Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලෝක පූජිත කෘතහස්ත මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය ස්ටැන්ලි ජෙයරාජ් තම්බය්යා ජනවාරි මස 19 වන දින ටික කලක් රෝගාතුරව සිට ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වීම පොදුවේ මානව විද්‍යාවටත් ශ්‍රී ලාංකේය සමාජීය විද්‍යා ක්ෂේත්‍රයටත් පිරිමැසිය නොහැකි ශාස්ත්‍රීය හිඩැසක් නිර්මාණය කළේය යන්න මම විශ්වාස කරමි. ඒ මන්ද මහාචාර්ය තම්බය්යාගේ ශාස්ත්‍රීය පර්යේෂණ හා ප්‍රකාශන ශක්තිය ඔහු විසින් පොදුවේ මානවවිද්‍යාත්මක න්‍යායික පෝෂණයට පමණක් නොව දකුණු හා අග්නිදිග ආසියාතික සමාජ අලලා නිශ්පාදනය කොට ඇති මානවවංශීක දැනුම (ethnographical knowledge) තුළින් ද ප්‍රකාශයට පත් කළේය. එම මානවවිද්‍යා දැනුම ලෝක පරිමාණව ඉතා ඉහළ අගය කිරීමකට ලක් වීම නිසාම මානව විද්‍යා බුද්ධිමය කවයන් තුළ මහාචාර්ය තම්බය්යා අතිශය සම්භාවනාවට පාත්‍ර වූ මානව විද්‍යාඥයකු බවට පත්විය.

මහාචාර්ය තම්බය්යා යාපනයේ ක්‍රිස්තියානි දෙමළ ඉහළ මධ්‍යම පංතික පවුලක ඉපදී මූලික අධ්‍යාපනය යාපනයේ මධ්‍ය විද්‍යාලයෙනුත් පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් ලබාගත්තේය. 1951 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය දිනාගත් ඔහු 1954 දී සිය ආචාර්ය උපාධිය ලබාගත්තේ ශ්‍රී ලංකාවේ ගැමි සමාජය අලලා රචනා කරන ලද නිබන්ධනය සඳහාය. ඒ ඇමරිකාවේ කෝනල් විශ්ව විද්‍යාලයෙනි. එවකට සමාජවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ රොබින් විලියම් යටතේ සිය ආචාර්ය උපාධිය නිම කළ ඔහුට සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා සමාජ මනෝවිද්‍යාව යන විෂය ක්ෂේත්‍ර තුනම පිළිබඳව ප්‍රමාණික දැනුමක් ලබා ගැනීමට හැකි වූයේ කෝනල් හී මෙම විෂයන් තුනම එකම දෙපාර්තමේන්තුවක් යටතේ පැවති බැවිනි. මීට අමතරව බ්‍රයස් රයන්, පීටර් බ්ලව්, මොරිස් ඔප්ලර් සහ ඉඩ් සජ්මන් වැන්නන්ගේ ශාස්ත්‍රීය දෘෂ්ටීන්හී බලපෑම ද නොඅඩුව ලබාගැනීමට ඔහු සමත් විය. 1955 දී ඔහු බ්‍රයස් රයන් හා රැල්ෆ් පීරිස් වැනි මහාචාර්යවරුන්ගෙන් සමන්විත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයට බැඳී 1960 දක්වාම එහි සේවය කළේය. 1950 ගණන්වල අගභාගයේදී මෙරට ඇතිවන ජාතිවාදී ගැටුම් වල ආරම්භයත් සමඟම මතු වූ දේශපාලන වතාවරණය යටතේ මෙරට සිටි දක්ෂ දෙමළ ජාතික වෘත්තිකයන් රටින් බැහැරවීමේ තත්වය තුළ මහාචාර්ය තම්බය්යා ද යුනෙස්කෝ හි තනතුරක් ලැබ තායිලන්තයේ රාජකාරි සඳහා යොමුවිය. මෙය ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයේ වෙනසක් ඇති කළ තීරණාත්මක සිදුවීමකි. තායිලන්තයේදී "තායි බුදුදහම" අධ්‍යයනය සඳහා යොමුවන මහාචාර්ය තම්බය්යා පසුකාලීනව තායි බුදුදහම අලලා ප්‍රධාන මානවවිද්‍යාත්මක ග්‍රන්ථ තුනක් පළ කළේය.

1963 දී කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස බැඳෙන ඔහු එහිදී මේයර් ෆෙටේස්, එඩ්මන්ඩ් ලිච් හා ජැක් ගුඩි යන ප්‍රකට මානවවිද්‍යාඥයින් සමඟ සම්බන්ධ වෙමින් ශාස්ත්‍රීය පර්යේෂණයන්හී නියැලුනා පමණක් නොව මානවවිද්‍යාංශයේ ජනප්‍රියම ආචාර්යවරයා ලෙස සිසුන්ගේත් ගරුබුහුමන් ද ලැබුවේය. පසු කාලීනව ආගම පිළිබඳ මානවවිද්‍යාවේ විශිෂ්ට බුද්ධිමතුන් බවට පත් වූ මයිකල් සැල්නෝව්, ක්‍රිස් ෆූලර්, ටිම් ඉන්ගොල්, ජොක් ස්ටිරාට් සහ කැරොලින් හම්tපි වැනි අය කෙම්බ්‍රිජ් හි මහාචාර්ය තම්බය්යාගේ ශිෂ්‍යයෝ වූහ. 1973 සිට 1976 දක්වා ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යාංශයට බැඳී සේවය කළ ඔහුට 1976 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ධූරය පිරි නැමුණු අතර ඔහු විශ්‍රාම යන තෙක්ම එහි සේවය කළේය. ආසියාතිකයකු විසින් මානවවිද්‍යා ක්ෂේත්‍රයේ හාවඩ් හි මහාචාර්ය ධූරයක් දැරූ ප්‍රථම තැනැත්තාද ඔහු විය. ඔහුගේ සේවය ඇගයීම වස් හාවඩ් විශ්ව විද්‍යාලය මඟින් එස්තර් සහ සිඩ්නි රැබ් පර්යේෂණ සම්මානිත මහාචාර්ය ධූරය මානව විද්‍යාව සඳහා පිරි නැමුවේය. එසේම හාවඩ් විශ්ව විද්‍යාලයේ හාවඩ් පදනම මඟින් 2005 මැයි මස 6 වන දින මහාචාර්ය තම්බය්යාගේ අනුරුවක් විවෘත කළේය. එය ශ්‍රී ලාංකිකයෙකු ලද ඉහළම ගෞරවයක් බව සඳහන් කළ යුතුය. මීට අමතරව ජාත්‍යන්තර සම්මාන ගණනාවක්ම ඔහු විසින් මානවවිද්‍යා ක්ෂේත්‍රයට දක්වන ලද දායකත්වය සඳහා පිරිනමා ඇත. ඒ අතර 1991 දී චිකාගෝ විශ්වවිද්‍යාලය විසින් පිරිනැමූ ගෞරව ආචාර්ය උපාධියද, රාජකීය මානවවිද්‍යා සංගමයේ Huxley සම්මානයද(1997), 1997 දී බල්සන් සම්මානය ද (The Balzan Price), 1998 දී ජාත්‍යන්තර Fukuoka Academic Price මෙන්ම බ්‍රිතාන්‍යය ඇකඩමියේ ගෞරව සම්මානද ඔහුගේ ශාස්ත්‍රීය සේවයට ලැබූ ගෞරව නාම ලැයිස්තුවේ ඉහළින්ම ඇත.

මහාචාර්ය තම්බය්යා ගේ පර්යේෂණ දිවියෙහි ආරම්භය ඔහුගේ සමකාලීන සමාජවිද්‍යාඥයන් මෙන්ම ශ්‍රී ලාංකේය ගැමි සමාජය තේරුම් ගැනීම කේන්ද්‍රකොට ගෙන සිදුවන අතර ඊට එවකට සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ ප්‍රබල න්‍යායික බලපෑමක් ඇති කළ රොබට් රෙඩ්ෆිල්ඩ් ගේ "ගැමි අධ්‍යයන" මූලික විය. විශේෂයෙන්ම පාතදුම්බර ප්‍රදේශයේ එස්.කේ සර්කාර් සමඟ කරන ලද සමාජ - ආර්ථික සමීක්ෂණ ඇසුරින් ගැමි සමාජවල දුගීභාවය, ගැමි ඥාතිත්වය හා විවාහ සංස්ථාව, දෑවැද්ද හා බහුවිවාහ මෙන්ම ඉඩම් භුක්තිය පිළිබඳ අවධානය යොමු කෙරිණි. එම පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස පර්යේෂණ පත්‍රිකා කිහිපයකුත් සර්කාර් හා ඔහුගේ කර්‍තෘත්වයෙන් එළි දක්වන "Disintegrating Village: Report of a Socio – Economic Survey"(1957) නැමැති ග්‍රන්ථය ද වැදගත් වේ.

මාතලේ ලග්ගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන ඇසුරින් ගනනාථ ඔබේසේකර සමඟ කරන ලද මානව විද්‍යාත්මක ක්ෂේත්‍ර පර්යේෂණ ඇසුරින් ශ්‍රී ලංකාවේ බහු පුරුෂ සේවනය නැතහොත් එක ගේ කෑම පිළිබඳ විවාහ සංස්ථාව පිළිබඳ රචනා කරන "Polyandry in Ceylon" (1966) යන පර්යේෂණ පත්‍රිකාවත් බී.එච් ෆැමර් (B.H Famer) හා එකතුව ගල්ඔය ජනපදය ඇසුරින් කරන ලද පර්යේෂණය ඇසුරින් "Agriculture Extension and Obstacles to Improved Agriculture in Gal Oya Peasant Colonization Scheme"(1962) යන මැයෙන් රචනා කරන ලද පර්යේෂණ පත්‍රිකාව මහාචාර්ය තම්බය්යා ගේ මුල්කාලීන ලාංකේය ක්ෂේත්‍ර පර්යේෂණ වලට හා ප්‍රකාශනවලට සාක්ෂි දරයි.

මහාචාර්ය තම්බය්යාගේ ශාස්ත්‍රීය ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානය වන්නේ ඔහුට 1963 දී කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දී මහාචාර්ය එඩ්මන්ඩ් ලිච් හමුවීමය. එවකට බ්‍රිතාන්‍යය මානව විද්‍යාව තුළ ප්‍රධාන න්‍යායික ආස්ථාන දෙකක් අධිපතීත්වය දැරූ අතර මැලිනොව්ස්කි යටතේ කෘත්‍යවාදයත් (Functionalism) රැඩ්ක්ලිෆ් බ්‍රවුන් යටතේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය ( Structured Functionalism ) හෙවත් බ්‍රිතාන්‍ය ව්‍යුහවාදය ප්‍රබල විය. කෙම්බ්‍රිජ් මානව විද්‍යාව වඩා නැඹුරුව පැවතියේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය දෙසටය. එහි දී බ්‍රවුන් ගෙන් පසුව එවන්ස් - ප්‍රිචර්ඩ්, මේයර් ෆෙටේස්, ජැක් ගුඩි හා එඩ්මන්ඩ් ලිච් වැනි ප්‍රමුඛ පෙළේ මානව විද්‍යාඥයන් අප්‍රිකාව, දකුණු හා අග්නිදිග ආසියාතික සමාජ පිළිබඳ තම මානවවංශ පර්යේෂණ මත පිහිටා ඥාතිත්වය පිළිබඳ තියුණු න්‍යායික සංවාදයක පැටලී සිටියේය. එහිදී ෆෙටේස් හා ගුඩි ඔවුන්ගේ අප්‍රිකානු මානවවංශ තොරතුරු පාදක කර ගනිමින් ඥාතිත්වය "උරුමය" මත නිශ්චය(Descent Theory) කළ යුතුය යන තර්කය නැඟුමෙන්ය. ලිච් හා තම්බය්යා ඔවුන් විසින් සිදු කළ දකුණු හා අග්නිදිග ආසියානු විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය මානවවංශ පර්යේෂණ කේන්ද්‍ර කොට ඥාතිත්වය උරුමය මත නොව දේපළ උරුමය හා බෙදාහැරීම (Alliance Theory) මත නිශ්චය වන්නක් යන්න ප්‍රතිතර්ක නැගූහ. මෙම විවාදයේ දී ලිච් හා තම්බය්යා වඩ වඩාත් බ්‍රිතාන්‍යය ව්‍යුහාත්මක කෘත්‍යවාදයෙන් බැහැරව ලෙවි - ස්ට්‍රව්ස් ගේ ප්‍රංශ ව්‍යුවාදය වෙත යොමු වීම දැකිය හැක.

1973 දී චිකාගෝ විශ්ව විද්‍යාලයට බැඳී එහි දකුණු ආසියාතික අධ්‍යයන(South Asian Studies) වැඩ සටහන පුළුල් කිරීම සඳහා කේන්ද්‍රීය දායකත්වයක් සපයන මහාචාර්ය තම්බය්යා ඇමරිකානු සංස්කෘතික මානව විද්‍යාව(Cultural Anthropology) මෙන්ම එවකට චිකාගෝ හි දැඩි අවධානය යොමුව තිබූ වාග් විද්‍යාත්මක මානව විද්‍යාව හා සංකේතාත්මක මානව විද්‍යාව (Symbolic Anthropology) කෙරෙහි නැඹුරු වීමත් එහි ආභාසය ලැබීම වඩා හොඳින් සනිටුහන් වන්නේ 1985 දී පළ කරන ලද Culture, Thought, and Social Action යන පර්යේෂණ පත්‍රිකා එකතුවකින් යුත් ග්‍රන්ථය ඔස්සේය. 1989 දී ලුවි හෙන්රි මෝගන් දේශන මාලාව පදනම් කොට ගෙන Magic, Science, and Religion and the Scope of Rationality යන නමින් 1990 දී පළ කරන ලද ග්‍රන්ථය ද ඔහුගේ ඉහත දැක්වූ න්‍යායික ආස්ථානය ඉදිරියට ගෙන යාමක් ලෙස දැක්විය හැක. විශේෂයෙන්ම මිනිස් ක්‍රියාවන් එදිනෙදා ජීවිතයේදී සකස් වීමේදී විශ්වානත්තර මතවාදයන් (Cosmologies) සහ වර්ගීකරණ පද්ධතින්(Classificatory Systems) යොදා ගැනීම තේරුම් ගැනීමත් සංස්කෘතික කාණ්ඩයන් (Cultural Categories) මිනිස් ක්‍රියාව තුළ භාවිත වන අයුරු විශ්ලේෂණය කිරීමත්ය. තම්බය්යා මානව විද්‍යාව තුළ ජනප්‍රියත්වයට භාජනය වූයේ මානවවිද්‍යා දැනුම පෝෂණය කිරීමෙහිලා ඔහුගේ න්‍යායික දායකත්වය සැපයිමට වඩා මානව විද්‍යා න්‍යාය තේරුම් ගැනීම සඳහා අවශ්‍යය අතිශය පොහොසත් මානවවංශ තොරතුරු (Ethnographical Information) විද්‍යාත්මකව යොදා ගත් කෘතහස්ත මානවවිද්‍යාඥයකු ලෙසය.



1976 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධූරයක් ලැබීමත් සමඟ ඔහුගේ ශාස්ත්‍රීය උනන්දුව නැවත දකුණු හා අග්නිදිග ආසියානු කලාප වෙත යොමු වීම දැකිය හැක. විශේෂයෙන්ම තායි බුදු දහම හා එහි විපර්යාසයන් අලලා ඔහු විසින් දීර්ඝ කාලීනව කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස පළ කරන ලද ග්‍රන්ථ හා පර්යේෂණ පත්‍රිකා හරහා ථෙරවාදී බුදුදහම පිළිබඳ කෘතහස්ත මානවවිද්‍යාඥයකු ලෙස මානව විද්‍යා බුද්ධිමය කවයන් තුළ පමණක් නොව පොදුවේ ආගමික අධ්‍යයන යන විෂය ක්ෂේත්‍රවල ශාස්ත්‍රීය දැවැන්තයෙක් ලෙස සම්භාවනාවට පාත්‍ර විය. තායි බුදුදහම පිළිබඳ ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වයඹදිග ග්‍රාමීය තායි සමාජයේ "ගැමි තායි බුදුදහම" හා එහි භාවිතයන් මුල්කොට Buddhism and the Spirit Cults in North – East Thailand (1970) නමින් පළ කෙරිණි. ඔහුගේ දෙවන ග්‍රන්ථය තායි බුදුදහම හා දේශපාලනය අලලා World Conqueror and Renouncer (1976) නමින් ඓතිහාසික මූලාශ්‍ර හා මානවවංශ අධ්‍යයනය යොදා ගනිමින් පිටු 550 කින් යුත් සුවිශාල ග්‍රන්ථයක් පළ කළේය. තායි ඉතිහාසය තුළ අතිශය විමධ්‍යගත සමූහ ආණ්ඩු පාලනයක සිට කේන්ද්‍රීය පාලනයක් දක්වා තායි සමාජය විපර්යාසයට භාජනය වීමේ ක්‍රියාවලිය තුළ "නාගරික තායි බුදු දහම" මතුවීමේ ස්වභාවය ඉතා විනිවිද යන සුළු ආකාරයට විස්තර කෙරේ. තායි බුදු දහම තුළ මතුවෙමින් ආ නව ප්‍රවනතාවයන් විස්තර කිරීම සඳහා තායි වනවාසි භික්ෂූන් වහන්සේලා අලලා රචනා කරන ලද The Buddhist Saints of Forest and the Cult of the Amulets (1984). කඳුකර වනවාසී භික්ෂූන්වහන්සේලා භාවනායෝගී ජීවිත ගත කිරීම හරහා අත්පත් කරගත් අධ්‍යාත්මික බලය මෙලෙස සුඛවිහරණය සඳහා නාගරික ප්‍රභූන් යොදා ගැනීමට දක්වන උනන්දුව මත මතු වූ එම භික්ෂූන් වහන්සේලාගේ අනුරූ සහිත යන්ත්‍ර ඇදහිල්ල ප්‍රචලිත වී ඇති අයුරු මානව විද්‍යාත්මකව විශ්ලේෂණය කෙරේ. වත්මන් ලාංකේය බුදුදහම තුළ මතුවෙමින් පවතින නව ප්‍රවනතාවයන් තේරුම් ගැනීමෙහිලා තම්බය්යාගේ මෙම කෘතිය අතිශය වැදගත්වන බව මෙහිලා සඳහන් කළ යුතුය.

1983 දී මෙරට ඇති වූ ජනවාර්ගික කෝලහලය මෙරට බුද්ධිමතුන්ගේ ශාස්ත්‍රිය උනන්දුව නවමානයකට යොමු වීමට බලපෑවේය. විශේෂයෙන්ම "ප්‍රචණ්ඩත්වය හා ආගම" අතර ඇති සම්බන්ධය විවේචනාත්මකව විශ්ලේෂණය සඳහා දෙස් විදෙස් මානව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වීම කැපී පෙනේ. මෙම සංවාදයේදී මහාචාර්ය තම්බය්යා ගේ දායකත්වය කැපී පෙනෙන්නේ ඔහු විසින් ආගම හා ප්‍රචණ්ඩත්වය අලලා රචනා කරන ලද Ethnic Fratricide and the Dismantling of Democracy (1986) සහ වඩා ආන්දෝලනයකට පත් වූ Buddhism Betrayed? Religion, Politics and Violence in Sri Lanka (1992) යන ග්‍රන්ථයන්ය. "බුදුදහම පවාදීම" නැමැති තහනම් කරන ලද කෘතියේදී ඔවුන් විසින් නඟන ලද කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ අවිහිංසාවාදයට තදින්ම කැප වු බුදු දහම වැනි ආගම් ලාංකේය සංදර්භය තුළ දී වඩා ප්‍රචණ්ඩකාරී ආගමක් ලෙස පරිවර්ථනය වන්නේ කෙසේද? යන්නයි. විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා "යුදකාමී භික්ෂූන්" (Militant monk) ලෙස මතුවීමත් ඔවුන්ගේ කාර්ය භාරය දේශපාලනය තුළ නැවත අර්ථකථනය වන අයුරුත් සාකච්ඡා කෙරේ. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමත් සමඟ මහාචාර්ය තම්බය්යා ඊලාම්වාදියකු, කොටියකු හා දේශ ද්‍රෝහියකු ලෙස නම් කිරීමට මෙරට අන්තවාදී දේශපාලන බලමුළු ක්‍රියාත්මක වූයේ "ජනවාර්ගික ප්‍රශ්නය" සම්බන්ධව ඔහුගේ ස්ථාවරය නිවැරදිව තේරුම් නොගෙන බව මගේ විශ්වාසයයි. මන්ද මහාචාර්ය තම්බය්යා කිසි දිනෙක ඊලාම්වාදියෙකු නොවූ අතර ඔහු පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හා සමානත්වය වැනි විශ්වීය මානව ගුණාංග තම උපන් දේශය තුළ නැවත ඇති කරන්නේ කෙසේද? යන ප්‍රශ්න ශාස්ත්‍රීයව පෙන්වා දීම සඳහාය.ඔහු දෙමළ අන්තවාදයටත් සිංහල බෞද්ධ අන්තවාදයටත් ඉඳුරාම එරෙහි වූ බුද්ධිමතෙකි.

"ආගම හා ප්‍රචණ්ඩත්වය" පිළිබඳ ඔහුගේ අධ්‍යයනයන් ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගෙන ගොස් දකුණු ආසියාතික සමාජවල ජනවාර්ගික ජාතිකවාදය ( Ethno nationalism) පදනම් කරගත් ජනවාර්ගික ගැටුම් හා සාමූහික ප්‍රචණ්ඩත්වයන් තේරුම් ගැනීමට අතිශය වැදගත් න්‍යායික හා සංකල්පමය සුත්‍රගත කිරීමක් Levelling Crowds: Ethno Nationalist Conflicts and Collective Violence in South Asia (1996) යන කෘතිය හරහා ඉදිරිපත් කළේය. ඔහුගේ අවසාන ප්‍රධාන ග්‍රන්ථය රචනා කරනු ලබන්නේ තම ශාස්ත්‍රීය ගුරුවරයා හා කිට්ටු මිත්‍රයකු වන මහාචාර්ය එඩ්මන් ලිච් ගේ ශාස්ත්‍රීය ජීවිතය අලලාය. ඒ චරිතාපදානයකි. [Edmund Leach: An Anthropological Life (2002)]

එඩ්මන්ඩ් ලිච් පිළිබඳව ඔහු රචනා කරන ලද ග්‍රන්ථයේ සඳහන් වන පරිදි තම්බය්යාට ලිච් ප්‍රථමයෙන්ම මුණගැසී ඇත්තේ 1956 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. ඒ ලිච්ගේ "පුල්එළිය" ග්‍රන්ථය සඳහා දෙවන වර ක්ෂේත්‍ර පර්යේෂණවලට පැමිණි අවස්ථාවේදීය. එම හමුවීම තම්බය්යාගේ ශාස්ත්‍රීය ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළේය. තම්බය්යා ඒ වන විට පහතදුම්බර ප්‍රදේශය අලලා කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් ලිච් වෙත යවා ඇති අතර එම පර්යේෂණ පත්‍රිකාව බ්‍රිතාන්‍යයේ ඉහළම පර්යේෂණ සඟරාවක් වන රාජකීය මානවවිද්‍යා ආයතන සඟරාවේ (Journal of the Royal Anthropological Institute) පළ කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නා පමණක් නොව එම සඟරාවට අවශ්‍ය පරිදි එම පර්යේෂණ පත්‍රිකාව සංස්කරණය කොට "The Structure of Kinship and Its Relationship to Land Possession and Residence in Pata Dumbara, Central Ceylon" JRI . Vol . 88 . no, 1, 1958 pp 21 - 44" යන නමින් පළ කිරීම තරුණ මානවවිද්‍යාඥයකු ලෙස තම්බය්යා ලද භාග්‍යයකි. මෙහිදී වැදගත් වන්නේ මහාචාර්ය තම්බය්යා වැනි ලෝක පූජිත මානවවිද්‍යාඥයකු ශ්‍රී ලංකාව තුළින් බිහිකිරීමට මහාචාර්ය එඩ්මන්ඩ් ලිච් සපයන ලද දායකත්වයේ අතිශය වැදගත් කමයි. ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයේ ගුරුවරයා හා සමීපතම මිතුරා වූයේ එඩ්මන්ඩ් ලිච්ය. ඒ මිත්‍රත්වයේ හා ගුරු ගෞරවයේ ස්වභාවය තම්බය්යා විසින් රචනා කරන ලද එඩ්මන්ඩ් ලිච් චරිතාපදානය පිටු 517 න් යුත් ග්‍රන්ථය මැනවින් සාක්ෂි දරනවා ඇත.

මට ප්‍රථම වරට හා අවසන් වරට මහාචාර්ය තම්බය්යා හමුවන්නේ 2009 වසරේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියාතික අධ්‍යයන කේන්ද්‍රයේ ආරාධනාවක් මත දේශනයක් පැවැත්වීමට එහි ගිය අවස්ථාවේදීය. පාංශුදේහධාරී පුද්ගලයකු වූ ඔහු ඒ වනවිට ද රෝගාතුර තත්වයේ සිටියත් ආගන්තුකසත්කාරය හා තරුණ පරම්පරාවේ මානවවිද්‍යා පර්යේෂණ පිළිබඳව තිබුණේ දැඩි උනන්දුවකි. ඔහු විසින් අවසන් වරට රචනා කරන ලද එඩ්මන්ඩ් ලිච්ගේ චරිතාපදානයේ පිටපතක් මා වෙත පරිත්‍යාග කළේ ආගම හා දේශපාලනය පිළිබඳ පර්යේෂණ වඩාත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයද අවධාරණය කරමිනි. මහාචාර්ය තම්බය්යා මානවවිද්‍යාවට පමණක් නොව සමාජීය විද්‍යා ක්ෂේත්‍රයට කරන ලද දායකත්වය පිළිබඳ ප්‍රශස්ථ ඇගයීමක් ඉංග්‍රීසි භාෂාවෙන් පළ වී ඇති සන්දර්භය තුළ මෙම කෙටි සටහන සිංහල පාඨකයා වෙත යොමු කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහුට කළ හැකි උපහාරයක් ලෙසය. දෙමළ භාෂාවට මෙම ලිපිය පරිවර්ථනය කොට පළ කිරීමට යමෙකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට කෘතඥ වෙමි.

ප්‍රේමකුමාර ද සිල්වා,
මහාචාර්ය, සමාජවිද්‍යා අධ්‍යයන අංශය,
කොළඹ විශ්ව විද්‍යාලය.

ප්‍රේමකුමාර ද සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails