Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස සැලැකිය හැකිය. සිය ප්‍රථම උපාධිය සඳහා එතුමා විෂයන් ලෙස තෝරා ගත්තේ සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයයි. ඉන්පසු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය කරගනිමිනි. ඉන්පසුව 1975 දී අධි ශිෂ්‍යත්වයක් ලැබ පෙන්සිල්වේනියා සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලබා ගන්නේ ජන සන්නිවේදනය හා සිනමාව විෂයය කරගනිමිනි. මෙරට සන්නිවේදන විෂයයෙහි පුරෝගාමී විද්වතුන් වූ විමල් දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්යවරයා වශයෙන් කලක් කටයුතු කළ අතර 1979 දී ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයට පත් වීමක් ලැබ විදේශගත විය. එතුමා දැනට එහි ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා මෙන්ම හොංකොං විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්ය පදවියක් ද උසුලනු ලැබේ. මේ වන විට සිංහල මහාචාර්යවරයකු මෙන්ම ඉංග්‍රීසි මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීමේ දුර්ලභ භාග්‍ය හිමිකරගත් එකම ශ්‍රී ලාංකික විද්වතා වන්නේ ඔහුය. සන්නිවේදනය, විත්‍රපට වේදය, සංස්කෘතික අධ්‍යයනය, මාධ්‍ය අධ්‍යයනය, පශ්චාත්නව්‍යවාදය වැනි විවිධ විෂයය කේෂත්‍රයන් අලලා ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත කෘති 30 කට අධිකය. ඒවා ආසියානු හා ඇමරිකානු විශ්වවිද්‍යාල වල හැදෑරීම් සඳහා භාවිත කරන අතර මව්රටින් බැහැරව විදේශගතව සිටිය ද වරින්වර ලංකාවට පැමිණ සිංහල පාඨකයන් වෙනුවෙන්ද පළ කළ විවිධ විෂයයික විචාර ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ 15 කට අධිකය. එමෙන්ම දීර්ඝ කාලයක සිට අඛණ්ඩව සාහිත්‍ය විචාරයේ යෙදී සිටි මහාචාර්ය විමල් දිසානායක මහතා පසුගියදා කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණියේ ය. මේ ඔහු සමඟ වත්මන් සාහිත්‍යය ප්‍රවනතාවන් පිළිඳව කළ සංවාදයේ ''දෙවන'' සංක්ෂිප්ත සටහනයි. (පළමු සාකච්ඡාව- "යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළ කළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ...!"-මහාචාර්ය විමල් දිසානායක)

ජාතික හා ප්‍රාදේශීය වශයෙන් බැලුවොත් මේ රටේ සම්මාන උළෙල රාශියක් තියෙනවා. සම්මාන වලින් සාහිත්‍යයට ප්‍රගමනයක් ඇති වෙනවාද? එසේ නම් ඒ කොහොමද?

සම්මාන ප්‍රදානයෙන් සාහිත්‍ය කලාවේ වර්ධනයක් ඇති කළ හැකියි. විශේෂයෙන්ම ආධුනික ලේඛකයන්ට ජාතික අවධානයක් ඉන් යොමු වෙනවා. නමුත් ලෝකයේ බොහෝ රටවල සාහිත්‍ය උත්සව තියනවා වගේ මෙම කාර්යය විධිමත්ව, අපක්ෂපාතීව ඉටු කළ යුතුයි. එසේ නොමැතිව කල්ලි ගැසී හිත මිත්‍රකම් අනුව සම්මාන බෙදාදීමෙන් සිදු වන්නේ සාහිත්‍ය කලාවට මහත් හානියක්. එම නිසා කවර සාහිත්‍ය කලා සම්මාන ප්‍රදානයක් වුවත් උදාර කාර්යක් ලෙස සලකා එයට සරිලන පරිණත බුද්ධියකින් හා ප්‍රතිපත්ති ගරුත්වයකින් යුතුව ක්‍රියා කිරීම වැදගත්.

ලෝකයේ වෙනත් රටවල මෙවැනි සම්මාන උත්සවයන්හි කෘති සමීක්ෂණය කරන්නේ මොනවගේ නිර්ණායක මතද?

ලෝකයේ බොහෝ රටවල සාහිත්‍ය සම්මාන උත්සව පවත්වනවා. මේවා පිළිබඳ ඇතැම් විට මතභේද පැන නගිනවා. මා දන්නා පරිදි ලෝකයේ උසස් යයි සම්මත උත්සව වල විනිශ්චය මණ්ඩල වලට ඇතුළු කරනු ලබන්නේ මධ්‍යසාර ලෝලීන් නොව විවෘත මනසක් ඇති අපක්ෂපාතීව ක්‍රියා කිරීමට තරම් ආත්ම ශක්තියක් හා චරිත උදාරත්වයක් ඇති රසිකයන්.

වසරක් පාසා මෙරට ලේඛක - ලේඛිකාවන් කෘති පළ කිරීමෙන් පෙනෙන්නේ සම්මාන බලාගෙන ලඝු මනසින් කැරෙන ව්‍යායාමයන් නෙමේ ද? මෙයින් සාහිත්‍යයට යහපතක් වෙන බව ඔබ සිතනව ද?

කිසිසේත්ම නෑ. මගේ අදහස එය සාහිත්‍යයට අභියෝගයක් යන්නයි. එක්තරා ජපන් ලේඛිකාවක් පැවැසූ පරිදි අප සාහිත්‍යය අනුභූතියක් පාඨකයාට ඉදිරිපත් කළ යුත්තේ එය ඉදිරිපත් නොකොට මිය යෑම බලවත් වරදක් යැයි හැඟුණොත් පමණයි. මෙය අතිශයෝක්තියට බර කියමනක් වුවත් වැදගත් සත්‍යයක් ගැබ්ව ඇති බව මගේ විශ්වාසය යි. එම නිසා සාහිත්‍ය සම්මාන බලා ගෙන සාහිත්‍ය කෘති නිර්මාණය කිරීම එතරම් උචිත නැහැ.

පශ්චාත් නූතනවාදී නවකතා, මැජික් යථාර්ථවාදී නවකතා, පෝර්නෝග්‍රැෆි (Pornography) නවකතා යනුවෙන් සිය කෘති ලේඛකයාම හඳුන්වා දෙනවා පමණක් නොව එවැනි ලේබල් යටතේ සම්මන්ත්‍රණ පවා පවත්වනවා. න්‍යායකට අනුව නවකතා ලියන්න පුළුවන් ද? එම න්‍යාය දිය යුත්තේ නවකතාකරුවා ද? විචාරකයා ද?

න්‍යායන්ට අනුව නවකතා ලියන විට කෘත්‍රිම නිර්මාණ බවට පත් වෙනවා. පූර්ව නිශ්චිත ආකෘතියකට අත්දැකීම් බහාලීම වෙනුවට සාහිත්යික ආකෘතිය අත්දැකීමෙහිම විකාශන ඵලයක් ලෙස මතු විය යුතුයි. අපි ලෝකයේ ශ්‍රේෂ්ඨ යැයි සම්මත ලේඛකයින්ගේ කෘති විමසා බැලුවොත් අපට පෙනී යන්නේ ඒවා පූර්ව නිශ්චිත සංකල්ප හා න්‍යායන් සංවර්ධනය කිරීම සඳහා ලියන ලද ඒවා නොවන බවයි. ප්‍රංශයේ ෂෝන් පෝල් සාත්‍රෙ වැනි ලේඛකයින් සිය සාංදෘෂ්ටිකවාදය තහවුරු කිරීම සඳහා සාහිත්‍ය කෘති නිර්මාණය කළ බව සත්‍යයක්. එහෙත් එබඳු අවස්ථා විරලයි.

පූර්ව නිශ්චිත න්‍යායන් තහවුරු කිරීම සඳහා නවකතා ලිවීමත් කිසියම් සාහිත්‍ය විචාර වාදයක් විසින් අනුමත කරනු ලබන චින්තන රාමුවකට අනුකූලව සාහිත්‍ය නිර්මාණ කිරීමත් එතරම් සුදුසු නැති බව මගේ පිළිගැනීමයි. කිසියම් සාහිත්‍යයික අත්දැකීමක් අව්‍යාජ ලෙස ඉදිරිපත් කළ පසු එය යම් යම් සාහිත්‍ය විචාරකයන් විසින් අනුමත කරනු ලබන චින්තන රාමුවකට සමීප විය හැකියි. එහෙත් හැම විටම ආරම්භක ස්ථානය විය යුත්තේ විචාර සිද්ධාන්ත නොව ගැඹුරු ලෙස විදින ලද අත්දැකීමයි.

තාත්විකත්වය හා යථාර්ථවාදය අතර වෙනස පැහැදිලි කරමින් අද මෙරට ප්‍රචලිත කරන පශ්චාත් යථාර්ථවාදය පිළිබඳ ඔබේ අදහස මොකක් ද?

මෙරට පමණක් නොව විදේශීය රටවල පවා පශ්චාත් යථාර්ථවාදය නැමැති සංකල්පය පැතිර පවතිනවා. මෙය මතිභ්‍රමයක් තුළින් බිහි වූ චින්තන රටාවක්. මෙම සංකීර්ණ තත්ත්වයන් නිසි ලෙස වටහා නොගෙන එය අනවශ්‍ය ලෙස ඉදිරිපත් කිරීමට දරන ප්‍රයත්නයක්. මෙහි දී දක්නට ලැබෙන්නේ තාත්විකත්වය හා යථාර්ථවාදීත්වය යන සංකල්ප දෙක පටලවා ගැනීමක්. තාත්විකත්වය යන්නෙන් අදහස් කරනු ලබන්නේ විෂය ලෝකය තත් වූ පරිද්දෙන් පිළිඹිබු කිරීමක්. යථාර්ථවාදය යන්නෙන් අදහස් කරනු ලබන්නේ විෂය ලෝකය ලේඛකයාගේ වින්දනය තුළින් ප්‍රතිනිර්මාණය කිරීමක්. යථාර්ථවාදය යන්න තාත්විකත්වයට වඩා බෙහෙවින් සංකීර්ණ සංකල්පයක්. යථාර්ථවාදයට යටින් ඉතා වැදගත් දාර්ශනික මතිමතාන්තර ක්‍රියාත්මක වෙනවා. තාත්විකත්වයත් යථාර්ථවාදයත් අතර පවත්නා වෙනස නිසියාකාරයෙන් වටහා ගැනීම ඉතා වැදගත්.

යථාර්ථවාදී නවකතා සාර්ථක නම් ඒවා තුළ අරුත් තල රාශියක් තිබෙනවා. සංකේතාත්මක සූස්තර ගණනාවක් තියෙනවා. වර්තමාන බටහිර සාහිත්‍ය ලෝකයෙහි දක්නට ලැබෙන එක් ප්‍රවණතාවක් නම් චාල්ස් ඩිකන්ස්, තෝමස් හාඩ්, ජෝජ් එලියට් වැනි යථාර්ථවාදී නවකතාකරුවන්ගේ කෘති පශ්චාත් නූතනවාදී මත සංකල්ප ඇසුරින් ප්‍රතිවිවරණය කිරීමයි.

නමුත් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන පශ්චාත් නූතනවාදී විචාර ප්‍රවනතා පිළිබඳ ඔබේ කියවීම මොකක්ද?

පශ්චාත් නව්‍යවාදය පිළිබඳ එක් වැරදි හැඟීමක් මෙරට තියෙනවා. එනම් හැකි තරම් දුර්බෝධ ශෛලියකින් අදහස් ඉදිරිපත් කිරීම එම විචාරවාදයේ මූලික ලක්ෂණය ලෙස සැලැකීමයි. පශ්චාත් නව්‍යවාදීන් සංකීර්ණ සංකල්ප උපයෝගී කරගන්නා බව සත්‍යයක්. එහෙත් කවර විචාරවාදයක වුවත් සංකීර්ණ සංකල්ප පාඨකයාට වටහා ගත හැකි පරිදි සුබෝධ ශෛලියකින් ගෙනහැර පෑම විචාරකයා සතු කාර්යයක්. එසේ නොවී තමාටත් නොවැටහෙන දුර්බෝධ ශෛලියෙන් තමන්ගේ පණ්ඩිත්‍ය පෙන්වීමට යෑමෙන් සන්නිවේදන කාර්යය ඉටුවන්නේ නෑ.

අනෙක් කරුණ වන්නේ මෙරට ඇතැම් විචාරකයන් අතර මතිභ්‍රමයක් තියෙනවා පශ්චාත් නූතනවාදයත් ලිංගිකත්වයත් අතර සමීප සම්බන්ධයක් ඇති බව. එහෙත් පශ්චාත් නව්‍යවාදීන්ගේ අරමුණ සමාජයේ විවිධ ප්‍රපංච ගැඹුරින් විශ්ලේෂණය කිරීම විනා එක් අංශයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නොවේ. මේ හැරුණු විට ලිංගිකත්වය වැනි විෂයයන් පිළිබඳ පශ්චාත් නව්‍යවාදීන් අතර ඒකමතික පිළිගැනීම් මාලාවක් නෑ.

නමුත් වර්තමානයේ නවකතා තුළින් ලිංගිකත්වය උත්කර්ෂයට නංවන්නේ යැයි චෝදනාවක්ද තිබෙනවා. ලිංගිකත්වය නවකතාවට අවශ්‍ය ද? අවශ්‍ය නම් එය දැක්විය යුත්තේ කෙසේද?

ලිංගිකත්වය බොහෝ පෙර අපර දෙදිග නවකතා වලට මුල් වී තියෙනවා. එය ගැඹුරු විෂයයක්. එම විෂයය පරිණත බුද්ධියකින් යුතුව විශ්ලේෂණය කොට කලාත්මක ලෙස නිරූපණය කරන්න පුළුවන්. එහෙත් පොත් අලෙවි කර ගැනීමේ අභිලාසයෙන් ලිංගිකත්වය ඇතුළු කර ගැනීමෙන් සාහිත්‍යට සිදු වන්නේ මහත් හානියක්.

ජාතික කතා වල සහ අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය තුළත්, උසස් විදේශ නවකතාවලත් ලිංගිකත්වය සංයමයෙන් යුතුව නිරූපණය කොට තිබෙනවා. තෝල්ස්තෝයි, දොස්තොවිස්කි, ෆ්ලොබෙයාර්, වැනි විශිෂ්ට නවකතාකරුවන්ගේ නිර්මාණ වල ලිංගිකත්වය හා සම්බන්ධ තේමා තියෙනවා. එහෙත් එම තේමා විශ්ලේෂණය කොට ඇත්තේ සංයත විලාසයකින්.

පශ්චාත් නූතනවාදී කථීකාව තුළ යථාර්ථවාදය කල් ඉකුත් වූ රීතියක් ලෙසයි සැලැකෙන්නේ. ඇත්ත වශයෙන්ම යථාර්ථවාදය අවසන් වී ඇද්ද? එය අවසන් කළ හැකි ද?

යථාර්ථවාදය කිසිසේත්ම අවසන් වී නැහැ. එය මෑත භාගයේ දී නව ජීවයකින් නැඟී සිටිනවා. උදාහරණයක් වශයෙන් මෙවර නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ''ඇලිස් මන්රෝ'' නමැති කැනේඩියානු ජාතික ලේඛිකාවක්. ඇය කීර්තියක් උසුලන්නේ දක්ෂ කෙටිකතාකාරියක් හැටියටයි. මෙම ලේඛිකාව සිය කෘති සම්පාදනය කිරීමේ දී ඇන්ටන් චෙකොෆ් ගේ කෘති වලින් මහත් අභාසයක් ලැබ තිබෙනවා.

යථාර්ථවාදය බහුවිධ සංකල්පයක්. විවිධ ආකාරයේ යථාර්ථවාදී සාහිත්‍ය කෘති නිර්මාණය වෙනවා. යථාර්ථවාදය අභාවයට පත්වන්නේ නැහැ. එහෙත් එයට සමාන්තරව වෙනත් විචාරවාද වර්ධනය වන්නට පුළුවන්. යථාර්ථවාදය නිසිලෙස වටහා ගැනීමට ඊට පිටුපසින් ඇති ගැඹුරු දාර්ශනික සංකල්ප වටහා ගත යුතුයි.

මේ හැරුණු විට ඔබ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් හඳුනා ගන්නා තවත් දුර්මත මොනවාද?

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි නොයෙක් දුර්මත තියෙනවා. සාහිත්‍යයත් සමාජයත් අතර පවතින සම්බන්ධය, සාහිත්‍ය හා දේශපාලනය අතර සම්බන්ධය, ඉතිහාසය හා සාහිත්‍ය අතර සම්බන්ධය පිළිබඳ මෙරට දුර්මත පවතිනවා. සාහිත්‍යයත් සමාජයත් අතර අතිශයින් සමීප වූ අවියෝජනීය වූ බෙහෙවින් සංකීර්ණ වූ සම්බන්ධයක් පවතිනවා. එම සංකීර්ණ සම්බන්ධය වටහා ගැනීම ඉතා අවශ්‍යයි. ඉතිහාසයත් සාහිත්‍යයත් අතර එවැනිම සංකීර්ණ සම්බන්ධයක් තිබෙනවා. මගේ ''නිහඬ නිම් වළල්ල'' කෘතියෙන් මේ පිළිබඳ වැඩිදුර විශ්ලේෂණයක් ඉදිරිපත් කොට තිබෙනවා. ඉතිහාසය විචාර සංකල්පයක් හා ගවේෂණ මාර්ගයක් වශයෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පැහැදිලියි. එමෙන්ම එහි සංකථන සීමා පුළුල් වී තිබෙනවා. හේඩන් වයිට්, ඩොමිනික් ලාකප්රා වැනි අධි ඉතිහාසඥයන්ගේ මත සිද්ධාන්ත මෙහි දී වැදගත් වෙනවා. ''මෙටාහිස්ටරි'' (Metahistory), ''හිස්ටරි ඇන්ඩ් ක්‍රිට්සම්'' (History and Criticism) වැනි ඔවුන්ගේ ග්‍රන්ථයන් අනුශීලනය කරන විට මේ බව පැහැදිලි වෙනවා. එම නිසා සාහිත්‍ය හා සමාජය, සාහිත්‍ය හා දේශපාලනය, සාහිත්‍ය හා ඉතිහාසය අතර පවත්නා සංකීර්ණ සම්බන්ධතා වල යථා ස්වභාවය වටහා ගත යුතුයි.

මේ හැරුණු විට ප්‍රතිසංස්කෘතියක් ගැන යෝජනා කරන දුර්මත ද සාහිත්‍ය ක්ෂේත්‍රයේ වපුරමින් තිබෙනවා. ඔබට අනුව සංස්කෘතිය හා සාහිත්‍ය අතර සම්බන්ධය හඳුනා ගන්නේ කොහොමද?

සංස්කෘතිය හා සාහිත්‍යය අතර මනා සම්බන්ධයක් තියෙනවා. කවර සාහිත්‍ය කෘතියක් වුවත් බිහි වන්නේ සංස්කෘතික පසුබිමක් තුළින්. සාහිත්‍ය කෘතියකට අර්ථ සපයන ප්‍රධාන මාර්ගයක් තමයි සංස්කෘතිය. එම නිසා සාහිත්‍ය කෘතිය ඊට පසුබිම් වූ සංස්කෘතිය පිළිඹිබු කරනවා. ඒ අතරම සංස්කෘතිය ඒ සාහිත්‍ය කෘතිය කෙරෙහි බලපානවා. මේක දෙයාකාර ක්‍රියාමාර්ගයක්. එම අංශ දෙකම එක හා වැදගත්. එම නිසා සංස්කෘතික සාරධර්ම සම්මුතීන් යනාදියට සම්බන්ධ නොවී සාහිත්‍ය නිර්මාණ කරන කොට ඒවායේ තිබෙන අර්ථය ටිකක් අඩු වෙනවා. මෙහි අදහස සංස්කෘතිය සම්පූර්ණයෙන් තහවුරු කරනවා කියන එක නෙමේ. සාහිත්‍යකරුවා සංස්කෘතියේ තියෙන වැදගත් ධර්මතා, සාරධර්ම, යනාදිය ගැන සම්බන්ධකම් පවත්වාගන්න පුළුවන්. ඒවා ගැන විවරණ දෙන්න පුළුවන්. සංස්කෘතියේ හොඳ ලක්ෂණ මෙන්ම නොමනා ලක්ෂණත් තිබෙනවා. සාහිත්‍යකරුවා හෝ විචාරකයාගේ කාර්ය වන්නේ තිබෙන සංස්කෘතිය අකාමකා දැමීම නොව සංස්කෘතියේ හොඳ ලක්ෂණ වැඩිදියුණු කොට අතීතයේ අඩුපාඩු ගැන අවබෝධයක් ඇතිකරගෙන වර්තමානයට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමයි.

සාහිත්‍ය නිර්මාණ හා විචාරයේ දී ප්‍රතිසංස්කෘතියක් යෝජනා කිරීම ගැන අදහස ඔබට මග හැරුණා..

හැම සංස්කෘතික චින්තනයක්ම ප්‍රතිසංස්කෘතික චින්තනයක් තමයි. හැම හොඳ ලේඛකයෙකුගේ ම කෘති වල ප්‍රතිසංස්කෘතික ලක්ෂණ තියෙනවා. එය අමුතුවෙන් යෝජනා කළ යුත්තක් නොවෙයි. වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුතු නවකතාව ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය බලන්න. අපේ රටේ සංස්කෘතියේ අඩුපාඩුකම් ධනවාදයේ නැඟීම, සහ එහි තිබෙන හානිදායකදේ ද වික්‍රමසිංහ සාකච්ඡා කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම ගුණදාස අමරසේකර පවා මට වැටහෙන පරිදි කරන්නේ නවීන යුගය පිළිබඳ සමාජ වාර්ථා ඉදිරිපත් කරන එක නෙමේ. බණ්ඩාරනායක, කොල්වින් ආර් ද සිල්වා, එන්.එම්. පෙරේරා වැනි නම් තියෙනවා තමයි. නමුත් ඔහු වෑයම් කරන්නේ එය පිටුපසින් තියෙන යම් යම් ධර්මතා, වටිනාකම්, ගුණාංග මොනවාද, එය පිටුපසින් තියෙන බලවේග මොනවාද යැයි ඒවායේ සත්‍ය වටහා ගැනීමක්. එම වෑයම සාර්ථකද නැද්ද, ඉදිරිපත් කිරීමේ දී කලාත්මකව තහවුරු වී තියෙනවාද යන්න වෙනම ප්‍රශ්නයක්. නමුත් ඔහු කරන්නෙත් ප්‍රතිසංස්කෘතික ක්‍රියාවලියක්. හැම කතාවක්ම ජීවන සුවඳ වගේ ආකෘතිය වෙන්න ඕන නෑ. පුද්ගල කේන්ද්‍රීය වුණත් කමක් නෑ. වර්තමාන කෘතිවල ඉන්නවා පියදාස කියලා චරිතයක්. ඒක අමරසේකරගේ නිර්මාණයක්. ඒ චරිතය හරහා තමයි මේ සමාජ සත්ථාව නිරූපණය කරන්නේ.

නමුත් විරෝධී සංස්කෘතිය (Counter culture) යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ මෙය නොවෙයි.

ඇමරිකාවේ ''හිපි සංස්කෘතිය'' මීට නිදසුනක්. ප්‍රධාන සංස්කෘතියට අනුකූලතාව නොදක්වමින් එක්තරා අසහනයක් නිසා ඒ සංස්කෘතියට ප්‍රතිවිරෝධ වෙමින් ඔවුන් ජීවත්වන සමාජයේ සියලුම හරයන් ප්‍රතික්ෂේප කළ හිපියෝ වෙනත් සංස්කෘතියක් නිර්මාණය කිරීමට මාන බැලුවා. එම හිපි සංස්කෘතිය මෙරටට ගැලපෙන්නේ නෑ. මා දැනට දිගුකලක සිට ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ සේවය කරනවා. මා තේරුම් ගත් දෙයක් තමයි මෙහෙ සංස්කෘතිය එහෙටත් එරට සංස්කෘතිය මෙහෙටත් නොගැලපෙන බව. මේ සරල අවබෝධය ඇති කර ගැනීම වැදගත්. අවශ්‍ය වන්නේ තිබෙන සංස්කෘතිය අකාමකා දැමීම නොව සංස්කෘතියේ නොමනා ලක්ෂණ බැහැර කොට හොඳ ලක්ෂණ දියුණු කර ගැනීමට නිර්මාණකරුවන් හා විචාරකයන් අවධානය යොමු කිරීමයි.

ලතින් ඇමරිකාවේ මැජික් යථාර්ථය පහළ වීමට හේතු වූ සන්දර්භය මොකක්ද?

ලතින් ඇමරිකානු රටවල ව්‍යාප්ත වූ මායා යථාර්ථවාදී නවකතාව එවකට බලවේග ගණනාවක හමුවීම මූර්තිමත් කරනවා. පළමුවැන්න එම රටවල ගැමි කතා, ජන කතා කලාවේ ජීවයෙන් අභාසයක් ලබා ගැනීමයි. ගර්සියා මාකේස් වැනි ලේඛකයන්ගේ කෘතිවල මෙම ලක්ෂණය දක්නට ලැබෙනවා. දෙවැන්න සාමාන්‍ය ජීවිතය තුළ දක්නට ලැබෙන අසමාන්‍යත්වය ඉස්මතු කොට දැක්වීමයි. සිය පරිකල්පන ශක්තිය හා විශ්ලේෂණ බුද්ධිය මෙහෙයවා සාමාන්‍ය ජීවිතයෙහි අසාමාන්‍ය ලක්ෂණ මතු කොට දැක්වීමට ඇතැම් ලතින් ඇමරිකානු සාහිත්‍යකරුවන් සමත්ව තියෙනවා. තෙවැන්න රූපක වචනාර්ථයෙන්ම එනම් මතුපිට අර්ථයන් ගෙන විචිත්‍ර විෂය ලෝකයක් නිර්මාණය කිරීමයි. මෙබඳු බලවේග රාශියක සංගමනය ලතින් ඇමරිකානු මායා යථාර්ථවාදී නවකතාවල දක්නට ලැබෙනවා.

එය මේ රටට ආදේශ කිරීමට එම දේශපාලන තත්ත්වය මෙහි තිබෙනවාද?

මගේ විශ්වාසය නම් විවිධ විචාර සංකල්ප සාහිත්‍ය චින්තන රටා බලහත්කාරයෙන් ආදේශ කිරීම උචිත නැහැ. මා මුලින් ප්‍රකාශ කළ පරිදි සාහිත්‍යකරුවන් සිය කෘති නිර්මාණය කරන්නේ බටහිර සාහිත්‍ය විචාරවාදී සංකල්පවල අණට අනුව නොව සිය අභ්‍යන්තර වින්දනයෙහි අණට අනුවයි. යම් යම් සංකල්ප ආශ්‍රයෙන් සිය පරිකල්පන ශක්තිය මුවහත් කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුවන්නක්. අනික් කරුණ නම් මේ බටහිර රටවල විවිධ විචාරවාද පහළ වූයේ යම් යම් ආර්ථීක, සාමාජික, සංස්කෘතික සංකථන තුළින්. එම සංකථන පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව මෙම නව විචාරවාදයන්හි අර්ථය හා අදාළ බව තීරණය කරන්නට බැහැ.



රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails