Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අඬුව" තියා ගෙන අත පුච්චා ගැනීමේ දී කළ යුත්තේ ගින්න නිවා දැමීම ද, නැතහොත් අඬුව ප්‍රයෝජනයට ගැනීම ද? දියුණු තොරතුරු තාක්ෂණ මෙවලමක් වන ෆේස්බුක්, සිය පරිශීලකයන් සඳහා නිසි ආරක්ෂණ ක්‍රම වේදයන් සලසා ඇති බව බොහෝ දෙනෙකු දන්නේ නැත. ඉදින් ෆේස්බුක් 'අඬුව' සපයා තිබේ. අතත් පුච්චා ගෙන මදිවාට සිය දිවිත් හානි කරගැනීමේ මුග්ධකමට පිළියම ෆේස්බුක් තහනම නොව 'අඬුව' නිසි ලෙස යොදාගැනීමට ඉගෙන ගැනීමයි.ඒ සම්බන්ධයෙන් සුවිසල් මෙහෙයක් ඉටු කළ හැක්කේ ජනතාව වෙත දැනුම සහ ප්‍රවෘත්ති ගෙන යා හැකි වාහකයා වන මාධ්‍ය වලටම ය. නිෂ්ප්‍රයෝජනවත් වැඩසටහන් ප්‍රචාරය කරමින්, පළ කරමින් ගුවන් කාලය සහ කරදාසි වෙළෙඳාම් කරමින් ම ඉන්නවාට වඩා සමාජය දැනුවත් කළ යුතු වැඩසටහන් නිතර නිතර ප්‍රචාරය කිරීම, පළ කිරීම පිළිබඳව ආයතන ප්‍රධානීන් සිතිය යුතුව ඇත. සමාජයට තාක්ෂණයේ සුනිසි භාවිතාව පිළිබඳව දැනුම බෙදා හැරීම තුළින් සියදිවි නසා ගැනීම් ද, රැවටීම් ද අඩු කරගත හැකිය. එමගින්, නැවත නැවත අලෙවි කළ හැකි "මළ මිනී" සහ "ගොසිප්" උත්පාදනය නොවන නිසා මාධ්‍ය එබඳු පියවරක් ගැනීමට පෙළඹේදැයි අපි නොදනිමු.

අද වන විට අන්තර්ජාලය යනු ලෝකය හා වඩා සමීපව කටයුතු කිරීමට ඇති මාර්ගය බව අමුතුවෙන් කිව යුතු නැත. පරිගණක තිරය මත ඔබේ ලෝකය දිග හැරෙයි. එහි, ඔබට අවැසි දේ ද, අවැසි නොවන දේ ද වෙයි. වඩා හොඳ දේ ද, වඩා නරක දේ ද වෙයි. ඒවා තෝරා බේරා ගන්නා ආකාරය සහ අනවශ්‍ය දේ බැහැර කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිතර නිතර හඳුන්වා දීම අද දවසේ සිදු විය යුතු ම ය. කළ යුත්තේ, අත පුලුස්සා නොගැනීම සඳහා අඬුව භාවිතා කළ හැකි නිසි ක්‍රමය කියා දීම ය. විශේෂයෙන් රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා සහ සියලු පුවත්පත් මෙන්ම තාක්ෂණික දැනුම බෙදා හදා දෙන වෙබ් අඩවිවලට ද මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ හැකිය.

දවසේ ප්‍රධාන වේලාවන් හි (prime time) අඩුම වශයෙන් මිනිත්තු දෙක තුනක කෙටි වැඩසටහනක් ප්‍රචාරය කිරීමට කිසියම් හෝ රූපවාහිනී නාලිකාවකට බැරි යැයි සිතන්නට බැරි ය. (ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා සිරස මෙබඳු ඉතාම කෙටි වැඩසටහනක් කළ බවක් මතකය.) චැරිටි කිරීමට නොහැකි නම් එකී ගුවන් කාලය/ විකාශන කාලය/ කරදාසි ඉඩකඩ සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගැනීමත් අසීරු නොවනු ඇත. මේ පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ සම්පත් දායකත්වය ලබා ගැනීම කළ යුතුය. උදාහරණයකට තොරතුරු තාක්ෂණ විෂයය මෙන්ම මාධ්‍ය හැසිරවීමෙහි ද දස්කම් දක්වන නාලක ගුණවර්ධන මහතා වැනි අයකුගේ දායකත්වය ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත.

කළ යුතු වන්නේ ෆේස්බුක් තහනම් කිරීමට පාරම්බෑම නොව, එබඳු දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් පෙරමුණ ගැනීමය. එමෙන්ම සියලු අධ්‍යාපන නිළධාරීන් සහ ගුරුවරුන් එකතු කර ප්‍රාදේශීය මට්ටමෙන් වැඩ සටහන් දියත් කිරීමය.

ලෝකය සමඟ ගනුදෙනු කිරීමේ ක්‍රමය නිසියාකාරව ලබාදීම තුළින් ශ්‍රී ලාංකික දරුවන්ට ද මීට වඩා යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමේ සම්බන්ධතා විවර වෙනු ඒකාන්ත ය. අප නව ක්‍රම නොදන්නා නිසාවෙන් හෝ අපට නව ලෝකය තේරුම් ගැනීමට නොහැකි නිසාවෙන් මීළඟ පරම්පරාවට ඒ ලෝකය අහිමි කිරීම සාධාරණ නොවේ. කළ යුතු එකම දෙය දැනුම බෙදා දීම පමණි. තාක්ෂණය යනු අනාගත ලෝකය බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට අපට සිදු වෙයි. එහිදී පුද්ගලිකත්වය තව දුරටත් වලංගු නොවන්නට ඇති ඉඩකඩ පිළිබඳවත්, තරමකට හෝ පුද්ගලික භාවය ආරක්ෂා කරගත හැකි ක්‍රම පිළිබඳවත් වටහා දීමෙන් අපට අසන්නට ලැබෙන කණගාටුදායක සිදුවීම් වලින් බේරීමට හැකි වනු ඇත.

"ෆේස්බුක්" යන වචනය දෙස පවා බොහෝ දෙනා බලන්නේ වැරදි අදහසිනි. "ෆේස්බුක්" හි ඇති වැරැද්දක් නැත. එහිදී ඔබට අවශ්‍ය ආකාරයට සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය කරන බොහෝ ක්‍රමවේදයන් ඇත. ඒවා ඔබට අවශ්‍ය ආකාරයට පාවිච්චි කළ හැකිය. සකසා ගත හැකිය. බොහෝ සීමා මායිම් සමඟ කටයුතු කළ හැකිය. එහෙත් වැරැද්ද ඇත්තේ ඒවා භාවිතාවෙහි ය. නැතහොත් භාවිතා කරන ආකාරයෙහි ය. ඇත්තෙන්ම වරද ඇත්තේ පුද්ගලයා අත ය.

මෙවලම නිසි ලෙස භාවිතාවට ගන්නේ නම්, ඔබට අලුත් ලෝකයක් දැක ගැනීමට, ලෝකයේ නව තොරතුරු ලබා ගැනීමට හෙවත් ඔබේ දැනුම වර්ධනය කර ගැනීමට, ඔබේ නිර්මාණ සහ අදහස් බෙදා හදා ගැනීමට මෙන්ම ඔබෙන් දුරස්ව සිටින්නවුන් සමඟ සමීප වීමට ද ඇති පහසුම මාර්ගය වී ඇත්තේ අන්තර්ජාලයයි. මුළු ලෝකයම සමඟ එක මොහොතින් සම්බන්ධව, ඔබට අවශ්‍ය දේ ඔවුනොවුන් හා බෙදා ගත හැකි ය. විශිෂ්ට ගනයේ චිත්‍රපට, ගීත, පොත්පත් වැනි විශ්ව සාහිත්‍ය ද, දේශපාලන තොරතුරු ද, ආගමික හෝ සෞඛ්‍ය ආදී තොරතුරු ද එක සැණෙකින් සොයා ගැනීමට ඔබට හැකි ය. ඔබ නිවැරදි අයුරින්,(හිතකර ලෙස) අන්තර්ජාලය හසුරුවන්නට දන්නේ නම් මුළු ලෝකය ම ඇත්තේ ඔබේ පරිගණක තිරයෙහි ය.

ෆේස්බුක් ආරක්ෂණය පිළිබඳ ඉතාම මූලික කරුණු කිහිපයක් පහත දක්වමු.

1. ඔබ මිතුරන් එකතු (add) කර ගැනීමේදී, ඔවුන්ගේ ප්‍රොෆයිලයට ගොස් ඔවුන් ගැන සොයා බලන්න. ඔබේ ඇසුරට අවශ්‍ය යැයි හැඟේ නම් පමණක් එකතු (add) කර ගන්න.

2. ඔබගේ සියලු දත්තයන්, ඔබ විවෘත කළ යුත්තේ කාටදැයි තෝරා ගැනීමට අවශ්‍ය මෙවලම් ඕනෑතරම් එහි ඇත. කළ යුත්තේ ඒවා නිසි අයුරින් ඇතුළත් කිරීම පමණි.

ඔබේ ගිණුමෙහි ඔබට අයත් දෑ,
- ඔබට පමණක් දැකගත හැකි ලෙස
- ඔබ සළකුණු කරන අයට පමණක් දැක ගත හැකි ලෙස
- ඔබේ මිතුරු ලැයිස්තුවට එකතු කරගත් මිතුරන්ට පමණක් දැකගත හැකි ලෙස
- මුළු ලෝකයටම අවැසි නම් දැකගත හැකි ලෙස යනාදී වශයෙන් නිරාවරණය කළ හැක.

ඒ අයුරින් ඔබ බෙදා හදා ගන්නා අදහස්, විශේෂයෙන් පුද්ගලික ඡායාරූප සඳහා මෙම විධික්‍රම සකසා ගත යුතු ය. ඒවාට ඇති විනිවිදභාවය අවම කරගැනීමෙන් ඔබට සිදුවන කරදර ද, අඩු කරගත හැකිය.

එමෙන්ම, ඔබේ නිර්මාණ ද, ප්‍රවෘත්ති වැනි දෑ ද බෙදාහදා ගත යුතු වපසරිය තීරණය කරගන්නට ඔබට හැකිය.

මේ වීඩියෝ බලන්න-

i. How to Set Your Facebook Settings for Maximum Privacy
ii. How To Change Your Privacy Settings On Facebook- Facebook Tutorial
iii. Advanced Privacy Settings for Facebook

3. ඔබ සංවාද කරනු ලබන්නේ කා සමඟ දැයි, කිනම් මාතෘකා ඔස්සේ දැයි දෙවරක් සිතා බලන්න. ෆේස්බුක් වැනි සමාජ ජාලා තුළ විවිධ කණ්ඩායම් සියදහස් ගණනක් ඔබට දැකගත හැකිය. ඔවුන්ගේ ඇරයුම් ද ඔබට නිතර නිතර ලැබෙනු ඇත. ඒවාට ලයික් (Like) දැමීමේදී ද පරිස්සම් වීමට ඔබ වගබලා ගත යුතු ය.

4. බොහෝ විට ඉතා හොඳ චිත්‍රපට, නාට්‍යය ඇතුළත් වීඩියෝ පට ද, නිරුවත් ලිංගික දර්ශන ඇතුළක් වීඩියෝ පට ද ඔබේ මිතුරන් ෂෙයාර් (share) කර තිබෙනවා වන්නට පුළුවන. බොහෝ විට ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට නැරඹීමෙන් පසුව සිදුවන්නේ, ඔබ නොදැනුවත්වම ඔබේ නමින්, ඔබේ ගිණුමෙන් එම වීඩියෝ පටය ඔබේ මිතුරන් අතරට ෂෙයාර්(Share) වීමයි. නැතහොත් ඔබේ වෝල් එකේ ඒවා අනිත් අයට දකින්නට ලැබීමයි. ඒවා මඟහැර යාමට තරම් ඔබ ඉවසිලිවන්ත සහ බුද්ධිමත් වීම හැර වෙනත් කළහැකි දෙයක් නැත.

5. සමහර සම්බන්ධීකරණ වෙබ් ලිපිනයන්(Links) වලට පිවිසීමේදී (Click කිරීමේදී) ද මඳක් සිතා බලන්න. බොහෝ විට ඒවා වයිරස්වාහකයින් විය හැකිය. එවිට ඔබේ පරිගණකය තුළ ඇති සියලු දත්ත අහිමි වීම හෝ පරිගණකය ක්‍රියා කරනු ලබන වේගය මන්දගාමී විය හැකිය. එබැවින් වයිරස් වැනි දෑ වළක්වනු ලබන Virus Guard එකක් ප්‍රථමයෙන් ම ඔබේ පරිගණක පද්ධතියෙහි පිහිටුවා ගත යුතුය. ෆේස්බුක් හෝ ඊ-මේල් හරහා පැමිණෙන සම්බන්ධීකරණ වෙබ් ලිපින (links), ඔබට යම් තරමකට හෝ හඳුනා ගැනීමට නොහැකි නම්, (Spam) වඩා හොඳ ක්‍රමය වන්නේ ඒවාට සම්බන්ධ නොවී සිටීමයි. (එම links වලට click නොකර සිටීමයි.) බොහෝ විට ඒවා ඔබගේ මිතුරන්ගේ ගිණුම් වලින් (ඔබ හඳුනන අයගේම "නම්" වලින්) ම ඔබ වෙත ලැබීමට පුළුවන. ඒවාට click කිරීමේදී මඳක් සිතා බලන්න.

5. සංවාදයෙහි යෙදීම නොහොත් චැට් කිරීම

මේ වන විට එකිනෙකා අතර අනවශ්‍ය ප්‍රශ්න කන්දරාවක් ඇති වීමටත්, සමහරු සියදිවි හානි කරගැනීමටත් මූලිකව ඇත්තේ, දන්නා මෙන්ම නොදන්නා මිතුරන් සමඟ ද කතාවෙහි පැටැලීමය. අනවශ්‍ය කතාවෙහි පැටලීමය. චැට් කිරීමේදී ඉතා ඉක්මණින් මිතුරන් බවට ද, පෙම්වතුන් බවට ද පත් වී ටික කලකින් වෙන් වී, මුළු ලෝකයටම පෙනෙන්නට අනෙකාට මඩ ගැසීම ජීවිත ගණනාවකට ප්‍රශ්න ඇති වීමට තුඩු දී ඇත. මෙහිදී විශේෂයෙන් ඔබ සැළකිලිමත් විය යුතු ය. වඩා වාසිසහගත ක්‍රමය වන්නේ පොදු කරුණු හැරෙන්නට, ඔබේ පෞද්ගලික තොරතුරු පිළිබඳව චැට් නොකර සිටීමට වගබලා ගැනීමයි. අතිශයින් පෞද්ගලික ඡායාරූප වැනි දෑ ලබා නොදීමයි. වීඩියො චැට් වලදී අතිශයින් පරිස්සම් වීමයි. හැකිතරම්, නොදන්නා අය සමඟ වීචියෝ චැට් වලට යෑමේදී ඔබේ වීඩියෝව අක්‍රීයව තබා පිළිතුරු දෙන්න.

6. වසරකට කිහිප වතාවක්වත් ඔබේ ගිණුමට ඇතුළු වන මුර පදය (රහස් අංකය හෙවත් password එක) වෙනස් කරන්න. තවකෙකුට (hacker) ඔබේ ගිණුමට ඇතුළු නොවීම සඳහා හැකි තරම් වැටකඩොළු බැඳ තබන්න. ඔබ දී ඇති දත්ත වලට අනුව ඔබේ ඊ-මේලය සහ දුරකථන අංක ඔබට පමණක් පෙනෙන සේ දත්ත පද්ධතිය සකසා ගන්න.

මිත්‍රත්වය පදනම් වනුයේ විශ්වාසය මත වුව ද, විශ්වාසය රකින්නවුන් නැති යුගයක අනෙකා පිළිබඳ ඕනෑවට වඩා විශ්වාස කර ජීවිතය නැති කරගන්නවාට වඩා, මඳක් ඈතින් සිටීම කෝකටත් හොඳ යැයි, අපි විශ්වාස කරමු.

ඔබ තවත් මතක තබා ගත යුතු විශේෂ කරුණක් වන්නේ, ඔබට අනවශ්‍ය මිතුරන් එළවා දැමීමට ද, ඔබේ මිතුරු ලැයිස්තුව තුළ ඔවුන් සිර කර දැමීමට ද අවශ්‍ය කරනු ලබන බොත්තම් 'මාර්ක් සකර්බර්ග්' විසින් සපයා දී ඇති බවයි. එබැවින්, අවශ්‍ය කිසිවිටෙකත් අන්ෆ්‍රෙන්ඩ් (Unfriend) හෝ බ්ලොක් (block) යනුවෙන් ඇති බොත්තම් වලට ක්ලික් (click) කිරීමට මැළි නොවන්න.

දූ දරුවන් සහ වැඩිහිටියන් ද, මේ අන්තර්ජාල අවුල්ජාලා වලින් බේරාගත හැකි ක්‍රම වනුයේ ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම බව නැවතත් මතක් කර සිටිමු. අවශ්‍ය ක්‍රමවේදයන් සැකසීමට මූලික පියවර ගත යුත්තේ රජය සහ මාධ්‍යය යි. ළඟම සිටින ඔබේ අනෙකා දැනුවත් කිරීම ද කළ යුතුය.

ලෝකය තනි යායක් වී හමාර ය. ඔබට එයින් මිදෙන්නට පුළුවන් වන්නේ, ඔබ හුදෙකලාව දිවි ගෙවන්නට තීරණය කරන්නේ නම් පමණි. නොවන්නේ නම්, ඔබට අනිවාර්යයෙන් ම යාවත්කාලීන (update) වීමට සිදු වන්නේ ය.

අරුන්දතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails