Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


නවකතාව, කෙටි කතාව, කවිය හා ගීතය යන සෑම සාහිත්‍යාංගයක්ම පමණක් නොව තීරුලිපිය ද ප්‍රකාශන මාධ්‍ය කරගත් බුද්ධදාස ගලප්පත්ති වඩාත් ප්‍රකටව ඇත්තේ 70 දශකයේ කවියකු වශයෙනි. එහෙත් ඔහු දිගුකලක් පුවත්පත්වලට ලියන ලද තීරුලිපි එකතුවක් "සහෘද සටහන්-4" සහ "එදවස සොඳුරුමය" නමින් පසුගියදා ජනගත කෙරිණ. මේ ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයයේ රත්තනදෙණියේ මේධානන්ද හිමි, බුද්ධදාස ගලප්පත්ති සමග කළ සංවාදයේ සංෂිප්ත සටහනයි.

කවියකු ලෙසයි ඔබ වඩාත් ප්‍රකට වී සිටින්නේ. නමුත් තීරුලිපි රචකයෙක් වෙන්නේ කොහොමද?

මගේ තීරුලිපි රචනයේ ආරම්භය 1970 දශකයේ අහම්බෙන් සිදු වෙච්ච දෙයක්. මම සිනමා ටැබ්ලොයිඩ් පුවත්පතකට සම්බන්ධවෙලා මූලික වශයෙන් නාට්‍යකරුවන්, සිනමාකරුවන් පිළිබඳ සම්මුඛ සාකච්ඡා කරමින් හිටියා. එහි සංස්කාරක ඩී.ඒ. වර්ණසිරි, "විජේ මල්ලිගෙ කොලම" නමින් උපහාසාත්මක තීරුවක් ලියමින් හිටියා. නමුත් හදිසියේම ඔහුට ජර්මනියට යන්න ලැබුණම "බුද්ධි, විජේ මල්ලි බලාගන්න" කියල ඔහු එය මට පවරලයි ගියේ. එතැනින් තමයි මගේ තීරුලිපි ගමන ඇරඹුණේ. ඊට පස්සේ මව්බිම, සරසවිය, ලංකාදීප, දිවයින, දිනමිණ වැනි පුවත්පත්වලට තීරුලිපි ලියුවා. ඉන් සමහරකට තවමත් ලියනවා.

තීරුලිපියකින් පුවත්පතකට තිබෙන වැදගත්කම මොකක්ද?

ගුවන් විදුලි වැඩසටහනක් අතරට හිඩැස පුරවන්න වෙන වෙන නාට්‍ය අංග වැනි විශේෂාංගයන් දානවා වගේ පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්ති, කතුවැකිය, විශේෂාංග එක්ක ඉඩක් තිබුණොත් ඒ හිඩස පුරවන්නයි තීරුලිපි ඇතුළත් කළේ. පසුව එය පුළුල්වෙලා නිත්‍ය තීරු බවට පත්වෙලා තියෙනවා. මානවසිංහ ගේ "වගතුග", දයාසේන ගුණසිංහගේ "උකුස්සා, රයිගම්රාල" සහ "මානි" වගේ ඒවා නිත්‍ය තීරුලිපි බවට පත්වෙලා තිබුණා. බී.ඒ. සිරිවර්ධන, ඩී.බී. ධනපාල, සිරිලාල් කොඩිකාර වගේ අය නිසාත්, පුවත්පත්වල තීරුලිපිය ජනප්‍රිය වුණා. පුවත්පතකට තීරුලිපිය වර්තමානයේ නැතිවම බැරි අංගයක් දක්වා පුළුල්වෙලා තියෙනවා. සමහර පාඨකයෝ විශේෂාංගයට, කතුවැකියට වඩා තීරු ලිපියට හුරුවෙච්ච අය ඉන්නවා. මම වුණත් ඉස්සර දයාසේන ගුණසිංහගේ තීරුව කියවලා තමයි පත්තරේ අනික් ඒවාට යන්නේ.

තීරුලිපියේ දී තමන්ගේ පුද්ගලික මතය කියන්න ඉඩ ලැබෙනවා. විශේෂාංගයේ දී පාඨකයායි තීරණ ගන්නේ. මේ හැරුණු විට විශේෂාංග ලිපියෙන් තීරුලිපිය වෙනස් වෙන්නේ කොහොමද?

විශේෂාංග ලිපියකට තිබෙන ඉඩකඩ වැඩියි. තීරුලිපියට තිබෙන ඉඩකඩ සීමිතයි. විශේෂාංගයේ දී ඡායාරූප, චිත්‍ර වගේ වෙනත් මාධ්‍ය ද භාවිත කරනවා. තීරු ලිපියේ දී එහෙම නෑ. එක් සිද්ධියක්, එක් අවස්ථාවක් ගැන පමණයි. විශේෂාංගය, තොරතුරු සොයා බලා ගවේෂණය කරලා ලියන දෙයක්. එය කියවන පාඨකයායි නිගමනවලට එළැඹෙන්නේ. තීරු ලිපියේ දී තමන්ගේ මතය කියන්න අවස්ථාව තියෙනවා. මගේ මාධ්‍ය කවිය නිසා ඒ ගැන මම ප්‍රමුඛව කතා කරනවා. සාහිත්‍ය අනුමණ්ඩලය, රාජ්‍ය නාට්‍යමණ්ඩලය, කලා මණ්ඩලය, සංස්කෘතික අමාත්‍යාංශය වගේ ආයතනවල අඩුපාඩු වගේම හොඳදේත් මම මගේ තීරු ලිපියෙන් කතා කරලා තියෙනවා. මගේ තීරුලිපිය බොහෝ වෙලාවට සුබවාදීවයි ලියන්නේ. ප්‍රහාරාත්මක නොවී සාධනීය ලක්ෂණයි දක්වන්න උත්සාහ කරන්නේ. නමුත් උත්සවේ, සංවිධානයේ අඩුපාඩු තිබුණොත් ඒවා උලුප්පලා මතු කරනවා.

"රාජකීයන්ගෙන් ඉගෙන ගන්න" නැමැති තීරුලිපිය එවැන්නකට නිදර්ශනයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. නාට්‍ය ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ, කේ.බී. හේරත්, ජෙරොම් ලක්ෂ්මන් ද සිල්වා සහ මහාචාර්ය සිවතම්බි අගැයීමේ උළෙල නිමිති කොට ගෙනයි ඔබ එය ලියන්නේ.

ඒ තීරුව අදටත් වලංගුයි. කේ.බී. හේරත් කියන්නේ තිර රචකයෙක් වගේම අපේ ස්වතන්ත්‍ර වේදිකා නාට්‍යකරුවන් අතර ප්‍රමුඛයෙක්. අනෙක් කෙනා ජයලත් මනෝරත්න. කලාත්මක වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්නේ මේ දෙන්නා. ඉන් කේ.බී. හේරත්ට දැන් අවුරුදු 70 ක් විතර වෙනවා. අද වෙනකන් රාජ්‍ය මට්ටමේ කිසිම ඇගයීමක් වෙලා නෑ. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ද ඒක දැනෙන්නේ.

ඊළඟට ජෙරොම් ද සිල්වා කියන්නේ ඉංග්‍රීසි නාට්‍ය කලාවට, තරුණ නිර්මාණකරුවන්ට දශක 5 ක් තිස්සේ විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. මේ දෙන්නා තාම ඇගයීමක් වෙලා නෑ. අපේ සංස්කෘතික අමාත්‍යාංශයයි, රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලයයි, සාහිත්‍ය හෝ කලා මණ්ඩලය දන්නවදවත් දන්නෑ ජෙරොම් ද සිල්වා කෙනෙක් ඉන්නවාද කියල. මහාචාර්ය සිවතම්බි මෙන් රෝද පුටුවකට සිරවෙනකන් ඉන්වද දන්නෑ. කලාකරුවො ඇයි එතැනට පත්වෙන තෙක් ඉන්නෙ. රාජකීය විද්‍යාලයේ පැවැත් වූ "හරසර ප්‍රණාම උළෙලින්" ඔවුන්ට හිමි ගෞරවය දැක්වූවා. අදාළ බලධාරීන්ගේ අවධානයට රාජකීයයන්ට ඉගෙන ගන්න යැයි තීරුව ලියුවේ ඊට පසුවයි.



රාජ්‍ය නාට්‍ය, සාහිත්‍ය හෝ කලා මණ්ඩලය ලැජ්ජා විය යුතු යැයි ද ඔබ එහි ලියා තිබෙනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඔබත් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති වී සිටියා. ඔබටත් තිබුණා නේද ඒ ඇගයීම කරන්න.

සාහිත්‍ය අනුමණ්ඩලයේ මගේ නිල කාලය අවුරුද්දයි. මට සාහිත්‍ය මණ්ඩලයේ සභාපතිකම අහම්බෙන් නෙවෙයි ලැබුණෙ. හිටපු සභාපති සහ අනු මණ්ඩලය අතර වෙන වෙන මත ගැටුම් ඇති වෙලා සාහිත්‍ය උත්සවය පවත්වන්න බැරි වෙන තරමට අක්‍රිය වෙලා තිබුණ අවස්ථාවකයි මාව පත් කළේ. එතකොට පළමු අදියරේ කෘති පවා සමීක්ෂණය කර ඉවරයි. මෙහි ප්‍රාදේශීය උත්සවයන්ට සෙනඟ ඇවිත් නැතිව අසාර්ථක වෙලා ආරාධිත දේශකයන් ගිහින් දේශන පවත්වන්නේ නැතිව කොළඹ ඇවිත් තිබුණ. ඒ වගේ අවුල් සහගත තත්ත්වයක දී මට තිබුණ මූලිකම අභියෝගය මාස දෙකක් ඇතුළත රාජ්‍ය සාහිත්‍ය උත්සවය පවත්වන්න. ජනාධිපතිතුමා පවා කළකිරිලා හිටියෙ නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා නමුත් එතුමාගෙත් සහභාගිත්වයෙන් සාර්ථකව සාහිත්‍ය උත්සවය පැවැත් වූවා. මගේ අවුරුද්දෙ විශාල වැඩකොටසක් කළා. "සාහිත්‍ය රත්ත සම්මානය", තිස්ස කාරියවසම්, ඈෂ්ලි හල්පෙ වැනි විශිෂ්ටයන්ට දුන්නා. මම හිතන්නේ ගැටළු අවම වෙච්ච සාර්ථකම සාහිත්‍ය උත්සවය එය කියල. කිසි කෙනෙක් ඇඟිල්ල දික් කරලා දොසක් කිව්වේ නෑ. අජිත් තිලකසේන වැනි කවියෙක්ගේ පර්යේෂණාත්මක ආකෘති අත්හදා බැලීම් කළ කවි පොතකට සම්මාන දුන්නා. අද වෙනකන් කිසි කෙනෙක් ප්‍රශ්න කළෙත් නෑ. අභියෝග කළෙත් නෑ.

නමුත් ඔබේ හිතවතියකට රාජ්‍ය සම්මානය දුන්නා යැයි නවකතාව ප්‍රශ්න කළා.

මම කිව්වේ අවම ගැටළු කියලා ඒකනෙ. නවකතාව ඇතැම් කණ්ඩායම් ප්‍රශ්න කලා. එත මම දකිනන් ඒක පුද්ගල බද්ධ විරෝධයක් මිසක් නවකතාව (කෘතිය) පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒ චෝදනා එක හෙළාම බැහැර කරනවා. මම කිසිම වෙලාවක සමීක්ෂණ මණ්ඩලවලට මැදිහත් වීමක් කරලා නෑ. පාදක මණ්ඩලවලින් තෝරගෙන ඇවිත් අවසාන සමීක්ෂණයට ආවාම අවසාන සමීක්ෂකයො දෙන්නා සාකච්ඡා කරන කොට ඒ අදාල අංශයේ පොත් කියවපු කෙනෙක් සමඟ අපි දෙන්නා ඉන්නවා. ඒ ඉන්නෙ පහසුකම් සපයන්න මිසක් අර සමීක්ෂකයො දෙන්නාගේ තීන්දුවට බලපෑම් කරන්න නෙවෙයි. එහෙම නම් ඒ අවුරුද්දෙ ස්වර්ණ පුස්තකය ලැබුණෙ පොදු පුරුෂයාට. එතන ඉන්නේ වෙනත් විනිශ්චය මණ්ඩලයක්.



එසේ නම් මෙවර රාජ්‍ය සම්මාන කාව්‍ය සමීක්ෂකයකු ලෙස ඔබ ඇතුළු පිරිස ගත් තීන්දුව නෙවෙයි වෙනත් සම්මාන කමිටුවක් වන විද්‍යෝදයෙන් ඇගයීමට ලක්වුණේ. වෙනම කෘතියක්.

මම කියන්නෙ නෑ ස්වර්ණ පුස්තකය පොදු පුරුෂයාට දුන් නිසා අපේ තීන්දුව හරි කියල. අපි අපේ ස්ථාවරේ ඉන්නවා. ඊළඟට විද්‍යෝදයේ තීන්දුව අපිට බලපෑවේ නෑ. මම කියන්නේ ඒ තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදියි. කාන්තාවො කාන්තාවන්ට තියෙන ඉරිසියාව මතු වුණාද දන්නෙත් නෑ. ගියවර රාජ්‍ය සම්මාන ලැබූ කවියෙක් නිසා මස්ඉඹුල කියන නමට බය වුණාද දන්නෙත් නෑ. කවියෙකුට කරන්න පුළුවන් ලොකුම හානිය තමයි දුර්වල පොතකට සම්මාන දීමෙන් කළේ. එහි කවි 3 කට 4 කට වඩා නැහැ. මම මහාචාර්ය සුනිල් ආරියරත්නට කෙලින්ම කිව්වා තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදි බව. මම මහින්දටත් කීවා එයාගෙ පළමු පොතේ කවි තිබුණා මේකේ කවි නෑ වැරදීමකින් තමයි ඔයාට මේ ත්‍යාගය ලැබුණේ කියන එක.

ඔබ කොහොමද එහෙම කියන්නෙ. කවිය පිළිබඳ හැදෑරීම් කරන, අධ්‍යයනයන් කරන, ශාස්ත්‍රාලයීය මට්ටමෙන් ගත් තීන්දුවකට?

මට වඩා කවිය පිළිබඳ හැදෑරීමක් තියෙන, විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් ද දන්නෑ. අවුරුදු 40 ක් විතර කාලයක් තිස්සේ කවි ලියපු, කවි කියවපු, මගේ දැක්මත් එක්ක ගත්තොත් මේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වැරදියි. මොන පදනමෙන් ඊට තෑගි දෙන්න සුදුසු වුණාද කියන එක මට අදහා ගන්න බෑ. ඊළඟ පුදුමය අනෙක් උළෙල දෙකේ දීම සම්මාන ලැබූ කෘතීන් විද්‍යෝදයේ අවසන් අදියරේ නිර්දේශ මට්ටමට අවෙත් නෑ. සමීක්ෂකවරිය මහා උත්කර්ෂයෙන් කියවපු "සිරිපා කවිය" මීට පෙර ලාල් හෑගොඩගේ පොතක හරි ලස්සනට චිත්‍රණය කරලා තියෙනවා. 'සතුට' නමැති එම කවිය ගැන මම කවි මිහිරෙත් ලියලා තියෙනවා. එම කවිය කියවලා තිබුණා නම් මේක ගන්නෑ. දැන් බලන්න හස්තසාර මධුසමය ගැන කියන කවිය කවියක් වෙනවද? ජරාවක්නෙ. ලූෂන් ඕක (සිරි යහනේ) මොනතරම් ලස්සනට කියලා තියෙනවාද? මස්ඉඹුල ගැන මුලින්ම කතා කළේ මම. මකරන්ද පොතට ලියපු "සාරි කඩේ සුගන්ධි" කියන කවිය දැකල එයාට කවිත්වයක් තියෙන බව මට පෙනුනා. මම ඒ බව (2010.02.23) සහෘද සටහනේ ලිව්වා. මුල් පොතේ කවි තිබුණා. ඊට තෑගි හම්බ වුණාම පුදුම කලබලයකින්නෙ දෙවැනි පොත ලිව්වෙ. ස්වර්ණ පුස්තකයට නවකතා ලියනවා වගේ කවි ලියන්න බෑ.

අපි නැවත තීරුලිපිය පිළිබඳ සාකච්ඡා කළොත් තීරුලිපි රචකයාට ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න ඉඩක් ලැබෙනවා. නමුත් එය පත්තරේ අභිලාශයන්ට යටත් වෙන්න වීමෙන් ස්වාධීනත්වයට සීමා පැනවෙනවා නේද?

එය තීරු ලිපියේ ස්වාභාවය අනුව වෙන දෙයක්. අවස්ථා දෙක තුනක දී හැර සහෘද සටහනට එහෙම බලපෑමක් නැහැ. පුවත්පත් ආයතනයේ ප්‍රතිපත්ති සමඟ, එහි දේශපාලනය සමඟ බද්ධ නොවුනම බලපෑම් එල්ල වෙනවා. මම එය දැනගෙනයි ලියන්නෙ ලේක් හවුස් පුවත්පතකටද නැද්ද කියන එක. එතකොට මගේ අදහස් සීමා වෙන බව මම පිළිගන්නවා. නමුත් සාහිත්‍ය තීරුවකට ඒක එච්චර බලපාන්නෙ නෑ. ඉන් පුවත්පතේ දේශපාලන අධිකාරියට හෝ ප්‍රතිපත්තිවලට බලපෑමක් නොවන නිසා.

එහෙම නම් ඇයි ඔබ අන්වර්ථ නම්වලින් තීරුලිපි ලියන්නෙ?

මොන නමින් ලිව්වත් ලංකාව වැනි පුංචි රටක මාස දෙක තුනක් තුළ පාඨකයො දන්නවා. මානවසිංහ "වගතුග" ලියන කොට මානවසිංහ කියල ලිව්වෙ නෑනේ. දයාසේන ගුණසිංහ 'නමින්' ලීවේ නෑනේ. තීරු ලිපියක සාමාන්‍යයෙන් අන්වර්ථ නමක් තියෙන එක තමයි සම්මතය. නමුත් පාඨකයො දන්නවා 'මානි' කියන එක එයාගෙ නමේ කොටසක් නිසා. සුගාර කියල කිව්වම එකපාරට අහුවෙන්නෙ නෑ. ගාමිණී සුමනසේකර කර්තෘ, එයත් පාවිච්චි කරනවනෙ. මටත් ලංකාදීපෙන් තීරුවක් ලියන්න ආරාධනා කළාම සහෘද කියල භාවිතා කළා. "එදවස සොඳුරුමය" වගේ එකක මගේ නමින්ම ලියනවා. එතකොට මම නමත් පාවිච්චි කරනවා. ඒක ප්‍රශ්නයක් නෑනේ.

ප්‍රශ්නයක් නෑ. නමුත් අන්වර්ථ නමක් භාවිතා කිරීමේ තිබෙන වාසිය තමයි මිතුරකු වුවත් දෝෂාරෝපණයට ලක් කිරීමට හැකි වීම.

අන්වර්ථ නමක තිබෙන වාසිය ඒකයි. නමුත් ලංකාවේ අන්වර්ථ නමක් පවත්වා ගන්න බැහැ. මට කියන්න අන්වර්ථ නමකින් ලියන එක තීරුලිපි රචකයෙක් ඔබවහන්සේ නොදන්න. මාස 6 ක් විතර යනකම් සහෘද සටහනට සමුද්‍රට තමයි දුරකථන ඇමතුම් ගියේ එය සමුද්‍රගේ සටහන යැයි හිතලා. නමුත් කාලයක් යන කොට දැන ගන්නවා. මගේ විතරක් නෙවෙයි අනෙක් අය ගැනත් දන්නවානේ. දැන් රවින්ද්‍ර විජේවර්ධන මොන නමින් ලිව්වත් දන්නවානේ. එතකොට රවින්ද්‍ර ඇයි එහෙම ලියන්නෙ.

එහෙම දැනගන්නේ ඔබේ නමින්ම මෙහෙම පොත් ගහන කොට කියල හිතෙන්නෙ නැද්ද?

හැමෝගෙම පොත් පිටවෙලා තියෙනවනේ. මට කියන්න අන්වර්ථ නමකින් ලියලා පලවෙච්ච නැති තීරුලිපි තියෙනවා නම්. මානවසිංහගෙත් වගතුග කාණ්ඩ 3 ක්ම පිටවුණා. එතකොට දැන් ඒක අපි දන්නවානෙ වගතුග මානවසිංහගේ බව. සුන්දරගේත් කෘති පිටවෙනවා.



එතකොට ලේඛකයාම නේද අර ස්වාධීන බව නැති කර ගන්නෙ?

එය කවුරු දැනගත්තත් පුද්ගලයාගේ පෞරුෂය තුළ සිදුවන දෙයක්. සහෘද සටහන නතර වෙනකන්ම මගේ නම දැනගත්තයි කියල ලිවීමේ අන්තර්ගතය, ශෛලිය හෝ ප්‍රවේගකාරී ලක්ෂණයක් තිබුණා නම් මම එය අඩු කරලා නෑ. සුනිල් ආරියරත්න මගේ අතිජාත මිත්‍රයා වුණාට "කුස - පබා" කියන්නේ වාණිජමය ලක්ෂණ මිසක් ඒකෙ සිනමාවක් නෑ ගම්ලත් ගේ "කව්සිළුමිණ විනිස" කියවලා ලබපු රසය එහි නෑ කියල ලංකාදීපයට කියන්න මට පුළුවන් වුණා.

නමුත් ඔබේ තීරුව පාඨකයන් අතරට ගියේ "සහෘද" නමින්. ඒ නමින්ම කෘති පළ කලත් පාඨකයන් වැළඳ ගනී නේද? එවිට යම් ප්‍රමාණයකට හෝ අනන්‍යතාවය සඟවා ගන්න තිබුණා.

ඔය කියන කාරණාව මම පිළිගන්නවා. එහෙම ලියන්න පුළුවන් නම් හොඳයි. පොතත් පළ කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ප්‍රකාශකයාට ඕන විදිහත් බලන්න ඕන. ප්‍රකාශකයෙක් කර්තෘගෙ නම නැතිව කෘති ප්‍රකාශයට පත් කරන්න එතරම්ම කැමැත්තක් දක්වන් නැහැ. පොත් කර්මාන්තයට සම්බන්ධ වාණිජමය පැත්තකුත් තියෙනවානෙ.

දේශපාලන තීරු ලිපි, ඕපාදූප තීරු ලිපි, උපහාසාත්මක තීරු ලිපි, පෞද්ගලික මත දක්වන තීරුලිපි වශයෙන් තීරුලිපිය වර්ග කරන්න පුළුවන්. ඔබේ තීරුලිපි අයත් වන්නේ මේ කුමන ශානරයකට ද?

මගේ තීරුලිපි දේශපාලන තීරුලිපි ගණයට අයත් නෑ. ඊළඟට ඕපා දූප තීරු ලිපිත් නෙවෙයි. ඕපාදූප තීරු ලිපිවල තියෙන්නෙ එක එක්කෙනාගේ පෞද්ගලික තොරතුරු. නළු නිළියන්ගේ, ගායක ගායිකාවන්ගේ, ක්‍රීඩකයන්ගේ වැනි ජනප්‍රිය චරිතවල පෞද්ගලික සිදුවීම්. මම නන්දා මාලනියගේ "ශ්වේත රාත්‍රිය" ගැන තීරු ලිපියක් ලියුවා. රසිකයෙක්, ශ්‍රාවකයෙක් හැටියට මම එහි සින්දු රසවින්දා, ඔබත් ඒ රසය විඳින්න කියන පණිවිඩයත් පාඨකයන්ගේ අවධානයට යොමුවෙන විදියට. ඒකේ තියෙන ඕපාදූපය කුමක් ද? බය නැතිව කියන්න පුළුවන් මම ඒ ගොඩට අයත් නැහැ.

ඔබේ බොහෝ තීරු ලිපිවලට පාදක වී තිබෙන්නේ ඔබේ පෞද්ගලික අත්දැකීම්. මේවා කෘති ලෙස එළි දැක්වීමෙන් පාඨකයන්ට තිබෙන වැදගත්කම මොකක්ද?

හොඳ ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් දෙන්නම්. මේ මෑතක ඔය පොත ගැනම කළ සාකච්ඡාවක දී අපේ රටේ ප්‍රවීණ ජනමාධ්‍යවේදිනියක්, පරිවර්තිකාවක් වගේම ලේඛිකාවක් කිව්වා මගේ පොතේ තීරු ලිපියක් කියවනකන් දැනගෙන හිටියෙ නෑ ඇයි සිකුරාදාට කෞතුකාගාරය වහන්නෙ කියන එක. කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු කළ මරික්කාරවරුන්ගෙන් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විමසා ඇත්තේ ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් කුමන ගෞරවයක් බලාපොරොත්තු වෙනවද යන්නයි. පල්ලියට එන සෙනඟ මෙතැනට එයි කියල ඔවුන් සිකුරාදාට වසා තබන්නැයි ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමටයි අදත් සිකුරාදාට කෞතුකාගාරය වහන්නෙ. ඒක ඕපාදූපයක් ද? නැත්නම් ඉන් යමෙක් ඥානයක් ලබලා නැද්ද?

එදවස සොඳුරුමය තීරු ලිපියට තිබෙන ප්‍රතිචාරත් ඉහළයි. මගේ පෞද්ගලික මතක සටහන් එහි තිබෙන්නෙ. ඒ මතක සටහන්වලට ගොඩක් අයට සහභාගි වෙන්න පුළුවන්. මනමේ නාට්‍යයට අවුරුදු 57 යි. ඊට සම්බන්ධ වූ විශාල ප්‍රජාවක් ඉන්නවා. 1969 සිට මට සම්බන්ධ දේවල විස්තර මතක සටහන් තිබෙනවා. 70 වේදී මනමේ කොහොමද තිබුණෙ, මනමේ බිසවල කීදෙනෙක් හිටිය ද, සරච්චන්ද්‍ර ඇයි විද්‍යාලංකාරයේ මනමේ පෙන්වන්න නොදුන්නේ වැනි පෞද්ගලික අත්දැකීමට එහා ගිය ජීවන ප්‍රවෘත්තියක් මිසක් මම නාට්‍ය කණ්ඩායම මේකප් (Makeup) කරපු හැටි, නාට්‍ය කණ්ඩායමේ තියෙන ප්‍රේම සම්බන්ධතා, මධුවිත සාද පවත්වපු හැටි මෙහි කතා කරලා නැහැ.

නැත්තෙම නෑ. මහාචාර්ය සුනිල් ආරියරත්නට ඩී. ලිට් (D.litt) උපාධිය දුන්නම පවත්වපු සාදය ගැන මෙහි ලියා තිබෙනවා.

ඔව් ඒක පෞද්ගලිකයි. ඒත් මම එය පොදු කරලා තියෙනවා. මම ඒ උපාධිලාභියාට සලකපු ආකාරයයි ලියන්නෙ. එතකොට අගනුවරින් දුරබැහැර දකුණේ විශ්වවිද්‍යාලයකින් කේමදාස මාස්ටර්ට ආචාර්ය උපාධියක් දීල කොළඹ සිට එහි ගිය අප කිහිප දෙනෙක් ඇතුළු කේමදාසට බත් පැකට් එකක් දුන්නා. අපට නම් කමක් නෑ. කේමදාස කියන්නෙ මේ රටේ කවුද? හරියට නම් එතුමාට රාත්‍රී කෑම වේලක් දෙන්න ඕන උපකුලපතිතුමාගේ ගෙදර. අපි මිත්‍රයෝ හැටියට සුනිල් ආරියරත්නට සලකපු විදියත්, ඒ හැන්දෑවත් කියන ගමන් කේමදාසට නොසලකපු විදියත් මතු කරලා තියෙනවා.



පුවත්පතක පළවෙන "තීරු" කාලීනත්වයත් එක්ක කාලයට සාපේක්ෂවයි රසවත් වෙන්නෙ. කෘතියක් හැටියට එද්දි සිද්ධි පරණයි. එදා පුවත්පත් තීරුවට සාපේක්ෂව කෘතියෙන් ලැබෙන රසය අඩු වෙන්න පුළුවන්.

ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. සහෘද සටහන්වලදී සමහර විට අඩු වෙන්න පුළුවන්. එහි වුණත් කෞතුකාගාරය ගැන ලියපු තීරුලිපි අදටත් වලංගුයි. හොරු අල්ලලත් නෑ. වගකිව යුත්තන්ගෙන් ප්‍රශ්නයට පිළිතුරක් තාම ලැබිලත් නෑ.

එහෙම නැත්නම් බාල ගීත ගැන ලියනවා කියල හිතමු. ඒක අවලංගු වෙන්නෙ යහපත් ගීත කලාවක් ඇති වුණොත්. සහෘද සටහන සමහර කාණ්ඩ ඉවරවෙලා. මම ප්‍රකාශකයාට කිව්වා ඒවායෙහි ප්‍රති මුද්‍රණයක් කරන්න. ඉන් පේනවා පාඨකයක් මේවා නැවත නැවත පරිශීලනය කරන බව.

සහෘද සටහන, විජය මල්ලි, කවි මිහිර, එදවස සොඳුරුමය වගේ තීරුලිපි ඔබ සතියකට හතරක් ලියනවා. එතකොට එහි තිබෙන ශාස්ත්‍රීය බර අඩුවෙන් නැද්ද?

මේ තීරු හතර එකිනෙකට වෙනස්. මම ඒ ක්ෂේත්‍ර බොහෝ එකක් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධයි. නාට්‍ය කණ්ඩායම් කීපයක්ම සමඟ වැඩ කළා. එතකොට මම කේ.බී. ගැනත්, ජෙරොම් ද සිල්වා ගැනත්, මනෝරත්න ගැනත් දන්නවා. ටෙලි නාට්‍ය පෙරදැකුම් මණ්ඩලයෙත් ඉන්නවා. විනිශ්චය මණ්ඩලයෙත් ඉන්නවා. එතකොට ටෙලි නාට්‍ය ගැන පොදුවේ අදහසක් මට කියන්න පුළුවන්. අවුරුදු 40 ක් විතර කවියත් ඇසුරු කරනවා.

ඒ බහුශ්‍රැත භාවය පිළිබඳ නොවෙයි ප්‍රශ්නය. අනිකුත් වැඩක් එක්ක සතියකට තීරු 4 ක් ලිවීම තුළ ඒවායේ ගුණාත්මක භාවය හීන වෙන්නේ නැද්ද?

එහෙම ගුණාත්මක භාවය අඩු වීමක් කරන් නෑ. වෙන්නේ මගේ නිර්මාණවලට වන හානිය විතරයි. කෙටි කතා, කවි ලිවීම තරමක් පස්සට ගිහිල්ලා තියෙනවා. මගේ නිර්මාණවලට වන හානිය ඇරෙන්න තීරු ලිපිවලට අඩුවක් කරන්නේ නෑ. ගොඩක් දේවල් මම සොයා බලා නැවත නැවත අහල ලියන්නෙ. අවශ්‍ය වෙලාවට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගෙන්, ජේ.බී. දිසානායකගෙන්, සුනිල් ආරියරත්නගෙන් අහනවා. නාට්‍ය පිළිබඳව නම් කේ.බී. හේරත් ගෙන්, මනෝරත්නගෙන් අහනවා. එහෙම නැතුව ආවට ගියාට තීරුලිපි ලියන් නැහැ... මේක සිල්ලර වැඩක් නොවෙයි. අවුරුදු 10 ක් අඛණ්ඩව සහෘද සටහන පළ වෙන්නෙ එය කියවන්න පාඨක පිරිසක් හිටපු නිසා. අනෙක් තීරුත් එහෙමයි. කිසිම පුවත්පතක් වල්පල්වලට තීරුවක් දෙන්නෑනේ. ඊට වඩා වැදගත් තීරුවක් ලියවා ගන්නවානෙ.



පුවත්පත් තීරුවකින් කතා කරන්න ඕන පොදු දේවල් ගැන. නමුත් කිසිම ශාස්ත්‍රීය මට්ටමක් නොතිබූ 'පැණි වළලු' වැනි පුද්ගල බද්ධ ප්‍රාසාංගික ප්‍රසංග ගැනත් ඔබ ලිව්වා.

එය ලීවේ උළෙලත් එක්කම. එය විශාල වශයෙන් පාඨක ග්‍රහණයට හසු වූ මොහොතක වැඩි පාඨකයන් සමඟ බෙදා හදා ගන්න ඕන කියල හිතුවා. ඒක පුද්ගල බද්ධ නිසාම නෙවෙයි. එහෙම නම් මම විමලනාත් වීරරත්න, කේ. ඩී. රංජිත් කුමාර, ගාමිණී වේරගම, මිහිඳුකුල පුෂ්පා ඉලංගන්තිලක වැනි අයගේ තීරුලිපි ගැනත් කතා කරලා තියෙනවා.

පියදාස සිරිසේන, ඩබ්.ඒ. සිල්වා, වික්‍රමසිංහ, කුමාරතුංග මුනිදාස වැනි අයත් තීරුලිපි රචකයන් ලෙස කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ තීරුලිපි කලාව ගැන ඔබ දකින්නේ කොහොමද?

ඒ අය මම දකින්නේ අපේ රටේ සාහිත්‍ය කලාවේ විශිෂ්ටතමයන් හැටියට. ඔවුන්ට දේශපාලන සාහිත්‍ය කලාව, භාෂාව පිළිබඳ ගැඹුරට දැනුම තිබුණා. ඒ කිට්ටුවට තීරුලිපි රචකයෙක් මට නම් කරන්න දැනට නැහැ. එතරම්ම ඒ දායකත්වය විශිෂ්ටයි. ඒත් ඒ කාලේ සමාජය අද තරම් සංකීර්ණ නෑ. අද විශාල පාරිභෝගික සංකීර්ණ සමාජයකයි අපි ඉන්නේ. අද විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය තාක්ෂණය දියුණු වෙලා. සමහර විට ඒ අය අද හිටියා නම් ලියැවෙන්නේ ඒ තීරුලිපිය නෙවෙයි වෙන්න පුළුවන්. අද පුළුවන් ද ආගම, භාෂාව ගැන පමණක් කතා කරකර ඉන්න. ඒක සමාජ විකාශනයත් එක්කම සිදුවන දෙයක්.

නමුත් ඒ තුළ සර්වකාලීන වටිනාකමක් තිබෙනවා.

ඒක හරි. මම පිළිගන්නවා. ඊට හේතුව ඒ අය කතා කළ විෂය, ගැඹුර හා වැදගත්කම.

ඡායාරූප- රුවන් වීරතුංග

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails