Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මිනිස් වග පසුකර පැමිණි ආදි ම්ලේච්ඡ යුගයන්ට වඩා දියුණු යයි සම්මත පසුගිය ශතවර්ෂයක කාලය තුළ, මිනිසා විසින් ඒ කිසිදු කාලයකට වඩා කුරිරුතම සංහාර යාන්ත්‍රණයන් අත්හදා බැලූ බව කෙසේ නම් විශ්වාස කරන්නද? එහෙත් සිදු වූයේ එයයි!

ජයග්‍රාහකයින්ගේ ලැයිස්තු වලට අනුව හිට්ලර් සහ ස්ටාලින් ප්‍රමුඛ පිරිස් මානව වර්ගයාට එරෙහිව විශාලතම විනාශය කරවූවෝ වෙති. එහෙත් එකී ලැයිස්තුවෙන් පිටත පිහිටි ගුවන්තනාමෝ හිරකඳවුර, ඇමරිකාව විසින් විවිධ රටවල පවත්වාගෙන යන රහස් වධකාගාර සහ ඊනියා ත්‍රස්ත මර්ධනය වෙනුවෙන් යැයි පවසමින් සිදුකරන අනේකවිධ වධබන්ධන, මරණය, වේදනාව හා භයංකාරත්වය චිත්‍රණය කිරීමට නිල ඉතිහාස රචකයන්ට වේලාව සොයා ගත හැකි වේදැයි අප නොදන්නෙමු. එබැව් සිහිපත් කරමින් ම අපි "සංහාරයේ" කුරිරු මුව දොරින් අපගේ කතාවට පිවිසෙන්නෙමු.

දෙවන ලෝක යුධ සම‍යේ, "හෝලෝකොස්ට්" නමින් අප දන්නා මිලියන හයක යුදෙව් සමූලඝාතනයේ සංවත්සරය නිමිතිකොට ගෙන එංගලන්තයේ ද ගාඩියන් පුවත්පවත පළකල ලිපියක් (Genocide survivors speak of horrors of the Holocaust, Cambodia and Rwanda) මේ කතාවට පාදක වේ. ජර්මනියේ, රුවන්ඩාවේ හා කාම්බෝජයේ සිදුවූ සමූලඝාතනයන් අතරතුර පණබේරාගත් තිදෙනෙකුගේ කතා ඊට ඇතුළත් ය.

අතිශය දරුණු වධවේදනාවන්ගෙන් පිරි මරණයකට තමන්ට මුහුණදීමට තිබෙන බැව් සක්සුදක් සේ දැනගෙන ජීවත්වීම භයංකර මරණයකට වඩා වේදනාකාරීය. බිහිසුණුය. සිය නෑසියන්- හිත මිත්‍රාදීන් අමු අමුවේ ඝාතනය වෙද්දී, ඊළඟ වාරය තමන්ට බව දැනුවත්ව ජීවත් වීම කෙබඳු නම් අත්දැකිමක් ද? එහෙත්, එක්වනම අහම්බයකින් ඔබ දිවි ගලවා ගනියි නම් එයට ඔබ කියන්නේ "වාසනාවකින්" දිවි ගලවා ගත් බවද? නොඑසේනම් එය "දේව හාස්කමක්" ද?

රුවන්ඩාව

හෙදියක් වන්නට සිහින මවමින් සිටි සොපී මසබේ මසරෙකා තමන්ගේ සියළු සිහින අතහැර දැමුවාය. විවාහ වී දරුවන් ලබා සතුටින් ජීවත් වීමේ සිහිනය ඈ සියතින් ම ගබ්සා කර ගත්තාය. තමන් ආදරය කළ තමා වටා සිටි සියළුදෙනා දෑස් ඉදිරිපිටම කුරිරු ලෙස ඝාතනය වන අයුරු දුටු ඇය ජීවත්වීමට ලද වාසනාව, අවාසනාවක් බව අත්දුටුවාය. ටුට්සි ජාතික සොපී මසරෙකාගේ පවුලේ සාමාජිකයින් සියල්ලෝ 1994 රුවන්ඩා සමූලඝාතනයට ගොදුරු වූහ. රුවන්ඩාවේ හුටු ගෝත්‍රිකයින් විසින් ටුට්සි ගෝත්‍රිකයින් මිලියනයකට ආසන්න ප්‍රමානයක් දින සියයක් ඇතුලත මොට ආයුධ භාවිතා කොට මරා දැමිණි. රුවන්ඩා ජනගහනයෙන් සියයට විස්සකට ආසන්න ප්‍රමාණයක් මානව ඉතිහාසයේ ම්ලේච්ඡතම ඉරණම අත්විදිද්දී ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සාමූහික තීරණයකට ඒමට නොහැකිව ලතැවුණහ.


සොපී මසබේ මසරෙකා
[Photograph: Sean Smith for the Guardian]


පාදිලිවරයෙකු වූ මසරෙකාගේ පියාගේ අදහසට අනුව පවුලේ සියළුම දෙනා විසිර ගියේ පැතිරෙන හිංසනයෙන් ගැලවීම සඳහාය. සියළු දෙනාගේම සුභසිද්ධිය වෙනුවෙන් සියළුම දෙනා යාඥා කළත් නැවතත් එකිනෙකාට හමුවීමේ අවස්ථාවක් උදාවූයේ නැත. වරක් මසරෙකා කැලයේ සැගවී සිටියදී සර්පයෙකු දෂ්ඨකළ නිසා නැවත නිවසට ඒමට තීරණය කළාය. එසේ නැවත පැමිණෙන විට ඇගේ නිවස අවට සියළුම දෙනා ඝාතනය කිරීමට පෙළගස්වා වළකට දමමින් තිබුණි. ඇයව දුටු ඇගේ සොහොයුරෙකු ඇයට එතැනට නොපැමිණෙන ලෙස දන්වා සිටියේය. තවත් වරක් සොල්දාදුවෙකුට අල්ලස් ලබාදීමෙන් ද තවත් වරක් වෙඩිතබන ලද තුවක්කුවේ සිදුවූ දෝෂයක් නිසා ද ඇගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ "වාසනාව" ඇයට හිමිවිය.

ටුට්සි පිටුවහලුන්ගෙන් සමන්විත වුණු රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණු විසින් දියත් කෙරුණු සන්නද්ධ ප්‍රතිප්‍රහාර හේතුකොට ගෙන ක්‍රම ක්‍රමයෙන් සමස්ත රුවන්ඩාවම සිය පාලනයට යටත්කර ගත්පසු ටුට්සි වර්ගසංහාරය අවසන් විය.

ටුට්සි සමූල ඝාතනයෙන් වසර දහයකට පසුව, ඇය මිනීවලකින් ඇගේ පවුලේ අයගේ ඇටකටු සොයාගත්තාය. දශක දෙකකට පසුව, තවමත් ඇයගේ දෑසට කදුළු එන්නේ කුමන වෙලාවකදැයි කීමට ඇයවත් නොදන්නීය.

කාම්බෝජය

සමාජවාදයේ නාමයෙන් සිදුකළ කාම්බෝජයේ පොල්පොට් විසින් සිදුකළ ඝාතන ඉතිහාසයේ තවත් කළුපැල්ලමක් සටහන් කරයි. මිලියන අටක ජනගහනයෙන් මිලියන 1.5ක පමණ ප්‍රමාණයක් කෘෘර ලෙස ඝාතනය කෙරුණු කෙමරුජ් පාලන සමයේදී ඝාතකයින් අතට හසුවන විට, සොක්පෙල් ඩින්ගේ වයස අවුරුදු 18ක් පමණය. කෘෂිකාර්මිකව ස්වයංපෝෂිත කරනවායැයි යන උතෝපියානු අදහසකින් රටේ සියළුම දෙනා සමජාතීකරණය කිරීම පොල්පොට්ගේ අදහස විය.

"ඔවුන් එය නම් කළේ 'බිංදුවේ වසර' (year Zero) කියලා, හරියට අඳුරු යුගයට ගියා වගේ. පිටත ලෝකය එක්ක කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඔවුන් අපිට සැළකුවේ තිරිසන් සතුන්ට වගේ, අපිව හරක් රංචුවක් වගේ මහන්සි කළා, අන්තිමට අධික මහන්සිය හරි අධික කුසගින්න හින්දා හරි ගොඩාක් දෙනා මැරුණා" සොක්පල් මතකය අවදි කරයි.



සොක්පල් ඩින්ගේ ආච්චි මිය ගියේ ඔහුගේ දෑත මතමය. දැනටත් ඔහු ඇයගේ මිනී අළු සුරක්ෂිතව තබාගෙන සිටියි. ආච්චීගෙන් පසුව ඔහුගේ සිව්හැවිරිදි සහෝදරයා මියගියේ මැලේරියා රෝගය වැළදීමෙනි.

"ඔවුන් සියළුදෙනා මිය යනදෙස බලා සිටි මට සිතුනේ ඔවුන් වාසනාවන්තයන් ලෙසයි, ඔවුන් මේ අතොරක් නැති වදවේදනාවන්ගෙන් නිදහස් වුණා, ඒත් අවාසනාවන්ත මා හට තව තවත් ඒවාට ගොදුරුවෙන්නට නියමිතව තිබුණා."

1979 වසරේදී වියට්නාමය විසින් සිදුකළ ආක්‍රමණයෙන් පසු කෙමරුජ් පාලනය අවසන් වූ අතර සොක්පල් ඩින් ඇතුලු පිරිසට නිදහස ලැබිණි. වසර 30කටත් එහා අතීතයේ සිදුවූ අමිහිරි සිදුවීම් තවමත් ඔහුගේ මතකයෙන් ඉවතට ගොස් නොමැත.

ජර්මනිය

ෆ්‍රෙඩී නොලර්ට, කුප්‍රකට අවුට්ස්විච් බලා යන දුම්රියට ගොඩවන්නට බලකෙරෙන්නේ එහි ගිය දහස් ගණනකට පොදුවූ 'නොඑන ගමන්' ඉරණමට යටත්වය.

"අපි ගිය දුම්රියේ පෙට්ටි 10ක් තිබුණා, ඒවයේ සිය ගණනක් මිනිස්සු පුරවලා දාලා තිබුණා. අපි පුළුවන් තරම් උත්සාහ කරා ගොඩාක් අසරණ වෙලා හිටපු කුඩා ළමයි, වයසක අය සහ කාන්තාවන්ට තෙරපීම අවම කරන්න, ඒත් අවාසනාවකට ගමනාන්තය වෙන කොට කුඩා ළමයෙක් සහ මහළු අය තිදෙනෙක් මරණයට පත්වෙලා තිබුණා.

ඔවුන් අපිව (තරුණයින්) නාවලා, කොන්ඩේ රැවුල කපලා, අංක කෙටුවා. ළමුන් කාන්තාවන් හා වයසක පිරිස් ගෑස් උදුන්වල දාලා මරලා දානවා කියලා අහන්න ලැබුණා. අපි දැනගෙන හිටියේ ජර්මනිය කියන්නේ බොහොම උසස් සංස්කෘතියක් තිබෙන රටක් කියලා, ඒක නිසා මුලින්ම මේවා විශ්වාස කරන්නත් බැරි වුණා. ඒත් මිනී පිච්චෙන ගන්ධය හතර අතේ පැතිරෙන කොට මේ කියන්නෙ බොරු නෙවෙයි කියලා තේරුණා"



ෆ්‍රෙඩී නොලර් හෙවත් 157103- අංකයක් බවට පත් වූ මිනිසා


අවුට්ස්විච් කඳවුරේ රඳවා ගෙන සිටි ළමුන්- 1945 ජනවාරි 27 වන දින සෝවියට් හමුදා විසින් කඳවුර ගලවා ගැනීමෙන් පසු. ජනවාරි 27 "හෝලෝකොස්ට් සමරු දිනය" ලෙස නම් කෙරුණේ සමූලඝාතනය පරාජය කරනු ලැබීම සංකේතාත්මකව ස්මරණය කරනු පිණිසයි.

දිගින් දිගටම බර වැඩ සහ කුසගින්නේ සිටීම නිසා පමණක් නොව රුසියානුවන් පැමිණෙන විට සිදුකළ "මරණයේ පා ගමනේ"දීවත් (Death March Evacuation : [වැඩිදුර කියවන්න] ) මිය නොගොස් සිටීමට නොලර් ශක්තිමත් විය. මිත්‍රපාර්ශ්වික හමුදා ප්‍රහාර වැඩිවු 1945 වසරේ මුල්සමයේ බර්ගන් බෙලසන් නම් සිරකඳවුර දැඩි ආහාර හිඟයකට මුහුණ පෑවේය. අමු අල සොයා පොළොව හෑරීමේ සිට තියුණු ගල් මුල් වලින් මියගිය මිනිස් සිරුරු කොටස් කඩා පුළුස්සා කෑමට තරම් තත්ත්වය දරුණු විය.

"සදාචාරයක් පවතින තත්ත්වයක් නෙවෙයි ඒක...!" නොලර් පවසයි.

1945 අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදාවන් පැමිණ සිරකරුවන් නිදහස් කරගන්නා ලදී.

ලෝකයේ කලාප ත්‍රිත්වයක සිදුවූ මනුෂ්‍යයින්ට එරෙහි දරුණු සංහාර ත්‍රිත්වයක සංකේතාත්මක අත්දැකීම් එලෙසය. දැනට අනූ දෙහැවිදිරි ෆ්‍රෙඩී නොලර් විසින් හෝලෝකොස්ට් අත්දැකීම් පිළිබද පාසැල් දේශන පවත්වමින් සිටියි. සොක්පල් ඩින් විසින් සිය අත්දැකීම් ඇතුලත් කෘතියක් රචනා කරමින් සිටියි. විවාහ නොවීමට හෝ දරුවන් නොලැබීමට සිතා සිටි මසරෙකා අවසානයේ තමන් සිත වෙනස් කොට ගෙන මේ වන විට විවාහ වී දරුවන් තිදෙනෙකුගේ මවක් වී සිටියි.

මේ ඔවුන්ගේ කතාවයි. (බලන්න- "Forgive or forget" | ගාඩියන් වෙබ් අඩවිය තැනූ වීඩියෝව)



මරණය පිළිබඳ සමීප අත්දැකීම් වැලලී ඇති අප වැනි රටක මිනිසුන්ගේ අත්දැකීම් මීට වඩා වෙනස් යැයි සිතන්නේ කෙසේද?

උක්ත සංහාරයන් තුනෙන් දෙකක් ම වර්ගවාදයේ ප්‍රතිඵලයන් ය. කාම්බෝජ අත්දැකීම අධි-දෘෂ්ටිවාදී මුග්ධකමකි. වර්ගවාදයටත් මුග්ධභාවයටත් සිදු කළ හැකි විනාශයේ තරම මේ ඉතිහාස කතා අපට පෙන්වා දෙයි. ඒවායෙන් ලබා ගත යුත්තේ "ආතල්" නොව "පාඩම්" ය...!

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails