Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සියදිවි නසාගැනීම් අතරින් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක සිටින ලංකාවේ තවත් සියදිවි නසා ගැනීම් ද්විත්වයක් වාර්තා වූයේ සුපුරුදු ලෙස නැසීගිය ජීවිත වල වටිනාකමට වඩා අවශේෂ කාරණා වලට ප්‍රමුඛත්වය දෙමිනි. තරුණ ජීවිත ද්විත්වයක් ලෝකය හැර යාම දරුණු සමාජ ඛේදවාචකයක් වුවත්, ඉන් උගත යුතු පාඩම් සහ සමාජයීය වෙනස්කම් සදහා අප විවෘත ද යන්න ගැටළුවකි.

ඉන් එක් අවස්ථාවකදී සෘජු ලෙස මනුෂ්‍ය ඝාතනයක් ලෙස ඔප්පු කරගත වූ නොහැකි නිසාවෙන් ශිෂ්‍ය දේශපාලනය හිරකිරීමට තිබූ අවස්ථාවක් රජයට මගහැරී ගියේය. ඔහු විසින් ලිපියක් හෝ වෙනයම් පණිවිඩයක් තබාගොස් නොතිබූ නිසාවෙන්ම දෝ මේ පිළිබදව වන කතිකාව සමාජයට මගහැරී ගොස් තිබේ. එහෙත් ලිපියක් ලියා තබා ගෙළවැල ලා මියගොස් සිටි වෙනුෂා ඉමන්දි නම් සිසුවිය චෝදනා කර සිටි ඇගේ පාසලේ විදුහල්පතිවරයා මේ වන පොලිස් අත්අඩංගුවට ගැනීම ද සිදුකර ඇත.

මෙම සියදිවි හානීකරගැනීම් සිද්ධි දෙක පිටුපස එක්තරා සමාජ ඛේදවාචක ද්විත්වයක් පිළිබදව අපට ඉගිකර සිටී. එහිදී වෙනුෂා ඉමන්දිගේ සිද්ධිය සම්බන්ධයෙන් එකඟතාවයක් නොමැතිව වුවද සමාජ කතිකාවක් ඇතිව තිබේ. එය විසින් සාම්ප්‍රදායික සිංහල බෞද්ධ සිතීම් ප්‍රශ්ණ කොට ඇත. පාසැල් ප්‍රේමය, සමාජ ජාල වෙබ් අඩවි, ගුරු සිසු සම්බන්ධය පිළිබදව වන කතිකාව විසින් සාධනීය හෝ නිශේධනීය බලපෑමක් සිදුවීමට ඉඩකඩ ඇත. සාධනීය තත්ත්වය නම් මනෝවිද්‍යාත්මක අවබෝධයෙන් යුතුව ශිෂ්‍ය ප්‍රේමය හෝ නව යොවුන් ප්‍රේමය පිළිබඳ වඩා අවබෝධයෙන් යුතුව බැලීමට සමාජය හුරුවීම හා ඉන් සිදුවිය හැකි සෘණාත්මක බලපෑම් පිළිබදව නව යෞවනයන් වෙත අධ්‍යාපනය ලබා දීමයි. මෙහි නිශේධනාත්මක ප්‍රතිඵලය නම් ෆේස්බුක් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධ වාරණයක් පනවා එමගින් රාජපක්ෂ රෙජීමයට පවතින අන්තර්ජාල භීතිකාව නැතිකර ගැනීමත් එමගින් පසුගාමී සිංහල බෞද්ධ කතිකාව සන්තර්පණය කිරීමත්ය. සුපුරුදු ලෙසටම සිදුවීමට වඩාත් ඉඩකඩ ඇත්තේ දෙවන කාරණය හෝ කිසිම දෙයක් සිදුනොවී මෙම කතිකාව යටපත්වීමත්ය.

කෙසේ වුවද මෙම ලිපියෙහි අරමුණ මෙම මරණ ද්විත්වයෙන් අඩු අවධානයට ලක්වූ එහෙත් වඩාත් සමාජයේ ප්‍රධාන ධාරාවෙන් ඔබ්බෙන් වූ සමාජ ඛේදවාචකයක් පිළිබද සංවාදයක් සිදුකිරීමය. සංවාදයකට ඉඩකඩ හෝ හුරුවක් නොමැති සමාජයකින් වඩාත් පාර්ශවීය වූ පිළිතුරු බලාපොරොත්තුවෙන් වුවද, සාධනීය වෙනසක බලාපොරොත්තු තබමින් මෙම සංවාදය සදහා දායක වෙමි.

අගුණකොලපැලැස්සේ ඩී.කේ. නිශාන්ත අගහිඟකම් මැද අධ්‍යාපනය හදාරා 2011 වසරේදී වැඩිදුර අධ්‍යාපනය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණේ. එහිදී විශ්වවිද්‍යාලයේ නවක වදයට අදාළ සිද්ධියක ප්‍රධාන සාක්කිකරුවා වන ඔහුට මේ නිසාම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිතයට සමුදීමට සිදුවේ. පේරාදෙණිය වැනි සංවෘත පරිසරයක පිහිටි විශ්වවිද්‍යාලයක පවතින රැල්ලට එරෙහිව හිටගැනීම ශිෂ්‍ය ජීවිතය අතහැරීමට හේතුව වන්නට ඇත. ඒ අනුව ඔහුගේ සියදිවි හානි කරගැනීමට ප්‍රධානතම හේතුව වීමට ඉඩකඩ ඇත්තේ ඔහුගේ ජීවන ඉලක්කය වැටී තිබූ සරසවි ජීවිතය අහිමිවීමෙන් සිදුවුණු අපේක්ෂාභංගත්වයයි. ආර්ථික ප්‍රශ්ණ, සාමාජයීය පීඩනය මෙන්ම මේ කිසිම සම්බන්ධයක් නොමැති වෙනයම්ම හේතුවක් ඔහුගේ සියදිවි හානි කරගැනීමට හේතුවූවාදැයි අපට නිශ්චිතවම කිව නොහැක. එහෙත් එසේ වූ පමණින් මගහැර යා නොහැකි ගැටළුවක් ඇත. එනම් නවක වදයයි.

නවකවදය වචනය තුළින් ගම්‍ය වන්නේ එක්තරා නිශේධනාත්මක අදහසකි. ඉන් කියවෙන්නේ එක්තරා සමාජ පද්ධතියකට පැමිණෙන නවකයින් වෙත එහි සිටින පැරැන්නන් විසින් යොමුකරන ප්‍රචණ්ඩත්වයයි, පීඩාවයි. නිශේධනාත්මක වූ පමණින්ම එය ක්ෂනිකව අත්හැරිය හැකි සංකල්පයක්ද? නවකවදය යනු සරසවි නවකවදය පමණක්ද? මේ සියළු නවකවද අතරින් සරසවි නවකවදය පමණක් සමාජ අවධානය ලබාගන්නේ ඇයි? මේ සියළු දෑ නොසලකා අපට මෙම ප්‍රශ්ණය ආමන්ත්‍රණය කළ නොහැක.

නවකවදය ඇත්තේ විශ්වවිද්‍යාල වල පමණක්ද? පිළිතුර නැත යන්නයි. ඒ නමින් නොවුණත් වෙනත් සංස්ථාපිත තත්ත්වයන් යටතේ මිලිටරි සේවාවල, පාසැල් පද්ධතිය තුළ (උසස් යැයි සම්මත පාසැල් වල විශේෂයෙන්) විවිධාකාර මට්ටම් වලින් නවකවදය ක්‍රියාවට නැංවේ.
පුද්ගලික අත්දැකීමක් ලෙස ලේඛකයා හට නවකවද අත්දැකීම් සම්බන්ධයෙන් ඇත්තේ මිශ්‍ර හැගීමකි. එහි ඇති වින්දනය කරනවා යැයි කිවහැකි අත්දැකීම් පිළිබදව සටහනක් බ්ලොග් අවකාශයෙන් සොයාගත හැකිවිය. මේ අත්දැකීම් හා කරුණු කාරණා ගැන ලේඛකයාගේ එකඟත්වය ද හිමිවේ. එහෙත් ගැටළුව වන්නේ මේ සියළු තත්ත්වයන් යටතේ නවකවදය සංකල්පයක් ලෙස පිළිගත හැකිද යන්නයි.

ගැටළුව සදහා යොමුවීමට පෙර නවක වද, සරසවි නවක වදයට ලඝු කිරීමත්, එනිසාම සරසවි නවක වදයට පමණක් විරුද්ධ පිරිස් ගැනත් අවධානය යොමුකළ යුතුය. සරසවි තුළ විකල්ප සංස්කෘතික හා දේශපාලනික නැඹුරුවක් තිබීමත් එකී නැඹුරුව පවත්වාගෙන යාම සදහා නවකවදය උපයෝගීකරගන්නවා යැයි උපකල්පනය කිරීමත් සරසවි නවකවදය අන් තත්ත්වයන්ගෙන් වියුක්තව රාජ්‍ය හා අනෙකුත් විකල්ප නුරුස්සන්නන්ගේ කෝපයට නතු වීමට හේතුවයි. මේ නිසා අන් කිසිදු කරුණක් නොසලකා ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතය පමණක් නොව සමස්ත සරසවි අධ්‍යාපන කඩාවැටීමට ද හේතුව නවකවදය බවට උලුප්පන්නන් සිටී. රාජ්‍ය අතපෙවීම්, පරිපාලන අකාර්යක්ෂමතාවය, පරිපාලන වංචා දූෂණ, අරමුදල් හිඟකම් වැනි ගැටළු ද්වීතික තත්ත්වයට පත්කිරීමට නවකවදය හෝ ශිෂ්‍ය දේශපාලනය හේතුනොවන බවට මුලින්ම සදහන් කළ යුතුය.

සරසවි ශිෂ්‍යයින් විසින් පෙනීසිටින දේශපාලනයට ඇති එකඟත්වය කෙසේ වෙතත් ඔවුනට දේශපාලනය කිරීමට ඇති අයිතිය මෙන්ම ඔවුන්ගේ දේශපාලනික නැඹුරුව නිසාවෙන් එය මැඩපැවැත්වීම සඳහා නවකවදය දඩමීමා කරගැනීම දැනට පවතින තත්ත්වයයි. අනෙක් පසින් විශ්ව විද්‍යාල බහුතරයක බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම් විසින් සිය බලය රැකගැනීමට හා එය පවත්වාගෙන යාම සදහා නවකවදයට එරෙහි නොවීමත්, සිය මතවාදය ව්‍යාප්ත කිරීම සදහා නවක වදය භාවිතාකිරීම අනෙක් තත්ත්වයයි. මෙකී අන්තදෙක විසින් 'නවකවදය' යන සංකල්පය සිය දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් භාවිතාකරන නිසාවෙන් ඒ පිළිබදව වන සාධනීය කතිකාවක් සහ වෙනසක අවශ්‍යතාවය මගහැරීගොස් ඇත.

සරසවි නවකවදය තුළින් සරලවම සිදුවන්නේ සරසවියට පැමිණෙන ආධුනිකයා එහි සිටින ජේෂ්ඨයන් හට නතුවීමයි. එහිදී වාචික හා ශාරීරික හිංසාවන් සහ බලහත්කාරකම, මනෝමය බලපෑම් වැනි ක්‍රම ඔස්සේ විශ්වවිද්‍යාලය තුළ පවතින් උපසංස්කෘතිය වෙත ආධුනිකයාව හුරුකරනු ලබයි. එහිදී භාෂාව, අනවර්ථ නාමයන්, සරසවි සම්ප්‍රදායන්, ලෝකය පිළිබදව දේශපාලනික බැල්ම, විශ්වවිද්‍යාලයේ නිදහස්කාමී බව යනාදී කරුණු කාරණා රැසක් මෙම ක්‍රියාවලිය සදහා අන්තර්ගතවේ. සරසවි තුළ මෙම ක්‍රියාවලිය සංවිධානාත්මක දෙයකි. උදාහරණයක් ලෙස ජේෂ්ඨ සිසුන් විසින් එක්තරා දිනක් තුළ සිදුකරන්නේ කවරාකාරයේ වැඩපිළිවෙලක්ද යන්න පිළිබදව පූර්ව සාකච්ඡා සහ සැලසුම් සකස් කෙරේ.

කෙසේ වුවද 'නවකවදය' යන වචනය තුළ ඇති නිශේධනාත්මක තේරුම මෙන්ම මෙම ක්‍රියාවලිය පුරාවට ඇති හිංසාව නිසාම සමස්තය පිළිබදව සාධනීය අදහසක් කවරෙකු තුළවත් ජනිතවන්නේ නැත. මෙකී ක්‍රියාදාමයේ ප්‍රතිවිපාකයන් පිළිබදව මිශ්‍රහැගිමක් ලේඛකයා සතු වුවත් සංකල්පීය හා පදනම් වශයෙන් ගත්කළ එය කිසිලෙසකින්වත් නූතන තත්ත්වයක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඛණ්ඩනයත්, ඊට සමාන්තරව ශිෂ්‍ය ව්‍යාපාරයට සිදුවූ බලපෑමත්, විශේෂයෙන් දේශපාලන මතවාදය හා අධ්‍යනය සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ විවෘත බවත් හේතුකොට ගෙන මෙම සංවාදය ඉස්මතුකිරීම වඩා සාධනීයයි සිතමි. රටේ හෝ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධව පවතින වඩාත්ම ප්‍රමුඛ ගැටළුව මෙය නොවූවත්, විකල්ප යැයි හඟින බලවේගයන් සතුව පවතින මානවවාදී නොවූ කාරණා ඉස්මතු කිරීම වඩාත් යහපත් සමාජයක් සදහා වන එළැඹුමක් ලෙස දකිමි.

ස්ථිතික සංස්කෘතියක්

සංස්කෘතියක් යනු ස්ථිතික දෙයක් නොවේ. එය නිරන්තර වෙනස්වීම් වලට ලක්වේ. උපරිව්‍යූහයේ ප්‍රකාශමානවීම අල්ලා බැඳතබා ගත නොහැක. විශ්වවිද්‍යාලයක් එක තැනක බැඳතබා ගැනීමට හුරුකිරීම හා ලංකාව අතීත ශ්‍රී විභූතියක් දෙසට රැගෙන යාම අතර වෙනසක් පවතීද? සිදුවිය යුත්තේ නූතනත්වය ප්‍රතික්ෂේප කරනවාට වඩා (ඉංග්‍රීසි වචන භාවිතාවෙන් වැළකීම) එයට විවෘත වෙමින් එහි පවතින නිශේධනීය තත්ත්වයන් අවබෝධ කරගැනීමට සාමූහික උත්සාහයක නිරතවීම නොවේද? නවකවදයට සාපේක්ෂව සිදුවන සමාන්තර සිදුවීම නම් නාගරික හා ග්‍රාමීය ශිෂ්‍ය පිරිසගේ බෙදීමයි. සැබැවින්ම ශිෂ්‍ය දේශපාලනය පදනම් වන්නේ බහුතරයක් ග්‍රාමීය ශිෂ්‍ය පිරිසය. එහිදී ග්‍රාමීය වටිනාකම් හොඳයි යැයි කියමින් ගවුම් ඇදීම, ඩෙනිම් නොඇදීම, සිංහල පමණක් කතාකිරීම වැනි පසුගාමී මත ප්‍රකාශනයක් නවක වද ක්‍රියාවලිය තුළින්ම ප්‍රකාශමාන වේ. මෙකී පසුගාමී ග්‍රාමීය තත්ත්වයට එරෙහිව නූතන සංස්කෘතීන්ට විවෘත වෙමින් එහි කෙළින් හිටගත හැකි මිනිසෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම, නූතනවාදී චින්තනය, විචාරශීලි බව, සරසවි ශිෂ්‍යයෙකු තුළින් ප්‍රකාශමාන වියයුතු නොවේද?

හිංසාව භාවිතාවක් ලෙස

මානව ශිෂ්ඨාචාරයේ දියුණුවට සාපේක්ෂව හිංසාවේ පරිමාණය පිළිබදව වන සදාචාරමය එකඟත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිවන්නට විය. නවලෝකයක් පිළිබදව වන නූතන ක්‍රියාමාදිලි තුළ හිංසාව භාවිතාව අවම වී ඇත. පීඩිතයා හා පීඩකයා අතර වන ගැටුම තුළ පවා හිංසාව භාවිතාවන්නේ සාපෙක්ෂව අවම ලෙසය. එය එසේ වන විට පාලනය, පරිපාලනය, අධ්‍යාපනය වැනි විෂයය වල හිංසාව අවම වන්නේ ළමා මනෝවිද්‍යාව, ප්‍රජානන මනෝවිද්‍යාව වැනි විෂයන් වල දියුණුවත් සමගය. ඒ අනුව අනෙකුත් ක්ෂේත්‍ර කෙසේ වෙතත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හිංසාවේ භාවිතාවට ඇති වටිනාකම අවම වී ඇත. සැබැවින්ම එහි විද්‍යාත්මක අගය බිංදුව දක්වා පහත වැටී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ සාධාරණ මානවවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටිනා දේශපාලන ව්‍යාපාරයක් විසින් මානව විරෝධී, අවිද්‍යාත්මක හුරුකිරීමේ හා අවනත කරගැනීමේ ක්‍රමවේදයක් වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව පෙනී සිටීම එහි වන අවස්ථාවාදී දෙබිඩි බව පමණක් නොව එහි පවතින දියනොවුණු පසුගාමී ග්‍රාමීය චින්තනයේ හැඩතල පෙන්වා දෙන්නකි.

නවක වදයට තත්ත්වයක් තිබේද?

නවක වදය හෝ නවක නම්නීකරණය විශ්වවිද්‍යාල උපසංස්කෘතියට හෝ සාමූහික බව වෙනුවෙන් යැයි පැවසුවද, එහි අන්තර්ගතයට පරපීඩක කාමුකත්වය, ග්‍රාමීය දෑසින් නගරය දෙස බලන වෛරී බව හා තව තවත් නොයෙකු අගතිගාමී ක්‍රියාකාරකම් හෝ මතවාද අයත් බව එය අත්දුටු සියළුදෙනාගේ අත්දැකීමයි. ඉන් ඉස්මතුවන ස්ත්‍රී පීඩාව, නූතනත්වය වෙත ඇති භීතිය වෙන වෙනම සාකච්ඡා කළ යුත්තකි. මෙනිසාම එක් පිරිසකට විවෘතව දැකිය හැකි එහෙත් නැවත අත්විඳීමට අකමැති කාලපරිච්ඡේදයක් බවට නවකවද සමය පත්වන විට තවත් පිරිසකට ජීවිතය පවා එපාකරවන, සිදුවන පීඩනයට එරෙහිව නැගීසිටීමට බලකෙරෙන, එනිසාම වෙනත් දේශපාලන අතකොළුවක් මගින් තමන්ට අවශ්‍ය රැකවරණය සලසාගැනීමට කටයුතු සලසන තත්ත්වයක් බවට පත්වෙයි.

ග්‍රාමීත්වය

නවකවදය තුළ දේශපාලන බලපෑමක් නොමැති බවට පෙන්වනු ලබන උදාහරණය නම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනය තුළ ජවිපෙට සම්බන්ධ හෝ වෙනත් සමාජවාදී පක්ෂයකට සම්බන්ධ ඉතිහාසයක් නොමැති ශිෂ්‍යයින් පවා ඒ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමයි. සැබැවින්ම එකී පෙනීසිටින ශිෂ්‍යයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් ශිෂ්‍ය දේශපාලනයට මුවාවෙමින් සඟවාගනු ලබන්නේ ග්‍රාමීය පසුගාමී බවයි. ඒ ඒ පුද්ගලයන් විසින් නවකවදය යනු කවරක්ද යන්න ස්වයං නිර්වචනය කරගැනීමේ ආකාරය විමසීමෙන් මේ බව මොනවට පැහැදිලි වේ. මේ නිසාම ග්‍රාමීයව ස්ථාපිතව ඇති ස්ත්‍රී හිංසනයනට හා තව තවත් අගතිගාමී මතවාදවල ව්‍යාප්තියට මනා පිටුවහලක් ලැබේ. මෙහි වඩාත් සුවිශේෂී කාරණය නම් පසුගාමී ග්‍රාමීය චින්තනයෙන් සම්පූර්ණයෙන්ම මිදී නොගොස් ශිෂ්‍ය දේශපාලනයේ නායකත්වයට හා ඉන් පසුව ජාතික දේශපාලනයට ද එකතුවන පුද්ගලයින් හේතුකොට ගෙන සමාජවාදය හා පසුගාමීත්වය එකතු වූ දේශපාලනයක් ලංකාව තුළ හටගැනීමයි. ප්‍රතිපත්ති හා මතවාද ස්ථාපිත කිරීමේදී අන් සියළු කාරණා සමග මෙකී පසුගාමීත්වය සමන්විත වූ දේශපාලන දර්ශනයන්ට බහුතර කැමැන්ත ඇති දේශපාලන ව්‍යාපාර බිහිවන්නේ මෙවැනි පදනමක් මතය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළින් මේ පිළිබඳව වන උදාහරණ ඕනෑතරම් සපයාගත හැකිය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධයෙන් අනාවැකි කීමට ඉක්මන් නොවුණත්, සිය දේශපාලන සගයින් නිෂ්පාදනය කරන ක්‍රමවේදය එලෙසම පවතීනම් ඉන් බිහිවන ජීවියාගේ ක්‍රියකලාපය මින් පෙර තත්ත්වයට වඩා වෙනස් විය නොහැක.

දේශපාලන දෙබිඩ්ඩන්

ශිෂ්‍ය දේශපාලනයෙන් බිහිවන පිරිස් සියල්ල සමාජවාදීන් හො මානවහිතවාදීන් වේ නම් ලංකාව මීට වඩා සුන්දර දේශයක් වීමට ඉඩකඩ තිබුණි. එහෙත් සත්‍යය නම් ඉහත සදහන් කළ පරිදි සිය ග්‍රාමීත්වය මුවාකර ගැනීමට අවිඥානිකවම දේශපාලනයට එක්වන මේ පිරිස සිය අධ්‍යාපනයෙන් පසු විවෘත වන නව ලෝකය තුළදී තමන් විසින් පෙනී සිටි දේශපාලන ස්ථාවරයන්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිගාමී භාවිතාවක නිරතවීමයි. වඩාත් හාස්‍යජනක කාරණය නම් ප්‍රතිපත්ති විරෝධී භාවිතාවකටත් එහා ගොස් මෙම පිරිස් විසින් ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීම වෙනුවෙන්ද පෙරමුණ ගැනීමයි. ශිෂ්‍ය දේශපාලන නායකයින් වූ එස්.බී. දිසානායක, හිටපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ගාමිණී සමරනායක මේ සදහා හොදම උදාහරණය.

ජේෂ්ඨයින් දෙවියන්ය!

නවකවදයෙන් සංකේතාත්මකව පෙන්වා දෙන "ජේෂ්ඨ උත්තමයින්" යන පිරිස සිය අනුගාමිකයින් වෙත පවසනා කරුණු සියයට සියයක්ම නිවරැදි ලෙස බාරගත යුතුය. ඉන් බලකෙරෙන්නේ ජේෂ්ඨයින් කවරක් පැවසුවද එය නිවරැදියි යන්නයි. මෙකී අවිචාරවත් පිළිගැනීමකට පුරුදු කිරීම නූතන මානව සමාජයක් වෙනුවෙන් සිදුකිරීමට තිබෙන දැවැන්තම විනාශයයි. මෙකී පුරුද්දේ ඵලයන් ජනතා විමුක්ති පෙරමුණ තුළින් (පෙ.ස.ප.?) දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටී. සමාජවාදය රජයන උත්තම මානව සමාජයේ ලක්ෂණ මේවාද?

නවකවදයේ අගතීන් පෙන්වාදෙන මානව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක කාරණා රැසකි. එය වැරදි යයි ඔප්පු කිරීමට මේ සියළුකාරණා පෙන්වාදීම අවශ්‍යයැයි නොසිතමි. කෙසේවුවද විශ්වවිද්‍යාල වල බලය පවත්වාගැනීම සදහා විකල්ප ක්‍රමයන් අත්හදාබැලිය යුතුය. දේශපාලන මතවාදයක් ලෙස සමාජවාදයෙන් බලාපොරොත්තු වන මානවහිතවාදය බලාපොරොත්තු විය හැක්කේ එලෙසය. කෙටි කාලීන බලයක් ලබාගැනීම වෙනුවෙන් පසුගාමී මෙන්ම කුරිරු උපක්‍රම භාවිතාව තුළින්, සමස්තයක් ලෙස "සමාජවාදය" යන දේශපාලනයට අනුව ලෝක උදාහරණ බවට පත්ව ඇති මානවවිරෝධී, කුරිරු, හිංසාකාරී ආකල්පය සමාජය තුළ තව තවත් ස්ථාපිත වනු ඇත.

අවසාන වශයෙන් සදහන් කළ යුතු වන්නේ කුසගින්න, ණයබර, මානසික පීඩනය වැනි කාරණා නිසා සිදුවන සියදිවි නසා ගැනීම් වල වගකීම රජය බාරගතයුතු බවට කියනා අතරම නිශාන්ත තරුණයාගේ සියදිවි නසාගැනීමේ වගකීම ශිෂ්‍ය දේශපාලනය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් බාරගත යුතු බවයි. සියලු කළු දෑ සිදුකර සුදු ඇදන් බණ අසන දේශපාලකයින්ගේ අවිචාරවත් භාවිතාවට වඩා, වඩාත් දියුණු මානව සමාජයක් වෙනුවෙන් සිදුකරන ආදර්ශය වන්නේ එලෙස අවංක දේශපාලන භාවිතාවක නිරතවීමයි. අඩුම තරමින් නව දේශපාලන භාවිතාවක් වෙනුවෙන් යැයි කියන පෙ.ස.ප.හි විකල්ප භාවිතාව සමාජයට පෙන්නුම් කෙරෙන්නේ එවැනි තත්ත්වයක් තුළිනි. එසේ නොමැතිව සෑම මිනිස් ජීවිතයකටම වටිනාකමක් නොදෙන, මානව ජීවිත ඉක්මවා ගිය සාධාරණ සමාජයක් හෝ මානව හිතවාදයක් කිසිලෙසකින් වත් බලාපොරොත්තු විය නොහැක.

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails