Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


මේ තෙවන ලෝක යුද්ධයේ ඇරඹුම ද? [රුසියාව, යුක්‍රේනය සහ බටහිර- දෙවන කොටස] සඳහා මේ සබැඳියෙන් යන්න.

මෙම ලිපිය යුක්‍රේන අර්බුදයේ ආරම්භක අවධියේදී (මාර්තු 03) marxist.com වෙබ් අඩවිය වෙනුවෙන් ඇලන් වුඩ් විසින් සිදුකළ විශ්ලේෂණයකි. ඉන්පසුව ක්‍රිමියාව, යුක්‍රේනයෙන් වෙන්වීමත් රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයට මුහුණලා කදවුරු බැඳීම මෙන්ම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ද වැදගත් සිදුවීම් ගණනාවක් සිදුවී ඇත. එහෙත් මෙම විශ්ලේෂණයෙන් සිදුකරන පුරෝකථනයන්ගේ හා අර්ථදැක්වීම් වල පදනම තවමත් නොවෙනස්ව පැවතීම මෙහි ඇති විශිෂ්ඨත්වය ප්‍රකාශ කරන්නකි. මේ එම ලිපියේ අවසාන කොටසයි.

එක්සත් ජාතීන්ගෙන් යුතු සමාජවාදී රුසියාවක් සදහා

යුක්‍රේනයේ අනාගතය තීරණය කරනු ලබන්නේ පුටින්, මාර්කෙල් හෝ ඔබාමා නම් යුක්‍රේන වැසියන්ගේ ස්වෛරීත්වයට සිදුවන්නේ කුමක්ද? රුසියාව 1994 වසරේදී රුසියාව ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එක්ව අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව යුක්‍රේනයේ දේශසීමා පිළිගැනීමට බැඳී සිටී. සියළු ගිවිසුම් මෙන් මෙය ද කරදාසියකට පමණක් සීමාවුවකි. අවසානයේදී සැබෑ ගැටළුව විසදනු ලබන්නේ "බලය" විසිනි. ඊනියා සාමවාදීන්ගේ "යුද්ධය එරෙහිවීම" "සාමය වෙනුවෙන්" වැනි හුදු කෑ කෝ ගැසීම් වල කිසිදු හරයක් ඇත්තේ නැත. පවතින අවස්ථාවට නිශ්චිත අදාළ කරුණු කාරණා වලට අදාළව අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය.



එක්තරා ඥානාන්විත රාජ්‍යතාන්ත්‍රිකයෙකු ප්‍රකාශ කළ "රාජ්‍යයකට මිතුරන් නැත, ඔවුනට ඇත්තේ අභිලාෂ පමණි" යන කියමන සත්‍යයය. පුටින් ක්‍රියාකරන්නේ යුක්‍රේනයේ සිටින රුසියානු ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් නොවේ. ඔබාමා හෝ මාර්කෙල් ද සැබවින්ම යුක්‍රේනුවන් වෙනුවෙන් පෙනී නොසිටිති. ඔවුන් සියළු දෙනා පෙනී සිටින්නේ සිය පටු රාජ්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන්ම පමණි. එනම් අවසාන වශයෙන් එය සමපාත වන්නේ පොහොසත් සහ බලවත් බැංකුකරුවන්, ධනපතියන් වැනි ධනේශ්වර ලෝකයේ පාලනය හොබවන්නන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලවය.

යුක්‍රේන වැඩකරන ජනතාවගේ බලවත්ම වැරැද්ද නම් ඔවුන් බාහිර ජාත්‍යන්තර බලවේගයන් කෙරෙහි දක්වන අන්ධ විශ්වාසයයි. අතිබහුතර වැඩකරන ජන සමූහයකින් යුතු රුසියානු භාෂාව කතා කරන යුක්‍රේන ජාතිකයින් සිය ගැලවීම වෙනුවෙන් මොස්කව් වෙතට හැරී ඇති අතර අනෙක් අතට බටහිර යුක්‍රේනයේ සිටින පිරිස් යුරෝපා සංගමය වෙතින් තමන්ට සරණක් බලාපොරොත්තු වේ. මේ දෙපාර්ශ්වය ඉතා දැන්ම හෝ පසුව‍ හෝ තමන් කල වරද වෙනුවෙන් කණගාටු වනු ඇත.

මෙකී සියලු අර්බුදයන්ගේ මූලාරම්භය සෝවියට් දේශය කඩාවැටීමත් සමගම හටගත් යුක්‍රේනයේ ආර්ථික කඩාවැටීමය. ධනවාදය යුක්‍රේනයේ මෙන්ම රුසියාවේ ද අසාර්ථක වී ඇත. අතලොස්සක් වූ ධනපති පිරිස රාජ්‍ය දේපල කොල්ලකමින් පොහොසත් වී ඇති අතර මිලියන ගණනක සාමාන්‍ය ජනතාව අන්ත දුගී තත්ත්වයක පසුවෙති. ධනේශ්වර ආර්ථිකයකින් මේ සඳහා විසඳුමක් නොමැත. බටහිර යුක්‍රේන ජාතිකයින් ඇමරිකානු සහ යුරෝපා සංගම් පොරොන්දු වලට වසඟ වී ඇත. එය උගුලක් බව වටහා ගැනීමට ඔවුනට කාලයක් ගත වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යකඩ අත්වලට හසුවූ පසු ඔවුන්ගේ ජීවිතවල ඛේදජනක බව වඩාත් තීව්ර වනු ඇත.



නැගෙනහිර යුක්‍රේනයේ ජනතාවට කුමක් වෙයිද? රුසියාව විසින් ඔවුන් ඈදාගැනීම නිසා සියළු ප්‍රශ්ණ විසදී යනු ඇත්ද? දැනට පවතින ආර්ථික තත්ත්වය එතරම් හිතකර නොවේ; එහෙත් බෙදුනු යුක්‍රේනය තත්ත්වය තවත් ආගාධයට ඇදදමනු ඇත. මොස්කව්හි ආදරය දිගුකලක් පවතින දෙයක් නොවේ. විශේෂයෙන් ගෑස් සහ තෙල් මිල පහළයෑමේදී මේ තත්ත්වය හොඳින් දැක බලාගත හැකි වනු ඇත. රුසියානු ආර්ථිකය කඩා වැටීමට නියමිත අතර යුක්‍රේනය සමග කෙරෙන යුද්ධය ජයග්‍රාහී වුවද කඩා වැටීමේ වේගය තීව්‍ර කරනු ඇත. අද දිනය තුළ ද මොස්කව් කොටස් වෙළඳපොළ තියුණු ලෙස කඩාවැටී ඇත. ඉදිරියට ඒමට නියමිත තත්ත්වය ගැන සංඥාවකි මේ.

කෙසේ වුවද වැඩි බලපෑමක් සිදුවනු ඇත්තේ ආර්ථිකමය වශයෙන් නොව දේශපාලනික වශයෙන්ය. රුසියානු ආක්‍රමණයක් සහ යුක්‍රේනයේ බෙදීමක් අනිවාර්යෙන්ම සිද්ධි ගණනාවක ආරම්භයක් වීමට නියමිතය. එමගින් සිදුවන ප්‍රතිවිපාක අහිතකර ලෙස ජාත්‍යන්තර කම්කරු පංති ජනතාවගේ (විශේෂයෙන්ම යුරෝපය තුළ) ජාත්‍යන්තරවාදී මානසිකත්වය කෙරෙහි බලපානු ඇත. ජාතික ගැටුම් වඩාත් උග්‍ර වනු ඇත. යක්ෂයින් ප්‍රතිනිර්මාණය වීම නිසා යුගොස්ලෝවියාවේ සිදුවූ ආකාරයට සමාන තත්ත්වයක් උද්ගත වනුඇත. ලේ වැගිරවීම් වල ප්‍රතිඵල පරම්පරා ගණනක් මතක තිබෙන වෛරය හා ත්‍රාසයක් ජනනය කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රිමියාවේ තත්ත්වය වඩාත් කණගාටුදායකය. එහි සිටින මුස්ලිම් ටාටාවරුන් හට ඇත්තේ රුසියාව සම්බන්ධයෙන් වන සුභදායී මතයක් නොවේ. දෙවන ලෝක යුධ සමයේදී හිට්ලර්ට සහයෝගය දුන්නායැයි යන චෝදනාව මත ඔවුන්ව පිටුවහල් කිරීමට ස්ටාලින් අණකළේය. මේ නිසා රුසියාවට එකතුවීම ගැන ඔවුන් දැඩිව විරෝධත්වය පළකරයි. ක්‍රිමියාව රුසියාවට යා වීමත් සමග රුසියානුවන් හා ටාටාවරුවන් අතර ගැටුම් ඉහළ යෑමේ ඉඩකඩ වැඩිය. දැනටමත් භීතිය හා ත්‍රාසය වපුරන රුසියාවට එරෙහිව යුධවැදී සිටින චෙච්නියානු ගරිල්ලන් වැනි සංවිධාන බිහිවීමේ ස්වභාවය මේ අනුව වටහා ගැනීමට අපහසු නැත.



යුක්‍රේනයේ ද ඇතිවනු ඇත්තේ මීට සමාන තත්ත්වයකි. ත්‍රස්ත ප්‍රහාර, බෝම්බ ඇටවීම්, අසාධාරණ ලෙස සිවිල් ජනතාවට වන හානි, මනුෂ්‍ය ඝාතන වලින් එය සමන්විත වනු ඇත. යුගොස්ලෝවියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, ලිබියාව යන පරිදි එක් රටකින් පසු තවත් රටක මේ තත්ත්වය සිද්ධ වෙමින් පවතී. මෙවැනි තත්ත්යක් ආරම්භවූ පසු නතර කිරීම අපහසුය. ත්‍රස්ත මානසිකත්වය රුසියාව හා යුරෝපය පුරා පැතිර යනු ඇත. පැතිරී සිටින රුසියානු හා යුක්‍රේන සංක්‍රමණික පිරිස් මගින් ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර වෙනුවෙන් වන සරු පසක් සපයනු ඇත.

රුසියානු හමුදා පැමිණීම නැගෙනහිර යුක්‍රේන ජනයාට අස්වැසිල්ලක් වනු ඇත. එහෙත් එය යථාර්තයට වඩා බලාපොරොත්තු මත රැඳුනකි. මෙවැනි ලෙසටම බටහිර ප්‍රදේශයේ ජීවත්වන ජනයා විසින් බර්ලිනය හා වොෂින්ටනය දෙසට දල්වා සිටි බලාපොරොත්තු සුන්වීමට වැඩිකලක් ගතනොවනු ඇත. "තත්ත්වය මීටත් වඩා නරක්වෙන්න දෙයක් නැත" ඔවුන් සිතනු ඇත. එහෙත් අවසනාවන්ත ලෙස තත්ත්වය තව තවත්, තව තවත් නරක්වීමේ සම්භාවිතාව ඉහළය.

අපි යුක්‍රේනයේ වැඩකරන ජනතාවගේ එක්සත්භාවය වෙනුවෙන් සහ එක්සත් යුක්‍රේනයක් වෙනුවෙනු පෙනී සිටිමු. එහෙත් ඒ සදහා වන එකම විකල්පය ධනපතියන්ට එරෙහිව සිදුකෙරෙන විප්ලවවාදී අරගලයක් පමණි. එය සිදුකළ හැක්කේ අන්කිසිවෙකුට නොව යුක්‍රේන වැඩකරන ජනතාවටම පමණි. මොස්කව් සිට සිය සහයෝගය පළකරන ජනයා සිය සහයෝගය දක්වන්නේ යුද්ධයට නොව සිය සහෝදර සහෝදරියන් වෙනුවෙනි. මෙය ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයක් ලෙස ඔවුන් දකිති. එහෙත් ෆැසිස්ට්වාදය අහවර කළ හැක්කේ සංවිධානාත්මකව සිදුකරන සමාජ වෙනසක් වෙනුවෙන් වන විප්ලවවාදී අරගලයකින්ම පමණි.



යුක්‍රේනයේ ෆැසිසට්වාදය පරාජය කිරීම අත්‍යවශ්‍යද? සැබැවින්ම...!! අපේ සතුරන් වන්නේ ෆැසිස්ට්වාදීන් හා ජාතීවාදීන්ය! කිසිදු සමාවකින් තොරව ඔවුන් විනාශ කළ යුතුය. දැනටමත් ක්‍රියාකාරී ෆැසිස්ට් මිලීෂියාවන්ට විරුද්ධව යුක්‍රේන වැඩකරන ජනතාව, කොමියුනිස්ට් පක්ෂය සංවිධානාත්මක විය යුතුය, සක්‍රීය විය යුතුය. ෆැසිස්ට් විරෝධී කමිටු සියළු ව්‍යාපාර හා ඒකාබද්ධ විය යුතුය. යුක්‍රේන භාෂාව භාවිතා කරන්නන් හා රුසියනු භාෂාව කතාකරන්නන් මෙන්ම ක්‍රිමියානු ටාටාවරු මෙන්ම යුදෙව්වන්ද ඊට එකතු කරගත යුතුය. නිර්ධන පංති ජන එකතුවකින් පමණක් ෆැසිස්ටවාදීන් පරාජය කළ හැකි අතරම අනුමත කළ නොහැකි එකම කාරණය නම් නිර්ධන පංතියේ බෙදීයාමයි.

යුක්‍රේන වැඩකරන ජනතාවගේ වෙන්කිරීම අපරාධයකි. ඔවුන් වෙන්කරලීම සදහා කිසිදු සාධාරණ හේතුවක් නොමැත. වසර සිය ගණනක් යුක්‍රේන සහ රුසියානු භාෂාව කතාකරන ජනතාව එකට ජීවත්වූහ, වැඩකළහ. ශක්තිමත් ඓතිහාසික හා සංස්කෘතික බැදීමකින් ඔවුන් එකට බැඳ තබා ඇත. එම බැඳීම් තවමත් බොහෝ ශක්තිමත් ලෙස පවතී. පාර්ලිමේන්තුවේ බලය අල්ලාගත් දක්ෂිණාංශික කණ්ඩායම් රුසියානු භාෂාව තහනම් කිරීමට සම්මත කළ නීතියෙන් පසු යුක්‍රේන භාෂාව කතාකරන බටහිර යුක්‍රේනුවන් පැය 24ක කාලයක් රුසියානු භාෂාව පමණක් කතා කිරීමට තීරණය කරමින් සිය විරෝධය පළ කළහ. මීට සමාන්තරව නැගෙනහිර රුසියානු භාෂාව කතා කරන යුක්‍රේනුවන් යුක්‍රේන භාෂාව පමණක් කතාකළහ. මෙය මෙම ජන කොටස් දෙක අතර පවතින අනෝන්‍ය බැඳියාව හා අවබෝධය හෙළිදරව් කරන ඉතා කුඩා වූත් එහෙත් එක්තරා සුවිශේෂී උදාහරණයකි. ජාතීවාදීන්ට එරෙහි වෙමින් එක්ව සිටීමේ අවශ්‍යතාව මින් විදහා දැක්වේ.

යුක්‍රේනයේ හා රුසියාවේ නිර්ධන පාංතික සහෝදරවරුනි, සහෝදරියනි, ධනපතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පමණක්ම පෙනීසිටින ඔබේ ආණ්ඩු කෙරෙහි කිසිදා විශ්වාසය නොතබන්න. ඔබ ඔබ කෙරෙහි සහ ඔබගේ පංති එක්සත් බව හා පංති විඥානය කෙරේ පමණක් විශ්වාසය තබන්න. ජාතිකවාදීන් විසින් සිදුකරන වෛරී වර්ගවාදී යක්ෂාවේශයන්ට හසුනොවන්න. ජාතීන්, වර්ග, භාෂා ආගම් වැනි වර්ගකිරීම් වලින් නොබෙදී ඔබගේ සැබෑ පාර්ශ්වය වන වැඩකරන පංතියේ එක්සත් බව වෙනුවෙන් වැඩකරන්න.



රුසියාවේ සහ යුක්‍රේනයේ කොමියුනිස්ට්වරුනි, ඔබට ලෙනින් ගේ සහ ඔක්තෝම්බර් විප්ලවයේ මානයන් වෙත පියනැගීමට සැබෑ අවශ්‍යතාවක් වේ නම් බුර්ෂුවා හා ධනපති පංතිවල අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනීනොසිට සැබෑ සමාජවාදයක් වෙනුවෙන් සටන්කළ යුතුය. පුටින් ඒ වෙනුවෙන් කිසිලෙසකින් පෙනී සිටින්නෙක් නොවේ. යනුකොවිච්ගේ හෝ යට්සෙන්යුක්ගේ ද ඊට වඩා වෙනසක් නැත. එමෙන්ම වෙනත් බූර්ෂුවා පංතිය නියෝජනය කරන පක්ෂවලින් ද එසේ බලාපොරොත්තුවක් තැබීම මුලාවකි. සමාජය වෙනස් කළ හැකි එකම බලවේගය නම්, හුදු නමට පමණක් නොව සැබෑම වූ අර්ථයෙන් යුතු කොමියුනිස්ට් පක්ෂයක නායකත්වයෙන් සමාජවාදය උදෙසා පෙළගැස්වු නිර්ධන පංති ව්‍යාපාරයක් පමණි.

මානව විරෝධී ජාතික ස්වෝත්තමවාදය පරදවමු...! "නැවතත් ලෙනින් වෙත පිය නගමු, සමාජවාදය දිගුකල් දිනේවා...!" අපගේ සටන්පාඨය කරගනිමු. නිර්ධනපංති ජාත්‍යන්තරවාදය සහ වැඩකරන පංතියේ එක්සත්භාවය සදාකල් දිනේවා..!

(marxist.com වෙබ් අඩවියේ මාර්තු 03 වන දින පළ වූ Russia, Ukraine and the West: Will there be war? යන ලිපියේ පරිවර්තනයකි.)
පරිවර්තනය - බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails