Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අප, ප්‍රංශයේ කර්මලිං නම් කඳුකර භාවනා මධ්‍යස්‌ථානයේ බවුන් වඩමින් සිටින කාලයේ එම අරමේ පොත්ගුලේ තිබුණු ඕමාර් ඛය්යාම් නම් ඉතා වැරදි ආකාරයෙන් සිංහල පාඨකයන් වෙත හඳුන්වා දෙන ලද, දොළොස්‌ වන සියවසේ ජීවත් වූ පර්සියානු කිවිඳුන්ගේ රුබය්යාත් කෘතියෙහි ප්‍රංශ පරිවර්තනයක්‌ අපගේ ඇස ගැටුණි. (Les Quatrains du Sage Omar Khayyam de Nishapour et de ses epigones නම් වූ එය ප්‍රංශ රජයේ මුද්‍රණාලය විසින් පළකරන ලද ඉතා වගකීමකින් යුතුව පර්සියානු බසින් ප්‍රංශ බසට පෙරළන ලද්දකි.)

අප විසින් විටින් විට මීට කලින් ද පෙන්නා දී ඇති පරිදි, මෙම ශ්‍රේෂ්ඨ කවියා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල ආභාසය ලබා ඇති බව ඉතා පැහැදිලිය. බෞද්ධ භාවනාව යනු මූලික වශයෙන් ම මෙම මොහොතේ, මේ දැන්, මෙතැන ජීවත් වීමයි.

වරක්‌ බ්‍රාහ්මණයෙක්‌ බුදුන් වහන්සේගෙන් මෙසේ විමසීය. "ඔබ වහන්සේගේ ගෝල පිරිස වළඳන්නේ එක වේලකි, එහෙත් උන්වහන්සේලා සිනාමුසු මුහුණින් සතුටින් ඉතා ප්‍රිය උපදවන ආකාරයෙන් ජීවත් වෙති. එසේ වන්නේ මක්‌නිසාද?"

එවිට උන්වහන්සේ දුන් පිළිතුර මෙසේ විය. "මගේ ගෝල පිරිස අතීතය ගැන නොතැවෙති, අනාගතයේ සැලසුම් නොසදති, මෙම එළැඹී මොහොතේ සතුටින් ජීවත් වෙති."

සැබවින්ම ඉසිවරයකු වන ඛය්යාම්තුමා අපට කියන්නේ ද එම කාරණයමයි. එනම් බුදුන්වහන්සේ අපට ඉගැන්වූ පරිදි, මෙම ක්ෂණය තුළ දිවි ගෙවන ලෙසයි. මධු පානය ගැන මෙම කවි වල නිතර සඳහන් වෙයි. මධුව යනු ඉස්‌ලාම් සුෆි දහමේ සත්‍යාවබෝධයේ සංකේතයයි. එපමණක්‌ නොව මෙහි නිතර අනිත්‍යය ධර්මය අවධාරණය වනු ද දැකිය හැකිය.

ම හද! පිබිදෙන්, අපි වෙණ වයමු
බොමු, හොඳ නම පලුදු කර ගමු
යදින පත්කඩ දෙමින් මීවිත් ගමු
කිත් පළිඟුව ගලක ගසා බිඳ ගමු


ඉහත සිවුපදය කෙරෙහි ඔබගේ අවධානය යොමුකර වන්නට කැමැත්තෙමි. හද අවදි කරන කවියා හොඳනම පලුදු කරමින් බොන්ට ඇරයුම් කරයි. යාච්ඥාවට තිබෙන පත්කඩය පවා හුවමාරු කර ගනිමින් මධු බොන්නැයි කියයි. අවබෝධයෙන් තොර බොරු ඇදහිලි පැත්තකින් දමන්නැයි, ඔහු සමාජයට කියන ගමන් මධු බොන්නට උනන්දු කරවමින් කවියා (සුෆි දහමේ සත්‍යාවබෝධයේ සංකේතය මධුය) සත්‍යාවබෝධය ලබාගන්නට පාඨකයා උනන්දු කරවයි. ඒ සඳහා මමය, මාගේය යන මානය, කීර්තිය බිඳ දමන්නැයි අප අණවයි. ඒ සියල්ල සඳහා හදවත වාදනය කළ යුතු බව ද හෙතෙම පළමු කවි පදයෙන් කියාදෙයි. මානය බිංදුවට අඩු කරන තුරු සත්‍යාවබෝධය ලබන්නට නොහැකි බව බෞද්ධ අපි හොඳින් දනිමු. රුබය්යාත් කාව්‍යය අපට බොන්නට, ඉඳුරන් පිනවන්නට උගන්වන, එපමණ සරල කවි පොතක්‌ නම් මිනිස්‌ ඉතිහාසයේ මෙපමණ සම්භාවනාවට පාත්‍ර වෙමින් මෙපමණ කලක්‌ මෙය පවතින්නට ඉඩක්‌ නැතැයි මහැදුරු සරච්චන්ද්‍රයෝ කියති.


ඛය්යාම්- උඩුකය පිළිමය (ඉරානය)

රුබායි හෙවත් සිවුපද කව් 637 කින් හෙබි මෙම මනහර කාව්‍යය ළඟදී සිංහල බසින් ඔබට පිළිගන්වන්නට අපි බලාපොරොත්තුවෙන් සිටිමු. පහත පළවන්නේ එම මහඟු කෘතියෙන් උපුටාගත් කවි කීපයකි. අප මෙය පරිවර්තනය කරමින්, මෙම මොහොත ආශ්වාදනය කරමින් විඳගන්නා සතුටින් බිඳක්‌ ඔබ සමග බෙදාහදා ගනු පිණිස මෙය ලියා එවමි. මෙය ඔබ වෙත ලියන්නට මට විවේකය ලැබුණේ ඉතාලියේ ජෙනෝවා බෞද්ධ විහාරයේ අධිපති මහඋස්‌වැව ඤාණතිලක හිමියන්ගේ ඇරයුමින් භාවනා වැඩසටහනක්‌ මෙහෙයවීම සඳහා මෙහි පැමිණුන විටදීය.

දිය කඳුරක සිලිල, කතරක සුළඟ සෙයින්
ගෙවුණා තව එක්‌ දවසක්‌ මගෙ වියෙන්
නොතැවෙමි මම දෙ නක්‌ වෙනුවෙන්
තවම නො ආ දිනය, ගෙවිලා ගිය දිනය

හෙට එළිවන බව නියත කරන්නට බැරි බැවින්
දුකම බුදින හද, සැණයකට සතුටෙහි තබන්
ආ මගෙ හද! හඳ පානට එන්, මී බිඳක්‌ බොන්
අප ඇතත් නැතත් සඳ සදා බබළන බැවින්

දනින්, නුඹ වියෙන් නුඹ වෙන් කෙරේ
තරණය කර යයි නුඹ ශුන්‍යයේ තිරේ
තුස්‌ වන්, නොදනී නුඹ කොහි සිට ආවේ
බොන් මෙම මී, නොදනී නුඹ කොහි යාවී

හුදකලා මිනිසකු දිටිමි වලව්වක අසලින්
පිළිකුලින් මැටි මඩිමින් සිටින දෙපයින්
මැටි මෙසේ කියනු පෙනුණි ඔහු අමතමින්
නවතන්! නුඹ ද මැඩෙන්නේය මා සෙයින්

කුඹල්හල ඉදිරිපසින් මම නැවතුනෙමි
කුඹල්කරු කුඹල් සක කරකවනු දිටිමි
සිටියා ඔහු බඳුන්වල අත්, කර සදමින්
නිරිඳුන, හිඟනුන ඔළුගෙඩි, අත් වලින්!

පෙර සැඳෑවක කුඹල්හල තුළට වනිමි
අඬන, නිහඬ බඳුන් දෙදහසක්‌ ම දුටිමි
එක්‌ වරම, බඳුනක්‌ හඬ නගනු ඇසීමි
"කෝ නුඹලා, බක්‌කිය, මිලට ගන්නා?"

ගෙවුණු දිනය ගැන නැවත නො සිතන්
තවම නා හෙට ගැන කලබල නොවන්
අතීතය තුළ අනාව තුළ ය නොවන්
වත්මනේ තිත්වන්, දිවිය නො වනසන්·

බැතිය වංකකමේ සඟවන ඔවුන
නාම-රූප වෙනසක්‌ ගැන දොඩන
මේ දැන් ම ගමි මී බඳුන හිසින
සැවුළුන මෙන ගෙළ සිඳුවද සැතින!

මිහිකත හා සසර මැවුම් කරුවාණ
විඩා හදට කොපමණ දුක්‌ දී ඇද්ද!
රතදර, සිසිවන වුවන කොපමණ
මිහිලිය කුසේ සඟවන්නට ඇද්ද!

මෙම කෙණ්‌ඩිය සොඳුරියක මුහුල ගත්
පෙම්වතෙකි මා සේ ම තැවුල් පත්
අඩුව මෙම කෙණ්‌ඩි ගෙළේ බැඳි
අතක්‌ විය සොඳුරියක ගෙළ වැලඳි

අප හිස්‌කබල් නිමැවූ කුඹල් තෙම
විසාරදය හිස්‌ කබල් කලාවේ තම
ඒවා මුණින් නමා භවපත් ඉරුව මත
පුරවාලයි හේ දොම්නස මුව විටට ම

සොම්නස්‌ මං පෙතේ යන ප්‍රඥ තොමෝ
දිනට සියක්‌ වර සිහිකර දෙන්නීය නුඹට
එළැඹී සැණයෙන් පල නෙලන්! මන්ද?
සම වෙයි නුඹ සිඳී උපදින තණ පතට!

ඊයේ දුර ගියෙන්,නැවත නො කැඳවන්!
නොපැමිණි හෙටක්‌ ගැන නො හඬන්!
අතීතය, අනාගතය තුළ නො නැවතෙන්!
මෙ සැණය විඳින්, නෙලන් පල දිවියෙන්!

මීරිය සමගින් ගත කළ ද නුඹ මුලු වියම
අත නොහැර නුඹ ලොව හැම සුව වින්දද
නුඹෙ දිවිය ඉම දකියි මරණ යෙන
දිවිය එම සිහිනයක්‌ පමණි අවසන

නිහඬවන්! සිටින නිසා සහසික අහසට යටින්!
නපුරු පිරි ලොවක සිටින හෙයින් මී බොන්!
මැටියෙන් මැවී නැවත ඊට ම යන බැවින්!
දැනටම නුඹ මිහිපිට නොව මිහියටැයි සිතන්!

වහළ මතින් නිඳු උදා මන්ද හෙළීය
දවස්‌ නිරිඳු තම මධු බඳුන පිරවීය
දවස්‌ දූත තෙම අරුණෙන් ම ඇමතීය
"මධුව වලඳින්", "මධුව පානය කරන්"

මා සේ ම නුඹ ද නොදනී සනාතනයේ රහස
දෙදෙනාම අසමත් මු හෙළිකර ගන්ට එය
තිරය පසුපසින් ඉඳගෙන සල්ලාපයේ යෙදෙමු
තිරය එසැවුණු කලට නුඹත් නැත, මාත් නැත.

(-ජෙනෝවා විහාරයේ සිට,ඉතාලිය.)

මණ්ඩාවල පඤ්ඤාවංස හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails