Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කලාකරුවෙක් ලෙස තම සමකාලීන කලාකරුවන් පිළිබඳව ඔහු තරම් සිතා බැලූ කෙනෙක් සොයාගැනීමම දුෂ්කරය. සයිමන්ගේ ජන්ම දිනයට කවියක් ලියූ ඔහු සුනිලා මිය ගිය විට කදුළු සැලුවේත් කවියකිනි. එපමණක් නොව මැරෙන තුරුම කලාව වෙනුවෙන් කැප කළ හතා වෙනුවෙන් කවියක් ලිවීමට ද ඔහු අමතක කළේ නැත. සියල්ලන්ටම අමතකව ගිය ෂෙල්ටන් ආරච්චිගේ නම් වූ සොඳුරු මිනිසා පිළිබඳව ද ඔහුට අමතක වූයේ නැත. ෂෙල්ටන් මිය යෑමට පෙරාතුව ඔහු ෂෙල්ටන්ට ද කවියක් ලියා යැවුවේය. ඔහු වනාහී කිසිම කලාකරුවෙකු අමතක නොකළ සාහිත්‍යමය හිතුවක්කාරයෙකි.

ඔහු නම් මංජුල වෙඩිවර්ධනය.

එක්තරා අවස්ථාවක ඔහුගේ මෙම සාහිත්‍යමය කෘත ගුණ සැලකීම දේශපාලනමය මැදිහත් වීමක් දෙසට නැඹුරු වුණේය. එනම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල කවියා වන පුදුවෛගේ අතුරුදන් වීම පිළිබඳව එලිලාන්ගේ බිරිඳ උගත් පාඩම් කොමිසමට ලබාදුන් ප්‍රකාශය මුල් කරගෙන ඔහු ලියූ "පුදුමයක් නෑ පුදුවෛ" ලිපියයි. [කියවන්න: "පුදුමයක් නෑ පුදුවෛ" - නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය] නමුත් එයට පිළිතුරු ලිපියක් වරුණ රාජපක්ෂ මහතා ද ලියූ අතර එයට පිළිතුරක් නොදී මහා දේශපාලනිකමය නිහැඬියාවක් ඇති කරලමින් ඔහු නිහඩ වුණේය. අනතරුව මේ සටහන ලියවෙන මොහොත දක්වාම ඔහු ඒ පිළබදව කිසිවක්ම මාධ්‍යයට ප්‍රකාශ නොකළේය.


*****

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල කවියා වන පුදුවෛ ගේ අතුරුදන් වීම ගැන රජය නිහඩ පිළිවෙතක් ගෙන යන බව සඳහන් කරමින් ඔබ "පුදුමයක් නෑ පුදුවෛ" යන හෙඩිමෙන් යුතුව ලිපියක් අන්තර්ජාලයට මුදා හැරියා. එහිදී ඔබ සදහන් කළා ඔහු පිළිබදව හෙළිදරව්වක් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට කවියන් සහ ලේඛනයේ නිරත වන අය මූලිකත්වය ගෙන පෙත්සමක් ලබා දිය යුතු බව. ඉන් අනතුරුව පෙරටුගාමී පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වන වරුණ රාජපක්ෂ මහතා ඒ පිළිබදව ප්‍රවේශයක් ගැනීමට කැමතියි කියා ලිපියක් ජනරළ පුවත්පතට සැපයුවා. නමුත් ඔබ ඒ සම්බන්ධයෙන් කිසිම හඬ නැගීමක් ඉන් අනතුරුව සිදු කළේ නැහැ. මොකක්ද එහෙම වෙන්න හේතුව?

මම පුද්ගලයෙකු විදිහට, සමාන්තර කවියෙක්, සහෘදයෙක් විදිහට කළ මැදිහත්වීමට වරුණ රාජපක්ෂ මැදිහත් විය යුතුව තිබුණෙ දේශපාලන සංවිධානයක් නියෝජනය කරන නායකයෙක්ගෙ ප්‍රවේශයකින් මිස කවියකුගේ හෝ මාධ්‍යෙව්දියෙකුගේ ප්‍රවේශයකින් නෙවෙයි. වරුණ සම්බන්ධ මගේ කියවිමට අනුව, ඔහු අතීත ක්‍රියාකාරකම් ගැන පශ්චාත්තාප වන පසුකාලීනව හෝ ස්වයං අධ්‍යයනයක් ඇතුළෙ තමන්ගෙ හෘදය සාක්ෂිය හොයා පහදගත් දේශපාලන ක්‍රියාධරයෙක්.

පුදුවෛ අතුරුදහන් කිරීමට, අවධාරණයෙන් අහගන්න, අතුරුදහන් වීමට නෙවෙයි අතුරුදහන් කරවීමට, ආණ්ඩුවට අවශ්‍ය සමාජ මතවාදය කළමනාකරපු පක්ෂයක් ඇතුළෙ තමයි ඔහු හිටියෙ. දෙමළට ගහල කෙළවල දාන්න හාමුදාවට බැරි නම් අපි ගහන්නම් කියපු රතුහමුදාවෙ ඉඳල තමයි වරුණ කලින් ඉල්ලල විශ්‍රාම ගත්තෙ. සිංහල වීම නිසාම මගේ අත් වලත් ලේ තියෙනව තමයි. නමුත් වරුණ දන්නව තමන්ගෙ අත්වල ලේ විතරක් නෙවෙයි දෙමළගෙ ඇට මස් නහර බොකුබඩවැල්, මොළ කෑලි, පිපිරුණ හදවත්, පිත්තාශ, ආමාශ, අග්න්‍යාශ, උණ්ඩුකපුච්ච මේ ඔක්කොම තියෙනව කියල. තමන්ට කරගහන්න වෙලා තියෙන පව් කන්දරාව මතක් වෙන්කොට රෑට නින්ද යන්නෑ. මතක තියා ගන්න මං මේ කියන්නෙ තමන්ගෙ හෘදය සාක්ෂිය හොයා ගත්ත වරුණ ගැන මිසක්, හෘදය සාක්ෂයක් නැති සිංහයො, කැන්ගරුවො ගැන නෙවෙයි.

ඉතින් වරුණට සිද්ධ වෙනවා පුදුවෛට වෙලා තියෙන දේ සංවාදයකට ගන්න. සංවාද කරන්න තිබ්බ වෙනත් කෙනෙක් එක්ක නම්. දේශපාලන නායකයෙක් විදිහට කරන්න ඕනෙ ක්‍රියාමාර්ග ගන්න එක. පුදුවෛ ගැන විතරක් නෙවෙයි අනිත් දේශපාලන සිරකරුවන් ගැන. සංහාරය කරපු දෙමළ ප්‍රජාව ගැන, ජීවත් වෙලා ඉන්න දෙමළ ප්‍රජාව ගැන, දෙමළ නිජබිම ගැන, දෙමළ ජනතාව සතු ස්වයං තීරණ අයිතිය ගැන තම ස්ථාවරය පැහැදිලි කරමින් අදාළ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඉතින් එවන් වූ කෙනෙක් එක්ක මං සංවාද කරන්නෙ ඇයි?

අපිට හිතන්න සිද්ධ වෙලා තිබුණෙ මේ ව්‍යාජ ව්‍යාපාර වලින් දෙමළ මිනිහ ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා හිතන එක. නම් විදිහට දෙමළ නම් තියෙන සිංහල අය නෙවෙයි ඇත්ත දෙමළ මිනිහ. කෙටියෙන් කරුණු දෙකක් කියන්නම්.

එක, මේ ගැළවුම්කාරයන්ව විශ්වාස කරපු ලලිත්ට කූගන්ට මොකද වුණේ. ඔන්න ඕකයි මං මේ කියන්න හදන, සියල්ල මැද්දෙ තියෙන හෘදය සාක්ෂිය ගැන ප්‍රශ්නෙ. වරුණ නියෝජනය කරපු සංවිධනයේ අතුරු සංවිධානයක් වෙච්ච ‘සම අයිතිය ව්‍යාපාරය’ අරඹමින් රවීන්ද්‍ර මුදලිගේ කියනවා ‘අපි දෙමළ එක්ක එකතු වෙන්නෙ ආයෙ එල්ටීටීඊ එකක් බිහිවෙන එක නවත්තන්න' කියල. දැන් අපිට පැහැදිලියි අරමුණ. මේක දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන් එතකොට ඒක වරුණට දෙන උත්තරයක් වෙනව.

ඔබ අරගල කරන්නේ කාට එරෙහිවද?

මේ මොහොතේදී නම් පවතින රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව යි. අද වන විට එය ජුන්ටාවක් ඉක්මවා ගිය හිට්ලර් පන්නයේ ස්වභාවයක් තමයි උසුලන්නෙ. දේශපාලන ස්ථාවරයක් විදිහට, දෙමළ ජනතාව විතරක් නෙවෙයි සිංහල ජනතාව පවා මේ ජුන්ටාවට එරෙහිව පෙළ ගැසිය යුතුයි. ඉතිහාසය පුරා මීට විරුද්ධව අඛන්ඩ අරගලයක් නිරූපනය වුණේ දෙමළ විමුක්ති ව්‍යාපාරය තුළ විතරයි. විද්‍යානුකූල පදනමක් සහිත දේශපාලන ස්ථාවරයක් විදිහට මම මතවාදීව ඊට සහයෝගය පළකළ අයෙක්.

ඔබ මාක්ස්වාදියෙක්ද?

ලංකාව කියන සන්දර්භයේ මාක්ස්වාදියා යන්න ජාතිකවාදීන් විසින් තොරොම්බල් කරල තියෙන නිසා කවුරු හරි ‘ඔව් මම මාක්ස්වාදියෙක්’ කියල කියපු ගමන් හිනායන තත්වයක් තමයි තියෙන්නෙ. ඒ හින්දා මම මගේ භාවිතය ගැන කියන්නම්. ඉතිහාසය පුරා මෙන්ම මේ මොහොතේ දීත් මේ කියන ලංකාව කියන රටේ කේන්ද්‍රීයමය ප්‍රකාශන ‘ජාතික ගැටලුව’. ඒ සමබන්ධව මම මගේ ස්ථාවරය ප්‍රකාශ කළේ සහ ඒ කේන්ද්‍රීය ප්‍රශ්නය බරපතළ විදිහට සංවාදයට ලක්කරන්න, සක්‍රීයව මැදිහත් වෙන්න අරන් අවම වශයෙන් දශක එකහමාරකට වැඩියි. දෙමළ ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිළිගන්නව කියන්නෙම දේශපාලනික ස්ථාවරයක් මිස විශේෂ ලැදියාවක් නෙවෙයි. මේ එල්.ටී.ටී.ඊ. විරෝධී මාක්ස්වාදියො අවම වශයෙන් තිම්පු මූලධර්ම හෝ තිම්පු ප්‍රකාශනයවත් පිළිගන්නෑ. ඒක එල්ටීටීඊ ස්ථාවරය නෙවෙයි. අන්න ලිට්මස් පරීක්ෂාව වගේ මාක්ස්වාදියාව චෙක් වෙන තැන.

මං කෙටියෙන් මෙහෙම කියන්නම්, මට මාක්ස්වාදය කියන්නෙ සීතලට අඳින ජැකට් එකක් නෙමෙයි.

මංජුල වෙඩිවර්ධනට නිර්මාණාත්මක ලේඛනය තුළ තිබෙන අනන්‍යතාවය මොකක්ද?

මගේ අනන්‍යතාව ගැන විග්‍රහ කරගත යුත්තේ සහෘද සමාජයයි. මට කියන්න පුළුවන්, ඔව් මට එහෙම පිරිසක් ඉන්නවා. ඒ අය මගේ සාහිත්‍ය ගැන විශ්වාසයක් තියන් ඉන්නවා. ඒක විඳිනවා. විග්‍රහ කරගන්නවා. විවිධ නම් වලින් මට අමතනවා. මට බනිනවා. මට ආදරය කරනවා. ලිවීම ඇතුළෙ ඒ පිරිසට බොරු කරන්න මට උවමනාවක් නෑ. මං එහෙම කරන්නෑ. ඒ හින්දා මගේ පැත්තෙන් ගත්තොත් මං නිර්මාණකරණයෙදි ඒ සඳහා දැවැන්ත ශ්‍රමයක් දානවා. ඒක මට වත් හිතා ගන්න බෑ, එහෙම ධාරිතාවක් මා තුළ තියෙනවද කියල. මං මගේ වැඩේට අවංකයි. සමස්ථ කෘතිය ගැන විතරක් නෙවෙයි, හැම පරිච්ඡේදයක් ගැන විතරක් නෙවෙයි හැම වාක්‍යයක්ම මට වැදගත්. ඡේද ගණන් අත හරිමින් කියවන්න පුළුවන් දේවල් මම ලියන්නෑ. මං ඇයි මෙච්චරම මහන්සි වෙන්නෙ වගේ හැඟීමක් ආවත් ඒ හැඟීම පයින් පාගගෙන මං ලියනවා. හැමදාම මේක කොහොමත් අසනීපෙකින් කෙළවර වුණ මහන්සියක්. මේ මොහොතෙත් මං අත්දකිමින් ඉන්නෙ ඒ සුපුරුදු අත්දැකීම.

මම ප්‍රබන්ධකරණය කියන්නෙ ප්‍රබන්ධකරණයම මිස වෙන දෙයක් නෙවෙයි. මං කතා හොයාගෙන ඒවා ලියන්නෙක් නෙවෙයි. මගේ කතා තුළ ඉන්න චරිත මෙන්ම ඒ සිද්ධ වෙන සියල්ල සිද්ධ වෙන්නෙ මගේ පරිකලපනය ඇතුළෙ මිසක් තථ්‍ය ලෝකයේ නෙමෙයි. මං මගේ චරිත ප්‍රබන්ධයට අදාළ කාල වකවානු වල, අදාළ පසුබිම් තුළ පිහිටුවනවා. මේ තුළ ඇතැම් අත්දැකීම් නැතුවා නෙවෙයි, නිර්මාණ ආවේශය සිදු වෙන්නෙ රිද්දීම් සහ රිදවීම් ඇතුළෙ තමයි. ඒක ඇත්ත. නමුත් මට අනුව ප්‍රබන්ධයක් කියන්නෙ ප්‍රබන්ධකරුවා ගොඩනංවන අලුත් ලෝකයක්. ඒ අලුත් ලෝකය තමයි ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ තුළ තියෙන්නෙ. ‘සක්වල දඩයම’ තුළ තියෙන්නෙ. ‘නේරංජනේ ඉස්නානේ’ තුළ තියෙන්නෙ. මම හොයන්නෙ ඒ සාහිත්‍යය මාර්ගය. ‘බත්තලංගුණ්ඩුව‘ තුළත්, ‘මගේ ආදරණිය යක්ෂණී’ තුළත් මං හොයන්නෙ මේ මාර්ගය තුළ ඇති මගේ අනන්‍යතාව.

*****

බත්තලංගුණ්ඩුවේ මතකය ඔහුම අවදි කළ නිසා අපේ සංවාදයේ සයිබර් අවකාශය හරහා යක්ෂණිය ඇවිද යන්නට විය. ඇගේ රූ සපුවෙන් මොහොතකට මේ සංවාදය මට අමතකව ගිය ද ඈ, එනම් නේත්‍ර බිම්බාවගේ උත්ප්‍රාසාත්මක දේශපාලනික කියවීම මගේ මතකයට නැගුණි.

"ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න.උදරීය සුස්මනය පවා ඇසින් ගත නො හැකිය. සර්වබලධාරී සියල්ලන්ගේම ඇස් වැසූ ‘කිරි කෝපි’ උපන් ලපයක් එහි වම් පස සොදුරු කෙළවරක හුදෙකලාවේ නිමග්නව තිබුණි."
(-මගේ ආදරණීය යක්ෂණිය නවකතාවෙන්)


*****

බත්තලංගුණ්ඩුවෙන් පස්සෙ ඔබ ලියූ මගේ ආදරණීය යක්ෂණිය නම් වූ ඔබේ නවතම නවකතාව ලිවීමෙන් ඔබ බලාපොරොත්තු වුණේ එය සාහිත්‍යයමය කියවීමකට පමණක් සීමා කිරීමටද? නැතිනම් දෙමළ ජනයාට ලාංකේය භූමියට නීත්‍යානුකූල අයිතියක් ලබා දීමට ගත්ත සවිඥානික පියවරක්ද එය?

සාහිත්‍යය කියවීම කියන්නෙම චලනයක්. හෙළවීමක්. ඒ හෙළවීම සිද්ධ නොවෙන කෘති නිෂ්පාදනය කිරීමෙන් මානව සංහතියට සිද්ධවෙන කිසිම දෙයක් නෑ. ‘යක්ෂණී‘ නවකතාවේ ඈතම පරිච්ඡේදය තමයි ‘හුස්ම ගන්න බැරල්‘ කියන සිව්වැනි පරිච්ඡේදය. ඒකේ ප්‍රස්තුත බැරලය පිළිබඳ සංකල්පය මා තුළ පිළිසිඳ ගත්තෙ මින් වසර විස්සකට වඩා ඉහත දවසක ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමඟ කෙරුණ කණ්ඩායම් සාකච්ඡාවක් ඇතුළෙ. ඔහු ඒ වෙලාවෙ යෝජනා කළා මේ දේ දීර්ඝ ලියවිල්ලකට වුණත් සුදුසුයි කියලා. ඔහුට නම් මේක මතකවත් නැතුව ඇති. එතැන් සිට මා කරපු හැදෑරුම් වල සහ ගතකළ ජීවිතයේ ප්‍රබන්ධයකට අදාළව කරපු සුවිශේෂ උපුටා ගැනීම් වලින් තමයි යක්ෂණී ඉපදිලා තියෙන්නෙ. මේක ප්‍රබන්ධයක්. මහාවංශය වගේම ප්‍රබන්ධයක්. මේකෙ නීත්‍යානුකූල කිසි දෙයක් නෑ. කිසිදෙයකට නීත්‍යාකූලභාවයක් ලබා දීමේ අරමුණක් නෑ. නමුත් මං ප්‍රශ්ණ කරනවා කිසියම් කෙනෙක් ප්‍රබන්ධ කරපු දෙයක් ඉතිහාසය විදිහට ග්‍රන්ථාරූඩකරගත්තම වෙන ඇබැද්දිය.

ඒකයි මං කියන්නෙ ඉතිහාසය කියන්නෙ ම ප්‍රබන්ධයක් කියල. ඉතිහාසය කියන්නෙම කවන්ධයක් කියලා. තමන්ගෙ ජාතිය ගැන හීනමානයක් නැති මිනිස්සු දන්නවා මං ස්ථානගත කරන්නෙ මොකද්ද කියල. ඒකයි ඔවුන් කැළඹෙන්නැත්තෙ. අනෙකගෙ අයිතිය පිළිගන්න පුළුවන් වෙන්නෙ අන්න ඒ මිනිස්සුන්ට විතරයි.

දෙමළ ජනයාට ලාංකීය භූමියෙ තියෙන නීත්‍යානුකූල අයිතිය තහවුරු කරන්න මං වගේ මිනිහෙක් ප්‍රබන්ධ කතා ලියන්න ඕනි නෑ. ඔවුන්ට මේ පොළොවට තියෙන අයිතිය ඔවුන් ප්‍රකාශ කරල ඉවරයි. ඒක පිළිගන්න බැරි අන්තර්ජාතික වෙන්න හැදුවට ජාතික හීනමානයෙන් මිදෙන්න බැරි මිනිස්සුන්ට විතරයි.

*****

අපේ සංවාදය අවිඥානිකවම දැන් වෙනත් දෙසකට යොමු වෙමින් තිබේ. සයිබරීය සුසුමක් පිට කළ මම මගේ නොඇසිය යුතු ප්‍රශ්නය ඔහුගෙන් ඇසුවෙමි.

*****

දෙමළ ජනයාට ලාංකේය භූමියෙන් වෙනමම කොටසක් හිමි විය යුතුයි කියලා ඔබ හිතනවද?

දෙමළ ජනතාව වාසය කරන ඒ භූමිය ඔවුන්ගෙ පාරම්පරික නිජබිම. මූලිකවම එය පිළිගත යුතුයි. හමුදාව ලක්ෂ ගාණක් දාලා දස දහස් ගාණක් ඝාතනය කරවල, ඉතුරු වෙලා ඉන්න අයව ඔවුන්ගෙ ඉඩම් වලින් පවා එලවල, බලෙන් ඒ භූමිය රැක්කට, ඇත්ත වෙනස් කරන්න බෑ. රාජපක්ෂට කියන්න පුළුවන් නම් ගිරුවාපත්තුව අපේ, මේ සාටකේ තියෙන්නෙ අපේ පොළොවෙන් නෙළා ගත් කුරහන් කරලේ පාට කියල, ඇයි දෙමළ මිනිහට කියන්න බැරි මේ වන්නිය අපේ මේ මිරිස් කරලෙ තියෙන්නෙ අපේ ලේ වල පාට කියල?

මහා ජාතියෙ පීඩාවට එරෙහිව දෙමළ ජනතාව කියනව නම් අපිට මුං එක්ක එකට ඉන්න බෑ, අපිට ඕනෙ වෙන් වෙන්න කියල, ඒ පීඩාව ඓතිහාසිකව ගොඩනැංවුණු ඇත්ත පීඩාවක් කියල දන්න සහ එසේ වෙන් වෙන්නට ඇති අයිතිය දේශපාලනිකව පිළිගන්න කෙනෙක් හැටියට, මම ඔවුන්ගේ ඒ අයිතිය පිළිගන්නවා. ඔබ ඔය අධිනිශ්චය කරන්නට හදන ලාංකේය භූමිය කියන එක ඓතිහාසිකව ගත්තත්, දෙමළ නිජබිමේ සහ සිංහල නිජබිමේ ‍‍ඓක්‍යය මිස තනි ඒකකයක් නෙවෙයි. ඔබ ලංකාව කියලා හිතන් ඉන්න එකයි, මං දන්න ලංකාවයි එකක් නෙවෙයි දෙකක්. ලාංකේය භූමියෙන් කොටසක් ඔවුන්ට අයිති විය යුතුයි කියල ඔබ හිතනවද කියල මගෙන් ඔබ අහන ප්‍රශ්නයම පවා වැරදියි. කොටසක් නෙවෙයි ඒක දෙමළ මිනිහගේ පොළොව. මට ඒ ගැන හිතන්න දෙයක් නෑ. ඒක ඔවුන්ගෙ අයිතිය. ප්‍රශ්නය තියෙන්නෙ මම ඒ අයිතිය පිළිගන්නවද නැද්ද කියන එක විතරයි. ඉතාම පැහැදිලියි, මම ඒ අයිතිය පිළිගන්නවා.

*****

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය

(-මාතෘකාවක් නැති මාතෘ භූමිය)

එසේ ලියූ ඒ කවියාගෙන් එවන් ප්‍රශ්නයක් ඇසීම නිශ්ඵල බව ඔබට සිතෙනු ඇති. නමුත් වචන හරඹයකට වඩා යථාර්ථීය තලයක මේ නිර්ජාතිවාදී කවියාව සෘජු ලෙස මෙම සාකච්ඡාව තුළදී ස්ථාපිත කිරීමට මම සිතුවෙමි. එනිසාවෙන්ම තවත් එවැනිම ප්‍රශ්නයකින් දමා ගසා ඒ සටන්කාමී අතීතය ඔහුගෙන්ම නොදන්නවුන්ට අසා දැන ගැනීමට සැලැස්විය යුතු යැයි කියා මම ඊළඟට සිතුවෙමි.


*****

ජාතිවාදය ගැන කතා කිරීම ෆේමස් පොරක් වීමට තිබෙන පහසුම මාර්ගයක් නේද? ඔබ ගමන් කරන්නෙ ඒ පාරෙ කියලා කව්රුහරි ඔබට චෝදනා කළොත් මොකක්ද ඔබට තියෙන පිළිතුර?

සහෝදරයා, අපි හැමදාමත් තෝරගත්තෙ දුෂ්කර මාර්ගය. ඒක මූලධාර්මික ස්ථාවරයක් මිසක්, ජනප්‍රියවාදයක් නෙවෙයි. අපි ජාතිවාදය ගැන කතා කළේ නෑ, අපි කතා කළේ ජාතික ප්‍රශ්නෙ ගැන. ඔය වැනි කතාවක් අහන්න පුළුවන් අපේ භාවිතයේ ඉතිහාසය දන්නැති අයට. ජාතිවාදය ගැන කතා කරමින් ජාතිවාදය වැපිරුවෙ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වුණු ජාතික ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයක් යැයි තොරොම්බල් කළ වර්ගවාදීන්. ඔවුන් තමයි මහාචාර්ය සිවතම්බි ඇතුළු දෙමළ කලාකරුවන්ට ගහන්න ගේට්ටු කඩාගෙන පැන්නෙ. ඔබේ ඔය අදහස ඔවුන්ට අදාළ වෙයි.

මම මගේ සිංහල ජාතිකත්වයේ ස්ථාවරය පැහැදිලිවම කිව්වෙ 1997 දි ලිව්ව ‘මම ලිඟුමාල වෙමි’ කියන කවියෙන්. අවුරුදු 16කට කවියෙන්. 2002 යාපනේ වීරසිංහම් ශාලාවේ තිබුණු මනුෂ්‍යයත්වයේ දෙමළ හමුවෙ මං කළ කතාවට පස්සෙ දෙමළ මිනිස්සු නගපු අත්පොලසන් හඬ තාම මගේ කන්වලට ඇහෙනනවා. ඒ මිනිස්සු එක්කො අද තමන්ගෙ මව්බිමේ ම පොළොවට පස් වෙලා, නැත්තං එළමහන් හිරකඳවුරක හිරවෙලා. මගේ ඒ කතාවෙන් පස්සෙ වේදනාවෙන් බරවුණු ආතතියත් එක්ක මං එළයට බැහැල සිගරට් එකක් බිබී ඉද්දි, පැහැපත් හමක් තිබුණු, ඉතාමත් ප්‍රසන්න, තරමක් මිටි තරුණයෙක් මා ගාවට ඇවිත් මොහොතක් තරයේ මාව වැළඳගෙන හිටියා. ඔහුගේ ඇස් වල දඟලන කඳුළු කැට මං ඇස් දෙකට දැක්කා. ඔහු මට ඉතා කුඩා පොතක් මතක සටහනක් ලෙස දුන්නා, ඒකෙ තිබුණෙ ප්‍රභාකරන්ගෙ දේශන වල විශේෂ පාඨ සහ උපුටා ගැනීම්. ඒක දෙන ගමන් ඔහු මට කියනවා, සහෝදරයා, අපි මෙච්චරකල් දැනන් හිටියෙ නෑ, සිංහල මිනිස්සු කියන්නෙ මේ විදිහට හිතන පිරිසක් කියලා. ඒ ඇස් දෙකට කඳුළු ආව තරුණයා කවුද දන්නවද? කළු කොටියෙක්. මරාගෙන මැරෙන්න හිත හදාගත්තු තරුණයෙක්. අපි ඒ විදිහට ගොඩ නගන්න උත්සාහ කරපු සහෝදරත්වයක් තමයි මේ ජාතිවාදීන් එකතු වෙලා සමූලඝාතනකය කරල අද ‘ජයග්‍රහණය’ කියල සමරන්නෙ.

*****

ලයිටරය නැත
ලොයිටරය සිත

(-මධු සදෙනි මධු විත)

ලාංකේය කාව්‍ය කියවීම යනු තවමත් මුහුකුරා නොගිය ළාබාල අත දරුවෙකු බව සැබෑව. නමුත් ඉතා අගනා සමහර කවි පොත් පිළිබදව නිසි කියවීමක් සිදු නොවීම මහා අබග්ගයක්ම තමයි.ඒ නිසාම පුංචි ඉගියක් කිසියම්ම හෝ කියවන්නෙකුට ලබා දෙන ගමන් තවත් ප්‍රශ්නයකට යා යුතු යැයි මම සිතුවෙමි.


*****

ඔබ හැම තිස්සෙම දේශපාලනික කවියෙක් වුණේ නැහැ. ‘මධු සදෙනි මධු විත’ වගේ කවි පොත් වලින් විවාහය වගේ දේවල් පිළිබදව ආත්මීය කියවීමකට ඔබ යොමු වුණා. නමුත් මාතෘකාවක් නැති මාතෘ භූමිය නමැති කවි පොත සහමුලින්ම දේශපාලනිකයි. ඇත්තටම ඔබ දේශපාලනික කවියෙක්ද එහෙමත් නැතිනම් ජීවිතය පිළිබදව ආත්මීය කියවීමක් තියෙන කවියෙක්ද?

කවිය නෙවෙයි ඕනෑම කලාකෘතියක් හැමවිටම දේශපාලනිකයි. එහෙම වෙන්නෙ කොහොමද කියන එක වෙනම සංවාදයක්. ඔබ නම් කරන ලද පොත් දෙකට අදාළව මං මගේ අදහස සංක්ෂිප්තව ගොනු කරන්න උත්සාහ කරන්නම්. මට අනුව, කලාව කියන්නෙම සංස්කෘතියට අදාළ දාර්ශනික කියවීමක්. නමුත් කලාව පැහැදිලිව සම්ප්‍රදායන්ට වෙන් කරන්න පුළුවන්. මූලික වශයෙන් මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය වශයෙන්. මධු සඳිනි මධුවිත කෘතියේ ඇත්තේ, මගේ විග්‍රහයට අනුව මහා සම්ප්‍රදායේ ලක්ෂණ. ඒක ලංකාවට අදාළව ගත්තත්, දැනට මං ඉන්න ප්‍රංශයට අදාලව ගත්තත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කියන්නෙ එය ඕනෑම සමාජාර්ථික දේශපාලනික සංදර්භයක කතා කළ හැකියි. ඒ කවි ඉතිහාසයටත් අදාළයි, අනාගතයටත් අදාළයි. ඒ කියන්නෙ ඒ ලක්ෂණ සර්වකාලිනයි. ඒ නිසාවෙන්ම දෛනික ප්‍රවෘතිමය සමාජයෙන් වියුක්තයි. එලෙසින් ම සංකීර්ණයි. ඒක විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ටවත් අහුවුණේ නැති බව ඒ ගැන පළ කෙරුණු විචාර වලින් පෙනුණා. විශ්ව විද්‍යාල චල ගුරුවරුන්ගෙන් බහුතරයක්, මේ කලාත්මක 'බර' සහිත අය නෙවෙයි. ඒ අය මහා සමයංකාරයො.

අනිත් පැත්තෙන් ගත්තම, කාලීන ප්‍රවෘත්තිමය ජීවිතය හරහා ලියවෙන කවිය අද්‍යතනයි. දෙමළ ජාතික ප්‍රශ්නය තමයි මේකෙ කේන්ද්‍රය. ඒකට මගේ දේශපාලන ස්ථාවරය එකතුවුණාම මං ලියන කවි "අධම කවි" වෙන්නෙ ඒකයි. මාතෘකාවක් නැති මාතෘභූමියට සංගෘහිත වෙලා තියෙන්නෙ මගේ කවියෙ මේ අද්‍යතන කොටස. මං මේ සමප්‍රදායන් දෙක අතරෙම දෝලනය වෙන කවියෙක්. අද මේ මොහොතෙත් මගේ අද්‍යතන කවිය ගැන සංවාද කෙරෙනවා. නමුත් මං නොමැති අනාගත සමාජ සන්දර්භයක අධම කවියාගේ සර්වකාලීන කවි ගැන කතා කෙරෙයි. දැනට වුණත් මට අධමයා යැයි පහර ගසන කවරෙකු වුවත් මගේ ලියවිලි රසවිඳින බව පිළිගන්නවා.

කවිය කියන්නෙ ඉතාම සොදුරු සාහිත්‍යය භාවිතාවක්. දේශපාලනය වගේ කඨෝර දෙයක් සමාජගත කිරීමට කවිය සමත් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවද?

සමත් වෙන්න පුළුවන් නෙමෙයි සමත් වෙලා තියෙනවා. අද වෙනකොට සිංහල ජාතික හීනමානයෙන් මිදුණ අලුත් පිරිසක් බිහිවෙමින් ඉන්නවා. ඔවුන් ලියනවා, සංවාද කරනවා. දෙමළව මරන්න පිහි මන්නා පවා උස්සගෙන ගිය මාක්ස්වාදීන් අද තමන්ගෙ හෘදය සාක්ෂිය අතට අරන් පාරට බැහැල තියෙනවා. මේ තමයි අපේ කාව්‍යමය ශ්‍රමය. ක්‍රිකට් මැච් එකක් රසවිඳනවා වගේ දෙමළ මිනිස්සුන්ගෙ මළ මිනී ගණන් කරපු සමාජයක් තුළම ඊට විරුද්ධව හුස්ම ගත්ත එවුන්ගෙ හෘදය සාක්ෂිය රැකගත්තෙ කවිය හින්දා. තම තමන්ගෙ ආත්මීය පීඩාව පිටකරගත්තෙ දැන් ලොරි ටෝක් දෙන සාමකාමීන් හින්ද නෙවෙයි අජිත් සී. හේරත්, මහේෂ් මුණසිංහ බඳු කවීන්ගෙ අඛන්ඩ මැදිහත්වීම නිසා. දෙමළ මිනිසුන් කඳුගහන මොහොතක අජිත් හෝ මහේෂ් විසින් ඔවුන්ට ඇති ආදරය සහ ගෞරවය ගැන, ඔවුන්ට තමන්ගේ අධ්‍යාත්මය තුළ පවතින අවකාශය ගැන ප්‍රකාශ කෙරෙන එක කඨෝර විදිහට පේන්නෙ කවිය අභ්‍යාවවකාශගත කරන්න හදන ව්‍යාජ දාර්ශනිකයන්ට විතරයි.

අජිත් සී.හේරත් මෙහෙම කියනවා:

"...වැටී සිටියා පුතුනි නුඹ
ගිනි ලෑ වන්නියේ ඇතිරූ
ඉටි කොළයක් මත
වැටී තිබුණා නුඹේ කෘත්‍රිම පාදය
ඒ අසල
පිළිස්සී ගිය පස් මත..."
(-පාද නමස්කාරය)

මහේෂ් මුණසිංහ මෙහෙම ලියනවා.

"...මීනච්චියේ ඇයි
පොට්ටුවයි තනි ඇහැයි
සුදු පිච්ච මල් සුවඳ
දොර රෙද්දෙන් එඛෙන..." (-නෑදෑයෝ)

දැන් මොකද හිතෙන්නෙ? මේවා කඨෝරයිද? කඨෝරයි නම් එහෙම වෙන්නෙ කාටද? ඇයි ඓහම ඒ අයට දැනෙන්නෙ? මේක හෘද සාක්ෂිය සම්බන්ධ අසනීපයක්.

ඔබේ පළමු කෙටිකතා පොත වන 'මේරි නම් වූ මරියා' වාරණය වුණා. ඉන් අනතුරුව ඔබේ දෙවනි කෙටිකතා පොත වන 'ශුද්ධ වූ ජුදාස්' ග්‍රන්ථය මුද්‍රණය වෙන්නෙ 2011දි. අවුරුදු දහයක පමණ කාලයකින් අනතුරුවයි ඔබ කෙටිකතා පොතක් නැවත මුද්‍රණය කරන්න පෙළඹෙන්නෙ. ඇයි එහෙම වුණේ. වාරණය ඔබේ කෙටිකතා භාවිතාව ලොප් කළාද?

මගේ කෙටිකතාව ඝාතනය කළේ මා වටේ උන් දාර්ශනිකයන් එකතු වෙලා. මේ ගැන පොතක් ලියන්න පුළුවන්. සමහර විට ලියැවෙයි. මං ‘මේරි නම් වූ මරියා’ හින්දා හතරවෙනි තට්ටුවට ගිය මිනිහෙක්. සිවිල් හා මහේස්ත්‍රාත් උසාවි දෙකක නඩු කියපු මිනිහෙක්. මාව අත් අඩංගුවට පත් වෙච්ච වෙලාවෙ සහ පොත වාරණයට ලක් වෙච්ච වෙලාවෙ මමත් නියෝජනය කරපු නිදහස් මාධ්‍යය ව්‍යාපාරයවත් ප්‍රකාශයක් නිකුත් කළේ නෑ. ඒ මො‍හාතෙ තිබුණු කහපටි ව්‍යාපාරයට නිල කතෝලක සභාව එකඟකර ගන්න බැරි වෙයි කියල ඒකෙ ප්‍රධානියා හිතපු හින්දා මට කෙළවෙන්න ඇරියා. රාවයෙන් ගත්ත රුපියල් 6000ක පඩියෙන් නඩු දෙකක් කියන්න සක්කරයටවත් පුළුවන්ද? මගේ ළඟම මිතුරන්ට අමතරව, සිවිල් චරිත විදිහට මට සහයෝගය දුන්නෙ ආසියානු මානව හිමකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු, නීතිඥවරු වන රන්බණ්ඩා සෙනෙවිරත්න සහ අජිත් පතිරණ පමණයි. නමුත් රන්බණ්ඩා මහත්තයගෙ මරණයත් එක්කම තත්වය වෙනස් වුණා.

මේක හරි දිග කතාවක්. මාත් එක්ක එකට වැඩ කරපු සහෝදරවරු පුරහඳ කළුවර වාරණය ගැන සම්මන්ත්‍රණ ලෑස්ති කළා, මේරි නම් වූ මරියා අමතක කරලා. ප්‍රසන්න සිවිල්, වෙඩ්ඩා සිවිල් නෑ. පොතක් කියන්නෙ කඩදාසි මිටියක් විතරයි, සිනමාපටයක් කරන්න සල්ලි මිටිම බර ගාණක්. ප්‍රසන්නගෙ පුරහඳ මාරයි, බරයි. මේරි මාර නෑ, සැහැල්ලුයි. මේ දෙකම වාරණයන්ය කියන දේ එකට සටහන් කෙරිලා තිබුණෙ ජවිපෙ පළකළ ‘රළ’ කියන කලා අතිරේකයේ විතරයි. කලාත්මක යථාර්ථයක් නෙවෙයි දේශපාලන යථාර්ථයක් විදිහට ගත්තත් පුරහඳ සම්මුඛ වෙලා තිබුණෙ ලංකාව කියන ගෝත්‍රික රාජ්‍යය සමඟ. නමුත් මේරි සම්මුඛ වෙලා හිටියෙ වතිකානුව හරහා ක්‍රියාත්මක වෙන දියුණු කතෝලික අධිරාජ්‍යය සමඟ. සිංහල බෞද්ධ සන්දර්භය ඇතුළෙ මමත් සුළු ජාතිකයෙක්. ඔන්න මගේ ඉරණම. කෙටි කතා නෙවෙයි ජීවිතයම අත්හරින හිතෙන අත්දැකීමක් මේක. එහෙව් සමාජෙක මං අවුරුදු 6ක් ඉවසලා බත්තලංගුණ්ඩුව ලියපු එක මදිද?

දෘශ්‍ය කාව්‍යයකට යන්න ආයිත් අදහසක් නැද්ද?

ඔබ ඔය කියන්නෙ ටෙලිනාට්‍ය ගැන. ‘සමනළුන්ට වෙඩි තියන්න’ සහ ‘ඇහි පිල්ලමක් යට’ ලියවිලි හරහා මං මගේ මුද්‍රාවක් තිබ්බා. ඒක ඇත්තක්ද නැද්ද කියල ඔබට ඒ ක්ෂේත්‍රයෙන් සොයා ගන්න පුළුවන්. ඊළඟට ආව යුගයක්, මම භෞතිකව නැති අවකාශෙක මගේ පිටපත් තියෙන අයගෙන් ඒවා ඉල්ලගෙන ගිහිල්ල ළඟ තියාගෙන මුළුමනින්ම ආකෘතිය පැහැර ගත්ත යුගයක්. ඒවා ලියපු අයයි, අධ්‍යක්ෂණය කරපු අයයි විතරක් නෙවෙයි ඒවට සම්බන්ධ සියල්ලන්ම ඒවා දන්නවා. මෙන්න මේ අවකාශෙ වෙන්න ඇති ඔබ ඔය දෘශ්‍ය කාව්‍ය කෙරෙනවා කියන තැන. ගල් වෙච්ච කැමරා තියෙන තැන් වල කොහොමද දෘශ්‍ය කාව්‍ය නිර්මාණය වෙන්නෙ.

මං තව එක උදාහරණයක් කියන්නම්. මං ළඟදී දවසක දැක්කා පරිවර්තන නවකතා කියවන්නෙ ඇයි ස්වතන්ත්‍ර කියවන්නෙ නැතුව කියන මාතෘකාව යටතේ, එම සංවාදයට සහභාගීවුණු මගේ පැරණි මිත්‍රයෙක් කියනවා ස්වතන්ත්‍ර කියල මොනවද කියවන්න තියෙන්නෙ කියල. මං පුද්ගලිකව විශ්වාස කරනවා 2013 අවුරුද්ද සිංහලෙන් ලියවුණු නවකතාවට වැදගත් අවුරුද්දක් කියලා. එහෙම පසුබිමක තමයි ඔහු මේක කියන්නෙ. ඒක වර්ධනය කරගන්න මැදිහත් වෙන එක තමයි කෙරෙන්න ඕනෙ. එතකොට කියන්න ඕනේ ඕක නෙවෙයි. ඒ ප්‍රකාශයෙ පැති දෙකක් තියෙනවා. එක, ඔහු පරිවර්තකයෙක්. ඒ පරිවර්තන පවා මට අනුව විශිෂ්ටයි. මම එදා හිතුව මොහු තමයි ප්‍රබන්ධ පරිවර්තනයෙහි ලා අපේ පරම්පරාවෙ ඉන්න බරපතළම චරිතය කියල. නමුත් මොහු මේ ප්‍රකාශය කරන්නෙ තට්ටෙ පෑදෙන කන් මෙගා ටෙලි නාට්‍යය ලියල ලියල හති වැටුණ මොහොතක. සාමූහික රසාඥතාව බලු කරල හැරිලා ඇවිත් තමයි මෙහෙම කියන්නෙ. අපේ කලාවට නිර්ණායක සපයන්නෙ මෙවන් චරිත. දෘශ්‍ය කලාව තීන්දු වෙන්නෙ එපිසෝඩ් එකට ගෙවන ගාණ අනුව. මේක නළුවගෙ නිළියගෙ සිට අධ්‍යක්ෂවරයා දක්වාම එකයි. ඔවුන් විසින්ම මේ දෘශ්‍ය කාව්‍ය ඉවර කෙරෙන එක හොඳයි. ලිංගික සහ මූල්‍යමය අල්ලස් ඉල්ලන රණකාමී ඇමතිවරයා කියන්නෙ මේ ප්‍රශ්නෙ එක පැත්තක් විතරයි. සමස්ථය නෙවෙයි. මං ඊට වඩා සිනමාව සහ වේදිකාව තවමත් විශ්වාස කරනවා. ඒ අතරිනුත් වේදිකාව මට අනුව තාමත් සජීවී බව පවත්වගන්න තැනක්. මං ඒක දකිනවා. මං කැමතියි වේදිකාවෙ යම් වැඩක් කරන්න. මං ඒ ගැන හිතමින් ඉන්නෙ.

ආගම සම්බන්ධව ඔබට විවේචනයක් තිබෙන බව ඔබේ නිර්මාණ වලින් පේනවා. නමුත් අනිත් පැත්තෙන් ආගම ඔබට නිර්මාණාත්මක උල්පතක් බවට පත් වෙලා තියෙනවා. එය ආගම පිළිබඳව ඔබට තියෙන අවිඥානික ආශාවක් විදියටයි මං දකින්නෙ. උදාහරණයක් විදියට නවගත්තේගමයන් පවා මුලදි මාක්ස්වාදියෙක් නමුත් අන්තිමට ඔහු බෞද්ධයෙක් බවට පත් වුණා. මංජුල වෙඩිවර්ධනත් කවදා හරි භක්තිමත් ක්‍රිස්තු භක්තිකයෙක් වෙයිද?

මම ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරන්නෙ මං අත්දකින ජීවිතය සහ ඒ ආශ්‍රිත මගේ හැදෑරීම්. ඔබ මේ නම් කරන ආගම් ගැන මට නම් තියෙන්නෙ දාර්ශනික කියවීමක්. මේ දෙකට ම අදාළ ලිඛිත දෑ අතිශයින් සාහිත්‍යයිකයි. සාහිත්‍ය භාවිතයක ඉන්න කිසියම් කෙනෙක්ට ඉන් ලැබිය හැකි පෝෂණය අති විශාලයි. මහාමායාගේ කුසට සිද්ධාර්ථ වැඩම කරන එකයි, මරියාගේ කුසට ජීසස් වැඩම කරන එකයි ගැන මට තියෙන්නෙ සමාන්තර සාහිත්‍යයික කියවීමක්. බුද්ධ අබියස අංගුලිමාල දමනය වන එකයි, ක්‍රිස්තු අබියස සාතන් දමනය වන එකයි ගැන මට තියෙන්නෙ සමාන්තර කියවීමක්. මැජිකල් රියලිසම් කියවන්න අපි ජුආන් රුල්ෆෝ හරි ගාර්ෂියා මාකේස් හරි එනකල් ඉන්න ඕනෙ නෑ. ලංකාවෙ අපි ඉපදෙන්නෙම මැජිකල් රියලිසම් ඇතුළෙ. සිංහල ජාතිය බිහිවෙන්නෙම සුප්පාදේවි හරහා ගොඩනංවන මැජිකල් රියලිසම් එක ඇතුළෙ. මේක මාර ගති. නැද්ද? අපිට ආගන්තුක යථාර්ථවාදය මිසක් අධියථාර්ථවාදය නෙවෙයි. අපි අද පවා අත්දකින කිසිම දෙයක් යථාර්ථවාදී නොවෙන්නෙ මේ නිසා. සයිමන් තමන්ගෙ ජාන ඇතුළෙ පවතින අධියථාර්ථය කියන යථාර්ථය දාර්ශනික අර්ථයකින් අල්ලගත්තා. ඔබ ඒකට කියන්නෙ ඔහු බෞද්ධයෙක් බවට පත්වුණා කියලා නම් ඒක ඔබේ විග්‍රහය. අනිත් අතට සයිමන් බෞද්ධයෙක් වුණා නම් ඒක හොඳයි නේ. මේ ප්‍රති-බෞද්ධ විකාර ඇතුළෙ අද බෞද්ධයෙක් හොයා ගන්න එක මොන තරම් අමාරුද?

ක්‍රිස්තියානියත් එහෙමම තමයි. දැන් තියෙන්නෙ ප්‍රති-ක්‍රිස්තියානියක්. දැන් බලන්න උතුරු නැඟෙනහිර බිෂොප්වරු දෙමළ ජනතාවට අත්පත්වුණු ඉරණම පැහැදිලි කරනකොට කොළඹ ඉඳන් ක්‍රියාත්මක වන ක්‍රිස්තියානිය මාධ්‍ය සාකච්ඡාවක් තියල කියනව මේක අපේ නිල මතය නෙවෙයි කියල. එහෙනම් මොකද්ද නිල මතය. මරා දාපු දෙමළ ජනතාව ගැන, දැනට දෙමළ ප්‍රජාව ජීවත් වෙන එළිමහන් සිරකඳවුර ගැන, අතුරුදහන් කිරීම් ගැන, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කිරීම ගැන මැල්කම් රංජිත් කාඩිනල්වරයා ඇතුළු කොළඹ ක්‍රිස්තියානියෙ නිල ස්ථාවරය මොකද්ද? මේක තමයි මං ප්‍රති-ක්‍රිස්තියානිය කියන්නෙ.

මං ගැන කියනව නම්, මං අත් දකින ජීවිතය හා මගේ හැදෑරීම් මං සාහිත්‍යයික ලෙස අල්ලගන්න එකත්, ඒක සමාජගත කරන එකත් ඔබ දකින්නෙ ආගමික යථාර්ථයක් ඇතුළෙ නම් ඒක ඔබේ කියවීම. ලෝකය මැව්වෙ යෙහෝවා ද, මහා බ්‍රහ්මය ද, ඊෂ්වර ද කියන එක ඔබට ප්‍රශ්ණයක් වුණාට මට ප්‍රශ්නයක් නෙවෙයි. මං දන්නවා ඒක, සිද්ධවුණේ මොකද්ද කියලා.

ඔබේ පිටු වහලේ ජීවිතය ගත වෙන්නෙ කොහොමද?

මං ලියපු නොපළ කවියක් තියෙනවා. ඒකෙ මාතෘකාව "සෙයිලමෙන් ඇසයිලමට". ඒක පටන් ගන්නෙ මිත්‍රයෙක් එවපු ලියමනක කොටසකින්. ඔහු මෙහෙම කියනවා. "මොනව කරන්නද මචං? ඇසයිලම් ජීවිතේ කියන්නෙ අවසානයක් නැති ආපහු හැරෙන්න අමාරු ගමනක්" ඒක තමයි සංක්ෂිප්තව ගත්තම උත්තරේ. විශිෂ්ට පලස්තීන කවියෙක් වන මහ්මුද් දාර්විෂ් ඔහුගෙ කවියක මෙහෙම ලියනවා. "අවසාන දේශසීමාවනුත් ඉක්බිති අප කොහේ යන්නද? අහස් ඉමෙනුත් ඉක්බිති විහඟුන් කොහේ පියඹන්නද?" පිටුවහල් ජීවිතය ගැන සුවිශාල දාර්ශනික කියවීමක් ඒ වචන කිහිපය ඇතුළෙ ගැබ්වෙනවා.

මේ යථාර්ථය තුළ පවා, ලංකාව නමින් නම් කරල තියෙන මේ භූමියේ සැබෑ නිදහස වෙනුවෙන් නිරන්තර භාවිතයක ඉන්න අය තමයි මේ මොහොතෙ පිටුවහලෙ ඉන්නෙ. ඒකාධිපතිත්වය පරාජය කරල සියලු ජාතීන්ට නිදහස දිනා දීමේ අරලගයක ඉන්න අය. ආර්ථික අරමුණු වලින් තොරව දුෂ්කරතා අනුභව කරමින් තවමත් එකී අරලගය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කරන සහෝදරවරු නිසා පිටුවහල කියන එක අලුත් කියවීමකට ලක්වෙලා තියෙනවා. පිටුවහලුන්ට ආණ්ඩුවක් මෙච්චරම බය වුණු යුගයක් තිබිලා නෑ. දැන් මිනිසුන්ට කොටි ලේබල් ගැහුවට සබුද්ධික සහ සවිඥානික සමාජය ඒවා පිළිගන්නෑ. ඒ ලේබල් දැන් එක්ස්පයර් වෙලා. 'කොටි' කියන සංකල්පය නඩත්තු කරමින්, කොටි එක්ක ඇත්තටම හැමණෙන්නෙ කවුද කියල දැන් සමස්ථ සමාජයම දන්නවා. ඒ ගැන කට අරින්නැත්තේ මර්දනයේ තියෙන වියරු ස්වරූපය හින්දා. ඔව් අපි පැහැදිලිව පෙනී ඉන්නවා දෙමළ මිනිහගෙ නිදහස වෙනුවෙන්, ඒකෙ ආයෙ සඟවන්න දෙයක් නෑ. ඒ හින්දා මං ඔබට කියන්නෙ, ඔවුන්ගේ නිදහස ඇතුළුව සමස්ත සමාජය නිදහස දිනා ගත් දවසක ඔබ දැන ගනියි පිටුවහල් ජීවිතය කියන එකේ අර්ථය. ඒක හීනෙන් හිම දකින තරම් කාව්‍යාත්මක නෑ.

ළගඳීම බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබේ නිර්මාණයන් පිළිබදව පුංචි හෙළිදරව්වක් කරමුද?

මගේ සිනමා තිර පිටපතක් සිනමාවට නැඟීමට අවශ්‍ය මූලික වැඩ කටයුතු ආරම්භ කෙරී තිබෙනවා. එය කෙරෙන්නෙ මගේ මිත්‍රයෙක් අතින්. කෙටිකතා එකතුවත් සහ කවි එකතුවක් මේ මොහොතෙත් මගේ අතේ තියෙනවා. නවකතා දෙකක වැඩ තැන් තැන් වලින් සිද්ධ කෙරීගෙන යනවා. ඉන් එකක් වසර පහකට පෙර ලියන්න පටන් ගත්ත එකක්. නමුත් කවරක් ඉක්මන් වෙයිද කියන්න දන්නෑ. වෙනත් ශාස්ත්‍රීය අධ්‍යයනයන් කිහිපයක් ද සිද්ධ වෙමින් තියෙනවා. ඇතැමි විට ඒවා කෘති බවට පත්වෙන්න පුළුවන්. ප්‍රංශයේ මා ඉන්නා කලාපය පිළිබඳ කෙරුණු ඡායාරූප සරණියක් සංගෘහිත කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. එය පළවෙන්නෙ නම් ප්‍රංශයේ.

තවත් එක් විශේෂ කරුණක් තමයි බත්තලංගුණ්ඩුව නවකතාව දෙමළට, ඉංග්‍රීසියට සහ ප්‍රංශ භාෂාවට නැඟෙමින් පවතිනවා. මේ දේ නිවරුරදිව සහ බරපතළ ලෙස කරගන්න පුළුවන් වුණොත් සාහිත්‍යයික ලෙස ජාත්‍යන්තරයට අමතන්න මට පුළුවන් වෙයි. එහෙම වුණොත් ඒ සමාජ ප්‍රාග්ධනයත් අපි අයෝජනය කරන්නේ අපේ රටේ සියලු ප්‍රජාවන්ගෙ උස් නිදහස වෙනුවෙන්.

පොදුවේ ලාංකේය ජනතාවට දේශපාලනමය වශයෙන් ඔබට කිව යුතු දෙයක් තියෙනවද?

පළමුව ඔවුන් තමන් දෙසට ම හැරී බැලිය යුතුයි. තමන් සැරිසරන හැමතැනකම තමා සෙනඟ අතර සිටින කෙනෙක් මිස මහජනතාව අතර සිටින පුරවැසියෙක් ද යන්න විග්‍රහ කරගත යුතුයි. මට අනුව ලංකාවෙ මේ මොහොත කියන්නෙ සෙනඟ ඉන්න මොහොතක් මිස ජනතාව ඉන්න මොහොතක් නෙවෙයි. නමුත් අපි මේ අර්ථය සමාජය හමුවේ තියනකොට කලබල නොවී, හීනමානයකින් තොරව, ලාංකීය මමංකාරයෙන් මිදී, ඔව් අපි එහෙම තමයි කියල අත් ඔසවල කියන පිරිසක් දැන් අපිට ඉන්නවා. ඒ අය කියනවා ඔව් අපිට ඕනෙ අපේ පුද්ගල අනන්‍යයතාව හොයා ගන්න, අපිට ඕනෙ පුරවැසියන් වෙන්න කියල. මේ මොහොතෙ මට හැමෝටම කියන්න තියෙන්නෙ සෙනඟ වෙන එකෙන් මිදිල, ඇතුළතින් ඇහෙන ඒ දේට අවනත වෙන්න කියලා. ඇතුළතින් දැනෙන ඒ දේට සිද්ධ වෙන්න ඉඩ අරින්න කියලා විතරයි.

ඡායාරූපය- ඩිෂාන් කොඩිකාර

(මෙම සාකච්ඡාව lankaherald.com වෙබ් අඩවියේ මුල්වරට පළ විය.)

බාසුරු ජයවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails