Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- මහාසේන, සුගලා, නිලධාරියා 1, නිලධාරියා 2

(සියුම් සංගීතයක් මතුවේ.)

මහාසේන- ආහ්, මට හුස්ම ගන්න අමාරුයි. ආහ්, මට හුස්ම ගන්න අමාරුයි.

සුගලා- අන්න ඒ නිසා තමයි, මං කියන්නෙ අපි ඉක්මනට මෙතනින් පැනගමු මහසේන.

මහාසේන- කොහේටද? කොහේටද සුගලා යන්නෙ අපි. බලනවා, හොඳට බලනවා. හතර වටින්ම අපිව වටවෙලා. පේනවනෙ, ගිනිකන්දෙ ලෝදිය මුළු හතරවටේම වෙළාගෙන. ගංවතුර වැඩිවෙනවා වගේ එන්න එන්නම ලෝදිය මට්ටම වැඩිවෙනවා. පහළ තැනිතලාවම කම්මලක ගිනිඅඟුරු රත්වෙලා පත්තුවෙනවා වගේ. මුඟ තැනිතලා ප්‍රදේශයම ඉවරයි. කෙත්වතු, වනාන්තර, ගංගා, ගොඩනැගිලි, ඒ මහා ශිෂ්ටාචාරයේ හැමදෙයක්ම යටපත් කරගෙන, ලාවාගුලි බුරබුරා පහළට ඇදෙනවා. බලන්න සීනි ද්‍රාවණයක කූඹි වගේ මැරිච්ච මිනිස්සු නේද, අර උඩ යට පෙරළි පෙරළි ලාවා එක්ක ගිනිගන්නෙ. ඔව්, මේ කඳුකර ප්‍රදේශ යාය විතරයි යටනොවී තියෙන්නෙ.

සුගලා- තව ටිකකින්, අපි ඉන්න කඳුමුදුනත් යට කරගෙන ලාවා ගලාගෙන ඒවි. ඔව්, අපි මෙතනින් ඈතට පැනගමු මහාසේන.

මහාසේන- සුගලා, මං ඔයාට වතාවක් කිව්වා. මං ගැන හිතන්න එපා. කරුණාකරලා මෙතනින් ඕන දිහාවකට යනවා. ආහ්, මට හරිම මහන්සියි, මේ උණුසුමට. මට මෙහෙම දිගාවෙන්න ඕන.

සුගලා- ඔහේට අමාරුවෙලා තියෙන්නෙ, මේ කළු දුමාරය ආශ්වාස කරලා. මෙතන ඉන්න ගියොත් වෙන්නෙ, තවත් අමාරුව වැඩිවෙනවා මිසක් යහපත් අතට හැරෙන එක නෙවෙයි.

මහාසේන- මං තීරණය කළා. ඔව්, මං මෙතනම මියැදෙනවා. මං මියදෙන්නෙ මෙතන. මට ඒක සැපතක්. මං ඉපදුණුු භූමිය. මං ඉපදුණුු කඳුයාය, මගේ ගේදොර, වතුපිටි, අස්වැන්න. ඔව්, ඒ ඔක්කොම එක්ක මම මියදෙනවා. ගිනිිකන්දට අභීතව මුහුණ දෙනවා. තව අවුරුදු දහස් ගණනකින් මෙතන කැණීම් කරන පුරාවිද්‍යාඥයෙකුට හමුවේවි, මගේ ශරීරයේ භෂ්මාවශේෂ, අස්ථී කැබලි. උන් විශ්ලේෂණය කරාවි, මගේ ජීවිතය ගැන. උන් කියාවි, මේ මහාසේන වන්නිනායක කියන්නෙ, තමන් ඉපදුණු පොළොවට ප්‍රේමකළ ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියලා.

සුගලා- ඔහේ මරණ විකාරෙන්ද මේ දොඩවන්නෙ?

මහාසේන- මට හොඳ විස්වාසයක් තියෙනවා ගෑනියෙ, මේ ලාවා, මේ මට්ටමට වඩා කීයටවත් වැඩිවෙන්නෙ නෑ. ලෝක ඉතිහාසයේ සම්පූර්ණ කඳුයායක් යටකරන්න තරම් උසට ලාවා පිටකරපු ගිනිිකන්දක් නෑ. ලාවා ගලාගෙන යන්නෙ පහළට. තව ටික දවසකින් ගිනිිිකන්ද නින්දට යනවා. ඊට පස්සෙ මේ ලාවා සිසිල් වෙන්න ගන්නවා. එතකොට සාමාන්‍ය පස්තට්ටුවක් වෙනවා. අර ඈත, පේන තෙක් මානයක ඉඳලා, මේ දක්වා භූමියායට හිමිකම් කියන්න කවුරුත් නෑ. මුළු ඉඩම් යායම අපේ. අපිට පුළුවන් එක යායට මේක වගාකරන්න. ලාවා මිශ්‍රවෙච්ච මේ පස බොහෝම සරුයි. ඕනම බෝගයක් සරුවට හරියනවා. අපිට පුළුවන් මේකෙ ඇපල් හිටවන්න. එහෙමත් නැත්නම් චෙරි. මේ යායම ඇපල් වලින් වගාකළොත් අපි ඇපල්වතු යායක හිමිකරුවො. එහෙමත් නැත්නම් චෙරි වලින් වගාකළොත් චෙරි වත්තක හිමිකරුවො. මේ එකක්වත් කරන්න බැරිනම් අපි, ඉඩම් කට්ටි කරලා විකුණමු. වෙන්දේසි කරමු. අපි දාමු හොඳ නමක්. වොල්කැනෝ එස්ටේට් කියලා. මේ ගිනි කන්දේ ඓතිහාසික කමත් එක්ක ඉඩම්වලට හොඳ වටිනාකමක් එනවා.

සුගලා- ඔයාගේ මනස හොඳටම අවුල්වෙලා. මං හිතන්නෙ මේ ගිනිකන්දේ කළු දුමාරය, මොනොක්සයිඩ් ආග්‍රහණය කරලා වෙන්න පුළුවන්.

මහසේන- බලන්න අර ඈත. දිවි පරදුවට තියලා කොයිතරම් වෙහෙසක් ගන්නවද, සෙබළු මේ ගිනිකන්ද මර්දනය කරන්න. හරියට මී මැස්සෝ ඉගිළෙනවා වගේ, ගුවන් යානා රංචුවලින් සෙබළු කාබන් විදිනවා. ගින්දර අස්සෙන් කාබන් දියර පැතිරෙන්නෙ හරියට මීදුමක් වගේ. වේගයෙන් ගමන්කරන මේ යානා ටික, කළු දුමත් එක්ක මට පේන්නෙ හරියට පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක් වගේ. අපි සන්තෝෂවෙන්න ඕන, අපේ ආණ්ඩුව ගිනිකන්ද මර්දනය කරන්න විශාල පරිශ්‍රමයක් දරන එක ගැන. මේ වෙන කොට, අවශ්‍ය කරන ගණ ද්‍රව්‍ය ගුවනින් අතහැරියා. ආණ්ඩුව මුලින්ම කළේ, සියලුම පුස්තකාලවල තියෙන පොත්, ගිනිකන්දට පතිත කරපු එක. ඒකෙන් සෑහෙන ලාවා තට්ටු නිවිලා ගියා. ඊට පස්සෙ කළේ සියලුම වාහන අරගෙන ගිහිල්ලා පතිත කරපු එක. ගිනියම් වෙච්ච ලාවා, සියයට පනහක් විතර මර්දනය කරන්න පුළුවන් වුණා, ලාවා වලට අතහැරපු වාහන කන්දරාවට. පසුගිය ටිකේ මෙහාට ගෙන්නපු වාහන රොත්තෙනුයි පුස්තකාලවල ගොඩගහලා තියන පොත්වලිනුයි නිසි ප්‍රයෝජන ලබාගන්න එක කොයිතරම් දෙයක්ද? ඔව්, දැන් ආණ්ඩුව සියලු ගොඩනැගිලි, අධිබලැති ගුවන්යානා මගින් වහලවල් සමග ගලවාගෙන ගිහිල්ලා අහසින් අතහරිනවා, හරියට සෙල්ලම් ගෙවල් බිම වැටෙනවා වගේ හරිම අපුරුයි. ඔහෙට පේන්නෙ නැද්ද? මම මේ දැන් කියනවා, ඉතාම ඉක්මණින් මේ ගිනි කන්ද මර්දනය කරලා, නිවා දාන්න අපේ ආණ්ඩුවට පුළුවන්. ලෝක ඉතිහාසයේ කඩිනමින් ගිනි කන්දක් නිවාදාපු ජාතිය විධියට අපට ආඩම්බර වෙන්න පුළුවන්.

සුගලා- මොනවද මේ ඔයා කියවන්නෙ? හොඳටම මනස අවුල් වෙලා. (තමාට) මෙතනින් දැන් පැනගත්තොත් තමයි. ඔව්, මම තනියම හරි මෙතනින් යන්න ඕන. (අඩිහඬ) ඒත්, මං කොහොමද ඒ තීරණය ගන්නෙ. අවුරුදු ගාණක් එකට ජීවිතේ ගෙවපු මිනිහා. ඔව්, මං උන්දැවත් අරගෙනම කොහොමහරි මෙතනින් පිට වෙන්න ඕන. ඒක තමයි හරිම විධිය. (හඬින්) මං කියන එක අහන්න. අපිට තියෙන ආහාරයි, වතුරයි ඉවර වේගන යන්නෙ. අනේ, අපි ඉක්මන් කරලා මෙතනින් පිටවෙලා ජීවිත බේරගමු.

මහාසේන- කලබල නොවී ටිකක් ඉවසමු. ඔයා දැක්කනෙ, මං දුරකථන ඇමතුම් ගොඩක් ලබාදුන්නා සහන සේවා නිලධාරී බලමුළුවට. ඒ වගේම ෆැක්ස්, ඊමේල් හැමදෙයක්ම යවලා තියෙන්නෙ විස්තර සහිතව. මට හොඳ විස්වාසයක් තියෙනවා, අපිව ගලවාගන්න අවසන් මොහොතෙ හරි, සහන සේවා නිලධාරීන් එනවා කියලා. අනිවාර්යයෙන්ම එනවා කියලා. ඊට පස්සෙ අපිට වීරයො වගේ කියන්න පුළුවන්, ගිනිකන්ද මැද්දෙ කඳුමුදුනක ගතකරපු ජීවිතය. රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් මාධ්‍යවේදියො අපිව වටකර ගනීවි, අපෙන් ප්‍රශ්න අසාවි, මෙන්න මේ විධියට. (රිද්මය වෙනස් කොට) එතකොට කියන්න බලන්න මහාසේන වන්නිනායක මහතා, ඔහේ කොහොමද මේ ගිනිකන්ද පුපුරනවා ඉස්සෙල්ලම දැක්කෙ. මං උත්තර දෙනවා මෙන්න මෙහෙම. මං මගේ කුඹුරෙ වැඩකරමින් ඉන්න අතරවාරයෙ, හරියට බෝම්බයක් පුපුරනවා වගේ ශබ්දයක් මට ඇසුණා. මං හොඳටම බය වුණා. බය වෙලා බිම දිගාවුණා. ඒ එක්කම අහසට සයිලන්සර් එකකින් දුම්ගුලි විදිනවා වගේ, එක දිගට දුම් විදින්න ගත්තා. මං ක්‍රියාත්මක වුණා. මං අවට ගම්වාසී ඔක්කොටම කිව්වා, සහෝදරවරුනි බයවෙන්න එපා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා, ගිනිකන්දක් පිපිරුවා. අපේ රටේ ඉතිහාසයේ මුල් වතාවට ගිනිකන්දක් පිපිරුවා. කල්පාන්තයකට වතාවයි මේ වගේ සංසිද්ධියක් ඇතිවෙන්නෙ. මේක අපේ පූර්ව ආත්මවල වාසනාව පලදීමක් සහෝදරවරුනි, බය වෙන්න දෙයක් නෑ. සහෝදරවරු වහාම ආරක්ෂිත ස්ථානවලට ගියොත්, මේ ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන්. මේ තත්වයට පිටුපාන්න පුළුවන්.

සුගලා- ගිනිකන්ද පුපුරන වෙලාවේ, අපි දෙන්නම හිටියේ ගේ ඇතුළෙ. අපි දෙන්නම භ්‍රාන්ත වුණා, වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව.

මහාසේන- හරි, හරි, ඔයා හරි. ඒත්, අපි මාධ්‍යයට කියන්න ඕන විධියයි, ඇත්තයි පටලවා ගන්න එපා. හැබැයි මං උත්තර දෙනකොට මගෙන් හරස් ප්‍රශ්න අහලා, මාව අමාරුවේ දානවා එහෙම නෙවෙයි. මට හොඳ විශ්වාසයක් තියෙනවා, අපිට ඉඩකඩ වාසනාව තියෙනවා, අපේ රටේ ජාතික වීරයෝ වෙන්න. එතකොට අපේ නම්ගම් දරුවන්ගේ පාඩම් පොත්වලට පවා යාවී. දරුවෝ පාඩම් කරාවී. විභාගවලට, ප්‍රශ්න පත්තරවලට උත්තර දේවි. කොයිතරම් අපූරුද? ඒ විතරක් නෙවේ, අපේ ජීවන තොරතුරු අළලා වාර්තා චිත්‍රපට, විශේෂාංග ලිපි, පොතපත, වෙබ් සයිට්, මෙකීි නොකීි හැම දෙයක්ම නිර්මාණය වේවි.

සුගලා- ඔයා මොනවද මේ කියවන්නෙ, අපේ ජීවිත අවදානමක තියෙන වෙලාවක. අනේ, මං කියන එක අහල අපි ඉක්මණිින් මෙතනින් පැනගමු...

මහාසේන- (බාධා) ඇත්තටම මං කැමතියි මෙන්න මේ පෝස් එකෙන් ෆොටෝවලට පෙනී ඉන්න. මං තහංචියක් පනවනවා මාධ්‍යවේදින්ට, මගේ ඡයාරූප ගන්න පුළුවන් වම් පැත්තෙන් විතරයි කියලා. දකුණු පැත්තෙ ප්‍රොෆයිල් එකෙන් ෆොටෝ ගන්න මං තහනම් කරනවා. ඒකට හේතුව තමයි මං කියන්නේ, මං වාමාංශිකයෙක් නිසා කියලා. එතකොට මොනවද මගෙන් අහන්න පුළුවන් වෙනත් ප්‍රශ්න. ඔව්, මගෙන් අසාවි, ගිනිකන්ද මැද්දෙ අපේ අත්දැකීම්. එතකොට ඔයාටත් අනිවාර්යයෙන්ම කථාකරන්න වෙනවා. ඔයා මෙන්න මෙහෙම කියන්න ඕන. අපි දෙන්නම හිටියෙ ලාවාවලට ඔන්න මෙන්න තියෙද්දි. ඒක පුදුම තරම් රස්නයක්. මං හිතන්නෙ සෙන්ට්‍රිගේඩ් අංශක දසදහසකට එහා උණුසුමක්. රතුපාට ලාවා ගුලි ගිනිකන්දෙන් බුරබුරා නැගි නැගි ගලා ගියා, රැළිිපිට රැළිි නංවලා. බලන්න හරිම අපූරුයි. මට මතක් වුණේ හරියට ජලාසයක වාන් දොරටු ඇරියම ජලකඳ දෝරෙ ගලා යන චිත්‍රයක්. ලාවාවලට හසුවෙලා අපේ යාළුවෝ, අසල්වැසියෝ, නෑදෑයො, හිතවත්තු, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, වැඩකරු, සටන්කරු, සහකරු මෙකි නොකී හැම කෙනෙක්ම ගහගෙන යනවා මං දැක්කා. සමහරු අනේ අපිව බේරගන්න කියලා මර ලතෝනි දුන්නා. එතකොට මං කියනවා, ඔව්, මං ඉදිරිපත් වුණා බේරගන්න. මං අඩිය තිබ්බා විතරයි, ලාවාවල උණුසුමට මගේ සපත්තුව දියවෙලා ගියා. මං කියනවා, මං හිතුවා කියලා බේරගත්තත් මේ කිසිම කෙනෙක්ට ජීවත්වෙන්න ලැබෙන්නෙ නෑ කියලා. මොකද උන්ගේ මුළු ඇඟම පිච්චිලා කරවෙලා, හරියට රෝස් කරපු කුකුලො වගේ. ඉතින්, එවැනි නිරර්ථක ක්‍රියාවකට මහන්සිවෙන එකේ ප්‍රතිඵලයක් නැති නිසා, මං ඒ ක්‍රියාව අත්හැරියා කියලා. මං කියා හිටිනවා අපි බලාගෙන හිටියා කියලා, ළමයි, තරුණ තරුණියෝ, මහල්ලෝ හැමකෙනෙක්ම ලාවාවල පැටලි පැටලි ගහගෙන යනවා. ඒක අපේ ජීවිතයේ දැකපු ඉතාම දුක්බර ඛේදජනක සිදුවීම කියලා. අපි කඳුළු පෙරාගෙන ඇඬුවා කියලා. මට දැනටත් ඇඬෙනවා කියලා. එතකොට මං දන්නවා සමහර මාධ්‍යවේදියො මගෙන් අතුරු ප්‍රශ්න අහනබව. මං බය නෑ ඔය කිසිම අතුරු ප්‍රශ්නෙකට. මං දෙනවා ඉතාම හොඳින් සංකීර්ණ උත්තර. මාධ්‍යවේදියෙක් මගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම. (රිද්මය වෙනස්කොට) මේතරම් අධික උෂ්ණත්වයක් තියෙන ගිනියම්වූ ලාවා වලින් ඔබ බේරුණේ කොහොමද කියලා? මං අහනවා එතකොට, එහෙනම් දේවාලවල මිනිස්සු අධික උෂ්ණත්වයක් තියෙන ගිනි පාගන්නෙ කොහොමද කියලා. අපි දෙන්නම ගිනි පාගලා තියෙනවා කුඩාකාලේ ඉඳලා. අපිට දේව ආශිර්වාදය හා අනුහස තියෙනවා. අපි දෙන්නගෙ ප්‍රේමය පටන් ගත්තෙත් දේවාලෙ ගිනි පාගන්න ගිහිල්ලා කියලා, කියනවා. ඉතින් ලාවාවල මේ උෂ්ණත්වය කියන්නෙ අපිට මොන කජ්ජක්ද කියලා මං උත්තර දෙනවා. (රිද්මය වෙනස් කොට) එතකොට තවත් මාධ්‍යවේදියෙක් අහන්න පුළුවන්, මිනිස්සු ලාවාවලට හසුවෙලා ගහගෙන යන අතරවාරයෙ අපචාරවලට, එහෙමත් නැතිනම් දූෂණවලට ගොදුරු වුණේ නැද්ද? හොරකම් මංකොල්ලකෑම් එහෙම ඔබ දැක්කෙ නැද්ද? ඇත්තම කියනවා නම් එහෙම සිද්ධි කිහිපයක් මං ඈතක ඉඳන් බලාගෙන හිටියා. මට පුළුවන් ඒ අය දැක්කොත් පහසුවෙන් අඳුරගන්න. මං දැක්කා ලාවාවලට හසුවෙලා ගහගෙන යන රූමත් තරුණියකට බලහත්කාරකමක් කරන තවත් තරුණයෙක්. ඔව්, ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයක්. ඒ වගේම මං දැක්කා තවත් කාන්තාවකගෙ ගෙලේ තිබුණ මාලයක් කඩාගෙන ඇයව, මිනිහෙක් ලාවාවලට තල්ලුකරලා දාන හැටි. ඒ වගේම ලාවාවලට හසුවෙලා යන මිනිසුන්ගෙ මුදල්, ආභරණ පැහැරගන්න හොරුන් මං ඈතට දැක්කා. අප ජීවත්වන, අප අවට සමාජය ගැන මට විශාල අප්‍රසන්නතාවයක් ඇතිවුණා. මං එහෙම කියා සිටිනවා. ඒ අස්සෙ තවත් මාධ්‍යවේදියෙක් මෙහෙම අහන්න පුළුවන්.
(රිද්මය වෙනස් කොට) ඔබ මේ දේවල් ඇස් දෙකින් දැක, කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතුව දැන් විවේචනය කරනවා. එතකොට මං මෙහෙම කියා සිටිනවා. එහෙම කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. මං ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. මං ඇත්ත වශයෙන්ම හඬින් කෑගැහුවා. ඉතාම හඬින් කෑගැහුවා. මගේ හඬට බය වෙලා ලාවා පහර අස්සෙ මුද්දක් ගලවා ගන්න ගිය හොරෙක්, වහාම ඒක නවත්තලා දැම්මා. නමුත් මට කිසිදු හැකියාවක් තිබුණෙ නෑ, ලාවාවලට පැනලා මේවා නවත්තන්න. මොකද ගිනියම්වූ ලාවාවල මාරාන්තිකබව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මං එහෙම දිගටම කථාකරනවා. මං දන්නවා මේ සංසිද්ධිය නිසා මුළු ලෝකය පුරාම මාව ප්‍රසිද්ධියට පත්වෙනවා. මාව විතරක් නෙමෙයි ඔයාවත්. අපි දෙන්නගෙම ඡායාරූපවලින් වෙබ්සයිට් පිරේවි තොරණක් වගේ. මට හිතනවා ඊළඟ නොබෙල් සාම ත්‍යාගය මට ලැබෙයි කියලා. මහා ව්‍යසනයක් මැද්දෙ ලෝක සාමය ගොඩනැගීම සඳහා කරන ලද උත්තරීතර මෙහෙය වෙනුවෙන්. මේ ජනප්‍රියත්වයත් එක්ක මට අනිවාර්යයෙන්ම ආරාධනා ඒවි, යුනිවර්සිටිවල දේශන පවත්වන්න, ගිනිකඳු ආපදා කළමණාකරණය ගැන වගේ විෂයක් සම්බන්ධව. ඔව්, මට කථීකාචාර්යවරයෙක් විධියට ජාත්‍යන්තර සරසවිවල දේශන පවත්වමින් සැරිසරන්න පුළුවන් වේවි. මට ගරු ආචාර්ය පදවියක් කොළඹ විශ්වවිද්‍යාලය වගේ එකකින් අනිවාර්යයෙන්ම හම්බවේවි. මේ ඔස්සේ පුළුවන් සියලු අත්දැකීම් අළලා වෙළුම් වශයෙන් ග්‍රන්ථ මුද්‍රණය කරන්න. මට අනිවාර්යයෙන්ම විශ්වාසයි, අපිට හැරීපොටර් වාර්තාව බිඳින්න පුළුවන් වෙයි කියලා අලෙවිය අතින්. බලන්න මේ ගිනිකන්ද කොයිතරම් ආශිර්වාදයක්ද අපිට අරගෙන ආවේ.

සුගලා- ඔයා මොනවද මේ කියවන්නෙ. ඔයාට උන්මාදය හැදීගෙන එනවද? මේ ගිනිකන්ද කාටද ආශිර්වාද වුණේ. මේකෙන් කොයිතරම් ව්‍යසනයක්ද අපේ ජීවිතවලට වෙලා තියෙන්නෙ. කරුණාකරලා මෙතනින් පැනගමු. අනේ එන්නකො කියන එක අහලා.

මහාසේන- දෙවියන් වහන්සෙ, එහෙමත් නැත්නම් මහා බ්‍රහ්මයා උඹවගේ මෝඩ ගැහැනු ලෝකයට මවලා මහා අනර්ථයක් කරලා තියෙන්නෙ. උඹලගෙ නුුවණ තියෙන්නෙ හැඳිමිටේම තමා. අපි මේ විධියට පලා ගියොත් නිකම්ම නිකං මිනිස්සු විතරයි. ඒත්, එහෙම වෙන්න මම කැමති නෑ. මගේ තවත් ඉලක්කයක් තමයි ගිනිකන්දෙන් විපතට පත්වූවන්ගේ සංගමය පිහිටුවීම. නිල බලයෙන් මට පුළුවන් ඒකෙ කැඳවුම්කරු වෙන්න. ඒ හරහා සෑම ජාත්‍යන්තර ෆන්ඩ් එහෙකටම ලියලා අපිට ආධාර ඉල්ලන්න පුළුවන්. මේවට සමගාමිව ස්විස්ටර්ලන්ඩ් හරි, එහෙමත් නැත්තම් ජර්මනියෙ හරි සිටිසන්වලට අපි ඉල්ලුම් කරන්න ඕන.

සුගලා- මේ ඔක්කොම ඔහෙට කරන්න වෙන්නෙ ලබන ආත්මයෙදි. එහෙමත් නැත්නම් එලොවදි. මෙතන උන්නොත් අනිවාර්යයෙන්ම වෙන්නෙ, අපි මිය යන එක. ඔහේට තේරෙන්නෙ නැද්ද, ඔය ඥානයට ඒ ටික.
(ගුවන්යානා හඬ ඈතින් ඇසේ)

මහාසේන-
ඔය ඇහෙන්නෙ ගුවන්යානා හඬ, අපි ළඟින්ම. ඔව්, මං හිතුවා හරි. අපිව බේරගන්න සහන සේවා කණ්ඩායමක් ගොඩ බහින්නයි යන්නෙ, අපි ඉන්න මේ කඳුමුදුනට. හරියට හරි. ඔව්, අපි කෑගහමු. එතකොට උන්ට අපිව අඳුරගන්න පුළුවන් වෙයි. අනේ අපිව බේරගන්න.

ඹහාසේන/සුගලා-
අනේ අපිව බේරගන්න. අපි මෙහේ, අපිව බේරගන්න. ඔහෙලට අපිව ඇහෙනවද? අනේ අපිව බේරගන්න කවුරුත් නැද්දෝ.

සුගලා- මට නම් හරිම අමාරුයි, මීට වඩා කෑගහන්න. මේ කළු දුමාරය මැද්දෙ අපේ හඬ ඈතට විහිදිලා යන්නෙ නැහැ.
(යානයේ හඬ වැඩිවේ)

මහාසේන- ඔන්න ආයෙත් යානය මේ පැත්තට එනවා. අපි කෑගහමු. අනේ අපිව බේරගන්න. අපි මෙහේ.

සුගලා- යානය ඈතට යනවා මිසක් මේ පැත්තට එන පාටක් නෑ.

මහාසේන- අපි දෙන්නම එකතුවෙලා හයියෙන් කෑගහමු. එතකොට මේ පැත්තට ඒවි. අනේ අපිව බේරගන්න.

සුගලා- මොනවා? ඔන්න යානය වේගයෙන් පහළට යනවා. මොනවා? කඩන් වැටෙනවා නේද? ඔව්, ගිනිගත්තා. ලාවා උඩට වැටිලා ගිනිගන්නවා.

මහාසේන- අපි අන්න අර අනිත් යානයට කෑගහමු. හයියෙන් කෑගහමු. ඒ යානය මේ පැත්තට පහත් කරන්නයි යන්නෙ.
(යානයේ හඬ වැඩිවේ)

සුගලා- (තමාට) ඔව්, ඒ යානය මේ පැත්තට තමයි ඇදෙන්නෙ. ඒත්, කියන්න බෑ, අපි ඉන්න තැනට කඩා වැටෙනවද කියලා.

මහාසේන- කෝ, අපි දෙන්නම කෑගහමු.

සුගලා/මහාසේන- අනේ, අපිව බේරගන්න. අපිව බේරගන්න.

මහාසේන- ඔන්න යානය මෙහාට පහත් කරන්න වගේ. හරි, දැන් මං කියන විධියට තමයි කටයුතු කරන්න ඕන. එක වචනයක්වත් කථාකරන්න එපා. අපි ඉතාමත් අසාධ්‍යව වැටිලා ඉන්න විධියට රඟපාමු මුලින්ම.

සුගලා- මොනවා? යානය අපි ගාවට කඩාවැටෙනවා නේද?
(යානයේ හඬ ඉතා වැඩිවේ)

මහාසේන- ඕ, මොනවා? දැන් අපි මොකද කරන්නෙ. අපි අන්න අර පැත්තට දුවමු.
(යානය බිමට පතිත කරන හඬ)

සුගලා- නෑ, නෑ, යානය බානවා. බාන්න සුදුසු තැනක් හොයනවා.

මහාසේන- එහෙනම් අපි මෙහෙම අමාරුවෙන් දිගාවෙමු. කෝ, බිම දිගා වෙන්න. ඉතාම අමාරුබව පෙන්නන්න.
(යානයේ හඬ සමග අඩිහඬක් ඇසේ)

1 නිලධාරියා- ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. මේ රෝගීන් දෙන්නව ඉක්මන් කරලා ඔය ට්‍රේ දෙකට දාන්න.

2 නිලධාරියා- හොඳටම අසාධ්‍යයි. හ්ම්, අපි ඔක්සිජන් ලබාදෙමු. කෝ, ගන්න ඔය ඔක්සිජන් සිලින්ඩර්.

1 නිලධාරියා- ඔහොම ඉන්න. දැම්මම ඔය ඔක්සිජන් මාස්ක්, කටයි නහයයි වැහෙන්න හයිකරන්න එපා. තාම මගේ කැමරාව රෙඩි නෑ. හරි, ඔන්න මං රෙකෝර්ඩින් ඔන් කළා. දැන් හයි කරන්න.

2 නිලධාරියා- මං හිතන්නෙ මැරෙන්න ඔන්න මෙන්න. මේ අය අරගෙන යන එකේ තේරුමක් නෑ.

1 නිලධාරියා- (හිමින්) හා, හා, කෑගහන්න එපා. රෙකෝර්ඩ් වෙනවා, ලෙඩ්ඩුන්ට සලකන ආකාරය. හරි, ඔන්න මම කැමරාව ඕෆ් කළා.

2 නිලධාරියා- ඔන්න එහෙනම් මේ මාස්ක් දෙකයි, ඔක්සිජන් සිලින්ඩර් දෙකයි ගලවා ගන්නද?

1 නිලධාරියා- නෑ, ඒ දෙක ඔහොම තියෙන්න අරින්න. මේ බඩු ඉවර කරන්නත් එපැයි. අනික මේවා අරගෙන ගියොත් අනෙක් ලෙඩ්ඩුන්ට ඒක පෙනේවි. හරි, අපි යමු. ඉක්මන් කරමු.
(අඩි හඬ, යානයේ හඬ වැඩිවේ)

මහාසේන- ආහ්, ආහ්. (තමාට) මේ ඔක්සිජන් මාස්ක් වලට වචන පිටවෙන් නෑ. කොහොමද මේවා ගලවන්නේ. හ්ම්, හරි, ඒයි, ඒයි, මොනවා? උන් රිලේ එකක් දුවනවා වගේ ගිහින්, යානෙට නැග්ගා. ඔන්න යානෙ ඉහළට ඔසවනවා. (හඬින්) ඒයි, අපිව අරගෙන යනවා. අනේ අපිව අරගෙන යනවා.
(යානය ඉහළට ඔසවන හඬ ඇසේ )

ආහ්, මොකද මේ අපිට වුණේ. ඒයි නැගිටිනවා. හරි වැඩේ. උන් ගියා. මොනවා? ඒයි, නැගිටින්න. ඉක්මන් කරන්න. මොකක්? කිසිම හැල හොල්මනක් නෑ. හරි, ඔක්සිජන් මාස්ක් එක ගලවමු. ඒයි නැගිටිනවා. මොනවා? අනේ මගේ ගෑනිිට මොකද මේ වුණේ? ආහ්, දැන් මොකද කරන්නෙ. හරි, බලමු වතුර ටිකක් මූණට ඉහලා. වතුර බෝතල් කාලයි මේ කලිසම් සාක්කුවෙම තියෙන්නෙ. හ්ම්, කිසිම හැල හොල්මනක් නෑ. දැන් මොකද කරන්නෙ. අනේ, මොකද මට මේ වුණේ? ආහ්, ම් ගිනිකන්ද මැද්දෙ මං අතරමං වුණා. මටත් දැන් වෙන්නෙ මේ ටිකම තමා.

සුගලා- ආහ්, ආහ්.

මහාසේන- ආහ්, ඇස් ඇරියා නේද? ඔව්, මොනවා, ඔයා ජීවතුන් අතර නේද?

සුගලා- ඔක්සිජන් ලැබෙනවාත් එක්ක, මට හොඳටම නින්ද ගියා. සමහරවිට මට සිහිය නැතිවෙන්න ඇති. මේ කොහෙද අපි ඉන්නෙ?

මහාසේන- අපි ඉන්නෙ හිටපු තැනමයි.

සුගලා- හිටපු තැනමයි? මොනවා? ඇයි ඔයා ආපු සහන කණ්ඩායම එළවා ගත්තෙ?

මහාසේන- මං එළවා ගත්තෙ නැහැ. උන් ගියා. මං කථාකරන්න කලියෙන් උන් ගියා.

සුගලා- මට නම් ඒක විශ්වාස කරන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම උන්ව එළවා ගත්තා. ඇයි එහෙම කළේ?

මහාසේන- මං කියන එක අහන්න...

සුගලා- (බාධා) දැන් ඔයා මං කියන එක අහන්න ඕන. මේ ඔක්සිජන් සිලින්ඩර් දෙකයි. තියෙන වතුර ටිකයි අරගෙන අපි මෙතනින් පිටත් වෙමු. හ්ම්, යමු. අපි පිටත් වෙමු.

මහාසේන- මං යෝජනා කරන්නෙ...

සුගලා- (බාධා) ඔයා කියනදේට මං මෙච්චර වෙලා ඇහුම්කන් දුන්නා. ඔයාට ඕන අපේ ජීවිත බේර ගන්නද? එහෙමත් නැත්තම් විනාශ කර ගන්නද? මට බෑ මැරෙන්න. එනවා කියන එක අහලා.

මහාසේන- ඔයා කියන්නෙ අපි කොයිතරම් දුරක් කියලා යන්නද? අපි මෙතන හිටියොත් පහසුවෙන්ම සහන සේවා කණ්ඩායම් යානයකට අපිව පේනවා.

සුගලා- යන්න පුළුවන් උපරිම දුරක් යමු. මට හොඳටම විශ්වාසයි ගොඩබිමෙන් කඳවුරක් හරි, එහෙමත් නැත්තම් සහනසේවා කණ්ඩායමක් හරි හම්බවෙයි කියලා.

මහාසේන- එහෙම නොවුණොත්?

සුගලා- මං කියන එක අහලා එනවා යන්න. ඉතින් එනවා, හ්ම්, යමු (අඩි හඬ)

මහාසේන- මට නම් වාහනයක් නැතුව පයින් යන්න අමාරු ගාණයි.

සුගලා- මොනවද මේ කියන කථා. මේ ගල්, මුල්, කැලෑ අස්සෙ, ගිනිකන්දෙන් ජීවිත ගලවාගන්න යන ගමනෙ, මොන වාහනද මනුස්සයො. හ්ම්, අඩිය තියමු ඉක්මණට.

මහාසේන- අපි මේ ඔක්සිජන් සිලින්ඩර විසිකරමු. හරිම තෙහෙට්ටුයි සිලින්ඩරවල බරට.

සුගලා- හා, හා, එපා, එපා. මොනවා පහළට විසිකළා නේද? (සිලින්ඩර පෙරලෙන හඬ) මනුස්සයො, වායුව දූෂණය වෙනවා එන්න එන්නම. සමහරවිට සම්පූර්ණයෙන්ම අපි අවට ඔක්සිජන් නැතිවෙන්න පුළුවන්. එහෙම වුණොත්, ඔහේ මොකද කරන්නෙ. හොඳයි මොකද කරන්නෙ?

මහාසේන- මට හරිම ශෝකයක් ඇතිවෙන්නෙ, අපි උපන් ප්‍රදේශය අතහැරලා මෙහෙම යන එකට. අපේ සියලුම සම්පත් අපිට අහිමි වෙනවා.

සුගලා- මේ ලෝදිය කඳ මිනිසුන්ට අහිමි කළේ කොයි තරම් දේවල්ද? කොයිතරම් වස්තු සම්පත්ද?

මහාසේන- අපි විමසිල්ලෙන් යන්න ඕන අප අවට වටපිටාව ගැන. මිනිස්සු අතහැරලා ගිය වටිනා කියන වස්තු, ඒ කියන්නෙ රත්‍රන්, මැණික් වගේ වටිනා දේවල්, තැන තැන වැටිලා තිබෙන්න පුළුවන්. ඕ, ඔය පේන්නෙ අතහැරලා ගිය ගෙයක්. මං කියන්නද? අපි යමු ඒ ගෙදරට. මට නම් හොඳටම විශ්වාසයි වටිනා කියන වස්තු පිරිලා ඇති. අපි මෙහෙම ගෙවල් සීයකට ගියොත්, බිල් ගේට්ස් පරද්දන වස්තුවක් අපිට එකතු කරගන්න පුළුවන්. අපි දැන් මේක නොකළොත්, වෙන කවුරුහරි මේ ටික කරනවා සිකුරුයි.

සුගලා- මට නම් හිතාගන්න බෑ, ඔහේගෙ මනස කොහොමද වැඩකරන්නෙ කියලා.

මහාසේන- මං කියන්නෙ, මේ වස්තුව කාටහරි හිමිවන වස්තුවක්. ඉතින් ඒක අපි ලබාගත්තම මොකක්ද තියෙන ප්‍රශ්නෙ? මොකක්ද තියෙන ප්‍රශ්නෙ?

සුගලා- අනේ මං කියන එක අහලා මහාසේන, අපි අපේ ජීවිත ගලවාගන්න බලමු. මේ ව්‍යසනය එන්න එන්නම නරක අතටයි හැරෙන්නෙ. මං කියපු වෙලාවෙම අපි පිටත් වුණානම්, මෙලහකට කඳවුරකට අපි කිට්ටු කරලා.

මහාසේන- මට නම් පේන්නෙ නැහැ අවසානයක් මේ ගමනෙ. මට නම් පේන්නෙ නැහැ අවසානයක්.
(සංගීතය)

සුගලා- හරි, ඔයාට පේනවද? අර ඈත මිනිස්සු ගොඩක් රැස්වෙලා. අපි ඉක්මන් කරලා යමු ඒ පැත්තට.

මහාසේන- මේක තමයි මගේ ගමන් වේගය.

සුගලා- ඔයාට පේනවද? අර අන්න අතන අර සහන කණ්ඩායමක් නේද කෑම බෙදන්නෙ. ම්, ඔව්. අපි ඉක්මන් කරලා ඒ පැත්තට යමු.
(ඝෝෂා හඬ වැඩි වේ)

මහාසේන- ඔව්, මට හරිම බඩගිනියි. එහෙනම් අපිත් කෑම අරගමු. මොනවා? මේ, පළතුරු බෙදන්නෙ විදේශීය කණ්ඩායමක් ඇවිල්ලා. ම්, ඇපල්, මිදි. කෝ, පුළුවන් තරම් ඔය මලු වැඩිගණනක් පොරකාලා ගන්න.
(ඝෝෂා හඬ)

සුගලා- අපිට කන්න පුළුවන් ගාණට ගමු.

මහාසේන- කෝ, ඔයා අරගන්න ඔයාට. මේ මම ගන්නෙ මට.

සුගලා- මෙච්චර මොකටද අපිට.

මහාසේන- ඇපල් ගෙඩියක්, මිදි ගෙඩියක් කාපු කාලයක් මතක නෑ. මේවායින් හොඳට ඇඟට හයිය ශක්තිය ලැබෙනවා. ඔව්, කන්න බැරිනම් මේවයෙ ඇට සුද්දකරලා පැලකරන්න තියාගමු. ආ, මොකක්ද අර ගෝසාව. ඕ, ඒ පැත්තෙ ඇඳුම් බෙදනවා. අපි යමු ඒ පැත්තට.

සුගලා- මට නම් හොඳටම බඩගිනියි.

මහාසේන- හරි, හරි, ඔයා ඕවා, අනුභව කරමින් ඉන්නකො. එතකොට අපිට ඉතිරිවෙච්ච කඩමලු තමා ලැබෙන්නෙ. දැන් ඔයා මං කියන පිළිවෙළට කටයුතු කරන්න ඕන. බඩගින්න වගේද ඇඳුම්. ඉතින් එනවා, කිව්වම අහලා. (ගෝසා හඬ වැඩිවේ) මොකද බලාගෙන ඉන්නෙ. ඔය ජැකට්, වින්ටර් ක්ලෝත්, සපත්තු, ස්කාර්ප් අරගන්නවා.

සුගලා- මේ ගිනිරස්නෙ, මේ ලෝගු වගේ ඇඳුම් අඳින්න පුළුවන්ද? මං නම් කවදාවත් මේවා ඇඳලා නෑ.

මහාසේන- මේවා විදේශ රටවලින් ලැබෙන පරිත්‍යාග. අපිට ඕවා අඳින්න පුරුදුවෙන්න බැරියැ. ඇතිවෙන්න අරගමු. අඳින්න බැරිනම් ඕවා කකුල් පිහිදන්න හරි ගන්න පුළුවන්. හොඳම වූල් වලින් මේවා හදලා තියෙන්නෙ. දූවිලි හොඳට පිහිදෙනවා. සමහරවිට මේ ගිනිකන්ද නිසා ඉස්සරහට කාලගුණ විපර්යාසයක් වෙන අනුමානෙන්, මේ වින්ටර් ඇඳුම් පරිත්‍යාග කරනවද කියන්නත් බෑ.

සුගලා- එහෙම විපර්යාසයක් වෙයිද?

මහාසේන- මොනවද නොවෙන්න පුළුවන්. මේ ගිනිකන්ද කවුරුවත් බලාපොරොත්තු වෙච්ච දෙයක්ද? මොන විද්‍යා ජගතෙකුටවත් මේක කලින් අනුමාන කරන්න පුළුවන් වුණාද? මට නම් විශ්වාසයි ඉතාම ඉක්මණිින් මෙහාට හිමත් වැටෙනවා. ඔව්, ඒකත් සිද්ධ වෙනවා. එතකොට අපිට සීතල හිමේ, හිම ක්‍රීඩා කරන්න පුළුවන්. ඔව්, ස්නෝරයිඩින් කරන්න පුළුවන් එහෙම වුණොත්.

සුගලා- අර, අර මොකක්ද අර ගෝසාව.

මහාසේන- ඒක තමයි මාත් බැලුවෙ. ඕ, ඔන්න ඒ පැත්තෙ බෙහෙත් බෙදනවා, විශේෂ ඖෂධ රථ වලින්. අපි යමු ඒ පැත්තට.

සුගලා- මේ ඇඳුම් හරිම බරයි. මටනම් මේ හාමතේ උස්සා ගන්නත් අමාරුයි.

මහාසේන- මොනවා වුණත්, ඉක්මණට ඒ පැත්තට යන්න වෙනවා. නැත්නම් හොඳ විටමින් වර්ග අපිට නැතිවෙයි.

සුගලා- මට නම් බීලා පුරුදු සිංහල ආයුර්වේද බෙහෙත්. වෙනිවැල්ගැට, අරළු, බුළු, නෙල්ලි, පත්පාඩගම් එහෙමත් දේවිද?

මහාසේන- මං හිතන්නෙ නැති දෙයක් නෑ.

සුගලා- එහෙනම් ඉක්මන් කරලා වෙනිවැල්ගැට පස්පංගුව ටිකක් ගමු. ගිනිකන්දෙ කළු දුමාරයට මට කැස්ස හැදීගෙන එන්න වගේ. ඒ වගේම පයින් ඇවිල්ලා ඇඟපත රිදුම් දෙනවා.
(ගෝසා හඬ)

මහාසේන- ඔය තියෙන්නෙ ලොරි පිරෙන්න වෙනිවැල්ගැට. ඔය ඇඳුම් අල්ලන්න. ඒවටම ඔතාගමු. ඔය අතට අහුවෙන ප්‍රමාණයක් දාගන්න. හදිස්සියකට දර වලට වුණත්, පස්සෙ ගන්න බැරියැ. ඉක්මන් කරමු. මට නම් ඕන, විටමින් ටිකක් ගන්න ඉංග්‍රිසි බෙහෙත්වලින්.

සුගලා- ඔය පස්පංගුවත් ගන්න.

මහාසේන- ඇතිවෙන්න දාගන්න. මං යනවා විටමින් ඊ පෙති ටිකක් ගන්න. මගෙ කොණ්ඩෙ සුදුවෙනවට විටමින් ඊ තමයි හරියන්නෙ. හම රැලිවැටෙනවට විටමින් ඒ හොඳයි මං හිතන්නෙ. මං ඔයාටත් එක්කම මේ ජැකට්වලට දාගන්නම්.

සුගලා- හරි, හරි, මමත් එන්නම්.
(ගෝසා හඬ)
(සංගීතය)


මහාසේන- හොඳටම හවස්වෙලා. මෙහෙම දිගටම පළතුරු කාලා, විටමින් වර්ග බොන්න ලැබුනොත් අපේ ආයුෂත් වැඩිකරගන්න පුළුවන්.

සුගලා- අපිට සදාකල්ම මේ කූඩාරම්වල අනාථයො විධියට ඉන්න වෙයිද දන්නෑ.

මහාසේන- ඒක තමයි මං කල්පනා කරන්නෙ. ඒත්, දිගටම විදේශවලින් ඇවිල්ලා, අපේ අවශ්‍යතා සම්පාදනය කරනවානම් මං කැමතියි මේ ජීවිතයට.

සුගලා- හොඳ වෙලාවට අපි පිටත් වුණේ. තව මොහොතක් අපි හිටිය තැන උන්නානම්, අපිදෙන්නගෙම ජීවිත මෙලහකට අවසන්වෙලා.

මහාසේන- මං මේ කල්පනා කරන්නෙ, කෝ මේ මාධ්‍යකාරයො කියලා. කිසිම මාධ්‍යකාරයෙක් තාම දැක්කෙ නෑනේ.

සුගලා- ඒත් ගනිකන්ද තමයි මේ දවස්වල ප්‍රධාන සිරස්තලය හැම මාධ්‍යයකම.

මහාසේන- ඔයා කොහොමද දන්නෙ?

සුගලා- ඇයි, අඳුම් එක්ක පත්තර බෙදුවෙ.

මහාසේන- ඇයි, ඒ වගක් මෙච්චරවෙලා මට නොකිව්වෙ?

සුගලා- ඔයාට ඇඳුම්, බෙහෙත් ගන්න සිහියෙන්, පුදුම නොඉවසිල්ලක්නෙ තිබුණෙ. පස්සේ, තෙහෙට්ටුවටත් එක්ක මට අමතක වුණා.

මහාසේන- කෝ, ඒ පත්තර කොහෙන්ද දුන්නෙ?

සුගලා- ආ, මේ තියෙන්නෙ මේ ජැකට් එක අස්සෙ.

මහාසේන- කෝ, දෙන්න. කෝ, දෙන්න. මං වතාවක් කිව්වා, දැන් ඔයා වැඩකරන්න ඕන මං කියන විධියට.

සුගලා- ආ, මෙන්න.
(පත්තර ගැටෙන හඬ)

මහාසේන- හරි, මං ඔයාටත් එක්ක ඇහෙන්න කියවන්නම්. රටේ ශ්‍රී විභූතියට හානිකර අන්දමින් අභාග්‍ය සම්පන්න ලෙස පිපිරුණු රත්නදීප ගිනිිකන්ද මැඩලීමට සියලු විධිවිධාන රජය සාර්ථක ලෙස ඉටුකරමින් පවතී. ඩොලර් මිලියන කෝටියක ණය ආධාර කිසිදු පොළිි අනුපාතයක් නොමැතිව ලෝක බැංකුව විසින් ලබාදීම, සියලුම රටවාසින්ගේ වාසනාවක් ලෙසට රජය දක්වයි. ගිනිිකන්ද මර්දනයට ගුවන්යානා මගින් ලාවා මතට හෙළීීිම සඳහා කන්ටේනර් තරම් විශාල කොන්ක්‍රීට් කුට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලා දස දහසක් ඇරඹීමට රජය කෙටුම්පත් සකස්කරමින් පවතීි. එමෙන්ම අධි බලැති ජලපොම්පාගාර විසි දහසක් මගින් ගිනිකන්ද වෙත ජලය පොම්ප කිරීමේ ව්‍යපෘතිය අද සුභමොහොතින් ආරම්භ විය. ඒ උත්සව සභාව ඇමතු විධායක අගමැතිි ගරු විජයරාජ පලිහවඩන කීර්තිසිංහ උතුමාණෝ, ආපදා යනු අප ඉතිහාසයේ සිටම ජන ජීවිතය හා බැඳි පවතින අනිවාර්ය අංගයක් බව දක්වාලීය. වළගම්බා රජ සමයේ ඇතිවු බැමිණිතිියා මහා සාගතය විශාල ව්‍යසනයක් අපට ලබාදෙනු ලැබීමට එක් උදාහරණයකි. නමුත් මෙම අවස්ථාවේදි අපේ උදාර සොල්දාදුවන් දිවි පරදුවට තබා, ගුවන්යානා මගින් ගිනිකන්ද මර්දනය සඳහා අධිෂ්ඨානයෙන් කැපවී සිටීම අනර්ඝ කාරියකි. එහිදී දිවි පූජාකරන ජාතික විරුවන් සඳහා කඩිනම් ස්මාරක තැනීමද මේ සමග රජය අරඹා ඇත. ඉතිහාසයේ ගිනිකන්දක් පිපිරූ පළමු අවස්ථාව මෙය බව, තවදුරටත් ආඩම්බරයෙන් කරුණු දැක්වු අතිගරු විධායක අගමැතිතුමන්, ජාති, ආගම්, පක්ෂ, කුලමළ භේද අමතක කොට, ගිනිකන්ද නිවා දැමීමේ කාර්යයට සහයෝග දක්වන ලෙස විපක්ෂය ඇතුළු සමස්ත රටවැසියාගෙන් ඉල්ලා සිටියි. මේ සඳහා හොඳ බහුතරයකින් යුක්ත ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාවය පෙන්නුම් කරන එතුමා, ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවද දක්වාලීය. ගිනිකන්දෙන් කොතරම් ගිනියම්ලාවා නිකුත් කළද එය ශ්‍රීමා බෝධින් වහන්සේට කිසිදු ආපදාවක් ගෙනදීමට සමත්ව නැතිවීම සුවිශේෂ තත්වයකි. ගිනිකන්දෙන් දුර් පැහැගැන්වු සියලු වෙහෙර විහාර වර්ණවත් කිරීම සඳහා සියලු කටයුතු රජය දැනටමත් ආරම්භකර ඇත. මෙයට සමගාමීව සංචාරක අමාත්‍යංශය ගිනිකන්දේ අසිරිය සජීවිව නැරඹීම සඳහා පහසු මිලට ගුවන් යානා සවාරි ක්‍රියාත්මක කරමින් පවතී. එහිදි සමස්ත වෙරළබඩ තැනිතලාවම ගිනියම්වු ලාවාවලින් වැසියන අයුරු සියැසින් අත්විඳ, රස විඳිමේ අවස්ථාව උදාකෙරේ. එමෙන්ම සජීවි ලෙස පටිගත කළ ගිනිකන්දේ කතන්දරේ ඩීවීඩි තැටි වෙළඳෙපොළට නිකුත්කර ඇති අතර, වර්වණත්, පොස්ට්කාඩ්, දිනදර්ශන මෙන්ම, බුක්මාර්ක් ද ඔබට ලබාගැනීමේ පහසුකම හිමිව පවති. මේ අතර ගිනිකන්ද පුපුරා යන ආකාරය සජීවිව අත්දුටු හා ඒහා ගැටෙමින්, ජීවිත රැසක් බේරාගැනීමට අපේ රටේ පුද්ගලයෙක් සමත්ව සිටී. පණ්ඩුකාභය ඇල්ලෙපොල නම් ඔහු, අද රාජ්‍ය සම්මානයෙන් පුදනු ලැබීය. ඔහු ගොවිපළේ කටයුතු සිදුකරමින් සිටින අතරවාරයේදි ගිනිකන්ද පුපුරා ගිය බවත්, ඉන් අනතුරුව අවට සියලුදෙනා දැනුවත් කළ බවත්, ගිනිගත් ලාවාවලට බසිමින් විශාල පිරිසක් බේරාගත් බවත් ප්‍රකාශ කරන අතර, ඔහු දිවිපරදුවට තබා ඉෂ්ටකළ කාර්යය, ජාත්‍යන්තර ඇගයිමට හා කීර්තියට බඳුන් වෙමින් පවතී. (මවිතව) මොනවා? එතකොට මේ මිනිහා කියලා තියෙන්නෙ මං කියන්න හිටිය කථාවනෙ. ඒක ඒ විධියටම, අකුරක් නෑරම මිනිහා කියලා. මගේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. දැන් මොකද අපි කරන්නෙ. කියනවා, මොකද දැන් අපි කරන්නෙ?

සුගලා- දැන්, මොකද ඔයා කරන්නෙ?

මහාසේන- ඔව්, මං අතාරින්නෙ නෑ. මං කියනවා මීට වඩා හොඳ කථාවක්. මාධ්‍යවලට මං කියා සිටිනවා, මං අතින් තමා ගිනිකන්ද පත්තු වුණේ කියලා. මං කුඹුර කොටන අතරවාරයේ ගහපු උදළු පාරකින් කියලා, ගිනිකන්දෙ මුල්ම දුම් වලල්ල ඉහළට විසිවුණේ. මට බැරිවෙන එකක් නෑ, සියලු ප්‍රතිවාදියෝ අභිභවා මගේ කථාව ජාත්‍යන්තර අවධානයට යොමු කරවලා සම්මානයට පාත්‍රවෙන්න. ඔව්, මං මගේ ඉලක්කයට කොහොම හරි ගමන් කරනවා, අනිවාර්යෙන්ම, ඔව්...

(අවසන් සංගීතය)

[-නිහොන් සැප ලැබේවා (රේඩියෝ නාට්‍ය) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails