Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දියුණු වන ලෝකයත් සමග රටක් වශයෙන් නැගී සිටීමේ දී රටකට ආවේණික අනන්‍යතාවයක් ගොඩනගාගනිමින් ගෝලීය වශයෙන් පෙරට ඒම වැදගත් වන්නේ දියුණුවන ලෝකය සඳහා අපගේ දායකත්වය කවරේ ද යන්න පෙන්වාදීම සඳහා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අප පත්වන අභියෝගාත්මක අවස්ථාවන්හි දී මෙන්ම ලෝකය හැසිරවීමට උත්සහ කරන බලවතුන්ගේ අතකොලූ බවට පත්වන්නට ඉඩ නොදී මානව හිතවාදී රටක් වශයෙන් නැගී සිටීමට ද හැකිවන අයුරින් අනාගතය ගොඩ නැගීමටයි.

ඇමරිකාව, මහා බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ බටහිර රටවලින් බිහි වූ විද්වතුන් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් දක්වා ඇති දායකත්වය ඔවුන් විසින් යුධ තාක්ෂණය දියුණු කිරීම සඳහා ලබා දී ඇති දායකත්වයට වඩා වැඩි බව අප සුළු වේදනාවකදී ලබා ගන්නා වේදනා නාශකයක සිට පෘථිවියෙන් පිට ග‍්‍රහකයක මිනිසාට ජීවත් විය හැකි ද යන්න සෙවීම දක්වා විහිදී යයි. අපගේ ආර්ථිකය, සෞඛ්‍යය යන අංශ තවමත් රඳා පවතින අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධාන වල වැඩි දායකත්වයක් දරනු ලබන්නේ ද බටහිර රටවල් විසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය නොමැති, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය නොමැති ලංකාවක් ගැන අපට සිතන්නටවත් නොහැක.

පෘථිවියේ ජීවය ලද මිනිසුන් රටවල් වශයෙන් ජාති වශයෙන් ආගම් වශයෙන් බෙදී එකිනෙකා පරයා නැගී සිටීමට දරණ උත්සහයේ දී තමන් පිළිගන්නා යම් දෙයක් අනෙකා ද පිළිගත යුතු යැයි ද, විමුක්තිය ලැබීමට නම් අප පිළිගන්නා දේ ඔබ ද පිළිගත යුතු යැයි ද අප ඔබට වඩා බලවත් යැයි ද එබැවින් ඔබගේ ක‍්‍රියාදාමයන් අප විසින් පනවන සීමාවන් තුළ පැවතිය යුතු යැයි ද පවසමින් විමුක්තිය ලබා දීම සඳහා බලවතුන් විසින් දුබලයන් ආක‍්‍රමණය කරමින් සිදු කරණ අමානුෂික මිනිස් ඝාතන තවමත් අවසන්ව නැත. ඉතිහාසයේ සිදු වූ දැවැන්ත මිනිස් සංහාරයන් නැවතත් මහපොළොවේ සිදු නොවීමට කටයුතු කිරීමේ වගකීම ද, මෑත දී ඇති වූ ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ අදටද සිදුවෙමින් පවතින මහා මිනිස් ඝාතන නැවතත් සිදු නොවීමේ වගකීම ද කවුරුන් හෝ භාරගත යුතු ය. ලෝකයේ යහ පැවැත්මට බලපාන විනාශකාරී ක‍්‍රියාදාමයන් සිදුවේ නම් ඒවායේ වැරදි නිවැරදි භාවය පෙන්වා දෙමින් මිනිසා විසින් ඉතිහාසයේ සිදු කරන ලද රුදුරු ව්‍යසනයන් නැවතත් සිදු නොවීමට ඉඩ නොදෙන අයුරින් අනාගතය සකසා ගැනීම මානව සංහතියේ අනාගත පැවැත්ම සඳහා ඉතාම වැදගත් වේ.

ඉතිහාසය පුරා මිනිසුන් තම ආශාවන් බලකාමයන් ඉදිරියේ සිදු කළ ම්ලේච්ඡ මිනිස් සංහාරයන් තුළින් ලෝකයාට අහිමි වූ දේ මෙතෙකැයි කිව නොහැක. එවැනි බල කාමයන් වෙනුවෙන් ලොව පුරා සිදුවෙමින් පවතින මනුෂ්‍ය ඝාතන කිසි දිනක අවසන් වේ යැයි ද කිව නොහැක. දියුණු යැයි පිළිගන්නා වර්තමානය සීමාවක් නැති සංහාරයන් වලින් එකිනෙකා මරාගන්නා ඩයිනෝසරයන් සේ කටයුතු කරමින් තමන්ගේ අවසානය තමන් විසින්ම ළඟා කරමින් තිබේ.

ලෝක ධර්මතාවය විසින් ලාංකිකයන් වන අප ද එකිනෙකාට විරුද්ධව යුධ වදින තත්වයකට යොමු කරන ලදී. අපි අපිවම එකිනෙකා මරාගනිමින් අවසානයේ හොඳින් හෝ නරකින් තවත් තිස්වසරක් අවසන් කර ඇත. දුටුගැමුණු රජතුමා උතුරේ ද්‍රවිඩ ජන නායකයෙකු වූ එළාර රජු පරාජය කිරීමෙන් පසු දුටුගැමුණු අතින් සිදු වූ මිනිස් සංහාරය පිළිබඳව දැඩි පසුතැවීමෙන් අවසන් කාලය ගත කළ බව ඉතිහාසය පෙන්වා දෙයි. තවද තමා අතින් මරුමුවට පත්වූ ද්‍රවිඩ නායකයාගේ අවසන් කටයුතු ගෞරවාන්විතව සිදු කරමින් සතුරන් සමග සටන් කළ ද සතුරාට වෛර නොකළ රජෙකුගේ, ජන නායකයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය අප වෙත කියා දුණි.

ඉතිහාසය පටන් ගත්තේ කොතනින්දැයි අප නිශ්චිතව නොදනිමු. අනාගතය කොතනින් කෙසේ අවසන් වේ දැයි කිසිසේත් නොදනිමු. එකී අතීතය සහ අනාගතය අතර වූ තිස් වසර යනු කුමන අංශුවකින් පංගුවක් දැයි අනුමාන කිරීමට පවා නොහැක. එහෙත් අතීතයේ කුමක් සිදු වුවද අනාගතයේ කුමක් සිදුවීමට තිබුණ ද වර්තමානයට මුහුණ දීමට සිදුව ඇත. බලවතුන්, නැණවතුන් හා අසරණයන් එක්ව අපගෙන් එක් දෙයක් ඉල්ලයි. එනම් ම්ලේච්ඡත්වයෙන් තොර එකිනෙකාට ගරු කරන සැමට සමානව සළකන මානව සමාජයක්... තම ළබැඳියන් වෙනුවෙන් ළෙහි අත්ගසා වැලපෙන අම්මාවරුන්ගේ, පියවරුන්ගේ, දූදරුවන්ගේ, බිරින්දෑවරුන්ගේ සොයුරු සොයුරියන්ගේ සෝ සුසුම් වෙනුවෙන් සමාව අයදින උතුම් මානව සමාජයක්.... අතීතයට වැළලීගිය සමූහ මිනී වලවල් යළි යළිත් මහපොළොවෙන් මතු නොවන අනාගතයක්....!

සඳරුවන් සෙනෙවිරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails