Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2009 වර්ෂයේ යුද්ධයේ එහි උච්ඡතම අවස්ථාවට පැමිණි අවධියේ මා සේවය කරමින් සිටියේ පුද්ගලික ආයතනයකය. යුද්ධය, හමුදාමය වශයෙන් ජයග්‍රහණය කිරීමට නම් ත්‍රිවිධ හමුදාවන්ගේ හමුදාමය ශක්තිය පමණක් වර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඉතා හොඳින් හඳුනා ගෙන සිටි රාජපක්ෂ රෙජීමය, ඒ සඳහා සාමන්‍ය ජනතාව යුධවාදී ආකල්පවලින් සන්තර්පණය කල යුතු බව ද අවබෝධ කරගෙන සිටියේය. ඒ අනුව, ජනමාධ්‍ය ඔස්සේ සහ අනෙකුත් ක්‍ර්‍රමවේදයන් හරහා එල්.ටී.ටී.ය සහ දෙමල ජනයා කෙරෙහි වෛරී ආකල්පයන් සමාජගත කිරීමටත්, ලංකාවේ සහ සිංහල ජාතියේ ඉදිරි ගමනට ඇති ප්‍රධානතම බාධකය ඔවුන්ය යන්න ඉතා සාර්ථකව උත්කර්ෂයට නැංවීමටත් රාජපක්ෂ රෙජීමය සමත් විය.

මෙම සාර්ථකත්වයේ එක් ඉතා කුඩා නිරූපණයක් ලෙස එම අවධියේදී මා සේවය කල ආයතනයේ සේවකයින් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති ආකල්පයන් හඳුනා ගත හැකිය. මමත් තවත් දමිල ජාතිකයින් දෙදෙනෙකුත් හැර අනෙක් සියළුම දෙනා ඒ මොහොතේ යුධ උන්මාදයෙන් සුරතාන්තයට පත්වී සිටි අතර යුද්ධයට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් සමහරුන් විවෘතවමත් තවත් සමහරුන් වක්‍රාරයෙන් ද අපට විරෝධය දැක්වූවේය. ආණ්ඩුව එදා පුන පුනා ප්‍රකාශ කර සිටියේ ජාතික ගැටළුවට දේශපාලනික විසඳුමක් ලබා දීමට ප්‍රධානතම බාධකය වී තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බවත් ඒ නිසාම මුලින්ම කල යුත්තේ ඔවුන්ව මිලිටරිමය ලෙස පරාජය කල යුතු බවත්ය. නමුත් එදා මා මෙන්ම යුද්ධයට විරුද්ධ වූ අනෙකුත් බොහෝ දෙනාගේ ස්ථාවරය වුයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යනු ජාතික ගැටළුවේ හේතුව නොව එක් ප්‍රතිඵලයක් බවත් කල යුත්තේ රෝග ලක්ෂණ වලට නොව රෝග නිධානයට ප්‍රතිකාර කිරීම බවත්ය. එමෙන්ම එදා යුද්ධය ක්‍රියාත්මක කරගෙන ගිය ආකාරය අනුව යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒ තුලින් රාජපක්ෂ රෙජීමය කෙරෙහි ගොඩ නැගෙන කොන්දේසි විරහිත මහජන අනුමැතිය හේතුවෙන් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සෞභාග්‍යය හෝ අපට උදා නොවන බවත් ඒ වෙනුවට සිදුවිය හැක්කේ මර්ධනය රටේ අනෙකුත් ප්‍රදේශ කරා ද ව්‍යාප්ත වීමත් දුෂණය, අයුක්තිය, අසාධාරණය සමාජය වෙලා ගැනීම බවත්ය යන්න තේරුම් ගැනීමට අපගේ සාමාන්‍ය බුද්ධිය ප්‍රමාණවත් විය. එයට සරලතම හේතුව නම් රාජ්‍ය බලය තනි පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙක් වටා සංකේන්ද්‍රණය වීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ඉහත කී තත්වයන් බව ලාංකීය මෙන්ම ලෝක ඉතිහාසය තුල ද බොහෝ අවස්ථාවලදී පෙන්නුම් කර තිබීමය.

යුද්ධය මිලිටරිමය වශයෙන් නිමාවී වසර පහක් ගත වෙන මේ මොහොතේ අප අත්දකිමින් සිටින්නේ එදා අප පරිකල්පනය කල ප්‍රතිඵලය. දයාන් ජයතිලක වැනි දේශපාලන විද්‍යාවේ පරතෙරට ගිය විද්වතුන්ට අනුව ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කිරීමේදී ඉතාම සාර්ථක වුවත් ඉන් පසු කාලයේදී ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් අනුමත කල නොහැකිය. ඔහුට නොතේරෙන, නමුත් සාමාන්‍ය බුද්ධියක් තියෙන පුද්ගලයෙකුට පවා වැටහෙන සත්‍යය නම්, වර්තමානයේ මෙවැනි ආකාරයේ මර්ධනකාරී පාලනයක් උතුරේ මෙන්ම දකුණේ ද පවත්වා ගෙන යාමට අවැසි හෙජමොනික ආධිපත්‍යය රාජපක්ෂ රෙජීමයට ලැබුනේ යුද්ධය ජයග්‍රහණය කිරීම සහ ඒ වෙනුවෙන් සමාජය තුල ස්ථාපනය කරන ලද රණකාමී ජාතිකවාදයයි.

වර්තමානයේ ඉතා පැහැදිලිවම පවතින්නේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකු විසින් මහජන සම්පත් අසීමිත ලෙස භුක්ති විඳින පාලන ක්‍රමයකි. ධනේශ්වර ප්‍ර්‍රජාතන්ත්‍රවාදයේ මුරගල් තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුනම වර්තමානයේ පවතින්නේ රාජපක්ෂලාගේ ආධිපත්‍යය යටතේය. කිසියම් දුරකට හෝ යහ පාලනය ශක්තිමත් කෙරුණු 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර විධායක ජනාධිපතිධුරයේ බලතල තවදුරටත් ශක්තිමත් කෙරුණු 18 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ගැටළුවකින් තොරව සම්මත කර ගත්තෙත් ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුධුරයෙන් ඉවත් කර තමන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින මොහාන් පීරිස් එම තනතුරට පත් කරගැනීමෙන් අධිකරණය හැසිරවීමේ බලයත් තමන් යටතට ගැනීමට රාජපක්ෂ පාලනයට හැකි වුයේත් යුධ ජයග්‍රහණය තුලින් ලැබුණු හෙජමොනික ආධිපත්‍යය තුලින් නොවේද?

වර්තමානයේදී, පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට පවතින්නේ සැබෑ මහජන නියෝජනයකින් ලැබුණු බලයක් නොවේ. එය, මුදලට මෙන්ම වංචා, දුෂණ පෙන්වා පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම තුලින් ලද විකෘති කල ව්‍යවස්ථාදායක බලයකි. මේ සඳහා විපක්ෂයද සැලකිය යුතු ලෙස වගකිව යුතුය. ''සමාජවාදී'' රටවල්වල පවතින්නේ ඒකාධිපති, ආඥාදායක පාලන ක්‍රමයක්ය යන්න හුවා දැක්වීමට ධනේශ්වර රාජ්‍යයන් සහ පාලකයින් විසින් යොදා ගන්නා ලද ප්‍රධානතම නිර්ණායකයකි, එම රටවල නිශ්චිත කාලයකට අනුව මැතිවරණ නොපැවැත්වීම. එමෙන්ම, ඔවුන් විසින් තමන් ප්‍රජාතන්ත්‍රවාදී යයි පෙන්වීමට යොදා ගනු ලබන්නේ එහි විලෝමයයි, එනම් මැතිවරණ පැවැත්වීමයි. නමුත්, වර්තමානයේදී හුදෙක් මැතිවරණ පැවැත්වූ පමණින් කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට සිම්බාබ්වේ, සිරියාව වැනි ජාත්‍යන්තර උදාහරණ මෙන්ම, ලංකාවේ තත්වය ද කදිම නිදසුන් වේ. මැතිවරණ සම්බන්ධයෙන්, ලංකාවට අදාලව විශේෂ කරුණු දෙකක් අදාලවේ. එකක් නම්, බොහෝ දෙනෙකුට පැහැදිලිව අවබෝධ කරගත හැකි, මැතිවරණ වලදී දක්නට ලැබෙන දුෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් මැතිවරණ හරහා සැබෑ ජනමතය බොහෝ දුරට නියෝජනය නොවීමයි.

මෙහිදී, බලයේ සිටින පාර්ශවය රාජ්‍ය මාධ්‍ය සහ පොදු දේපල මහා පරිමාණ මට්ටමින් තම මැතිවරණ ව්‍යාපාර වලදී ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට එරෙහිව යොදා ගනු ලබන අතර එය වත්මන් පාලනයට මෙන්ම මීට පෙර බලයේ සිටි රජයන්ට ද එකසේ අදාලය. වත්මන් රාජපක්ෂ පාලනයට අදාළ සුවිශේෂී කරුණක් වන්නේ යුධ ජයග්‍රහණය තුලින් තමන්ට ලැබුණු අසීමිත ජනවරම තුලින් කිසියම් දුරකට හෝ මැතිවරණවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා ස්ථාපිත කර තිබු ස්වාධීන මැතිවරණ කොමිසමද තම අණසකට ගැනීමෙන් යම් දුරකට හෝ පැවති ආයතනික ව්‍යුහයන් විනාශ කර දැමීමයි. දෙවැනි කාරණය වන්නේ, තාක්ෂණික වශයෙන් ස්වාධීන මැතිවරණ පැවැත්වුවද ඒවා තුලින් බලයට පත් වන්නේ සැබෑ ලෙසම මහජන සේවයට කැපවූ, ඒ සම්බන්ධයෙන් හැකියාවක් තිබෙන පුද්ගලයින්ද යන්නයි. කතුවරයාගේ පුද්ගලික අදහස නම් එය එසේ නොවන බවත් බොහෝ දුරට සිදු වන්නේ මාධ්‍ය සහ අනෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ කෘතිමව ගොඩ නංවන ලද පෞරුෂයන් දේශපාලනික තනතුරු වලට පත්වීමයි.

ග්‍රාම්ස්චියානු අර්ථයෙන් හෙජමොනික ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආකාර දෙකකි, එනම් මහජන අනුමැතිය තුලින් සහ සෘජු මර්ධනය තුලිනි. ඉන් වඩාත් වැදගත් සහ සාර්ථකම ක්‍රමය වන්නේ මහජන අනුමැතිය තුලින් හෙජමොනික ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමය. එබැවින්, විකල්ප දේශපාලනික සංස්කෘතියක් පරිකල්පනය කරන පුද්ගලයින් විසින් අවධානය යොමු කල යුතු ප්‍රධානතම කරුණ වන්නේ ඉහත දෙවනියට සඳහන් කරන ලද කෘතිමව ගොඩ නංවන ලද මහජන අනුමැතියට ප්‍රතිවිරුද්ධ, දේශපාලනයට සහ මහජන සේවයට එහි සැබෑ වටිනාකම ලබා දිය හැකි පුද්ගලයින් මැතිවරණ හරහා බලයට පත් කිරීමට අවැසි පුළුල් මහජන කතිකාවක් ගොඩ නැගීම සහ එය බලාත්මක කිරීමට කටයුතු කිරීමයි. විකල්ප දේශපාලන කතිකාවක් ගොඩ නැගීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඒ සම්බන්ධයෙන් යම් යම් උත්සාහයන් වල නිරත වෙමින් සිටින පුද්ගලයින් සහ කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකි නමුත් ඒ සියල්ලක්ම පාහේ සම්බන්ධයෙන් පවතින පොදු ලක්ෂණයක් වන්නේ කොළඹ කේන්ද්‍රීය කුඩා කවයන්ට ඒවායේ ක්‍රියාකාරිත්වය සහ බලපෑම සීමාවී තිබීමයි. එම කතිකාවන් සහ භූමියේ යතාර්ථයන් අතර සැලකිය යුතු පරතරයක් පවතී. කතිකාමය ගොඩනැංවීම් වල සුවිශේෂීත්වය සහ බලපෑම්සහගතභාවය මා පිළිගන්නා නමුත් ඒවා විමුක්තිකාමී දේශපාලනයෙහි විභවයක් විය හැක්කේ මහපොළොවේ යතාර්ථය සමඟ කොතෙක් දුරට ඓන්ද්‍රීයව සම්බන්ධ ද යන්න මතය.

එවැනි ඓන්ද්‍රීය සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට ඉහත සඳහන් කල දේශපාලන කණ්ඩායම් හෝ පුද්ගලයින් හෝ සැලකිය යුතු උත්සහයක් ගන්නා බවක් දක්නට නොමැත. ජාතිකවාදී කතිකාව බලපෑම්සහගත දේශපාලන කතිකාවක් බවට වර්තමානයේ පත්වී තිබෙන්නේ භූමියේ යතාර්ථය සමඟ මනා ඓන්ද්‍රීය සම්බන්ධයක් ගොඩනගා ගැනීමට එයට සහ එහි පුරෝගාමීන්ට හැකි වූ නිසාය. විටින් විට පවත්වන සම්මන්ත්‍රණ සහ සංවාද, පුවත්පත් වලට ලිපි ලිවීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම වැනි ක්‍රියාවලින් පමණක් පවතින මර්ධනකාරී දේශපාලනික ක්‍රමය අභියෝගයට ලක් කල හැකි ප්‍රතිහෙජමොනික දේශපාලන කතිකාවක් ගොඩ නැගිය නොහැක. එය කල හැකිවනු ඇත්තේ එවැනි ක්‍රියාවන්ද ඇතුළුව, භූමියේ යතාර්ථය සමඟ ඓන්ද්‍රීයව බැඳුනු විකල්ප දේශපාලන කතිකාවක් ගොඩ නැගීමට මැදිහත් වීමෙන් පමණි.

''යුධ ජයග්‍රහණයට'' පස් වසරක් සපිරෙන මේ මොහොතේ මා මුලින්ම සඳහන් කල පරිදි එහි නෛසර්ගික ප්‍රතිඵලයක් ලෙස දියත් කෙරුණු මිලිටරිකරණය සම්බන්ධයෙන් යමක් සඳහන් නොකලොත් එය බරපතල අඩුවකි. බොහෝ දෙනෙකුට මිලිටරිකරණය යනු හුදෙක් හමුදා ශක්තිය වැඩි කිරීම, වැඩි වැඩියෙන් හමුදා සෝදිසි මෙහෙයුම් දියත් කිරීම, සිවිල් කටයුතු වෙනුවෙන් හමුදාව මැදිහත්වීම වැනි භෞතික තලයේ දෘශ්‍යමාන වන කරුණු කාරණා පමණි. ඒවාද මිලිටරිකරණයේ එක් වැදගත් කොටසක් වන නමුත් ඉතා වැදගත් මෙන්ම වඩා භයානක වන්නේ සමාජයක් චින්තනමය වශයෙන් මිලිටරිකරණය කිරීමයි. දිගින් දිගටම යුධ ජයග්‍රහණය මත බලයේ රැදී සිටිය නොහැකි බව මනාව අවබෝධ කරගෙන සිටින රාජපක්ෂ රෙජීමය, විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ජාතිවාදය, ආගම්වාදය මෙන්ම චින්තනමය මිලිටරිකරණය ද දියත් කරමින් සිටී. මෙම චින්තනමය මිලිටරිකරණයේ ප්‍රධානතම ලක්ෂණය නම් යුද්ධයේදී පමණක් නොව දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් නොමැතිව පවතින අනෙකුත් සමාජීය ගැටළු විසඳීමේදී ද සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට වඩා හමුදාමය මැදිහත් වීම් වඩා කාර්යක්ෂම සහ ඵලදායී වේ යයි අදහසක් මිනිසුන් විසින් සවිඥානිකව මෙන්ම අවිඥානිකව ද විශ්වාස කරන්නට සහ ඒ ඔස්සේ කටයුතු කරන්නට පෙළඹවීමයි.

එමෙන්ම, හමුදාමය විනයකින් සහ ශික්ෂණයකින් පුද්ගල ජීවිතය මෙන්ම සමාජ ජීවිතයේ ද යහපැවැත්ම ගොඩ නගා ගත හැකි යයි විශ්වාස කරන්නට පෙළඹීමද චින්තනමය මිලිටරිකරණයේ තවත් ප්‍රතිඵලයකි. ඒ සඳහා මෑතකාලීන උදාහරණ රැසක් ගෙන හැර දැක්විය හැකිය. කොළඹ ඇතුළු නගර සංවර්ධනය කිරීම ආරක්ෂක අමාතංශයේ ලේකම්වරයා යටතට ගැනීම සහ ඒවායේ සියළු කටයුතු සඳහා හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීම, විශ්වවිද්‍යාල වල ආරක්ෂක කටයුතු වලට එකී ලේකම්වරයාගේ අධීක්ෂණය යටතට ගැනීම, විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පෙර හමුදා කඳවුරු වල පුහුණුව අනිවාර්ය කිරීම සහ පාසැල් වල විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීම, පසුගිය අයවැයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනෙකුත් සියළුම විශ්ව විද්‍යාල වලට වෙන් කල මුළු මුදලට වඩා වැඩි මුදලක් වෙන් කිරීම එයට උදාහරණ කිහිපයක් පමණි. මෙහිදී, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් ගලවා ආරක්ෂක අමාත්‍යාංශයට අමුණා ගැනීම ඉතා වැදගත් කාරණයකි. මන්ද, තම ක්‍රියාකාරීත්වයන් පරිපාලනමය වශයෙන් සාධාරණීකරණය කර ගැනීමට පවතින ආයතනික ව්‍යුහයන්, ව්‍යවස්ථාදායක ප්‍රතිපාදනයන් ඇතුළු ඕනෑම දෙයක් අවශ්‍ය පරිදී වෙනස් කිරීමට ''නොබියව'' පියවර ගැනීම පශ්චාත් යුධ සමය තුල, මීට පෙර පැවති රජයන්ට වෙනස්ව යමින්, රාජපක්ෂ පාලනයෙහි අපට දකින්නට ලැබෙන වැදගත් ලක්ෂණයකි. එමෙන්ම පසුගියදා අප කිහිප දෙනෙකු අතර හෙද සේවයේ වර්ජනය පිළිබඳව ඇතිවූ පුද්ගලික සංවාදයකදී එක් අයෙක් ප්‍රකාශ කර සිටියේ ''ගෝඨාභය මහත්තයා එයට මැදිහත් වුනා නම් ප්‍රශ්නය නිකම්ම විසඳිලා'' යන්නයි. මෙය හුදෙක් පුද්ගලික ප්‍රකාශයක් හෝ අදහසක් නොව පොදු ජන මනස වැඩ කරන ආකාරය පිලිබඳ එක් ප්‍රක්ෂේපනයක් බව මගේ පුද්ගලික අදහසයි.

යුද්ධය මිලිටරිමය වශයෙන් නිමාවීමෙන් පස් වසරක් ගත වන මේ මොහොත දක්වාම ආණ්ඩුව විසින් යුද්ධය ඇති වීමට බලපෑ සමාජ දේශපාලනික හේතූන් වලට ආමන්ත්‍රණය කිරීමේ අවංක උත්සාහයක් ගන්නා ආකාරයක් පෙනෙන්නට නොමැත. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ කලින් කලට සර්ව පාක්ෂික කමිටුව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැනි විවිධාකාරයේ කමිටු සහ කොමිසම් පත් කරමින් කල් මැරීමේ උපක්‍රමයකි. ඊට සමාන්තරව කොටි සංවිධානය සහ බෙදුම්වාදය පිළිබඳව විවිධාකාරයේ ප්‍රබන්ධ සහ මතවාදයන් ජනතාව අතර පතුරුවා හරිමින් උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගසමින් සිටී.

යුද්ධයේදී මියගිය තම ඥාතීන් සහ හිතවතුන් සැමරීමට ඇති අතිපුද්ගලික අයිතීන් පවා දෙමළ ජනයාට අහිමි කරමින් සිටින වත්මන් පාලකයින් දෙමළ ජනයා අතීතයේදී සන්නද්ධ ක්‍රියාකාරිත්වයන්ට යොමු වුයේත් මෙවැනි ප්‍රජාතන්ත්‍රවිරෝධී තීන්දු තීරණ නිසා බව හිතාමතාම අමතක කර සිටින්නේ එමගින් ජාතීන් අතර ඇතිවන දුරස්තභාවය සහ විරසකභාවයන් තම බලය පවත්වා ගෙන යාමේ මුලික අවිය කරගෙන ඇති නිසාවෙනි. සාමාන්‍ය ජනතාව අතර ජාතීන් සහ ආගම් වශයෙන් විරසකභාවයන් ඇති කරමින් එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමට සලස්වමින් සිටින රාජපක්ෂ රෙජීමය, අනෙක් අතින් සංවර්ධන කතිකාව පෙරට ගනිමින් අධිවේගී මාර්ග, වරායන්, ගුවන් තොටුපොළවල් වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් හරහා තම පවුලේ සහ සමීප හිතවතුන්ගේ මලු තරකර ගනිමින් සිටී. අනෙක් අතට, රජයේ ආර්ථීක දුෂ්කරතාවයන් පෙරට දා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මහජන සේවාවන් පෞද්ගලීකරණය කිරීම සාධාරණීකරණය කරමින් සිටී. මේ වනවිට රාජ්‍ය මුදල් වලින් තුනෙන් දෙකක් පමණ පවතින්නේ රාජපක්ෂ පවුලේ සෘජු පාලනය යටතේය. රටක් ආර්ථීක වශයෙන් දියුණු කිරීම අත්‍යවශ්‍යය කාරණයක් වන නමුත් මතු කලයුතු ප්‍රශ්නය වන්නේ මෙම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් වල ප්‍රතිලාභ කොතෙක් දුරට සාමාන්‍ය ජනයා විසින් භුක්ති විඳිනවාද යන්නයි. එමෙන්ම, එලෙස ආරම්භ කල බොහෝ ව්‍යාපෘතීන් මේ වන විටත් ආර්ථීක වශයෙන් අසාර්ථක ව්‍යාපෘතීන් ලෙස ඉතිහාසයට එක්වී හමාරය. මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය එයට කදිම නිදසුන් දෙකකි.

ආණ්ඩු හිතවාදීන් බොහෝ විට මතු කරන ප්‍රශ්නයක් වන්නේ, යුද්ධය නිමාවීම නිසා රටට කිසිදු යහපතක් සිදු වී නැද්ද යන්නයි. සමස්තයක් ලෙස ගත්කල, යුද්ධය නිමාවීමෙන් පස් වසරක් ගත වෙන මේ මොහොතේ එදා මෙන් තැන තැන බෝම්බ පිපිරෙන්නේ නැත. යුධ සමයේ මෙන් රාජ්‍ය මාධ්‍ය හරහා තත්පරයෙන් තත්පරයට යුධ බිමේ තොරතුරු වාර්තා වන්නේ නැත. නමුත් ආර්ථීක, සමාජීය සහ දේශපාලනික වශයෙන්, ලාංකීය සමාජය දිනෙන් දින ගමන් කරමින් සිටින්නේ අගාධයකට බව සිහිකල්පනාවෙන් බලන අයෙකුට තේරුම් ගැනීමේ අපහසුතාවයක් නොමැත. බොහෝ දෙනෙකුට එය නොදැනෙන්නේ බෝම්බයෙන් හෝ වෙඩි උණ්ඩයෙන් හෝ සිදුවන ආකාරයේ සෘජු, භෞතික හානියක් මෙහි බැලූ බැල්මට නොමැති නිසාය. නමුත් දැනට තත්වයන් ගොඩ නැගෙමින් පවතින ආකාරය අනුව දීර්ඝ කාලීන වශයෙන් එය දැවැන්ත විනාශයකට පාර කපනු ඇති බව සඳහන් කරන්නේ කණගාටුවෙනි. දයාන් ජයතිලක හෝ වික්ටර් අයිවන් හෝ ජ.වි.පෙ. හෝ සිතන ආකාරයට යුද්ධය සහ යහපාලනයේ බිඳ වැටීම එකිනෙකින් වියුක්ත සංසිද්ධීන් දෙකක් නොව ඒවා එකිනෙකට අවියෝජනීය ලෙස සම්බන්ධ වී ඇති බව අවබෝධ කර ගැනීම පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ පළමු මෙන්ම අත්‍යවශ්‍යය පියවරකි.

උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails