Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රෙජී රණසිංහ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු විය​. ඔහු ජාතික ඇඳුම ඇඳි ඉතා චාම් ගුරුවරයෙකු වූ බව මට මතකය​. ඒ කාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ළමයින්ට දඬුවම් කිරීමේ ලා නම් දැරුවත් රෙජී රණසිංහ මහතා කිසිදු සිසුවෙකුට දඬුවම් කරනවා මා දැක නොමැත​. නාලන්දා විද්‍යාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ගෙන් ගුටි කා තිබෙන මා රෙජී රණසිංහ මහතාගෙන් කිසි දින දඬුවම් විඳ නැත​. එම නිසා රෙජී රණසිංහ මහතා කිසි දිනක සිසුවෙකුට දඬුවම් කොට නැති බව මම විශ්වාස කරමි.

රෙජී රණසිංහ මහතා අමුතු තාලයේ විශේෂිත ගුරුවරයෙකු විය​. ඔහු සිසුන්ට දැනුම බලහත්කාරයෙන් පොවන්නට ගියේ නැත​. එසේම සිසුන් ගෙන් ගරුත්වය ලබා ගැනීම සඳහා වේවැල අතැතිව බොරු රඟපෑමකද නිරත නොවීය​. ඔහුගේ ක්‍රමය වූයේ ළමයා දැනුම ලබා ගැනීම සඳහා පෙලැඹවීමයි. එය ඉතා සාර්ථක ක්‍රමයක් විය​. එසේම සිසුන් ඔහුට ආදරයෙන් යුතුව ගරු බුහුමන් කලෝය​. එය මට අද සාක්‍ෂාත් වන්නේ රෙජී රණසිංහයන්ට සිසුන් ඔහු නැති තැන පවා කටපුරා රණසිංහ සර් ලෙස ආමන්ත්‍රණය කිරීමේ පුරුද්ද මතක් වීමෙනි.

එකල සෑම ගුරුවරයෙකුටම පාහේ පටබැඳි විකට නමක් විය​. සිසුන් විකට නම් පටබැඳිමේ සූරයන් වූහ​. ටකරමා, බොහොඬා, යකඩයා, මෝරා, කණයා මේ එකල සිසුන් විසින් ගුරුවරුන්ට පටබැඳි නම් වූහ​. නමුත් මේ දක්වා රණසිංහ සර්ට පටබැඳි විකට නමක් ගැන මට සිතා ගැනීමටවත් නොහැක​. එයින් පෙනී යන්නේ ඔහු සිසුන් අතර සැබවින්ම ගරුත්වයට ලක් වූ ගුරු පියෙකු බවය​. එයට එක් හේතුවක්
වූයේ ඔහු ගේ සැබෑ චාම්කමයි. එසේම ඔහු දැනුමින් පිරිපුන් ගුරුවරයෙකු විය​. නැෂනල් හෙවත් ජාතික ඇඳුම ඇඳි ගුරුවරුන්ට සමහර කොලඹ ළමුන් රහසේ සිනාසුනත් රණසිංහ සර් ගේ නිර්ව්‍යාජ පෞරුෂත්වය ඉදිරිපිටදී කිසිවෙකු ඔහුව කෝලමකට ගත්තේ නැත​.

1979 වසරේ ඔහු සිසුන් අතර කථික තරඟයක් සංවිධානය කලේය​. ජුලියස් සීසර් ගේ අවමගුල දා මාක් ඇන්ටනි කල කථාවේ සිංහල අනුවාදය සහ එහි පසුබිම ඔහු අපිට කියා දුන්නේය​. ඉන් පසු හැඟීම් ඉස්මතු වන ආකාරයට එම කථාව කරන අයුරු ඔහු අපිට පෙන්වා දුන්නේය​. ඔහු කොතරම් සාර්ථක අයුරින් සිසුන් ගේ නෙත් සිත් ග්‍රහණය කරගනිමින් කලේද යත් මට අද දින පවා ඔහු ඉගැන් වූ එම කථාවෙන් විශාල කොටසක් මතකයේ තිබේ.

ඔහු ප්ලේන් ටී බීමට ප්‍රිය කලේය​. විවේක කාලයේදී රෙජී රණසිංහ සර් කැන්ටිමට ගොස් වඩයක් කමින් ප්ලේන් ටී බොන අයුරු දැනුදු මට මැවී පෙනේ. ඒ කාලයේ කැන්ටිම කලේ මහළු පුද්ගලයෙකි. සිසුන් ඔහු ඇමතූයේ "අන්කල්" නමිනි. රෙජී රණසිංහ සර් කැන්ටිමේ තේ බොන විට අපද නොබියව ගොස් "අන්කල් ලෝදිය කෝප්පයක් දෙන්න කියා" කැන්ටිමේ අන්කල් ගෙන් තේ ඉල්ලීමට පුරුදුව සිටියෙමු. රෙජී රණසිංහ සර් අප දෙස උපේක්ශාවෙන් බලා සිටියා මිස අපව වෙනත් ගුරුවරුන් මෙන් කැන්ටිමෙන් එලවා ගත්තේ නැත​. බොහෝ විටදී කැන්ටිමේදී පවා ඔහු පොත් කියවයි.

රෙජී රණසිංහ යනු ගුරුවරයෙකු පමණක් නොව සුප්‍රකට විචාරකයෙකු බවද නාලන්දාවේ බොහෝ දෙනෙකු දැන සිටියේ නැත​. විශ්ව සම්භාව්‍ය චිත‍්‍රපට ගැන ඔහුට තිබූ දැනුම අති විශාලය. අන්තර් ජාලය​, යූ ටියුබ් නොතිබූ ඒ යුගයේ රීගල් චිත්‍රපට ශාලාවටත් බ්‍රිටිෂ් කවුන්සිලයටත් යමින් කොපලා, ඩේවිඩ් ලීන්, කුරොසෝවා වැනි පතාකයන් ගේ සිනමාවේදය ඔහු ස්ව උත්සහයෙන්ම උගත්තේය​.

ඔහුගේ ගැඹුරු දැනුම පිලිබඳ මට යම් වැටහීමක් ලබුනේ පාසලෙන් ඉවත් වී බොහෝ කාලයට පසුවය​. ඒ කාලයේ දී මම සේවය කලේ උතුරු කොලඹ මහ රෝහලේය​. වරක් රෝහලට පැමිණි පොත් වෙලෙන්ඳෙකුගෙන් පොත් කිහිපයක් මම මිලට ගතිමි. ඉන් එක් පොතක් මගේ සිත් ගත්තේය​. එය බුහාරින් සහ ඔහුගේ බිරිඳ වූ අන්නා ලරීනා පිලිබඳ කථා පුවතකි. පොතේ කර්තෘ ඉතා පුළුල් අයුරින් ස්ටාලින් යුගයේ බල අර්බුදය සහ බුහාරින් ගේ මරණය මෙන්ම අන්නා ලරීනා අවසානයේ දී ගර්බචොව් හමුවී බුහාරින් ගේ නිර්දෝශී භාවය සනාත කිරීම දක්වා කරුණු විග්‍රහ කොට තිබුණි. එපමණක් නොවේ පොතේ කර්තෘ එවකට ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටි බුහාරින් ගේ බිරිඳ වූ අන්නා ලරීනාට ලියන ලද ලිපියක් ද අන්නා ලරීනා විසින් කතුවරයා වෙත එවන ලද ලිපියක් ද මෙම කෘතියේ අඩංගු විය​.

මේ පොතේ කරුවරයා ගැන​ සොයා බැලීමේදී මට පෙනී ගියේ කතුවරයා අන් කවරෙකුවත් නොව නාලන්දාවේ රෙජී රණසිංහ සර් බවයි. නමුත් ඒ කාලයේ අපට ඔහුගේ සුවිසල් දැනුම ගැන​ කිසිදු අවබෝධයක් නොවීය​. මහා කස්සප මහ රහතන් වහන්සේගේ ගුණය සහ අනුභූතිය පිලිබඳ අනවබෝධයකින් යුතු වූ ඇබිත්තයා මෙන් අප මේ සුවිසල් පුරුෂයාගේ දැණුම සහ විචාරයන් පිලිබඳව එකල අනවබෝධයෙන් සිටියෙමු. නමුත් ඔහු තුල යම් ගුප්ත බවක් මා එකල දුටුවෙමි. එය කුමක්ද කියා කීමට මට වැටහීමක් නොවීය​. නමුත් අද දිනයේ මා සිතන්නේ එය ඔහුගේ දැනුම, නිර්ව්‍යාජ බව, චාම් බව​,හෘදයංගම බව කැටි කල පෞරුෂත්වයේ පරාවර්තනය බවයි.

රෙජී රණසිංහයන් රිච්ඩ් සොයිසා වැනි නළුවන් යොදා ගනිමින් බුහාරින් ගේ අවසන් කාලය ගැන කියූ දහවල අඳුර (Darkness at Noon) නාට්‍යය කරළියට ගෙන ආවේය​. ගමේ පොල්කොට වේදිකාවේත් කොලඹ හත ඉංග්‍රීසි කවයේ ලයනල් වෙන්ට් රංගශාලාවේත් අදීන පෞරුෂත්වයකින් යුතුව නළු නිලියන් සහ අධ්‍යක්‍ෂකවරුන් සමග වැඩ කිරීමට ජාතික ඇඳුම ඇඳි මෙම ගුරුවරයා සමත් විය​.

ඔහු පාසලේදී ද නිවසේදී ද හැදෑරීම් කලේය​. එසේම රණසිංහයන් මනා වූ දේශපාලන විඥානයකින් ද යුක්ත විය​. එය යන්නම් වාලේ කල දේශපාලනයක් නොවීය​. පාසලේ කිසිම ඉගැන්වීමක් නොකොට - තම යුතුකම ඉටු නොකර තුන්සිය හැටපස් දවස පුරා පවත්නා ආණ්ඩුව විවේචනය කරමින් රතු පත්තර කියවමින් වසරකට වරක් පෙලපාලි ගිය​ ගුරු ක්‍රියාකාරීන් යැයි කියාගත් ලාමක චරිත වලට රෙජී රණසිංහයන්
අවබෝධ කර ගත නොහැකි විය​. එවැනි චරිත අතර රෙජී රණසිංහයන් හුදකලා චරිතයක් විය​.

අද රෙජී රණසිංහ සර් ජීවතුන් අතර නැත. රෙජී රණසිංහලා නැති ලංකාව අද බුද්ධිමතුන් ගේ කාන්තරයක් බවට පත් වී තිබේ. එකල රෙජී රණසිංහලා විශ්ව සාහිත්‍යය, විශ්ව සිනමාව ගැන ලියා උසස් රසාස්වාදනයකට හුරු කල ලාංකිකයන් ගේ පරම්පරාව වෙනුවට අද ඉන්නේ මෙගා ටෙලි හා සුපර් ස්ටාර් සංස්කෘතිය හරහා බිහි වූ බුද්ධිමය වශයෙන් ආබාධිත වූ පරම්පරාවකි. එවැනි පරම්පරාවක් සබුද්ධික කිරීම සඳහා යළි රෙජී රණසිංහ වැන්නවුන් මේ ගර්හිත සමාජයේ යළි පහළ වන්නේ නම් මැනවි.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails