Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


[කොටස් වශයෙන් පළ වන ලිපියක පළමු වැන්නයි.]

"දුරාතීතයේ පටන් ම මිනිසා ‘හොඳ’ හා ‘නරක’ අතරේ දෝලනය වෙමින් සිටී. සම්මත ව පවත්නා ‘හොඳ’ හා ‘නරක’ වූ කලී ජීවවිද්‍යාත්මක සංකල්පයක් නො වේ. එය සංස්කෘතිය හෝ සම්ප‍්‍රදාය විසින් අප තුළට කාවද්දනු ලැබූවකි. සමාජය තුළ මුල් බැස ගෙන ඇති ‘හොඳ - නරක’ නැත හොත් ‘යහපත’ හා ‘නපුර’ පිළිබඳ නිරීක්ෂණාත්මක පර්යේෂණයක යෙදෙන්නෝ විශිෂ්ට සාහිත්‍යකරුවෝ ය."
- කැත්ලීන් ජයවර්ධන (ධවල නිම්නය, පිළිසඳර)

පිවිසුම

සමාජයට හානිදායක, පුද්ගලයාට අනතුරුදායක බොහෝ දෘෂ්ටිවාද, පාරම්පරික වුත් සාම්ප‍්‍රදායික වුත් සාහිත්‍යය ඔස්සේ සාමාන්‍ය දැනුම බවට පත්ව ඝනීභූතව ඇත. සාහිත්‍යයෙන් විය යුත්තේ මෙම දෘෂ්ටිවාද විචාරයට ලක්කිරීම වුවද විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ එය සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. දෘෂ්ටිවාද යනු විශේෂයෙන්ම පොදු කරුණුවලදී අදාළ වන හරයාත්මක ක‍්‍රමවේදයක් වන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් චින්තන කි‍්‍රයාවලියක් ඔස්සේ සිදුකරන එම සමාජමය වෙනස් කිරීම, පුද්ගලයාගේ අයහපත, පීඩනය වෙනුවෙන් බොහෝවිට ක‍්‍රියාත්මක වනු පෙනේ. ආගමික දෘෂ්ටිවාදයන්ට මුවා වී සංස්කෘතික නිර්මිතයන්ට කොටු වී ඇති මෙම දෘෂ්ටිවාද තව තවත් සමාජයේ සරල සත්‍යයන් බවට පත්වීමත්, ස්වාභාවික ප‍්‍රස්තූත බවට පත්වීමත් හැරෙන්නට ඒවාට පුළුල් විචාරයක්, සාකච්ඡාවක් ලබාදීම සිදුවන්නේ නැත.

ඕනෑම සමාජයක ‘හොඳ’ හෝ ‘නරක’ හෝ තීරණය වන්නේ එම සමාජයේ තත්කාලීන අධිපති පන්තියට අවශ්‍ය ආකාරයෙන් පමණි. එබැවින් ඒවා විශ්වීය සත්‍යයන් නොවේ. සමාජයේ පැවැත්ම වෙනුවෙන් සෑම සංඝටකයක්ම ප‍්‍රති- නිෂ්පාදනය වීම අවශ්‍යය. එනම් සමාජ විඥානය යනු අනවරතව ප‍්‍රති-නිෂ්පාදනය වන්නකි. එසේ ප‍්‍රති- නිෂ්පාදනය වන සමාජ විඥානය ‘ඊයේ’ සමාජ පැවැත්මේ පිළිබිඹුවක් ලෙස හෝ හුදෙක් ‘අද’ සමාජ පැවැත්ම සඳහා පමණක් හෝ උචිත වන අයුරින් ප‍්‍රති-නිෂ්පාදනය වීමේදී එතුළ ඇත්තේ අතිශය ප‍්‍රතිගාමී ස්වරූපයකි. නමුත් අපට අවශ්‍ය වන්නේ යහපත් හෙටක් වෙනුවෙන් සමාජ විඥානය ප‍්‍රති-නිෂ්පාදනය වීමේ කාලීන අවශ්‍යතාවයි. ඒ සඳහා ජාතික හීනමානය හෝ අභිමානය කරපින්නා නොගත් පුළුල් ගවේෂණ මාවතක් අවැසිය. එය ස්වාධීන, විවෘත සේම සැබැවින්ම විද්‍යාත්මක විය යුතුය. ඒ වෙනුවෙන් ගත හැකි මූලිකම වෑයම වන්නේ ගැටලු සහිත සියලුම පැරණි මාවත් පිළිබඳව බියෙන් සහ අන්ධ භක්තියෙන් තොරව ප‍්‍රශ්න කිරීමේ අවශ්‍යතාවයි.

‘සත්‍ය’ සහ ‘දෘෂ්ටිවාදය’ අතර පවතින්නේ අතිශය ප‍්‍රතිවිරුද්ධ සම්බන්ධයකි. එනම් දෘෂ්ටිවාද යනු වැඩිපුරම අසත්‍යයේ පිළිබිඹුවක්ම වීමයි. එක් දෘෂ්ටිවාදයකට ‘අසත්‍ය’ වන ප‍්‍රස්තූතයක් තවත් දෘෂ්ටිවාදයකදී ‘සත්‍යය’ විය හැකිය. එබැවින් එය සාපේක්ෂ කරුණක් වන බව නොදැන ආධානග‍්‍රාහී වී දෘෂ්ටිවාද වැළඳ ගැනීමෙන් සිදුවන්නේ පුද්ගලයාට වඩාත් සකී‍්‍රයව දිවි ගෙවිය හැකි සර්ව සාධාරණ පුරවැසිභාවය වෙනුවට ‘අර්ධ පුරවැසිභාවය’ සහිත ජීවිතයකට උරුමකම් කීමට සිදු වීමයි. අවාසනාවකට එය සිදු වන්නේද පුද්ගලයා නොදැනමය. තමා විසින් තවත් පිරිසකගේ, පන්තියකගේ අවශ්‍යතාවක් වෙනුවෙන් සේවය කරන්නේය යන්න බව නොදැනමය. ඒ තරමටම ඇතැම් දෘෂ්ටිවාද සාමාන්‍යය වූ ප‍්‍රස්තූතයන්ව සමාජ දේහයේ සංසරණය වෙයි.

කර්තෘක පදාර්ථයන් වන, අසත්‍යයේම ප‍්‍රතිබිම්බයන් පමණක් බොහෝවිට බලාත්මක වන හුදෙක් කල්පිතයන් පමණක් වූ මෙම දෘෂ්ටිවාද, ප‍්‍රශ්න කිරීමත්, විචාරයට බඳුන් කොට ප‍්‍රති-නිෂ්පාදනය කිරීමත්, එසේම ඒ ප‍්‍රති- නිෂ්පාදනය මඟින් පුද්ගල විඥානය ආධානග‍්‍රාහී වීම වැළැක්වීමේ කාර්යයත් පැවරී ඇත්තේ සාහිත්‍ය හා කලාව වෙතය. නො එසේනම් කලාකරුවා වෙතය. නියම අධ්‍යාපනය විසින් දරුවාට ඉගැන්විය යුත්තේ සංස්කෘතිය කටපාඩම් කරවීම නොව. තමන්ගේ සංස්කෘතිය, අනන්‍යතාව, සම්මතය හා සම්ප‍්‍රදාය අවිචාරයෙන් ධාරණය කරගැනීමට පෙළඹීම යනු අධ්‍යාපනය නොවේ. කිසියම් අපේක්ෂාවක් හෝ අපේක්ෂාවන් රැසක් වෙනුවෙන් හෝ සිය ආත්මය පාවාදීමක් පමණකි. තමන්ගේ සංස්කෘතියේ ගැටලු සහගත තැන් දකිමින් ඒවා සංස්කරණය සහ සංරක්ෂණය ද කරමින් සංස්කෘතිය අලුතින් නිර්මාණය කිරීමට දරුවන් උගත යුතුය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ තෘතීය අධ්‍යාපනයේදී හෝ මෙම අවශ්‍යතාව අධ්‍යාපනයට ඇතුළත් විය යුතුය. අවාසනාවකට එය එසේ සිදු වනු අපට නොපෙනේ.

ඒ අනුව කලාව බිහි විය යුත්තේ ගැටලු රැසක් මධ්‍යයේ පවතින සමාජ තත්වයන්ම යළි යළිත් ස්ථාපනය කිරීමේ හෙවත් ප‍්‍රති නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාවකින් නොව, එම තත්වයන් පිළිබඳව විමර්ශනාත්මක දෘෂ්ටියෙන් බැලීමේ ශක්‍යතාවෙන් යුතුවය. තවත් ආකාරයකින් කියන්නේ නම් සංස්කෘතියේ ‐ සදාචාරයේ නාමයෙන් පුද්ගලයා මරා දැමීමට හෝ සිර කර තැබීමට හෝ නොව, සමාජයේ සෑම සියලු දෙනාගේම යහ පැවැත්ම වෙනුවෙන්ය. අප විසින් මෙම විමසුම සිදු කිරීමට මූලික වශයෙන්ම බලපෑවේ අද අපගේ සාහිත්‍ය හා කලාව ස්ථානගතව පවතින ශෝචනීය අඩවිය පිළිබඳව පෙන්වා දීමේ දැඩි අවශ්‍යතාවයි. ඒ සඳහා දෘෂ්ටිවාදය නමැති සංකල්පයේ සිට ඒ ආශ‍්‍රිත සෙසු සංකල්ප ඔස්සේ දිවෙමින් අපගේ සංවාදය අරඹමු.

දෘෂ්ටිවාදය යනු කුමක්ද?

වර්තමානයේදී සාහිත්‍ය- කලා අධ්‍යනයට යොදා ගනු ලබන බහුල භාවිතාවක් වශයෙන් දෘෂ්ටිවාදය හඳුනා ගැනේ. දෘෂ්ටිවාදය පිළිබඳව කතා කිරීමේදී ඒ ආශි‍්‍රතව නිපන් තවත් වචන රැසක් ඇත. ‘දෘෂ්ටිමය’ ලෙස හඳුන්වන්නේ ඇස රැවටීමයි. ‘දෘෂ්ටි ජාල’ යනු වැරදි විශ්වාස නමැති දැලයි. ‘දෘෂ්ටි පථය’ ලෙස ගනුයේ ඇසට හෝ මනසට පෙනෙන තෙක් මානයයි. ඒ අනුව ඇසට හෝ මනසට පෙනෙන තෙක් මානය පමණක් පිළිබඳ කතිකාව ලෙස දෘෂ්ටිවාදය යන්න සරලව හඳුනාගත හැකිය. ‘දෘෂ්ටිවාදය’ යන වචනය නිර්මාණය කරන ලද්දේ යුරෝපීය භාෂාවන් තුළ දෘෂ්ටිවාද සංකල්පය ප‍්‍රචලිත කිරීමට මූලාධාර වන ලිපි රැසක්ම ලියන ලද ‘ඩෙස්ටට් ද ටේ‍්‍රසි’ ඇතුළු පිරිසයි. ඔවුන් එය විග‍්‍රහ කරනුයේ ‘දෘෂ්ටිවාද යනු අදහස් න්‍යායගත කිරීමේ උත්පාදක වස්තුවකි’ යන්නයි. එනම් සමාන අදහස් දරන පන්තීන් සිය අවශ්‍යතාවන් වෙනුවෙන් ඒකරාශී වීම යන අර්ථයෙනි. විමල් දිසානායක විසින් දෘෂ්ටිවාදය යන වචනයෙහි ගැබ්ව ඇති විවිධ අර්ථ ඡායා එකොළහක් දක්වයි. එනම්,

01. සමාජ ජීවිතයෙහි විවිධ අර්ථ, සංඥා හා සාරධර්ම නිෂ්පාදනය කරන ක‍්‍රියාදාමය දෘෂ්ටිවාදයයි.

02. කිසියම් සමාජ කණ්ඩායමකට හෝ පන්තියකට හෝ ආවේණික වූ චින්තන සමුදාය දෘෂ්ටිවාදයයි.

03. කිසියම් ජන සමූහයකට සිය බලය තහවුරු කරගැනීමට ඉවහල් වන ව්‍යාජ සිතිවිලි රටාව දෘෂ්ටිවාදයයි.

04. ක‍්‍රමානුකූලව සියුම් ලෙස විකෘති කරන ලබන සන්නිවේදනය දෘෂ්ටිවාදයයි.

05. පුද්ගලයාට සිය ආස්ථානය පෙන්නුම් කරන බලවේගය දෘෂ්ටිවාදයයි.

06. සමාජ ලාභාපේක්ෂාවන් මඟින් හසුරුවනු ලබන මනෝවෘත්තිය දෘෂ්ටිවාදයයි.

07. සමාජ සංකථන සහ බල නිෂ්පාදනය ඒකාබද්ධ කරන්නා දෘෂ්ටිවාදයයි.

08. පුරවැසියන් තමන් අවටැති ලෝකයට අර්ථාරෝපණය කිරීමට මඟ සලසන්නේ දෘෂ්ටිවාදයයි.

09. භාෂාව හා විෂය ලෝකය අතර ව්‍යාකූලත්වයක් මතු කරනු ලබන්නේ දෘෂ්ටිවාදයයි.

10. සමාජ සංව්‍යුහයට අනුව ජීවත් වීමට පුද්ගලයන්ට අනුබල දේන්නේ දෘෂ්ටිවාදයයි.

11. කෘතක සමාජ සම්මුති වලට ස්වභාවික යථාර්ථයක ස්වරූපය ආරෝපණය කරන්නේ දෘෂ්ටිවාදයයි.

ඉහත කරුණු අනුව පෙනී යන්නේ දෘෂ්ටිවාද වලින් තොරව සමාජයකට පැවතිය නොහැකි බවයි. විවිධ දාර්ශනිකයන්ගේත්, විශ්ලේෂකයන්ගේත් ඇතැම් අදහස්වලින් පෝෂණය ලැබ දිසානායක විසින් ගෙනහැර දක්වන මෙම අදහස තුළින් ඕනෑම පුද්ගලයෙක් කිසියම් හෝ දෘෂ්ටිවාදයක කුලකයක් වන බවද පෙනී යයි.

සත්‍ය හා අසත්‍ය යන දෙකෙහිම එකතුවක් ලෙසින් කි‍්‍රයාත්මක වන දෘෂ්ටිවාද වැඩිපුරම අසත්‍ය රූපී වේ. තවත් අයෙකුගේ මතයක්, අවශ්‍යතාවක් වෙනුවෙන් හැමවිටම පෙනී සිටියි. මතවාදය, දෘෂ්ටිවාදය, දෘෂ්ටිවේදය යනාදී පර්යායන්ගෙන් ද හඳුන්වනු ලබන්නේ මෙම දෘෂ්ටිවාදයමය.

දෘෂ්ටිවාදය පිළිබඳව සමාජයේ පවතින්නේ විවිධාකාර මතයන්ය. ටෙරී ඊගල්ටන් දක්වන ආකාරයට "දෘෂ්ටිවාදය සමස්තයක් ලෙස සමාජය පිළිබඳව සත්‍ය වූ දැනීම ලබාදීමෙන් වළක්වයි."

දෘෂ්ටිවාදයෙන් බොහෝවිට සිදුවන්නේ අසත්‍ය භාවිතකරමින් සත්‍ය වසා දැමීමයි. සමහර දෘෂ්ටිවාද හිතාමතාම නිර්මාණය කරයි. සමහර ඒවා ඉබේම ඇතිවේ, එනම් කාලාන්තරයක් තිස්සේ කි‍්‍රයාත්මක වීම තුළින් සාමාන්‍යකරණය වී ඇත. හිතාමතා නිර්මාණය කරන ලද දෘෂ්ටිවාද කිහිපයක් පහත අයුරින් පෙළගස්වමු.

* යුදෙව්වන් යනු ලොව අවාසනාවන්තම ජාතියයි. නාසීන් යනු ලොව ශ්‍රේෂ්ඨතම ජාතියයි. (හිට්ලර්)

* බොදුබල සේනා සංවිධානය විසින් ඉස්ලාම් ආගම පිළිබඳ දක්වන අන්තවාදී අදහස්.

* ගොවිගම කුලය ලංකාවේ බ‍්‍රාහ්මණ පැළැන්තිය බවත් සෙසු කුල ඊට පහත් බවත්.

* ස්ත‍්‍රිය හා පුරුෂයා අතර පැවතිය යුත්තේ පුරුෂයාට මූලිකත්වය හිමිවන අයුරින් වූ සම්බන්ධතාවකි.

* සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් දැඩි මර්දනකාරී පාලනයක් දියත් කරනු ඇතැයි ඉඩි අමීන් චිත‍්‍රපටය ඔස්සේ ජනතාවට හෙළිදරව් කොට ඔහුගේ දේශපාලන ව්‍යාපාරය වසා දැමීම.

යනාදිය සත්‍ය ලෙස ආරූඪ කොට සමාජය වෙත ඉදිරිපත්කරන ලද ව්‍යාජයන් කිහිපයක් පමණි.

විමල් දිසානායක පෙන්වා දෙන ආකාරයට "බලය තහවුරු කිරීම සඳහා සමාජ අර්ථ සංවිධානය කිරීම දෘෂ්ටිවාදයෙහි මුඛ්‍ය ලක්ෂණය වේ. මේ සඳහා ජනතාව අතර සාවද්‍ය දෘෂ්ටියක් ඉතා සියුම් ලෙස ප‍්‍රචලිත කිරීමට සිදු වේ. බොහෝ විට ජන සමාජයෙහි බලය අත්පත් කොටගෙන ඇති පුද්ගලයන් විසින් සිය වාසිය සඳහා ස්වාභාවික ප‍්‍රපංච හා ප‍්‍රවණතා ලෙස සමාජයට ඒත්තු ගන්වා ඇති බොහෝ දේ අතිශයින් කෘතක පදාර්ථයෝ වෙති. " තර්කානුකූලව හෝ විද්‍යාත්මකව හෝ නිවැරදි නොවන අදහස් මාලාවක් යම් පිරිසක් විසින් තමන්ට වාසිදායක ලෙස සමාජගත කොට පවත්වාගෙන යාම දෘෂ්ටිවාදයයි. එබැවින් මෙවැනි දේ ප‍්‍රශ්නකිරීමකින් තොරවම බාර ගැනීමට හෙවත් අන්තරීකරණය කරගැනීමට පුද්ගලයා පෙළඹී තිබේ. පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යාම රාජ්‍යයටද ඉතා පහසුය. උදාහරණයක් ලෙස කාන්තාව සමාජයේ ඉහළට පැමිණීම නොකළ යුතුය, පුරුෂයාගේ සහායිකාවක් විය යුතුය. වැනි අදහසක් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම තුළින් කාන්තාවන් රැකියා ඉල්ලා හඬ නැඟීම, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම යන සංසිද්ධීන් පහසුවෙන්ම පාලනය කරන්නට රාජ්‍යයට හැකිය. එනිසා රාජ්‍යය විසින් සිදුකරන්නේ ‘කාන්තාවට රැකියා අවශ්‍ය නැත’ යන දෘෂ්ටිවාදය සාමාන්‍යකරණය කොට පවත්වාගෙන යාමයි. ‘අපි දුප්පත් වෙන්නෙ අපේ ගිය ආත්මෙ කර්මය නිසා, මේ ආත්මෙදිවත් පින් කර ගන්න ඕනෑ’ වැනි අදහස් ජන විඥානය තුළ රෝපණය වී ඇත්තේද ආගමික දෘෂ්ටිවාදී මායාවක් ලෙසින්ය. ‘දෘෂ්ටිවාදය යනු දාර්ශනික, දේශපාලනික, ආගමික, සදාචාරමය සහ සෞන්දර්ය විද්‍යාත්මක මත පද්ධතියකි. මෙය අවසාන විශ්ලේෂණයේදී සමාජ පංති වල වුවමනාවන් ප‍්‍රකාශ කරයි’ යන අදහසට අනුව බලන කල ආගමික, ආර්ථික, දේශපාලනික හෝ සෞන්දර්ය විද්‍යාත්මක වුවමනාවන් දෘෂ්ටිවාද වෙතින් පිළිඹිබු කරයි.

‘අම්මේ ඔයාට රසට උයන්න පුළුවනි, ඔයාගෙ කෑම නම් මරු, ගෙදර බුදුන් අම්මා’ යනාදිය තුළ වුවද ඇත්තේ රූපමය ආකාරයේ දෘෂ්ටිවාදයි. අපි දැන හෝ නොදැන හෝ ආදරය, ප‍්‍රශංසාව, කරුණාව සහ අගය කිරීම යනාදී ස්වරූපයෙන් වුවද දෘෂ්ටිවාද ක‍්‍රියාත්මක විය හැකිය. එය සෘජුව හෝ වක‍්‍රව කිසිවෙකුගේ හෝ කිසියම් පිරිසකගේ වුවමනාවක් වෙනුවෙන් සේවය කරන්නකි.

දකෂිණාංශික, වාමාංශික හෝ ස්වාධීන හෝ වේවා දේශපාලනයේදී ‘සංස්කෘතිය’ හා ‘සම්ප‍්‍රදාය’ පිළිබඳ විශේෂ ලැදියාවක් දක්වයි. එයට හේතුව සංස්කෘතිය හා සදාචාරය යන ප‍්‍රපංචයන් යනු ජනතාව විසින් අන්තරීකරණය කර ගත්තක් වීමයි. එහි බල මහිමය ප‍්‍රයෝජනයට ගන්නා පාලකයා සම්ප‍්‍රදාය හා සංස්කෘතියට මුවා වී තම අවශ්‍යතාව ඉටු කර ගන්නට පෙළඹේ.

* පසුගිය දිනෙක කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් තමාගේ ස්ථාන මාරුවට එරෙහිව පාසැලේ වහලයකට නැඟී සිදු කළ සත්‍යග‍්‍රහය වසා දමන ලද්දේ ‘ගුරු - සිසු සබඳතාවේ බෞද්ධ ආදර්ශය’ වන ‘සිඟාලෝවාද සූත‍්‍රය’ ආශ‍්‍රය කර ගෙනය.

* විශ්ව විද්‍යාල සිසුන් ගෙන ගිය පන්ති වර්ජන හා උද්ඝෝෂණවලට තිත තැබුවේ සංස්කෘතිය හා සදාචාරය ගෙනහැර දැක්වීමෙන්ය.

පාලකයා විසින් සංස්කෘතික කාරණා සහ සම්ප‍්‍රදාය ගෙනහැර දැක්වූ වහාම ජනතාව නිහඬ වේ. පාලකයාව පිළිගනී. ජාතික ඇඳුම පසුපස්සේ ඇත්තේ දෘෂ්ටිවාදී මායාවන් බව නොදන්නා ජනතාව සංඛේතානුසාරී දෘෂ්ටිමය සුදු ඇඳුම පිළිගනී. ඕනෑම ප‍්‍රපංචයක්, ප‍්‍රවාදයක් සංස්කෘතිය තුළ දිගින් දිගටම දියත්වීම තුළින් ඒවා සාර්වස්ති‍්‍රක අර්ථ බවට පත් වේ. මෙවැනි සංස්කෘතික කාරණා ඝනීභූත වූ කල ඒවා ප‍්‍රශ්න කිරීමකින් තොරවම පිළිගනී. ‘සංස්කෘතික අන්ධස්ථාන’ හෙවත් ඉංග‍්‍රීසියෙන් Cultural Blind Spots ලෙස විද්වතුන් විසින් හඳුන්වනුයේ මෙම තත්වයයි. එනම් මිනිසා සංස්කෘතියේ නාමයෙන් සිය විචාර බුද්ධිය හකුළුවාගනු ලැබූ අවස්ථාවන් යන අර්ථයෙනි.

උක්ත ගුරුවරියගේ කාරණාව එළියට පැමිණෙන්නේ සංස්කෘතික කාරණාවක් ලෙස විනා ආර්ථිකමය කාරණාවක් ලෙස නොවේ. ඇයගේ රැකියාව වෙනත් පාසලකට මාරු කිරීම තුළින් ඇයගේ සුපුරුදු සේවාව, තම පවුලේ ඇතිවන විතැන්වීම හා හේතුවක් නොමැතිව සිදු වූ ස්ථාන මාරුවෙන් ඇතිවන මානසික බලපෑම ගැන කතා කිරීම වෙනුවට ‘ගුරුවරියක් වහලයක නැඟී නොසන්ඩාල ලෙස හැසිරෙයි’ යන හිසින් යුතුව සමාජයට දැනුම් දී ඇයගේ ප‍්‍රශ්නය සංස්කෘතික කඩතුරාවකින් වසා දමනු ලැබිණි.

වර්තමාන ශී‍්‍ර ලංකාව තුළ ති‍්‍රවිධ හමුදාවට හිමි වී ඇති සංස්කෘතික වටිනාකම, ආගමික ශ‍්‍රාවකයින්ට හිමි වී ඇති වටිනාකම, ගුරුවරයාට හිමි වී ඇති වටිනාකම ආදිය පිළිබඳ අවධානය දී බලන්න. ‘රට දැය බේරාගත් වීර සෙබළු’ යන අරුතින් ත‍්‍රිවිධ හමුදාවට ලැබී ඇත්තේ සුවිශේෂ සංස්කෘතිමය වරප‍්‍රසාදයකි. ඔවුන් විසින් සිදුකරනු ලබන විවිධාකාර සමාජ අපචාර හා දූෂණ පිළිබඳව විශේෂ ප‍්‍රශ්න කිරීමක් නොකරයි. ඔවුන් පිළිබඳ ප‍්‍රශ්න කිරීම් සහිත නිර්මාණ බිහිවූවත් ඒ තුළින් රාජ්‍යයේ හිස්තැන් ද හෙළිදරව්වන හෙයින් එම නිර්මාණ වාරණයට ලක්වේ. අප විසින් මෑතකදී සිදුකරනු ලැබූ කිසියම් සෝදිසියකට අනුව ලංකාවේ ඕනෑම පුවත්පතක වැඩිම වාර ගණනක් අපරාධ දූෂණ චෝදනා ලැබ සිටිනුයේ ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් වීමම මෙම තත්වයට උචිත සාක්ෂියකි.

ගුරු වෘත්තිය වනාහී සංස්කෘතිකමය වටිනාකම් අතරින් ඉහළින්ම පිළිගැනෙන වෘත්තියකි. සංඝරත්නය යනු ද ඊටත් වඩා පූජනීයත්වයෙන් ගැනෙන සංකෘතිමය තලයන්ගේ ඉහළම නියෝජනයයි. ‘වත්මන් ලංකා සමාජ වපසරිය තුළ සමාජ අපරාධ රැසක නිර්මාතෘවරු මෙම සංඝරත්නයයි’ කිවහොත් එය කීමම පවා නින්දා සහගතය යනුවෙන් පිළිගැනීමට තරම් අප සමාජය අන්ධස්ථාන වෙත පියමැන හමාරය.

විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේදී පවා මෙම සංස්කෘතික අන්ධස්ථාන අන්තරීකරණය කරගෙන සිටින අවස්ථා අපට හමුවේ. පසුගිය වසරක අපගේ සහෝදර ශිෂ්‍යාවක විසින් නිර්මාණය කළ එක්තරා කෙටි නාට්‍යයක් ‘සරච්චන්ද්‍ර වළේ’ ප‍්‍රදර්ශනය කිරීමට විරුද්ධත්වය එල්ල විය. එයට හේතුව වූයේ එහි වූ භික්ෂු චරිතයක් විසින් මත්ද්‍රව්‍ය භාවිතකොට ස්තී‍්‍ර දූෂණයට යොමුවීමේ දර්ශන අවස්ථාවක් අන්තර්ගත වීමයි. තමන්ගේ සැබෑ ජීවිතය කලාව තුළින් නිරූපණය වන විට එයට විරුද්ධව නැඟී සිටීමට තරම් පහත් තළයකට අද අපේ කලා රසඥතාව ඇද වැටී ඇත.

සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව ‘දෘෂ්ටිවාදය’ යනු අනවශ්‍ය දෙයකි, පුද්ගලයාව තලා පෙළීම සඳහා පාලකයා විසින් නිපදවා ගත් උපකරණයකි. පළමු වරට දෘෂ්ටිවාදය පිළිබඳව න්‍යායාත්මක විග‍්‍රහයක් කරන කාල් මාක්ස් ‘දෘෂ්ටිවාද යනු මිනිසෙකුගේ හෝ සමාජ කණ්ඩායමක මනස පාලනය කරන අදහස් හා නිරූපණ පද්ධතිය වේ.’ යනුවෙන් දක්වයි. මිනිස් සමාජයේ ද්විත්ව භේදනයක් දක්වන මාක්ස් උපරි ව්‍යුහය (Super Structre) සහ අධෝ ව්‍යුහය (Base Structre) ලෙසින් ඒවා නම් කරයි. අධෝ ව්‍යුහය නියෝජනය කරන්නේ තාක්ෂණය හා නිෂ්පාදන (ආර්ථික) බලවේග වන අතර උපරි ව්‍යුහය විසින් නීතිය, ආගම, දෘෂ්ටිවාද, කලාව, දැනුම, සංකල්ප වශයෙන් වූ සංස්කෘතිකමය කාරණා නියෝජනය කරයි. අධෝව්‍යුහයේ පවතින ආශාවන් හා වුවමනාවන් සෘජුවම හා වක‍්‍රව උපරි ව්‍යුහය තුළින් නියෝජනය වනු සඳහා ඒවා ක‍්‍රියාත්මක වේ. නීතිය, ආගම වැනි ප‍්‍රපංච තුළින් සෘජුවම අධෝව්‍යුහයේ බලපෑම උපරි ව්‍යුහයට ලැබේ. දෘෂ්ටිවාද යනු මධ්‍යස්ථ මට්ටමින් එම බලපෑම සිදුකරනු ලබන අතර, කලාව යනු වක‍්‍රාකාරව අධෝව්‍යුහයේ බලපෑම උපරි ව්‍යුහයට දක්වන උපකරණය වේ. එනම් මාක්ස්වාදයට අනුව දෘෂ්ටිවාද යනු ධනපති පන්තියේ හෙවත් ආර්ථික බලය හිමි පන්තියේ අවශ්‍යතාවන් නියෝජනය කරන උපකරණයකි. එනිසා එය සමාජයට අනවශ්‍ය දෙයකි. නිදසුනක් ලෙස ධනවාදී සමාජයක සංකල්පවේදය හෙවත් දෘෂ්ටිවාදය එම පාලකයින්ගේ අවශ්‍යතා වලට ගැලපෙන සේ ක‍්‍රියා කරයි. ඒ අනුව සංකල්පවේදයේ ස්වරූපය පාලක ප‍්‍රභූන් විසින් තීරණය කරන්නකි.

මෙම උපරි ව්‍යුහය හා අධෝව්‍යුහය ගැන සඳහන් කරමින් මාක්ස් ප‍්‍රකාශ කරන්නේ යම් සමාජයක සැබෑ වෙනසක් සිදු කිරීමට නම් පාද ව්‍යුහය හෙවත් අධෝව්‍යුහය වෙනස් කිරීම කළ යුතු බවයි. එය ආර්ථික බලය නිර්ධන පන්තිය වෙත ලබා ගැනීමෙන් කළයුත්තක් විනා සංකල්ප වේදයේ වෙනසක් ඇති කිරීමෙන් කළ නොහැක්කක් බවයි මාක්ස්ගේ විශ්වාසය. නමුත් මෙම තර්කයන් සඳහා පශ්චාත් මාක්ස්වාදීහු ඌණ පූර්ණ දක්වති.

(මතු සම්බන්ධයි.)

Painting- by Adrian Knopik

කසුන් සී. තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails