Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කිසියම් වූ දෘශ්‍ය පථයක සම්ප්‍රදාය හා ෂානරීය අනන්‍යතාව පිළිබඳ සෞන්දර්ය අදහස අධියථාර්ථවාදය විසින් අත්හැර ඇතැයි යන මතය ව්‍යාජෝත්තියකි. යථාර්ථවත් සම්ප්‍රදාය පිළිබඳ වූ අතීත කේන්ද්‍රීය අතීතාසක්‌ත මතය අමතක කර දැමීමක්‌ හෝ පැරණි ආකෘතියෙහි අනුක්‍රමික පටිපාටිය වෙනස්‌ කිරීමක්‌ හෝ මෙහිදී සිදු නොවන හෙයිනි. නිර්මාණකරුවාට හුදකලාව සිට පරිපූර්ණ සමස්‌තයක්‌ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි අතර ඔහුගේ කලාකෘතිය ගොඩනැගෙන්නේ අතීත මතකයෙනි.

නිර්මාණකරුවා සංසක්‌තවීමේ අවශ්‍යතාව ඒකපාර්ශවීය නොවන්නකි. අභිනව කලා කෘතියක්‌ බිහිවූ පසු පෙර පැවති විශිෂ්ට නිර්මාණ අතර එය පරමාදර්ශයක්‌ බවට උසස්‌ වී, පැවති නිර්මාණ පටිපාටිය ආශ්‍රිත සබඳතා, ප්‍රමාණානුකූලතා ආදී සමස්‌තය වෙනස්‌ වේ. නව කලා කෘතියෙහි නිර්මාපකයා දෘශ්‍ය කලාවේ නවතම පරිච්ඡේදයක් වෙනුවෙන් පෙරටුගාමී සෞන්දර්ය කාර්යක නියුක්‌තව සිටින්නකු බවට පත් වේ.

පරස්‌පර විරෝධී සමාජ පදනමින් පුපුරා නැගි දූෂිත සමාජයක දුගී බව, යුද්ධ කෝලාහල, වාණිජ සභ්‍යත්වය හෙළා දකිනු වස්‌ නිර්මාණය කළ මෙම නවතම කලා කෘතිය, අධියථාර්ථවාදී දෘශ්‍ය කලාව, සම්මත තාත්විකත්වය නවතම රසික නිදහසක ප්‍රහර්ෂය වෙනුවෙන් ඉවත දැම්මේය. 'ෆ්‍රොයිඩ්'ගේ කල්පිතයන්ගෙන් පෝෂණය ලද අධිතාත්වික ශිල්පීහු මනසේ ගැඹුරු අභ්‍යන්තරයෙහි ජීවත්වන රූපවලින් කැන්වසය රසවත් කළහ. දෘශ්‍යමානයෙන් ඈත්ව ගොස්‌ විඥාන මානකයක පවත්නා මනඃකල්පිත ආත්මීය ලෝකයක්‌ නිර්මාණය කළ ඔවුහු, යටි සිත, උඩු සිත සමග යා කරමින් නව මිථ්‍යා කලාවක්‌ සැකසීමෙහිලා පෙරමග සකස්‌ කළහ. මෙලෙස මිථ්‍යා ගතික වූ භාවාත්මක උත්කර්ෂණය සහිත චිත්‍රය අධිතාත්විකත්වය වෙතට එක්‌කළ ශිල්පියෙක්‌ වන 'රෙනේ මැග්‍රිට්‌' [René François Ghislain Magritte (1898-1967)] අනෙකුත් ශිල්පීන්ට වඩා වෙනස්‌ මගක යමින් සිය දෘශ්‍යමය අනන්‍යතාව සකසා ගත්තේය. හුදෙක්‌ ස්‌වප්නමය කල්පිතයක පදනමක්‌ නොවුණු ඔහුගේ කැන්වසය කාව්‍යමය පරිකල්පනයක්‌ වෙත වඩාත් ළං විය. මනෝ විශ්ලේෂණ පදනමක සිට කාව්‍යමය ප්‍රතිබිම්බයක්‌ සිත්තම් කළ ඔහු ඥානයෙහි සංකල්පගත කිරීම්වලින් දූරස්‌ථ විය.

....බුද්ධිය, සංවේදීතාව හා පරිකල්පන ඥානයේ අවි වශයෙන් සැලකූ මැග්‍රිට්‌, ඥානය සංකල්පීකරණය කිරීම නොඉවසීය. අකාලික ගාම්භීර්යයක්‌ මතුවන ආකාරයට ඔහු විවිධ වස්‌තු, රූප හා භූ දර්ශන යථාර්ථවාදී ලෙස චිත්‍රණය කළේය....
(-එරික්‌ ඉලයප්ආරච්චි. චිත්‍ර කලාව සහ විචාරය- 2003, 334 පිට)

තර්කාන්විතභාවයෙන් හා හේතුඵලවාදයෙන් මිදුණු 'මැග්‍රිට්‌' ව්‍යවහාරික ලෝකයෙහි පටු සීමාවන් ඉක්‌මවා යමින් කාව්‍යමය දෘෂ්ටියකින් චින්තනය අවදි කළේය. එනිසාම, ඔහුගේ චිත්‍ර කලාවේ අපරිමිත සෞන්දර්ය නිදහසක්‌ සටහන්ව තිබිණ. ලොව පවත්නා සියලු වස්‌තූන්, රූප, භූ දර්ශන දෙස ඔහුගේ සියුම් දෘෂ්ටිය අතිශය සෞන්දර්යාත්මක විය. සියුම් බුද්ධියකින් තෝරා ගනු ලැබූ ප්‍රතිරූපයන්ගෙන් ඔහු යථාර්ථය ප්‍රතිනිර්මාණාත්මකව විනිවිදීමට සමර්ථ වූ හෙයිනි.

The Wind And The Song (1928-1929)



භාෂාව හා සංජානනය අතර සම්බන්ධයට 'මැග්‍රිට්‌' බෙහෙවින් ඇලුම් කළේය. පයිප්පයක දර්ශනය රැගත් The Wind and the Song (1928-1929) සිතුවම් කරන ඔහු, "This is not a pipe" යන ශීර්ෂයෙන් තවදුරටත් එහි පයිප්පයක්‌ ලෙස උපයෝගිතා වටිනාකමක්‌ නොමැති බැව් දක්‌වයි. එය සැබෑ පයිප්පයක්‌ නොවන අතර පයිප්පයක්‌ පිළිබඳ ආදර්ශයක්‌ පමණක්‌ම වේ. එනිසා, එය "This is not a
pipe" වේ. පථයෙහි පවත්නා සංඥාර්ථය හා ඒ පිළිබඳ හැඟීම අතර සබඳතාව නිවැරදිව වටහා ගත් ඔහු, චිත්‍රයෙහි අරුත මැනවින් ග්‍රහණය කොට ගෙන චිත්‍රය නොවක්‌ සෞන්දර්ය ඉසව් වෙත යා කළේ එහෙයිනි. යථාර්ථය පිළිබඳ වූ පරීක්‍ෂා සහගත අවලෝකනය 'මැග්‍රිට්‌' අවංක ලෙසින්ම සිය සිතුවමෙන් කලාවට තිළිණ කළේය. අධිතත්‍ය ප්‍රවේශය ගත් චිත්‍ර ශිල්පියෙකු වුවද අන් සියලු ශිල්පීන්ගේ සිතුවම් අතර 'මැග්‍රිට්‌'ගේ සිතුවම්වල වෙසෙස්‌ සෞන්දර්ය ලකුණු එක්‌තැන් කරගත හැකිය. ඔහුගේ දෘශ්‍යමය පථයට රසිකයින්ගේ ප්‍රබල ආකර්ෂණ අවකාශයක්‌ පවතින්නේ එහෙයිනි. කාව්‍යමය සංකල්පනාමය ස්‌වරූපය ගත් චිත්‍රයෙන් දැනවෙන සෞන්දර්ය ගම්භීරාර්ථ සහිතය. අපූර්වත්වයකින් සුසැදි එවන් පථයන්ට රසික ආකර්ෂණය ද සීමා කළ නොහැකිය. පථයෙහි සැඟවුණු අර්ථමය විභවතා ගවේෂණය කරමින් සෞන්දර්ය සෙවීමට රසික සිත ඉක්‌මන් වන්නේ එනිසාය.

'රෙනේ මැග්‍රිට්‌'ගේ නිර්මාණාත්මක ප්‍රවේශය සඳහා ඔහුට පදනම සැකසූ මූලධර්ම කිහිපයක්‌ හදුනාගත හැකිය. ප්‍රකෘති ලෝකයෙහි කුඩා පරිමාණයෙහි වස්‌තුවක්‌ විශාලනය කොට දැක්‌වීම් ඔහුගේ සිතුවම්වලින් හමුවන ප්‍රමුඛ ලකුණකි. (enlargement of a detail) පරිමාණයෙන් නානාර්ථ ජනනය වන බැව් ඔහු දැන සිටි හෙයිනි. අප දන්නා ලෝකයෙහි කුඩාවට පවත්නා යම් වස්‌තුවක්‌ දෘශ්‍ය පථයේදී විශාල කර දැක්‌වීමෙන් අපූර්වත්වයක්‌ මෙන්ම අමුත්තක්‌ද ගොඩනැගේ. තමා මෙතෙක්‌ දුටු වස්‌තුවෙහි පරිමාණය වෙනස්‌වීමේ විස්‌මය අත්දකින රසිකයා තමා සමග එම වස්‌තුව සංසන්දනයකට නතු කරයි. එවිට, පථය අස තමා කුඩා වේ. තම සිතැඟි එය මනින්නට තරම් ප්‍රමාණවත් නොවේ. වස්‌තුවෙහි විශාලනය සතු සෞන්දර්යෙන් මුලාවට පත්වන රසිකයා එයින් ද රසවත් බවක්‌ සොයා ගනී.

The Anniversary (1959)



ළා දුඹුරු පැහැ බිත්තියකින් වට වූ කාමරයෙහි සමස්‌ත අවකාශය අරා සිටින නිල්-අළු පැහැයට හුරු අති විශාල ගල් කුට්‌ටියකි. නිල් පැහැ මුහුදු තීරය සහ සුදු පැහැ වලාකුළු රැගත් අහස ගල් කුට්‌ටියට ආලෝකය සපයමින් වීදුරු ජනෙල් කවුළුවෙන් එපිට දර්ශනය වේ. 'මැග්‍රිට්‌' විසින් The Anniversary/The Birthday (1959) ලෙස නම් කළ මෙම සිතුවම ඇදහිය නොහැකි තරම් විශාල ගල් කුට්‌ටියකි. සංවත්සර උත්සවයකට හෝ උපන්දින සාදයකට තෑගි දීමට සූදානම් කරන ලද ත්‍යාගයක ස්‌වරූපය ගත් මෙය 'මැග්‍රිට්‌'ගේ මනසෙහි නිරූපිත ත්‍යාගයේ ප්‍රමාණය මැනවින් දර්ශනය කරයි. හුදෙක්‌ පියවි ලෝකයෙහි කුඩාවට පවතින ගල් කැටයට දෘශ්‍ය පථයේදී විශාලත්වයක්‌ ආරෝපණය කළේ එනිසාය. ප්‍රකෘති ලෝකයේ අප දකින රෝස මලට, ඇපල් ගෙඩියට මැග්‍රිට්‌ගේ දෘශ්‍ය ලෝකයේදී පැවැත්මක්‌ නොමැති තරම්ය. මෙලෙස, වස්‌තු විශාලනය කිරීමෙන් රසික සිත්හී දරාගත නොහැකි තරම් සෞන්දර්යක්‌ උපදවන්නට මැග්‍රිට්‌ දැරූ වෑයම රසවත්ය.

The Companions of fear (1942)



වස්‌තූන්හි අනුපූරකතාව භාවිතයට ගැනීමෙන් ද 'මැග්‍රිට්‌' චිත්‍රය රසය සමග යා කළේය. (the association of complementaries) යම් වස්‌තුවකට සමාන තවත් වස්‌තුවක්‌ එයට ආදේශ කරමින් නවමු සෞන්දර්ය වස්‌තුවක්‌ චිත්‍රණය කර රසයක්‌ ඉපදවීමට ඔහු සමර්ථ විය. The Companions of Fear (1942) නම් සිතුවමේදී ඔහු උකුස්‌සන් චිත්‍රණය කළේ ශාක පත්‍ර වලිනි. ශාක පත්‍ර හා උකුස්‌සන් අතර සමරූපීභාවය මැනවින් භාවිත කරමින් විවිධ පරිමාණයේ උකුස්‌සන් නිර්මාණය කළ ඔහු, එමගින් සෞන්දර්ය කියවීමක්‌ වෙත රසික සිත ළං කළේය. දෘශ්‍ය ලෝකයෙහි තව දුරටත් කඳු ආශ්‍රිත හුදකලා ශාක නොපැවති අතර මැග්‍රිට්‌ අත ඒ සියල්ල උකුස්‌සන් විය.

Philosophy in the Boudoir (1947)



අප්‍රාණික වස්‌තූන්ට ප්‍රාණාත්වාරෝපණය කිරීමෙන් ද දෘශ්‍යමය පථයට නවමු සෞන්දර්ය වටිනාකමක්‌ එක්‌ කිරීමට 'මැග්‍රිට්‌' අමතක නොකළේය. (the animation of the inanimate) Philosophy in the Boudoir (1947) නමින් කාන්තාවකගේ කාමරයක දර්ශනයක්‌ සිතුවම් කරන 'මැග්‍රිට්‌', එල්ලා ඇති ගවුමෙහි ඉදිරියට නෙරා එන පරිදි පියයුරු සිතුවම් කිරීමෙන් සහ පාවහන් යුගලය ඇඟිලි සහිතව දැක්‌වීමෙන් මෙතෙක්‌ අප්‍රාණිකව පැවති වස්‌තූන්ට ජීවයක්‌ ලැබ දුන්නේය. 'මැග්‍රිට්‌'ගේ කලාව අස නව සෞන්දර්ය නිදහසක්‌ නිර්ණය වුණු අතර අජීවී සියල්ල කැන්වසය මතදී සජීවී වස්‌තු බවට උසස්‌ කෙරිණ.

කැන්වසයෙහි ගුප්ත, අභිරහස්‌ දෑ සිත්තම් කිරීමෙන් පෙර නොවූ විරූ චමත්කාරයක්‌ චිත්‍රයට ලබාගත හැකි අතර පියවි ලෝකයේදී නුදුටු සිත්තම් සමග දෘශ්‍යමය ලෝකයේදී එකතු විය හැකිය. රසිකයා ගුප්ත සෞන්දර්යක්‌ වෙත යොමු කිරීම සඳහාද 'මැග්‍රිට්‌'ගේ සිතෙහි ඉඩ කඩ විවරව තිබිණ. (the mysterious opening) අනෙක්‌ සියලු අධියථාර්ථවාදී චිත්‍ර ශිල්පීන් අතර 'මැග්‍රිට්‌' වෙසෙස්‌ වන්නේ ද ගුප්ත දෑ කැන්වසය මතට ගෙන ඒමේ නිසග හැකියාව ඔහු සතුව පැවති හෙයිනි. සාමාන්‍ය ලෝකයෙන් ඔබ්බට ගිය ඔහුගේ චින්තනය ආකස්‌මික සිතිවිලි සමග සැරිසරමින් අමුත්ත සොයා යන්නට විය. එකී අමුත්ත ලැබුණු මොහොතේම ඔහු එයින් කැන්වසය සැරසුවේය. එම සිතුවම අපූර්ව විය. අමුතු විය. ගුප්ත විය. අභිරහස්‌ විය. 'මැග්‍රිට්‌'ගේ චිත්‍රණ අවකාශය ප්‍රබලව භෞතික වස්‌තූන් සමග කේන්ද්‍රගත වූ අතර එහිලා වලාකුළු සහිත අහස වෙසෙස්‌ වේ. සෑම චිත්‍රයකම පාහේ පසුබිමට වලාකුළක්‌ එකතු කළ ඔහු, එවන් ඇතැම් චිත්‍රවලින් ගූඪ බවක්‌ විශද කළේය. සිතුවමෙහි අඩක්‌ විවෘත කරන ලද දුඹුරු පැහැ අල්මාරියක දොර පියන් දෙකෙහිම සජීවී සමුදුරකට ඉහළින් ඇති වලාකුළු පිරි අහසක දර්ශනයක්‌ දිස්‌වේ. විවෘත කර ඇති අල්මාරියෙහි ඇතුළත පවතින හිස්‌ බවට කැටි වූ ගූඪත්වය හා භයංකරබව වලාකුළු අස තව තවත් තීව්‍ර වේ. අල්මාරියකින් වුව අහසක්‌ දකින 'මැග්‍රිට්‌' මෙතෙක්‌ කිසිවෙකුට හමු නොවුණු අමුත්තකින් සෞන්දර්යක්‌ ඉපදවීය.

The rape (1934)



සෞන්දර්ය පිළිබඳ කලාත්මක දෘශ්‍ය ගමනකට එක්‌ වූ 'මැග්‍රිට්‌' අත මිනිස්‌ සිරුර විස්‌මිත ලෙස චිත්‍රණය විය. (anatomical surprises) ඇස, කණ, නාසය, අත, පය සහිත මනුෂ්‍ය ශරීරය ප්‍රබල ලෙස විපරිණාමයට පත් වූයෙන්, වෙනත් කිසිදු ශිල්පියෙකුට ළඟා විය නොහැකි තරම් වූ පුදුම සහගත මිනිස්‌ රූපයක්‌ 'මැග්‍රිට්‌'ගේ කැන්වසය රසවත් කළේය. ඔහු The Rape (1934) නමින් සිතුවම් කළ චිත්‍රය සැබෑ ලෙසින්ම ස්‌ත්‍රී දූෂණයක්‌ විය. ස්‌ත්‍රියගේ සිරුරෙහි ශෘංගාරාත්මක ප්‍රදේශ පුරුෂ මුහුණකට සවිකර ඇති චිත්‍රය දකින රසික හදවත ගැහෙන සුලු සෞන්දර්යකින් මොහොතක්‌ නතර වේ. මුහුණෙහි දෙනෙත, නාසය, මුඛය ආදී වශයෙන් වන ලක්‍ෂණ නියමිත පරිදි නිර්මිත සිතුවම මුහුණක්‌ යෑයි නොපැවසීම උගහටය. මිනිස්‌ මුහුණ දරුණු ලෙස ස්‌ත්‍රී සෞන්දර්යයෙන් ඔපවත් කළ 'මැග්‍රිට්‌' මනුෂ්‍ය සිරුරෙහි විස්‌මිත චමත්කාරය රසිකයින්ට රසවත්ව දැනවූයේය. 'මැග්‍රිට්‌' මනුෂ්‍ය ශරීරයෙහි විස්‌මය කැන්වසය මතින් අත්දකින්නට තැත් දැරූ හෙයිනි. සෑම විටෙකම ස්‌ත්‍රී සිරුරෙහි සෞන්දර්යය විනිවිඳීමට රුචි කළ ඔහු ස්‌ත්‍රියගේ සෑම අවයවයකම රැඳි පුදුමය කැන්වසයෙහි විස්‌මයක්‌ බවට පත් කරමින් රසික සිත සෞන්දර්ය උද්යෝගයෙන් පිරවීය.

චිත්‍ර කලා ජීවිතයෙහි එක්‌දහස්‌ පන්සියයකටත් වඩා අධික චිත්‍ර සංඛ්‍යාවක්‌ චිත්‍රණය කළ 'මැග්‍රිට්‌' චිත්‍රයෙහි සෞන්දර්යේ අපරිමිත බැව් රසවත්ව ලොවට දැන්වූයේය. ඒ සඳහා කාව්‍යමය පරිකල්පනාමය සිතුවම්වලට ජීවය දුන් ඔහු සමාජමය යථාර්ථවලට මත්තෙන් චිත්‍රයෙහි සෞන්දර්ය සොයා ගත්තේය.

උදේෂිණි කුමාරි දයාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කටු ඇණුන මව්බිමකි ලේ ගැලුව
තටු නැතත් විහඟුන්ය දුක දැරුව
පටුනකින් සිඳ දමා කවි පිටුව
පිටුවහල් කළ හැකිද කවියෙකුව

-29.11.2013

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජයන්ත චන්ද්‍රසිිරි, නවතම සිනමා නිර්මාණය සමනල සංධ්වනිය මේ දිනවල තිරගත වෙනවා. ලංකාවේ පිරිමි කඳුළු පිහදාගෙන හෝල් එකෙන් එළියට ඇවිල්ල කියනවා. පට්ට Film එක කියලා. ඉතින් මාර ප්‍රශ්නෙ අඩේ මූ (චන්ද්‍රසිිරි) මොකාටද එන්නෙ, මොකක්ද කියන්නෙ කියලා. හැබැයි Film එක අන්තිම අවසානයේ හරිය එද්දි, මුල මැද අග ගලපගත්තට පස්සෙ තේරෙනව, නෑ මේ පරණ එකාම තමයි එන්නෙ කියලා. නමුත් ඔය පිළිවෙළ පටලව ගත්තට පස්සෙ චිත්‍රපටිය අන්තිමට සාවධානව බලන් හිටපු එකෙක් කියනව යකෝ මූ (මචං චන්ද්‍රසිරි, 'මු' කිව්වහම වැරදියට තේරුම් අරගෙන නඩු දාන්න නම් එපා මම, Me, මා ඔක්කොම උත්තම පුරුෂ මයන්නෙන් නිසා 'මු'ත් ඒ කුළේම තිබ්බ හැකියි මචං) පට්ට පොරක්නෙ, ඇඬෙනවා. Film එක අන්තිමට මූ අර පට්ට කියන පොර අඬවන අර්ථ සම්පාදනයක් (දෙබසක්) එකතු කරනවා.

බීතෝවන්ද කවුද මන්ද පොරක් කලාකරයන්ට මේ වගේ සියුම් සංවේදනයන් ලැබෙන්නෙ දේවානුභාවයෙන්ද මොකක්ද මගුලකින් කියල කිව්වට නෑ එහෙම නෙවෙයි මෙවැනි විශිෂ්ඨ නිර්මාණ බිහිවෙන්නෙ සංවේදි කලාකාරයන්ගෙ හදවත් පතුලෙ තැන්පත් වෙලා තියන මෙවැනි අතීත වේදනාවන් නිසා තමයි කියල මූ එතනදි කියද්දි. (සංවේදි චන්ද්‍රසිරි, සංවේදි මිනිස්සුන්ට, සංවේදි කලාව ගැන පාඩමක් කියල දෙනව..!) එතකොට මතක් වෙන්නෙ කලාව ගැන කඩ කඩ ඉන්න වෙලාවක අපිත් එක්ක ඉන්න කඩප්පුලියෙක් කියපු කතාවක්. අංකුර කලාකාරයෙක් ප්‍රතිභා සම්පන්න කලාකාරයෙක් කරන්න නම් තියෙන්නෙ හොයා ගෙන ගිහිල්ල ඌට boot එකක් තියන එක කියලා. ඒ නිසා මොකාටද එන්නෙ, මොකද කරන්නෙ කියල ලෙහාගන්න සංධ්වනියෙ එන මේ පද පෙල දෙක සුළු කරගන්න වෙනවා, මේ විදිහෙ අර්ථ සම්පාදනයක් එකතු කරගන්න වෙනව.

"ඉකි ගසා හඬන අතීතයක කඳුඟ එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා"


චන්ද්‍රසිරිගේ මුළු චිත්‍රපටියම තියෙන්නෙ මේ සින්දුවේ. චන්ද්‍රසිරිගේ මුළු කතාවම තියෙන්නේ මේ පද දෙකේ. ඇත්තටම චන්ද්‍රසිරි මුකුත් (වැඩකට ඇති දෙයක්) කියන්නේ නැති නිසා චන්ද්‍රසිරිට කියන්න වෙන කතාවත් මේ පද දෙකේ තියෙනවා. ඒත් ඊට කලින් Film එක ගැන මුකුත් කිව්වේ නැතත් අසාධාරණයක් නේ.


[DailyNews]

හෝල් එකෙන් එළියට ඇවිල්ල පිරිමි කියද්දි පට්ට Film එක කියලා මම හිටියේ පට්ට අප්සට් එකක, (වදීෂට වගේම මටත් කෙල්ලට Kiss එකක් වත් දෙන්න බැරි වුණු එකට) චන්ද්‍රසිරිත් එක්ක පට්ට තරහක මේ දවස්වල චෝගම් නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හිනිපෙත්තට නැගපු එක ගැන හදවත සංවේදි වෙලා තියෙද්දි අධිවේගී මාර්ග, සී ප්ලේන්, නෙළුම් පොකුණු, සංවේදි කාලාකාරයෝ අස්සට චිත්‍රපටියේ ආරම්භයෙ ඉඳන් අවසානය වෙනකම්ම දාන පච සින්දුවක් හින්දා Sex ඔක්කොම ඉවරයි. මූ උත්තම Love එකක් ගැන කතා කරනවා (-Sex කරන්න Room එකට ගියාම කෙල්ල Love ගැන කතා කරනවා වගේ-) හැබැයි මේ දෙක අතර කඩල වෙන් කරන්න බැරි මාර සම්බන්ධයක් තියෙනවා. (ඒ කිව්වෙ Love & Sex අතරද? නෑ නෑ මෙතන කිව්වෙ අර පච සින්දුවයි, අර පච පරපුරයි, පච නිර්මාණයි ගැන) ඒක නිසා ලංකාවේ පිිරිමි තුරුල්වෙලා ඉන්න කෙල්ලව අතෑරලා (තුරුල් වෙලා ඉන්න ගමන්, ඉඹින ගමන්, මිරිකන ගමන්) ප්‍රණ්‍යට love කරනවා (ආනන්ද භවන් එකෙන් තෝසෙ කාල දෙමළට බනිනව වගේ), ප්‍රණ්‍යත් එක්ක ස්වයං වින්දනයේ යෙදෙනවා. (චෝගම් නිසා ලංකාවේ මිනිස්සු මේ දවස්වල ස්වයං වින්දනයේ යෙදෙන එක වැඩිවෙලා). ඉතිං මම කඳුළු පිහදාගෙන, විරෝගෙන හෝල් එකෙන් එළියට ඇවිල්ල තොල විකාගෙන කෙල්ලට කියනවා පට්ට සින්දුව නේද කියලා... මාර කතාව... පට්ට Film එක... කියලා, කෙල්ල කියනව මාර Music නේද, පව් නේද වදීෂ (අනේ පව් ඔයා) මට (ඔයා ගැන) ගොඩක් දුක හිතුණ කියලා කොල්ලගේ පපුවට තුරුළු වෙනවා. අපි තුරුළුවෙලා ඇතුළට යනව, තුරුළු වෙලා එළියට එනව (ඇතුළෙදි අපි හිටියේ වෙන වෙනම ඒ වුණාට බැල්කනියෙයි, Box වලයි මීට වෙනස් කොටින්ම හතර වටේම හිටියේ තුරුළු වෙලා, මිරිකගෙන, ආසන දෙක එකක් වෙලා හැබැයි එළියට යද්දි සමහර අය වෙන වෙනම ගියා) ඉතින් මේක තමයි සංධ්වනියෙ පුර්ව හා අපර කතාව ඔන්න දැන් පුළුවන් චන්ද්‍රසිරි ගැන කතාකරන්න. (ඉතින් චිත්‍රපටිය ගැන මුකුත් කියලා නෑනේ එහෙනම් ඉතින් චන්ද්‍රසිරිත් මුකුත් කියලා නෑනේ ඒ නිසා තියෙන්නේ හිතාගන්න එක.)

"ඉකි ගසා හඬන අතීතයක කඳුඟ එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා"


චන්ද්‍රසිරි හිතනව SMS යුගයට කලින් තිබුණ පට්ට Love එකක් ගැන (71 ඉඳන් 90 විතර වෙනකන් දකුණේ කොල්ලො ඇඩ්‍රස් නැති මලමිනී වෙන කාලේ, උතුරට බෝම්බ පත්තු වෙන්න පටන් ගත්තු කාලේ, දකුණේ උත්තම සිංහලයෝ කර්ම කාරක දෙමෙල්ලු පුච්චන කාලේ, උතුරේ කොල්ලොයි, දකුණේ කොල්ලොයි මි.මි. 9 උන්ඩ වලින් පපුව හාරන්න පටන් ගත්ත කාලේ) මේ කාලෙ චන්ද්‍රසිරිල ගොළු හදවත කියවනව- පට්ට ආදරයක් ගැන සංවේදි වෙනවා, ඊට පස්සේ (89න් පස්සේ) උතුරේ යුද්දෙට ගියපු හමුදාකාරයන්ගේ ගෙවල් වලට වටේ එවුන් කොටු පනිද්දි සුගත් ඇවිල්ල චන්ද්‍රසිරිගේ පපුවට පිහියෙන් අනිනවා. ඒ නිසා සුගත්ට සාධාරණයක් ඉෂ්ඨ කරන එක එකපැත්තකින් චන්ද්‍රසිරිගෙ මගේ නොවන මගේම ආදරය වෙනව, වැඩේ මගේ නොවන මගේම ආදරයට බාරදෙනවා (ප්‍රණ්‍යට, යශෝධට) මේක තමයි අතීත වේදනාව. මේ ගනුදෙනුවට ලංකාවේ පරපීඩක පිරිමින්ට හොඳට Market කරන්න පුඟවන් Fantasize වෙච්ච ගැනීයෙක් ඕන. (ලංකාවේ ස්ත්‍රීවාදීන් ගෑනි කියන වචනයට කැමැති නැති නිසා මෙතනට ස්ත්‍රී කියලා දාලා පිරිමි කියන තැනට පුරුෂ කියලා සංස්කරණය කරගන්න වෙනවා, ගෑනු-පිරිමි, ස්ත්‍රී-පුරුෂ) ලංකාවේ ගෑනුන්ටත් පිරිමින්ගේ කැමැත්ත ඒක නිසා (ප්‍රණ්‍යව, යශෝධව) හොදටම Market. කොච්චර කොටු පැන්නත්, මොන මගුලේ ගියත්, කෑලි කැපුවත්, කොටින්ම පිස්සන් කොටුවේ හිටියත් (බලන්න ගරිල්ලා මාර්කටින්) ආගමානුකූලව හැදුනු වැඩුනු පතිවත රකින සංවර ගෑනියෙක් පිරිමින්ට ඕන වෙනවා. මොන මඟුල කරත්, අම්බානක පිට ගියත්, සමාජය ඉස්සරහ පතිවත රකින, මිනිහා මළත් මිනිහා වෙනුවෙන් සති පූජා කරන ප්‍රණ්‍යවගේ ගෑනියෙක් පෙන්නන්න පිරිමින්ගේ කැමැත්ත ඇතුළෙ ලංකාවේ ගෑනු කැමතියි. ප්‍රණ්‍යගේ අති උත්තම රණවිරුවා පුදුකුඩුඉරිප්පුවෙදි මැරෙන තරමට, පුදුමාතලන්වලදි සිංහලයා දිනන තරමටම, ප්‍රණ්‍යත් තාර්කික වෙනවා. ඒ නිසා ලංකාවේ සිංහල සමාජයට ප්‍රණ්‍ය, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන් කියන වේදනාවන් නැතුව වින්දනය කරන්න බැරිවෙන තරමට, චන්ද්‍රසිරිත් අසරණ වෙනවා. ඔන්න ඕක නිසා ලංකාවේ පිරිමි සමාජයට බඩු ගහන ගමන්, කොටු පනින ගමන්, Sex කරන්න අසංවර ගෑනියෙක් හොයන ගමන්, කොටට ගහගෙන යන කෙල්ලන්ට 'ෂා' කියන ගමන්, මට ඉන්නේ ප්‍රණ්‍ය වගේ ගෑනියෙක් කියලා කියනවා. ප්‍රණ්‍ය වගේ ගෑනියෙක් හොයනවා කසාද බදින්න. දෙමළට ගහනව, හලාල් එලවනව ඉතින් ඔය විදිහට කඳුළට, වේදනාවට, ගනුදෙනුව ගොඩයනවා. ලංකාවේ සමාජයේ කඳුළට චන්ද්‍රසිරිගේ ගනුදෙනුව (චිත්‍රපටිය) ගොඩයනවා.

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා



[33000.co]

එතකොට චන්ද්‍රසිරිගේ වදීෂ පව්ද? ගෑනු ළමයගේ ප්‍රශ්නේ චන්ද්‍රසිරිගේ සංධ්වනියේ ප්‍රකාශකයා තමයි වදීෂ. වදීෂ තමන්ගේ කඳුළත් එක්ක ගනුදෙනු කරද්දි ලංකාවේ පිරිමින්ට තමන්ගේ කඳුළ හම්බවෙනවා. වදීෂගේ මේ සන්තෑසියේ ගනුදෙනුව ගැන කතාකරද්දි අපිට හම්බවෙනවා අතුල¬සමිතව (දැන් මේක Fashion එකක්- නැගලා යන ගනුදෙනුවක්) මේ දෙන්න තමයි ඉකිගසා හඬන අතීතය එළිපිටම වික්කේ (ලිබරල් එකට ගැලපෙන විදිහට, අනිත් අය සළු පොරෝගෙන කරද්දි) හැබැයි සම්භාව්‍ය කට්ටිය (වහගෙන, සළු පොරෝගෙන කරන කට්ටිය) මේකට මාර කැතයි කියනවා ඒ නිසා එයාල කැමති වදීෂට. මිනිස්සු ප්‍රසිද්ධියේ බුදියගත්තොත් (හැමිනුනොත්) කුණුහරපයක් වෙනවා, හැංගිලා කරන එවුන් ගල් ගහනව. හැබැයි කාමරයක් ඇතුලේ හොරෙන් කරද්දි කවුරුවත් ගල් ගහන්නේ නෑනේ. නමුත් හැංගිලාකරත්, එළිපිට කරත්, (ප්‍රදර්ශන කාමය තියනවුන් පේන්න කරනව, දර්ශන කාමය තියන වුන් හොරෙන් කරනව) ආතල් එක ප්‍රමාණාත්මකව වෙනස් වුනත් මුන් ඔක්කොම ගන්නේ එකම විදිහේ ආතල් එකක් තමයි. චන්ද්‍රසිරිල තාම කරන්නේ රෙදි පොරවගෙන. මිනිහා ලිබරල් සමාජේ නියෝජනය කළාට (එතැන ගනුදෙනු කලාට) ඔළුව ඇතුලේ අතීත ශ්‍රී විභූතිය හින්දා ලිබරල් එකේ නිදාගන්න බෑ (නිදාගන්නේ වැඩ වසම් ඇඳක) චන්ද්‍රසිරිට සාපේක්ෂව අතුල ලිබරල් නිසා අතුල වර්තමානයේ ජීවත් වෙනවා. වර්තමානය විකුණනවා. චන්ද්‍රසිරිට විකුණන්න වර්තමානයක් නැති නිසා (ඔළුව ඇතුලේ තියෙන්නේ අතීතය නිසා) චන්ද්‍රසිරි වර්තමානයේ ජීවත් වෙනවා අතීතය විකුනමින්. එතැනදි මුහුණ දෙන ප්‍රතිවිරෝධය අස්සෙන් හැමතිස්සෙම චන්ද්‍රසිරි මතුවෙනවා. ඒ වගේම වර්තමානයේ ජීවත්වීම වෙනුවෙන් එළිපිට කරද්දි තමන්ගේ පැවැත්ම අවුල් වෙන හින්දා (එළිපිට කරන එවුන්ට) අතුලලට සළු අන්දවන්න චන්ද්‍රසිරිට සිද්ධවෙනවා. (මෙතනට අතුල වෙනුවට ෆර්සි මහේන්ද්‍ර රාජ... වගේ තව නම් ගොඩක් දාලා සුළු කරගන්න පුළුවන්- අතීත වේදනාවන් සම්බන්ධ වැඩි දුර ස්මරණයට චන්ද්‍රසිරිගේ අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්, ජැකාගේ අබා, සෝමරත්නගේ සිරිපැරකුම් තව තව එක එකා කරපු මහින්දාගමනය, ගාමිණී, සෙල්ලම් ඇතුළු වල්ල වැඩිපුර උරන්න පුළුවන්...)
(ඔබත් මාත් අතරේ මට අයිතිව ඇත්තේ අතීතයක් පමණි)

හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා


මෙතනදි වදීෂ ගැන තව ටිකක් කතාකරන්න ඕන. ගෑනු සහ පිරිමි වෙන් කරපු සමාජයක් විදිහටනෙ අපට වදීෂ ගැන කතාකරන්න වෙන්නේ. මේ නිසා ගැහැනිය වසඟකාරි වස්තුවක් විදිහට හමුවීම කියන පොදු තියරිය වදීෂටත් අදාළ වෙනවා. චන්ද්‍රසිරිට නොතේරුනාට චන්ද්‍රසිරි කතාකරන SMS යුගයට පෙරත් ප්‍රමාණාත්මකව වෙනස් වුණාට එහෙම තමයි කියලා තේරුම් ගන්න වෙනවා. එක්දහස් අටසීය ගණන්වල ජීවත් වෙච්ච මාක්ස්ටත් ඕනෑම පිරිමියෙක් ගෙලවැල ලාගන්න point එකක් විදහට ස්ත්‍රීය අර්ථකතනය වෙන පිරිමියාගේ ඓතිහාසික වේදනාවේ ඉතිහාසය තේරුම්ගන්න ඕන. ඒ නිසා ඔය පොදු තියරියත්, ලංකාවේ පිරිමින්ට ප්‍රණ්‍යගෙන් ගැලවෙන්න බැරි ගැටලුවත් ඇතුලේ වදීෂව සුළු කරගන් පුළුවන්. ඒ වගේම තමන්ගේ සතුට අනෙකුගෙන් ලබාගැනීමට ආදරය කියන අර්ථ ගැන්වීම ඇතුලේ සුන්දර දෙයක්, සුන්දර වරදක් විදිහටත් කරන ලබාදීමත්. සතුට නොලැබීම, ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නොහැකියාව, නොහැකියාව මත ලබන ස්වයං තෘප්තිය විරහව කියන අර්ථගැනීමක් ඇතුලේ දුක හිතෙන දෙයක් විදිහටත් කරන ලබා දීම තුළත්, මේ ලැබීමට නොලැබීමට වදීෂ කරන සංයෝජයෙන් ලංකාවේ පිරිමින්ට චන්ද්‍රසිරිගේ සංධ්වනිය පට්ට එකක් වීම සුළු කර ගන්න පුළුවන් වෙනවා.

ලියුම්කාරය කඩල දාපු, රටින් ආපු ලියුම්, යාළුවන්ට යවපු ලියුම්, සල්ලි එවපු ලියුම්, යුද්දේ ගැන ලියුම් මේ මගුල් අස්සේ පුණ්‍යට ලියපු ලියුම වදීෂට සංවේදි වෙනවා (ලංකාවේ පිරිමින්ගේ අර ගැටළුව ඇතුළේ) ඊළඟට වදීෂට ලියුම දෙන්න බැරිවෙනවා. වදීෂ වෙහෙසෙනවා (අර පොදු තියරියෙ හිරවෙනවා) හති වැටෙනවා, තැවෙනවා, මේ දෙක ඇතුළෙ අතීතය වේදනාවක් වෙනවා, වේදනාව ගනුදෙනුවක් වෙනවා, වේදනාව ගැන කියාගෙන ගෑනුන්ව ගනුදෙනු කරන්න පටන් ගන්නවා. බලන් ඉන්න අයට දුක හිතෙනවා. (පුණ්‍ය ගැන වෙනුවට වදීෂ ගැන) ඔන්න වදීෂට ආයෙත් අතීතය ලබාගන්න චාන්ස් එකක් හම්බවෙනවා. එකත් එක්ක අත්පත්කර ගැනීමේ භීතිකාවත් හොයාගෙන එනවා. පළවෙනි පාර ලියුම දෙන්න බැරිවෙනවා. නොහැකියාව පීඩාවක් වෙනවා. පීඩාව සමනය කරගැනීමේ අවශ්‍යතාවය එනවා. සතුට වෙනුවෙන් වේදනාව අනෙකෙක්ට බාර දෙන්න වෙනවා. වදීෂ පුණ්‍යට ලියුම ආපහු දෙනවා. (වේදනාව පුණ්‍යට බාරදෙනවා, පුණ්‍යට ආදරය ප්‍රකාශ කරනවා) එත් කාටවත් පුණ්‍ය ගැන දුක හිතෙන්නෑ.

ඇයි මට මේක ආපහු දෙන්නේ, පුණ්‍ය වදීෂගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. (පතිවත රකින ස්ත්‍රිය) භාර ගත්තනම් සංධ්වනිය ඉවරයි. වදීෂ ඉවරයි, චන්ද්‍රසිරිත් ඉවරයි, මමත් ඉවරයි, කොටින්ම ලංකාවේ පිරිමි ඉවරයි. ප්‍රතික්ෂේපය තුළ පුණ්‍ය පරම පිවිතුරු ස්ත්‍රිය බවට පත්වෙනවා. ආයෙත් පුණ්‍යට ආදරය කරන්න ගන්නවා. තමන් ගැන දුක හිතෙන්න ගන්නවා. තමන්ගේ වේදනාව භාරදෙන්න පුණ්‍යව හොයන්න ගන්නවා. සංධ්වනිය ගොඩයනවා පට්ට Film එකක් වෙනවා. එතකොට මූ මොකක්ද කියන්නේ.... අවසානයේ ඒ කතාව මේ විදිහට සංයුක්ත වෙනවා.


[33000.co]

"ඉකි ගසා හඬන අතීතයක කඳුඟ එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා"


ශ්‍රී ලාංකීය සංවේදි ජනතාවනි, දශක තුනකට වැඩි කාලයක් දහස් ගාණක් ජීවිත, දේපල විනාශ කරපු යුද්ධය හමුවේ අප ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් අප සංවේදි පියාණන්වහන්සේ එම සියලු දුක් ඉහිලූ සේක. ඒ කඳුළ සමඟ කළ ගනුදෙනුව ඔබට අද අග්‍රගන්‍ය කලා කෘතියක් (ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක්) හිමිකර දී ඇත. ඉතින් එය කෙතරම් අගනේද... අප සංවේදි පියාණන් වහන්සේගේ වද වේදනාවන් තුළින් කෙතරම් අගනා කෘතියක් නිර්මාණය වුණිද... ඉතින් ඔබලා ඔහුගේ මේ සියළු දුක් උසුලනු මැනවි... ඔහුගේ වේදනාත්මක සංවේදනයන් තේරුම් ගනු මැනවි... එය කෙතරම් අගනේද... ඉතින් රසවිදිනු මැනවි...

වැඩිදුර අධ්‍යනයට අමරසිරි පීරිස් ගයන මේ ගීතයේ පදවැල් ද රස විඳිනු මැනවි...

ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා


ඉසුරු චින්තන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඒක මහා පුදුම හුළඟක්. ඇත්තටම මහා නොසන්ඩාල හුළඟක්. ඇගේ කෙහෙරැළි එහා මෙහා අදිනවට වඩා වැඩක් ඒ හුළඟට තිබුණෙම නෑ. ටික වෙලාවක් ඒ දිහා බලන් උන්නු හිතට දැනෙන්නෙ මහා ඊර්ෂ්‍යාවක් කියලා තේරුණාම තමයි, තරහා යන්න කාරණාව භානුකට තේරුම් ගියෙත්. හුළඟට තියෙන අයිතියවත් තමන්ට නෑ කියලා දැනෙන කොට ප්‍රේමවන්තයෙක් කොහොම ඉවසන්න ද? ලෝකයේ බොහොමයක් ඇති නැති සියලු දේ අතර ඇති වන ප්‍රේම බාධක මේ ප්‍රේමයටත් අඩුවක් නැතුව තිබ්බා. ඒත් ඒ ප්‍රේමයත් කිසිම අඩුවක් පාඩුවක් නැතුව දළු දම දමා වැඩුණා. බාධක වැඩි වෙන්න, වැඩි වෙන්න ප්‍රේමයත් දෙගුණ තෙගුණ වෙවී වර්ධනය වුණා. එවැනි බාධක අභිමුවේ ප්‍රේමවන්තයින්ට ගණදෙවි නුවණ පහල වෙන බව දෙමව්පියන්ට මතක් වෙන්නෙ නෑ. ඒක පෙම්වතුන් ට වාසියක්. ඒගොල්ල වැට බඳින්නෙ තාමත් ඉපැරණිම සම්ප්‍රදායික ක්‍රම වලින්. වැටමාර වැට වලින් වැට පනින එක පෙම්වතුන්ට වැඩක් නෙමෙයි කියලා තේරුම් ගන්නකොට සමහර විට ඒ දෙන්නා කසාද බැඳලා ගෙවල් අරන් පදිංචි වෙලත් ඉවරයි. හැබැයි මේවා සදාකාලිකවම සමාජය තුළ ඇති වන ප්‍රශ්න. බටහිර පන්නයට බාහිර දේවල් වෙනස් කරගත්තට, අපිට තාම බෑ නිදහස කියන වචනයේ යථාර්ථයත් එක්ක ඒ හැටි පෑහෙන්න. ඒක අපිට තාම වචනයක් විතරයි. අනික දරුවන්ව නිදහස් කරනවා කියන කාරණයෙදි අන්ත පටුගාමී විදියට අපි හැසිරෙන එක තව කල්පෙකටවත් වෙනස් වෙන එකක් නෑ.. ඒක එන්නෙම දරුවන්ට තියෙන මහා ලෝබකමක් එක්ක. ඒ හින්දා අතාරින්න ලෝබයි. ඇහේ මූණෙ තියාගෙන හදන ගානට මැරෙනකම්ම ළමයි තමන් ගාව ඉන්න ඕන කියලා හිතන එක නවත්ත ගන්න හරි අමාරු ඇති. එහෙම හිතුවම දෙමව්පියො පව්. එහෙම හිතෙන්න ගන්න කොට මෙච්චර කාලයක් වැය කරලා කරපු සැලසුම් සියල්ල වතුරෙ ගියා වගෙද කියලත් භානුකට හිතෙන්න ගත්තා. ටිකෙන් ටික භානුකගෙ හිත මෙලෙක් වෙන්න ගන්නවා වගේ භානුකට දැනෙනවා. ඒ නිසා හිත තද කරන් භානුක ආයෙමත් අර නොසන්ඩාල හුළඟ ගැන කල්පනා කළා.

භානුක කොළඹ ආවෙ මාධ්‍යවේදියෙක් වෙන්න හිතාගෙන. කොළඹ කාශ්ටක පොළොවට මොකක්දෝ කැමැත්තක්, දවසක් දෙකක් යද්දි භානුකගෙ හිතේ ඇති වෙන්න ගත්තා. ඒ ඇයි කියලා හරිහැටි නොතේරුණත්, නුහුරු නුපුරුදු ගතිය මැකිලා කොළඹ රෑ අහසත්, හපුතලේ අහසත් එක වගේ පේන්න ගත්තා. තරු නැති දාට මහා ශෝකයක් වගේ දෙයක් අහසින් කඩා වැටෙන්න ගත්තත්, තරු දිලෙන රෑ අමුතු හැඩයක් ඒ අහසෙ ඇඳුණා. අර දෑකැති හඳ! ඒක හෙමින් හෙමින් කොළඹ අහසිනුත් පේන්න ගන්න කොට භානුක හිටියෙ හපුතලේ කන්ද නැග නැග. පැය කීපයක් ගෙවිලා යද්දි ඇස් බිමට හැරුණම උන්නු තැන් අමතක වෙලා තත්පර ගාණක් ගත වුණා ආයෙම කොළඹට එන්න. භානුකගෙ මුල් දවස් ටික ගෙවිලා ගියෙ එහෙම. ඒත් මොකක්දෝ කිතියක්, සොම්නසක් ඒ හැම දෙයක්ම ඇතුළෙන් ම ගලා ගෙන ගියා. 'ජනසන්නිවේදන පාඨමාලාව - 2007​' ෆයිල් කවරය උඩින් ම ලියලා තිබ්බා.

කිසිම කහටක් නැති උදේ තේ කහට උගුර දිහා බලන ගමන් අම්මගේ ඇස් වල පිරිච්ච කඳුළු බිංදු හැමදාම උදේට මතක් වෙන එක භානුකට නතර කරගන්නම බෑ. දැනට නැවතිලා ඉන්න තැන, අතක් දික් කරන්නවත් ඉඩක් නැති ජනේලෙන් එහා පැත්තෙ තියෙන වැල් රෝස පඳුරෙ ඉහිරිලා තියෙන පිනි බිංදුත් හරියට ඒ වගේමයි කියලා භානුක ඊළඟට හිතන්න පටන් ගන්නෙ ඒ දිහා අනිමිසලෝචනයෙන් ඉන්න ගමන්. වැල් රෝස පඳුරෙ මල් පිරිලා තිබුණට ඒක ගෙයි බිත්ති වලින්ම මුවා වෙලා තියෙන හින්දා කාටවත් ඒ ගැන වගක් නෑ. මල් පිපිලා, ඔහේ පරවෙලා යනවා. එච්චරයි. ආයෙමත් මල් පිපෙනවා. පිනි පිරෙනවා. දවස් ගාණක් ඉඳලා පරවෙලා යනවා. ඒක ඒ රෝස පඳුරෙත්, රෝස මල් වලත් ඉරණම. ඒත් මිදුල ඉස්සරහා තියෙන අනිත් හැම මල් ගහක්ම එන යන අයගේ අවධානය දිනා ගත්තා. ඒ හින්දම ගෙදර අයගෙ සාත්තු සප්පායම් හොඳහැටියෙන් ලබා ගත්තා. ඒත් ඒ මල් ගස් වලට වඩා මොකක්දෝ සමීප බවක් මේ හැංගිච්ච වැල් රෝස පඳුර එක්ක භානුකට තිබ්බා. හරියට තමනුත් ඒ වගේ කියනෙක භානුකට නිතර හිතෙන්න ගත්තා. භානුක දුක සැප කියන්න ගත්තෙ වැල් රෝස පඳුර ට! භානුක කවියක් කිව්වෙත්, ඇහෙන දකින අසාධාරණකම් වලට එරෙහිව ලිව්ව සටන් පාඨ කිව්වෙත් වැල් රෝස පඳුර එක්ක.

​***​**

ජනසන්නිවේදන පාඨමාලාව, මුල්ම දවසෙ කරණුමය වශයෙන් නීරස විදියට පටන් ගැණුනත්, ප්‍රායෝගික විවිධත්ව කාරණා එක්ක ඒක කිසිසේත්ම ඒකාකාරී හැඟීමක් ඇති කරන පාඨමාලාවක් නෙමෙයි. මුළු ලෝකයම බද්ධ වී ඇති විෂයයක් නිසා දවසින් දවස ඇහෙන දකින කාරණා වෙනස්. වෙනස් විතරක් නෙමෙයි, සමහර දේවල් පුදුම සහගතයි. අදහා ගන්න බැරි දේවල් එක්ක වෙනස්ම මානයකට හිත ගෙන යන එකත් ඒ විෂයයට ඇති ඇල්ම තව තවත් වැඩි කරනවා. ඒ ගැන උනන්දුව එන්න එන්නම වැඩි වෙන බවක් භානුකට දැනෙන්න වුණා. මෙච්චර කාලයක් සමාජයෙන් ලැබුණු තොරතුරු වල සත්‍යතාව සෙවීම සහ ඒවායෙහි සැබෑ තත්ත්වය පමණක් සමාජයට මුදාහැරීමේ වගකීමක් ඇති බව තේරෙන්න ගත්තා. මුළු සමාජයක වගකීම තමන් අත තැබුවාක් වැනි මහා බරක් ද හිතට ඇතුළු වුණා. මේ සියලු විෂය කාරණා අස්සෙන් හිනාවෙන ඇස් දෙකක් භානුක දැක්කා. මුල්ම දවසෙ ඉඳලා මගෑරියත්, ඒ ඇස් මගෑරලා ඉන්න බැරි විත්තිය ටික කාලෙකට පස්සෙ දැනන් හිටියෙ භානුකයි, වැල් රෝස පඳුරයි විතරමයි. ගෙදර නොගිය නිවාඩු දවසක, හදිසියෙම භානුක දැක්කා රෝස පඳුරෙ ඉඳලා බට්ටිච්චෙක් ඉගිලෙනවා. එදා ඉඳලා භානුක උදේ කෑම එකෙන් ඌට කොටහක් වෙන් කරා. ​

පංචාලි! ඒක කොච්චර ලස්සන නමක් ද? පංචාලි දියලගොඩ. ඈ නමින් පුවත්පත් වල බොහෝ ලිපි පළ වෙන්න ගත්තා. තර්කානුකූල කරුණු කාරණා සමඟ ඈ සමාජයීය ප්‍රශ්න ගැන සංවාද කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික ප්‍රසිද්ධියේම දේශපාලනික ප්‍රශ්න ගැන කතා කරන්නට ඈ පෙළඹෙමින් හිටියා. ඈ වටා එක්වෙමින් හිටිය පාඨක පිරිසත්, ඔවුනගෙන් ලැබුණු ප්‍රතිචාරත් වැඩිවෙන්න ගත්තා. භානුක හොයාගෙන ගියේ සාහිත්‍යය. ලෝක සාහිත්‍යය ගවේෂණය කරන්නට භානුක පෙළැඹුණා. එහෙත් නිතැතින්ම ඔහුට තිබුණු දේශපාලනික දැනුම පංචාලි දැනන් හිටියා. ඒ හින්දා ඔවුන්ට නිතර වාද විවාදයේ යෙදෙන්න කරුණු එමට තිබුණා. පංචාලිගේ දේශපාලන කොලම අනෙක් පසින් කවි පිටුවත්, විශ්ව සාහිත්‍යත් සංස්කරණය කරන්න එකම පුවත්පතක් ඔවුන්ට ආරාධනා කළේ වසර කීපයක් පුරා ඔවුන් ලියු දෑ තුළ ඔවුන් සැබෑවටම මිනිසුන්ගෙ හිත් ඇතුළෙ නමක් හදාගෙන උන් නිසා. ඔවුන් මිනිසුන්ට කතා කරමින් හිටියා. සමාජය දැනුවත් කරමින් හිටියා. පංචාලි, ඝෘජුවම දේශපාලන කතිකා වලට සම්බන්ධ වෙද්දි, භානුක සාහිත්‍ය මුහු කරමින් සහෘද ජනතාව ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරමින් හිටියා. දෙවිදියකට, නැත්නම් ක්ෂේත්‍රයන් දෙකක් ඔස්සේ ඔවුන් සමාජයට මෙහෙවර කරමින් හිටියා. ඒත්, ඇත්තටම ඒ එකම ක්ෂේත්‍රයක්.

භානුක කෘතහස්ත මාධ්‍යවේදියකු වශයෙන් දවසින් දවස පාඨක පිරිස වැඩි කරගත්තා. විශ්ව සාහිත්‍යය නිරන්තරයෙන් ඇසුරු කිරීම හේතුවෙන් කිසිදු පලුද්දක් නැතිවම ඉංග්‍රීසි බස හැසිරවීමේ නිපුණතාවක් භානුකට තිබීම ඔහුගේ රාජකාරියට මහත් අත්වැලක් වුණා. බාහිර ලෝකය ඇතුළෙ,​ භානුක ශ්‍රීකාන්ත විජේසිරි වැදගත් චරිතයක් වුණා. එහෙත් වැල් රෝස පඳුර හැර, කිසිවෙකු නොදත් ඔහුගේ ලෝකය ඇතුළත ඔහු ආදරයෙන් ආතුර වී සිටියා. ඇය, අර පංචාලි!

දුප්පත් පවුලක තරුණයෙක් වෙච්ච භානුකව, ධනපති පංතියේ තරප්පු පෙළේ ඉහළ නඟින්නට බලා උන්නු පංචාලිගේ පියා පිච්චියකට මායිම් කළේ නෑ. ඒත් පංචාලි කුඩා සන්දියේ ඉඳලම නිර්ධන පංතියේ තරප්පු පෙළ බහිමින් හිටියෙ. පෙරපාසලේ ඉඳලම බොහොමයක් දේවල් අනිත් අය එක්ක බෙදා ගැනීම පංචාලි ගේ සිරිත. මධ්‍යම පංතික පියාගේ හීනය ඉනිමඟ දිගේ ඉහළට යන්න. පංචාලි මාධ්‍යවේදිනියක් වුණේ ඇගේ බලවත් ආශාවට. කැමැත්තට. මුලින් නම් ගෙදරින් යුද්ධ ප්‍රකාශ කෙරුණා එකහෙළාම. ඒත් පංචාලි දවසින් දවස ඒ හරහා නමක් හදා ගත්ත එකට ඇගේ පියා සතුටු වුණා. ධනපති පංතියේ ව්‍යාපාරික පුතෙක් බෑණා වෙනකල් ඔහු සිහින දකින්න ගත්තෙ ඇය යෞවනියක් වෙන්නත් කලින්. භානුක! භානුක ඔහුගෙ ඒ සියළු සිහින කුඩුපට්ටම් කරලා දැම්මා. පංචාලිගෙ තාත්තට අනුව, භානුක යනු මහ ගහක ඉතා කුඩාම ඉත්තක් වෙද්දි, ඔහු තමන්ගෙ දුවට හෙවණ හදන්න පුළුවන් මහ ගහක් හොයමින් හිටියා. ඒත් භානුක එක දිගටම පංචාලිට ආදරය කළා.

​***​**

දැන් මේ හැමදේම වෙනස් කරන්නේ අර නොසන්ඩාල හුළඟ! ඒක මහා පුදුම හුළඟක්. මහා නොහික්මුණු හුළඟක්. හිතක් පපුවක් නැති ගානට හුඟක් දේවල් විනාශ කරන්න ඒ හුළඟට පුළුවන්. භානුකගෙ බලාපොරොත්තු පවා! පංචාලි පවුලෙ එකම දරුවා. කොයි තාත්තෙක්ද අකමැති තමන්ගෙ එකම දූට හොඳ අනාගතයක් ලැබෙනවට. එහෙව් එකේ, පංචාලිගෙ තාත්තා, පවුලෙ තවත් සහෝදර සහෝදරියන්ගෙ බර කරට ගන්න ඉන්න තමන්ට කැමති වෙයිද! ඒ තාත්තා මොන වගේද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒත්, ඒත් තාත්තා කෙනෙක්. භානුකට තමන්ගෙ අම්මා තාත්තා මතක් වෙන්න ගත්තා. ඇස් රතු කරගෙන වැල් රෝස පඳුරෙ පිනි පිරෙන්න ගත්තා. ​"​සමාජය ඉස්සරහා මහා විශාල මිනිස්සු වුණාට, තමන්ගෙ ලෝකය ඇතුළෙ ​අපි මොන තරම් කුඩා මිනිස්සු ද ​"​, භානුක දිගටම හිතනවා. හැඟීම් කියන ඒවට පුළුවන් මිනිස්සුන්ව ලොකු කුඩා කරන්න. ඒ ඒ වෙලාවෙ හැටියට. මේ වෙලාවෙ භානුක හුඟාක්ම කුඩා මිනිහෙක් බවට පත් වෙලයි හිටියෙ. කාටවත්ම නොපෙනෙන තරම් කුඩාවට.

ඉන් පස්සෙ හැමදේම කුණාටුවක් බවට පත් වුණා. පංචාලි මහා වැස්සෙම රැඩිකල් තීරණයක් අරන් ආවා. බෑග්ගෙක අස්සෙ ඇඳුම් කෑලි කීපයක් දමාගෙන තිබ්බා. භානුක ඒ කුණාටුවෙන් මොහොතක් වෙව්ලලා ගියා. පස්සෙ කොහේදෝ තිබ්බ අමුතු ශක්තියක් එක්ක, ගණදෙවි නුවණ පහළ වෙන්න ගත්තා. උගත්කමත්, බුද්ධියත් එක ළඟින් වාඩිවෙලා ප්‍රශ්නෙ විසඳන්නයි හැදුවෙ. පොඩි කාලෙ වගෙම පංචාලිගෙ මුරණ්ඩුකම, හිතුවක්කාරකම එහෙමම තිබ්බා. භානුක තමන්ගෙ ළඟින්ම පංචාලි වාඩි කරවා ගත්තා. ඇගේ හිස අතගාමින් ඇති තරම් අඬන්න ඉඩ ඇරියා. හේත්තු වෙන්න උරිස්ස දුන්නා. අන්තිම කඳුළු බිංදුව හළන කල්ම භානුක මොනවත්ම කිව්වෙ නෑ.

පවතින ආණ්ඩුව සහ මැතිඇමතිවරු විවේචනය කරමින් ඔවුනගේ අකටයුතුකම් සමාජ සංවාදයට ලක් කිරීම හේතුවෙන් පංචාලි ඒ වන විටත් රාජ්‍ය උදහසට ලක් වී සිටියා. ඈ ට නිදහසේ ගමනක් බිමනක් යාමටවත් සුදුසු පරිසරයක් තිබුණ්නෑ. පංචාලිගෙ පෙම්වතා වශයෙන් භානුකට ද කීප වතාවක්ම තර්ජන එල්ල වුණා. ඒත්, පංචාලි දිගින් දිගටම ලිව්වා. ආණ්ඩුවෙත්, මැතිඇමතිවරුන්ගෙත් අකටයුතුකම් සමාජයට හෙළිදරව් කරමින් ලිව්වා. ඒවායෙ ප්‍රතිඵල පංචාලිට විතරක් නෙමේ භානුකටත් ලැබුණා. සමහර දාට කළු ඇඳන් ආව මිනිස්සු පංචාලි වෙනුවට භානුකගෙ අතපය තුවාල කරලා දැම්මා. පංචාලිගෙ තාත්තා, පංචාලිට භානුක විතරක් නෙමෙයි, රස්සාවත් නවත්තන්න බල කළා. තාත්තට ඕන වුණේ පංචාලිව කසාද බන්දලා පිටරටකට යවන්න. වෙන ක්‍රමයක් ඇත්තටම ඒ වෙද්දි පංචාලිට ඉතුරු වෙලා තිබ්බෙ නෑ, ජීවිතේ බේරගන්න. ඒත් භානුකගෙ නම කොයිම වෙලාවකවත් එතැනදි තාත්තගෙන් කියැවුණ්නෑ. ඒ වෙනුවට, තාත්තාට ආදේශක නම් කීපයක්ම තිබ්බා. ඒත්, භානුක හැම කරදරයක් එක්කම, හැම අවදානමක් එක්කම පංචාලි ගාවටම වෙලා උන්නු හින්දා ඔහුගෙ හිත අස්සෙ පුංචි අනුකම්පාවක් වගේ හැඟීමක් ලියලලා ආවා. ඒ, ​"​කාගෙ වුණත් දරුවෙක්​"​ කියන හැඟීමෙන්. එච්චරයි.

අනෝරා වැස්සත් අරන් ගෙට ආව පංචාලි කඳුළු හෙළලා ඉවර වුණා. අලුත් ගැහැණියක් විදියට එතැනින් නැගිටලා ​,​ භානුක මේසෙ උඩ වීදුරුවක පුරවලා තිබ්බ වතුරෙක බී ගෙන බී ගෙන ගියා. අලුත් හුස්මකින් පපුව පුරෝගත්තා. භානුක දිහා බලලා පුංචි හිනාවක් තොල් පෙති මත්තෙ ඇඳ ගත්තා. ඇඳුම් බෑග්ගෙකෙන් භානුක හුඟක් දේ තේරුම් අරන් හිටියෙ. ඒත්, දෙමව්පියන්ගෙ හිත් පාරවන එක ගැන ඒ වෙද්දි භානුක හොඳින් හිතලයි තිබ්බෙ. අනික මේ වෙලාවෙ හැටියට භානුකට පංචාලිගෙ ජීවිතේ බාර ගන්න එක නෙමෙයි, බේර ගන්න පුළුවන්ද කියන කාරණය! ඒකට හයිය තියෙන එකම කෙනා පංචාලිගෙ තාත්තා. තමන් ඇත්තටම පංචාලි ට ආදරේ නම් කරන්න ඕන ඇයව ගෙදර ගිහින් ඇරලන එක. ඇගේ සුරක්ෂිතභාවය තහවුරු කරන එක. මේ, හැඟීම් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. බුද්ධියට ඉඩ දෙන්න ඕන වෙලාව. භානුක තේරුම් කළා.

භානුකත්, පංචාලිත් යථාර්ථයට මුහුණ දෙන්න තීරණය කරගත්තා. මේ ගොරබිරම් කළුව ටිකක් පහවෙලා යනකල්, ආපහු ගෙදර යන්න පංචාලි කැමති වුණා. පංචාලිගෙ ගෙදරට හැරෙන තැනට කිට්ටු අතුරු පාරක් අස්සෙන් වෑන් එකක් ආවා. කළු පාටින් වහගත්තු අතකින් පංචාලි ට වෙඩි තියද්දි ඒ ඉස්සරහාට පැන්නෙ භානුක. භානුකගේ හදවත පසාරු කරන් එක උණ්ඩයක් විදුලි වේගයෙන් ඇදිලා ගියා. වැටෙන්න යන භානුකව අල්ල ගනිද්දි දෙවෙනි වෙඩිල්ල පංචාලිගෙ පපුව මැද්දේ හිර වෙලා තිබ්බා. දෙන්නගෙම ලේ කන්දරාව වැහි වතුරට එක්කහු වෙලා පොඩි දිය පාරක් හැදිලා ගලන් ගියා. වෑන් එකවත්, කළු අත්වත් දකින්න තිබුණ්නෑ. හුඟාක් වෙලාවකට පස්සෙ වැහි තුරල් කරලා තිබ්බා. භානුකත්, පංචාලිත් එකිනෙකාට ළං වෙලා ඒ වැස්සෙම මහ පොළොව බදන්, නිදන් හිටියා.

මොහොතින්, සියලු රූපවාහිනී නාලිකා වලත්, එෆ් එම් නාලිකා වලත්, පසු දා සියලු පුවත්පත් වලත්, උණුසුම් පුවත් තීරුව උණුසුම් වෙලා, කර වෙච්ච ගඳක් පතුරවලා තිබ්බා. කාගෙ වුමනාවට එහෙම වුණාද කියන්න කවුරුත් දැනන් හිටියෙ නැති වුණත්, ඒවයෙන් ඇත්තටම පිලිස්සෙන මිනී ගඳක් ආවා. දවස් ගානකට සෑහෙන්න ප්‍රධාන පුවත! ''භානුක පංචාලි පෙම් පුවත සහ පංචාලිගෙ තාත්තා මැරයන් ලවා ඔවුන් යන එන මඟ දී භානුකට වෙඩි තැබීමත්, ඒ අතරට පංචාලි පැමිණීමෙන් ඈටත් වෙඩි වැදී තිබීම'' බව මහජනතාව හිතා​ ​ගත්තා. සමහරු කිව්වා, ඒ මරණ සැක සහිත බව. පරීක්ෂණ කළ දිගින් දිගටම කළ යුතු බව. ​ඒත් ඒවා, ඊට පස්සෙත් ඇද හැළුණු මුරුගසන් වරුසාවෙ ගහගෙන ගියා. ​

​ඉන් පස්සෙ​,​ හැමදාමත් බිම් කළුවර ගලන් එද්දි වැල් රෝස පඳුර කඳුළු පුරෝගන්න පටන් ගන්නවා. උදේ වෙද්දි​,​ ඒ කඳුළු හංග ගෙන මූණ බිමට හරෝගන්නවා. පස්සෙ දවසක​,​ හිස් වෙච්ච කාමරේට අලුත් සගයෙක් ආවා. උදේ තේ බොන්න කලින්, කට හෝදන වතුර උගුර ජනේලෙන් එහාට විසි කරන ගමන්, අලුත් සගයා ගෙට වැහිච්ච වැල් රෝස පඳුර දැක්කා. එකම මලක්වත් ​පිපිලා නැති වැල් රෝස පඳුර කපලා දාන්න ​,​ ගෙදර අයගෙන් අහලා බලන්න ඕන කියලා ​ඒ වෙලාවෙම අලුත් සගයට හිතුණා. අනිත් හැම මල් ගහකටම වඩා වැඩියෙන් පිනි පිරෙන්නෙ වැල් රෝස පඳුරෙ කියලා, බට්ටිච්චා දැනන් හිටියා. ඒත් ඇත්තටම ඒ පිනි නෙමෙයි. කඳුළු! පුරුද්දට වගේ බට්ටිච්චා හැමදාම උදේ, ඇවිත් ගියා. ඒත් කවදාවත් ඌට කෑම ලැබුණ් නෑ. භානුක ආයෙ එන්නැති බවත්​, රෝස පඳුර ආයෙ ගැබ්බර වෙලා මල් පූදන්නැති බවත් ඌ දැනන් හිටියා. ඒත්​,​ ආදරණීය බට්ටිච්චා​!​ ඌ හැමදාම ඇවිත් වැල් රෝස පඳුරෙ දුකසැප හොයලා බැලුවා.​ ​එකම දවසක්වත් නෑවිදින් හිටියෙ නෑ. එහෙම ආව එක දවසක, ඒ වැල් රෝස පඳුර එතැන තිබුණ් නෑ. වැල් රෝස පඳුර කවුරු හරි උදුරලා, ඊට එහායින් කුණුගොඩට විසි කරලා ​තිබ්බා!

-2013 නොවැ. 18

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඡායාරූප ශිල්පය හදාරන්නන්ට අතිරේක කියවීම පොතක් ලෙස භාවිතා කළ හැකි, ලාල් හෑගොඩගේ "ලෝකය එකම යායකි" කෘතිය ජනගත කිරීමේ උළෙල 2013 නොවැම්බර් මස 30වන දින, සවස 3:00ට කොළඹ මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මහාචාර්ය සරත් විජේසූරිය, පරාක්‍රම කොඩිතුවක්කු සමග ගාමිණී වියන්ගොඩ මෙහිදී කෙටි දෙසුම් පවත්වති.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හොවා ගෙන හිස
අතු පතර උර හිස
වෙන්ව යන්නට නියමිත
තුරු පතක් ඉකි බිඳී තනියම ...

නව ළදළු උපතට
ඉඩ සදා දිය යුතුය තුරු මත
වැඩි මහලු තුරු හිස
අත ගගා හිස කියයි ඇය හට ...

පිපුණු සුදු මල් කිණිති
එකින් එක නැමී නැමී
තබමින් හාදු සුවඳැති
මේ තුරු පතට සමුදෙති...

ඉල්පුණු නහර වැල් ඇති
වියළි දූවිලි පැහැය ගෙන ඇති
මේ තුරු පතට තව
හරිත පැහැ දළු අතර ඉඩ නැති ....

කුරුළු ගී හඬ ද
මිහිරි මල් සුවඳ ද
සිහිල් නල රැල්ල ද
තුති සිතින් සිහි කලා තුරුපත....

ඉනික්බිති අවසන
සෙමෙන් විත් අතු අගට
පියාගෙන දෑසම තදට
ගියා ඈ මද සුළඟ තුරුලට ....

විහඟ සත්සර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දවසකට දෙකකට වරක්
ගුස්පියක් වලියක් ඇදෙන
කඩුපාර පිහිපාර
හුළඟෙ යන
සමගිපුර කියා ඇන්ට්රියෙ ලියන
අහල ගම් හතම දත්
කොරියාව!

ඉස්කෝලෙ කට්ටි පැන
රස්තියාදුවේ ඇවිද
පොතක් දෙස ඇහැක් ඇර
නො බලාපු ,පොඩි මල්ලි
දිවා රෑ දෙකම
බාසාව වණපොත් කර
රට විරුවෙකැයි අබිසෙස් ලබා
නික්ම ගිය,
කොරියාව!

ඩොන්ගල් ද කොම්පියුටර් ද
වෙබ් කැම් ද ස්කයිප් තිර මත
මැවි මැවී හිනැහෙමින්
අම්මාගෙ නෙත කඳුළු පිසලෑව
කොරියාව!

හදිසියෙම
'වොන්' මිටි ගණන්
වමතෙහි තබා
පොඩි මල්ලිගේ
දකුණු අත රැගෙන
ගෙදර එව්
කොරියාව!

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉතිහාසය යනු රටක රාජ්‍ය පාලකයින්ගේ කීර්තිප්‍රභාව හෝ ඔවුන්ගේ නාමාවලිය නොව එක් එක් පාලකයින්ගේ අත්තනෝමතික දේශපාලනයට යටවී දුක් විඳි මිනිසුන්ගේ ජීවිත අන්දරයන් බව මම කවදත් විශ්වාස කළා. ඒ නිසා ඉතිහාසය හැදෑරීම සඳහා අප ඉදිරියේ ඇති මූලාශ්‍රයන් පිලිබඳව මා තුල ඇත්තේ බලවත් ප්‍රතිවිරෝධයක්. ඉතිහාසය හැදෑරිය යුත්තේ පහළ සිට ඉහළට බවයි මම විශ්වාස කරන්නේ. කෙසේ වුවත් අපේ ඉතිහාසය තුල පාලකයින්ගේ කෲරත්වය හමුවේ සාමාන්‍ය ජනතාව විඳි සමාජයීය පීඩනය මනාව සාහිත්‍යය ඇසකින් හසු කරගත් නවකතාවක් මෑතකදි කියවන්න ලැබුණා. ඒ මොහාන් රාජ් මඩවල සහෝදරයාගේ "ලොවීනා" නවකතාව. සිංහල රාජාවලිය තුල ඉතාම කෙළිලොල්, සෙල්ලක්කාර, වගකීම් විරහිත රජෙකු ලෙස සැළකෙන නරේන්ද්‍රසිංහ (ඔහුගේ අන්වර්ථ නාමය වන්නේ ද සෙල්ලම් නිරිඳු යන්නයි) රජු සමයේ සිට ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්වෙමින් මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින් අත්පත් කරගන්නා කාලය දක්වා දිගු කාලයක් පුරා මේ නවකතාව දිව යනවා.

ශ්‍රී ලංකාවේ කුලක්‍රමය මත පදනම් වන මේ නවකතාවේ මුඛ්‍ය කුලය ලෙස ගැනෙන්නේ ගාඩි වංශය හෙවත් රොඩී කුලය. රොඩී කුලයට අයිති ජන කණ්ඩායම විඳි අනේකවිද අතවරයන් හරහා මේ නවකතාව දිව යනවා. "ලොවීනා" නවකතාවේදී මොහාන් ඉතිහාසය භාවිතා කරන්නේ "පසු තලයක්" (Back Drop) ලෙසින්. ඒ නිසා මෙය ඊනියා ඉතිහාස පුනරුච්චාරනයකින් බැහැර වෙනවා. ඔහු එම ඉතිහාස පසුතලය මත ඉතාම නිර්මාණාත්මකව ගොඩනගන චරිත හා අවස්ථා සිද්ධීන් තුලින් අපට යළිත් අපේ ඉතිහාසය ප්‍රශ්ණ කරන්නට අවස්ථාව සලසා දෙනවා. මේ මුලු නවකතාවේ අස්සක් මුල්ලක් නෑර දිවයමින් සියලු සිදුවීම් හා චරිත එකට බැඳ තබන පිරිත් නූලක් බඳු චරිතය වන්නේ "පුණ්නා" හෙවත් "පුන්නී". ඒ උඩරට ගොවිගම කුලයේ ඉපිද රූපශ්‍රීය නිසාම රජුගේ අන්තඃපුර ස්ත්‍රියක බවට බලහත්කාරයෙන් රැගෙන ගොස් අනාචාරයේ හැසිරුනා යැයි රාජ උදහසට ලක්වී රොඩී කුලයට පහත හෙලන පුණ්නා හෙවත් පුන්නි ලෙසින් රොඩී කුලය තුලට මුසු වෙනවා. පුන්නී මේ නවකතාවේ පූර්වා අපර සන්ධි ගලපාලන හුය බවට පත්වන්නේ සංකේතීය කාන්තා චරිතයක් ලෙසින්. ඇය ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ රැහේ නොනිල නායිකාව බවට පත් වෙනවා. ඇය සුවිශේෂ බලයක් හා ශක්තියක් ඇති චරිතයක්. මේ චරිතය සතු සුවිශේෂ බව මොහාන් ගොඩනගන්නේ මායා යථාර්ථවාදී රීතිය භාවිතා කරමින්. නවකතාව පුරාම ස්වාභාවික රීතිය හා මායා යථාර්ථවාදී රීතිය එකට මුසු කරමින් (Blending) මොහාන් ගොඩන ආඛ්‍යානය තුල මතුවන්නේ අපූර්වත්වයක්.

මුලු නවකතාවම දහරාවන් තුනකින් ඉදිරියට ගලාගෙන යනවා. එනම්,

1. රාජ්‍ය පාලනයේ කුරිරු බව
2. කුල පීඩනය
3. කාන්තා පීඩනය හා ලිංගික සූරා කෑම

සිංහල රජුන්ගේ සිට විදේශීය පාලකයින් දක්වා ද රාජ්‍ය යාන්ත්‍රණය තුලින් සිදුකරන්නේ පහළම ස්ථරයේ ජන කණ්ඩායම් දැඩි පීඩනයක ලක් කිරීම. මෙය නූතන ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගනු රාජ්‍ය පාලන ව්‍යුහයන් තුලද අඩුවක් නැතිව සිදුවන බව අමතක නොකල යුතුයි. කෙසේ වෙතත් නවකතාවේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු, පුණ්නා බලහත්කාරයෙන් රැගෙන යාමත් කලකට පසුව බීමත්ව පැමිණ පොකුණක් තුලදී ඈ සමග ප්‍රථම වතාවට ලිංගිකව එක්වීම තුලත් දක්නට ඇත්තේ මේ බලහත්කාරයයි. පන්ති පීඩනයයි. කුඩා කල ඈ පිලිකෙව් කරන ස්වේත චර්මධාරියෙකු වන පෙද්රො ගැස්කොන් හෙවත් අප දන්නා "දස්කොන්" අතින් පුණ්නා රජවාසල තුලදීම ලිංගික අපහරණයට ලක්වන්නේ ද මේ තේරුමෙන්මයි. රාජ්‍ය පාලකයෙකුට තම පාලන ඒකකය තුල ඇති සියලුම් මානව හා භෞතික සම්පත් තමන්ගේ උපභෝග පරිභෝග වස්තූන් විනා අන් යමක් වන්නේ නැහැ. ඒවා පරිහරණය වන්නේ රාජ්‍ය පාලකයාගේ අභිමතය පරිදියි. පාලන ව්‍යුහයන්ගේ ස්වරූපයන් නාමමාත්‍රිකව වෙනස් වුවද අද පවා සිදුවන්නේ මේ ඉතිහාසය නැවත සිදුවීමයි. පරම්පරා තුනකට පසුව වුව සුදුහමක් සහිත "අපොන්සුවා" ට දාව උපදින "ලොවීනා", තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරයාගේ ලිංගික භාණ්ඩයක් බවට පත්වන්නේ ද ඉතිහාසය නැවත සිදුවන බව සනාථ කරමින්.

කුලපීඩනය වැනි වැඩවසම් සමාජ ලක්ෂණයක් අද ද අඩුවැඩි වශයෙන් දැකිය හැකි අපගේ සමාජය තුල ජීවත්වූ පහත්ම කුලයේ ජන කණ්ඩායමක් මුහුණ පාන ඛේදනීය කරුමයන් "ලොවීනා" නවකතාව තුල මොහාන් නිර්මාණය කරන්නේ අපට අප ගැනම දැඩි ලැජ්ජාවක් ජනිත කරමින්. නිවසක් නිවසක් ලෙස සාදාගන්නට ඉඩක් නැති, උඩුකය වසාගන්නට අවසරයක් නැති, යටිකය වසන වස්ත්‍රය දණහිසින් පහතට අඳින්නට ඉඩ හසරක් නැති, කුලවන්තයකුගේ ඉඩමක පය ගසන්නට නොහැකි ජනකණ්ඩායමක් විඳින්නේ අතිශය අමානුෂික සමාජ පීඩනයක්. "සසිරා" නම් තරුණයාට ගල් ගසා මරාදැමීම එය අපට දැනෙන කූටප්‍රාප්ති අවස්ථාවක්.

එවැනි අවස්ථාවන් මේ නවකතාව තුළ කිහිප තැනක දකින්නට පුලුවන්. රාජපාලනයෙන් සහ කුලවතුන්ගෙන් ඇතිවන අතුරු ආන්තරාවට බියෙන් පලා යන රොඩී සනුහරේ උදවිය ඉංග්‍රීසින් විසින් යටත් කරගත් මුහුදුබඩ ගල්කිස්ස ප්‍රදේශයට පැමිණීමෙන් පසුව තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරයාගේ අනුකම්පාවට බඳුන් වන්නේ "ලොවීනා" පිළිබඳව ඔහු තුල උපදින රාගනිශ්‍රිත ආදරය නිසා. ඔහු ඔවුන්ට නිවෙස් ඉදිකරගන්නට අවසර දෙන්නේත්, කැමති රැකියාවක නිරත වෙන්නට අවස්ථාව සලසා දෙන්නෙත් ලොවීනා නිසා. පියයුරු වැසෙන්නට උඩුකයට ඇඳුමක් අඳින්නට අවසර දෙන්නේ ලොවීනා ගේ මනබඳින පියයුරු අන් අය දකී යැයි උපදින ලිංගික මාත්සර්යය නිසා. එහෙත් කුලවත්තු එයට විරුද්ධ වන්නේ තවදුරටත් කුල ගර්වය ඔවුන්ගේ මනස් තුල නිදන් ගතවී ඇති නිසා. ලංකාවේ ආණ්ඩුකාර තනතුර මේට්ලන්ඩ් ට අහිමි වන්නේ එංගලන්ත කිරීටයට ලංකාවේ කුලවතුන් පෙත්සම් ගැසීමේ ප්‍රතිඵලයක් ලෙසින්. රාජ්‍ය පාලකයාට ලංව ඔහුගෙන් වරප්‍රසාද ලබමින් හිඳින ඉහළ ධනපති පංතියේ ගතිසොබාව මේ බව මොහාන් ඉතා සූක්ෂම ආකාරයෙන් නවකතාව පුරා නිර්මාණය කරනවා.

පිරිමියා විසින් කාන්තාව පීඩනය ලක්කිරීම අපගේ සමාජ ඉතිහාසය පුරාම දකින්නට ලැබෙන ලක්ෂණයක්. විටෙක තමන්ගේ පන්තියේ අය විසින් ද, තවත් විටෙක ඉහල සමාජ පන්තීන් විසින් ද, තවත් විටෙක රාජ්‍ය පාලකයින් ඔවුන්ගේ අන්තේවාසිකයන් විසින් ද අඩු වැඩි වශයෙන් කාන්තා පීඩනය හා ලිංගික සූරාකෑම් සිදුකරනවා. නරේන්ද්‍රසිංහ රජු විසින් ද, දස්කොන් අධිකාරම විසින් ද, බයියා විසින් ද පුණ්නා හෙවත් පුන්නී මේ ආකාරයෙන් ලිංගික සූරාකෑමට බඳුන් කරනවා. පිංචී අපොසුන්සුවා අතින් ද, ලොවීනා මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා විසින් ද මේ ආකාරයටම ලිංගික සූරාකෑමට ලක්වෙනවා. ලොවීනා ට එය පීඩනයක් බව දැනුන ද ඇයට එය කියාගන්නට ඉඩක් ලැබෙන්නේ නෑ. අනෙක් ගැහැනුන් දෙදෙනා එය සතුටින් ඉවසන්නේ ගැහැනුන් ඉපිද ඇත්තේ පිරිමින් වෙනුවෙන් බව සිතමින්. පුදුමයට හා හාස්‍යයට කරුන වන්නේ සියවස් ගණනකට පෙර සිදුවන දෙයම අප සමාජය මේ මොහොතේ ද සිදුවීමයි.

මේ නිසා ඉහත කී තුන් ආකාරයට "ලොවීනා" නවකතාව කියවිය හැකිවීම එහි විශේෂයක්. හුදෙක් මෙහි ඇති ලිංගික රමණයන් පමණක් ගෙන රසවිඳින්නෙකුට මෙය ලිංගික නවකතාවක් ලෙස තලුමරා රසවිඳිය හැකියි. නමුත් ඒ සියල්ල යටින් දිවෙන දෙවන පෙළ (Sub Text) කියවා ගත හැකිනම් අපේ ප්‍රෞඩ ඉතිහාසය යැයි සලුපිළි වලින් ආවරණය කර ඇති අපේ ඉතිහාසයේ ලැජ්ජා සහගත රංගනයන් මෙන්ම ඒ තුල සැඟව ඇති පීඩිතයන්ගේ විලාපයන් මෙන්ම සිහින් ඉකිබිඳුම් ද ඇසිය හැකියි. ඒ අරුතින් ඉතිහාසය නැවත කියවීම සඳහා මොහාන් ගේ "ලොවීනා" නවකතාව අපගේ හිසට එල්ල කරන පහර සියුම් වේදනාවක් දනවන්නක් සේම අප යලිත් දෙපයින් සිටුවන්නක් ද වෙනවා.

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හඳ බැබලිණි. ජූලි මාසයේ රාත්‍රිය නිසලය. ඉඳහිට සුළං පහරක් හමා ගියේය. වත්ත පුරා කොළ ගැටෙන සැහැල්ලු ශබ්දයක් ඇසිණි.

හමුවීමට නියමිත ස්ථානය වෙත තරුණ සුන්දරිය ළඟා වූයේ සෙවණැල්ලක් මෙනි. එහෙත් වටපිට කිසිවෙකු සිටින බව නොපෙනේ. හිටිහැටියේම ලතා මණ්ඩපයේ පිටුපස සිට දුබ්‍රොව්ස්කියි ඇය ඉදිරියේ පෙනී සිටියේය.

'සිදුවූ සියල්ල මම දන්නවා' යැයි ඔහු කීවේ පහත් මෙන්ම දොම්නස මුසු හඬකිනි. 'ඔබ දුන් පොරොන්දුව මතක් කරන්න!'

'ඔබ මා රැකීමට යෝජනා කරනවාද? ඔබ කෝප නොවන්න. එම යෝජනාව මා බියපත් කරනවා. ඔබ මට ආධාර දෙන්නේ කිනම් ආකාරයටද?' මාෂා ඇසුවාය.

'ඔබ වෛර කරන මිනිසාව ඉවත් කර දැමීමට මට පුළුවනි.'

'දෙවියන්ගේ නාමෙට ඔහුට අත තියන්න එපා ඔබ. ඔබ මට ආදරය කරනවා නම්, ඔහුට අත තැබීමට ඉදිරිපත් නොවන්න. කිසියම් විපතකට වරද කාරිය වීමට මා කැමති නෑ...'

'මම ඔහුට අත තියන්නේ නැහැ. ඔබගේ තීරණය මට ශුද්ධ වූ නියමයකි. ඔහුගේ ජීවිතය නිසා ඔහු ඔබට ණය ගැතියි. මම කිසිමදාක ඔබගේ නාමයෙන් නපුරක් කරන්නේ නෑ. මා කරන අපරාධ වලදී පවා ඔබ පවිත්‍ර විය යුතුයි. එහෙත් ඔබගේ කෲර පියාගෙන් ඔබ ගලවා ගන්නේ කෙසේද?'

'තවම බලාපොරොත්තුවක් තැබිය හැකියි. මගේ කඳුළු වලින් සහ මගේ බලාපොරොත්තු සුන් වූ ගතියෙන් ඔහු ගේ සිත දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මගේ තාත්තා මුරණ්ඩු වුණත්, මට බොහෝම ආදරය කරනවා.' ඕ තෙපලාය.

'පුහු බලාපොරොත්තු ඇති නොකරගන්න. තමන්ගේ සිතේ ඇතිවන හැඟීම අනුව නොව, බුද්ධිමත් ගනුදෙනු අනුව තරුණියන් පාවාදෙන විට, ඔවුන් පොදුවේ අඬන්නේ බිය සහ පිළිකුල නිසයි. ඔබෙග පියාත් ඔබේ කඳුළු එලෙස ගණන් ගනීවී. ඔබේ අදහස් වලට විරුද්ධව වුවද ඔබට වාසනාව ලබා දිය යුතු යැයි තීරණය කළොත් වන්නේ මොනවාද? ඒ මහල්ලාට ඔබගේ ඉරණම සදහටම බාර දීම පිණිස බලාත්කාරයෙන් ඔබ ඔහුට පාවා දීමට ඔබේ පියා තීරණය කළොත් මොනවා වේද?'

'එහෙනම්, එහෙනම් කළ යුතු වෙන කිසිවක් නැහැ. මා සොයා එන්න. මා ඔබේ බිරිඳ බවට පත් වෙන්නම්.'

දුබ්‍රොව්ස්කියි ගේ හදවත සැලිණි. ඔහුගේ සුදුමැලි මුහුණ දම් පැහැයට හැරිණි. ඒ මොහොතේදීම එය යළි පියවි පැහැය ලැබීය. හිස පහත දමා ගෙන ඔහු බොහෝ වෙලාවක් නිහඬව සිටියේය.



'තාත්තා ඉදිරියේ දණින් වැටී අනාගතය ගැන ඔහුට දන්වා සිටින්න. ඔබගේ යෞවනත්වය, රෝගි සල්ලාල මහල්ලා අසල ගෙවී යන සැටි විස්තර කරන්න. ඒ ගැන කටුක ඇත්ත පහදා දීමට තීරණය කරන්න. තාත්තා ඔහුගේ තීරණය වෙනස් නොකරන්නේ නම්... ඔබ භයානක ආරක්ෂාවක් පතන බව ඔහුට දන්වා සිටින්න....

ධනය ඔබට විනාඩියකට වුව සැපතක් නොදෙන බව තාත්තාට කියන්න. දුප්පත් කම සනසාලීමට පොහොසත් කමට හැකි වුවද, එය නුපුරුදුකම නිසා ඇතිවන මොහොතක් පමණකි. තාත්තාගෙන් දැඩිලෙස ඉල්ලා හිටින්න. ඔහුගේ කෝපයට හා තර්ජනයට බිය නොවන්න. බලාපොරොත්තුවක සේයාවක් ඇති වන තුරු පසු නොබසින්න. වෙනත් ක්‍රමයක් නැතිනම්....'


මෙතැනදී දුබ්‍රොව්ස්කියි නිහඬ වී දෑතින් මුහුණ වසා ගත්තේ හති ලමිනි. මාෂා ඇඬුවාය....

'මගේ අසරණ අහිංසක දෛවය' යයි ඔහු කීවේ කටුක ලෙස හුස්ම ඉහළට ඇදගෙනය. 'ඔබ උදෙසා මම ජීවිතය පූජා කිරීමට සූදානම්. ඔබගේ රුව ඈත සිට දැකීමත්, ඔබගේ අත ඇල්ලීමත් මට පරම සැපතක්. මගේ නොසන්සුන් හදවතට ඔබ ලංකර ගෙන මට මෙසේ කීමට ඉඩ තිබේ නම්: සුරදූතිය මියයමු! අසරණය මා උතුම් සැපතින් ඈත්විය යුතුය. මුළු මහත් ශක්තිය යොදවා මා එය පරදවා නැගී සිටිය යුතුය... මා ඔබේ දෙපා අසල වැටීමට සහ වටහා ගත නොහැකි මට තරම් නොවන මේ සැපත ලබා දීම නිසා දෙවියන්ට පින්දීමට මම සූදානම්. දැන් මගේ හදවතෙහි ඊර්ෂ්‍යාවට ඉඩ නැති බව දැන දැනම, මා එයට ඊර්ෂ්‍යා කරන්නේ කෙසේද?'

ඔහු ඇගේ තුනුවග සෙමින් වැළඳ ගෙන ඔහුගේ හදවතට ඇය ලංකර ගත්තේය. ඕ විශ්වාසයෙන් යෞවන කොල්ලකරුගේ උරහිසට හිස තැබුවාය. දෙදෙන නිහඬ වූහ.

කාලය ගෙවිණි. 'යාමට වේලාවයි' ඕ තෙපලාය. දුබ්‍රොව්ස්කියි නින්දකින් පසුව අවදි වුනාක් මෙනි. ඔහු ඇගේ අතක් ගෙන ඇඟිල්ලකට මුදුවක් පැලැඳවීය.

'මා සොයා පැමිණීමට ඔබ තීරණය කළොත්, මේ මුද්ද ගෙනවිත් මෙම ඕක් ගසේ බෙනයට දමන්න. එවිට කළයුතු දේ මම දනිමි'යි හේ කීයේය.

දුබ්‍රොව්ස්කියි ඇගේ අතක් සිප ගෙනැ ගස් අතරට වැදී නොපෙනී ගියේය.

[අලෙක්සාන්දර් පුෂ්කින් ගේ 'දුබ්‍රොව්ස්කියි' (1832) ගද්‍ය කෘතියෙනි.]

අලෙක්සාන්දර් පුෂ්කින්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගවේෂණය කළ යුතු තවත් පුළුල් ලෝකයක් ඇතැයි මුල්ලේගම කඳු මුදුනේ සිට පසක් කළෙමි.

හිඳින්නෙමි මම, හුදකලාව, නවගත්තේගම අපේ පුරාණ කටුමැටි ගෙයි, කඩා වැටුණු බිත්ති හා අතීත ගෙපල මත. අපේ බාලම පුතා සඳහා මෙම නටබුන් මත මගේ බිරිඳ, පුංචි ගෙයක් හදාගෙන යයි. වෙනත් ගමනක් යද්දි මම එහි ගොඩ වැදුනෙමි. රාත්‍රිය ගත කොට යන්නට මට ආරාධනාවක් ලැබෙයි. මගේ අම්මා මෙන්ම පුතාලගෙ අම්මා ද එළිමහනේ කොනක ලිපක් සාදා මඤ්ඤොක්කා තම්බමින් සිටි. අලුත් ගෙට තවම කුස්සියක් නැත. විදුලි ආලෝකය පමණක් ලබාගෙන ඇත. වෙනදා ඈ මා අවට හැසිරෙන්නේ ඉන්නවාද නොඉන්නවාදැයි නොදන්නා විදියටය. ඇය විසින්ම ඇයගේ පැවැත්ම අප්‍රකට කරගෙනය.

අද ඇය දොඩමළුය. හදිසියේ මගේ පැමිණිම නිසා විය හැක. අගනුවර මෑත තොරතුරු ද මා නොදන්නා මගේ ගමේ වගතුග ද ගොනුකරන්නට ඈ දොඩමළු වෙයි. අද නිකිණි පෝයට මුල්ලේගම පංසලේ සිල් සමාදම් වෙන්නට තීරණය කොටගෙන ඇති බවක් ඈ මට හඟවයි.

මුල්ලේගම වචනය ඇසු විගස වර්තමානය මට අමතක විය. මා හිඳගෙන සිටින කුඩා ආලින්දයේ එල්ලී සිටින බල්බයෙන් මිදුල ආලෝකමත් වී ඇත. මට ක්ෂණිකව මතක් වෙයි. ආදී කාලයක මේ මිදුල සඳඑළියෙන් නැහැවී බැබලෙමින් තිබු අවදිය. මිදුල පුරා මාගලක් එලා ඇත. පිළේ තබා ඇති ලාම්පු කුප්පිය වටා වනාන්තරයෙන් පැමිණෙන සිය ගාණක් විවිධාකාර කෘමින් රැස්ව ඇත. එහෙයින්, තාත්තාද තාත්තාගේ මිතුරන් කිප දෙනෙකුන්ද, මම ද මාගලෙහි හිඳගෙන අම්මා කෙරෙහි බලාපොරොත්තු තබා බලා හිඳිමු. ඈ උණු උණුවේ මේ දැන් බාපු කුරක්කන් පිට්ටු ද, දඩමස් ද, ඇඹුල ද පුරවාපු මැටි පිඟන් රැගෙන එයි. ගෙවිරාළට පළමුව ද, තාත්තාට දෙවනුව ද, මට තුන්වෙනුව ද සංග්‍රහ කරයි.

මිදුල ආලෝකමත්ව ඇත්තේ විදුලි ආලෝකයෙනියි මට අමතක වෙයි. බිරිඳ ඈත සක්වලක සිට කතාකරන්නේ යැයි මට හැඟෙයි.

"අද චන්ද්‍රග්‍රහණය ඉවර වෙන්නේ එකොළහටලු. අවුරුදු එකසිය විසිගාණකට පස්සෙලු. ඔය විදහට හඳ රාහු ගිල්ලේ ඔය තරම් දිග වෙලාවකට. ඔය විදියේ ම දිගම දිග රාහු ගිලිල්ලක් ආයි වෙනකොට අපි කවුරුත් මැරිලා ගොහින්. එංගලන්තෙ අපේ දූගේ දුවත් නෑ."අපේ මිනිපිරියගේ අනාගත මරණය ගැන ඇසීමෙන් මා තුළ සංවේගයක් ඇති නොවේ. මම පහන් සිතින් මිදුලේ කළාලය මත හිඳගෙන පිට්ටු කන මා ඇතුළු පිරිස දිහා බලාසිටිමි. මිනිපිරිය ද අපේ කිරිඅත්තාගේ උකුලේ හිඳගෙන පිට්ටු පිඟානට අත පොවන්නට දඟලයි. එහෙත් එංගලන්තයේ හැදෙන වැඩෙන ඇය අත දමන්නේ කොන්ෆ්ලේක බඳුනකටය. කොන් කියන්නේ බඩ ඉරිගු වලට යැයි ඇය නොදනී. චන්ද්‍රග්‍රහණය ඇය දකිනු ඇත්තේ රූපවාහිනී රාමු වශයෙන් පමණකි.

"අද ගමේ එච්චර සද්ද බද්දයක් නැත්තේ ඔක්කෝමලා වාගේ..." මගේ බිරිඳගේ කටහඬ මට ඈත පිට සක්වලකින් ඇහෙනවා වාගේය. ඉස්සරහ පාරේ කවුද කතා කරමින් යති. ඈත තැනක් බැල්ලියන්ගේ අඬදබර ඇසෙයි. බැල්ලියකගේ වේදනාව ඊටත් උඩින් ඇසෙයි. මේ මාසය සුනඛයින් ගේ මද කිපෙනා කාලයයි. බිරිඳට ඒ කිසිවක් ඇහෙන්නේ නැතුවා වාගේය. මා ද, තාත්තලා ද සඳඑළියේ මුදුලේ හිඳගෙන දඩ මස් සමඟ පිට්ටු කන අතරේ අපේ කඩියා අදෘශ්‍යමාන අවතාර වලට, සොරුන්ට බුරමින් වත්ත වටා දුවයි. බඩගින්නෙ සිටින තමා කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ඌ නිශ්චිත උත්සාහයක් ගනී.

වත්තේ තුරු මුදුන් අතරින් මට ආකාශය පෙනෙයි. රාහුගේ ග්‍රහණයෙන් මිදීමට සඳ තනන්නේ නැත. අභ්‍යවකාශයේ නිශ්චිතව සිදුවිය යුතු විපර්යාසයකට සඳ නිරායාසයෙන් ගොදුරු වෙයි. නියාම ධර්මයට අනුකූලව නිතැතින්ම බලසම්පන්න රාහුගේ ග්‍රහණයෙන් තමා මිදී යන බව චන්ද්‍රයා දැන සිටිනා සේය. මම ද එම දෛවෝපගත සිදුවීම දිහා උදාසීනව බලා සිටිමි. මුල්ලේගම ගැන බිරිඳ නැවත යමක් කියනු ඇසේ. එම වචනයෙන් ද්වනිත වන්නා වු ස්මරණයන් ඔස්සේ අනායාසයෙන් මම ද මුල්ලේගමට යන පාරේ ගමන් කරමි.

මුල්ලේගමට යන පාරේ මා සමග එකට පය තැබු කෙල්ලන්, කොල්ලන් බොහෝය. එදා ඔවුන් මා දුටුයේ විවිධාකාර හැඟීම්බර ධාරණාවන්ගෙන් ගෙතුනා වු විවිධාකාර චරිතයක් ලෙසය. මගේ ඇවැස්ස නෑනා ගමේ සෙසු සියලු කෙල්ලන්ට වඩා සියක් ගුණයකින් ලස්සනය. මා තනියට හදා වඩාගත් බයියා මස්සිනා මගේ එකම කළ්‍යාණ මිත්‍රයාය. පාප මිත්‍රයාය. ලේ ඥාතියාය. මගේ සූරවීර ආරක්ෂක භටයාය. අද ඔවුන් දෙස මා බලන්නේ වෙනස් ඇසකිනි. කාලය හා අවකාශය අනුව ඔවුන් මා තුළ ඇති කරන්නේ අතිශයින්ම වෙනස් දෘෂ්ටියක් ආත්මකොට ගත් හැඟීම් ජාලාවකි. බාලෙහි ලෙංගතු වු කෙනෙකු ඇතැම් විටෙක මා තුළ අද කිසිදු හැඟීමක් ඇති නොකරයි.

මුල්ලේගම අඩවිය එසේ නොවන්නේ මන්ද? එම අඩවියෙහි සැරිසරණ කාලයේදී ද මුල්ලෙගම කන්ද හා කන්ද ආශ්‍රිත වනාන්තරය එකම විදයට මට පෙනෙන්නේය. එහි අභයන්තර ගර්භයෙහි සැඟවි සිට සමයේ මගේ ඇඟපතට දැනුනා වු සියළු සංකීර්ණ අසංකීර්ණ භීතිය, සන්ත්‍රාසය, සැකය, සාංකාව බදු සුඛ දුඛ වේදනයන් එලෙසින්ම අද ද මට දැනෙන්නේය. යාථාර්ථයේදි ද අධියථාර්ථයේදී ද කාල්පනික ස්වපින ලෝකයේදි ද මුල්ලේගම අඩවිය මත්තෙන් මුල්ලේගම කන්ද එකම දැවැන්ත සත්‍යයක් සේ මා අබියස අහස් කුස පුරා නැඟී සිටින්නේය. බාලෙහි මෙන්ම අද ද මම වන අඩවියෙහි අතරමංව ඉදිරියේ නැඟී සිටිනා දැවැන්ත පර්වත රාජයා දිහා ඇස් හයා බලා සිටින්නෙමි.

නෑනලාගේ ගෙදර හවස් භාගය ගත කරන්නේ නම් මම ඒ ගෙදරින්ම කා නැන්දම්මාගේ පැඳුර අසළම පැදුරක් එලාගෙන නෑනා ද මම ද නිදා වැතිරෙමි. මහ රෑ අවදිවන ඇතැම් විටෙක බොහෝ වේලා මම අසා සිටින්නෙමි. මුල්ලේගම වනාන්තරය පැත්තෙන් අලි ඇතුනගේ කුංච නාදය ඇසෙයි. මද කිපුණු බළලුන්ගේ මෙන් අඳුන් දිවියන්ගේ කචබොචය ඇසෙයි. බකමුණන් හුම් හුම් ගායි. මුවැත්තියත් කාට ද මෙකකටද සංඥාවක් කරයි. වනාන්තරය තුළ සිටියත් නොහිටියත් උළලේණීගේ හඬ ඇසෙන්නේ එකම ගුප්ත සංවේගයක් දනවමිනි. හෙට උදේම අලුත් බත් දානය රැගෙන මුල්ලේගම පංසලට යන්නට ඕනෑ යයි අම්මා කියු බව මට මතක් වෙයි. හැතැප්ම තුනක් විතර ගමන්කොට දානය පිළිගන්වා තවත් හැතැප්ම තුනක් ආපසු ඇවිත් මිස අලුත් බත් දානයට ඉයු බත්මළු කෑම තහනම් බව ද ඊළඟට මම මහත් දොම්නසින් මෙනෙහි කෙළෙමි. හාමත මට එතරම් හුරුදෙයක් නොවන්නේය.

උදැසනම බයියා මස්සිනා ද මම ද කරත්ත පාරට බසිමු. තල්කොළ දාන පෙට්ටිය මස්සිනා ගේ හිස් මත්තේ වෙයි. කරත්ත පාරේ මැද තණපඳුරු දණක් උසට වැඩී ඇත. රෝද දෙකට හෑරුණු කානු දිගේ අපි ගමන් කරමු. සූර්ය තාපය උදේම අධිකව ඇත. අපට වෙහෙසක් නැත. දෙපස වැඩි නිරුපද්රව හැමදා තිබෙන රෑස්ස ගස්වල අතුපතර එකට බැඳී සෙවන සලසයි. වළිකුකුළන්ගේ හැඬළීම නොනවත්වා තවම ඇසෙයි. මා තුළ කුහුළක් ඇති වෙයි. ගංකුකුළන් මෙන් වළිකුකුළන්ද ද හිරු උදාව සමග හඬලන්නට පටන් ගන්නේද? මුව රංචුවක් පාර මැදට පැමිණ නැවතී මොහොතක් අප දිහා බලා සිට අනික් පසින් කැලෑ වදී.

අරච්චිරාගම, කෝන්කල්ලට වැවෙන අඩිපාරට හැරෙන තැනින් මුල්ලේගම පන්සලට යන කෙටි අඩිපාර දකුණු අතට වැටී තිබේ. අපි ඉතා පටු එම අඩිපාරට වැටෙමු. උදැසන ආලෝකය අතුරුදහන් වේ. සශ්‍රීක දැවැන්ත වනාන්තරයේ හැන්දැ අන්ධකාරය මැදින් අපි දෙදෙනා පුන්‍යකර්මයක් අරබයා සන්සුන් සිතින් ගමන් කරමු. රාත්‍රියේ හෙළන ලද අළුත් අලි බෙටි පෑගෙන විට දෙපතුලට උෂ්ණයක් දැනෙයි.

"ඉස්සරහ බිම බලාගෙන යමං සර්පයෝ මාරු වෙනවා," මස්සිනා කියයි. රැයක් දවාලක් බලන්නේ නැතුව වෛවර්ණ සර්පයෝ ඉතාම සංසුන්ව එහේ මෙහේ ගමන් කරති. පාර හරහා අතු වල දැවටී ඔළුව පහතට හෙලා ගෙන ගොදුරක් පාත් වෙනතුරු බලා සිටිති. මට නම් ඔවුන් කුරුල්ලන්ටත් වඩා ලස්සණය. මා වැඩියෙන්ම බය අඩිපාර අයිනේ පඳුරු වල පොදිහානේ ඉන්නා වැලි කිනිතුල්ලටය. පය ගෑවුණු විගස දාස් ගණන් කිනිතුල්ලෝ එක්වරම ඇඟට ගොඩවෙති. අමුඩයේ ද හිසකෙස් අතරද සැඟවෙති. ඇතැම් විටෙක උන් අරින්නට පතනකට බැස වරුවක් සිටින්නට සිදු වෙයි.

මේ ළඟ පාත අලියෙකු සිටින බව අපට දැනෙයි. උගේ බඩ ගෙරවිල්ල අධිකය.

"තනි අලියෙක්" මස්සිනා රහස් හඬකින් කොඳුරයි.

එදා පුංචිකාලේ වුව ද වැඩිහිටියන්ගේ කතාබහ ආශ්‍රයෙන් අලි ඇතුන්ගේ හැසිරීම් රටාව හඳුනාගෙන සිටියෙමි. තුන්පත් රැළ, මහ රැළ ඇත්නම් ඉතා ඈතක සිට වුව ද ඔවුන්ගේ දැඟලිල්ල, අතු කඩා කන හඬ අපට ඇසෙයි. තනි අලියා එසේ නොවේ. මනුස්ස ගඳ වැදුන ගමන් තනි අලියා නිසල වෙයි. බලා සිටී. ඔහු පහර දෙන්නේ තමන්ට අණතුරක් වෙතැයි හැඟුන හොත් පමණකි. ගණන් ගන්නේ නැතුව බඹයක් දුරින් වුවද සංසුන්ව ගමන් කළහොත් ඌ කලබල වන්නේ නැත.

අපි දෙන්නා සංසුන් ගමනින් ඒ හරිය පසු කරමු. තොර තෝංචියක් නැති රැහැයි හඬ පසු කරගෙන පංසල් ඉඩමේ සීමාවට ඇතුල් වෙමු.

එළිමහනට පැමිණි විගස මට දැනෙන්නේ හිස් බවකි. අවධානය විසිර යයි. අතන ඊයේ රාත්‍රියේ මුවෙක් බෙටි ගහලා. මේ මොකක්ද? ඌරෙක් කිරි අල හාරලා. අර ඉගිලෙන්නේ රෙදි හොරා. ලස්සණම කුරුල්ලා. ඌ රෙදි හොරෙක් වුණේ කොහොමද? කතන්දරයක් ඇත අම්මා කියාදුන්. කතන්දරය මම සිහිපත් කරමි.

මුල්ලේගම ඝන වනාන්තරය මැදින් ගමන් කරනා විට අපේ පුංචි සිත් මෙසේ එහාට මෙහොට ගමන් නොකරයි. නානාවිධ ආරම්මන කෙරෙහි ඇස් නොදුවයි. ඝර්මකලාපීය සියලු ගහකොළින් ද, තෘණ පඳුරු මල්වැල් වලින්ද ගහන වනාන්තරය මනුෂ්‍යයාගේ මැදිහත් වීමකින් තොරව සශ්‍රීකව සිටී. අනාගතයේ හෝ මනුස්ස ආක්‍රමණයක් වෙතැයි බලාපොරොත්තුව මෙන් රූස්ස ගස් අතුපතර එකිනෙකාට දැවටී ස්වාධීන දැවැන්ත ජිවිතයක් ගොනු කරගෙන එකිනෙකා බදාගෙන ශක්තිමත් ආරක්ෂිත පවුරක් සේ බැඳී සිටී. එය එකම ගුප්ත පොදියකි. කොතරම් සුර්ය රශ්මිය අධීක වුව ද තම ගුප්ත අති සංකිර්ණ අන්ධකාර ජීවිතය ඇතුළට කිමිදි හිරු රැස් ධාරාවට විනිවිදව වැටෙන්නට ඉඩ දෙන්නේ වනානන්තරයට වුවමනා තරමට පමණකි.

මෙම ගුප්ත ලෝකය හරහා යන විට අපගේ අවධානය අතිශයින්ම තීක්ෂණ වේ. එලිමහනේ මෙන් කල්පනාව විසිර නොයයි. රැහයින්ගේ එකාකාර ගෝසාව පසුබිමේ වුව ද විවිධාකාර ගුප්ත හඬවල් එම ගුප්ත බව තවත් තීව්‍ර කරයි. අතු කඩා වැටේ. අතු සෙලවේ. කුරුල්ලෝ විවිධාකාර මිහිරි ශබ්ද නඟති. දෙදෙනා ආගන්තුකයන් දෙදෙනෙකු මෙනි. සීරු මාරුවන සතා, සත්තු ගණපත ඝණ අන්ධකාරය තුළින් අප දිහා බලා සිටින බව මම දනිමි. මස්සිනා ද මම ද අහිංසක කුඩා ළමයින් දෙදෙනෙකු පමණකියි නිසැකව හඳුනා ගනිති. පාර හරහා සන්සුන්ව ඇදී යන සර්පයෝ මඳක් නතරව අපගේ දෙපා දෙස බලා සිටිති. අනතුරක් වන්නේ ඔවුන් පෑගුනොත් පමණකි. ඔව්හු ආත්මාරක්ෂාව සඳහා පමණක් දෂ්ට කරති. පිඹුරෙකුට වුනත් මිනිහෙකු ගොදුරු කර ගන්නට වුවමනාවක් නැත.වනානාතරය තුළ වුවමනා තරම් ආහාරපාන ඇත. අපගේ පසිඳුරන් නන්නත්තාරේ නොයයි. හාත්පස ගුප්ත ජිවිතය හරහා යන අපගේ සියලු ඉඳුරන් තියුණු අවධානයකින් ඒකාග්‍රව ගොනු වෙයි. වනාන්තරය කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බිය සැක සාංකාවකින් අපගේ ඇඟපත පවා සසළ වෙයි. වනාන්තර ගුප්ත ගර්භයට ඇතුල් වු විගස ඈත ගමේ ඉන්නා අපේ අම්මලා පවා අපෙන් ඈත් වෙති. වනාන්තරයට ඇතුළු වු තැන් පටන් වනාන්තරය අපේ අල්ප ජිවිත තම ආධීපත්‍යය යටතට ගනී. වනාන්තරයෙන් එළියට බසින්නට අපට ඉඩක් දෙන්නේ වනාන්තරයේ නීතිය නොකඩා අවනතව වනාන්තරය තුළ ඊටම ආවේනික සම්ප්‍රදායික තහංචි නොබිඳ යටහත් පහත්ව ශිෂ්ඨ විනය ධර්ම ආරකෂා කරමින් හික්මීමෙන් ගමන් කළහොත් පමණකි.

අඩිපාර දෙපැත්තේ ද උස් පඳුරුය, ලන්දය, ගස්ය, වම්පස ගොම්මන පිටුපස පුරාණ ගල් පතන වෙයි. සිල් සමාදන් වන්නට අම්මලා සමඟ ආ ඇතැම් විටෙක ළමා ලපටින් සමඟ මම ද සිල් රෙද්ද ගල් බැම්ම මත ගලවා දමා පතනට පැන ජල ක්‍රීඩා කරමින් දැස් ගොරක මද මෙන් රතුවන තුරු සිත්සෙ දිය නාමු. දකුණු පැත්තේ තුරු මුදුන් මතින් ඉතා උස ගලක් මතුවී මතුවී පෙනේ. මෙය ගල් අටුවකියි තාත්තලා කියති. සැබවින්ම අටුවක පියස්ස මෙන් එහි මුදුන නිර්මාණය වී ඇත. පුරාණ රජ දරුවන් අනාගත නියඟයනට සුදානම්ව මෙහි වී පුරවා තිබු බව මතයකි. මම මේ කතාව විශ්වාස නොකළෙමි. ගල් අටුවේ පියස්සේ කඩතොලු අතරින් වී ඇට ඩැහැගත් කුහුඹුවන් අදත් පිටවෙන්නේ යැයි තාත්තලා කියති.

"මලේ මට නංවස බඩගින්නක් ආවා තල්කොළ දානය පෙට්ටිය ඉසේ තබාගෙන යන මස්සිනා කියයි. ලූල් මාළු අලුත් ඇල්හාලේ බත් සුවඳ ඉවසන්නඩ බෑ. නැන්දම්මලා මේ තරම් සුවඳට උයන්නේ පංසලට උයනකොට විතරයි."

හතරපේරුවේ දායකයන් සඳහා ගේට්ටු හතරකින් යුක්තව සාදා ඇති පුරාණ බණ මඩුව පසුකොට අපි ආවාසය වෙත යමු. ඉතාම දිළිඳු කුඩා අවාසය දැවැන්තව මට පෙනේනේ එහි ඉතා උස් පිළ නිසාය.

“හාමුදුරුවෝ තවම බුදි වාගෙයි” මස්සිනා කියයි.

පිළ මත බුලත් තට්ටුව වෙයි. එහි බුලත් මැලවී වියලී ගොස් ඇත. දින කීපයක්ම ආවාසගෙය හාමුදුරුවන්ගේ පහස ලබා නැතැයි මම නිගමනය කරමි.

මගේ ද බඩ පණුවන් දඟලන්නට පටන් ගෙන ඇතැයි හැඟේ. සුවඳ වහනය වන දාන පෙට්ටිය අසල වාඩි වී සිටීම දුෂ්කරය.

“මස්සිනා නගිමුද කන්දට”

ඉන්පසු අපි මුල්ලේගම කන්ද නගින්නට ආරම්භ කළෙමු. කැඩි බිදි ගිය ගල් පර ඔස්සේ ගමන් කරනා විට බඩගින්න අමතකවෙයි. නැවතත් ගණපත අන්ධකාරය වටකොට ගත් වනාන්තරයකට පිවිසෙමු. ගුප්ත වනාන්තරය අපගේ සිත්සතන් සන්ත්‍රාසයෙන් කළඹයි. කැළඹීම මේවර උත්සන්න වන්නේ අපගේ අතපය ප්‍රබෝධමත් කරමිනි. කැඩුනු බිඳුනු ගල්පඩි පණිමින් ඉහළට ගමන් කිරිම තවත් එක් ක්‍රීඩාවකි. මේ වන විට බඩගින්න කොහෙන් අතුරුදහන් වුවාදැයි නිච්චියක් නැත.

ගලෙන්ම මතුකොට ගත් පඩිපේලියක් දිගේ අපි ගල හාරා නිමවු පතහ වෙත යමු. ඊට උඩැහින් කටාරම් කැපු ගල්ගුහා වෙයි. ශිලා ලේඛනයක්ද වෙයි. අපතේ හැර ඇති පතහේ වතුර කොළම කොළ පාටය. ගෙම්බෙකු දෙන්නෙකු පාසි මත වැඩි වී අප දිහා සැකයෙන් බලා සිටී.

කන්දේ අනික් පැත්තට ගියපසු බයියා මස්සිනා විහාර පිළිම ගෙවල් වල දොරවල් හරිමින් ඔහුටම ආවේනික වින්දනයක් ලබන්ට විය. දහඅට රියන් බදු පිළිමය විශ්ණු හාමුදුරුවන් ඉඳි පිළීමය නරඹනවාට වඩා ඔහු පරණ බර දොරවල් ඇරීමෙන්, වැසීමෙන් මහත් ආශ්වාදයක් ලබන්නා සේය. ඒ පැත්තේ ගුහා පේලියේ අවසාන පිළිමගෙයි ඇත්තේ විචිත්‍රාකාරයෙන් නාට්‍යාකාරයෙන් අඹා ඇති වෙස්සන්තර ජාතකයේ ජූජක බමුණා සම්බන්ධ පුවතයි. බයියා මස්සිනා මෙම පිළිම නරඹමින් තනියම සිනාසෙමින් කවට කමෙන් විනෝද වෙමින් වරුවක් විතර එතැන ගත කරන බව මම දනිමි.

මුල්ලේගම කන්ද මුදුනට ආ විගස ජූජකයා පමණක් නොව මහත් වු භක්ති ආදර පූර්වක හැඟීම් දනවන බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද මට අමතක වේ. බාලේහි මාගේ ලෙඩ දුකට පිහිට වුණු මහවිෂ්ණු හාමුදුරුවරුන් ද අමතක වේ. කාන්දමක් විළසින් කඳු මුදුන අයිනට එන ලෙස කිසියම් දෛවයක් මට අඬගහන්නා සේය. මම එහි ගොස් පුරාණ අරලිය ගහේ අත්තක් අල්ලා ගෙන එක එල්ලේ පහළට නැඹුරුවු ප්‍රපාතය දෙස බලමි. දෑස් එසවු විට පෙනෙන්නේ අනන්තය දක්වා විහිදුනා වු සිතිජයයි. කරදිය වළල්ලයි. සමතලා පොළොව හරහා විහිදි ගිය දර්ශනය ද පැතැලිය. දර්ශනයට ගැඹුරක් ලැබෙන්නේ මුල්ලේගම කන්ද ඉස්සරහා නැගී සිටි තවද වු කන්දක ගල් තුරු හිස් මුදුන හරහා වු දෘෂ්ඨි කෝණයෙනි.

දසවට පැතිරී ගියා වු මීදුමාරයකින් වැසී ගියා වු මෙම පැතලි දර්ශනයෙන් මම වශිකෘත වෙමි. ධ්‍යානගත වෙමි. තැනින් තැනින් දුමාර නැගි ආකාශය කරා ගමන් කරනු පෙනේ. මීදුමානයෙන් යට සැඟවි සිටිනා ගම්මානයකින් විය හැක. ගිනි තැබු හේනකින් විය හැක. ඒ අනුව මගේ කල්පනාවට යොමු වන්නේ කරදිය වළල්ල දක්වා ගව් යොදුන් ගණන් නිමක් නැති භුමි භාගයේ සැඟව ඇත්තා වු දාස් ගණන් ගම් නියම් ගම් හා කුඩා කුඩා නගරයි.

අපේ ගම්තුලානේ දවසක් රැයක් ගතවෙන විට මොනයම් තරමේ දේවල් සිද්ධ වෙනවාද? ඈතින් පෙනෙන ඉතා වට දුර ලෝකයේ දහසක් ගම්මාන නගරවල මා මෙතෙක් ජිවත් වුයේ අපේ ගම්මානයට සීමා වු සීමා භූමියකය. එය ද පුරාණ වෘක්ෂ ලතා ජාලයකින් වැසී ඇත්තේය. ආකාශය වුව මානව පෙනෙන්නේ වැව් තාවුල්ලේ, වැව් කන්දේ හෝ වෙම්බුපිටියක සිටය.

එක්තරා දවසක අපේ අම්මා මේ මුල්ලේගම කඳු මුදුනට මා කැඳවා ගෙන ආවාය. එය තීරණාත්මක දෛවෝපගත ගමනක් විය. අපේ ගමට ඔබ්බෙහි වු දිග පුළුල් ලෝකයක් පිළිබඳ අනියත හැඟීමක් මා තුළ ඇති විය. ඒ ලෝකය කවදා හෝ දැක කුමක් සිදුවන්නේදැයි දැන කියා ගත යුතු යැයි ද අසාවක් මා තුළ පිළිසිඳ ගත්තේය.

හදිසියේම බයියා මස්සිනා ගේ කටහඬින් මගේ ධ්‍යානය බිඳිණ.

"මලේ මට නං හොඳටම බඩගිනියි. යමු කොහේ ගියත් හාමුදුරුවෝ ආපහු ඇවිල්ලා ඇති දානේ වෙලාව පහු වේගෙන එනවා."

අපට දුවගෙන දුවගෙන ගල් පඩියෙන් පඩිය පණිමින් කන්ද බහින්ට එතරම් වේලාවක් ගත නොවීය. හාමුදුරුවෝ තවම පැමිණ නොසිටියහ. කොහේ වැඩියා දැයි අසා දැන ගැනීමට ද කොනෙකුන් නැත. අපේ හාමත ද අධීක වෙයි. දානය නොපිළිගන්වා අපාසු යන්නට ද නොහැක.

අර්බුදය උග්‍රවෙත්ම වේලාව ගතවෙත්ම බයියා මස්සිනාගේ ස්ථානෝචිත ප්‍රඥාව ක්‍රියාත්මක වන්නට විය. පළමුකොට ම ඔහු මිදුලට බැස හේමලයා දිහා බලාගෙන පියවර මනින්නට විය.

ඉර හැරිලා පියවර කීපයක්ම ගතවෙලා දානේ වළඳන වේලාව හොඳටම පරක්කු වෙලා දැං ආවත් එන්නේ වෙන කොහෙන් හරි වළඳලා.

මේ වචනවලින් නිශ්චිත තීරණයකට මග පෑදිණ. එහෙත් හිතට හොඳ මදිය. එහෙයින් ඔහු බුදු ගේ ලඟට ගොස් තැන් තැන්වල විසිරි තිබුණු පාත්‍රයක් අහුලා ගත්තේය. එය මනාව සෝදා දාන පෙට්ටිය විවෘත කොට කුඩා පාත්‍රය පිරවුයේය. මාද අඩ ගසාගෙන ගොස් පාත්‍රයට අතගසා සම්මාදම් කරවා ගත්තේ ඉන් ලැබෙන පිනක් හෝ පාපයක් සඳහා මා ද වගකීමකට බඳවා ගන්නා වාගේ ය.

බුද්ධ පුජාවෙන් පසු අපි දානේ පෙට්ටිය ද ගෙන අසළ වු ගල් තලාවෙහි වාඩි ගතිමු. දාන පෙට්ටිය මැදි කරගෙන දෙපස හිඳගෙන අත දමා පෙට්ටියන්ම ගෙන සිත් සේ කන්ඩ පටන් ගත්තෙමු. තවත් වේලාවක් ගත වෙන විට ලොකු ලොකු ලූල් මාළු කෑලි සඳහා පෙට්ටිය ඇතුළතම අපේ අත්දබර කරගනිමින් පොර කන්නට විය.

ක්ෂණයකින් මගේ දැස් නීලංකාර විය. හාමුරුවන් ගල්පොත්ත නැඟ එනවා මට පෙනෙයි. පොලොව පැලී තව මොහොතකින් පාපකාරී මා සතර මහා අපායටම ඇද වැටෙනවා ඇත. සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට තැත්කරමින් හාමුදුරුවෝ අප සිටිනා තැනට වැඩම කළහ. පාපකාරි හැඟීමෙන් භිතියට පත්ව ඇස් දල්වා බලා සිටින අප ද අපගෝ අතේ ඉඳුල් ද ඇර දමා තිබු දාන පෙට්ටිය ද නිරීකෂණය කළ උන්වහන්සේ කාරණය වටහාගෙන දෝ මද සිනා පහළ කළහ. ඉදිරියට පැමිණ දාන පෙට්ටියට එබී බැලූහ.

"තව ඉතුරුවෙලා තියෙනවා නේද? මටත් හොඳටමබ ඩගිනියි. ඔය ඉතුරුවෙලා තියෙන හරියක් මගේ පාත්තරේට බෙදාපල්ලා."

අප පසු කොට ගිය හාමුරුවෝ නැවත හැරී බැලූහ. කවට හිනාවකින් මුව සරසා ගත්හ. “හැබෑයි මේ වගක් ගමට එහෙම ගිහිල්ලා කියන්නෙ නෑ හොඳද?”

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සබඳතාවන්හි
වචන අංශය බිඳ වැටී
බොහෝ කල් ඉක්ම ගොස් ඇත

ඔබ ගැන ආරංචි - හාත්පස තොරතුරු
පිරික්සා බලන මුත්
සිටිනවා මම ද
තවම
නිහඬභාවයම සුරැක

අලුතින්ම ලියූ කවියක්
ඊයේ උදෑසන
එල්ලුවා මා බිත්ති පුවත්පත මත

ප්‍රේමයේ මේ අන්ධකාර පරිච්ජේදය තුළ
ආයාසයෙන් මා හිරකරගෙන ඉන්න මාවම
පිළිබිඹු කරන ඒ වචන දෙස බලා
බැස ගියා ඔබ ආයෙමත්
කිසිවකුත් සිදු නූන ලෙස
මිතුරියන් හා කතා බහ කර කර

මතුපිටින්
මම ද තවමත් ඍජුය

අප යනු
අපගේ සිරුරු - මුහුණු සහ
වචන පමණක් ම නොවන වග
කල්පනා කළා මා
ප්‍රාශ්වාස හුස්ම සුදුපාට කර කර
බොඩිමේ අඳුරු මුල්ලක ඉඳගෙන

ඔබව අමතන්නේ නැතිව - පෙරළී යන
දිනපොතේ සෑම පිටුවක් අගම
ජයග්‍රහණයේ ශෝකී පැහැය තැවරී ඇත

සමීපතම මිතුරියක් ඔබේ
හෙලි කළ රහසට අනුව
මේ මොහොත තුළ
ඔබද නියැලී සිටින්නේ
මා වැනිම දුෂ්කර සටනකය

මේ කෙටි දිවිය තුල
එකෙක් එකෙකුට නොදෙවනිව
රඟන මේ වෙහෙසකර රැඟුමෙන්
අපි අපෙන් පතන්නේ කුමක් විය හැකි ද?

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජෙයපාලන් නම් කවියා ‘නිදහස්’ ලංකාවේ ‘පිබිදෙන’ උතුරේ දී අත්අඩංගුවට පත්විය.

නිදහස් ලංකාව සහ පිබිදෙන උතුර

ඔබ නිදහස යයි කියන්නේ කවර තත්ත්වයකට ද? ඔබට ජීවත් වීමට බල කරනු ලැබ ඇත්තේ වැසිකිළි, වතුර , නිවාස සහ නිසි ආහාර යන කිසිදු මූලික පහසුකමක් නැතිව නම්, ඔබේ දරුවන් පාසල් කරා යාමට කිලෝ මීටර් ගණනක් පයින් ඇවිද යා යුතු නම්, බාහිරින් එන කවරෙකු ට හෝ ඔබ සමඟ කතා බහ කිරීමට, ඔබට උපකාර කිරීමට මිලිටරි අවසරය හෝ රාජ්‍ය යාන්ත්‍රණයේ අවසර ලබා ගත යුතු නම්, ඔබේම ප්‍රජාවේ මිනිසුන් සමඟ එදිනෙදා ජීවන ගැටළු සඳහා සාමාන්‍ය මිනිසුන් කරන අකාරයට මරණාධාර සමිතියකට හෝ සංවිධානගත වීම සපුරා තහනම් නම්, කොටින් ම මිය ගිය ඔබේ ඥාතීන් සැමරීම සැලකෙන්නේ අපරාධයක් ලෙස නම් ඔබ එය හඳුන්වන්නේ සමෘද්ධිමත් ආශ්චර්යයේ දේශයක් ලෙසද? නො එසේ නම් හිරගෙයක් ලෙසද?

කරුණාකර වරදවා වටහා නො ගන්න. මේ විස්තරය නාසි ජර්මනිය පිළිබඳ ඉතිහාස පොතකින් උපුටා ගැනෙන්නක් හෝ තලෙයිබානුවන් විසින් පීඩනයට පත් කරන ලද ඇෆ්ඝනිස්තාය පිළිබඳ විස්තරයක් නොවේ. මේ සාමය ස්ථාපිත කළා යැයි කියන ආශ්චර්යවත් ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර වැසියන් වසන හැටිය. ඔබ මඩකලපුවට ගිය ද කිළිනොච්චියට ගිය ද ත්‍රිකුණාමලයට ගිය ද අලංකාර ලෙස තැනූ ගොඩනැගිලි සහ ඉද්ද ගැසූ A-9, A-6, A -15 මාවත්වලින් ඔබ්බට පාර පැන මීටර් කිහිපයක් යන විට ඔබට හමුවන්නේ එබඳු එළිමහන් සිරකඳවුරු ය. යුද්ධය විසින් හරකබාන, එළුවන්, උපන් ගේ දොර පමණක් නොව පවුලේ නෑසියන් දරුවන් මාපියන් අහිමි වූ ජීවිත ය. කවදාක හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් පැමිණ එළුවෙක්, බයිසිකලයක්, පාසල් පොත් බෑගයක්, ඔරුවක් නැතිනම් රුපියල් දහදාහක ණයක් දී දුගී කමින් මුදවන තෙක් බලා හිඳින දිළින්ඳන් ය. කුලී වැඩ කර නැතහොත් මා දැල් ඇද, අඳ කුඹුරු කොටා උපයන මුදලින් වැඩි හරිය කසිප්පු බී ඉවර කරන සැමියන් නිසා විඳවන ගැහැණු ය. පයට සෙරප්පුවත් නැතිව බස් නොයන පාරේ සැතපුම් ගණන් අවු කූටකේ පාසලට බඩගින්නේ ඇවිදින නිදහස් ලංකාවේ දරුවන් ය.

එහිදී ඔබට තවත් බොහෝ දේ හමුවේ. තම වර්ගයා තුවක්කු බඳෙන් මිරිකා බලය රැකගනු වස් දඩ බල්ලන් මුදා හරින ලද දෙමළ මැර දේශපාලඥයන් කයිට්ස් වැනි දූපත්වලදී ඔබට හමුවේ. මේ වාසනාවන්ත වැසියන් මසකට රුපියල් දෙදහස් පන්සියයක ආදායමකින් සියලු අවශ්‍යතා ඉටු කරගෙන ආශ්චර්යය විඳිමින් සැනසීමෙන් වසන බව සහ තමන්ට අදාළ කිසිදු වසමක ළමා අපචාර, කාන්තා හිංසනය හෝ මානව හිමිකම් කඩකිරීම් සිදු නොවන බවත් එනිසාම අවම වශයෙන් ළමා ආරක්ෂණ කමිටු පවා මේ සමෘද්ධිමත් පොළවට අනවශ්‍ය බවත් දැඩිව විශ්වාස කරන දිසාපතිවරුන් මඩකලපුවේ දී ඔබට හමුවනු ඇති අතර පාරවල් තැනී මුර කපොළු අඩු වීම නිසා තමන් නිදහස් බව කියමින් පිටස්තරයින් ඉදිරිපිට ඇත්තට (හෝ බොරුවට?) සැනසුම් සුසුම් හෙළන ‘ඇතැම්' මධ්‍යම පාංතික දෙමළ හිතවතුන් ද ඔබට ත්‍රිකුණාමලයේ දී හෝ ඕනෑම තැනකදී හමුවනු ඇත.

ජෙයපාලන්! ඔහු එන්නේ එබඳු ලංකාවක ට ය. එබඳු උතුරකට ය. වසර බොහෝ ගණනකට පසු පැමිණි සිය මිතුරා සහ නෑයා සමඟ කතා බහ කරන්නට, තම සගයා ගේ අදහස් බෙදාගන්නට උතුරේ මාධ්‍යවලට අවැසි විනි නම් එය ඉහත සඳහන් කළ, පරසක්වලේ ගසා ස්ථාපිත කරන ලද ‘සාමය' මුලිනුපුටා දමන භයංකර ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට වර නැඟෙන මිලිටරි සක්වලකට ය.

ජෙයපාලන්...! ඔහු කවුද?

රිවිර පුවත් පතේ වෙබ් අඩවියට අනුව ඔහු ‘අත්අඩංගුවට පත් ඉන්දීය නළුවෙකු' වන අතර ලංකා සී නිවුස් වෙබ් අඩවියට අනුව ඔහු ‘ඉන්දීය ද්‍රවිඩ සිනමා කලා කරුවෙකි’. ඇතැම් මාධ්‍යවලට අනුව ඔහු ‘ජෙයපාලන් නමැත්තෙකි’.

සත්‍යය නම් ඔහු ලංකාවේ දෙමළ සහ සිංහල සාහිත්‍ය ලෝකයේ ද ආදරයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වූ ආදරණීය කවියා බව ය. යාපනයෙහි උඩුවිල් නම් කුඩා ගම්මානයෙහි ඉපිද යාපනය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ග්‍රන්ථ 12 ක් පමණ පළකොට සම්මානනීය වූ කවියෙකු බවය. උතුරෙහි ඩෙල්ෆ් වෙරළත හිඳගෙන දකුණේ ශ්‍රී පාදය ගැන ද 71 සහෝදරවරුන් ට ද කවි ලියන්නට තරම් හදවතක් තිබූ කවියෙකු බවය.

“.......යෝධයා
යම් දිනෙක
ශ්‍රී පාද කඳු යාය සසලවා
ඉන්දියන් සාගරේ අගාධෙක
සැඟව යනු නිසැකමය
එසඳ මෙහි මිනිස්කම අවදි වී
සියලු අත්වල පැළඳි යදම්වැල පුපුරාවි
මල් උයන්වල රැඳුණු සොඳුරු බව හා සමඟ
තටු ගසා පියාඹන සියොත් කැළ සේම
හැමගේම ජීවිතය
නිදහසේ පියාපත් ලබනු ඇත.”


යෝධයෙකු ඇද වැටුණු කඳුයාය ( 1982) | වී.අයි.එස්. ජෙයපාලන්
පරිවර්තනය : නිලාර් එන්. කාසිම්
[සහෝදර පියාපත් | 2006]

ඔහු ලේඛනයට පිවිසෙන්නේ 70 දශකයේ විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙසය. 1986 දී ඔහු රටින් පිටව යන්නේ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසය. 1988 පටන් නෝර්වේ හි රැකවරණය ලද ඔහු දැන් නෝර්වේ පුරවැසිභාවය ලබා එහි ජීවත් වෙයි. ඔහුගේ කාව්‍ය සහ කෙටි නවකථා ඉංග්‍රීසි, සිංහල සහ නෝර්වීජියානු භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර තමිල්නාඩුවේ බොහෝ විශ්ව විද්‍යාල සහ පාසල්වල පෙළ පොත් ලෙස පරිහරණය වේ. දකුණු ඉන්දියානු සිනමාවට ද සම්බන්ධ ඔහු සිය රංගනය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වී ඇත.

ජෙයපාලන් මෙම මස නම වැනිදා සිය මව් බිමට පැමිණෙන්නේ සත් වසකට පසුවය. ඔහුගේ මාධ්‍ය සගයින් සහ මිතුරන් මාධ්‍ය හමුවක් පවත්වා පිළිගන්නේ දශක ගණනාවක් තිස්සේ උතුරේ සිය නෑයින් උදෙසා මෙන්ම උතුරු දකුණු කවුරුත් එකම පොළවක ජීවත්වන සිහිනය පෑනෙන් දුටු මිතුරා පිළිගන්නට ය. මාන්කුලම් හි දී ඔහු අත් අඩංගුවට ගැනෙන්නේ ඒ හමුවෙන් පසු අවමඟුලට පවා සහභාගී විය නොහැකි වූ සිය මව ගේ සොහොන වෙත පළමු වරට යන ගමනේ දී ය.

ආගමන විගමන නීති කැඩූ බවට චෝදනා කරමින් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන වවුනියාවෙන් කොළඹට රැගෙන ආ ඔහු, ආගමන විගමන ඒකකයට භාර දෙනු ලදුව, දැනට මිරිහානේ රඳවා තබා ගෙන සිටින බවට වාර්තා වී තිබෙයි.

උන්ගේ නීතිය සහ උන්ගේ සාමය!

ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකයා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ‘ඔහු ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රටේ සාමය බිඳ වැටෙන සේ කටයුතු කරමින් සිටි බව' යි.

බිඳවැටෙන්නට යමක් තිබිය යුතුය. ලංකාවේ සාමය නමින් ඔවුන් හඳුන්වන්නේ දකුණේ අප අත්විඳින්නා වූ හුස්ම හිරකරවන ජීවිතය ද නො එසේනම් උතුරේ සහෝදර මිනිසුන් ගෙවන්නා වූ සිපිරි ජීවිතය ද යන්න පළමුව බේරා ගත යුතුය. නොඑසේ නම් ජනාධිපතිවරයා අන්තිම හැඟීම්බරව චෝගම්හි දී පරසක්වල ගසමින් තිබෙනවායයි කී, එමෙන්ම, අයි ටී එන් එකෙන් සහ සිළුමිණෙන් මෙන්ම බොහෝ පෞද්ගලික මාධ්‍ය විසින් ද පැවැත්ම තකා මතුරන ආශ්චර්යය ඇත්තටම තිබෙන්නේ කොහේදැයි සොයා ගත යුතුය. ලංකාවේ රජය උතුරේ තිබෙනවායයි කියන-නැතහොත් මුළු රටේම තිබෙනවායයි කියන මේ ‘සාමය' යනු අතුරුදන් කිරීම් , පළවා හැරීම් , මිනිමැරුම්, වංචා, කොමිස් , දූෂණ සහ මැරකම්වලට කියන තවත් නමක් දැයි පසිඳ ගත යුතුය.

දකුණේ රජය සහ එයට හවුල් වූ සියලු පාර්ශවයන් විසින් එක් ජනවර්ගයක් අධිනිශ්චයකරමින් අනෙක් ජනවර්ගය සමූලඝාතනය කොට සදාකාලික නිරයකට පිරිහෙළා තිබේ. උතුරේ ඒ කටුක යථාර්ථයේ හෘද සාක්ෂිය දකුණේ මෙන්ම කාපට් පාරවල් අතුරා උස් ගොඩනැගිලි තනා නිහඬ කළ හැකියයි රජය විශ්වාස කරයි. ඒ විශ්වාසය හෙළවෙන ඕනෑම දෙයක්, එනම් දකුණේ ගැටළු ගැන කතා කිරීම මෙන්ම උතුරේ මිනිසුන් එක් රැස්වීම ද රෙජීමයේ ‘සාමය' නැති කරන්නක් වී ඇත්තේ එබැවිනි.

ඔවුන්ගේ ඒ විශ්වාසය කවියකින් පවා සෙලවෙන සුළු ය. කවියෙකුට පවා බියවන සුළු ය. එහෙත් කවියෙකු සතු අවියෙහි බලය ඔවුන්ගේ ඒ බිය ම ය.

ලංකා රජයේ කබරගොයා තලගොයා කරගැනීමේ නීති ප්‍රතිපත්ති යනු අපට අලුත් දේවල් නොවේ. දුමින්ද සිල්වා ත් යහතින් දේශපාලනය කරන රටක, කේ පී ට නඩු නැති රටක, ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය නායකයින් ඇප පිට තවත් ගැහැණුන් දූෂණය කරන රටක කවියන්ට සූරියා පායන්න හැටියක් නැත. ‘දමිළ කවියේ ශ්‍රී ලාංකික සලකුණ - ජෙයපාලන්' ලියමින් සහ ‘සහෝදර පියාපත්' නමින් ජෙයපාලන් ඇතුළු දෙමළ කවියන් ගේ කවි දෙමළ බසින් සිහල බසට පරිවර්තනය කළ නිලාර් එන්. කාසිම් නම් එවකට ජෙයපාලන් ගේ මිතුරා අද ඔහු ගැන වන්නි පෝස්ට් වෙබ් අඩවියට ලබා දී තිබුණේ මෙවැනි අද්භූත ලෙස ‘මධ්‍යස්ථ' ප්‍රකාශයකි.

"ඇත්තටම ජෙයපාලන්ගෙ මේ සිදුවීම සම්බන්ධව මං මේ මොහොතෙ දැනුවත් නැහැ. අනෙක් අතට රාජ්‍ය සේවකයෙක් වීම නිසාම මට මේ ගැන කතා කරන්න වෙන්නෙ යම් සීමාවක ඉඳලයි. සාමාන්‍යයෙන් යම් නිර්මාණකරුවෙක් වෙත සහ කලාව වෙත එල්ල වෙන වාරණයට විරුද්ධයි කියන මතයේ මං ඉන්නවා. විශේෂයෙන් ජෙයපාලන් කියන කවියා ගැන මා තුළ ගෞරවයක් සහ ඔහුගේ භාෂාව,යෙදීම් සිංහල සමාජය පිළිබඳව පුළුල් තැනක තියෙනවා… මෙම සිදුවීම තවමත් නොදන්නා නිසා මට ඒ ගැන සංයුක්තව කතා කරන්න බැහැ."

රාජ්‍ය මාධ්‍ය තුළ රෙජීමය විසි කරන කටු ලෙවකන තත්ත්වයට ඇද වැටී පැවැත්ම උදෙසා සියතින් නියපොතු ගලවා ගත් නිලාර්ලා ට එසේ වූ පමණින්, ලංකාවේ මාධ්‍යවලට සහ පොලිසියට ඔහු ‘ජෙයපාලන් නමැත්තෙකු’ වූ පමණින් අන්තර්ජාතික ප්‍රජාවට හෝ ඔහුට ආදරය කරන මිනිසුන්ට ඔහු එසේ වන්නේ නැත.

ජෙයපාලන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය!

හෘද සාක්ෂියක් ඇති මිනිසුන් පෙළ ගැසිය යුත්තේ ඒ වෙනුවෙනි.

ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අම්මගෙ මළගමට
එන්නට නොහැකි වුණු පුතෙකුට
වසර හතකට පසු
ඇගෙ සොහොන්කොත අතගා
කඳුළු බිඳුවක සීතල
විඳින්නටවත් ඉඩ නැති
අම්මගේ රටක් මෙය.

පුරවැසි බවද ප්‍රශ්නය
සෙනඟ විතරක් සිටිනා
පුරවැසියකුදු නැති රටකට?

පුරවැසියන්ගෙ අත්බැඳ
හෙලුකොට්ටෙන් තබා
වෙඩි තියන රටකට
අම්මගෙ සොහොන් කොත ළඟ
කිරි සුවඳ ඇහිඳින
කවි‍යෙකුද ප්‍රශ්නය
අම්මගෙ රටක් මෙය.

පුරවැසියන් ඇවිත්
වතුර ඉල්ලනකොට
උණ්ඩ ගිල්ලන රටකට
පුරවැසි බවද ප්‍රශ්නය?

ආඩම්බරය හැර
අන් කිසිදු හසරක් නැති
හීනෙනුත් හිනැහෙන
එක තාත්තෙකු මිස
හිනාවෙන්නට හැකි
එකදු අම්මකු නැති
අම්මගෙ රටක් මෙය.

2013 නොවැම්බර් 25

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුද නොද බිද
බද තෙද තද
කෝටි තිස්තුනක්
දෙව් රද සාමිනේ

ජයපාලන් කිවි සගයා
හිරකර ගෙන ඉන්න එකා
තව එක මොහොතක් නොතකා
හාර්ට් ඇටැක් වත් හැදිලා
තොලොංචි කර දමනු මකා

කන බොන දේ විෂ වේවා
රෑට නින්ද නොලැබේවා
දිට්ඨ ධම්ම කම් වේවා
ලඟදිම මක බෑවේවා

බලා හෙල්ල
හෙලුව හෙල්ල
මුලමැ බෙල්ල
මරු තැනේ

නාගදීප උතුරු රටේ
කාලී සීනිගමට යතේ
මහසෙන් කඩවරට පුතේ
අව නඩුවට පොල් ගසතේ

හම්බන්තොට උන්ගෙ රටේ
අපේ කතරගමට යතේ
දුවගෙන ගොස් ඇවිද වැටේ
පොළොව උළා නළල් ඇටේ

නුඹලට බැරි නම් දවසක
සෙත සලසන්නට මිනිසට
මොකටද බොල දෙවියනි තොප
මක බෑවී යනු තොප බැස

දිගට ඇදී
ඇඟ පැහැදී
යුක්තිය හට මහ හඬ දී
යදිමි යදිමු මිනිසුනේ

පෙත්සම් අත්සන් සහසක්
පෑන් පහරවල් සහසක්
නිදහස උදෙසා සටනක්
නගමු එක්ව මහා හඩක්

මිනිස් ගඟේ බල මහිමේ
අපේ රටේ නම් නොපෙනේ
දුටු ද පෙනේ වෙනත් තැනේ
බැරිද හැටිද අපිට අනේ

හොරකම මැරකම මදිවට
මිනිස්සු හිර කර මැරුමට
විනාශ මුඛයට යන රට
සදාකාලිකද උන්ට

ඔහුට කරපු විපත අනේ
බලා ගන්න දෙවියනේ
වැජඹෙන මෙ නා විමනේ
බලන්න නා සාමිනේ

ජයපාලන් කිවි සගයා
හිරකර ගෙන ඉන්න එකා
තව එක මොහොතක් නොතකා
හාර්ට් ඇටැක් වත් හැදිලා
තොලොංචි කර දමනු මකා

(රැපියල් තෙන්නකෝන්ගේ "කුකුළු හැවිල්ල" කාව්‍යය ඇසුරින්.)

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"බිග් බ්‍රදර්"- ඕෂනියාවේ සුපිරි බලය හොබවන ඒකාධිපතියා, ටෙලිස්ක්‍රීනයන් මගින් සිය වැසියන් දෙස බලා සිටියි. "Big Brother is Watching You" යන පාඨය මගින් ඒ බැව් එකී වැසියන්ට නිරන්තරයෙන් ම සිහිපත් කර දෙයි. ජනතාව කන්නේත්, බොන්නේත්, සිරුරු කිස කරන්නෙත්, රමණය කරන්නේත් ආණ්ඩුව ඔවුන් දෙස බලාගෙන සිටියදීය. එපුවත එන්නේ, ජෝජ් ඕවල් විසින් ලියන ලද "1984" නවකතාවේය. ටෙලිස්ක්‍රීනය යනු ඕවල් මැවූ කල්පිත උපකරණයකි. එය එක් විටම ටෙලිවිෂනයක් මෙන්ම ආරක්ෂක කැමරාවක් ලෙස ද ක්‍රියා කරයි. ඕෂනියාවට එරෙහි ඊනියා රහසිගත කුමන්ත්‍රණවලට ඉඩ ඇහිරීම ගුප්ත ඒකාධිපතියාගේ අරමුණයි...! ඉතින්, ඕවල් 1949 දී ලියූ දෑ යාථාර්ථයක් බවට පත් වූ ලෝකයක මේ වන විටත් අප දිවි ගෙවන බව, එඩ්වඩ් ස්නෝඩන් හෙළි කළ දෑ දන්නා ඕනෑම අයෙකු දන්නා දෙයකි.

ඔබගේ ජීවිත කාලය තුළ කරන කියන සියළු දෑ පටිගතව ඇත්නම්...?
ඔබගේ සුභ සිද්ධිය සදහා යැයි කියමින් කිසියම් වරප්‍රසාදිත පිරිසක් විසින් ලෝකයේ සියලුම පුද්ගලයින්ගේ අන්තර්ජාල ජීවිතය නරඹමින් සිටී නම්...?
ජාලගත සුරක්ෂිතභාවය ගැන දිව්‍යමය පොරොන්දු දුන් වෙළඳ සමාගම්, සිය පාරිභෝගික "රජවරුන්"ගේ ('Customer is the king' යනු මොවුන්ගේම උදාන වැකියකි!) පුද්ගලිකත්වය, අමු අමුවේ උල්ලංඝනය කොට එය ආණ්ඩුවලට පාවා දෙනවා නම්....?
...එවිට ඔබට හැඟෙන්නේ කෙසේද?


Big Brother is Watching You
Nineteen Eighty-Four (1984)- Movie by Michael Radford


ඇමරිකාවේ CIA සංවිධානයට අනුබද්ධව සේවය කරමින් සිටි එඩ්වඩ් ස්නෝඩන් විසින් හෙළිදරව් කරන පරිදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ සිට සියළුම පුද්ගලියන්ගේ දත්ත ඇතුලත් ගූගල්, ෆේස්බුක්, ඇපල්, මයික්‍රොසොෆ්ට්, යාහූ, ඒ.ඕ.එල්. වැනි සියළුම සමාගම් සතුව පවතින එම සමාගම් වල නිෂ්පාදන පරිහරණය කරන්නන්ගේ දත්ත වලට කොන්දේසි විරහිතව ඇතුලත් වීමට ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) විසින් ක්‍රියාත්මක කළ ප්‍රිස්ම් නම් ව්‍යාපෘතියට අවසර ලැබී ඇත. ඇමරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ සියළුම මනුෂ්‍යයින්ගේ පෞද්ගලිකත්වය පාවා දීමට අනෙකුත් රටවල් සියල්ල සුදානම්ද?

අප බොහෝ දෙනෙකු විසින් පරිහරණය කරන නොමිලේ ලැබෙන ඊමේල් හා අනෙකුත් දත්ත ගබඩා කර තිබෙන සර්වර් සියල්ල පිහිටා තිබෙනුයේ අදාළ සමාගම් සතුවය. (Cloud Computing Services) මෙකී සමාගම් බහුතරයක් ඇමරිකාවේ පිහිටා තිබේ. ගූගුල්, ෆේස්බුක්, මයික්‍රොසොෆ්ට්, යාහූ, ඇපල් මීට හොදම උදාහරණය. දැනට අනාවරණය කොට ඇති පරිදි ඇමරිකානු රාජ්‍ය තුළ පවතින මෙම සියළු සමාගම් විසින් තමන් සතු දත්ත සියල්ල වෙත පිවිසීමට NSA වෙත ඉඩකඩ ලබාදී ඇත. ස්නෝඩන්ගේ අනාවරණයන්ට අනුව, ජාතික ආරක්ෂාවට සම්බන්ධ යැයි පවසමින් මෙම තොරතුරු වෙත පිවිසීමට අවස්ථාව ලැබුණ ද ඒවායේ රහසිගතභාවය හෝ පුද්ගලිකත්වය සුරැකෙනුයේ එකී දත්ත පරිහරණය කරන පුද්ගලයාට සාපේක්ෂවය. එය හරියටම කියනවා නම් ඔබගේ ලිංගික හැසිරීම්, ඔබ ශරීරකෘත්‍යය සිදුකරන ආකාරය, ඔබ විසින් අතිශය පුද්ගලිකව සිදුකරන සියලු දෑ තවෙකෙකු විසින් පටිගත කොට නරඹමින් වින්දනයක් ලබනවා වැනිය. සභ්‍ය ලෝකයේ මානසික ව්‍යාධීන්යැයි කාණ්ඩ කොට ඇති දේ ලෝකයේ දියුණුම යැයි පවසන රාජ්‍යය විසින් නීතිගත කොට ඇත්තේ මෙලෙසය. උත්ප්‍රාසජනක ලෙස එකී අපරාධය වසන් කරගැනීමට ඔවුන් යොදා ගන්නේ ද සියළු රාජ්‍ය ත්‍රස්තවාදයන් ආවරණය කර ගැනීමට ලංකාවේ යොදා ගැනෙනා "ජාතික ආරක්ෂාව" නමැති ගමරාළගේ වංගෙඩියම ය...!

එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙළිදරව්ව මුලින්ම වාර්තා කළ එක් ආයතනයක් වූ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ඇමරිකානු ප්‍රිස්ම් ව්‍යාපෘතිය පිළිබදව හෙළිදරව්වෙන් පසුව එරට වැසියන්ගේ අන්තර්ජාල පරිහරණයේ සිදුව ඇති වෙනස්කම් දක්වා ඇත. ඒ අනුව ප්‍රධාන ධාරාවේ සමූහ දත්ත රැස්කර තබාගන්නා (Cloud Computing Services) ඊමේල් ගිණුම් (ජීමේල්, යාහු වැනි) වෙනුවට තමන්ගේ ඩොමේන් නාමයක් යටතේ ඊමේල් ගිණුම් සාදා ගැනීමට බොහෝ පිරිස් පෙළඹව ඇත. තවද අන්තර්ජාල‍යේ සමූහ දත්ත ගබඩා කොට ඇති ඩ්‍රොප් බොක්ස්, අයි ක්වුඩ්ස් වැනි සේවාවලින් ඉවත් වීමට ද පෙළඹවී ඇත.


එඩ්වඩ් ස්නෝඩන්

එමෙන්ම ගූගුල්, යාහු වැනි සෙවුම් යන්ත්‍ර වලින් ඉවත්ව, තමන් විසින් පිරික්සන දෑ පිළිබදව වාර්තා තබා නොගන්නා DuckDuckGo වැනි විකල්ප සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට ද පෙළඹවීමක් දක්නට ඇත. එසේ වුවද බහුතරයක් විසින් තවමත් තමන්ගේ අන්තර්ජාල භාවිතා කිරීමේ චර්යා රටා වෙනස්කොට නැත්තේ තම ක්‍රියාකාරීත්වයන් මගින් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොමැති නිසා මේ තත්ත්වය තමන්ට අදාළ නොවේ යන අදහසිනි.

එක් පසෙකින් සාමාන්‍ය මහජනතාවගේ පෞද්ගලිකත්වය කොන්දේසි විරහිතව ආක්‍රමණය කරන විට බොහෝ රාජ්‍යයන් නිශ්ශබ්දව සිටින අතරතුර සමස්ත ‍යුරෝපයම කැළඹීමට පත්වූයේ ප්‍රංශයේ හා ජර්මනියේ පිහිටි මහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල හරහා සිදුකෙරෙමින් පවතින සන්නිවේදන කටයුතු හැක් කිරීමේ ක්‍රියාදාමයක් පිළිබදව තොරතුරු අනාවරණය වීමත් සමගය. බර්ලිනයේ පිහිටි මහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ඉහළ සවිකොට ඇති සිලින්ඩරාකාර රාමුවෙහි සවිකොට ඇති යන්ත්‍ර මගින් ඒ අවට ප්‍රදේශයේ සිදුවන සන්නිවේදන කටයුතු අවශෝෂණය කරගත හැකියැයි කියනු ලැබේ. Bundestag නැමැති ජර්මනියේ පහළ මන්ත්‍රණ සභාව මෙන්ම ජර්මානු චාන්සලර්වරියගේ කාර්යාලය පිහිටා ඇත්තේ ද ඒ අසළමය. මෙකී අනාවරණය නිසාම ජර්මනිය හා මහා බ්‍රිතාන්‍යය අතර යම් දේශපාලන උණුසුමක් පවතින අතර ජර්මනිය විසින් මහා බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ප්‍රශ්ණ කිරීමක්ද සිදුකොට ඇත. [කියවන්න- Germany calls in Britain's ambassador to demand explanation over 'secret Berlin listening post']

ඇමරිකාව හා චීනය අතර වන සයිබර් යුධ උණුසුම පවතිනුයේ කලක සිටය. සයිබර් ලෝකයේදී දෙපාර්ශ්වයම ක්‍රියාත්මක වුවත්, එය සැබෑ ‍ලෝකයේදී ජීවමාන වූයේ ඉතා අල්ප වශයෙනි. [කියවන්න- Preventing a U.S.-China Cyberwar] කෙසේ වුවද ස්නෝඩන්ගේ අනාවරණ අතර චීනයේ රාජ්‍ය හා ව්‍යාපාරික තොරතුරු වෙත පිවිසීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ද දක්වා ඇත. ලෝක බලතරගය "භූ දේශාපලනයේ" මෙන්ම "සයිබර් දේශපාලනයේ" ඉදිරියට ඒමක් මේ අනුව දැක ගත හැක. බ්‍රසීලය විසින් සමස්ත අන්තර්ජාල පාලනයම තමන් සතුකොට ගත් "අන්තර්ජාලයක්" පිළිබදව යෝජනා පැමිණෙන්නේ මේ සමගය. [කියවන්න- NSA surveillance may cause breakup of internet, warn experts] එහෙත්, දැඩි ලෙස අන්තර්ජාලයට සීමාපැනවෙන එබඳු උත්සාහයක් තුළින් එහි වර්ධනයට හා නිදහසට විශාල බාධා එල්ලවන බව විශේෂඥයින්ගේ මතය වී තිබේ.



ඉන්දියාව ද රාජ්‍ය සේවකයින්හට ජීමේල් ගිණුම් භාවිතාවෙන් ඉවත්වන ලෙසට දන්වා ඇත. එමෙන්ම රාජ්‍යතාන්ත්‍රිකව වැදගත් ලියුම් පරිගණක භාවිතයෙන් තොරව ටයිප්රයිටර භාවිතාවෙන් සිදුකරන ලෙසට ද ලන්ඩනයේ රාජ්‍ය නිලධාරීන් හට ඉන්දියානු රජය දැනුම්දී ඇත. වි‍දේශ රටවල් සදහා පිණුම් ගැසීමට ඉඩ සලසා ඇති ලංකාවේ ද පසුගිය කාලයේ අධි ආරක්ෂිත බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයක් ගොඩනැගූ අතර භූ දේශපාලනික ලෙස ලංකාවේ පිහිටීම කවර ආකාරයෙන් පාවිච්චි වන්නේ ද යන කාරණය ගැන අබමල් රේණුවක අදහසක් ලංකාණ්ඩුවේ වාචාල දේශප්‍රේමීන්ට ඇත්දැයි යන්න දන්නේ දෙවියන් පමණය.

තොරතුරු අධිනිශ්චය වූ සමාජයක බලය බවට පත්වන්නේ ඒ වෙත පිවිසීමට ඇති හැකියාවය. වර්චුවල් ලෝකයේ ආධිපත්‍ය කිසිලෙසකින්වත් අවතක්සේරු කළ නොහැක. නීතිය හා සදාචාරය යනු තවමත් බලයට පහළින් පවතින දෙයක් මිස එය හසුරුවන දෙයක් නොවේ. යථාර්ථය ප්‍රශ්ණ කරනුයේ නීතිය හෝ සදාචාරයේ වෙස්ගත් "බලය" විසින්මය..!

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැන්දෑවෙ හතරට
එකා දෙන්නා ඇදෙනවා පාරට
කඩේ බංකුව විකට් එක
බැට්ස්මන් ට වඩා උසයි විකට් එක

අර්ජුනලා අරවින්දලා හෂාන්ලා
යුනුස්ලා අක්‍රම්ලා ඩොනල්ඩ්ලා
වෝන්ලා මුරලිලා සචින්ලා
මේ ඔක්කොම හිටියා අපි එක්ක

ගස් කැච් ඔට්ටුයි
බලු වත්තට ගියොතින් අවුට්
හුඹහට උඩින් හතරයි
හයක් ගැහුවොත් වීරයෙක්

ලොකු අය්යලා ගේ බෝල්
සැරවැඩියි හැමදාම
වැඩිය එන්නැති පොඩි මල්ලිලා
හැමදාම ලාස්ට් මෑන්

උඹ ඉන්ස්ටෝල් කලාද
EA ක්‍රිකට් වර්ල්ඩ් කප්
මරු ග්‍රැපික්ස් ටික මචං
අන්න නියම ගේම් එක

මල්ලි ලා දෙන්නෙක්
කියනවා ඇහුනා බස් එකේ
ඉබේටම සිහිවුනා මට
ගස් කැච් ඔට්ටු වුණ අපේ ක්‍රිකට්

පාරටත් තාර වැටිලා
වටේටම තාප්ප බැඳිලා
ගස් කැච් ඔට්ටු කල පොල් ගස්
ඉඳ හිට බලනවා අපි දිහා

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ජනරළ" පුවත්පත නැවත ගොඩනැගීම වෙනුවෙන් "සටන් කරන අකුරු තවත් තියුණු කරමු!" යන තේමාව යටතේ විශේෂ අරමුදලක් ආරම්භ කර ඇත. එම අරමුදලට පාඨකයන්ට දායකවීම සඳහා නොවැම්බර් මාසය තුළ "ජනරළ" විශේෂ කලාපයක් නිකුත් කර තිබේ. "ජනරළ" පුවත්පත වෙනුවෙන් වූ එම අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පාඨකයන්ගේත් ජනමාධ්‍ය නිදහස හා මානව නිදහස අගය කරන සැමගේත් සහයෝගිතාවය හා දායකත්වය ගෞරවයෙන් අපේක්ෂා කරනු ලැබේ.

ජනරළ අරමුදල සවිමත් කරන අතරතුර, 2014 ජනවාරි මසදී සුපුරුදු පරිදි එය සති අන්ත පුවත්පතක් ලෙස නැවත වෙළඳෙපොළ වෙත නිකුත් වනු ඇත.



**********

ජනරළ- හමාර කීමක් නොවේ!
-ජනරළ කර්තෘ මණ්ඩලය [2013-10-20]

ඒ 2011 වර්ෂයේ අවසන් කාර්තුවයි. දේශපාලන බලාධිකාරයක කෙනෙහිලිකම් මැද ලංකා ඉරිදා සංග‍්‍රහය මියැදෙමින් තිබිණි. විටෙක පුවත්පතට එරෙහිව අධිකරණ වාරණයක් ගන්නා ලදී. තවත් විටෙක පවත්නා කිසිදු නීතියකට අදාළ නොවන ලෙස මුද්‍රණාලයට පොලිසිය කඩා පැන පුවත්පත් තොග අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම රාත‍්‍රියේ අලෙවි නියෝජිතයන් වෙත යොමු කරන ලද පුවත්පත් පාර්සල් සොරකම් කිරීම් වාර්තා විය. මේ අවහිරයන් මැද 2011 සැප්තැම්බර් 25 කලාපයෙන් පසු ලංකා පුවත්පත නතර වූයේ තවත් නව ආරම්භයකට ඉසිඹුවක් පමණක් ලබා දෙමිනි. නිහැඬියාව පැවතියේ සති දෙකක් පමණි.

2011 ඔක්තෝබර් 9 වැනිදා පළමු ජනරළ කලාපය නිකුත් විය. එතැන් සිට වසර දෙකක් ගත විය. මේ වසර දෙක තුළ ජනරළට දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ ප‍්‍රාග්ධනයේ අනුග‍්‍රහය නොලැබිණි. පාලකයන්ගේ දේශපාලන අනුග‍්‍රහය නොලැබිණි. ඒ වෙනුවට අධිපති දේශපාලනයෙන් හා ප‍්‍රාග්ධන හිමියන්ගෙන් එල්ල වූයේ බාධාවන් පමණි. දරාගත නොහැකි මූල්‍යමය දුෂ්කරතාවන් හමුවේ ඇතැම් ජනරළ කලාප මුද්‍රණය කළ නොහැකි විය. වත්මන් පුවත්පත් ව්‍යාපාරය මුළුමනින්ම පාහේ මුදල් මත රඳා පවතින්නකි. පුවත්පත මුද්‍රණය කිරීමට, බෙදා හැරීමට, කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීමට පමණක් නොව රට පුරා අලෙවිසල්වලින් විකිණිනු පුවත්පත් වල මුදල් එකතු කිරීමට ද මුදල් අවශ්‍ය වේ. එපමණක් නොව එම වියදම් දිනෙන් දින ඉහළ යයි. බොහෝ පුවත්පත් පවත්වා ගෙන යන්නේ පුවත්පතට ලැබෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ප‍්‍රාග්ධන හිමියන්ගේ අනුග‍්‍රහය නොලද ජනරළට ලැබෙන එකම නිශ්චිත ආදායම පාඨකයා පුවත්පත මිලදී ගන්නා විට ගෙවන මුදල පමණි. එවැනි තත්වයක් තුළ පුවත්පතක් වසර දෙකක් පවත්වාගෙන යාම ද හාස්කමක් බඳුය. එම දුෂ්කරතා හා අභියෝග හමුවේ ජනරළට තාවකාලිකව නිහඬ වන්නට සිදු වී තිබේ. මෙම කෙටි සටහන ලියැවෙනුයේ හමාර කීමක් ලෙස නොවේ. මෙය මෙතෙක් ආ ගමන් මඟ ගැන මෙන්ම නැවත ඉපදීම සඳහා වන අධිෂ්ඨානය ගැන ද කරන සමාලෝචනයකට ප‍්‍රවේශයකි.

මුලින්ම ජනරළ යනු කුමක්දැයි සාකච්ඡා කරගත යුතුය. එය ඊනියා සමබර පුවත්පත් කලාවේ කුලකයට ඇතුළත් නොවේ. ජනරළට දේශපාලනයක් තිබේ. එය පීඩාවට පත් ජනතාවට පක්ෂපාතීය. එහි දේශපාලනය පීඩිත ජනතාවගේ විමුක්තියට අදාළ දේශපාලනයයි. එහෙත් අපේ දේශපාලනය ඊනියා ජනතාවාදී නොගැඹුරු දේශපාලනයක් ද නොවේ. ඒ නිසා ජනරළ පුවත්පතේ ලියැවුණේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය පෞද්ගලික මුදලින් වීදි දරුවන්ට ‘චිකන් කොත්තු’ මිලදී ගෙනදීම ගැන සංවේදී කතා නොවේ. අපි ධනවාදය සමඟ, එහි ආනුෂංගික ස්වරූපයන් වන අධිරාජ්‍යවාදය සමඟ, නව ලිබරල් ධනවාදය සමඟ සටන් වැදුණෙමු. අපි ජාතිවාදය සමඟ කොන්දේසි විරහිත සටනකට ප‍්‍රවේශ වුණෙමු. පසුගාමීත්වයේ සියලූ රූපාකාරයන් එම සටනේ දී අපේ ඉලක්කය විය. අවදානම මැද වුව ද ඒකාධිපතිවාදයට අපි පහර දුන්නෙමු. අප ධනවාදය, ජාතිවාදය, පසුගාමීත්වය, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය සමඟ සටන් වැදුණේ එම කාර්යය පුවත්පතකට කළ හැකි යැයි විශ්වාස කරන තරමට අප රොමැන්ටික්වාදීන් වූ නිසා නොවේ. මේ සියලූ අගතීන් පරාජය කළ හැක්කේ පීඩාවට පත් ජනතාවගේ පුළුල් ක‍්‍රියාකාරීත්වයක් හරහා බව අපි හොඳින්ම දනිමු. අපේ සටන අවසන් වීමට නම් සමාජය විපර්යාසකරණය විය යුතුය. පුවත්පතකට කළ හැක්කේ එකී විපර්යාසකරණය සඳහා සමාජයට සංවිධායකයාගේ, උද්ඝෝෂකයාගේ, ප‍්‍රචාරකයාගේ, ගුරුවරයාගේ, සමීප මිතුරාගේ භූමිකාව නියෝජනය කිරීම පමණි. එම භූමිකාව ඉටු කරමින්ම අප තෝරා ගත්තේ දේශපාලන විකල්පයක් පිළිබඳ මතය ගොඩනැඟීමේ, ඒ සඳහා සටන් වැදීමේ මාවතයි. එය සරල ජනතාවාදයකට වඩා අතිශය දුෂ්කර බව අපි දැන සිටියෙමු.

අප ක‍්‍රීඩා කරන පිටිය ඉතාම අවාසි සහගත කොන්දේසි යටතේ සකස් වූ පිටියකි. ජනරළ පුවත්පත ජනතාව සිතන ආකාරයට, බොහෝ අය "ජනමතය" ලෙස නම් කරන දෙයට උපරිම සංවේදී විය. එහෙත් "ජනතාව" යනු ස්වාභාවික ප‍්‍රපංචයක් නොවේ. "ජනතාව" යනු හෝමෝ සේපියන්ස්ලා දෙදෙනකුගේ ෙසෙල එක් වීමෙන් හැදුණු යුක්තානුවල අවසන් ප‍්‍රතිඵලයක්, එනම් හුදු ජීව විද්‍යාත්මක නිෂ්පාදනයක් නොවේ. එය සමාජ විද්‍යාත්මකය. සංස්කෘතිකය. ඔය කියන "ජනමතය" සකස් කරනු ලබන්නේ ආගමික ආයතන, අධ්‍යාපන ආයතන, දෛනික වතාවත් මාධ්‍ය භාවිතය ආදී දහසකුත් එකක් මෙවලම් හරහා නිෂ්පාදනය කරනු ලබන දෘෂ්ටිවාදයන් හරහාය. "ජනතාව" සිතන ආකාරය තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින්ම නොවන අතර ඔවුන් වෙනුවෙන් සිතන්නට පිරිස් වැටුප් ගෙවා පත් කර ඇත. උදෑසනට අපට පුවත්පත්වල සිරස්තල පවසා පුවත්පත් කියැවීමේ "කරදරයෙන්" අප මුදවන බන්දුල පද්මකුමාරගේ සිට රාත‍්‍රියට දවසේ සිදුවීම් ගැන දේශපාලන විග‍්‍රහයක් ඉදිරිපත් කර සරල සිදුවීම් ගැන ගැඹුරින් සිතීමේ "කරදරයෙන්" අප මුදවන මහින්ද අබේසුන්දර දක්වා දෘෂ්ටිවේදීන් වැටුප් ලබන්නේ ඒ කාර්යය වෙනුවෙනි. පොදු ජනයාට සිතන හැටි ඉගැන්වීම සඳහා දෘෂ්ටිවාදී කර්මාන්තයක්ම ඇත. ඒවාට කෝටි ගණනින් මුදල් පොම්ප කරන අතර ඒවායේ දහස් ගණන් ශ‍්‍රමිකයන් ශ‍්‍රමය වගුරුවයි. ඒ කර්මාන්තයට ප‍්‍රතිපක්ෂව අතේ සතයක් නැතිව, කර්තෘ මාණ්ඩලිකයන් දුසිම් බාගයක් සමඟ දෘෂ්ටිමය අවි අමෝරා ගැනීම ජනරළ දේශපාලනය විය. එනිසා පිටිය අවාසිසහගත බව පැහැදිලිය. "ජනරළ පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නම් ජනතාව එය මිලට නොගන්නේ ඇයි" දැයි විමසන්නන්ට අපට කීමට ඇත්තේ එයයි. අපට අවශ්‍යව ඇත්තේ ඒ ජනතාව, දැන් සිටින මුග්ධත්වයෙන් ඉහළට ඔසවා ලීමටය. නම මතක නැති කවුරුන් හෝ කියා ඇති ආකාරයට සෑම ආරම්භයක්ම දුෂ්කරය. එය ජනරළට ද සාධාරණය. අපි අවස්ථාවේ වාසිය තකා "ජනමතය"ට වන්දනාමාන කරන්නේ නැත. මනෝ ලෝකවල සිරකරුවන් වී "ජනමතය"ට පිටු පාන්නේ ද නැත. පවතින යථාර්ථය අපට වැටහේ. එය ස්වාභාවික ඉරණමක් නොවන බව ද අපි දනිමු. පවතින යථාර්ථය උඩින් පැන හුදෙකලා ගමනක යාමට අප සූදානම් ද නැත. අපේ කාර්යය පවතින යථාර්ථය, පවතින "ජනමතය" වෙනස් කිරීමයි. වසර දෙකක් ජනරළ සටන් කළේ ඒ සඳහාය.

මේ සියල්ල මධ්‍යයේ ජනරළට පාඨකයකු ඇත. පුවත්පතේ අනාගතය වෙනුවෙන් පාඨකයන්ගෙන් පරිත්‍යාග ගත නොහැකි දැයි තවත් අයකු ප‍්‍රශ්න කරනු ඇත. ජනරළ වෙනුවෙන් අරමුදලක් ද තිබේ. මෙතරම් දුර හෝ ජනරළ පවත්වාගෙන ආවේ ඒ බැංකු ගිණුමට පාඨකයකුගෙන්, හිතවතකුගෙන් බැර වන මුදල ද ආධාර කර ගනිමිනි. ජනරළ පාඨකයා එදිනෙදා ජීවිතය පවා අතට ලැබෙන සොච්චමෙන් ගැටගසා ගැනීමට අසීරු කෙනෙකි. ජනරළ පාඨකයන් වනුයේ කම්කරුවන්ය. ගොවීන්ය. ධීවරයන්ය. ශිෂ්‍යයන්ය. තරුණයන්ය. ඒ අයට ලක්ෂ 200ක මුදලක් එකතු කර දෙන්නැයි කීවොත් එය කළ නොහැකි බව අපි දන්නෙමු. එනිසාම ජනරළ ලක්ෂ 100 හෝ ලක්ෂ 200 මුදල් ව්‍යාපෘති නිර්මාණය නොකළ අතර පාඨකයන්ගෙන් එවැන්නක් ඉල්ලා සිටියේ ද නැත. එවැනි අරමුදල් සම්පාදනය කළ හැකි පිරිසක් රටේ සිටී. ඇතැම් පුවත්පත් වසා නොදමා පවත්වාගෙන යන්නේ ද ඔවුන්ගේ පිහිටෙනි. එහෙත් ජනරළ, එය කියවන බහුතරයක් පාඨකයන් විසින් සිදු කරනු ලබන නිෂ්පාදනයේ අතිරික්තයෙන් යැපෙන, පරපුටු මැද පන්තියකට පක්ෂපාතීව ලියන්නේ නැත. ජනරළ ඉලක්ක කර ගන්නේ ඒ මැද පන්තියේ විසිත්ත කාමරවල ආටෝපයට තබන පුවත්පතක් වීමේ මාර්ගය නොවේ. ඒ අයට ගැළපෙන ලිබරල් සීමාවට අනුව හැමදේම විවේචනය කර, ඊළඟ සතියට මුහුණ දීමට පෙර ඉරිදාට කෝපය විරේචනය කර දී මනස සමබර කරන ඖෂධයක් වීමේ ඉලක්කයක් ජනරළට නැත. අපට අවශ්‍ය ක‍්‍රමයේ විනාශකාරීත්වය ගැන උපදින කෝපය, ඒ නිසා උපදින අතෘප්තිය, අසහනය හා ආතතිය විරේචනය කරන්නට විවේචන ගොනු කිරීමට නොවේ.

අපට විවේචනය අවශ්‍ය වන්නේ මේ විනාශකාරී සමාජ ක‍්‍රමය ගැන ගැඹුරින් සිතීමට හා එය වෙනස් කිරීමට සමාජය පෙලඹවීමටය. අපි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයට, පසුගාමීත්වයට හා ජාතිවාදයට එරෙහිව සටන් කරන මුත් ඒ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සීමාවේ කොටු වෙමින් නොව ධනවාදයට එරෙහි සටන සමඟ සංයුක්තවය. එවැනි අගතීන්ට එරෙහිව ලිබරල් දෘෂ්ටියෙන් සටන් වදින අයට අපි ගරු කරමු. එවැන්නන්ට ජනරළේ පිටු හැමදාමත් විවෘත විය. එහෙත් ඒ දේශපාලනය ජනරළේ පියාගේ හෝ ගුරුවරයාගේ භූමිකාවට පණ පෙවීමට සමත් නැත. පාඨකයාගේ පෝෂණය වෙනුවෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස්වලට පුවත්පතේ ඉඩ කඩ ලබා දුන්න ද හැමදාමත් ඒ ගැන අපට කුකුසක් තිබිණි. ඒ නිසා කෑම දිරවන්නට රෙජීමය විවේචනය කරන මැද පන්තියට කවදාවත් ජනරළ ගැන බැඳීමක් තිබුණේ නැත. පැවැත්ම වෙනුවෙන් ඒ අය සැනසවීම සඳහා අපේ දේශපාලනය බිලි දෙන්නට අපට උවමනා ද නැත. එබැවින් ලක්ෂ සිය ගණන්වල ජනරළ සුරැකීමේ අරමුදල් නිර්මාණය නොවන අතර අපට නැවතත් ආයාචනය කරන්නට වන්නේ ජනරළ පාඨකයා ලබා දෙන දහඩිය වැකී තෙත් වුණ රුපියල් සියයේ, පන්සියයේ කොළවලටය. ඒ ගැන අපට කිසිදු විස්සෝපයක් නැත. ජනරළට ලක්ෂ ගණන් නොලැබෙන හේතුව සහ අපේ පාඨකයාගේ සාක්කුව අතර ඇති සම්බන්ධය අපි දන්නෙමු. ජනරළට ඇති අභිමානය ද එයයි. ජනරළ ලැබූ ජයග‍්‍රහණය කම්කරුවා, ගොවියා, ධීවරයා, ශිෂ්‍යයා, තරුණයා, රැකියාවිරහිතයා සමඟ සජීවීව සම්බන්ධ වීමට ලද අවස්ථාවයි.

ඒ අතර අපේ පුවත්පත් කලාව ගැන ද වචනයක් කිව යුතුය. අපි ජනමාධ්‍ය ගැන විශාරදයෝ නොවෙමු. අපට ඇත්තේ පුවත්පත් කලාව ගැන උපාධි නහුතයක් නොව පීඩාවට පත් සමාජය ගැන කැක්කුමක් පමණි. ඒ නිසා ජනරළ යනු පුවත්පත් කලාවේ පරිසමාප්තිය නොවේ. උපරිමය නොවේ. ජනරළ ලෝකයේ හොඳම පත්තරය යැයි අප කියන්නේ නැත. අපට ඇත්තේ නරක ලෝකයක් තුළ හොඳම පත්තරයක් කිරීමේ අභිප‍්‍රායක් නොව නරක ලෝකය වෙනුවට හොඳ ලෝකයක් හැදීමේ අභිප‍්‍රායකි. ඒ හොඳ ලෝකය හැදීමේ කාර්යය නරක පත්තරයකින් වුව ද ඇරඹීමට අපට දෙගිඩියාවක් නැත. ඒ එය ඉතා ඉක්මනින් හොඳ පත්තරයක් කර ගැනීමට අපට ඇති අධිෂ්ඨානය නිසාය. පුවත්පත් කලාව ගැන කියන්නේ නම් අපට කියන්නට ඇත්තේ ජනරළ කර්තෘ මණ්ඩලයේ හැමදෙනාම ඒ විෂයේ සදාකාලික ශිෂ්‍යයන් බවය. අපි ඉගෙන ගන්නෙමු. ඒ නිසා අපේ පුවත්පත් කලාව පරිසමාප්තියට පත්ව එක තැන ගල් වූවක් නොව වැඩෙන්නකි, වර්ධනය වන්නකි. පෝෂණය වන්නකි. ජනරළ පුවත්පත් කලාවේ සීමාවන් ගැන එන විවේචන අපි ඉතා ගැඹුරෙන් භාර ගන්නේ එනිසාය. එහෙත් ජනරළේ අපට පාඨකයාට එකක් සහතික කර කිව හැකිය. ජනරළට ලියන්නේ ඊනියා සමබර පුවත්පත් කලාවක් අභ්‍යාස කර, එයින් කීර්තියක් උපයාගෙන, පසුව වැඩි වැටුපකට වෙනත් පුවත්පත් ආයතනයක රැකියාවක් කිරීමට අපේක්ෂා කරන්නන් නොවේ. අප ලියන්නේ විපර්යාසකරණයක් උදෙසාය. අප ලියන්නේ අරගලය උදෙසාය. පාඨකයා ඒවා කියවන්නේ ද විපර්යාසකරණය හා අරගලය උදෙසාය.

ජනරළට කරන ලද බලහත්කාරී මැදිහත්වීම්වල දී මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්වල දී මාධ්‍යවේදීන් පැහැර ගැනීමට තැත් කරන ලද අවස්ථාවල දී නඩු පිට නඩු පටලවා පුවත්පතේ ගමන අඩාළ කිරීමට දැරූ අවස්ථාවල දී ජනරළ පාඨකයාගේත් රටේ ප‍්‍රගතිශීලී ජනතාවගේත් ශක්තියෙන් අපි ඒ සියලූ බාධක ජය ගත්තෙමු. මර්දනය එන්නේ හමුදා, පොලිසි, සිරගෙවල්, බන්ධනාගාර, නිල නොවන ඝාතන කල්ලි හා සුදු වෑන් හරහා පමණක් නොවේ. සියල්ල මුදල මත තීරණය වන සමාජයක මර්දනයේ සාර්ථකම මෙවලම ආර්ථිකයයි. අන් බාධාවල දී මෙන් නොව මූල්‍යමය දුෂ්කරතාවල දී පාඨකයාට ජනරළට අතදීම අපහසු බව අපි දන්නෙමු. දිනෙන් දින උග‍්‍රවන මූල්‍ය දුෂ්කරතා හමුවේ ජනරළ තාවකාලිකව නතර කිරීමට අපට සිදුව තිබේ.

ඒ අනුව 2013 ඔක්තෝබර් 27 වැනිදා ජනරළ ඔබ අතට පත් නොවේ. අනතුරුව තවත් සති ගණනාවක් එය දක්නට නොලැබෙනු ඇත. එහෙත් ජනරළ නිහඬ වන්නේ වැළලී යාමට නොවේ. එය සදාකාලිකව නිහඬ වනු දක්නට කැමැති අයගේ බලාපොරොත්තු සුන් කරමින් ඉතාම ඉක්මනින්, ජනරළ නැවත ආරම්භ වේ. මේ විරාමය ගන්නේ නව ආරම්භයක් උදෙසා ශක්තිය උපදවා ගැනීමටය. ඒ අතරතුර කාලයේ දී අපි ලිබරල් සීමාවේ හිඳ සනීප විචාරවල යෙදෙන මැද පන්තිය වෙත නොව සමස්ත සමාජයම කුණු කන්දල්වල පාපයට කර ගසා ඇති පීඩිත ඔබ වෙත එන්නෙමු. එය හුදු ප‍්‍රාර්ථනාවක් පමණක් නොවේ. එය යථාර්ථයක් කළ හැකි සිහිනයකි. එළඹ ඇති දුෂ්කර මොහොතේ දී අපි පාඨකයා වෙත හැරෙමු. ලංකාවේ පීඩිත ජනයා වෙත හැරෙමු. ජනරළ පවතින්නේ අලූත් ගමනක් සඳහාය.

ඒ අලූත් ගමන ඇරඹීමට ශක්තිය ඉපදවීම උදෙසා බස් රථයක, දුම්රියක, මංමාවත් ජල ආධාර එකතු කිරීමට අපි එක් වෙමු. නාට්‍ය, චිත‍්‍රපට, සංගීත, ප‍්‍රසංග, ප‍්‍රදර්ශන හරහා ජනරළ අරමුදල තර කිරීමට රටේ හැම බිම් අඟලකදීම අපි එකතු වෙමු. අප හැම දෙනාම එකවර කෑ ගැසුවහොත් විසල් කඳු පවා බිමට පාත් වනු ඇතැයි චීනයේ විප්ලවීය නායක මා ඕ සේතුං වරක් පැවසීය. අප හැම දෙනාම එකට එක් වූ විට ජනරළ යළි ඉපදවීම අසීරු නොවනු ඇත. මෙය අවසානයක් හෝ හමාර කීමක් නොව නව ආරම්භයක පෙරවදනක් බව අප කියන්නේ එහෙයිනි. විලාසිතාවක් ලෙස විචාරය ගෙනෙන පුවත්පතක් ලෙස නොව පීඩිතයා තුළ විපර්යාසකරණ විභවය පුළුල් කිරීමේ අරුතෙන් විචාරය ගෙනෙන පුවත්පතක් ලෙස ජනරළ ඉක්මනින්ම යළි පාඨකයා අතට පත් වනු ඇත.

එතෙක් අපි නිහඬ වෙමු. නිහඬතාව යනු හඬවල් දෙකක් අතර ඇති පරතරයකි. නිහඬතාව විසින් හඟවන්නේ එක් වචනයක් අවසන් වී ඇති බව පමණක් නොවේ. අලූත් වචනයක් ළඟ එන බව ද නිහඬතාව සංකේතවත් කරයි. ඒ අලූත් වචනය සවනත ගැටෙන තුරු බලා සිටිමු. නිවැරදිවම කියන්නේ නම් අප බලා සිටිනවා නොව ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරී වෙමු.

[-Janarala.wordpress.com]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails