Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කරගල ගගා
අරගල පාන
ජනබල කරණවැමි

රජු වෙත නැමී
තම හිස ගසාලන්න
වැඳ වැටී

බියකරු නගරයක
අඳුරු දහවල
උණුසුම ඉහලට නගී

හිනා හඬ
ඉනා පා
ප්‍රේත යක් විලිස්සන
රූප ඇඳි අහස
අවතාර පැහැයක් ගනී

වින අණ නරුම
යක් හිස ගසාලන
කඩු ගෑ ගල කැඩී
මුඩු වි විශ්වාස
මුවහත් කගපත
කොපුව ජන හිමී

නැමී ඔබ දෙපා මුල
දෑත් වැඳ නමා හළ
කරණවැමි ජන බල
කපා නොහළමු නුඹ හිස
ගසා හළ මැන ජන හිස

කරගල ද ඔබමය
අරගල ද ඔබමය
උරගල ද ඔබමට
කරණවැමි රජමය

මෙල්ස් මාකැස්චේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුප්පතුන් හිස තෙමාලන
මහ වැස්ස සාපයක් යැයි කීවෙමි
සැඳෑ හිරු කිරණ ඇඳි
රක්ත වර්ණ රේඛා
රුධිරය නොවේදෝ යැයි ලීවෙමි

රජවරුන් නිලමෙ වරු
කොසු ඉදල් ගෙන අතුගාන වීදියක
සුදු අසෙකු අරා නැඟි
දුප්පතෙකු ගැන ලීවෙමි

ඉක්බිති උන් සියල්ලම
පැමිණුනා නිගමනයට
මා සිත උමතුවෙනි
ප්‍රතිකාර අවැසිය

විද්‍යුත් කම්පන
මහත තෙද ඇති එන්නත් කටු
බෙහෙත් පෙති අහුරු ගනනේ ගිල්වා
දැන් උඹට සුවයැයි පවසා
ගෙනත් ඇරලීය නිවසට

තවමත් සිහිනෙන් දකිමි
සුදු අසෙකු අරා නැගි දුප්පතෙකු

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තුරඟෙකි, හමන මේ සුළඟ
අසන්න ඔහු දිවයන'යුරු
නිල් අහස ද සිඳු දිය ද මත.

මා රැගෙන යන්නට ඇවැසිය ඔහුට
අසනු මැන ඒ හඬ
දියත පීරා සරන'යුරු
මා රැගෙන දුර යන්න.

මේ රැයෙහි පමණක්ම
මා ඔබේ දෑත් තුල සඟවන්න
වැසි දිය කඩා හැලෙන විට
මහ සමුදුරට එරෙහිව
පොළෝ මත ඇති
අපමණක් වූ මුව තුලට.

අසනු මැන
සුලඟ මට අඬගසන'යුරු
හැල්මේ දිවයමින්
ගෙනයන්න මා දුර ඈත.

ඔබේ බැමට මගේ බැම
ඔබෙ මුවට මගේ මුව
වෙලී සියොළඟ
අප තුල ගැලුණු ප්‍රේමයට
ඉඩ දෙන්න සුළඟට අප පසු කර දිවයන්න
මා රැගෙන පලා යන්නට නම් නොදෙන්න

පෙණ කිරුලු පැළඳූ
මේ සුළඟට ඉඩ දෙන්න
අප පසුකර වේගයෙන් දිවයන්න
හඬගාන්නට ඔහුට ඉඩ දෙන්න
සෙවනැලි අතර වැරෙන් දිවයන ඔහුට
මා සොයා සරන්නට ඉඩදෙන්න
මා ඔබෙ විසල් දෑස තුල ගිලෙන තුරු
පෙම්බරිය,
මේ රැයෙහි පමණක්ම
මට විඩා නිවන්නට ඉඩදෙන්න.

[The Wind in the Island– Captain’s Verses]

පබ්ලෝ නෙරූදා
පරිවර්තනය - චතුෂ්කා නිමේදි රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුරතෙහි විළිබිය
අයිතිකරු උණුසුමින් කෙළෙසිණ
මස්තිෂ්කය
ඔහුටම ජාතකය
පෑන ඔහුගෙන් ලැබුණෙකි
මේසය
පුටුව ඔහුගේය
වරින් වර
සී මැදුරු කවුළුවෙන්
හෙළන අධිපති බැල්මට
ඔවූහු මුසපත්හ
එහෙත්
ඔවුනොවුන් දෙපොළකය

බටලන්ද අහවරය
ඇඹිලිපිටියට දුරය
සියඹලා ආණ්ඩුව
වේගවත් සංවර්ධනයකට

සමාජවාදය
සදහටම ඉවරය
රුසියාව චප්පය
පෝලන්තය වර්චස්ය
කොරියාව සුන්ය
චීනයේ බැරි බැරිය

නව ලොවකි
නව අර්ථ ක‍්‍රමයකි
වෙළෙඳ පොළ
අර බලනු මැන අර
මානුෂික මුහුණුවර

ඇසේ රත නොපෙනේ
දතේ උල නොපෙනේ
අයිතිකරු අසුනේ
බලා උන් හැටි පමණි පෙනුණේ

******

තිත්ත පත්තර ii
(තිත්ත පත්තර i න් පසු කවිය)

කොළ පමණි
දළුමල් පල නොමැති
හිස්ම හිස් පත්තරයකට
පාළු කපන්නට යාළු
අකුරු රූ රටා චිත‍්‍ර
පින්තූර දැන්වීම්
බත් ඔතන්නට පමණි
කතු වැකිය

විදාරණය- 2010

[සිත්තම- Katarzyna Gajewska]

බර්ටි බී කුඩාහෙට්ටි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිම්බාබ්වේ නිදහස ලැබීමේ උත්සවයේ සමාරම්භක අවස්ථාවට විශේෂ අමුත්තෙක් විදිහට මාලේ සහභාගී විය යුතුව තිබුණා. රොබට් මුගාබේ මැතිවරණයෙන් ජය අරගෙන රටේ නායකකම භාර ගත්තා. මුගාබේගේ ලේකම් එඩ්ගා ටෙකේරේ මාලේට ආරාධනා කළා. කොහොම හරි සිම්බාබ්වේ නිදහස ඉක්මනින්ම ලබා ගත්තා. මාලේට නිදහස් උත්සවයට ආරාධනා කෙරුණා.

ඒ උත්සවයට යද්දී එයාට නයොරෝබිවල ගුවන් තොටුපලේ ඉන්න වුණා වෙන ගුවන් යානයකට මාරු වෙන්න. එයාට පණිවිඩයක් ලැබුනා චාල්ස් කුමාරයත් මේ ගමනෙම යෙදිලා ඉන්නව එයා කැමතියි මාලේව මුණ ගැහෙන්න කියලා. ඉතිං මාලේ කිවුවා චාල්ස්ට උවමනා නම් ඇවිත් මාලෙව හමුවෙන්න පුළුවන් කියලා. කළු ජාතික ස්වාධීනත්වය, ගායකයෙක්, කලාකාරයෙක් විදිහට දේශපාලකයොත් එක්ක යම් කොන්දක් ඇතිව හැසිරෙන්න අනාගතයේ බිහිවෙන කොන්දක් ස්වාධීනත්වයක් ඇති කරගන්න උවමනා අයට මාලේ හොඳ උදාහරණයක් එතනදී ලබා දුන්නා.



අජිත් කුමාරසිරිගේ "බොබ් මාලේ" (2013) කෘතියෙන්.
(අගහස් ප්‍රකාශනයකි.)


අජිත් කුමාරසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි. නොනිළ ඇදිරි නීතිය, අවිනිශ්චිතතාව නිසා හිරු බැස ගිය පසු යමෙකු නිවසින් එළියට ගියේ ඉතා හදිසි අවශ්‍යතාවක දී පමණි. මේ නිසා සැඟවී සිටි මිනිසුන් තිදෙනා විමසිලිමත් වූයේ ආරක්ෂක අංශ කෙරෙහි පමණි.

”කෝ.... මූ තවමත් නෑනේ...” මිනිසුන් තිදෙනා අතරින් නායකයා යැයි සිතිය හැකි තැනැත්තා පැවසූවේ නොඉවසිල්ලෙනි.ඔහුගේ අතේ මෙරට නිපදවන ලද තුවක්කුවකි. ”ගල්කටස්” යනුවෙන් හඳුන්වන මෙම ආයුධය තනා ඇත්තේ අඟල් අටක් දිග යකඩ පයිප්ප බටයක් අග කෙළවර පාස්සා එයට ලී මිටක් සවි කිරීමෙනි.

”දවල් පාරට ගියපාර තවමත් ආවේ නැහැ. මට හිතෙන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමට තමයි ග‍්‍රාමයා ගියේ.” නායකයා දෙස බලා මෙලෙස පැවසූවේ කෙට්ටු හීන්දෑරි තරුණයෙකි. ඔහුගේ අතේ උල් පිහියකි.

”කමක් නෑ. කොහේ ගියත් බෝක්කුව උඩින් යන්න එපැයි.” නායකයා පැවසූවේ ස්ථිර හඬකිණි.

”ග‍්‍රාමසේවක මහත්තයා නම් අහිංසකයා.” මෙතෙක් නිහඩව සිටි තෙවැන්නා කීය. ඔහු ඇඳ සිටියේ කොට කලිමකි. ඔහුගේ අත කිසිදු ආයුධයක් නොවීය.

”තිලක්, මිනිහෙක් අහිංසකයෙක්ද, රකුසෙක්ද කියන එක අපට අදාල නැහැ. අපට අවශ්‍ය මිනිහාගේ දේශපාලන දර්ශනය. ඒක ප‍්‍රතිගාමි නම්, දේශ ද්‍රෝහි නම් එතනින් එහාට කථාවක් නැහැ. මෙච්චර අධ්‍යාපන පන්ති කරලත් තමුසේ තාම ගතානුගතික විදිහටනේ හිතන්නේ. මා හිතුවේ දැන් තමුසේ හොඳ දේශපාලන දර්ශනයක් මේ වෙනකොට ලබාගෙන ඇති කියලා.”

නායකයා කීවේ හිසේ පැලදි තොප්පිය වමතින් ගනිමින්ය. දකුණු අතේ වූ ආයුධය ඔහු රෙදි තොප්පියෙන් පිරිමැදීය.

නායකයාගේ වදන් නිසා තිලක් තුළ ඇතිවූයේ ලජ්ජා සහගත බවකි. ඔහුට දේශපාලනයේ ”අ” යනු ”ආ” යනු ඉගැන්වූයේ රණබාහු සහෝදරයාය. උපාධිය සමත්ව සිටියද රැකියාවක් නොමැතිව පීඩනයෙන් කාලය ගතකළ ඔහුට යම් බලාපොරොත්තුවක සේයාවක් ඇති කරන ලද්දේ රණබාහු සහෝදරයා විසිනි. මාක්ස්වාදය, විප්ලවය, පන්ති සටන ඔහු ඉගෙන ගත්තේ මනා උනන්දුවකිනි.

”තිලක් සහෝදරයාට හොඳ බුද්ධියකුත් කරුණු වටහා ගැනීමේ ශක්තියකුත් තියෙනවා.” රණබාහු සහෝදරයා වරක් එසේ කීවේ තවත් පක්ෂයේ සන්නද්ධ නායකයෙකු සමගය. එය ඇසුණු තිලක්ගේ සිතට දැණුනේ සියුම් උද්දාමයකි. එහෙත් රණබාහු සහෝදරයා දැන් කිව් වදන් නිසා තිලක්ගේ සිත මදක් පෑරිණි.

”අපි පක්ෂය වෙනුවෙන් කැප වෙච්චි විප්ලවවාදීන්. පක්ෂයේ නියෝග ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා. ජීවිතය පූජා කරලා හරි අපි මේ සටන දිනන්න ඕන.” රණබාහු සහෝදරයා කීවේ ස්ථිර හඩකිනි.

මෙම සටන ජයග‍්‍රහණය කළ හැක්කේ කෙළෙසකද යන්න පිළිබඳව තිලක් කල්පනා කොට තිබේ. මෙය ජයග‍්‍රහණය කරන්නේ බෝල්ෂේවික්වරුන් මෙන් හිම මාළිගාවට පහර දීමෙන් ද, නැතහොත් ක‍්‍රැස්ත්‍රෝ මෙන් මොන්කාඩා බැරුක්කයට පහර දීමෙන්ද? ඔහු ඉතිහාසය හාරා අවුස්සා බැලුවේය.

නිර්ධන පංතියේ විමුක්තිය වෙනුවෙන් ඔහුද කැප කිරීම් කොට තිබේ. උද්ඝෝෂණ, වර්ජන වලදී තිලක් දැවැන්ත කාරයභාරයක් ඉටු කළේය. එහෙත් යට බිම් ගතව දේශපාලනය කිරීමත් සමගම ඔහුට පැවරුණේ රහසිගතව කෙරෙන වැඩ කොටසකි.

පොලීසිය හෝ හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා කැරලිකරුවන් මරාදමා තිබූ අයුරු ඔහු සියසින්ම දිටීය. නිරුවත් කොට හිසට වෙඩි තබා මරා දමන ලද කමල්චන්ද්‍ර ඇතුළු පිරිසකගේ මෘත ශරීර දැකීමෙන් ඔහු තුළ ඇති වූයේ දැඩි ආවේගයකි. කමල්චන්ද්‍ර ගුරුවරයෙකු ද විය. ඔහු දේශපාලන රැස්වීම් වලදී ඉතා හොඳ කථිකයෙකි. ඒ හැර කමල්චන්ද්‍ර කිසිදු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක නිරත නොවීය. එහෙත් ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. ඔහු සමග මරා දමා තිබූ අනෙකුත් තිදෙනා ඔහු හැඳිනගත්තේ නැත.

කමල්චන්ද්‍රගේ මරණයත් සමග ඔහු වඩාත් කල්පනාකාරීව වැඩ කළේය. රාත‍්‍රිය ගත කිරීමට නිවසට නොගිය ඔහු නිදා ගත්තේ කැළෑ රොදකය. නැතහොත් විශ්වාසවන්ත පාක්ෂිකයෙකුගේ නිවසකය.

පෝස්ටර් ගැසීම සඳහා රණබාහු සහෝදරයා නියම කළේ තිලක්ටය. අතින් අඳින ලද ”මවුබිම නැතිනම් මරණය, ”ද්‍රෝහියන්ට දඬුවම් දෙනු” වැනි පෝස්ටර් ඔහු බිත්තිවල ඇලවූයේ රාත‍්‍රී කාලයේදීය. පාප්ප බාල්දිය හා පෝස්ටර් මිටිය අතින් ගත් ලක්සිරි සමගින් ඔහු විදුහල් තාප්පයේ පෝස්ටර් අලවන විට හමුදා රියක් පැමිණියේ අනපේක්ෂිත මොහොතකය.

”දුවමු, ආමි එකෙන්...” තිලක් ලක්සිරිට කීවේ පෝස්ටර් මිටිය කිහිලිගන්නා ගමන්ය. එහෙත් ඔවුන් පාප්ප බාල්දිය අතහැර දැමූහ. ලක්සිරි සමඟ කඩපේලිය අසලට දිවගිය ඔහු බාබර් සාප්පුව අසල වූ, විශාල කාණුවට බැස පලා ගියේ හමුදාවෙන් වෙඩි තැබුවහොත් එය මඟ හරිනු සදහාය.

එහෙත් හමුදා භටයෝ ඔවුන්ට වෙඩි නොතැබුහ. කුණු කාණුව දිගේ බඩගා ගිය ඔවුන් මතු වූයේ ඇලකිනි. කාණුවට නොදෙවෙනි කසල හා දුර්ගන්ධයෙන් යුක්ත වූ අපිරිසිදු ජලය පිරි ඇලේ ඔවුන් කරවටක් ගිලී සිටියේ පැයක පමණ කාලයක් ගෙවා දමමිනි. මෙසේ නිසොල්මනේ සිටියේ හමුදාව මඟ හැරීම පිණිසය.

උසස්පෙළ පාසල් සිසුවෙකු වූ ලක්සිරිගේ මුහුණේ බියක සේයාවකුදු නැත. මොහු දැඩි සිත් ඇත්තෙකු යැයි තිලක් තීරණය කළේ ඒ දිනයේදී ය. එය සනාථ කරනු වස් ලක්සිරි බොහෝ ප‍්‍රහාර වලට සම්බන්ධ විය. අවසන් ප‍්‍රහාරයේ දී රණබාහු සහෝදරයාගේ නියෝගය මත ලක්සිරි ග‍්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිට උල් පිහියකින් ඇන ග‍්‍රාමෝදය සභාපතිවරයාට පිහියෙන් අනින විට ලක්සිරිගේ දෙනෙත් වල තිබූ ගිනිපුපුරු තිලක්ට අමතක කරනු නොහැකි විය. පාසල් සිසුවෙකු මෙතරම් දරුණු වූයේ කෙසේද? ලක්සිරි මෙලෙස පරිවර්ථනයට ලක් වූයේ සමාජ අසාධාරණයන් නිසා නොවේ දැයි තිලක් කල්පනා කළේය.

එහෙත් ලක්සිරි මුවහත් කරනු ලැබුවේ සංවිධානය මඟින් බව තිලක්ට වැටහිණි.

”ග‍්‍රාමයාගේ වැඩ අද ඉවරයි.” ලක්සිරි පැවසුවේ මුවහත් පිහිය ප‍්‍රවේශමෙන් අතගාමිනි. රණබාහු සහෝදරයා හිස වනා එය අනුමත කළේ තිලක් දෙසද බලමිනි. ඔවුනට පිළිතුරු නොදුන් තිලක් අඳුරු බොරළු පාර දෙස බලා සිටියේය. යම් අයෙක් සෙමින්, සෙමින් ඉදිරියට පා නගයි. ඔවුහු වහාම වෙස්මුහුණු පැළඳ ගත්හ.

ඉදිරියට පැමිණෙන්නා තරුණයෙකි. ඔහු ජයසුන්දර ග‍්‍රාම නිළධාරියා නොවන බව දුර තියා වුවද කිව හැකිය. අවුරුදු පනහ පැන සිටි ජයසුන්දර රාළහාමි ඇවිදින්නේ මහළු ගොන් මාල්ලෙකු සේය. ඇවිදින විට ඔහුගේ කය නැමේ. ජාතික ඇඳුම ඇඳ බුලත්විට හපන ඔහු මයිල බාගයක් දුර සිට වුවද හඳුනාගැනිම අසීරු නොවේ.

තරුණයා බෝක්කුව උඩින් ඇවිදගෙන ගියේ ජෝතිපාලගේ ගීයක් මුමුණමිණි. ඔහුට නොපෙනෙන සේ තිදෙනා පඳුරු තුළ සැඟවී ගත්හ. ජයසුන්දර රාළහාමි ප‍්‍රමාද මන්ද? රණබාහු සහෝදරයා නොසන්සුන් විය. ලක්සිරි පමණක් මුවින් කිසිවක් නොකියා උල් පිහියේ මුවාත පිරික්සමින් සිටියි.

”ග‍්‍රාමයාට කවුරු හරි ඔත්තුවක් දුන්නා වත්ද?” මෙවර රණබාහු සහෝදරයා ඇසුවේ තිලක් දෙස හොරහැහින් බලමිණි. එය තිලක් දුටුවේ නම් ඔහුගේ හද පෑරෙනු නිසැකය.

”මූ අද ආවේ නැත්නම් හෙට ගෙදරට ගිහිල්ලා හරි වැඩක් දෙමු.” ලක්සිරි කීවේ දත්කුරු කමිනි.

ජයසුන්දර ඝාතන නියෝගය තිලක්ට ප‍්‍රහේලිකාවකි. ඔහු යූ. ඇන්. පී. කාරයෙක් බව සැබෑය. ඔහු පමණක් නොව ඔහුගේ පරපුරේ සියළු දෙනා පරම්පරාගත යූ. ඇන්. පී. කාරයෝය. එහෙත් ඔහුට දේශපාලන උණ තිබුණේ නැත. ඉතා සාධාරණව රාජකාරි කළ ජයසුන්දර රාළහාමි ගමේ කොයි කවුරුත් සමඟ හිත හොඳින් සිටියේය.

සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට හැඳුනුම්පත ලබා ගැනීමට පෝර්මය පුරවා දුන්නේ ජයසුන්දර රාළහාමිය. අකුරු ශාස්ත‍්‍රය නොදත් තිලක්ගේ පියා, තම පුතා වන තිලක්ගේ පෝර්මය පුරවන ජයසුන්දර රාළහාමි දෙස බලා සිටියේ ගෞරවයෙන් හා කෘතගුණ සැලකිල්ලෙන් යුතුවය.

”දැන් භාරකාරයා හැටියට අබිලිං මෙතන අත්සනක් දාන්න.” ජයසුන්දර රාළහාමි පියාට පෝර්මය දුන් විට, අත්සන් කිරීමට නොදත් පියා මහපට ඇඟිලි සලකුණ නියමිත ස්ථානයේ තබා තම යුතුකම ඉටු කළේය.

” ඕං අයිඩෙන්ටිකාඞ් වැඬේ හරි. දැන් තියෙන්නේ හොඳින් පාඩම් කරලා විභාගේ පාස් වෙන එකයි.” ජයසුන්දර රාළහාමි පැවසුවේ හිතවත් වැඩිහිටියෙකුගේ විලාසයෙනි.

සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ හා උපාධියද සමත් වූ තිලක් හට රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමටද ග‍්‍රාම නිළධාරියා උපකාර කළේ කිසිදු ඊර්ෂ්‍යාවක් හිතේ නොදරමිණි. ”මොහු ඉතා අවංක කාර්යශූර අයෙකු බව සහතික කරමි” යැයි ජයසුන්දර රාළහාමි තිලක්ට චරිත සහතිකයක් නිකුත් කරමින් මුද්‍රා තැබීය. එහෙත් සම්මුඛ පරීක්ෂණ වලට විනා රැකියාවකට ඔහුට අවස්ථාව නොලැබුණි.

රණබාහු සහෝදරයාගේ නියෝග ප‍්‍රශ්න නොකොට ඉටු කළ තිලක් ඔහු සමග මතවාදීව ගැටුණේ සහල් ගබඩාවට ගිනි තැබීමට තැත් කළ අවස්ථාවේදීය. රණබාහු සහෝදරයා සහල් ගබඩාවට ගිනි තැබිය යුතු යැයි තර්ක කළේය. එහෙත් එයට එකඟ වීමට තිලක්ට නොහැකි විය.

”රණබාහු සහෝදරයා, ගොවීන්ගේ වී මිළට ගන්නේ මේ ගබඩාවයි. මෙතන රැස් කරන වී සමූපාකාරයෙන් අරගෙන යනවා. අපි මේක විනාශ කළොත් ගොවීන්ට වී ටික විකුණා ගන්න විදිහක් නැති වෙනවා. එතකොට වෙන්නේ මුදලාලිලා අඩු මිළට ගොවීන්ගේ වී ගන්න එකයි.”

රණබාහු සහෝදරයා තිලක් දෙස හෙළුවේ අභියෝගාත්මක බැල්මකි. ”තිලක් සහෝදරයා ප‍්‍රශ්න විශ්ලේශණය කරන්නේ මතු පිටින් විතරයි. සහෝදරයා ඔය කියන්නේ මතු පිටින් පෙනෙන සත්‍යය. වී ගබඩාව කියන්නේ ගොවීන්ගේ සටන් ශක්තිය හීන කරන මෙවලමක්. අපි එ්ක විනාශ කරන්න ඕනෑ. එතකොට ගොවීන් විප්ලවකාරී බලවේගයක් බවට පත් වෙනවා....”

රණබාහු සහෝදරයා කෙටි දේශනය අවසන් කළේ ජයග‍්‍රාහි හඬකිණි. ඉන් පසුව තිලක් කිසිවක් කීවේ නැත. එදින රාත‍්‍රියේ ඔවුහු වී ගබඩාවට ගියහ. විශාල පිට්ටු බම්බු වැනි කොන්කි‍්‍රට් ගබඩාවල දොරවල් නාරස්සනයකින් කඩා දැමූ ඔවුහු වි පිරවූ ගෝනි වලට පෙට්රෝල් වත්කොට ගිනි තැබූහ.

”මුරකාරයා පේන්නවත් නැහැ..” තිලක් වටපිට බලා පැවසීය. ඉන්පසු ඔවුහු කාර්යාලය දෙසට ගියෝය. කුඩා කාර්යාලය ද ගිනි දෙවියාට පිදීමට ඔවුන්ට ගතවූයේ සුළු කාලයකි. වී තොග ගබඩාව දුම් දමමින් ගිනි ගනිද්දී ඔවුහූ පළා ගියහ. පසු දින ගබඩාවේ ඉතිරි වී තිබුණේ යෝධ කොන්ක‍්‍රීට් සැකිල්ල පමණි. ගින්න නිසා පිට්ටු බම්බු වැනි සුදු කොන්ක‍්‍රීට් ආවරණ කළු පැහැ ගැන්වී තිබුණි. කාර්යාලය තිබුණු තැන ඇත්තේ අඟුරු ගොඩකි.

ඉන් සතියකට පසු ඔහු ගෙදර ගියේ සුළු වේලාවක් සඳහාය. තිලක් දුටු ඔහුගේ පියා ඔහු දෙස බැලූවේ බිය මුසු දෙනෙතිනි.

”පුතේ පෙරේදා පොලීසියෙන් මෙහෙ ආවා. උඹ ගැන අහගෙන..” පියා කීවේ බියපත් හඬෙකිණි.

”පුතේ... ආපහු මෙහෙ එන්න එපා, උඹව අල්ලගෙන යයි. රන්බණ්ඩාගේ පුතාවත් පොලීසියට ගෙනිච්චලු” මව පැවසුවේ අඬන්නාක් මෙනි.

තිලක් කිසිවක් නොකියා දෙමාපියන් දෙස බලා පිටත්ව ගියේ කඩිනමිනි. ගම්මුන් මුලිච්චි නොවීම සඳහා ඔහු බඩවැටි අස්සෙන් සමන්මලීගේ නිවසට ගියේය. එහෙත් සමන්මලී නිවසේ නොවූවාය. ඇයගේ නිවසද වසා දමා තිබුණි.

”අද උදේ සමන්මලීවයි, අයියවයි හමුදාවෙන් ගෙනිච්චා,” අසල්වැසි කොළුවෙකු වූ මද්දු කීවේය. දෙපා කොර වී ඇති මද්දු ඇවිදින්නේ සැරයැටියක ආධාරයෙනි.

ලැබෙන ආරංචි අනුව මෙහි සිටීම සුදුසු නැත. තිලක් ප‍්‍රධාන මාර්ග මඟ හැර රක්ෂිත ස්ථානයක් බලා ගියේය. කුඩා වන රොදක ඇති ගල් තලාව ඔවුන්ගේ රක්ෂිත ස්ථානය විය. පොලීසියෙන් හෝ හමුදාවෙන් එන විට ගල් තලාව උඩ සිටින සඟයෙකුගේ සංඥවෙන් ඔවුන්ට ගංගාව දෙසට පැන යාමට හැකි වේ. ගංගාව අසල පාලම තරණය කොට ඔවුන්ට නගරයට අවතීර්ණ විය හැක. නගරයේ සැරිසරන දහසක් මිනිසුන් අතර මොහොතක දී ඔවුන්ට අතුරුදහන් වීමට ගත වන්නේ විනාඩි ගණනකි.

”තිලක් සහෝදරයා, මොනවද ආරංචි?” ඔහු දුටු රණබාහු සහෝදරයා ඇසිය.

”සමන්මලීවයි අයියවයි අරගෙන ගිහිල්ලා. මෙලහකටත් මරලා දාන්න ඇති...” තිලක් පැවසුවේ කලකිරීම හා කෝපය මිශ‍්‍ර වූ හඬකිනි.

”ප‍්‍රතිගාමින්ගේ මුර බල්ලෝ” රණබාහු සහෝදරයා කීවේ කෝපය හා පිළිකුල දනවන හඬකිනි. ”මුන්ගේ පවුල්වල එවුනුත් මරලා දාන්න ඕනේ.”

රණබාහු සහෝදරයා ඇතැම් විට ක‍්‍රියා කරනුයේ වෛරයෙන් හා අගතියෙන් බව තිලක් වටහා ගත්තේය. විප්ලවවාදියෙකුට මිනිසුන්ට වෛර කළ හැක්කේ කෙසේද? ඔහු මොහොතක් සිතුවේය. මාක්ස් වාදය හැදෑරිමෙන් පසු ඔහුට විප්ලවවාදියෙකු විමට නොමද ආශාවක් ඇති විය. කැස්ත්‍රෝ, චේ වැනි විප්ලවවාදියෙකු වී මිනිස්සුන්ට විමුක්තිය උදාකර දෙන්නට ඔහුට බලවත් ආශාවක් තිබුණි. එහෙත් දැන් ඔවුන් කරන ක‍්‍රියා ජනතාවට හිතකරව බලපාන්නේදැයි, තිලක් හෘද සාක්‍ෂ්‍යයෙන් විමසිය. එහෙත් සුදුසු පිළිතුරක් නොලැබුණි.

”තන්ත‍්‍රී සහෝදරයා එළිය කන්දට ගෙනිහිල්ලා.” ජාවිගොඩ තිලක්ට පැවසුවේ සංවේගයෙනි.

එළියකන්ද හෙවත් කේ පොයින්ට්, එළියකන්ද වදකාගාරයට ගිය අයෙකු පණ පිටින් පැමිණියේ කලාතුරකිනි.

”තන්ත‍්‍රී අපිව පාවා දෙයිද?” ජාවිගොඩ තිලක්ගෙන් රහසින් මෙන් ඇසිය. තන්ත‍්‍රී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. දිගින් දිගටම විශ්ව විද්‍යාල වසා තිබූ නිසා ඔහු ව්‍යාපාරයට සම්බන්ධ විය.

”නෑ.. සහෝදරයා, තන්ත‍්‍රී අපිව පාවල දෙන්නේ නෑ. එ්ක මට විශ්වාසයි.” තිලක්ගේ පිළිතුරෙන් ජාවිගෙඩ සැනසුම් සුසුමක් හෙළීය.

”සහෝදරයා..” ජාවිගොඩ තිලක්ට මදක් ළං විය.

”අපි වී ගබඩාවට ගිනි තියපු එකට ගම්මු අපිත් එක්ක කළකිරිලා. දැන් ගම්මැද්දේ අපට සපෝට් එකට කවුරුත් නෑ. සමන්මලීවයි අයියාවයි ගෙනිච්චේ වී ගබඩාව ගිනි තිබ්බට පස්සේ, කවුරු හරි දුන්න ඔත්තුවකට.”

වී ගබඩාව ගිනි තැබීමෙන් පසු රණබාහු සහෝදරයා කී පරිදි ගොවින් ප‍්‍රතිගාමින්ට එරෙහිව අවි අතට ගනු ඇත. එහෙත් ඔර්ලෝසුවේ කටු කැරකෙන්නේ අනිත් පැත්තටය. දැන් ගොවීහු විප්ලවවාදීන් දඩයම් කරති.

රණබාහු සහෝදරයා ඔවුන් අතරට පැමිණි නිසා ඔවුන්ගේ දෙබස ඇන හිටියේය. උක්කුටිකයෙන් හිඳ ගත් රණබාහු සහෝදරයා මී ළඟට කළ යුත්තේ කුමක් දැයි විස්තර කළේය.

”සමන්මලිවත්, අයියාවත් ගෙනිච්චේ ග‍්‍රාමයාගේ කේලමකට වෙන්න ඕනෑ. දැන් තියෙන්නේ ඌව සයිලන්ස් කරන එක. මට ඔත්තුවක් ආවා හෙට දවල්ට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා කියලා. මූ රැස්වීමට ගිහිල්ලා එනකොට බෝක්කුව ළඟදී අල්ලා ගමු.” රණබාහු සහෝදරයා කීවේ නිශ්චිත අයුරිණි.

”හෙට මාත් එක්ක තිලක් සහෝදරයයි, ලක්සිරි සහෝදරයයි යං.” ඊට එරෙහිව කිසිවෙකු කථා නොකළ නිසා යොජනාව ස්ථිර විය. පසු දින සවස් වන විට ඔවුන් සිටියේ බෝක්කුව අසල වූ පඳුරු අස්සේ සැඟවී ගෙනය.

”අන්න කවුද එනවා” ලක්සිරි කලබල විය.

ඔවුහු ඈතට ගොස් නෙත් යොමාගෙන සිටියෝය. ඈතින් එන පුද්ගලයා ඇවිදින විලාශය අනුව ඒ ජයසුන්දර රාළහාමි බව තිලක් වටහා ගත්තේය.

”හරි, හරි, ඒ එන්නේ ග‍්‍රාමයා. දැන් දෙමු වැඩේ.” රණබාහු තුවක්කුව සූදානම් කළේය. ”තිලක් සහෝදරයා තමුසේ අද වැඩේ කරනවා. පෙන්නනවා තමුසේ හොඳ විප්ලවවාදියෙක් කියලා. ව්‍යාපාරයට තියෙන පක්ෂපාතිත්වය පෙන්වන්න තියෙන හොඳ අවස්ථාවක් මේක. ගන්නවා මේ තුවක්කුව.” ඔහු තිලක් අතට තුවක්කුව දුන්නේය.

තිලක් තුවක්කුව අතට ගෙන මහළු පුද්ගලයා තමා ඉදිරියට එනතෙක් බලා සිටියේය.

‘වෙඩි තියන්නේ කොහාටද? හිසටද? නැතිනම් පිටු පා යන විට පසුපසටද?‘ තිලක් කල්පනා කළේය. ග‍්‍රාම නිළධාරි ජයසුන්දර රාළහාමි කාටවත් වැරැද්දක් නොකළ රජයේ සේවකයෙක්. හිතේ සැකේට මරන්න නියම වෙලා. සමන්මලී ගැන ඔත්තුව දුන්නේ වෙන මිනිහෙක් වෙන්න බැරිද? සමන්මලී ගැන ඔත්තුව දෙන එක ජයසුන්දර රාළහාමිට මීට කලින් කරන්න තිබුණේ නැද්ද? ඔහු තුවක්කුව අල්ලාගෙන සිතමින් උන්නේය.

දැන් නිළධාරියා හොඳටම කිට්ටුය. තිලක් තුවක්කුව තදින් ග‍්‍රහණය කළේ ඉලක්කය නොවරදවා ගැනීමටයි. දැන් ජයසුන්දර රාළහාමිගේ මුහුණ ද පෙනේ. පඳුරට මුවා වි සිටින නිසා ග‍්‍රාම නිළධාරියාට තම ඝාතකයා නොපෙනේ. දැන් හොඳම මොහොතයි. තිලක්ගේ දබර ඇඟිල්ල කොකා වෙත ගියේය. එහෙත් ඔහු කොකා ගැස්සුවේ නැත.

”රාළහාමිගේ මුහුණ බල බල මට වෙඩි තියන්න බැහැ. රාළහාමිට පිටිපස්සෙන් වෙඩි තියනව."ඔහු ග‍්‍රාම නිළධාරියාට ඉදිරියට යාමට ඉඩ හලේය. ඔහු පසු කොට ඉදිරියට යන ජයසුන්දර ග‍්‍රාම නිළධාරියාට තිලක් තුවක්කුව මෑනුවේය. එහෙත් ඔහු තවම කොකා ගැස්සුවේ නැත. ග‍්‍රාම නිළධාරියා ක‍්‍රමයෙන් ඉදිරියට ගමන් කරද්දී රණබාහු සහෝදරයා නොසන්සුන් විය.

”තියපං” රණබාහු කෙඳිරීය. තමා පසුකොට යන ග‍්‍රාම නිළධාරියා දෙස තිලක් බලා සිටියේ උපේක්ෂා සහගතවය. ඔහු තුවක්කුව පහත දැමීය.

”බැහැ සහෝදරයා, මට ඒ නාකි මිනිහා මරන්න බැහැ. අපි විප්ලවවාදින් මිසක් ඝාතකයෝ නොවෙයි. මෙන්න තුවක්කුව. මට මීට පස්සේ මේ වගේ වැඩ පවරන්න එපා.” ඔහු රණබාහු දෙසට තුවක්කුව විසි කළේය.

”තිලක් සහෝදරයා, තමුසේ හරි ළාමකයි. තමුසේ කවදාවත් විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. දැන්වත් දුවලා ගිහිල්ලා ග‍්‍රාමයාට වෙඩි තියනවා.” රණබාහු සහෝදරයා තුවක්කුව අහුලා ගනිමින් කිවේය.

”බෑ සහෝදරයා, මම කිව්වානේ මේක මිනී මරුමක්. අපි යන මාර්ගය වැරදියි. අපි යන්නේ ජනතාව එක්ක නෙවෙයි” තිලක්ට කීමට හැකි වූයේ එපමණකි. වියුරු වැටුණු රණබාහු සහෝදරයා තුවක්කුව තිලක්ගේ මුහුණට එල්ල කළේය. ”අඩෝ පෙන්දා, ද්‍රෝහියා, පාවා දෙන්නා තෝ ග‍්‍රාමයාට වෙඩි තියනවද? නැතිනම් මේකෙන් කනවද?”

” ඕන දෙයක් කරන්න සහෝදරයා. මෙන්න මම දැන් ගියා. මට දැන් උලත් එකයි. පිලත් එකයි.” මෙසේ පවසමින් තිලක් සෙමින් ගම්මානය දෙසට යන්නට විය.

”ඒයි නැවතියං, මම උඹට අන්තිම වතාවටයි කියන්නේ.....” රණබාහු ඉදිරියට යන මිනිසාට තුවක්කුව එල්ල කළේය. මුවින් කිසිවක් නොපැවසූ තිලක් ඉදිරියටම ගියේය. රණබාහුගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන්නේය. ඔහු තිලක් දෙසට වෙඩි තැබීය. වෙඩි හඬ සමඟ තිලක් බිම ඇද වැටුණේය.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉවකරන්, තැන සොයා වැලලුන
ගොඩ අරන් මස් සිඳුණු මළ කුණ
යළි යළිත් ලෙවකන්න අණ දෙන
සුදහ ගින්නකි සදා නොනිවෙන

ගිජු ලිහිණි හොරකමේ යන එන
නිල මැසි සෙනඟ නිතර වද දෙන
අවු වැහි එක්ක තෙමෙන වේලෙන
කටුගොඩකි කෘශ සිරුර කටු කන

ඉතිරි වුනු සුන්බුන් ම වළඳන
පොඩි එවුන් අකාලේ මියැදෙන
වනවැසි සැවොම බැතින් නමදින
කැලෑ නීතිය සාදු! රජ වුන

පණ ගැහෙන ගොදුරක් මුවට ගෙන
උගුරු දඬු හපා උණු ලේ බොන
සිංහයෙකු කොටියෙකුව ඉපදෙන
පැතුම හිතැතිව මියෙමි හෙට දින

ප්‍රසාද් වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


(2013 අගෝස්තු 14 වන දින, TruthDig වෙබ් අඩවියේ පළ වූ ක්‍රිස් හෙජස්ගේ Murdering the Wretched of the Earth යන ලිපියේ පරිවර්තනයකි.)

අන්තවාදී ඉස්ලාම් ධර්මය, අන්ත දුප්පත් මුස්ලිම් ජනයාගේ අවසාන සැනසිල්ල යි. දරිද්‍රතාවයෙන් පෙලෙන මේ විශ්වාසවන්තයින්ගේ ජීවිතවලට යන්තමින් හෝ සැබෑ සැකිල්ලක් ලබා දෙන්නේ අනිවාර්යය වූ දෛනික යාච්ඤා පහ පමණි. යාච්ඤා වලට පෙර සිරුර සෝදා පිරිසිඳු වීම, දැඩි සදාචාරාත්මක නීති පද්ධතිය, ජීවිතයට පරම වූ අරමුණක් ඇත්තේ ය යන වැටහීමත් සමග එකතුව සියක් මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් පෙළෙන්නාවූ මුස්ලිම් ජනතාව අපේක්ෂා භංගත්වයෙන් මුදා ගෙන තිබේ. පීඩනයට එරෙහිව පිළිසිඳ ගන්නා වූ අන්තවාදී දෘෂ්ටිවාදය අනම්‍යයය, අනුකම්පා විරහිතය. එය විප්ලවකාරී ලෙස ලෝකය කළු-සුදු වශයෙන්, හොඳ-නරක වශයෙන්, අදහන්නන් හා මිත්‍යා දෘෂ්ඨිකයින් වශයෙන්, බෙදා වෙන්කරයි. එය අනෙක් සියළු මතයන් පිළිකෙව් කරන අතර, ගැහැණුන්, යුදෙව්වන්, ක්‍රිස්තියානින් හා අනාගමිකයින් මෙන්ම සමලිංගිකයන් කෙරෙහි කෲර වෙයි. එහෙත් මේ සියල්ල සමග, එය සමාජයේ අන්තිම හිණිපෙත්තේ සිටින්නන්ට අවසාන ගැලවීම හා බලාපොරොත්තුව ද ගෙන එයි. කයිරෝවේ වීදි වල සියගණනක් අදහන්නන් ඝාතනය, ආගමික මතවාදයකට එරෙහිව කෙරුණු පහරදීමක්, හොස්නි මුබාරක් ගේ සාහසික පොලිස් රාජ්‍යයට ආපසු යාමක්, පමණක් නොව ඊජිප්තුව හා ලෝකයේ අනෙකුත් දුප්පත් කලාප ලේ විල් හා අපායන් බවට පෙරලන්නාවූ ශුද්ධ වූ සංග්‍රාමයක ආරම්භය ද සනිටුහන් කරයි.

අන්තවාදී ඉස්ලාම්වාදයේ ග්‍රහණය බිඳලිය හැකි එකම මාර්ගය, එහි අනුගාමිකයින් ගේ ඉදිරි ජීවිත දුප්පත්කමෙහිත්, පීඩනයෙහිත් ගිලී බලාපොරොත්තු විරහිත නොවන ලෙස, ලෝක අර්ථක්‍රමය තුල ඔවුන්ගේ ස්ථාවරය සනාථ කිරීමයි. ඔබ ජීවත් වන්නේ පෙනෙන තෙක් මානයේ පැතිරුණු කයිරෝවේ මුඩුක්කුවල හෝ ගාසා තීරයේ අනාථ කඳවුරුව‍ල හෝ නව දිල්ලියේ කොන්ක්‍රීට් අතු පැලවල්වල හෝ නම් ඔබට ගැලවී යාමට ඇති සියළු මාර්ග අසුරා දමා තිබේ. ඔබට අධ්‍යාපනයක් ලබාගත නොහැකියි. රැකියාවක් ලබාගත නොහැකියි. විවාහයක් කරගැනීමට තරම් ඔබට වත්කමක් නොමැතියි. මේ නිසාම ඔබට නූතන රදළයන්ගේ හා සෙන්පතියන්ගේ ආර්ථික ආධිපත්‍යයට අභියෝග කරන්නට ද නොහැකියි. ඔබේ පැවැත්ම තහවරු කරගැනීමට ඔබට විවෘතව ඇත්තාවූ එකම මාර්ගය ප්‍රාණදානියකු (martyr) නැතහොත් ෂාහිඩ් වරයකු වීමයි. එවිට ඔබට ජීවිත කාලය පුරා ලබාගත නොහැකි වූ, ප්‍රසිද්ධිය හා කීර්තිය එක කෙටි මොහොතකින් උරුමවෙයි. මෙලෙස, ඊජිප්තුවේ සිදුවන්නා වූ දේ ධර්ම යුද්ධයක් ලෙසත්, කයිරෝවේ ලේ තැවරුණු චතුරස්‍ර තුලින් මතුවන කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ත්‍රස්තවාදය ලෙසත් අර්ථ දැක්වෙන මුත්, මේ අවුල් ජාලාව මෙහෙයවන යාන්ත්‍රණය කිසිසේත්ම ආගමික විශ්වාසයක් නොව, මහ පොලොවේ අවාසනාවන්තයින්, දීන ලෙස ගාල්කර නිරාහාරයෙන් හෝ වෙඩිතබා හෝ වනසා දමන්නා වූ ගරාවැටෙන ලෝක ආර්ථිකයයි. ඊජිප්තුවත් මුළු ලෝකයත් පුරා සංග්‍රාම සලකුණු මතුවෙමින් තිබේ. ඊජිප්තුවේ මිලිටරි ඒකාධිපතියා, ජනරාල් අබ්දුල් ෆටා එල් සිසි ගේ නාමධාරී ජනාධිපති, අඩ්ලි මන්සූර්, මිලිටරි ආණ්ඩුවකුත්, ඇඳිරි නීතිය හා හදිසි නීතියත් ප්‍රකාශයට පත්කර තිබේ. මේවා බොහෝ කලකට ඉවත් නොකෙරෙනු ඇත.





අන්තවාදී ව්‍යාපාරයන්ගේ ජීවනාලිය ප්‍රාණදානීන්ය. ඊජිප්තු හමුදාව මේ ව්‍යාපාරයට විපුල අස්වැන්නක් සපයා දී තිබේ. ශුද්ධවරයට ඔසවන ලද්දාවූ මේ මළවුන්ගේ මුහුණුත් නාමයනුත් කෝපාවිෂ්ඨ පූජකයින් විසින් ශුද්ධවූ පළිගැනීමක් සඳහා ආරාධනයකට යොදා ගැනෙනු ඇත. ප්‍රචණ්ඩත්වයත්, ප්‍රාණදානීන් ගේ නාම ලේඛනයත් වර්ධනය වන්නා හාම, ඊජිප්තුව ඉරා දෙකඩ කරන්නාවූ යුද්ධයක ගිනි දැල් ඇවිලෙනු ඇත. පොලිසිය, කොප්ටික් ක්‍රිස්තියානින්, බටහිර වැසියන්, ව්‍යාපාර, බැංකු, සංචාරක ව්‍යාපාරය හා හමුදාව එහි ඉලක්ක වනු ඇත. ‘මුස්ලිම් සහෝදරත්වය’ විසින් පක්ෂ දේශපාලනයේ සාර්ථකත්වය පෙන්වා රාජ්‍ය යාන්ත්‍රණය තුලට රැගෙන එන ලැබූ අන්තවාදී ඉස්ලාම් කොටස් නැවත භූගත වනු ඇත. ‘මුස්ලිම් සහෝදරත්වයේ’ කාඩර්වරුන් බොහෝ දෙනෙකුත් ඔවුන් හා එක්වනු ඇත. භූගතව නිපදවුනු බෝම්බ පිපිරවෙනු ඇත. තුවක්කු කරුවන්ගේ අහඹු පහරදීම් හා ඝාතන වලින්, මා 1990 දී නිව්යෝක් ටයිම්ස් නියෝජනය කරමින් කයිරෝවේ සිටි අවදියේ දී මෙන්ම, ඊජිප්තුවේ දෛනික ජීවිතය පළුදු වෙනු ඇත. එහෙත් මෙවර, පහරදීම් පෙරට වඩා පුළුල් හා භයානක වනු ඇති අතර, මැඩපැවැත්වීමත්, මුලිනුපුටා යටපත් කිරීමත්, වඩාත් අපහසු වනු ඇත.

ඊජිප්තුවේ ලියලන්නේ ලෝකයේ වරලත් හා පීඩිත ජන කොටස් අතර කෙරෙන ලෝක යුද්ධයක; ගරා වැටෙන සම්පත්, දුස්සාධ්‍ය විරැකියාව, අධි ජනගහණය, පාරිසරික විපරිතය නිසා පහත වැටෙන කෘෂි අස්වැන්න, හා ඉහළ යන ආහාර මිල නිසා රෝපණය වූ යුද්ධයක; මුල් බිජුවටයි. මිලියන අසූවක් වූ ඊජිප්තු ජනගහණයෙන් සියයට තිස්තුනක් අවුරුදු 14ට අඩු ලාබාලයෝය. මිලියන ගණනක් දරිද්‍රතා රේඛාවෙන් පහළ හෝ ඒ ආසන්න ආදායමක් ලබන්නෝය. ලෝක බැංකුව මේ රටේ ඒක පුද්ගල දෛනික ආදායම ඇමරිකානු ඩොලර් දෙකක් ලෙස සඳහන් කරයි. ඊජිප්තුවේ දිළින්දෝ සිය ආදායමෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා; බොහෝවිට පෝෂ්‍ය ගුණයෙන් අවම වූ ආහාර සඳහා; වැය කරති. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර ව්‍යාපෘතියට හා ඊජිප්තු ජන සැකසුම් හා සංඛ්‍යාන මධ්‍යම අධිකාරි වාර්තාවකට අනුව ආහාර අහේනියෙන් පෙළෙන ඊජිප්තු ජන සංඛ්‍යාව 2011 වසරේ දී මිලයන 13.7ක් එනම් ජනගහණයෙන් සියයට 17ක් වූ අතර, 2009 දී සියයට 14ක් විය. මන්ද පෝෂණය දිළිඳු දරුවන්ගේ ජන්ම දායාදයක් වී ඇති අතර, පස් වියට අඩු දරුවන්ගෙන් සියයට 31ක් අඩාල වූ වර්ධනයක් පෙන්නුම් කරයි. අසාක්ෂරතාව සියයට හැත්තෑවකට අධිකය.





‘ල මිසරාබ්ල’ හි වික්ටර් හියුගෝ, දිළින්දන් සමග යුද්ධය ‘ස්වාර්ථකාමීන්’ හා ‘දීනයින්’ අතර යුද්ධයක් ලෙස හඳුන්වයි. වික්ටර් හියුගෝට අනුව, ස්වාර්ථකාමීහු, "සමෘද්ධියෙන් භ්‍රාන්ත ව මොටවූ සංවේදනා ඇති, සමහර අවස්ථාවල දුක්විඳින සියල්ලන් පිලිකෙව් කරන තරමට දුක් විඳීමේ භීතියකින් පෙළෙන, නොසැලෙන ආත්ම විශ්වාසයක්, උත්තේජිත මමත්වයක්" ඇත්තවුන්ය. ඔවුන්ගේ උරුමය වන වධ බන්ධන හා සූරා කෑම දරාගත නොහී ප්‍රචණ්‍ඩත්වයට පෙරළෙන තුරුම නොසලකා හැර දැමෙන්නාවූ දීනයෝ "ඊෂ්‍යාව හා තෘෂ්ණාවත්, අනුන්ගේ සතුට නොරිස්සීමත්, පුද්ගල තෘප්තිය සොයා මානුෂිකත්වය කෙලෙසීමත්, උරුම කරගත් දුක්ඛ දෝමනස්සයන්, නොසන්සිඳෙන බලාපොරොත්තු, කර්ම විශ්වාසය, හා කිළිටි අඥානත්වයේ මීදුමෙන් වැසුණු හදවත්” ඇත්තෝය.

පීඩිතයන් විසින් වැළඳගනු ලබන්නා වූ විශ්වාස පද්ධති සමානාත්මතාවය නොඉවසන දරදඬු ඒවා මුත්, ඒවා ගෝලීය ආධිපත්‍යය විසින් ඔවුන් වෙත එල්ල කර ඇති අසාධාරණය, රාජ්‍ය ත්‍රස්තවාදය හා ක්‍රෑරකම් වෙත කෙරෙන ප්‍රති ප්‍රහාරයක් ද වන්නේය. අපේ සතුරා අන්තවාදී ඉස්ලාමය නොවේ. එය ගෝලීය ධනේශ්වරය යි. අද අපේ ලෝකය, මහ පොලවේ දීනයින්, වෙළඳපල අණපනත් හමුවේ අඩ දැනිව වැටෙන, ගෝලීය සංස්ථාධිකාරය ලෝකයේ ධනය හා ස්වභාවික සම්පත් උරා බොද්දී කිරි දරුවන් හාමතේ හඬන, එක්සත් ජනපදයේ සහයෝගයෙන් ඇතිව අපේ හමුදාවන් නගර වීදී වල මිනිස් ඝාතන වල යෙදෙන්නා වූත් ලෝකයකි. ඊජිප්තු ව එළැඹෙන්නා වූ නරාවල පෙන්වන්නා වූ කවුළුවකි. පෘථිවි ග්‍රහයා මත මිනිස් වාසයේ අවසාන සමය සළකුණු වන්නේ වඳව නොයා සුරැකීමේ සංග්‍රාම වලින්ය. ඒවා කුමනාකාරදැ යි දැක ගැනීමට ඔබට අවශ්‍යය නම් කළ යුත්තේ කයිරෝ නගරයේ මෝචරියකට පිය නැගීම පමණකි.

ක්‍රිස් හෙජස්
පරිවර්තනය - රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"තව ද, නො එක් ජාතියෙහි යක්ෂ රාක්ෂාදීන් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා දන් දුන් කල, ඔවුන් මා සල්ව සල්වා කෑ කල එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්, නො එක් සතුන්ට ගොදුරු නියා මා ම දුන් කල් අසංඛය ගණන් ජාති දකිමි. තව ද සසර නුඹ වහන්සේ මා හැර ගොස් පරස්ත්‍රීන් කෙරෙහි හසුව ………."
- පූජාවලිය:යශෝධරා අපදානය

සිඳිමි මල් දම
ඉපැරණි
සෙනේ ගැට දා හිර කළ

පර මල් ය මේ
සුවඳ නැති
එහෙත්
මායා මතක සුවඳකි

සපු ය, සෙව්වන්දි ය,
පරසතු ය, සුසුවඳ කොඳ ය
කිනම් මල් දැයි
කියනු නොහැකිය
ගිලිහෙන්න නියමිත පෙති ය

සියුම් ගැට දා තද කළ
හුයකි බිඳි
නොබිඳෙතැයි අප පැතු

ඇනි ඇනී අපමණ කටු
නෙළු මල් ය කඳුළින් දෙවු
කිසි දා ක පරවෙතැයි
නොම සිතු

පණ ය තවමත් මේ
ඉතිරි අන්තිම මල
එහෙත් අමුණනු නොහැකිය
කෝ කොහිද ඒ හුය ?

[සිතුවම :Ginette Callaway]

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිල්වියා- ඉතිං, එක දවසක්, ඔප්පුවක් ටයිප් කරන විදිහ මට කියා දෙන කොට, එයාගේ අත් දෙක නිකම්ම මගේ උරහිස් උඩට කඩා වැටුණා. බොහොම ස්වභාවික විදියට. නිකම්ම. මං හැරුණා. බැලුවා එයා දිහා. එක පාරට. දුන්නා කෙළ පාරක් මූණට. තුඃ ගාලා. (සිනා.)

පෝල්- ෂුවර් එකටම ඔයාව එවලෙම දොට්ට දාන්න ඇති.

සිල්වියා- ඇත්ත වශයෙන්ම, ඊට පස්සෙ අපි කාලයක් බොහොම හොඳින් හිටියා. (නැවත ටයිප් කරයි. හදිසියේ නවතී. දෙදෙනා මුහුණට මුහුණ ලා සිටී.)

පෝල්- ඔයා මෑතකදී හොඳ පොත් කියවලා තියෙනවද?

සිල්වියා- පහුගිය සතියෙ හුඟක් හොඳ පොතක් කියෙව්වා. ඒකෙ නම 'මර්ඩර් ඉන් ද බොම්බෙ'. ඒ කියන්නෙ බොම්බායෙ මිනිමැරුම.

පෝල්- මං විද්‍යා ප‍්‍රබන්ධකාරයෙක්.

(නැවත ටයිප් කරයි. හදිසියේ නවතී. දෙදෙනා මුහුණට මුහුණ ලා සිටිති.)

සිල්වියා- මං ඔයාගෙන් කාරණයක් අහන්න ද?

පෝල්- ඇත්ත වශයෙන් ම ඒ මොකක් ද?

සිල්වියා- ඔයාට තෝරා ගැනීමක් ලැබෙනවා කියලා හිතමු. ඔයාගෙ කකුලක් නැති වෙනවා. නැත්නම් ඩොලර් කෝටියක් ලැබෙනවා. ඔයා මොකක්ද තෝර ගන්නෙ?

පෝල්- දකුණු කකුල ද? වම් කකුල ද?

සිල්වියා- මොකක් හරි.

පෝල්- (විරාමයක්.) මං තෝර ගන්නෙ ඩොලර් කෝටිය.

*******

පෝල්- (උපහාසයෙන් මිරිකී) මිස් පේටන්, මට තමුන් හරි අප‍්‍රසන්නයි.

සිල්වියා- තමුං ගැන මගේ තියෙන හැඟීම විස්තර කරන්න පුළුවන් බාලම තක්සේරුවත් ඒකමයි. මට ඔහේ පේනකොට වමනෙට එනවා.

පෝල්- ඉතිං මෙතනින් අස් වෙලා යන්නැත්තෙ?

සිල්වියා- ඇයි තමුං යන්නැත්තෙ?


දවස තාම ගෙවුන්නෑ (1998), සෞම්‍ය ලියනගේ සමග ජයනි සේනානායක

පෝල්- මං ලෑස්ති නෑ ඔහේව තෘප්තිමත් කරන්න.

සිල්වියා- (මුහුණට මුහුණ ළං කර) මාත් ලෑස්ති නෑ ඔහේව තෘප්තිමත් කරන්න. හරි ද?

(දෙදෙනාම ටයිප් කරති. හඬ නංවමින් වේගයෙන්. සැම විටම මෙම ක‍්‍රියාවලියේ එක්තරා රිද්මයක් සහ සරඹ ස්වරූපයක් ඇත.)

පෝල්- (යතුරු ලියනයේ යතුරු වලට පහර දේ.) මොන අවලං වැඩක් ද මං මේ කරන්නෙ. මේ කෙහෙල්මල නෙමෙයි මට ඕන කරන්නෙ. නෑ... යකාට ම පල..!

සිල්වියා- (ඔහු දෙස නො බලාම) මිනිහෙක් දන්නවා නම් තමුන්ට ඕන කරන්නෙ මොනවද කියලා..., ඒක මහා පුදුමයක්.

පෝල්- (අනතුරු අඟවමින්) මං දන්නවා. ඒක මොකක් ද කියලා දන්නව ද? ඇත්ත වශයෙන්ම මට කරන්න ඕන කරලා තියෙන්නෙ දැං මෙතන මේ කාර්යාලය ඇතුළෙ, (ඔහු අසුනින් නැඟී සිට සිල්වියාගෙ පුටුව වටා ඇවිදිමින්) මට ඕන කරලා තියෙනවා, තමුන්ගෙ ඔය ඇඳුම ඉරලා දාන්න. කෑල්ලෙන් කෑල්ල. කීතු.. කීතු.... මගේ ඇඟිලි තුඩු තමුන්ගෙ ඇඟ මස් ඇතුළට කිඳා බස්සවලා, වෙහෙසට පත් කරලා, දහඩිය වගුරවලා, මගේ ආධිපත්‍යයට යට කරගන්න මං ආසයි. (නැඹුරුව) තේරුණා ද? මිස් පේටන්.

*******

සිල්වියා- ඇයි ඒ?

පෝල්- මේකයි, මට මගේ කියලා තැනක් තියෙනවා. මම කසාද බැඳලා.... මට දරුවො ඉන්නවා. ඔයාට පේනවනේ, මගේ ජීවිතේ ලස්සන වැදගත් කොටසක් සම්පූර්ණ කරන් මං ඉන්නෙ.

සිල්වියා- (නොසතුටින්) විකාර. කසාද බඳින්නයි, දරුවො වදන්නයි, විශේෂ සුදුසුකමක් ඕන කියලා ඔයා හිතනව ද?

පෝල්- මං කියන්නෙ, තමන්ට විවාහයක් කර ගන්න ලැබුණහම සමහර අය බොහෝම ලොකු ගාම්භීර සන්තෝෂයක් ලබනවා.

සිල්වියා- (විමසිලිමත්ව) මිස්ට කනිංහැම්, ඔයා මං ගැන ද කියන්නෙ?

පෝල්- මම නමක් ගමක් සඳහන් කළේ නෑනෙ. සඳහන් කළා ද? මිස් පේටන්. තොප්පිය හරි නම් දා ගත්තට කමක් නෑ.

සිල්වියා- (කෝපයෙන්) මාව විහිළුවකට ගන්න එපා. මං සහතික කරලා කියන්නං, ඒ වගේ අදහසක් ඉදිරිපත් වුණොත්, මං එක පයින් ඒක ප‍්‍රතික්ෂේප කරනවා. මොකද... අසතුටුදායක කසාදෙකට අහුවෙනවට වඩා, මං හුඟක් ආසා කරනවා තනිකඩ ජීවිතේකට.

පෝල්- අසතුටුදායක කසාදයක්...?

[-"දවස තාම ගෙවුන්නෑ" (2012) නාට්‍ය පෙළෙන්.

මුරේ ෂිෂ්ගල්ගේ 'The Typists' නාට්‍යයේ එස්. කරුණාරත්නගේ පරිවර්තනය, බුද්ධික දමයන්ත 1998 වසරේ දී 'දවස තාම ගෙවුන්නෑ' නමින් වේදිකාවට ගෙන ආවේය.]


මුරේ ෂිෂ්ගල්
පරිවර්තනය - එස්. කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ."

නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන් හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත් පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් වැන්න, රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක්වීම යි.

පළමු ව කී සංහාරය සහ අවසානයේ කී සංහාරය ගැනෙන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය මුල්කරගෙන සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය. කාම්බෝජය හෙවත් කම්පුචියාවේ දී එය සිදු කෙරුණේ, ජාතියක් වර්ගයක් හෝ ගෝත්‍රයක් වෙනුවෙන් නො ව, ඊට වඩා සංකීර්ණ යුතෝපියානු සමාජ අභිලාෂයක් වෙනුවෙන් ය. එය හැඳින්වෙන්නේ 'සමාජයීය යාන්ත්‍රික කළමණාකරණය' යනුවෙනි. ලෝකය මේ දක්වා දුර ඇවිත් තිබෙන්නේ, පුද්ගල මැදිහත්වීම් හරහා සමාජය පරිවර්තනයන්ට භාජනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එ වැනි පුද්ගල මැදිහත් වීම් බොහෝ විට යොමු වී ඇත්තේ, සමාජ ප්‍රගතියට යි. එහෙත් කලාතුරකින්, සමාජයක් සහ රටක් ප්‍රපාතයට හෙලීමට ද එවැනි පුද්ගල ක්‍රියාකාරකම් දායක වී ඇත. කම්පුචියාවේ දී අප අත්දුටුවේ එ වැන්නකි.



මිනිසා යනු සමාජ සත්වයෙකු නිසා ම, සමාජ ප්‍රගතිය වෙනුවෙන් ඔහු වෙනස් කිරීමේ අභියෝගයජයගත යුතු ව ඇත්තේ සමාජ බලවේගවලට ඉහළින් ගොස් යාන්ත්‍රික කළමණාකරණයකට සමාජය යටත් කිරීමෙන් නො ව. මිනිසා මෙහෙයවන සමාජ බලවේග නිවැරදි ව හඳුනා ගැනීමෙනි. එහෙත් යන්ත්‍රයකින් නිමැවෙන භාණ්ඩයක් සේ මිනිසුන්වත් සකස් කළ හැකි යැයි පොල්පොට් විශ්වාස කෙළේ ය. පොල්පොට් සැළකුණේ මාක්ස්වාදියෙකු වශයෙනි. මාක්ස්ගෙන් පසු බිහි වූ බොහෝ මාක්ස්වාදීන් ඉතිහාසය වෙනස් කිරීමට යාමේ දී වැටුණු බොරු වළවල් අපමණ ය. එවැනි පුද්ගලයන් ගේ ඒ අත්හදාබැලීම් සිදු කෙරුණේ බලයෙන් පිටස්තර ව, හුදෙක් දෘෂ්ටිවාදී තලයක නම්, ඒ මගින් ඇතිකෙරුණු දුර්විපාක බලපෑවේ ඔවුනොවුන්ගේ මතවාදීමය දේශපාලනයට පමණි. එහෙත් එම අත්හදාබැලීමේ දේශපාලනය ක්‍රියත්මක කෙරුණේ රාජ්‍ය බලයක ආවරණය යටතේ නම්, ඒ වෙනුවෙන් සමාජයකට ගෙවන්නට සිදු වූ වන්දිය අපමණ බව විසි වන සියවසේ ඉතිහාසය පුරා අප අත්දැක තිබේ. මෙය මාක්ස්වාදීන් ගේ වරදක් මිස මාක්ස්වාදයේ වරදක් නො වේ.

එ සේ හෙයින්, පොල්පොට් සහ මාක්ස්වාදය අතර සම්බන්ධය භයානක ව්‍යාජයකට වැඩි දෙයක් නොවු බව සැළකිය යුතු ය. උපැස් යුවළක් පැළඳීම, විදේශ භාෂාවක් දැන සිටීම සහ අත්ඔරලෝසුවක් වැනි 'සුඛෝපභෝගී' භාණ්ඩයකට හිමිකම් කීම මරණ දඩුවම ලැබීමට වරදක් යැයි ගත් දෘෂ්ටිවාදයක් මනෝව්‍යාධියක් වශයෙන් මිස විසි වන සියවසේ කුමන දෘෂ්ටිවාදයක් වශයෙන් වත් ගිණිය නො හේ. පසු කලෙක, "මහජන අධිකරණය" නම් වූ රැවටිලිකාරී නඩු විභාගයකින් ජීවිතාන්තය දක්වා "සිරදඬුවමකට" ලක් වූ පසු පොල්පොට් මෙ සේ කීවේ ය: "මගේ හෘද සාක්ෂිය පිරිසුදු ය".


පොල්පොට්


කෙමරූජ් භීෂණයේ අස්වැන්න

ඕනෑ ම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියක් තිබිය හැක. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පවා එය "පිරිසුදු" එකකැ යි ඔහු අවංකව ම අදහන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ, මිනිස් නපුර පරාජය කිරීම කෙතරම් දුෂ්කර ද යන්න යි. විද්‍යාවෙන්, තාක්ෂණයෙන් අසීමිත දියුණුවකට පත් ව ඇති නූතන ශිෂ්ටාචාරය තවමත් මේ අරගලය ජයග්‍රාහී නිමාවකට පත් කොට නැත. පරිසමාප්ත මිනිසෙකු කිසි දිනෙක නිර්මාණය නො වනු ඇතත්, පරිසමාප්ත නොමිනිසෙකු බිහි වීම වළක්වාලනු වස්, එ වැන්නන් බිහිකරනු ලබන තත්කාලීන සමාජ බලවේග වටහා ගැනීම නිරන්තර අවශ්‍යතාවයක් බව නො කිවමනා ය. ඉතිහාසය එහි නග්න ස්වරූපයෙන් දැක බලා ගැනීමට සැළැස්වීම තරම් සාර්ථක ක්‍රමවේදයක් මේ අවබෝධය ලබා ගැනීම සඳහා මෙ තෙක් සොයාගෙන නැත. රුවන් ජයතුංග වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන් කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරවකටයුතු, ප්‍රශංසනීය වෑයමකි. "ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක්නො වේ." යැයි කියන පොල්පොට්ලා ලංකාවේ බිහි නොවනු වස්, රුවන් ජයතුංග ගේ මේ වෑයම සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැ යි උදක් ම අපේක්ෂා කරමි.

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දීර්ඝ රස්තියාදුවක
මං ලකුණු කිහිපයක්....
අහපු-දැකපු, විඳපු-විඳවපු
ජීවිත පොකුරක්...
අපිළිවෙල අකුරින් හැඩි වුණු
කවි පොතක්....

සෞම්‍ය සඳරුවන් ලියනගේ කවි එකතුව හැටේ වත්තේ මග්දලේනා එළිදැක්වීම සැප්තැම්බර් 28 වන දා හවස 3:00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


[ස්ලෙවොයි ශිෂෙක් විසින් ගාඩියන් වෙබ් අඩවියට, 2013 සැප්තැම්බර් 06 වන දා ලියන ලද "Syria is a pseudo-struggle" යන අදහස් දැක්වීමේ පරිවර්තනය.]

සිරියාවට අදාළව පුපුරා හැලෙන මානුෂික මැදිහත්වීම් පිළිබඳ ක්‍රියාවලිය සහ එකී මතය මුළුමනින් ව්‍යාජයක්. හොඳයි, මඳකට සිතමු... තමන්ගේම රටේ ජනතාවට එරෙහිව විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ (එසේ චෝදනා ලැබූ) දුෂ්ට ඒකාධිපතියෙක් සිටිනවා කියා... දැන් කවුද ඔහුගේ මේ රෙජීමයට විරුද්ධව වැඩ කරන්නේ...? මේ රෙජීමයට එදිරිව, ප්‍රජාතාන්ත්‍රික-අනාගාමික වූ කිසියම්ම හෝ විරෝධයක් ඉතිරි ව තිබුණා නම්, දැන් එයත් අඩු හෝ වැඩි වශයෙන්, තුර්කිය සහ සෞදි අරාබිය විසින් ආධාර කරනු ලබන මූලධර්මවාදී ඉස්ලාමික කණ්ඩායම් සහ අල්-ඛයිඩා සෙවණැලි මගින් ඇති කරන ලද ජංජාලයේ ගිලී ගොස් හමාරයි.

බෂාර් අල්-අසාද්ගේ සිරියාව, අඩුම තරමේ අනාගාමික රාජ්‍යයක් බවට (බොරුවට හෝ) අඟවමින් සිටියා. දැන් සුන්නි කැරලිකරුවන්ට එරෙහිව ක්‍රිස්තියානි සහ අනෙකුත් සුළුතර ජන කණ්ඩායම් අසාද්ගේ පාර්ශ්වයට පක්ෂපාතීත්ව සිටින්නේත් ඒ හේතුව නිසාවෙන්. කොටින්ම, අපි දකිමින් ඉන්නේ අප්‍රකට යුද්ධයක්... අපැහැදිලි ලෙස නමුත් යම් විදිහකට කර්නල් ගඩාෆිට එරෙහිව ඇති වූ ලිබියානු කැරැල්ලට සමාන එකක්... එහි කිසිදු දේශපාලනික ස්වරූපයක් හෝ පළල් ප්‍රජාතාන්ත්‍රික සන්ධානයක් හෝ නැහැ. සුපිරි බලවතුන්ගේ ආධාර මගින් අධිනිර්ණයනය කරන ලද, හුදු ආගමික සහ වාර්ගික සන්ධානවල අවුල් සහගත සංකීර්ණ ජාලයක්... එක්සත් ජනපදය සහ බටහිර යුරෝපා රටවල් එක් පාර්ශ්වයක.... රුසියාව සහ චීනය අනෙක් පාර්ශ්වයේ...! එහෙම තිබියදී, සෘජු මිලිටරි මැදිහත්වීමක් කියන්නේ ගණනය නොකළැකි තරම් අවදානමක් සහිත දේශපාලනික ඔල්මාදයක්. අපි කියමු... අසාද් රෙජීමය වැට්ටුවට පස්සෙ අන්තගාමී ඉස්ලාම් කණ්ඩායම් බලයට එනවා කියලා... මොකද වෙන්නෙ? එක්සත් ජනපදය අල්-ඛයිඩාව සහ තලෙයිබානුන් සන්නද්ධ කරලා, ඇෆ්ඝනිස්ථානයෙදි කළ වැරැද්ද ආයෙත් කරන්නද හදන්නෙ?

මෙහෙම විකාර තත්ත්වයක් ඇතුළෙ, මිලිටරි මැදිහත් වීමක් සාධාරණීකරණය කරන්න පුළුවන් කෙටි කාලීන ස්වයං විනාශකරී අවස්ථාවාදයකට පමණයි. එහෙම මැදිහත්වීමකට ප්‍රේරණයක් ලෙස යොදා ගන්නට සැරසෙන මේ සදාචාරාත්මක මැරවරකම මුළුමනින්ම ව්‍යාජයක්. ("සිවිල් ජනතාවට විෂ වායු වලින් පහර දෙන්න ඉඩ දෙන්න බෑ..!") එක් මූලධර්මවාදී අපරාධකරුවන් කණ්ඩායමකට එරෙහිව එබඳුම තවත් කණ්ඩායමක පාර්ශ්වය ගැනීම යුක්තියුක්ත කරන මෙබඳු අරුම පුදුම සදාචාරයක් දුටු විට, කෙනෙකුට ජෝන් මැකේන් 'ශක්තිමත් මැදිහත්වීමකට' පක්ෂව කතා කිරීමට ප්‍රතිචාර වශයෙන් රොන් පෝල් කිවුව වචන සිහිපත් වුනොත් ඒක පුදුමයක් නොවෙයි. "මේ වගේ දේශපාලනඥයන් ඉන්නවා නම්, තවදුරටත් අමුතුවෙන් ත්‍රස්තවාදියො මොකටද?"





සිරියාවේ වාතාවරණය, ඊජිප්තුව සමග සංසන්දනය කිරීම අවශ්‍යයි. ඊජිප්තු හමුදාව ඉස්ලාමික උද්ඝෝෂකයන් ඉවත් කරලා පොදු ස්ථාන ශුද්ධ කරන්න ගිහින්, සිය ගාණක්- බගෙ විට දහස් ගාණක්- මැරුණා. කාට හරි හිතුනොත් හොයලා බලන්න- මෙතන මේ කලහය මැද්දේ දැන් පේන්න නැති කණ්ඩායම- (හමුදාවත් නොවන- මුස්ලිම් සහෝදරත්වයත් නොවන) තුන් වන කණ්ඩායම... දෑවුරුද්දකට කලින් තහිරීර් චතුරස්‍රයේ උද්ඝෝෂණවල සිටි කණ්ඩායම.... කෝ ඒ ගොල්ලො? අන්න ඒ කණ්ඩායමේ දැන් හැසිරීම ඒ කාලෙ මවිතව උදාසීනව හුදු නරඹන්නො බවට පත් වෙලා හිටි මුස්ලිම් සහෝදරත්වයේ හැසිරීමට හරිම අරුම පුදුම විදිහට සමානයි නේද? ඊජිප්තු මිලිටරි කුමන්ත්‍රණයත් සමගම කොයි විදිහෙන් හරි මේ චක්‍රය සම්පූර්ණ වෙලා තියනවා. ප්‍රජාතන්ත්‍රවාදය පතා, මුබාරක් ව එළවා දැමූ අරගලකරුවන් ම, ප්‍රජාතන්ත්‍රවාදය අවලංගු කළ මිලිටරි කුමන්ත්‍රණයකට නිහඬව හිඳ සහයෝගය දෙනවා... මොකද්ද මේ වෙමින් තිබෙන්නෙ...?

මෙබඳුම කියවීමක් ගෙනාවා...ෆ්‍රැන්සිස් ෆුකුයාමා විසින්..; මුබාරක් පෙරළාදැමූ අරගල ව්‍යාපාරය, ප්‍රමුඛ වශයෙන් ම උගත් මධ්‍යම පාන්තිකයන්ගේ කැරැල්ලක්... එතනදී නිර්ධනීන් වූ කම්කරුවන් සහ ගොවීන් හුදු (අනුකම්පාසහත) නරඹන්නන් ව සිටියා. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු ඇරුණා... සමාජ පදනමින් බහුතරය නිර්ධනීන් වුනු මුස්ලිම් සහෝදරත්වය, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලින් ජයග්‍රහණය කළා. ඉතින් පැහැදිලිවම පෙනී යන පරිදි, මුල් අරගලයේ මධ්‍ය ලක්ෂ්‍යය වුනු අනාගාමික අරගලකරුවන්, මුස්ලිම් සහෝදරත්වයට එරෙහි වුනා. කොපමණද කියනව නම්, මුස්ලිම් සහෝදරත්වය පිටු දකිනවා නම් (ප්‍රජාතන්ත්‍රවාදය වනසන) මිලිටරි කුමන්ත්‍රණයක් අනුමත කිරීමට තරම් ඔවුන් දුර ගියා.

නමුත්, එහෙම සරල දෘෂ්ටියක් අරගලයේ ප්‍රධාන ලක්ෂණ නොසලකා හරිනවා. රාජ්‍ය හෝ ආගමික ආයතනවල පරාසයෙන් පිට සිදු වුණු විෂමජාතීය (ශිෂ්‍ය, ස්ත්‍රී සහ කම්කරු වැනි) සංවිධානවල දායකත්වය එමගින් නොසලකා හරිනවා. නව සමාජ ඒකකවල මේ අතිවිශාල ජාලය, මුබාරක් එළවාදැමීමට වඩා විශාල දෙයක්; එය අරාබි වසන්තයේ ප්‍රමුඛ ප්‍රතිඵලයයි- ප්‍රතිලාභයයි. එය මිලිටරි කුමන්ත්‍රණයක් බඳු විශාල දේශපාලනික වෙනසකින් පවා ස්වායත්තව ඉදිරියටම යන ක්‍රියාවලියක්. එය හුදු ‘ආගමික/නිදහස් මතධාරී’ ආදි වශයෙන් විස්තර කෙරෙන විභේදනයකට වඩා ගැඹුරට යන සන්තතික ක්‍රියාවලියක්.

ප්‍රකටවම මූලධර්මවාදී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වුනත්, එහි ඇති සමාජ සංරචකයන් මොනවාද යන්න පිළිබඳ අප විමසිලිමත් විය යුතුයි. තලෙයිබානුවන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ ත්‍රස්තය මගින් සිය පාලනය බලාත්මක කරන මූලධර්මවාදී ඉස්ලාමික කණ්ඩායමක් වශයෙන්; 2009 වසන්තයේදී- ඔවුන් පාකිස්ථානයේ ස්වැට් නිම්නය අල්ලා ගත් විට, නිව්යෝක් ටයිම්ස් වාර්තා කළා තලෙයිබානුවන්, ධනවත් ඉඩම් හිමියන්ගේ කණ්ඩායමක් සහ ඔවුන්ගේ ඉඩම් අහිමි පීඩිතයන් අතර වූ පංති විරසකයක්, ඔවුන්ගේ වාසියට යොදා ගත් බවක්.





නමුත්, මෙහිදී එකී පීඩිතයන් වැටී සිටි තත්ත්වය අයුතු වාසියට හරවා ගැනීමෙන් පවා ඔවුන් පාකිස්ථානයට නිකුත් කළේ අනතුරු ඇඟවීමේ සංඥාවක්... මන්ද, පාකිස්ථානයෙන් වැඩි කොටසක් තවමත් තිබෙන්නේ වැඩවසම් සමාජ සම්බන්ධතා තුළයි.... ඉතින් මේ විදිහට, පීඩිතයන් වැටී සිටින තත්ත්වය තමන්ගේ "අයුතු වාසියට" හරවා ගෙන එම පීඩිතයන්ට උදවු වෙන්නට, පාකිස්ථානයේ හෝ එක්සත් ජනපදයේ හෝ ඉන්නා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී(මහත්වරු)න්ට නොහැක්කේ ඇයි? මේ 'ප්‍රමාදදෝෂයේ' ඛේදජනක හැඟවුම මොකක්ද? පාකිස්ථානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවික මිත්‍ර පක්ෂය වෙන්නේ අර කියන ලද වැඩවසම් බලවේගය ම බවයි! ආගමික මූලධර්මවාදින් විසින් මග හරිනු ලැබීමෙන් වැලකීම පිණිස සිවිල්-ප්‍රජාතාන්ත්‍රික අරගලකරුවන්ට ඈති එකම මාර්ගය වන්නේ වඩ වඩාත් රැඩිකල්වාදී සමාජ ආර්ථික විමුක්තිකාමී න්‍යායපත්‍රයන් තෝරා ගැනීම පමණයි.

මෙය නැවත අපව සිරියාව දෙසට ගෙන එනවා; එහි සිදුවන අරගලය අවසානයේදී ව්‍යාජ අරගලයක්. සිතට ගත යුතු එකම දෙය නම්, මෙකී ව්‍යාජ අරගලය මේ අයුරින් සඵල වන්නේ, ඊජිප්තුවේදී පැහැදිලි ලෙසම දැකිය හැකි අන්දමේ, ශක්තිමත් රැඩිකල් ප්‍රතිපක්ෂයක්- එනම් තෙවන පාර්ශ්වයක් සිරියාවේ හමු නොවන නිසා යන්නයි. සිරියාවේ සුළඟ හමන්නේ කොයි දෙසට ද යන්න කියන්න කාලගුණ විශේෂඥයෙක් අවශ්‍ය නැහැ. ඔව්... ඒ සුළඟ හමන්නෙ 'ඇෆ්ඝනිස්ථානය' දිශාවට...! අසාද් කොයියම්ම විදිහකින් හෝ ජයග්‍රහණය කරලා තත්ත්වය සමනය කර ගත්තත්, ඔහුගේ ජයග්‍රහණයෙන් උපද්දවන්නෙ, හරියටම තලෙයිබානු විප්ලවය වාගේ පිපිරීමක්- තව අවුරුදු කීපයක් ඇතුළත.... මේ ඉරණමින් ගැලවෙන්නට ඇති එකම විදිහ නම්, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ මේ අරගලය සමාජ-ආර්ථික සාධාරණත්වය උදෙසා වූ අරගලයක් බවට රැඩිකල්කරණය කිරීමයි.

ඉතින් සිරියාවේ මේ දිනවල මොකද වෙන්නෙ? චීනය ලෝකයේ සුපිරි බලවතා වීමේ දිශාවට තවත් එක පියවරක් ළං වීමත්, ඔවුන්ගේ තරඟකරුවන් ජයටම ඔවුනොවුන් දුර්වල කර ගැනීමත් හැරුණු විට සුවිශේෂී කිසිවක් එහි වෙන්නෙ නෑ....!

ස්ලෙවොයි ශිෂෙක්
පරිවර්තනය - මේනක බණ්ඩාර සමන්කුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පුරාණ බරණැස් නුවරෙහි
විසුවේය සිටු තුමෙක්
ධනංජය නම්
අට කෙළක් වස්තුව හිමි
පිය උරුමයෙන් ලද....

මැදි තුරුණු වියෙහි
දැක නිස්සාර බව දිවියෙහි
දන් දේ සියල් වස්තුව ගෙයි ගිහි
ඇතුව ආශාව මෙත් බෝසතුන් දැක්මෙහි...

කෙතෙක් දන් දුන්නද වස්තුව
දැසි දසුන් යාන වාහනද
වතු පිටි හරක බානද
නොදක්නේ මෙත් මහා බෝසත්......

මහත් සිත් පීඩා ඇතිව
මැදුර හැරදා සිටු පුත්
වනගතව තවුස් දම් පුරන්නේ
බෝසතුන් දැක්මෙහි වෙර වඩන්නේ....

මෙයාදී නොයෙක් දම් පිරූවද
නොදකීය ඔහු බෝසත්හු වත
පැමිණ වනයෙන් එලියට
ඉබාගාතේ යන්නේ
ගම් නගර දනව්වල
බෝසතුන් සොයමින්...

දිනක මහමග මෙසේ යන සිටු පුත්
වණ ව්‍යාධියෙන් සැරව ගලනා වූ
ඉහඳ පණුවන් නලියන තුවාලය ඇති
බැල්ලක දකී මහ මගෙහි අයිනක..

මහා කරුණාව උපදවා සිත තුළ
ගෙන බැල්ල තම ලඟට
රිදුමක් ඇතිවේය සිතා මේ බැල්ලට
දිවගින් පිරිසිදු කෙලේ ඔහු වණ කුශ්ඨ තුවාලය......

පුරා වස් ගනන් පෙරුම් පිරුවද
නොදුටුව මෙත් මහා බෝසත
සිටින්නේ දැන් ඉදිරියෙහි සිටු පුත්
විමසන්නේය ඔහු බෝසතුන් ගෙන්

මෙතෙක් කල් නුඹ කොහි සැඟව සිටියෙද...?

බෝසතුන් පිළිවදන් දෙන්නේ....

ධනංජය මා සිටියේ....
ඔබ තුළමය..
ඔබ තුළමය..

සාධුකාර නංවමින් සිටු පුත්
ඔසවාගෙන බැල්ල තම හිසින්
නගරය මැදින් යනු දුටු දනන්
පිසාචයෙකැයි අපුලෙන් මග හරී ඔහු වත...

ධනංජය සිටු පුත් සිතන්නේ
මා මේ හිසින් ගෙන වැඩමවා යන්නේ
මතු බුදු වන මෙත් මහා බෝසත බව
සිතනු ඇති කවරහුද ලොව..?

ඔලීවියා ප්‍රීම්රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චිර ප්‍රකට උඩු රැවුල්වල සමානත්වය හැරුණු විට චැප්ලින් සහ හිට්ලර් අතර තවත් අපූරු සමානකමක් තිබෙන බව ඔබ දන්නවාද? දෙදෙනාම මෙලොව එළිය දුටුවේ එකම වසරේ එකම මාසයේ ය. ඒ 1889 වසරේ අප්‍රේල් මාසයේ දී ය. චැප්ලින් අප්‍රේල් 16 වන දා උපන් අතර හිට්ලර් ඉන් දින හතරකට පසු 20 වන දා උපන්නේ ය.

එකෙකු මුළු මහත් ලෝකය ම හිනැස්සූ අතර අනෙකා එම ලෝකයම හැඬෙවූවේය...!



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මංජුල වෙඩිවර්ධනගේ දෙවන නවකතාව "මගේ ආදරණීය යක්ෂණී" මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. ඒ සමගින් වෙඩිවර්ධනගේ පළමු නවකතාව වන "බත්තලංගුණ්ඩුව" (2007) නව මුද්‍රණය ද එළි දක්වා ඇති අතර එම කෘති ද්වයම ප්‍රකාශනය කරනු ලැබ ඇත්තේ සම ප්‍රකාශකයන් විසිනි.

මංජුල වෙඩිවර්ධනගේ වෙනත් කෘති-

නිරුත්තර සමාධිය (1997- ෂේන් මැකෙල්වි සමග), පිළිහුඩුවී (2002), මධුසඳිනි මධුවිත (2007), මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි (2010), ඇහැළ ඇමතුමකට ඇහැරෙමි (2011) [කාව්‍ය]

මේ ස්නේහයේ කල්වාරියයි. (2008) [ගේය පද]

මේරි නම් වූ මරියා (2000), ශුද්ධ වූ ජුදාස් (2011) [කෙටිකතා]


කවරය- චන්ද්‍රගුප්ත තේනුවර

"ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න. උදරීය සුස්මනය පවා ඇසින් ගත නො හැකි ය. සර්වබලධාරී සියල්ලන්ගේ ම ඇස් වැසූ ‘කිරි කෝපි’ උපන් ලපයක් එහි වම්පස සොඳුරු කෙළවරක හුදෙකලාවේ නිමග්නව තිබිණ.

මම ඒ මත දෙ තොල උණුහුම අතුරාලීමි. දෙ තොල අනුහස පතුරාලීමි. සිතග අනුරාගය මතුරාලීමි. සිහින්ව ඉරා, යතුගා, වැලි කරදහියකින් මැද, පලිප්පු කරන ලද්දා වූ රක්ත වර්ණයෙන් ආඪ්‍යය මැහෝගනී දැව දණ්ඩක් බඳු යක්ෂාවේෂයට ඉඩ නො ලද ඒ බඩවත ඉසියුම් හිරියකින් අසිරිමත්ව උකුලූ ඇටයක් ඉල්පී යළිත් එහි ම සැඟව ගියේ ය. ඒ උපන් සළකුණ ඇය ඉපදීමටත් පෙර කලෙක සිට ඇගේ බඩවත ම පතා උන්නා සේ ම පිවිතුරු ය. ආඩම්බරකාරී ය. ඒත්, මෙතරම් අද්වීතීය උදරයක් දරා සිටිනා සුනම්‍ය සිරුරෙහි උදාරභාවය ඇය පයිසෙකට මායිම් නො කළා ය."


-මගේ ආදරණීය යක්ෂණී (2013)


කවරය- චනු වික්

"...ඌරන්ගේ භයංකරම නාදයන් ඇසුණේ හිමිදිරි පාන්දරය. මරණයේ එළිපත්තේ සිට හංස ගීතිකා ගයනා ඌරු නාම්බන්ගේ පා සතර එක් කොට කඹවලින් බැඳුණි. මුන්නක්කරේ මීගමු කළපු ඉවුරේ හිමිදිරි පාන්දර ශරීර කෘත්‍ය කරනා ක්‍රිස්තු භක්තිකයන්ගේ නේක හැඩතල ගත් මළ අධෝමුඛයෙන් ගිළිහෙනා සැනින් තලූ මර මර භුක්ති විඳි ඌරු වරිගයේ පරිසර හිතකාමී කසළ ශෝධක පැතලි කටවල් ද කඹවලින් වෙලූණි. පොල් පරාලයක් හෝ එබඳු දැඩි හරස් දණ්ඩක එකට බඳින ලද සිවුපයින් මුනින් අත එල්ලූ මුනින්ද්‍රයා සැමරීමේ දිව බොජුන ඔංචිල්ලාවක් සේ පැද්දිණ. දිගු මන්නා අතැතිව පෙරට එන මංගල්ල වීරයෝ එක මන්නා පහරින් ඌරු තඩියන් මෝක්ෂ ගත කරති. වෙන්ව නොයනා ඇතැම් ගෙලක් රොසිඤ්ඤයෙන් එල්ලෙමින් දෙපසට වැනේ....."

-බත්තලංගුණ්ඩුව (2007)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වියපතෙන් පීර ගෙන හිස
සුදු වතින් පුරෝගෙන ගත
ඉඳ හිට වඩින පෝයට
ගත්තෙ සිල්
සසර කෙටි කර ගන්ට

මීවිතක් තොල යට ඉඳ හිට
දිව නැමෙයි රහට මස් බැදුමට
ලංසු තිබ්බත් නොරට අසෙකුට
මං සිල්වතෙක් පෝයට

ඇති කාලෙ කා අතිකාල කොට
වැඩිපුර යමක් හෙව්වට
ඇහේ පොල් පරාලේ
පරාදයි නුඹෙ ඇහේ රොඩ්ඩට

නැවී පහතට දන් බෙදන කොට
රණ තිසරු විත් ඇහැට පැන්නට
මාර දූවරු රඟපු නැටුමට
කොහෙද පව් සිදුහතු ගෙ සීලෙට

කාලෙකට පස්සෙ ලද විරාමෙට
ඕපා දූපයක් දෙඩුවට
බණ කියා නිම වෙන විට
පියවෙච්ච ඇස් සාදු කිව්වේ
තුසිත දෙව් ලොවටත් ඇහෙන්නට

පංසලේ හිරු යද්දි අවරට
සිල් රෙද්ද නවා තුන හතරට
ආඬි හත් දෙනාගේ කැඳ හැළිය
හිස තබා
පිය මනිනවා පුරුදු ගෙදරට

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails