Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කැනඩාවේ ඇමන්ඩා ටොඩ් නම් සුන්දර යුවතිය හත්වෙනි පංතියේදි මුහුණ පොතට දැමු ඡායාරූපයක් නිසා ඊට වසර දෙකකට පසු දිවි නසා ගත්තාය. ලොව පුරා මහත් අන්දෝලනයක් ඇති කළ ඒ සිදුවීම නිසා අන්තර්ජාලය හරහා විනාශ වන ළමුන් බේරාගැනීම සඳහා එරට නීතිරිති යළි සලකා බලා සැකසු අතර ඇය නමින් අරමුදලක්ද පිහිටුවන ලදී.

තම දියණියගේ මරණය ගැන කථා කරමින් ඇමන්ඩාගේ මව වන කැරොල් ටොඩ් මෙසේ ප‍්‍රකාශ කළාය.

"මගේ දියණිය මිය ගියා. ඇය මිය ගියේ ජීවිතයට වඩා විශාල පණිවුඩයක් ලෝකය හමුවේ තබමින්. ඒ පණිවුඩය ඉදිරියේ බිහිරිව අන්ධව ඉන්න එපා."

ඇමන්ඩා තම මරණයට පෙර තමාගේ කථාව වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට මුදා හරිමින් ඉල්ලා සිටියේ ද තමන්ට ජීවත් වීමට අවැසි බවයි.
.......................

ශී‍්‍ර ලංකාවේ වෙනුෂා ඉමන්දි පසුගියදා දිවි නසා ගත්තාය. ඇය දිවි නසා ගැනීමට පෙර දිවි නසා ගැනීමට හේතුව දිගු ලිපියක් ලෙස ලියා තැබුවාය. හත්වෙනි පංතියේදි ගත් ඡායාරූපයක් මුහුණ පොතට ඇතුලත් වීමත් ඊට විදුහල්පතිවරයා දැක් වු ප‍්‍රතිචාරයත් ඇගේ දිවි නසා ගැනිමේ ආසන්න හේතුව විය.

මේ මරණ දෙකේදිම බොහෝ දෙනාගේ ඇඟිල්ල ‘ෆේස් බුක් හෙවත් ෆේස් බුක් සමාජ ජාලය’ ට දිගු වුවත් එය සාධාරණ නොවන බව පැහැදිලිය. අප වඩාත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ අන්තර්ජාලය තුළ සැරි සැරීම දැන කළ යුතු කාර්යයක් බවයි.

ෆේස්බුක් යනු වෙබ් සේවයකි. සමාජ ජාලයකි. වසර 45 ක ඉතිහාසයක් ඇති අන්තර්ජාලය තුළ ලෝකයට වැඩිම බලපෑමක් කළ වෙබ් සේවය ලෙස ෆේස් බුක් සැලකේ. 2004 වසරේදී ආරම්භ කරන ලද ෆේස් බුක් වෙබ් ජාලය දශකයක කාලයක් තුළ කොතරම් ජනප‍්‍රිය වෙබ් ජාලයක් වුනිද යන්න, පහත දත්ත වලින් පෙනී යයි.

- ෆේස් බුක් තුළ කෝටි 120 ක් පමණ පිරිසක් ගිණුම් විවෘත කර ඇත.
- දිනකට ලයික්ස් කෝටි 450 ක් අලූතින් එක් වේ.
- සෑම මසකම ටෙක්ස්ට් කෝටි 2500 ක් හුවමාරු වේ.
- මාසයකට ඉමේජස් කෝටි 400 ඇතුළත් වේ.
- ෆේස්බුක් යනු වෙනත් වෙබ් සේවාවන් මෙන්ම ලාභ ලබන ව්‍යාපාරයකි.
- දැන්වීම් මගින් පමණක් ෆේස්බුක් දිනකට උපයන ආදායම රුපියල් කෝටි 1900 ක් පමණ වේ.
- 2014 ආරම්භයේදි ෆේස්බුක් සමාගමේ වත්කම් රුපියල් කෝටි 210 000 පමණ විය.
-2013 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත් පරිත්‍යාගශීලි මිනිසා ලෙස තේරි පත්වුයේද ෆේස්බුක් නිර්මාතෘවරයාය. ඔහු 2013 වසරේදි ස්වේච්ඡා සංවිධාන වෙත ඩොලර් කෝටි 970 ක් පරිත්‍යාග කර ඇත.


ෆේස්බුක් බලපෑම

ෆේස්බුක් වැඩිම බලපෑමක් කළ වෙබ් අඩවිය බවට පත් වී තිබෙන්නේ ඇයි? එයට ප‍්‍රධාන හේතුව එය මානුෂිය හැඟිම් හුවමාරු කර ගන්නා තැනක් වීමය. ෆේස්බුක් මගින් ඇති කරන බලපෑමේ හොඳ හා නරක දෙකටම ප‍්‍රධාන හේතුව වන්නේ මේ මානුෂිය හැඟිම් හුවමාරු කර ගැනීම ය.
ෆේස්බුක් මේ මොහොතේ ලොව පුරා ව්‍යාප්ත වී ඇත්තේ වසංගත රෝගයක් ව්‍යාප්ත වන ආකාරයට බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි. ෆේස්බුක් සඳහා අසාමාන්‍ය ඇබ්බැහිවීමක් දැකිය හැකියි. එය මානසික රෝගයක් මෙන් ම සමාජීය හා සංස්කෘතික ගැටළු ඇති කරන තත්ත්වයක් උද්ගත වී ඇත.

දැන් දැන් මේ බලපෑම ගැන පර්යේෂණ සිදු කරන්නන් ප‍්‍රකාශ කරන්නේ ෆේස්බුක් හි ජනපි‍්‍රයත්වය ඉදිරි දශකය තුළ කෙමෙන් පිරිහි යන බවය. දැනටමත් එහි පිරිහීම ඇරඹී ඇති බවය. ෆේස් බුක් තුළදි පුද්ගලයෙකු තමන්ගේ ලෝකයට සීමාවි පාවි යන ස්වරූපයකින් සක‍්‍රිය වීමට ඇති ඉඩ කඩ වැඩිය. එය දැඩි මානසික ආශක්තවීමකින් සැරි සැරිමක් වේ. මේ නිසාම තමාටත් නොදැනි බොහෝ දුරක් යාමේ අවදානම තිබේ.

විශේෂයෙන් භෞතික ව මිනිසුන් අතර පවතින සමාජ සබඳතා බිඳ වැටෙන ලිබරල් සමාජ ක‍්‍රමය තුළ මානසිකව සමාජ සබඳතා වෙතට ඇති ලොල් බව ඉතා අධිකය. ඒ සමාජ ප‍්‍රශ්නයට ෆේස්බුක් එක්තරා පිළියමකි. ඒ නිසා එය ඉනාවක් බවට පත් වී ඇත. ෆේස්බුක් හි බලපෑම කොතෙක්දයත් ෆේස්බුක් වෙත පැමිණෙන අයගෙන් 80% ක් එහි පළවන දැන්වීම්වල භාණ්ඩ භාවිතා කරන බව සොයාගෙන ඇත.

වෙනුෂා වෙත හැරෙමු.

වෙනුෂාගේ මරණයට ෆේස්බුක් හි සම්බන්ධය ඉතාමත් අල්පය. එකී සියදිවි නසා ගැනීම, ජීවිතය අහිමි කරවන ලාංකිය සමාජ අර්බුදයේ ප‍්‍රතිඵලයකි. පේ‍්‍රමය, විවාහය, ජීවිතය, ලිංගිකත්වය, පවුල් සංස්ථාව, පාසල් සංස්ථාව අද පත්ව ඇති තත්ත්වය මනා ලෙස පෙන්වන හරස් කඩකි මේ මරණය. එය ඉතා හොඳින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් අප කළ යුත්තේ ඇයගේ ලිපියත් ඇයගේ මරණයෙන් පසු ඇති වු තත්ත්වයත් විචාරයට භාජනය කිරීමය.

ආදරයේ අර්බුදය

අද සැබෑ ආදරය යනු කුමක්දැයි සමාජය නොහඳුනයි. ‘ආදරෙයි’ කීවාට කිසිවෙකු කිසිවෙකුට ආදරය නොකරන බව පෙනේ. වෙනුෂා තම ලිපිය තුළ අප්පචිට ගොඩාක් ආදරේ බව ලියයි. අම්මේ මම ඔයාට ගොඩාක් ආදරේ යැයි ලියයි. අක්කට හා නංගීට ආදරේ බව කියයි. අප්පච්චිගේ දුක අහන්න කෙනෙක් නැති බව ලියයි.

ඒත් ඇය දිවි නසා ගනී. සැබෑ ලෙස ‘ආදරය’ කරන්නේ නම් වෙනුෂා කළ යුතු වන්නේ ඔවුන් වෙනුවෙන් ජීවත්වීමයි. වෙනුෂා ‘ආදරෙයි’ කියා කියන වචනය බොළඳ නව කථාවල, බොළඳ ගීත හා ටෙලි නාට්‍යවල ‘ආදරය’ යනුවෙන් මතු කරන වචනයේ අරුත තුළ සිරවී ඇත. එය හුදු වචනයක් පමණි. හැඟිම් සමූහයක් පමණි. ඒ නිසාම මා හැර කවුරුත් ඔබට නැතැයි කියන ගමන්ම ජීවිතය නැති කර ගැනීමටද හැකියාව තිබේ.

ඇය අවසානයට ලියන්නේද ‘‘I love my family" යනුවෙනි. දරුවෙකුට ජීවිතය අත්දැකීමට 'පවුල' කොතරම් අවශ්‍යද යන්න එයින් අවධාරණය කරයි. නමුත් ඒ වචනයේ නියම අරුත ඇයට හසු වී නැති බව ද පැහැදිලිය. ඇය තම පංති භාර ගුරුවරයාව හඳුන්වන්නේ මගේ බංඩාර සර් යනුවෙනි. ඇය මෙසේ ලියයි. ‘බංඩාර සර් පංති භාර ව දානව කියලා දැනගත්ත දවසේ ඉඳලා හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් සිටියා. ’ඇය ලිපිය අවසානයේදී ඉල්ලා සිටින්නේ ඇය එල්ලී සිටින බව දුටු විගස බංඩාර සර්ට දන්වන්න යනුවෙනි. මේ යෞවනිය තම ගුරුවරයාව දකින්නේ ද අප පෙරකී මායාකාරි ආදරය තුළය. ‘‘මා මළ දවසක මග ළඟ තනියට ඉනු මැනවි" වැනි බොළඳ අදහසක් ඉන් ගම්‍ය කරයි.

තමාගේ දුක් තැවුල් වෙත සානුකම්පිත වන ගුරුවරයෙකුට දරුවෙකු බැඳීම සාමාන්‍ය දෙයකි. නමුත් එම බැඳීම ඉක්මවා යන තැනකට දරුවා රැගෙන ගොස් ජීවිතය දැකිමට මඟ පෙන්වීමට එම ගුරුවරයාට හැකි විය යුතුයි. කවර හේතුමත හෝ ඒ කටයුත්ත සිදු වූ බවක් නොපෙනේ. අද විශාල වැඩිහිටි පිරිසක්ද ‘ආදරය’ හඳුනාගෙන ඇත්තේ ජනපි‍්‍රය සිල්ලර අරුතෙනි. ‘එක් වෙන්න සංසාරේ පිං මදිව නම් එක තැනම අපි දෙදෙන මිය යමු ඉතිං’ යනුවෙන් ගයන ගුරුවරියක වන ගායිකාවන්ද සිටින රටක මේ තත්ත්වය අරුමයක්ද නොවේ.

හිත හදන ක‍්‍රමයේ වරද

අද බොහෝ දරුවන්ට බොහෝ විට ලැබෙන වැරදි මඟපෙන්වීමක් වන්නේ තමාට රිදවන අයට හෝ තමා හමුවට එන අභියෝගයන්ට තරඟකාරී පිළිතුරු ලබා දීමට සිත යොමු කිරිමයි.

‘‘මම O/L රිසාල්ට් වලින් මගේ හොඳ නරක පෙන්වන්න තීරණය කරත් මං පරක්කු වැඩි. මිස් මගේ හිත හදපු වෙලාවේ මං ලොකු තරගයක් දෙන්න තීරණය කරන් හිටියේ. ඒත් මගේ ඒ හීන ඔක්කෝම විනාශ කළා".

ජීවිතේ ප‍්‍රශ්නවලට තරඟකාරි ඉලක්ක සාර්ථක විසඳුම් නොවේ. විසඳුම එවැන්නක් වන විට යම් අයුරකින් එය බිඳ වැටුණහොත් ඉන් එහා ට යාමට තැනක් නොමැතිව අතරමං වනු ඇත. ජීවිතය යනු තරඟයක් නොවන බව අපි දරුවන්ට ඉගැන්විය යුතුය.

තාත්තට උපදෙස් දෙන දුවක්

අද ලාංකීය සමාජය පිය භූමිකාව ප්‍රශ්නකාරී වෙමින්, වේගයෙන් ස්තී‍්‍රකරණය වන සමාජයකි. වෙනුෂා තම පියාට අවවාද රැසක් දෙයි. "අප්පච්චි මගේ ඉඩමේ කොටස ඔයා නමට හරවගන්න. ඔයා ළගින් ඉන්න ඔක්කොම ඉන්නේ සල්ලි නිසා. සල්ලි නැති වුනු දාට ඔයා ළඟ කවුරුත් නැති වෙයි. නංගීව පුළුවන්නම් ඉස්කෝලෙන් අස් කරන්න."

දේපල, මිල මුදල්, නව යොවුන් දරුවෙකුගේ ලෝකය තුළ සාමාන්‍යයෙන් විෂය වන්නේ නොවෙයි. නමුත් වත්මන් පවුල් ජීවිත තුළ ඒ සදහා දරුවන්ගේ මැදිහත්වීම ඉදිරියට පැමිණ ඇති බව පැහැදිලියි. පෞද්ගලික දේපල ක‍්‍රමය ඇති සමාජයක පවුල යනු ආදරයේ කුටුම්බයක් නොව ක‍්‍රමයේ උපකරණයකි. දේපළ සම්බන්ධව දරුවන් දෙමාපියන්ට අවවාද උපදෙස් දෙන තැනට පත්වන්නේ එබැවින් නොවේද? මෙවැනි අදහස් නව යෞවනියකගේ ජීවිතය තුළට ඇතුලත් වෙන්නේ කොහොමද? ‘‘මං නැතිව ඔයාගේ ප‍්‍රශ්න කියන්නේ කාටද අප්පච්චි"

පිය භූමිකාව අහිමි සමාජයක හරස් කඩක් මේ වචන තුළ ගැබ් වී තිබේ. කායවර්ධන අභ්‍යාස කොට තඩි ඇඟක් හදා ගත් නළුවන් නිළියන් අඬන පෙම්වතුන් බවට පත් කරන චිත‍්‍රපටි, නවකථා, ගුවන් විදුලි ආදී වූ මාධ්‍ය පරමාදර්ශ වන රටක යථාර්ථය මෙයයි.

වෙනුෂාට ඉතා තදබල ලෙස ප‍්‍රතිචාර දක්වන 'නරුම විදුහල්පති' ලෙස බොහෝ දෙනා හදුන්වන, යුද්ධයට ආ වැඩු පුවත්පත් කතුවරු මෙදා ‘හමුදා පුහුණුව ලැබූ නරුම විදුහල්පති’ ලෙස හදුන්වන පාසැලේ විදුහල්පතිවරයා පමණක් නොව වෙනුෂාට හමුවන අන් සියලූ වැඩිහිටියන් ද සැබෑ ආදරය හඳුනාගත් අය බව නොපෙනේ.

ආගමික සංකල්ප අවුල

ජීවිතයට මහා වටිනාකමක් තිබෙන බව පවසන ආගම් හි ආභාෂය ඇති සමාජයක් යැයි කීවාට උගන්වන ආගම මගින් ඒ වටිනාකම ඒත්තු ගැන්වී නැති බව ද මෙම සිදුවීමෙන් පැහැදිලිය. ''දැන් O/L තියා ලබන ආත්මේ කොහොම තැනක් තියෙද කියලා හිතා ගන්න බෑ.... යන ආත්මයකටවත් සැනසීමක් නැතිවෙයි"

‘‘දුර්ලභං මනුස්සත්තං" යන ගැඹුරු දහම වෙනුවට ජනප‍්‍රිය හැඟිම්බර ආගම අද අප රටේ සෑම ආගමකම විලාසිතාව වී ඇත. ආගමික අධ්‍යාපනය යනු ඒ සිත රවටන වසඟය හෙවත් මුලාව මතු කරන ආගම් ප‍්‍රචාරණයයි. එය තවදුරටත් ජීවිතය දිනවන, ජීවිතය අර්ථවත් කරන, ජීවිතයේ යථාර්ථය සම්මුඛ කරවන ධාර්මික මාර්ගයක් නොවේ.

අපිටම වැරදි කිම

‘‘ළමයෙක්ට වරදක් කියද්දී කවුද හරි වැරදි කියලා හොයලා බලන්න. හැමදාම අපිටම වැරදි කියන්නේ" මේ ප‍්‍රකාශය ඉතා වැදගත්ය. අද සමාජය සම්පූර්ණ වැරැද්ද පුද්ගලයිය් මතටම පැවරීමට උත්සුක වේ. විශේෂයෙන් දරුවන් මත වරද පැටවීමට ඉක්මන් ය. දරුවන් වරදට පොළඹවන දේ ඉදිරියේ නිවට නියාලූව සිටින වැඩිහිටියන් දරුවන්ට වැරදි පැටවීම සහසික අපරාධයකි. පව්කාර ස්තී‍්‍රයට සාන්තුවරියක් වෙන්නටත්, අංගුලිමාලට අංගුලිමාල තෙරුන් වහන්සේ වන්නටත් අතීතයේ අවස්ථාව ලැබුණද මේ සමාජය තුළ ඉඩක් නැති බව පැහැදිලිය.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන් පාසැලෙන් ඉවත් කරන විදුහල්පතිවරු ගුරුවරු, මත්ද්‍රව්‍ය කන්ටේනර් නිදහස් කරන මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් බවට පත් වී සිටින දේශපාලකයින් ඉදිරියේ දෙකට තුනට නැමී තනතුරු වරදාන ලබා ගනිති. ළමුන්ට වේවැල් පහර දෙන බොහෝ දෙන ළමුන් එතැනට පත් කරන බලවේග ඉදිරියේ නිවටව සිටිති. උස්තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන නිවටුන් වැඩිහිටියන් වු විට දරුවන් විනාශ වීම වැලැක්විය නොහැක.

සමාජය එසේ වුවා කියා දිවි නසා ගැනීම පිළිතුර නොවෙයි. කවුරු කුමන චෝදනා කළත් මෙම පරපුරට ජීවත් වීමට ධෛර්යය සැපයීම අත්‍යවශ්‍ය කරුණකි. බුදුන්ටත් ගල් පෙරලූ, ජේසු කුරුසියේ ඇණ ගැසූ ලෝකයක අභූත චෝදනා සාමාන්‍ය දෙයකි. එයට මුහුණ දෙන පෞරුෂයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවකි.

අහස අයිති සියොත් රෑන
කූඩු කරලා තරඟ දුවන
කාසි වාසි සිහින දකින
මනුසත් උයනේ
ජීවිතයේ විසල් අරුත
බිම වැටී තිබේ
ඇහිඳ ගන්න දිරිය ගන්න
නංගි මල්ලියේ

වැටුණු තැනින් නැගිටිනු මිස
නැගිට නැගිට යළි යනු මිස
හෙට දවසට පහසු මඟක්
නෑ මේ ලෝකේ
දරාගන්න නොහැකි දුකක්
කොහේද තියෙන්නෙ
හැම දෙයක්ම මිනිසුන් හට
නොවෙදෝ වෙන්නේ

වැරදුනු තැන් හදන්න බෑ
බිඳුණු බඳුනේ අගයක් නෑ
කවුරු විසින් පෙර දවසක
කිව්වත් එලෙසින්
වරදක් ළඟ ජීවිතයම
අත්නොහරින්නේ
වැරදුනේ නැති මිනිසුන්
ලොව කොහේද සිටින්නේ


අගය නොකරන සමාජය

‘‘අපි හොඳ දෙයක් කරලා තරගවලින් දින්නට අපිට හොඳ නාමය දුන් නෑ. ඒත් වරදක් කලාම මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කෑ ගහන්න විතරයි දන්නේ"

අද දරුවන් බොහෝ දෙනෙකුට හොඳ දෙයට ඇගයීමක් නොලැබේ. ඉතා සුළු වරදටත් චෝදනා නිමක් නැත. අගය කිරිමේ පුරද්ද නැති සමාජයක දරුවන්ගේ ආධ්‍යාත්මය තැලි පොඩි වී යාම වැළැක්විය නොහැක.

පාසලේ කීර්තිනාමය

පවුලේ, පාසලේ, කීර්තිනාමය කියන සංකල්පය දරුවන්ගේ ජීවිතවල වටිනාකමට වඩා ලොකුවට හිතීම සැබවින්ම මුලාවකි.

‘‘එයා කියන්නේ මාව ඉස්කෝලෙට අගෞරවයක් කියලා"

දරුවන්ගේ ජීවිතවල වටිනාකමට වඩා වැඩි වටිනාකමක් පාසැලක කීර්තිනාමයට ආරෝපණය කිරීම විහිළුවකි. ඒ අනුව බලන්නේ නම් පාසල් පද්ධතියම ගඳ ගස්වන බලවතුන් ගැන මේ විදුහල්පතිවරුන්ට තිබිය යුත්තේ කොතරම් බරපතළ කේන්තියක් විය යුතුද? පාසල් කීර්තිනාමය සඳහා දරුවන් පාවිච්චි කරන තත්ත්වයක් අද දැකිය හැකිය. නර්තනයෙහි දක්ෂ ඇහැට කනට පේන ලස්සන දරුවාව හැම නැටුමකටම ගැනීම යනුද ඒ පාව්චිචි කිරිම ම වේ. වෙනුෂා තුළ තමන්ව පාවිච්චිවීම ගැන එක්තරා කම්පාවක් ඇති බව පෙනේ.

‘‘ඉස්කෝලේ වෙනුවෙන් කැපවීම් කරපු එක තමා ලොකුම වරද ඉස්කෝලේ මොකක් හරි තරගයකට උත්සවයකට මම නැටුවේ නැත්නම් තමා පුදුමේ"

බැනර් ගණනින් පාසල්වල කීර්තිය පෙන්වන්නට හඳන තරඟකාරි පාසල් පද්ධතිය තුළ දරුවන් යනු පාවිච්චි වෙන උපකරණ බවට පත් වී ඇති බව රහසක් නොවේ. පාසලේ කීර්තිනාමය දරුවන්ගේ ජීවිතවලට වඩා වැදගත් වීම කොතරම් අවාසනාවක්ද?

දිවි පිදිමක් ද ?

‘‘මම අද කරගන්න දෙයින් මං හිතනවා තවත් ළමයෙකුට මේ වගේ පහත් වැඩක් වෙන්නේ නැති වෙයි කියලා.
‘‘මං මේ තීරණය ගත්තේ මං වගේ වැරදි නැති ළමයි තව ඉඳියි. ඉස්කෝලෙන් අස් කරන්න බලයි. ඒ ළමයි වෙනුවෙන් මේ තීරණය. "


ඇගේ දිවි නසා ගැනීමට ඇය විශාල අර්ථයක් ලබා දීමට උත්සහ කරයි. එය ඇගේ අවංක චේතනාවක් විය හැකිය. ඒත් මෙය උදාර ජීවිත පූජාවක් ලෙස සැලකීම අනුවණකමකි. ජීවිතයේ ගැඹුර ස්පර්ශ නොකළ නව යව්වනියක ලෙස ඇයගේ සිතුවිල්ල සාපෙක්ෂව උදාර බවක් ඵල කරයි. ලාංකික සමාජයට ඇයගේ ඒ උදාර හැඟීමට සාධාරණයක් ඉටු කළ හැකියි. ඒ ගැඹුරු සමාජ සංවාදයක් තුළිනි. නැවත එක් අයෙකුට හෝ මෙවැනි ඉරණමක් අත්විඳිම වලක්වාලීම වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි සමාජ සංවාදයක් ගොඩනගනු මිස අදාළ සිදුවීම නැවත නැවත පුනරුච්චාරණය කිරීමෙන් ඵලක් නොවේ.

තවත් සිද්ධියක් ලෙස මෙය අමතක නොකොට කැනඩානු වැසියන් ඇමන්ඩා ටොඩ් වෙනුවෙන් මෙවැනි දරුවන් මුදවා ගැනීමට පිහිට වු අරමුදල වැනි යමක් මගින් දරුවන්ගේ ජීවිත ගොඩනැගිමට මෙය අවස්ථාවක් කර ගත හැකි නම් එය මේ අඳුරු වලාවේ රිදී රේඛාව කර ගත හැක.
දෙමාපියන් හොඳ නරක දෙකම බාරගත යුතුය.

‘‘මගේ අහිංසක අප්පච්චිව ගෙනිච්චා නම් සර්ගේ කොච්චර පද අහන්න ඕනිද. මගේ අප්පච්චි එහෙම දේවල් අහන්න ඕනි නෑ. මම මගේ අප්පච්චිට හුඟාක් ආදරෙයි. කවුරුත් ඉස්සරහා ‘මගේ දුව කරපු වැරදි වලට සමාවෙන්න’ කියනවාට මං කැමති නෑ."

මේ මනෝභාවය ඉතාම යහපත්ය. දෙමව්පියන්ට ආදරේ ඇති දරුවකුගේ සිතුවිල්ලක් ලෙස බැලූ බැල්මට පෙනි යා හැකියි. නමුත් මෙය යථාර්ථවාදී නොවේ. දරුවන් අතින් සිදුවන වැරදි වලදී දෙමව්පියන්ට දොස් අසන්නට සිදුවීම සාමාන්‍ය ය. එසේ බැනුම් ඇසීමට වීම තමාට අගෞරවයක් ලෙස දෙමාපියන් සිතිම මෙන්ම දරුවන් එලෙස සිතීම ද යථාර්ථයට පිටපෑමකි.

රොමෑන්තිකරණය කළ මව්පිය , දූදරු සබඳතාවලට නිදසුනකි මේ. 100% ක් සම්පූර්ණ දෙමව්පියන් මෙන්ම 100% සම්පූර්ණ දරුවන් ද මෙලොව නැත. එසේ ඇත්නම් එය ඉතා දුලභ සුවිශේෂි තත්ත්වයකි. ලෝකයේ සාමාන්‍ය ස්වභාවය එය නොවේ. නොකළ වරදට සිරගත වන මිනිස්සු සිටිති. නොකළ වරදකට බැනුම් ඇසීමට සිදු විය හැකිව. එය අසාධාරණයක් බව සත්‍ය වන නමුත්, ජීවිතය නැති කර ගැනීමට හේතුවක් නොවේ.
වෙනුෂා තම ලිපියේ පාවිච්චි කළ වචන ඇයට ජීවිතයේ යථාර්ථය පෙන්වා දුන් සාහිත්‍යයක් මගින් ලැබුණු වචන නොවන බව පෙනේ. නව යෞවනය වසා පැතිර සිටින, මහා ජීවන යථාර්ථයන් සේ පෙන්නුම් කරන බොළඳ සාහිත්‍ය ව්‍යාපාර මගින් ලැබුනු වචන බව ඉතා පැහැදිලිය.

මරණයෙන් පසු

වෙනුෂාගේ මරණයෙන් පසු ඇයගේ චරිතය ඝාතනය කරන වැඩ පිලිවලක් දියත් විය. එම මරණයේ කටයුතු කිරිමට අධිකරණ නියෝග ලබා ගැණිනි. ඒ සියල්ල තුළින් දේශපාලනීකරණය වු පාසල් පද්ධතියේ ස්වභාවය පෙන්නුම් කරයි. මිලටරිකරණය වු සමාජය පෙන්නුම් කරයි.
පුවත්පත් වාර්තා කළ අන්දමට උපදේශන ගුරුවරිය පවා උත්සහ කර තිබුණේ වෙනුෂා මානසික ප‍්‍රශ්න ගොඩක සිටි ළමයකු නිසා මෙය පි‍්‍රන්සිපල්ගේ වරදක් නොවන බව පැහැදිලි කිරීමටය. එයද විදුහල්පති සතු බලය පරාවර්තනය කරන්නක් යැයි සිතිය හැකිය.

දෙමව්පිය උද්ඝෝෂණය මහා ඇමතිගේ මැදිහත්වීමෙන් නවතා දැමිම මගින් ප‍්‍රශ්න ඇති කරන දේශපාලන ක්‍රමය තුළින්ම විසදුම් ලබා දෙන, සට කපට දේශපාලනයේ ස්වභාවය පෙන්නුම් කරයි. විරෝධය හා ප‍්‍රතිවිරෝධය දෙකම එක පිරිසක් අතට ගැනිමේ ක‍්‍රමයකි මේ.

විදුහල්පතිවරයාගේ ප‍්‍රතික‍්‍රියාව තුළ මෙන්ම සමස්ත කතාව තුළම සුන්දර යෞවනියක වෙත යොමුවන ලිංගික ආකර්ෂණය මෙන්ම ලිංගික ඊර්ෂ්‍යාවද සැඟවී ඇත. ලස්සන යෞවනියක වඩ වඩා සරල බවින් සැරසීම එවන් දරුවෙකුට පවතින්නට කරන උපකාරයක් බව දකින්නට බැරි වීම කනගාටුවට කරුණකි. ලස්සන ශරීරය යන්න සෞන්දර්ය හැඟිමකින් ඔබ්බෙහි ලිංගික හැගිමක ස්ථානගත කරන සමාජයක ඛේදවාචකයක් මේ කථාවේ ලියැවි ඇත.

ජීවිතය විකසිත නොකරන සමාජයක, විවාහය, පේ‍්‍රමය, ලිංගිකත්වය එහි හරි අරුතින් ගලවා දැමු සමාජයක ප‍්‍රතිඵලයකි, මේ දිවි නසා ගැනීම. එවන් සමාජයක වුව දිවි නසා ගැනීම නොව ජීවිතය උදෙසා සටන් වැදීම මිනිස්කම බව අප හඳුනාගත යුතුය.

මේ සිදුවීම තුළින් අපේ සමාජය ගැන තව බොහෝ කථා බහ කළ හැක. එය කළ යුතු කාර්යයකි.

මහින්ද නාමල්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails