Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාම්ප්‍රදායික ප්‍රොසීනියානු රාමුව තුළට සීමා නොවෙමින් රඟබිමේ ජවසම්පන්න විභවයන් මඟින් හැමවිටම වේදිකාව මත නැවුම් ආකෘතිකමය මානයන් සොයා යන නිර්මාණශීලී නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ධනංජය කරුණාරත්න අවිවාදයෙන් හඳුන්වා දිය හැකිය. 90 දශකයේදී කෙටිනාට්‍ය කලාව තුළ ප්‍රබෝධාත්මක ආකල්පයක් හා තේමාත්මක වපසරීන් රැසක් නිර්මාණය කරමින් සුවිශේෂී සලකුණක් සනිටුහන් කිරිමට ධනංජය සමත්විය. එහෙයින්ම අද දක්වාමත් ලාංකික කෙටිනාට්‍යකරුවන් වැඩි දෙනෙකුගේ පරමාදර්ශී නාට්‍යකරුවා බවට පත්වන්නේ ඔහුයි.

ධනංජය කරුණාරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය වූ "ඇසිඩ් වැස්ස" මංගල දර්ශනය පසුගිය 2වන දා ලයනල් වෙන්ඩ්ට් රංගශාලිකාවේ දී වේදිකාගත වූයේ අතුරු සිදුරු නැතිව පිරීගිය ප්‍රේක්ෂකාගාරයක් ද සමඟිනි. ලාංකික වේදිකා නාට්‍ය කලාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වනසුලු ඉඟියක් සපයන එවැනි ප්‍රේක්ෂකාගාරයක සිට, වෙනස් ආරක නාට්‍යයක් නැරඹීමෙන් ලත් උත්තේජනය නිසා ලියවෙන මේ කෙටි රචනය එකී නාට්‍යය පිළිබඳ දෘෂ්ටිවාදාත්මක කියැවීමක් සඳහා වන සංඥාර්ථවේදී එළැඹුමකි.

ඇසිඩ් වැස්ස සැබවින්ම වෙනස් ආරක් ගත් නාට්‍යයකි. එහි තේමාව වශයෙන් හඳුන්වා දී තිබුණේ "කෲරත්වයට එරෙහි කෲරත්වය, විනාශයට එරෙහි විනාශය, ආදරයට එරෙහි ආදරය" යන්නයි.

සාම්ප්‍රදායික විග්‍රහයට අනුව ආරම්භ - යත්න - ප්‍රප්ත්‍යාශා - නියාප්ති - ඵලාගම ආදී වශයෙන් කතා වින්‍යාසයේ සරල ගොඩනැංවීමක් මෙහි දක්නට ඇතත් නාට්‍යයේ අර්ථමය තලය පවතින්නේ ඉන් ඔබ්බෙහි වූ වෙනත් සංකීර්ණ දේශපාලන සන්දර්භයක් තුළය. එහෙයින් දෘෂ්ටිවාදාත්මක කියැවීමක් ලෙස වටහා නොගන්නෙකුට වේදිකාව මත නාට්‍යයක් හමුනොවන තරමට ඇසිඩ් වැස්ස සංකීර්ණ සංඥාර්ථමය කලාපයක් ආමන්ත්‍රණය කරන්නා වූ නිර්මාණයකි. සාමාන්‍යයෙන් අජිත් තිලකසේනගේ කෙටිකතාවක් කියවීමේදී සිදුවන්නාක් මෙන් මුල මැද අග සහිත කතාවක් හමුවීම වෙනුවට කතාවක් කීමේ විලාසයක් හමුවීමට සමාන අත්දැකීමකට මුහුණ පෑමට මෙහිදී නරඹන්නියට සිදුවේ.

ඇසිඩ් වැස්ස කතා වින්‍යාසය සැකෙවින් මෙසේය.

තිස්ස හා මායා යනු හැටපස් හැවිරිදි විවාහක යුවළකි. ඔවුන්ගේ ලිංගික ජිවිතය පිළිබඳ ගැටලුවක් මුල්කර ගනිමින් දෙදෙනා අතර ඇතිවන බහින්බස් වීමක් දුරදිග යාම නිසා, ක්ෂණික කෝපයකට පත්වන මායා එක්වරම තිස්සට පිහියකින් ඇන ඔහු මරණයට පත්කරයි.

ඉන්පසු විසල් නම් වූ විසිපස් හැවිරිදි කඩවසම් ප්‍රේමවන්තයෙකු ඇගේ කුටිය කරා පැමිණේ. ඔවුන් අතර පවතින දැඩි වයස් පරතරය නොතකමින් වුව ප්‍රේමයක් ඇති කරගැනීමට දෙදෙනාම උත්සහ ගන්නා නමුත් විසල්ගේ ලිංගික ලාලසාවන්ට තුඩු නොදෙන මායාගේ වියපත් ස්ත්‍රී ශරීරය දකින ඔහු මායා විපරීත සම්භෝගයක යොදා ගනියි. එයින් මායා මරණයට පත්වීමත් සමඟ කතාව අවසන් වේ.

බැලූ බැල්මට ගෘහස්ථ ලිංගික හිංසනය පිළිබඳ හෝ පුරුෂෝත්තමවාදී ලාලසාවන් තුළ කිඳී යන ස්ත්‍රී සමාජභාවය පිළිබඳ සංවේදී කතාවක් සේ පෙනී යා හැකි වුවත් දෘෂ්ටිමය වශයෙන් වෙනත් ආස්ථානයන් තුළ තබමින් අර්ථගැන්විය හැකි ගැඹුරු යටිපෙළ අරුත් කිහිපයක්ම මේ තුළ ඇති බව පෙනී යයි. එකී සංකීර්ණ අර්ථ තලයන් වඩාත් සමීපව පරාමර්ශනය කරමින් බලන විට මෑත කාලීන ලාංකික දේශපාලන හෙජමොනියේ හැසිරීම හා මහජන මතයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වූ දේශපාලනික සන්දර්භයක මෙය ස්ථානගත කළ හැකිය. ඒ ඔස්සේ බලන විට ඇසිඩ් වැස්ස සුපඨනීය දෘෂ්ටාන්ත කතාවක් බවට පත්වේ.

හැටපස් වසරක් පුරා අප විසින් අත්දකිමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යථාර්ථයක් සේ පෙනෙන ඝෝරතර මායාවක් නොවේද? ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදු කරන මේ සටකපට මායාවන් තුළ රැවටීමට ලක්වන මහජනතාවගේ සියලු උත්ප්‍රේක්ෂාවන් ඊනියා සිංහල බෞද්ධ ජාතිවාදී දෘෂ්ටිවාදයක් තුළ දියකර හැරීමට තරම් මේ මොහොතේ අප අත්දකිමින් සිටින දේශපාලන යථාර්ථය තක්කඩි නරුමවාදයක් දක්වා විතැන් වෙමින් පවතී. මෙහි ඇති වඩාත් ඛේදජනක තත්වය නම් එකී නරුම දෘෂ්ටිවාදයන්ගේ උපරි ව්‍යුහය අරක්ගෙන සිටින විනෝද සාධකය විසින් අපගේම වේදනාවන් හා විඳවීම්වල හඬ අපට නෑසෙන්නට සැලැස්වීමයි. ආශ්චර්යයේ කුම්භඝෝෂකයන් නඟන බෑඟිරි ගැසීම්වලින් හා භේරි නාදයන්ගෙන් අපට නෑසී යන එම වේදනාත්මක කෙඳිරිලිවලට අප වඩ වඩා සංවේදී විය යුතු මොහොතක ඇසිඩ් වැස්ස තුළින් එක්තරා දුරකට නාට්‍යකරුවා වෑයම් කරන්නේ ද ඒ වේදනාව නැවතත් අපට මතක් කරදීම විය හැකිය.



අද්‍යතන ඊනියා දේශපාලන චින්තනයන් හා ඊට අනුලෝමීය ප්‍රජා හැසිරීම් රටාවන් පිළිබඳ දේශපාලන සංස්කෘතික කලාපයට අයත් සංකථනයක් ඔස්සේ පසක් කරගත හැකි පැහැදිලි දේශපාලන යථාර්ථයක් ඇසිඩ් වැස්සෙහි යටිපෙළ තුළින් අර්ථ ගැන්වීමට නාට්‍යකරුවා සමත්ව ඇති බව පෙනේ. ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් ඔස්සේ විවරණය කෙරෙන ගෘහස්ථ ලිංගික හිංසනය පිළිබඳ අනුවේදනීය මතුපිට කතා වස්තුව අභිබවමින් වර්තමාන දේශපාලනය පිළිබඳ ගැඹුරු ඥානමීමාංසාත්මක එළැඹුමක් මතට නාට්‍යය සමපාත වන්නේ එලෙසිනි. එනම් පාලක - පාලිත දෙපාර්ශවය අතර පවත්නා සම්බන්ධතාව කුටුම්භයක සැමියා බිරිඳ අතර ඇතිවන අන්තර්සහසම්බන්ධතාවක් වෙත දෘෂ්ටාන්තමය ඇගයුම්ශීලීත්වයකින් යුතුව පරාරෝපණය කිරීමක් ලෙසිනි. ඒ අනුව එම සබඳතාවේ අතිශය තීරණාත්මක මෙන්ම කේන්ද්‍රීය සාධකය ලෙස ඉස්මතු වී පෙනෙන සැමියා- බිරිඳ අතර ලිංගික සම්බන්ධය: යටත්වීම, පාලනය, වින්දනය හා විඳවීම පිළිබඳ සංඥාර්ථමය ඉඟි සපයන සංකීර්ණ රූපකයක් ලෙසින් ද හඳුනාගත හැකිය.

දේශපාලනික රමණ පිටිය තුළ සියල්ල තීරණය කෙරෙන්නේ පාලකයා විසින් වන අතර එහිදී පාලිත පාර්ශවය වන මහජනතාව නෛසර්ගිකවම ස්ත්‍රී භූමිකාව අන්තරීකරණය කරගනී.

මායා- කොහොමද කරන්නෙ? කොතනද කරන්නෙ? මොනවිදියටද කරන්නෙ? කීයටද කරන්නෙ ඒ සේරම තීරණේ කරේ තමුසෙ

තිස්ස- ඒක තීරණේ කරන්ඩත් කවුරුහරි ඉන්ඩ එපෑ. අනික එහෙම දෙයක් තීරණේ කරන්ඩ තරං තමුසෙට කිසිම නිර්මාණශීලී හැකියාවක් තියනවද?

කාලාන්තරයක් තිස්සේ ඒකාකාරී දේශපාලන රමණයකින් පරිපීඩිතභාවයට පත්වන ජනතාවක් අවිධිමත් ලෙස හෝ දේශපාලනිකව පරිණත වීම යනු යටකී හෙජමොනික දෘෂ්ටිවාදයන්ගේ පැවැත්ම ප්‍රශ්නකාරී ආස්ථානයක් වෙත තල්ලු කර දැමීමකි. එහෙත් එවැනි පරිණතභාවයක් තමන් වෙත ඇති බව වින්දිත ප්‍රජාවවත් නොදැන සිටීමේ ඛේදය තුළ පවතින ක්‍රමය තවදුරටත් තහවුරු වුවත් ඔවුන් එම සවිඥානිකත්වය ලැබීමත් සමඟ සියල්ල අර්බුදයට ලක්විය හැකිය.

මායා- මං මෙච්චරකල් දැනගෙන හිටියෙ නෑනෙ මං ළඟ ආයුධයක් තිබුණු බව

කලාවේ දෘෂ්ටිවාදමය කාර්යභාරය පසක් කරමින් පවතින යථාර්ථයට ඔබ්බෙහි වූ අනාවක් පිළිබඳ පාරිකල්පනික ඉඟියක් ගෙනහැර පාන්නට ඇසිඩ් වැස්ස සමත් වේ. අප විසින් විඳවමින් සිටින්නා වූ මේ රැවටිලිකාර ධනේශ්වර දේශපාලන ක්‍රමය එක්තරා නිශ්චිත මොහොතක නිරනුමානවම අවසන් වීමට නියමිතය. නමුත් වඩා තීරණාත්මක වන්නේ ක්‍රමය අවසන් කිරීම හෝ එය සිදුකරන ආකාරය නොව ඉන්පසු අප විසින් තෝරාගත යුතු විකල්පය කවරක්ද යන්නයි. ඒ අර්ථයෙන් ලාංකික දේශපාලනයේ අනාගතය පිළිබඳ පැහැදිලිව ප්‍රනිශ්චය කළ නොහැකි වෙතත් තවදුරටත් එය ඉතා අඳුරු මාවතක් වෙත දිශානතව තිබෙන බව පමණක් කිව හැකිය.

ධනය, බලය, ජනප්‍රියත්වය තිබූ පමණින්ම දේශපාලන වේදිකා මතට නැඟීමට වලිකන නළුනිළියන්, නිරූපිකාවන්, ගණිකාවන්, චණ්ඩින්, ජාවාරම්කාරයන් හා පුයර බබ්බුන් හැර වෙනත් විකල්ප නැති සමාජයක් දේශපාලනිකව අරාජිකත්වයට පත්වීම කිසි ලෙසකින් හෝ නොවැළැක්විය හැකි දෙයකි. ලාංකික දේශපාලනයේ අනාගතය තීරණය කිරීමට නියමිතව ඇත්තේ සමාජදේශපාලන පරිඥානය අතින් බෙහෙවින්ම අඳබාල මෙවන් හීනබුද්ධිකයන් පිරිසක් අතින් වීම සැබවින්ම ඇසිඩ් වැස්සක් වැටීම බඳු විනාශයක් නොවන්නේද?

තිස්සගේ මරණින් පසුව මායාගේ ලෝකයට ඇතුළු වන විසල් අක්මුල් නැති චරිතයක් ලෙස නිරූපිතය. එක් අතකින් විසල් යනු තිස්සලාගේ පරම්පරාව විසින් මොට කරනු ලැබූ ඊළඟ පරපුරේ නියෝජනය බවද ඉඟි කෙරේ. මායා වෙත නැවුම් බලාපොරොත්තුවක් ළං කරදීමට හෝ ඇගේ ලාලසාවන් දැල්වීමට සමත් නොවන ඔහු මායාගෙන් තකතීරු ලෙස අසන්නේ "මට වෙන ගෑනියෙක් එක්ක බුදියගන්න පුළුවන්ද?" වැනි ප්‍රශ්නය.

දේශපාලනික අපරිණතභාවය පරිණත දේශපාලන අවබෝධයක් ලැබූ සමාජයකට හානිදායක වන්නේ කෙසේද? ඇසිඩ් වැස්ස නාට්‍යයේ අවසන් ජවනිකාවේ අර්ථය ඌණනය වන්නේ මෙකී ගැටලුව වෙතය. මායා වෙතින් බලාපොරොත්තුවන තාරුණ්‍යය ඈ වෙත නොමැති බව දකින විසල් ඇයව විපරීත සම්භෝගය පිණිස යොදාගනී. එය එතෙක් කලක් ඇය තිස්ස වෙතින් ලැබූ අතිශය වේදනාකාරී සම්භෝග ඉරියවුවම වීමද බෙහෙවින් උත්ප්‍රාසාත්මකය. ඒ වේදනාව මතින්ම මායා මරණයට පත්වීම දේශපාලන අවිඥානය විසින් පරිණත දේශපාලන ප්‍රජාවක් පරිසමාප්තියට පත්කිරීම පිළිබඳ ප්‍රබල ඉංගිතයක් සපයයි.

ඒ අනුව ඇසිඩ් වැස්ස පරිසමාප්තිමය සමෝධානයක් වෙතින් පළකරනු ලබන්නේ පවතින තත්වයට වඩා මතුවට ඇතිවන තත්වය වඩාත් භයානක විය හැකි බවය. පවතින ක්‍රමය යහපත් බව ඉන් කිසිසේත් නොකියවේ. සියලු ක්‍රියාදාමයන් අනිච්ඡානුගත වූ සන්දර්භයක් තුළ මේ අතිශය වේදනාත්මක, ඒකාකාරී, නීරස දේශපාලනමය රමණයේ වේදනාව අත්විඳිමින් වුව අපි තවමත් හුස්ම ගනිමින් සිටින්නෙමු. ඇසිඩ් වැස්සක තෙමීම තරම්ම විනාශකාරී වූ එම අත්දැකීම වෙනුවට අපට තෝරාගැනීමට ඉතිරිව ඇත්තේද ඊටත් වඩා භයානක ඇසිඩ් වැස්සක් වීම කෙතරම් නම් ආශ්චර්යයක්ද?

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails