Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලාංකේය දේශපාලනයේ වාමාංශික මැදිහත්වීම් පිළිබඳ සාහිත්‍යමය මැදිහත්වීම් ප‍්‍රමාණාත්මක ව අඩු ය. වෙසෙසින් ම බරපතළ දේශපාලන බල අරගලයන්ට මුහුණ දුන් සමාජයක සාහිත්‍ය අමුද්‍රව්‍ය කෙතරම් තිබුණත් එයින් සාහිත්‍ය කෘති නිර්මාණය වූයේ අල්ප වශයෙනි. ඒ බව නොයෙක් අවස්ථාවල නොයෙක් ලේඛනයන්හි සාකච්ඡා කර ඇත.

අනෙක් අතට එකී වාම භාවිතාව අනුභූතිකොට නිමවා තිබෙන නිර්මාණයන් ද බොහෝ කොට සාහිත්‍ය රස හීන ඒවා බවත් එමෙන් ම ඒවායෙන් තව කොටසක් තමා නිරත ව සිටි දේශපාලන ව්‍යාපාරවල කි‍්‍රයාධරයන් විසින් සාහිත්‍ය තවරන්නට තැත් දරනු ලැබූ ද ස්වයං විවේචන, විවේචන හෝ ආඩපාලි බව ද නිරීක්ෂණය කළ හැකි ය. මෙකියන වාම භාවිතාව හා බැඳුණු ආනුශාංගික දේශපාලන ක‍්‍රියාකාරිත්වය පිළිබඳ ව සාහිත්‍ය නිර්මාණයක් කිරීමේ දී කතුවරයාගේ පෞද්ගලික දෘෂ්ටිවාදයන්ට නතු ව ප‍්‍රචාරකවාදයට වැටෙන්නට බෙහෙවින් ඉඩ ඇති පෙදෙසක ය, පී. බී ජයසේකර නම් නිර්මාණකරුවාගේ ප‍්‍රථම නවකතාව ලෙස ‘මරියා සිලොනිකා වස්තුව’ නම් නවකතාව අපට හමුවන්නේ . මේ කෘතිය යට සඳහන් කරන ලද වහා පෙනෙන දුර්ලක්ෂණවලින් මිදුණ කෘතියක් යැයි කිව හැකි ය.

වෙන කවරදාකටත් වඩා මෙකල වනාහි මුදල් ත්‍යාග ආදිය වෙනුවෙන් ලාංකේය නවකථා ක්ෂේත‍්‍රයේ පැන නැගුණු කුළල් කා ගැනීම්, මඩ ගසාගැනීම්, බණ අඬගෑම් බහුල ව සිදු වූ සමයකි. ‘මුදල් ත්‍යාග ඉලක්ක කර ගත් නවකථා’ යනුවෙන් නවකථා ප‍්‍රවර්ගයක් පවා නිර්මාණය කර ගන්නට තරම් දැන් දැන් මේ තත්ත්වය උග‍්‍ර ව ඇත. මෙම ලියුම්කරුගේ මිත‍්‍රයෙක් වරක් මේ මුදල් ත්‍යාග හටනට එළඹ සිටින අයෙකුට දුරකථන ඇමතුමක් දුන් අවස්ථාවක ඔහු පවසා තිබුණේ ‘තමාට වැඩ අධික ව ඇත්තේ අහවල් පුස්තකයට පොත ලියන නිසා’ බව ය. ඒ අනුව සිදු ව ඇති තත්ත්වය වටහා ගැනීම අපහසු නැත.

ලේඛකයෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතා මේ තත්ත්වය පසුගිය දා කරන ලද දේශනයක දී මෙසේ අදහස් දක්වා තිබිණි.

‘සමහර පොත් කියවද්දී ඒවා අනවශ්‍ය වැල් වටාරම්වලින් පිරිලා කියලා අපට හිතෙනවා. ඒ පොත්වල පදාස පදාස අතඅරිමින් කියැවූවත් අවුලක් නැහැ. පොත්වල ව්‍යාකරණ, මුද්‍රණ හා අක්ෂර දෝෂ ගහණයි. සමහර චරිත හඳුන්වන නම් පවා පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වෙනස් වෙනවා. මේ පිටුවේ ඉන්න ලොකු අම්මා, ඊළඟ පිටුවේ දී පුංචි අම්මා වෙනවා. ගම මැදින් ගලන ඇළ පිටු දෙක තුනකට පස්සෙ දොළ වෙනවා.... ’

සම්මාන ඉලක්ක කරමින් ක්ෂණික ව ලියැවෙන මෙකී නිර්මාණවල සුලබ ව දකින්නට ලැබෙන මෙවන් දුර්ලක්ෂණවලින් ද මරියා සිලොනිකා වස්තුව බේරාගන්නට කතුවරයා සමත් ව තිබේ.

වාමවාදී දේශපාලන ක‍්‍රියාධරයෙකු, හිටපු අරගලකාරිනියක සේ ම ජාගර කිලිටි දේශපාලනයේ ගොදුරක් වන ඔහුගේ බිරිඳ, දක්ෂිණාංශික දේශපාලකයෙකු ප‍්‍රධාන කොට ගොඩ නගන කතා වස්තුව වනාහි ශූර කතාකරුවෙකුගේ අඩුපාඩු රහිත වියමනකි.

අනෙකා වෙනුවෙන් කිසිසේත් ම පෙනී නොසිටින, තමා වෙනුවෙන් පමණක් (බැරිම වුණොත්) පෙනී සිටිනන්වුන්ගේ සමාජයක කතුවරයා වීරයෙකු අප හමුවේ තබයි. අනෙකා වෙනුවෙන් පෙනී සිටින්නා වූ වීරයෙක් පිළිබඳ සංකල්පය පෙර අපර දෙදිගට ම පොදු වූවකි. මේ වනාහී පෙරදිග බෝධිසත්ව සංකල්පයට නෑකම් කියන පන්නයේ වීරයෙකි. ඔහු පවා නිවැරදි දේශපාලන දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත දේශපාලන ව්‍යාපාරයක හවුහරණකින් තොර ව කේවල ක‍්‍රියාකාරකම් සහිත මිනිසෙකි.

සාධාරණ මිනිස් ලොවක් වෙනුවෙන් වන විශ්වාසය පෙරදැරි ව නොයෙක් කැපකිරීම් කරමින් නොයෙක් දේශපාලන ව්‍යාපාරයන් සමඟ එක් ව වැඩ කරන්නට එක් වූ පිරිස සුළු පටු නො වේ. එවන් බොහෝ අය නොයෙක් හේතු සාධක මත කලකිරීම් සහිත ව ඉවත් වී තමා ජීවත් වන සමාජ ආර්ථික දේශපාලන පරිසරයෙහි උභතෝකෝටිකයන්ට මැදිවෙමින් මහත් දුක්ඛිත දිවිසැරියක් ගෙවා දමති. තවත් පිරිසක් එහි ආන්තික ම ප‍්‍රතිපක්ෂය වන දක්ෂිණාංශකය වෙත එක් ව අතීතය වළ දමා ඒ මත නේක මල් ගොමු වවන්නට තැත් දරති. තවෙකෙක් වාම තැවරුම් සහිත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරවල රැඳී සිටිමින් වේදනා දෙන හෘදය සාක්ෂියට පිළිතුරු සොයන්නට වෙහෙසෙති.

වැඩි ම පිරිස මේ කතාවේ එන ප‍්‍රධාන පාත‍්‍රයා ලෙස ගිණිය හැකි කරුණාපාල වැන්නෝ ය. උහු මේ ක‍්‍රමයට අවශෝෂණය වන්නට බැරි ව ක‍්‍රමයේ ක‍්‍රෑරත්වයෙන් සහ පීඩනයෙන් බැටකමින් එකලාව තම පිළිවෙත් පුරන්නට තැත් දරති. මෙනම් සපුරා ම දුකිරියවතක් බව නොකිය මනා ය. මෙහි එන කරුණාපාලගේ චරිතය විමසුමෙන් පවා ඒ දැක්ක හැකි වෙයි. ඇතැමකුට අනුව කරුණාපාල ජවිපෙ ක‍්‍රියාධරයෙකු ලෙස හඳුන්වා දුන්න ද එසේ නොවන බව කෘතියේ ආඛ්‍යානය විසින් පෙන්වා දෙනු ලැබෙයි. කරුණාපාල යනු, කිසිදු සවිමත් (මතවාදී, සංවිධානාත්මක) දේශපාලන ව්‍යාපාරයක හවුහරණක් ඇත්තෙකු නොවන බව පැහැදිලි ය. ලංකාවේ කලා සංස්කෘතික පරිසර ක්ෂේත‍්‍රවල අවකාශයන්හි මේ කරුණාපාලමය ලක්ෂණ සහිත මිනිස්සු අඩුවැඩි වශයෙන් හමුවෙති. ඔවුන්ගේ සටන් මහා දේශපාලන ව්‍යාපෘති නොවන කේවල ක‍්‍රියාකාරිත්වයන් ය. ඔවුහු දියවෙමින් පවතින්නෝ ය. ප‍්‍රකට දැන්වීම් ආයතනවල සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිත්වයන් අස කරුණාපාල වැනි ව සිට ඒ භූමිකාවෙන් සමුගත් අය දුසිම් ගණන් සොයා ගත හැකි ය.

එබැවින් මේ වියමන එබඳු ක්ෂුද්‍ර මිනිස් කොට්ඨාසයක් වෙත එල්ල කරන ලද විදුලි පන්දම් එළියක් ලෙස ද මම හඳුන්වමි. මහා සමාජය විසින් පිස්සන් යනුවෙන් හඳුන්වනු ලබන මිනිස් කොටසකි ඒ.

ප‍්‍රබන්ධමය අවකාශයකට මෙවැනි පුවතක් ගෙන ඒමේ දී පැන නගින බොහෝ ගැටලු නවකථාකරුවා විසින් ජය ගනු ලැබ ඇත. වියමන විසින් පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් බස් වහරක් භාවිත කරන ඔහු සිනමාරූපී ලෙස සංකල්ප රූප මැවීමක් දක්වා තැනකට කියවන්නා රැගෙන යයි. උදාහරණයක් ලෙස තම මානසික වර්ධනයක් රහිත ගිලන් දියණිය ව ඔහු විශ්වාසය තබන්නා වූ කණ්ඩායමේ සාමාජිකයෙකු අතින් දූෂණය වන අවස්ථාව අවධානයට ලක් කළ හැකි ය. එහි දී ඔහු ‘සර්පයා’ යනුවෙන් කියා වමනය කරන්නට වෙයි. ඒ ‘සර්පයා’ නම් වදනින් ම කතාකරු සිය මව බිහිසුණු සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබීමෙන් මිය ගිය අයුරු කීමකට කතාව ගෙන යයි. ‘සර්පයා’ යන සංකල්පය ද බුදු දහමේ මෙන් ම කිතු දහමේ ද එන ප‍්‍රබල සංකල්පයකි.

මෙකල ඉතා සුලබ ව නවකථා කෙටිකතා ආදිය රචනය සඳහා යොදා ගැනෙන කථන භාෂාමය රීතිය මඟහරින නවකථාකරු ලේඛන රීතිය ම වහල් කොට ගනියි. වියරණ දෝෂ යම් පමණකට ඇත්තේ වුව ද භාෂා භාවිතය මනරම් ය.

විවිධ ලේඛන උපක‍්‍රම භාවිත කරන කතුවරයා කෘතිය තුළ විවිධ අත්හදා බැලීම් පවා සිදු කරයි. කරුණාපාලගේ බිරිඳගේ චරිතය තම ජීවිතයේ විවිධ විෂම අවස්ථාවන්ට මුහුණ දෙත් දී ඇගේ මුවගට රබන් පදයක් නංවන කතාකරු ඈ රබන් පද ඉගෙනගත් ආකාරය කියන්නේ කතාවේ අවසන් භාගයේ මහත් උත්ප‍්‍රාසයක් සමගිනි.

පරිච්ඡේද කිහිපයක් නාට්‍යය පෙළක ආකාරයන් රචනා කර ඇත්තේ ය. එය ද එය යොදා ඇති අවස්ථාව අනුව උචිත බවක් ම පෙන්නුම් කරයි. විස්තර කෙරෙන්නේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළිබඳ ව වන බැවිනි.

කෘතියට නම යෙදීමේ සිට චරිත නාම ගැන්වීම දක්වා සංකේත භාවිත කරන්නට කතුවරයා සමත් වෙයි. ‘මරියා සිලොනිකා වස්තුව’ යන්නෙහි, ‘මරියා’ යන්නම ගතහොත් ක‍්‍රිස්තියානි ආගමේ ‘මරියා’ යන නාමය ඉතා ප‍්‍රකට ය. සිලොනිකා ශ‍්‍රී ලංකාව යනුයි. එවිට අප ගත යුත්තේ, දේවපුත‍්‍ර ජේසුස්ගේ ‘මව් මරියා’ යනුවෙන් ද? නැතිනම් ‘මග්දලාහි මරියා’ ගේ නාමය ද? නැතිනම් ජේම්ස්ගේ මව වන මරියා ද? කෙසේවෙතත් ශුද්ධ බයිබලයේ එන ‘මග්දලාහි මරියා’ යනු ගල් පහරවලට අභිමුඛ වූ පව්කාර කාන්තාවයි. ඈ අබිසරුලියක් යැයි කියැවෙන අතර යේසුස්ගේ උත්ථානය සිදුවන්ට මොහොතේ මව් මරියා සහ මග්දලාහි මරියා දෙදෙනා ම එහි වූ බව සඳහන් වේ. උත්ථානයේ දී පළමු ව දර්ශනය වන්නේ ද මග්දලාහි මරියාට ය. මේ සිලෝනිකාව කවර නම් මරියාට අයත් වූවක් ද?

‘මරියා සිලොනිකා වස්තුව’ ලාබ ජනප‍්‍රියත්වයත්, හදිසි ධන ලාභත් උදෙසා කරනු ලැබූ නිර්මාණ කාර්යයක් නොවන බව දකිත හැකි ය. අද්‍යතනයේ, අවශ්‍ය නැතත් ලිංගික දර්ශන මවා හෝ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යවා තබා වල්පත ගෙන රමණ, ලිංග වර්ණනාව පමණක් හිසින් ගෙන ‘අප රැඩිකලුන් වම්හ‘යි සීහනාද නගන සමයක මෙහි රමණ අවස්ථාවන් ඉතා මනරම් ව කලාත්මක ව යොදාගෙන තිබෙන අයුරු පැසසුම් කටයුතු ය.

මානව භක්තිය හදෙහි දරාගත් මිනිසෙකු වීරයෙකු ව පරාජයෙන් තොර ව ගමනකට මග අරඹන ලෙසින් අවසන්ව ඇති කථාවේ ඔහුගේ සහායිකාවගේ මුහුණට වැටෙනවා යැයි කියන රත් පැහැය යනු, නියම වාමාංශික භාවිතාවක් වෙත හැරෙන්නැයි කියනු ලබන සංඥාවක් ද?

කෙසේ වුවත් ‘මරියා සිලොනිකා වස්තුව’ යනු ගිනියම් ලාංකේය නවකථා කතරට වට සිහිල් වැසි දියත්තක් බව කිව යුතු ය. ඒ කෘතිය පාඨක විචාරක අවධානයට නොවක් ව ලක් විය යුතු කෘතියකැයි හඟිමි.

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails