Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


සාහිත්‍ය පරිවර්තකයකු ලෙස දැනට කෘති 25ක් පමණ පරිවර්තනය කොට ඇති ගාමිණී වියන්ගොඩ, ලතින් ඇමෙරිකානු සාහිත්‍යය ප්‍රමුඛ ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා සිංහල පාඨකයාට හඳුන්වා දීමට ක්‍රියාකළ පුරෝගාමියෙකි. මේ ඔහු සමග ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයයේ රත්තනදෙණියේ මේධානන්ද හිමි කළ සංවාදයේ සංෂිප්ත සටහනයි. මෙය මුල් වරට දිවයින පුවත්පතෙහි පළ වූවකි.

ඔබ පරිවර්තකයකු ලෙස ගොඩනැගෙන පසුබිම මොකක්ද?

පාසලේ සෑම වසරකම සාමාන්‍ය පෙළ පන්තියේ විද්‍යා හා කලා අංශයෙන් වෙන වෙනම හොඳම ශිෂ්‍යයා තෝරන ක්‍රමයක් තිබුණා. 1966 අවුරුද්දේ මම හොඳම ශිෂ්‍යයා විදියට තේරුණාම තෑග්ගට දුන්නේ ජී.බී. සේනානායකගේ "වරදත්ත" නවකතාව සහ ෂර්ලොක් හොල්ම්ස් (Sherlock Holmes)ගේ "අභිරහස් පරීක්ෂණ" කියන පරිවර්තන කෘතිය. එතකොට ඒ කාලෙම පරිවර්තන කෘති කියවන්න ඇල්මක් ඇතිවුණා. පසුව අපරාධය හා දඬුවම, යුද්ධය හා සාමය, කර්මසෝ සහෝදරයෝ වැනි රුසියානු සාහිත්‍යය කෘති කියවන්න පටන් ගත්තාම පරිවර්තන සාහිත්‍යයට ඇල්මක් ඇති වුණා. ඊට පසු මම ලංකාවෙන් ස්පාඤ්ඤයට ගියාම මට කියවන්න ලැබුණු පොතපත සහ ඉන් ඇති වූ විස්මිතභාවය යහළුවකුට කියලා තව කෙනෙක් එක්ක බෙදාහදා ගත්ත නම් හොඳයි කියන සිතිවිල්ල ආවා. නමුත් මම නවකතාව කියවීමෙන් ලබපු වින්දනය, ඒ කතන්දරය තව කෙනෙක්ට කියා දීමෙන් එන්නෙ නෑ. ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි පරිවර්තනය. මුලින්ම මම හිතුවා ජාත්‍යන්තර ලෝකයේ තිබෙන කෙටිකතා පරිවර්තනය කරන්න. 1987/88 වගේ කාලයේ මම විවිධ රටවල කෙටිකතා පරිවර්තනය කළා. ඒවා වරින් වර දිවයින ඉරිදා සංග්‍රහයේ පළවුණා. මේ වෙද්දී මම දිවයින සමග ලේඛන කටයුතුවලදී ඉතා සමීපව වැඩ කළා. දිවයිනේ බදාදා අතිරේකයටත් මම සතිපතා ලිපි මාලාවක් ලියමින් හිටියා. එකක් "චාල්ස් ඩිගොල් ගේ ජීවිත කතාව" ඊළඟට "පලස්තීන විමුක්ති අරගලයේ ඉතිහාසය". වසරකට වැඩි කාලයක් මේවා සතිපතා දිවයින පුවත්පතෙහි පළවුණා. එතැනින් තමයි මගේ පරිවර්තන ගමන ඇරඹෙන්නේ.

ලෝක දේශසීමා තරණය කළ හැකි මාර්ගයක් වශයෙන් පරිවර්තනය කියන විෂයෙහි තිබෙන වැදගත්කම ඔබ හඳුනාගන්නේ මොන විදිහටද?

අපි ලෝක සාහිත්‍යය කියන්නේ පරිවර්තන සාහිත්‍යයට මිසක් වෙන දේකට නෙවෙයි. අපි හිතමු "යුද්ධය හා සාමය" ඉංග්‍රීසියට පරිවර්තනය නොවී රුසියානු භාෂාවේ පමණක්ම ඒක තිබුණනම් අද වෙනකල් ඒක ලෝක සාහිත්‍ය කෘතියක් වෙන්නේ නෑ. ගී ද මෝපසාංගේ, එඩ්ගා ඇලන්පෝගේ, චාල්ස් ඩිකන්ස්, දොස්තයෙව්ස්කි, ගුස්ටර් ප්ලොබෙයාර් වැනි අයගේ කෘති වුණත් එහෙමයි. මේවා මුල් භාෂාවෙන් පමණක් තිබුණනම්, ලෝක සාහිත්‍යයක් වෙන්නෑ. එතකොට අපි ලෝක සාහිත්‍යය කියලා ගන්නේ පරිවර්තන සාහිත්‍යයට. ලෝක සාහිත්‍යයක් බිහිකිරීම සඳහා පදනම දැම්මේ පරිවර්තන සාහිත්‍යයෙන්. එසේ නොවුණා නම් ඒක ජාතික සාහිත්‍යයක් විදිහටයි තියෙන්නේ. භාෂාව හරහා සමාජගතවන දැනුම කලාපවලට, පළාත්වලට, රටවල්වලට සීමා වෙන්න පුළුවන්. ඒ සීමාව බිඳගෙන යන ක්‍රමය තමයි පරිවර්තනය.

ඉස්සරත් "දැනුම" සමාජගතවෙලා තියෙන්නේ භාෂා පරිවර්තනය ඔස්සේ. උදාහරණයක් විදියට බුද්ධාගම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාෂාවෙන්ම තිබුණනම් බුදුදහම ඒ පිරිසෙන් එහාට යන්නෑ. ඒක ඊට පස්සේ සංස්කෘතවලට, සිංහලට, බටහිර වෙනත් භාෂාවන්ට පරිවර්තනය වෙලා තමයි ලෝක ආගමක් බවට ව්‍යාප්ත වුනේ. ඉස්ලාම් ආගමේ කුරාණය අරාබි භාෂාවෙන් පරිවර්තනය වෙලා තමයි ලෝකෙට යන්නේ. එතකොට සාහිත්‍යය සම්බන්ධයෙන් ගත්තත් සමස්ත දැනුම් සම්භාරය සම්බන්ධයෙන් ගත්තත් ලෝක ප්‍රපංචයක් බවට පත්වෙන්නේ පරිවර්තනය ඔස්සේ. දැනට තිබෙන මුලු දැනුම් සම්භාරයම ගත්තොත් එයත් භාෂා පරිවර්තනයේ ප්‍රතිඵලයක්.

ස්වතන්ත්‍ර නිර්මාණයෙන් පරිවර්තනය වෙනස් වෙන්නේ කොහොමද?

ස්වතන්ත්‍ර නිර්මාණයක් කියන්නේ තමන්ගේම හිතේ ඇති කරගන්නා සංකල්පය ප්‍රතිනිර්මාණය කිරීම. පරිවර්තනයේදී ඒක කරන්න බෑ. වෙනත් කෙනෙක්ගේ නිර්මාණයක් තමයි පරිවර්තනය කරන්න වෙන්නේ. ස්වතන්ත්‍ර නිර්මාණකරුවාට තිබෙන නිදහස පරිවර්තකයාට නෑ. එයා හැම වෙලාවෙම බැඳිලා ඉන්නවා මුල් කෘතියේ කතුවරයාගේ අවශ්‍යතාවය ඉටුකරන්න. ඒ සීමාවේ ඉඳන් විතරයි ඔහුට මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් පරිවර්තකයා ඒ කාර්යය කිරීමේ දී තමන්ගේ යම්කිසි නිර්මාණාත්මක කුසලතාවක් ඊට මුසුකරනවා. එහෙම වුණාම තමයි අර පරිවර්තනය යාන්ත්‍රික නොවී ඉලක්ක පාඨකයා එක්කත් රසවිඳිය හැකි අත්දැකීමක් බවට පත්කිරීමට හැකි වන්නේ.

ඉන් අදහස් වෙන්නේ පරිවර්තනය කියන්නේ භාෂාවකින් තවත් භාෂාවකට පෙරළීම පමණක් නොව තවත් ප්‍රතිනිර්මාණයක් කියන එක නේද?

පළමුවෙන්ම භාෂාවකින් තවත් භාෂාවකට පෙරළීම තමයි මූලිකම දේ. නමුත් සාහිත්‍ය පරිවර්තනයකදී ඒකම විතරක් පරිවර්තනය කියන එකින් අදහස් කෙරෙන්නේ නෑ. ඔය කතාව හරි වෙනත් කෘති සම්බන්ධයෙන්. උදාහරණයක් විදියට වෛද්‍ය විද්‍යාව, යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ පොතක් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරනවා කියන්නේ භාවිත භාෂාව වෙනත් භාෂාවකට පෙරළීම. ඉන් එහාට දෙයක් ඒකේ කෙරෙන් නෑ. නමුත් නවකතාවක්, කවියක්, කෙටිකතාවක් පරිවර්තනය කරනවා කියන්නේ භාෂාවකින් තවත් භාෂාවකට පෙරළනවා කියන එකම නෙමෙයි. මොකද එතනින් එහාට නවකතාවේ, කවියේ, කෙටිකතාවේ තියෙන කලාත්මක ගුණය රැකගැනීම සඳහා ඉලක්ක භාෂාව ඇතුළේ දී පරිවර්තකයාට සිද්ධ වෙනවා නිර්මාණකරුවෙක් වෙන්න. එහෙම නොවුණොත් රස නිෂ්පත්තිය ඇතිවෙන් නෑ. සාහිත්‍ය පරිවර්තනයකදී හැම වෙලාවෙම, එයාට කලින් ලියල තියෙන දේ වෙනත් භාෂාවක් ඇතුළේ යළි නිර්මාණය කරන්න වෙනවා.

එතැනදී පරිවර්තකයෙක් විදියට ඔබ මුහුණ දෙන අභියෝග මොනවද?

නිර්මාණ ක්‍රිියාවලියක්වීම තුළම තමයි ඒ අභියෝගය තියෙන්නේ. බටහිර ලේඛකයන් නවකතාවක් ලියද්දී මේක වෙනත් භාෂාවකට පරිවර්තනය වෙනවා, සිංහල පාඨකයන්ටත් කියවන්න සලස්සනවා කියන අදහසින් නෙමෙයි ඒක ලියන්නේ. එයාගේ ඉලක්ක සමාජයක් පාඨක පිරිසක් ඉන්නවා. ඒ අයටයි ලියන්නේ. එතකොට ඒක සිංහලට ගේනකොට කෙලින්ම ප්‍රේක්ෂකාගාරයේ වෙනසක් ඇතිවෙනවා. මෙතැන තමයි පරිවර්තකයාට යම්කිසි කාර්යභාරයක් වගේම අභියෝගය තියෙන්නේ. සමහරු සිංහල පාඨකයාට මුල්තැන දෙමින් යම් යම් දේවල් වෙනස්කරනවා. මේක සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක්. මුල් කෘතිය කියවා එම මුල් පාඨකයා ලැබූ වින්දනයම පරිවර්තනයේදී ඉලක්ක පාඨකයා කියවීමෙන් ලැබිය හැකි පරිසරයක් පරිවර්තනය තුළ ගොඩනැගීමයි කළ යුත්තේ. එතැනදී මුල් ලේඛකයා ඉදිරිපත් කරපු මූලික දේවල් මගහැරයන්න පුළුවන් කමක් නෑ. එම අදහස්වලට කිසිම හානියක් නොවන විදියට භාෂාවෙන් කරන මැදිහත්වීම හරහා ඉලක්ක පාඨකයාට අවස්ථාව සලසා දෙන්න ඕන ඒ මුල් නිර්මාණකරුවා ලියපු දේ රසවිඳින්න. එතකොට මේක මුල් නිර්මාණකරුවාගේ කෘතිය මිසක් පරිවර්තකයාගේ කෘතිය නෙමෙයි. පරිවර්තකයා කරලා තියෙන්නේ මැදිහත්කාරක භූමිකාවක් ඒක කරන්නේ කොහොමද කියන එක ලොකු අභියෝගයක්.

ඒ කියන්නේ කෘතියේ භාෂාව හැර පරිවර්තකයා වෙනත් කිසිවක් වෙනස් නොකළ යුතුයි කියන එක නේද?

ඔව්. භාෂාව හැර වෙන කිසිවක් කියන්නේ නවකතාවේ වෙනත් දෘෂ්ටිවාදයක් තිබෙනවා. ඒකෙන් ඉදිරිපත් කරන වෙනත් සංස්කෘතික වියමනක් තිබෙනවා. ඒ දේවල් වෙනස් කරන්න පරිවර්තකයාට අයිතියක් නෑ. මොකද දැන් සමහරු මම ඉහත සඳහන් කළ මැදිහත්කාරකම අරගෙන තියෙනවා විනිශ්චකාරකමකට. එයා විනිශ්චය කරනවා සිංහල පාඨකයා කියවිය යුත්තේ මොනාද? නොකියවිය යුත්තේ මොනාද? කියලා හිතලා කොටස් ඉවත් කරනවා. සමහරු ආඩම්බරකමක් විදියටත් කියනවා ළමයින්ට නොගැලපෙන ඒවා ඉවත්කළ බව. ඒක පරිවර්තකයෙක් නොකළ යුත්තක්. මුලින් ඔහු කෘතිය කියවා ඊට එකඟතාවක් ඇත්නම් පමණයි පරිවර්තනයට අතගැසිය යුත්තේ. ළමයින්ට නොගැළපෙන ඒවා තියෙනවා නම් ඔහු කළයුත්තේ ළමුන්ට ගැළපෙන ළමා පොතක් තෝරා ගැනීමයි. වැඩිහිටියන්ගේ සාහිත්‍යයට ළමයි අතගැසුවාම පරිවර්තනය වෙන්නේ මුල් කෘතිය නොව එයාගේ කෘතියක්. ඇත්තටම පොතක් පරිවර්තනය කරනවානම් සංස්කෘතිය, සමාජය, සාරධර්ම, විශ්වාස සම්බන්ධයෙන් එයාගේ තියෙන පෞද්ගලික මතවාද පැත්තකින් තියන්න ඕන. එසේ බැරිනම් ඔහු යන්න ඕන පරිවර්තනයකට නෙමේ අනුවර්තනයකට.

එතකොට අනුවර්තනය හා පරිවර්තනය අතර පවතින වෙනස මොකක්ද?

පරිවර්තනය කියන්නේ මුල් කෘතිය ඒ ආකාරයෙන්ම අනෙක් භාෂාවෙන් ඉදිරිපත් කිරීම. අනුවර්තනය කියන්නේ මේක සංක්ෂිප්ත කරලා එයාට පහසු විදියට කතන්දරයට පමණක් මුල්තැන දීලා ඉදිරිපත් කිරීම. නමුත් නවකතාවක කතන්දරය වටා බැඳිච්ච විශාල ලෝකයක් තියෙනවා. ඒත් ඒ ලෝකය ඒ ආකාරයෙන්ම අනුවර්තනයේදී එන්නෑ. අනුවර්තකයාට තිබෙනවා පරිවර්තකයාට නොතිබෙන නිදහසක් ඒ නිදහස පාවිච්චි කරන තරමේ හැටියටයි මේ අනුවර්තනය මුල් කෘතියට කිට්ටුද නැද්ද කියලා තීරණය වෙන්නේ. සමහර අනුවර්තන මුල් කෘතියට ඉතා දුරස්ථයි. සමහර අනුවර්තන ඉතා සමීපයි. ඒක සිද්ධ වෙන්නේ අනුවර්තකයාගේ අරමුණ, ඉලක්කය හා දක්ෂතාවය උඩ.

එතකොට අනුවර්තනය වගේම පරිවර්තනයත් වෙනම නිර්මාණයක් හැටියට රස විඳින්න බැරිද?

ඇත්තටම වෙනත් නිර්මාණයක් හැටියටයි රස විඳින්නේ. මොකද රස විඳීම කියන එක විවිධ පරිසර වලින් පෝෂණය වූ අත්දැකීම් එක්ක වෙනස් වෙනවා. එකම සිද්ධිය රටවල් දෙකක දෙවිදිහකට රස විඳින්න පුළුවන්. මුල් කෘතිය රස විඳපු පාඨකයාගේ මනෝභාවයෙන් නෙවෙයි පරිවර්තන කෘතිය රස විඳින පාඨකයා රස විඳින්නේ. කිසි දවසක මේ දෙක සමාන නෑ. උදාහරණයක් විදියට හාමුදුරුවෝ භික්ෂූත්වය ඇතුළේ ලබපු අත්දැකීම් උඩ බෞද්ධ සාහිත්‍ය කෘතියක් කියවනවා කියලා හිතමු. ඒ කෘතිය කියවද්දී හාමුදුරුවන්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා. බුදු හාමුදුරුවන් පිළිබඳව, වෙනත් සංඝයා පිළිබඳව. ඒ චිත්ත රූපවල පරිසරය සකස් කරලා තියෙන්නේ හාමුදුරුවන් ඉපදුන සමාජ සංස්කෘතික පරිසරය විසින්, දෙමාපියන් විසින්, සංඝ සමාජය විසින්. ඒ සංස්කෘතික පසුබිම ඔලුවේ තියාගෙනයි මේ පොත කියවන්නේ. නමුත් මේ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කළොත් ඇමරිකාවේ හෝ එංගලන්තයේ ඉන්න සුද්දෙක් මේක කියවනවා කියලා හිතමු. එතකොට හාමුදුරුවෝ ඉපදුන සංස්කෘතික පරිසරය, ලංකාවෙන් ලබපු චින්තනය එයාට නෑ. එතකොට එයා ලබන්නේ හාමුදුරුවෝ මේ පොත කියවලා ලබන දේ නෙවෙයි වෙනස් දෙයක්. ඒ අතින් ගත්තාම පරිවර්තනයකින් ලබන්නේ මුල් කෘතිය කියවපු පාඨකයා ලබන දේ නෙමෙයි. වෙනත් නිර්මාණයක් විදියටයි රස විඳින්නේ.

සාර්ථක පරිවර්තනයකට භාෂාව පිළිබඳ පමණක් ප්‍රවීණත්වයක් තිබීම ප්‍රමාණවත් නෑ. ඔහුට එම රටවල සමාජ සංස්කෘතිය, ඉතිහාසය, ජනශ්‍රැතිය, උපමා-පිරුළු, පුරාණෝක්ති ආදිය පිළිබඳව බහුශ්‍රැත භාවයක් තිබිය යුතුයි.

ඒක තමයි සත්‍යය. චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නවා වගේ පරිවර්තකයාත් මුල් කෘතියේ පරිසරය පිළිබඳ, සමාජ සංස්කෘතිය පිළිබඳ, සමහරවිට එහි ඉතිහාසය පිළිබඳව පිළිසිඳ දැනගත යුතුයි. එය අනිවාර්ය කොන්දේසියක්. උදාහරණයක් විදියට "උම්බෙර්තෝ ඉකෝ" කියන නවකතාකරුවාගේ "Name of the Rose" නවකතාව සිංහලට පරිවර්තනය කරන්න ගියොත් ඒ පරිවර්තකයා දැනගෙන ඉන්න ඕන මීට සියවසකට විතර කලින් යුරෝපයේ තිබූ කතෝලික ආගමේ සහ පල්ලියේ ඉතිහාසය. ඊටපසු ක්‍රිස්තියානි ආගමේ ප්‍රභේද. ඒවා එකිනෙකට නිකාය අනුව කැඩී ගිය විදිහ. මේ සියල්ල නොදැන පරිවර්තනය කරන්න ගියොත් ඒ පරිවර්තනය ඉතාමත්ම වියුක්ත යාන්ත්‍රික භාෂාවට පමණක් සීමාවන පරිවර්තනයක් වෙනවා.

වියුක්ත භාෂාවට පමණක් සීමාවන පරිවර්තනයක් කිව්වාම ඒක අපි විග්‍රහ කරගන්නේ කොහොමද?

මෙහෙමයි. භාෂාව කියන්නේ වියුක්ත සංකල්ප ඉදිරිපත් කරන දෙයක් නෙමෙයි. උදාහරණයක් විදියට "මට බඩගිනියි" කියන එක වියුක්ත කියමනක්. බොහෝ විට බඩගින්න කියන එක විශ්ව ව්‍යාප්තව තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි කිව්වොත් "මගේ සිත්තැවුල මහමෙර වගේ" මෙයින් ජනිත කරන අදහස මොනවගේ එකක්ද? සිත්තැවුල කිව්වාම ඒක මොනවගේ සිත්තැවුලක් ද? මහමෙර කියන්නේ මොකක්ද? නිකම්ම කන්දක් ගැනද මේ කියන්නේ. මේවා අපි සම්බන්ධ කරලා අර වචන කීපයකින් කියපු දේ පිටිපස්සේ වෙනම ගොඩනැංවීමක් කරගන්නවා. එතකොට භාෂාව කියලා කියන්නේ අර වචන ටිකට පමණක් නෙමේ මේ ඔක්කොටම. එනිසා ඕනෑම පරිවර්තකයෙක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනයක් කරන කොට මුල් භාෂාවෙි පිටිපස්සේ තිබුණ අර ගොඩනැංවීම පිළිබඳ අවබෝධයක ඉන්න ඕන. ඊට අමතරව එයාට විශේෂඥ ඥානයකුත් තියෙන්න ඕන "Name of the Rose" වැනි කෘතියක් පරිවර්තනය කරන්න. පාඨකයාටත් මේක අදාලයි. එහෙම නොවුනොත් එවැනි කෘතියක් සිංහලෙන් පළවුණත් කියවා පූර්ණ රස විඳීමක් කරන්න අමාරුයි.

ඇතැම් පරිවර්තනවල මුල් කෘතියේ නම වෙනුවට නිර්මාණාත්මක නම් යොදාගෙන තිබෙනවා. ඔබ මෙය දකින්නේ මොන විදිහටද? පරිවර්තකයාට එවැනි නිදහසක් තිබෙනවද?

අපි පුළුවන් තරම් බලන්න ඕන මුල් නම් යොදාගන්න. ඒවා දුෂ්කර වෙන්න පුළුවන්. මොකද? "නම්" කියන ඒවා ඒගොල්ලන්ගේ සංස්කෘතික දේවල්. දැන් රත්තනදෙණියේ මේධානන්ද කිව්වාම ඒ නම පිටිපස්සේ සංස්කෘතියක් තියනවානේ. ඒ වගේම සෑම ජාතියකම නම් පිටිපස්සේ සංස්කෘතියක්, ඉතිහාසයක් තිබෙනවා. එම නිසා ඒවා වෙනස් කළයුතු නෑ.

හොඳම උදාහරණයක් කියන්නම්. 16 වන සියවසේ පළවූ ස්පාඤ්ඤ ජාතික "සර්වන්තේස්"ගේ "දොන් කිහොතේ" (Don Quixote) කියන නවකතාව මීට අවුරුදු 20 කට විතර පෙර සිංහලට අනුවර්තනය කර තියෙනවා "විලම්භීත හාමු" නමින්. හාමුදුරුවෝ කියපු අර්ථයෙන් තමයි මේ නම දාලා තියෙන්නේ. නමුත් මම මේකට විරුද්ධයි. මොකද බටහිර භාෂාවලට මේ වචනය ගිහිල්ලා තියෙනවා. "ක්‍රිටිසොනියම්" කියලා වෙනම වචනයක් පවා මේ වචනයෙන් හැදිලා තියෙනවා. එහෙම තියෙද්දිත් ඒ වචනය අතහැරලා විලම්භීත කියලා එකක් හිතුවක්කාරී විදිහට අරගෙන තියෙනවා. අනෙක් සේරම රටවල් ඒ වචනය ඒ විදියට අරගෙන තියෙද්දී ඇයි අපි විතරක් හිතුවක්කාර වෙන්නේ.

නමුත් 1960 රචිත "චිනුවා අචබේගේ" දෙවන නවකතාව පී.ආර්.එච්. විජේසිංහ "බැද්දෙන් සිදාදියට" නමින් පරිවර්තනය කරනවා. එම කෘතියම ඔබ "හිරු බැසගිය පසු" නමින් පරිවර්තනය කොට තිබෙනවා. එතකොට එකම කෘතියට නම් දෙකක් ඇයි?

එහි මුල් කෘතියේ නම "No Longer at Ease". මේක පරිවර්තනය කිරීමේ දී පර්වර්තකයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. මොකද මෙය වචන අනුව පරිවර්තනය කළයුතු දෙයක් නෙමෙයි. මේ ටයිටල් එකේ අදහස හෝ කෘතියේ අදහස පැමිණිය යුතුයි. මම මුලින් කියපු "දොන් කිහොතේ" කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒක නමක්. ඇයි අපි රුසියානු නවකතාව "ඇනා කැරනිනා" මාරු කරන්නේ. ඒක නමක්. ඒවා මූලික ස්වරූපයෙන් පවත්වාගත යුතුයි.

නමුත් "No Longer at Ease" කියන්නේ තව දුරටත් සැහැල්ලුවකින් නෑ. හිතේ සැනසුම තවදුරටත් නෑ වගේ අර්ථයක්. ඒක සමාජයක සැනසුම වෙන්නත් පුළුවන්. නොයෙකුත් දේ ගැන වෙන්න පුළුවන්. මේක නිශ්චිතව ගන්න බෑ. එතකොට පරිවර්තකයාට නිදහසක් අයිතියක් එනවා සමස්තය ගැන අවධානය යොමුකරලා තමන්ගේ අදහසක් ඒකට දාන්න. එයාට බැද්දෙන් සිදාදියට නම සුදුසුයි කියලා හිතෙන්න ඇති. මට හිරු බැසගිය පසු හොඳයි කියලා හිතුනා. හිරු බැසගියාම ඉතිරිවෙන්නේ අන්ධකාරය. මේ කෘතියේ මූලික චරිතය ගොඩනැගුණු පසුබිම සහ එයාගේ කඩාවැටීම් එක්ක මේ නම හොඳයි කියලා හිතුනා. තව කෙනෙක් හිතන්න පුළුවන් මේ දෙකම සුදුසු නෑ වෙන නමක් හොඳයි කියලා.

ඒ කියන්නේ කෘතියකට අභිමත නමක් යොදන්න පරිවර්තකයාට නිදහසක් තියෙනවා කියන එක නේද?

තියෙනවා. ඒ කෙළින්ම පරිවර්තනය කරන්න බැරිදේවල් සම්බන්ධයෙන් සහ මේ භාෂාවට එද්දි යම් යම් නොගැලපීමක් තියෙනවා කියලා හිතෙන්න ඕන. උදාහරණයක් වශයෙන් ගබ්රියෙල් ගර්සියා මාර්කේස්ගේ "A Chronicle of a Death Foretold" මේක පරිවර්තනය කළාම සිංහල අර්ථය එන්නේ "කල්තියා දැනුම් දුන් මරණයක කතාන්දරය" කියන අදහස. මේක දිග වැඩියි කියලා හිතලා මම නම් කළා "කරුමක්කාර කතාවක්" යනුවෙන්. මම මෙය පරිවර්තනය කරන වෙලාවේ සයිමන් නවගත්තේගම කිව්වා මුල් කෘතියේ ටයිටල් එකම පරිවර්තනය කර දාන්න. මම ඒක අහන්නැතිව කරුමක්කාර කතාවක් කියලා නම්කළා හැබැයි ආපස්සට හැරිලා බලද්දී මට දැන් හිතෙනවා සයිමන් හරි මම වැරදියි කියන එක. එහෙම වැරදි අපි අතින් සිද්ධ වෙනවා.

දැන් ගාමිණී විජේතුංග, මිලාන් කුන්දේරාගේ "The Unbearable Lightness of Being" කෘතිය පරිවර්තනය කළේ "පියාපතක් වන් ජීවිතයක්" යනුවෙන්. සමන් වික්‍රමාරච්චි මේක වැරදියි කියලා තදට විවේචනය කළා. මම සමන්ට උත්තරයකුත් ලීවා ඒ නම වෙනස් කළාට වරදක් නෑ කියලා. නමුත් මට දැන් හිතෙනවා වික්‍රමාරච්චිගේ අදහස මම කියපු එකට වඩා නිවැරදි ඇති. මොකද මීට වඩා ලස්සන නමක් තිබ්බා නම් හොඳයි කියලා. මේවා විවාදාත්මකයි. කවදාවත් අපිට සම්මුතියකට එන්න බෑ. බොහෝ වේලාවට බලන්න ඕන මුල් කෘතියේ ටයිටල් එක ගන්න. බැරිම වෙලාවක දී විතරයි අපි වෙන ක්‍රියාමාර්ග වලට එළැඹෙන්න ඕන.

බටහිර රටවල මුල් ලේඛකයාගේ නම මිසක් පරිවර්තකයාගේ නම පිටකවරයේ යොදන්නේ නෑ. නමුත් ලංකාවේ පරිවර්තකයන් තමන්ගේ නම පිටකවරයේ මුද්‍රණය කොට කෘති පළකරනවා.

හොඳ ප්‍රශ්නයක්. මේ වෙනස ලිහාගන්න ඕන. පරිවර්තකයාට ලංකාවේ දී ලැබෙන තැන යුරෝපයේ දී ලැබෙන්නෑ. මොකද යුරෝපයේ පොත් කර්මාන්තය දැන් හුඟක් ආයතනගත වෙලා තියෙන්නේ. එය එක් පුද්ගලයකුගේ වැඩක් නෙමෙයි. විශාල සමාගම් තමයි පොත් පරිවර්තනය කරන්නේ. මේ හැම සමාගමකම නිත්‍ය පරිවර්තකයන් ඉන්නවා. ඔවුන්ට ඒ සඳහා වැටුපක් ගෙවනවා. එතකොට වෘත්තීය පරිවර්තන කටයුතුවල නියැලෙන කුලීකරුවෙකුගේ නමක් ඇතුල් පිටුවකට මිසක් කෘතියේ මුලට ගන්නෑ. බටහිර පරිවර්තකයෙක් වැටෙන්නේ ද්වීතීයික, තෘතීයික තැනට නෙවෙයි පස්වන හයවන තැනටයි. ගණන් ගන්නෙම නෑ.

නමුත් ලංකාවේ ඒ තත්ත්වය වෙනස්. පරිවර්තකයා කාගෙන්වත් පඩි ලබන්නෙක් නෙමෙයි. ඔහුට කවුරුවත් යෝජනා කරන්නෑ අහවල් පොත කරපන් කියලා. කිව්වත් මම කරන්නෑ. ලංකාවේ පරිවර්තකයාගේ මූලික කොන්දේසිය වෙන්නේ ඔහු ඒ පොත ආත්මීය වශයෙන් අවශෝෂණය කරගෙන එම පොතත් එක්ක ඉන්නවා කියන එක. එය පරිවර්තකයා විසින් සොයාගෙන ගිහින් රස විඳලා කරපු පරිවර්තනයක්. බටහිර වගේ ඔහු කුලී සේවකයෙක් නෙමෙයි. ලංකාවේ පරිවර්තකයා යම්කිසි නමක් සහිත පිළිගැනීමක් ඇති පුද්ගලයකු වශයෙන් සලකන්නෙත් බටහිර රටවල පරිවර්තකයාට පිළිගැනීමක් නැත්තෙත් මේ නිසා. මේක තේරුම් ගත්තේ නැති ලංකාවේ ප්‍රකාශකයෙක් ද මෝඩකමට සිංහල පරිවර්තනයේ දී පිටකවරයේ පරිවර්තකයාගේ නම යොදන් නෑ. මොකද අර යුරෝපීය රටවලට සාපේක්ෂව එයා ඒක මෝඩ විදියට හිතලා. ඓතිහාසික කතා දෙකක් පසුබිම් දෙකක් මේ රටවල් දෙකේ තියෙන්නේ. ඒක තේරුම් නොගෙන එයා ඒක හරි දියුණු ප්‍රතිපත්තියක් කියලා හිතාගෙන ඉන්නේ. මමත් පොත් කීපයක් කළා ඒත් මම ඕක නිසාම විදර්ශන ප්‍රකාශනවලට පොත් දෙන එක නැවැත්තුවා. මේක ඇවිල්ලා යුරෝපය කනපිටට තේරුම් ගත්ත අවස්ථාවක් සහ බටහිර දේවල් වැරදියට අල්ලගන්නවා කියන එකට හොඳම උදාහරණයක්.

ලංකාවේ පරිවර්තන සාහිත්‍ය දියුණු කිරීමට ඔබට තිබෙන යෝජනා මොනවාද?

මම මුලින් කියපු සියලුම කාරණා මීට අදාලයි. ඊට අමතරව තව එක කරුණක් කියන්න ඕන. ලෝක සාහිත්‍යය කියන්නේ මහා සාගරයක් වගේ අපිට දවසකට එක පොතගානේ පරිවර්තනය කළත් කවදාවත් ඉවර කරන්න බෑ. ඒ නිසා යම්කිසි පරිවර්තකයෙක්ට තෝරාගැනීමකින් යුතුව මේ කාර්ය කරන්න වෙනවා. සිංහල සාහිත්‍යයේ, පාඨකයාගේ අවශ්‍යතාවය මොකක්ද? අපේ ස්වතන්ත්‍ර නිර්මාණ එකතැන පල්වෙන ගතියක් තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්න මේ පරිවර්තන පාවිච්චි කරන්නේ කොහොමද? මොනවගේ පරිවර්තනද ඒ සඳහා කරන්න ඕන කියන ඇගයීමකින් යුතුවයි පරිවර්තන කරන්න ඕන. නිර්මාණකරනය පිළිබඳව, අනුභූතීන් පිළිබඳව, සමාජ ඓතිහාසික තත්ත්වයන් පිළිබඳව පමණක් නොව තමාට පවා යම්කිසි ආලෝකයක් ලැබෙයි කියා හිතෙන විශ්ව සාහිත්‍ය කෘති තමයි හඳුන්වා දිය යුත්තේ. සිංහල සාහිත්‍යයට හා පාඨකයාට උපරිම ප්‍රතිලාභ අත්කර දිය හැක්කේ එවැනි තේරීම් ක්‍රියාවලියකින්. එහෙම කරන බවක් මට දැනට පේන්න නෑ.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails