Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අවුරුදු හය හතක දරුවකුව සිටිය දී මුත් තාත්තාත් සමග ගමේ සිනමා හලේ දී රන්මුතු දූව නරඹන්නට ගිය දවස අදටත් හිතේ මුල්ලක හැංගී තිබේ. හරියාකාර හැඩතල තෝරාබේරා ගන්නට අපහසුමුත් සිනමාහල් වහලේ දැ‍වැන්ත 'කටවුට්' එකක් තිබූ බවත්, ටිකට් ගන්නට පෝලිම් ගැසුණු සෙනග මිදුල පුරාම සිටි බවත් මගේ හිතේ රැඳවුනු සිතුවමේ අදටත් තෝරා බේරා ගන්නට පුළුවන් තරමට සටහන්ව ඇත.රන්මුතු දූව මුල්ම පාට පාට සිංහල සිනමා පටයයි. ඒ කාලේ සීයලාගේ ගෙදර ගිය බොහෝ වේලාවල රන්මුතු දූවේ ගීත අඩංගුවූ එච්.එම්.වී. තැටි දෙක රේඩියෝග්‍රෑම් එකේ නොනවත්වාම වාදනය කිරීම අපේ සිරිතක්ව තිබුණි.

අප බොහෝ දෙනෙකුන් ගේ ජීවිත, කඳු මුදුන් වලින් පල්ලම් බැස හෙල් පතල් පසුකර අර අපි පුංචි අවදියේ අම්මලා ආච්චිලා කියා දුන් සුරංගනා කතාවල කියවුනු ලෙසටම, වන වදුළු හා වනපස මලින් සුසැදි කෝකිල නදින් ඇලැලී මල් සුවඳ සපිරුණු තාරුණ්‍යයේ නිම්නයන් පසුකොට ගලාගොස්, කාලය නම් වූ වංකගිරියෙහි නන්නත්තාරවී ඇති මේ පහුගිය සෙනසුරාදාවක, ‍ටොරොන්ටෝවේ ළබැඳියන් පිරී ඉතිරී දෙගොඩ තලා ගිය රඟහලක දී, නන්දා මාලීනී නම් වූ ඒ ලංකාමාතාවගේ දිරිය දියණිය, අප සැවොම තවමත් ආදරයේ පූර්ණත්වය පතා, දයාර්ද ලෝකයක දියාරුව ගලායන්නාවූ දිය පාරවල් බව නැවතත් සිහිපත් කර දුන්නාය.

වාදකයින් සතර දෙනෙකුට මැදිව විසල් වෙදිකාවක් මැද සංසුන්ව වාඩිවී හිඳිමින් ළයාන්විතවත් දයාබරිතවත් මෙන්ම තේජාන්විත උස් හඬිනුත් අපේ හදවත් පිරිමැද පහුරු ගා සුසුම් පිඹ ගිනි දල්වා අවුළුවා, නන්දා මාලීනිය මෙදා රඟදැක්වූ රංගනය, සිරසේ සුපිරි තරුවලින් පටන් ගෙන අද වන විට විරු නොවිරු ගොහොරු නොගොහුරු ආදී මෙකී නොකී සියළු ගායනා රංගන වේදිකා වල ලෙලවෙන ගායනාවන්ට වඩා අපේ හිත්වලට නම් ප්‍රාසාංගික වූයේය, සොඳුරු වූයේය. අපේ ඇස් තෙමා හිත් පුරවා පුම්බා කොහේදෝ කොහේදෝ පාකර යවන්නට සමත් වූයේය. වින්දනය නම් මෙයය විඳීමේ සුන්දරත්වය මෙයය අපූර්වත්වය මෙයය යනුවෙන් අපේ ආත්මයන් ඇහැරී නලිය නලියා මුරගානා අන්තයකට අප ගෙනයන්නට සමත් වූයේය. මේ ලියන දැනුදු මගේ සිත පුරා ගලායන්නේ ඒ මාධූර්යයේ ආශ්චර්යයි; චමත්කාරයයි.

ඒ එසේ වූවද මෙදා ගැයුනු ගී සමුච්චයේ ආශ්චර්යය අතීත පුනරාගමනයක නැවත ප්‍රචාරයක් පමණක්ම වේද යන හිතිවිල්ල හොර රහසේ මගේ සිතට එබෙයි. නන්දා මාලිනී ගීතාවලිය අවසන්ව ශාලාවෙන් පිටතට, උණුසුම් ටොරොන්ටෝ වසන්තයක සිසිල් රාත්‍රියකට පිය නගන අතර මේ සිතිවිල්ලම, "නන්දා මාලීනී ගීතාවලියේ එක යුගයක් අද මෙතන කියැවුනේ නෑ"යි යනුවෙන් තවත් සහෘදයකු මිමිණුවේත් මේ අසම්පූර්ණ සිහිනයේ සිහිනය ඔහුගේ සිතටත් වදයක් වූ නිසා වන්නට ඇත.

එහෙත් කාලයේ අවශ්‍යතාවය නම් රසාස්වාදය පමණක්ම වන්නේය යන මුග්ධ සිතිවිල්ල අපි බොහෝ දෙනෙකුගේ සංවේදීත්වය මොට කර තිබෙන්නේ යැයි මම සිතමි. යුද්ධයේ භයංකරත්වයත්, රණ විරුවන්ගේ පරිත්‍යාගයත් පරයා ජයග්‍රහණයේ ආලවට්ටම් රජ කරන අපේ රටේ, අද වන විට විජයග්‍රහණයේ අයිස්චොක් සූප්පු කල විවේක කාලය අවසන් වී, ජාතිකත්වය එළිපිටම ජාතිවාදය තුලත් ඒකීයත්වය දැනුවත්ව හෝ නොදැනුවත්වම මමත්වය තුලත් දියාරුවන්නට පටන් ගෙන ඇති ලාංකීය සමාජ සත්තාව ‍සලකා බලන කළ මේ සිතිවිල්ලේ සාධාරණත්වය කැකෑරී මතුවෙයි.

මෙදා නන්දා මාලිනී ගිතාවලියෙන් මොනයම්ම හේතුවක් නිසා හෝ ගිලිහී සැඟවුණු, එසේ නොගැයුනු ගීත අතරින් මෑතක දී පුන පුනා ඇස ගැසුණු කන රැඳුනු එක් ගීතයක් මේ යථාර්ථයේ තවත් පැතිකඩක් පෙන්වයි.

සීතල පොළොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත් පත දිව බොජුනක් වේවා

මා මුර ගෑයේ පිහිටක් අයදින්ටයි
ධන වැද්දකුගෙන් බඹසර රැක ගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූයේ යුක්තිය විසඳන්ටයි

දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

තුලාව ගෙන නෙත් යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතෙකින්
මරා දමමි ඇය මරා දමමි සැනෙකින්


මේ ගීතය සයිබර් අවකාශයේ කා කා අතින් හෝ මෑතක දී ලියැවුණු සටහන් ගණනාවකම ජනරාල් සරත් පොන්සේකා ගේ "හිරබත් කෑම" වෙනුවෙන් සටහන් කල සමරු සටහනක් බවට පත්කර තිබේ. සරත් පොන්සේකාගේ වීරකම හා දක්ෂකම කෙසේ වුවත්, කුමක් වුවත්, ඔහුගේ අතීතය සලකා බලද්දී නම්, ධන වැද්දකුගෙන් දිළිඳු දියණියකගේ කුමරි බඹසර රැක ගන්නට අවි එසවූ වීරයෙක් ය කීම ඔහුගේ හෘදය සාක්ෂියට මොන විදිහෙන් දැනෙනවා ඇද්ද යන්න සිතා බලන්නට වටිනා පැනයක් යැයි සිතේ.

එක්තරා යුගයක දී නන්දා මෙවැනිම වූ විකෘතිකාමී ජාතිවාදී අර්ථ කථනයක් හමුවේ අභීතව නැගී “මේ සිංහල අපගෙ රටයි” ගීතය වේදිකාවේ ගැයීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළාත් අපට මතකය. එදා ඒ පෞරුෂ කාන්තාවගේ උදාර දර්ශනයට හිස නැමූ අපේ හිත් තුල අද නම් වචන කල යුතු පැන ගණනාවක් මතුව එයි.


(by Mahesh Abeyewardene) | lankareporter

ඒ විකෘති කාමීන්ගේ අපේක්ෂා උපේක්ෂා කුමක් වුවත්, මෙදා නන්දා මාලීනී ගීතාවලියේ මේ පද නොඇසුණේ නීතියේ දෙව්දුව නෙත් බැඳි රෙදිකඩෙන් නොනැවතී සියළු සළුපිළි උනා රාජකීයත්වයේ සිරියහන මත සල්ලන් වී සැනසෙන නිසා ද? එසේ නොමැති නම් ඒ රෙදිකඩ වීණාව අතින් ගෙන, රත් තඹුරු පියුමෙන් නැගෙන සරසවියගේත් නෙත් වසා බැඳෙන්නට තරම් අධිවේගී මාර්ග සංවර්ධනයේ ආශ්චර්යය ‍සෞන්දර්යාත්මක වී ඇති නිසා ද?

එදා මේ ගී ගැයුණේ යම් අරමුණක් යම් දැකීමක් නිසා නම් අද මේ ගී නොගැයෙන්නට හේතුව ඒ දැකීම වියැකී, ඒ අරමුණ සඵල වී තිබෙන නිසා යැයි සිතන්නට, අපේ රට අපේ මිනිසුන් අපේ ගැහැණුන් අපේ දරුවන් දෙස බලා සිතන්නට අබමල් රේණුවක සාධකයක් තිබේ යැයි මට නම් නොසිතෙයි. එදා ඔබ ගැයුවේ සීතල පොළවම සිරි යහනක් වේවා කියායි. ජේලර මහතුන් නෑදෑයෝ වේවා කියායි. තැටියේ බත්පත දිව බොජුනක් වේවා කියායි... එහෙත් අද වන විට මෙවන් මිනිසුන්ට මහ පොළව, මගේ රටේ මහ පොළව ගිනි ජාලාවක් වී තිබේ. නෑදෑයින් වෙන්නට පැතූ බොහෝ ජේලර් මහතුනුත් ධන වැද්දන්ගේම නූල් සූත්තර මතුරන යම පල්ලන් වී තිබේ. බත්පත තබා තැටියත් අහිමිකර ගන්නට සිදුවීමේ අබග්ගයෙන් පෙලෙනවුන් කුමරියක බඹසර බේරා දෙන්නට නැගෙන්නට පෙරම සුදු අසුන් අරා එන ඉනද්‍රජාලිකයන්ගේ අනුහසින් අන්තර්ධාන වන යුගයකට අපි පිවිසී සිටිමු. මේ යථාර්ථය ප්‍රේමයේ. ආදරයේ හා විරහවේ හා උදාවන්නා වූ ආශ්චර්යයේ පැණි වළල්ල තුල හංගන්නට තරම් අපේ සිත් අන්ධ වී තිබේයැයි මට නම් නොසිතෙයි.

නන්දා මාලීනී ගීතාවලියේ නොගැයුනු ගී අතර ටොරොන්ටෝවේ ශ්‍රී ලාංකීය සලකුණට වඩාත් සමීප වන උතුරු කරයේ ‘ලේ’ ගැන නන්දා එදා මෙලෙස ගැයු ගීයත් වෙයි.

ආඬි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ
නාඹර තල් ගෙඩි වල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරල් මෝරන විට පාට දෙන්නෙ ලේ
නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ...!

ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියව්
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියව්
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියව්
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියව්

දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලව්
අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලව්
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලව්
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව්


යුද්ධයේ නිමාව භීෂ‍ණයේ හා පීඩනයේ නිමාවක් නොවූ බව සිව් වසරක් ගතවීත් ඇහැට කණට ඇඟිල්ලෙන්, කෑ ගැහිල්ලෙන් නොනැවතී අතුල් පහර‍වලින් හා උණ්ඩයෙනුත් ඇන ඇන තඩිබා කියාදෙන අද දවසේ, මේ ගීතයේ අන්තර්ගතය නැවත නැවතත් ගැයෙන හදවත් උතුරු කරයේ ගැහෙන හඬ අපට නම් දැනෙයි. අපේ සිත්වලට ඇසෙයි. අපේ නෙත් පුරා පෙනෙයි.

එසේ වන් වූ යුගයක, උතුරත් ඒ ලේ සුවඳත් පැහැයත් ජන්ම දායාදය කර උපන් ජනකායකගේ සුසුම් තැවරෙන දුරින් හිඳිමිනුත් අඩුම වශයෙන් උන්ගේ ඉහිරුණු ලේ වල සුවඳ ගැන එදා ගැයූ මතකය වත් මතක් කරන්නට නොහැකි වීම නන්දා ගේ හිතට වදයක් නොවන්නේ මන්දැයි අපේ සිත් විපිලිසරව විමසයි.

උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට නොපිපුණු කොටහේනේ කෝට්බාස් උන්නැහේ ගේ දුව වූ නන්දා, අපේ හදවත් මලසුනක් කලේත් අපේ සිත් තුල පිළිරැව් දෙන්නාවූ ගී නාදයක් වූයේත් මෙවන් පදමාලා, අපේ ඉතිහාසයේ තවමත් අවසන් නොවූ යුගයක අපි බොහෝ දෙනෙකුන්ට නැගී ගයන්නට නොහැකි වූ මෙවන් පදමාලා වන් අප වෙනුවෙන් අභීතව හඬගා ගැයූ නිසාවෙනි.

එහෙයිනි ඒ අපේ කම නිසාවෙනි, සුසිනිඳු පෙති අතර රැඳි මකරන්දයෙන් සපිරි සුවඳැති සෙව්වන්දි වෙනුවට, සිත් සතන් හූරා සිදුරු කෙරෙන කටු පිරි රෝස දඬුවන් මෙවන් ගී ආදරයෙන් වැළඳ ගන්නේ අපි. අදටත් ඔබ අභියස අපේ හිස් නැවෙන්නේ, අපේ අත් බැ‍ඳෙන්නේ ඒ ගීතවල රැඳවුනු දයාර්දත්වයේ බරිනි. ආදරයේ නොසි‍ඳෙන හූයෙනි. ඔබ අද නොගැයුව ද එදා මෙන්ම තවමත් ඒ ගීත අපේ හිත් තුල ගැයෙන අපේ ජීවිත හා රැ‍ඳෙන අප සමගම ජීවත් වෙන නිසාවෙනි.

සඳකාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තැන තැන රවුමට ඉඳගෙන-
ඉඳ හිට බොරුවට බුර බුර //
කැසිනෝ ගස්සන්න ළමයි එක් රොක් වෙන්නා
ඩොලර් අරං එනකොට පපු කැනතු පිරෙන්නා

පැකර පැකර පිපිඤ්ඤා
පස්ස මැදට දෙසඤ්ඤා
(කෝ විමලේ නලාව?
- පිළිකන්නේ නලාව...!)


බ්ලැක් ජැක් මල් පිපුණු රෑක
පුංටො බැංකො ඉදුණු දාට
පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි සරමෙන් බිමට පෙරෙන්නා

පැකර පැකර පිපිඤ්ඤා
පස්ස මැදට දෙසඤ්ඤා
(කෝ රතනේ නලාව?
- පැකරා ගිල්ල නලාව...!)


පෝකර් ඩයිස් ගහමුද අපි?
චෙමින්ඩිෆර් කෙළිමුද අපි?
හරිම වැඩේ මෝඩ ළමයි බියෙන් සැලෙන්නා
වයිවාරණ සෙල්ලම් බඩු කොඹල ඇවිල්ලා

පැකර පැකර පිපිඤ්ඤා
පස්ස මැදට දෙසඤ්ඤා
(කෝ රිවිරෝ නලාව?
- රවියා ගිල්ල නලාව...!)


තැන තැන රවුමට ඉඳගෙන-
ඉඳ හිට බොරුවට බුර බුර //

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ආණ්ඩුවේ බලධාරීන්ගේ අන්තනෝමතික වාරණයට ලක් වූ "ඉගිලෙන මාලුවෝ" චිත්‍රපටය පිළිබඳ පමණක් නොව ඒ ආශ්‍රිත කලා සංස්කෘතික ඝෝෂාවේ දේශපාලන අර්ථය ගැන ලියවුණ ලියැවිලි කිහිපයක් මෑතදී පුවත්පත් වල පළවිණ .

"මෙය වැදගැම්මකට නැති නිර්මාණයකි. එසේම දේශපාලන වියවුලෙන් යුතු කලාත්මක බංකොලොත් භාවයෙන් පමණක් නොව ලිංගික වලිප්පුවෙන්ද යුතු චිත්‍රපටයකි. එය අසාර්ථක සිනමා කෘතියක් විනා කිසි ලෙසකින් වත් අහිංසක සිනමා කෘතියක් නොවේ. කාලකන්නි ගම, කාලකන්නි හමුදාව, ලිංගික අඩස්සිය, කර්කෂබව, ම්ලේච්ඡත්වය මෙහිලා සර්ව නරුමවාදි කෝණයකින් ඉහළට එසැවෙයි." යනාදි වශයෙන් ‘ඉගිලෙන මාලුවෝ’ චිත්‍රපටය විග්‍රහ කරන ඔවුන් පවසන්නේ අනිසි වාරණ නියෝගයක් පැනවීම මගින් චිත්‍රපට කඩමාල්ලක් ඔස්සේ එහි අදියුරු එක රැයින් ජාත්‍යන්තර සිනමාකාරයෙක් වී ඇති බවය. මර්දනකාරි රෙජීමයක ගොදුරක් වූ මෙම කෘතිය පිළිබඳ පුවත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය වල පළ කෙරෙන බවය.

එය මර්ධනකාරී රෙජීමයක ගොදුරක් වූ බව පවසන සමහරුන් කලබළ වී ඇත්තේ කලා වාරණය ගැන නොව එමගින් නිර්මාණකරුවකු ජාත්‍යන්තර අවධානයට ලක්වීම පිළිබඳවය.

සමහර අවස්ථා වලදී ‘ඉගිලෙන මාලුවෝ’ ගැන කතා කරන්නට ගොස් පසෙක සිටින අන් සිනමා කරුවන්ද ඊට ඈදා ගන්නේ ඔවුනට ද නිග්‍රහ කරමිනි. ඒ මේ ආකාරයටය.

"මේ ප්‍රවාහයට අයත් ‘මේ මගේ සඳයි’, ‘සුදු කළු සහ අළු’, ‘සුළඟ එනු පිණිස’ ආදී අනෙකුත් නිර්මාණ දේශපාලන අතින් දූෂිත වූ ඒවා බවද කලාත්මක අතින් පැවතියේ ඉතා බංකොලොත් තත්ත්වයක" බවද එක් ලිපියක සඳහන් විය. එහි "බහුභූත විචාරක කතිකා ජාත්‍යන්තර සම්මාන හා මෙරට විකල්ප ගෝත්‍රිකයන්ගේ දේශපාලන අනුග්‍රහයේ අනුභාවයෙන් ඉහත චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන් සිනමාකරුවන් ලෙස ව්‍යාජ පිළිගැනීමකට ලක් වූ" බවද එම ලිපියේ වැඩි දුරටත් දක්වා තිබිණ.

‘ඉගිලෙන මාලුවෝ’ ගැන මතු කෙරෙන මතවාද හා ඉන් ද්වනිත වන ප්‍රතිවිරෝධතා ගැන පළමුව කතා කරමු.

‘ඉගිලෙන මාලුවෝ’ චිත්‍රපටය වැදගැම්මකට නැති කලාත්මක බංකොලොත් භාවයකින් හා ලිංගික වලිප්පුවෙන් යුතු චිත්‍රපට කඩමාල්ලක්ද?

එය අතිශයින් සාහසික ප්‍රකාශයකි. මේ සංජීව පුෂ්පකුමාරගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටයයි. දැනට කොරියාවේ සිනමාව පිළිබඳ අධ්‍යයනයක යෙදෙන, ලෝක සිනමාව වඩා සමීප ලෙස ඇසුරු කරන සංජීවගේ සිනමා භාවිතය ගැන කවර ප්‍රශ්නයක් තිබෙන අයෙකුට වූවද එය වැදගැම්මකට නැති බංකොලොත් චිත්‍රපටයක් ලෙස බැහැර කළ නොහැකිය.


සිරි දළදාගමනය (ඡායාරූප- ගොසිප් වෙබ් අඩවිවලින්.)

‘ඉගිලෙන මාලුවෝ’ නැරඹීමෙන් මා තේරුම් ගන්නේ සංජීව පුෂ්පකුමාර යනු ප්‍රතිභාපූර්ණ, සිනමා ව්‍යාකරණය වටහා ගත්, අධ්‍යක්ෂවරයෙකු බවය. ඔහු තමන්ටම අනන්‍ය වූ රීතියක් සකසා ගෙන නොමැති වුවද ඒ සඳහා ඇති විභවය මොනවට පැහැදිලි වෙයි. මෙරට වෙසෙන සිනමා ක්ෂේත්‍රයේ ව්‍යාජ ලෙස භෞතීස්ම ලැබූ ව්‍යාපාරික මට්ටමේ චිත්‍රපට අධ්‍යක්ෂවරුනට වඩා රූපය හා එහි ප්‍රබලත්වය ගැන සංජීවට අවබෝධයක් ඇත. මෙයින් මා අදහස් කරන්නේ සංජීව විශිෂ්ට විත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට ඇති බව නොවෙයි. ඒ සඳහා බොහෝ දුර ගමනක් යන්නට ඔහුට සිදුවනු ඇති බව නිසැකය. අද දවසේ සිනමා ක්ෂේත්‍රයේ පෙරලිකාරයන් වන සමහර අධ්‍යක්ෂවරුන් සිය ගමන පැමිණ ඇත්තේ ද එසේය.

ප්‍රසන්න විතානගේ, ‘සිසිල ගිනිගනී’ සිට ‘ආකාස කුසුම්’ (ප්‍රසන්නගේ 'ඔබ නැතුව ඔබ එක්ක' නැරඹීමේ අවස්ථාව තවමත් ලැබී නැත) දක්වා ද, අශෝක හඳගම, ‘චන්දකින්නරී’ සිට ‘ඉනිඅවන්’ දක්වා ද පැමිණෙන්නේ වර්ධනීය ගමනකි. මෙය සමීකරණයක් ලෙස ඒ ආකාරයටම යොදා ගත නොහැකි වුවද අත්දැකීම් බහුල වීමත් අධ්‍යයනයේ යෙදීමත් මගින් කිසියම් ආකාරයක පරිසමාප්ත නිර්මාණයක් කිරීමේ පන්නරය කාලයත් සමග ලැබෙන බව නිසැකය. එසේම සමහර නිර්මාණකරුවන්ගේ පළමු චිත්‍රපටය තරම් ඉන්පසු කෙරෙන නිර්මාණ උසස් මට්ටමක නොවන අවස්ථාද ඉඳහිට දක්නට ලැබෙන බව කිව යුතුය.

එනයින් බලන කළ සංජීව පුෂ්පකුමාරගේ අනාගත සිනමා ගමන ධනාත්මකව වර්ධනය වන්නේද අවගමනය වන්නේද යන්න අපට නිශ්චය කළ හැකිවනු ඇත්තේ ඔහුගේ භාවිතයත් සමගය.

‘ඉගිලෙන මාලුවෝ’ සිනමා කෘතියේ විවිධ කඩතොලු හා නොගැලපීම් ඇති බව සැබෑය. ඔහු ලිංගිකත්වයට වඩා වැඩි බරක් තබා ඇති බවටද යමෙකුට තර්ක කළ හැකිය. මේ දර්ශන මීට වඩා සංයමයකින් හෝ වක්‍රෝක්තියෙන් යුතුව ඉදිරිපත් කළේ නම් වඩා සුදුසු බව කෙනෙකුට යෝජනා කළ හැකි වුවද ඒ සඳහා බල කළ නොහැක. එය අධ්‍යක්ෂවරයාගේ රටාව හා චේෂ්ටාව නම් ඊට එරෙහිවීමේ අයිතියක් ඇත්තේ කාටද?

තමන්ව දිගටම ලිංගික හිංසාවේ යොදවන පිරිමියාගේ පුරුෂ නිමිත්ත කපාගෙන පොලිසියට ගිය කාන්තාවක් ගැන අපට මෑතකදී ද අසන්නට ලැබිණ. ‘ඉගිලෙන මාලුවෝ’ චිත්‍රපටයේ හමුදා සෙබෙළකු එවන් අකරතැබ්බකට මුහුණ දීම අපට උරණ වෙන්නට තරම් කාරණාවක් නොවේ.


සුළඟ එනු පිණිසය

චිත්‍රපටයක ලිංගික කාරණා අඩංගු දර්ශන දැකීමෙන් කුල්මත් වී සදාචාරාත්මක කෙවිටෙන් බැට දෙන්නේ නෂ්ටකාමීන්ය. එවන් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැත්නම් යමෙකු කුලප්පු වන්නේ තමන් තුළ සැඟවී සිටින සිංහල ජාතිවාදියා හිස ඔසවන නිසාය.

මේ ලේඛකයන් සිනමාවේ දී දකින්නට කැමති වන්නේ සුබවාදී ගමක් මෙන්ම සුපිරි ගති ලක්ෂණ වලින් හෙබි වීරෝධාර යුද සෙබෙළකු වන්නට පිළිවන. එහෙත් අප දකින සැබෑ ගම අන්ත පරිහාණියට ලක් වූ පිරිහුණු සාරධර්ම වලින් යුතු දුෂ්ඨ ගමකි. හමුදා සෙබළා ද එසේමය. ඒ ගැන අටුවා ටීකා ලිවීම අවශ්‍ය නොවන්නේ මල් පහන් පූජා කරමින්, බෝධි පූජා පවත්වමින් උත්කර්ෂයට නැංවූ හමුදා සෙබළාගේ පැටිකිරිය අද දවසේ නිරන්තරයෙන් අසන්නට ලැබෙන බැවිණි.

හමුදා සෙබළා යනු අධිපතිවාදී, උද්දච්ච, ජඩ භාවිතයක් සහිත කුරිරු සත්ත්වයකු බවට පත් නොවන්නට ඔහුට හමුදාව තුළ පැවැත්මත් නැත. ඔහු බාහිර සමාජයේදී සුදු රෙදි හැදගත් උපාසක චරිතයක් රඟන නමුදු නිසි අවස්ථාව පැමිණි වහාම තමන් තුළ වන ජාගර සත්ත්වයා නැගී සිටී. එසේ නොවන්නකුට, නැතිනම් හමුදා කෝව තුළ දියවී ඊට අදාළ හැඩය නොගන්නෙකුට කිසිදු පැවැත්මක් නොමැත.

වසර තිහක කුරිරු යුද්ධය ඊටම ආවේණික වූ රුදුරු ආකාරයෙන් ජය ගැනීම නිසා හමුදා සෙබළා තවදුරටත් කරේ තබාගෙන වන්දනාමාන කරන්නවුන් සුපරික්ෂාකාරී ලෙස ආපසු හැරී බැලිය යුත්තේ තමන්ගේ පශ්චාත් භාගයට ගිනි බටයක් එල්ල වන්නේ කවර මොහොතකද කියාය.

විදේශ සිනමා උලෙළ ජය ගැනීම සඳහා, ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීම සඳහා, රාජ්‍ය විරෝධී පටු කල්ලිවල උවමනාව සඳහා පමණක් චිත්‍රපට කරනවාය යන චෝදනාව ඉතා පහසුවෙන් කළ හැකි එහෙත් කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් පමණකි.


මේ මගේ සඳයි

ආණ්ඩුවේ බලධාරීන්ගේ අන්තනෝමතික වාරණය හේතුවෙන් සංජීව පුෂ්පකුමාර මෙරට තුළ පමණක් නොව ජාත්‍යන්තරයේ ද අවධානය ලක් වූ බව පැහැදිලියි. ‘ඉගිලෙන මාලුවෝ’ මෙරට චිත්‍රපට ශාලාවල මුදා හැරියේ නම් සතියෙන් දෙකෙන් ගැලවෙන චිත්‍රපටයක් වනු ඇතිය යනුවෙන් සමහරුන් එළැඹෙන පූර්ව නිගමනයට මා අභියෝග නොකරන්නේ ‘මේ මගේ සඳයි’, ‘සුදු කළු සහ අළු’, ‘සුළඟ එනු පිණිස’ මාදිලියේ සමාජය ප්‍රශ්න කරන විකල්ප චිත්‍රපට වලට අත් වූ ඉරණම ඊට සාක්ෂි දරන බැවිනි. කවදත් විකල්ප භාවිතයකින් යුතු කලා නිර්මාණ පොදු සමාජය මහාපරිමාණයෙන් හෘදයාංගමව වැළඳ ගන්නේ නැත.

සංජීවගේ චිත්‍රපටයේ හඳගමගේ ‘මේ මගේ සඳයි’, විමුක්තිගේ ‘සුළඟ එනු පිණිස’ හා අන්ද්‍රේ තර්කෝව්ස්කිගේ චිත්‍රපටවල යම් ආකාරයක අනුකාරක ලක්ෂණ ඇති බව පැහැදිලිය. ඔහු තමන්ගේ අනන්‍යතාව ප්‍රකට කොට නැතැයි මා ඉහතින් සඳහන් කළේ එබැවිණි.

ඒ වූ පමණින් ‘ඉගිලෙන මාලුවෝ’ යනු චිත්‍රපට කඩමාල්ලක් ලෙස අර්ථ ගන්වන්නේ නම් මෑත ඉතිහාසයේ රාජ්‍ය ආශිර්වාදය යටතේ ඔජ වඩවමින් තිරගත වූ ඓතිහාසික සංසිද්ධීන් ඇසුරින් තැනූ පුහු, බොල්, රූප කෑලි ඇමිණූ චිත්‍රපට හඳුන්වන්නේ කෙලෙසක දැයි ප්‍රශ්න කිරීමට කැමැත්තෙමි.

දැන් ‘ඉගිලෙන මාලුවෝ’ අතහැර ඔවුන්ගේ අනිත් ප්‍රලාප දෙස හැරෙමු.

‘ඉගිලෙන මාලුවෝ’ චිත්‍රපටයට එරෙහි වන්නේ එහි මුඛ්‍ය තේමාව හෝ සිද්ධීන් ඉදිරිපත් කරන විලාශය හේතුවෙන් නොව සමස්තයක් ලෙස යුදකාමී සිංහල හමුදා සෙබළා (වීරයාගේ) පැවැත්ම ප්‍රශ්න කෙරෙන අවස්ථා ඇති නිසා බව පැහැදිලිය. ඔවුන් ‘මේ මගේ සඳයි’, ‘සුදු කළු සහ අළු’, ‘සුළඟ එනු පිණිස’ සමඟ ‘එගිළෙන මාලුවෝ’ ද එක තරාදියකට දමා කිරන්නේ එබැවිණි.

හඳගමගේ ‘මේ මගේ සඳයි’ යනු ලාංකික සිනමාවේ තුන්වෙනි විප්ලවය ලෙස හැඳින් වූයේ අග්‍රගන්‍ය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. යුද්ධය පවතින මොහොතක කම්පනයට පත් මායිම් ගම්මානයක ජීවත්වන සිංහල ජන සමූහයකගේ විකල් මානසිකත්වයත්, යුද බිම හැරදා දෙමළ තරුණියක සමඟ එකී ගමට සිංහල තරුණයා පැමිණීමත් සමඟ ඇතිවන කලබැගෑනියත් හරහා හඳගම කුරිරු යුද්ධය ප්‍රශ්න කරන්නේ තුවක්කු, වෙඩි උණ්ඩ, සක්‍රීය හමුදා සෙබළුන්, හමුදා සහ ත්‍රස්ත ප්‍රහාර කිසිවක් චිත්‍රපටය තුළ පෙන්වන්නේ නොමැතිවය. කවරාකාරයෙන් විග්‍රහ කළද ‘මේ මගේ සඳයි’ යනු අන්තර්ගතමය මෙන්ම ආකෘතිමය වශයෙන් ද සිනමාත්මක භාවිතයෙන් ද ලාංකික සිනමා ප්‍රවාහයේ එන සුවිශේෂී චිත්‍රපටයක් බව නිසැකය.

සුදත් මහදිවුල්වැවගේ ‘සුදු කළු සහ අළු’ චිත්‍රපටයේ මෙන්ම විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිසය’ චිත්‍රපටයේද වක්‍රාකාරයකින් යුද්ධය, යුද බිම හා මායිම් ගම්මානවල ජන ජීවිත ප්‍රශ්න කරන චිත්‍රපට වෙයි. මේ හැම චිත්‍රපටයක්ම සිනමා රූපි ගුණයෙන් පෝෂණය වූ ඒවා වෙයි.


ඉගිලෙන මාලුවෝ

‘ඉගිලෙන මාලුවෝ’ චිත්‍රපටයට එරෙහි පෙරමුණේ කොන්දේසි විරහිතව සිට ගන්නා හැම කෙනෙක්ම මේ මාදිලියේ විත්‍රපට දැකීමෙන් කිපෙන්නේ තමන් තුළ සැඟවී සිටින සිංහල ජාතික අධිකාරවාදි, උග්‍ර ජාතිවාදියා හිස එසවීමත් සමඟය. ජාත්‍යන්තරයේ සම්මාන ඉලක්ක කොට මෙම චිත්‍රපට නිපදවන බවත්, මේවා බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන බවත්, විදේශයෙන් හෝ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබාගෙන සිංහල හමුදාව හෙළා දැකීමට පෙළඹී ඇති බවත් යනාදි වශයෙන් හිස් ප්‍රලාප නගන්නේ මේ ජාතිවාදයට රිදෙන හෙයිනි.

එහෙයින්ම ඔවුන්ගේ ප්‍රවාදය වන්නේ මෙම චිත්‍රපට දේශපාලනමය වශයෙන් දූෂිත වූ කලාත්මක අතින් බංකොලොත් ඒවා බවය.

බුදුදහම හා ඊට අනුයාත සිද්ධීන්, ඓතිහාසික රජ කතා, ඒවාට අනුපාන ලෙස හුදු මන:කල්පිත පාදක කොට බුද්ධ ධර්මයත් ලාංකික ඉතිහාසයත් විකෘති කරමින් නිපදවෙන කලා විහීන චිත්‍රපට පෝලිම් කඩාගෙන කෝටි ගණන් ආදායම් ලබමින් තිරගත වන්නට පටන් ගෙන ඇත. මේ විසූක දස්සන ඉදිරියේ සමහර ලේඛකයන්ට තමන් කරවටක් ගිලී සිටින ජාතිවාදි මඩ ගොහොරුවෙන් පිටතට ඒමට නොහැකිවාක් මෙන්ම ඒ සඳහා කිසිදු උවමනාවක්ද නොමැති බව ඔවුන් අතින් ලියැවෙන ලිපි මගින් මනාව පිළිඹිබු වෙයි.

එම චිත්‍රපට කලාත්මක බවින් හීන වනවා පමණක් නොව සිනමා මාධ්‍යයේ මූලික නියමයන්ට අනුකූලව තැනූ ඒවා නොවන බව ඔවුන් අමතක කරන්නේ ගැලවිජ්ජාවට පමණක් නොව ඒ මගින් ඉතිහාසය තමන්ට අවැසි පරිදි ලියා තබන්නට ඉඩ හසර විවර කරගන්නටත් එක්කය.

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කවියෙක් වෙන්න හිතුණෙ ඇයි?

දැඩි තදබදයක සහ හුදෙකලාවක ජීවත් වෙන්න අපට බලකරන මේ ක්‍රමය ඇතුළෙ ජීවත් වෙද්දි නිර්මාණය වෙන රස්තියාදුව ඕනම කෙනෙක්ට පොදුවෙ අත්විඳින්න සිද්ධ වෙන දෙයක්. සමහරු ඒ රස්තියාදුව ඉවර කරගන්න නොයෙක් දේ කරනවා. ඉතින් මටත් ඕන වුණා ඒ තදබදය සහ හුදෙකලාව ඇතුළෙ නිර්මාණය වුණු රස්තියාදුව සටහන් කරන්න. ඒ සඳහා සුදුසු මාධ්‍යයක් විදියට මට මුණගැහෙන්නෙ 'කවිය' සහ 'කෙටි චිත්‍රපටි' දෙක. ඉතින් ඒ හරහා මම අර රස්තියාදුව සටහන් කරන්න පටන් ගන්නවා. එහෙම සටහන් වුණු අත්දැකීම් ටිකක් තමයි 'හැටේවත්තේ මග්දලේනා' විදියට එළි දකින්නෙ. මෙතනදි මට අවශ්‍ය වුණේ නැහැ කවියෙක් වෙන්න හෝ වෙනයම් ආකාරයක නිර්මාණකරුවෙක් විදියට නමක් හදාගන්න. අර තදබදය, රස්තියාදුව සහ හුදෙකලාව විසින් මා තුළ නිර්මාණය කරල තිබුණු පීඩනයෙන් නිදහස් වීම විතරයි මට වැදගත් වුණේ. මුලින්ම ඒ පීඩනය අන්තර්ජාලය ඇතුළෙ මම මුදාහරිනවා, කවි විදියට. ඒත් ඒ කවි වැඩිපුරම ගැලපෙන්නෙ අන්තර්ජාලයට නෙමෙයි, මුද්‍රිත මාධ්‍යයකට කියල මට හිතුණු නිසා, 'හැටේ වත්තේ මග්දලේනා' නමින් පොතක් එළියට එනවා.

මාතෘකා තෝරාගැනීමේදී භාවිතා කළ ක්‍රමවේදයක් තියෙනවද?

විශේෂ ක්‍රමවේදයක් පාවිච්චි කළේ නැහැ. මේ පොතේ එන හැම නිර්මාණයකම වගේ වස්තුබීජය මගේ ජීවිතයට සම්බන්ධයි. කොහෙන් හරි ඒ හැම කවියක්ම මගේ ජීවිතයට ගැටගැහුණු අත්දැකීමක්. හැබැයි පොතේ ඉඩකඩ එක්කත් සටනක් කරන්න සිද්ධ වුණු නිසා මට සිද්ධ වුණා ඒ අත්දැකීම් අතරින් තෝරා ගත්ත කීපයකට විතරක් 'හැටේවත්තේ මග්දලේනා' ඇතුළෙ අවස්ථාව ලබා දෙන්න. එතනදි වඩාත් ප්‍රබලව මට දැනුණු දේවල් වලට වැඩි ප්‍රමුඛත්වයක් දෙන්න සිද්ධ වුණා. මට කියන්න ඕන වුණු දේ කොයි තරම් සාර්ථකව සංනිවේදනය කරනවද කියන කාරණය සහ එකකට එකක් වෙනස් තේමාවන් වීම කියන කාරණා ගැන සලකලා බැලුවා මිසක් වෙන විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළේ නෑ.

කවි කියවන පිරිස සීමිත වුණත් කවි පොත් බහුලව එළිදැක්වෙනවා. ඒ කා වෙනුවෙන්ද?

ඇත්තටම මේ වගේ මොහොතක කවි පොතක් මුද්‍රණය කිරීම කියන්නෙම සියදිවි හානි කරගැනීමක් වගේ දෙයක්. ලියපු කවි පොත් ටිකත් බෑග් එකක එල්ලගෙන තෙල් බෙහෙත් වෙළඳාමේ යන වෙළෙන්දෙක් වගේ පොත් කඩවල් ගාණෙ යද්දි නිතරම තේරුම් යන ඇත්තක් ඒක. කවි පොත් බහුලව එළිදැක්වීම වගේම කවිය ඇසුරු කරන පිරිස රටේ ජනගහනයට සාපේක්ෂව බොහොම පුංචි ප්‍රතිශතයක් වීම කියන කාරණාත් එක්ක අරගෙන බලද්දි ඔබ ඔය කියන කාරණයෙ යම් ඇත්තක් නැතුවත් නෙමෙයි. ඒත් එහෙම තත්වයක වුණත් ලිවීම නතර කරන්න සාහිත්‍යකරුවාට අයිතියක් නැහැ. ඔහු අනාගතයට වගකිව යුතුයි, වර්තමානය සටහන් කර තැබීම පිළිබඳව. ඒ වගකීමෙන් සහ යුතුකමෙන් මිදෙන්න බැහැ සාහිත්‍යකරුවාට. වර්තමානය කොයි තරම් කටුක වුණත් අත් නොහැරිය යුතු වගකීමක් ඒක.

ඔබ අහපු ප්‍රශ්නෙට අදාළව තව පැත්තක් තියෙනවා. ඒ තමයි එහෙම බිහිවෙන හැම කවි පොතක්ම සාර්ථක 'කවි' පොතක්ද කියන කාරණය. මම මහා කවියෙක් නො වුණත්, මට එහෙම දෙයක් දැනෙනවා. අනික, කවි ලියන්න කලින් කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි, කවි කියවන්න ඕන. ඉතින් කවි නොකියවන සමාජයක කොහොමද 'කවි' පොත් බහුලව එළිදැක්වෙන්නෙ. ඒ නිසා කවිපොත් බහුලව එළිදැක්වෙනවා කියන කාරණය පිළිගන්න මම ඒ තරම් කැමැත්තක් නැහැ. ඒත් ඔබ එහෙම කියනවනම් ඒ ඔබේ අදහස. ඔබට නිදහස තියෙනවා එහෙම අදහසක් දරන්න.

කියවීමෙන් ලද දේ සහ අත්දැකීම් සංකලනය කරන්නෙ කොයි විදියටද?

අත්දැකීම කියන දේ කවියට විතරක් නෙවෙයි, ඕනම කලා මාධ්‍යයකට පොදුවේ වැදගත් වෙන දෙයක්. ජීවිතයේ පහුකරගෙන යන කාලවකවානු, මුණගැහෙන මිනිස්සු - ගැහැණු, සිදුවීම්... මේ හැම දෙයක් විසින්ම අපට අත්දැකීම් ඉතුරු කරනවා.

'හැටේ වත්තේ මග්දලේනා' කවි පොතේ තියෙන්නෙත් ඒ විදියෙ අත්දැකීම් පොකුරක්. කාලයක් තිස්සෙ අහපු- දැකපු, විඳපු සහ විඳවපු ඒ සමහර අත්දැකීම් පුද්ගලිකව මගේ ජීවිතයට සම්බන්ධයි. කෙළින්ම සම්බන්ධ නොවුණත් මේ පොතේ එන හැම කවියකම තියෙන්නෙ මගේ ජීවිතේට කොහෙන් හරි කොණකින් ගැටගැහුණු අත්දැකීමක්. කවි ලියනවට වඩා මට වැදගත් වුණේ සහ ඕන වුණේ අන්න ඒ අත්දැකීම් සටහන් කරල තියන්නයි.

කියවීමෙන් ලද දේවල් කියල ඔබ අදහස් කරන්නෙ පුවත්පත් වගේ ජනමාධ්‍ය ඇසුරෙන් සහ පත පොතින් ලැබෙන තොරතුරු සහ අත්දැකීම් ගැන නම්, මට ඒකට දෙන්න තියෙන්නෙ මේ විදියෙ උත්තරයක්. නිර්මාණයක් කරද්දි මම විශ්වාස කරන විදියට, ඒ නිර්මාණය ඒක කරන කෙනාට දැනෙන්න ඕන. ආරම්භයේ ඉඳල අවසාන වෙනකල්ම ඒ දේ නොදැනුණොත් මට මගේ ඒ නිර්මාණය ඇතුළෙ සෑහීමකට පත් වෙන්න බැහැ. ඉතිං අත්දැකීම් ලැබෙන මාධ්‍යය මොකක් වුණත් මටනම් වඩාත් වැදගත් වෙන්නෙ ඒ අත්දැකීම මට කොයි තරම් දැනෙනවද සහ ඒ ඇසුරෙන් කරන නිර්මාණයකට කොයිතරම් අවංක වෙන්න මට පුලුවන්ද කියන කාරණය විතරයි. ඉතින් ඔබ කියපු විදියෙ සංකලනයක් මේ නිර්මාණවල තියෙනවනම්, ඒක හිතල මතල කරපු දෙයක් නෙමෙයි. මම කළේ මට අවංක වෙන්න පුලුවන් උපරිමය දක්වා මේ හැම නිර්මාණයකටම අවංක වීම විතරයි.

කවියෙක් කොයිතරම් අධ්‍යයනයක නිරත විය යුතුද? ඔබ ඒ විදියෙ අධ්‍යයනයක ඉන්නවද?

කවිය හෝ වෙනත් ඕනම නිර්මාණ ක්ෂේත්‍රයක නියැළෙන කෙනෙකුට අධ්‍යයනය සහ අභ්‍යාසය කියන කාරණා දෙක මගහැරල යන්න පුලුවන් කමක් නැහැ. කවුරු වුණත් තමුන් වැඩකරන ක්ෂේත්‍රය ඇතුළෙ නිතරම හොඳ අධ්‍යයනයක, කියවීමක ඉන්න එක අනිවාර්ය දෙයක් සාර්ථක නිර්මාණයක් බිහි කිරීමේදී.

හැබැයි මෙහෙම කාරණයකුත් මම දකිනවා. ඒ අධ්‍යයනය පොතපතට විතරක්ම සීමා වුණු දෙයක් නොවී, එතනින් එහා පුළුල් - ගැඹුරු අධ්‍යයනයක් වෙන තරමට ඒ ඇසුරින් කරන නිර්මාණ වඩාත් සාර්ථක වෙයි. අපට කලින් පරම්පරාවල සහ, මම නියෝජනය කරන පරම්පරාවේත් සමහර වෙලාවට අපට මුණගැහෙනවා ඒ විදියෙ පතපොතට විතරක් සීමා වුණු අධ්‍යයනයන් තියෙන චරිත. එයාල එක්ක වැඩ කරද්දි සමහර වෙලාවට හිතෙනවා, එයාල කොයි තරම් පරණ වෙලාද කියලත්. මම විශ්වාස කරන විදියට මේ ගමන ඒ විදියට යන්න පුලුවන් එකක් නෙමෙයි. පොතපතින් ලැබෙන දැනුම වගේම සමාජය එක්ක ගැටිලා - හැපිලා, රස්තියාදු ගහලා ලබන්න පුලුවන් දැනුමත් අති විශාලයි. ඒ රස්තියාදුව 'කවිය' කියන කලාපය ඇතුළෙ කවදාවත් අවතක්සේරු කරන්න බැහැ.

පුද්ගලිකව මමත් නිරන්තර අධ්‍යයනයක ඉන්නවා. එදිනෙදා යනඑන, කරන කියන දේවල් ඇතුළෙම මගේ ඒ අධ්‍යයනයත් සිද්ධ වෙනවා. හැබැයි ඒක පොතපතට විතරක් සීමාවුණා නම්, අද මේ විදියට ඔබත් එක්ක කතා කරන්න 'හැටේවත්තේ මග්දලේනා' නමින් පොතක් ලියවෙන්නෙ නැහැ.



ඔබ විසින් යම්කිසි ශෛලියක් අනුගමනය කරනවද?

ලිවීමේදී එකම ශෛලියකට අනුගත වෙලා, එකම රටාවකට හුරු වෙලා ලියන පුරුද්දක් මට නැහැ. ගොඩක් වෙලාවට මගේ ලේඛන ශෛලිය තීරණය කරන්නෙ අදාල නිර්මාණය විසින්මයි. ඒ නිර්මාණයට වඩාත් සුදුසු ශෛලිය අදාළ නිර්මාණය විසින්ම ඉල්ලනවා. ඉතින් මම කරන්නෙ ඒ ඉල්ලා සිටින ශෛලිය ඇතුළෙ නිර්මාණය ගොඩනැගීම මිසක්, මට අවශ්‍ය ශෛලියකට බලෙන් කතා තේමාවක් එබ්බවීම නෙමෙයි. මම හිතන්නෙ නැහැ එහෙම ශෛලියක් අනුගමනය කරන එක නිදහස් කවියෙකුට ඒ තරම් ගුණදායක දෙයක් බව. ඊට හේතුව තමයි, එහෙම කරද්දි තමුන්ටත් නොදැනීම තමුන්ට කියන්න අවශ්‍ය දේ යටපත් වෙලා, ලේඛන ශෛලිය විතරක් ඉස්මතු වෙන්න තියෙන අවදානම. අපි නිකමට හිතමු සේකරගෙ ප්‍රබුද්ධ වගේ නිර්මාණයක් සිව්පැදි ආකෘතියෙන් ලියන්න ගියා නම් මොකක් වෙයිද? එහෙමත් නැත්නම්, කේයස්ගෙ සුදෝසුදු වගේ නිර්මාණයක් නිදහස් ආරට ලිව්වනම්..? මම හිතන විදියට සුප් කඩේකට මිනිස්සු එන්නෙ සුප් බොන්න මිසක්, බාජනවල ලස්සන බලන්න නෙමෙයි. සුදුසු බාජනයක සුප් එක පිළිගැන්වීම කෝකියාගෙ වගකීම.

කවි පොතක් කළාට පස්සෙ 'පොරක්' කියල හිතනවද?

ඕනම කලාමාධ්‍යයක් ඇතුළෙ නිර්මාණ ශිල්පියෙකුට දෙයාකාරයකින් තමුන්ගෙ මෙහෙවර ඉටු කරන්න පුලුවනි. අදාළ මාධ්‍යය ඇතුළෙ සෞන්දර්යාත්මකව මිනිස්සුන්ගෙ හිත් සුවපත් කිරීම, වින්දනයක් ලබා දීම එක මෙහෙවරක්. විකල්ප ඉතිහාසයක් සටහන් කරන්න දායක වීමයි අනිත් මෙහෙවර. මට වඩාත් වැදගත් වුණේ අන්න ඒ දෙවෙනි කාරණය. ඒ වෙනුවෙනුයි 'හැටේ වත්තේ මග්දලේනා' බිහිවෙන්නෙ. නිල ඉතිහාසයට පිටින් යන විකල්ප ඉතිහාසයක් සටහන් කරද්දි වඩාත් ප්‍රබල මෙවලමක් තමයි 'කවිය' කියන්නෙ. අනිත් කලා මාධ්‍යයන්ට සාපේක්ෂව කවියෙන් ඇති කරන්න පුලුවන් බලපෑම සහ පෙළඹවීම ප්‍රබලයි. සුවිශේෂයි. ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නෙ ගොඩක් වෙලාවට, වර්තමානයෙදි නොවෙන්න පුලුවන්. ඒත් ඒකෙන් කියවෙන්නෙ නැහැ කවියෙ බලපෑම අඩු බව. මේ මොහොතෙ සිද්ධ වෙන, අත්දකින සහ පහුකරගෙන සිදුවීම්වල වැදගත්කම සමහරවිට අපට දැනෙන්නෙ අඩුවෙන් වෙන්න පුලුවන්. ඒත් මම විශ්වාස කරනවා, ඒ සිදුවීම්වලට අනාගතේ යම් සුවිශේෂී වටිනාකමක් ලැබෙන බව. කවිය සහ අනිත් හැම කලා මාධ්‍යයකින්ම අද ඉටුකරන මෙහෙයට වටිනාකමක් ලැබෙන්නෙ අන්න ඒ මොහොතට අදාළවයි. 'පොරක්' හෝ 'මහා කවියෙක්' කියන ලේබල් එකකට වඩා මට ඕන වුණේ 'මේ මොහොත සටහන් කර තැබීම' කියන මෙහෙවරට මට පුලුවන් තරමින් දායක වෙන්නයි.මම විශ්වාස කරනවා ඒක මගේ යුතුකම සහ වගකීම, නිර්මාණකරුවෙක් විදියට.

කාලයක් ෆේස්බුක් එකේ කවි ලියපු කෙනෙක් විදියට, ඒ මාධ්‍යය සහ වර්තමානයේ එය භාවිත කරන ෆේස්බුක් කවීන් ගැන ඔබේ අදහස කුමක්ද?

මම නියෝජනය කරන පරම්පරාව සහ එයින් මෙපිට, ඒ කියන්නෙ 80 දශකයේ මැද සහ එයින් පසුව ඉපදෙන පරම්පරාව ගොඩක් ඉක්මණින්, ගොඩක් දේවල්වලට නිරාවරණය වුණු සහ ගොඩක් ඉක්මණින් වෙනස්වීම් වලට ලක්වුණු, ඒ වගේම බලහත්කාරයෙන් හිරිවට්ටනු ලැබූ පරම්පරාවක්. 71, 89 කාලවකවානුවලින් පස්සෙ ඉපදෙන ඒ පරම්පරාව තරුණ වයසට එන්නෙ ලොකු හිස්කමක් සහ හිරිවැටීමක් එක්ක. ඉතින් එහෙම පරපුරකට අයිති කෙනෙක් විදියට මටත් ඒ හිස්කමට සහ, ඇහුම්කන් නොදීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ වටපිටාවක දැනෙන කාලකන්ණිකමට විසඳුමක් හොයාගෙන තමයි ගොඩක් අය ෆේස්බුක්, ට්විටර් වගේ සෝෂල් නෙට්වර්ක් වල ගිණුම් හදාගන්නෙ. මිනිස්සු ඉන්නෙ ලොකු 'ට්‍රැෆික්' එකක හිරවෙලා. ඒ තදබදය ඇතුළෙ අනෙකාව දැනෙන්නෙ නැති වීමේ අවුල ස්වාභාවිකයි. මේ වෙද්දි ඒ හිස්කම වැහෙන්නෙ ගොඩක් වෙලාවට අර සමාජ ජාලවල පිහිටෙන්.

මමත් මුලින්ම අර කියපු අවුලට, හිස්කමට බෙහෙත් හොයාගෙන ෆේස්බුක් පාවිච්චි කරපු කෙනෙක්. ඒත් ටික කාලයක් යද්දි මට මුණගැහෙනවා ඒ නෙට්වර්ක් එක ඇතුළෙත් වෙනම රහක් තියෙන කලාපයක්. ඒකෙදි මට මුණගැහෙනවා කවියො, කෙටිකතාකරුවො, දාර්ශනිකයො වගේ ගොඩක් අය. සමහර ප්‍රවීණයො සහ ප්‍රවීණයො වෙන්න හදන සමහරු තවම පිළිගන්න අදිමදි කළත් 'ෆේස්බුක් කවි' කියන දේ මේ වෙද්දි වෙනම සාහිත්‍යාංගයක් විදියට ලොකු වර්ධනයක් ලබාගෙන තියෙනවා, ගොඩක් පුංචි කාලයකදි.

කලින් පරම්පරාවල නිර්මාණකරුවන්ට තිබුණු විදියෙ බාධකවලට මේ වගේ මාධ්‍යයක් ඇතුළෙ මුහුණ දෙන්න වෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඉස්සර කවියක්, කෙටිකතාවක් පත්තරේක පළවෙනවා කියන්නෙ ගොඩක් අහම්බෙන් ලැබෙන අවස්ථාවක්. ඒත් දැන් මේ වගේ මාධ්‍ය හරහා ඕනම කෙනෙකුට තමුන්ගෙ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ නිදහස තියෙනවා. ඒක හොඳ දෙයක්. අනිත් කාරණය තමයි, මේ මාධ්‍ය ඇතුළෙ ලැබෙන ක්ෂණික ප්‍රතිචාර. නිර්මාණයක් දාල ඊළඟ මොහොතෙ ඉඳන් ඒ නිර්මාණයට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිර්මාණවල ගුණාත්මක භාවය ගැන ප්‍රශ්න තියෙන්න පුළුවනි. ඒත් වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මිනිස්සුන්ට නිර්මාණ කරන්න එයින් ලැබෙන පෙළඹවීමයි.

කවියෙක්, සාහිත්‍යකරුවෙක් විදියට සිස්ටම් එක තුළ පැවැත්ම තහවුරු කරගන්නෙ කොහොමද? එයට ඇති අපහසුතා මොනවාද?

කවියෙක් හෝ වෙනත් ඕනම මාධ්‍යයක් එක්ක වැඩකරද්දි පවතින සිස්ටම් එක තුළ පැවැත්ම තහවුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම ඒ සිස්ටම් එකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. උඩුගං බලා පීනන ගමන් පැවැත්ම තහවුරු කරගැනීම කියන්නෙ ගොඩක් දුෂ්කර වැඩක්. ඒත් එහෙම සිස්ටම් එකට අනුගත වුණාට පස්සෙ කවියෙක්ට හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක නිරත වුණු කෙනෙක්ට ඒ තුළ තමුන්ගෙ සමාජ වගකීම හරියට ඉටු කරන්න පුලුවන් වෙනවද කියන කාරණය ගැන මට ගැටළුවක් තියෙනවා. මම හිතන්නෙ එතනින් එහාට අවංක නිර්මාණයක් බිහි කිරීම කියන කාරණය වෙනුවට සිද්ධ වෙන්නෙ ආත්ම වංචාවක්. ඉතිං එහෙම තත්ත්වයක් තුළ කවියෙක් විදියට පැවැත්මක් තහවුරු කරගැනීමේ දැඩි වුවමනාවක් මට නැහැ. මම කවි ලියනවා. ඒත් ඒ හරහා මගේ ප්‍රකාශනය සමාජගත කිරීම හැර වෙන අරමුණු මට නැහැ. එහෙම යටි අරමුණු එක්ක මම හිතන්නෙ නැහැ සාර්ථක නිර්මාණයක් කරන්න පුලුවන් කියලා. සිස්ටම් එකට අනුගත වෙලා, ඒ සිස්ටම් එක විසින් කරනු ලබන පාලනයට සහ වාරණයට යටත් ව නිර්මාණයක් කරල ආත්ම වංචනිකයෙක් වෙනවට වැඩිය, ඒ ක්‍රමය ප්‍රශ්න කිරීම ඇතුළෙ මට මගේ නිර්මාණ ගැන තෘප්තිමත් වෙන්න පුලුවන්. මම දුවන්නෙ මගේ සිග්නල් වලට විතරයි. අනිත් අයගෙ ට්‍රැෆික් ලයිට් මම අදාළ කරගන්නෙ නැහැ නිර්මාණයක් කරද්දි. තව කෙනෙක් නවතින තැනක නවතින්න මට ඕන නැහැ. ඒ වගේම අනිත් අය පහුකරගෙන යන තැනක වුණත් මම නවතිනවා මට ඒ තැන ගැන දැනෙනවනම්. මම විශ්වාස කරනවා ඒක තමයි මගේ පැවැත්ම.

කවියෙක් විදියට මේ පවතින සමාජය ගැන හිතන්නෙ කොයි වගේ දෙයක් ද? එහි නිර්මාණ ශිල්පියෙකුට පැවැත්ම සඳහා ආත්ම වංචාවක යෙදෙන්න සිද්ධ වෙනවද?

මේ මොහොත වෙද්දි අපට අපේ ජීවිත ගතකරන්න සිද්ධ වෙලා තියෙන්නෙ දැඩි තදබදයක සහ හුදෙකලාවක. හරියටම කියනවනම්, ගොඩක් කාර්යබහුල වෙලාවක හන්දියක ට්‍රැෆික් එකකට අහුවෙනව වගේ දෙයක්. හැමෝම බලාහිඳින්නො බවට පත් කරලා මේ ක්‍රමය. මිනිස්සුන්ට හිමි වටිනාකම් දවසින් දවසම දිය වෙවී යද්දි, හැමෝම ලොකු පද්ධතියක පුංචි පුංචි කෑලි විතරක් වෙලා. අනෙකාව දැනෙන්නෙ නෑ. ඇහෙන්නෙ නෑ. අපි කරන්න ඕන දේ සහ ඒ දේ කරන්න ඕන විදිය තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ අපිට නෙමෙයි. මේ සිස්ටම් එකයි ඒ දේවල් තීරණය කරන්නෙ. අපට තියෙන්නෙ ඒ තීරණය කරපු ආකාරයට ඒ දේ කිරීමයි. ප්‍රශ්නකිරීමකට හරි උඩුගංබලා පිහිනීමකට හරි ඉඩක් තියල නැති තරම්.

බස් එකක යන ගමන් මුණගැහෙන අය ගැන කරන්න පුලුවන් පුංචිම පුංචි නිරීක්ෂණයකින් වුණත් අපට පුලුවනි මේ දේ වටහාගන්න. බස් එකේ යන මිනිස්සු දහදෙනෙක්ව නිරීක්ෂණය කළොත් ඔබට දකින්න පුලුවනි ඒ අයගෙන් කී දෙනෙක් තනියම කතා කිරීමට ඇබ්බැහි වෙලාද කියලා. මම දන්නෙ නෑ ඒකෙ විද්‍යාත්මක පසුබිම හෝ ඒක රෝගයක්ද? නැද්ද? කියන දේ ගැන. ඒත් හොඳට බලන්න ඒ කතා කරන අය දිහා. එයාල තනියම දෙයක් කියනවා. එක්කො කාට හරි දෙයක් පැහැදිළි කරනවා. එහෙමත් නැත්නම් කාට හරි බනිනවා. හිනාවෙනවා. ඇයි මේ..? මට දැනෙන විදියට මේක අර තදබදයේ අතුරුඵලයක්. අපි හැමෝම කැමතියි අපට කවුරු හරි ඇහුම්කන් දෙනවා නම්. ඕනම කෙනෙක්ට කියන්න දෙයක් තියෙනවා. ඒත් ඒක අහන්න තව අනෙකාට වෙලාවක් නැති වෙද්දි අපි තනියම කතා කරන්න පටන් ගන්නවා. කතාකිරීමේ, හිතීමේ නිදහස විතරක් නෙමෙයි, ජීවත් වීමේ නිදහස පවා ක්‍රමය විසින් තීරණය කරන මේ මොහොත ඇතුළෙ මට මුණගැහෙන දේවල්, සිදුවීම් සහ පුද්ගලයො ගැන මගේ කියවීමක් තියෙනවා. ඒක දේශපාලනිකයි.

පවතින ක්‍රමය ප්‍රශ්න කරමින් අනිත් පැත්තට පීනන එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් කටුක දෙයක්. ඉතිං එහෙම තත්වයක පැවැත්ම වෙනුවෙන් ආත්ම වංචාවක යෙදෙන්න නිර්මාණ ශිල්පියෙකුට සිද්ධ වෙනවනම් ඒකත් අතිශයින්ම ස්වාභාවිකයි. කාලයක් පවතින ක්‍රමය ප්‍රශ්න කරපු, ඒ නිසාම අපේ පරම්පරාවල වීරයො බවට පත්වුණු දැවැන්ත චරිත කීයක් පහුගිය කාලෙ අපේ ඇස් ඉස්සරහම දියවෙලා ගියාද? ප්‍රවීණයො තමුන්ගෙ පැවැත්ම පිණිස ඒ විදියෙ ආත්ම වංචාවල යෙදෙද්දි අපේ සහ අපෙන් පස්සෙ බිහිවුණු පරම්පරාව මුහුණ දෙන ගැටලුවක් තමයි 'පරමාදර්ශ' හිඟ වීම. අද පරමාදර්ශී චරිතයක් හෙට වෙද්දි ආත්ම වංචනිකයෙක් බවට පත්වීම හරිම සුලබ දෙයක් වෙලා. ඒත් පුලුවන් තරම් කල් එහෙම නොවී සිටීමයි වැදගත්.

සෞම්‍යට කවියෙක් වීමේ සුදුසුකම් තිබෙනවද?

කවියෙක් වෙන්න සපුරන්න ඕන සුදුසුකම් මොනවද කියලා ඉදිරිපත් කරන්න පුලුවන් නම් ඔබටම පුලුවනි ඒ හරහා මාව විනිශ්චය කරගන්න. සමහරවිට මේ වෙද්දිත් ඔබ එහෙම විනිශ්චයක් කරලා ඇති. මොකද එහෙම නැත්නම් ඔබ මාත් එක්ක මෙහෙම කතා කරන්න පෙළඹෙන්නෙ නැහැ නෙ.

මම විශ්වාස කරන විදියට, කවියෙකුට තිබිය යුතු මූලික සුදුසුකමක් තමයි සංවේදී බව. අනිත් අය පහුකරගෙන යන දෙයක් දිහා නතර වෙලා බලන්න බැරි නම් ඔහුට බැරි වෙයි කවදාවත් කවියෙක් වෙන්න. ඒ වගේම නිරන්තර අභ්‍යාස කිරීමත් වැදගත්. මම කවියෙක්ද? නැද්ද? කියන්න මම දන්නෙ නැහැ. ඒක තීරණය කරන්න මට අයිතියක් තියෙනව කියලත් මම හිතන්නෙ නැහැ. ඒක පාඨකයා විසින් තීරණය කළ යුතු දෙයක්. ඒත් මගේ පරම්පරාවේ කවියෙකුට තියෙන්න පුලුවන් එක සුදුසුකමක් නම් මට තියෙන බව මම විශ්වාස කරනවා. ඒ තමයි, මේ වගේ කාලයක, මේ වගේ රටක ඇස් -කන් ඇතුව ඉපදීම.

කසුන් සමරකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තිලක් පතිරණගේ "කප්තුරු පුරාණේ හෙවත් පොල් ගස ආශ්‍රිත ජනශ්‍රැතිය" කෘතිය එළි දැක්වීමේ උළෙල 2013 ඔක්තෝබර් මස 31 වන දින ප. ව. 2:00ට කොළඹ 10, දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී (මරදාන කාර්මික විදුහල ඉදිරිපිට) පැවත්වෙයි.

දෙසුම් විමසුම්- මහින්ද කුමාර දළුපොත, කමල් පෙරේරා සහ ජී. ආර්. බන්දුල කුමාරගෙනි.

තිලක් පතිරණ දුම්රිය ආශ්‍රිතව ගොඩ නැගුනු උප සංස්කෘතිය පිළිබඳ ජනශ්‍රැති පර්යේෂණ ග්‍රන්ථයක් වූ "අපේ දුම්රිය ජනශ්‍රැතිය" ද දුම්රිය ඉතිහාසය සංක්ෂිප්ත කොට ලියූ "අපේ දුම්රිය වතගොත" ද යන කෘති ද්වයේ රචකයා ය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිබිල් නැන්දා, සිබිල්, සිබිල් වෙත්ත්සිංහ- මේ අපේ සංස්කෘතික වීරවරියක්. ඇය දශක හයක් පුරා අපේ ජීවිත සාරවත් කරන්න හීන් සැරේ කර ඇති කාර්යභාරය කො තරම් ද?

දශක හයක් පුරා? ඔව්... 'කුඩ හොරා' එළි දකින්නේ 1956 දී. රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායක වී සිටි ඇගේ සීයාට එහි ඇත් පවුර සඳහා ආකෘතිය සාදාගැනීමට ඇය චිත්‍රයක් ඇඳ දෙන්නේ ඊට පෙර, 1940 දී, වයස අවුරුදු 12 දී. එච්. ඩී. සුගතපාල මහතා ගේ නවමඟ පාසල් පොත් පෙළට චිත්‍ර අඳින්නේ වයස අවුරුදු 15 දී පමණ සිට 1943-45 අතර කාලයේ දී. 1948 දී පුවත්පත් කලාවේදිනියක ලෙස සේවයට යන ඇය බිංදු, සූත්තර පුංචා, කුසුමලතා, රසවතී ආදි චරිත මවනවා.

කුඩ හොරා කතාවේ පටන්, එහි වට්ටි, හබරල කොළ, කෙසෙල් කොළ සමඟ සතුටු සිතින් වැස්සට මුහුණ දෙන ගමේ ඇත්තන් ගේ අධ්‍යාත්මය කියාපාන සුප්‍රකට සිතුවමේ පටන්, නැති වන නැති වන කුඩයක් ගානේ සිරිත් පරිදි ම කුඩය එළියේ තබා කෝපි එකක් බොන්නට කඩයට යන කොස්ගම කිරිමාමා ගේ චරිතයේ පටන්, අප ගේ හද මනස විනිවිද කතා කීයක් නම්, සිතුවම් කීයක් නම්, චරිත කීයක් නම් ඇය නිර්මාණය කර ඇත් ද?

කතා, චරිත, සිතුවම්, ඒ විතරක් ද? වයස අවුරුදු 6 දී තමා ආදරය කළ පරිසරයෙන් වෙන් ව නුහුරු නුපුරුදු නාගරික ජීවිතයට යොමු කෙරුණු තැන පටන් තමා ගේ ම අනන්‍යතාවක් සහිත ව ලෝකයේ ම පිළිගැනීමට ලක් වූ නිර්මාණ ශිල්පිනියක වන තෙක් වූ ගමන කෙතරම් නම් අභියෝග හමුවේ කෙරුණක් ද... පුවත්පත් කලාවේදිනියක ලෙස හා නිර්මාණ ශිල්පිනියක් ලෙස තමා ගේ ස්වාධීනත්වය හා තම වෘත්තීය ගෞරවය වෙනුවෙන් ඇය කළ කැප කිරීම් කොතෙක් ද... මේ සියල්ලත් සමඟ අපේ ලෝකය පොහොසත් කරන්නට අදත් ඇය ගන්නා වෙහෙස... කැපවීම... ඇත්තට ම නොමියෙන කළු දූ අපේ කාලයේ වීරවරියක් නොවන්නී ද?

අසූපස් වන උපන් දිනය නිමිත්ත කරගෙන මේ වීරවරිය අගය කරමින් ආසිරි පතන්න යි අපේ මේ කුඩා උත්සාහය. 2013, ඔක්තෝබර් 31 දින, ප.ව 4.00ට, කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය අසල ජාත්‍යන්තර කාන්තා සංගම් ශාලාවේ දී සුමිත්‍රා පීරිස් මැතිනිය ගේ මූලිකත්වයෙන්. මේ අවස්ථාවට සහභාගි වන ලෙස, ඔබේ සුබ පැතුම්වලින් හා අදහස්වලින් මේ අවස්ථාව පෝෂණය කරන ලෙස කරන ඇරියුම යි මේ.

-සහෘද කවය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඕසොන් වියන සිප එන හිරු කිරණ රැක
උණුහුම පොවමි පුතු හට සැඩ කිරණ මැද
කඩ පිල් පඩිය උඩ පරඬැල් යහන මත
හෙතෙම නැති නමුදු සුව සේ නිදනු ඇත

විසුළ අහස යට උඹෙ පෙම් සිනාවා
සඳට ත් හොරෙන් මුඩුක්කුවට ගෙනාවා
පෑල දොරින් පැන ගිය මල් හිනාවා
"වියෝගිනිය" මා, පාරට ගෙනාවා

සුත පෙම් නුවන් දිගු කොණෙකින් වැගිරීම
උවටැන් කරයි වෙසෙසින් හිතවත් සේම
ස්වර තත් කඩා බිඳගෙන දිවි අයැදීම
අහිතක් නොවේ පුතු පමණෙකි සැනැසීම

කල් බලා වුව ත් කුස ගිනි නොදැනීම
වැහි වළා යට ත් උණුහුම ගෙන ඒම
සිල් නොග ත් සීලය ම නිරතුරු සුරැකීම
සිහි සුන් වීම ම යි මවුගේ ඉවසීම

සුසන්ත රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දෙනෙත් දැන් හෙම්බත්
ශෝක දුක් හැමදිනම සිපගත්
ඇස් අග්ගිස්සෙ බැඳගත්
ආදරේ විතරයි වැදගත් !

ස්වප්න කුමාරිය
දරදඬු වදනින්
මා කළඹන්නිය,
සිහින බිඳින්නිය.
බනින්නිය,
බලන්නිය,
ආලය
සඟවන්නිය.
කවියේ අරක්ගෙන
හිඳින්නිය,
දුවන්නිය.

නොදැනෙන්න නුඹ රැකගත්
වටිනාකමක් නැති මගෙ බස්
සෙවනැලි අහිමි හදවත්
සුදු අහසකත් රුහිරු පැහැගත්

නුඹත් ගොසින්ය...නුඹත් ගොසින්ය
කියා නොකියමි,බලමි !

මොන දේ වුණත් හිත් යට
මගෙ රළු ලෝකයෙ ඔළ මොළ ගති ඇත..
ගින්දර කෙතරම් දැරුවත් මේ හද
කවියක් වූවත් නුඹ මෙන් මෘදු නැත...

කාලයක තාලයක් පුරාවට
පපුවට දැනෙන තනියට
වැළඳගන්නට රතුවට
සහෝදර අත් ළඟ නැතුවට
වැළඳගන්නට මේ කව
නුඹත් සමඟින් උනුන් එනු ඇත.

අන්තිමට එතකොට
ආදරේ තමයි වැදගත්!

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාත්‍ර වර්ගයා- අපේක්ෂක, ලේකම්, නිවේදක, පෙම්වතිය

(සංගීත හඬ අතරින් අපේක්ෂක- කථා කරයි.)

අපේක්ෂක- මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ඕන හැමෝගෙම ඇස් වහලා. මම උප්පැන්න සහතික දෙකක් හදාගත්තා. ජාතික හැඳුනුම්පත් දෙකක් හදාගත්තා. මේ හැමදෙයක්ම නීත්‍යානුකූලයි. ඒ වගේම ඇඩ්වර්ටයිසින් කම්පැනි දෙකකින් වෙන වෙනම ෆොටෝ ෂූට් දෙකක් කරගත්තා, වෙනස් විධියට. අද ජනතා බලයට පත්වෙනවා නම්, ජනතාව නොහිතන විධියට අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕන. අපේ මේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඔව්, මං තමයි පක්ෂ දෙකකින්, එකම මොහොතේ එකම ඡන්දයකට ඉදිරිපත් වන ලෝක ඉතිහාසයේ පළමුවැන්නා. (සිනාසේ)

ලේකම්- මම නම් ඕකට විරුද්ධයි.

අපේක්ෂක- ඇයි එහෙම කියන්නෙ?

ලේකම්- මේක අල්ලපු අත්තයි පයගහපු අත්තයි අතු දෙකම නැති කරගන්න වැඩක්.

අපේක්ෂක- මං හදන්නේ එක්කො අල්ලපු අත්ත, නැතිනම් පයගහපු අත්ත, මේ අතු දෙකෙන් එකක් කොහොමහරි අල්ල ගන්න වැඩ පිළිවෙළක්. අද ඡන්දෙකින් දිනනවා කියන එකක් ලෙහෙසි නෑ. පරදින්න තියෙන ඉඩකඩ වැඩියි. මේකෙන් පුළුවන් අපිට මොන පැත්තකින් හරි දිනන්න. බය වෙන්න කිසිම දෙයක් නෑ. අපිට මේ වෙනකොටත් කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂ දෙකෙන්ම නාම යෝජනා හම්බ වෙලයි තියෙන්නෙ.

ලේකම්- ඒත්, හිතන්න එපා මේ රටේ මිනිස්සු උඹ හිතන තරම් මෝඩයි කියලා. අනික ජනමාධ්‍යවේදියො උකුස්සො වගේ ඇහැ ගහගෙන ඉන්නෙ අපි දිහා. උන් අපිව පන්න පන්නා නිවුස් හොයනවා. ඒ වගේම ආණ්ඩුව මේ පාර මැතිවරණ දූෂණ වළක්වන්න දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවලු.

අපේක්ෂක- අපි මේ හැමෝන්ටම වඩා සූක්ෂම වෙන්න ඕන.

ලේකම්- අද හැමදෙයක්ම පරිගණකගත කරලා. ඒ මදිවට සියුම් රහසිගත කැමරා හතර වටේම, නව ආරක්ෂක වැඩපිළිවෙල යටතේ. අපිට ඇඟපුරා අසූචි නාගන්න වැඩක් මේක.

අපේක්ෂක- උඹ විතරයි මං හැරුණු කොට මේ රහස දන්නෙ. හරියට මැණිකක් රකිනා නා රජිඳෙක් වගේ මේ රහස රකින්න ඕන. එහෙම නැත්නම්....

ලේකම්- (බාධා) එහෙම නැත්නම් මොකද කරන්නේ?

අපේක්ෂක- මං කියන්න ඕන නෑනේ. මේ ඉතිහාසයේ රහස් හෙළි කළ හැමෝන්ටම අත්වූ ඉරණම.

ලේකම්- ඒ කියන්නේ මේක වෙන ක්‍රමයකින් හෙළි වුණත්, මම තමයි ඉලක්කෙ?

අපේක්ෂක- (බාධා) මේක හෙළිවෙන්න කිසිම ක්‍රමයක් නෑ.

ලේකම්- ඔන්න ඕක තමයි උඹ ඇතුළු සමස්තයටම වැදුනු තැන. මං උඹ එක්කලා එකතුවෙලා ඉන්නෙ උඹව නැති කරන්න නෙමෙයි, උඹව ගොඩනගන්න. අපිව ගොඩනගන්න. උඹ මාව උඹේ පෞද්ගලික ලේකම් ධූරයට තෝරගත්තේ ඇයි? ඇයි?

අපේක්ෂක- උඹව විශ්වාස කරලා.

ලේකම්- මං කවදාවත් ඒ විශ්වාසය කඩකරන්නෙ නෑ. නමුත් උඹ මේ රහස හෙළිවිය හැකි එකම මග, මං කියලා පූර්ව නිගමනයක ඉන්නවා නම්, මට බැහැ තවදුරටත් වැඩ කරන්න.

අපේක්ෂක- ඒ මොකද?

ලේකම්- මං වතාවක් කිව්වෙ මේක හෙළිවිය හැකි ක්‍රම බොහොමයි. අපිට වැඩකරන්න වෙන්නෙ, හෙළිවුනොත් ඊළඟට මොකක්ද කරන්නෙ කියලා හොඳ සැළසුමක් ගහගෙන.

අපේක්ෂක- එහෙමනම් සැළසුමක් හිතමු මේ දැන්ම.

ලේකම්- මට ආවා අදහසක්. අපි උඹගෙ හැඩරුව තියෙන චරිතයක් හොයමු. කියමනක් තියනවනේ එක වගේ හත්දෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා. එහෙම උඹේ රූපයට සමාන මිනිහෙක් අපි පසුපසින් තියා ගමු. වැඩේ ගැස්සෙන්න ආවොත් මිනිහව ඉස්සරහට දාමු.

අපේක්ෂක- ඔය වැඩෙන්, මේ කොහෙද නැති එකෙක්ට අවසානෙ මැතිවරණ ජයග්‍රහණයේ බුක්තිය ලැබුණොත්?

ලේකම්- අපි එහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ. උඹව ජයග්‍රාහකයා විධියට ආදේශ වෙන්න හැමදෙයක්ම ප්ලෑන් කරමු. රූපදෙක සමාන නිසා ගැටළුවක් අතිවෙන්නෙ නෑ.

අපේක්ෂක- මං කියන්නේ මගේ රූපයට සමාන මිනිහා මේ රහස හෙළි කළොත්?

ලේකම්- එතකොට උඹ මට කරන්න හිතපු දේ කරපන්.

අපේක්ෂක- මට හරිම සන්තෝෂයි, මහෞෂධ පඬිතුමා වගේ බුද්ධිමත් ලේකම් වරයෙක් ලබාගන්න වාසනාවන්තයෙක් වුණු එකට. මතක තියාගනින් මේ මැරතන් එක නවතින්නේ කවදාහරි මේ රටේ තියෙන ඉහළම නායකත්ව පුටුවෙ වාඩිවෙලා. එතකොට මං දෙනවා උඹට මේ රටේ ආරක්ෂක ලේකම් ටත් එහාගිය බලගතු ධූරයක්. (සිනාසේ)

ලේකම්- ඒ මොකක්ද?

(සංගීතය සමඟ ගෝෂා හඬ ඇසේ)

අපේක්ෂක- අන්න ඒක නිසා ඔබ තමුන්නාන්සේලා මනාව සිහියට ගන්න අවශ්‍යයි, මේ රටේ ගංවතුර, නියඟ, සුළිසුළං, නායයෑම්, භූමිකම්පා ආදී ස්වාභාවික ආපදා තියෙනවාද? නැහැ මිත්‍රවරුනි. අද බලන්න බොහෝ රටවල් යුද්ධය, ගැටුම්, මිනීමැරුම්, කෝලාහල, අතුරුදහන් කිරීම්, පැහැරගැනීම්, කොල්ලකෑම්, හොරකම් ආදී තත්වයන් ගෙන් පීඩා විඳිනවා. මේ කිසිදෙයක් අප අහලකවත් තියෙනවද? අද අපේ රටේම කැණීම් කරලා සොයාගත් ඛණිජ තෙල් තිබෙනවා. දැන් ඉතිං තියෙන්නේ වාහනවලට පෙට්‍රල්, ඩීසල් ගහගෙන තමන් කැමැති කැමැති ඕනම දිසාවකට හැටට හැටේ පාගලා හයිවේ දිගේ යන එක. අද විනාඩි කිහිපයකින් මේ රටේ එහා කෙළවර ඉඳන් මෙහා කෙළවරට, මෙහා කෙළවර ඉඳන් එහා කෙළවරට හරස් අතට, දික්අතට, ඇල අතට ගමන් කරන්න පුළුවන් අධිවේගි මාර්ග ජාලයක් තියෙනවා. ඔබ තමුන්නාන්සේලාගේ වාහන පරීක්ෂා කරන්න, ප්‍රශ්න කරන්න, අත්අඩංගුවට ගන්න කිසිවෙක් නෑ. නිවහල් නිදහස් දේශයක උරුමක්කාරයො ඔබ තමුන්නාන්සේලා. බලන්න කුරුල්ලො පියාඹනවා වගේ අහසින් මේ රටට ගුවන් යානා බාන අපූරුව. බලන්න මාළුවො පිහිනනවා වගේ නැව් වරාය වලට යන එන අපූරුව. බලන්න කඩියො වගේ මාර්ග දිගේ වාහන කඩිමුඩියේ යන අපූරුව. අද අපි සංවර්ධිත රටක්. අද අපිට ඒ විශේෂණ පදය යොදන්න පුළුවන්. නමුත් අද කිසිම ජනමාධ්‍යයක් මේ යථාර්ථය හෙළිකරන්නෙ නෑ. ඔවුන්ගේ උකුසු ඇස් දිගුවෙන්නේ ඕපාදූප, වාංහෑලි, ඇදකුද ප්‍රශ්න, ප්‍රශ්න සොයාගෙන. මේක අදිසි කුමන්ත්‍රණයක එක්තරා වේෂයක්. අද හොයාගෙන තිබෙනවා අපේ රටේ ඉතිහාසය අවුරුදු තුන්දහස් හත්සීයකට එහා ගමන් කරනවා කියලා. හපුතලේ හල්දුමුල්ල කැණීම්වලින් හම්බවෙන සුසාන භූමියේ නටබුන් මේ අතීතය අපට හදලා දෙනවා. මේ එක් සුසාන භූමියක ඉතිහාසය පමණයි. මේ සියලු සුසාන භූමිවල කැණීම් සිදුකළොත් අවුරුදු තිස්හත්දාහකට එහාගිය ශිෂ්ටාචාරයක සලකුණු අපිට හොයාගන්න පුළුවන් බව නොඅනුමානයි මිත්‍රවරුනි. ඉතිං මේ ශිෂ්ඨාචාරයන්ගෙ පදනම අපියි. අපේ ආණ්ඩුව එම දේශපාලනික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යනවා. අන්න ඒ නිසා ඔබගේ මහා මනාපය මහා ඩයිනෝසිරස් ලකුණට ගසා මේ ශ්‍රී වික්‍රම රාජ සුන්දරගේ නමට සියළු මනාපයන් ලබාදෙන ලෙස මම නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි.
(විශාල අත්පොළසන් නාදයක් ඇසේ)

ලේකම්- ඉක්මන් කරමු. අපි ඉක්මනින්ම පිටත්වෙන්න ඕන අනික් රැස්වීමට.

අපේක්ෂක- ඔව්, ඔව්, මං දන්නවා ඒක. ටිකක් හිමින් කථා කරපන්. අහල පහළ මිනිස්සු ඉන්නවා.

ලේකම්- මං කිව්වේ දැන් හොඳටම ප්‍රමාදයි කියලා.

අපේක්ෂක- එහෙනම් මගේ ගෝල බාලයිනි, මං මගේ පෞද්ගලික ලේකම් සමග මඳක් විවේක ගෙන මානසික සහනයක් ලබාගන්න භාවනා කරන්න යනවා. මනසාචේ ප්‍රසන්නේන, මං භාවනාකරන වෙලාවට කිසිම කෙනෙක් මට බාධා නොකරාවි කියලා මං හිතනවා. අපි ඉක්මණින් ආයෙත් මුණ ගැසෙමු.
(සංගීතය අතරින් වාහනයක් ගමන් කරන හඬ ඇසේ)

ලේකම්- ඔන්න අපේ අනිත් පළාතේ අනික් කණ්ඩායම් සහචරයො ටික බලාගෙන ඉන්නවා උඹව පිළිගන්න. උඹ දාගෙන ඉන්න දිග කොණ්ඩෙයි, යටි රැවුලයි නිසා ශ්‍රී වික්‍රම රාජ සුන්දරයි, කොල්වින් දේශවංශයි කියන්නේ එක්කෙනෙක් කියලා මටවත් හිතාගන්න බෑ. ඔන්න මතක තියාගනින්, යටිගිරියෙන් අඩි හප්පලා මේ පාර කථා කරන්න ඕන. හොඳට අතපය විහිදුවපන්. උඩ පැනපන්. හයියෙන් හිනාවෙයන්. උඹ වාමාංශික නායකයෙක් කියලා ඇඟට දැනෙන්නේ එතකොට. හොඳට කටපාඩම් කරගත්තනෙ කියන්න ඕන පාරිභාෂක වචන. එහෙමනම් බැහැපන්. (වාහනය නවත්වන හඬ) උඹට රත්නත්‍රයේ පිහිටයි.(ඝෝෂා හඬ)

පිරිස- ජයවේවා! ජයවේවා!

නිවේදක- එහෙමනම් සහෝදරවරුනි, අපි වේදිකාව බාර කරනවා, කොල්වින් දේශවංශ අපේ සහෝදරයාට. ඔව්, ඔබේ අත්පොළසන් හඬ ලබාදී සහෝදරතුමාව සාදරයෙන් පිළිගමු.
(අත්පොළසන් හඬ)

අපේක්ෂක- මගේ සහෝදරවරුනි, මට මඳක් ප්‍රමාද වෙන්න සිද්ධවුණා. මොකද කියනවානම් අද පාරක තොටක වාහනයක් නෙවෙයි පයින්වත් ගමන් කරන්න බෑ. මේවා මහා මාර්ග නෙවෙයි වාරිමාර්ග. අද මේ අඳබාල ආණ්ඩුව, ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටවම ලෝක බැංකුවට උකස් කරලා, අරගෙන තියෙන සල්ලි යටි මඩි ගහනවා. ඒවා බැරවෙන්නේ තමතමන්ගේ පෞද්ගලික විදේශ ගිණුම්වලට. දූෂණය, වංචාව, භීෂණය, සැමතැනම ඉහවහා ගිහිල්ලා. මං නොබියව කියනවා අපි මුළුමනින්ම මේ සියල්ල උදුරා දමනවා. හරියට කුඹුරේ වල් උදුරනවා වගේ. ඔය පින්වත් සහෝදරවරුන්නට, සහනයක් සැලසෙන්නේ නිර්ධන පංති අඥාදායකත්වයකින්. අපි ඔබට චින්තනයේ, භාෂණයේ, ලේඛනයේ, ප්‍රකාශනයේ නිදහස උරුමකරලා දෙනවා. ඒ වගේම සමගිව සමාදානව විසීමේ අවකාශය ලබාදෙනවා. අද මේ රට ලෝකයේ අසමත් රාජ්‍යයක් ලෙසට වර්ගීකරණය වෙලා අහවරයි. අද ජන මාධ්‍ය දෙස බලන්න. දවසගානේ මිනීමරුම්, දූෂණ, කප්පම්, මංකොල්ලකෑම් කීයක් සිද්ධ වෙනවද කියලා. රෝහල්වල රෝගීන්ට ඖෂධ නෑ. පාසල්වල දරුවන්ට පතපොත නෑ. මාතෘ, ළදරු, තරුණ, වැඩිහිටි මරණ අනුපාතිකය ඉතා ඉහළ අගයක් අරන්. බලබලා ඉන්දැද්දි දේශීය කර්මාන්ත, කෘෂිකර්මය, වෙළඳොම පල්ලම් බහිනවා. පොලිසිය, අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය මේ සියල්ලම කුණුවෙලා ඕජස් ගලනවා. මේ සියල්ල ගොඩනැංවීමට ඔබ පින්වත් සහෝදරුවරුන් කූඹියො වගේ එක්රොක් වෙන් ඕන. කූඹියො වගේ මේ රටේ සාමුහිකත්වය ගොඩනඟා ගන්න තමයි අපේ වෑයම. අන්න ඒ නිසා කූඹියා ඉදිරියෙන් කතිරය ගසා ඔබේ මනාපය, මේ කොල්වින් දේශවංශ වන මාගේ නමට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ සැමට සමාවෙන්න සහෝදර සරණයි.
(ඝෝෂා හඬ වැඩිවේ)
(සංගීතය)


ලේකම්- මං උඹ දිහා හොඳට නිරීක්ෂණය කරගගෙන උන්නෙ. උඹේ කථා විලාස දෙකේ කිසිම වෙනස් කමක් තිබුණෙ නෑ. උච්චාරණය, හඬ හැසිරවීම, අංග චලනය දෙකේම සමානයි. අනික වචනත් පැටළුනා.

අපේක්ෂක- කිරෙනුයි, තෙලෙනුයි ඔය මොන එකෙන් බැද්දත් මං එකම කොබෙයියා බං.

ලේකම්- මේක විහිළුවකට ගන්න එපා. බෝම්බයක් බඩේ බැඳගෙන ඉස්සරහට යනවා වගේ අධිෂ්ඨානයක් ඇඟට ගනින්. නැතිනම් අපිට මහා විනාශයක් වෙන්නේ.

අපේක්ෂක- විනාශයක්?

ලේකම්- ඔව්, මං දැක්කා සීඅයිඩී එකේ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා.

අපේක්ෂක- සීඅයිඩී එකේ? ඇයි උඹ මේ වගක් කලින් නොකීවේ? දැන් අපි මොකද කරන්නේ?

ලේකම්- ඒක තමයි මාත් කල්පනා කරන්නේ?

අපේක්ෂක- හරි, අපි මේ පානය බුක්ති විඳින ගමන් වැඩපිළිවෙළක් හිතමු. මොනතරම් ඉස්තරම් වර්ගයේ බීමක් වුණත්, මට සුපුරුදු ගමේ වර්ගය තරම්, කටට රසක් එන්නෑ.

ලේකම්- උඹ දැන් පුරුදුවෙන්න ඕන ඉහළ මධ්‍යම පාන්තික ඒ සංස්කෘතියට.

අපේක්ෂක- එතකොට කරන්න තියෙන්නේ, විස්කි බෝතලයකට සුපුරුදු ගමේ වර්ගය දාගෙන පානය කරන එක. අද කාටවත් ඇතුළාන්තය මොකක්ද කියලා හොයාගන්න බෑ.

ලේකම්- හා, හා, ඔය බඩජාරියා වගේ ඇඟ පුරාම බයිට් ගාගන්න එපා. මේ තියෙන්නේ හැඳි ගෑරුප්පු. ඒවා පාවිච්චි කරපන්. පුරුදු කියන්නේ පුරුදු. ඒක තැන නොතැන හැමවෙලාවෙදිම ක්‍රියාත්මක වෙන්න ඕන. මං කියන දේවල් සීරියස් ගනිං. දවසට දෙවතාවක්වත් දත් ටික මැදපන්. ඇස්වල කබ යන්න මූණ හෝදපන්. රැවුල කපපන්. දාඩිය ගඳ යන්න සෙන්ට් එකක් ගහපන්. යට ඇඳුම් ඇඳපන්. තොල් ලිප්ස්ටික් කරපන්.

අපේක්ෂක- මට කරන්නම බැරිදේ තමයි ඔය තොල්වල ලිප්ස්ටික් ගෑවිල්ලයි යට ඇඳුම් ඇඳිල්ලයි.

ලේකම්- අමතක කරන්න එපා අපේ මනාපය රැඳිලා තියෙන්නේ ගෑනුන්ගේ ඔඩොක්කුවේ කියලා. උන්ව දපනේ දාගන්න විධියට තමයි සියල්ල සි්ද්ධ වෙන්න ඕන. ගැහැනු වැඩිපුරම කැමැති නා දළු වගේ තොල් තියෙන, නිල්මිණි වගේ ඇස් තියෙන, සඳ වගේ මුහුණු තියෙන පිරිමින්ට.

අපේක්ෂක- බලනකොට දැන් ගෑනුත් පිරිමි වගේමනෙ.

ලේකම්- ගැහැනු තමයි පිරිමියව බිහි කරන්නෙත් පිරිමියව නැති කරන්නෙත්.

අපේක්ෂක- ඒක නම් සහතික ඇත්ත. උඹට විශ්ව විද්‍යාලෙක කථීකාචාර්ය ධූරයක් දරන්න තරම් දැනුමක්නෙ තියෙන්නෙ.

ලේකම්- ඔව්, මට කොහොමහරි අන්න ඒ රස්සාව අරගෙන දීපන්, මේ ඡන්දෙන් පස්සේ.

අපේක්ෂක- මගේ විජයග්‍රහණය මට ඉරහඳ වගේ. මං උඹට උපහාර උත්සවයක් සංවිධානය කරලා ආචාර්ය උපාධියක් පිරිනමනවා. එතකොට මේ සමාජයේ බොහෝ සිහින උඹට ඉබේම අත්වෙනවා.

ලේකම්- ඒ කොහොමද?

අපේක්ෂක- සතියකට පැය තුන හතරක් ඉතිහාසය, සංස්කෘතිය දේශනා කරන රූපවාහිනී වැඩ සටහනක අවස්ථාව මං අරගෙන දෙන්නම්. ඒ වගේම හැම පෝය දවසකටම ධර්මය දෙසාබන්න වැඩපිළිවෙළ සකස් කරන්නම්. ධනාත්මක චින්තනය, එතකොට පුරණ සාහිත්‍ය, උපමා කයිකතන්දර, ග්‍රහචක්‍ර, නැකැත් ගැන ඕන එකක් කටපාඩමින් කියපන්.

ලේකම්- මට අවශ්‍ය හොඳට පඩියක් අරගෙන, දෙයියනේ කියලා ඉස්තරම් මාලිගාවක් වගේ ගෙයක් දොරක් හදාගෙන, අධිසුඛෝපභෝගී වාහන දෙක තුනක් පාවිච්චි කරලා, ජාත්‍යන්තර සම්මානීය හොඳ ජනප්‍රිය සුරූපිනියක් හෝ නිළියක් කසාද බැඳලා, ඉහළ සුඛෝපභෝගී ජීවිතයක් ගොඩනඟා ගන්න වැඩ පිළිවෙළක්. මං කවදාවත් දේශපානයට එන්නෙ නෑ. උඹේ සුවච උපදේශක විධියට දිවි ඇතිපුරා කැපවෙනවා.

අපේක්ෂක- ඔව්, මේක තමයි ඒකෙ නියම පිළිවෙළ. මුලින්ම අපි අපේම වෙළඳ ප්‍රචාරක ආයතනයක් පටන් ගන්නවා. අපේ කොන්තරාත්තු සියල්ල උඹට බාරදෙනවා. එතකොට හැම ඉවෙන්ට් එකකින්ම බැංකු ගිණුම් සල්ලිවලින් පිරී ඉතිරිලා යන්නේ රොකට් එකක් ඉහළ යනවා වගේ. අපේ වාසනාවට පෞරාණික වස්තු, වලව්, නිධන්, මැණික් ඉඩම්, මුහුදු වෙරළ ඉතිරිවෙලා තියෙනවා මේ රටේ.

ලේකම්- මට කියන්න අමතක වුණා, මීඩියා පබ්ලිසිටිවලට බජට් එක මදිවුණා. හෙටම තව මිලියන සීයක් පේ කරන්න ඕන සුවදේශිය වෙළඳ ප්‍රචාරක ආයතනයට.

අපේක්ෂක- ඒ මොකටද?

ලේකම්- සෑම කලර් ලයිට් සිග්නල් එකක් ගාවම ඩිජිටල් තිර හයිකරලා ෂෝර්ට් ෆිල්ම් විධියට උඹේ වැඩසටහන් ප්‍රචාරය කරන ප්‍රෝග්‍රෑම් එකට. වාහන නවත්වාගෙන ඉන්න තත්පර ගාණට ප්‍රචාරය වෙන්න ගත්තු එල් ඊ ඩී මොනිටර්ස්වලට, එස්ටිමේට් කළාට වඩා බජට් එකක් ගියා.

අපේක්ෂක- ඕනම ගාණක් පේ කරලා, වැඩේ හොඳට කරපන් ඉක්මනට. එතකොට කොහොමද පෝස්ටර් වැඩේ?

ලේකම්- අපි සැලසුම් කරපු විධියටම රාත්‍රී විදුලි බුබුළු වැටුණම දිලිසෙන්න පෝස්ටර් ඩිසයින් කළා, ලෝකයේ හොඳම පේපර් එකේ, ෆෝ කලර් වලින්ම. ඒත්, සිංගප්පූරුවෙ ඉඳලා ඔඩර් එක එන්න ටිකක් පරක්කු වෙනවා.

අපේක්ෂක- මේක තරගයක් කියල උඹ දන්නවා. ෆ්ලයිට් එකක් බුක් කරගෙන ගිහිල්ලා අරගෙන එන්න කටයුතු කරනවා.

ලේකම්- හරි, හරි, මේ වෙනකොට කලින් ඕඩර් එකේ පෝස්ටර්වලින් ගස්ගල්, ගෙවල්, තාප්ප, හැම එකක්ම වහලා දාලයි තියෙන්නෙ.

අපේක්ෂක- එතකොට මොබයිල් ෆෝන් ප්‍රොජෙක්ට් එක.

ලේකම්- ඒ ප්‍රොජෙක්ට් එක තිතට කළා. ෆ්‍රී මොබයිල් ෆෝන් ලක්ෂයක් තරුණ තරුණියො අතේ බෙදා හැරියා. හැම මොබයිල් එකකම මිනිත්තු පහකට වරක් උඹේ හඬ පටයක් ඔටෝ ප්‍රචාරය වෙනවා. ඒ වගේම උඹ රැස්වීම් වල කථා කරනකොට ඒක සජීවිව හැම මොබයිල් ෆෝන් එකකින්ම ඇහෙනවා.

අපේක්ෂක- හොඳට මතක තියාගනින්, මොබයිල්එක ස්විච් ඕෆ් කළත් මගේ කථාව ඇහෙන්න ඕනි.

ලේකම්- මොබයිල්එක පොළවෙ ගැහුවත් උඹේ කථාව ඇහෙන විධියට තමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නෙ. ලෝක ඉතිහාසයේ පළමුවරට මැතිවරණයකට මේ වගේ තාක්ෂණයක් පාවිච්චි කරන්නෙ අපි.

අපේක්ෂක- එතකොට අර කෑම පිඟන් ප්‍රොජෙක්ට් එක.

ලේකම්- ඔව්, ජපානේ ඉඳන් ඉම්පෝර්ට් කරපු නොරිට්සු පෝසිලේන් පිඟන්වල, උඹගේ මූණයි, ඡන්ද ලකුණයි, අංකයයි, ප්‍රින්ට් කරලා පළාතෙම ඉන්න ලක්ෂ දහයක මුළු ජනගහනය අතරේ බෙදාහැරියා.

අපේක්ෂක- මට හරිම ආඩම්බරයි. කෑම පිඟානේ කෑම ටික අහවර වෙනකොට මගේ මූණ යටින් පේන්න ගන්නවා. මට මනාප වරදින එකක් නෑ.

ලේකම්- අපි අනික් පළාතේ තවත් ලක්ෂ දහයකට වීදුරු බෙදාහැරියා.

අපේක්ෂක- ඒ කියන්නෙ උන් බීලා ඉවර වෙනකොට මගේ මූණ පේනවා.

ලේකම්- ඔව්. තේ, කෝපි, කොත්තමල්ලි, අරක්කු, වස, මේ ඕන එකක් බීලා බීලා ඉවරවෙද්දි උඹේ රූපය තමයි පේන්නේ.

අපේක්ෂක- ඒත්, මට මේ දැන් සිහියට ආවේ. උඹ එකම සංකල්පයනේ පළාත් දෙකේම ක්‍රියාත්මක කරලා තියෙන්නේ.

ලේකම්- ඔව්.

අපේක්ෂක- ව්‍යාපෘති දෙකම සමාන හින්දා සැක ඇතිවන ඉඩකඩ වැඩියි.

ලේකම්- කාටද?

අපේක්ෂක- උඹමයි කියන්නේ ජනමාධ්‍යකාරයෝ උකුසු ඇස් හෙළාගෙන ඉන්නවා කියලා. සීඅයිඩී එක ඔත්තු බලනවා කියලා. මේ ඔක්කොම තියෙද්දි උඹ අවසිහියෙන් එකවගේ ව්‍යාපෘති සැලසුම් කරනවා. පළාත් දෙකේම උඹට ඕන මාව නැති කරලා දාන්නද? මං මගේ සියලු සකල මනාවම මේ ඡන්දයට යට කරලයි තියෙන්නේ.

ලේකම්- අපි දැන් මොකද කරන්නේ?

අපේක්ෂක- ඒක මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. ඉක්මන් කරපන්, සුදුසු පියවර අරගනින්.
(සංගීතය අතරින් දුරකථනයෙන් අපේක්ෂකයා හා පෙම්වතිය කථා කරයි)

අපේක්ෂක- කියන්න, ඉක්මනට කියන්න තියෙන දෙයක්.

පෙම්වතිය- ඔයාට ඔයාගේ පෙම්වතිය විධියට මාව මොහොතකටවත් මතක්වෙන්නෙ නැද්ද? මොකද ඔය තරම් හදිස්සිය? මං එක මොහොතක් කථාකරන්නේ මොන තරම් අමාරුවෙන්ද?

අපේක්ෂක- මං ඒතරමටම කාර්ය බහුලයි. මේ හීනය සැබෑ නොවුණොත් මට ඔයාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම අහිමි වෙනවා. ඔව් අපි ප්ලෑන් කරන් ඉන්න විධියට අපේ වෙඩින්එක සුපිරි රටක සුපිරි හෝටලයක අපි ගන්නවා. මේ රටේ ජනාධිපති තමයි ඒකට අත්සන් කරන්නෙ. සුපිරි අමුත්තො දහසකට ගුවන් ටිකට්පත් සමග ඒකට ආරාධනා කෙරෙනවා. ඔයාට විවාහයෙන් පස්සෙත් ඔයාගෙ ළදරුපාසල පවත්වගෙන යන්න ඕන නම් ඒක ඉනටර්නැෂනල් නර්සින් ස්කූල්එකක් කරමු. මං ටෙලිවිෂන් නාලිකාවකුත් ඒකට ලබාදෙනවා.

පෙම්වතිය- මට ලොකු නිවුස් එකක් ආවා ඔයාගේ ලේකම්කාරයා ගැන.

අපේක්ෂක- නිවුස් එකක්?

පෙම්වතිය- ඔව්, මිනිහා රහසිගතව තවත් අපේක්ෂකයෝ පස් හය දෙනෙකුට උපදෙස් දෙනවලු මේ මැතිවරණයට.

අපේක්ෂක- මොනවා?

පෙම්වතිය- මිනිහා ඔයාට දීලා තියෙන උපදෙස් හරිම ප්‍රාථමිකයි. බලන්න කලර්ලයිට්ස්වල දාලා තියෙන ඩිජිටල් මොනිටර්ස් හින්දා, මේ සති කිහිපයට අනතුරු සීයකට වැඩියි. මරණ පහයි. හැම එකකම වගකීම ජනමාධ්‍ය එල්ල කරන්නේ ඔයාට. ඒ වගේම මාර්ගපුරා ට්‍රැෆික් වැඩිවෙලා, ඩිජිටල් තිර නරඹන නිසා. හැමතැනම මිනිස්සු ඔයාට බණිනවා, චෝදනා කරනවා මීඩියා වලින්. ඒ වගේම නිවුස්වලට පෙන්නුවා ඔයාගේ රුවට සමාන රූපයක් තියෙන තවත් අපේක්ෂකයෙක් ඉන්නවා කියලා.

අපේක්ෂක- මට දැන් තේරෙනවා, හොඳට තේරෙනවා. මූ ක්‍රියත්මක කරන්නෙ මාව විනාෂකරන සැලසුමක්. ඔව්, මං විසඳුමක් ගන්නවා. මං ඕකව උපදේශක කමින් අයින් කරනවා. ඒ විතරක් නෙවි, ඔව්, මට මේ මොහොතේ කියන්න වැදගත් රහස් කිහිපයක් තියෙනවා ඔයාට.

පෙම්වතිය- ඒ මොනවද?

අපේක්ෂක- හැබැයි මේ රහස කිසිවෙකුට හෙළි නොකරන්න වග බලාගන්න ඕන.

පෙම්වතිය- මං පොරොන්දු වෙනවා. ඉතිං කියන්නකො, මොකක්ද කියන්නකො? මොකක්ද?

(සංගීතය අතරින් අපේක්ෂක වෙරිමතින් කථා කරයි)

අපේක්ෂක- යමෙක් කටකථාවක් පතුරවන්න පුළුවන් මගේ රූපයයි අර ශ්‍රී වික්‍රම රාජ සුන්දරගෙ රූපයයි සමානයි කියලා. ඔය ගැමියො, උපාසකයෝ, නෑ, නෑ, සහෝදරයෝ හිතට ගන්න ඕන, මේ ලෝකයේ සමාන රූප තිබිලා තියෙන්නේ බොහෝ ඈතක ඉඳලා. ලෝකයේ බිහිවූ අටවිසි බුදුවරු බලන්න. ඒ උත්තමයො ඔක්කොම සමානයි. එතකොට බලන්න සුභ සහ යස චරිත, සමානයි. බැරැක් ඔබාමාට සමාන කී දෙනෙක් අප්‍රිකාවේ හොයාගන්න පුළුවන්ද? චීනයට ගියාම හිතෙනවා හැම මුහුණක්ම සමානයි කියලා. ජපානයට ගියාම හිතෙනවා ගැහැනියක්ම, පිරිමියෙක්ම හැම අයෙක්ම සමානයි කියලා. ඇයි, මේ අපේ රටේ සමාන ප්‍රතිරූප ඇතිවෙනවට ඊර්ෂ්‍යා කරන්නේ? ඊරිසියාව කියන එක අත්හැර දැමිය යුතු ප්‍රතිපත්තියක්. අපි වහා වහා කුසල් රැස් කර ගත යුතුයි. පන්ති වීෂමතාවයෙන් වැළකිය යුතුයි කියලා මාක්ස් තුමා දේශනා කරලා තියෙනවා. මේ රටේ ඉන්න ඔබ බුද්ධිමත්. මං දන්නවා හොඳාකාරවම ඒක. අන්න ඒ නිසා මේ අවසන් ප්‍රචාරක රැළියෙදි මට කියන්න තියෙන්නේ, ලෝක නිර්ධන පන්ති අරගලයට තෙරුවන් සරණයි කියලා. මගේ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණයයි. අපේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයයි. ඔබේ, මගේ, අපේ, මගේ, ඔබේ. ජයග්‍රහණය ජයග්‍රහණයයි. කූඹියාට ජය වේවා. ජය කූඹියාට වේවා.
(අත්පොළසන් හඬ)

ලේකම්- මං උඹට කිව්වා මේ අවසන් මහා රැළියටවත් නොබී එන්න කියලා.

අපේක්ෂක- නොබී කොහොමද මිනිහෝ ජනතාව අමතන්නේ? හරියට වෙරිවූ මීයාට වගේ පුරුෂ ශක්තිය එන්නේ මී විතෙන්.

ලේකම්- උඹ වැඩ කරන්නේ සැලසුමට පරිබාහිරව. මෙහෙම අපිට ජයග්‍රහණය කරා යන්න බෑ.

අපේක්ෂක- යන්න බෑ?

ලේකම්- අපිට විරුද්ධව මඩ ප්‍රචාරය වෙනවා මීඩියාවලින්. ඒ වගේම අපි ගැන හොයන්න වෙනම ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකක් ආරම්භ කරලලු සීඅයිඩී එකේ. එහෙම වෙලාවක උඹ මිනිස්සුන්ට ඉඟි සපයනවා, කොල්වින් දේශවංශයි ශ්‍රී වික්‍රම රාජ සුන්දරයි කියන්නේ එක්කෙනෙක් කියලා හිතන්න.

අපේක්ෂක- කවුද ඉඟි සපයන්නේ? උඹද, මමද?

ලේකම්- මොනවද උඹ මේ කියන්නේ?

අපේක්ෂක- ඔව්, මම හොයා ගත්තා කවුද මේවා කරන්නේ කියලා.

ලේකම්- කවුද කරන්නේ?

අපේක්ෂක- ගහ දන්න කෙනාට කොළ කඩාපානවා කියන්නේ මොනවගේද කියලා උඹ දන්නවනේ?

ලේකම්- උඹට මාව අවිශ්වාසනම් මං දැන්මම උඹේ උපදේශක කමින් ඉල්ලා අස්වෙනවා.

අපේක්ෂක- උඹට මං යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ. ඒත් මං හදිස්සි වෙන්නෙ නෑ. මං යන තැනකට යන්නෙ, උඹවත් විනාශ කරගෙන. අන්න ඒක මතක තියා ගනින්.
(සංගීතය)

නිවේදක- ඔව්, අපි මේ වනවිට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර හමාරයි. මේවරත් සුපුරුදු පරිදි ජයග්‍රහණය හිමිව තිබෙනවා කූඹියා පක්ෂයට. නමුත් මෙවර මැතිවරණයේ සුවිශේෂතාව තමයි, ජයග්‍රහණය බලා පොරොත්තුවෙන් සිටි කිසිම අපේක්ෂකයෙකු සඳහා ජයග්‍රහණ හිමි නොවීම. නොසිතූ නොපැතූ අපේක්ෂකයින් වැඩිම මනාප හිමිකරගෙන පෙරට ඇවිත් තිබෙනවා. ඩයිනෝසිරස්, පූසා, දෙඹරා, ආඳා, කැරපොත්තා, සමනලයා, ලව් බර්ඩ්ස්, පිඹුරා ආදී පක්ෂවලින් ද ජයග්‍රාහකයින් රැසක් බිහිවී තිබෙනවා. මැතිවරණය ඉතිහාසය තුළ වැඩිම පිරිසක් තම ඡන්දය පාවිච්චි කළ මැතිවරණයක් විධියට මෙවර මැතිවරණය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මෙවර වලංගු ඡන්ද ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගන්නවා.
(සංගීතය)

ලේකම්- දැන් මොකද කරන්නේ?

අපේක්ෂක- ඒක තමයි මාත් කල්පනා කරන්නේ. මම නම් බලාපොරොත්තු වුණේ නෑ මෙහෙම ප්‍රතිඵලයක් අත්වෙයි කියලා.

ලේකම්- පළාත් දෙකේම වැඩිම මනාප. එක් පැත්තකින් ශ්‍රී වික්‍රම රාජ සුන්දර. අනික් පැත්තෙන් කොල්වින් දේශවංශ පළමු තැනට, එකිනෙකට විරුද්ධ පක්ෂ දෙකකින්.

අපේක්ෂක- මට මං ගැන හිතාගන්න බැරි වෙලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ මටම මේ තරම් විශාල මනාප ඡන්ද ප්‍රමාණයක් ආවේ කොහොමද කියලා.

ලේකම්- අපි අනික් පළාතට දාමු උඹේ රූපයට සමානකම් තියෙන එකාව. මට කියන්න අමතක වුණා. ගොඩක් මිනිස්සු කියනවා මමත් උඹේ රූපයට සමානයි කියලා.

අපේක්ෂක- මොනවා වුණත් මාට්ටු නොවන විධියට අපි වැඩකරන්න ඕන.

ලේකම්- අනිවාර්යයෙන්ම.

අපේක්ෂක- ඒකට හොඳම පියවර තමයි, ආසන දෙකේම වැඩකටයුතු එකම මුහුණකින් මමම බාරගන්න එක. අද මූණු දෙකකින් නොවෙයි මුහුණු දහයකින් පෙනී සිටියත් අඳුරගන්න තරම් දැනුමක් මේ රටේ කිසිම පුරවැසියෙක්ට නැහැ කියලා, මේ මැතිවරණ මනාව සාක්ෂි දරණවා. මේ ඉතිහාසයේම ඉඳලා තියෙන්නේ එකම පුද්ගලයා විවිධ මුහුණු අංග රචනාවලින්. මට හරි ආඩම්බරයි මේ ආශ්චර්යමත් ජන සමූහය ගැන. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවි කියනවනේ. කල දුටු කල ලැබිච්ච වලවල් දෙකම ඉහගන්න අපි වගබලා ගන්න ඕන.
(අවසන් සංගීතය)

[-ෆන්සල (රේඩියෝ නාට්‍ය) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සෝමරත්න දිසානායක ගේ "සිරි පැරකුම්" චිත‍්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් 56ක සාර්ථක අන්දමින් ප‍්‍රදර්ශනය කෙරෙන බව වාර්තාවේ. කලකට ඉහතදී පේ‍්‍රක්‍ෂකයන් 50ක්, 60ක් වත් පිරවීමට නොහැකිවූ සිනමාහල් ඉදිරියේ දීර්ඝ පෝලිම් දැකීමට පුළුවන. මෙරට සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සඳහා ඇති සියලූම සිනමා ශාලා අතුරින් සිනමා ශාලා බහුතරයක දැනට එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වන අතර අනෙකුත් සිනමාහල් හිමියන් ද එය තම සිනමාහල්වල ප‍්‍රදර්ශනය කිරීමට පුල පුලා බලා සිටිනා බවක් පෙනේ. මේ අතරතුර "සිරි පැරකුම්" චිත‍්‍රපටයට සමගාමීව සිනමාහල් අතළොස්සක පමණක් තිරගත කළ "නිකිණි වැස්ස" ඇතුළු තවත් චිත‍්‍රපට කිහිපයක්ම ගැලවී ගියේ කිසිවෙකුගේත් අවධානයට පාත‍්‍ර නොවෙමිනි. "ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත‍්‍රපටය ද දැන් දෙවැනි වටයේ ප‍්‍රදර්ශනයට සූදානම්ය.

මීළගට "දළදා සිරිත" චිත‍්‍රපටය ද කලඑළියට පැමිණීමට නියමිත බවට යම් යම් ඉගි කෙරේ. දැනටමත් සංඝයා වහන්සේලා එකී චිත‍්‍රපටය නරඹා මහත්වූ බුද්ධාලම්බන පී‍්‍රතියකින් රූපවාහිනී කැමරා ඉදිරියේ අදහස් උදහස් පළකරනු දැකිය හැකිය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් දෙසා වදාළේ මෙම චිත‍්‍රපටය නරඹන බෞද්ධ ජනතාවගේ දෑසට කඳුළු නැගෙනු ඇති බවයි.

පේ‍්‍රක්‍ෂක ජනතාව පොදි බැඳගෙන මෙවැනි චිත‍්‍රපට නැරඹීම අද ඊයේ සිදුවූවක් නොවේ. 70 දශකයේදී ඇල්.ඇම්. පෙරේරා නිර්මාණය කළ "හතර මහා නිධානය" හා "හතර කේන්ද්‍රය" මෙන්ම වෙනත් අයගේ නිපැයුම් වූ "අංගුලිමාල" හා "අජාසත්ත" වැනි චිත‍්‍රපට ද සියලූ ආදායම් වාර්තා බිඳ දමමින් ප‍්‍රදර්ශනය වූයේද එයාකාරයටයි. එකම වෙනස නම් එදා එවැනි චිත‍්‍රපට නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන් සිනමාහල් කරා පැමිණියේ මහා සංඝයා වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇසීමෙන් නොවීමයි.



සිංහල රජ කථා හා බෞද්ධ පුරාවෘත්ත නැරඹීමට මෙරට බහුතර පේ‍්‍රක්‍ෂක පිරිස් ඇල්මක් දැක්වීම පිළිබඳව කිසිවකුටත් උරණ වීමට පුළුවන්කමක් නැත. බුදුන්වහන්සේ කිසිදිනෙක අනුමත නොකළ අසූහාරදාහේ පහන් පූජා, අසූ අට රියන් බුද්ධ ප‍්‍රතිමා තැනීම, මහා පිච්ච මල් පූජා මෙන්ම තරුණ භික්‍ෂූන්ට යාන වාහන, අසපු වැනිදෑ පූජා කිරීමට ලොබ නැතිව වියපැහැදම් කරන එහෙත් පාසලකට යෑමට පොතක්පතක් නැති දරුවකුට පිහිටවීමට, දුප්පතෙකුට සත පහක් වියදම් කිරීමට හෝ රෝගියෙකුට පිළිසරණක් වීමට අකමැති, බෝඩ් ලෑලි බෞද්ධයන් බහුතරයක් සිටිනා රටක මෙවැනි දේ සිදුවීම අස්වාභාවික නොවේ. එවැනි පිරිසක් කුල්මත් කිරීමෙන් සිය අතමිට සරුකර ගැනීමටත්, ඒ හරහා සිනමා කර්මාන්තය යැයි ඔවුන් විශ්වාස කරන කුමක්දෝ රැකගැනීමට මාන බලන පිරිසක් ද සිටිනා බව පැහැදිලිය.

පේ‍්‍රක්‍ෂකයා සතුටු කිරීමෙන් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ඔවුන් බුද්ධිමත්, දැනුවත් එමෙන්ම නිදහස් මනසකින් යුත් පිරිසක් බවට පත්කිරීමේ අභිලාෂයෙන් කිසියම් නිර්මාණයක් කිරීමට උත්සාහ කරන සිනමාකරුවන් අතළොස්ස මෙකී 'සිනමා ප‍්‍රවාහය' ඉදිරියේ මුහුණ දී සිටින්නේ බෙහෙවින්ම අසරණ තත්ත්වයකටයි. එකී තත්ත්වය වඩාත් අසතුටුදායක වීමට තවත් හේතුවක් වන්නේ ජාතික චිත‍්‍රපට සංස්ථාව ඇතුළු සියලූ රාජ්‍ය ආයතනයන්ගේ ආශිර්වාදය ඉහතින් සඳහන් කළ මුට්ටිකාසි එකතුකිරීමේ පිපාසාවෙන් පෙළෙන පිරිසට ලැබී තිබීමයි. එවැනි බොහෝ පිරිස් නගන තර්කය වන්නේ සිනමා කර්මාන්තය රැකගැනීම සඳහා එවැනි චිත‍්‍රපට අවශ්‍ය බවයි.

සිනමාව සිය ආත්ම ප‍්‍රකාශනය සදහා භාවිත කිරීමට වෑයම්කරන සියලූ සිනමාකරුවන් ඉදිරියේ ඇත්තේ බලවත් අභියෝගයකි. රාජ්‍ය මතවාදය ද ඔවුනට එරෙහිය. ඔවුන් ඉදිරියේ ඇත්තේ දුෂ්කර ගමන් මාර්ගයකි.



ඕනෑම රටක ජනපි‍්‍රය සංස්කෘතික අංග මෙන්ම එතරම් ජනපි‍්‍රයත්වයක් නොලබන සුළුතරයකගේ ආස්වාදය පමණක් ඉලක්ක කරගත් නිර්මාණ ද බිහිවේ. ලොව විශිෂ්ටතම කලාකෘතීන් බොහෝ විට බිහිවී ඇත්තේ එකී සුළුතරයකගේ රසිකත්වය හරහායි. බටහිර සම්භාව්‍ය සංගීත ශාලා, චිත‍්‍රකලා ගැලරි, නාට්‍ය ශාලා, කෞතුකාගාර වැනි දෑ තුළට දොර අගුලූ බිඳ දමා ගෙන පේ‍්‍රක්‍ෂක පිරිස් ඇදී නොඑන බව සුප‍්‍රකට සිනමාකරුවකු වූ ආන්ද්‍රේ් තර්කොව්ස්කි වරක් ප‍්‍රකාශකළේය. මොස්කව් නුවර මිලියන දහයක් පමණවූ ජනකායක් වාසය කරන නමුත් එහි ඇත්තේ සම්භාව්‍ය සංගීත ශාලා තුනක් බවත් ඔහු පැවසීය.

සම්භාව්‍ය සාහිත්‍යය, කලාත්මක සිනමාව, සම්භාව්‍ය සංගීතය, චිත‍්‍රකලාව, නර්තන හෝ නාටක වැනි දෑ සුළුතරයකගේ ආස්වාදය සඳහා පමණක් වෙන්වුවද, ඒවායේ පැවැත්ම සමස්ත කලාව සඳහා ඉතා වැදගත් වන බව නොකිවමනාය. එවැනි කලාවකින් තොර ලෝකයක් කවර නම් විය හැකිදැයි කිව යුතු නොවේ. එවැනි තතත්්වයක් හමුවේ ඉතිරිවිය හැක්කේ 'මුට්ටි කාසි එකතු කරන්නන්' පිරිසක් පමණි. කලාව අරබයා අද දවසේ ඇතිවී ඇති මෙකී අර්බුදය අප රටට පමණක් සීමාවූවක් නොවේ. එහෙත් අප රට තුළ එය සිදුවන්නේ වඩාත් ඒකාධිකාරී ස්වරූපයකින් බැව් පෙනේ. "ඉගිලෙන මාළුවෝ" චිත‍්‍රපටය හා අදාළව පසුගියදා ඇතිවූ අරෝව කෙළවරවූයේ ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට අමතරව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ද චිත‍්‍රපට වාරණයට අතගැසීමෙනි.

'ආත්ම ප‍්‍රකාශන සිනමාව' ට හිමිව තිබූ සුළු හෝ ඉඩකඩ, ඇහිරීයෑම සඳහා 'සිරි පැරකුම්' චිත‍්‍රපටය වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ලැබී තිබූ විශේෂ අනුග‍්‍රහයද හේතු විය. මෑතකදී පවත්වන්නට යෙදුණු විමුක්ති ජයසුන්දරගේ සිනමා උළෙලකදී ලොව ඉහළම සම්මානයක් හිමිකරගත් "සුළග එනු පිණිස" චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයෙන් ඉවත් කර ගැනීමට සිදුවිය. දැන් දැන් මෙරට විදේශ තානාපති කාර්යාල පවා සිනමා උළෙල සංවිධානය කිරීමට ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගතවී ඇතැයි කියැවේ.

මේ අතර නිෂ්පාදන කටයුතු අවසන් කළ චිත‍්‍රපට 30කට අධික සංඛ්‍යාවක් තවමත් තිරගත කිරීමට නොහැකිව පෝලිමේ ඇති බැව් ද වාර්තාවේ. ඉන් සමහරක් මුදල් අගහිඟකම් මත (ප‍්‍රචාරණයට හා පිටපත් මුද්‍රණයට) ප‍්‍රදර්ශනයට සූදානම් නැති බව දැන ගැනීමට ඇත.



මෙකී පෝලිමට තවත් චිත‍්‍රපට රැසක් එකතුවෙමින් පවතී. ඒ අතර තරුණ නිර්මාණකරුවන් රැසකගේ නිර්මාණ ද වේ. මේ සියලූ දෙනා අපේක්‍ෂා භංගත්වයකින් යුතුව සිදුවන්නේ කුමක්දැයි බලාසිටින තත්ත්වයක් උද්ගත වී ඇත. චිත‍්‍රපට සංස්ථාව තවමත් නින්දෙන් අවදි වී නැත. රජ දැක්මට අවසර ලබාගත් පිරිස මෙකී පසුබිම මත කරණම් ගසමින් පෙළහරපාමින් සිටින ආකාරය බලාසිටීම හැර කළ හැකි කිසිවක් නොමැත. එහෙත් මෙකී ඝන අඳුරු වලාපට අතරින් යම්තමින් මතුවී එන රිදී රේඛාවක සේයාවක් පෙනේ. එවැන්නක් සිදුව ඇත්තේ ඩිජිටල් සිනමා ප‍්‍රක්ෂේපණය යන්න ලොව පුරා ව්‍යාප්ත වෙමින් කලඑළියට පැමිණීම නිසයි. තරුණ සිනමාකරුවකුට අඩුමුදලකින් චිත‍්‍රපටයක් නිම කිරීමටත්, එය ඩිජිටල් ක‍්‍රමවේදය හරහා අඩුමුදලක් වැය කොට ප‍්‍රදර්ශනය කිරීමටත් හැකිවීම වාසිදායක තත්ත්වයක් ලබාදී ඇත. එහෙත් ශී‍්‍ර ලාංකීය සිනමාව හා අදාළව මෙකී තත්ත්වය තවත් ගැටලූ රාශියක් අප ඉදිරියේ තබා ඇත. ඩිජිටල්කරණය හා අදාළ කරුණු කාරණා විමර්ශනය කොට වාර්තාවක් සැකසීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පත්කළ කමිටු වාර්තාව තවමත් එළිදැක්වෙන බවක් නොපෙනේ. සිනමාහල් ඩිජිටල්කරණය උදෙසා අවම ප‍්‍රමිතිය තීරණය කිරීම බලධාරීන්ට උභතෝකෝටිකයක් වී ඇති බැව් පෙනේ. එසේම සිනමාහල් ඩිජිටල්කරණය සඳහා වැය කළයුතු වූ මූලික මුදල සොයා ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමක් පිළිබඳව යෝජනා වී තිබුණ ද රජය ඒ ගැන උනන්දුවන බවක් ද නොපෙනේ.

නැවත වතාවක් ඩිජිටල්කරණය, කලාත්මක විකල්ප සිනමාවට නොව රජ දැක්මට සැරසී සිටින උදවියට තවත් ඉඩ ප‍්‍රස්ථාව උදා කිරීමට හේතු නොවේයැයි කිව හැක්කේ කවරෙකුටද? මේ අනුව සෝමරත්න දිසානායක මහතා වැනි අය සිය නවතම චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සඳහා ඩිජිටල් සිනමාහල් 100ක්ම ඉල්ලා සිටීමට බොහෝදුරට ඉඩකඩ ඇත.

අනාගතයේදී පන්සිය පනස් ජාතකය හා සිංහල රාජ වංශය ඇතුළත් කථා රූගත කොට ප‍්‍රදර්ශනය කරනතුරු බලා සිටීමට සෙසු සිනමාකරුවනට සිදුවුවහොත් පුදුම විය යුතු නැත.

(-රාවය. 2013.09.29)

(ඡායාරූප විවිධ ගොසිප් වෙබ් අඩවිවලින් උපුටා ගැනිණ.)

එම්.ඩී. මහින්දපාල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සියවසෙන් සියවස
මල් ලියකමින් බර කළ
වදන් කැටයම් තුළ
නිදන් කළ, වදන් නැති කවියකි
බර පොත් පිටු අතර

කුස තණ අට මිටක් මත
හිඳ එකලාව අරණක
මදහස නැගූ මිනිසෙකි
පියුම්, විදුරසුන් මත හිඳුවා
බඹයෙන් බඹය උස් කර
ලැකර් ගා නෙත් අඳ කළ

සොඳ සුවඳ මල් වැසි මැද
ගිඟුම් දෙන වන්දනා නද තුළ
දැවෙද්දිත් අපමණ පහන් තිර
නොපෙනී අතුරුදන් කළ
මිනිසෙකි සරල, සුන්දර

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෙම ඔක්තෝබර් විසි හත් වනදා විවෘත කිරීමට නියමිත කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපස ඉදිකොට ඇති ආරක්ෂිත වැටේ ස්ථාන ගණනාවක් නිරාවරණය වී තිබීම නිසා ඒවා හනික වසා නොදැමුවහොත් මාර්ගය විවෘත කළ පසුව සුනඛ, ගව ආදී සතුන් බහුල වශයෙන් ඊට පිවිසීමේ පහසු හැකියාවක් ඇතැයි ප්‍රදේශවාසීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති. එමෙන්ම මුතුරාජවෙල පාරිසරික ආරක්ෂිත ප්‍රදේශය සහ මුතුරාජවෙල අභයභූමිය මැදින් වැටී ඇති මෙම අධිවේගී මාර්ගයේ වැට නිසි පරිදි සකස් නොවුවහොත් මෙම තෙත්බිම් පද්ධතියෙහි වෙසෙන අඳුන් දිවියන්, කොළ දිවියන්, මීමින්නන්, බොර මුගටින්, දියබල්ලන්, ඉත්තෑවන්, ගැට කිඹුලන්, කබරගොයින්, තලගොයින්, කිරි ඉබ්බන්, ගල් ඉබ්බන්, තාරකා ඉබ්බන්, පිණුම් කටුස්සන් ආදී වනජීවීන් ද මෙම අධිවේගී මාර්ගයට පිවිසීමේ පහසු හැකියාවක් තිබේ. රිය අනතුරු මගින් සිදුවන මිනිස් ජීවිත සහ දේපළ විනාශයකටත් විශාල සත්ව සංහාරයකටත් ඉවහල් විය හැකි එම අනාරක්ෂිත තත්ත්වය වහා දුරුකරන මෙන් ඔව්හු බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.

කිලෝමීටර් 25.8 දිගකින් යුත් මෙම අධිවේගී මාර්ගය මුලූමනින්ම පාහේ නාගරික ජනාවාස පද්ධතියක් අද්දරින් වැටී තිබෙන්නකි. එමෙන්ම ගත වූ කාලය මුළුල්ලේ එම නාගරික ප්‍රදේශවල කැලි කසල බැහැර කිරීම සඳහා යොදා ගැනුණේ ද මෙම අධිවේගී මාර්ගය වැටී ඇති මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියයි. මෙහිදී දිනකට නාගරික කැලි කසල සහ කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය ටොන් 20 ප්‍රමාණයක් මෙම තෙත්බිමට මුදාහැර ඇති බවට ගණන් බලා ඇත. මෙම තෙත් බිම ආශ්‍රිත ස්ථාන ගණනාවකට තවමත් දිනපතා නාගරික කැලිකසල ටොන් ගණන් ගෙනවුත් හෙළීම නිසා එම ප්‍රදේශයන් හි සුනඛ ගහණය ද සීග්‍රයෙන් වැඩි වී තිබේ.



අදත් මෙම අධිවේගී මාර්ගයට මීටර් දෙසීයක් පමණ නුදුරින් කඳාන- නෑදුරුපිටිය ප්‍රදේශයේ අක්කර ගණනක් පුරා විහිදුණු මහා පරිමාණයේ කසල ගොඩක් දැකිය හැක. ඉන් නැගෙන දුර්ගන්ධය අධිවේගී මාර්ගය දක්වා ද විහිදෙයි. අද වන විටත් මෙවන් ප්‍රදේශ සුනඛයන් ගේත් අයාලේ යන ගවයන් ගේත් රජදහනක්ව තිබීම නිසා අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ස්ථාවරත්වය තහවුරු නොකිරීම අතිශයින් අවදානම් සහගත යැයි ප්‍රදේශවාසීහු කියා සිටිති.

එමෙන්ම මුතුරාජවෙල යනු ආසියානු තෙත් බිම් නාමාවලියට පවා අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තෙත්බිම් කලාපයකි. මෙය ජලාශ්‍රිත පක්ෂි විශේෂ එකසිය පනහකගෙන් ද ක්ෂීරපායී විශේෂ තිස් නවයකින් ද උරග විශේෂ තිස් හතරකින් ද මත්ස්‍ය විශේෂ එකසිය තිස්තුනකින් සහ සමනල විශේෂ හැත්තෑ දෙකකින් සැදුම් ලත් මාහැඟි ජලජීවී පාරිසරික පද්ධතියකි. එමෙන්ම මුතුරාජවෙල සංක්‍රමණික පක්ෂීයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන ප්‍රධානතම පිවිසුම් මංකඩක් වශයෙන් ද ප්‍රසිද්ධ ය.

අධිවේගී මාර්ගය දෙපස ඉදිකොට ඇති ආරක්ෂිත වැටේ නිරාවරණය වූ ස්ථාන පිළිබඳව මූලික විමසුමක් කළ අපට එවැනි ස්ථාන කීපයක් නිරීක්ෂණය කළ හැකි විය. නමුදු ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රධාන මාර්ගවලින් යා නොහැකි තවත් ස්ථාන කිහිපයකම අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ මෙබඳු කපොලූ දක්නට ලැබෙන බවකි.







මෙම ඔක්තෝබර් 27 දා විවෘත වීමෙන් පසු මෙම අධිවේගී මාර්ගය ඔස්සේ එක් දිනකට වාහන පහලොස් දහසක් පමණ ධාවනය වෙතැයි ගණන් බලා තිබේ. ඒවායේ වේගය ද පැයට කිලෝමීටර් සියයකි.

මෙසේ මාර්ගයට පිවිසෙන සුනඛයන් සම්බන්ධයෙන් ගතහැකි තීරණ කිහිපයක් පිළිබදව අදාළ වගකිවයුතු අංශ මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවත් එහිදී ඉදිරිපත්වන ඇතැම් යෝජනා මගින් සුනඛයන්ගේ ජීවිත කෙරෙහි තර්ජනාත්මක බලපෑම් එල්ලවී ඇති බවටත් සත්ව හිමිකම් සහ සුබසාධන ක්‍රියාකාරීන් වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඒ අනුව බලධාරීන් අධිවේගී මාර්ගයේ දෙපස ආරක්ෂිත වැට සවිමත් හා ස්ථාවර නොකොට ඉහත සඳහන් සාහසික තීරණවලට අවතීර්ණ වුවහොත් එමගින් ඔවුනට සුනඛ, ගව හා ඉහත සදහන් සියලූම වනජීවීන් කෙරෙහි ඒ සාහසික තීරණයම ගැනීමට සිදුවනු ඇත. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් ගනුලබන ඉදිරි පියවර කෙරෙහි කෙරෙහි සත්ව හිමිකම් හා සුබසාධන ක්‍රියාකාරීන් සහ පරිසරවේදීහු මහත් උනන්දුවෙන් බලාසිටිති.

ඡායාරූප- තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බොහෝමයක් මිනිස්සු පිළිගන්න අකමැති දෙයක් තමා තමන් ඉපදුනේ මනුෂ්‍ය ලෝකයේ කියන එක. ඔවුන්ට තමන් ඉපදුනු තැන පවා දේශපාලන රාමු වලින් කොටුකරගෙන. ඔවුන් එම දේශපාලන රාමු තුලම තෙරපී හිරවී තමන්ගේ දිවිය හමාර කර දමනවා. තමන් භූ ගෝලීය වශයෙන් ඉපදුනු තැන තවත් ලක්ෂ්‍යකට සාපේක්ෂ බවවත් තේරුම් ගන්න තරම් ඔවුන්ගේ මනස විවෘත වෙලා නෑ. මහාද්වීප, රාජ්‍ය, ප්‍රාන්ත, නගර, ගම්, ආගම්, ජාති, කුල, පරම්පරා ලෙස මෙහෙම දිගටම මේ දේශපාලනික බෙදීම නොනැවතී ගමන් කරනවා.

"ආගම් දේශපාලනිකයි ද? ඔව් ඇත්තටම, ආගම් බිහිවන්නේ විවිධ දේශපාලනික කොට්ඨාශවල යහ පාලනය ඇති කරගන්න. පාලකයින්ට බලයේ සිටිමින් පාලනය මෘදුව ගෙනයන්න."

බහුතරයක් මනුෂ්‍යයන් තමන්ගේ ජීවිත කාලය ඇතුලතදී තමන්ට වෙන්නේ කුමක්ද, තමන් කරන්නේ කුමක්ද කියා පැහැදිලි අදහසක් නැත්තෝය. සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා දෙස බැලූ විට පෙනී යන්නේ තිරිසන් සත්වයාත් මනුෂ්‍යයාත් අතර එතරම් වෙනසක් නොපවතින බවකි. එසේනම් අනෙකුත් සත්වයනුත් මිනිසාත් අතර වෙනස කුමක්ද? මිනිසාට දියුණු මනසක් තිබෙන නිසා ඔවුන්ට අවබෝධය ලැබීමේ හැකියාව පවතියි. අනෙකුත් සත්වයන්ට පවතින්නේ හැඩගැසීමේ හැකියාව පමණි. මනුෂ්‍යයෙක් ලෙස ඉපිද සාමාන්‍ය සත්වයෙක් ලෙස යම් දෙයකට හැඩගැසීමෙන් මනුෂ්‍යත්වයට සිදුවන්නේ කිනම් සාධාරණයක්ද? ළදරුවෙකු ලෙස උපන් දින පටන් විවිධ ආකාරයට හැඩගැසෙමින් තමන්ට නිදහස් ලෙස සිතීමේ ඇති නිදහස පවා තමා විසින්ම නැති කර ගනී. "සියල්ලටම ප්‍රධාන වන්නේ මනස" යන ප්‍රාථමික කාරණය පවා ඔවුන්ට අවබෝධ කරගත නොහැකිව, තමා පිළිබඳ තමාට ඇති වගකීම පවා බැහැර කරමින් සිටියි.

වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලුවහොත්, තමා වෙහෙසෙන්නේ තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් බව පවසමින්, විවිධ ගැටළු ඇති කරමින්, තවත් පුද්ගලයන් එකී ගැටළු වලට මැදිහත් කර ගනිමින්, විනාශකාරී ක්‍රියාවල නියැලෙමින් සිටින අන්තවාදීහු රැසක් සිටිති. බොහෝ විට මෙවන් අන්තවාදීන් ලෙස පෙනී සිටින්නේ කවුරුන්ද? තමන්ගේ මැදි විය පසු කල පුද්ගලයන්, තමාට තමන්ගේ තරුණ කාලයේදී අතපසු වූ දේවල් කෙරෙහි මානසික අසහනයකින් පෙලෙනවුන්, මිය යාමට පෙර තමන්ගේ තනිකම (solitude) වසා ගැනීම සඳහා තරුණ ප්‍රජාව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා යොදා ගන්නාවුන් වැනි අයයි. ලෝකයේ විවිධ කාලවල යුද්ධ දෙස සලකා බැලුවහොත් ඔබට මෙය ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය. යුද්ධ දිනූවෙකු සමස්තයක් ලෙස ලබාගත් දෙයක් නොමැත.

ලෝක දේශපාලන සලකන්න. ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් සහිත රටවල් තමන්ගේ අය වැය හිඟය පියාවගන්න බරපතල අරගලයක යෙදෙමින් විවිධ තාවකාලික පැලැස්තර අලවා ගනිමින් සිටියි. ප්‍රබල නොවන රටවල් ප්‍රබල රටවල ගොදුරු බවට පත්ව සිටියි. මේ සියල්ල මුදල් නිසාද? ඔව්, ප්‍රබල රටවල්, දුබල රටවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ මුදල් වැඩි කර ගැනීම සඳහා. ප්‍රබල රටවල් අතර අරගල ඇතිවෙන්නේ මේ මුදල් කියන කාරණය මතම තමයි. ඊට උඩින් විවිධ ප්‍රශ්න තිබුනත්, යටින් ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රශ්නය තමයි. මේක හාවා තණකොළ කනවා, කොටිය ඇවිල්ල හාවා කන එකට සමානයි. ව්‍යාපාර ගත්තත්, දේශපාලනික ව්‍යුහ ගත්තත් මේ සියල්ලේම ක්‍රියාත්මක වෙන්නේ එකම මොඩල් එක.

මේ ඔක්කොම ප්‍රශ්ණ මැද්දේ මොකක්ද තමන්ට තනි පුද්ගලයෙක් වශයෙන් කරන්න පුළුවන් කාර්යභාරය?

සාපේක්ෂතාව තේරුම් ගැනීම. එවිට, තමන් ඇත්තටම කළයුත්තේ කුමක්ද කියන එකට තමන්ගේ හදවත උත්තර දෙයි. තමන් කරන්නේ කුමක්ද කියල තමන් හරියට දැනගැනීම අවශ්‍යයි. උදාහරණයක් ලෙස, ඉපදුන ගමන් හදන කේන්දරයෙන් ජීවිත ගැන තීරණය කරන්නේ තමන් ඉපදුනු මොහොතට සාපේක්ෂව. ඇතැමෙක් මේ සරල කාරණයවත් නොදැන කෙන්දරය මුළු ජීවිතයේම අරමුණ බවට පත්කරගන්නවා. ෆෙන් ෂුයි, වාස්තු විද්‍යාව වැනි විවිධ දේවල් මිනිස්සු වැළඳ ගන්නවා. ඉඩමක හැඩය කියන කාරණය භෞතිකව බෙදිලා නෑ. ඒවා යම් කිසි ලේඛනයක නැත්නම් මිනිස්සුන්ගේ හිතේ තමයි තිබෙන්නේ. තමන්ට කිසිම වෙහෙසක් නැතිවම ලැබුන අදහස් වෙනුවෙන් පමණක් තමන්ගේ ජීවිතය කෙටි කරගන්නවා. ඒක හරියට Love is Life කියන එක වගේ. ප්‍රේමය ට වඩා ජීවිතය ලොකුයි කියන එක තේරුම් ගත්තේ නැත්නම් මනුෂ්‍යයෙක් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. Love is Life කියල හිතාගෙන සිටින පුද්ගලයෙකුට, තමාගේ සහකරුගෙන් වෙන්වීමක් සිදුවුනොත්, එම පුද්ගලයා ජීවිත කාලයම විරහ වේදනාව විඳවනවා. ඒ පුද්ගලයා ජීවිතය විඳිනවට වඩා කරලා තියෙන්නේ විඳවල තියෙන එක.

ඇත්තටම තමන් ගැන හිතනවා කියන්නේ ආත්මාර්ථකාමී වෙනවා කියන එක නෙවෙයි. ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ තමන් ගැන විතරක් මෝඩ විදිහට හිතන එකටයි. මිනිස්සුන්ට දුක් වෙනවට වඩා තියෙන්නේ තමන්ට දුක හිතෙයි කියල තියෙන බය...! අපිට මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් ගැන විශ්වාස කළ හැක්කේ කෙසේද? ඇත්තටම අපිට මරණයෙන් පසු දෙයක් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. මේ මොහොතේ අපට ලැබෙන දෙයක් ගැන අපිට 100% විශ්වාසය තියන්න පුළුවන්.

ෂෙහාන් ධර්මකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නැඟුනෙමි නෙළුම් කුළුණ මුදුනට
දෙදාස් දාසයේ දවසක
බැලුමට සිරිය වටපිට..!

නෙළුම් පොකුණත් වටකුරුවට
මැනවින් පෙනෙයි මුදුනට
ටවර් යුවළත් හරි පොඩියට
මහ පහන් ටැඹත් නොපෙනෙන තරමට..

ලොකු කළ වරායට
නැව් ඇදී එති ඕසෙට..!

අධිවේග මංපෙත්ය
බැලූ තෙක් මානෙට
සූ සූ ගා දිවෙති වාහන
මං තීරුවල හරි සීරුවට..

කොළඹ-නුවරත් විගහට
අහවර වේය යා කොට
යාපනෙන් කොළඹට
දැන් ආ හැකිය දෙපැයට..

ආස්චර්යයේ හුටපට
ඉතිරේය හැම අතට..!

ජී අටෙත් මුලසුන
මෙවර ලංකාවට
ඔලිම්පික් හම්බන්තොට
යෝජනාවක් පමණකි දැනට..!

පණ අදින ඇමරිකාවට
යුවාන් සේලයින් බට
ඩොලරයත් පා කර හරහට
රුපියල නඟී තව තවත් ඉහළට..

චීන සල්පිලක මකරෙක් ඉඳහිට
නියොන් එළි දල්වමින්
ඉඟිමරනු පෙනෙයි හෙමිහිට ..!

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කරුණාසිරි විජේසිංහ, සොබා දහම අධ්‍යයන ශාලිකාව ඉදිරිපත් කරන සිසුවියන්ගේ රේඛාමය චිත්‍ර ප්‍රදර්ශනය, "Trees with Three Lines" සොබා රූ සිත්තම් ප්‍රදර්ශනය, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී 2013 නොවැම්බර් 4-6 දක්වා පැවැත්වෙයි. ප්‍රදර්ශනය විවෘත කිරීම නොවැම්බර් 4 දිනට [ප.ව. 5.00-ප.ව. 7.00] යෙදී තිබේ.

සොබා දහම සිතුවම්කරණයේලා, මෙරට සිටින ප්‍රමුඛ පෙළේ සිත්තරෙකි කරුණාසිරි විජේසිංහ. ඔහු විභවි ලලිත කලා ඇකඩමියේ ශාස්ත්‍ර සම්පත් පදනමේ ආචාර්යවරයෙකි. විභවියේ විවිධ පාඨමාලාවන් අතර සොබාදහම අධ්‍යයන පාඨමාලාව "Nature Studies” මෙහෙයවන්නේ කරුණාසිරි විජේසිංහ විසිනි. ජීව ලෝකයේ පවතින අපූරු විස්මයජනක නිර්මාණයන් සිය සිසු සිසුවියන් හා පූරා අවුරුද්දක් තිස්සේ අභ්‍යාස කිරීමේ එක් ප්‍රතිඵලයකි Trees with Three Lines රේඛාමය සිතුවම් ප්‍රදර්ශනය. එම පාඨමාලාවේ දෙවන අදියර සාර්ථකව නිමාකරන වජිරා පෙරේරා, දුලාරි ඩි ෆොන්සේකා, රුවි රුද්‍රිගෝ යන ශිෂ්‍යාවන් තිදෙනා සිය අභ්‍යාසයන් අපූරු සොබා රූ නිර්මාණයන් ලෙස මෙම ප්‍රදර්ශනයේදී අපට ඉදිරිපත් කරනු ඇත.

සොබා දහමේ දී අපට එකවර දර්ශනය නොවන යම් වස්තුවක්, රූස්ස ගහක්, නිහඬ ගල්කුලක්, සුලඟට ලෙල දෙන ලපල්ලක් ඒවාටම ආවේණික වූ හැඩතල ඒවාටම සුවිශේෂ වූ ගති සොබාවයන්, පැහැයන් මෙන්ම වන ගහනක ඇති විවිධත්වයන්, සංකීර්ණතාවයන්, හිරුඑළිය ගහකොළ මත ඇති කරන නොයෙක් රටා හා සෙවැනැලි, චලන, එකිනෙකා අතර ඇති වන්නාවූ දෘශ්‍යමය සම්බන්ධතාවයන් සියුම්ව නිරීක්ෂණය කොට ගනිමින් සොබාදහමේ සංස්කරණයක් තම කැන්වසය මත කලු සුදු රේඛාවන් මඟින් විශාලනය කොට චිත්‍රණය කිරීමේ අපූරුව ගැන වජිරාත්, දුලාරිත්, රුවිත් සිය අත්දැකීම් අප සමඟ බෙදාහදා ගත්තේ මෙසේයි.

වජිරා පෙරේරා විභවි ලලිත කලා ඇකඩමියට ඇතුළු වෙන්නේ 2012 අප්‍රේල්වලදීයි. චිත්‍රකලාව කෙරේ බොහෝ ඇලුම් කරන ඇය කවදා හෝ චිත්‍ර ඉගෙනීමේ අධිෂ්ඨානයකින් පසු වූ අයෙක්. රැකියාවක නියුතු වූ ඇය එයින් ඉවත් වී බිරිඳක හා මවක ලෙස ගේ දොර වගකීම් ඉටු කරමින් සිය ඉගෙනීමේ කාල වේලාව පැමිණෙන තුරු බලා සිටියා වැනිය. සිය එකම පුතුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ද නිමා වූ පසුව චිත්‍ර කලාව ඉගෙනීම සඳහා යාමට ඇය ඉස්පාසුවක් ලබාගත්තාය.

"චිත්‍ර කලාව ඉගෙනීම සඳහා යා යුතු තැනක් පිළිබඳ තොරතුරු සොයා යද්දී විභවි ලලිත කලා ඇකඩමිය පිළිබඳව මට අහන්න ලැබුණා. විභවිය පිළිවෙලකට චිත්‍ර උගන්වන තැනක් කියායි මා දැනගත්තේ. එය අසා විභවියට පැමිණ පදනම් පාඨමාලාවට ඇතුල් වුණා. ටික දිනකදී මට තේරුම් ගියා පිළිවෙලකට අධ්‍යාපන කටයුතු මෙහි කෙරෙනවා යන්න සත්‍යයක් බව. මෙම පදනම් පාඨමාලාවේ මා උගනිමින් සිටියදී 2012 වසරේ අවසානයේ ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කෘති ඇතුලත් ප්‍රදර්ශනය සඳහා සහභාගි වන්නට ද මට හැකිවූවා. මගේ කැපවීම මෙන්ම ආචාර්යවරුන්ගේ මග පෙන්වීම හා සහයෝගයද මට ඊට මහත් රැකුලක් වුණා."



පදනම් පාඨමාලාවට ඇතුලු වූ වජිරා විභවි ඇකඩමියේ ආලින්දයේ බිත්තිවල එල්ලා ඇති කරුණාසිරි විජේසිංහ කලාකරුවාණන්ගේ රේඛා චිත්‍ර සමූහය ඉදිරිපිට බොහෝ විට කාලය ගත කරනු දක්නට ලැබුණා.

"ඇත්තෙන්ම කරුණාසිරි සර්ගේ නිර්මාණවල තියේන රූස්ස ගස්, වැල් හා ගල් කුලු සහිත නිර්මාණයන් ගැන මට ඇති වුණේ තදබල කුතුහලයක්. මටත් එවැනි චිත්‍ර කරන්නට ඇත්නම් යැයි බොහෝ විට සිතුණා. මේ කාලයේදී ඔහු සොබා සෞන්දර්යය අධ්‍යයනය පාඨාමාලවක් සඳහා සූදානම් වුණා. දෙවරක් නොසිතා මම ඔහුගේ ශාලිකාවට ඇතුලත් වුණා. පුරා මාස 9 කට වැඩි කාලයක් අප එම පාඨමාලාවේ අධ්‍යයන කටයුතු කර ගෙන යනවා. ඒ අතරවාරයේයි අප මෙම ප්‍රදර්ශනය සඳහා ලක ලැහැස්ති වන්නේ...." වජිරා කියයි.

එමෙන්ම මේ කෘති නිර්මාණය කිරීමට ඔවුන් වන පෙත් සොයා ගොස් ඒවායේ ජීවය සිය නහර තුළට රුවා ගන්නට මහන්සිවෙමින් බොහෝ ක්ෂේත්‍ර චාරිකාවන්හි ද නිරත වූවෝය.

"මොරගහහේන හල්බරාවවත්ත- දඹුල්ලේ කලුදිය පොකුණ- ඉබ්බාගමුව බතලේගොඩ වැව ආශ්‍රිත වන ප්‍රදේශය දඹුල්ලේ කලුන්දැව වැව ආදී තැන් මගේ හිත් ගත්තා. පරිසරයට ගහට කොළට ආදරේ කළ කෙනෙක් ලෙස විශේෂයෙන් ඒවායේ හැඩතල දිහා බලන්න, පැහැයේ විවිධත්වයන් දකින්න, පෘෂ්ඨමය ලක්ෂණයන් විඳ ගන්න මනා හැකියාවක් අපට මේවායින් ලැබුණා. ඉස්සර සොබා දහම පෙනුණා විතරයි. දැන් එය බලන්න දකින්න ඇහැක් අපට ලැබුණා. නමුත් ඒ අයුරින්ම සොබාවික පරිසරය පිටපත් කරන්න නෙමේ අපි උත්සාහ කරන්නේ. එහි ස්වභාවයන්, ගුණයන්, හැඩයන් උකහාගෙන නිර්මාණශීලී දෙයක් බවට සොබා දහම පත් කරන්නයි අපි ඉගෙන ගත්තේ. ඒ හාම පෙරදි ගහකොළවලට තිබූ ආදරය තව තවත් වැඩි දියුණු වුණා."

"මෙහිදී තවත් දෙයක් කිව යුතුයි. සොබා දහම හා මගේ පැවැත්ම තුළ මගේ ඇතුලාන්තයේ ඇති රිද්මය මේ නිර්මාණයන් හා මුහුකරලන්න මගේ ගුරුවරයා දක්ෂ වූවා."

චිත්‍රයක් නිමවීම සඳහා වජිරා බොහෝ විට භාවිතා කරන්නේ කෙටි ඉරයි. චිත්‍රය නිමා කරමින් සිටින අතරේ අවසාන වශයෙන් ගෙදර අය මතක් කිරීමටත් ඇය අමතක කළේ නැහැ.



දුලාරි ඩි ෆොන්සේකා විභවියට ඇතුල් වෙන්නේ 2010 වසරේ මුල් භාගයේදීය. කුඩා කල පටන් චිත්‍ර පිළිබඳ රසවින්දනාත්මක ක්‍රියාකාරකම්වල නිතර වුනත් ඇයට අවශ්‍ය වී තිබුණේ චිත්‍ර කලාව න්‍යායාත්මකව හැදෑරිය හැකි තැනක්. ලංකාවේ එවැනි තැනක් ගැන තොරතුරු සොයා යද්දී ඇයට අසන්නට ලැබුණා චන්ද්‍රගුප්ත තේනුවර ආචාර්යවරයා පිළිබඳව.

"මා බොහෝ විට චිත්‍ර කලාව සම්බන්ධව තොරතුරු සෙවීමට නිතර උත්සාහ කළා. ඇත්තෙන්ම තේනුවර සර් මුණ ගැසීමට පැමිණ මා තීරණය කළා, විභවියට ඇතුලු වී චිත්‍ර ශිල්පය හැදෑරිය යුතු බව. ඔහුගේ ශාලිකාවට ඇතුලු වීමෙන් කලාව පිළීබඳ නොදන්නා ලෝකයක් මට විවෘත වුණා. තවත් බොහෝ දුර අප යා යුතු බවත් හැඟුණා. මානව රූපය අධ්‍යනය කිරීමේ න්‍යායාත්මක පාඨමාලාව කෙරෙහියි මගේ අවධානය දැඩි ලෙස යොමු වූයේ. මේ අතරේ විභවිය තුල තිබූ සෑම ක්‍රියාකාරකමකටම පාහේ මගේ කාලවේලාව අනුව මම යොමු වූවා. සොබා රූ අධ්‍යයන පාඨමාලාව හැදෑරීමට ද මට දැඩි අවශ්‍යතාවයක් දැනුණා. කලු සුදු රේඛාමය චිත්‍රවලින් ඇති කරන චමත්කාරය ද සොයා යා යුතුයැයි මට හැඟුණා. ඇසිල්ලකින් වෙනස් වන සොබාවික දර්ශන තලයන් එහි ඇති වස්තූන්, ඒවායේ විවිධ ඉරියව් වගේම චලනයන් ග්‍රහණය කර ගැනීමේ අභ්‍යාසයන් ගෙන් දවසින් දවස අලුත් දෙයක් සොයා යෑමේ අත්දැකීම් අපට මහත් සතුටක් ගෙනදුන්නා. කලාව කියන්නේ දැනුම් සම්භාරයකට. එය පැහැදිලිව හැදෑරීම අවශ්‍යයි. අධ්‍යයනය නොකර නිර්මාණයක් තුලට අදහස් ගොනු කරන්න බැහැ. සැබෑවටම චිත්‍රය කුමක්දැයි සොයා ගන්නටය් විභවියට ආවේි. චිත්‍ර විෂයේ පුළුල්ව දිග හැරෙන විවිධ ශිල්පීය ක්‍රමයන් පිළිබඳව මගේ චිත්‍රය විචාරණ අවස්ථාවේදී තේනුවර සර් දෙන කෙටි හා ස්ථීර උපදෙස් මගේ හිතට කෙලින්ම කා වැදුණා." දුලාරි කියන්නීය.

පූර්ණ කාලීනව නැත්නම් අර්ධකාලීනව චිත්‍ර කලාව හැදෑරීමට යොමු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබුණ වුවමනාවන් විවිධයි. ඔවුන්ගේ පවුල් පසුබිම් හා සමාජ පසුබිම් මෙන්ම වුවමනාවන් ද එකිනෙකට වෙනස් වුවා. සමහරුන් විභවියට එනතුරු කිසිදිනක චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට අවස්ථාවක් ලද්දා වූ අය නොවේ. "නිරුවත්" ශරීරයක් ඇඳීම පිළිබඳව උරණව පසුවෙන මව්පියන් දරුවන්ගේ මඟ අවුරාදැමූවන්, කලකට පසු වෙනත් රැකියාවක යෙදෙන අතරේ නැවතත් චිත්‍ර කලාව හැදෑරීමට වයස් ගත වී හෝ පැමිණෙන අයත් අපට මෙහිදී හමුවිය හැකියි. එමෙන්ම චිත්‍රයක් කියන්නේ ලස්සන දෙයක් පිටපත් කරනවාට වැඩි යමක් නොවන බවත් සිතා සිටින, විස්වාස කරන අයත් මෙහි පැමිණෙනවා.

අපි නැවතත් දුලාරිගේ අදහස්වලට යොමු වෙමු. "ඇත්තෙන්ම ඉස්සර ගහක් දැක්කේ නැත්නම් සමස්ත පරිසරයම දැක්කේ නිකං වර්ණ පදාසයක් හැටියට. ඒත් අද ගහක් දෙස බලන ඇස වෙනස්වී තිබෙනවා. මගේ ජීවිතයට ඉතාම ආසන්න වූ සොබා දහම තව තවත් මට කිට්ටු වූ බවක් දැනෙනවා. අප සොබාදහම පිටපත් කිරීමට නොවේ මේ උත්සාහ කරන්නේ. එය නොවේ අපේ අභ්‍යාසය. අප සොබා දහම හා මුසු වී එහි සිත් ගන්නා තැන්, රිද්මයන් සොයමින්, ගල් කුළුවල වෘක්ෂ කඳන්වල පෘෂ්ඨයේ තානමය ලක්ෂණයන්, පැහැයන්ගේ සොබාවයන්, හිරු එළියේ පරාවර්තනයන්ගෙන් ඇති කරන විිවිධත්වයන් ආදී බොහෝ කාරණා සමඟ සම්බන්ධ වෙමින් අපට අවශ්‍ය වන නිර්මාණය ගොඩ නගා ගන්නවා. රේඛා හැඩතල අභිබවා ගිය දෙයක් චිත්‍රය කියා අප දැනගත්තේ මෙසේ උගන්නා විටයි....."

චිත්‍ර කලාව පිළිබඳව මහත් ආශාව හා වුවමනාව පමණක් රැගෙන ආ මොවුන් සැඟවී ඇති සිය විභවයන් ශක්‍යතාවයන් මතු කර ගැනීමේලා තම ආචාර්යවරුන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම හා ඔවුන් තම ජීවිත තුලට මහත් බලපෑමක් කළ බව ද පිළිගනිිති.

"සොබා දහම අධ්‍යයනයේ යෙදෙන මගේ සොබාවය කුමක්දැයි මට තෝරා දුන්නේ මගේ ආචාර්යවරයායි. මා තුළ පැවති රිද්මය සොයා ගන්න ඉන් හැකියාවක් ලැබුණා. රේඛාවකින් Stroke එකකින් අප වටා ඇති ලෝකය කැන්වසයක් මත ගොඩනගන්න අපට හැකියාව ලැබුණා.." දිගු ඉරි වලින් සිය චිත්‍රය නිමා කරන අතර දුලාරි කියා සිටියාය.

සොබා දහම පිළිබිඹු කරන මේ කෘතීන් තුල නිහඬ හා ඒකාග්‍ර මනසක් අන්තර්කරණය වී ඇති බව පෙන්වා දෙන්නේ රුවි රුද්‍රිගෝය. 2012 වසරේ ජනවාරියේදී විභවි ඇකඩමියට සම්බන්ධ වූ ඇය ඇගේ අත්දැකීම් පවසා සිටියේ මෙසේය.

"මූල්‍ය කටයුතු පරිපාලනය පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටිද්දීයි විභවියේ සොබා දහම අධ්‍යයන වැඩ මුළුවක් සඳහා පිරිස තෝරා ගැනුනේ. මූල්‍ය කටයුතු පිළීබඳ අධ්‍යයනය පසෙකලා මා මෙම වැඩමුළුවට පැමිණියා. එම වැඩමුළුවේදී අපට මූලික දැනීමක් ලබා දුන්නා. සොබා දහමේ සොබාවික හැඩතල ,තානයන්, Textures,ආලෝක තත්ත්වයන් හා චලනයන් ආදී දේ ගැන. එය ඉගෙනීමෙන් මා කුතුහලයට පත් වුණා. මට අවශ්‍ය වුවා තව දුරටත් ඒ ගැන හදාරන්න. ඉන්පසු මා සොබා දහම අධ්‍යයන පාඨමාලාවට පැමිණියා. සතියේ දිනක මේ පාඨමාලාව පැවැත්වුණේ. නමුත් මගේ කාර්යාලය නිවාඩු අනුමත කොට මේ පාඨමාලාව සඳහා ඒමට මා නිදහස් කළා. එය මට දුන් විශිෂ්ඨ සහයෝගයක්. කෘතඥතා පූර්වකව මා එය අද සිහිපත් කරනවා." රුවි කියන්නීය.

සොබා දහමත් මිනිසාත් එකිනෙකාගෙන් වියෝජනීයව සිටින අද වැනි කාලයක ඇත්තෙන්ම මෙවැනි සහයෝගයක් විශ්වාස කිරීමට පවා අසීරු තරම්. නමුත් සොබා දහමට අභිමුඛව සිට ගැනීමේදී මිනිසෙකු ලෙස අද අප සිටින්නේ කුමන තැනකද යන අභියෝගය අප හමුවේ නිරන්තරව පැන නගී.

"අපගේ අධ්‍යයන චාරිකාවේදී බොහෝ තැන්වල ඇවිද සොබා සෞන්දර්යය නිරීක්ෂණය කිරීම අපේ පාඨමාලාවේ වැදගත් අංගයක් වූවා. මගේ සිත තදින් පැහැර ගත්තේ දඹුල්ලේ කලුදිය පොකුණ ආශ්‍රිත පරිසරයයි. අප එම භූමියට ඇතුළු වන මොහොතේ පොළොවෙන් අහසට ඇදෙන සමනල රෑනක් මා දුටුවා. යෝධ වනාන්තරයක අමුතුම ලෝකයක් මැද අප සිටින බවයි මට හැඟී ගියේ. හිතට දැනුනේ අමුතු ගුප්තමයභාවයක්. එමෙන්ම සොබා දහම සමඟ මුසු වූ විට දැනෙන නිහඬ බව මනසට පුදුමාකාර සහනයක් ගෙන දෙනවා. බොහෝ හෙමින් අඳින විට එය භාවනාවක් සේ මනස එක් අරමුණකට යොමු කරනවා. ඒ නිසා මෙම විෂය හැදෑරීමට මා ඉතා කැමති වුණා. ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි. හොඳ යමක් ඉගෙන ගනිද්දී හොඳ ගුරුවරයෙකු ලැබීමත් විශේෂ කාරණාවක්. ශිෂ්‍යයාගේ කැපවීම මෙන්ම ගුරුවරයාගේ කැපවීමත් ඉගෙනීමේ ක්‍රියාවලියට බලපාන දෙයක් බව මා උගන්නේ මෙහිදීයි. ගුරුවරයෙකුට ශිෂ්‍යයෙක් තුළ උත්ප්‍රේරණය ඇති කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා. අපගේ පාඨමාලාවේ සාර්ථකත්වයට එය ඉතා පිටිවහලක්" යැයි ඇය කියා සිටියාය.

රුවි රොද්‍රිගෝ දිගින් දිගටම සොබා දහම අධ්‍යයන ක්‍රියාවලිය තුල නිරතව සිටීමට උත්සාහ කරන ශිෂ්‍යාවක ලෙස කැපී පෙනෙනවා. ඇය තම නිර්මාණයන් සඳහා භාවිතා කළේ තිත් මගින් රූපය පරිපූර්ණත්වයට පත් කිරීමේ තාක්ෂණයයි. එමෙන්ම මෙම අධ්‍යයන පාඨමාලාව තම ජීවිත පරිඥානය පුළුල් කිරීමේලා වැදගත් වු බවද මෙහිලා සඳහන් කිරීමට ඇය අමතක කළේ නෑ. ඇත්තෙන්ම එය හරි අපූරු ප්‍රකාශයක්.

"ඉස්සර වයසට ගිය වයෝවෘද්ධ අයෙකු දුටු විට මට දුකක් කණගාටුවක් වැනි හැඟීමක් ඇති වුවා. දැන් වයසක කෙනෙකුගේ ලස්සන පෙනෙනවා. සමෙි රැළි වැටී ඇති රිද්මයන්, මුහුණ තුළ සැඟවී ඇති භාවයන් සහ එම මුහුනේ නොකියන දේ සොයා යාමට හිතෙනවා. පොදුවේ කිව්වොත් වියපත් බවේ ලස්සන පෙනෙන්න පටන්ගන්නවා." රුවි කල්පනාබරව පවසන්නීය.

කලාකරුවන් පංති කාමර තුළ හෝ ඇකඩමියන් තුල හෝ එක අච්චුවක ලා නිපදවෙන්නේ නැත. ඔවුහු වනාන්තරයක ඇති එක් එක් වර්ගයේ රුක් මෙන් විවිධ සංස්කෘතික- දේශපාලනික- සමාජ- ආගමික හා අධ්‍යාත්මික මහා වැහි කුණාටු මධ්‍යයේ එකිනෙකා හා සමීපව නමුත් එකිනෙකාගෙන් වෙනස්ව එකිනෙකා පරයමින් උස්ව හෝ නූස්ව වැඩෙන්නෝය.


[දුලාරි ඩි ෆොන්සේකා]


[වජිරා පෙරේරා]


[රුවි රුද්‍රිගෝ]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මානව හිමිකම් යනු වර්තමානය වන විට ලංකාව තුළ ඉතා උණුසුම්ව කතා බහට ලක්වන මාතෘකාවකි. දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද විවිධ පාර්ශවයන් විසින් මානව හිමිකම් පිලිබඳ විවිධාකාරයේ අදහස් පල කරනු දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුල දේශීය වශයෙන් පවතින මානව හිමිකම් කතිකාවෙහි පරස්පරතාවයන් සහ ශ්‍රී ලංකාවට අදාලව ජාත්‍යන්තර තලයෙහි පවතින කතිකාව පිලිබඳ ඉතා කෙටියෙන් සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණ වන අතර ‘විමුක්තිකාමී දේශපාලනයෙහි විෂයයක් ලෙස මානව හිමිකම් කතිකාව ශ්‍රී ලාංකීය සන්දර්භය තුල ස්ථානගත කරන්නේ කෙසේද?‘ යන්න පිලිබඳ ලිපිය අවසානයේදී කෙටි අදහසක් පල කිරීමටද බලාපොරොත්තු වෙමි.

2009 වර්ෂයේදී යුද්ධය මිලිටරිමය වශයෙන් අවසානයට පත්වීමෙන් පසු ගත වූ වසර හතරකට ආසන්න කාලය තුලදී මානව හිමිකම් පිලිබඳ කතිකාව ප්‍රබල ලෙස ඉස්මතු විය. විශේෂයෙන්ම යුද්ධයේ අවසාන අදියර තුලදී සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම ඇතුළු යුධ අපරාධ සිදුවී යයි යන්න එහිදී ප්‍රමුඛ ස්ථානයක් ගනී. යුද්ධයෙන් පසු මුල් අවධියේදී රජයේ ස්ථාවරය වුයේ කිසිදු සිවිල් වැසියෙකු ඝාතනය නොවීය (zero civilian casualties) යන්න වූ අතර ඒ සම්බන්ධයෙන් කෙරෙන දේශීය හෝ ජාත්‍යන්තර හෝ කුමන ආකාරයේ පරීක්ෂණයකට දැඩි ලෙස විරුද්ධ විය. එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් 2010 වර්ෂයේදී යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දරුස්මාන් කමිටුවට ශ්‍රී ලංකාවට ඇතුල් වීමට පවා ඉඩ නොදුන්නේ එම ස්ථාවරය නිසාය. යුද්ධය අවසාන වී ගත වූ මුල් කාලය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් පැවති අතර පසුව 2010 වර්ෂයේ අග භාගයේ සිට එය අවාසිදායක තත්වයක් දක්වා වර්ධනය වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් 2013 මාර්තු මසදී සම්මත කර ගැනීමට පවා හැකියාව ලැබුනේ වගවීම (Accountability) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැක්වූ දැඩි දරදඬු සහ අමනෝඥ ප්‍රතිපත්තියයි. ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් එල්ල වූ දැඩි පීඩනය නිසාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට මෙරට සංචාරය කිරීමට අරාධනා කිරීමට රජයට සිදු වූ අතර (ඇයට මෙරට සංචාරය කිරීමට ආරාධනා කිරීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත්බාවය පිලිබඳ මහඟු සාක්ෂියක් ලෙස හුවා දැක්වීමට පසුගියදා අල්ජසීරා නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා උත්සහ කළ ද සැබවින්ම ඇයට ආරාධනා කලේ එසේ නොකර සිටිය නොහැකි වූ නිසාය. පසුගිය අගෝස්තු මාසයේදී සිදුවූ ඇයගේ සංචාරයත් සමඟ නැවතත් අලුත් වටයකින් මානව හිමිකම් කතිකාව උණුසුම් වී තිබේ.


[අල්ජසීරා සමඟ ජනාධිපතිවරයාගේ සම්මුඛ සාකච්ඡාව.]

ශ්‍රී ලංකා රජයේ සහ රජයට පක්ෂපාතී විමල් වීරවංශ, චම්පික රණවක, නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි සිංහල ජාතිකවාදී (සත්‍ය වශයෙන්ම ජාතිවාදී) කණ්ඩායම් විසින් මතු කරන ප්‍රධානතම කාරණයක් වන්නේ මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවත් එමනිසාම මානව හිමිකම් සම්බන්ධයෙන් මතුවෙන ඕනෑම විවේචනයක් හෝ බලපෑමක්, දේශීය වේවා, විදේශීය වේවා, එකහෙලා එයට විරුද්ධ විය යුතු බවයි. කරුණුමය ලෙස ගත්කල මෙම තර්කයේ කිසියම් සත්‍යතාවයක් නැතුවාම නොවේ. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු යහ පාලනය සම්බන්ධයෙන් වර්තමානයේදී ගෝලීය වශයෙන් පවතින අධිපති කතිකාව බටහිර සහ යුරෝපා රටවල් මූලික කරගෙන ගොඩ නැගුනු කතිකාවකි. එහිදී, ඇමරිකා එක්සත් ජනපදය වැනි ආර්ථීක සහ දේශපාලනමය වශයෙන් බලවත් රටවල්වල සමාජ, සංස්කෘතික අභිලාෂයන්ට අනුරූපව ගොඩ නැගුනු සංකල්ප අනෙකුත් රටවලද එලෙසින්ම ක්‍රියාවට නැංවීමට ඔවුන් විසින් සෘජු සහ වක්‍රාකාරයෙන් බලපෑම් කරනු ලැබේ. බලවත් රාජ්‍යයන්හි (ජාත්‍යන්තර ප්‍රජාව ලෙස බොහෝ විට හඳුනා ගැනෙන්නේ මෙම රාජ්‍යයන්ය) මෙම එළඹුමෙහි මූලික ගැටළු දෙකක් හඳුනා ගත හැකිය.

පළමුවැන්න නම්, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින ගැටළු වලට අදාලව විවිධාකාරයේ විවේචනයන් සහ බලපෑම් කරන, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන හරහා විවිධ ක්‍රියාමාර්ග ගන්නා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ බලවත් රාජ්‍යයන්ගේ තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග ඔවුන් විසින්ම ගොඩනංවන ලද යහපාලනයට අදාළ කතිකාවන් තුලින් මතු කෙරෙන ඇගයීම් සහ වටිනාකම්වලට කොතෙක් දුරට එකඟ ද යන්නයි. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් එම වටිනාකම්වලට සපුරා පටහැනි බවට සාධක එමටය.

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රාජ්‍යයන්ගේ හමුදා ආක්‍රමණ වලින් ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව වැනි රටවල සිවිල් වැසියන් සහ ළමුන් දහස් ගණනින් මිය යාම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස ඔවුන් නොදකින අතර ශ්‍රී ලංකාව වැනි රටවල පවතින යුද්ධයන්හිදී සිවිල් වැසියන් සහ ළමුන් මියයාම පමණක් මානව හිමිකම් උල්ලංඝනය වීම් ලෙස ඔවුන් හඳුනා ගනී. නමුත් සත්‍යය වශයෙන්ම අප තේරුම් ගත යුත්තේ මෙම අවස්ථා දෙකෙහිදීම සිදු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය වීම් බවය.

සිංහල ජාතිකවාදීන් සහ 'දේශප්‍රේමීන්', බටහිර රාජ්‍යයන් විසින් සිදු කරන අපරාධ පමණක් විවේචනාත්මකව දකින අතර ආණ්ඩුව විසින් සිදු කරන සහ සිදු කෙරෙමින් පවතින අපරාධ (මෙයට යුද්ධයේ අවසාන අදියරේදී සිදු වී යැයි කියන යුධ අපරාධ වලට අමතරව පශ්චාත් යුධ සමයෙහි සිදු වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පැහැර ගෙන යාම්, රජය කෙරෙහි විවේචනාත්මක වන පුද්ගලයින් අතුරුදන් කිරීම්, බියවැද්දීම් ඇතුළු අපරාධද අයත් වේ), රාජ්‍ය ආරක්ෂාව නමැති ආවරණයට මුවාවී සාධාරණීකරණය කරනු ලැබේ. අනෙක් අතට බොහෝ සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් විසින් ආණ්ඩුව විසින් සිදු කරන අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස හඳුනා ගනිමින් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වන අතර බලවත් රාජ්‍යයන් විසින් සිදු කරන අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස විවේචනය නොකරයි. එසේත් නැත්නම් ප්‍රසිද්ධියේ එලෙස විවේචනාත්මක වීමට මැළිකමක් දක්වයි. සමහර සිවිල් සංවිධාන සහ ඒවායේ ක්‍රියාකාරීන් මෙහි සත්‍යය තත්වය අවබෝධ කරගෙන ඇතිමුත් විවිධ ප්‍රායෝගික හේතූන් මත ඒ පිලිබඳ ප්‍රසිද්ධියේ විවේචනය නොකරන අතර තවත් සමහර පුද්ගලයින් එම තත්වය අවබෝධ කර ගැනීමටවත් අසමත් වන තරමට දේශපාලනික ඥානය අතින් පහල මට්ටමක පසුවේ.

දෙවැනි කාරණය වන්නේ බටහිර සහ යුරෝපීය සමාජ සංස්කෘතික හර පද්ධතීන්ට අනුරූපව යහපාලනය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති වත්මන් අධිපතිවාදී කතිකාව එලෙසින්ම අනෙකුත් රටවලට අදාළ කිරීම කොතෙක් දුරට ප්‍රායෝගිකද සහ යුක්ති සහගතද යන්නයි. සර්වභෞමිකත්වය (Cosmopolitanism) සම්බන්ධයෙන් දැනට පවතින ජනප්‍රිය අදහස බොහෝ දුරට නියෝජනය කරන්නේද බටහිර සහ යුරෝපය මුලික කර ගෙන ගොඩනැගී ඇති මෙවැනි අදහස් සහ සමාජ වටිනාකම් සමස්ත ලෝකයටම අදාළ කිරීම හරහා 'විශ්වීය පුරවැසියන්'ගෙන් සමන්විත සමජාතීය(homogeneous) ගෝලීය සමාජයක් ගොඩ නැගීමය. මෙය එක් අතකට සංස්කෘතික ආධිපත්‍යයක් ලෙසද සැලකිය හැකිය. ගෝලීයකරණ ක්‍රියාවලිය සහ තොරතුරු තාක්ෂණයේ දියුණුව මෙම සංස්කෘතික ආධිපත්‍යයට මනා පිටුවහලක් සපයන අතර විවෘත වෙළඳ පොල සහ නවලිබරල් ආර්ථීක ප්‍රතිපත්තීන් එයට අවැසි ආර්ථීක වටපිටාව සකස් කර දෙනු ලැබේ. ඇයගේ On the political (2005) කෘතියෙහි චන්තාල් මූෆ් (Chantal Mouffe) විසින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රාජ්‍යයන්ගේ මෙම සංස්කෘතික සහ දේශපාලන අධිකාරීත්වය දැඩි ලෙස විවේචනය කරන අතර ඊට ප්‍රතිපක්ෂව සංස්කෘතික විවිධත්වයන් පිළිගන්නා බහුත්ව (pluralist) ගෝලීය සමාජ සැකැස්මක් යෝජනා කර සිටී. වෙනත් ආකාරයකට කියන්නේ නම් පවතින ඒක-ධ්‍රැවීය (Uni-polar) ගෝලීය සමාජ සැකැස්ම වෙනුවට බහු-ධ්‍රැවීය (Multi-polar) සමාජ සැකැස්මක් ඇය යෝජනා කර සිටී. මෙම කාරණය ගැඹුරින් සාකච්ඡා කල යුත්තකි.

ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් පිරිස් ඉහතින් සඳහන් කල කරුණු මත පදනම්ව මානව හිමිකම් ඇතුළු යහපාලනය සම්බන්ධයෙන් බටහිර රටවලට එරෙහිව මතු කරන විවේචනය සැබෑ දේශපාලන විවේචනයක් නොවේ. එනම්, ඔවුන්ගේ තර්කයේ කරුණුමය වශයෙන් සත්‍යතාවයක් තිබුන ද එම තර්කය ඉදිරිපත් කිරීම පිටුපස ඇති දේශපාලනික අරමුණු වන්නේ තමන් විසින් සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අනෙකුත් අපරාධවලට හෝ ඒවා සම්බන්ධයෙන් මතුවන ජනතා විරෝධයන් යටපත් යටපත් කිරීමය. එමෙන්ම, තවත් සඳහන් කල යුතු කරුණක් වන්නේ රජයට සහයෝගය දක්වන 'බුද්ධිමතුන්' ඉතා සුළු පිරිසක් ඉහත සඳහන් කල ආකාරයට කිසියම් හෝ දේශපාලනික අර්ථයකින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රජයට එල්ල වන ජාත්‍යන්තර බලපෑම් වලට විරුද්ධ වුවද සමස්තයක් ලෙස රජයට සම්බන්ධ අතිබහුතරයකගේ හැසිරීම අනෙක් විෂයන්වලට අදාලව මෙන්ම ගෝත්‍රිකය. එයට ඉතාම හොඳ මෑත කාලීන උදාහරණයක් නම් නවී පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව රජයට සම්බන්ධ ඇතැම් මැතිඇමතිවරුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ඇයට විවාහ යෝජනා ඉදිරිපත් කරමින් මර්වින් සිල්වා වැන්නන් පෙන්නුම් කලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකට තබා සාමාන්‍ය ගැහැණියකටවත් දැක්විය යුතු අවම ගරුත්වයක් හෝ නොදක්වන ප්‍රාථමික හැසිරීමකි. ඊට වෙනස්ව ජාතික හෙළ උරුමය වැනි ජාතිවාදී පක්ෂ සුපුරුදු ජාතිවාදී මතිභ්‍ර්‍රමයන් වපුරන්නට විය. හෙළ උරුමයේ ඉහල පෙලේ නායකයෙකු වන උදය ගම්මන්පිළට අනුව නවී පිල්ලේ ප්‍රතික්ෂේප කල යුත්තේ ඇයිදැයි යන්න ජාතිය හමුවේ තැබීම ඔවුන්ගේ වගකීමක් වන අතර ඔහුට අනුව පිල්ලේ මහත්මියගේ ද්‍රවිඩ සම්භවය සහ දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදී පාලන සමය තුල සුළු ජාතිකයන් ලෙස ඇයට සහ ඇයගේ සමීපතමයින්ට අත්විඳින්නට සිදුවූ හිරිහැර නිසා ශ්‍රී ලංකාව පිලිබඳ පරීක්ෂණයකදී අනිවාර්යෙන්ම දෙමළ ජනතාවට පක්ෂපාතීව ඇය කටයුතු කළ හැකි බවයි. [නවනීදන් පිල්ලේ ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි? | බලන්න.]

වසර පණහකට පමණ පෙර දකුණු අප්‍රිකාවේ සිදුවූ සිදුවීම් සහ නවී පිල්ලේගේ ද්‍රවිඩ සම්භවය නිසා ඇය දෙමළ ජනයාට පක්ෂපාතී විය හැකි බවට තර්ක කරන ගම්මන්පිලලාට තමන්ද නියෝජනය කරන, යුද්ධයේ එක් සෘජු පාර්ශවයක් ද වූ ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා විසින් යුද්ධය අතරතුරදී සිදු වූවා යයි කියන යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ සොයා බලා ඊට එරෙහිව කටයුතු කිරීමට පත්කළ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම ඇතුළු අනෙකුත් කොමිසම් ශ්‍රී ලංකා රජයට පක්ෂපාතී විය හැකි බවට ජාතිය හමුවේ කරුණු පැහැදිලි කිරීමේ යුතුකමක අවශ්‍යතාවයක් මඳකට හෝ නොදැනීම කෙසේ නම් තේරුම් ගත යුතුද?

අවසන් වශයෙන් සඳහන් කල යුත්තේ අප මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ සහ ඒවා දිනා ගැනීමට සටන් කල යුත්තේ බටහිරින් එන බලපෑම් නිසා නොව සමස්ත ශ්‍රී ලංකික ජනතාවටම සැබෑ නිදහසක් ළඟා කරගත යුතු නිසාය. එහිදී, මානව හිමිකම් සහ යහපාලනය සම්බන්ධයෙන් අපටම අනන්‍ය වූ කතිකාවක් නිර්මාණය කර ගත යුතු අතර එය, බටහිර මුලික කරගෙන ගොඩ නැගී ඇති කතිකාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකරන එහි ප්‍රගතිශීලී අදහස් ඇතුලත් කර ගන්නා වූ කතිකාවක් විය යුතුය. තවද, එම කතිකාවට ජාති, ආගම් බේදයෙන් තොරව සියළුම ජනයාගේ අයිතිවාසිකම් ඇතුලත් විය යුතු අතර එය අධිපති කතිකාව බවට ඔසවා තැබීම ප්‍රතිහෙජමොනික දේශපාලන අරගලයකි. එය විමුක්තිකාමී දේශපාලනයෙහි ඒජන්තයෙකු වනු නොඅනුමානය.

උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails