Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


කසුන් පතිරණගේ [Miles of a Dream | හිම කැටයක් වගේ ඔබ ඇවිත්... දිය වෙලා යනවා නම්...] ලිපියට ප්‍රතිචාරයකි.

Film එක නොබලපු මට කසුන් පතිරණ කියන දියුණු ඇඩ්වටයිසින්කරුවා උදයගේ Film එක ගැන කරලා තිබුණ විචාරය ඉතාමත් පෞද්ගලික තත්වයක ඉඳලා අරගෙන ආපු එකක් උනාට ඒකේ තිබුණා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඒ නිසාම උදයගේ film එක ගැන දල අදහසක් ගන්න තරමට මම ඉක්මන්වෙන එක තරමක් පසු බස්සලා මම පටන් ගන්නම් මේ විචාරය ගැන මට තියෙන අදහස ගැන. ඔහු මතු කරන කාරණය තමයි film එකේ වැඩ කරපු අයට විතරක් පෙන්නන්න හිතාගෙන සංවිධානය කරපු තිරගත කිරීම ගැන ප්‍රසිද්ධියේ විචාරයක් ලිවීම උදයගෙ යාලුවෙක් විදියටවත් සදාචාරාත්මක ද කියන එක. ඒක තවදුරටත් කසුන්ගෙ වචන වලින්ම උපුටනව නම් මෙහෙමයි.

"උඔ film එක කරලා ඒක එලියට දාන්න හිතන තැනදිම ඒක උඔයි මමයි බොරැල්ල EAP එකේ කතා කරන ක්ෂුද්‍ර තලයෙන් එහා ගිහිල්ලා සාර්ව තලයකට එනවා. එතකොට උඔගෙ සාර්ව ප්‍රකාශනය ගැන මම ක්ෂුද්‍ර තලයෙන් ප්‍රතිචාර දක්වලා තේරුමක් නෑ. අනික මචං මට film එකක් කරගන්න බැරි ඇරියස් එක මමත් කොහොමහරි පිට කරන්න ඕනනෙ."
-කසුන් පතිරණ

මෙව්ව අනවශ්‍ය කතා විදියට තිබුනට මේ film එක ගැන ලියපු ලියැවිල්ල මතු කරන ප්‍රධාන තර්කයක් වෙන්නෙ ඒක සදාචාරත්මකව නිවැරදි ද යන්නයි. මේකට කසුන් දෙන පිලිතුර තමයි "ක්ෂුද්‍ර තලය" හා "සාර්ව තලය" පිලිබඳ ව්‍යුහාත්මක වටහා ගැනීම. ඇත්තටම කසුන් කියන කාරණාව හරි. "සදාචාරය රීති" කියන එව්ව ඕනෙම කෙනෙකුට කඩන්න පුලුවන් නිසාම ඒවා විග්‍රහ කරන්න සදාචාර විද්‍යාවන් එක්ක පොර බදලා වැඩක් නෑ.

නමුත් කසුන් මේ "ක්ෂුද්‍ර තලය" හා "සාර්ව තලය" පිලිබඳ අදහස උපයෝගි කරගෙන ගොඩනගන තර්කය ඇතුලෙම තියෙනවා එයාම ඒකට බිලිවෙන තැන්. මං හිතන්නෙ කසුන් ඒක ගැන නොදැනම නෙවෙයි ඒක ගොඩනගන්නෙ. මං හිතන්නෙ එයාට ඒක වඩාත් තහවුරු වේවි මේ විදියට කිව්වම.



සිනමා ශ්‍රමය කියන එක පදනමේ තියාගෙන හිතන්න ගියොත් ක්ෂේත්‍රය පවත්වාගෙන යාමේ මූලික අරමුණ පෙරදැරිකරගෙන එහි කිසියම් සදාචාර ආකෘතින් පද්ධතියක් නියම කරලා තියෙනවා. මේවා ගොඩක් වෙලාවට කිසියම් ප්‍රමාණයක ආධිපත්‍යධාරී නියම කිරීම් ටිකක්. සිනමා කර්මාන්තයට පිවිසෙන ආධුනිකයෙක්ගෙ මානසිකත්වය සමීපව නිරීක්ෂණය කරන්න ගියොත් අපට එයාගේ ඔලුව ගැටෙන තැන් වල තියෙන කඩ ඉම් වලින් මේ ගැන අවබෝධයක් ගන්න පුලුවන්. සමහර වෙලාවට එයාට ප්‍රවීණයන් අතින් rag වෙන්නත් වෙන්නෙ මේ මම කියන්න හදන ව්‍යුහ වලදි තමයි. ඒ වගෙම ආධුනිකයොන්ට radical වෙන්න පුලුවන් ද්‍රව්‍යමය පදනමත් වැටෙන්නෙ මෙතනදි. ඉතිං මේ විදියට කරක් ගහන ආධුනිකයාගේ ලෝකය ටිකෙන් ටික පිරිලා පරිපූර්ණ වුනාම ඔහු කර්මාන්තයේ තමන්ට හිමි ශ්‍රේණියේ ප්‍රවීණයෙක් වෙනවා. ඒ වගේම මේ අධුනිකයාගෙ තැනින් තවත් වැදගත් ප්‍රතිනිෂ්පාදනයක් වෙනවා. ඒක තමයි කසුන්ගේ ඇරියස් එක. යම් ප්‍රමාණයක කැරලිකාර ශ්‍රමයක් වෙන්නෙ ඔන්න ඔය තැන. හැබැයි ඔය ශ්‍රමයත් පස්සෙ කාලෙක මේ සිනමාව නැමැති පරිධියේම පිහිටුවන්න පුලුවන් තැනක් බවට පත් වෙනවා. ඔන්න ඔය පිහිටු වීම මත තමයි කසුන් පතිරණ ලංකාවේ ඇඩ්වටයිසින් ක්ෂේත්‍රයෙ ලාබාලතම A/V Manger කෙනෙක් වෙන්නෙ.

මේ අනුව කසුන් කතා කරන ක්ෂුද්‍ර තලයෙ සහ සාර්ව තලයේ තර්කය මේ අනුවම ඔහුගේම තර්කයට විරුද්ධව පෙල ගැහෙන මොහොතක් මේක කියවන අපට අනුව නිරික්ෂණය වෙනවා. ඒක මම සිනමා ශ්‍රමයේ සදාචාර තර්කණය අපේ (ඩිලන්ක) ඩිංගා ගේන ප්‍රශ්නයෙන්ම ස්ථානගත කරන්න උත්සාහ කරන්නම්. මේ ලඟ දි දවසක අපි EAP bar territory එකට සාම්‍යයක් වන තරමේ සමීප හමුවක් ගල්කිස්ස මුහුදු වෙරලෙදි සිදු වෙනවා. ඒ වගේම ඒ එකතුවට හොඳ නිමිත්තක් විදියට කසුන්ගේ ලිපියත් හොඳින් ගැලපී තිබුණා. තවත් ක්ෂුද්‍ර තලයෙ සාකච්ඡාවකට වඩා යමක් එතැන ඉතිරි නොවනවායැයි කියන සුපුරුදු අදහසේ බොන්න පටන් ගත්තු මට ටිකකින් අහුවෙනවා මේ බීම කිසිසේත්ම ක්ෂුද්‍ර තලයෙ සාකච්ඡාවක් නොවෙන බව. ඇත්තටම මේ අහුවීම කියන කාරණාවට ද්‍රව්‍යමය පදනම දැමුනේ කසුන්ගෙම ලියැවිල්ල කියෙව්වායින් පස්සෙයි. ඉතිං ඒ නිසා එතැනදි සිදුවුණ යම් යම් ක්ෂුද්‍ර තලයේ කාරණා අතුරින් ප්‍රධානම subject එකක් උනේ උදය සහ උදයගේ සිනමා භාවිතාව. ඒක ගැන විවේචනයක් අඩු වැඩි වශයෙන් හැමොටම තිබුණත් මට මතු කරන්න අවශ්‍ය කාරණය වෙන්නෙ මෙන්න මේකයි.

"අපි එදින සිදුකළ සාකච්ඡාව ගැන සදාචාරාත්මක එකඟතාවයකට ආවොත් මේ මේසයෙන් එහාට කිසිදූ සාකච්ඡාවක් යන්නෙ නැහැයි" කියන පොරොන්දුව ඇත්තටම මේ ලිපිය ලියද්දිත් අහෝසි වෙලා ඉවරයි. පැහැදිලිවම කිව්වොත් එදින සාකච්ඡාව දැන් තියෙන්නෙ සාර්ව තලයේ. එතකොට අපිට පුලුවන් හෙමින් හෙමින් අපිට උදයගේ film එක ගැන තියෙන අදහස ලිඛිතව සාර්ව තලයට ගේන්න. එතනදි උදයගෙ ප්‍රශ්නය වගෙම අරවින්ද පෙරේරා ගොනු කරන්න හදපු ප්‍රශ්නයත් ඉතාමත්ම තීරණාත්මක තැන්. කසුන්ගෙ ලියැවිල්ල ගැන ප්‍රශ්න කරපු ඩිලන්ක (ඩිංගා)ගෙ ප්‍රශ්නයත් අනිවාර්ය ලෙසම කසුන් විසින් සාර්ව තලයෙදිම ඉතාමත් විධිමත් ලෙස ගොඩ නැගිය යුතු පිළිතුරු වෙනවා.. ඒ නිසා මම ඩිංගාගෙ ප්‍රශ්නය පමණක් මේ විදියට කසුන්ට මතක් කරන්නම්.

"කස්සා... උඹ ඔය කරපු වැඩේ වැරදියි."

මේ විදියට ගත්තහම කසුන්ගෙ ලියැවිල්ල පිහිටුවන්න පුලුවන් සන්දර්භයේ ඝන ටික අහුවෙනවා. film එක release වෙන්න කලින් විචාරයක් ලිව්වම ඇති වෙන යහපත් හෝ අයහපත් තත්වයන්ට වඩා මෙතැනදි වැදගත් වෙන්නෙ ලක්මාල්, අරවින්ද අතර ගිහිපු සාකච්චාව තව දුරටත් ක්ෂුද්‍ර තලයේ ද කියන ප්‍රශ්නය. කසුන්ම තම ලිපිය ගැන අවංක අදහස් පල කිරිමක් ද එතැන සිද්ධ වුන එකත් මේ අනුව සාර්ව තලයෙදි මතු කල යුතුයි.


උදය ධර්මවර්ධන

ඒ නිසා මම මගේ අවසාන ප්‍රකාශය කරන්නම්. ඒක මෙහෙමයි...

කසුන්ගෙ ලියැවිල්ල නිසා අපට ෆිල්ම් එක ගැන වෙනත් ව්‍යුහාත්මක වටහා ගැනීමක් ලැබෙනවා. ඒකට හේතුව වෙන්නෙ ෆිල්ම් එක බිහිවීම පිටුපස තියෙන එක්තරා ශ්‍රමයක අයිතිකරුවෙක් එහිම විවේචකයා වීම. ඒවගේම ඔහුගේ මිතුරෙකු ද වීම යි. තවද මේ නිසා සිනමා විචාරය සඳහා අලුත් කතිකාවක් ද බිහි වෙනවා. එනම් ක්ෂේත්‍රයේ කට කතා ලෙස තිබෙන්නට නියමිත ව තිබූ කතන්දර වලට සාර්ව තලයෙ සංවාදයක් හිමිවීමයි. එමෙන්ම මෙහි සියදිවි හානි කරගැනීම වන්නෙ මේ අගුලු හැරීමේ මුල් තර්ක පද්ධතියෙ හිමිකරුවා විම කසුන් පතිරණ විසින් ගනු ලබන අතර එම හිමිකරුවාම එකී තර්කයට නිරාවරණය වීමයි. ඒ නිසායි අවධාරණයෙන් පවසන්නෙ..

"කසුන් කෙදිනක හෝ film එකක් කිරිමේ හීනය දක්වා ඇදී යන මාවත දෙස අප වැනි මිතුරන් ඇසි පිය නොගසා බලා සිටින බවයි."

මෙයට ඔබගෙ ඉපැරණි මිතුරා සහ ඔබේ කෙටි චිත්‍රපට ඉතිහාසයේ "සහය අධ්‍යක්ෂක",
-ශ්‍රීනාත් චතුරංග

ශ්‍රීනාත් චතුරංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පොදුවේ සිංහල සාහිත්‍ය කලා භාවිතයන්ගේ ගුණාත්මක බව පිරිහෙමින් පවතින් බව දිගු කලෙක සිට කතා බහට ලක් වන්නකි. සාහිත්‍ය කලා කෙතෙහි දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන සම්මාන, ත්‍යාග ආදිය වෙනුවෙන් වන බැණ අඬගෑම්, කැලෑ පත්තර සංසරණය වැනි දේවල් ඒ අදහස ස්ඵුට කරන කාරණාවෝ ලෙස ගිණිය හැකිය.

මේ සම්බන්ධයෙන් කලෙක පටන් ඉතා කටුක ලෙස, සමහර විට වඩාත් අගතිගාමී යැයි සිතෙන තරමට අදහස් පළ කරන්නෙකි, සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකරයන්. එමතු නොව කෙබඳු තත්වයක් යටතේ වුව අද අපට සිටින ජ්‍යෙෂ්ටතම සාහිත්‍යකරුවා ගුණදාස අමරසේකරයන් ය. මෙබඳු වයෝවෘද්ධ වයසකදීත් අභ්‍යාසවෘද්ධව, අනලස්ව සාහිත්‍යකරණයේ යෙදීම පිළිබඳව ඔවුනට අපගේ බුහුමන පළ කළ යුතුය.

වෙසෙසින් නූතන නවකතාව අරබයා ඔහුගේ විවිධ අදහස් දැක්වීම් කර්ණ කටුකය. මේ සඳහා ආසන්නතම සහ කෙටිම නිදසුන, මෙම ලිපියෙන් මතුවට සංවාදගත කරන්නට තැත් දරන ඔවුන්ගේ අලූත් කෙටි කතා සංග‍්‍රහය වන "කියනු මැන දිවි අරුත" කෘතියේ පෙරවදනින්ම උපුටා දැක්විය හැකිය.

"බුද්ධිමත් පාඨකයාට තමා වසන සමාජය සහ තමා ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් වන නවකතාව අප විසින් නොසෙවුණ කැඩපතක් බවට පත් වන්නට වූයේ කලකට පෙරයි. අද වන විට සිංහල නවකතාව ඒ තත්වයෙනුත් පහතට ඇද වැටී බාලයන් පිනවන විනෝදාංශයක් මෙන්ම වාණිජ රැල්ලට සරිලන වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබේ."
-කියනු මැන දිවි අරුත (පෙරවදන)

මෙසේ තම කියවීම කලෙක සිට සමාජගත කරන ඔහු මෑත කාලයේ ලියා පළ කරන ලද නවකතාව "සෝමවීරගේ සංක‍්‍රාන්තිය" නමි. පෙර ඔහු කියන ලද නවකතාවේ අර්බුදයට ඔහුගේම නවකතාවෙන් යම් ජීවන හුස්මක් ලැබුණා ද යන්න පැනයකි. සිය පසුකාලීන නවකතා වෙත ඔහුගේ දේශපාලන දෘෂ්ටිය ඉතා ගොරහැඩි ලෙස ඇතුලූ වී තිබීම මෙයට ප‍්‍රබලතම හේතුව ලෙස දැක්ක හැකිය. ඔහුගේ මෑත කාලීන නවකතාව කෙරෙහි පාඨක අවධානය ස්වභාවිකව ගොඩ නොනැගුණේ එබැවිනැයි අපගේ විශ්වාසයයි. නවකතාව සම්බන්ධයෙන් ඔහුගේ විවේචනයේ යම් සත්‍යයක් ගැබ් වුවද ඔහුගේ නවකතා පවා ඊට පිළියමක් නොසපයන බව කිය මනාය.

ලාංකීය කෙටිකතා කලාව විෂයෙහි අමරසේකරගේ නිර්මාණ වලින් ලද බලපෑම සුළු පටු නොවේ. "රතු රෝස මල" කෘතියෙන් අරඹා ඔහුගේ නව වැනි කෙටි කතා එකතුව ලෙස නොබෝදා ප‍්‍රකාශයට පත් වූයේ "කියනු මැන දිවි අරුත" නම් කෘතියයි. මේ කෙටි කතා එකතුව මෑතදී ප‍්‍රකාශයට පත් වූ උසස් ගණයේ කෙටි කතා එකතුවක් ලෙස හඳුන්වා දීම යුක්ති යුක්තය. මෙහි කෙටිකතා පහකි. නූතන සමාජ සංස්කෘතික පරිහාණියේ කලාත්මක පිළිඹිබුවකි, ඒ. සිය අනෙකුත් කෘති වලදී මෙන් මෙහිදී ඔහු රළු ලෙස දෘෂ්ටිවාදී ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී අනුභූතින් කලාත්මක පරිකල්පනයක් මත සිත්තම් කරයි.

මේ එකතුවේ පළමු කතාව "මැයි දිනය" යනුවෙන් නාම ගන්වා ඇත. අපගේ මතකය නිවැරදි නම් ගිය වසරේ වැඩ කරන ජනතාවගේ දිනය නොඑසේව කම්කරු දිනය දා කුලී වැඩට යමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් වෑන් රථයකට යට වී මරු දුටහ. නූතන වෙළඳ මාධ්‍ය විසින් මෙම සිදුවීම එම දිනවල මාධ්‍ය භෝජනයක් කර ගත්තෝය. මෙම කෙටිකතාවෙහි එම සිදුවීම ඡායාත්මකව අපට දැකිය හැකිය. නමුදු, ශූර නිර්මාණකරුවෙක් ලෙස එකී සිදුවීම වෙනත් මානයක් කරා මෙහිදී ගෙන යන අයුරු විස්මය දනවයි. එකී රථය පැදවූ රියදුරාගේ ජීවිත තතුත් රථය හිමි වසළ වෙළෙන්දාගේ තතුත් පාඨකයා හමුවට පැමිණෙයි. එක් ප‍්‍රබල සිදුවීමක් විවිධ ඉසවු කරා විහිදමින් විවිධ චරිත විදාරණය කරමින් සමාජ දේශපාලනික විවේචනයක් වෙත කේන්ද්‍ර වෙයි. ඒකමානීය නොවන ආඛ්‍යාන රටාවකිනි. එහි චරිතයක් ලෙස එන මහේස්ත‍්‍රාත්වරයාගේ චරිතය හරහා මිනිස් චිත්ත චෛතසිකයේ සංකීර්ණත්වය පෙන්නුම් කෙරේ. ඔහුගේ බරපතල විවේචනයට හසු වන නව ලිබරල්වාදී මේ ඛේදනීය තත්වයන් විවිධ සමාජ පන්තීන් ස්ථරයන් විවිධ අන්දමින් තලා පෙලන ආකාරය මැනැවින් චිත‍්‍රණය වෙයි.

මෙහි එන තවත් කතාවක් වන "රැගෙන මා අත සමිඳ කියනු මැන දිවි අරුත" නම් කතාව, මහත් බලාධිකාරයක් විහිදමින් රටෙහි දේශපාලනයට මහත් බලපෑම් කළ දේශපාලන චරිතයක් වටා ගෙතී ඇත. කාව්‍යාත්මක යෙදුමකින් නාමකරණය කර ඇති මෙම කතාවේ සමස්ත අරුත එහි කුළු ගැන්වී තිබේ. තම නායකත්වයේ කැරිස්මාව තුලින් රටක අංශුමාත‍්‍ර මිනිසා පවා ගල ග‍්‍රහයෙන් ගත් අයෙකුගේ දිවියේ අවසන් භාගය චිත‍්‍රණයේදී පාඨකයාගේ හෘදයාභ්‍යන්තරයෙහි ඔහු කෙරේ ශෝකී හැඟුමක් පවා විටෙක ජනිත කරවන්නට රචකයා සමත්කම් දක්වයි.

අනෙක් අතට මෙම නිර්මාණාවලියෙහි වැදගත් ලක්ෂණයක් ලෙස බසෙහි වෙසරද බවෙන් නිපන් භාෂා රම්‍යතාව දක්නා ලැබේ.

"සුළං රැල්ලට අසුවන, ළහිරු රැසින් නෑවුණු නිල්වන් ළා ගොයම තරංගාවලියක් සේ උස් පහත් වනුයේ ඔවුන්ගේ දෙනුවන් පිනවමිනි."

"මං මොකටද ටයර් දාල දෙන්නේ. උන් ස්කිඩ් වෙලා මැරුණොත් මන්තිරියා ඒක බලාගනීවිනේ. ඌ අර ටයර් කඩකාරයට කියලා ඕව නිකන් දා ගනීවි...."

"වැහිබර අඳුරු අහසත්, සොහොන් කොත් වසා පැතිර ගත් පාළුවත් දෙණ පිටුපසින් යන පිරිස ගායනා කරන යාතිකා ගීතයත් මා හද දුක්බර හැඟුමෙන් වෙළා ගන්නාක් මෙනි, මට හැඟුණේ.."


"රෝහලේ ගින්න" සහ "මාලය කඩා ගැනීම" යන නිර්මාණ ද උසස් කෙටිකතා ලෙස සැළකිය හැකි ඒවාය.

මෙහි එන වැදගත්ම නිර්මාණය නම්, "මහගෙදර සොයා ආ ගමන" නමින් හැඳින්වෙන කතාවයි. දශක ගණනාවක් තිස්සේ රචකයා විසින් දෘෂ්ටිවාදයක් ලෙස සිය නිර්මාණ හරහා ගෙන ආ ජාතිකවාදී මතය දරන්නෙක් මෙහි ප‍්‍රධාන චරිතය ලෙස අප හමුවට එයි. ඔහු ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිය අතහැර තම දිවියේ සැඳෑ සමය සිය උපන් ගමෙහි මහගෙදර සරල අල්පේච්ඡ ලෙස ගෙවා දැමීමට සිතයි. නමුත්, මෙරටට පැමිණෙන ඔහු දකින්නේ, පශ්චාත් යුධමය ශ‍්‍රී ලංකාව නව ලිබරල්වාදයේ ගැලෙමින් අධිපරිභෝජනවාදී වෙළඳ යාන්ත‍්‍රණයේ කරවටක් ගිලෙමින් ව්‍යාජ පුරුෂාර්ථ කරපින්නා ගෙන අවලම් ගමනක යන අයුරයි.

යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව සිය පෙර වැරදි සමහන් කර ගනිමින්, තමන්ට හිමි මාවත හාරා පාදා ගනු ඇතැයි බොහෝ පිරිස් උදක්ම විශ්වාස කළහ. බොහෝ ජනී ජනයා මෙන්ම ගුණදාස අමරසේකරයන් තුල ද සැබෑ ‘සුබ අනාගතයක්’ කෙරෙහි තැබූ එම බලාපොරොත්තු බිඳ වැටෙමින් යන අයුරු මේ කෙටිකතා එකතුවේ අවසන් කෙටි කතාවෙන් මැනවින් නිරූපණය වන බව අපගේ නිරීක්ෂණයයි.

"මහගෙදර සොයා ආ ගමන" කතාවේ ‘ගුණසෝම’ යනු අන් කවරෙක් වත් නොවේ. ඔහු දිගු කලක පටන් අමරසේකරගේ සාහිත්‍ය චාරිකාවේ ඔහුගේ ගමන් සගයාය. ඔහු දිගු කලක් අපවෙත ආවේ ‘පියදාස’ ලෙසිනි. නූතන ලංකාව තුල ඔහු දකින්නේ කුමක් ද?

"අනෝමා පාර්ලිමේන්තුව වටා රිය පැදවූයේ ඒ අවට ඇති සුන්දරත්වය විස්තර කරමිනි. එහෙත් ඒ සුන්දරත්වය අර ඔය මැද හිටුවා ඇති ගස් දනවන ව්‍යාජත්වය ආත්ම කොට ඇතැයි ගුණසෝමට සිතිණි."

"කෝටි ගණන් වියදම් කරල මේ අධිවේගී හදන වේලේ මේ රටේ කොයි තරම් දේවල් කරන්න තියෙනවද? සර්ට ආරංචිද පහුගිය දවස්වල හැටන් වල මිනිස්සු එකතු කරපු එළකිරි බැරල් පිටින් පාර දිගේ හැලූවයි කියලා..."


අවසානයේ දී මහගෙදර පදිංචිව සල්ලහුක දිවියක් ගත කරන්නට සිතා හුන් ගුණසෝම මහගෙදර විකුණා දමා විදේශයේ පදිංචියට යාමට තීරණය කරයි.

මේ කෙටිකතාව තුලින් ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමන පිළිබඳව වන ඔහුගේ පැතුම් සුන් වීමෙන් ජනිත ප‍්‍රබල අපේක්ෂාභංගත්වය විද්‍යමාන වන බව පෙනී යයි.

කෙසේ වෙතුදු "කියනු මැන දිවි අරුත" නම් කෙටිකතා සංග‍්‍රහය ලාංකේය කෙටිකතා කෙතට එක් වුණු සරු අස්වැන්නක් බව කිය යුතුය. ගුණදාස අමරසේකරයන්ගේ මෑත කාලීන සාහිත්‍ය රචනා වල එන කලාත්මක බවින් හීන, රළු දෘෂ්ටිවාදී එළැඹුම් නිසා මෙම කෙටිකතා එකතුව ද ඒ මල්ලටම දමා පැත්තකටම දැමීම කිසිසේත් නොකළ යුත්තකි. මෙය නූතන සිංහල සාහිත්‍ය සමාජයේ පාඨක විචාරක නොමද අවධානයට පාත‍්‍ර විය යුත්තකි.

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මම

ගල් මල් අතර
නිල් රතු මාළු පීනන
පොඩි මුහුදකින් වටවුණ
පොල් ගස් කොදෙව්වේ
සුදුවට හිනා වෙන
ඔබේ කළු කොල්ලා මං

තෙත කළු මිදි දෑස්
ගත පුරා කළු මවිල් ගස්
නටන නලියන කළු මස්
මිස මගේ ඩා බිඳක ගඳක් සුවඳක්
නොපෙන්වයි ඔබට මා
පෙන්වන තිරය හතරැස්

තද රතු වද මලක්
රන්වන් මුහුදු වෙරළක්
බිළිඳු තේ දළුවක්
කළුම කළු තුණු සිරුරක්
ඔබට මා අන් කවරක්?

ඔබ

සිඟරට් දුම් වලා මැද
සුවඳින් ම තේරූ
ඉපැරණි වයින් විත
සිසිරයෙ දිග රැයක
අතරමං මේපල් පත

මා නිවන දල්වන ලා නිල් ඇස්
අතගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්

සුදු පටු කුඩා කුටියක
දුඹුරු බලු පැටියෙකු සමඟ
කුඩා කවුළුවකින් එබෙන
ඔබය අත දිග මදි වුණ

ඇත්තටම මම

අලුතින් නගී සුදු කෙස්
එක දෙක හිස මතට
වෙහෙසයි හිඳ ගනිමි
හිස මදක් පහත් කොට

ඇත්තටම ඔබ

????

අප දෙදෙන මැද මහ මුහුද

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පැල්ලම් වැටී ඉරි තැලී කහ ගැහුණු යමකින්
සොයගත හැකිවෙද කිසිවක් පුරුදු විලසින්
ගිම්හානයේ දිගු පියවර තබා යන ගමනින්
වීසි කළ කවියක් ඇහින්දෙමි වීදී කොනකින්

එබී කවියට දෙගිඩියාවෙන් ගැහෙන හදකින්
අමතකව ගිය හුරු පුරුදු ඇද අකුරු අතරින්
තිගැස්සී වෙව්ලා යළිත් අත හැරුණෙන්
හැඳින ගත්තෙමි මගේ හිත අසුරු සැණෙකින්

ඒ නුවර බොහෝ කලකට පෙර තිබූ මල් උයන්
මිදි වතු ද දිව රසය රැගෙන ආ රතු වයින්
කලු කබා කොලරයෙන් ඇද හාදු දුන් ලියන්
හීනයක් මැයි දැන් මතකයෙත් නැති තරම්

ඉරුණු අවුරුදු ගෙවී අතහැරුණ හැමදේක
දුක් සුසුම් හා කඳුළ මුහුව ගිය මද සුළඟ
මහ මඟට කට ඇරුණ වීදියේ කෙළවරක
ඇවිද යන මහලු මගියන් සිඹියි මතුදාක

අනූපමා ගනේගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|



විහංග පෙරේරා විසින් රචිත Stable Horses නවකතාවේ සිංහල පරිවර්තනය "හීලෑ අශ්වයෝ" නමින් ඉකුත් දා එළි දක්වන ලදී. Stable Horses, 2008 වසරේ ග්‍රේෂන් සාහිත්‍ය සම්මාන තරඟයේ අවසන් වටයට නිර්දේශ වූ නවකථාවකි. පරිවර්තනය හිමාලි එන්. ලියනගේ ගෙනි. "හීලෑ අශ්වයෝ" සංහිඳ ප්‍රකාශනයකි.

විහංග පෙරේරා THE(IR) (AU)TOPSY (2006) and Because The Night (2007) යන කෘතිවල කතුවරයා ය.


හිමාලි එන්. ලියනගේ

"Rangana was the name. The rebel. The daredevil leader of a class struggle. Who tried to liberate one’s self. One who coughed and spat on the oppressor’s right cheek. Spat again, if the oppressor held out the other – they usually didn’t. It has taken me a decade. It had taken me a fair amount of maturity and three women. But I see you now. But I see how superfluously naïve and blind I’ve been – not to recognise you. Treacherous to you: not to see you. Not to like you. Not to love you."
-Stable Horses– Vihanga Perera



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තවත් නත්තලක් ගෙවී ගියේය. ගිරුවායේ රාජපක්ෂ රජතුමාගේ සිට හිරු නොබසින රාජ්ජයේ එළිසබෙත් මහ රැජිණ දක්වා, ජනතාවගේ මුදලින් සුදියේ ඉන්නා සියළු තක්කඩීන් නත්තල වෙනුවෙන් ජනතාවට සුභ පැතුවෝය. මහ රැජිණගේ නත්තල් දින පණිවුඩය හුදු ආගමික පණිවුඩයක් නොව සිය අධිරාජ්‍ය ආවරණය කරමින් සිදුකරන බලාධිපත්‍ය සම්බන්ධ ප්‍රකාශයකි. [බලන්න: The Queen's Christmas Message 2013] බ්‍රිතාන්‍ය චැනල්-4 නාළිකාව, රජ්ජුරුවන්ගේ සහ රැජිණියන්ගේ ව්‍යාජ සුභ පැතුම් වලට සමගාමීව, විකල්ප නත්තල් දින පණිවුඩ ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන එයි. 1993 දී ඇරඹි මෙම පණිවුඩය ලබා දීමට කාලීන වැදගත් කමක් ඇති චරිත භාවිතා කරන ලදී. (ලැයිස්තුව සඳහා බලන්න.) ඒ අතර මෙතෙක් සුවිශේෂීම චරිතය වූයේ Mahmoud Ahmadinejad හිටපු ඉරාන ජනාධිපතිවරය ය. (2008) එහිදී ඔහු විසින් "වර්තමානයේ ජේසුස් මහපොළොව මත සිටියා නම්, දාමරික- ව්‍යාප්තවාදී බල කඳවුරු වලට එරෙහි ජනතාවගේ පැත්තේ හිට ගනු නිසැකය." යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදී.

මෙවර, විකල්ප නත්තල් පණිවිඩය, (අත්‍යාවශ්‍යයෙන් ම විය යුතු පරිදිම) එක්සත් ජනපදය නැමැති ගොලායත්ට එරෙහිව, ප්‍රාණ පරිත්‍යාගයෙන් සටනට පිවිසි අපේ කාලයේ ඩේවිඩ්- එඩ්වඩ් ස්නෝඩන්ගෙනි. ඇමරිකානු ආරක්ෂක ඒජන්සියෙහි (NSA) සේවය කරමින් සිට ලෝක ව්‍යාප්ත ඔත්තු බැලීමේ වැඩපිළිවෙළක් පිළිබඳ හෙළිදරව් කළ එඩ්වඩ් ස්නෝඩන් මේ වන විට රුසියාවේ, මොස්කව් නුවර තාවකාලික සරණාගත වීසා බලපත්‍ර යටතේ රැඳී සිටියි. (බලන්න: හා හා බලාගෙනයි, වොෂිංටනයේ බක-තපස් වෙස් මුහුණ ඉරා දැමූ එඩ්වඩ් ස්නෝඩන්)

මේ ස්නෝඩන්ගේ නත්තල් දින පණිවුඩයයි.


[Edward Snowden's Alternative Christmas Message 2013 | ITN]

"සුභ නත්තලක් වේවා ඔබ සැමට. ඔබ සියළු දෙනා අමතන්නට ලැබීම ගෞරවයක්.

පසුගිය කාලයෙදී අපි දැනගත්තා රාජ්‍යයන් විසින් අපේ සියළුම පුද්ගලික තොරතුරුවල ඔත්තු බැලීම සදහා ලෝක ව්‍යාප්ත වශයෙන් ක්‍රියාත්මක ඔත්තු බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන වග.

මහා බ්‍රිතාන්‍යයේ ලේඛක ජෝර්ජ් ඕවල්* විසින් මේ වගේ ඔත්තුබැලීම පිළිබදව මීට පෙර අනතුරු අඟවලා තිබෙනවා. ඕවල් විසින් සඳහන් කරන පොත්පත් වල ලියලා තියෙන තොරතුරු, මයික්‍රොෆෝන් සහ වීඩියෝ පටිගත කිරීම් වගේම අපි විසින් නරඹන රූපවාහිනී වැඩසටහන් වල අන්තර්ගත දේවල් වලින් ඔත්තු බලනවට වඩා අද ක්‍රියාත්මක ‍වෙන විධි හරිම දියුණුයි සහ සූක්ෂමයි. කොටින්ම අපි හැමවෙලාවෙම සාක්කු වල දාගෙන ඉන්න සංවේදකයක් (ජංගම දුරකථනය) හින්දා අපි යන්නේ කොහෙද ගියේ කොහෙද කියලා සජීවි තොරතුරු අත්පත් කරගන්න පුළුවන්.

සාමාන්‍ය මිනිසෙකුගේ ‍පුද්ගලික නිදහස අද පත්ව තිබෙන තත්ත්වය තේරුම් ගන්න. අද උපදින දරුවෙකු හැදී වැඩෙන්නෙ පුද්ගලිකත්වය සහ නිදහස ගැන කිසිම ආකාරයක අදහසකින් තොරව. වෙනත් තැනක සටහන් නොතැබුණු, වි‍ශ්ලේෂණගත නොවුනු පුද්ගලික සිතුම් පැතුම් ගැන කිසිම අදහසක් ඔවුනට නොමැති වේවි. පුද්ගලිකත්වය ප්‍රශ්ණගත වෙන මේ තත්ත්වය විශාල ප්‍රශ්ණයක්, මක්නිසාදයත් පෞද්ගලික නිදහස මතයි "අපි කවුද" සහ "අපි කවුරු බවට පත්වෙනවාද" කියන එක තීරණය වෙන්නෙ.

අපි වටා තිබෙන තාක්ෂණය පිළිබදව අපට ඇති විශ්වාසයත්, එය කවර ආකාරයකින් රාජ්‍යයන් විසින් හසුරුවයිද යන්නත් තීරණය කරනු ඇත්තේ අද දවසේ අපි විසින් සිදුකරන දායකත්වය මතයි. අපිට සියළුදෙනාටම එකතු වෙලා හොද සමබරතාවයක් හදාගන්න පුළුවන්වෙයි. තනි රාජ්‍යයන් විසින් කරන අති විශාල ඔත්තුබැලීමේ කටයුතු නතරකළ යුතුයි. රාජ්‍යයන්ට කියන්න ඕන, ඔය තරම්ම අපි ගැන හොයන්න අවශ්‍යනම් "අසා දැනගැනීම" හොරෙන් ඔත්තු බලනවට වඩා ලාභදායක බව.

අසා සිටින ඔබ සියළුදෙනාටම ස්තූතියි.
සුභ නත්තලක් වේවා...!"



* ජෝර්ජ් ඕවල් යනු, "1984" සහ "ඇනිමල් ෆාම්" යන සුප්‍රකට කෘතීන්හි කතෘවරයාය. රාජ්‍යයක් විසින් එහි ජනතාවගේ සියළු ක්‍රියාකාරකම් බලාසිටිමින්, මිනිස් ජීවිත පාලනය කරන ආකාරය ගැන කියැවෙන 1984 නවකතාවේ "බිග් බ්‍රදර්" යනු පුද්ගලික නිදහස ආක්‍රමණය කිරීම පිළිබදව සංකේතයකි.
පරිවර්තනය - සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගයාන් රන්ධීර අධ්‍යක්ෂණය කළ "ජෝන්ගේ සත්තු වත්ත" වේදිකා නාට්‍යය 2013 දෙසැම්බර් මස 28 වන දින සවස 3.30ට 6.30ට බොරැල්ල- පුංචි තියටර්හිදී රඟ දෙක්වෙයි. ඇමරිකානු නාට්‍ය රචක Edward Albeeගේ The Zoo Story නාට්‍යයේ අනුවර්තනයකි. Academic Players ඉදිරිපත් කිරීමකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කුරුලු හදවත මගේ හදවත ස්පර්ශ කල විදිය හා එය මාව කම්පනය කල මොහොතවල් හෝ අවස්ථා ගැන මෙතෙක් කෘතිය ගැන පලවූ හා මට කියවන්න ලැබුනු විචාරවලින් හරියට කියවුනේ නැති බවයි මගේ අදහස. නැතිනම් ඔවුන් ඒ විචාරමය කතිකාව සඳහා අල්ලා ගත්තෙ මා අල්ලාගත් පෙදෙසම නොවෙයි. මේ ලිපිය ලියවෙන්න මාව ඉක්මන් කළ මූලිකම හේතුවත් ඒක. ඒ නිසා කෘතිය ගැන මගේ වින්දනයේ කේන්ද්‍රයෙන් මම කතිකාව ආරම්භ කරන්නම්.

මම පොත විඳින්න පටන් ගත්තෙ හරියටම පොතේ භාගයකුත් කියවා අවසන් උනාට පස්සෙයි. මේක කුල පීඩනය ගැන කියවෙන සාමාන්‍ය කතාවක් තරමට නොගැඹූරු වෙයි කියල මුලදි මුලදි හිත හිතා කියෙව්වත් කුරුලු - ගංගොඩ ලෙස කුරුලුගංගොඩ නිර්මාතෘවම විභේදනය වෙමින් දිනසිරිගේ පරිවර්තනීය උත්පත්තිය ලැබීම ඒකී සිතුවිල්ල සිතීම ගැන මාව පසුතැවිල්ලකට පත් කලා. මෙතෙක් ප්‍රබන්ධයීය වීරයා ලෙසින් මතුව එමින් සිටි දිනසිරි කුරුලු බවට පත් වීමෙන් ද්‍රෝහියෙකුගේ තත්වයට පත්වන සීග්‍රගාමී පියාසැරිය පොතේ එතෙක් ගලාගෙන එන ප්‍රබන්ධමය රසය හදවත කිතිකවන බුද්ධිමය කතිකාවකට තල්ලුකිරීමේ මූලාරම්භය බව කියන්න පුලුවන්. ඒක උපරිම තලයකට අරගෙන එන්නෙ සරත්ගේ පුනරාගමනය. ඇතුම් විට අමරකීර්ති සරත්ගෙන් ලබා ගන්නෙ මාර්ටින් වික්‍රමසිංහ තිස්සගෙන් ලබා ගත්තු මෙහෙයම වෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් ඒ ප්‍රයත්නය කොයිතරම් දුරට සාර්ථකද කියන එකයි මෙතනදි වඩා වැදගත් වෙන්නෙ.

කුරුලුට සරත්ව මුන ගැහෙන අනපේක්ශිත මොහොතේ සිට කුරුලු මෙතෙක් හුරු පුරුදු තම ජීවිත විලාසිතාව පිලිබඳ යලි හැරී බලන්නට පෙලඹීම, "තමාවම ප්‍රශ්න කිරීම" තේමාත්මකය ප්‍රබල කිරීමක්.

"ඉස්සර මාත් දිනේ වගේම තමයි. කාගෙ හරි මැරුණ කෙනෙක්ගෙ නමක් දැක්කොත් ලිව්වා.."

"මාත් එහෙම තමයි ඉස්සර. හෙටත් පෝස්කාට් එකක් ලියන්න තිබ්බොත් ඇති කියල තමයි හිතං උන්නෙ"

"ඒ විදියම තමයි මාත්" (පි:232, 233)


කුරුලු දිනසිරී විදියට තමන් දිහා යලි හැරී බලන්නෙ එතැනින්. සමහර විට සරත්ගෙ අවංක හා බුද්ධියට අමතන වචනවල තිබුනු දාර්ශනිකත්වය නොදැනුවත්වම කුරුලුගෙ අදහස් ආක්‍රමනය කලා වෙන්නත් පුලුවන්. දිනසිරී වශයෙන් ඉඳිද්දී හමු වූ සරත් තුල නොතිබූ දැක්මක් මේ මොහොතෙදි ඔහුට හමුවෙන්න ගැනීම මේ නැවත හැරී බැලීමට වද දුන් කාරනාව උනා වෙන්නත් පුලුවන්.

"ඒ උනාට මං ලිව්වෙ මගෙ නමමයි. සරත් ලිව්වෙ අනුන්ගෙ නම්. ඒකයි වෙනස."

"දෙකම එකයි දිනේ. අනුන්ගේ නම් පොතක ලිය ලිය මං හෙව්වෙත් මගෙ නමම වෙන්ඩැති."(පි:233
)

සරත්ගෙ දේශපාලන දැක්ම කලින්ට වඩා පුලුල් බව ව්‍යාජයක් ජීවත් කරවන අතරෙදි උනත් කුරුලු හඳුනා ගන්නවා. කුරුලුගෙ ක්‍රියාකාරකම් ඍජුව විවේචනය කරන්නෙවත් බලහත්කාරයෙන් ඔහුව පක්ශ දේශපාලනයටවත් ඈඳා ගැනීමටවත් උත්සාහ නොකරන සරත් ඒ මොහොතේ කරන හෙලිදරව්ව ඔහුගේ අවංක දේශපාලන හා ජීවන දෘශ්ටිය එක්ක ඒකාබද්ධ වෙන බව කුරුලු නොදැනුවත්වම තේරුම් ගන්නවා.

"මොනවද ඇත්තටම වෙන්ඩැත්තෙ"

"ඒක කවදාවත් දැනගන්ඩ ලැබෙන්නෑ. අපිට තියෙන්නෙ අපිට අවශ්‍ය විදියට සිද්ධි අර්ථකථනය කරන්න විතරයි. විජේවීර, ගමනායක දෙන්න එක්ක කොටසක් වැලලුනා. ප්‍රේමදාස එක්ක තව ටිකක් වැලලුණා. රංජන් විජේරත්න එක්ක තව ටිකක් වැලලුණා. ලලිත් - ගාමිණී දෙන්න එක්ක තව කොටසක් වැලලුණා. තව තව වැලලෙනව මිසක් ගොඩ එන්ඩ තියෙන ඉඩ අඩුයි. ඒක කෑලි ගොඩක් නැති උන ප්‍රහේලිකාවක්."

"එහෙම පුහේලිකාවක් මොකටද පුරවන්නෙ. ප්‍රහේලිකාවම පැත්තකින් තියන එක හොඳයි." (පි:243, 244)


සරත් එතෙක් සිදුවූ සිදුවීම් වලට ඍජු අර්ථකථන නොදැක්වීමම ඔහුගේ පරිණතභාවය ප්‍රකට කරන්න පුලුවන් තරමේ නිදර්ශනයක්. කොටින්ම ඔහු 88/89 සිදුවීම් පෙල කියවන්න පවා අසීරු තත්වය හා එය තනි අර්ථකථනයකින් පෙන්වාදිය හැකි තරම් සරල කාරනයක් තත්වයට ලඝු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු සිදුකරන්නෙ තමන්ගේ පාර්ශවය හා තමන්ට වැරදුනු අවස්ථා ගැන ස්වයං විවේචනයක්. සංකීර්ණ දේශපාලන සිදුවීමක මූලය මේ යයි නොපවසන ඔහු එහි ප්‍රබල තැන්, මෙතෙක් දේශපාලන විචාරකයන් අතින් ලිස්සා ගිය සියුම් තැන් මතු කරන්නට වෙරදරනවා.

"නැත්තං ඒ කාලෙ කියවුණා ප්‍රේමදාසගෙ උපන්දිනේ දාට ජේවීපී කොල්ලො ටිකක් මරල තමයි ජේආර් ප්‍රේමදාසට රිදෙව්වෙ කියල. අපිට හොඳ වැඩේ අනුන්ගෙ සුලි වලින් වාසි ගන්ඩ යනවට. අවසානෙදි අපි අවිඥානිකව කරල තියෙන්නෙ අපි හතුරො කියල හිතපු අයගෙ සවිඥානික සැලැස්මවල්වලට උදව් කරපු එක."

"නිහඬතාව."

"මේ මට දැන් හිතෙන විදිය. ආයෙ දවසක ඇහුවොත් මංම දෙන්ඩ ඉඩ තියෙනවා වෙනම අර්ථකථනයක්."(පි:245)


මේ විදියට සරත් කුරුලු අතර අඳුරේ මතුවන සංවාදය කෘතියට අලුත් ආලෝකයක් සපයනවා. හරියටම මෙතනදී අතීතය හා වර්තමානය යා කෙරෙනවා. ඒ කියන්නෙ අතීත දේශපාලන සංසිද්ධියෙන් පස්සෙ මේ මොහොතේ අපි භුක්ති විදිමින් ඉන්න දේශපාලන යථාර්ථය යන දෙක එම සංවාදයත් එක්ක හරි අපූරු විදියට එක්කාහු කරන්න කතුවරයා සමත් වෙනවා. (කෘතියේ මුල් පරිච්ජේද කිහිපය ද කෘතියට වැදගත් මෙහෙයක් ඉටු කරනවා යයි කෘතියේ මැද කොටසෙදි ආයෙත් මට හිතෙන්න පටන් ගන්නවා) දිනසිරිට තමාගේම නොදැනුවත් භාවයෙන් නැටවෙන රූකඩයක් ලෙස කුරුලුව පෙනෙන්නට ගැනීමෙන් ඔහුගේ ආධ්‍යාත්මය කලඹන්නෙ මෙතැන් සිටයි. මුත්තු අත්තා ද බීමතින් දොඩවන වචන ඔහුට කනේ පහරවල් තරම් ප්‍රබල වන්නේත් මේ ආධ්‍යාත්මික කම්පනයේ ප්‍රබලත්වය නිසයි.

ඌරු මස් කමින් සුදුවා බොන මුත්තු අත්තා දිගට හරහට දක්වන 'පෙතිචාර' සරත් සමග කල සංවාද වලට වඩා තියුනු විදියට කුරුලුගෙ හදවගේ ඇනෙන්න ගන්නෙ උපහාස හා හාස්‍ය රසය මතුවන මොහතකයි. සරත්ගෙන් පිරි නොමැසෙන අඩුව කුරුලුගේ සිත පාරමින් උවත් දැඩි ස්වරයකින් කියන්න මුත්තු අත්තාව යොදා ගැනීම කතුවරයා තමන්ගේ අවශතාවය ප්‍රබන්ධමය වශයෙන් සූස් කට්ටකමින් ජයග්‍රහනය කිරීමක් විදියට හදුන්වන්න පුලුවන්. අනික් අතින් මේක තත්‍ය ලෝකයේ ඇත්ත ගමක ස්වරූපය ද මවා පෑමක්.

"උඹහැට රේඩියෝ එකෙන් නං කියන්ඩ බැරිවෙයි ඌර තැරි ගහන හැටි. ඕන් නං මං කියල දෙන්නං. මං බය නෑ." මුත්තු අත්තා දිනසිරි දිහාට බත්තම දික් කෙරුවා....

"කියකො පුලුවං නං අපි ඌරෙක් වැටුනහම පන්සලටත් ටිකක් පූජ කරනව කියල."(පි:275)

"මට නං සුදුව භාගයක්වත් නැතුව දැති ගොයියෙක් හොල්ලන්ඩ බෑ." මුත්තු අත්තා සරත් දිහා බලල නිහඩතාවය තිබ්බෙ සරත්ට හිනාවෙන්න ඉඩදෙන්න.

"මී හරකුන්ට වඳිනවලු. හොඳ වැඳිල්ල. පේර කෝටුවෙන් දෙන්නෙ"(පි:276)


කුරුලුගේ හඬින් මුලු රට තුලම අහිතකර ජාතිකවාදී විසබීජ පතුරුවා ඇති බව වඩා ගැඹුරු දේශපාලන අර්ථයකින් කුරුලු හඳුනාගන්නෙ සරත්ගේ මැදිහත් වීමෙන්. තමා ජයප්‍රියත්වයට පත් වීමට ගම උත්කර්ශවක් කරමින් බොරු කීම තව දුරටත් අහිංසක ප්‍රයත්නයක් පමනක් නොවන බව කුරුලුට හදුනාගන්න බොහෝ කල් ගතවෙන්නෙ නැහැ. එය මුත්තු අත්තා දකින හිටගෙන බොරු කීම, ගම ගැන සෙල්ලම් කතා කීම තරම් සරල කාරනයක් නොවන බව සරත් ඔහුගේ පරාජිත දේශපාලන ජීවිතයෙන් ලත් සමාජ- දේශපාලනාවබෝධයෙන් පසක් කර සිටිනවා.

"දැන් මාධ්‍යකාරයො ගසා කන්නෙත් අපේ දේශපාලන භාෂාවමයි. ඒ අදහස්මයි. අර මුත්තු අත්ත කියන සෙල්ලම් කතා නියමෙට ගැලපෙනව මේ වැඩ වලට. සරත් කෙලින්ම දිනසිරි දිහා බැලුවා. "(පි:284)

"නෑ මං කිව්වෙ අපි කැරැල්ල ගහන්ඩ පාවිච්චි කරපු වචනම අරගෙන කෘෂි සමාගං, සබන් සමාගං, රෙදි සමාගං ගමට එනවා. විප්ලවේ කරන්නෙ අපිද එයාල ද කියල හිතන්න බැරි විදියට. අනික් පැත්තෙන් ඒ වචනම පාවිච්චි කරකර ජාතිකවාදියො පෙලපාලි යනවා. සරත් අඳුර දෙස බලාගෙන කිව්වා" (පි:285)


කුරුලුගේ ඇතුලාන්තය නවකතාව තුල කොතනකදීවත් ගැඹුරින් හෙලිදරව් නොවූවත් එතැන් සිට ඔහුගේ මරණය දක්වාම ඔහු ගතකරන අතෘප්තිකර දෙබිඩි ජීවිතය මෙකී සංවාද ඔහුගේ මනස තුල සක්‍රීය වූ බයට ඉඟි කරනවා. ද්‍රෝහියෙක් වෙලා සිටිය වීරයාව වීරයා හා ද්‍රෝහියා භූමිකාව තුල දෝලනය වන්නේ මෙම සිදුවීම් ජාලය හා සමඟයි. කුරුලු නොදැනුවත්වම හසුවූ යාන්ත්‍රනයෙන් ඔහුට ගැලවීමක් නැහැ. එතෙක් තෘප්තියකින් ඔහු ජීවත් කල කුරුලු කිචිබිචිය අදෝනාවක් වි ඔහුටම ඇසෙන නිමේශයක අඩ නිදිරැයක ඔහු වල්මත් වෙනවා. වරෙක ඔහු කුරුලුට පන දෙනවා. තවත් වරෙක සරත්ගේ හා මුත්තු අත්තාගේ අබියස ගොලුව සිටිනවා. ඒ ඇසුරින් වලංගංගොඩ කුරුලුගංගොඩක් කරන්න වෙහෙස වූ, ගුවන් විදුලියට පෝස්කාට් යැවූ දිනසිරිගේ අහිංසකත්වය යලි හිස ඔසවනවා. ඇද වැටෙනවා.

සරත් හා දිනසිරි අතර අඳුරේ මතුවන සංවාදය කෘතියේ උච්චස්ථානය ලෙස මට දැනෙන්නෙ මේ නිසා. එය කොතරම් ඍජු දේශපාලන මැදිහත් වීමක් වුවත් කෘතියේ ඒ හා නොදෙවනි ප්‍රබන්ධමය ගුණය, සජීවී භාශාව පරිකල්පනීය සිදුවීම් මාලාව ඊට ඍජු ලෙස නැගෙන්නට ඉඩ දෙන්නෙ නැහැ. නවකතාව විශිශ්ට වන්නේම ඒ නිසයි. දේශපාලනික අරුත් පණගැන්වෙන කොයියම්ම මොහොතක වුවත් කතුවරයා ප්‍රබන්ධමය සාරය ද අත් හරින්නේ නැහැ.

කෘතිය ගැන තව කරුනු කාරනා රැසක් හිස වටා භ්‍රමනය වුවත් කෘතිය ගැන මෙම ලිපියෙන් කෙරෙන මගේ මැදිහත් වීම අවසන් බවයි මට හැඟෙන්නේ. ප්‍රබල කෘතියකින් මේ මොහොතේ මා අල්ලා ගන්නේ අතිශයින් මා කම්පනය කලා යයි සිතන මෙතෙක් පල වූ විචාර වලින් බැරෑරුම් ලෙස කතිකා නොවූවා යයි මට හැඟුන පරිච්ජේද කිහිපයක් පමනයි. කුරුලු හදවත මේ මොහොතේ ලාංකීය කොයි කවුරුත් කියවිය යුතු ආකාරයේ කෘතියක්. මෙය බාල මහලු ලොකු කුඩා උගත් නූගත් ඕනෑම වර්ගයේ පාඨකයෙකුට තම රසවින්දන පරාසය හා බුද්ධිමය ධාරිතාව අනූව ඒ ඒ මට්මමින්ද කියවිය හැකි, රසවිඳිය හැකි පොතක්. කතුවරයාගේ සියුම් දේශපාලනික මැදිහත් වීම බොහෝ පාඨකයන් අතින් ගිලිහී යාමේ අවදානම ද ඒ තුල නැත්තේ නැහැ. කෘතියක් පිලිබඳව කෙරෙන විචාර සංවාද අදුරේ කෘතිය කියවන පාඨකයාට අලුත් ආලෝකයක් සපයන බවයි මගේ පිලිගැනීම. ඒ අතින් මගේ උත්සාහය සියුම් ආලෝක ලපයක් වුවත් මා එයින් සෑහීමකට පත් වෙනවා. සරත් තමාගේ පාසල් අවදියේ මිතුරාට - දිනසිරිට යවන අවසන් ලිපියෙන් මේ ලියමන හමාර කිරීම සුදුසු බව මට හිතෙනවා. එය හුදෙක් දිනසිරිට පමනක් ලියවෙන ලිපියක් බව සිතීමෙන් අපට නවතින්නට පුලුවන්දැයි නැවත නැවතත් සිතා බැලිය යුතුයි.

"අපේ ගම අපේ සංස්කෘතිය දැනටමත් විශිෂ්ටයි. අපි තමයි හොඳම මිනිස්සු කියල මේ තරම් ළාමක විදියට හිතන ජනතාවකට අපේ රටේ කිසිම වැදගත් වෙනසක් කරන්න බෑ. අපි හොඳම ජාතිය කියලා හිතාගෙන ඉඳලා විනාශ වෙලා ගිය ජාතියක් හැටියට අපි ඉතිහාසයෙන් අතුගෑවිලා යයිද? මට නං ඔය බය තියෙනවා. ඒකත් ජාතිවාදී බයක් ද මංදා. නැත්නම් වෙනස් වෙන්න බැරි ජාතියක් වඳ වෙලා ගියාම මොකද කියල පැත්තකට වෙලා ඉන්න පුලුවන්නෙ. මට එහෙම පැත්තකට වෙන්න බැහැ. (පි:297)

ධම්මික ප්‍රසාද් තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|



ධනංජය කරුණාරත්න රචනය කොට නිෂ්පාදනය කරන ලද නාට්‍ය එකතුවක් උළෙලක් ලෙස 2014 ජනවාරි 31 දින සිට 2014 පෙබරවාරි 02 දින දක්වා ලයනල් වෙන්ඞ්ට් රඟහලේ සවස 6.30ට වේදිකාගත කෙරේ. පළමු දිනයේ සිහින රඟහල වේදිකා ගත කෙරෙන අතර ඊට වැලන්ටයින් එනකං, චන්ද්‍රාවතී සමඟ රාති‍්‍රයක්, ඔබ සාපේක්ෂයි, දුවන උන් දෙන්නෙක්, ලාස්ට් බස්එකේ කතාව යන නාට්‍ය පහ ඇතුලත්වේ. මෙම උළෙලේ ප‍්‍රථම වතාවට වේදිකාගත වන නාට්‍ය තුනක් ඇති අතර දෙවන දිනයේ ඉන් නාට්‍ය දෙකක් වන ඩබල්ගේම්කාරයෝ සහ බුද්ධිකයාගේ ජීවිතේ යන නාට්‍ය ද්විත්වය ද, අවසන් දින ඇසිඩ් වැස්ස නම් දිගු නාට්‍යය ද වේදිකාගත වේ.




(චන්ද්‍රාවතී සමඟ රාති‍්‍රයක් කෙටි නාට්‍යයෙන්)


(ඔබ සාපෙක්ෂයි කෙටි නාට්‍යයෙන්)


(දුවන් උන් දෙන්නෙක් කෙටි නාට්‍යයෙන්)

A Collection of Stage plays written & Directed by Dhananjaya Karunarathne will be staged at the Lionel Wednt Theatre from January 31st February 2nd at 6.30 p.m. as a festival. Sihina Rangahala witch is a collection of one act plays, Valentine Enakan, Chandrawathi Samaga Rathriyak, Oba Sapekshayi, Duwana un Dennek and Last bus eke Kathawa will be staged on the first day. The other three plays will be staged as their premier shows - Doubelgamekarayo and Buddhikayage Jeevithe will be on the second day and Acid Wessa on the last day.


ධනංජය කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"නෙත්මා දකිනු පිණිසය"- කෙටි කතා එකතුව සහ "නොකී කතා- නොනිමි ගමනක සමාජ දේශපාලන කතිකාව" යන හෙන්රි වර්ණකුලසූරියගේ කෘති ද්වය මුද්‍ර්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. "නෙත්මා දකිනු පිණිසය" කතුවරයාගේ ප්‍රකාශනයක් වන අතර "නොකී කතා" ආරිය ප්‍රකාශනයකි. මෙම කෘති සරසවි පොත් හලෙන් ලබා ගත හැක.


සිත්තම- ඉන්ද්‍රනාථ තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිගඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු එළිය වැටිල දිලිසෙනව. එතකොට මිනිස්සුන්ට මතකයට එනව ළඟදිම මේ පාට පාට ලෝකය එකම අඳුරු අලු පාටකින් වැහිල, ඉන්පස්සෙ හිම පියලි පියාඹන්න ගන්න බව. සීතල හිමෙන් පළාතම වැහෙනකොට කොළ නැති ගස්වල ඉපල් විතරක් අලුපාට අහසට ඇඟිලි දික් කරන හැටි ආයෙ දකින්න පුළුවන් බව සිහි ගන්වනව.

බර්ලින් නගරයටත් මේ කාලය උදාවෙලා. නොවැම්බරය කියන්නෙ බර්ලින් නගරයට වගෙම මුළු ජර්මනියටම අමතක කරන්න බැරි, අමතක නොකළ යුතු ඉතිහාසයක් ඇති තැනක්. දැනට වසර 75 කට උඩදි, ඒ කියන්නෙ 1938 නොවැම්බර් 09 වෙනිදා ජර්මානුවන්ගේ ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එකතු කරමින් එතකොට බලයෙ හිටපු හිට්ලර්ගෙ නාසි ආණ්ඩුව විසින් සංවිධානාත්මකව එක රැයකින් යුදෙව්වන්ට එරෙහිව සංහාරයක් දියත් කිරීම අරඹමින් NSDAP පක්ෂය, (National Socialist Deutsche Arbeiterpartei : ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය) විසින් මෙහෙයවන ලද මෙම නොවැම්බර් 09 වෙනි දින සංහාරය ඔවුන් එදා හැදින් වූයේ 'රයිහ් ක්‍රිස්ටාල් නහ්ට්' (Reichskristallnacht - රාජධානියේ දිදුළන රැය) යනුවෙනි.

සංවිධානාත්මකව ඇරඹූ යුදෙව් සංහාරය සාමාන්‍ය ජර්මන් මිනිසුන් කළ දෙයක් විදිහට ලෝකයට හඳුන්වා දෙන්නයි එහිදී නාසීන් උත්සාහ කලේ. කෙසේ වුවත් අද වන විට ජර්මන් මිනිසුන් මේ රාත්‍රිය හඳුන්වන්නේ 'රයිහ් පෝග්‍රෝම් නහ්ට්' (Reichspogromnacht - රාජධානියේ භීෂණයේ රාත්‍රිය) යනුවෙනි. එදා නොවැම්බර් 09 දින රෑ යුදෙව් පල්ලි (සිනගෝගස්) 1400 කට ගිනි තබනු ලැබීය. යුදෙව් කඩ සාප්පු සහ ගෙවල් දොරවල්වල වීදුරු ජනෙල් කඩා බිඳ දමනු ලැබීය. සාප්පු ගිනිබත් කරනු ලැබීය.




[Reichskristallnacht- රාජධානියේ දිදුළන රැය]


[නාසි සමුලඝාතනයෙන් දිවි ගලවා ගත්තවුන් 'රයිහ් ක්‍රිස්ටාල් නහ්ට්' පිළිබඳ කරන අතීතාවර්ජන | Holocaust Survivors Remember Kristallnacht Clips]

කැඩූ ජනෙල් වල වීදුරු කටුවලින් පාරවල් පිරී ගිය අතර ගිනි ගන්නා ගෙවල්වල එළියෙන් මේ වීදුරු කටු දිලිසෙන විට මෙම දිලිසෙන වීදුරු කටු ඔවුන් හැදුන්වූයේ 'රයිහ් ක්‍රිස්ටාල් නහ්ට් - Reichskristallnacht' යනුවෙනි. ඇත්ත නම් ඒ රෑට පමණක් යුදෙව්වන් 400කට වඩා ප්‍රමාණයක් මරා දමනු ලැබීමයි. යුදෙව් මිනිසුන් 33000 ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් වධකාගාරවලට යවනු ලැබීය. මේ රාත්‍රියේ ගිනි තැබූ සාප්පු සහ යුදෙව් දේපළ වටා නාසි ජර්මානුවන් සිංදු කියමින් නැටීය. ඒත් එදා සිදුවීම් ගැන පිංතූර දකින මගේ මනස තුල මගේ මතකයට ඇඳුනේ ලංකාවයි.

1983 රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානාත්මකව දෙමළ කඩ ගිනිතබා, දෙමළ මිනිසුන් මහමග පණ පිටින් පුළුස්සමින් ඒ වටා බයිලා කියමින් නැටූ මිනිසුන්ගේ රූ මා මතකයට නැගුණි. එක රැයකින් එක් ලක්ෂ පනස් දහසක් පමණ අනාථාගාරවලට ගාල් කරනු ලැබූ අතර ඔවුන්ව නැව්වල පටවා අනාථයන් ලෙස උතුරට පටවනු ලැබුණි. කඩ සාප්පු කඩමින්, අතින් කරින් බඩු එල්ලාගෙන ඒවා මංකොල්ල කෑ හැටි එදා අපිට දකින්නට ලැබිණ. ලංකා රජය ද එදා උත්සාහ කලේ මේ විනාශ කිරීම් සිංහල ජනයා කුපිතව නැගිට කළ දෙයක් ලෙස පෙන්වීමටයි.

මේ නොවැම්බර් 09 දින උදේ බර්ලිනයටත් හිරු හොඳින් පායා තිබිණ. සීතල වුවත් ඉල් මාසයේ ලස්සන දවසක ලකුණු අහස පුරා පැතිර තිබිණ. හැමතැනම පදික වේදිකාවල මිනිස්සු කණ්ඩායම් රැස්වී පදික වේදිකාවේ ඇති යමක් රෙදි කෑලිවලින් පිස දමමින් සිටිනු දුටු මම ඔවුන් කුමක් කරනවාදැයි ලංවී එබී බැලුවෙමි. මේ මිනිසුන් කරමින් සිටියේ එදා ඒ අන්ධකාර සමය සිහි ගන්වා එවැනි දෙයක් නැවත ඇතිවීම වලක්වා ගැනීමට ඒ මතකයන් නැවත අවදිකිරීමකි. මේ පදික වේදිකාවල ඔවුන් සුද්ධ කරමින් සිටියේ 1995 ජර්මන් කලාකරුවෙකු වූ Gunter Deminig- ගුන්ටර් ඩෙම්නිග් විසින් ආරම්භ කළ මුළු යුරෝපය පුරාම පදික වේදිකාවල 'නාසි ජර්මනියේ ඝාතනයන්' සිහි කරවීම සඳහා ලක්ෂ ගණනින් වළලා ඇති පා පැකිළෙන ගල්ය. සිමෙන්ති ගල්වලින් සම මට්ටමකට තනා ඇති පදික වේදිකාවේ අගල් 6 x 6 මෙම පිත්තල ගල් වළලා තිබුනේ අගල් භාගයක් අනෙක්වාට වඩා මතුව සිටින ලෙසයි. එවිට මග යන එන්නන්ගේ පය ඒවායේ පැකිලේ. පය පැකිළුණු අය එදෙස බලන විට එම ගල මෙන්ම ඒ මත ලියා ඇති වැකිය ද නෙත ගැටේ.


[පා පැකිළෙන ගල්- ගුන්ටර් ඩෙම්නිග්]

මේ ගල් වළලා තිබුනේ යම් කිසි ගෙදරකින් යුදෙව්වෙක් හෝ යුදෙව්වන් ගණනාවක් ගෙන ගියේ නම් ඒ ගෙන ගිය ගෙවල් ඉදිරිපිට පදික වේදිකාවේය. මේ ගල මත ලියා තිබුනේ මේ ගෙන ගිය පුද්ගලයාගේ උපන් දින ඇතුළු විස්තරයි. එතුලින් එදා ඝාතනය වූ මිනිසුන් ගැන මතකයක් සෑම මොහොතකම මග යන එන්නන් තුල මතු කරනු ලබයි. මෙතුලින් ඔවුන් උත්සාහ කරනුයේ ඒ අඳුරු කුරිරු යුගය සදා මතකය තුල තැන්පත් කිරීමයි. මේ වන විට ජර්මනිය තුල පමණක් මෙවැනි ගල් 43,000 ක් වළලා ඇත. මේ නොවැම්බර් 09 දින උදෑසන ජර්මන් මිනිසුන් පදික වේදිකාවල වටවී මේ පිරිසිදු කර ඔපවත් කරමින් තිබුනේ ඒ කුරිරු යුගය අමතක නොවීමට තමන්ගේ මතකයයි. මෙය දුටු මා තුල ඇති වූයේ පහන් සංවේගයකි. ඒ කාලකණ්නි වරද පිළිබඳ මතකය ඔවුන් අමතක නොකිරීම ඒ සාපරාධී අපරාධ නැවත ඇතිවීම වලක්වා ගැනීමට කරන උත්සාහය දුටු මට ඇතිවූයේ සතුටකි. තමන්ගේ අතීත වැරදි හඳුනා නොගැනීම තුලින්, එම වැරදි වැරදි ලෙස පිළිනොගැනීම තුලින්, එම වැරදි නැවත නැවත ඇති කරන ඉතිහාසයක් ඇති මා උපන් රට වෙතට මගේ මතකයන් නැවත ඇදී ගියේ සංවේගී සිතිවිලිවලට මැදිවය.

ඉල් මාසය ලංකාවට කොපමණ අඳුරු සෙවණැලි වැටුනු කාලයක්ද? වැරදි දේශපාලන ක්‍රියාවන් නිසා (ඒ තමන් කරන ක්‍රියාව ඉතා නිවැරදි දේශපාලන ක්‍රියාවක් යයි ද එයින් ජනතා සුභ සිද්ධියට මග පෑදෙනවා යැයි ද විශ්වාස කරමින්) බල අරගලය තුල නිවැරදි මග පෙන්වීමක් නොමැති නිසාවෙන් කී දහසක් ජීවිත අකාලේ විනාශ කර දමා තිබේද? මෙසේ රට තුල මිනිසුන් මරා දැමීම් වලදී රජය, රජයේ හමුදා, පොලීසි සහ පරා මිලිටරි කණ්ඩායම් විසින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අය ද, විප්ලවවාදීන් ය කියන ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් විසින් ද්‍රෝහීන් ලෙස නම් කළ අය ද, එල්ටීටීඊ ඇතුළු දෙමළ සන්නද්ධ කණ්ඩායම් තම විරුද්ධවාදීන් ද්‍රෝහීන් ලෙස නම් කරමින් ද ඒවාගේම එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල හෝ මුස්ලිම් මිනිසුන් ද මරා දමනු ලැබීය. රජයේ හමුදාවන් සහ පොලීසි විසින් ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් දෙමළ සිවිල් වැසියන් ද ඒවාගේම දෙමළ සටන් කාමීන් ද වශයෙන් මෙකී නොකී ලාංකිකයන් ලක්ෂ ගණනක් මේ වන තුරු මරා දමනු ලැබ ඇත. එය අඩු වැඩි වශයෙන් තව දුරටත් සිදු වෙමින් පවතී. ඒ සඳහා වෛරී මතවාදයන් විවිධ දේශපාලන බලවේග විසින් නැවත සමාජ ගත කරමින් පවතී.


ලංකාව. 1983 ජූලි.
බොරැල්ල ප්‍රධාන බස් නැවතුම අසලදී නිරුවත් කරන ලද දෙමළ මිනිසෙකුට මැරෙන තුරු පහර දෙමින් පිරිසක් ගී කියමින් නටමින් විනෝද වූ අවස්ථාව. [චන්ද්‍රගුප්ත අමරසිංහ ගත් ඡායාරූපයකි.]


දකුණේ 'ඉල් මහ විරු' සමරු පවත්වන්නේ මිය ගිය තම පක්ෂ සාමාජිකයින් සමරමිනි. ඒත් ඔවුන් අතින් මිය ගිය අයට හිමිවන තැන කුමක්ද? ඉතිහාසයේ වැරදි තේරුම් නොගැනීමෙන් ඒ වැරැද්ද නැවත නැවත සිදුවීම වලක්වා ගත නොහැකි වන බව අපි දනිමු. නමුත් ඉතිහාසයේ වැරැද්ද ‘වීර ක්‍රියාවක්' සංකේතවත් කරමින් එයට තව තවත් ආශ්වාදජනක බවක් ගොඩ නගන්නේ නම් එතුළින් එම වැරැද්ද නැවත ඇති කිරීමට ඉනිමං තනනවා පමණක් නොව තවත් මහා ඉතිහාසීය ඛේදවාචකයකට මග පාදන බව අපි මතක තබා ගත යුතු වෙමු.

දේශපාලන ප්‍රශ්ණ නිරාකරණය කර ගැනීමට මිනිසුන් මරා දැමීම පහසු දෙයකි. ලංකා සමාජය 1971 සිටම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මිනිසුන් මරා දමති. ඒ එකා දෙන්නා නොව දස දහස් ගණනින් ය. ඒත් ඒ දේශපාලන ප්‍රශ්ණ ඒ අයුරින්ම හෝ ඊටත් වඩා තීව්‍ර සහ සංකීර්ණ වී නැවත මතුවන බව මේ 42 වසරක ලේ වැකුණු ඉතිහාසය ලංකා සමාජයට නැවත නැවතත් කියා දෙනු ලැබීය. කියා දෙමින් තිබේ. එහෙත් මේ සත්‍යයට මොහොතක් සංයමකින් සිතා ප්‍රශ්ණ නිරාකරණයට ඇති එකම මාර්ගය වන සාකච්ඡා සහ ඇහුම්කන් දීම ආදේශ කිරීමට ලංකා දේශපාල බලවේග මේ ඉල් මස වත් ඉටා ගන්නේ නම් එය ලංකා සමාජයට මහත් සුභ සිද්ධියක් සහ සහනයක් සදනු ඇත.

එකෙකුගේ ද්‍රෝහියා අනෙකාගේ ආදරවන්තයාය. එකෙකුට ත්‍රස්තවාදියා අනෙකාට කැප කිරීම් කරන වීරයෙකි. එකෙකුට කුලී භටයා අනෙකාට රට රකින්නෙකි. එකෙකුට ප්‍රතිවිප්ලවවාදියා අනෙකාට ප්‍රජාතන්ත්‍රවාදියෙකි. එකෙකුගේ විප්ලවවාදියා අනෙකාට ත්‍රස්තවාදියෙකි. ඉතින් මෙසේ මිනිසුන්ට ලේබල් අලවා මරා දැමීමෙන් වත්, මරා දමා ලේබල් ඇලවීමෙන් වත් ලංකා සමාජය ගිලී ඇති මේ අන්ධකාරයෙන් ගොඩ ආ නොහැක.

මොහොතක් සිතා බලන්නේ නම් 71 සිට මරා දැමූ අය කොපමණද? ඔවුන්ගෙන් කී දෙනෙක් ගැන ඔවුන්ගේම අනුගාමික පක්ෂ හෝ කණ්ඩායම් දනී ද? ඔවුන්ගේ මිය ගිය නාමයන්ගේ කීර්ති නාමය විකුණන කී දෙනෙක් ඒ මිය ගියවුන්ගේ දරුවන් ඥාතීන් විඳින වේදනාව හඳුනත්ද? මෙය උතුරේත් දකුණේත් මේ වන තුරු නොකඩවා සිදුවෙමින් පවතී. මේ සත්‍යයෙන් අපට පලා ගිය නොහැක. කළ යුත්තේ මිනී මරණ දේශපාලනයට තිත තැබීමයි. මිය ගිය අය ගැන වීර කතා කීම වෙනුවට ඔවුන් සමරමින් ඔවුන් මිය යාමට හේතු වූ වැරදි දේශපාලනය ගැන කතා කළ යුතුය. ඔවුන් සැමරීම තුලින් විය යුත්තේ ඒ නිස්කාරණ මරා දැමීම් විවේචනය වීම මිස කිසි වග විභාගයක් නැතිව ඒ අවධියේ වැරදි දේශපාලනය වීර කාව්‍යක් කර එතුලින් තවත් එවැනිම කොටසක් වල පල්ලට යැවීමට එම දේශපාලන වැරැද්ද නැවත කිරීම නොව නිවැරදි දේශපාලනයකට එය මගක් කර ගැනීමයි. මේ ඉල් මස ‘විරු සමරු' පවත්වන අතරම එදා තම වැරදි දේශපාලනයෙන් මිය ගිය විරුද්ධවාදීන් ගැන ද මෙනෙහි කරන්නේ නම් එය නිවැරදි දේශපාලන ගමනකට මග පෙන්වීම ආරම්භ කරනු ඇත.

[-2013 නොවැම්බරය]

රංජිත් හේනායකආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලබන වසර සඳහා රජය විසින් ඇස්තමේන්තු ගත කර ඇති රාජ්‍ය වියදම රුපියල් බිලියන 1542 කි. එමෙන්ම එම වසරේදී ලබාගැනීමට අපේක්ෂිත ණය වාරිකයන්හි එකතුව රුපියල් බිලියන 1200 ක් වේ. ඒ අනුව වියදම පියවා ගැනිම සඳහා ණය මතින් යන්තමට යැපෙනා ආර්ථීක ක්‍රමයක් දක්වා මෙරට ගිලී යමින් තිබෙන බව පෙනේ. අද මෙරටෙහි උපදින දරුවා පවා රුපියල් ලක්ෂ 3ක පමණ ණයකරුවකු වග සංඛ්‍යාලේඛන වාර්තා තහවුරු කර සිටී. මෙරට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 987ක් වන විට ලබන වසරේ පමණක් විදේශයන්ට ගෙවිය යුතු ණය වාරිකය පමණක් රුපියල් බිලියන 1017 කි. එය දෙසම බැලීමේ දී පමණක් වුව ද අප රට පවත්නා අර්බුදයේ තරම තේරුම් ගත හැකිය. නිවසක වුව ද ආදායමට වඩා වියදම වැඩි වූ කල ඇති වන තත්ත්වය වෙසෙසින් කිව යුතු නොවේ. මෙරට බහුතර ජනයා චෝගම් සිහිනයේ මත් වෙමින් හා රජයේ කොන්ක්‍රිට් සංවර්ධනය ඉදිරියේ හිරිවැටී සිටිනා විට සැබෑ දේශහිතෛශීන්ගේ කර්තව්‍ය විය යුත්තේ රටට සිදුවෙමින් පවත්නා සැබෑ විනාශයේ තරම මහජනයා අවදිකර හෙළි කිරීමත් එයින් රට මුදවා ගැනීමට අවැසි කටයුතු සම්පාදනය කර ගැනීමත්ය. එහිදී සරසවි සිසුවාගේ භූමිකාවකට සුවිශේෂීය.

මිනිසුන් සමාජීය වශයෙන් නිද්‍රාවට ලක් කිරීම පහසු වන නමුත් ඉන් මුදවා අධිපති දේශපාලන වහන්තරාවෙහි දුහුල් සලු පිළි ඉවත්කරවීමට යලි පෙළ ගැස්වීම අසීරු කාර්යයක් වී ඇත්තේ මාධ්‍ය, සමාජ මත නිර්මාපකයින්, විරුද්ධ මත දරන්නන්ට එරෙහිව මර්දනය දියත් කිරීම වැනි බොහෝ හේතූන් නිසාවෙනි. එසේම ධනපති පාලනයෙහි සකලවිධ අවි එහි පැවැත්ම උදෙසා එසවෙන බැවිණි. ඊට තර්ජිත යැයි හැඟෙන ප්‍රභාකරන්ගේ පටන් රොෂේන් චානක, ඇන්ටනී ප්‍රනාන්දු, සේම රතුපස්වලදී වතුර ඉල්ලීමේ වරදට මරා දැමූ අහිංසක ගැමියන් දක්වා ද විකාශනය වූයේ එකී අර්ථයෙනි.

සරසවි සිසුවාගේ මහපොළ ශිෂ්‍යත්ව වාරික මුදල් වැඩි නොකරනුයේ ද පාලනයට එරෙහිවන ප්‍රජාවක් වන ඔවුන්ගේ උදරයට පයින් ගැසීමක් වශයෙන් බව පෙනේ. මන්ද යත් පවත්නා ක්‍රමවේදයට එරෙහිව අරගල කරනා පිරිස් කුසගින්නේ තැබීම වත්මන් මුසෝලනී පන්නයේ පාලන ස්වභාවය වන බැවිණි. කෙසේ නමුත් මහපොළ මුදල් වැඩි නොකරන අතර තුර සමස්ත ආර්ථීක දේහය පුපුරා යෑමේ අවදානමකට පත් කර ඇති බව ද පෙනේ. ඒ අනුව එය නිර්වචනය කර ගත යුත්තේ සමස්ත අර්බුදය නැමැති මහා ආඛ්‍යානයේ එක්තරා පාර්ශ්වික ප්‍රකාශනයක් වශයෙනි.

මහා අර්බුදයේ නූතන හැඩතල

ඉතිහාසයේ එදා මෙදා තුර කෙදිනක හෝ සිදු නොවූ අයුරින් වත්මන් ඊනියා දේශප්‍රේමී ආණ්ඩුව රුපියල පාවීමට ඉඩ හැරීය. ඉන් සිදුවූයේ රුපියලෙහි අගය තීන්දු විම වෙළඳ පොළ සාධකය මත තීරණය වීමයි. ඒ අනුව ඩොලරය පසුගිය අගෝස්තුව වන විට ඉතිහාසයේ වැඩිම අගයට පත්ව රුපියල අවප්‍රමාණ වීය. ඩොලර් එකක් රුපියල් 135 ක් දක්වා ඉහළ නැගි අතර රුපියල කඩා වැටුණේ අසීමිත වේගයකිනි. මෙහි ඇති භයානක තත්ත්වය වුයේ අප විසින් විදේශයන්ට ගෙවන ණය මුදල්හි වාරිකය ද ඉහළ යාමයි. මෙසේ වීම කෙරෙහි එක් අතකින් මෙරට තුළ නිෂ්පාදන ආර්ථීකයක් ගොඩනොනැඟීම හේතු වන බව පෙනේ. අතීතයේ පටන් කෘෂිකර්මාන්තයෙන් පොහොසත්ව 'පෙරදිග ධාන්‍යාගාරය' නමින් විරුදාවලි ලද, දේශගුණික හා පාරිසරික තත්ත්වයන් යටතේ කෘෂිකර්මාන්තයට ඉතා සුදුසු වූ මහපොළවක් පවතිද්දී ද කෘෂිකාර්මික දියුණුවක් මෙරට තුළින් මතු නොවන්නේ අන් යමක් නිසා නොව ඒ කෙරෙහි නිසි රාජ්‍ය අනුග්‍රහයක් මෑතක සිට නොලැබෙන බැවිනි. මෙරට රාජ්‍ය නායකයාගේ, කථානායකවරයාගේ, ආර්ථීක සංවර්ධන ඇමතිවරයාගේ ඇතුලු තවත් කිහිප දෙනෙකුගේම ගෙල වටා කුරහන් සාටක දමා 'මෙරට කුරහනින් පෝෂණය කරමි'යි සපථ කර ඇතත් මෙරටට කුරහන් ගෙනෙනුයේ ද අසල්වැසි ඉන්දියාවෙන් වීම හාස්‍යට කරුණකි. එය මෙම අර්බුදය තුළට එබී බැලීමට අවැසි නිදර්ශනාත්මක සිදුරක් පමණි.

මේ වන විට ගොවි විශ්‍රාම වැටුප කපා දමා තිබේ. වී මිල දී ගැනීමට ක්‍රමවත් වැඩපිලිවෙලක් නොමැත. ගොවි ණය ආදිය තුළ ඇති දීර්ඝ පටිපාටිමය හා දැඩි නිර්දේශ හේතුවෙන් ඒවා ද අක්‍රමවත් වි තිබේ. විදෙස් රටවලින් ඇතැම් බෝග ගෙන්වා මෙරට දේශීය නිෂ්පාදනයනට වඩා ලාභදායී මුදලට වෙලඳපොලගත කෙරෙයි. දේශපාලකයින් සේම ඇතැම් ආර්ථීක ඝාතකයින් ද මහා භාණ්ඩාගාරයේ සිටිමින් රටෙහි ආර්ථීක නාරටිය භක්ෂණය කර දමයි. ඉවතට දමනා ලී දණ්ඩක් වුව ද සරුවට පැලවෙන සරුසාර මහපොළවක් ඇති රටක ඒ දෙස නොබලා කැසිනෝ වැනි සූදු අර්ථක්‍රමයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම රජය ගනිමින් ඇති ක්‍රියාමාර්ග තුළින් හානියට ලක්වන්නේ දේශපාලකයින් නොව සාමාන්‍ය මහජනතාවයි. එසේම ඔවුන් ක්‍රියාත්මක වන්නේ බුදු දහමට ව්‍යවස්ථාවෙන් ම මූළිකත්වය දී ඇති රටක් වන ශ්‍රී ලංකාවේ දී වීම දෛවයේ සරදමකි. එය සිල් රෙද්දෙන් වසා ගෙරිමස් විකිණීමක් හා සමාන නොවන්නේ යැයි කාට නම් කිවහැකිද?

ණය ආර්ථීකය

රුපියල අවප්‍රමාණය විම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් තවදුරටත් මෙරටට ණය දීමටපෙර යලි සිතා බැලිය යුතුය යන තද ස්ථාවරයක සිටී. ඒ හේතුවෙන් රජය අනුගමනය කරනු ලබන නවතම උපාය මාර්ගය වනුයේ වාණිජ වෙළඳපොලෙන් ණය ලබා ගැනීමට ක්‍රියා කිරීමයි. ඒ සඳහා මෙරට සම්පත් උකසට තැබීමයි. ජනතාව හිරිවැටී සිටිනා අතරේ පෑල දොරින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව උකස්කොට රුපියල් බිලියන 784 ක අති විශාල ණය මුදලක් වත්මන් රජය විසින් ලබා ගන්නා ලදි. එහි පවතින භයානක තත්ත්වය වනුයේ එය පමණක් නොවේ. එම ණය මුදල ලබා ඇති පොළිය 8.875% ක් තරම් ඉහළ අගයක් දැරීමයි. එය සාමාන්‍ය සම්මත ජාත්‍යන්තර ණය වාරික සඳහා ගෙවන පොළී අනුපාතිකයට ට වඩා බොහෝ ඉහළය.

මෙසේ ණය මත යැපෙන ආර්ථීකයක් පැවතීමෙන් අත්වන වාසියක් නොමැත. ඇත්තේ අවාසිදායක මතු අනාගතයක් පමණි. කකුලුවා නටනුයේ දිය රත් වන තුරු පමණක් බව අප අසා ඇති කියමනකි. එම කියමන මෙරට දුර්වල ආර්ථික කළමනාකරණය කෙරෙහි ආදේශකර බැලීම මනාව ගැලපේ. මෙම වත්මන් ආර්ථීක ක්‍රමයේ ප්‍රතිවිපාක විඳීමට වනුයේ මතු අනාගතයේ දී වීම හේතුවෙන් උක්ත කියමන තුළ පුළුල් අර්ථ ජනනය කරයි. නමුත් ඒ වන විට වත්මන් ආණ්ඩුව නොමැතිවනු ඇති අතර මෙරටට කැඳවා ප්‍රබල ඇමතිධූර ලබා දී, ආර්ථීක සංවර්ධනය පාලනය කරනා ඇමරිකානු පුරවැසියන් යළිත් සිය රටට ම සංක්‍රමණය වනු ඇත. නමුත් අප මෙරට තුළ හැමදාමත් සිටිය යුතු බැවින් මේ කෙරෙහි සවිඥානික විය යුත්තේ ද අපමය.





අධ්‍යාපන කප්පාදුව

අධ්‍යාපන පෞද්ගලීකරණය, වෙළඳ කලාප ඇතිකිරීම, උපාධි විකිණීම, ආචාර්යවරුන්ගේ වැටුප් නොගෙවීම හෝ වර්ධක නොගෙවීම, අනධ්‍යන සේවක කප්පාදුව හා වැටුප් නොගෙවීම් ඇතුලු අනේකවිධ කප්පාදුකිරීම් සිදුකරන්නේ ද, ඊට එදිරිව පැන නගින්නා වූ ප්‍රතිරෝධතා මර්ධනය කරන්නේ ද උක්ත ණය හිමියන්ගේ කොන්දේසි සපුරනු පිණිසය. සෞඛ්‍ය සේවයේ කප්පාදු කිරීම් මතුවන්නේ ද මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. රෝහලෙන් රෝගියාට හිමිවන්නේ ඖෂධ ලියූ තුණ්ඩුව පමණකි. එය ෆාමසියෙන් ලබා ගැනීමට අද වන විට සැම දෙනාටම මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වයකි. මෙය වත්මන් ආණ්ඩුවෙහි මුග්ධ ක්‍රියාකාරකම් හි ප්‍රතිඵලයක් පමණක් නොවේ. එදා මෙදා තුර බිහිවූ සියලු ධනපති තට්ටුමාරු දේශපාලන පාදඩකරණයේ අනිවාර්ය ප්‍රතිඵලයකි. එසේ හෙයින් වගකිව යුත්තේ රාජපක්ෂ රෙජිමය පමණක් නොවේ. ඇතමුන් මෙහිදී වත්මන් ආණ්ඩුව වෙත පමණක් චෝදනාකොට මග හැර යාමට උත්සාහ දරන නමුදු මෙය සමස්ත ධනේශ්වර ක්‍රමයේ අනවරත අර්බුදයේම විකාශනයකි. එසේ හෙයින් මෙම අර්බුදයන්ට විසඳුම හුදු පුද්ගල මාරුවක් නොව සමාජ ආර්ථීක හා දේශපාලන ක්‍රමයේම වෙනසක් හා ආකල්පමය වෙනසක් බව කිව යුතුය. රාජපක්ෂ පන්නා රනිල් හෝ ෆොන්සේකා ගෙන ඒම ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය නොවන්නේ එකී අර්ථයෙනි. නමුත් මෙරට සාමාන්‍ය ජනයා හුරුවී සිටින්නේ එකී මතුපිට දේශපාලනය කෙරෙහිය. ධනේෂ්වර දේශපාලන පක්ෂ විසින් සිය අනුප්‍රාප්තිකයා වශයෙන් තවත් ධනවාදී පක්ෂයක් වෙත අවස්ථාව විවර කර දෙනවා විනා වාමාංශික පක්ෂ කෙරෙහි එම අවස්ථාව උදා කර දී නික්ම යාමක් සිදු නොකරයි. නිදහසින් පසු මේ දක්වා සිදු වූයේ එම නාට්‍යයෙහි රඟදැක්වීම යි.

ජීවන වියදම ඉදිරියේ මහපොළ

මේ වන විටත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ හා සේවා මිල අහස උසට නැග ඇත. නමුදු සරසවි සිසුනට වසර ගණනාවක් තිස්සේ මහපොළ මුදල් වාරිකයක් වශයෙන් හිමිවනුයේ රුපියල් 2,500.00 ක් පමණක් වන අතර ඉන් මාසයක කාලයක් කෙසේ වෙතත් සතියක් හෝ ජීවත්වීම කළ නොහැකි වී ඇති බව දන්නෝ දනිති. පොත් පත්, පෑන් පැන්සල් හා මකන කෑල්ලේ පටන් බත් පත දක්වාද ඉන් නොනැවතී ෆොටෝ කොපි, ප්‍රින්ට් අවුට්, ඇඳුම් පැළඳුම්, නේවාසිකාගාර වියදම්, ගමන් වියදම්, සමාසික වශයෙන් ලියාපදිචි වීමේ ගාස්තු ඇතුලු අනෙකුත් දහසකුත් වූ වියදම් ආදිය පිරිමසා ගැනීමට රුපියල් 2,500.00ක් ගෑවීමටත් මදිය! එසේ හෙයින් සුබ අනාගතයක්, විශ්වසනීය හෙටක්, ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කිරීමේ සිහිනය හා ආසියාවේ ආශ්චර්යය බවට රට මෙහෙයවීමේ දේශපාලන අභිප්‍රායන් කෙසේ ඉටු කර ගන්නේදැයි අපට ගැටළුවකි.

සරසවි සිසුවා කුසගින්නේ තැබීම යනු ජාතියක මතු අනාගතය කුසගින්නේ තැබීමක් වන අතර මෙය වත්මන් පාලකයින් දැනුවත්ව සිදු කරනු මිස නොදැනුවත්ව ඉබේ සිදු වන්නක් නොවේ. ඔවුන් එසේ කරනුයේ තමන්ගේ දුර්වලතාවයන්ට එරෙහි වන ප්‍රගතිශීලී සමාජ හඬෙහි ඉදිරි පෙළ බලවේගය වන සරසවි සිසුවා හාමත් කිරීම සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා වාසි දායක වන බැවිණි. සරසවි සිසුවා ආර්ථීක අහේනිය ඉදිරියේ විවිධ රැකියා සඳහා පිටත්ව යයි. ඉගෙනුම් හා කලා කටයුතු හෝ විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් බැහැර වේ. බොහෝ සිසුන් රාත්‍රී පෞද්ගලික ආයතන මුර කිරීමේ සිකුරුටි රාජකාරියේ එළි වන තුරු නිදිවරයි. එය මෙරට විද්‍යාර්ථීයාගේ තත්ත්වය ශෝකාන්තයක්ව ඇති බව පෙන්වන කදිම නිදසුනකි. නිදිවරා පැමිණෙන සරසවි සිසුවා හට දේශන සඳහා ප්‍රබෝධමත් සහභාගීත්වයක් ලබා දීමට නොහැකි බැවින් අපේක්ෂිත අධ්‍යාපන පරමාර්ථ සාධනය කර ගැනීමට එවන් සිසුන් බහුතරයකට නොහැකි වේ. ඇතැම් සිසුවියන් විවිධ වෙළඳ ආයතනයන්හි රැකියාවන් සිදු කරමින් සිය අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සපයාගනී. ඇතැම් අවස්ථාවන්හී ඔවුන් සිය ජීවිතයම අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙමින් පවත්නා බව දැන දැනම වුවද කුසගින්නට හා ශිල්ප පිපාසය සංතෘප්ත කර ගැනීම උදෙසා එකී අනාරක්ෂිත බවෙහි වුව ද එල්ලී සිටිනුයේ අන් කළ හැකි යමක් නොවන බැවිණි. මෙවන් තතු ඉදිරියේ සරසවි සිසුවියට ගණිකා වෘත්තියේ නියැලීමට වුවු ද සිදුව ඇතැයි අසන්නට ලැබුනහොත් එය පුදුමයට කරුනක් නොවනු ඇත.

හිට්ලර් සිදු කරන ලද්දේ තමාට එරෙහි වන්නන් සිර මැදිරි තුළ දමා කුසගින්නේ තැබීමයි. අනතුරුව ගෑස් කාන්දු කොට එකවර මරා දැමීමයි. අද වන විට සරසවි සිසු සිසුවියන් ද කුසගින්නේ එළිමහන් සිරකඳවුරක ගාල් කර ඇති බව පෙනෙන අතර වේදනාත්මක මරණයකට තල්ලු කර දමා ඇත. බුදුන් වුව ද ධර්ම දේශනයට පෙර ශ්‍රාවකයාගේ කුසගින්න ඇතුලු අනෙකුත් අවශ්‍යතා සංතෘප්තව ඇත්දැයි සොයා බලා බණ දෙසූ බව අප අසා ඇත. ඒකීය ධාරණාවකින් යුතුව අධ්‍යාපනය වෙත යොමු වීමට නම් ඉගෙනීමට අවශ්‍ය සම්පත් සේම ආහාර ඇතුලු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට අවැසි පහසුකම් සරසවි සිසුවාට හිමිවිය යුතුය. නමුත් මේ වන විට සිදුව ඇත්තේ සරසවි සිසුවා කුලීකරුවකුගේ තත්ත්වයට ඇද දමා තිබීමයි.



කණගාටුවට කරුණ වන්නේ මාධ්‍ය ඉදිරියේ කුඩා දරුවන් සිප ගන්නා ආඩම්බරකාර තාත්තා සරසවි සිසුවාට සුළු-පියෙකුගේ නපුරු භූමිකාවෙන් සංග්‍රහ කිරීමයි.

මේ මොහොතේ අසාධාරණය හමුවේ නැගී නොසිටිනා වුන් ද දිගින් දිගටම සිදුවන අපරාධ උදෙසා වගකිව යුතුය. වරක් මාටින් ලූතර් කිං ප්‍රකාශ කළේ "මේ යුගයේ ප්‍රබලතම ඛේදවාචකය වන්නේ නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි" යනුවෙනි. එය ආශ්චර්යයේ සිහින මායාවෙන් ගිිනිකණ වැටී ඇත් සමාජයට කොතරම් නම් ගැලපේ දැයි සොයා බැලීම ඔබ ට පවරමි.

-එම්.ජී. නුවන් සමීර
[හිටපු සභාපති] ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

එම්.ජී. නුවන් සමීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර ඔහුගේ ඡායාරූප කීපයක් ගන්නා ලද අතර, ඔහු වෙත වූ සියළු ලියකියවිලි ද ඡායාරූප ගත කරන ලදී. ඉන්පසු ගරිල්ලා නායකයාට වෙඩි තැබිය යුත්තේ කා විසින්දැයි තීරණය කළ යුතු විය. ඒ සඳහා රැස්ව සිටි හමුදා නිලධාරීන් අතර තුණ්ඩු අදින ලදී. වාසනාව හිමිවූයේ මාරියෝ ටෙරාන් නම් හමුදා නිලධාරියාටය. එක් වෙඩි උණ්ඩයකින් චේගේ ප්‍රාණය නිරුද්ධ කිරීම දුෂ්කර කාරියක් වන්නට ඇත. එසේත් නැතහොත් මාරියෝ දක්ෂ වෙඩික්කාරයෙකු නොවුණා විය හැක. ඔහු මුලින්ම පිට පිට වෙඩි හතරක් එල්ල කළේය. ඒ සියල්ල වැදුණේ චේගේ ඉණෙන් පහළටය. තවමත් එළඹි සිහියෙන්ද, නොසිඳුණු එඩියෙන් ද යුතුව සිටි චේ, ඒ මොහොතේ හමුදා ලොක්කන් ඇමතීය.

"මං දැනගෙන හිටියා උඹලා මාව මරා දමන විත්තිය. උඹලාට අහුවෙන්න මං පණපිටින් ඉතුරු විය යුතුව තිබුණේ නෑ. පිදෙල්ට කියාපල්ලා මට වූ මේ වැරදීම විප්ලවයේ අවසානය නොවන වග. එය කවදා හෝ වෙනත් තැනකින් මතුවේවි....

....ඒ වගේම මේ සොල්දාදුවන්ට උඹලා කියලා දෙන්න ඕනෑ හරියට ඉලක්ක කරලා වෙඩි තියන හැටි."


ඒ සමගම මාරියෝ ටෙරාන් පිට පිට තවත් වෙඩි දෙකක් චේට එල්ල කළේය. එකක් ඔහුගේ ගෙල පසාරු කරගෙන ගිය අතර අනෙක හදවතට එල්ලවිණ....

(-චේ- මාලනී ගෝවින්නගේ- 2000)



චේ සහ ලතින් ඇමරිකාව

....1959 ජනවාරි 01 දා කියුබානු විප්ලවය ජයගනු ලැබිණ. එය ලතින් ඇමරිකාවට විශාල උද්යෝගයක් අත් කර දුන්නේය. ලෝක පොලිස්කාරයාගේ ජනපදයට සැතපුම් අනූවක් දුරින් සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීම කෙතරම් පරමාදර්ශී ක්‍රියාවක් විණි ද යත් එය ලතින් ඇමරිකාවේ ජාතික විමුක්ති සටන් වලට නව මානයක් ගෙනාවේය. ලෝකයේ වෙසෙන සෑම මනුෂ්‍යයෙකුගේම සතුරා වන ඇමරිකාවට විරුද්ධ වීමට දිරියක් ගෙන ආවේය.

ශ්‍රේෂ්ඨ කියුබානු අරගලය පිදෙල් කස්ත්‍රෝගේ නායකත්වය- උපායශීලීත්වය- විචක්ෂණශීලී දැක්ම සහ ස්ථීර ආත්ම ශක්තිය සමග එකට බැඳී තිබේ. එරට විප්ලවවාදීහු ජයග්‍රහණයෙන් පසුව සමාජ දේශපාලන- ආර්ථීක ප්‍රතිසංස්කරණ අරඹා 1961 දී කියුබානු විප්ලවය සමාජවාදී විප්ලවයක් බව ප්‍රකාශ කළේය. කියුබාව ගොවිජන විප්ලවයක සිට එනම් ඉඩම් සඳහා වූ අරගලයකින් පටන් ගෙන සමාජවාදය සඳහා යොමු කෙරුණේ මනුෂ්‍ය ප්‍රේමය- පරමාදර්ශී ජීවිත- සකලවිධ ජාතීන්ට ම ආදරය කිරීම ආදී දහසක් සුබ ප්‍රාර්ථනා නිසාය. ඔවුන් කිසිම මොහොතක බලයට ඒම සඳහා ඕනෑම දහ ජරා මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම නම් අගතියේ ගිලුණේ නැත. මිතුරන්ට මෙන් ම සතුරන්ට ද ආදරය කළහ.

මේ අරගලයෙන් ලෝකයටම ආදරය කළ ජාත්‍යන්තරවාදියා අප අතරට ආවේය. ඔහු මේජර් අර්නස්ටෝ චේ ගුවේරාය. කෙනඩිලා, රේගන්ලා ලොව පුරා මිනිස් සංහාර කරද්දී චේ සකලවිධ මිනිස් සංහතියටම ආදරය කළේය. ශිෂ්ටත්වය ගැන පුරසාරම් කියූ ඇමරිකන් ඝාතකයන්ට මිනිසුන් වෙන්නට නොහැකි වුවත් ආදරණීය චේ නූතන ජේසුස් වහන්සේ ලෙස විරුදාවලී ලැබීය....


-රුසියානු ජාතික ඒ. සෙරසෝවා
[අර්නස්ටෝ චේ ගුවේරා ලියූ "ගරිල්ලා යුධ ක්‍රම" පොතේ පෙරවදනෙන්]

සටහන-

ගරිල්ලා යුධ ක්‍රම පොතට ගොනු කොට ඇති සටහන් චේ විසින් 1965-66 කොංගෝවේ විප්ලවවාදී ව්‍යාපාරයට සහාය පළකළ සමයේ ලියන ලදී. මේ පොත ලෝ පුරා බොහෝ ගරිල්ලා ව්‍යාපාර විසින් අත් පොතක් ලෙස භාවිතා කරන ලද අතර ගරිල්ලා සංවිධානයක ස්වරූපය විය යුත්තේ කුමක්ද- එබන්දක දේශපාලන භාවිතය විය යුත්තේ කෙබන්දක්ද- ගරිල්ලා යුද්ධයක සැබෑ අරමුණු කවරේද යන්න චේ මේ සටහන් වලින් විස්තර කරයි. ගරිල්ලා සටන් කාමියෙක් යනු ලෝකයට ආදරය කරන- නිදහස සහ සමානත්මතාවය වෙනුවෙන් අවි අතට ගත් සැබෑ මිනිසෙකු විනා, "ජන- ඝාතක" යුද්ධයක නියැලෙන අශිෂ්ඨයෙකු නොවන බව මේ පොත අපට කියයි.

මේ පොතේ එම්.එස්.එස්. ඩයස් විසින් කළ සිංහල අනුවාදයක් "ගරිල්ලා යුධ ක්‍රම" නමින් සංවිත ප්‍රකාශනයක් ලෙස මුද්‍ර්‍රණය කොට තිබේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ දවස් වල හීතල
හිරිගඩු පිපෙන අත්වල
නොකියා කියන වග නම්
ළඟ ළඟ වඩින නත්තල

කිළිටි තැවරුන හිත්වල
කහට ගලවා දත්වල
සෝද සෝදා පිරිමදින්නේ
සාමය ඉරී ගිය තැන්වල

වැසුනු දූවිලි පිස ලා
කුරුසය රැගෙන ඔප ලා
තබා ඇස් මානයක
සමිඳු ජේසුව තබා එල්ලා

කෝ..! ගව බැටළු රැළ
ලැග ගෙන අඳුරු තැන් වල
නිනව් නෑ එකලස් කරන්නට
ගව ලෙන පෙට්ටි මුලුවල

මෙතෙක් නිදි ගත් සෙයිලම
නිදි ගැට කඩා අළුයම
තබා සුකුරුත්තම් පලින් පල
මොණර කොළ මත බෙදන අන්දම

කිති කවා හිම මුව රැල
අළු ගසා කඩමලු ඇඳුම්වල
තෑගි වෑහෙන හිම කරත්තේ
ආසාව පැටි- පැටව් හිත්වල

කලබල තැබෑරුම්
සූකර මසට සැලකුම්
අදට නැති නත්තල් මක්කට ද?
දිගෙලි කොට සාදයට වියදම්

අව පැහැ ගැහුනු ගුණදම්
මොහොතකට ගෙයි හිටපන් ..!
සමිඳු කුරුසියෙ නැහුනු සෝකෙට
ස්වර්ගය දවසකට ඇවිදින්..

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අදින් පසු මට
කෙනෙක් නැති වේවි
මතක් වෙන විටත්
තරහ යන

තරහ හිත තබාගෙනම
ආවෙමි ඔබේ මළගෙදර
ඔබත් මාත් හැර කිසිවෙකුත්
නොදන්නා ගානයි
ඔබ හා මම අමනාප බව

ඉතින් ඔබ මිය ගොස්ය
පරණ තරහ ඉතිරි කර
ඔබ යන්නට ගොහින්

මග තොටේ විටෙක
හැදුවා නොවෙද ඔබ
කතා කරන්නට මා සමග
කතා නොකළෙමි ඔබට
මම තරහා බැවිනි

ඉතින් දැන් කා සමග
තරහෙන් ඉන්නද මම
හිස් බවෙන් මිරිකෙමි
වේදනාවෙන් තැවෙමි

පරණ තරහ ඉතිරි කර
ඔබ මියගොසිනි

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිරුට පෙර අවදිව
නගිමි හුන්නස්ගිරිය කඳු පෙළ
වංගු දහඅටක් දිග හැර
දකිමි මහ වැවද සොරබොර..........

පුරන් වන හේනක
වෙමින් සවි ඇති දඞුවැට
ඉසිමි රන් බිජුවට
කළුම කළු හතරැස් බිමක.........

හිරු සැඞව නැගුනද
දොළ රළුව ගැළුවද
නැඟුණු කටු පඳුරු මත
පිපේ සුදු මල් කිනිති උදයෙම.........

කීන අඹ දඹ කරඹ
පළු වීර සිහිළැති කොහොඹ
වන පියස පසුකර
පියාඹන සමනළ රෑන.........

ඉරිතැළුනු වැව් පතුළ
පිස හමන රළු සුළඟ
මැඞලමින් පියඹන්න
යෝධබල වෙර සවිය
දෙනු මැනවි බුලතාණ.........

දුර ඈත නුවරක
රැඳුණ ජීවිත සිහින
අත් හරිමි දුෂ්කර බිමක
දූවිලි පියරු තැවරූ
පුංචි මල් කැකුළු පාමුල.........

[ඡායාරූපය : Sunday Observer]

විහඟ සත්සර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උදයාගෙ අළුත් film එකේ වැඩ කරපු එවුන් ටිකටයි යාළුවො කිහිප දෙනෙකුටයි ඒ film එක බලන්න එන්න කියලා උදයා කරපු invitation එක ලැබිලා මමත් ගියා Majestic Cinema එකට. Film එක බැලුවට පස්සෙ ලියලා ඉවරයක් කරගන්න නලියන හෙන අමාරුවක් තිබුනත් film එ‍කේ වැඩ කරපු එකෙක් විදිහට සහ උදයත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරන යාළුවෙක් විදිහට ඒක කොයිතරම් ethical ද කියලා ප්‍රශ්නයක් ආවා. ඒ නිසා Film එක කරන කාලෙ ඇති වුනු සිද්ධි, ගැටළු, පෞද්ගලික ප්‍රශ්න බිම තියලා හැකිතාක් ප්‍රේක්ෂකයෙක්ගෙ දෘශ්ටියෙන් මේක ලියන්න උත්සාහ කරන්නම්. Premiere එකට කලින් යාළුවන්ට විතරක් film එක පෙන්නපුවහම ඒගැන මූණට කතා නොකර internet එකේ බයිලා ගහන එක හරි පාහර වැඩක් කියලා උදයට හිතෙන්න පුළුවන්. හැබැයි මගේ point එකත් ඒකම තමයි. උඔ film එක කරලා ඒක එලියට දාන්න හිතන තැනදිම ඒක උඔයි මමයි බොරැල්ල EAP එකේ කතා කරන ක්ෂුද්‍ර තලයෙන් එහා ගිහිල්ලා සාර්ව තලයකට එනවා. එතකොට උඔගෙ සාර්ව ප්‍රකාශනය ගැන මම ක්ෂුද්‍ර තලයෙන් ප්‍රතිචාර දක්වලා තේරුමක් නෑ. අනික මචං මට film එකක් කරගන්න බැරි ඇරියස් එක මමත් කොහොමහරි පිට කරන්න ඕනනෙ.

මම film එක බලන්න ගියෙ "මොනවා උනත් උදයනෙ... ඕකා වැඩේ ගොඩ දාලා ඇති" වගේ එකකින්. හැබැයි film එක ඉවර වෙනකොට මට මුකුත් ඉතුරු වුනේ නෑ. හරියට නිකං මම පැය දෙකක් විතර චින්තාගෙයි, උදයාගෙයි ඕප දූපයක් අහගෙන හිටියා වගෙයි. ඔක්කොම බලලා ඉවර වුනාම මට අහන්න තිබුනෙ "ඉතිං මට පාං ද?" කියලා විතරයි. උන්ම හිනාවෙලා, උන්ම අඩලා, උන්ම බෙල්ලෙ වැල දාගෙන යන්න යනවා. ඉතිං මට පාං ද ඕයි...



Film එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් ලක්ෂාන් (ගයාන්) ගේ ළදරු රගපෑම, වැඩේ කුජීත කරනවා. ලක්ෂාන් පෙන්නන්න හදන ඕපපාතික පාදඩකම එයාව හරි වල් සමනලයෙක් වගේ තැනකට තල්ලු කරනවා. මම film එක ඇතුලෙ දැක්කෙත් ඇත්ත ලක්ෂාන්ගෙ ඕලාරික හැසිරීම් රටාවම තමයි. චාපා, පෝලින් (ඊව්) වැඩේ යම් තරමකට හෝ ගොඩදාන්න උත්සාහ කලාට ඒ කිසිම චරිතයකට ගැඹුරක් තිබුනෙ නෑ. හොල්මං වගේ අවකාශයේ පාවෙමින් ඉන්න චරිත ටිකක්. ඒක පොදුවේ පිටපත් රචකයයි, අධ්‍යක්ෂකයිත් බෙදා ගන්න ඕනෙ අවුලක් විදිහටයි මට දැනුනෙ.

තමන්ගෙ අම්මා මැරුනා කියලා ප්‍රංශෙ වීදි දිගේ පිස්සෙක් වගේ කෑගගහා ඇවිදින ගයාන්ට ඊව්ව හම්බුනාට පස්සෙ මැරිච්ච අම්මා ගැන වගේ වගක් නැතුව යනවා. ඒක නිකන් උන් දෙන්නව මුනගස්සන්න විතරක් ඔබපු සිදුවීමක් වෙනවා. සමස්තයක් විදිහට Script එක හරිම ළාමක තැනකයි තිබුනෙ. පැය දෙකක් විතර තිස්සෙ මට මොනවත් කරන්න ඒකට පුළුවන් වුනේ නෑ. ඒකි අරූ ගාවට ගියාම මූ වහ බොනවා, මූ ගාවට ආපහු ආවම අරූ බෙල්ලෙ වැල දාගන්නවා. ඉරිදා ලංකාදීපෙ වගේ.

අනේ චින්තො, උඹලා ප්‍රංශෙ target කරලා දැන් ලියන script වල ආකෘති සහ සන්දර්භ 90 දශකයෙ ප්‍රංශෙ ඇතුලෙ පට්ට ගහලා අහකට විසිකරපුවා. කරුණාකරලා ඔය පරණ syllabus වල ප්‍රංශ film බලන එක නවත්තලා අළුත් film ටිකක් බලන්න පටන් ගනින්. උඹ ඔය වෙන film ගැන කරන විචාර වල ලියන ඒවයින් හතරෙන් එකක් වත් මේ script එකේ තිබුනා නම් මගේ සෙනසුරාදා සන්ධ්‍යාව මේ තරම් කාලකන්නි නෙවෙන්න ඉඩ තිබුනා.



උදයා character perspectives, voice over narrations, ටොරැන්ටිනෝගෙ වගේ super එකකින් scenes වෙන් කරලා පෙන්වීම් වගේ හෙන වැඩකෑලි ගොඩක් දැම්මත් ඒවා එකකින් වත් film එකේ චරිත වලටවත් film එකටවත් පදනමක් ලැබෙන්නෙ නෑ. ඒ වැඩ කෑලි ටික film එකේ Script එක සහ චරිත තවදුරටත් අර්ථකතනය කරන්න අසමත් වෙලා තියෙනවා.

How I wonder what you are, Miles of a Dream මේ දෙකේම ගෑනු චරිත වල සමානතාවයක් තිබුනා. ඒ චරිත කිසිම එකක් ස්වාධීන නෑ. පරපෝශිත ජීවීන්. උන්ට පිරිමින්ගෙන් තොර පැවැත්මක් නෑ. පිරිමින්ගෙ සාරය උරා ‍බොමින් උන් ඇතුලෙම වැඩෙන, වඩාත්ම හොඳ පෝෂකයා ලැබුනම මාරු වෙන ඇමීබා විශේෂයක්. උන්ගෙ සමස්ත පැවැත්ම පදනම් වෙන්නෙ පිරිමියා මත. මෙතනදි තමයි උදයයි චින්තයි සමපාත වෙන්නෙ. මේ තමයි උදයාගෙයි චින්තාගෙයි male gaze එක. වෙන විදිහකින් කියනවා නම් උන් දෙන්නගෙ ෆැන්ටසික ස්ත්‍රිය. ඒ ගෑනිව චූන් කරගන්න උන් දෙන්නා film හදනවා. ඒක උන් දෙන්නට පට්ට පෞද්ගලික ආතල් එකක්. අපිට මෙලෝ රහක් නැති ගොසිප් එකක්.

Film එකේ ප්‍රංශෙ shoot කරලා තිබුනු scenes වල හෙන armature ගතියක් තිබුනා. උදය ධර්මවර්ධන සහ චන්න දේශප්‍රිය එකතුවකින් බලාපොරොත්තු නොවන විදිහේ armature ගතියක්. ඕක ගැන අපි film එක බලලා එන ගමන් ඩිංගා කිව්වෙ ඒකෙ හෙන short film ගතියක් තිබුනා කියලයි. හැබැයි ඒක අස්සෙ ඊව්ගෙ පොලේ scene එක, චාපා overdose වෙලා දකින හීනය වගේ scenes මාව කරකවලා අතඅරින්න සමත් වුනා.

අන්තිමේදි චාපා වගේ තඩි එකෙක් පොඩි වයර් කෑල්ලකින් බෙල්ලෙ වැල දාගන්න එක හරි ගොං. මම ඒක හරියයිද කියලා බලන්න මගේ කිලෝ 08 ක් බර බලු පැටියව ඒවගේ වයර් එකකින් බැන්දා. ඌට ඒක කඩාගන්න විනාඩි 02ක් වත් ගියේ නෑ.

Film එක ඉවර වෙලා එන ගමන් ඩිංගා සුපුරුදු පරිදි ඉතාම අවංක ප්‍රකාශයක් කලා. "අපේ පරම්පරාවෙ සිනමාකාරයො ඔක්කොම පට්ට චාටර් නේද බං?" මං මොකක් හරි පරම්පරාවකට අයිති වෙනවද? එහෙම වෙනවනම් ඒ මොන පරම්පරාවටද? කියලා මම දන්නෙ නෑ. හැබැයි ඩිංගා ඔය කියන්නෙ හඳගම, ප්‍රසන්න, ජයන්තලාගෙන් පස්සෙ පිචර් කරන්න තියෙන අමාරුවට park එකෙයි, film corporation එකෙයි, බාර් වලයි අපිත් එක්ක සමකාලීනව අල වෙවී ඉන්න උන්ටික කියලා මම හිතාගත්තා. ඇත්තටම උන්ටික මෙච්චරකල් කරපුවා හෙන පජාතයි තමයි. ඔය ගොඩට මමත් ඇතුලත් කියලා මම දන්නවා.

අර ඉසුරුවා කාපු තැනම රීලා, ඒක හත්පොලේ ගගා මුළු ගමම ගද ගස්සා ගස්සා ඇවිදිනවා. තිසර හරී අහින්සක විදිහට උඩ බලාගෙන ඉන්නවා. අපිට කිම්කි දුක් ගැන බයිලා ගහපු සංජීව දැන් තමන්ගෙ දුක් ලෝකෙටම කිය කිය කිඹුල් කදුලු හෙලනවා. මේ ගොඩටම උදයවත් දාලා කතා කරන්න සිද්ධවෙයි කියලා මම හිතුවෙ නෑ.

මේ කියන අපේ පරම්පරාවේ (මමත් ඇතුළුව) හැමෝටම තියෙන අවශ්‍යතාවය කොහොම හරි කරලා "සිනමාකාරයෙක්" වෙන්න. හැබැයි ඒ සිනමාකාරයා කොහොම එකෙක් විය යුතුද කියලා උන් කාටවත් කිසි අදහසක් නෑ. මේක ඉතාම සරලව ලෝක සිනමාවෙ බිහිවුණු අපේ උන්ම ඉතාම උත්කර්ශයට නංවන විකල්ප සිනමා ධාරාවන් ඇතුලෙ තේරුම් ගන්න පුළුවන්. ප්‍රංශ නව රැල්ලෙ ඉදන් ඉතාලියානු නව යථාර්ථවාදය, Dogme 95, Underground cinema, Gorilla cinema, 3rd cinema, Remodernist cinema වගේ විකල්ප සිනමා ධාරාවන් දිහා බැලුවෙත් මේ හැම එකකටම පොදු ලක්ශනයක් තියෙනවා.



මේ හැම එකකම හිටපු සිනමාකරුවන්ට තමන් ජීවත් වුනු කාල වකවානුවේ තිබුනු සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වටාපිටාව ගැන අදහසක් එහෙමත් නැත්නම් ප්‍රකාශනයක් තිබුනා. කොටින්ම කිව්වොත් උන්ට කියන්න දෙයක් තිබුනා. උන් තමන්ගෙ ඒ ප්‍රකාශනය කරන්න සිනමාව මාධ්‍යක් විදිහට යොදා ගත්තා. ඒක නිසා උන්ට සිනමාව ප්‍රකාශන මාධ්‍යක් පමණයි. නීතියක්, රීතියක් හෝ පිළිවෙතක් නෙමෙයි. ඒකයි උන් එතෙක් පැවති සිනමා රීතීන් කඩා බිඳ දමලා උන්ගෙ ප්‍රකාශනයට හරියනම ක්‍රමවේදයක් අළුතින් නිර්මාණය කලේ. ඒකයි උන්ට film හදන්න මහා ලොකු ප්‍රාග්ධනයක්, නවීන තාක්ෂණයක්, පහසුකම් ඇති සිනමාශාලා, තරු ගුණය තියෙන නළු නිළියන් අවශ්‍ය වුනේ නැත්තෙ. ඒකම තමයි උන්ගෙ වැඩ ලෝකෙ පුරා කතා බහට ලක්වෙන, අළුත් සිනමා සම්ප්‍රදායන් ගොඩනගපු පට්ට වැඩ වෙන්නෙත්.

අපේ උන්ට චිත්‍රපටියක් කරලා කියන්න තරම් දෙයක් නෑ. උන්ගෙම කියලා ප්‍රකාශනයක් නෑ. ඒක නිසා උන් හදන film අවංක නෑ. උන් film කරන්න දගලන නිකම්ම නිකං propaganda සිනමාකාරයො විතරයි. ඒක නිසා තමයි අපේ උන් film එකේ producer ගෙ සල්ලි ගසා කාලා කාර් ගන්නෙ, උන් බලපු හොදම film එක හොඳටම කොපි කරන්න හදන්නෙ, රට සම්මාන ගන්න film කරලා පිටරට ගිහින් කුජීත වෙන්නෙ, ප්‍රංශ නිළියො දාගෙන Cannes වලට film කරන්නෙ. චිත්‍රපටි කරන්න හීන දකින උන් අපට producer ලා නෑ, තාක්ෂණය නෑ, සිනමා මණ්ඩල වල අපේ film පෙන්නන්නෙ නෑ කියලා අඬ අඬා ඉන්නෙත් ඕකම තමා.

මේවා ගැන ඩිංගත් එක්ක කියව කියවා එනකොට ඩිංගාගෙන් ආරංචි කිහිපයක් ලැබුනා. ඩෙනිස්ගෙ film එකේ වැඩ ඉවරයිලු. ජගා (මනුවර්න) producerලා හොයලා ඇවිදලා එපා වෙලා ඌට ටික ටික සල්ලි ලැබෙන වෙලාවට සැරින් සැරේ හරි film එක shoot කරන්න පටන්ගෙනලු. ජගාගෙ film එකේ trailer එක නම් රිදෙන්න දීලා තිබුන්නා. ලක්මාලයත් උගේ film කර ගන්න තටමමින් ඉන්නවා. පෙර පරිදිම මේවා ගැන බලාපොරොත්තු තියාගෙන ආපහු මේවගේ පාහර කතා ලියන්න ලියන්න සිද්ද නොවේවා කියලා හිතාගෙන film කරන්න බැරි මම බලන්ඉන්නවා.





කසුන් පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails