Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


සුමින්ද කිත්සිරි ගුණරත්නගේ චක්කරං කොටුව(1996), ඇහැළි(2000), නාරජ වේරජ(2010) කාව්‍ය සංග්‍රහයන්හි ප්‍රතිමුද්‍රණ සමග ඔහුගේ සිව්වන කාව්‍ය සංග්‍රහය "ලංකා පොකුණ" සුරස ප්‍රකාශන ලෙස පසුගියදා එළිදැක්විණ. සුමින්ද සමග ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයයේ රත්තනදෙණියේ මේධානන්ද හිමි කළ මේ සංවාදය ඒ නිමිත්තෙනි.

කවිය සහ කවියා පිළිබද ඔබේ කියවීම මොකක් ද?

මේ ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් දිය යුතුයි. එහෙත් මම සංයුක්තව යමක් කියන්නම්. අද ඇතැම් අය අදහස් කරන පරිදි කවිය 'ධාතුවක්', 'පරම නිෂ්ඨාවක්' හෝ සාර්වත්‍රික විශ්වීය ප්‍රපංචයක් යැයි මා විශ්වාස කරන්නෙ නෑ. කවිය සාමාජීය ප්‍රපංචයක්. ඒ නිසා මිනිස් කමින් තොර පැවැත්මක් කවියට නෑ. කවිය සමාජ සංස්කෘතික ක්‍රියාවලියක් නිසයි එහෙම වෙන්නේ. කිසිවෙකු හුදකලාව ඉපදිලා විඳගත් හැඟීම් සමූහයක් සමඟ මියගිය හොත් ඔහු කවියකු ලෙස හඳුනාගන්නේ කවුද? පෞද්ගලික විඳීම් සමාජීය විඳීම් බවට පත් කිරීමේ කැක්කුමක් තියෙන මිනිසාමයි කවියෙකු වෙන්නේ. ඒ නිසා මොන අර්ථයෙන් ගත්තත් කවිය දේශපාලනික භාවිතයක් කියල මට හිතෙනවා. ඒ නිසයි කවියා ජනරජයෙන් පිටුවල් කළ යුතු පුද්ගලයෙකු ලෙස හැඳින්වූයේ. ඔහු වැඩකට නැති කාලකන්නි හීන දකින උමතු පුද්ගලයෙක් නම් කුමට ද ඔහු ජනරජයෙන් පන්නා දමන්නේ. ඒ නිසා කවියා කියන්නේ උපන්ගෙයිම විරෝධාකල්පනික පදනමක් සහිත මිනිසෙක්. ඔහුට තමා ඉදිරියේ තිබෙන සමාජය විවේචනය නොකර මග හරින්න බෑ. කවියා සහ සමාජය අතර තියෙන්නේ අධ්‍යාත්මික බැඳීමක්. වඩා යහපත් සමාජයක් වෙනුවෙනුයි ඔහු මේ සමාජීයව දුක්ගන්නේ. කවියාගේ මේ පනවා ගැනීම සමාජ ක්‍රියාවලියේ ශිෂ්ටාචාරමය පැවැත්මට අත්‍යාවශ්‍යයි. කිසියම් සමාජයක කවි ලියවෙන්නේ නැත්නම් එය භයංකර සමාජයක්. හෘදසාක්ෂියක් නැති සමාජයක්. ඒ නිසා මාගේ අඛණ්ඩ කාව්‍යකරණය පසු පස මගේ හෘදසාක්ෂිය වෙනුවෙන් සමාජීයව පෙනී සිටීමට මා තුළ ඇති අවශ්‍යතාවයයි පවතින්නේ. නිර්මාණකරුවෙකු ලෙස කාව්‍ය මාධ්‍ය තුළ ඇති අනන්‍යතාවයෙන් මම තෘප්තියක් ලබනවා.



ඔබේ ප්‍රථම කාව්‍යය සංග්‍රහය චක්කරං කොටුව පළවන්නේ 1996 දී. ඔබට වසර කිහිපයකට පෙර කාව්‍යග්‍රන්ථ කරණයට අවතීර්ණ වූ ලාල් හෑගොඩ මෙන්ම ඔබෙන් පසුව කවියට අවතීර්ණ වූවන් ද රාජ්‍ය සම්මානයට පවා ලක් වුණා. නමුත් ඔබේ කවියට එබඳු සම්මාන ආශ්‍රිත පිළිගැනීමක් ලැබී නැහැ.

මේක අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය තත්වයක් නොවෙයි. මම මුලින්ම කිව්වා කවිය සහ කවියා කියන්නේ සමාජීය ගොඩනැගීමක් බව, සම්මානිත නොවී කවියෙකු ලෙස සමාජයේ පවතින්න පුළුවන් බවයි මෙයින් සනාථ වෙන්නේ. ඒ පැවැත්ම ම ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ. නිර්මාණකරුවන් සම්මාන පසුපස යන පුද්ගලයන් නොවේ. කිසියම් නිර්මාණ සාහිත්‍යකරුවෙකු තක්සේරු විය යුත්තේ ඔහු ලබා ඇති සම්මාන වලින්ම නොවේ. ඔහුගේ සාහිත්‍ය භාවිතයේ සමාජීය බලපෑමෙන්. ගුණදාස අමරසේකර ලබා ඇති රාජ්‍ය සම්මාන ප්‍රමාණයෙන් අපට ඔහු තක්සේරු කරන්න පුවන්ද? ඒ තක්සේරුව නිවැරදි ද? ඒ නිසා නිර්මාණ කරුවෙකුට වැදගත්වෙන්නේ ඔහු ගොඩනගා ගන්නා ජන විඥානගත පදනමයි. එයින් තොර සාහිත්‍ය කලාවන් ව්‍යාජ බොරු කෙටිකාලීන උල්කාපාත වගේ. ඔබ වහන්සේ සඳහන් කළ කවියන් අතරින් ලාල් හෑගොඩ කවියා මෙබඳු ජන විඥානගත පදනමක් සහිත නිර්මාණකරුවෙක්. අනෙක් අයත් අති දක්ෂ කවීන්. ඒ ගැන විවාදයක් නෑ. නමුත් නීති විද්‍යාලයට ගිහින් නීති ලෝගුව දාගන්න කලින් වෛද්‍ය විද්‍යාලයට ගිහින් වෙද නලාව අතට ගන්න කලින් රජයේ හෝ පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙකු වෙලා ටයි ගැටය බුරුල් වූ වෙලාවට කවි ලියලා මේ ජන විඥානගත පදනම ගොඩ නගාගන්න සාහිත්‍යකරුවෙකුට පුළුවන්ද? ඔහු ඈත ගම් රටවල් වල මිනිසුන් අතරට යා යුතුයි. විවිධ සමාජ සංස්කෘතික කලාප තරණය කළ යුතුයි. ඒ සඳහා තම ජීවිතයෙන් දීර්ඝ කාලයක් කැප කළ යුතුයි. බොහෝ නිර්මාණකරුවන් ගමෙන් නගරයට ඇවිල්ලා ගමේ ජීවිතය වියදම් කරනවා. පසුව ඔවුන් බංකොලොත් බවට පත් වෙනවා. නගරයේ ජීවිතයට ද හිමිකාරත්වයක් ඔවුනට නෑ.



ලංකා පොකුණ කෘතිය ගැන අපි කතා කළොත් එහි කාව්‍ය භාෂාව නිර්මාණයෙන් නිර්මාණයට විවිධ අනන්‍යතා පලකරනවා. සාර්ථක කවියෙකුගේ කෘතිය පුරාම ඒකීය භාෂා අනන්‍යතාවයක් තිබිය යුතු යැයි මතයක් පවතිනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

කාව්‍ය නිර්මාණයක් කියන්නේ එක්තරා ආකාරයක අනුකරණයක්. අනෙක් පැත්තෙන් අනන්‍යතාවය පළ කිරීමක්. ඒ නිසා කවියෙකුගේ භාෂාවේ තිබිය යුත්තේ අනුකරණාත්මක අනන්‍යතාවයක් කියා මා සිතනවා. හුදු අනුකරණයම තිබුනොත් ඒ නිසාම කවියේ භාෂාව එදිනෙදා ජීවිතයේ වාච්‍යමය තත්ත්වයට පිරිහෙන්න පුළුවන්. ඒ වාගේම කිසියම් ප්‍රමුඛ කවියෙකුගේ භාෂාවේ ගොදුරක් වෙන්නත් පුළුවන්. එබඳු නිදසුන් කවි ඕනෑ තරම් ඇතැම් කාව්‍ය ග්‍රන්ථ වලින් සපයා ගත හැකියි. හුදු භාෂා අනන්‍යතාවයටම ප්‍රේම කළ හොත් ඒ කවියාට දෑවැද්දට ලැබෙන්නේ කෘතීම භාෂාවක්, ඒකාකාරී භාෂාවක් ඔහුගේ සෑම අත්දැකීමක්ම ප්‍රකාශ වෙන්නේ එකම ගල් අච්චුවක. උදාහරණයක් ලෙස හෙළ හවුලේ ඇතැම් කවීන්ට සිදු වූ දේ ගත හැකියි. කුමාරතුංග මුනිදාසයන් පවා හොඳ කාව්‍ය නිර්මාණ සිදු කළේ මේ අච්චුවෙන් එළියට ආ විටයි. ඒවා බොහෝ විට ළමා කවි. ඒ නිසයි මම කියන්නෙ කවියාගේ භාෂාව අනුකරණය හා අනන්‍යතාවය අතර සාරවත් නිම්නයෙන් ගලා ආ යුතුයි කියලා. ලංකා පොකුණේ කේවල කාව්‍ය නිර්මාණ මගින් මේ භාෂා පර්යේෂණය මා සිදු කර තිබෙනවා. එහිදී රසිකයාට වඩාත් සියුම්ව එකින් එක කවි රැගෙන විමසා බැලිය හැකියි. අනුභූතිය ඉදිරිපත් කිරීමට උචිත යැයි මා සිතූ විවිධ භාෂා කට්ටල එහි දී මිශ්‍ර කර තිබෙනවා. ඒත් ඒ සියල්ල මූලික කාව්‍යමය විදර්ශනාවට නාභිගත කිරීමටයි මා උත්සාහ කළේ. මෙහි එන 'කකුලක්' සහ 'දියකරලිය' නිර්මාණ දෙක සැසදීමෙන් උනත් මේ බව වටහා ගත හැකියි. අපේ කාව්‍ය සම්ප්‍රදායේ භාෂා සෙවනැලි ලංකා පොකුනේ දී සියුම් රසිකයෙකුට පෑගිය හැකියි. එහෙත් ඒ සෙවණැලි නිර්මාණ හිරු එළියෙන් ම මැවීමටයි මා උත්සාහ කළේ.



මේ කෘතියේ ග්‍රන්ථ නාමයට පාදකව ඇති 'ලංකා පොකුණ' කවිය පිළිබඳව ඔබෙන් යමක් විමසිය යුතුය. මේ නිර්මාණය දේශපාලන දෘෂ්ටියක් ගත් කවියක් ලෙසයි මා දකින්නේ. එයින් කවියේ නිර්මාණ ගුණය හීනවී නැද්ද?

මේ කවියට ඔබ පිවිසුණු ආකාරය අනුවයි එය දිස්වන්නේ, කවියකට විවිධ ප්‍රවේශ මාර්ග තිබෙනවා නම් එය රසිකයාගේ පැත්තෙන් සාර්ථක නිර්මාණයක් යැයි මා සිතනවා. මේ කවියට බොහෝ දෙනෙක් මට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔබ ඔය සඳහන් කළ දේශපාලන දෘෂ්ටිකෝනයෙන් නොවෙයි. මේ කාව්‍යානුභූතිය ජීවිත අත්දැකීමත් සමඟ ගැලපී ගත් ගෙහසිත ජීවිතය නිරූපිත නිර්මාණයක් ලෙස විඳින අයත් සිටිනවා. මේ කවියේ කථකයා අතීතයේ තම පෙම්වතිය සමඟ ගිය උයනට වර්තමානයේ දී තම පුතු සමඟ යනවා. එහි දී ඔහුගේ අනුභූතියයි කවියෙන් වර්ණිත වන්නේ. මේ උයනේ ලංකාවේ හැඩය සහිත පොකුණක් තිබෙනවා. කවියේ කථකයා මේ පොකුණ ගැනයි පවසන්නේ. ඇත්තටම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ පොකුණ තවමත් තියෙනවා. ඒ නිසා රසිකයන් සමීප අත්දැකීමක ප්‍රහර්ෂය ලබනවා විය හැකියි. එහෙත් මේ කවියෙන් ගැඹුරු දේශපාලන අර්ථයක් කියවා ගන්නා ප්‍රබුද්ධ රසික සමාජයක් සිටිය හැකියි. ඒ අයට ඒ ප්‍රවේශ මාර්ගය ද විවෘතව තිබෙනවා. මා විඳි අනුභූතියක් විනා ව්‍යාජ ලෙස මාට්ටු කර සෑදූ හුදු පරිකල්පනීය කවියක් නොවේ මේ. ඒ නිසා විය හැකියි බොහෝ රසිකයන්ගේ හදවතට මේ කවිය සමීප වන්නේ.



වත්මන් සිංහල කවිය දැඩි සත්කාරයක් අපේක්ෂාවෙන් ගිලන් ඇඳක වැතිර සිටින්නේ යැයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා මෑතකදී ලියා තිබුනා. නව පරපුරේ කවියෙකු ලෙස ඔබ මේ දෙස බලන්නේ කොහොම ද?

70 දශකයේ දී කවි මෙර මත දමා සාහිත්‍ය සයුර කැලඹු කවියා ලෙසයි මා පරාක්‍රම කොඩිතුවක්කු දකින්නේ. මේනිසා විවිධ නිර්මාණ වස්තූන් ඒ වකවානුවේ මතු වුණා. ඒ වස්තූන්ගෙන් අදටත් ප්‍රයෝජන ගත හැකියි. ඒ නිසා ඔහුගේ ප්‍රකාශය පිළිබඳව අප සාවදාන විය යුතුයි. සිංහල කවිය ජන විඥාන පදනම මත ගොඩ නැගිය යුතු යැයි සිය විචාරයෙන් පෙන්වා දෙන මහා සාහිත්‍යධරයන් දෙදෙනෙක් ලෙස ගුණදාස අමරසේකරත් පරාක්‍රම කොඩිතුවක්කුත් හඳුනාගන්න පුළුවන්. මා මේ ජන විඥාන පදනම කියන්නේ ජන කවියට නොවෙයි. ඒ ආශ්‍රයෙන් නිපදවා ගත යුතු පොදු ජන විඥානය අමතන සම්භාව්‍ය කාව්‍ය දහරාවටයි. එය පෙර අපර දෙදිග සාහිත්‍යසම්ප්‍රදායන්ගෙන් පෝෂිත විය යුතුයි. එහෙත් කිරි උරාබී වැඩිය යුත්තේ ජන සම්ප්‍රදායේ තුරුලේ යැයි මා සිතනවා. වෑත්තෑවේ හිමියන්, ගුත්තිල කාව්‍ය නිර්මාණය කළේ මේ මාත්‍රාවෙන්. පසුගිය වකවානුවේ අනවශ්‍ය පරිදි බටහිර සහ වෙනත් කාව්‍ය සම්ප්‍රදායන්ගේ වහල් බවට සිංහල කවිය පත්වී තිබෙන බවක් දිස්වෙනවා. විවිධ යටිකූට්ටු වැඩ වලින් සම්මානවලට ආරූඩ වෙලා 'බමුණු කවියක්' ප්‍රචලිත කිරීමට දරණ වෑයමක් පවතිනවා. මෙලෙස ඒරොප්පෙන් සිංහල කවිය දියුණු කිරීමට වරම් පතන සුළුතරයක් නිසා සිංහල කවිය ගිලන් වූ බවක් පරාක්‍රමට නිරීක්ෂණය වුණා විය හැකියි. එහෙත් දැන් දැන් නව කවි පරපුර එබඳු රකුස් විල් කරා නොගොස් මෙරට කාව්‍ය සම්ප්‍රදාය මත පිහිටා නලපානාත්මකව පෙරඅපරදිග කාව්‍ය සම්ප්‍රදායන්ගේ ආභාෂය ලබන බව පැහැදිලියි. ඇමරිකාවේ ටී.එස්. එලියට් වගේම ලංකාවේ රැපියල් තෙන්නකෝන් මහා කවියාත් අප හැදෑරිය යුතුයි.

ඔබ කවියේ අන්තර් දෘෂ්ටිය දැඩිව විශ්වාස කළ කෙනෙක්. දාර්ශනික කවිය වෙනුවෙන් ගිනි තබාගන්නා තැනකයි ඔබ මීට පෙර සිටියේ. කවිය පිළිබද වර්තමාන අස්ථානයේ කිසියම් යූ හැරවුමක් මා දකිනවා. ඊට හේතුව මොකක් ද?

කිසිම යූ හැරවුමක් මා තුළ සිදු වී නෑ. කවිය කියන්නේ ප්‍රඥාවේ ගීතය කියලා මා අදත් විස්වාස කරනවා. එහෙත් කවියේ භාවමය පදාර්ථය අමතක කරලා හුදු බුද්ධිමය පදාර්ථය පමණක් උසස්කොට සැලකීමයි නොකල යුත්තේ. ඇතමුන් කවියේ දාර්ශනිකත්වය කියා හඳුනා ගන්නේ විවිධ දාර්ශනික සංකල්ප කූටප්‍රාප්ත කරන නිර්මාණ. එහෙත් කවියක ඇරඹුම හා අවසන තිබිය යුත්තේ වේදයිතයක් බවයි මගේ අදහස. එයයි මා විශ්වාස කරන කාව්‍ය මාර්ගය. තමන්ට දැනුනු තැනින් කවියා පටන් ගත යුතුයි. තමන්ට අවබෝධ වූ තැනින් කවියා අවසන් කළ යුතුයි. මගේ 'නා රජ වේ රජ' කෘතියේ මෙන් ම 'ලංකා පොකුණ' කාව්‍ය නිර්මාණ ද මට දැනුන කවි. එහි ඇත්තේ මගේ භාවමය ලෝකයයි. දාර්ශනිකත්වය කිව්වාම දාර්ශනිකයන්ගේ දාර්ශනිකත්වය නෙමේ කවියක තිබිය යුත්තේ. කවියා ඉන්නේ දර්ශනයට උඩින්. දාර්ශනිකයෝ කියන්නේ කවියාට සාපේක්ෂව පහළම ඉන්න කොටසක්. ක්‍රිෂ්ණ මූර්තිගේ දර්ශනය මම කොහොමද කවියෙන් කියන්නේ. ඒක ක්‍රිෂ්ණ මූර්ති කියන්න ඕන. මගේ දර්ශනයයි මම කවියෙන් කියන්නේ. මොකක් හරි කවියක් ලියන්න ඕන කියලා කල්පනා කර කර ඉන්නකොට මොකක් හරි පොතක තියන සංකල්පයක් දැක ඉතාම දුරස්ථ මාර්ගයකින් ආනයනය කරගන්නා එම අදහස ව්‍යාජ ලෙස පරිකල්පනයෙන් මාට්ටුකර සැකිල්ලකට බහා කොලයක් මත පිහිට වූ පමණින් කවියක් බිහි වෙන්නේ නෑ. ඒක තමන්ට දැනුනු දෙයක් නෙමෙයි. එහෙම වෙන්නේ කවීන්ට මිනිස්සු එක්ක එකතුවෙලා වැඩ කරලා ගැටිලා තිබෙන අද්දැකීම් හිඟ උනාම. ලංකා පොකුණේ ඇත්තේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් ලියවුන කවි. ඒක යූ හැරවුමක් නෙමේ.



නමුත් ඔබ වියුක්ත දාර්ශනික කවීන් ඇසුරෙයි මුල් කාලීනව වැඩෙන්නේ. ගුරු හරුකම් පවා ඔවුන්ගෙන් ලබා ඇති බව පෙරවදන් තුළින් පේනවා. ඒත් ඔබ නිර්මාණවල දී වෙනත් මානයක් ස්පර්ෂ කරනවා.

කවියා විවිධ සංස්කෘතික භූමි මත ඇවිද යන කෙනෙක්. කවියාට විවිධාකාර මිනිසුන් හමුවෙනවා. මිනිමරුවන්, මංකොල්ලකරුවන්, ගණිකාවන්, සාහිත්‍යධරයන් වගේම විවිධාකාර පුද්ගලයන් හමුවෙනවා, ආශ්‍රය කරනවා. එහිදී කවියාගේ දැනීම, ප්‍රඥාව කියන්නේ ගමන් කරනකොට ඇනෙන තුත්තිරි වගේ දෙයක්. ඒ ආශ්‍රය නිශ්‍රය වුනාට කවියෙක් තුළ තිබිය යුතුයි ස්වාධීනත්වයක්. අනන්‍යතාවක් තිබුනොත් තමයි අන්‍ය වෙන්න පුළුවන්. අනන්‍යතාව නැතිව අන්‍ය වෙන්න ගියොත් ඔහු අනුකාරකයෙක් වෙනවා. මම මගේ පළමු කවි පොතේ ඉදලම උත්සාහ කරලා තියෙන්නේ ස්වාධීන කාව්‍ය රීතියක් ඔස්සේ මගේ භාවමය ලෝකය රසිකයාට ගේන්න. ඒක රත්න ශ්‍රී විජේසිංහ වැනි විචාරකයන් හදුනා ගත්තා. පුද්ගලයන් ඇසුරු කළ පමණින් අදහස් වෙන්නේ නෑ මම ඒ කවිමග අනුගමනය කරනවා කියන එක. මම ඊට වඩා කවියේ බුද්ධිමය පදාර්ථ ගේනවා නම් ගේන්නේ ජී.බී ගෙන් හා සිරි ගුණසිංහගෙන්. මම ජී.බී ගේ කවිය පිළිබඳ පර්යේෂණ කරලා තියනවා. ඔහුට මම අදත් ගරු කරනවා. මොකද ජී.බී කවියට බුද්ධිමය පදාර්ථ වුනත් ගෙනාවේ අපේ සම්ප්‍රදායේ ඉදලා. සිරි ගුණසිංහගේ කවියත් ඒ හා සමානව ආශ්‍රය කරලා තියනවා. එතකොට මම ආභාසයක් ලබනවානම් ලබන්නේ එතනින්. නමුත් මට අවශ්‍ය මගේම ආඛ්‍යානයක්.

කාව්‍ය විචාරය පිරිහී ඇති බවට නැගෙන චෝදනාවට ඔබත් එකඟ ද?

මේ චෝදනාව බොහොම පරණ තැටියක්. ඒත් අලුතින් අහන්න පුළුවන් ආශාවෙන් ඒ නිසා මගේ අදහසත් කියන්නම්. මම නම් මීට පස්සේ විචාරකයන්ට දොස් කියන්නේ නෑ. නිල විචාරයගැන බලාපොරොත්තු තබා ගන්නෙත් නෑ. ඒ නිසයි ලංකා පොකුණ කාව්‍ය සංග්‍රහයේ පෙර වදන නාඳුනන රසිකයාට මා කැපකලේ. කවුද මේ නාඳුනන රසිකයා! ඔහු තමා නිස්සරණාධ්‍යාශයෙන් නිර්මාණකරුවා සමඟ අධ්‍යාත්මික බැදීමක් ඇති කර ගන්නා පුද්ගලයා. ඔහු කල්ලි කණ්ඩායම් ගුරුකුල නියෝජනය කරන්නෙක් නොවේ. ඔහු කාව්‍ය ප්‍රේමියෙක්. මෙබඳු මිනිසුන් මගේ කවිය විචාරය නොකලා නම් 90 දශයේ මැද භාගයේ ඉඳලා කවියෙකු ලෙස කාව්‍ය කරණයේ නිරත වන්නට මට පුළුවන් කමක් නෑ. ඔවුන් තමයි මගේ කවියේ හිරු එළිය සහ පොහොර. මගේ මුල්ම කාව්‍ය ග්‍රන්ථය 'චක්කරන් කොටුව' සහ 'ඇහැළි' දෙවන මුද්‍රණ සුරස ප්‍රකාශන ආයතනයෙන් පසුගිය දා පළ වුණා. එම කෘති වලදී මම මේ නාඳුනන රසිකයන් පාඨකයන්ට හඳුන්වා දී තිබෙනවා. නව කවියකට ආදරය කළ බොහෝ හොඳ මිනිසුන් ඔබට එම නව මුද්‍රණ පරිශීලනයේ දී හඳුනා ගත හැකියි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails