Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යුක්‍රේනයේ අර්බුදය තව තවත් තීව්‍ර වෙද්දී යුද්ධයක සේයාව ද තව තවත් විශාල වෙයි. පසුගිය සෙනසුරාදා රුසියානු ජනාධිපතිවරයා, ක්‍රිමියාවේ පමණක් නොව යුක්‍රේනයේ ද සිය හමුදාව ස්ථානගත කිරීමට පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගත්තේය. මෙම අවසරය ලබාගත්තේ "හඳුනානොගත්" සන්නද්ධ පිරිසක් විසින් ක්‍රිමියානු අර්ධද්වීපය අල්ලාගැනීමත් සමගය. මෙකී හඳුනානොගත් පිරිස රුසියාවේ කළු මුහුදු බලඇණියට (Black Sea Fleet) අයත් හමුදා පිරිස් බව පසුව හඳුනාගැණිනි. මෙහිදී පුදුම සහගත නොවන ලෙස රුසියානු පාක්ෂික නව ක්‍රිමියානු ජනාධිපතිවරයා විසින් ක්ෂණිකව රුසියානු සහයෝගය ඉල්ලා සිටියේය. මීට සමාන්තරව දකුණු ප්‍රදේශයේ නගර දෙකක කොඩි දැමීමට රුසියානු පක්ෂ උද්ඝෝෂකයින් ක්‍රියාකර ඇත.

බටහිර රටවල නායකයින් විසින් දිගින් දිගටම රුසියානු මැදිහත්වීමට විරුද්ධව මත ප්‍රකාශ කළහ. පසුගිය කාලය පුරාවට යුක්‍රේනයේ සිදුවන දේ පිළිබඳව රුසියාව කැමැත්තකින් සිටියේ නැත. එහෙත් මෙකී තත්ත්වය නොනවත්වා දිගහැරුණි. පසුගිය සතියේදී රුසියානු සෙබළු විසින් යුක්‍රේන දේශසීමාවේ සිදුකරනු ලැබූ ක්‍රියාකාරකම් හදුන්වාදී තිබුණේ හමුදා සෙබළුන්ගේ ස්ථානමාරුකිරීම් ලෙසය.

සිය රටවැසියන්ගේ ආරක්ෂාව හේතුව ලෙස ඉදිරිපත් කරමින් රුසියානු ජනාධිපති වැල්ද්මීර් පූටින් විසින් සිය හමුදාව අසල්වාසී රාජ්‍ය දේශසීමාවල ස්ථානගත කිරීමට සෙනෙට් සභාවේ ඒකමතික සහයෝගය ලබාගත්තේය. ඔහු විසින් ප්‍රකාශ කළේ "රටේ දේශපාලන තත්ත්වය නැවතවරක් සාමාන්‍ය තත්ත්වයට පත්වෙන තුරු" සිය හමුදාව අදාළ ස්ථානගත කිරීම සිදුකරන බවයි. වඩා සාධාරණ යැයි හැඟෙන මෙම හේතුව ඔහුගේ දරදඬුභාවය සැඟවීමට කරන ලද්දකි. 2008දී ජෝජියාව ආක්‍රමණය කිරීම සඳහා ද ඔහු විසින් භාවිතා කළේ මෙම වචන පෙළමය.

ශීත යුධ සමයෙන් පසුව ඇමරිකාව ඇතුළු බටහිර සහ රුසියාව අතර අතිශය තියුණු තත්ත්වයක් නිර්මාණය කිරීමට මිලියන 46ක ජනගහණයෙන් යුතු යුක්‍රේනයේ වත්මන් දේශපාලන තත්ත්වය සමත්ව ඇත. "තත්ත්වය සමථයකට පත්කිරීම" සදහා වන සාකච්ඡා බොහෝමයක් රටවල් ගණනාවක රාජතාන්ත්‍රික වශයෙන් මේ වන විට පැවැත්වෙමින් පවතී. යුක්‍රේනයේ කිව් අගනුවර විරෝධය, යුරෝපා සංගමයේ විරෝධය, ජනාධිපති ඔබාමාගේ විරෝධය...! සියලු දෙනා ප්‍රතිචාර දක්වමින් සිටිති.



රුසියාවට පක්ෂපාතී හිටපු ජනාධිපතිවරයා පළායාමෙන් පසුව පත්වූ නව රජයට සහාය පළ කරමින් එහි ගිය බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් විලියම් හේග් සිය රුසියානු තානාපතිවරයාට දන්වා ඇත්තේ මෙම සිදුවීම සිය "අවධානයට" ලක්ව ඇති බවය. යුරෝපා සංගමයේ ඇමතිවරුන් හදිසි රැස්වීම් වාරයක් කැඳවීමට ද නියමිතය. චෙක් ජනරජයේ ජනාධිපති මිලෝස් සෙමන් විසින් 1968 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් සිදුකළ චෙකොස්ලෝවැකියා ආක්‍රමණය සිහිපත් කොට ඇත.

වොෂින්ටනය විසින් අනතුරු අගවා ඇත්තේ රුසියාව විසින් සිදුකරමින් පවතින දේවල් සම්බන්ධයෙන් "ප්‍රතිවිපාක" විඳීමට සිදුවනු ඇති බවයි. එහෙත් ඒ මොනවාද යන්න කොතැනකවත් සඳහන් කොට නොමැත. මීට ප්‍රතිචාර ලෙස පුටින් විසින් නොපැකිළිව සඳහන් කරනුයේ තමන් විසින් හමුදා යෙදවීම සිදුකරනුයේ "රුසියානු ජනතාවගේ අභිලාෂයන් ආරක්ෂා කිරීම වෙනුවෙන්" බවයි. බටහිරට දහසක් තර්ක ඇත! එහෙත් පුටීන්ට දස දහස් ගණනක් සෙබළු, යුධ ටැංකි හා ආයුධ ඇත! නේටෝ හමුදාවන් භූමියට වඩා විශාල දුරක සිටින විට රුසියන් හමුදා දැනටමත් භූමිය වෙත පැමිණ ඇත. ක්‍රිමියාව තුළ රුසියාවේ ස්ථාවර නාවික කඳවුරක් ද පිහිටා ඇත.

දෙපාර්ශ්වය අතර උණුසුම සෑම තත්පරයක් තුළම ඉහළ යමින් පවතී. රූපවාහිනියෙන් ජනතාව ඇමතූ යුක්‍රේනයේ වැඩබලන ජනාධිපති ඇලෙක්සැන්ඩර් ටර්චිනොව් ජනතාවගෙන් සන්සුන් වන ලෙස ඉල්ලා සිටියේය. (සියළුම දෙනා සිදුකරන්නේ මෙම ඉල්ලීමයි!) රටේ ජනතාවගේ බෙදීම් පසෙකලා එකිනෙකා කෝප ගැන්වීම් නතර කරන ලෙසටය. එම පණිවිඩය තුළම ඔහු සඳහන් කරන ලද්දේ ඔහු විසින් සිය හමුදා අනතුරකට මුහුණදීමට සීරුවෙන් තබා ඇති බවත්ය. එය කිසිලෙසකින්වත් සන්සුන් සහගත ප්‍රකාශයක් නොවේ.

රටේ සිටින දෙවැනි නායකයා වන අගමැති ආර්සිනියි යට්සෙන්යුක් පැවසුවේ රුසියානු මිලිටරි මැදිහත්වීමක් සිදුනොවන බවට ඔහුට විශ්වාස බවත්, එසේ වුවහොත් එය යුද්ධයක ආරම්භය මෙන්ම දෙපාර්ශවය අතර සම්බන්ධතාවල අවසානය බවත්ය.

යුක්‍රේනයේ භීතිය හා පීඩනය

යුක්‍රේනයේ තත්ත්වය විවිධ ස්වරූප ගනී. හිටපු ජනපති යනුකොවිච්ගේ පළායාම නිසා එකවර ආ ප්‍රීතිය දිනකිහිපයක් ඇතුළත චංචල හා පීඩාකාරී තත්ත්වයක් බවට පත්විය. නව පාර්ලිමෙන්තුවේ සම්මත කරගත් ප්‍රථම පනත බවට පත්වූයේ එතෙක් දෙවන ප්‍රධාන භාෂාව බවට පත්ව තිබූ රුසියානු භාෂාව ඉන් ඉවත්කිරීමය. වාර්තාවන අන්දමට මෙකී පනත සම්මත කරගැනීම සඳහා මිලීෂියා කණ්ඩායම් විසින් යුක්‍රේන පාර්ලිමෙන්තුව වන රාඩා වෙත ආරක්ෂාව ලබාදී ඇත. මෙකී මිලීෂියා කණ්ඩායම් මේ වන විට රාජ්‍ය පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සමග ද ඒකාබද්ධ වී ඇත. එමෙන්ම ඔවුන් විසින් හිටපු ජනාධිපතිවරයාගේ පළායාමෙන් පසු ඇති වූ තාවකාලික ආණ්ඩුවේ තීරණාත්මක භූමිකාවන් වල වගකීම් දරමින් සිටිති. ආරක්ෂක අංශ, යුක්තිය පසිඳලන ආයතන වැනි ප්‍රධාන අමාත්‍යංශ ඒ අතර වේ. රුසියානු භාෂාව ප්‍රධාන කොට ගත් ජනතාව නොසන්සුන්ව ඇත්තේ මේ නිසාය.



පුටින් ජනාධිපතිවරයා විසින් රුසියානු භාෂාව කතාකරන ජනතාවට ඇති තර්ජන ගැන කරන සඳහන මුසාවක් නොවේ. පැවතුණු ආණ්ඩුවට එරෙහි පැවති උද්ඝෝෂණ වලදී මෙකී ෆැසිස්ට් මතවාදී කණ්ඩායම් විසින් දරන ලද භූමිකාව ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍යයන් විසින් වාර්තා කෙරුණේ නැත. සුපුරුදු ලෙසම රාජ්‍යයන්ට විරුද්ධව අරගල කරන පිරිස් "ප්‍රජාත්ත්‍රවාදී අරගලකාමීන්" ලෙස වාර්තා කෙරුණත්, මෙහිදී සැබැවින්ම සිදුවූයේ "සතුරාගේ සතුරා මිතුරාය" යන සංකල්පය ක්‍රියාවට නැංවීමයි. වොෂින්ටනය විසින් තලේබාන් සටන්කාමීන් ව සහ ඔසාමා බින් ලාඩන්ව "නිදහස වෙනුවෙන් සටන් කරන අරගලකාමීන්" ලෙස හැදින්වූයේ ඔවුන් විසින් ඇමරිකානුවන් නොව රුසියානුවන් ඝාතනය කරන කල්හිදීය.

යනුකොවිච් පලවා හැරීම දක්ෂිණාංශික ෆැසිස්ට්වාදීන් හට කොමියුනිස්ට් පක්ෂයට එරෙහි ප්‍රහාර එල්ලකිරීමට අවස්ථාවක් විය. (පක්ෂ මූලස්ථානයට හානිකිරීම, එහි නායකයින්ගේ නිවාස ගිනිතැබීම, ප්‍රකාශන ආයතන තහනම් කිරීම වැනි) මෙවැනි සංකේත මගින් පෙන්වා දෙන්නේ ෆැසිස්ට්වාදීන් හට බාහිර සහයෝගය මොනවට ලැබෙන බවයි. එනම් ඇමරිකාව (එහි පරිපාලනය හා රිපබ්ලිකන් පක්ෂය) විසින් ජර්මනියට වඩා වැඩි සහයෝගයක් දෙන බවයි. පසුගිය වසර විස්සක කාලයක් තුළ ඩොලර් බිලියන 5ක ආධාර ප්‍රමාණයක් යුක්රේන විපක්ෂය පෝෂණය කිරීමට ඇමරිකාව විසින් ලබා දුන් බව හෙළිවී තිබෙන කාරණයකි. දක්ෂිණාංශික බැන්ඩරෙයිට් ෆැසිස්ට්වාදීන් හා ඇමරිකාව අතර සම්බන්ධතාව රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ පාලන කාලය දක්වා දිවයන්නකි.

යුදෙව් විරෝධය යුක්රේනයේ පිළිකුල් සහගත ලෙස නැවතත් හිස ඔසවා ඇත. යුදෙව් දේවස්ථානයක් කිව් අගනුවරට ගිණිකොණදිගින් පිහිටි සපෝරිහියාහිදී ප්‍රහාරයට ලක්ව ඇත. මේ තත්ත්වය විසින් එරටේ යුදෙව් ආගමික නායකයා විසින් සිය අනුගාමිකයිනට නිවෙස්වලින් පිටතට නොඒමට දැනුම්දී ඇත. ඊශ්‍රායලය විසින් යුක්‍රේනයේ වෙසෙන යුදෙව්වන් හට සිය රට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත. ඇමරිකාව සහයෝගය දෙන දක්ෂිණාංශික ෆැසිස්ට්වාදීන් පිරිසක් යුක්‍රේනයේ පාලනය හිමිකරගෙන ඇති බව මින් නොකියවෙන නමුත් සාපේක්ෂව වඩාත් ශක්තිමත් හා ස්වාධීන මෙම පිරිස එරට දේශපාලනයේ වත්මන් මොහොතේ තීරණාත්මක භූමිකාවකට පණපොවමින් සිටී. මෙනිසාම සමථකරණයට ඇති ඉඩකඩ වඩාත් පටුවී ඇත.

දක්ෂිණාංශික අන්ත ජාතීවාදීන් හා ෆැසිස්ට්වාදීන් විශාල පිරිස් වශයෙන් එක්රැස්ව සිටිති. වාමාංශිකයන්ට එරෙහි ප්‍රහාර දැඩිවී ඇත. ල්විව් නගරයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ප්‍රධාන ලේකම්වරයා හට අමානුෂික ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහුගේ පෙණහළු තුවාල වී ඇති අතර හිස්කබල පුපුරා ඇත. රෝහල්ගත කර ඇති ඔහුගේ තත්ත්වය බරපතලය. මේ එවැනි සිද්ධි ගණනාවකින් එකක් පමණි.
මෙවැනි තත්ත්වයන් විසින් නැගෙනහිර යුක්‍රේනයේ කර්මාන්තපුර වල භීතිය හා කෝපය අවුලුවා ඇත. යුක්‍රේන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කර්තව්‍යය බවට පත්ව ඇත්තේ ලෙනින් ස්මාරක ආරක්ෂා කිරීමය. දැනටමත් ඒවා රැසක් බටහිර යුක්‍රේනයේදී විනාශ කෙරී ඇත. නැගෙනහිර ප්‍රදේශයේ දිනපතා පැවැත්වෙන මහජන රැළි සදහා විශාල පිරිස් සහභාගීත්වයක් දක්නට ඇත.

වාමාංශය විසින් පිරවිය යුතු රික්තයක් ඉතිරිව ඇත. නිවරදි දේශපාලන භූමිකාව වනුයේ කොමියුනිස්ට් පක්ෂයයි. එහෙත් අවාසනාන්ත ලෙස 2004න් පසු ස්වාධීන ලෙස පන්ති පදනමින් ස්ථාවරයන් පවත්වාගෙන යනවා වෙනුවට, කොමියුනිස්ට් පක්ෂය විසින් ධනපතියන් විසින් ඉදිරිපත් කළ යනුකොවිච්ට සහයෝගය ලබාදුන්නේය. ඔවුන්ගේ තර්කය වූයේ යනුකොවිච් යනු 'සැර අඩු යක්ෂයෙක්' බවයි. මෙම තීරණයට එළැඹීම සදහා පාදක වන්නට ඇත්තේ හිටපු ජනපති කුෂ්මාට විරුද්ධව යුචෙන්කෝ හා එක්ව සිදුකළ අරගලයයි.

කෙසේවෙතත් ලැබෙන වාර්තා අනුව යුක්‍රේන කොමියුනිස්ට් පක්ෂය (KPU) මේ වන විට වර්ධනය වෙමින් පවතී. නිශ්චිත දත්ත නොමැති වුවත් පෙනෙන විදිහට දකුණු හා නැගෙනහිර පිහිටි ශාඛා සියල්ල වර්ධනයන් අත්පත් කරගනිමින් සිටී. මෙය පුදුමයක් නොවන්නේ අන්ත ජාතීවාදීන්ගේ තර්ජන ක්‍රම ක්‍රමයෙන් උග්‍රවන බවට ජනතාව හට දැනෙන නිසාය. මහජනතාව සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපාර හා ඒකාබද්ධ වන්නේ එවැන්නක් තමන්ගේ අභිලාෂ හා පෙනී සිටින බවට වන විශ්වාසයත්, තමන්ගේ රුසියානු අනන්‍යතාවයත් නිසාය. මේ නිසා යුක්‍රේන කොමියුනිස්ට් පක්ෂ නායකයින් ගේ සියළුම වැරදි තීරණයන් නොතකා අන්තගාමී බලයට විරුද්ධව අපගේ සහයෝගීතාව හා එක්සත්බව KPU වෙත ප්‍රකාශ කර සිටිමු.





ක්‍රිමියාව

ක්‍රිමියාව යනු යුක්‍රේනයේ රුසියාවට පක්ෂපාතී කේනද්‍රස්ථානයයි. මිලියන 2.3 ක ජනගහනයකින් යුක්ත මෙම අර්ධද්වීපයේ වැඩිපිරිසක් රුසියානු වාර්ගික පසුබිමකින් යුක්ත රුසියානු භාෂාව කතාකරන්නන් වෙති. මොවුන් වැඩිපිරිසක් හිටපු ජනපති යනුකොවිච්ට පක්ෂපාතීව 2010 වසරේදී සිය ඡන්දය භාවිතා කළෝය. ඔවුන් වැඩි පිරිසක් විශ්වාස කරන්නේ යනුකොවිච් යනු ක්‍රිමියානු පාර්ලිමේන්තුවේ සිටින බෙදුම්වාදීන්ගේ කුමන්ත්‍රණයක ගොදුරක් බවයි. ඔවුන් ක්‍රිමියාවට වෙනම පාලනයක් වෙනුවෙන් පෙනීසිටිති.

කෙසේ වෙතත් ක්‍රිමියාව තුළ පසුගිය වසර 200ක කාලයක් පුරාවට වැඩි බලයක් දරණ ලද්දේ රුසියාව විසිනි. 1954 දී එය මොස්කව් වලින් යුක්‍රේනය වෙත මාරුවූයේ යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක්ව පවතින කාලයේදීය. යුක්‍රේනය වෙනම රටක් වීම නිසා තමන්ට සිදුවූ ඓතිහාසික වැරැද්ද දැන් නිවරැදි විය යුතු බව වාර්ගික රුසියානුවන් විශ්වාස කරති. මේ අතර ක්‍රිමියාවේ සිටින මුස්ලිම් ටාටර්වරු සැළකියයුතු සුළුතරයකි. ඔවුන් එම ප්‍රදේශයේ බහුතරක්ව සිටියත් දෙවන ලෝක යුධ සමයේදී හිට්ලර්ට සහයෝගය දුන්නායැයි යන චෝදනාව මත (හිට්ලර් රුසියාව ආක්‍රමණය කළවිට) ස්ටාලින් විසින් ඔවුන්ව පිටුවහල් කළේය.

ක්‍රිමියානු ජන අනුපාතිකය සංකීර්ණය. 2001 සංගණනයේදී යුක්‍රේන ජාතිකයින් 24%ක් වන විට රුසියානුවන් 58%ක් හා ටාටාර්වරු 12%ක් වූහ. 1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසු ටාටර්වරු නැවත වරක් එරටට සංක්‍රමණය වෙමින් සිටිති. මෙය වාර්ගික රුසියානුවන් හා ටාටර්වරු අතර ඉඩම් අයිතිය වෙනුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකර තිබේ. මෙහි අවසනාවන්ත අවසාන ප්‍රතිඵලය නම් වාර්ගික රුසියානු හා ටාටර් ක්‍රියාකාරිකයින් අතර විදීවල ගැටුම් හටගැනීමයි.

යනුකොවිච්ගේ පෙරළීමත් සමග ක්‍රිමියාවේ තත්ත්වය වඩාත් අස්ථාවර ඇත. ක්‍රිමියානු පාර්ලිමෙන්තුව රුසියානු පැරාමිලිටරි කණ්ඩායම් විසින් අත්පත්කරගැනීමෙන් පසුව ප්‍රාදේශීය පාලනය වෙනස් වූ අතර ක්‍රිමියාව ස්වාධීන වීම සදහා වන ජනමත විචාරණයක් මැයි 25 පැවැත්වීමට දැනට තීරණය වී ඇත. සිදුවීමට නියමිත දේ බොහෝදුරට පැහැදිලිය. ක්‍රිමියාවේ බහුතරයක් වන රුසියානුවන් ගේ ඉල්ලීම වී ඇත්තේ යුක්‍රේනය නැවතත් රුසියාවට ඒකාබද්ධ විය යුතු බවය.



ක්‍රිමියාව මේ වන විට කිව් අගනුවර පාලනයෙන් තොරය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට ද එහි ළඟාවීමට නොහැකි වූයේ රුසියානු මැරීන් භටහයින් විසින් සියළුම ගුවන්තොටුපලවල් අත්පත්කරගෙන ඇති බැවිනි. 1994දී ඇමරිකාව, එක්සත් රාජධානිය හා ප්‍රංශය ද එකතුව යුක්‍රේනය හා රුසියාව අතර අත්සන් කරන ලද ගිවිසුමට අනුව ක්‍රිමියාව, යුක්‍රේනයේ කොටසක් බවට පිළිගෙන ඇත. කිව් පාලනය විසින් අදාළ ගිවිසුමට අත්සන් කළ අනෙකුත් පාර්ශවයන් හට මේ පිළිබඳ පැමිණිලි කොට ඇත. එහෙත් සාමාන්‍යයෙන් නීතිය එසේ වූවාට සැබැවින්ම සිදුවන්නේ අනෙකකි. ඇතැන්ස් සොලෝන්ට අනුව "නීතිය යනු මකුළු දැලක් වැනිය. කුඩා අයවුන් එහි පැටලෙන අතර ශක්තිවන්තයින් එය ඉරාගෙන යති."

(මතු සම්බන්ධයි.)

(marxist.com වෙබ් අඩවියේ මාර්තු 03 වන දින පළ වූ Russia, Ukraine and the West: Will there be war? යන ලිපියේ පරිවර්තනයකි.)
පරිවර්තනය - බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails