Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දෙසැම්බර් 20 වැනි දින අය වැය කාරක සභාව අවස්ථා විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශය මගින් පෙන්වනු ලබන ආර්ථීක වර්ධන වේගය සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි. එනම් දැනට පෙන්වනු ලබන සැබෑ ආර්ථීක වර්ධන වේගය ආණ්ඩුවේ වුවමනාවට එහි බලධාරීන් විසින් වෙනස් කොට වැඩි වර්ධන වේගයක් සංඛ්‍යාලේඛන මගින් පෙන්වා ඇති බවයි.

දිසානායක මහතා එහිදී මූලික වශයෙන් උපයෝගි කර ගනු ලැබුවේ 2013 ජූනි මස රාවයෙහි පළ වූ පුවතක් මගින් අනාවරණ කළ පරිදි 2013 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 6%ක් ලෙස ආණ්ඩුව ප්‍රකාශයට පත් කළත් එහි නියම අගය 5.5ක් බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කළ හෙළිදරව්වයි.

ඉන් අනතුරුව මන්ත්‍රීවරයා අදාළ වෙනස් කිරීමට සම්බන්ධ සිදුවීම ගැන තියුණු නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කළේය. අදාළ කාලයේ ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්ෂකවරයාට එම ගිණුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වන ඩබ්.ජී.නිගමුණි මහත්මිය විසින් ලියා යැවූ සටහනක් ඉන් එකකි. එම සටහනේදී ඇය පැහැදිලිව පවසන්නේ 2013 පළමු කාර්තුව සඳහා ඇස්තමේන්තු කළ ජාතික ගිණුම් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 5.4%ක් බව අංශයේ ප්‍රධාන නිලධාරීන්ගේ එකඟතාව බවත් එය 6%ක් දක්වා වෙනස් කර ඇත්තේ ජාතික ගිණුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත බවත්ය.

ජාතික ගිණුම් අධ්‍යක්ෂවරයාගෙන් මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගෙන ඇති අතර එම කට උත්තරයේදී ඔහු ප්‍රකාශ කරන්නේ ජාතික ගිණුමේ වර්ධන වේගය 6%ක් දක්වා වෙනස්කරන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බලපෑම් කළ බවය. එය නිවැරදි ගණනය කිරීම්වලට අනුව 5.4%ක් බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉල්ලීමට අනුව එය 5.5%ක් දක්වා මුලින් වෙනස් කළ අතර පසුව එය 6%ක් දක්වා ඉහළ දැමීමට සිදුවූ බවත්ය.

ආර්ථීක වර්ධන වේගය ඉහළින් ආ බලපෑම් මත වෙනස් කළා යැයි කියන මේ ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ කට උත්තරයෙන් පසු මේ ගැන කතාකරන්නට තවත් යමක් ඉතුරු වී ඇත්ද? ලංකාවේ ආර්ථීක වර්ධන වේගය ගැන විශාල ආඩම්බරයකින් කතා කළ අය දැන් කියන්නේ මොනවාද? එහෙත් දැන් අපේ ප්‍රශ්නය ඒ රෙදි ගැලවුණු ආඩම්බරකාරයන් පසුපස හඹායෑම නොවේ. ආර්ථීක වර්ධනය වෙනස්කර පෙන්වීම යනු ඉතා බරපතළ තත්ත්වයකි. එය ජන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලපෑමට අනුව සිදුකළ කටයුත්තක් බව ජාතික ගිණුම් අධ්‍යක්ෂවරයා විසින් හෙළිකරන විට අදාළ බලධාරීන් සිදුකළේ කුමක්ද? මෙවැනි ප්‍රශ්නයක් ඇතිවීමේ පසුබිමත්, අදාළ වගකිව යුතු නිලධාරීනුත් ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වනවා වෙනුවට ජාතික ගිණුම් අධ්‍යක්ෂවරයා වෙනත් අංශයකට මාරු කර යවා මේ සිද්ධිය මුළුමනින්ම යට ගැසීමය. ඒ මගින් සිදුවී ඇත්තේ කුමක්ද? මන්ත්‍රී දිසානායක තම කතාවට පාදක කර ගත්තේ 2012 පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය ලෙස රු. මිලියන 750,760 සිට 2013 පළමුවෙනි කාර්තුව වන විට රු.මිලියන 791,931 දක්වා ඉහළ යමින් 5.5%ක ආර්ථීක වර්ධනයක් පෙන්වන නමුත් ජාතික ගිණුම් අංශය පසුව සකස් කළ ජාතික ගිණුම් ඇස්තමේන්තුව පිළිබඳ මාධ්‍ය සටහන මගින් එය 6%ක් දක්වා වෙනස් කර ඇති බවය.

දැන් අලුත්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත්කොට ඇති මාධ්‍ය සටහන සලකා බලමු. එම සටහනේ දැක්වෙන පරිදි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ස්ථාවර හා පවත්නා මිල යටතේ ඇස්තමේන්තු කරන ලද 2012 තෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 784,422ක් වන අතර 2013 තෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 845,269ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ආර්ථීක වර්ධනය 7.8%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්ය. මෙවැනි තත්ත්වයක් ගැන පුදුමවෙනවා හැර වෙන කුමක් කියමුද? 2013 පළමුවන කාර්තුවේදී 5.4%ක් ලෙස දැක්වූ සැබෑ ආර්ථීක වර්ධන වේගය 2013 තෙවැනි කාර්තුව වන විට 7.8%ක් වී ඇත.

මේ කාලය ඇතුළත දළ දේශීය නිෂ්පාදිතයට වැඩිපුරම බලපෑම් කරන කෘෂිකර්මාන්තය හා සේවා අංශවල වර්ධනයක් සිදුවී ඇතිද? මේ ව්‍යාජ දත්ත පැත්තකින් තබා ලංකාවේ වර්තමාන කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා අංශ වෙත සවිඥානිකව බලන ඕනෑම කෙනකුට ආණ්ඩුව පෙන්වන මේ 7.8%ක ආර්ථීක වර්ධන වේගය ගැන ඔළුවේ අත ගසා නොගෙන සිටිය හැකිද? 5.4%ක ආර්ථීක වර්ධන වේගයක් පෙන්වද්දී එය 6%ක් දක්වා වෙනස්කරන ලෙස තමාට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බලපෑම් කළ බව ජාතික ගිණුම් අධ්‍යක්ෂවරයා විසින් අනාවරණ කළ විට ඔහුට හිමිවූයේ වෙනත් අංශයකට මාරුවීමකි. දැන් ජාතික ගිණුම් අධ්‍යක්ෂ වෙනස් කෙනෙකි. 6%ක් ලෙස 2013 පළමු කාර්තුවට අදාළව වැඩිකර පෙන්වූ ආර්ථීක වර්ධන වේගය දැන් හිටි අඩියේ තෙවැනි කාර්තුවට අදාළව 7.8%ක් බව වාර්තා කර ඇත. එය 6%ක සීමාවේ සිට බැලුවද පුදුම සහගත වර්ධනයකි. ඇත්තෙන්ම මේ වර්ධනය මහජනතාවගේ ඇඟට දැනෙන එකක්ද? මෙවැනි විශ්වකර්ම ආර්ථීක වර්ධනයක පසුබිම පැහැදිලි කරන්නට හෝ ආණ්ඩුවේ බලධාරීන්ගේ බලපෑම ගැන කට උත්තර දෙන්නට ජාතික ගිණුම් වර්තමාන අධ්‍යක්ෂවරයාට හැකියාවක් තිබේද? අපට කළ හැක්කේ එවැනි ප්‍රශ්නාර්ථයක් සහිතව හිස් තැනක් තැබීම පමණි. ඉතිරි ටික කරන්නට ආණ්ඩුවේ ප්‍රබලයෝ සිටිති.

පෙන්නන උද්ධමනයත් රැවටිල්ලක්

ආර්ථීක වර්ධන වේගය මෙන්ම උද්ධමනය ද රටක ආර්ථීකයේ වැදගත් පිළිබිඹුවකි. ආර්ථීකයට අදාළ අනෙකුත් දත්ත සකස් කිරීමේදී උද්ධමනය සෘජුවම බලපායි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයට ආර්ථීක වර්ධන වේගය වැඩිකර මවා පෙන්වීමට සිදුවී ඇත්තාක් මෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල හා වැටුප් අංශය මගින් ගණනය කරන උද්ධමනය ද පහළ අගයකින් පෙන්වන ලෙස බලපෑම් සිදුවන බව වාර්තා වේ. කොටින්ම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන්ම ප්‍රකාශකරන පරිදි "පොතේ තියෙන්නේ රටේ තියෙන උද්ධමනය නොවේ!"

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, ආර්ථීකයේ සියලු භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම නිරූපණය කෙරෙන දළ දේශීය නිෂ්පාදිතයේ ගම්‍ය අවධමනකය (පදනම, 2002=100) අනුව උද්ධමනය 2012 තෙවැනි කාර්තුවේදී සියයට 8.2ක් වූ අතර 2013 තෙවැනි කාර්තුවේදී එය සියයට 5.8ක් දක්වා පහත වැටී ඇති බව පෙන්වයි.


[පා.ම. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කළ කතාව]

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2013.12.31 දින නිකුත්කොට ඇති මාධ්‍ය සටනට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමට අදාළ උද්ධමනයේ හැසිරීම ද පුදුම සහගතය. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2013 ජනවාරි සමස්ත උද්ධමනය (ආහාර හා ආහාර නොවන) 8.1%කි. මිල හා වැටුප් අංශයේ අභ්‍යන්තර ආරංචිවලට අනුව 2013 පළමු කාර්තුව අවසානයේදී සැබෑ උද්ධමනය 13.9%ක් වූ අතර එය 2013.12.31 වාර්තාවේ 2013 පළමු කාර්තුව අවසන වන මාර්තු මාසයට අදාළව දක්වා ඇත්තේ 8.8% ක් ලෙසයි. කෙසේ හෝ මාසයෙන් මාසයට ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙන උද්ධමනය 2013 දෙසැම්බර් වෙන විට 6.9%ක් දක්වා අඩුවී තිබේ. ඒ මාසික ක්‍රමයට උද්ධමනය ගණනය කිරීමෙන් සකසා ඇති වාර්තාවලට අනුවය. වාර්ෂිකව උද්ධමනය, එම 2013.12.31 සටහන මගින්ම පෙන්වන පරිදි 2012 දෙසැම්බර්වල වාර්තා වූ උද්ධමනය 9.2%ක සිට 4.7%ක් දක්වා පහළ බැස තිබේ. මේ නම් ආර්ථීක වර්ධන වේගය තරම්ම විශ්වකර්ම වැඩකි.

මේ ආශ්චර්යවත් උද්ධමනයේ පහළ යෑමට හේතු සොයා යන විට එය ගණනය කරන ආකාරය දෙස සංවේදී වීම වැදගත්ය. බොහෝ කාලයක් තිස්සේ අපේ රටේ උද්ධමනය ගණනය කරනු ලැබුවේ 1952 වර්ෂය පදනම් වර්ෂය ලෙස සලකාගෙනය. එහෙත් 2002 හා 2006/2007 දී ලෙස පදනම් වර්ෂ වෙනස් කරමින් දැන් උද්ධමනය ගණනය කරන්නේ ඒ අනුවය. ආර්ථීක විශ්ලේෂකයන්ගේ මතය වෙන්නේ මේ අලුත් පදනම් වර්ෂවලට අදාළව උද්ධමනය අඩුවෙන් පෙන්විය හැකි ක්‍රමයක් බවයි.

සාමාන්‍යයෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව රටේ උද්ධමනය සකස් කිරීමේදී සලකා බලන්නේ 'භාණ්ඩ පැස'කි. (Market Basket) එනම් කොළඹ වෙළඳෙපොළ කිහිපයකට ගොස් ආහාර හා ආහාර නොවන භාණ්ඩ වට්ටෝරුව/භාණ්ඩ කූඩය අනුව රැස්කර ගන්නා මිල ගණන්වලට අනුවයි. ජන හා සංඛ්‍යාලේඛන අභ්‍යන්තර නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි සැබෑ උද්ධමනය හැංගීම සඳහා එනම් උද්ධමනය අඩුවෙන් පෙන්වීම සඳහා මෙම භාණ්ඩ පැස භාවිත කරයි. මේ මිල ගණන් රැස්කරනු ලබන්නේ භාණ්ඩවල පිරිවිතරයන්ට (Specification) අනුවයි. මෙය උද්ධමනය අඩුවෙන් පෙන්වීමට පාවිච්චි කරන එක් විධියකි. එනම්, වෙළඳෙපොළේ එකම නමින් ඇති භාණ්ඩවලට විවිධ මිල ගණන් (උදා: ලෙස පොල්, හාල් ආදී) ඇති විට ඒවා එකතුකර සාමාන්‍ය අගයක් ලබාගන්නවා වෙනුවට අඩුවෙන් ඇති මිල ගණන් (උදා: පොඩි පොල්වල මිල) සලකා බලා උද්ධමනය ගණනය කරයි. සමහර නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි මේ අඩුමිල භාණ්ඩ සලකා බලමින් උද්ධමනය ගණනය කිරීම උද්ධමනය පහළ යෑමට තීරණාත්මක ලෙස බලපා ඇත.

එමෙන්ම තවත් ක්‍රමයක් වන්නේ ආහාර හා ආහාර නොවන ලෙස ඇති පාරිභෝගික භාණ්ඩවලින් සමහර භාණ්ඩ ඉවත්කොට උද්ධමනය ගණනය කිරීමයි. උදාහරණයක් ලෙස මෙම වර්ෂයේ උද්ධමනය ගණනය කිරීමේදී භාණ්ඩ පැසෙන් සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත්පැන් (ඇල්කොහොල්) වැනි භාණ්ඩ ඉවත්කොට ඇත. මෙය බරපතළ තත්ත්වයකි. දුම්කොළ හා මත්පැන් යනු ආණ්ඩුව වැඩිපුරම බදු ආදායම් උපයා ගන්නා ශීඝ්‍රයෙන් මිල ඉහළ යන භාණ්ඩ වර්ගයන්ය. මේ රටේ මතට තිත කියා ආණ්ඩුව ජනප්‍රිය කරන ලද මිථ්‍යාවක් තිබූ පළියට ජනතාව මෙවැනි භාණ්ඩ පරිභෝජනයෙන් ඉවත් වන්නේ නැත. ඒ අනුව පැහැදිලිව පෙනෙන්නේ උද්ධමනය විකෘති කිරීමට මෙවැනි නොසලකා හැරීම් පාවිච්චි කරන්නේ හිතාමතාම බවයි.

ඒ ඉතාම සරලව බලන විට වැරදි උද්ධමනයක් සකස් කිරීම පිළිබඳ සාක්ෂි කිහිපයකි. එවැනි ආර්ථීක විද්‍යාත්මක නොසලකා හැරීම්වලින් උද්ධමනය පාලනය කර පෙන්වනවාට අමතරව මිල හා පාලන අංශයේ නිලධාරීන්ට ඉහළ නිලධාරීන් මගින් සංඛ්‍යා ලේඛන වෙනස් කිරීමට උපදෙස් ලැබෙන බව ද එහි අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් අපට වාර්තා වෙයි. මෙය බොරු ආර්ථීක වර්ධනයක් පෙන්වීම තරම්ම බරපතළ කාරණයකි. උද්ධමනයේ පහළ යාම සෘජුවම දළ දේශීය නිෂ්පාදිතයට බලපායි. ආර්ථීක වර්ධන වේගය සලකා බලන්නේ දළ දේශීය නිෂ්පාදිතයට අදාළව එබැවින් උද්ධමනය පහළ යෑම යනු ආර්ථීක වර්ධනයේ වේගය ඉහළ යෑමකි. ඉතින් මේ සියල්ල බොරු දත්ත මත පදනම් වන විට?

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උද්ධමනය පිළිබඳ දත්ත සපයන මිල හා වැටුප් අංශයේ අධ්‍යක්ෂිකාව සුසන්තා රණධීර මහත්මියයි. ඇය අලුතින් මේ තනතුරට පත්වූ තැනැත්තියකි. අපට ලැබෙන ආරංචිවලට අනුව ඇගේ කටයුතු සියල්ල අධීක්ෂණය කරන්නේත් පාලනය කරන්නේත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන විසින්ය. ආර්ථීක වර්ධන වේගය වැඩිකරන ලෙස හෙළිදරව් වන විට ඒ සඳහා බලපෑම්කොට තිබුණේ ද ඔහු විසිනි. සාමාන්‍යයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විවිධ අංශ අධීක්ෂණය සඳහා වෙනම අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් පත්කර සිටිය ද මිල හා වැටුප් අංශයට එවැන්නක් පත්කර නොමැති අතර එම අධීක්ෂණ කටයුතු සිදුකරන්නේද අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන විසිනි. ඉතින් ආර්ථීක වර්ධන වේගය වෙනස් කළ මොහු උද්ධමනය වෙනස් නොකරතැයි අපි බලාපොරොත්තු විය යුතුද?

දත්ත සහ ඇත්ත

අපට දැන් පෙනෙන්නේ ආණ්ඩුව මේ රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම දේශපාලනයට නතුකර ගනිමින් සමස්ත රටම රවටන අතිවිශාල ප්‍රෝඩාවක් දීර්ඝ කාලීනව සිදුකරගෙන යන බවයි. දළ දේශීය නිෂ්පාදිතය බොරුවකි. පෙන්වන උද්ධමනය බොරුවකි. ආර්ථීක වර්ධනය බොරුවකි. ඉතින් මේවා බොරු වන විට අපේ මුළු ආර්ථීකයම මුළුමනින්ම මුලාවකි. මෙවැනි බොරු ආර්ථීකයක් මවා පෙන්විය යුත්තේ ඇයි?

මූලිකම හේතුව මහජනතාවට අධිවේගි සුරංගනා කතාවක් ඇස් ඉස්සරහ මවා චිරාත් කාලයක් රජ අසුනේ යෙහෙන් වැජඹීමේ ආණ්ඩු වුවමනාවයි. ඒ සඳහා බොරු දත්ත උපයෝගි කර ගත් පමණින් ජනතාව රැවටීමට සිතීමම මුලාවකි. ආර්ථීක වෘද්ධිය, උද්ධමනය, දිළිඳුභාවය, විරැකියාව හා ජාතික ආර්ථීකයට වැදගත් වන සියලු සාධක ගැන ආණ්ඩුව ඉදිරිපත් කරන දත්ත මනස්කාන්තය. ඇස් පියවනසුලුය. එහෙත් එහි යථාර්ථය සාමාන්‍ය ජනයාගේ බඩගෙඩි දවන- ගිනියම් කරවන සුලුය. මේ රටේ දිළිඳුභාවය අඩුවී ඇත්නම් ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු වී නැත්තේ ඇයි? ඔවුන්ගේ කේවල ආර්ථීක පසුබිම් (සාමාන්‍ය නිර්ධන පාන්තික ජනයාගේ) දිනෙන් දින පහළ යන්නේ ඇයි?

සේවා වියුක්තිය අඩුකිරීම යනු සේවා නියුක්තිය ඉහළ යෑමකි. එසේ නම් මේ රටේ සැබෑ නිෂ්පාදිතය වැඩි විය යුතුය. එහෙත් අප පැහැදිලිවම දන්නා පරිදි ආණ්ඩුව මේ සේවා වියුක්තිය අඩු කළා යැයි කියන්නේ අභ්‍යාසලාභි උපාධිධාරී පත්වීම් ලබාදීම, ගුරු පත්වීම් සහ පළාත් සභා පත්වීම් ලබාදීම ආදිය ප්‍රධාන කොටගත් රැකියා අවස්ථා සැලසීමයි. මේ කිසිදු පියවරක් මගින් කෙටිකාලීනව ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු වැඩිවීමක් පෙන්වන සේවා අංශයේ දියුණුවක් කිසිසේත්ම දකින්නට නැත. එහෙත් මේ අයට වැටුප් ගෙවිය යුතුය. වැටුප් ගෙවීම යනු රාජ්‍ය වියදමකි. ආණ්ඩුවම කියන විදිහට ද රාජ්‍ය වියදම් (ප්‍රාග්ධන හා සංක්‍රාම) ඉහළ ගොස් ඇත. ඉතින් මේ තත්ත්වය තුළ උද්ධමනය අඩුවෙනවා යැයි ප්‍රකාශ කිරීමම විහිළුවකි. ආර්ථීක න්‍යායන් බොරු කිරීමකි. ආනයන පරිමා දර්ශකය, අපනයන පරිමා දර්ශකය, කොටස් වෙළඳෙපොළ, දේශීය මුදලේ විදේශීය අගය පහළ යෑම (රුපියල බාල්දු වීම) එන්න එන්නම වැඩිවෙන තත්ත්වයක් තුළ ආණ්ඩුව මැදිහත්වී ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර රවටන්නට හදන්නේ කවුද? අපේ මිනිසුන්ගේ ක්‍රය ශක්තිය (භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව) 2013 ජනවාරිවලට සාපේක්ෂව 2014 ජනවාරි වන විට සාපේක්ෂව දශමයකින් හෝ ඉහළ ගොස් තිබේද? මෙවැනි ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මේ වන විටත් රෙදි ගලවාගෙන හමාරය. දැන් රාජ්‍ය නිලධාරීන්ට රහසින් හොර වැඩ කිරීමට යොමු වනවා වෙනුවට සිදුවී ඇත්තේ හොර වැඩ එළිපිට කර රහසින් ඇත්ත හෙළිදරව් කිරීමටය. ආණ්ඩුවේ මේ දත්ත ව්‍යාජය ලංකාව ඉලක්ක කර ගත් එකකට වඩා ජාත්‍යන්තරය ඉලක්ක කර ගත් එකක් බව අපට හොඳින්ම පෙනේ. මහබැංකුව මගින් ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාවට මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවටත්, ලෝක බැංකුවටත් ඉදිරිපත් කරන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු විසින් නිකුත් කරනු ලබන දත්ත මිසක් වෙන කිසිවක් නොවේ. එහෙත් ආණ්ඩුව කියන්නේ ආසියානු සංවර්ධන බැංකු වාර්තාවට අනුව ඉන්දියාවේ ආර්ථීක වර්ධන වේගයටත් වඩා ලංකාවේ ආර්ථීක වර්ධන වේගය 2013දී ඉහළ ගොස් ඇති බවයි. ලංකාවේ ආර්ථීකය දියුණු වෙන හැටි බලන්නට ලෝක බැංකු වාර්තාව ලෙස බලන ලෙස ඔවුහු අපට ඇඟිල්ල දිගු කරති.

ඉතින් ආණ්ඩුවට අප අනුකම්පා කළ යුතුය. දහසක් ප්‍රශ්න මැද, පීඩන මැද, වියදම් මැද වුවත් අපි ආර්ථීක වර්ධනය ඉහළ නංවමින් සිටින බවත් උද්ධමනය එන්න එන්නම පහළ යවමින් සිටින බවත් කියන්නට දත්ත බොරු කරන්නට ඔවුන්ට තවදුරටත් අප ඉඩ දිය යුතුය. මුළු ලෝකයම ගොනාට අන්දමින් ඉතා ඉක්මණින් මේ තුන්වැනි ලෝකයෙන් චුත වී පළමුවෙනි ලෝකයේ රටක් වෙන්නට එතකොට අපට පුළුවන. එසේ තුන්වැනි ලෝකයෙන් පළවෙනි ලෝකෙට ඉගිලෙන්නට නම් ලොකුවට ණය විය යුතුය. ණය ලබා ගැනීමට නම් උද්ධමන අනුපාතය තනි ඉලක්කමේ තබා ගැනීම අනිවාර්ය කොන්දේසියකි. අධිවේගි මාර්ග දිගේ ණය වෙන්නට නම් රටේ ආර්ථීක වර්ධනය ඉහළ බවත් උද්ධමනය පහළ බවත් ජාත්‍යන්තරයට ඒත්තු ගැන්විය යුතුය කාරණය ඉතා සරලය. අප අපේ ඇත්ත දත්ත බොරු දත්ත කළ යුතුය. ඉතින් අපි මේ බොරුව දිගේවත් සංවර්ධනය වෙමු. වගා දිගා වෙමු.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails