Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (පළමු කොටස)

කාල්මාක්ස්ගේ හා ලෙනින්ගේ සම්භාව්‍ය න්‍යායික සංකල්ප සපුරා පිළිගන්නා ප්‍රංශ ජාතික ලුවී අල්තූසර් එම න්‍යාය තව දුරටත් වර්ධනය විය යුතු බව පවසයි. සම්භාව්‍ය මාක්ස්වාදය නිරන්තරයෙන්ම මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය වෙත සිය අවධානය යොමු කරද්දී, අල්තූසර් ප්‍රමුඛ අනුගාමිකයන්ගේ අවධානය මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය වෙත යොමු විය. එයට හේතුව මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයට වඩා මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය ඉතා බරපතල ප්‍රපංචයක් වන්නා වූ බැවිනි. සරලවම පැහැදිලි කළහොත් මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය බාහිරින් හඳුනාගත හැකි නමුදු මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය බලාත්මක වන්නේ 'උපාසක වෙස් ගත් අලුගෝසුවෙකු පරිද්දෙන්' යැයි කීම වඩාත් නිවැරදිය.

අල්තූසර් විසින් "රාජ්‍ය යාන්ත්‍රණය" ට අලුතින් අංගයක්‌ එකතු කරයි. එනම් ඒ ""මතවාදී රාජ්‍ය යාන්ත්‍රණයයි."" මෙය මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයෙන් හෙවත් පොලීසිය, යුද හමුදාව, සිරගෙවල් හා උසාවි වැනි බලහත්කාරී හා මර්දනකාරී බලය සමාජය මත පවත්වාගෙන යන ආයතනවලින් වෙනස්‌ වෙයි. මතවාදී හෙවත් දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණවලට අයත්වන ආයතන පිළිබඳව ලුවී අල්තූසර් 1965 දී රචිත "ලෙනින් සහ දර්ශනවාදය" (Lenin and Philosophy) ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි.

- ආගමික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය - විවිධාකාර වූ ආගමික ආයතන මේ යටතට වැටේ. පෞද්ගලික අධ්‍යාපනය හා නිදහස්‌ අධ්‍යාපනය වශයෙන් වූ අධ්‍යාපනික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය.

- පවුල නමැති මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය.

- නෛතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය.

- විවිධ වූ ප්‍රතිපත්තිවලින් සමන්විත දේශපාලන පක්‌ෂවලින් සමන්විත මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය.

- වෘත්තීය සමිති.

- පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනිය ආදිය ප්‍රධාන වූ සන්නිවේදන මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය.

- සාහිත්‍ය කලාව හා ක්‍රීඩාවන් මූලික කරගත් සංස්‌කෘතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය.

මතවාද හෙවත් දෘෂ්ටිවාද යනු කුමක්‌ද යන්න පිළිබඳව අදහස්‌ දැක්‌වීමට වඩා රාජ්‍ය විසින් මතවාද ක්‍රියාත්මක කරවන ආයතනික ව්‍යහය පිළිබඳ සවිස්‌තරාත්මක විස්‌තර කිරීමකි අල්තූසර්ගෙන් සිදුවන්නේ. නමුත් එම පැහැදිලි කිරීම ඔස්‌සේ මතවාද පිළිබඳ ප්‍රාමාණික ආස්‌ථානයකට එළැඹීමට අපට හැකිය. අල්තූසර් දක්‌වන ආකාරයට "දෘෂ්ටිවාදය යනු ඕනෑම සමාජයක්‌ තුළින් අතහැරිය නොහැකි තත්ත්වයකි. මිනිසුන්ගේ පැවැත්මේ තත්ත්වයන්ට නියමයන් හා ප්‍රතිචාරයන් ලබාදෙමින් ඔවුන්ව ආකෘතිගත කිරීමේදී, පරිවර්තනය කිරීමේදීත් මෙන්ම ඔවුන්ව සූදානම් කිරීමේදීත් දෘෂ්ටිවාද ක්‍රියාත්මක වේ." මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයෙන් මතවාදී රාජ්‍ය යන්ත්‍රණය වෙනස්‌වන ආකාරය පිළිබඳවද අල්තූසර් පෙන්වාදෙයි.

- රාජ්‍යයට ඇත්තේ මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ එකක්‌ වන බවත් එහෙත් මතවාදී රාජ්‍ය යාන්ත්‍රණ බොහොමයක්‌ම පවතින බවත් අල්තූසර් දක්‌වයි.

- මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රසිද්ධ මහජන පරිමණ්‌ඩලයේ පවතින්නකි. එහෙත් මතවාදී රාජ්‍ය යන්ත්‍රණ බොහොමයක්‌ තිබෙන්නේ පුද්ගලික පරිමණ්‌ඩලයේය. එනම් ආගමික ස්‌ථාන, පක්‌ෂ, වෘත්තීය සමිති, පවුල, සමහර පාසැල්, බොහෝ පුවත්පත්, සංස්‌කෘතික ආයතන යනාදිය තුළයි.

- මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ ප්‍රචණ්‌ඩත්වය මාධ්‍ය කොටගෙන නමුත් මතවාදී රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මක වන්නේ "මතවාදය" මාධ්‍ය කොටගෙනය.

උසාවිය, පොලිසිය, බන්ධනාගාරය හා හමුදාව වශයෙන් වූ මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය සෘජුවම ක්‍රියාත්මක වන්නේ මර්දනය පදනම් කරගෙනය. නමුත් මර්දනයට ද්විතියිකව "මතවාද" ඔස්‌සේද ක්‍රියාත්මක වීමට මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණයට හැකියාව ඇත. මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය මතවාද ඔස්‌සේ බලාත්මක වන විට ඒ තුළින් ද්විතියිකව "මර්දනය" ද පිළිබිඹු විය හැකි බව අල්තූසර් දක්‌වයි.

පාලක පන්තිය විසින් "මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය" ට ප්‍රධාන අවධානයක්‌ දීම පිළිබඳව සලකා බලමින් අල්තූසර් මෙසේ සඳහන් කරයි. "රාජ්‍යයේ මතවාදී යාන්ත්‍රණ මත සහ ඒවා ඇතුළත තම ආධිපත්‍ය පවත්වා ගන්නේ නැතිව, කිසිම සමාජ පන්තියකට දිගු කලකට රාජ්‍ය බලය අල්ලාගෙන සිටිය නොහැකිය."

අල්තූසර් තවදුරටත් පෙන්වාදෙන ආකාරයට පාලක පන්තිය විසින් කොයිතරම් දුරට තම ආධිපත්‍ය මතවාදී රාජ්‍ය යාන්ත්‍රණ තුළ ව්‍යාප්ත කළද, මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙන් එය ස්‌ථාවර නැත. එයට හේතුව වන්නේ පන්ති විප්ලව, අරගල, විරෝධතා ආදී මේ සියල්ලක්‌ම හටගන්නේ මෙම මතවාදී රාජ්‍ය යාන්ත්‍රණ පදනම් කරගෙන වීමයි.

උදාහරණයක්‌ ලෙස ගතහොත් හමුදාව, පොලීසිය හා විනිශ්චයකරුවන් යනු රජයේ වැටුප් ලබන, වරප්‍රසාද ලබන, පත්වීම්-මාරුවීම් ලබන රාජ්‍යයේ ඍජු සේවකයින්ය. ඔවුන්ව පාලනය කරමින් පවත්වාගෙන යාම පාලක පන්තියට ඉතා පහසු කාර්යයකි. නමුත් පාසල, විශ්වවිද්‍යාලය, ආගමික සිද්ධස්‌ථාන, පවුල, සංස්‌කෘතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය ආදිය රාජ්‍යයේ ඍජු මැදිහත්වීමෙන් වඩාත් දුරස්‌ වේ. වැටුප් වරප්‍රසාද හා අගය කිරීම් ඔස්‌සේ දුරින් සිට පාලනය මෙහෙයවූවත් මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය ඍජුවම ක්‍රියාත්මක වන්නේ මතවාද හරහා වීම මෙම දුරස්‌ථභාවයට හේතුවයි. එබැවින් රාජ්‍යයේ අතිශය අවධානය යොමුවන්නාවූත්, එහි අනාගතයේ තීරණාත්මක සාධකය වන්නාවූත් මෙම මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය පාලකයාට සේම පාලිතයාටද අතිශය වැදගත් වේ. "මිනිසා සහ සමාජ ජීවිතය අතර පවත්නා සැබෑ සම්බන්ධය පිළිබඳව මිනිසා විසින් බිහි කරන ලද කාල්පනික චින්තනය" දෘෂ්ටිවාදය ලෙස අල්තූසර් තව දුරටත් විග්‍රහ කරයි.

දෘෂ්ටිවාද පිළිබඳ හඳුනා ගැනීමට යන ගමනේදී අපට විවිධ විද්වතුන්ගේ චින්තකයින්ගේ හා න්‍යායවේදීන්ගේ අදහස්‌ ඉවහල් වෙයි. ඒ ඔස්‌සේ සරලවම දෘෂ්ටිවාදය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද යන්න පිළිබඳව අදහස්‌ දැක්‌වූ සුචරිත ගම්ලත් තම "සාහිත්‍ය කලා ආදිය ගැන" නම් කෘතියේදී මෙවැනි ප්‍රකාශයක්‌ දක්‌වයි.

"මා දෘෂ්ටිවාදය යන වචනය පරිහරණය කරන්නේ ඉංග්‍රීසියෙහි Ideology යන වචනය වෙනුවටය. එනම් ශ්‍රී ලංකාවේ ඇතැමුන් යොදන 'මතවාදය' යන වචනය වෙනුවට මම දෘෂ්ටිවාදය යන වචනය යොදමි. මතවාදය යන්නෙහි තේරුම සිතූ දෙය කීම යනුයි. Ideology යන්න කිසියම් කෙනෙකුගේ හුදු සිතීමක්‌ ප්‍රකාශයට පත්කිරීමක්‌ නොව දැක්‌මක්‌ හෙවත් දසුනක්‌ ප්‍රකාශයට පත්කිරීමයි. මේ අනුව දෘෂ්ටිවාදය යනු බාහිර ලෝකය හා සමාජ සබඳතා ජාලය පරීක්‌ෂණය කිරීමෙන් හටගත් සිතුවිල්ලක්‌ ප්‍රකාශයට පත් කිරීමයි."
(පි. 79 )

සම්මත දෘෂ්ටිවාද පිළිබඳව සලකා බැලීමේදී ඕනෑම සමාජයක්‌ ඒ පවතින ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට ඒ සමාජයේ දැනට පිළිගත් ආගමික, දේශපාලනික, ආර්ථික, සාහිත්‍යමය, සමාජයීය, දාර්ශනික සහ සෞන්දර්යාත්මක ආදී වශයෙන් වූ සංස්‌කෘතික කාරණා වෙත ලැබෙන්නේ විශේෂ අවධානයකි. එම තත්ත්වයන් තව තවත් වගාකරවීම එසේත් නැතිනම් ප්‍රතිනිෂ්පාදනය කිරීම තුළින් ඒවා සමාජයේ ඉදිරියට ද පවත්වාගෙන යා හැක. මෙතෙක්‌ විඳි අත්දැකීම්, මෙතෙක්‌ දුටු සිදුවීම් මත පමණක්‌ පදනම් වූ මෙම සම්මත දෘෂ්ටිවාද කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම, කිසිදු විභාග කිරීමකින් තොරව ඉදිරියටද පවත්වාගෙන යයි. තර්කානුකූලව හෝ විද්‍යාත්මකව හෝ නිවැරැදි නොවන අදහස්‌ මාලාවක්‌ කිසියම් පිරිසක්‌ විසින් තමන්ට වාසිදායක ලෙස සමාජගතකොට පවත්වා ගෙන යනු ලැබේ. එය සම්මත දෘෂ්ටිවාද සමාජ ගතකිරීම වශයෙන් හඳුනා ගනු ලබන අතර එම දෘෂ්ටිවාද කිසිදු ප්‍රශ්න කිරීමකින් හෝ වග-විභාගයකින් තොරව පිළිගැනීමට පුද්ගලයා සැදී පැහැදී සිටී. එය අන්තරීකරණය නමින් හැඳින් වේ.

උක්‌ත සඳහන් තොරතුරු පිළිබඳ වඩාත් ක්‍රමවත් හා විධිමත් විග්‍රහයක්‌ කරනු ලබන්නේ විසිවන සියවසේදී මාක්‌ස්‌වාදී සමාජ දේශපාලන න්‍යායට විශාල බලපෑමක්‌ එල්ල කරන ලද "අන්තෝනිඕ ග්‍රාම්ස්‌චි" (Antonio Gramsci 1891 - 1937) විසිනි. ඔහු විසින් "දෘෂ්ටිවාදය" පිළිබඳව අදහස්‌ මාලාවක්‌ ගෙන එනු දක්‌නට ලැබේ. ග්‍රාම්ස්‌චිගේ න්‍යායක්‌ වන "නායක ආධිපත්‍ය" නමැති සංකල්පයේදී "දෘෂ්ටිවාද" ක්‍රියාත්මක වන අඩවියක්‌ පිළිබඳව විස්‌තර සඳහන් වේ. මාක්‌ස්‌වාදී සමාජ දේශපාලන න්‍යාය විසින් උපරිව්‍යුහයේ සිදුවන සියල්ල ආර්ථික පදනම මත සිදුවන්නේය යනුවෙන් ආර්ථික ලඝූකරණය (Economic Reductionism) කිරීම ග්‍රාම්ස්‌චි විසින් නැවත සලකා බලන ලදී. ඒ අනුව දෘෂ්ටිවාදය පිළිබඳව ග්‍රාම්ස්‌චිගේ විග්‍රහයන් අන්තර්ගත වන්නේ රාජ්‍ය බලය සහ පන්ති ආධිපත්‍යය පිළිබඳ ගැටලුව ඔස්‌සේ සිදුකළ අධ්‍යයනයන්ගෙනි. මාක්‌ස්‌වාදී දේශපාලන න්‍යාය තුළ තිබූ ආර්ථික පදනම වෙනුවට ඔහු විසින් උපරි ව්‍යුහය පිළිබඳව සලකා බලන ලදී. එබැවින් "ග්‍රාම්ස්‌චි යනු උපරි ව්‍යුහයේ මාක්‌ස්‌වාදී න්‍යායධරයා" ලෙසද හැඳින්වේ.

උපරි ව්‍යුහය යන්න තල දෙකකින් සමන්විත වන බව ග්‍රාම්ස්‌චිගේ අදහසයි. එනම්,

1). සිවිල් සමාජය
2). දේශපාලන සමාජය වශයෙනි.


පාසැල්, පල්ලිය, කලාව, පුවත්පත්, දේශපාලන පක්‌ෂ යන ක්‌ෂේත්‍රය සිවිල් සමාජයටත්, ආණ්‌ඩුව, පොලීසිය, හමුදාව හා උසාවි පද්ධතිය යනාදිය දේශපාලන ක්‌ෂේත්‍රයටත් අයත් වේ.

රාජ්‍ය බලය හිමි පන්තිය විසින් මෙකී අඩවි දෙක තුළම තම ආධිපත්‍ය මෙහෙයවනු ලැබේ. ඒ ආකාර දෙකකිනි. එනම් දේශපාලන සමාජය තුළ සිය බලය පතුරුවා හැරීමේදී මර්දනකාරී යාන්ත්‍රණයක්‌ ලෙසත්, සිවිල් සමාජය තුළ සිය බලය පතුරුවා හැරීමේදී දෘෂ්ටිවාදී රාජ්‍ය යන්ත්‍රණයක්‌ ද වශයෙනි. සිවිල් සමාජය යනු අදහස්‌ හා මතවාද නිපදවන, පැතිරෙන සහ ගැටෙන තලයයි. පාලක පන්තිය විසින් සිය බලයේ ආධිපත්‍ය සිවිල් සමාජය තුළ පතුරුවා හැරීම "නායක ආධිපත්‍ය" වශයෙන් ග්‍රාම්ස්‌චි විසින් හඳුන්වයි. එනම් රාජ්‍ය බලය සහිත පන්තිය විසින් පාලිත නිර්ප්‍රභූ පන්තියේද කැමැත්ත සහිතව ගෙන යන්නා වූ පාලනය යන අර්ථයෙනි. (මෙය දේශපාලනයේදී පමණක්‌ නොව සියලුම සමාජ සබඳතා තුළ ක්‍රියාත්මක වේ). ජයදේව උයන්ගොඩ මේ පිළිබඳව මෙවැනි විග්‍රහයක්‌ ගෙන එයි.

"...ආධිපත්‍යධාරී පන්තීන් පාලිත පන්තීන්ගේ 'කැමැත්ත' (Consent) ද ලබා ගනිති. ආධිපත්‍යධාරී පන්තීන් පාලිත පන්තීන්ගේ 'කැමැත්ත' ලබාගන්නේ මුළු සමාජයටම 'නායකත්වය' දීමෙනි. මුළු සමාජයේම ඓන්ද්‍රීය නායකයා තමන් බව පාලිත පන්තීන්ට ඒත්තු ගැන්වීමෙනි. සමස්‌ත සමාජයටම තමන්ගේ බුද්ධිමය - මතවාදී නායකත්වය පිළිගැන්වීම තුළිනි. තමන්ගේ අභිලාෂයන් සමස්‌ත සමාජයේම අභිලාෂය බවට ඒත්තු ගැන්වීම තුළිනි...."

විශේෂයෙන්ම මෙහිදී පාලකයා සහ පාලිතයා අතර සම්බන්ධක පුරුකක්‌ ක්‍රියාත්මක වන බැව් ග්‍රාම්ස්‌චි පවසයි. පාලකයින්ගේ දෘෂ්ටිවාද පාලිතයා විසින් ප්‍රශ්න කිරීමකින් තොරව අන්තරීකරණය කරගැනීම සඳහා මෙහෙයවීමට මෙම පුරුක ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටු කරයි. එනම් ඒ "සාම්ප්‍රදායික බුද්ධිවෘත්තිකයින්" (Traditional Intellectuals) ය. පවතින තත්ත්වයන් ඒ ආකාරයෙන්ම සුරක්‌ෂිත කරමින් "තත්වාරක්‌ෂකයින්" ලෙස ක්‍රියාත්මක වන මෙම බුද්ධිවෘත්තිකයන් විසින් මෙය සිදුකරනුයේ සිය පෞද්ගලික අපේක්‌ෂාවන් වෙනුවෙනි. "දෘෂ්ටිවාද" පිළිබඳව ග්‍රාම්ස්‌චි දක්‌වන අදහස ඉතාම වැදගත් අයුරින් විග්‍රහ වනුයේ මෙහිදීය. පාලකයා විසින් සමාජගත කරනු ලබන දෘෂ්ටිවාද තමන්ගේ මතවාද හා අපේක්‌ෂාවන් ලෙස පාලිතයා ද පිළිගැනීම මෙහිදී දක්‌නට ලැබේ. එනම් පාලක පන්තිය සිවිල් සමාජය මත තම මතවාදීමය හා බුද්ධිමය නායකත්වය පිහිටුවීමයි.

ජනප්‍රිය කලාකරුවන්, සාහිත්‍යකරුවන්, නම පතළ ක්‍රීඩකයින්, ආගමික ශ්‍රාවකයින්, ගුරුවරුන් වැනි ජනතාව අතරට යා හැකි පිරිස්‌ යොදා ගනිමින් සිය දෘෂ්ටිවාද සිවිල් සමාජය වෙත සම්ප්‍රේෂණය කිරීමට පාලකයා උත්සහ දරයි. එහිදී උක්‌ත චරිත විසින් රඟ දක්‌වනුයේ රාජ්‍යයේ ආශාවන් සහ අවශ්‍යතාවන්ය. පාලකයාගේ කැමැත්ත හෝ අකමැත්ත ජනතාවගේද කැමැත්ත, අකමැත්ත බවට පත්කිරීමයි මෙම බුද්ධි වෘත්තිකයන්ගේ කාර්ය වන්නේ.

ග්‍රාම්ස්‌චිගේ විග්‍රහයේ වැදගත්කම වනුයේ දෘෂ්ටිවාදයේ හොඳ, නරක විග්‍රහ කිරීම පසෙක තබා එයින් ගත හැකි ප්‍රයෝජන පිළිබඳව අවධානය යොමු කිරීමයි. විවිධ අරමුණුවලින් සැදුම්ගත් සමාජයක්‌ එකිනෙකට බැඳ තබන සහ සම්බන්ධ කරන ආධාරකය වශයෙන් ඔහු දෘෂ්ටිවාද හඳුනා ගනී. සම්ප්‍රදායික බුද්ධිවෘත්තිකයාට වඩා එහිදී වැදගත් වන්නේ ඓන්ද්‍රීය බුද්ධි වෘත්තිකයා (Organic Intellectuals) ය. "ආර්ථික සංව්‍යුහයට සීමා වී එහි බලය අත්පත් කර ගැනීමෙන් නව සමාජයක්‌ ගොඩනැඟිය හැකිය" යනුවෙන් මාක්‌ස්‌වාදීන් විශ්වාස කළ මතය ප්‍රතික්‌ෂේප කරන ග්‍රාම්ස්‌චි "යමෙකු විප්ලවය කරා මෙහෙයවිය හැක්‌කේ දෘෂ්ටිවාදවලට බව" පෙන්වා දෙයි. මිනිසුන්ට තමන්ගේම කියා දෘෂ්ටිවාදයක්‌ නිපදවා ගත නොහැකි බැවින් නව සමාජයක්‌ බිහි කිරීමට උරදෙන පිරිස හෙවත් ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයින්ගේ කාර්යය එහිදී ඉතා වැදගත් බව ග්‍රාම්ස්‌චිගේ මූලික තර්කයයි.

බෞද්ධ දාර්ශනික විග්‍රහයන්ට අනුව බැලීමේදීද දෘෂ්ටිවාද පිළිබඳ පුළුල් විග්‍රහයක්‌ හමුවේ. විශේෂයෙන්ම මහා නිද්දේසපාලිය, සුත්තනිපාතය, මඡ්ධිම නිකාය සහ පරමට්‌ඨක සූත්‍රය වැනි බෞද්ධ දේශනාවන් තුළින් මේ පිළිබඳ තොරතුරු හමුවේ. පරමට්‌ඨක සූත්‍රයට අනුව පෙනෙන්නේ "ලොව ගැටුම් ඇතිවන්නේ විවිධ දෘෂ්ටීන් අනුගමනය කරන නිසා බවයි. අන්‍ය දෘෂ්ටි හෙවත් අනෙකාගේ අදහස්‌ උදහස්‌ ඉවසීමට ඇති අපහසුතාව නිසා ලොව විවාදයන් ඉක්‌මවා යා නොහැකි බවත් නිතර ගැටුම් සහ විවාද හටගන්නා බවත් පැවසෙයි. පුද්ගලයෙක්‌ ලෝකයෙහි දෘෂ්ටීන් අතරින් පරම යෑයි, උත්තරීතර යැයි ග්‍රහණය කරන්නේද එයම උසස්‌ බවට උත්තම බවට දක්‌වා ද ඒ පුද්ගලයා අන් සියල්ල එයට වඩා පහත් යැයි කියති. ඒ නිසා ඔහු විවාදයන් නොඉක්‌මවූවෙක්‌ වේ. ගැටුමට සූදානම් වූවෙක්‌ වෙයි. මේ ලක්‌ෂණය සත්‍ය ගවේශී පුද්ගලයාට සුදුසු නොවේ. කිසියම් පුද්ගලයෙකු දේශපාලන, ආගමික, ආදී කවර අංගයකින් හෝ වේවා විශිෂ්ටත්වයක්‌ ගැන හිතමින් ආධානග්‍රාහීව දෘෂ්ටිග්‍රහණය කරන්නේ අගති ගමනයේ නිර්සත්‍ය අපේක්‌ෂාවෙන් ම නොවේ."

බෞද්ධ දර්ශනය තුළින් මෙම විග්‍රහය අප විසින් යොදාගැනීමට මූලිකම හේතුව වූයේ "දෘෂ්ටිවාද" පිළිබඳ විග්‍රහය නූතනයේදී කලාව සහ දේශපාලනික තලයන් ඔස්‌සේ විග්‍රහ වුවද මුල් කාලීනව එය ආගමික ඉගැන්වීමක්‌ සහ දර්ශනයක්‌ ලෙසින්ද විග්‍රහ වී ඇති ආකාරය පෙන්වා දීම පිණිසය. ඕනෑම දෘෂ්ටිවාදයක්‌ දැඩිව අල්ලා ගැනීම තුළින් පුද්ගල විචාරශීලී බුද්ධිය පිරිහෙන බැව් ඉහත පරමට්‌ඨ සූත්‍ර දේශනාවෙන් පෙනී යනු ඇත.

සංස්‌කෘතිය පිළිබඳව හැඳින්වීම

දෘෂ්ටිවාද පිළිබඳ කථිsකාවේදී "සංස්‌කෘතිය" පිළිබඳ හඳුනාගත යුත්තේ අනිවාර්යෙන්ම දෘෂ්ටිවාද ප්‍රභවය ලබන්නේ සංස්‌කෘතික කාරණාවක්‌ ලෙසින් වන හෙයිනි. සරලව පැහැදිලි කළහොත් දෘෂ්ටිවාදය යනු සමාජය තුළ මිනිසුන් අතර පවතින ආර්ථික, දේශපාලනික සබඳතාවන්ගේ නියම ස්‌වරූපය වසා සංස්‌කෘතික ස්‌වරූපයක්‌ දෙනු ලබන උපකරණයකි. එබැවින් දෘෂ්ටිවාද යන්න හඳුනා ගැනීමේදී සංස්‌කෘතිය පිළිබඳ හැදෑරීමක්‌ අත්‍යවශ්‍යයම වේ.

සංස්‌කෘතික විරෝධී ආකල්පයක්‌ ලෙසින් "දෘෂ්ටිවාද" පිළිබඳ විග්‍රහය බොහෝ දෙනෙක්‌ සලකති. නමුත් එමගින් සිදුවන්නේ කිසිදු සංස්‌කෘතියක්‌ අවතක්‌සේරුවට හෝ විනාශ කිරීමට උත්සහ දැරීමක්‌ නොව "යථාර්ථය" දැකීමට ගනු ලබන උත්සාහයකි. "නියම සංස්‌කෘතිය" යන්න බොහෝවිට ඉතා බුද්ධිවාදී නොවන අතර එය පවතින්නේ දේශපාලන, ආගමික හෝ ආර්ථික බලය සහිත අයගේ රැකවරණයට යටත්වය." උදාහරණයක්‌ ලෙස "සිංහල භාෂාව නිකැළැල්ය, ඔදවත්ය, තෙදවත්ය සේම ලොව විශිෂ්ටතම භාෂාවය" යි කීම දෘෂ්ටිවාදයකි. එවැනි භාෂාවක්‌ නොමැත. එසේ ඇත්නම් එය "මළ" භාෂාවක්‌ වනවා හැරෙන්නට කාලීන අවශ්‍යතාවන්, සංවර්ධනයන් ඔස්‌සේ යාවත්කාලීන නොවනු ඇත.

මේ පිළිබඳ ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් දක්‌වනුයේ මෙවැනි තර්කයකි, "නොවෙනස්‌ ස්‌තිථික ස්‌ථාවර සංස්‌කෘතීන් නැත. සංස්‌කෘතිය සංස්‌කරණය වී අවසන් වූවක්‌ නොව නිරන්තරයෙන් සංස්‌කරණය වෙමින් පවතින්නකි. බුද්ධිමත් කලාකරුවාගේ කෘතිය මෙම නිරන්තර සංස්‌කෘතික සංස්‌කරණයේ කොටසකි. යමෙකු තම සංස්‌කෘතිය මේ යැයි ස්‌ථිරව අල්ලා ගෙන සිටිමින් එම සංස්‌කෘතිය සංස්‌කරණය කරන අයට නොයෙක්‌ බැණ අඬගැසීම් කරන්නේ නම් එක්‌කෝ සංස්‌කෘතික සංස්‌කරණය නිසා සිදුවන භෞතික හෝ සංකේතමය වරප්‍රසාද අහිමිවීමක්‌ නිසාය. නො එසේනම් සංස්‌කරණය වුණ නව සංස්‌කෘතියකට හැඩ ගැසීමට අවශ්‍ය දැනුම සංවේදී තාව නැති අයය."
(සහෘද සාක්‌ෂිය. පි. 355)

සංස්‌කෘතිය යනු හුදෙක්‌ ස්‌වාභාවික ප්‍රපංචයක්‌ නොව එය මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද්දකි. එනිසා එය අව්‍යාජ හෝ නිර්මල හෝ විය නොහැකිය. සංස්‌කෘතික බැහැරකිරීම්වාදය හෙවත් අන්‍ය සංස්‌කෘතීන් සමඟ සම්මිශ්‍රණයෙන් වළකින්නටද නොහැකිය. එයට හේතුව ස්‌වාභාවිකවම මිනිසා යනු අණුකරණයට, අනුගමනයට පක්‌ෂ ජීවියෙකු වීමයි. තණකොළ සහිත බිමක්‌ පොල්කටුවකින් වසා ටික දිනක්‌ තබන්න. එය කහ පැහැ වී දැකගත හැකිය. හිරු එළිය නොවැටීම හේතුවෙන් එය එසේ වී ඇත්තේ යම් සේද සංස්‌කෘතියක්‌ වසා තැබීමෙන් සිදුවන්නේ ද එම සංස්‌කෘතිය මිය ගිය සංස්‌කෘතියක්‌ බවට පත්වීමයි.

"අපි සංස්‌කෘතිය කියල කියන්නෙ මනුෂ්‍යා විසින් තමාගේ ප්‍රකෘති පරිසරය මත ගොඩනඟන ලද කෘතිම පරිසරයටයි. ප්‍රකෘතියයි කියන එකේ විපරිතාර්ථයට තමයි සංස්‌කෘතියයි කියන්නෙ."
(එදිරිවීර සරච්චන්ද්‍ර, සාර සංග්‍රහය (නව සංස්‌කරණය). පි. 138)

සරච්චන්ද්‍ර දක්‌වන ආකාරයට සංස්‌කෘතිය යනු "ප්‍රකෘතිය" (Natural) යන තත්ත්වයේ විපරිතාර්ථය වේ. එනම් සකසා ගන්නා ලද්ද, සංස්‌කරණය කරන ලද්ද යන අරුත් ලබාදෙන Culture. යන්නයි. එනිසා සංස්‌කෘතිය වෙනස්‌වීම යනු දූෂණය වීමක්‌ නොව සංස්‌කරණය වීමකි. සරච්චන්ද්‍ර මෙහිදීද උදාහරණ සහිතව පැහැදිලි කරයි. "පාරම්පරික සංස්‌කෘතීන් කලවම් වී සංකර වීමත්, ඒවා නවීන ලෝකයට අනුකූලව හැඩ ගැසීමත් අතර වෙනසක්‌ තිබේ. පාරම්පරික සංස්‌කෘතියක්‌ රැක ගැනීම පිණිස විද්‍යා ඥානය බැහැර කළ යුතු නැත. විදුලි බලය ප්‍රතික්‌ෂේප කොට පොල් තෙල් පහනින් විදුලිය සෙවීම අවශ්‍ය නැත. විදුලි බලය යොදා මනුෂ්‍යාගේ භෞතික ජීවිතය පෝෂණය කර ගැනීම එනම් රෝග දුරු කිරීම සෞඛ්‍ය වර්ධනය කිරීම පාරම්පරික සංස්‌කෘතිය කෙලෙසීමක්‌ නොවේ."

සංස්‌කෘතිය යන වචනයෙහි ඉංග්‍රීසි පර්යාය පදය වන "කල්චර්" (Culture) යන වචනය බිඳී එන්නේ "කොලෙරේ" (Colere) යන ලතින් වචනයෙනි. එය ඉතා පළල් අර්ථ කලාපයක්‌ ඇත්තකි. වගා කිරීම, පදිංචි වීම, වන්දනාමාන කිරීම, ආරක්‌ෂා කිරීම ආදී නොයෙක්‌ අර්ථ ඉන් අදහස්‌ වෙයි. "කල්චර්" යන ඉංග්‍රීසි වචනයටම සම්බන්ධ "කවුල්ටර්" (Coulter) යන වචනයෙන් අදහස්‌ වන්නේ නඟුල් තලයයි. එහිද ඇඟවුම "ස්‌වභාව ධර්මය වෙනස්‌ කරමින් යමක්‌ අලුතින් වගා කිරීම" යන්නයි. ඉංග්‍රීසියෙන් සංස්‌කෘතිය යන්න අඟවන Culture පදය "වගා කිරීම හෙවත් යටත්විජිතකරණය" හඳුන්වන Colonization යන වචනය සෑදෙයි. එහෙයින් වගා කිරීම සේම සංස්‌කෘතිය යන සංකල්පය තුළද "යටත් කිරීම" යන අර්ථය ඇත. එහෙයින් සංස්‌කෘතිය යන්න නෛසර්ගිකවම එක්‌තරා හිංසනයක්‌ ඒ වෙත අඩංගු කරගනියි. පසු කලෙක "කල්චර්" යන්නෙන් "පොළොව වගාකිරීම" පමණක්‌ නොව මිනිස්‌ මනස වගා කිරීම යන්න ද අදහස්‌ විය."
(-ලියනගේ අමරකීර්ති, සහෘද සාක්‌ෂිය, පි. 373 - 374)

උක්‌ත ප්‍රකාශය පිළිබඳ පුළුල්ව විමසා බැලීමේදී මිනිසා තමාවම පවත්වාගෙන යාමටත්, විචාරය කරමින් අලුතින් නිර්මාණය කිරීම සඳහාත් සිදුකරනු ලබන සියලුම දේ සංස්‌කෘතිය වශයෙන් හඳුනාගත හැකිය. ඒ අර්ථයෙන් කිසියම් ජනකායකට "සංස්‌කෘතිය" විසින් මුහුණුවරක්‌ ලබාදෙන බවද පෙනීයනු ඇත.

සංස්‌කෘතිය පිළිබඳව නිර්වචන සැපයූ මානව විද්‍යාඥයින් අතර ඊ. බී. ටයිලර්, රැලිෆ් ලින්ටන්, ක්‌ලිෆර්ඩ් ගියටිස්‌, ඒ. එල්. ක්‍රෝබර්, ලෙස්‌ලි ඒ. වයිට්‌, කලයිඩ් ක්‌ලක්‌හෝන්, මෙල්ෂිල් හර්ට්‌ස්‌කොවිට්‌ස්‌ සහ ඩබ්ලිව්. එෆ්. ඔග්බර්න් වැන්නවුන්ට හිමිවනුයේ වැදගත් පිළිගැනීමකි. ඉනුත් බ්‍රිතාන්‍ය මානවවිද්‍යාවේ පියා ලෙස සැළකෙන ඊ. බී. ටයිලර් (E. B. Tylor) ට විශේෂ වැදගත්කමක්‌ හිමි වේ. සිය "ප්‍රාථමික සංස්‌කෘතිය" (Primitive Culture) නමැති කෘතියෙදී ඔහු විසින් ප්‍රාමාණික නිර්වචනයක්‌ "සංස්‌කෘතිය" යන්නට ලබාදීමට සමත්වීම එයට හේතුවයි.

"සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අයත් කර ගන්නා වුත්, ලබා ගන්නා වුත්, දැනුම, විශ්වාස, කලා, සදාචාර දහම් සහ වෙනත් හැකියාවන්ගේ සමස්‌තය සංස්‌කෘතිය වේ." යනු එම නිර්වචනය වන අතර මෙතෙක්‌ පැවතුණු සහ පවතින ඕනෑම සංස්‌කෘතියක අඩු හෝ වැඩි වශයෙන් ඉහත නිර්වචනයේ සංකල්ප අන්තර්ගතවනු පෙනේ.

විශේෂයෙන්ම ඕනෑම සංස්කෘතියක මූලික ස්වරූප දෙකක් හඳුනාගත හැකිය. එනම්,
01. සංස්කෘතික සංරක්ෂණය
02. සංස්කෘතික සංස්කරණය
වශයෙනි.

මෙහිදී කලාවට ලැබෙන වගකීම ඉතා ඉහළය. ඕනෑම යුගයක විශිෂ්ට කලාවට උක්ත ප්‍රවේශයන් යුගලය වෙත 'සංස්කෘතිය' සිය කෘතීන් ඔස්සේ ගෙන යා හැකිය. නැවත නැවත සුරක්ෂිත කිරීම හෙවත් යාවත්වාලීන අර්ථයකින් පවත්වාගෙන යාම සංරක්ෂණය ලෙස ගැනේ. එහිදී සරච්චන්ද්‍ර ප්‍රකාශ කරන ආකාරයට සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් ලෙස අද දක්වාම අපට අයිතිව ඇත. මේ දායාදය අහක දැමීමෙන් සිදු වන්නේ නාන බාල්දියේ තියෙන කිලුටු වතුර විසි කරන විට එහි නාවපු ළඳරුවාවද විසි කරන්නා වැනි දෙයකි. චුල්ල ධනුද්ධර ජාතක කථාව ආශ්‍රය කරගනිමින් විසිවන සියවසට අදාළ වන පරිදි 'මනමේ' නාට්‍යය නිර්මාණය වූයේ මෙම සංස්කරණ විභවතාවට උචිත අයුරින්ය. නමුත් මෙහිදී නිකැළැල්, පිරිසිදු යන අරුතින් සීමා, මායිම් යොදා ආරක්ෂා කිරීමක් අදහස් නොවේ.

'සංස්කරණය' යන අරුතින් විග්‍රහ වන්නේ ඕනෑම සංස්කෘතියක් කාලයත් සමඟ ඇතිවන අවශ්‍යතාවන්ගේ විවිධත්වය, අන්‍ය සංස්කෘතීන්ගේ සංස්පර්ශය ආදිය හමුවේ සංස්කරණය විය යුතු බවයි. මෙහිදී කිසිදු සංස්කෘතියක් විසින් තම සංස්කෘතිය සහමුලින්ම වෙනස්කිරීමක් ඉවසන්නේ නැත. සිදුවන්නේ සාරය ඉතිරි වී යම් යම් අංග පමණක් යාවත්කාලීන වීම පමණි. සංස්කෘතියක නිරන්තර ගැටුම්වලට, ස්පර්ශයන්ට ලක්වනුයේ සංස්කෘතික පර්යන්තය හෙවත් 'චූල සම්ප්‍රදායයි.' ස්වයං - සංස්කරණයෙන් යුතුව සංස්කෘතියක වැඩීම සිදුවන අඩවි කිහිපයක් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පෙන්වා දෙන්නේ පහත අයුරිනි.

01. අදාළ සංස්කෘතිය තුළම සිදුවන සංස්කෘතික විඥානයේ වර්ධනයක්.

02. කලාකරුවන් ආදී බුද්ධිමතුන් ගෙන යන නිරන්තර සංවාදය නිසා එම විඥානය වර්ධනය වේ.

03. යම් සමාජයක දේශපාලන ව්‍යුහයේ සිදුවන රැඩිකල් වෙනස්කම් (ප්‍රංශ සහ රුසියන් ආදී විප්ලව, ජර්මානු ආධිපත්‍ය බිඳ වැටීම, සෝවියට් පෙරස්ත්‍රොයිකාව, දකුණු අපි්‍රකාවේ වර්ණභේද ක්‍රමය අවසන් වීම, ලංකාවට විවෘත ආර්ථීකය හඳුන්වා දීම වැනි වෙනස්වීම් උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය)

04. සංස්කෘතික අන්තර්පෝෂණය (මෙය කවර කලෙකත් ඉතා වැදගත් ලෙස සංස්කරණ ක්‍රියාදාමයන්ට බලපායි)

එබැවින් සමාජය තුළ දෘෂ්ටිවාද සාමාන්‍යකරණය වීම සඳහා සංස්කෘතිය විසින් ලැබෙන දායකත්වය ඉතා ඉහළය. අනම්‍ය සංස්කෘතියක් සහිත සමාජයක නිරන්තරයෙන්ම සිදුවන්නේ දෘෂ්ටිවාදී බලපෑම් 'සංස්කෘතික' කඩතුරාවෙන් වසා දැමීමයි. සංස්කෘතිය යනු කටපාඩමින් පවත්වාගෙන යායුත්තක් නොව අවශ්‍ය වූ විට පුද්ගලයාගේ යහපත වෙනුවෙන් වෙනස්වීමේ සම්භාවිතාවක් සහිත වූවකි. සංස්කෘතිය හේතුවෙන් සමාජයේ පුද්ගලයා මිය යන්නේනම්, සියදිවි හානි කර ගන්නේනම් හෝ අතෘප්තියෙන් ජීවත් වන්නේනම් එවන් සංස්කෘතියකින් පුද්ගල සුභ සිද්ධිය වෙනුවට ඉටුකරනුයේ කිසියම් ආධානග්‍රාහී පන්තියක පටු අවශ්‍යතාවන් පමණි. යම් සමාජයක් එහි වසන සියලු සාමාජිකයන්ට සාධාරණව සලකන්නට හුරු කරවන ආකාරයේ සංස්කෘතියක් පවත්වාගෙන යාම සුසාධිත සංස්කෘතියක ලක්ෂණයකි. චිකාගෝ විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරියක වන මාර්තා නස්බෝම් විසින් 'සානුකම්පික පරිකල්පනය' යන අරුතින් විග්‍රහ කරනුයේද මෙම තත්වයයි.

(මතු සම්බන්ධයි.)

Image- Apes in Parliament by Banksy

කසුන් සී. තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails