Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- ගුරුන්නාන්සෙ, ස්වේතදාස, සූකිරිවංශ, ගෙගරි, නුවනා

(සියුම් සංගීතයක් මතුවේ.)

ගුරුන්නාන්සේ- එහෙම කියන්න එපා, ස්වේතදාස ඩිරෙක්ටර් මහත්තයො. අපි පාරම්පරිකව මේ වෘත්තිය කරන මිනිස්සු.

ස්වේතදාස- පම්පෝරි අවශ්‍ය නෑ, ගුරුන්නාන්සේ. මතක තියා ගන්නවා, මමයි මේ රූකඩ කොම්පැනියේ ලොක්කා. ඒ කියන්නෙ පපට් දර්ශන් නාලිකාවේ අධ්‍යක්ෂක. මේකෙ න්‍යාය පත්‍රය තීරණය කරන්නෙ මම.

ගුරුන්නාන්සේ- අන්න ඒ නිසා තමයි මේ තරම් බයාදු වෙලා ඉල්ලා සිටින්නෙ, අපේ ගාණ තව රුපියල් හැත්තෑ පහකින් වැඩි කරන්න. එකසිය පනහක් කරන්න කියලා.

ස්වේතදාස- මේකේ කැමති කැමති විධියට වැටුප් උච්චාවචනය කරන්නෙත් නෑ, කරන්නත් බෑ. ඉතිහාසයේ උඹලා අත්සන් කරපු කොන්ත්‍රත්තුවක් තියෙනවා. පොරොන්දු පත්‍රයක් තියෙනවා. ඒකට අනුව තමයි සියල්ල ඉෂ්ඨ සිද්ධ වෙන්නෙ.

ගුරුන්නාන්සේ- ඔය පොරොන්දු පත්‍රයට අපේ මුතුන් මුත්තො අත්සන් කළේ දශක ගණනාවක ඈත. අද හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා. එදා වගේ නෙවෙයි, හැම අමු ද්‍රව්‍යයක්ම බොහෝම දුර්ලභයි. වෙල් කඳුරු, රුක් අත්තන, ගම්මාලූ, වල්දෙල්, වගේ ලී හොයා ගන්නත් නෑ. ලාකිරි ගන්න කැප්පෙට්ටිය, වර්ණ හදා ගන්න ගන්නා ගොකටු කිරි, නිල් අවරිය කොළ, මකුළු මැටි, සාදිලිංගම්, හොයා ගන්නවා කියන්නේ කළුනික හොයා ගන්නවා වාගේ. මේ හැම දෙයක්ම වෙනුවෙන් අතිරේක විශාල වියදමක් දරන්න වෙලා තියෙනවා අපිට.

ස්වේතදාස- මතක තියා ගන්නවා. උඹලා කුල ධුරාවලි වශයෙන් අපිත් එක්කලා බැඳිලා ඉන්නවා, නොකඩවා අපිට රූකඩ නිෂ්පාදනය කරලා, සම්පාදනය කරලා නටවන්න. ඒක ගිවිසුම් ප්‍රකාශ නීතියක්.

ගුරුන්නාන්සේ- ඒත් මතක තියා ගන්නවා, ස්වේතදාස ඩිරෙක්ටර් මහත්තයෝ. ඔහේලාට ගැතිකම් කරපු වැඩවසම් සම්බන්ධතා ඉවරයි.

ස්වේතදාස- (සිනාසේ) ඒවා ලෙහෙසියෙන් ඉවර කරගන්න ලැබෙන්නෙ නෑ. ඉවර වෙන්නෙත් නෑ. මං උඹලාට විරුද්ධව නඩු දානවා. මං උඹලාගෙන් වන්දි ඉල්ලනවා. කෝටි බිලියන ගාණක්.(සිනාසේ) ඒ ගාණ ගෙවලා ඉවර කරන්න, උඹේ දරු මුණුපුරු පරම්පරා හතකටවත් බැරිවේවි.(සිනාසේ)

ගුරුන්නාන්සේ- අපි තර්ක කරනවා, අපි ළඟ කාලාන්තරයක් පුරා තියෙන සාක්ෂි අපි ඉදිරිපත් කරනවා.

ස්වේතදාස- (සිනාසී) නඩු තීන්දුව දෙන්න අවුරුදු ගාණක් යනවා. අපි උඹලගෙ පරම්පරාවට තහනම් නියෝගයක් පනවනවා, තීන්දුව දෙනකල් රූකඩ නිෂ්පාදනය අත් හිටුවන්න. ඒත්, අපි අපේ වැඩසටහන නවත්වන්නෙ නෑ. පිටරටින් රූකඩ ආනයනය කරවලා ඒක කරගෙන යනවා.

ගුරුන්නාන්සේ- ඔහෙලට ඔය තරම් මුදලක් නඩු කියන්නයි, පිට රටින් රූකඩ ගෙන්වන්නයි, වියදම් කරන්න පුළුවන් නම්, ඇයි, අපි ඉල්ලන සොච්චම් මුදල වැඩිකරන්න බැරි?

ස්වේතදාස- මං වතාවක් කිව්වා, උඹලාගෙ සේවාවට නියම වෙලා තියෙන වැටුප හැර, සතයක්වත් වැටුප් වැඩි වෙන්නෙ නැහැ. නැහැමයි.

ගුරුන්නාන්සේ- මේක මහ අසාධාරණයක්. කරුණාකරලා මනුෂ්‍යයෙක් විධිහට හිතන්න.

ස්වේතදාස- මනුෂ්‍ය සම්බන්ධකම් අපිට වැඩක් ඇති දෙයක් නෙවෙයි. උඹලා, උඹලට නියම වෙලා තියෙන රාජකාරිය ඉටුකරපන්. උඹලගේ සේවාව ඉටුකරපන්. එච්චරයි.

ගුරුන්නාන්සේ- මතක තියා ගත්තොත් හොඳයි, මේ සේවාව අදින් අහවරයි. සියලු ගැතිකම් අදින් ඉවරයි.

ස්වේතදාස- හොඳයි බලාගමු, කවුද දිනන්නෙ කියලා.

(සංගීතය)

ස්වේතදාස- මං හිතුවෙ නෑ, වැඩේ මේ තරම් සංකීර්ණ වෙයි කියලා සූකිරිවංශ.

සූකිරීවංශ- අපි දැන් මොකද කරන්නෙ?

ස්වේතදාස- ඒක තමයි මාත් කල්පනා කරන්නෙ.

සූකිරිවංශ- එතකොට මිනිහට විරුද්ධව නඩුවක් ගොනු කරනවද?

ස්වේතදාස- මොනවා කළත්, අපි අපේ ප්‍රෝග්‍රෑම් එක දිගටම පවත්වාගෙන යන්න ඕන. ඒකට නටවන්න රූකඩ නිෂ්පාදනය වෙන්න ඕන.

සූකිරිවංශ- ඒත්, අපි දැන් කොහෙන්ද රූකඩ ලබා ගන්නේ. පිට රටින් රූකඩ ගෙන්වන්න ගියොත් අපිට අපේ නාලිකාව උකසට තියන්නයි වෙන්නෙ.

ස්වේතදාස- බයවෙන්න කිසිම දෙයක් නෑ. මේ රූකඩකාරයො දන්න, ජීවන වෘත්තිය රූකඩ කැපිල්ලයි, නැටවිල්ලයි විතරයි. උන්ට ආයිමත් අපි ගාවට එන්න වෙනවා. ඒක මට හොඳටම විශ්වාසයි.

සූකිරිවංශ- මට නම් ඒක විශ්වාස නෑ.

ස්වේතදාස- හරි, මට ආවා අපූරූ අදහසක්.

සූකිරිවංශ- මොකක්ද?

ස්වේතදාස- අපි පටන් ගමු රූකඩ හදන්න. නිෂ්පාදනය කරන්න.

සූකිරිවංශ- ඒත්, ඒකේ තාක්ෂණය, විධික්‍රම එහෙම, කොහොමද හොයා ගන්නේ. මොකද, මේ සේරම පාරම්පරික ශිල්පක්‍රම අනුව තමයි සිද්ධ වෙන්නෙ.

ස්වේතදාස- නූතන තාක්ෂණයට කළ නොහැක්කේ මොනවද සූකිරිවංශ?

සූකිරිවංශ- හරි, අපි කොහොමද වැඩේට මුල පුරන්නේ?

ස්වේතදාස- මෙහෙමයි, අපි මුලින්ම පත්තරේ දානවා දැන්වීමක්.

සූකිරිවංශ- දැන්වීමක්?

ස්වේතදාස- ඔව්, මෙන්න මේ විධිහට. ඔබේ තරුණ ජවයට හා හැකියාවට අපගෙන් අවකාශය. ජීව ශක්තිය ඇති ගැහැනු පිරිමි අවශ්‍යයි. ඔබගේ සියලු සුදුසුකම් සහිතව අයදුම්පතක් එවන්න.

සූකිරිවංශ- මේකට, වඩු කර්මාන්තය, ලී කැටයම් හා මූර්ති ශිල්පය ගැන පළපුරුද්ද අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද රූකඩ කපන්න වෙන්නෙ නොයෙක් ආයුධවලින්.

ස්වේතදාස- ඔව්, අපි රූකඩ හදන්න පුළුවන් හොඳම පිරිසක් තෝරගමු. මේක තමයි හොඳම විසඳුම.

(සංගීතය)

ස්වේතදාස- හිිතාගන්න බැරි විදිහට අයදුම්පත් ආවා. අයදුම්කාරයො ලක්ෂ දහයක්. හ්ම්, අපි සම්මුඛ පරීක්ෂණයට කැඳවපු දස දහසත් වැඩියි කියලයි මට දැන් හිතෙන්නෙ. දැන්නම් හරිම මහන්සියි.

සූකිරිවංශ- ඒත්, අපි දැන් ඉන්ටර්විව් කරගෙන යන්නේ අවසාන අයදුම්කරුවෝ කීපදෙනා. වැඩිම පිරිසක් කැඳවපු එකෙන් අපිට හොඳම පිරිස තෝරගන්න පුළුවන්.

ස්වේතදාස- හ්ම්, එහෙනම් ඉක්මන් කරලා, ඊ ළඟ අයදුම්කරුවන් කැඳවමු.
(බෙල් එක වදින හඬ)
එන්න ඊ ළඟ. (අඩි හඬ ) හ්ම්, වාඩිවෙන්න.

ගෙගරි- බොහෝම ස්තූතියි.

ස්වේතදාස- කෝ, දෙන්න බලන්න ඔරිජිනල් සහතික ටික. හ්ම්, ජේසන් ගෙගරිට සුදුසුකම් බොහොමයක් තියෙනවා නේද? නාට්‍ය රංගනය, ජනමාධ්‍ය, පරිගණක, රූපලාවණ්‍ය, ආහාර පිසීම, මෝටර් රථ යාන්ත්‍රික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික, ලී කැටයම් කැපීම. ම්, ඒත්, මේ සහතිකවල සටහන් වෙන්නෙ ජයසේන ගිරිගෝරිස් කියලනෙ.

ගෙගරි- ඒක ගමේ භාවිත කරපු නම. නගරෙට ආපුවහම මං නම වෙනස් කරගත්තා.

සූකිරිවංශ- හොඳ ජනප්‍රියතාවයක් ලබා ගන්න පුළුවන් නමක්.

ගෙගරි- ඔව්, මගේ පුංචි කාලේ ඉඳන් තියෙන එකම හීනයත් ඒක තමයි.

ස්වේතදාස- සමහරවිට, එම හීනය යථාර්ථයක් වෙන්න පුළුවන්.

ගෙගරි- එහෙම වෙනවනම් කොයිතරම් දෙයක් ද.

ස්වේතදාස- ඒත්, ඒකට මේ සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වෙන්න ඕන.

සූකිරිවංශ- ඔබට වඩු කර්මාන්තය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවද? ඒ කියන්නෙ ලී කපන්න, ගාන්න වගේ දේවල්?

ගෙගරි- ඔව් සර්, ඕනම ලීයක් ඕනම දෙයක් බවට මට පුළුවනි පත් කරන්න.

ස්වේතදාස- බොහෝම සතුටුයි. බොහෝම සතුටුයි. හ්ම්, අපිට ඔබෙන් තව ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා. ඒවට හොඳට හිතලා උත්තර දෙන්න ඕන.

ගෙගරි- හොඳමයි සර්,

සූකිරිවංශ- අපේ මුල්ම ප්‍රශ්නය. සාමය මොන පාට ද?

ගෙගරි- සාමය?

ස්වේතදාස- ඔව්, සාමය තමයි .

ගෙගරි- ම්, සාමය? ම්, අමාරු ප්‍රශ්නයක්නෙ.

සූකිරිවංශ- ඒත් වැඩි කාලයක් දෙන්න බෑ. අපිට ඕන සාමයේ පාට.

සූකිරිවංශ- ඔව්, තත්පර දහයයි. එක ප්‍රශ්නයකට.

ගෙගරි- සාමය සර්, කළු පාටයි.

සූකිරිවංශ- ඇයි, එහෙම කියන්නෙ?

ගෙගරි- සාමය කියන්නෙ කවදාවත්ම මේ රටේ දැක ගන්න බැරි දෙයක්. කළුපාට කියන්නේ කවදාවත්ම ඇහැට දැක ගන්න බැරි වර්ණයක්. ඒ නිසා සාමයේ පාට කළුපාට විය යුතුයි.

ස්වේතදාස- හ්ම්, දෙවන ප්‍රශ්නය, බෝම්බ පිපිරෙනකොට ඔබට දැනෙන සුවඳ මොන වගේ ද?

ගෙගරි- මං හිතන්නේ බෝම්බ පිපිරෙනකොට දැනෙන්නේ රෝස මලේ සුවඳ. මොකද රෝස මලේ නටුවෙ තියෙන්නේ කටු. බෝම්බයක් පිපිරුණහම ඉතුරු වෙන්නෙ කටු. එහෙමනම් කටු තියෙන මලේ සුවඳ රෝස. එතකොට උත්තරය රෝසමල් වල සුවඳ.

ස්වේතදාස- හරිම අපූරුයි. එහෙමනම් මෙන්න තුන්වන ප්‍රශ්නය. නොකා නොබී ඉන්න විට ශරීරයට දැනෙන්නේ කිනම් සුවයක්ද?

ගෙගරි- කෑම කෑමෙන් හෝ නොකෑමෙන් ශරීරයට සුවයක් දැනෙන්නේ නැහැ. ශරීරයට පරම සුවය තියෙන්නේ මරණයෙන් පසු.

සූකිරිවංශ- මරණයෙන් පසු? එහෙම ද? බොහොම හොඳයි. එහෙනම් හතරවන ප්‍රශ්නය. උඩ පැන්නොත් මොකද නොවන්නෙ?

ගෙගරි- උඩ පැන්නොත් උඩ නොයාම තමයි නොවන්නෙ.

ස්වේතදාස- හරිම අපූරුයි. එතකොට අවසාන ප්‍රශ්නය. නිරුවත කියන්නේ කුමක්ද?

ගෙගරි- රුවත නැතිවීම තමයි නිරුවත.

ස්වේතදාස- ඔබ සැබෑ දක්ෂයෙක්. අපි ඔබට සුබ පතනවා. අපි අපේ තීරණය ඔබට යථා කාලයේ දී දන්වන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනම් ආයුබෝවන්.

ගෙගරි- ආයුබෝවන් (අඩි හඬ)

ස්වේතදාස- එහෙමනම් ඊ ළඟට අංක නවදහස් නවසිය අනූ නවය. (බෙල් එක වදින හඬ)

සූකිරිවංශ- හ්ම්, එන්න වාඩිවෙන්න.

ස්වේතදාස- නම නුවනා ගම්සර. අපි විශ්වාස කරනවා, ඔබට නම වගේම නුවණත් තිබෙයි කියලා.

සූකිරිවංශ- හ්ම්, ඔබට සරසවි උපාධියකුත් තියෙනවා. බොහොම සන්තෝෂයි.

ස්වේතදාස- ඇයි ඔබ උපාධියකුත් තියාගෙන මේ වගේ රැකියාවකට අයදුම් කළේ?

නුවනා- මම හොයනවා, උපාධියට සරිලන රැකියාවක්.

සූකිරිවංශ- ඔබ දන්නවාද, ඔබට අපි ළඟ කරන්න තියෙන්නෙ මොනවද කියලා?

නුවනා- මම දැන ගන්න කැමතියි. තවම දන්නෙ නම් නෑ.

ස්වේතදාස- ඒ කියන්නෙ අපි ලබා දෙන ඕනම දෙයක් කරන්න සතුටුයි.

නුවනා- අකමැත්තක් නෑ.

ස්වේතදාස- ඒ කියන්නෙ කැමතියි කියලා නේද? හ්ම්, බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒත් අපට ප්‍රශ්නාවලියක් තියෙනවා ඔබගෙන් අහන්න.

නුවනා- ඔව්, මං සතුටුයි උත්තර දෙන්න.

සුකිරිවංශ- අපගේ මුල්ම ප්‍රශ්නය සාමය ගැන. සාමය මොන පාට ද?

නුවනා- සාමය කියන්නෙ සියලු හැඟීම් වල එකතුවක්. යමෙක් සාමකාමී වෙන්න නම් ප්‍රචණ්ඩත්වය ඉවත්කර ගත යුතු වෙනවා.

ස්වේතදාස- අපට අවශ්‍ය සාමයේ පාට.

නුවනා- සාමය අවර්ණ විය යුතුයි. කිසිවෙකුගේ පාටක් නොගත යුතුයි.

සූකිරිවංශ- හොඳ උත්තරයක්. හ්ම්, එහෙනම් දෙවන ප්‍රශ්නය, බෝම්බයක් පිපිරුණහම දැනෙන සුවඳ කුමක් ද?

නුවනා- බෝම්බයක් බිලි ගන්නෙ මිනිස්සු. නැත්නම් මිනිසුන් ගොඩනැඟූ දෙවල්. එවන් විනාශයක් සුවඳවත් වෙන්න බෑ. කිසිඳු සුවඳක් එහි නෑ.

ස්වේතදාස- ඇත්තට? එතකොට නොකා නොබී ඉන්නකොට ශරීරයට දැනෙන සුවය මොන වගේ ද?

නුවනා- සුවය කියන්නෙ සහනයයි. නොකා නොබී හිඳීමෙන් ශරීරයට දැනෙන්නේ අසහනයක්. එහි කිසිම සුවයක් නෑ. උත්තරය බිංදුවයි.

සූකිරිවංශ- උඩ පැන්නොත් මොකද නොවන්නේ

නුවනා- උඩ පැන්නොත් මොකද නොවන්න පුළුවන්. සැම දෙයක්ම විය හැකියි. සැම දෙයක්ම.

ස්වේතදාස- නිරුවත යනු කුමක්ද?

නුවනා- ඔබලා තුළ පවතින අර්බුදයයි.

සූකිරිවංශ- ඒ කියන්නෙ අප තුළ?

නුවනා- ඔව්, ඔබලා තුළ.

ස්වේතදාස- ඔබ හරිම ගැඹුරු උත්තර ලබා දෙන්නෙ. නමුත් අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ සරල අදහස් තියෙන අය. බොහෝම කනගාටුයි ඔබට උපරිම ලකුණු ලබාදීමේ හැකියාවක් නෑ.

සූකිරිවංශ- ඔබගේ වඩු කර්මාන්තය ගැන දැනුම කොහොමද? ඒ කියන්නෙ, ලී කැපීම, හෑරීම වැනි අංශ ගැන?

නුවනා- මට හොඳ නිර්මාණශීලි හැකියාවක් තියෙනවා.

ස්වේතදාස- ඔව්, අපි ඔබට අපේ තීරණය ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.

නුවනා- ආයුබෝවන් (අඩි හඬ)

ස්වේතදාස- හ්ම්, මේ දස දහස්දෙනාගෙන් කවුද අපේ වැඩේට අපි බඳවගන්නෙ.

සූකිරිවංශ- ඒක තමයි මාත් කල්පනා කරන්නෙ?
(සංගීතය)

ස්වේතදාස- පළමුව ඔබ විසිපස් දෙනාට මම සුබ පතනවා නැවතත්. මොකද, ඔබ තේරී පත්වී සිටින්නේ ලක්ෂ දහයක අයදුම්කරුවන් අතරින්. දැනටමත් ඔබ අප පපට් දර්ශන් නාලිකාවේ සේවා ලාභීන් ලෙස බඳවාගෙන අවසන්. ඔබ අත්සන් තැබුවා අපගේ කොන්තරාත්තු පත්‍රයට. අද ඉඳන් ඔබ අප ආයතනය මගින් නිෂ්පාදනය කරන, මෙගා රූකඩ නාටක සඳහා රංගනයෙන් දායක කර ගන්නවා. මං හිතනවා අප ලබාදුන් පුහුණුව තුළින් ඔබට රූකඩවලටත් වඩා විශිෂ්ට අන්දමට රූකඩ ලෙසින් රංගනය කළ හැකියි කියලා. ඔබ දන්නවා අපේ නාටක ඉතිහාසය ගැන. අපි ඵෙතිහාසික වාර්තාවත් තබා තිබෙනවා මෙගා රූකඩ නාටක තුළින්. රාමාසීතා, සාලිය අශෝකමාලා, අම්මයි තාත්තයි, දුවයි පුතයි, ආච්චියි සීයයි, මුණුපුරයි මිණිපිරියයි, නැන්දයි මාමයි, අක්කයි මල්ලියි, නෑනයි මස්සිනයි, ලේලියි නැන්දම්මයි ආදි ජනප්‍රිය මෙගා රූකඩ රැසක් ඔබ වෙත රැගෙන ආ ලංකාවේ අංක එකේ, එකම රූකඩ නාලිකාව අපි. එම කීර්තිය ඔබ තවදුරටත් ආරක්ෂා වන පරිද්දෙන් වැඩ කටයුතු කරන්න ඕන. මොකද රූකඩ ලෙස නළුවන් යොදා ගැනීම කියලා කියන්නේ, අප ආයතනය තුළ ඇති නිර්මාණාත්මක රහසක්. එය කිසිම ආකාරයකින් හෙළිදරව් වන අයුරට රංගනය කිරීම හෝ එම රහස බාහිරට නිකුත් නොකිරීමට ඔබ අනිවාර්යයෙන්ම වගබලා ගතයුතු වෙනවා. යම් හෙයකින් මෙම පොරොන්දුව බිඳුණහොත් රුපියල් බිලියන දහසක වන්දියක් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ඔබ යටත් වෙනවා. ඔබගේ රංගනය සඳහා සියලු පහසුකම් සහිතව රුපියල් හැත්තෑ පහක දෛනික වැටුපකින් සංග්‍රහ කිරිමට බලාපොරොත්තු වෙනවා. ඔව්, මේ වනවිටත්, අපේ වැඩසටහන සජීවීව විකාශය කිරීමට කාලය එළඹගෙන එනවා. මම එහි අධ්‍යක්ෂ වශයෙන් ඔබ සැමට සුබ පතනවා.

(සංගීතය)

(මද්දල් හඬ)
නිිවේදක- "පෙම්වතියයි පෙම්වතයි". නිෂ්පාදනය- පපට් දර්ශන් රූපවාහිනි සේවය. රචනය- සූකිරිවංශ වැලිගම, කැමරාකරණය- මනෝසේන බොරළුවත්ත. රංගනය- ගෙගරි ජේසන් සමග නුවනා ගම්සර. අධ්‍යක්ෂණය- ස්වේතදාස පටුහේන. අද ඔබ හමුවට අප ගෙන එන්නේ, පන්සිය පනස් පස් වන කොටස.
(මද්දල් හඬ)
(සංගීතය)

නුවනා- අයියා, ඔබ මා අතහැර කිනම් රාජ්‍යයකට යන්නද මේ සූදානම් වන්නේ අයියා?

ගෙගරි- ඔබ මා සර්වාංගයම ශෝකයට පත් කළා නැගෙණිය. අපගේ මේ ප්‍රේමාන්විතය මල්ඵල ගැන්වීමට බාධා රැසක් පැමිණ ඇති බව පෙනෙනවා නැගෙණිය. අන්න එම තත්ත්වය නිසා මා සන්තාපයට පත්වෙලයි ඉන්නෙ නැගෙණිය.

නුවනා- ඇයි අයියණ්ඩිය ඔබ ඔවැනි අවකැපෙන බස් දොඩන්නේ. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් අපට ආශිර්වාද කරනවා නිසැකයි අයියණ්ඩිය.

ගෙගරි- එහෙත් කෙතරම් කාලයක් අප බලා සිටිය යුත්තේ ද නැගෙණිය?

නුවනා- මේ සංසාරයේ මා පතාගෙන ආ ස්වාමියා ඔබයි. ඔබ පතාගෙන ආ බිරිඳ මමයි. අපගේ ප්‍රේමයට අවහිර කිරීමට කිසිදු වන මෘගයෙකුට හෝ අබ මලක ඉඩක් නෑ අයියණ්ඩිය.

ගෙගරි- එසේනම් මෙතරම් බාධාවන් රැසක් අප කෙරෙහි හඹා එන්නේ ඇයිද කියා මාගේ චෛතසිකය තැවුලෙන් දැවෙනවා නැගෙණිය.

නුවනා- බලන්න, සොබා දහම අපට ආශිර්වාද කරන අපූරුව අයියණ්ඩිය. අර, ගස්වල මල් පිපී පවතින්නේ අපගේ ප්‍රේමය නිසයි. අහසේ ඉර පායන්නේ අපගේ ප්‍රේමය නිසයි. කුරුල්ලන් කිචි බිචි ගයන්නේ අපගේ ප්‍රේමය නිසයි.

ගෙගරි- ඔව්, ඇත්තමයි නැගෙණිය.

නුවනා- ඔව්, අයියණ්ඩිය ඔව්. අපි ඈත වනාන්තරයට ගොස් ඵලවැල නෙළා අනුභව කොට, අපගේ ප්‍රේමාලිංගනයේ යෙදෙමු අයියණ්ඩිය.

ගෙගරි- ඔව්, මේ කුරිරු මිනිසුන්ගෙන් අපි ඈතට යමු නැගෙණිය.
(මද්දල් හඬ)

(සංගීතය)

නුවනා- අදට, අපි පපට්දර්ශන් සේවයේ වැඩට ඇවිල්ලා, හරියටම අවුරුද්දක් ගතවුණා.

ගෙගරි- හ්ම්, අද ඊයේ වගේ.

නුවනා- මං නම් හිතුවේ නෑ, කවදාවත් මාව මේකට තේරී පත්වෙයි කියලා.

ගෙගරි- ඒත්, මට නම් හොඳ විශ්වාසයක් තිබුණා.

නුවනා- අදට අපි වැඩසටහන් තුන්සිය හැට පහක් කළා. මට දැන් මගතොට යනකොටත්, ගෙදර ඉන්නකොටත්, රූකඩ විධිහටයි ප්‍රතිචාර දැක්වෙන්නෙ ඉබේටම.

ගෙගරි- පරිස්සමෙන්, මේ රහස හෙළි කරන්නෙ නැති බවට, අපි පොරොන්දු පත්‍රයක් අත්සන් කරලා තියෙනවා.

නුවනා- අපි රූකඩ විධිහට රඟපෑවට, කිසිම කෙනෙක් අතර අපේ සැබෑ මුහුණු ජනප්‍රිය නෑ.

ගෙගරි- ඔය තත්ත්වය මමත් නිතරම කල්පනා කරන ප්‍රශ්නයක්.

නුවනා- අපිට බැරිද, සැබෑ චරිත විධියට පෙනී සිටින්න. එතකොට හොඳ ජනප්‍රියතාවයක් අපට ලබා ගන්න පුළුවන්.

ගෙගරි- අපි රඟන රූකඩ පමණයි හැමදාටම. ඒක තමයි ගිවිසුම.

(සංගීතය)

ගෙගරි- අයුබෝවන්ඩ ස්වේතදාස අධ්‍යක්ෂ මහතා.

ස්වේතදාස- ඔව්, මොකක් හරි ප්‍රශ්නයක්ද? කිසිම ප්‍රශ්නයකට කිසිම ඉඩක් නෑ.

ගෙගරි- නෑ මේ...

ස්වේතදාස- (බාධා) පඩි වැඩි කරන්න කියලද? එහෙමත් නැත්නම් වැඩ කරන කාලය අඩු කරන්න කියලද? එහෙමත් නැත්නම් වෙනත් වරප්‍රසාදයක් ද? මේ කිසිම දෙයක් මොනම හේතුවක් නිසාවත් උදාවෙන්නෙ නෑ. මේකෙ පොරොන්දු පත්‍රයක් සඳහා අත්සන් තබා තමයි, අපි වැඩ ආරම්භ කළේ.

ගෙගරි- එහෙම දෙයක් නෙමේ.

ස්වේතදාස- එහෙනම් කොහොම දෙයක්ද?

ගෙගරි- මං යෝජනා කරන්න හදන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.

ස්වේතදාස- කියනවා ඉතින්. මට අමාරුයි වැඩි කාලයක් දෙන්න.

ගෙගරි- මේ රූකඩ මෙගා නාට්‍ය මාලාවෙ අපි රඟ පාන්නෙ රූකඩ විධිහට.

ස්වේතදාස- ඔව්.

ගෙගරි- මං යෝජනා කරන්නෙ අපිට බැරිද කියලා, නළුවො විධිහට පෙනී හිටලා මේ රංගනය කරගෙන යන්න.

ස්වේතදාස- අපි මේ වැඩසටහන කරගෙන යන්නෙ පරම්පරා, දශක ගාණක් පුරා. මේකෙ අන්තර්ගතය වෙනස් කරන්න හීනෙන්වත් හිතන්න එපා. මේක හදලා තියෙන්නෙ අනුග්‍රාහක භවතුන්ගෙ අවශ්‍යතාවයට. ඒ වගේම හොඳම ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් විධියට.

ගෙගරි- මං කියන යෝජනාවෙන්, නිෂ්පාදන වියදම හරියට අඩක් ඉතිරි කර ගන්න පුළුවන්.

ස්වේතදාස- ඒ කොහොමද?

ගෙගරි- අංග රචනයට යන වියදම, ඇඳුම් සහ පසුතලවලට යන වියදම, කැමරාකරණයට යන වියදම, කපා හරින්න පුළුවන්.

ස්වේතදාස- වියදම කපා හරින ක්‍රමවේදයක් නම්, අපිට හිතා බලන්න පුළුවන්. හරි, කියනවා ඔය ක්‍රමය. කොහොමද ඔය ක්‍රමය ක්‍රියාවට නංවන්නෙ?

ගෙගරි- ඒක ලොකු වැඩපිළිවෙළක්.

ස්වේතදාස- ලොකු වැඩපිළිවෙළක් නම්, කථා අනවශ්‍යයි.

ගෙගරි- මං අදහස් කළේ, මේක දීර්ඝව සාකච්ඡා කළ යුතුයි කියලා.

ස්වේතදාස- කොයි තරම් දීර්ඝවද?

ගෙගරි- මං අදහස් කරන්නෙ මේක සවිස්තරාත්මකව කථා කළ යුතුයි කියලා.

ස්වේතදාස- මට කෙටියෙන් කියනවා. මං කැමති නෑ වැල්වටාරම්වලට.

ගෙගරි- හොඳමයි, හොඳමයි.

ස්වේතදාස- ඉතින්, කියනවා.

ගෙගරි- මෙහෙමයි, අද ඔබතුමා මේ රූකඩ මෙගා නාට්‍යවලියෙ පිටපත් රචකයින්ට විශාල මුදලක් වැය කරනවා. කැමරා ශිල්පීන්ට අනෙකුත් තාක්ෂණික ශිල්පීන්ට වැටුප් ගෙවනවා.

ස්වේතදාස- ඔව් මිනිහො. මේවා මං දන්න දේවල්නෙ.

ගෙගරි- මේ වැඩෙන් පුළුවන් මේ සියලු වියදම් කපා හරින්න.

ස්වේතදාස- ඉතින්, තටමන්නෙ නැතුව කියනවකො, මිනිහො.

ගෙගරි- මේක පැහැදිලි කරන්න කාලයක් මට අවශ්‍යයි. මං කියන විස්තරය, ඔබතුමා අසා සිටිනවා නම් මඳක්, මම සතුටුයි.

ස්වේතදාස- හොඳයි, හොඳයි.

ගෙගරි- මෙහෙමයි, අද තියෙන නූතන ඩිජිටල් තාක්ෂණය අපි භාවිතයට ගන්නවා. අන්තර්ජාලය තාක්ෂණය අපි භාවිතයට ගන්නවා. ඒ ඔස්සේ අපිට පුළුවන්, මිල අධික කැමරා, විදුලි ආලෝක උපාංග, මයික්‍රෆෝන, සංස්කරණ උපාංග, ආදි සියලුම තාක්ෂණික ආම්පන්න විකුණලා දාන්න. වෙන්දේසි කරන්න.

ස්වේතදාස- එතකොට මේ වැඩසටහන පවත්වාගෙන යන්නෙ අහවල් එකෙන්ද?

ගෙගරි- වෙබ්කැම් එකක් තිබුණම ප්‍රමාණවත්. අපිට පුළුවන් ලාභදායි වෙබ්කැම් මිලදී ගන්න වෙළඳෙපළෙන්. එම වෙබ්කැම් ඊට පස්සෙ අපේ නළු නිළි කණ්ඩායමේ ගෙවල්වල සවි කරනවා. අපේ නළුවන් ගෙදරදොරේ ඉඳගෙන තමන්ට කැමති කටයුත්තක් කථා බහක් කරනවා. අපි ඒවා වෙබ් කැම් හරහා අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන, විසුරුවා හරිනවා. ප්‍රධාන පාලක මැදිරියේ ඉඳගෙන නළු නිළියන්ගෙ ගෙදරදොර හැසිරීම්, කථාබහ විකාශය කරන්න, එක පුද්ගලයෙක් සිටියම ඇති. මේකෙන් පිටපත් රචනා, අංගරචනා, කැමරා, වස්ත්‍රාභරණ හා පසුතල ආදි, හැම වියදමක්ම කපා හරිමින් විශාල ඉතිරියක් ළඟාකර ගන්න පුළුවන්.

ස්වේතදාස- මසුරන් වටින අදහසක්නෙ. තමුසෙ මසුරන් වටින මිනිහෙක්නෙ. කතා දෙකක් නෑ. මේ අදහස ක්‍රියාත්මක කරමු.

(සංගීතය)

සූකිරිවංශ- එතකොට උඹ මාවත් මේ පපට් දර්ශන් සේවයෙන් ඉවත් කරනවා.

ස්වේතදාස- පරිණාමය වෙනකොට අනවශ්‍ය ඉන්ද්‍රියන් ශරීරයෙන් ශේෂ වෙනවා. අන්න ඒ වගේ, වැඩකට නැති හැම දෙයක්ම අපිට ඉවත් කරන්න වෙනවා. තවදුරටත් පිටපත් රචකයො, කැමරා ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන්, සහායක ශිල්පීන්, මේ කිසිම කෙනෙක් මට අවශ්‍ය නෑ. නළු නිළියො ටිකයි, වෙබ් කැම් එකයි තිබුණනම් මේ වැඩේ මට විතරක් තනියම කරගෙන යන්න පුළුවන්.

සූකිරිවංශ- ඒත්, උඹ හිතන්න එපා, අපි මේක ලෙහෙසියෙන් අතහරියි කියලා. අපි හැමෝම මේකට විරුද්ධව පෙළ ගැහෙනවා. හැම ශිල්පියෙක්ම උඹට විරුද්ධව නීිතිමය ක්‍රියා මාර්ග ගන්නවා. අපි ගාව තියෙනවා අත්සන් කරපු පොරොන්දු පත්‍රයක්.

ස්වේතදාස- ඕනම ක්‍රියා මාර්ගයක් ගනින්. හොඳයි බලමු කවුද දිනන්නෙ කියලා.

(සංගීතය)

නුවනා- මට නම් සැකයි සූකිරිවංශ මහත්තයො, අපිට අපේ විරෝධතාවය යථාර්ථයක් කරගන්න පුළුවන්ද කියලා?

සූකිරිවංශ- නුවනා, ස්වේතදාසට මේකෙ අධ්‍යක්ෂ ධුරය දරන්න නීත්‍යානූකූල කිසිම ලියවිල්ලක් නෑ. පරම්පරාවෙන් තමයි බලයෙ ඉන්නෙ.

නුවනා- අන්න ඒක තමයි මාත් ප්‍රශ්න කරන්නෙ? මිනිහට විශාල පරම්පරා බලයක් තියෙනවා. අපි කොහොමද ඒකට අභියෝග කරන්නෙ?

සූකිරිවංශ- අපිට තියෙනවා, මේකෙ සේවයට බඳවා ගැනීම සම්බන්ධ ගිවිසුම් පත්‍රයක්. අපි සියල්ලොම ඒකෙ බලය පෙන්නලා, බලහත්කාරයෙන් මේකෙ පදිංචි වෙන්න ඕන. මිනිහව නිවාස අඩස්සියට ගන්න ඕන. ඊට පස්සෙ, පාලන බලය අතට ගන්න ඕන.

නුවනා- ඒත්, ප්‍රශ්නෙකට තියෙන්නෙ, ගෙගරි මිනිහට සියලු සහය දක්වනවා.

සූකිරිවංශ- අපි මිනිහව, අපේ පැත්තට බා ගන්න ඕන.

නුවනා- ඒ කොහොමද?

සූකිරිවංශ- අපි කියමු මිනිහට, පපට් දර්ශන් සෙවයේ අධ්‍යක්ෂක ධුරයට උසස් කරනවා කියලා.

නුවනා- අපි ඇත්තටම එහෙම දෙනවද?

සූකිරිවංශ- ඔව්, අපිට එහෙම කරන්න පුළුවන්. එහෙම විධිවිධාන තියෙනවා. ඒත්, මිනිහ අපිට අවනත වෙන්න ඕන.

(සංගීතය)

ස්වේතදාස- මට නම් හරිම සන්තෝෂයි, වැඩේ ඉතාම අපූරුයි. නිෂ්පාදන වියදම සියයට අනූ නවයක්ම දැන් අපිට ඉතුරුයි. ඒ වගේම, කැමරා, විදුලි ආලෝක උපකරණ, සංස්කරණ උපකරණ, සියල්ල හොඳ ගාණකට වෙන්දෙසියේ විකිනුණා. දශක ගනණාවක් පාවිච්වි කරලා මම නම් හිතුවේ නෑ, මේ තරම් මුදලකට ඔය උපකරණ අලෙවි කරන්න පුළුවන් වෙයි කියලා.

ගෙගරි- මටත් හරි සන්තෝෂයි. හරිම සන්තෝෂයි. සර්, මට තියෙනවා තවත් යෝජනාවත් කරන්න.

ස්වේතදාස- තමුසේ හරිම අපූරු මිනිහෙක්. හරිම අපූරු නුවණක් තියෙන චරිතයක්. කියනවා, කියනවා, තමුසෙ කියන ඕනම යෝජනාවක් මං දැන් ක්‍රියාත්මක කරනවා.

ගෙගරි- දැන්, අපට නිෂ්පාදන වියදමක් කියලා වැය වෙන්නෙ, නළුවන්ටයි, මාසික අන්තර්ජාල ගාස්තුවයි විතරයි.

ස්වේතදාස- (බාධා) ඒකත් අඩු කරන්න ක්‍රමයක් නම් හරිම අපූරුයි...

ගෙගරි- (බාධා) මං කියන්න හැදුවෙ, දැන් අපිට බැරිද නළු නිළියන්ට ගෙවන ගාස්තුව, තව ටිකක් වැඩි කරන්න. ඒක තමයි මගෙ යෝජනාව.

ස්වේතදාස- මොකක්? ගාස්තු වැඩි කරන්න.

ගෙගරි- ඔව්.

ස්වේතදාස- මෙතන තහනම් වචන කථා කරන්න එපා. මං හිතුවෙ නෑ. තමුසෙ කීයටවත් මේ වගේ යෝජනාවක් කරයි කියලා. හරිනම්, දැන් නළු නිළි ගාස්තුව හරි අඩකින් අඩු කරන්න ඕන. තමුසෙලා දැන් කරන්නෙ, ගෙදරට වෙලා තමුන්ගෙ වැඩක් පළක් කථාබහක්
කරගන්න එක. අපි ඒක විකාශය කරනවා.

ගෙගරි- ඒත් මේ සංකල්පය මගේ.

ස්වේතදාස- ඔන්න, ඔන්න තමුසෙ දැන් අයිතිවාසිකම් කථා කරන්න එනවා. තමුසෙලව මේ තැනට අරගෙන ආවෙ කවුද? දැන් ඒ මුල අමතක වේගෙන එන හැඩයි.

ගෙගරි- මං යෝජනා කරන්නෙ වැඩි ගාණක් නෙවෙයි, ඉතාම සුඟ මුදලක්. අපිට ඕන නම් ඊට පස්සෙ පුළුවන්, පැය විසි හතරම වුණත්, මේ මෙගා නාට්‍ය ජනතාවට පෙන්නන්න.

ස්වේතදාස- වචනයක් කථා කරන්න එපා. එක සතයක් වැඩි කරන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ. උඹලා ගිවිසුම් ප්‍රකාරව මේ ගාණට සේවයේ යෙදි සිටින්න අත්සන් තබලා තියෙනවා.

ගෙගරි- අනේ, එහෙමනම් කරන්න එපා ස්වේතදාස ඩිරෙක්ටර් මහත්තයො.

ස්වේතදාස- කොහොමද කරන්න ඕන. මෙතන වැඩි ඉල්ලීම් වලට ආපු හැමෝටම වුණේ, එක ඉරණමයි.ඒ තමයි ගෙදර යාම.

ගෙගරි- ඒත් මාව නම් එහෙම, ලේසියෙන් ගෙදර යවන්න ලැබෙන චරිතයක් නෙවී.

ස්වේතදාස- ම්, එහෙමද හිතාගෙන ඉන්නෙ.(පිස්ටල් එක එළියට ගන්න ශබ්දය) දැක්කද මේක. වැඩි සෙල්ලම් දාන්න ආවොත් මේකෙන් ඔළු කට්ට පසාරු කරගෙන එළොව යාම තමයි අවසන් ප්‍රතිඵලය.

ගෙගරි- ඔබතුමාට මම මෙතරම් ලාභයක් අත්පත් කරගන්න මාර්ගය පාදා දුන්නා. පපට් දර්ශන් නාලිකාව ප්‍රතිව්‍යුහගත කරන්න අදහස් ලබා දුන්නා. එහෙව් මට, මෙහෙම සලකන එක අසාධාරණයි.

ස්වේතදාස- මතක තියා ගනින්. සාධාරණය, අසාධාරණය යන වචන තමයි, මම ජීවිතේ අහන්න අකමැතිම වචන.

ගෙගරි- මම නඩු දානවා මගේ බුද්ධිමය සංකල්පවලට.

ස්වේතදාස- දැන් කී දෙනෙක් මාත් එක්ක හැප්පෙන්න ආවාද මිනිහො. අපි තමයි මේ රටේ නීිතිය අවනීතිය තීරණය කරන්නේ. ඒක අර්ථ දක්වන්නෙ. අපිත් එක්ක හැප්පෙන්න එනවා කියන්නෙ, කළුගලේ ඔළුව ගහ ගන්නවා වගේ කියලා හිතපන්.

ගෙගරි- හොඳයි බලමු කවුද දිනන්නෙ කියලා.

ස්වේතදාස- අන්න ඒක තමයි මටත් කියන්න තියෙන්නෙ. හොඳයි බලමු කවුද දිනන්නෙ කියලා.
(වෙඩි තබන හඬ, ගෙගරි කෑ ගසන හඬ.) ඔව්, ජයග්‍රහණය කාටද කියලා උඹට දැන් හොඳින් දැනෙනවා ඇති.(සිනාසේ)

(සංගීතය)

ස්වේතදාස- මට ආවා හොඳ අදහසක්. මං මේ නළුනිළි කණ්ඩායමත් සම්පූර්ණයෙන්ම විසුරුවා හරිනවා. ඔව්, උන් ඔක්කොම ඉවත් කරනවා. මට දැන් තේරෙනවා. මේ ඔක්කොම අනවශ්‍ය සේවාවන්. මුන් ඔක්කොම ඉවත් කළාම මුන්ට ගෙවන සියලු වැටුප්තල මට ඉතිරි වෙනවා. ඊට පස්සෙ මට කරන්න තියෙන හොඳම විකල්පය තමයි, මගතොට, කඩමණ්ඩිවල වෙබ් කැමරා කිහිපයක් රහසිගතව සවි කරන එක. එතකොට පුළුවන් ඔය පාරතොටේ මිනිසුන් කතාබස් කරමින් යන ඕපදූප, වාන්හෑලී පැය විසි හතර පුරාම නොමිලේම විකාශය කරන්න. මං ප්‍රචාරය කරනවා මේක නව ආකෘතියක පර්යේෂණාත්මක නාට්‍ය මාලාවක් කියලා. විචාරකයො එතකොට විශිෂ්ට අර්ථ කථන දක්වමින් පට්ට ගසාවී. අනිවාර්යයයෙන් සම්මානයටත් බඳුන් වෙයි. මට හොඳ විශ්වාසයක් තියෙනවා, මොනවා විකාශය කළත් අද කට බලියගෙන බලන්න, ආස්වාද කරන්න මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා. අද මිනිස්සු නිර්වින්දනය වෙලා අපේම වාසනාවට. බොර දියේ මාළු බාන්න, මේ තරම් හොඳ කාලයක් වෙන කොයින්ද?
(හඬින් සිනාසේ)

(අවසන් සංගීතය)

[-නිහොන් සැප ලැබේවා (රේඩියෝ නාට්‍ය- 2012) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails