Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2014 පෙබරවාරි හතරවන දා අප සමරන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ හැටහය වන වසරයි. මිනිසකුගේ නම් මේ වයස යනු මහලු අවධියයි. වැදගත් ලෙස ජීවත් වූ මනුෂ්‍යයකුට නම් තම ජිවිතයේ හැටහය වන සැමරුම වනාහි දූ දරුවන්ගෙන් නොමද සැලකිලි ලබමින් සැනසිල්ලේ තම අතීතය සැමරිය හැකි වසරකි. එසේ නොවී බේබදුකමට, සල්ලාලකමට ඇබ්බැහි වී දරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු නොකළ පියෙකුට නම් තම හැට හයවන උපන් දිනයේ දී තම අතීතය සැනසිල්ලේ සැමරිය නොහැකිය.

රටකට වුවත් ඒ න්‍යාය එසේම ගැලපේ. රටකට නිදහස ලැබීම යනු රට ගැන, එහි අතීතය හා අනාගතය ගැන, එහි වසන මිනිසුන් ගැන, හැඟීමක් නැතුව ඒ රටේ සම්පත් සූරාකන විදේශ ආණ්ඩුවක පාලනයෙන් නිදහස් වීමයි. රට නම් වූ භූගෝලීය පරිසරයේ උපන් දේශමාමකයන් අතට පත්වීම එමගින් සිදුවේ. අප මේ හැට හයවන වතාවටත් සමරන්නේ එසේ ලැබුණා යයි සිතන උතුම් නිදහසය.

විජය කුමාරයාගෙන් ඇරඹුනා යයි කියන හෝ ඊටත් පෙර ස්වදේශික ජනවාර්ගිකයන් විසින් පවත්වා ගෙන ආවායයි සිතන ශ්‍රී ලාංකික අඛණ්ඩ ස්වදේශීක පාලනය මුළුමනින්ම අත්හිටුවා විදේශීය පාලනයකට යටත් වූයේ 1815 මාර්තු දෙවනදාය. ඒ යටත් විජිත පාලනය නිමාවීම සංකේත කරමින් අවසන් රජු ශ්‍රී වික්‍රමරාජසිංහ, මුරුසියට පිටුවහල් කර යවන ලදුව එහිදී ඔහු මරුමුවට පත්විය. ඉංග්‍රීසින්ට උඩරට අත්පත් කර ගැනීමට හැකි වූයේම කන්ද උඩරට රජුට විරුද්ධ වූ එකී පාලනයේ කොටස්කරුවන්ව සිටි රදළ ප්‍රධානීන්ගේ සහාය ඉංග්‍රීසින්ට ලැබුණ නිසාය.

ඇහැලේපොළ ඉංග්‍රීසින්ට සහාය දැක්වීම නිසා කෝපයට පත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඇහැලේපොළ ආර්යාව ලවා සිය කුඩා බිළිඳා වංගෙඩියක ලා කෙටවූ බවත්, වැඩිමහල් පුතුන් දෙදෙනා උතුම් දළදා වහන්සේ අභිමුව මහ මළුවේ දී හිස දෙපලුකර මැරූ බවත්, ඇහැලේපොළ ආර්යාව බෝගම්බර වැවේ ගිල්වා මැරූ බවත් මෑත ඉතිහාසයට අයත් සත්‍ය කාරණාය.

වර්තමාන යුගයේ එවැනි සැහැසිකම් අපට වාර්තා වෙන්නේ උගන්ඩාවේ ඉඩි අමින්, මධ්‍යම අප්‍රිකාවේ බොකාසා වැනි පාලකයන් ගෙනි. අපි කවුරුත් ඉඩි අමින් හෝ බොකාසා වැදගත් මිනිසුන් සේ සලකන්නේ නැත.

ඉංග්‍රීසි පාලනය මුළු රටම යටත් කර ගත් අවධියෙන් වසර තුනකට පසුව 1818 දී තම බල පරාක්‍රමය අහිමි වූ රදළ ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් කැරැල්ලක් ඇරඹිනි. කැරැල්ලට සහාය ලබා ගැනීමට මල්වත්තේ මහනායක හිමියන් බැහැදුටු රදළ ප්‍රධානීන්ට මහනාහිමියෝ පවසා ඇත්තේ ගෙවී ගිය සිංහල රාජ පාලනයට වඩා ඉංග්‍රීසි පාලනය මිනිසුන්ට හිත කර බවත් එහෙයින් කැරැල්ලට තමන්ගේ සහයක් ලබානොදෙන බවත්ය. අවසානයේ මල්වතු විහාරයේ ඉංග්‍රීසි ආණ්ඩුව කෙරේවූ පක්ෂපාතිත්වය කෙසේද යත් එකී පාර්ශ්වයේ උපසම්පදාව ලබා ගන්නා භික්ෂුවක්ගෙන් පහත සඳහන් පොරොන්දුව ලබා ගත්තේය. 'තමන් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කෙරෙන කුමන්ත්‍රණවලට සම්න්ධ නොවන බවත්, කවර නම් වූ භික්ෂුවක් එසේ කරන්නේ නම් ඒ බව මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව වෙත නොපමාව දැනුම්දෙන බවත්ය.' (මෙම පොරොන්දුව ලබාදීමට එරෙහිව අතිපූජ්‍ය මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණෝ එකී වගන්තිය ඉවත් කරන තෙක්ම මල්වතු උපසම්පදාව නොගෙන සාමනේර නමක්ව වැඩ වාසය කළහ.)

රාජ්‍ය සමග පාර්ශිකව කටයුතු කිරීම මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල පුරුද්දක් වූ නිසා එසේ වූවා විය හැකිය. එමෙන්ම ස්වදේශික පාලනය සතු කෲරතර ස්වභාවයද මල්වතු විහාරයේ ආස්ථානයට හේතු වූවා විය හැකිය.

තමන්ගේ ආර්ථීක ඕනෑ එපාකම් නිසා හෝ ලංකාව යා කරන මං මාවත් තැනුවෝ ඉංග්‍රීසිහුය. ඔවුන් තැනූ දුම්රිය මාර්ගවලට වඩා වැඩි පුර කි.මි. 50ක් දුරටවත් දුම්රිය මාර්ග දිගු කිරීමටවත් මේ හැට හය වසර තුළ ස්වදේශික පාලකයනට නොහැකි විය.

ලංකා විශ්වවිද්‍යාල කොලීජිය එනම් දැනට කොළඹ විශ්ව විද්‍යාලය යයි හැඳින්වෙන විද්‍යායතනය ඉංග්‍රීසින්ගේ නිර්මාණයකි. අද කෙසේ වෙතත් මෑතක් වන තුරුම එය දැනුමේ පරමාර්ථයට ගැළපෙන උගතුන් එම විශ්වවිද්‍යාලයෙන් බිහි කළේය. පසුව එහිම දිගුවක් ලෙස පේරාදෙණියේ අති මනරම් විශ්වවිද්‍යාලයක් ද බිහි කෙරිණි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වැටහීමට අනුව ලොව රමණීයම විශ්වවිද්‍යාලය පේරාදෙණියයි. එය තැනූ සර් අයිවර් ජෙනිංස් යටත් විජිත වාදියෙකි. එහෙත් වැඩ වසම් ආකල්පයකින් හෝ ලංකාවේ බුද්ධිමය සමාජයක් නැගෙනු ඔහුගේ ඒකායන පරමාර්ථය විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය නම්වූ යටත් විජිත නිර්මාණය විසින් ඉතාම හොඳම වෛද්‍ය පීඨයක් ඉතාම හොඳ ඉංජිනේරු පීඨයක් හා ශාස්ත්‍ර පීඨයක් මගින් අඩ සියවසකට වැනි කලක් ලංකාවට ශාස්ත්‍රවන්තයන් බිහි කළේය.

1948 දී තමන්ට හා තමන්ගේ සනුහරේට අයත් කොටස වෙන්කරවා ගැනීමේ අභිප්‍රායෙන් ලංකා ජාතික සංගමයේ නායකයෝ ළඳ බොළඳ හා මෘදු ලෙස ඉංග්‍රීසින්ගෙන් නිදහස ඉල්ලා සිටියෝය. ලංකා සම සමාජ පක්ෂය වටා ගොනු වූ තව පිරිසක් එකල ලෝකයේ (විශේෂයෙන් ඉන්දියාවේ) පැවති නිදහස් සටන් සම්ප්‍රදාය අනුව යමින් ලංකාවේ නිදහස අරබයා සටනක් දියත් කරමින් සිටියේය. දෙවැන්න ජයගතහොත් තවදුරටත් ලංකාවේ තම අයිතිවාසිකම් අහෝසි වන්නේ යයි ඉංග්‍රීසින් විසින් පෙර දැක පළමු කණ්ඩායම අතට නිදහස පවරා දුන්නෝය.

එක අතකින් එය එසේ සිදුවීම හොඳ යයි සිතන්නේ ඒ නිදහසින් ඈතට යන්නට යන්නට තමන්ගේම වූ ස්වදේශික ක්‍රම අත්හදා බලන්නට ගොස් රට අද වැටී ඇති ප්‍රපාතය සිහි ගන්වන විටය. අඩුපාඩු සහිතව වුවත් බ්‍රිතාන්‍ය පරිපාලන ක්‍රමය, දූෂිත දේශපාලන ක්‍රමයක් විසින් පාලනය කරන වර්තමාන පරිපාලන ක්‍රමයට වඩා ආචාර ධාර්මික හා සංවර්ධනයට හිත කර එකක් වූයේය. බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය අඩු පාඩු සහිත වුවත් අද ඇති භාෂා ශාස්ත්‍රයක් නොදන්නා නිකමුන් බිහිකරන එකක් නොවීය. මේ සඳහා නිදහසින් පසු බිහි වූ විශ්වවිද්‍යාල සමූහය හා නිදහසට පෙර යුගයේ විශ්වවිද්‍යාල දෙක නීති විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය සංසන්දනය කිරීම වටී.

ස්වභාෂාවන්ගෙන් කටයුතු නොකිරීම, නීතිය හමුවට පොදු මහජනයාට ඒමට ඇති දුෂ්කරතා, හරුණු විට බ්‍රිතාන්‍ය යුගයේ අධිකරණ ක්‍රියාවලිය සර්ව සාධාරණ ආචාර ධාර්මික පදනමකින් යුක්ත වූ එකක් විය. එහෙත් නිදහසින් පසු පීලික්ස් ඩයස්ගෙන් ඇරඹි මහින්ද රාජපක්ෂගෙන් කෙළවර වූ අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය විනාශ කිරීම මහ පොළොව නුහුලන එකක් වූයේය. ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා ඔස්සේ ගලා ගිය අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමේ ක්‍රියාවලිය වත්මන් ජනාධිපති පාලන යුගයේ කූට ප්‍රාප්තියට පත්කොට ඇත. තවදුරටත් ලංකා අධිකරණයකින් යුක්තිය පැතීම යනු සියලු බලාපොරොත්තු අත් හැර ගත් සංදර්ශනීය ක්‍රියාවලියක් විනා 'යුක්තිය උදෙසා අවසන් දෙවොලෙන් පිහිට යැදීමක්' නොවන්නේය.

බ්‍රිතාන්‍ය යුගයේ විජිතවාසීන් මෙරටින් ධනය උපයා ගන්නේ ව්‍යාපාරික විද්‍යාවකට අනුවය. ඔවුන් මනරම් ලෙස තේ, පොල්, රබර් වගාව කරමින් ඒ වටා අලංකාර සංස්කෘතියක් ද නිර්මාණය කළේය. ලංකාවේ දුර බැහැර වූ ඒ වැවිලි ප්‍රදේශ කරා යන මාර්ග පද්ධතියක් ද තනාලූහ. ඒ මාර්ග හරහා අවශේෂ වාහන ගමනා ගමන රටාවක්ද ඇති විය. (ලංකාවේ අද පවත්නා ප්‍රවාහනයේ පදනම තැනුනේ ඒ ආකාරයටය.) එසේ ව්‍යාපාරික විද්‍යාවකට අනුව තැනුනු වැවිලි වගාවට නිදහසින් පසු කවර කලදසාවක් උදාවීද? 56 දරුවෝ රන් පවුම් වතු ජසනතු කිරීමේ මුවාවෙන් කට්ටි කඩා තම හෙංචයියන්ට දී ඒ මහා ධන උල්පත විනාශ මුඛයට හෙළීය. ඉනික්බිතිව පැමිණි මෘග ජේ.ආර්. පාලනය ඒ ජනසතු ඉඩම් නැවත පවරාගෙන තමන්ගේ හෙංචයියන්ට දුන්නේය. ඇතැම් වටිනා වැවිලි වගා අක්කරය රු. 2.25 ගණනේ තම හෙංචයින්ට ලබාදීමට ජේ.ආර්. පාලනය කටයුතු කළේය. ජේ.ආර්. යුගයේම විජිතවාදීන් විසින් ඉන්ද වූ රබර් හා තේ වතු කුට්ටි කඩා දේපළ වෙළඳොම් නමින් මහපොළොව විකුණා කෑමේ ව්‍යාපාරවල අණසකට පත් කළේය.

මේ ආකාරයට හැට හය වසරක නිදහසේ ගමන් මග වනාහි පැවතුණු යහපත් සිද්ධාන්ත බිඳ වැටුණු පාලන ක්‍රමයක උදාවයි. භාෂා ප්‍රේමය, ජාතිකත්වය, දේශ ප්‍රේමය වැනි ඊනියා වචනවල මෝඩ ස්වදේශික ජනයා සිරගත කළ ඉතිහාසයක කතාවයි. තැපැල් පියුන්ලා, සමුපකාර සේවකයෝ, කැන්ටර් ලොරිවල තේ දලු ඇද්දෝ දේශපාලනය නාමයෙන් ධන කුවේරයන් වූ ඉතිහාසයක කතාවයි. දැරියන් 100ක් දූෂණය කොට එය සිය සගයන් සමග සමරන ප්‍රාදේශීය සභාපතිවරුන්, විදේශීය සංචාරකයන් මරා දමා ඔවුන්ගේ පෙම්වතියන් දූෂණය කරන ප්‍රාදේශීය සභාපතිවරුන්, සිය නිල රථවල ගංජා අදින ඇමතිවරුන් සිටින, කුඩු කන්ටේනර් නිදහස් කර ගැනීමට ලියුම් දෙන අගමැතිවරු සිටින, හෙරොයින් මත්කුඩු ජාලයන්හි අධිපතිකම් කරන මැති ඇමතිවරු සිටින, ඔවුන්ට සකල විධ ආරක්ෂාව සපයන පොලිසි තිබෙන, රටක නිදහසේ 66 වසරයි.

1815 මාර්තු 02 වන දා බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව අත්පත් කරගත් දා සිට ඔවුන් ලංකාව කෙරේ වූ පාලන බලය අත්හල 1948 පෙබරවාරි 04 දක්වා වන අවුරුදු 133 ක පාලන කාලය හා 1948 පෙබරවාරි 04 සිට 2014 පෙබරවාරි 04 දක්වා වන නිදහසින් පසු 66 වසර සංසන්දනය කර බලන්න. පසුකාලීන 66 වසර තුළ සිදු වූ මහා අපරාධ කිසිවක් නිදහසට පෙර යුගයේ 133 වසර තුළ සිදු වී ඇද්ද?

ශ්‍රී ලංකාවේ නිදහසට ජයවේවා..?

චන්ද්‍රරත්න බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails