Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අද්‍යතන සිංහල සාහිත්‍ය පිළිබඳ, රටින් එපිට වාසය කරන අයෙකු ලෙස ඔබ කොහොමද දකින්නේ?

ගොඩක් උදවිය කියනවා වගේ, සිංහල සාහිත්‍ය ගැන අසුබවාදී කල්පනාවක් මට නැහැ. අද සිංහල නවකතාව ගත්තොත් ඒක සාහිත්‍ය ඉතිහාසයේ උසස් අදියරක් සටහන් කරන බවයි මගේ හැඟීම. මේ පාර ස්වර්ණ පුස්තක සම්මානයේ අවසාන වටයට තේරුණු පොත් වලින් සුමිත්‍රා රාහුබද්දගේ 'අත අත නෑර' හැරුණු කොට අනෙක් සියල්ලම මම කියෙව්වා. ඒ අතරින් එක පොතක හැර අනෙක් කෘති සියල්ලේම පාහේ උසස් නිර්මාණ තාක්ෂණයක් හා ඉහළ දර්ශනයක් ගැබ්ව තිබුණා. ඒ පහට නොතේරුණු 'වාලුකා' හා 'මාගම් සෝලියත්' ප්‍රශස්ත මට්ටමක තිබුණ නවකතා. මීට කළිං අවුරුදු වල ඒ මගින් සම්මාන ලබාදුන් 'පොදු පුරුෂයා' හා 'කන්දක් සේමා' වගේ පොත් මම දකින්නේ ලංකාවේ නවකතා ඉතිහාසයට ලැබුණු අගනා දායාද විදිහට. මීට ඉහත වසරක ජයතිලක කම්මැලවීර ලියූ 'පුරා හඳ' නවකතාව ගනිමු. ඒක නව ආඛ්‍යාන විලාසයක් මගින් වඩාත් ගැඹුරු නිර්මාණ පථයක් තෝරාගෙන තිබුණා. සුනේත්‍රාගේ කවි කඳුරත් එහෙමයි. තවත් මේ වගේ නවකතා බොහොමයක් ඇති. ඒත් මං මේ කියන්නේ මම කියවූ ඒවා ගැන විතරයි.

සිංහල කවියට, කෙටි කතාවට මගේ සුභවාදී දැක්ම පොදුයි. මං මෙහෙම උදාහරණයක් කියන්නම්. උසස් පෙළ සිංහල විෂයයට අදාළව උගන්වන නව කවිසරණිය ගන්න. එය එකළ උසස් කවීන්ගේ උසස් කවිවල එකතුවක්. ඒ කවි එදා කවියේ නියෝජනය ලෙස සැලකිය හැකියි. අද ඊට වඩා නිර්මාණාත්මක කවි කෙතරම් නම් නව කවීන් අතින් බිහිවෙනවාද? පියල් කාරියවසම්, එරික් ඉලයප්ප ආරච්චි, කපිල කුමාර කාලිංග වැනි කෙටිකතා කරුවන් ස්වකීයව තනාගෙන තියෙන නිර්මාණ තාක්ෂණය හා නිර්මාණ ගැඹුර මීට වඩා ගැඹුරින් අගය කළ යුත්තක්. ඔවුන් සිය දැවැන්ත නිර්මාණ අත්දැකීම් සමූහය සාහිත්‍ය විෂයයේ යොදවමින් ඉන්නවා. ඇත්තටම ඒක සතුටට කරුණක්.

මේ කියන වර්තමාන සිංහල සාහිත්‍ය හා අනෙකුත් කලාවන් ලෝක සාහිත්‍ය සහ කලාවන් සමග තුළනය කරද්දි ඔබට මොනවද හිතෙන්නෙ?

ඇත්තටම මම එහෙම සැසඳීමක් කරලා නෑ. රටින් පිටවුණාට පස්සේ අපේ සිතුම් පැතුම් වපසරිය, ලෝකය දකින විදිහේ පුලුල්වීමක් සහ ඇතැම්විට වෙනස්වීමක් සිදුවුණා. සමහර රසවිඳීම් සංස්කෘතික බැඳියාවන් එක්ක සම්බන්ධයිනේ. සද්ධර්මාලංකාරය හෝ කව්සිළුමිණ ගත්තොත් ඒවාට සමාන කෘතීන් ලෝක සාහිත්‍යයෙන් හොයා ගන්න බෑ. ඒවා කියවීම හා ඉන් ලබන ආශ්වාදය මගේ සිංහලකම, මගේ බෞද්ධකම සමගත් සම්බන්ධයි. අපි හිතමුකෝ මේ පැරණි සාහිත්‍ය කෘති නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණා කියලා. ඒත් බටහිර ජනයා මේ කෘති මගේ ගැම්මෙන්ම රස විඳියිද? එහෙම වෙන්න නෑනෙ. ගයිගර් පඬිතුමා වැනි අය සමහර පැරණි ග්‍රන්ථ පරිවර්තනය කළා. ඒත් ඒවා ප්‍රමාණාත්මකව ලෝක සමාජයට ඇතුළු වුණේ නෑ. මගේ සිංහල බසින් කියවීම යනු මගේ ජීවිතයේ පදාසයක් අතපත ගෑමක්. එයින් ලැබෙන ආස්වාදය සංස්කෘතික ජීවියකුට අමතක කරන්න බෑ. සමහරු කියනවා මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළියට චෙකොෆ්ගේ චෙරිවත්තෙන් ආභාෂය ලැබුවා කියලා. ගම්පෙරළිය තුළින් චෙරිවත්තේ ක්‍රම විකාශයක් සොයා ගන්න පුළුවන් වුණත් ගම්පෙරළිය කියන්නේ චෙරිවත්ත නෙවෙයි. සිංහලයෙකුට වෙනම සංස්කෘතික කියවීමක් ගම්පෙරළියේ තියෙනවා. එය නූතන ලේඛකයන්ගේ කෘතිවලටත් අදාළයි. දැන් දැන් නූතන ලේඛක ලේඛිකාවෝ වැඩි වැඩියෙන් ලෝක සාහිත්‍ය ඇසුරු කරනවා. ඔවුන් ඒවායේ දියුණු සාහිත්‍ය තාක්ෂණය තම කෘති සඳහා යොදා ගන්නවා.

බටහිර ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති ලෝක ව්‍යාප්ත වෙන්න කාරණා ගණනාවක් තියෙනවා. එකක් ඒවා ලියවෙන්නෙ විශ්ව භාෂාවකින් වීම. අනෙක බටහිර ලේඛකයාට තම වස්තු විෂයට අයත් භූගෝලීය වපසරිය මුළු ලෝකයම වීම. අපට අපේ දූපත විතරයි. දූපත් මායිම් ඉක්මවා ගිය තත්ත්වයක තියෙන්නෙ අපේ නිර්මාණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් විතරයි. ඉතිං මේ වගේ ලක්ෂණ නිසා සාහිත්‍යයයන් අතර සංසන්දනයක් කරන්න අමාරුයි.

අනෙක් අතට නූතන සිංහල සිනමාව ගන්න. ප්‍රසන්න විතානගේලා, අශෝක හඳගමලා, විමුක්ති ජයසුන්දරලා සම්මාන ගන්නෙ ඇතැම් ජාතිකවාදීන් කියනවා වගේ එන්ජීඕ ව්‍යාපෘති හින්දා නෙවෙයිනෙ. ඒ ලෝක සිනමාවේ කලාත්මක ප්‍රකාශනයන් විදිහට ඔවුන්ගේ නිර්මාණ ඉදිරියට ඇවිත් තියෙන නිසා.

චිත්‍ර ශිල්පයත් එහෙමනේ. ඔවුන් ලෝක චිත්‍රකලාවේ වර්ධනයන් මැනවින් හදාරමින් දේශීය පසුබිම තම ප්‍රකාශන සඳහා යොදාගෙන තිබෙනවා. චිත්‍රය පසුබිමේ ඇති චිත්‍රකලා ශාස්ත්‍රිය සංවාදයත් අපේ චිත්‍ර ශිල්පීන් අරගෙන යනවානේ. ලාංකීය චිත්‍ර කලාව ආසියාවේ ඉහළ චිත්‍ර කලාවක් බවට පත්වෙලා තියෙන්නෙ මේ නිසා.

වර්තමාන ශ්‍රීලාංකීය කලාව මගින් පශ්චාත් යුද කාලීන සමාජ යථාර්ථයන් ප්‍රමාණාත්මකව නිරූපණය වන බවක් ඔබ කල්පනා කරනවාද? නොඑසේ නම් ඒ සඳහා ප්‍රමාණාත්මක කාලයක් කලාවට, සාහිත්‍යයට ලැබී නොමැති බවද ඔබගේ අදහස?

මේ කාරණයේදී සාහිත්‍යකරුවාගේ නිර්මාණශීලිත්වයට සමාන්තරව නිර්භය බව අවශ්‍ය කෙරෙනවා. ඒ වගේම හොඳ දේශපාලනික අවබෝධයකුත් අවශ්‍ය වෙනවා. යුද්ධය යනු සංවේදී මිනිසා සසල කරන සිද්ධි දාමයක්. ඒත් ඒ සසලවීම සමාජයක් වශයෙන්වත්, කලාකරුවන් වශයෙන්වත් අපේ රටේදී ප්‍රමාණාත්මකව ඇති වුණාද කියන ගැටලුව ඇත්තටම මතු වෙනවා. මුස්ලිම් ජනයාගේ සංස්කෘතික ජීවිතයට එරෙහිව අද පවත්නා සිංහල අන්තවාදය විසින් කෙරෙන බලපෑම ගන්න. යුද්ධයේ ආයුධ නිහඬ වුවත් තවමත් සමාජය යුද වියරුවේ ගැලී සිටින බවට ඒක හොඳ සාධකයක්. අන්තවාදයට රත් කර ගත් ලේ සඳහා අලුත් සතුරකු අවශ්‍යයි. ලංකාවේ අසහාය ගායකයන් ජනගහණය වැඩි කර ගන්නට කාමරංගා කන්න යයි පසුගාමි ගෝත්‍රික යෝජනා කරද්දි, යුද්ධයේ මානව ඛේදවාචකය කලින්ම තේරුම් අරගෙන සාධුජනරාව පවත්වන්න ඉන්නෙ ජයතිලක බණ්ඩාර වැනි සීමිත හොඳ මිනිසුන් පිරිසක් විතරයි.

රටක් විදිහට ලංකාව ජාත්‍යන්තරකරණය කළ කාරණා දෙකක් තියෙනවා. එකක් යුද්ධය. අනික ක්‍රිකට්. ක්‍රිකට්වලට හැමෝම සංවේදියි. එහෙත් යුද්ධයට එහෙම නෑ. මහජනයා සංවේදී නොවීම පැත්තකින් තියමු. මේකට කලාකරුවන් සංවේදීද? ලංකාවේ චිත්‍ර කලාවේ නම් එවැනි සංවේදීකමක් පේනවා. විශේෂයෙන් චන්ද්‍රගුප්ත තේනුවර හා ජගත් වීරසිංහත් ඔවුන් දෙපල වටා ගොනුව සිටින තරුණ චිත්‍ර ශිල්පීන්ගේත් නිර්මාණවල මේ සංවේදීකම වැඩිපුර පේන්න තියෙනවා. ඔවුන් යුද්ධයට මුහුණ දුන් උතුරේ චිත්‍ර ශිල්පීන් හා සාර්ථකව නිර්මාණ අත්දැකීම් බෙදාගන්නවා.



ඉන්දියාවයි පාකිස්ථානයයි දෙකඩ වීමේදීත්, ඉන්පසු ඇති වූ යුද්ධවලදීත් තිබුණු මානව ඛේදවාචකය ඉන්දීය සාහිත්‍යකරුවා කෙතරම් අපූරුවට ග්‍රහණය කර ගත්තද. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය සාහිත්‍ය වෙනස්ම මුහුණුවරක් ගත්තේ සාහිත්‍යකරුවා ඒ ඛේදවාචකයට සංවේදී වූ නිසයි. ඒත් තිස් අවුරුද්දක් වගේ විශාල කාලයක් යුද්ධයකට වැය කළ රටක එය නිර්මාණ විෂයක් බවට පත් නොකරගන්නේ, සාහිත්‍ය කරුවනුත් අචේතනිකව හෝ එම යුද්ධයේ දායකයන් වූ නිසාද, නැත්නම් බිය නිසාද කියන එක ගැටලුවක්. මට හිතෙන විදිහට තිස් අවුරුද්දක් යුද්ධයක කොටස් කාරයන් වුණු අපට ඒ කාලය නිර්මාණ සඳහා හොඳටම ඇති.

දේශීය ලේඛකයන් කෙසේ වෙතත් රටින් පිට වාසය කරන ලේඛකයන් (විශේෂයෙන් මංජුල වෙඩි වර්ධන වැනි) ඒ කාරණයේදී තරමක් දුරට හෝ සංවේදී වන බව පේන්න තියෙනවා. ඒකට හේතුව කුමක්ද?

මංජුල වගේ ලේඛකයන්ට රටින් පිටුවහල් වන්න සිදු වුණේ අද ලියන දේ එදා ලියන්නට උත්සාහ කළ නිසයි. රෝහිත භාෂණ තව කෙනෙක්. සුනන්ද දේශප්‍රිය, දෙමළ කවියකු වන චේරන් තවත් මේ වගේ අය. ඔවුන් අද රටින් පිට සිටින නිසා තමන්ගේ ලිවීම උදෙසා දඬුවමක් නොවිඳින බව ඔවුන් දන්නවා. ඒ නිසා හිතට එකඟව ලියන්න ඔවුන්ට පුළුවන්. ඒත් ලිවීම කරන කොට ගෙන රටින් පිටමංව බොහෝ දෙනෙක් සිටියත් මංජුල හරි රෝහිත හරි සුනන්ද හරි වගේ පශ්චාත් යුද කාලීන සමාජය විවරණය කරන්නේ කීයෙන් කී දෙනාද?

රටින් පිට සිංහල සාහිත්‍ය සමග සයිබර් අවකාශයේ සම්මුඛවීම පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?

හැම කළු වළාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා කියමනක් තියෙනවානෙ. මෙතරම් සීමාකම් තබියදී, නිදහසේ ලියන ලේඛකයන් වෙනුවෙන් අන්තර් ජාල අවකාශය විවර වීමත් ඒ වගේ. ඒ නිසා කලාව නව අදියරකට ගෙන ගියා විතරක් නෙමෙයි එය ප්‍රජාතන්ත්‍රියකරණයකටත් ලක් වුණා. රටින් පිට වාසය කිරීම නිසා ස්වයං සිද්ධව ඇතිවන නිදහස් අවකාශයත්, සීමා වාරණ නැති අන්තර්ජාල අවකාශය සන්නිවේදන පියස්සක් ලෙස හමුවීමත් ලාංකීය සාහිත්‍ය කලාවන්ගේ ප්‍රබල විප්ලවීය අදියරක්. ඒක මැනවින් ප්‍රයෝජන ගැනීමට රටින් පිටත ජීවත්වන සාහිත්‍යකරුවන්ට හැකියාව ලැබුණා.

මං දැනට අවුරුදු දහයකට කිට්ටු කාලයක් කැනඩාවේ ජීවත් වෙනවා. ඒ දහයෙන් එන අප්‍රේල් වලට අවුරුදු හතක් පිරෙන සිංහල පත්තරයක් කරගෙන යනවා. නම යාත්‍රා. ඒක පිටු සියයක පත්තරයක්. සාමාන්‍යයෙන් අවමය පිටපත් හත්දාහක් හා උපරිමය පිටපත් දහදාහක් මුද්‍රණය කරනවා. මුළු කැනඩාව පුරාමත්, ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකටත් ඒ පත්තරය බෙදනවා. කොටින්ම ඇස්කිමෝවරු ඉන්න 'නොනවුන්' පළාතටත් පත්තර හතරක් යනවා තැපැල් මගින්. ඒ එහි ජීවත්වන සිංහලයන්ට. මං යාත්‍රා මගින් පාඨකයන් හා විවිධ සමීක්ෂණ කරනවා. සාහිත්‍ය හා සයිබර් කවිය හෝ සයිබර් සාහිත්‍ය ගැන ඔවුන්ගේ උනන්දුව ඉහළයි. මගේ වැටහීම නම් සබියර් කවිය දැනටමත් සිංහල මුද්‍රිත කවිය අතික්‍රමණය කර තියෙන බවයි. ඇතැම් විට සිංහල කවියේ අනාගත ප්‍රවාහකය සයිබර් අවකාශය විය හැකියි.

පවතින ක්‍රමය, අධිපති ප්‍රකාශන මාධ්‍ය හා ආර්ථීක‐සංස්කෘතික මැඩලීම් මධ්‍යයේ වැඩුණු සිංහල සාහිත්‍ය හා කවියට ඒ බාධා නැති මාධ්‍යයක් සයිබර් අවකාශය මගින් විවරව තිබෙනවා. ඒ මගින් ලේඛන කලාව ප්‍රජාතන්ත්‍රිය විප්ලවයකට බඳුන් කර තිබෙනවා. මීට අවුරුදු කිහිපයකට පෙර ප්‍රමුඛ පෙළේ කාව්‍යයක්කාරයන් ලෙස සමාජය දැන හඳුනාගෙන හිටියේ කී දෙනාද? ඒත් සයිබර් අවකාශය ඔස්සේ කවියන් බොහෝ ගණනක් සමාජ ගතවී තිබෙනවා. වත්මන් ධනේශ්වර එනමුත් සමාජ ප්‍රජාතන්ත්‍රික ලෝකයේ මිනිස් නිදහසට, සීමා මායිම් නැති සිතුම් පැතුම්වලට ලබා දී ඇති ලොකුම අවස්ථාව ලැබෙන්නේ සයිබර් අවකාශය හරහායි.

සාහිත්‍යකරුවකුට අමතරව දේශපාලන විචාරකයෙකු ලෙසද ඔබ සක්‍රිය දායකත්වයක් දක්වනවා. මේ මොහොතේ රටේ දේශපාලනය ගැන ඔබේ කල්පනාව මොකක්ද?

යුද ජයග්‍රහණයෙන් ජනයා ලද ප්‍රමෝදයෙන් වර්තමාන ආණ්ඩුව නඩත්තු වෙනවා. යුද්ධය හෝ සාමය පිළිබඳ නිවැරදි තක්සේරුවක් හෝ තමන්ගේම ආස්ථානයක් නොතිබූ නිසා විපක්ෂය නන්නත්තාර තැනට වැටිලා තියෙනවා. ආණ්ඩුව හා ගනුදෙනු කළ හැකි ප්‍රබල විපක්ෂයක් නැතිකම ලංකාවේ අද පවත්නා භයානක දේශපාලන තත්ත්වයට ප්‍රධාන හේතුවක්. වමේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ තවමත් ඉන්නේ මීට දශක තුනකට පෙර යුගයේ. මං හිතනවා මේ සමාජ පරිහානියට මේවාට අමතරව ප්‍රබුද්ධ වාමාංශික චින්තනයක් හා ප්‍රබුද්ධ දක්ෂිණාංශික චින්තනයක් නැතිකමත් බලපා තිබෙනවා කියලා.

හැත්තෑ හතට පෙර යුගයේ මේ චින්තනයන් දෙකම දේශපාලනය ශිෂ්ටාචාරවත් කළා. වාමාංශික චින්තනය සමාජයේ එළි පහළියට පැමිණ ඒ වැඩේ කළත් දක්ෂිණාංශික චින්තනය එළි පහළියට නොපැමිණ ඒ කටයුත්ත කළා. මේ චින්තන දෙකම සමාජයට පාරක් පෙන්නුවා. එදා භික්ෂුව දේශීය දැනුම් සම්ප්‍රදායේ පෙර ගමන්කරුවා වුණා. අද ඔවුන් තවත් යුද්ධයක් හා ඝාතක සංස්කෘතියක් ඉල්ලා සිටින බලවේගයක් වෙලා. ශාස්ත්‍රිය සමාජයේ බිඳ වැටීමක් වේ නම් එයට භික්ෂු සංස්ථාවේ මේ කියන බිඳවැටීමත් බලපානවා. අද දේශපාලනයේ ඇති රකුසු ස්වභාවය නැති කරන්න නම් නිද්‍රාශීලීව සිටින බුද්ධිමතුන්ගේ නිර්භීත මැදිහත්වීමක් අවශ්‍යයි. එසේ නොවනතාක් කල් ලංකාව ශිෂ්ටාචාරයේ වල පල්ලටම යන ගමන නොනවත්වා යාවි.

ඔබේ වර්තමාන කටයුතු මොනවාද?

මගේ නිර්මාණකරණයේ ලේඛකයෙකුට නොතිබිය යුතු තරම් වූ දීර්ඝ විරාම කාලයක් තිබුණා. ඒත් දැන් ඒ විරාම කාලය අවසන් වෙලා. හැබැයි ඒ කියූ විරාම කාලය අතරතුරත් කෘතීන් දෙකක් නිකුත් කළා. ඒ 'ලෙන්දොර පිපුණු ප්‍රේමය'(2007) නම් කෙටි කතා පොත හා එහි ඉංග්‍රීසි පරිවර්තනය වන Undercurrents. දෙදහස් දහයේදී දී 'කැට කිරිල්ලී' නමින් කවි පොතකුත් කළා. දැනට මම අලුත් පොත් දෙකක වැඩ අවසන් කරමින් ඉන්නවා. එකක් 'උස් බිමක් සොයා' කියලා නවකතාවක්. දෙවැන්න දේශපාලන විචාර කෘතියක්. ඊට අමතරව මම නොකඩවාවම වගේ පුවත්පත්වලට හා මගේම පුවත්පතටත් ලියනවා. මං පවත්වාගෙන යන Iranamvila බ්ලොග් අඩවියටත් ලියනවා.

රාවය- 2013-12-29

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails