිම්වරුන් ව්‍යාප්තවාදී අරමුණකින් වුවද බොහෝ දරුවන් හදද්දී ඊට සමගාමීව දරුවන් හදන ලෙස කැත නැතුව කියන්නේ බුද්ධ චීවරය දරාගත් උපසම්පදාවෙන් දෙවන වරටද ශික්ෂිත කරනු ලැබූ භික්ෂූන්ය. කෙසේ වෙතත් වැඩි ජනගහනයක් දරා ගැනීමට හැකි ආණ්ඩු ක‍්‍රමයක් ලංකාවේ නැති අතර එවැනි ආණ්ඩුවක් ඉදිරි කාලය තුළ බලයට පත්වන බවක් ද පෙනෙන්නට නැත. එහෙයින් උපදින දරුවනට සිදුවන්නේ මීටත් වඩා අසරණබවින් යුතුව ජීවත් වීමටයි. ඒ බැරිකමවත් හිතාගෙන ආණ්ඩු කළ යුත්තේ කාටත් පොදුවේ උපත් පාලන නීතියක් ඇති කිරීමය. එය රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන්නක් නිසා මුස්ලිමුන්ට හෝ බෞද්ධයන්ට හෝ ඊට විරුද්ධ විය නොහැකිය. එහෙත් එය එවැනි විනීත ක‍්‍රමයකට විසඳීමට අසමත් ආණ්ඩුව එය කිරීම පවරන්නේ තමන්ගේ භික්ෂු බල ඇණියටයි.

නව වන සියවස පමණ ඈතට ඇදෙන ඉතිහාසයක් සහිත ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව සිය ඉතිහාසය මුළුල්ලේම මෙවැනි අඩන්තේට්ටම්වලට මුහුණ දුන්නේය. ඒ සා දුෂ්කර තත්ත්වයන් ද අවබෝධ කරගත් මුස්ලිම්හු ජන සංයුතියෙන් තමන්ට වඩා ශක්තිමත් අනෙකුත් ජනප‍්‍රජාවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත් පාඩම උගත්හ. මහනුවර රජුගේ ආශිර්වාදය ලබාගත් මුස්ලිම්හු සිංහල ස්ත‍්‍රීන් කසාද බැඳගෙන සිංහල කුලවැද්දුමද ලදහ.

වෙළෙඳාමේදී මුස්ලිමුන් සාම්ප‍්‍රදායිකව දක්වන හුරුබුහුටිකම එම ක්ෂේත‍්‍රයේදී අනෙක් ජාතින් අබිබවා සිටී. හරියට මැලේසියාවේදී මැලේවරුන් අබිබවා චීන්නු වෙළඳාමේදී ඉදිරියෙන් සිටින්නාක් මෙනි. 1915දී මෙන්ම අදත් මේ බුහුටිකමට එරෙහි වන්නෝ සිංහල ව්‍යාපාරිකයෝය. සහගහන බොරු දෙසමින් මුස්ලිම් වෙළෙඳ ආයතනවලට කඩාවදින්නේ එහෙයිනි. මුස්ලිමුන් එකී ක්ෂේත‍්‍රයෙන් පළවා හරිමින් ඒ අවස්ථා තමන්ට අත්පත් කර ගැනීම ඒ බලඇණි පිටුපස සිටින සිංහල ව්‍යාපාරිකයන්ගේ අවසන් බලාපොරොත්තුවය. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිමුන් රණකාමීත්වය ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ ජාත්‍යන්තර නෑයන්ගෙන් වෙන්වුණු ගති සිරිත් ප‍්‍රගුණ කළ යහපත් මිනිසුන් කොටසකි. ඔවුන් ඒ අරුතින් රොෂින්වරු හෝ පකිස්තානුවන් හෝ මැදපෙරදිග මුස්ලිමුන්ගෙන් වෙනස් වෙති. එහෙත් මේ වැදගත් මනුෂ්‍ය කණ්ඩායම තමන්ට එරෙහිව අන්තවාදී සේනාවන් කරන නොපනත්කම් තමන් අදහන දෙවියන් හා බෙදාගනිමින් ඒවා සිය සංස්කෘතික ඉතිහාසයට එක්කර ගන්නා බව අප අමතක කළ යුතු නොවේ.

ප‍්‍රධාන සුළු ජාතීන් දෙක සිංහල සමාජයෙන් එල්ල වන පීඩාවන් නිසාම දෙමළ මුස්ලිම් සාමූහිකත්වයක් නිර්මාණය කර ගැනීමට අනාගතයේ දී සමත් වන බව පෙනෙන්නට තිබේ. දෙමළ සමාජය තමන් කලක් මුළුල්ලේ ලද පීඩාව නිසාම ඉතිහාසයට අංග සම්පූර්ණ වීරයකු නිර්මාණය කරගෙන ඇතිවාක් මෙන්ම ශක්තිමත් ඩයස්පෝරාවක්ද නිර්මාණය කරගෙන ඇත. දැන් පවතින මුස්ලිම් විරෝධය හමුවේ තවමත් මුස්ලිම් නායකයන් කරන්නේ පීඩකයන්ගෙන් සාමය බලාපොරොත්තු වීම වුවත් එය ඉෂ්ට නොවුණහොත් ශක්තිමත් මුස්ලිම් ජාත්‍යන්තරයෙන් සහාය ලබාගැනීමට ඔවුන් පෙළඹෙනු ඇත. එසේ වුවහොත් ඉතිහාසයේ අන් කවරදාවත් නොවැටුණු අගාධයකට අපේ මව් රට ඇද වැටෙනු නිසැකය. මා උපතින්ම සිංහලයෙක් මෙන්ම බෞද්ධයෙකි. සිංහලත්වය හා බෞද්ධකම යන දෙකටම අදාළ සාරාර්ථයන් සමූහයක් දැනුවත්ව හඳුනාගෙන ඇති හෙයින් උත්පත්තික බෞද්ධකමෙන් එහාට ගිය අවබෝධවත් සිංහලයෙකු හා බෞද්ධයෙකු ලෙස පෙනීසිටීමට මට හැකියාවක් ඇත. ලංකාවේ දෙමළ අරගලය දෙසත්, මුස්ලිම්වරුනට එල්ල වී ඇති පීඩනයන් දෙසත් මා බලන්නේ සිංහලකමේ ද බෞද්ධකමේ ද ආරක්ෂාව පෙරටුවේ තබාගෙනය.

යට කී ලෙස දෙමළ ජනයා හා මුස්ලිම්වරුන් මුහුණ දෙන පීඩනයට මුහුණදීමේදී ඔවුන් ඒ කටුක තත්ත්වයන් අනුසාරයෙන් වුවද අවම වශයෙන් තමන්ට වැදගත් ඉතිහාසයක් නිර්මාණය කරගෙන ඇතත්, සිංහල බෞද්ධ අපට සිදුව ඇත්තේ පීඩකයාගේ හා ඝාතකයාගේ වෙස් මුහුණු පැළඳීමටය. බුදු දහම මේ භූමියේ උපන් සිංහල ජාතියට අනර්ඝ සංස්කෘතික මිශ‍්‍රණයක් ලබාදුන් දහමකි. අන් කවර ආගමකටවත් නොමැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග මුල් බුදු දහමට ම (බුදුන් දෙසූ දහමටම) ඇතුළත් ධර්මයකි. සකල විධ වර්ගවාදයන් මූලික දහම තුළින්ම ප‍්‍රතික්ෂේප කළ අතිඋතුම් සද්ධර්මයකි. හින්දු සංස්කෘතිය තුළින් අනාදිමත් කාලයක සිට කුල පීඩනයෙන් බැට කෑ ඉන්දීය දලිත්වරු සිය නායකයා (ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදකයා මෙන්ම ඉන්දියාව බිහිකළ අතිශ්‍රේෂ්ඨ උගතෙකි) වූ ආචාර්ය ඇම්බෙඩ්කාර් සමග බුදුදහම වැළඳ ගන්නේ වර්ගවාදයට සැබෑ බුදුදහමේ ඉඩක් නැති නිසාය.


බොදු බල සේනා
Nation.Lk | Pic by Rukshan Abeywansha

එහෙත් අද ලංකාවේ බුදුසමය අයාලේ යමින් එහි සාරර්ථයන් විනාශ කරගන්නා භික්ෂු සමූහයකගේ ගොදුරු බවට පත්ව පවතී. ලංකාවේ පොලිස්කාරයා දෙස පොදුවේ ජනයා දකින්නේ සාම්ප‍්‍රදායිකවම අයහපත් ආකල්පයකිනි. ඒ තත්ත්වයට අද බෞද්ධ භික්ෂුව ද පත්ව සිටී. ලංකාවේ භික්ෂුව අයාලේ ගොස් ඇති තරමටම බුදු සමය ද අයාලේ ගොස් ඇත. විවිධ ස්වරූපයේ භික්ෂු හැසිරීම් බෞද්ධ ස්ථාපිතයේ පවත්නා සාරාර්ථයන් හා අනාගතවාදී ගුණය සුණු විසුණු කරමින් පවතී. බොදු බලසේනා, සිංහල රාවය, රාවණා බලය වැනි අන්තවාදී හැසිරීම් බොහෝ කිට්ටුවන්නේ සහයෝගශීලී බුදු දහමට නොව මැද පෙරදිග මුස්ලිම් යුදෙව් හා කි‍්‍රස්තියානි මූලධර්ම වාදීන්ටය.

මේ තත්ත්වයට සියම්, අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි නායකත්වයන් මුළුමනින්ම වගකිව යුතුව පවතී. ඔවුන් සියවසකට පමණ වැඩි කාලයක් තිස්සේ තම භික්ෂු සංඝයා මෙහෙයවීමේ වගකීම පැහැර හැර ඇත. මේ භික්ෂු නායකයෝ වෙනස් වන ලෝකය හඳුනා ගැනීමේ හැකියාව තමන් නොලද්දාහු මෙන්ම තම පිරිවර භික්ෂුන් ද එමගට යොමු නොකළහ. සියම් නිකායික භික්ෂුහු සිය පාරම්පරික ඉඩකඩම් හා එයින් ලැබෙන අස්වැන්න රැකබලා ගන්නා ආරක්ෂකයන් පිරිසක් බවට පත් වූ අතර ධනය රැඑස්කිරීම පිළිබඳව හා අල්පේච්ඡතාව පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීම් අමුඅමුවේ උල්ලංඝනය කළහ. ආවා වූ නොආවාවූ සංඝයාට පොදුවේ අයිති පන්සල් හා දේපළ තම සන්තකයේ රඳවා ගැනීමට උසාවිගානේ වඩින්නට භික්ෂුන්ට සිදු විය. ධනයෙන් ආඪ්‍ය වූ මේ භික්ෂූන්ගෙන් ඇතැමුන් අනියම් පවුල් ගොඩනගමින් අනාචාර ජීවිතයකට ද ඇබ්බැහි වූහ. දේපළ රැකීමට දේශපාලකයන් අවශ්‍ය වූ නිසා කවර තරමේ දුෂ්ඨයෙකු වුවත් තම අරමුණු උදෙසා කැමැත්ත පළකරන දේශපාලකයාට සහාය දැක්වීය. ඒ මදිවාට ගොවිගම කුලයට පමණක් සියම් නිකාය විවෘත කිරීම මගින් නවීනත්වයේ මන්දමාරුතයත් සමග විනාශ විය යුතුව තිබුණු ශී‍්‍ර ලාංකික කුලවාදයේ කෲර ආරක්ෂකයන් වීමට සියම් නිකායික භික්ෂුන්ට සිදුවිය.

සියම් නිකාය ගොවිගම කුලයට සීමාවීමෙන් අන්‍ය කුලයන් ලද බලවත් සමාජ පීඩාව අමරපුර හා රාමඤ්ඤ නිකායන් බිහි කළේය. එනයින් අමරපුර නිකාය ගොවිගම නොවන කුලයන්ගේ ආරක්ෂකයා ද ප‍්‍රකාශකයා ද බවට පත්විය. අද තත්ත්වය වන්නේ අමරපුර නිකායේ කුල නියෝජනයේ සුළුතර මානසිකත්වය නිසා ඔවුන් සියම් නිකායටත් වඩා කුලවාදී වීමයි.

පසුගිය සියවස් එකහමාර පමණ තුළ බුදුදහමට ඉඳුරාම පටහැනි කුලය නම් ප‍්‍රපංචය රැකගැනීම හා ධනය රැස්කිරීම හරහා බෞද්ධ භික්ෂුවට තිබිය යුතු නිරවුල්ව ලොව පිරිසිඳ ගැනීමේ හැකියාව ලබාදුන් ශාස්තෘවරයාගේ මග ගැනීමට නොහැකි විය.

ඒ එක පැත්තකි. සාම්ප‍්‍රදායික ලාංකේය බුද්ධාගමේ ප‍්‍රධාන නිකාය තුනට ඇතුළත් නොවුණු ඇතැම්හු භික්ෂු වෙස් ගෙන බුදු දහමේ තාර්කිකත්වය කෙලෙසන අපාය හා දෙව්ලොව පෙන්වමින් ලක්ෂ ගණන් ජනයා ආගමික උන්මාදයකට ඇදදමමින් සිටිති. මේ ඇතැම් භික්ෂූහු අමරපුර නිකායට අයත් ඉතා සුළු කුලයන් නියෝජනය කරන සාමාජික සංඛ්‍යාව දහයකට පහළොවකට සීමාවුණු නිකායන්හි මහණ වී නිකාය මුද්‍රාව ලබා ගනිති. කවුරු හෝ ප‍්‍රශ්න කළහොත් කියන්නට එමගින් නිකාය සබඳතාවන් තනාගනිති.


රාවණා බලය

මේ ආකාරයට විපරීත වූ භික්ෂු සමූහ එක් පැත්තකින් රණකාමීවත්, අනෙක් පැත්තෙන් මරණින් මතු ලෝකයට ඇති බිය දඩමීමා කරගෙනත් සමාජ දේශපාලනිකව හා ආර්ථිකව අසරණ ජනයා මුලා කරමින් තම අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටිති. රණකාමී භික්ෂු නායකත්වය ජාතීන් අතර පැවතිය යුතු අත්‍යවශ්‍ය සාමය හා සංහිඳියාව විනාශ කරද්දී ආණ්ඩුව මෑතකාලීන දේශපාලන වාසි තකා නිහඬව සිටියි. නැත්නම් උඩගෙඩි දෙයි.

භික්ෂුවක් වීම පුද්ගල මනුෂ්‍ය ජීවිතයක බලවත් කැපකිරීමකි. ඒ කැපකිරීමෙන් වන පීඩාව මග හරවා ලිය හැක්කේ භික්ෂුවක වීමේ අරමුණු වන දහම හැදෑරීම හා එහි නිරවුල් ලෙස නිරත වීමෙනි. ඒ නිරතවීම බුදුන් දවස සංඝයාගේ හෝ අද සංඝයාගේ කියා වෙනසක් නැත. එසේ චීවරයක් දරා ගැනීමෙන් පසු කළ යුතු දෑ බුදුන් වහන්සේ විසින් නිරවුල්ව දේශනා කර ඇත. එය නොපිළිපදින භික්ෂුවට තම කැපකිරීම පිළිබඳ හීනමානයක් හා කාංසාවක් ඇතිවේ. අත්හරින තම ජීවිතය පිළිබඳ රෞද්‍ර ශෝකයක් ඇතිවේ. භික්ෂුවක් බුදුන් දෙසූ මාර්ගයේ ගමන් නොකරන විට ජීවිතය භුක්ති විඳින ගිහියන් කෙරේ ඊර්ෂ්‍යාවක් ඇතිවේ. බුද්ධ මාර්ගයෙන් පිට පනින සමාජ විරෝධියකු බවට පත්වේ. බාල දැරියන් සිරකරගෙන ලිංගික අතවරයන්ට ලක්කරන්නේත්, ගිහියකුටත් වඩා අන්තවාදිව තක්කඩිකම් කරන්නේත්, බේබදුකමට පෙළඹෙන්නේත් හා විකෘති කාම අපරාධ සිදුවන්නේත් මහත් කැපකිරීමෙන් ලද භික්ෂුභාවය එතැන් සිට බුදුන් දෙසූ මාර්ගයේ නිරවුල්ව ගමන් නොකරන නිසාය. මේ තත්ත්වයට වගකිව යුත්තේ නොමග ගිය භික්ෂුන්ට වඩා ඔවුන් අයත් නිකායන්හි භික්ෂු නායකත්වයයි.

අද දක්නට ඇත්තේ දැනුවත් බෞද්ධයන් දුර්මුඛ කරවමින් සමාජ සාමගි‍්‍රය විනාශ කිරීමටත් ගැඹුරු ලෙසම සංහිඳියා සම්පන්න සිංහල බෞද්ධ සාරවත් උරුමයට විෂ කැවීමටත් මේ භික්ෂූන් කි‍්‍රයාකිරිමයි.

(රාවය පුවත්පතෙහි මුල් වරට පළ විය.)

චන්ද්‍රරත්න බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කික්කි- මොනවා ලිවිං ටුගෙදර් කරන්න? චීයා අනේ ඔයා නං මහ ඕන්නෑ මට බෑ බෑ බෑමයි. මාත් ආස නැද්ද දවසක වේල් එකක් දාලා මල් පොකුරක් අරන් පෝරුවක නැගලා....
කුක්කා- ඉතින්...?
කික්කි- ඉහි ඉහි ඉහි ඔයාලට තේරෙන්නෑ අනේ කික්කියෙක්ගෙ හිතේ තෙරපෙන මෙව්වා එක...
කුක්කා- හරි හරි එහෙනං ඉතිං ළඟම තියන පොලීසියට ගිහින් බඳිමුකෝ..
කික්කි- ප්‍රොමිස්?
කුක්කා- හ්ම් හ්ම් ප්‍රොමිස් ප්‍රොමිස්...!

(නොමිලේ පළ කෙරෙන වෙළඳ දැන්වීමකි.)

ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(දෙනමිණ. සැප්තැම්බර් 28, 2013) වැලිවේරිය ත්‍රිපුද්ගල මිනිස් ඝාතනයට තුවක්කු පත්තු කිරීම සම්බන්ධයෙන් ලෝකයේ අහිංසකම හමුදාවේ කීප දෙනෙකු විත්තිකරුවන් වූ නමුත් ඝාතනයට අණ දුන්නේ කවුද යන්න මේ වන තුරුත් අබිරහසක්ව පැවතිණ. මේ සම්බන්ධයෙන් රහසිගත පරීක්ෂණයක නිරත වූ දෙනමිණ ගවේෂණාත්මක මාධ්‍යවේදී කණ්ඩායමක් එම රහස හෙළිදරවු කර ගැනීමට ඊයේ සමත් විය.

හමුදාව වෙඩි තැබූ නමුත්, හමුදා විනය ප්‍රකාරව කිසියම්ම හෝ කෙනෙක් මේ සඳහා අණ දී තිබීම අත්‍යාවශය යන මතයේ තරයේ පිහිටා කළ එම ගවේෂණයෙන් හෙළි දරවු වී ඇත්තේ ඒ සඳහා අණ ලබා දී ඇත්තේ ජෙනරාල් ඇල්කසා(ර්) නැමැති විදෙස් හමුදා ආඥාදායකයෙකු විසින් බවයි. සැන් තියඩෝර් නම් රටෙහි හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් වූ මේ පුද්ගලයා, ඔහුගේ සතුරාවන ජෙනරාල් ටැපියෝකා සමග දිගු කාලීන ගැටුමක පැටලී සිටියි. වැලිවේරිය තෙවන පාර්ශ්වය සමග ටැපියෝකාගේ හමුදා සම්බන්ධව සිටින බවට ව්‍යාජ තොරතුරක් සැල වීමෙන් නොමග ගිය ජෙනරාල් ඇල්කසා(ර්), වහාම බ්‍රිගේඩියර් දේශප්‍රියගේ සන්නිවේදන උපකරණ හැක් කොට සමුලඝාතන විධානය ලබා දී තිබේ. මේ සියළු තොරතුරු දෙනමිණට රහසිගත මාර්ගයකින් සැපයූවේ, අන්තර්ජාතික විශේෂඥ මාධ්‍යවේදී ටින් ටින් මහතා වන අතර මෙවැනි කුමන්ත්‍රණ හෙළිදරවු කිරීමට ටින්ටින් කණ්ඩායම බැඳී සිටින බව කැප්ටන් හැඩොක් දෙනමිණට පවසා සිටියේය. ටින්ටින් මහතා, හැඩොක් මහතා සහ ස්නෝවි මහතා මේ වන විට බෙලරූස් රටෙහි ඇසිඩ් ෆැක්ටරියක් සම්බන්ධයෙන් වෙනත් ගවේෂණයක නිරත වෙමින් සිටිති.

මේ වන විටත් විමල් රාවණවංස මහතා එම බලකාය ද සමග සැන් තියඩෝර් තානාපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයකට සැරසෙන අතර දෙනමිණ ගවේෂණයට ස්තූති කළ කොට මොඩල් ළඟ පිකප් ඩලා බෝයි මැතිතුමා පැවසුවේ, මේ සමගින් සියළු සැක සංකා දුරු වී ඇති නිසා කොළොම්තොටෙන් නැව් නැංග අපේ රටේ මනුස්සකම මේ වන විට මාගම්තොටෙන් යළි ලංකාවට සැපත් වී ඇති බවයි.

ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කට පියා හිටියට
වහගෙන ගුහාවෙහි දොර
ඌ කවුද කොහොමද
දැන දැන
මුර කරයි
ගුහාවෙහි දොරකඩ

උගෙ සැපත
මුගෙ පැවැතීම
එළු බලු හාදකම මෙන

අරකෙන් මේක
මේකෙන් අරක
වහන්නට සිදුව
අවලමා කරන වැඩ

කාසියක් උඩ දමා
රැජිණ ජනරජය පෙන්නා
සාක්කුවට අත දා
ආත්මය මිලට ගන්නා

හොඳ හිත
දෙන ගමන් හංගන
බොහෝ දෙය
අවලං හදක
රිද්මය
වහලෙකුට සිය පැවැත්මය

සත්‍යය සොයා උඩ බිරූ
විමුක්තිය පතා හඬ නැගූ
සිංහ සෙයියාව රජ වූ
අවලෙමෙකුට බලු වූ

මුරිච්චි ඇණ
බුරුල් කර
තද කර
අවලමා ද නටවන
නටවන ගමන් නැටවෙන
පෙරහැරද නර්තන ද
නැට්ටුවන් වේය අවලමුන් සුරකින

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බිම්බරක් ගල්තලා ගිලගෙන
සඟවාන කුස ගැබ
යන්තමින් වෙරළේ ඉතිරි වුණ
හුණු ගලත් ලෙවකන
මසුරු සයුරක වෙළඳ රළ
ගැටෙන විසිරෙන මායිමේ සිට

නොවටිනා කිරි කවඩි ඇහිඳින
හුදී ජනයා ගෙදර ගෙනයන
දෙකේ පන්තියෙ පෙට්ටි ඇදගෙන
තුනේ පන්තියෙ පෙට්ටි පෝලිම
පහුකළා ඉස්ටේසම

අනුන්ගෙ මුහුලසක දූවිලි මත
උලා දහඩිය මොහොතකට පැල කළ
කිඩාරම් පෙම් පැල වහ වහා දළු ලා
මල් පිපෙද්දී පෙට්ටි තුළ
කවුද ඇද්දේ
හදිස්සියකට අදින දම්වැල

කිඩාරම් මල් කවුළුවෙන් පැන
වහසි සරදම් විසුරුවාලයි
රේල් රෝදෙට ඇඹරිලා ගිය
කපුරු මල් දෙක දැක
පමාවට වියරුවෙන් පුපුරන පුහු දනන්
සීරුවෙන් හිටගෙන
පැවැත් වූ නිහඬතාවය ප්‍රේමයට ගරු කර
බාගෙකට කෙටි කර
ලෙලවීය
ගාඩ් කොඩියක් කොළ


කපිල මහේෂ් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හරි සැරයි
ගොර බිරම්
මහ මුහුද
ඇසිල්ලක්
ඇතිය
වැටෙන්නට
පය
පැකිළ
මහ දවල්
සැරිසරති
කළු යක්කු
ගොඩබිම.
හොඹු
ඔබති
දිව
දමති
කර කැවෙති
හාත්පස.
යම් කෙනෙක්
සිටිය
යුතු ම ය
කුඩය යට
උරට උර
තබන්නට.

[-එළිමහන් කවි හා ගුහා කවි]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'ගෝලීය පාර්ලිමේන්තුව', 'විශ්වීය පුරවැසියා' වැනි සංකල්ප බටහිර සහ යුරෝපීය ශාස්ත්‍රීය සංවාද තුල වර්තමානයේදී නිරන්තරයෙන් කතා බහට ලක්වෙන මාතෘකා වේ. සමහර අවස්ථාවලදී එය ශාස්ත්‍රීය සංවාද තලයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික දේශපාලන තලයේ ද ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඒ සඳහා සැලකිය යුතු මුල්‍යමය දායකත්වයක් මෙන්ම පිළිගත් 'බුද්ධිමතුන්'ගේ ශ්‍රම දායකත්වයද ලබා දෙනු නිරීක්ෂණය කල හැකිය. පසුගියදා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර 'දර්ශීය ගෝලීය පාර්ලිමේන්තුවක' සැසි වාරයක් දේශපාලන නායකයින්, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් සහ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර මෙම සටහන ඒ පිලිබඳ දේශපාලනික විචාරයකි.

ගෝලීයකරණ සංකල්පයත් සමඟ හුදෙක් තනි තනි රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවාට වඩා සමස්ත ලෝකයම 'විශ්ව ගම්මානයක්' ලෙස සලකා කටයුතු කිරීමේ ප්‍රවණතාවය පසුගිය දශකයකට අසන්න කාලය තුල සුලභව දක්නට ලැබුණු කරුණක් විය. තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟම ලෝකයේ එක් අන්තයක සිදුවන්නේ කුමක්ද යන්න අනෙක් අන්තයේ සිටින්නවුන්ට එසැනින් දැන ගැනීමේ හැකියාව උදාවිය. ඒ ඔස්සේ භූගෝලීය ඉතා දුරස්ව වෙසෙන මිනිසුන්ට එකිනෙකාගේ සමාජ- සංස්කෘතික ජීවන රටාවන් පිලිබඳ සමීප අවබෝධයක් ඇති කරගැනීමේ ඉඩ ප්‍රස්තාවන් විවර විය. මෙවැනි තත්වයක් තුල ජාත්‍යන්තර සහයෝගිතාවයන් ගොඩනගා ගැනීම හරහා ලෝකයේ බහුතරයක් 'සංවර්ධනය වෙමින් පවතින' යැයි හඳුනා ගැනෙන රටවල වෙසෙන මිනිසුන්ගේ ආර්ථීක, සමාජීය සහ දේශපාලනික ගැටළු වලට තිරසාර විසඳුම් ලඟා කර ගැනීමට හැකි වෙතැයි සුභවාදී අපේක්ෂාවන් ජනිත විය. නමුත් වර්තමානයේදී ඒවා කොතෙක් දුරට සාක්ෂාත් වී තිබේද?

අනෙක් අතට 1980 දශකයේ සිට දේශගුණ විපර්යාසයන් සහ මනුෂ්‍ය වර්ගයා විෂයෙහි ඉන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිලිබඳ ලෝකය පුරා, විශේෂයෙන් 'සංවර්ධිත' රටවල බරපතල සංවාදයක් පවති. වර්තමානයේදීත් එම සංවාදය විවිධ තලයන් ඔස්සේ සිදුවෙමින් පවතිනු දැකිය හැකිය. එම සංවාදයන්හි මතුවන මුලික කාරණයක් වන්නේ හරිතාගාර ආචරණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහල යාම, ඕසෝන් ස්ථරය හානි වීම වැනි ගැටළු විශ්වීය ගැටළු ලෙස හඳුනා ගත යුතු අතර ඒවාට විසඳුම් සෙවිය යුත්තේද විශ්වීය මට්ටමෙන්ය යන්නය. එනිසාම, ජාතික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශ්වීය පුරවැසියන් ලෙස අප කටයුතු කල යුතු අතර ඒ සඳහා ජාත්‍යන්තර ආයතන සහ ව්‍යුහයන් ප්‍රතිෂ්ඨාපනය කර ඒවා බලාත්මක කලයුතු යයිද එවැනි සංවාද තලයන්හි නිතර අවධාරණය කෙරෙන තවත් කරුණකි.


දර්ශීය ගෝලීය ගෝලීය පාර්ලිමේන්තුව- කැන්බරා

ගෝලීය පාර්ලිමේන්තුව සහ විශ්වීය පුරවැසියා පිලිබඳ සංකල්ප මතු වන්නේ මෙවැනි පසුබිමකය. ඕස්ට්‍රේලියාව තුළ 'ගෝලීය පාර්ලිමේන්තුව' සංකල්පය ප්‍රවර්ධනය කරන ප්‍රධානතම දේශපාලන චරිතය වන්නේ ඕස්ට්‍රේලියානු ග්‍රීන් පක්ෂයේ (Australian Green Party) හිටපු නායකයා වන සෙනෙට් සභිකයෙකුද වූ බොබ් බ්‍රවුන්ය. 2011 වර්ෂයේ ජුනි මසදී කැන්බරා නුවර Nation Press Club හි දේශනයක් කරමින් ඔහු පවසා සිටියේ 'එක් පුද්ගලයෙක්, එක් වටිනාකමක්, එක් මනාපයක්' (One person, one value, one vote) යන තේමාව මුලික කරගෙන ගෝලීය පාර්ලිමේන්තුවක් එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ ගෝලීය ජන සභාවක් (United Nations Global Peoplezs Assembly) ස්ථාපිත කලයුතු අතර ඒ හරහා න්‍යෂ්ටික අවි ප්‍රවර්ධනය, මුල්‍ය පාලනය, පරිසර පද්ධති විනාශ වීම වැනි ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමුකර කඩිනම් පියවර ගත යුතු බවයි. තවදුරටත් ඔහු මතු කරන්නේ ලෝකයේ සමස්ත වත්කම් වලින් 85% ක් පමණ පරිහරණය කරන්නේ 10% ක් පමණ වන ධනවත් පිරිස වන අතර හමුදා මෙහෙයුම් වෙනුවෙන් වැය කරන වියදම් වලින් දහයෙන් පංගුවක් පමණක් වැය කර සාගත වලින් පීඩා විඳින සහ අධ්‍යාපන මට්ටම් වලින් පහල සිටින ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවිය හැකි බවය.

'විශ්වීය පුරවැසියා' (World citizen) පිලිබඳ සංකල්පය සහ එහි වැදගත්කම පිළිබඳව ඉතා දැඩිව මතු කරන මෑත කාලීන චින්තිකාවකි, මාර්තා නස්බෝම්. ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් විශ්වීයව සිතන; සියළු ආකාරයේ පහත් කොට සැලකීම් හෙලා දකින; සහනුකම්පිත පරිකල්පනයෙන් (Empathetic Imagination) හෙබි විශ්වීය මට්ටමින් සිතන පුරවැසියෙකු බිහි කිරීමේ වැදගත්කම ඉස්මතු කරන ඇය, ඒ සඳහා අධ්‍යාපනයට ඇති හැකියාව ද අවධාරණය කරනු ලබයි. ඝානා ජාතික දාර්ශනිකයෙකු වන ඇන්තනි ඇපියා (Anthony Appiah) උපුටා දක්වමින් ඇය මතු කරන්නේ සෑම මනුෂ්‍යයෙකුටම අපගේ අසල්වැසි පුරවැසියන් ලෙස සැලකිය යුතු අතර අප හමුවේ පවතින බරපතල ගැටළු අපට විසඳා ගත හැකි වන්නේ ඒවා සමස්ත මනුෂ්‍ය ප්‍රජාවටම බලපාන ගැටළු ලෙස සිතීමෙන් පමණක් මිස ඒවා එක් රටකට හෝ එක් කලාපයකට පමණක් සීමාවූ ගැටළු ලෙස සිතීමෙන් නොවන බවයි.

සංකල්පයක් විදිහට ගත්කල 'ගෝලීය පාර්ලිමේන්තුව' සහ 'විශ්වීය පුරවැසියා' යන සංකල්පයන් ඉතා වැදගත් බව අවිවාදිතය. කුමන රටකට, ජාතියකට, හෝ වර්ණයකට අයත් වුවද සෑම මනුෂ්‍යයෙකුටම එක හා සමාන අයිතිවාසිකම් උරුම බව පිළිගැනීම සහ එය ලබාදීම වෙනුවෙන් දේශපාලනිකව ක්‍රියාත්මක වීම ඉතාමත් රැඩිකල් දේශපාලනික පියවරකි. සැබවින්ම, පංති විරහිත සමාජ ක්‍රමයක් එසේත් නැත්නම් කොමියුනිස්ට් සමාජ ක්‍රමයක මුලිකම අදහස එයයි. නමුත් ගැටළුව වන්නේ එවැනි තත්වයක් ලඟා කර ගැනීමට පවතින බාධක මොනවාද යන්නයි. දැනට පවතින ජාත්‍යන්තර ආයතන සහ ව්‍යුහයන් අතුරින් ප්‍රධානතම සහ වැදගත්ම ව්‍යුහය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් පසු ඒ වෙනුවෙන් ප්‍රතිකර්ම යෙදීමටත් නැවත එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ මුලික අරමුණ විය.


සෝමාලියාව- කුසගින්නේ දේශපාලනය.
AP Photo/Rebecca Blackwell


වර්තමානය වනවිට ලෝකයේ රටවල් 193 ක් එහි සාමාජිකත්වය දරණ අතර එ.ජා. සංවර්ධන වැඩ සටහන (UNDP), එ.ජා. පරිසර වැඩසටහන (UNEP), එ.ජා. මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් (UNHCR) , එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), යුනෙස්කෝ (UNESCO) යනාදී ලෙස සෑම විෂය ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදී වෙන වෙනම අංශයන් ක්‍රියාත්මක වේ. එසේ තිබියදීත් ගෝලීය පාර්ලිමේන්තුවක් අපට අවශ්‍ය වන්නේ ඇයි? නිසැකවම පිළිතුර වන්නේ ඉහත කී ව්‍යුහයන් ගෝලීය අර්බුදවලට විසඳුම් ගෙන ඒමට අසමත් වී ඇති බවය. සැබවින්ම එය සත්‍යයකි. යුධ ගැටුම් නිසා ලක්ෂ සංඛ්‍යාත මට්ටමින් මිනිසුන් මරණයට පත් වීමට හෝ බොහෝ රටවල සිදු කෙරී ඇති සහ තවමත් සිදු කෙරෙමින් පවතින යුධ අපරාධයන් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට හෝ ආර්ථීක විෂමතාවයන් නිසා ලෝකයේ නන් දෙස ලක්ෂ සංඛ්‍යාත ගණනින් මිනිසුන් මිය යාමට හෝ අසහනයට පත්වීමට හෝ විසඳුම් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් සමත් වී නොමැත. යම් යම් කාරණාවලදී කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කලද සමස්තයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ප්‍රශ්න විසඳීමේදී අසාර්ථක බව පැහැදිලිය.

මීළඟට මතුවන කාරණය වන්නේ එකසත් ජාතීන්ගේ සංවිධානයේ එම අසාර්ථකත්වය පසුපස ඇති මුලික හේතූන් කුමක්ද යන්නයි. මා සිතන ආකාරයට එයට ප්‍රධානතම හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රය හසුරුවන්නේ ඇමරිකා එක්සත් ජනපදය (ඇ.එ.ජ.) ඇතුළු ලොව බලවත්ම රාජ්‍ය කිහිපය මගින් වීමය. අනෙක් අතට එම රාජ්‍යයන්ගේ අරමුණු සහ අභිලාෂයන් ගොඩ නැගෙන්නේ සහ හැසිරවෙන්නේ ධනේශ්වර සමාජ අවශ්‍යතා අනුවය. පසුගිය දශකයේදී ඇ.එ.ජ. විසින් ඉරාකය සහ ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමේ සිදුවීම් එය තේරුම් ගැනීමට ප්‍රමාණවත් වේ. වර්තමානයේදී ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත සම්පත් වලට ඉහල ආර්ථීක වටිනාකමක් මෙන්ම දේශපාලනික වටිනාකමක්ද පවතී. ලෝකයේ ඛනිජ තෙල් පරිභෝජනයෙන් ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ඇ.එ.ජ. වන අතර කැනඩාව, සවුදි අරාබියාව, මෙක්සිකෝව සහ වෙනිසියුලාව ඔවුන්ගේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවන් වේ. ධනේශ්වර ක්‍රමය තුල පැවැත්ම රඳා පවතින්නේ පවතින තරගකාරීත්වය තුල කොතෙක් දුරට සාර්ථක විය හැකිද යන්න මතය.

එය තනි තනි පුද්ගලයින්ට මෙන්ම රාජ්‍යයන්ටද එකසේ අදාලය. ආර්ථීක ප්‍රතිලාභ සහ භූ දේශපාලනික ප්‍රතිලාභ උදෙසා බලවත් රාජ්‍යයන් අතර පවතින තරගකාරීත්වයේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ යුධ ගැටුම්ය. චීනය, ජර්මනිය, රුසියාව වැනි අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින තරගයේදී උපක්‍රමික සම්පතක් වන ඛනිජ තෙල් වල ආධිපත්‍ය නතුකර ගැනීම ඇ.එ.ජ.ට ඉතා වැදගත් වන අතර ඉරාක ආක්‍රමණයේ මුලික අරමුණ එයයි. ඉරාකය විසින් ජෛව රසායනික අවි නිපදවමින් සිටී යන්න සැබවින්ම තම ආක්‍රමණය සුජාත කර ගැනීම උදෙසා ලෝකයා ඉදිරියේ තැබූ හේතුවක් බව මේ වනතෙක්ම එවැනි ජෛව රසායනික අවි කිසිවක් ඉරාකයෙන් සොයා ගත නොහැකි වීමෙන්ම ඔප්පු වේ. අනෙක් අතට ඉරාකය විසින් සැබවින්ම එවැනි ජෛව රසායනික අවි නිෂ්පාදනය කළා යයි මදකට උපකල්පනය කලත් එය හේතුවක් කරගෙන ඉරාකය ආක්‍රමණය කිරීමට ඇ.එ.ජ.ට ඇති අයිතිය කුමක්ද? එවැනි අයිතියක් ලබා දුන්නේ කවුරුන් විසින්ද? සමස්ත ලෝකයම කිහිප වාරයක් විනාශ කිරීමට සමත් ජෛව රසායනික අවි මෙන්ම න්‍යෂ්ටික අවිද සතු ඔවුන්ට අන් රටක් විසින් එවැනි අවි නිපදවනවානම් එයට එරෙහි වීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? වර්තමානයේදී අප විසින් සැබවින්ම මතු කල යුත්තේ මෙවැනි ප්‍රශ්නය. ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීම පිටුපස ඇති මුලිකම කාරණය උපක්‍රමික සම්පත් වලට වඩා කලාපයේ භූ දේශපාලනික ආධිපත්‍ය තහවුරු කර ගැනීමය. ඇෆ්ඝනිස්තානය එක් පසෙකින් ඇ.එ.ජ.යේ ප්‍රධානතම තරඟකරුවන් වන රුසියාව සහ චීනයට යාබදව පිහිටා ඇති අතර අනෙක් පසින් පකිස්ථානයට සහ ඉරානයට යාබදව පිහිටා ඇත.


වෝල් වීදිය- අනූ නමයක්ම වෝල් වීදියට වැටීම.

ලිපියෙහි ප්‍රස්තුතයට අදාල වැදගත්ම කාරණය වන්නේ මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැසිරීම කුමක්ද යන්නයි. ඇ.එ.ජ. විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර ඒ සඳහා යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් විය. එම යෝජනාව පරාජයට පත් වුවත් ඇ.එ.ජ. තම සිතැඟි පරිදී ඉරාකය ආක්‍රමණය කළේය. ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට නොහැකි විය. ලෝක ප්‍රජාවගේ අවධානයට එතරම් යොමු නොවූ තවත් සිදුවීමක් නම්, 2009 වර්ෂයේදී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියන් ඝාතනය වීම් සහ තුවාල ලැබීම් හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වූ අසාර්ථක බවයි. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාව පිලිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ (දරුස්මාන් කමිටුවේ) සාමාජිකයෙකු වූ ස්ටීවන් රැට්නර් (Stephen Ratner) මහතාගෙන් මා පුද්ගලිකවම විමසූ කල ඔහුගේ පිළිතුර වූයේ එම කාලවකවානුවේදී ඇ.එ.ජ.යේ බලහුවමාරුවක් (බුෂ් පරිපාලනයෙන් ඔබාමා පරිපාලනය වෙත) සිදුවෙමින් පැවති අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරයේ ගැටුම් උග්‍ර වෙමින් පැවතුනි. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය ලංකාව වෙතින් ගිලිහුණු බව ඔහුගේ අදහස විය. එමෙන්ම, වර්තමානය වන විටත් ලංකාව තුළ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය වීම් වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකි වී තිබෙන්නේ බලවත් රටවල් අතර ඇති තරගය තුල භූ දේශපාලනික සාධක මත විශේෂයෙන් චීනය සහ රුසියාව ලංකාණ්ඩුවට සහයෝගය දක්වන නිසාය. මෙවැනි උදාහරණ තව බොහෝය. එබැවින්, ගෝලීය පාර්ලිමේන්තුව වැනි නව ව්‍යුහයන් වෙත යාමට පෙර පවතින ව්‍යුහයන් අසාර්ථක වීමට බලපා ඇති හේතු මොනවද? සහ නව ව්‍යුහයන් තුලදී එවැනි කරුණු මග හරවා ගන්නේ කෙසේද යන්න මුලින්ම සලකා බැලිය යුතුය.

අනෙක් අතට බොබ් බ්‍රවුන් මහතා මතුකරන පරිදී ලෝකයේ වත්කම් වලින් 85% ක් පමණ 10% ක් පමණ වන ධනවත් පිරිස පරිභෝජනය කරන්නේ ඇයි? එසේත් නැත්නම්, ලෝක ජනගහනයෙන් 90% ක් පමණ පිරිසකට වත්කම් වලින් 15% ක් පමණක් භුක්ති විඳීමට සිදුවී තිබෙන්නේ ඇයි? ලෝක ආහාර ඉල්ලුම මෙන් දෙගුණයකට ආසන්න සැපයුමක් තිබියදීත් මිලියන ගණනින් මිනිසුන් කුසට අහරක් නොමැතිව මිය යන්නෙත් මන්ද පෝෂණයෙන් පෙලෙන්නෙත් ඇයි? මේ ප්‍රශ්නාවලිය තව බොහෝ දිගුය. මේවාට විවිධාකරයේ පිළිතුරු විවිධ පුද්ගලයින් විසින් ලබා දෙනු දැකිය හැකිය. සමහරෙකුට අනුව එය හුදෙක් එලෙස දුක් විඳින මිනිසුන් විසින් උපතින්ම උරුම කරගත් දෙයක් වන අතර තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීම ඔවුන්ගේ පුද්ගලික වගකීමකි. තවත් අයෙකුට අනුව, එම තත්වයට මුලිකවම වගකිව යුත්තේ එකී රාජ්‍යයන් සහ දේශපාලන නායකයින්ය. එකී රාජ්‍යයන්හි දේශපාලන නායකයින් සහ ජනතාව, ඔවුන්ට උරුම වී ඇති අවාසනාවන්ත තත්වයන්ට යම් දුරකට වගකිව යුතු මුත් එයට ප්‍රධානතම හේතුව පවතින ධනේශ්වර සමාජ ආර්ථීක රටාව බව මගේ අදහසයි. මන්ද, ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට එම ආර්ථීක ධ්‍රැවීකරණය අත්‍යවශ්‍යය. ධනේශ්වර ක්‍රමයේ පදනම වන අතිරික්ත වටිනාකම ගොඩ නැගෙන්නේ මෙම ආර්ථීක ධ්‍රැවීකරණය ඔස්සේය. තම නිෂ්පාදනවල මිල ඉහල අගයක තබා ගැනීමට ඇ.එ.ජ. වැනි 'සංවර්ධිත' රටවල ආහාර තොග පිටින් විනාශ කෙරෙන්නේ සමහර අප්‍රිකානු රටවල ළමුන් ඇතුළු මිනිසුන් ලක්ෂ ගණනින් මියයන අතරතුරය. අවම පහසුකම්වත් නොමැතිව බංග්ලාදේශය වැනි රටවල ඇඟලුම් කර්මාන්තශාලා කඩා වැටී දහස් ගණනින් මිනිසුන් මිය යන්නේ ලෝක වෙළඳපොළෙහි තරඟකාරීත්වය වෙනුවෙන් ලාභ ශ්‍රමය උදෙසා බහු ජාතික සමාගම් විසින් 'සංවර්ධනය වෙමින් පවතින' රටවල කෙරෙන ආර්ථීක ආයෝජනවල ප්‍රතිඵල ලෙසය. මෙවැනි උදාහරණ තව ඕනෑතරම් ඉදිරිපත් කළ හැකිය. එබැවින්, ආර්ථීක අසමානතාවයන් නඩත්තු කිරීම ධනේශ්වර ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණයක් වන අතර එහි පැවැත්මට එය අත්‍යවශ්‍ය වේ.


සිරියාව- මරණයේ තිත්ත රසායනය.

ගෝලීය පාර්ලිමේන්තුවට අදාලව මුලිකවම සාකච්ඡා වෙන කාරණයක් වන්නේ දේශගුණ විපර්යාසයන් සහ පරිසර විනාශයයි. පරිසර විනාශයට මුලිකම හේතුව වන්නේ මිනිසුන්ගේ අධිපරිභෝජන ජීවන රටාවයි. එනම්, වෙළඳපොල විසින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අනවරත ලෙස ගොඩනගන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තම ජීවන පැවැත්මට සරිලන මට්ටමට වඩා භාණ්ඩ හා සම්පත් පරිභෝජනයට මිනිසුන් පෙළඹේ. මෙයද ධනේශ්වර ක්‍රමයට ආවේණික මෙන්ම අත්‍යවශ්‍යය අංගයකි. මන්ද, වෙළඳපොල තුල තරගකාරීව රැදී සිටීමට නම් හැකිතාක් ලාභය වර්ධනය කර ගැනීම අනිවාර්ය වේ. ලාභය උපරිම වන්නේ පරිභෝජනය උපරිම වන තරමටය. සම්පත් වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම පරිසර දූෂණයට මෙන්ම එම සම්පත් ක්ෂය වීමටද සෘජුවම බලපානු ලැබේ. එමනිසා, පරිසර සංරක්ෂණයට හෝ දේශගුණික විපර්යාස නිසා සිදුවිය හැකි හානිකර තත්වයන් අවම කිරීමට නම් මිනිසුන්ගේ වත්මන් අධිපරිභෝජන රටාවන් වෙනස් කිරීම එසේ නැත්නම් සරළ පරිභෝජන රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත් එය ධනේශ්වර ක්‍රමය තුල කිසිදිනෙක අපේක්ෂා කල නොහැක්කේ එසේ වීම ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට සෘජු ලෙසම තර්ජනයක් වන නිසාය.

මේ අනුව, අවසන් වශයෙන් සඳහන් කල යුත්තේ 'ගෝලීය පාර්ලිමේන්තුව' හෝ 'විශ්වීය පුරවැසියා' වැනි අදහස්, සංකල්ප ලෙස වැදගත් වුවත් පවතින ධනේශ්වර දේශපාලන ක්‍රමය තුල ඒවා යථාර්තයක් බවට පත් කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා තරම්වත් ලෙහෙසි නොමැති බවයි. එය යථාර්තයක් බවට පත්කළ හැක්කේ පවතින ආර්ථීක, සමාජීය සහ දේශපාලනික විෂමතාවලට එරෙහිව සිදු කරන දේශපාලන අරගලයකින් පමණි. එවැනි අරගලයකින් තොරව සිදු කෙරෙන වැඩමුළු, සාකච්ඡා, සංවාද යනු කාලය සහ ශ්‍රමය නාස්ති කිරීමක් පමණක් වන අතර එමඟින් මිනිසුන් සැබෑ ප්‍රශ්ණයට අභිමුඛ වනවා වෙනුවට වෙනත් දිශානතීන් කරා යොමු කෙරේ. මෙවැනි ලිබරල් ක්‍රියාමාර්ගයන් හරහා මිනිසුන් තුළ, විශේෂයෙන්ම තරුණ තරුණියන් තුල පවතින රැඩිකල් දේශපාලනික ශක්‍යතාවයන් මොට කෙරෙන අතර එය පෙරලා ධනේශ්වර දේශපාලන ක්‍රමය ශක්තිමත් කිරීමට හේතුවන බවද සඳහන් කළ යුතුය.

ස්ලෝවේනියානු දාර්ශනික ස්ලෙවෝයි ශිෂෙක් (Slavoj Zizek) විසින් ප්‍රකාශ කර ඇති දේශපාලනික විහිළුවක් ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වේ යැයි සිතමි.

ජර්මන් කම්කරුවෙකුට සයිබීරියාවේදී රැකියාවක් ලැබුණි. ඔහුට අදාල ලියුම පාලකයින් විසින් විවෘත කර කියවන බව දන්නා බැවින් ඔහුගේ මිතුරන්ට ඔහු මෙසේ පැවසුවේය. "අපි සංකේතයක් යොදා ගමු; සාමාන්‍ය නිල් පාටින් ලියපු ලියුමක් මගෙන් ලැබුනොත් ඒකේ ලියලා තියෙන දේවල් ඇත්ත. රතු පාටින් ලියලා තිබුණොත් ඒ කියන්නේ බොරු."

මාසයකට පසුව ඔහුගේ මිතුරන්ට නිල් පාටින් ලියැවුණ පළමු ලියුම ලැබිණ.

"මෙහෙ සියල්ල පුදුමාකාරයි. ගබඩා පිරිලා, ආහාර සුලබයි, නවාතැන් විශාලයි වගේම මනාව උණුසුම්, චිත්‍රපට ශාලාවල බටහිර චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා, ආදර සම්බන්ධතා ඇති කරගැනීමට ආශාවෙන් ඉන්න ගැහැණු ළමුන් බොහෝය. නැති එකම දෙය රතු තීන්ත පමණි."

එබැවින් වර්තමානයේදී බුද්ධිමතුන් විසින් කලයුතු වැදගත්ම කාර්යය වන්නේ නිවැරදි ප්‍රශ්න වර නැගීමයි.

උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



“විමුක්තියේ සැබෑ සෙනෙවිරදුන් වුයේ වික්ටර් හියුගෝ ය ; එහි මහා කාහල නාදය වුයේ ද ඔහු ම ය . එහි පණිවුඩකරුවා ද ඔහු ම විය . අවි ගනිව් ජනයනි , වහා ම අවි ගනිව් , කියන්නාක් වැනි විය ඔහුගේ හඬ.” (කොනස්ටැන්ටයින් පවුස්තවුස්කි- “රන්රෝස” ආරියවංශ රණවීර -පරිවර්තනය ,224 පිටුව)

“ කේක් කාපල්ලා පාන් නැත් නම්”
ප්‍රංශයේ සාරබිම හදවතින් සිප ගනිම්
කීප දොහක් යන තුරු
සිහිනයක් ම විය නුහුරු
ඉඳහිට හිරිපොද වැස්ස චුරු චුරු
දෙවනත් කරයි ගිම්හාන අහස කුස ගුවන් යානා අහස් කූරු
තද සීත නොව මද සීත විත් රාත්‍රිය කිතිකවයි ඇඟ මස හා රුහිරු

මිනිස් වග උදෙසා ම නිමා කළ වෙසෙස් අයුරින් උසස් දේ
ප්‍රංශය ද වීරයෙකි මේ මහා ඉතිහාස හිමාලය කන්දේ
ලෝකය නම් වූ මහා නෞකාවට මෙසක්වළ සමුදුරේ
චණ්ඩ මාරුත කාලයක ගමන් මඟ පෙන්වී ය මාලිමාවක් වගේ
ජනතාව බිඳ දැමූ “ බැස්ටීලයෙන්” තව ම දෙස් දෙනා හඬ ඇසේ
මහ පොළවේ නන් දෙසින් ඔබ තුරුල්ලට පැමිණි මහ පිරිස් අපරිමිත
ඔවුන් හා පෑහෙමින් සකල විධ බේදයන් පිටුවහල් කර වසත
නිදහස , සමානත්වය , සහෝදරත්වය නම් වූ ත්‍රිවිධ රත්නය සරණගත*

ප්‍රංශය අපි ඔබට කිසිදාක නො දක්වන්නෙමු අහිත
එහෙත් ඔබ ආදරය නිරුවතින් බැඳ දමා හිරිඔතප් ඇගෙ බිඳිත
ආචාර ලෝකය ම ඉරි තළා දෙදරවා ඇද හැලෙත
ප්‍රංශය අපි ඔබට කිසි දාක නො ළන් වී ගව් ගණන වෙමු ඈත

නිදහසේ උදාවට බුද්ධියේ හිරුමඩල මිහිතලේ විදා හළ
දර්ශනිකයෝ චින්තකයෝ කවියෝ කලාකරුවෝ බලා සිටිති කෞතුකාගාර තුළ
තම හැදින් තම කයින් පිරිපුන් ව නිමා කොට උදාර ව දායාද කළ
සියල්ල ම ඛේදවාචකයක් ව අයුරු දැක වී සසල

රූසෝ නම් වූ
ඒ මහා ප්‍රාඥ මානව හිතවාදියාගේ හිස ළඟ සිට ගතිම්
මගෙ ම හදවතට අමතලා හඬ නඟා කියම්
“මිනිසා නිදහස් ව ඉපදිණි එහෙත් හැම තැන ම භේ යදම් වලින් බැඳුණි
එක් මිනිසෙක් තමන් සෙස්සන්ගේ ස්වාමියා බව සිතයි ,
එහෙත් ඔහු ඔවුන් ට වඩා වැඩියෙන් දාසයෙක් වෙයි” **
ඔබ දසුන අද ද සත්‍යයක් සේ දැනේ මැනවින්
ගොබල්ස්ලා සමග හිට්ලර් නම් වූ මිලේච්ජයාණන්
ලොව පුරා සැම රටක ම ඉපදිලා ඇති බැවින්.

(* නිදහස , සමානත්වය , සහෝදරත්වය ,( Liberte, Eqalite, Fraternite) ප්‍රංශයේ ප්‍රධාන නිලපාඨ යි.)
(** සමාජ ගිවිසුම The social Contraet 1762 )

කෝ. ආනන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්තිම ජාතිවාදී ටිල්වින් ජාතිවාදයට එකම විසඳුම සමාජවාදය යැයි කියයි. පගා මරුවෙක් වන වීරවංශ තමන්ට කිරිපිටි සමාගම් අල්ලස් දෙන්න උත්සහ කළා යැයි පවසයි. අන්තවාදී අත්තේ ඥාණසාර අන්තවාදීන්ට මේ රටේ ඉඩක් නැති බව දෙසයි. ඒ අතර රටේ ඒකාධිපති නායකයා හාමුදුරුවනේ මම ඒකාධිපතියෙක් දැයි අසයි. මේ රට අමුතුම රටකි. (වීඩියෝ සබැඳිය- බලන්න: Time Line- 1.13 – 1.50)

මහින්ද රාජපක්ෂ (ම.රා.) ඒකාධිපතියෙකු වන්නේ කෙසේද?

1. ඒකාධිපතීහු බලය පවත්වා ගැනීම පිණිස පුද්ගලයින් සමූල ඝාතනයට ලක් කරවති. තනි තනි පුද්ගලයින් වශයෙන් මරා දමති. ම.රා. රට එක්සේසත් කළ නායකයා ලෙස අබිසෙස් ලබා බලය තහවුරු කර ගැනීම පිණිස තමන්ගේම දෙමළ රට වැසියන් ලක්ෂ ගණනක් මරා දැමිමේය. සුදු වෑන් සංස්කෘතිය දකුණේ සිංහලයාව ද භීතියට පත් කර ඇත.

2. ඒකාධිපතීහු පෙර මෙන් බලහත්කාරයෙන් බලයෙහි සිටින බවක් වර්තමානයේ නොපෙන්වති. ප්‍රජාතනත්‍රවාදී බවක් පෙන්වති. ම.රා. මැතිවරණ පවත්වයි. ආරක්ෂක අංශ හා මාධ්‍ය ද ඇතුළුව පූර්ණ රාජ්‍ය බලය යොදවා හැමදාමත් මොනයම් අයුරකින් හෝ මැතිවරණ ජයග්‍රහණය කරවයි. එමෙන් ම සීමාවක් නොමැතිව ජනාධිපතිවරණය තරඟ වැදීම සඳහා පාර්ලිමේනතු පනතක් සම්මත කරගන්නා ලදි.

3. ඒකාධිපතීහු තමන්ව හා තමන්ගේ පාලනය ට විරුද්ධව පැමිණෙන ඕනෑම දෙයකට එරෙහිව තමන්ව ආරක්ෂා කිරීම සඳහා රජය ඇතුළත හා පිටත ඉතාමත්ම හිතවත් කණ්ඩායමක් ඇති තරම් දොල පිදේනි දී (ගසා කෑමට ඉඩ දී) සකස් කර ගනිති. ම.රා. ගේ පාලනයේ මේ සඳහා විමල්, චමිපික, මර්වින්, වාසුදේව, රාජිත ඇතුළු විශාල කණ්ඩායමක් ආණ්ඩුව ඇතුලත ද ජැක්සන්, රවීන්ද්‍ර, ජයන්ත, රෝහණ, සෝමරත්න ඇතුළු විශාල පිරිසක් ආණ්ඩුවෙන් පිටත ද ඇත.

4. ඒකාධිපතීහු ජාත්‍යාලය ඇති කරවති. ජාතික හැඟීම් අනවශ්‍ය ආකාරයෙන් පුබුදු කරවති. ආගම්වාදය පැතිරවීමට ඉඩදෙති. මිත්‍යාමත පතුරවති. ම.රා. සහා ඔහුගේ සහචරයියෝ මෙය රට ඇතුළත ඉතා හොඳින් කරවති. ජාත්‍යාලය හා ආගමවාදය පැතිරවීමට ප්‍රසිද්ධියේම උදව් කරති. දේව ඇදහිලි, නක්ෂත්‍රය ප්‍රචලිත කරවති.

3. ඒකාධිපතීහු රටෙහි විපක්ෂය විනාශ කර දමති. බලාපොරොත්තු රහිත කරවති. මතුපිටින් පෙනෙන මර්දනයක් නොතිබුණ ද ම.රා. එජාප, ජවිපෙ හා කැරිස්මාවක් සහිත අනෙක් පුද්ගලයින් මතූ වීම කූට ලෙස වළක්වයි. පුද්ගලයින් කෙලින්ම හෝ වක්‍රව බිලි බා ගනී. දුබල කරවයි.

4. ඒකාධිපතීහු තමන්ගේ පැවැත්මට පොදු සතුරෙක් මවති. ම.රා. එල්ටීටීය පොදු සතුරා බවට දිවා රාත්‍රී මාධ්‍ය මඟින් මේ වන තෙක්ම තවමත් පුන පුනා ප්‍රකාශ කරවයි. ඒ අතරතුර මුස්ලිම් විරෝධයක් ගොඩ නංවා එය හමුවේ දෙවන සතුරෙක්ව ද නිර්මාණය කරවයි.

5. ඒකාධිපතීහු තමන්ගේ සහෝදර සහෝදරියන් දරු දැරියන් හා ඥාතීන් පමණක් තමා වටා ඇති බලය පවත්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන් හා නායකයින් ලෙස පත් කර ගනිති. ම.රා යනු ලොව අංක එකේ ඥාති සංග්‍රහවාදියෙකි.

6. ඒකාධිපතීහු ජනතා මතයට ඉඩ නොදෙති. එය පාලනය කරවති. මර්දනය කරවති. ම.රා. විරෝධතා වලට පහර දෙයි. උද්ඝෝෂකයින් මරා දමයි. නැඟෙන විරෝධතා ඇතුලතින්ම විනාශ කරවයි. ලාල්කාන්ත වැන්නවුන් සිටින්නේ ම.රා.ගේ අතේය.

7. ඒකාධිපතීහු තමන් වෙනුවට පත්විය හැකි තම පාර්ශවයේ වෙනත් අයෙකුට පවා ඉස්මතු වීමට ඉඩ නො‍දෙති. ම.රා. නියෝජනය කරණ ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයෙක් නැති තරම්ය. අගමැති අංශභාග ලෙඩෙකි.

8. ඒකාධිපතීහු මාධ්‍ය නිදහස වලක්වති. ම.රා. මාධ්‍යවේදීන් මරා දමයි. අතුරුදහන් කරවයි. ඔවුන්ගේ අත පය ගලවා දමයි. මාධ්‍ය ආයතන ගිනි තියයි. මාධ්‍ය ආයතන හිතවතුන් ලවා මිලදී ගනී. රජයේ හා පෞද්ගලික මාධ්‍ය සම්පූර්ණයෙන් පාලනය කරවයි. මාධ්‍ය‍වේදීන් බොහෝ දෙනෙක් රටින් පිටුවහල්ය. රටේ ඉතිරිව සිටින ප්‍රගතිශිලී මාධ්‍යවේදියෝ නිශ්ශබ්දය.

9. ඒකාධිපතීහු අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් පාලනය කරවති. ආරක්ෂක අංශ හා පොලීසිය තමන්ගේ රූකඩයන් බවට පත් කර ගනිති. කවදාවත් නැති තරමට ම.රා. ගේ පාලනය යටතේ අධිකරණය රාජ්‍ය ගැති වී ඇත. අගවිනිසුරු, නීතිපති ම.රා. ගේ හෙංචයියෝ වෙති. ආරක්ෂක අංශ හා පොලීසිය ම.රා.ගේ සහෝදරයාගේ සෘජු පාලනය යටතේ වේ.

10. ඒකාධිපතීහු යටතේ රජයේ හෝ රජයේ ආයතන වල ආදයම් හෝ වියදම් ගැන වගකීමක්-විනිවිදභාවයක් නැත. ම.රා. ගේ ආණ්ඩුව යටතේ සියළුම රාජ්‍ය ආයතන දූෂණයට ලක්ව ඇත. සංවර්ධනය සඳහා හෝ ආරක්ෂක වියදම් සඳහා හෝ ආයතවලින් ලැබෙන ආයදම් ගැන බිලියන ගණනින් වූ ගනුදෙනු දන්නේ ම.රා. ම පමණී.

11. ඒකාධිපතීහු තමන්ගේ මුදල් වියදම් නොකරති. විදේශ ණය මඟින් හෝ මුදල් එක් රැස් කරවති. ම.රා. ණය ආධාර ලබා ගැනීම සඳහා කප්පිත්තෙකි. ලංකාව මේ වනවිට චීනයට සින්න වන තරමට ණය වී ඇත. මේ සඳහා ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනවල සභාපති මට්ටමේ කිහිප දෙනෙක් ඉතා හිතවත් ලෙසින් යොදා ගනී. ම.රා හැරෙන්නට කිසිවෙකුටත් අවනත නොවෙන වරාය සභාපති ප්‍රියත් බන්දුවික්‍රම එවැනි එක් බලකණුවකි.

12. ඒකාධිපතීහු තමන්ව ඉහල නංවා ගැනීම පිණිස තමන්ගේ හොඳ නම පවත්වා ගැනීම පිණිස ඉතා මහන්සියක් දරයි. ම.රා. සියළුම ආකාරයේ මහේෂාක්‍ය උත්සව සංවිධානය කරවයි. තමන්ගේ නම නොගැසූ තැනක් නැත. කටවුට් වලින් පාරවල් පුරවයි. දැන්වීම වලින් පත්තර පුරවයි. ඊට අමතරව උපන් දින සුබ පැතුම් යවයි. මල් වඩම් යවයි. දරුවන් උඩ දමා සුරතල් කරවයි. කරේ අත දමයි. අයියා මල්ලී භාෂාවෙන් ඕනෑම අයෙකුට අමතයි.

13. ඒකාධිපතීහු යටතේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ ජීවන තත්වය දිනෙන් දිනම පහලට ඇද වැටේ. එම යතාර්ථය කෙසේ නමුදු රජයේ පිළිගත් ආයතන මඟින් වසඟයට පත්විය හැකි දත්ත සංඛ්‍යා ලේඛණ පෙන්වයි. ම.රා. ගේ හෙංචයියන් මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය තුළ මෙය අපූරුවට කරයි. අපේ රටේ තරම් ආශ්චර්‍යයක් වෙන කොහෙවත් නොමැත.

14. ඒකාධිපතීහු රටෙහි ඉහල මධ්‍යම පංතියට වැඩියෙන් වැඩෙන්නට ඉඩ හරිති. එම ඉහල මධ්‍යම පංතිය රාජ්‍ය ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණෙන බව ඒකාධිපතීහු දනිති. ම.රා. යටතේ රටේ ජනතාවගේ ඇති-නැති පරතරය සීඝ්‍රව වැඩිවී ඇත. එය ආසියානු කලාපයේම ඉහළ අගයකි. ඉහල මධ්‍යම පංතියට අවශ්‍ය නාගරික සංවර්ධනය පමණක් සිදුකරයි.

15. ඒකාධිපතීහු රටේ අධ්‍යාපනය හා අධ්‍යාපන පද්ධතිය විනාශ කරති. දැණුම ලැබීම නුවණ පහලවීමක් ලෙස ඔවුහු දකිති. ම.රා. යටතේ එස්.බී-බන්දුල දෙබෑයෝ ලංකාවේ අධ්‍යාපනය සුන්නත්දූලි කර ඇත. සමස්ත විභාග ක්‍රමයම ඛේදවාචකයකි. ශිෂ්‍ය අයිතීන් උදුරා ගනිති. ශිෂ්‍ය සටන් හා ශිෂ්‍ය නායකයින් මර්දනය කරති.

ප.ලි.
ඒකාධිපතියකු යනු තවදුරටත් තනිපුද්ගලයෙකු පමණක් නොවේ. එක් පුද්ගලයෙකු මුදුනින් තබා තවත් කණ්ඩායමක් ඉතිරිය කරවන ආකාරයේ ඒකාධිපති පාලනයක් සඳහා වුව ඉඩ ඇත. ම.රා. හා ඔහුගේ සහෝදර සමාගම සැළකීමේ දී ලංකාව තුළ මේ මොහොතේ තිබෙතැයි වඩාත් සැළකිය හැක්කේ එවැනි මොඩලයකි.

[-Loopholes]

ලූප්හෝල්ස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නවනීදන් පිල්ලේ
හරි සතුටින්ය අපි
කුමට වෙහෙසෙනුද මේ තරම්
කරමින් සැකෙන් විපරම්

රතුපස්වල මත
පිපේය චෙක් මල් දහසින්
නුදුටුවෙද පිල්ලේ නුඹ
කලබලයක් නැත කොතැනවත්
අපි හරිම සතුටින්

මන්දනා ගේ නිවසේ මන්දනා
දකුණේ කොලු ගැටව් සමගින්
කෙළින සැටි හොරු සහ පොලිස්
නුදුටුවෙද පිල්ලේ
සභාපතිනියද සමගින්
මාධ්‍යයද හරිම සතුටින්

නන්දිකඩාල් කලපු ඉම
තරු පහේ හෝටල් ඉදිරියේ
වෝටර් ස්කී තරගයකි
නුදුටුවෙද පිල්ලේ
මේ පරිසරය සුන්දරය
සංවර්ධනය විස්මිතය

සුදුහුණු පිරියම් කළ
යාපනේ පුස්තකාලයේ
දරු පැටව් පොත් පාඩමේ
විද්වතුන් දැනුම් හරඹයේ
නුදුටුවෙද පිල්ලේ
මනරම්ය මේ ගොඩනැගිල්ල පවා

මාතලේ මහරෝහල් බිමේ
සාරන ලද මහ වළ මත
රගර් තරගයකි පිල්ලේ
දුටුවෙද රජ දරුවන් පවා
සැනසිල්ලේය ඉන්නේ

අපි හරිම සතුටින්ය පිල්ලේ
වෙහෙසෙනු කුමට වැළපිල්ලේ

(ජනරංජනගේ කාටූනය 2013.08.25 වන දා රාවය පුවත්පතෙන්)

ජගත් ඡේ එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතුරු මිතුරු දඹදිවතුරු වගේ නොවෙයි යහළු
අතුරුදහන් කළ හැම සඳ අතුරුදහන් නොවෙලු
සොඳුරු රටක ඉරණම අහවල් එකටද මුකුළු
අඳුරු හෙටයි කේන්තියයි උරුම කළේ කඳුළු

සම්මා සම්බුදු අම්මා බුදුබව අත්හැරියා
සුම්මා කළ පුතු ඉල්ලා පොළොවේ පස් කෑවා
පෙම්මා හද නිර්වාණය තිලකයෙ රත මැකුණා
තම්බාගත් බත ගිලින්න ඉඩක් මුන් නොදුන්නා

කඳවුරු කරා ගොස් සැනසුම සෙවු අප්පා
රජවරු ඉදිරියේ සිහිනෙන් අඩි හප්පා
ඇවිද්ද පය නොවේ වටිනා පුතු ඉල්ලා
තවමත් ඉකිගසයි මුරුගා දෙවි පල්ලා

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම පැවතී
"දෙමළ" වූ නිසා කරුමෙට මඟහැරුණී
බිතු සිතුවම් ගල් වී දරුවන් දැවුණී
සැකපිට අරන් පස් වසරක්! වූ බැවිනී

අසූ නමය ඇහෙනකොටත් කන් වහගන්නා අක්කා
අසූ කෝටියක් දෙවිවරු නපුංසකයො බව දැක්කා
අසූ හාර දාහට නැගි දුක් කුරුසියෙ බර දක්කා
අසූවෙ කළු පාට අහසෙ ගැසුවා තව තව ඉක්කා

නව ජීවන දෙමිනේ නිතින තව අතුරුදහන් මාතා
පව පලිසන් දෙමිනේ පිළිස්සුන හදවත් මැද ගාථා
එක මවකගෙ දරුවන් නමට අපි! අවජාතක බාධා
වාෂ්ප කළ ඉක්මනට සනීපද නමෝ නමෝ මාතා


අගෝස්තු 27 වන දින යාපනයේ පුස්තකාල අසල පැවැත්වුණු, අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය. (සබැඳිය)

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නුඹෙ මුහුණුවරමයි පුතේ
තිබෙන්නේ සේයාරුවේ
මුව විටට කඳුළු ගඟ එසවුන
විස වැදුණු සිරියා බිමේ

දෙතොල
දෙකොපුල
කූරු හිස කෙස
නුඹ නිදනු වැනි
පියාගන නෙත
තවත් පියෙකුගෙ මලානික ඇස
සදාකාලික කඳුළ තැවරුව
අවදි නොවනා නින්දකිය එය...

එකම දේ එක එක තැනින්
ගිනි පුපුරු වාගේ මතුව එයි
නුඹට නුදුරුව නපුර පුපුරන
හෙට දිනක් ගැන මට බයයි...

මලක ගඟුලක නිහඬ වගතුග
කියන බොල් කවි විසුණු කරනෙමි
දුරක, බිය සැක නැති පෙතක
මල් පෙති අතර නුඹ සඟවලා එමි
ඉදින් ගිනි ගත් මේ පෑන් තුඩ
දරා සුරතින් පෙරමුණට යමි...

[ඡායාරූපය උපුටා ගත්තේ www.mirror.co.uk වෙතිනි.]

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රතුපස්වල පස් රතු විණි
සතියක් තුළ රත බොඳ විණි
කොඳු ඇටවල දිය වැඩි විණි
චෙක් පත්වල ලේ සැඟවිණි

මැරුව පුතුන් සොහොනෙ තියා
මරුගෙ දෙපා ළඟට ගියා
ෆොටොත් ගත්ත ළඟින් තියා
පත්තරවල ඒව ගියා

පුතුන් නිදන පොළොව පලා
පියැවුණු ඇස් පුදුම වෙලා
සුසුම් තුනක් ඉවත හෙළා
ලක්ෂ දෙකට හිලව් කළා

කතරක මිරිඟුව සැපයකි
තිබහට උණු ලේ රසයකි
විකුණන විකිණෙන ලෝකෙක
මළ පුතු වුව දිව ඔසුවකි

රතුපස්වල පස් රතු විණි
සතියක් තුළ රත බොඳ විණි
කොඳු ඇටවල දිය වැඩි විණි
චෙක් පත්වල ලේ සැඟවිණි


(අජිත් පැරකුම්ගේ කවියක සේයාව මත ලියූ කවකි.)

විමල් කැටිපෙආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා කාලයක් අපට නොලැබෙනු ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2003 වර්ෂයේ ආරම්භ කළ ජනකරළියට දැන් වසර දහයක් සම්පූර්ණ වී ඇත. ජංගම රඟහලත් රැගෙන දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කරමින් නාට්‍ය දර්ශන සහ නාට්‍ය කලා අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවන ජනකරළියට අනුරාධපුරයේ නාට්‍ය කලා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට දැන් හැකියාව ලැබී ඇත. "රංගධරණී" නමින් හඳුන්වන මෙම මධ්‍යස්ථානය මෙම සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා විවෘත කරනු ලබයි. අනුරාධපුර, නගරයට ඉතා නුදුරුව ශ්‍රාවස්තිපුර, 5 ඇල පෙදෙසේ ආලංකුලම වැව ඉහත්තාවේ "රංගධරණී" පිහිටා ඇත.

රංගධරණීය නුවරකලාවිය ළමා සහ යොවුන් පරපුරේ කුසලතා සහ රසවින්දන හැකියාවන් වර්ධනය කෙරෙන නාට්‍ය කලා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසත්, නාට්‍ය ආයතනයක් ලෙසත් පවත්වාගෙන යෑමට ජනකරළිය විසින් සැළසුම් කර ඇත.

මෙම නාට්‍ය කලා මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් එදින ජනකරළිය විසින් අලුතෙන් නිෂ්පාදනය කළ හෙන්රි ජයසේනයන්ගේ "හුණුවටයේ කතාව" නාට්‍යය සැප්තැම්බර් 03 සහ 04 දෙදිනම එම මධ්‍යස්ථානයේ 'රංගධරණී රංගපීඨයේදී' රඟදක්වනු ඇත.

'හුණුවටයේ කතාව' නව නාට්‍ය නිර්මාණය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජනකරළිය නිර්මාතෘ පරාක්‍රම නිරිඇල්ල විසිනි. සංජීව උපේන්ද්‍ර, දිලිප් රෝහණ, රොනිකා චාමලී, දිනේෂ් ස්වර්ණ ශ්‍රී ලිවේරා, සෙල්වරාජ් ලීලාවතී, සතිස් සුරේන්ද්‍ර ඒකනායක, පාලිත අබේලාල්, රාසයියා ලෝහානන්දන්, අරෝෂා තරංගනී, සුමුදු මල්ලවාරච්චි, සරත් බානගල, ඉනෝකා ලංකාපුර, මුරුගේසු අජන්තන්, ත්‍යාගරාජා ශිවනේසන්, විජිත හෙට්ටිගේ, යශෝ ප්‍රසාද්, ජනිත් දිසානායක, අමිල දිනේශ් කුමාර, සමනලතා දිසානායක, වී.කදිරගාමර්, වී.ත්‍යාගරාජා, එම්.ජී.මදීරා උදිෂානි, කුමරේෂන් මහේන්ද්‍රන්, තිලි‚ නිමේෂා, දමින්ද මෙන්ඩිස්, නිපුන් නිර්මාල් බණ්ඩාර 'හුණුවටයේ කතාව' නව නිෂ්පාදනයේ චරිත නිරූපණය කරති. රොනිකා චාමලී සහාය අධ්‍යක්ෂණයෙන් දායක වන අතර අංගරචනය පාලිත අබේලාල් ගෙනි. සුමුදු මල්ලවාරච්චි සංගීතය මෙහෙවයි. රංගාලෝක නිර්මාණය අජන්ත ශාන්තකුමාර්ගෙනි. ඇඳුම් නිර්මාණය සුවිනීතා පෙරේරාගෙන් වන අතර පසුතල නිර්මාණය රොහාන් සමරදිවාකරගෙනි.









A Theatre Arts Centre to Anuradhapura from Janakaraliya

Janakaraliya has completed 10 years since its inception in 2003. Janakaraliya, which is engaged in travelling from district to district conducting drama festivals and educational programmes on theatre arts whilst promoting social integration and harmony, is now accomplished to start a Centre for Theatre Arts at Anuradhapura. The centre is named ‘Rangasharanee’. It will be ceremoniously opened on Tuesday the 03rd of September 2013. ‘Rangadharanee’ is situated close to the Anuradhapura town at Canal 5, Sravasthipura above the Alankulama Tank.

Janakaraliya has planned to maintain ‘Rangadharanee’ as a centre for theatre and drama education and appreciation of theatre arts for youth. It will also be a drama institute.

With the inauguration ceremony of the centre, the newest Janakaraliya production, Henry Jayasena’s ‘Hunuwataye Katawa’ will be performed on 03rd and the 04th of September at ‘Rangadharanee Theatre’. The new version of ‘Hunuwataye Katawa’ is directed by the creator of Janakaraliya, Parakrama Niriella. The performers of the newly created drama are Sanjeeva Upendra, Dilip Rohana, Ronika Chamalee, Dinesh Swarna Sri Livera, Selvaraj Leelawathie, Palitha Abeylal, Rasaiya Lohanathan, Arosha Tharanganee, Sumudu Mallawaarachchi, Sarath Banagala, Inoka Lankapura, Murugesu Ajanthan, Thiyagaraja Sivaneshan, Vijitha Hettige, Yasho Prasad and Janith Dissanayake, Amila Dinesh Kumara, Samanlatha Disanayake, V.Kadiragamar, V.Thyagaraja, M.G.Madeera Udishani, Kumareshan Mahendran, Thilini Nimesha, Daminda Mendis, Nipun Nirmal Bandara.

Ronika Chamalee assists in direction while makeup is by Palitha Abeylal. Sumudu Mallawaarachchi directs music. Theatre Lighting by Ajantha Shanthakumar. Costumes are by Suvineetha Perera and settings and stage properties by Rohan Samaradivakara.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මනමේ බිහි වීමට පෙර පැවති ක්‍රියාකාරී ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ක්‍රමය යනු සිංහල නාට්‍ය කලාවේ සංක්‍රාන්ති සමයේ එක්තරා බීජ අවස්ථාවකි. මෙකී පරිසරය තුළ සරත්චන්ද්‍ර නාට්‍ය නිර්මාණාවේශය ලබා ගනී. ඒ බව එදිරිවීර සරත්චන්ද්‍රයන්ම "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මෙසේ සඳහන් කරයි. "වර්තමාන සිංහල නාට්‍ය කලාවේ මූලාරම්භය ඇති වූයේ යුනිවසිටි කොලීජියෙහි යැයි කීම නිවැරදි යැයි සිතමි." නාට්‍යකරණය පිලිබඳ අරමුණක් නොමැති සමයක ආචාර්ය ඊ. එෆ්. සී. ලුඩෝවයික් ආදීන්ගේ නාට්‍යකරණය දෙස බලා සිටීම ද සරත්චන්ද්‍රගේ නාට්‍යාගමනයට හේතු භූත වී ඇත. මෙකී ඉංග්‍රීසි නාට්‍ය ක්‍රමයේ තුළ අත්හදා බැලීම් ගණනිවකින් අනතුරුව සිංහල ගැමි නාටක වල පර්යේෂණාත්මක ප්‍රතිපලයක් ලෙස මනමේ 1956 දී බිහි වේ. එතෙක් පැවති සිංහල නාට්‍ය වංශයෙහි පෙරකී බීජාණු අවස්ථාවේ සාර්ථක බීජෝත්පත්තියක් ලෙස ද එකල මෙන්ම නූතන විචාරකයින් විසින් ද මනමේ හඳුන්වා දෙයි. එසේනම් මෙසේ බිහි වූ 'මනමේ' තුළින් "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" යන්න සනාථ කරගත හැකි වීද යන්න විමසා බැලිය යුතුය.

අවුරුදු ගණනාවක ස්වයං පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස සරත්චන්ද්‍රයන් මනමේ කල එලි දක්වන කාල පරිච්ජේදයේ සමාජ, දේශපාලනික භාවිතාව ද විමසා බැලිය යුතුමය. මන්දයත් රටක දේශපාලන, සංස්කෘතික, ආර්ථීක පරිවර්තනය තුළ කලාව ද ප්‍රතිව්‍යුහගත වන හෙයිනි. 1956 යනු රාජ්‍ය වශයෙන් යම් පෙරළියක් සිදු කල වසරකි. S.W.R.D. බණ්ඩාරණායක ආගමනය තුළ සිංහල භාෂාව දේශීය භාෂාව කිරීමත් සංස්කෘතික අමාත්‍යංශය පිහිටු වීමත් යනාදීය මෙකී කාල සීමාවේ සිදුවන නවතම පෙරළි ය. මතුපිටින් මෙය මෙසේ වුවත් සිදු වූයේ සුදු අධිරාජ්‍යයෙන් එය ගරු කල කළු අධිරාජ්‍යයින්ට පාලන තන්ත්‍රය හුවමාරු වීමක් පමණි. මෙකල අධිරාජ්‍යවාදී රැල්ලෙන් වැසී ගිය ලාංකේය සංස්කෘතියේ හරයන් නැවත ප්‍රතිරෝපණය කිරිමට බුද්ධිමත් පරපුරකට කල විවෘත ආරාධනාව ද සරත්චන්ද්‍ර විසින් අනිවාර්යයෙන්ම 'මනමේ' තුළින් භාර ගන්නට ඇත. මන්ද යත් ජාතික ව්‍යාපාරයට 'මනමේ' තුළ කැටි වූ දායකත්වය හේතුවෙනි.

ලාංකිකයන්ට හුරු කතා පුවකත් ගැමි නාටක ආකෘතියක ගිල්වා, තමා ලැබූ පෙර අපර නාට්‍ය ගවේෂණයේ අත්හදා බැලීම් ද දේශීය ඌරුවකින් අන්තර්ගත කොට 'මනමේ' තැනීම අදටද ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අද්විතීය සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. මෙසේ බිහි වූ මනමේ කුමනාකාරද යන්න ගත් විට අංශ කිහිපයකින් එය විමසා බැලිය හැකිය.

1. 'මනමේ' හි කලාත්මක භාවිතාව
2. 'මනමේ' හි සමාජීය දේශපාලනික භාවිතාව
3. ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය විවරණය

1. 'මනමේ'හි කලාත්මක භාවිතාව

මනමේ නිර්මාණයෙහි ලා සරත්චන්ද්‍ර ලබා තන්නා අනුභූතින් දෙකක් වේ. එනම්, 1. නාට්‍ය පිලිබඳ බලපෑ ගවේශණය. 2. සම්මත ගැහැණිය පිලිබඳව පැවති දුර්මුඛයන්. මෙම කරුණු දෙක ඇසුරින් නාට්‍ය කලාත්මක භාවිතයේදී පලමු කරුණ වෙත පමණක් අවධානය යොමු කරන්නේ දෙවැන්න ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය යටතට ගන්නා හෙයිනි. කෝලම්, කවි නාඩගම්, නූර්ති ආදි දේශීය හැඩයන් ඇතැඹුලක් ලෙස ගෙන මනමේ නාටකය තුළින් නිරූපණය කරන්නේ කලාපීය ආකෘතියයි. එනම් චූල නාට්‍ය සම්ප්‍රදායක් වූ ගැමි නාටකයට ලෝක නාට්‍ය කලාව සමපාතික වන ලෙස සරත්චන්ද්‍ර මිශ්‍ර කරයි. එකී මිශ්‍රණය සාර්ථක අත්හදා බැලීමක් වෙයි. කතා පුවත තේමා කරගත් සිංහල ගැමි නාටක ක්‍රමයේ සංගීතයට භාරතයේ අභිනයත් චීන ජපන් නෝ කබුකි ආදියෙනුත් උකහා ගත් අවශේෂ අංගයන් ද මනාව සුසංයෝගී වන්නේ සරත්චන්ද්‍රගේ කලාත්මක භාවිතාවෙහි නිපුණත්වය හේතුවෙනි. කතාව තුළ ප්‍රේක්ෂකයා රඳවා ලබා ගැනීමට සමත් වන අයුරින් චරිත මෙහෙයවීමද 'මනමේ'හි සිදු කරයි. එහිදී වැදි රජුගේ ප්‍රවිශ්ටය කදිම නිදසුනක් වෙයි. වැදි රජුගේ පරික්‍රමණය ප්‍රේක්ෂකයා ඒ තුළම රඳවා තබා ගනියි. ප්‍රතාපවත් පරික්‍රමණයෙන් අනතුරුව ත්‍රිබංග ඉරියව්වෙන් සිට ගන්නා වැදි රජු දකින ප්‍රේක්ෂකයාට ඉන් අනතුරුව සිදු වන දේ පිලිබඳව චින්තනය මෙහෙයවීමට එම අවස්ථාව සාධකයක් කොට ඉදිරිපත් කරයි.

තාලානුරූපී සංවාද භාවිතය තුළ ගීතවත් බව නාට්‍ය පුරාම දැක ගත හැකිය. "ප්‍රේමයෙන් මනරංජිත වේ" ගීතය සිංහල නාට්‍ය වංශයේ ප්‍රේමනීය ගීතයක් ලෙස ඉතිහාස ගත වන්නේ ද එහි පැවති කලාත්මක භාවිතාව හේතුවෙනි. නිර්-ප්‍රභූ ජන සමාජයට අභියෝග කෙරූ සිංහල භාෂාව ප්‍රමුඛ කොට ගත් මධ්‍යම පාන්තික ප්‍රභූ පැලැන්තියට තම විදග්ධ භාවය පෙන්වීමටද එකල මෙම ගීතය භාවිතා කෙරුණි. එනම් අදට ද එහි ඇති වචන වල සෞන්දර්ය භාවිතාව පිලිබඳව උදම් අනන්න්ගෙන් ඒ බව වටහා ගත හැකිය. ෙසෙද්ධාන්තික සිද්ධාන්තයන් ඇතුලතින් පිටතින් පෝෂණය වීම කෙසේ හෝ වේවා සරත්චන්ද්‍රයන් ශෛලිගත සම්ප්‍රදාය මනාව තම නාට්‍ය කෙරෙහි භාවිතා කල අතර එය ද මනමේහි කලාත්මක භාවිතාවට තුඩු දුන්නකි.

2. 'මනමේ' හි සමාජීය දේශපාලනික භාවිතාව

පර්යේෂණ කෘතියක් ලෙස එළි දැක්වූ 'මනමේ' දෙස විපරම් කල විචාරකයෝ විවිධාකාරී අදහස් දක්වා ඇත. මේ අදහස් සමාජීය දේශපාලනික රාමුවක ගොනු කර ගැනීමේදී නව ලිබරල්වාදී රාමුවේ එක්තැන් වූ පිරිසකුත්, මාක්ස්වාදී දෘෂ්ඨියෙන් සිය අදහස් දක්වන පිරිසකුත් හඳුනා ගත හැකිය. මේ සියල්ලේම අදහස හා මනමේ තුළ පෙන්නුම් කරන සමාජීය දේශපාලනික භාවිතාව විමසා බලමු. බැලූ බැල්මට මනමේ දේශපාලනික නාට්‍යයක් නොවේ. නොපෙන්වා දේශපාලනය පෙන්වීම තුළ දැකිය හැකි භාවිතාව මනමේ නාට්‍යයෙහි අන්තර්ගත වෙයි. කෝලම්, නාඩගම් ආදියන් හුරු වූ කතා පුවතක් ගෙන ඒ තුලින් එතෙක් පැවති විශ්වවිද්‍යාලයීය බටහිර නාට්‍ය ප්‍රේක්ෂකාගාරයෙන් රික්තකයක් ඇති කල දේශීය ප්‍රේක්ෂකාගාරයට ජාතිකත්වය පිලිබඳ උදම් ඇනිය හැකි වටපිටාවක් සකසා දෙන්නේ මනමේ විසිනි.

මෙය එකල පැවති ජාතික ව්‍යාපාර රැල්ලට සරත්චන්ද්‍ර සිය කලාත්මක භාවිතාව හරහා සහාය දැක්වීමක් ද වේ. මනමේහි චරිත තුළින් ගොඩ නැගෙන චරිත හැඩතලයන් හා එකී චරිත වල සමාජ භාවය ඔස්සේ නිරූපණය කරන්නේ තත්කාලීන සමාජ වටපිටාව (1950 දශකය) බව පුන පුනා සෑම විචාරකයෙක්ම සදහන් කරයි. මෙය චරිත ඇසුරින් විමසා බැලීම උචිත යැයි හැගෙන්නේ එහෙයිනි. ප්‍රධාන චරිතය වන මනමේ කුමරු යනු තමා උපන් කුල ගර්වයෙන් මෙන්ම තම උරුම හරුම පිලිබඳව ආඩම්බර වන පුද්ගලයෙකි. ඔහු සියලු මානව සම්පත්හි සුවය ලැබූවෙක් වෙයි. මේ තුලින් අන් අය අභිබවා සිටීමට ඔහුට හැකියාව ලැබෙයි. එයින් මනමේ කුමරු යනු වැඩවසම් සමාජයක වෙසෙන උත්තම පුරුෂයෙක් වෙයි. වැඩවසම් පාලක පැලැන්තිය තමන් සියවස් ගණනාවක් ඔස්සේ රැගෙන ආ උරුමය පිලිබඳව උදම් අනයි. මනමේ කුමරු සතු වන්නේද මෙකී ආඩම්බරයයි. එමෙන්ම එය මනමේ කුමරුගේ දුර්භාග්‍යයද වෙයි. තමා උරුම හරුම පිලිබඳව මිසක් ඉන් එහා ගිය ලෝකයක නවතාවයන් හඳුනා ගැනීමට වැඩවසම් සමාජයේ පාලක පැලැන්තියට නොහැක. මෙම සමාජ ක්‍රමය නූතන සමාජ ක්‍රමය විසින් සාර්ථකව අතික්‍රමණය කිරීමට හැකිවන්නේද ඒ නිසාවෙනි. එම තත්කාලීන සමාජ ක්‍රමයේ සෝදා පාලුව තුළ අසරණ වන පාලක පැලැන්තියක් එකල විසූ බව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'ගම්පෙරළිය' තුලින්ද පැහැදිලි වන කරුණකි. සර්වකාලීන මානව ධර්මතාවන් වලදී පවා ඔහු සතු වන්නේ දුර්වලතාවයකි. මානවීය හැඟීම් පවා ඔවුන් සතු කුල ගර්වය හා වටිනාකම් මත දියට දමන ඊයම් බරු මෙන් හිත පතුලට කිදා බසිනවා මිස එහි ප්‍රකාශනයක් සිදු වන්නේ නැත. මනමේ කුමරු මනමේ කුමරියට ආදරය නමුත් ඔහුට එය ප්‍රකාශ කරගත නොහැකිව ලතවීමෙහි මතු වන්නේ ද ඔහු පීඩාවට පත් කරන ඔහුගේම ගර්වයයි.


මනමේ- "ප්‍රේමයෙන් මනරංජිත වේ"

නමුත් මෙකරුණ වැදි රජුට බලපාන්නේ වෙනම ආකාරයකටය. ඔහුද කුමරියට ආලය කරයි. අන් අයෙකුගේ ස්ත්‍රීයක් බව දැන දැනම කුමරිය දුටු විගසම ප්‍රකාශ කරයි. "මෑව ගන්ට අඹුවට - වේය වාසනාව මට" මේ තුළ ඇති වෙනස කුමක්ද? එනම් වැදි රජු යනු ස්වාභාවික මිනිසායි. මනමේ කුමරු බැඳ තබන සීමා ඔහුට නැත . "සොබනා රුව නරඹා කුමරුගේ මන බැඳුණී." මේ තුළ මනමේ සම්බන්ධව කියන්නට ඇත්තේ කුමක්ද? සූසැට කලාවන්ගෙන් කෙළ පැමිණිය ද පුද්ගල අභ්‍යන්තරික අවබෝධය කෙරෙහි ඔහු සතු දුර්වලතාවයයි. ගැහැණියකට ආලය කිරීමේ එකම හේතු සාධකය ලෙස රූපශ්‍රීය සලකන පිරිමින් අතරට මනමේ ද එක් වන්නේ මේ නිසාවෙනි. මනමේ කුමරියට අත්වන දුර්භාග්‍යයටද ඔහුගේ මෙම සිතුවිල්ල හේතු වේ. අලංකාර වලින් පිරි ප්‍රේමයක් තුල ඔහු සතු ප්‍රායෝගිකතාවයේ අසමත්කම මත සියල්ල කෙලවර වන්නේ එබැවිනි. වැඩවසම් ජ්‍යෙෂ්ඨ කුල පුත්‍රයෙකුගේ අනාදිමත් සිතුවිල්ලක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම කරුණෙහි ලා සුචරිත ගම්ලත්ගේ මෙම ප්‍රකාශයද කෙතරම් දුරට ගැලපෙන්නේද? "මෙලෙස මෙකී චරිත පාත්‍රයන් වඩාත් පරිපූර්ණ ලෙස ජීවත් වීම සඳහා දරන ප්‍රයත්නය පවත්නා සමාජ සම්බන්ධතා නැමැති කොටු පවුරෙහි ගැටේ."

මනමේ කුමරියගෙන් දැකගත හැකි වන්නේ වැඩවසම් කුලවමියකගේ ලක්ෂණයි. පිරිමියා කුමන හෝ වේවා ඔහු සෙවණෙහි වාසනා බල මහිමය පතා කුමන හෝ අයුරකින් වාසය කිරීමට එම විවාහ සංස්ථාව තුල කාන්තාව සැදී පැහැදී සිටියි. "කතුන් ලොව තුලා - රසඳුන් නයනාලේප කරන මේ කුමරුන් හට වන්නට පියඹ සන්තෝස වේද සිත් අසනු කුමට" යනුවෙන් ඇය කරන ප්‍රකාශය තුලින් ද මෙය පැහැදිලි කරගත හැකිය. විවාහයෙන් පසුව කෙරෙන වනාන්තර තරණය සරත්චන්ද්‍ර භාවිතයෙහි නැවුම් වූවකි. නමුත් එය සංකේතාර්ථ රැගත් සමාජ විවරණයකි. මෙය පුහුදුන් මිනිසා මුහුණ දෙන භෞතික ජීවිතයේ සංකේතාර්ථයකි. මුල්වරට ප්‍රේමයේ උද්දාමයේ මනෝ පහස විදින ඔවුන් ඉන් විචිත්‍ර වෙයි. අරණේ සිරි නැරඹීම මෙකරුණ තීව්‍ර කරයි. මේ සියල්ලෙන් අනතුරුව පිවිසෙන බරණැස් මාවත එහි ගමනාන්තයයි. යුවළගේ සියලු බලාපොරොත්තු සඵල වන්නේ එහිදීය. මේ ගමන තුල ඇති භයංකාරත්වය කිසිම විටෙක මනමේ කුමරුට දැනෙන්නේ නැත. ඔහුට එසේ නොදැනීම ද අරුමයක් නොවේ. පොළොවේ පය ගසා ජීවත් වීමේ පුරුද්දක් ඔහුට මෙන්ම ඔහු හිමි පරම්පරාවටද නොමැත. සියල්ල සිරිත් පරිදි හා දැනුම මත හුවමාරු වන ඒවා යැයි ඔහුගේ හැගීමයි. ප්‍රේමයේදී ඔහු අතිශයින්ම සාම්ප්‍රදායික වන්නේ එබැවිනි. එකී සම්ප්‍රදාය තුළ පිහිටා ඔහු ප්‍රකාශ කරන ආදරය පවා සාටෝප වලින් පිරුණු එකකි. "රුසිරු ලඳුනි ඔබෙ ප්‍රේමයෙනා - ඔද වේ මා හද පෑ සොමි රැස් කිරි සයුර මෙනා" මෙවැනි අලංකාර යෙදුම් තුළ මනමේ කුමරියගේ සංවාද ගොඩ නැගීම තුළ සරත්චන්ද්‍ර සතු වූ හැකියාව ප්‍රබලය.

මනමේ කුමරු ලැබූ අධ්‍යාපනය, පරම්පරා හිමිකම කුමරියට නොමැත. සීමා බන්ධන වලට සිරවී හැදී වැඩුනත් ඇය වැඩෙන්නේ පොළොවේ පය ගසාගෙනය. ඇය විවෘතව දකින සිතෙන දෙය ඉදිරිපත් කරන්නියක් වන්නේ එබැවිනි. "බරණැස් පුර සිරි විසිතුරු - ඉවසිලි නැත නරඹන තුරු" ඇය සාටෝප විචිත්‍ර ප්‍රේම ගායනා අතර පුහුදුන් ගැහැණියකගේ චින්තනය මෙහෙයවයි. අවසන නාට්‍යයේ ගැටුම තුළ මතුවන මනමේ වැදි රජු යුද්ධයෙහි වැදි රජු මැරීමට දරන උත්සාහයේදී ඇය මනුෂ්‍යත්වය පිලිබඳ ප්‍රශ්නයක් නගන්නේද එබැවිණි. "දිරියෙන් යුධ කල ඔබ සමගින්නේ - සෙනගින් පිහිටද නොම පතමින්නේ තනියෙන් සටනට සැරසී එමිනේ - මෙකගින් ඇයි ඔහු ගෙල සිදලන්නේ" මානූෂීය තීරණ ගැනීමෙහි ලා වැඩවසම් සමාජ ක්‍රමට තුල රජ වූ පාලක පැලැන්තියට තිබූ නොහැකියාව මෙහි කියා පායි. සරත්චන්ද්‍ර නාට්‍ය පුරාවටම වැඩවසම් සමාජයේ පැවැත්මේ ගති ස්වභාවයන් කියා පෑමට උත්සාහ ගෙන තිබේ.

3. ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය විවරණය

සරත්චන්ද්‍ර මනමේ නිර්මාණයෙහි ලා ප්‍රේරණය වන කරුණු දෙක අතරින් දෙවන කරුණ වන ස්ත්‍රිය පිලිබඳව පැවති දුර්මතය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය විවරණයෙහි ලා යොදා ගැනීම වඩාත් උචිත වේ. ඒ කරුණු සැසඳීම තුළ අවබෝධ කරගත හැකි එක් කරුණක් වන්නේ එම කාල පරිච්ජේදය තුළ ස්ත්‍රියත් ඇයගේ භූමිකාවය. ස්ථවීරවාදී බුදු දහමට අනුව ලියැවුණු සිංහල බෞද්ධ සාහිත්‍යයක් තුළ ගිහියන්ට පවා කියවන්නට ලැබෙන්නේ එකී සාහිත්‍ය ග්‍රන්ථයන්ය. කෙලෙසුන් තැවීමේ වීර්ය වැඩීමේදී ස්ත්‍රියගේ නුගුණ කීම අරුමයක් නොවේ. නමුත් එවන් ස්ත්‍රී නුගුණ ගැයූ සාහිත්‍යයක් ගිහි සදාචාරයට එකතු වීම තුළ කුරුවල් කරගන්නා මොළයකින් බලනා පුරුෂාර්ථ සමාජය විසින් ගැහැණියට ලබා දෙන්නේ පහල අගයකි. කුස ජාතකය තුළත් අන්ධ භූත ජාතකය තුළ ප්‍රබලවත්, සද්ධර්මලංකාරය, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය ස්ත්‍රී නුගුණ වර්ණනය ඉහල අයුරින් සිදු කර තිබේ. "ස්ත්‍රීහු නම් පුරුෂයින් වංචා කරන හෙයින් මායා රූපයක් වැනිය" (-සද්ධර්මරත්නාවලිය)

මේ ආකාරයට ගොඩනැගුණු චිරන්තන සාහිත්‍යයක් තුළින් ස්ත්‍රිය දෙස බැලූ සමාජය ඇය සැලකුවේ "චපල ස්ත්‍රියක" ලෙසටය. සරත්චන්ද්‍ර මනමේ තුළ සිදු කරන කාර්ය වන්නේ එහි සැබෑ තත්වය පෙන්වා දීමයි. "අනේ ඒ විපත සිදු වුණි නොදනිමි කාගෙ දොසා" මෙලෙස ලියා තබන්නේ අනාදිමත් කාලයේ පටන් 'දොස' මනමේ කුමරියගේ යැයි දන්නා සමාජයක් වෙනුවෙනි. වැඩවසම් සමාජය විසින් කාන්තාවට ස්වාධීනත්වය ලබා දී නැත. තීරණ ගන්නේ පුරුෂයා පමණි. විවාහය තුළ මෙය දරුණු ඛේදවාචකයකි. දෙමාපිය කැමැත්ත මත සිදු වන විවාහයක් හෝ ඔවුන්ට ලබා දෙන ස්වයංවරයේදී තෝරා ගන්නා වඩාත් ශක්තිමත් පුරුෂයා සමග සරණ බන්ධනයෙහි යෙදේ. ඉන් එහා ගිය විවාහ සංස්ථාවක් ගැන ඇය නොසිතන්නීය. "රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා - වෙමි මම සුවචා දූ කුමරී" ලෙස ඇය දක්වන්නේ අතිශය සාම්ප්‍රදායික ඇගේ සුවච ජීවිතයකි. මෙවන් වටපිටාවක් තුළ සිටින ඇය ගැඹුරු පීවිතයකට අනපේක්ෂිත අවස්ථාවක පත්වේ.

මනමේ කුමරු ඇයට ආලය කලත් කිසිදු අවස්ථාවක ඇය ඔහුට ආලය කල බවක් ප්‍රකාශ නොවේ. වැදි රජු විසින් මනමේ කුමර මරා දැමූ අවස්ථාවේ ඇය පවසන්නේ "මට පෙම් කල ඒ මනමේ රජිඳා " යනුවෙනි. මෙවන් වටපිටාවක ඇය තම සාධාරණ වූ චින්තනය මෙහෙයවයි. ඒ තුළ ඇගේ දුර්භාගය සකසා මධුසමය ගත කිරීමට යාමේදී ඇය තම නිදහස් ප්‍රශ්නයන් ඉදිරිපත් කරන්න යාම තුළිනි. මේ අවස්ථාව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිලිබඳ ප්‍රශ්න කිරීමක් හෝ සාකච්ජාමය පසුබිමක් සකසන්නේද? හෙන්රික් ඉබ්සන්ගේ "ඩෝල් හවුස්" හි නෝරා පුරුෂවාදී දෘෂ්ඨිය තුළ ආධිපත්‍ය දැරීම නිසා විවාහ සංස්ථාව හැර දමා යද්දී නෝරා දොර වැසූ හඬ මුළු මහත් යුරෝපයටම ඇසුණි යැයි එකල විචාරකයෙක් සඳහන් කර තිබුණි. නෝරා තම සමාජය තුළ කතිකාවත ගොඩ නැගුවත් මනමේ කුමරියට එකී කරුණ සාක්ෂාත් කරගැනීමේ ඇති නොහැකියාව කුමක්ද? සාටෝපත් භාෂාවක අතරමං වී කර්ණරසායනයන් පිනවා ගැනීම මිස එහි සරත්චන්ද්‍ර නිහඬවම මතු කල ස්ත්‍රී භූමිකාව කිසිවෙකු විසින් මතුකර ගත්තේ නැත.

මේ තත්වය සිංහබාහු තුළද එසේම විය. සරණ වී පැමිණි සැමියාගේ මරණය සමග අසරණ වන ඇය වැදි රජුගේ ආරාධනය හමුවේ ජීවිත බලාපොරොත්තුව තබා ගනී. "වෙනු මැන මා බිසෝ" යනුවෙන් පවසද්දී සාම්ප්‍රදායික සමාජයෙහි වැන්දඹුවක ලෙස ඇගේ සිතෙහි ඇති කරන කැමැත්ත වනුයේ වනචර එකක් නොව ජීවිතාපේක්ෂාවයි. "නැත අන් සරණා - ඔබ හැර මෙමටා" යනුවෙන් ඇය පවසන්නේ ආලය නොව සරණය පිලිබඳ ගිවිස්සකි. ඇයට මනමේ කුමරුගෙන් හෝ වැදි රජුගෙන් හිමි වන්නේ ආලයක් නොව සමාජය විසින් ගැහැණියකට උරුම කරදෙන 'සරණ සංකේතයකි. ' වැදි රජු සමග හිමගිරි අරණ තරණය කිරීමේදී වැදි රජු කරන ගායනය ඇයට නුපුරුදු එකක් නොවේ. ඇය මීට පෙර එය අසා ඇත්තේ සිය සැමියාගෙනි. වෙනසකට ඇත්තේ එහි තිබූ සාටෝපවත් ප්‍රකාශන වලට වඩා මෙය යථාර්ථවාදී වීමයි. "රජ ඉසුරු නැත - නැත මිණි කිරුළු" ලෙස නැවත ඇය අසන්නේ තවත් එක් සම්ප්‍රදායක ප්‍රකාශනයක් පමණි. සමාජ තන්ත්‍රය විසින් උරුම කරදී ඇති දැනුමේ අල්ප බව ඇය පෙන්වනේ මෙතැන් සිටය. වැදි රජුගේ ගායනා වලදී පෙර ඇසූ සාටෝප වර්ණනා ඇය ප්‍රති ප්‍රකාශනයට උපයෝගී කරගන්නීය. ඇය මේ තුළ සිය අනතුර ද අත් කරගන්නීය. චාටු බස් පුරුෂෝත්තමවාදී විග්‍රහයකදී පුරුෂයාට වාසි සහගත වුවත් ගැහැණියකට එය එසේ නොවේ. "අන්ද මන්ද වූයේ මසිත මේ පුවතින" යනුවෙන් වැදි රජු පවසන්නේ එයයි. වැදි රජුගේ කෝපය හමුවේ තවත් අසරණ වන ඇයට ඇගේ අනුවණ කමද වහා වැටහේ. "වෙන්ට කමා වැදි රජුනේ" යනුවෙන් ඇය සමාව අයදින්නේද සමාජ ක්‍රමයේ ප්‍රපාතයට ඇද වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. වැදි රජු චපල ගැහැණියක ලෙස ඇය හංවඩු ගසන්නේද මේ අවස්ථාවේදීමය. නමුත් අවසන සිදු වන්නේ අන්ත අසරණ ලෙස ඇය පෙරකී ප්‍රපාතයට ඇද වැටීමය. වේදිකාව අඳුරු වීමත් සමග මනමේ කුමරියගේ ඉරණම අවසාන වූවත් වේදිකාවෙන් පරිබාහිර සමාජය තුල මනමේ කුමරියන්ගේ අඩුවක් නොමැත. අවසන වේදිකාවේ දිස් වන්නේ සමාජ ක්‍රමයේ අඳුරය. එහි අඳුර නැසිය යුත්තේ ද මෙම සමාජ ක්‍රමය විසින්මය.

සුබෝධා ප්‍රභාෂිණී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගවුම කොට වැඩියෝ
කලවා පෙනෙයි ළමයෝ
පැවසී ගුරු ලියෝ
ලිහා වාටිය ගන්න අයියෝ

එබසට උරණවූ
මන්ත්‍රී ඇගෙ පියාවූ
ඇතිව දඬු අත වූ
පැමිණ ගුරු ලිය දණින් සිටවූ

සිත් සතන් පෑරූ
පෙර සිදු නොවූ විරූ
හබය ලිය එගුරු
කළා පැමිණිලි නිරිඳු හට ගරු

අවනඩුව අහලා
පාලන තන්ත්‍රෙ ලීලා
නිරිඳුන් හෙලි කලා
නොයෙක් තොරතුරු අහුල අහුලා

වරක් මා මැතිඳෙක්
බැන්දේය ගස් මිනිසෙක්
එතැනින් පසු මෙතෙක්
නොදුටුවෙමි තෙද බලැති භවතෙක්

අමතකද ලිය ගුරු
කෙනෙක් මා උපදෙස් කරු
තවකෙකු මැරූ’යුරු
මගෙක මහසෙන් ගැවසි නිරතුරු

දිසා විනිසුරුවරු
පගාගෙන ඇති හැකි’යුරු
යුක්තිය පසිඳු’යුරු
නොදත්තෙද ගුරු මැතිණියනි ගරු

අපේ ලොකු තැන්වල
ලද අය මහත් බලතල
කුලියට මිනී මල
අයුරු නොදිටිද පිය කතුනි කුල

පිය ගුරු මැතිනියෙනි
අසනු මා බස් බැතියෙනි
ඉහළ හැටි ඔහොමනි
පහළ වේවිද ඊට නොදෙවෙනි

ඝන යකඩ මල්ල
තිබූ කුස්සියෙ මුල්ල
ගුල්ලන් විද්ද කළ
ඉතුරු වේවිද හාල් මල්ල

සිවල් සායෙන් යුත්
උනුන් පොරකත් වැනසෙත්
සැවුල් ගැන තම වත්
වේද පැමිණිළි අරුතකින් යුත්

චිත්‍ර උන්මාද
පවා පතිවත නැතිසඳ
වෙසඟනගෙ එය වෙද
සොයා මැතිණිය පලක් වෙනවද

ලොව මහා අසිරිය
ලද ඒ විරුද නාමය
මා තන්ත්‍රෙ ඔහොමය
ඊට කවුරුත් යුතුය හුරුවිය

එය එසේ වූවත්
සීමාවක්ද යුතු වෙත්
රෙද්ද ගැලවූවොත්
එවිට දන්වනු මැනවි නැවතත්

නිරිඳු දුන් අති දුල්
පිළිගෙන ඔවා මනකල්
සිත සන්සිඳුනු කල්
නැවත සතුටින් ගියා පාසැල්

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'පියවර' ළමා හා නව යොවුන් ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද ‘සොඳුරු නව යෞවනය’ ග්‍රන්ථය ජනගත කිරීම සහ සම්මන්ත්‍රණය 2013 සැප්තැම්බර් 04 වන බදාදා සවස 3 ට කොළඹ 10, ඩින්ස් පාරේ, අංක 281, සමාජ හා සාමයික කේන්ද්‍ර රැස්විම් ශාලාවේ දී පැවැත්වේ.

දේශන : ප්‍රනීත් අබේසුන්දර, මහින්ද නාමල්

විමසීම්: 0714334990 /‍ 0779337221




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උපුල් සේනාධීරිගේගේ තෙවන කවි සංග්‍රහය "මෙ' මල් කලඹ ම නුඹ සතු" කාව්‍ය එකතුව දොරට වැඩීමේ උළෙල, 2013 සැප්තැම්බර් 06 වන දා ප.ව. 3:00 සිට 6:00 දක්වා කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගරයේදී පැවැත්වෙයි.

දෙසුම්-
"කවියේ ධ්වනිය හා සිනමාවේ සමෝධානය පිළිබඳ තුලනාත්මක ඇගයුමක්"- ජයන්ත චන්ද්‍රසිරි
"සමාජ ප්‍රපංචයන් ආවේක්ෂණය කරන නව තරුණ කවි ඇස"- හිනිදුම සුනිල් සෙනෙවි

විමසීම්- දුර. 0777 486016, 0112 846131



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපට මේ ඌරන්ව
පරදවන්නට බැරිමුත්
ඌරන් නො වී ඉන්නට
අපට පුළුවන් නේ බොබ්

ලේසි නැහැ ඌරා
වයිරසයකි බෙහෙත් නැති
ඌරුකම හැම තැන ම ඇත
ගැලවීම නම් ලෙහෙසි නැත

කන්නාඩියක් හැදුවා
ඌරන් අඳුන ගන්නට
මෙන්න බැලු විට එබිලා
හොම්බක් පෙනිණි පීරිසි

ඌරො මුදල් උපයනවා
මුදල් මතම පවතිනවා
ඌරො පොතුත් කියවනවා
පොතෙන් හිසට බැට දෙනවා

ඌරා හා ඌරා අතර
ඇත්තෙ ඌරුකම විතර ය
මේ ඊරී බිම සීරී
මිනිස් කසල බිම ඉහිරී

ඌරුහාමි පා සිනාව
එබී බලයි මා දිහාව
ඌරු ඡන්ද එකතු කරන්
ඌරෙක් යයි ඌරුහලට

ඌරා නම් අරුම සතා
උරුමය උගෙ හරි මහතා
ඌරා තමයි එකම සතා
අනෙක් එවුන් කුදුයි ඉතා

ඌරො සිංදු කියනවා
ඌරො නැටුම් නටනවා
ඌරො කවිත් ලියනවා
ඌරො ඒව බලනවා

අජිත් පැරකුම් ජයසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කිලිනොච්චියෙ ඉඳන්
සීල් කල පෙට්ටියක
මයෙ පුතා ආවා
ගෙදරටම

ගිහින් එන්නන් කියන්නට විතරමයි
ඔලුව ඉස්සුවෙ හරියට
ඒත් අන්තිම මොහොතෙදි
පස් දානකොට වලට

ඒ ගිය ගමනෙදියි
මයෙ පස්සෙන් වැටිල
ගෙදරටම ඇවිත්
ටික දොහක් ගියහම
පිලේ අයිතිය ඉල්ලගත්තේ
සදහට

පහු වෙනකොට වස උනාට
හරි කිරිසප්පය එතකොට

තරහ උනේ නැහැ
ඩින්ගිත්තක්
මාත් පිලේ හිටියට
හවසට

පාර බල බල
අපි දෙන්න නිතරම
පුතා එනකන්
හිටියෙ ආපිට

අන්න ඒ කාලෙදියි
අඳුනාගත්තෙ අපි හරියට

මහ ගොඩක් ලොකුවට
ඕනෙ නැහැ නෙව තනි මට
පුතු හිටිය නම් තනියට
කනවා අපිත් ජයටම

මට ඇහැකි හැටියට
දීපු දිය රහ බත් පත
නගුට වන වන කෑව ඇරුනම
කිවුවෙ නැහැ වචනයක් හරහට

කහට උගුරත් බිවුව ඉඳහිට

හැරමිටිය ඇන ඇන
ඇවිදන් යද්දි තැන තැන
කිවුවට මොකද ඔහෙලට
පෙනුනෙ නැහැ මග හරියට

ගිහින් මගෙ පෙරමග
නයිම කීයක් මරල දැම්මද

දාර ගැට පොළඟෙක්
මරල තිබුනා එදත් ඇඳ යට

ඉතින් උගෙ ගුණ ගැන
තවත් කියලා මොකටද?

හන්දියෙ හෝටලෙන්
පරණ බනිසක්
ඉල්ලගෙන එන්නට
යනව නෙව ඒකා
හැමදාම හවසට
ඒ ගිය ගමන් නේ ඔය

උලමෙකුත් ඇඬුවලු
ඊයෙ රෑ හරියට

හාල් ටිකයි පරිප්පුයි
ඇන්න එන්නට ගියහමයි
හන්දියෙ ගැටවු ටික
කනේ තිබ්බේ වින්නැහිය මට

කරපටි කොහෙන්දෑ මහත්තුරුනේ
මගෙ හිඟන බල්ලට
ගැටගහන්නෙත් මන් සරම
ගෝනි නූලක් තියලයි ඉනට

බලු වෑන් එක ගමට එන බව
දැන්නුවේ නැහැ කවුරුවත් මට
එදා ගෙදරින් යනකොට
ගිහින් එන්නන් කියලවත් ඌ
කිවුවෙ නෑ මට හරියට

ඌ එලොව යනකොට
ළඟ ඉන්න බැරි උනා නෙව මට
ඒ ගැනයි හරියට හිතට දුක

අනේ මගෙ බුදු මහත්තුරුනේ
මට ඕනි උගෙ මළකඳ
දැක්කොත් අඳුන ගත්තැකි මට

කලුම කලු පාටට
වලිගෙ විතරක් සුදුවට
ගලක් වැදිලා ගාතෙට
නොන්ඩි ගැහුවා හරියට

අනේ පින් ඇති මහත්තුරුනේ
මට ඕනි උගෙ මළකඳ

සීල් කල පෙට්ටියක් හෙම
දෙන්නට එපා අනේ ආයෙම...

මනුර ටසිත් වනසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails