Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


රුසියාව, යුක්‍රේනය සහ බටහිර- මේ සැරසෙන්නේ යුද්ධයකටද? (පළමු කොටස) සඳහා මේ සබැඳියෙන් යන්න.

එක්සත් ජනපදයේ හා යුරෝපා හවුලේ නරුමකම

එක්සත් ජනපද නායකයන්ගේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් තුලින් වෑහෙන්නේ ඔවුන්ගේ කුහකත්වයයි. රුසියාව, යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටිය යුතු යැයි බලකරන අතරම, එක්සත් ජනපදය කාලයක් තිස්සේම යුක්රේනයේ කටයුතු වලට මැදිහත් වනවා පමණක් නොව එය මොස්කව් බල චක්‍රයෙන් මුදවා නේටෝ හා යුරෝපා හවුලට ඇතුළු කරගන්නට කැස කවමින් සිටියි. ඔවුන්ගේ මේ කුහක ක්‍රියා කලාපය යුක්රේනයේ අස්ථාවරයටත් නූතන ව්‍යසන තත්වයටත් හේතුවූ ප්‍රධාන සාධකයකි. ඇමරිකාව යුක්රේනයේ ස්වාධීනත්වය කඩ කරන්නේයැයි රුසියාවට චෝදනා කරයි. ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ හා යුගොස්ලාවියාවේ ජාතික ස්වාධීනත්වය ඔවුන් කඩ කලේ නැද්ද? යුක්රේනය දෙකඩ කිරීමට කුමන්ත්‍රණය කලේයැයි ඔවුහු රුසියාවට චෝදනා කරති. යුගොස්ලාවියාවේත්, චෙකොස්ලවාකියාවේත් බෙදීම් පිඹුරුපත් කළේත්, ක්‍රියාත්මක කළේත් ඔවුන්ම නොවේ ද? නිමක් නැති යුද්ධ, මරණ සහ දුක් පීඩා වලත් ඇරඹුම් ලක්ෂ්‍යය වූ සෝවියට් දේශය කැබලි කිරී‍ම උසිගැන්වූවේ ඔවුන් නොවේ ද?

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි හඟවන අතරම ඇමරිකානු අධිරාජ්‍යවාදීහු, වික්ටර් යනුකොවිච්ගේ මොස්කව්වාදී රජය පෙරලා දැමීමට ෆැසිස්ට් හා නාසි මූලවාදීන් හා පෑහෙන්නට පසුබට නොවූහ. යුක්රේනයේ නිදහස හා ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් නැගී සිටින බව පෙන්වන අතරම, ඔවුහු, ඒකීය රාජ්‍යයක් ලෙස පෙනී සිටීමේ හැකියාව විනාශ කිරීමෙන් යුක්රේනය සහමුලින් අතුගෑවී යාමේ අවදානමකට ඇද දමා තිබේ.

යුරෝපා සංගමය, යුක්රේනය මොස්කව් නොව බර්ලිනයේ පාලනයට නතුවුවහොත් ඔවුන්ගේ ආර්ථික අපහසුතා දුරු වන්නේ යැයිද, යුරෝපය, යුක්රේන් වැසියන් දෝත් විහිදා පිළිගෙන ඔවුනට යුරෝපයට සංක්‍රමණය වීමට හා රැකියා කිරීමට ඉඩදෙනු ඇතැයි ද, යුරෝපා මධ්‍යම බැංකුව කෘතඥවේදී ජනතාව බිලියන ගණන් යුරෝ වර්ෂාවකින් සනසවනු ඇතැයි ද යන විශ්වාසයක් ජනතාව තුල ජනිත කරමින් ඔවුන් මුලාවේ දැමූහ.

දශක ගණනක දූෂණය, යටිමඩි ගැසීම් හා ආර්ථික වියවුලෙන් හෙම්බත් ව සිටි බොහෝ යුක්‍රේනියානු‍වෝ මෙය විශ්වාස කළහ. එහෙත් එය සහමුලින්ම මුසාවකි. බො‍හෝවිට යුරෝපා එකතුවේ ධජය කරතබාගෙන ජනතාව වීදි සරන්නාවු අන්තිම ස්ථානය යුක්රේනයයි. ග්‍රීසියේ දී එම ධජයම ගිනිබත් කරනු ලැබෙයි. සෑම රටකම පාහේ, යුරෝපා හවුල ශාපකාරී හැවිල්ලකින් පිළිගැනෙයි. මෙතැන ඇති වෙනස, මේ රටවල මිනිසුන් ධනවාදී යුරෝපා හවුලේ යථාර්තය අත්දැක සිටින නමුත් යුක්රේනයට යුරෝපා හවුලට එක්වීම තවම සිහිනයක් පමණක්ම වීමයි.



යුක්රේනියානුවෝ මේ යථාර්ථය තේරුම් ගනිමින් සිටිති. රටේ ආර්ථිකය පතුල නොපෙනෙන අගාධයක මුවවිට රැඳී තිබේ. කිව් රජය, වචනාර්ථයෙන්ම බංකොලොත්ය. යුක්රේනියානු මධ්‍යම බැංකුව මුල්‍ය බිඳවැටීමක් වලක්වා ගැනීම සඳහා තැන්පතු වලින් මුදල් ආපසු ගැනීම් මත හරින්‍යා 15,000 ක (1000 යුරෝ, පවුම් 820) දෛනික සීමාවක් පනවා තිබේ. සිය ණය පියවීම් අතපසු වීම වලක්වා ගැනීමට නම් ඉදිරි අවුරුදු දෙක ඇතුළත ඩොලර් බිලියන 35කට වැඩි මුදලක් අවශ්‍ය වන බව කියෙව් ආණ්ඩුව කියයි. එසේ වුවත් මේ මුදල ගෙවන්නේ කවුරුන් ද? රුසියාව ඩොලර් බිලියන 15 ක ණයක ඉදිරි වාරිකය අත්හිටුවා තිබේ. යුරෝපා හවුල, රසවත් වචන මිස, සැලකිය යුතු මුල්‍ය ආධාරයක් නොදෙයි. කොතෙක් රසවත් වුවද බඩගිනි උදරයකට වචන වලින් වැඩක් නැත!

මේ තෙවන ලෝක යුද්ධයේ ඇරඹුම ද?

මේ 1914 ශතවර්ෂ පූර්ණය බැවින් දෝ සමහරු මේ සිද්ධිය තුල සර‍ජවෝ හි සෙවණැලි දකිති. මේ තෙවන ලෝක යුද්ධයේ ඇරඹුම ද? එවැනි ‍ඓතිහාසික සැසඳුම් පදනම් විරහිත හිතළු පමණකි. අද ලෝක බල තුලනය 1914 තත්වයට කිසි ලෙසකින්වත් සමීප නොවන අතර මේ සම්බන්ධව මැදිහත් වන රාජ්‍යයන්ගේ අරමුණ ද එදා තත්වයෙන් හාත්පසින්ම වෙනස්ය.

1914 දී යුද්ධයකට අවතීර්ණ වීමට අවස්ථාවක් සොයමින් සිටි ජර්මනිය ට සිය මිත්‍ර රාජ්‍යය වූ ඔස්ට්‍රියාවේ සහාය සඳහා යුද්ධයට පිවිසීම හැර අන් විකල්පයක් නොවීය. මෙම සිදුවීම තුල ජර්මනිය, ඔස්ට්‍රියාව, රුසියාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යන සියළු රටවල පැවැත්ම පිළිබඳ අතිශයින් වැදගත් සාධක ද ඇතුලත් විය. සරජාවෝහි දී ප්‍රාන්ස් පර්ඩිනන්ඩ් ඝාතනය දශක ගණනක් තිස්සේ සුදානම් වෙමින් තිබූ යුරෝපීය ලැව් ගින්න ඇවිළූ ගිනි පුළිඟුවයි. එක් සරල උදාහරණයක් මේ වෙනස පැහැදිලිව පෙන්වයි. සරජාවෝ සිදුවීම, ඒ ක්ෂණයකින්ම සර්බියාවට කිසිසේත්ම එකඟ විය නොහැකි ඔස්ට්‍රියානු අවසාන නිවේදනයකට මග පෑදීය. එසේ වූයේ ඔස්ට්‍රියාව සර්බියාව ආක්‍රමණය කර දමනය කර ගැනීමට අවස්ථාවක් සොයමින් මාන බලමින් සිටි නිසාවෙනි.

අද මෙහි ඇති තත්වය කුමක් ද? රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කර නැතත්, (ක්‍රිමියාවට ඇතුළු වී ඇතත්) ඇමරිකාව රුසියාවේ ‘තක්කඩිකම’ පිළිබඳව ගුගුරමින් සිටී. ඒ ඇමරිකාවට යුක්රේනය සමග වැදගත්ය සැලකිය හැකි ගනුදෙනුවක් නොමැති බැවිනි. ඇමරිකාවට ක්‍රිමියාවේ රුසියානු නාවුක කඳවුරු දියවී යනු දැකීමේ ආසාව ඇති නමුදු යුක්රේන දේශපාලනයට ඇමරිකාව කළ ඇඟිලි ගැසීම් - විශේෂයෙන් යුක්රේනය අස්ථායි කර අද පවතින අර්බුදයට එක එල්ලේ ම හේතු වූ කාර්යයන් සිදුවූයේ යුක්රේනය පිළිබඳව ඇමරිකාවේ යම් ආර්ථිකමය උනන්දුවක් නිසා නොවේ. ඉරාකයට මෙන් යුක්රේනයට තෙල් සම්පත් නැත. ඇත්තේ ගෙවාගත නොහැකි, ඇමරිකාවට කිසිසේත්ම අඩුවක් නැති, මහා පරිමාණ ණය කන්දරාවක් පමණි.



ඇමරිකාවට යුක්රේනියානුවන් ගේ හෝ ජාතියක් ලෙස යුක්රේනයේ හෝ ඉරණම පිළිබඳව කැක්කුමක් නැත. එය යුක්රේනයේ ආර්ථික ගැටළු පිළිබඳව කිසිම වගකීමක් භාර ගැනීමටද සූදානම් නැත. ඇමරිකාවට අවශ්‍ය එමෙන්ම සෑම විටම පාහේ අවශ්‍ය වූයේ, යුක්රේනය රුසියාවෙන් වෙන් කිරීමයි. මෙය ඇමරිකාවේ දීර්ඝකාලීන ජගත් දේශපාලනික සැලසුම වන රුසියාව අස්ථානගත කර සෝවියට් දේශයේ සාමාජිකයින් වූ අසල්වැසි රාජ්‍යයන් මත රුසියාවේ බලපෑම විනාශ කිරීමේ අරමුණේම කොටසකි.

යුගොස්ලාවියාවේ දී, ඉරාකයේ දී හා ඊටත් මෑතදී ලිබියාවේ දී, බටහිර රටවල සමච්චලයට ලක්වූ රුසියාව දැන් තම සීමාවල් සලකුණු කරමින් හිඳී. මේ යථාර්ථය ජෝර්ජියාවේ දි මෙන්ම සිරියාවේ දී ද පැහැදිලිව පෙනුණි. එසේ නමුත් මොස්කව් හි දැක්මට අනුව, යුක්රේනය මේ සිදුවීම් වලට වඩා අතිශයින් වැදගත්ය. වොෂින්ටන් හි පිඹුරු තනන්නෝ, දුර නොබලන මුග්ධයින් පිරිසකි. ඔවුනට රුසියාවේ ප්‍රතික්‍රියාව අහලකින් වත් කියවා ගන්නට කිසිසේත්ම නොහැකි විය. දැන් ඔවුහු විශ්මය පළ කරමින් සිටිති. මෙය සත්‍යයක් නම් ඔවුන්ගේ කපාල කුහරවල තිබෙන්නේ Big Mac මිස මස්තිෂ්කයන් විය නොහැක.

බටහිර, නින්දා සහගත ලෙස යුක්රේනය තුල බලය අල්ලා ගැනීමේ මෙහෙවරක නිරත වී සිටිති. මර්කල්ටවත් ඔබාමාටවත් යුක්රේන් ජනතාවගේ සුභ සිද්ධිය පිළිබඳ කැක්කුමක් හදවතේ නැත. යුක්රේනය නේටෝ සංවිධානයට ඇතුළු කිරීම පිළිබඳ ප්‍රශ්ණය මතුකර තිබේ. පළමු පියවර වන යුධමය සහයෝගිතාවය දැනටමත් කතා බහ වෙමින් තිබේ. එහෙත් රුසියාවට යුක්රේන් පොළව මත නේටෝ සංවිධානය වත් ඇමරිකානු මිසයිල නාශක අවි ආයුධවත් රැඳවීම කිසිම කොන්දේසියක් මත පිළිගත නොහැකි ක්‍රියාවකි. මේ සියළු කාර්යයන්, රුසියාව කුලප්පු කරවීම සඳහා කරනු ලබන එදිරිවාදි කම් බව පෙනී යයි. මේ කෝණයෙන් බලනවිට මොස්කව් හි ප්‍රතික්‍රියාව තර්කානුකූල මෙන්ම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු ක්‍රියාවක් බව පෙ‍නී යයි.

මේ 1914 හෝ 1939 නොවේ. මතුදු මේ සීතල යුද්ධ සමය ද නොවේ. මේ පශ්චාත් ශීත යුධ සම‍යෙහි මේ සිදුවන වාග් සංග්‍රාමයන් බලවතුන් අතර සිදුවන යුධ ගැටුමකින් කෙළවර වන්නට කිසිදු හේතුවක් නැත. එමෙන්ම මෙය 1968 සෝවියට් හමුදාවන් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීම සමගද සැස‍ඳෙන්නේ නැත. මෙවර යුක්රේනය තුලම මොස්කව් වෙත සැලකිය යුතු සහයෝගයක් තිබේ. ඒ නිසා සියල්ල ඒ ආකාරයෙන් සිදුවන තුරු බලා සිටීමේ හැකියාව රුසියාව සතුය. අනතුරුව නිශ්චිත මොහොතකදී, යුක්රේනියානු ජනගහණයෙන් සැලකිය යුතු පිරිසකගේ උණුසුම් පිළිගැනීම මැද ගැලවුම් කරුවන් ලෙස මැදිහත් වීමටත් රුසියාවට අවස්ථාව තිබේ.

මෑත දිනයක දී ඔබාමා, පුටින් සමග පැය එකහමාරකට වැඩි කාලයක් කතා බහක යෙදුණි. මෙම කතා බහේ අන්තර්ගතය ප්‍රසිද්ධ නොවු නමුත්, එම සාකච්ඡාවෙන් කිසිම පැනයකට කිසිම විසඳුමක් නොලැබුණු බව නම් පැහැදිලිව පැවසිණි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සියළු පාර්ශව වලට "පසු බසින්නට හා කිසි ආකරයක ප්‍රකෝපකාරී පියවරක් නොගන්නට" ඇරයුම් කළේය. කෙරී ගිනි පිටවන වියරුවෙන්, ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා "ප්‍රතිවිපාක" ලැබෙනු ඇතැයි රුසියාවට අනතුරු අඟවයි. මොනවා ද මේ ප්‍රතිවිපාක? ඔහු ක්‍රෙම්ලිනය මොහොතකට වත් නින්ද නැති කර නොගන්නා, G8 කඳවුරෙන් රුසියාව පිටමං කිරීම එක් පියවරක් ලෙස යෝජනා කරයි.

මෑත කාලයේදී රුසියාව ලෝක වේදිකාව මත පිට පිටම එක්සත් ජනපදය අභිබවා යන්නට සමත් විය. පුටින් සිරියාව සම්බන්ධයෙන් ඔබාමා සමච්චලයට ලක් කිරීම පිළිබඳව එක්සත් ජනපද පාලක ‍කඳවුරු අතර තිබෙන්නේ කැකෑරෙන කලකිරීමකි. ඔබාමා රුසියාව ඉදිරියේ නැගී සිටීමට නොහැකි දුර්වලත්ව හා අතීරණාත්මක ජනාධිපති වරයෙක් සේ මෙහිදී හුවා දැක්විණ. ප්‍රතිගාමී හා උන්මත්තක ජෝන් මැකේන් වැනි රිපබ්ලිකන් නායකයෝ මේ පිළිබඳව ඔබාමාට වරද පටවන්නට පසුබට නොවෙති.

එහෙත් මැකේන් යෝජනා කරන්නේ කුමක් ද? යුධ ක්‍රියා මාර්ග වෙනුවට එක්සත් ජනපදයට, රුසියානු නිලධාරින් මානව හිමිකම් කඩකරන්නන් ලෙස තීරණය කළ හැකි වන ලෙස නීති ක්‍රියාත්මක කිරීමයි. ඒ අතරම ඇමරිකානු නිලධාරීන් ද මානව හිමිකම් කඩකලවුන් ලෙස දඬුවම් කිරීමට හැකිවන නිසා එය එතරම්ම නරක අදහසකුත් නොවේ. මෙය අන්තර්ජාතික අධිකරණයට සෑහෙන දිග කාර්ය බහුල කාලයක් උදා කරවනු නිසැකය. මේ ප්‍රීතිමත් සිතිවිල්ල මැකේන් මහතාගේ සිතට නැගී නැති බව පෙනේ. එමෙන්ම මේ නිර්නාමික "රුසියානු නිලධාරීන්" රුසියාවෙන් පිටුවහල් කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්ණය ද ඔහුගේ විෂය පථයට හසුවී නැත. කෙසේ වෙතත්, තර්කානුකූලව කල්පනා කිරීම රිපබ්ලිකන් පක්ෂයේ වත් විශේෂයෙන් ජෝන් මැකේන් ගේ වත් ප්‍රබල හැකියාවක් නොවේ.

එක්සත් රාජධානියත්, එක්සත් ජනපදය, ප්‍රංශය හා කැනඩාව සමග ජුනි මස රුසියාවේ දී පැවැත්වීමට නියමිත G8 සමුළුව සඳහා කෙරෙන සුදානම් වීම නැවැත්වීමට කටයුතු කරමින් සිටිති. බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් රුසියානුවන්ට වඩාත් බලගතු ඖෂධයක් නිර්දේශ කරයි. ඔහු කියනා ආකාරයට සොචි නුවර පැවැත්වීමට නියමිත ආබාධිතයින් ගේ ‘පැරා ඔලිම්පික්’ ක්‍රීඩා උළෙල වර්ජනය කිරීම රුසියානුවන් වෙවුලා දණ ගැස්සවීමට සමත් වනු ඇත.


මර්කල්- රුසියානු ජනපති සමග

මේ අවුලට මුල පිරූ යුරෝපා හවුලේ කිරුළු පලන් නායිකාව මර්කල් මැතිණිය ගැන කෙසේ ද? ඔබාමා මෙන්ම ඇයද රුසියානු ජනපති සමග දුරකතනයෙන් කතා බහ කලාය. නැවතත් මේ කතා බස්වල සත්‍ය අන්තර්ගතය ප්‍රසිද්ධ කර (සී.අයි.ඒ. සංවිධානය නම් පුරුදු පරිදි මේ කතා බහට සවන් දී තිබෙන්නට හැකිය!) නැත. අප දන්නා පරිදි නම් ජර්මන් නායිකාව මේ තත්වය පිළිබඳව රුසියානු දැක්ම ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින්නීය.

සමස්ථයක් ලෙස එය සුහද කතාබහක් වූ අතර, අවසානයේ දී ජර්මනිය රුසියාව සමග කිට්ටු සබඳතාවයක් සහ සුහද කතාබහක් පවත්වාගැනීමට ශපථ කළහ. මේ මිත්‍රශීලී බව කුමක් නිසාද? මෙයත් ජර්මනියට ගෑස් ඉන්ධන සපයන ප්‍රධාන සැපයුම් කරුවා රුසියාව වීමත් අතර යම් සබඳතාවයක් නැද්ද? සමහරවිට වැලැඩ්මියර් වෙත ඕනෑවට වඩා දරදඬු වුනොත්, ඔහු මේ ඉන්ධන සැපයුමට තිත තබන්නට නැඹුරු වෙනු ඇතැයි ඇන්ජලා සැක කරනවා වන්නට පුළුවන. මේ අපට කිසිදිනක දැන ගන්නට නොලැබෙන දේ ය.

බටහිර දිව දෙකේ කතා කීමට සූරය. වොෂින්ටන් වලින් කියැවෙන පණිවිඩය, ලන්ඩන් වලින් ඇසෙන කතාව හා ගැලපෙන්නේ නැත. ඒ දෙකටම වෙනස් තාලයක් බර්ලින් වලින් වැයෙයි. මේ සියල්ලෙන් එක දෙයක් පැහැදිලිය. මිත්‍රශීලීව වේවා, තර්ජනාත්මකව වේවා, මේ කිසි කෙනෙක් පුටින්ගේ සන්තානයෙහි සටහනක් තැබෙන එකම දේ, යුද්ධමය ක්‍රියාමාර්ගයක්, පිළිබඳව කිසිම සඳහනක් නොකරයි.

පුරුද්දක් ලෙස නේටෝ සංවිධානය, එනම් එක්සත් ජනපදය, වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන, සෙල්මුවා මුහුණැති ඩේන් ඇන්ඩර්ස් ෆො රස්මුස්සන් (Dane Anders Fogh Rasmussen- "මනහර ස්කැන්ඩිනේවියානුවා!") සිය හමුදා බැරැක්ක තුලට පසු බස්වන ලෙස රුසියාවෙන් ඉල්ලා තිබේ. ඔහු එය සුපුරුදු ස්කැන්ඩිනේවියානු තාලයට, සුදුමුදු ආචාරශීලිත්වයෙන් යුතුව සිදුකළේය.


ඩේන් ඇන්ඩර්ස් ෆො රස්මුස්සන්

"අපි රුසියාවට තත්වය ලිහිල් කරන්නැයි ආරාධනා කරමු... සිය හමුදා කඳවුරු තුලට නැවත කැඳවා යුක්රේනයේ කිසි කටයුත්තකට මැදිහත් නොවන්නැයි ඉල්ලමු..." බ්‍රසල්ස්හි දී මේ නිවේදනය කරමින් වඩාත් සැනසිලි සහගත ස්වරයකින් යුක්රේනය නේටෝ සංවිධානයේ ඉතා වටිනා සාමාජිකයකු බවත් ඔවුන්ට ඔවුන්ගේ අනාගතය නිදහසේ තීරණය කිරීමට ඉඩ දිය යුතු බවත් කීවේය. රුසියාවේ 'බලහත්කාරකම' හෙලා දැකීමෙන් පසු, සාකච්ඡා සඳහා ඔවුනට ආයාචනා කළේය.

නැවත වරක්, අවසාන නිවේදනයක් පිළිබඳව කිසිදු සඳහනක් නොවීය. රස්මුසෙන්‍ගේ මේ නිහඬතාවයට ඉතා වැදගත් හේතුවක් තිබේ. බටහිරින් යුධ මෙහෙයුමක් දියත් කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කරන ලද විසඳුමක් බව ඔහු හොඳාකාරවම දනී.

(මතු සම්බන්ධයි.)

(marxist.com වෙබ් අඩවියේ මාර්තු 03 වන දින පළ වූ Russia, Ukraine and the West: Will there be war? යන ලිපියේ පරිවර්තනයකි.)
පරිවර්තනය - බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails