Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පහසුවෙන් අසුනොවන එහෙත් අසුකර ගත යුතුම මානයන් එක්තරා සමීප බවක් ඔස්සේ මහජනයා වෙත මුණගැස්වීමට සාහිත්‍ය ක්ෂේත‍්‍රයට ඇති කාරකමය ගුණය අන් ක්ෂේත‍්‍රයකට නැති තරම්ය. විශේෂයෙන්ම සාහිත්‍ය ශානර හා උප ශානර වශයෙන් සිදු කරනු ලබන බෙදීම තුළ එය තවදුරටත් පහසු වී ඇත. කවිය නමැති සාහිත්‍ය ශානරය එයිනුදු එක්තරා සුවිශේෂී ආඛ්‍යාන රටාවක් ලෙස හඳුනා ගත හැකිය. අතීත කවිය සහ වර්තමාන කවිය වෙත අවධානය යොමු කිරීමේදී වර්තමාන කවිය එක්තරා නව ලිබරල්වාදී ව්‍යූහමය ලක්ෂණ පෙරදැරි කොට ගත්තක් ලෙස අවබෝධ කර ගැනීම වඩාත් තර්කානුකුල යයි හැඟේ. විවිධ සමාජ සංසිද්ධින් වෙත මහජන විඥානය විවෘත වී ඇති ආකාරය වර්තමාන තරුණ කවීන් විසින් කරනු ලබන අත්හදා බැලීම් වලින් නිරතුරුව ගම්‍යමාන වේ. එම අවකාශය මෑත කාලිනවම ස්පර්ශ කළ කවියෙක් ලෙස රුවන් බන්දුජීව කවියා හඳුනා ගත හැකිය. ඔහුගේ නවතම කාව්‍ය සංග‍්‍රහය "මීළඟ මීවිත" යනුවෙන් නම් කර ඇත.

භාෂාවේ ආධිපත්‍ය සහිත සංස්කෘතික ආස්ථානය බිඳ හෙළීම ඔස්සේ ඉස්මතු කර ගැනීමට තැත් කරන දෙවන අර්ථ රාසියක එක් තැන් වීමක මං සළකුණු පාඨකයා වෙත මුණගැස්සවීමට බන්දුජීව උත්සාහ ගනු ලබන බවට මනා නිදසුනකි ඇළ යනුවෙන් නම් කර ඇති කාව්‍ය නිර්මාණය .

ඇළ

ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම


සොබාදහම සහ මානව ජීවිතය අතර පවතින සම්බන්ධයේ අමිල බව යළි යළිත් මතක් කිරීම හා සම්බන්ධ රූපකයක් ලෙස ඇළ යන්න කවියා යොදා ගැනීම දීර්ඝ සංවාදයක් සඳහා සහෘදයා කැඳවීම වෙනුවෙන්ම කරන ලද්දකි. දෛනික ජන ජීවිතය පහසු කර දීම වෙනුවෙන් දෛනික අරගලයක යෙදෙන සොබාදහමේ විිවිධ අවස්ථා යනු හුදකලා ප‍්‍රපංචයන් නොවේ. ඊට එහා ගිය මහා යාන්ත‍්‍රණයක් සොබාදහම තුළ සිදු වන බව කවියා පාඨකයාට මනාව ඒත්තු ගන්වයි. මෙම කාව්‍ය නිර්මාණය සඳහා කවියා ඇසුරු කර ගනු ලබන භාෂාව බහු අර්ථ නිෂ්පාදනය කිරීම අතින් වඩාත් පුළුල් අවකාශයක රඳවා තැබීමට කවියා සමත් වේ. සොබාදහම සහ මානවයා අතර පවතින ස්වාභාවික සම්බන්ධය අභියෝගයට ලක් කිරීම වෙනුවෙන් ගොඩනැඟුණු භෞතික වස්තු සහ භාෂාව ඔස්සේ ගොඩනඟා ගෙන ඇති සංස්කෘතික අර්ථ නැවත වරක් සොබාදහමේ විවිධ අවස්ථා නිරූපණය වෙනුවෙන් කවියා යොදා ගැනීම එක්තරා දෛවෝපගත අවස්ථාවක් ලෙස හඳුනා ගත හැකිය.

විශේෂයෙන්ම සොබාදහම සහ මානවයා අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය නැවත ඉස්මතු කිරීම වෙනුවෙන් කළ යුත්තේ මොනවාද යන සාකච්ඡාව පුළුල්ව කළ යුතු තත්වයක් නිර්මාණය වූ සමාජයක ජීවත් වෙන පාඨකයාට සොබාදහම පිළිබඳ නැවත සිතීම සඳහා කවියා එක්තරා නව ආලෝකයක් ද සපයා ඇත.

ඇළ සහ වැව අතර සිදුවන දෛනික සම්බන්ධය කුඹුරේ සරුවට වැඩෙන ගොයම් ගස නොදනී; මන්ද හොඳින් හැඳ පැළඳ කුඹුර මත ඇවිද යන්නේ ඇළ පමණක් වන බැවිනි. නිදි නැතුව මේ මහා නිෂ්පාදන කාර්යය සිදු කරන වැව පිළිබඳ කිසිදු සඳහනක් ඇළ විසින් තවමත් සිදු කර නොමැත. බැලූ බැල්මට නොපෙනුණත් මේ කුඩා කවිය පිටුපස මහා දේශපාලන අර්ථයක් ද ගැබ්ව පවතී. නිෂ්පාදන සහ ශ‍්‍රමය අතර අසාධාරණයට ලක්වන ශ‍්‍රම බළකාය පිළිබඳ සංවාදයේ ස්වභාවය ද ඉස්මතු කිරීමට කවියා නිරන්තරයෙන් උත්සාහ ගෙන ඇත.

රුවන් බන්දුජීව කවියාගේ කවි වල පවතින විශේෂම ලක්ෂණයක් ලෙස නව පරිකල්පන විභවතාවයි. මෙම නව පරිකල්පන විභවතාව බොහෝ අවස්තා වල සොබාදහම සමඟ අත්වැල් බැඳ ගනී. සොබාදහම සමඟ අත්වැල් බැඳ ගැනීම හුදෙක් පරිසර වර්ණනයක් පමණක් නොවේ. දීර්ඝ කාලීන සොබාදහම පිළිබඳ මානව අත්දැකීම් සහ සොබාදහම පිළිබඳ මානව විඥානය අතර පැවති අවකාශිය හිඩැස වෙත නව අර්ථයන් ලබා දීම හා සම්බන්ධ වේ.

එහෙම වෙන්නැති

සහෝදර තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ ඵල
පසෙහි මුසු වී තිිබුණු වස විස
උරා බොන්නැති නියඟලා වැල


නියඟලා පිළිබඳ මහජන තර්කණය වෙත නව අර්ථයක් සැපයීමට ගනු ලැබු උත්සාහයකි යනුවෙන් පමණක් සලකා කවිය බැහැර කිරීම සඳහා කවියා ඉඩ නොදේ. කවියාගේ නව එළඹුමේ හැරවුම් ලක්ෂ්‍යය අප හඳුනා ගත යුත්තේ ද එකී සන්දර්භයේ සිටයි. නව පරිකල්පන විභවතාව පිළිබඳ අදහස ඉස්මතු කිරීම මනාව හඳුනා ගත හැකි අවස්ථාමය ලක්ෂණ මෙම කවිය තුළ අන්තර්ගතය. භාෂාවේ ආධිපත්‍යය විසින් නියඟලා බවට පත්කර ඇති වාග් ව්‍යූහය නිසාම නියඟලා පිළිබඳ අනෙක් ලක්ෂණ අවබෝධ කර ගැනීම පහසු නොවේ. භාෂාව සහ වස්තුන් අතර ගොඩනැගී ඇති සම්බන්ධය අභියෝගයට ලක්කිරීම වෙනුවෙන් නිර්මාණ අවකාශය යොදා ගැනීම ප‍්‍රති චින්තනය අවදි කිරීම සමඟ සම්බන්ධ වේ.

කවියා හා මහජනයා අතර ඇතිවිය යුතු සංවාදය වඩාත් ප‍්‍රගතිශිලී මාවතක් දක්වා ගමන් කිරීම සඳහා පරිකල්පනය යන්න ඉතාම වැදගත්ය. මෙම පරිකල්පනය පිළිබඳ අඩවිය කවියාට පමණක් සීමා වූවක් ලෙස අර්ථකථනය කර ගත යුතු නැත. විශේෂයෙන්ම කවියා මහජන පරිකල්පනය අවුස්සාලීමට උත්සාහ ගැනීම ඉතාම වැදගත්ය. රුවන් බන්දුජීව කවියාගේ නව පරිකල්පන විභවතාව ඔස්සේ මහජනයාගේ පරිකල්පනය අවුස්සාලීම සඳහා සෑහෙන තරම් තල්ලුවක් ලැබේ. දෛනික ජීවිතය තුළ නිතර නිතර මුණගැසෙන ද්‍රව්‍ය සඳහා සපයන ලද එක්තරා ජීව ගුණයක් ඔස්සේ යමක් කියන්නට උත්සාහ කරන ස්වභාවයක් මොහුගේ සෑම නිර්මාණයකම පාහේ එන අනිවාර්ය ලක්ෂණයක් ලෙස හඳුනා ගැනීම යුක්ති යුක්තය.

සැපකි- සතුටකි

තවත් එක් පඹයෙක් හදන්නට
ගිහින් එක්කහු වෙනව වෙනුවට
උපන් කමතට පොහොර වෙන එක
සැපකි - සතුටකි පිදුරු ගසකට


ජීවිතය පහසු කර ගැනීම වෙනුවෙන් අවට ඇති ජීවි අජීවි සියලු දේ තමන්ට අවැසි අයුරින් හීලෑ කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවූ මානවයා සොබාදහමේ සුන්දරත්වය පිළිබඳ අඩවිය ඉස්මතු කිරීම වෙනුවෙන් භාෂාව යොදා ගැනීම අතීතයේ සිට වර්තමානය දක්වාම අඛණ්ඩව සිදු වෙන්නකි. භාෂාව හා සාහිත්‍ය ඔස්සේ ද මානව ජීවිතයේ ආත්මාර්ථය මුදුන්පත් කරගැනීම බොහෝ සෙයින් සිදුවිය. සොබාදහමේ සුන්නදරත්වය පිළිබඳ බිහිවෙන සාහිත්‍යය, මානව ජීවිතයේ මොහොතක අස්වැසීම සඳහා පමණි. එනමුත් සොබාදහම පිළිබඳ යළි සලකා බැලීම වෙනුවෙන් සාහිත්‍ය පෙරබිමට කැඳවීම මිනිසා සහ සොබාදහම අතර තාර්කික ප‍්‍රවේශයක් ද ගොඩනැගීමට ඉවහල් වේ. එවැනි වටපිටාවක රුවන් බන්දුජීව කවියා භාෂාව යොදා ගනිමින් කරනු ලබන සෙල්ලම සෑම දෙයක් පිළිබඳවම නැවත සිතීම අවදි කිරීමකි. උදෑසන අවදි වූ මොහොතේ සිට රෑ නින්දට යන තෙක්ම ආත්මාර්ථය වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් සහිත ලෝකයක මග හැරුණු තැන් බොහෝ බව යළි යළිත් මතක් කිරීමට ගනු ලබන සියුම් උත්සාහය වෙනුවෙන් නිරිමාණශීලි වෙහෙසක් දැරීමට කවියාට සිදුව ඇති බව ද සඳහන් කළ යුතුය. ඒ වෙහෙස නිර්මාණය පොහොසත් කිරීමට නිරන්තර දායකත්වයක් සපයා ඇත.

සම්ප‍්‍රදාය වෙනස් වීමට ඉඩ නොදී එය රැකගැනීම වෙනුවෙන් දතකන මිනිසුන් අතරට සම්ප‍්‍රදාය අතපත ගාමින් නව අර්ථ උකහා ගැනීම වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන්ගේ ආගමනයක් අවැසි වටපිටාවක අපි ජීවත් වෙමු. මන්ද සියලු දේ පරයා සම්ප‍්‍රදාය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම ආකාරයක ක‍්‍රියාවක් සිදු කිරීමට කැමති පිරිසක් සහිත රටක මානව සම්බන්ධතා නිරන්තරයෙන් අභියෝගයට ලක් වීමට ඉඩ ඇති බැවිණි. රුවන් බන්දුජීව සම්ප‍්‍රදායික අවකාශය අතික‍්‍රමණය කරමින් සොයා යන්නට උත්සාහ කරනු ලබන අන්තය බහු අර්ථ සහිත අවකාශයකි.

පොරි අහුරක්

ජීන් බෝතල් තුනෙන්
දෙක හමාරක් ම
හැලූවෙමි
නුවර වැවට
ඉතිරි ටික මට

වැව, නුඹ
වෙරි විය යුතුය
අද

ඉක්බිති
කතා කළ හැක
අපට

මතකද ඇය
මුලින් ම
පොරි අහුරක්
විසිකළ මොහොත
නුඹේ දිය රැළි මතට


සන්දර්භය විසින් අනෙකා තීරණය කරනවාට අකමැති කවියා ආදරය පිළිබඳ මතකය අවදි කිරීම වෙනුවෙන් වැව ස්වකීය ආස්ථානය හා ඒකත්වයට පත්කර ගැනීම වෙනුවෙන් ජින් බෝතල් තුනෙන් දෙක හමාරක්ම නුවර වැවට හලයි. සංස්කෘතික අර්ථ රාශියක් ඉස්මතු කරන නුවර වැවත් ඊට හාත්පසින්ම වෙනස් තැනක පිහිටි ජින් බෝතලුත් එකම සන්දර්භයක ආදරය පිළිබඳ අතීතය මතක් කිරීම වෙනුවෙන් යොදාගැනීම ප‍්‍රති සංස්කෘතික චින්තනය මතු කිරීම වෙනුවෙන් ගන්නා ලද උත්සාහයක් ලෙස හඳුනා ගත හැකිය.

භෞතික ව්‍යූහ සංරචනයට වඩා අභ්‍යන්තර ව්‍යූහ සංරචනයක් සහිත අත්හදා බැලීම් ගණනාවක් සහිත නිර්මාණ එකතුවක් ලෙස "මීළඟ මීවිත" කෘතිය රස විඳිය හැකිය.

දුමින්ද යූ. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails