Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



An Enemy of the People (A Public Enemy) 1882 වසරෙදී නෝර්වේජියානු ජාතික හෙන්රික් ඉබ්සන් විසින් රචනා කරන ලද නාට්‍ය රචනාවකි. "මහජන මතය නම් වූ පොදු මතය මිත්‍යාවකි. මිනිස් සමාජය දූෂ්‍ය වී ඇත. බලයලත් පැලැන්තියේ යහපැවත්ම වෙනුවෙන් එය දූෂ්‍ය කර ඇත. පුද්ගලික වාසි, ලාභ, නිල තල අපේක්ෂාවෙන් ඊට දායක වන්නෝ ද මේ පොදු මහජනයා අතරම සිටී. ඊට එරෙහිව නැගීසිටින්නන්ට සිය පුද්ගලිකත්වය ඇතුළු බොහෝ දේ නැති වන්නේය." යන්න An Enemy of the People නාට්‍ය රචනාව තූළින් ඉබ්සන් මතුකරයි.

නගර මධ්‍යයේ පවත්නා සුන්දර ජලාශය නගරයේ මෙන්ම නගරයට ආගන්තුක ජනතාවට විශාල ලෙස ප්‍රයෝජනවත් වූවකි. මෙහි ඵලප්‍රයෝජන භුක්ති විඳීමට විශාල පිරිසක් ඒ වෙත ඇදී එති. නමුත් මේ සුන්දරත්වයට යටින් ඔවුන් නොදන්නා සත්‍යයක් ඇත. ඒ නගරයේ අපවිත්‍ර කැත කුණු මල පවාහන කාණු පද්ධතිය මේ ජලාශයේ ජල උල්පත් හා සම්බන්ධ කර ඇති බව හා ඒ හේතුවෙන් මේ සුන්දර ජලාශයේ ජලය දූෂ්‍යව ඇති බවය. පර්යේෂණයක් මගින් මේ සැබෑ තත්වය සොයා ගන්නේ මහාචාර්ය ස්ටොක්මාන් විසිනි. ඔහු මේ තත්ත්වය ජනතාව හමුවේ ප්‍රසිද්ධ කිරීමට සූදානම් වේ. ඒ සඳහා ඔහු ප්‍රගතිශීලී පුවත්පතක් තෝරාගනී. මෙය සැලවීමත් සමඟ මේ මහාචාර්යවරයාගේ සහෝදරයා වන නගරාධිපති පීටර් ස්ටොක්මාන් ඊට විරුද්ධ වන්නේ, මෙහි ජලය පවිත්‍ර කිරීම කල් ගත වන සහ විශාල මුදලක් වැයවන අපහසු කාර්යයක් බවත්, ඒ සඳහා ජනතාවට අතිරේක අති විශාල බද්දක් දැරීමට සිදුවන බවත්, ප්‍රචාරය කරමින් පොදු ජනතා මතය අවුස්සමින් සහ අදාල ප්‍රගතිශීලී පුවත් පත ද වරප්‍රසාද සහ බියගැන්වීමෙන් යුතුව තම මතයට නතුකරගනිමිනි. ඉන් අධෛර්යය නොවන මහාචාර්යවරයා සැබෑ තත්වය හෙළිකිරීමට ප්‍රසිද්ධ රැස්වීමක් සංවිධානය කරයි. වරප්‍රසාද පෙන්වා බහුතර ජනතාවක් සමඟ ඊට ද කඩාවදින නගරාධිපතිවරයා එම රැස්වීම තමාගේ සිතැඟි අනුව කළමනාකරණය කරන්නේ පොදුජනතා කෝපය මහාචාර්යවරයා වෙත එල්ල කරවමිනි. සත්‍ය ප්‍රකාශ කිරීමේ සටන ඉදිරියේ ඔහු 'ජනහතුරෙක්' ලෙස බෞතීස්ම කර ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් ද පලිගනියි. අවසානයේ පිටුවහල් කිරීමට ද තැත් කරයි. ඇමරිකාවට පලායාමට සිතන මහාචාර්යවරයා අවසානයේ සත්‍ය වෙනුවෙන් පෙනීසිටිමින් නගරයේම විසීමට අදිටන් කරයි.

මේ An Enemy of the People නාට්‍ය රචනාවේ සංක්ෂිප්තයයි. මෙය භාෂා කිහිපයකට පරිවර්තනය සහ අනුවර්තනය කර ඇති නාට්‍ය පෙළකි. ලංකාවේ ද සුනන්ද මහේන්ද්‍ර විසින් විලියම් ආචර් සහ පීටර් වොට්ස්ගේ ඉංග්‍රීසි පරිවර්තනය අසුරින් ජන හතුරා නමින් පරිවර්තනය කරමින් 1976 වසරේ රංගගත කලේය. ඉන් අනතුරුව කෞෂල්‍යා ප්‍රනාන්දු විසින් 2013 වසරේ මෙහි පරිවර්තනයක් MASSක් නමින් රංගගත කලාය. An Enemy of the People අනුවර්තනයක් ආතර් මිිලර් විසින් 1951 වසරෙදී ඇමරිකාවේදී රංගගත කළ අතර, එහි අනුවර්තනයක් මේ දිනවල Enemy නමින් ලාංකීය වේදිකාවේ රංගගත වේ. වෛද්‍ය සුමනශීල ද සිල්වා විසින් අනුවර්තනය කළ Enemy චන්ද්‍රසෝම බිංදුහේවාගේ නිර්මාණයකිි.

දුටුවන් සිත් පිනවන අලංකාර නගර නිර්මාණය, දිවාකල දකින සුන්දරත්වය දෙගුණයකින් තුන් ගුණයකින් යුතුව රාත්‍රී කාලයේ දක්නට ලැබෙනා දෙඇස් මවිත කරවනා වර්ණවත් විදුලි ආලෝකයන් සහිත උද්‍යානයන්ය, හිමිදිරියේ සහ හිරු බැසයන හෝරාව ආසන්නයේ සිටම රාජ්‍ය ආයතන- පොලිස් ස්ථාන- විශාල ගොඩනැගිලි- නිල්වන් ජලතටාක හරහා රමණීය මංතීරුවල ශරීර සුවතාවයේ යෙදෙන, දුවන, ඇවිදින දහස් ගනන් ජනතාවය, මේ සියල්ල පසුකරමින් දිවෙනා අධිවේගී මාර්ගයන්ය. මේ වනවිට අපි දකිනා කොළඹ නගරය පමණක් නොව ඒ හා සමානව දිස්වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක්ම අති සුන්දරය. සුන්දරත්වය යනු මිනිසාට අනවශ්‍ය දෙයක් නොවේ. මිනිසාට සිය ශාරීරික සුන්දරත්වය සේම සිය පාරිසරික සුන්දරත්වය ද වැදගත් වන්නේ ජීවත්වීම පහසු සහ යහපත් කරගැනීම පිනිසයි. ඒ නිසාම සුන්දරව ජීවත් වීමට මූලිකවම අවශ්‍ය වන්නේ ජීවිතයයි. ඉහත සඳහන් ඇවිදින, දුවන පමණක් නොව රටේ සාමාන්‍යයෙන් ජීවත්වන සියයකට අනූපහකටම නැත්තේ ද ජීවිතයයි. පොදු මහජනතාව උදෙසායයි පාරම්බාමින් පාලකයන් විසින් සංවර්ධනයේ නාමයෙන් කරමින් සිටිනා මේ ඊනියා නගරාලංකරණය තුළ ඇත්තේ සිය වරිගයාගෙත් පංතියේත් පැවැත්ම වෙනුවෙන් කරනා ඇස් බැන්දුම් සහ මැජික් පෙන්වීම් පමණි. ඒ හැර ජීවත්වීම සඳහා අවැසි යහපත් වූ සමාජ ආර්ථීක දේශපාලනික පරිසරයක් සහිත ජීවිතයට අදාල යහපත් වූ කිසිවක් මේ ඊනියා සංවර්ධනය තුළ ඇත්තේම නැත. මහජන මතය අනුව යයි කියමින් ඔවුන් කරනා මේ ප්‍රෝඩාකාරී ක්‍රියාවන්ට විරුද්ධ වීම සහ ඊට එරෙහිව ජනමතයක් ගොඩනැංවීම දේශද්‍රෝහී මෙන්ම ජනතාද්‍රෝහී ක්‍රියාවකි. ඒ වෙනුවෙන් මූළිකත්වය ගන්නා පුද්ගලයා මේ system එක තුළ අදාළ ඕනෑම දඬුවමකට යටත් විය යුතුය.

හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍යයන්හි හරය එක් දේශයකට හෝ භූගෝලීය කලාපයකට පමණක් සීමා නොවේ යනුවෙන් බර්නාඩ් ෂෝ වරෙක ප්‍රකාශ කළහ. ඉබ්සන් යල් පැන ගිය නාට්‍ය කරුවෙක් නොවේ යනුවෙන් ආතර් මිලර් ප්‍රකාශ කළේය. ඒ බව සනාථ කරමින් සුමනශීල ද සිල්වා සිය අනුවර්තනය ලාංකීය භූමියේ මේ මොහොතේ පවතින සමාජ දේශපාලනික පරිසරය සමඟ අපූරුවට ගලප්පවා ඇති අතර, වත්මන් දේශපාලනයේ ඇති ඊනියා පොදුජන මතය ද ප්‍රශ්න කර ඇත. මතුපිටින් අසිරිමත් වූ මේ නගරාලංකරණයට වහන් වී වත්මන් පාලකයෝ සිදුකරනා අවර කෙළි පොදු ජනයාට නොපෙනේ. ගිනි මද්දහනේ සිදුවෙන අතුරුදන් වීම්, ඝාතන, පාතාල දේශපාලනය, සරසවි සිසු පහරකෑම්, රටපුරා රජයන අවනීතිය ඇවිදින මංතීරු, සුන්දර ජල තටාක, වෛවර්ණ විදුලි බුබුළුවලින් මනා ලෙස ආවරණය වී ඇත. මේ මංතීරුවල උජාරුවෙන් ඇවිදින්නෝ බොහෝමයක් බැංකු ණය මත ජීවිතය ගෙවන්නෝය. සිය ආර්ථීක වත්කම් කඩා වැටී ණය මත ණය ගොන්නක පැටලී තත්වය සහ පරපුර රැකගැනීම සඳහා දුවති, ඇවිදති. මරණය ඔවුන්ගේ පසුපස හඹා එන්නාසේ ඉන් ගැලවීමට දුවති.

එක් පැත්තකින් ශරීරයේ අතිරික්ත මේදය ඉවත්කර ගැනීමේ අරමුණෙන් සුන්දර මංතීරුවල දුවන, ඇවිදින මිනිසාය. තව පැත්තකින් සිය දරුවාට පිටි පැකට් එකක් ගැනීමට නොහැකිව දවස පුරා හිඟාකමින් දුවන මිනිහාය. සුන්දර කොළඹක්, ආර්ථීක නගරයක් කිරීම සඳහා සිය වාසස්ථානවලින් බලෙන් ජනතාව ඉවත් කරයි. ඉවත් වීමට විරෝධය දක්වන්නන් අතුරුදන් කරවයි. මිලිටරි බලය යොදා බියගන්වා ඉවත් කරයි. අධිවේගී මාර්ග වෙනුවෙන් පාරම්පරික ඉඩම් නිවාස අත්පත් කරගනියි. ඒ සිත් තැවුලෙන් හෘදයාබාධ වැලදී ක්ෂණිකව මිනිසුන් මැරී වැටෙයි. දරුණු වකුගඩු රෝගය වැළදී දහස් ගනන් මියයන රජරට ජනයා වසාගෙන ඉදිවෙන මංමාවත්ය. ඒ රෝගයම වේගයෙන් පැතිරීයන නමුත් ගුවන් තොටෙන් වරායෙන් මංමාවත්වලින් දෙඇස් වශීකෘත කරගත් හම්බන්තොට ජනයාය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ ඊනියා පොදු ජනතා නාමයෙනි. Enemy තුළ මේ සියල්ල කියවිය හැකිය. නගරය මැද ඇති ජලාශයක් තුළින් ප්‍රේක්ෂකයා මේ සියළු ඉසව් කරා ගෙනයාමට මෙහි අනුවර්තය සමත් වී ඇත. නාට්‍ය පෙළ වේදිකාව වෙත ගෙන ඒමේදී ප්‍රසන්නජිත් අබේසූරිය හා විශේෂයෙන් ජනක කුඹුකගේ සහ නීල් අලස්ගේ කැපීපෙනෙන රංගන දායකත්වය නාට්‍ය පෙළට මෙන්ම ප්‍රේක්ෂකයාගේ් රසවින්දනයටත් මහත් පිටිවහලක් වී ඇත. Enemy තුළ මහාචාර්යවරයා මුහුණ දෙන මේ සියළු පීඩනයන් පරාජයන් සහ පුද්ගලික කඩාවැටීම් අවසානයේ ප්‍රකාශ කරනුයේ, මේ මිනිසුන් හරි අසරණයි. මේ හැම කෙනෙකුටම ජීවිතයක් තියෙනව. හැඟීම් දැනීම් නැති මිනිස්සු වගේ අපිට මේකෙන් පැනල යන්න පුඟවන් කමක් නෑ. මට දැන් දැනෙනව මගේ ඉදිරියේ ලොකු වගකීමක් තියෙනව කියල......

Enemy නාට්‍යයේ මේ අවසානයත් සමඟ ගැටලුවක් මතු වෙන අතර, එය කිසිසේත්ම Enemy නාට්‍යයට පමණක් අදාල වූ ගැටලුවක් නොවේ. මෙය පොදු සංවාදයට තුඩදිය හැකි ගැටලුවකි. ලාංකීය නාට්‍ය ඉතිිහාසය තුළ (1973) දුන්නදුනුගමුවේ (මතකයට අනුව) සිට මකරාක්ෂයා, අත්, මෝරා, හෙණ, මාඝාත, (විශාල ප්‍රමාණයක් ඇත) ඇතුළු Enemy දක්වා වූ බොහෝ දේශපාලනමය නාට්‍ය නිර්මාණයන් හි අවසානය වූයේ මෙවන් වූ අවසානයන්ය. මේ ක්‍රමය, මේ යන ගමන, දූෂිත පාලකයන් වෙනස් කළ යුතුය, පෙරළා දැමිය යුතුය, වඩා හොඳ, යහපත් වූ සමාජයක්, යහපාලනයක් කරා සමාජය ගෙනයා යුතුය යනාදී උදම් වාක්‍යයන්ගෙනි. මින් එඩි වඩවාගත් ප්‍රේක්ෂකයා ද රඟහලෙන් එළියට ආවේ අද රෑ නැත්නම් හෙට උදෑසන විප්ලවය කිරීමේ මොරාල් එකෙනි. නාට්‍ය නිර්මාණකරුවා සහ සෙසු ශිල්පීන්ද ඔවුනට ලැබෙන උණුසුම් ප්‍රතිචාර මත සිතන්නට වූවේ තමන්ද සමාජ විප්ලවයට දායක වූවායි යන්නය. ගැටලුව නම් විප්ලවය කෙසේ වෙතත් එදා මෙදා තුළ එක ඔලුවක්වත් මේ නිර්මාණ තුළින් සත්‍ය ලෙසම වෙනස් වූවාද වෙනස් වූවානම් ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වෙනස්වීමක් ද යන්නයි. වරද ඇත්තේ කොතැනද? මෙයට නාට්‍ය කරුවාත්, ප්‍රේක්ෂකයාත් සියයට සියයක් වගකිවයුත්තන් නොවේ. මෙහි වගකීම රටේ විකල්ප වාමාංශික බලවේගයන් වෙතද හිමිවේ. නාට්‍ය ශිල්පියා, නිර්මාණකරුවා සහ ප්‍රේක්ෂකයා අතර විශාල හිඩසක් ඇත. මේ හිඩැස පිරවිය හැක්කේ කෙසේද? මෙතෙක් නිර්මාණයන් ඉදිරිපත් කළ හතරැස් රාමුවෙන් එළියට පැන ප්‍රේක්ෂකයන් සමඟ සංවාදයෙන් යුතු forum ආකෘතියක් කරා පියනගනවාද යන්න සාකච්චාකළ යුත්තකි. එසේත් නැත්නම් තවත් වසර ගණනාවක් මේ යන විදිහටම අපි අපිම චූන් එකක් ගන්නවාද?

(-ජනරළ)

අජන්ත අලහකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails