Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2014 වසර පුරා පත්තර පිටු පුරා කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහිව වන හිංසන වලින් පිටු පිරවෙයි. 2011 වසර අවසාන වුයේ තංගල්ලේ දේශපාලනයේ නියැලෙන දාමරිකයෙකු හා ඔවුන්ගේ සගයන් අට දෙනෙකු විසින් මෙරටට සංචාරයට පැමිණි රුසියානු තරුණිය වික්ටෝරියා දුෂණය කොට ඇයගේ බ්‍රිතාන්‍ය පෙම්වතා මරා දැැමිමෙන් පසුය. ඇය විසින් දෙන ලද සාක්ෂිය ඇසෙන විට ලංකාව යන නමටත් ලැජ්ජය.

ජාත්‍යන්තරයේ හොඳ නම රැකීමට උත්සුක වෙමින් වලි කන රාජපක්ෂ ආණ්ඩුව මෙවැනි දූෂකයන් සහ දේශපාලන දාමරිකයන් බලයට පැමිණවීම තුළින් ලංකාවේ මිනිසුන් ම්ලේච්ඡ බවට පත් කරන තරමටම ජාත්‍යන්තර අපකීර්තීය වසා ගන්නේ කෙසේද? 2008 දී පටන් ගෙන 2013 දක්වා විහිද ගිය කහවත්ත කොටකෙතන ඝාතන රැල්ලේදි කාන්තාවන් 28 දෙනෙකු දුෂණය කොට මරා දැමිණී. මෙකි ඝාතන හා දුෂණ රැල්ලට වයස අවුරුදු 17 සිට අවුරුදු 85 පමණ වයස් සීමාවේ කාන්තාවන් හා ගැහැණු දරුවන් ගොදුරු විය. මෙම ඝාතන රැල්ලේ දී අවුරුදු 56ක් වයසැති මාරියා සෙල්ලයියා, අවුරුදු 52 ආරියවති, බේබිනෝනා(48) , හීන්මැණිකා (80) , කරුණාවති(66) , හීන්මැණිකේ (85) , ජයන්ති මැනිකේ(56) , බණ්ඩාර මැනිකේ(69) , නයනා නිල්මිණි(52) , දයාවති(61) , තිලකාවති (51) , ප්‍රේමාවති(59) , පුෂ්පා කුමාරි(32) , නිල්මිණි කාවින්දිය (17) , චන්ද්‍රාවති (66) , දිල්හානි (27) , යන කාන්තාවන් ඝාතනය විය. කිරුලපන ඇලේ දුෂණය කොට කුණු ඇලේ පා කලේ අවුරුදු හයක දැරියකි. තංගල්ල සංචාරක හෝටලයක දී අවුරුදු 14 ක පාසැල් දැරියක දූෂණය කිරිමේ වරදට තංගල්ල නගර සභා මන්ත්‍රිවරයෙකු ඇතුලු පස් දෙනෙක් හවුල් විය. 2013 ජනවාරි 1 වන දින අවුරුද්ද ලැබුයේ මීගමුවේ දී අවුරුදු 28 ක එක්දරු මවක් වු ටෙලිනාට්‍ය නිළියක් නිවස අසල තිබු සංගීිත සන්දර්ශනය නරඹා එද්දි සිව් දෙනෙකු විසින් ඇයට මරණ බිය පමුණුවා අමානුෂික ලෙස දුෂණයට ලක් කල බව පුවත්පත්වල වාර්තා කරමිනි. ඉන් සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිවිධ හමුදාවට අයත් විය. මින් අදහස් කරන්නේ තනිවම රාත්‍රියේ මීටර් දහයක්වත් ගමන් කිරිමට කාන්තාවකට නිදහස නොමැති බවද? ගැහැණුන්ට නිදහසේ ගමන් කිරිමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇත්තකි. එසේම මේ රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කළ චමිලා දිසානායක වෛද්‍යවරයෙකු විසින් දුෂණය කොට මරා දමා අවුරුදු හයක් ගෙවී ගොසිනි. මෙම නඩුව 2007 සිට තවමත් මීගමුව අධිකරණයේ ඇසෙන අතර වෛද්‍යවරයා ඇප පිට නිදහස්ව පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරතව සිටියි. පසුගිය 2013 ඔක්තෝබර් 17 දින යාපනයේ ලෝගරාණි සමුහ දුෂණයකට ලක් කොට ඇයගේ නිරුවත් සිරුර කෝවිලකට විසි කොට ගිය අතර ඇයගේ නග්න සිරුර රෙදි කඩකින් වැසිමට පවා කෙනෙක් ඉදිරිපත් වුයේ බොහෝ වේලා ගොසිනි. මේ අනුව සිතිය යුත්තේ ස්ත්‍රි දුෂණය වනාහි තනි කාන්තාවකගේ ප්‍රශ්නයක් නොව සමස්ත සමාජයටම බලපාන බරපතල ප්‍රශ්නයක් බවයි.

ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පාදක කර ගෙන ඇති වන්නා වු හිංසනයට කිසිම ආගමක්, ජාතියක්, වයසක්, දේශ සීමාවක්, ලිංග හේදයක් හෝ රටක් නැත. ගමක වුවද, නගරයක වුවද, සුදු වුවද, කලු වුවද, තරුණ වුවද, මහලු වුවද කම් නැත කිසිඳු වෙනසක් නොතකා හිංසනය කාන්තාවට එරෙහිව ක්‍රියාත්මක වේ. ලොව සෑම තැනකම පාහේ පිරිමින් හා සසඳන කළ කාන්තාවන්ට එරෙහි හිංසනය ඉතා ඉහල අගයක් ගනී. එසේම ස්ත්‍රීන් දුෂණය කිරිම, පවුලේ සමිප ඥාතින් අතින් දැැරියන් හට වන ලිංගික අතවර මෙන්ම බරපතල ලිංගික අපයෝජනය, පාසැල් තුළ හා මග තොටේ දී හා බස් රථ තුළ සිදු වන ලිංගික අතවර ඉතා අධිකව වාර්තා වේ. වාචිකව හෝ ශාරිරිකව කරන මෙකි අතවර අතරට කණට කුණුහරුප මිමිණීම, අශික්ෂිත විහිළු තහළුවලට ලක් කිරිම හා ලිංගික අවයව පෙන්වීම ආදිය ඇතුලත් වේ. මෙලෙස කාන්තාවන්ට එරෙහිව සමාජයේ බහුලව පැතිර ඇති ලිංගික අතවර හා හිංසන තුළින් කාන්තාවක් මනුෂ්‍යයෙකු වශයෙන් ලැබිය යුතු ගරුත්වය කෙලෙසා ඇයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරයි. දියතලාව ඇල්ලගම ගමේ ඉරේෂා මලිති සත්සරණි අට හැවිරිදි දැරිය අගෝස්තු 18 වැනිදා තම පියාගේ 31 වියැති වැඩිමහල් මිතුරාගෙන් දුෂණයට ලක්ව මිය ගියාය. එය සිදුවූයේ මෙම කුඩා දැරිය දෙමව්පිය රැකවරණය නොමැතිව පිටස්තරයෙකු සමඟ තනිව පෙරහැරක් බැලිමට ත්‍රි රෝද රථයට නංවා යැවිම නිසාය.

මේ සා අපරාධ සිදු වෙද්දි තමාගේ පවුලේ කෙනෙකු දුෂණයට ලක් නොවි නැත්නම් ගැටලුවක් නැතැයි සිතමින් අපි බොහෝ දෙනා නෑසු කන්ව පාඩුවේ කල් ගෙවමු. මෙකී හිංසනය එළි පිට දවාලේ ද, ගේ දොර කවුලු පියන් අගුලු දා රහසිගතව ද කළ හැක්කේය. මේ වන විට ලේ ඥාතින්ගෙන් ගැහැණු දරුවන්ට එරෙහිව සිදු වන ස්ත්‍රි දුෂණ හා ව්‍යාභිචාරි වැරදි වැඩිවෙමින් පවති. උදාහරණයක් ලෙස ළමාරක්ෂණ අධිකාරියේ වාර්තාවකට අනුව 2011 දී ලිංගික අතවරයන්ට අදාල සිද්ධි 1463ක් ද ළමා අපයෝජන සිද්ධින් 2000ක් ද 2012 වන විට ලිංගික අතවර සිද්ධින් 1759ක් ද ළමා අපයෝජන සිද්ධින් 5473 ක් ද වාර්තා විය. වර්තමානයේ ස්ත්‍රි දූෂණ වලින් 89% ක්ම දැැරියන්ට එරෙහිව සිදු වු හිංසනයන්ය( මව්බිම 2013 ඔක්තෝබර් 02). කාන්තා අයිතින් හා ළමා රැකවරණය ගැන සපථ දී ඇති රජයක් මෙකි හිංසන වැලැක්වීමට වහා පියවර ගත යුතුය. එසේම රජයේ ආයතන හා වගකිවයුතු නිළධාරින් වරදකරුගේ තරාතිරම නොබලා නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුය. මනුෂ්‍යයකු වශයෙන් උපත ලබන සැම තැනැත්තෙකුටම කායික හා මානසික අංශවලින් පූර්ණ නිරෝගීබව වැදගත් වන අතර සෑම කෙනෙකුටම තමාගේ ශරිරයට අයිතියක් ඇතිව මානසික සුවයකින් ජීවත් වීමේ අයිතියක් තිබේ. නමුත් කාන්තාවක් මනුෂ්‍යයෙකු බව අමතක කරමින් කාන්තාවන්ට එරෙහි හිංසනය සෑම තැනම ක්‍රියාත්මක වේ. මෙකී හිංසන කාන්තාවක් මනුෂ්‍යයෙකු වශයෙන් ලැබිය යුතු ගරුත්වය කෙලෙසා ඇය අසරණියක් බවට පත් කරයි. ශ්‍රී ලංකාව තුළ අසන්නට දකින්නට ලැබෙන ස්ත්‍රි දූෂණ, ළමා අපචාර හා ලිංගික අතවරවලට තිත තැබිය යුතුය. කාන්තා නිදහස සුරුකි සමාජයක කාන්තාවන්ට වැඩ පොළේ දී, මග තොටේ දී, නිවසේ දී හා වෙනත් ඕනෑම තැනක දී ස්වකිය සුරක්ෂිතතාව තහවුරු විය යුතුය.

එසේම ලිංගික වෘත්තියේ යෙදවීම සදහා කුට්ටනය හා කාන්තා ශරීර ජාවාරම් කිරිම කාන්තාවන්ට එරෙහිව සිදු වන බලවත් අපරාධයකි. එසේම කාන්තාවන්ට එරෙහි හිංසනය, කුට්ටනය, ලිංගික අතවර හරහා කාන්තාවන් එච්. අයි. වී ඒඩ්ස් උවදුරට ගොදුරු වීමේ ප්‍රවණතාවය මේ වන විට වැඩිවෙමින් පවතී. කාන්තාවන් පෙළන කායික හා මානසික හිංසන ක්‍රියාවන් හා ඇය කාන්තාවක් වීම නිසාම විඳින්නට සිදු වන ගැහැටවලින් අත්මිදී ස්වකිය සමාජමය වැඩ කටයුතු කිරිමට හැකි වන්නේ නම් එය රටක ගැහැණුන් ලබන නිදහස වෙයි. මේ නිසා මානව නිදහස හා පුද්ගලික ආත්ම ගෞරවය රැක දෙන හිංසනයෙන් තොර රටක් ඇති කිරිමට සියල්ලන්ම උත්සුක නොවුවහොත් සිදුවන විනාශය අති දරුණු විය හැක. මන්ද රටක කාන්තාවන් හා දරුවන්ගේ ආරාක්ෂාව නොසලකන රාජ්‍යය පිරිහි යන්නේය. මෙය එදා බුදුන් ලිච්ඡවි රජදරුවන්ට කියා දුන් පාඩමයි.

ශාමිලා දළුවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails