Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නයනහාරි අබේනායකගේ ඒක පුද්ගල ඡායාරූප ප‍්‍රදර්ශනය ජුනි මස 20 වන දා සිට ජුනි මස 22 වන දා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව.8.30 දක්වා ලයනල් වෙන්ඩ්ට් හි දී පැවැත්වෙයි. එහි ආරම්භක උත්සවය ජුනි මස 19 දා ප.ව. 6.00 ට ප‍්‍රසන්න විතානගේ විසින් විවෘත කරනු ලබයි.



යුද්ධයෙන් අඳුරු කල කටු කම්බි වලින් වට කල ජිවිත වල යථාර්ථවාදී රූපමය කියවීම

2009 අවුරුද්දෙන් පස්සේ ලබා ගත්තයි කියන නිදහසත් එක්ක දකුණේ මිනිස්සු හරියට යාපනේට විනෝද චාරිකා යන්න පටන් ගත්ත. දෙමළ මිනිහගේ සංස්කෘතිය, ඉතිහාසය එහෙම් පිටින්ම විනාශ කරල කොන්ක්‍රීට් පාරවල්වලින් උස් ගොඩනැගිලිවලින් ඒ වැරැද්ද වහ ගන්න මේ පාලකයෝ උත්සාහ කරනවා. දකුණේ මිනිසුන්ට අනුව දැන් කිසි ප්‍රශ්නයක් නැතිව යාපනේ මිනිස්සු හරි විනෝදෙන් ඉන්නවා. ඒ සිතුවිල්ලත් එක්ක යාපනේ යන දකුණේ හැම මිනිහම තමන්ගෙ හිතේ උත්තරයක් තියගෙන යාපනේදි තමන්ට හම්බ වෙන ටිකක් හරි සිංහල පුලුවන් මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් අහනව 'දැන් කොහොමද යුද්දෙ නැහැනේ ඔයලා සංන්තෝසෙන් ඉන්නවා නේද?' කියල. ඇත්තටම දෙමළ මිනිසුන්ට හිතට එකඟව දෙන්න උත්තරයක් තියනවද?

යුද්ධයේ අශ්වාදයෙන් යාපනේට විනෝදය හොයාගෙන යන දකුණේ මිනිසුන්ට අමතක වු යාපනේ මිනිසුන්ගේ දුක, වේදනාව, බලාපොරොත්තු විරහිත ජිවිතය පිලිබඳව ඇය තම මාධ්‍ය ඔස්සේ දකුණේ සිංහලයට සහ ඇයගේම වයසේ නයිට් රේස් යන නයිට් ක්ලබ් යන තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරනවා.

ඇය නමින් නයනහාරි අබේනායක. ලාල් හෑගොඩ සේයා ශිල්ප නිකේතනයෙන් ජායාරූප ශිල්පය පිලිබඳව හැදෑරූ ඇය, තම මාධ්‍යය ඔස්සේ මිනිසුන්ගේ ජනජීවිතය සොයා යනවා. එසේ සොයා යන ගමනේ දී ඇයට හමුවන පශ්චාත් යුධ සමයේ අතරමං වී ඇති යාපනේ ජිවිත පිලිබඳව සිය පළමු ජායාරූප ප්‍රදර්ශනයෙන් දකුණේ සමාජයට ඇය මෙසේ ඉදිරිපත් කරනවා.

"යාපනය කියන්නේ බොහෝ කාලයක් සන්නද්ධ කණ්ඩායම් වලින් පීඩාවට පත්වුන ජනතාවක් සිටින ප්‍රදේශයක්, ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිත බලා ගන්න මට ලොකු අවශ්‍යතාවක් තිබුනා. කටින් කියන්නවත් ලේඛනයටත් මගේ දක්ෂකමක් නැහැ ඒ නිසා මට දැනුමක් තියන ඡායාරූප කලාව හරහා යාපනේ ජන ජීවිතය සොයා බැලීමයි මට උවමනා වුනේ. යාපනේට ගියාම දැනුන සිතුන දේවල් ලියන්නවත් කියන්නවත් මට හැකියාවක් නැහැ. හැබැයි මෙහෙම හිතෙනවා. දෙමළ වෙලා ඉපදුනානම් එහෙමත් නැත්නම් ඔවුන් සමඟ අවුරුදු ගානක් හිටියනම් මේ ගත්ත පින්තුර තවත් දියුණු වෙන්න තිබුනා.

යාපනේදි අහන්න දකින්න ලැබුණ කතා වලින් එකක් දෙකක් කියන්නම්. යාපනේ දරුවො බොහොමයක් පාසල් යන්නේ පයින්. නැත්නම් බයිසිකලෙන්. ගැහැණු ළමයිනුත් එහෙමයි. බයිසිකල් හත් අට සීයක් පාසල් ඉස්සරහ නවත්තලා තියෙනවා. ඒ ළමයි ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙනවද කියල හිතෙනවා. මෙහෙ වගේ පහසුකම් නැතැත් එහෙත් ටියුෂන් පන්ති තියෙනවා. පන්ති වල වහල පොල් අතු. හැබැයි හොඳට උගන්වනවා. ලියවන පට්ටලේක මහත්මයෙක් හම්බ වුනා. ඔහු එක්ක කථා කලාම දැනුන ඔහු මහා උගත් ගුරුවරයෙක් කියලා. හවහසට පට්ටලේ වැඩ.



අපි එක ගෙදරකට ගියා ඒ අම්ම ඉඩම සුද්ද කරල වැස්ස වැටෙනකම් බලන් ඉන්නවා වගා කරන්න. අපි ඉද්දි ඒ අම්මට කෝල් එකක් ආවා පැය භාගයක් විතර කථා කලා. අපි ඇහුව මොනවද කථා කලේ කියල. ඒ අම්මට දරුවො පස් දෙනෙක් ඉන්නව යුරෝපා රටවල. ඔවුන් දොස්තරවරු, ඉංජිනේරුවරු වගේ දකුණේ අය ඉහළින් සලකන රැකියාවල් කරන්නෙ කියල ඒ වෙලාවේ දැන ගත්තෙ.

තවත් ගෙදරකදි මගේම වයසේ කාන්තාවක් හමුවුනා. ඇයගේ එක අතක් නැහැ ස්වාමි පුරුෂයත් නැහැ. ඇය තමන්ගේ ළමයින්ට ඉන්න ගෙයක් හදනවා.

අපේ තාත්තා මට කතාවක් කියල තිබුණා යුද්ධය දරුණුවටම තිබුණ කාලේ වැරදීමකින් යාළුවෝ දෙන්නෙක් එක්ක තාත්තට කාත්තන්කුඩි යන්න වුනාලු. එහෙ ගෙවල් වල තාප්ප වල වැටවල් වල හැම එකේම කුඩා සිදුරු තිබුනලු. ඒ ගැන තාත්තල අහපුවම දවල්ට එක සන්නද්ධ කණ්ඩායමක් රෑට තවත් සන්නද්ධ කණ්ඩායමක් ඔවුන්ව බලා ගන්නවලු. ඒ කාලේ එකිනෙකට පස මිතුරු ඒ සන්නද්ධ කණ්ඩායම් දිහා බලන්න ඒ සිදුරු හදා ගෙන තිබුනලු. අපි මෑතදී එහි ගියාම සිදුරුත් නැහැ- මිනිස්සුත් නැහැ සමහර ගෙවල් වල.

වයසක කාන්තාවක් හමුවුණා රුවන්වැල්ලෙ වත්තක හිටපු කාන්තාවක්. 77 දී ගහල යාපනේට ගිහින් දාපු පිරිසෙන් එක්කෙනෙක්. ඒත් යුද්ධ කාලේ ඉන්න බැරුව ඉන්දීයාවට ගිහින් ආපු කෙනෙක් ඇය කිව්වෙ උතුරත් දකුණත් අපිට එක වගේ කියලයි.

ඔවුන්ගේ ඡායාරූප දකුණේ පෙන්වන්නයි මට ඕන වුනේ. මොකද යාපනේ ඉන්නෙත් අපේම සහෝදර ජනතාවක්. ඔවුන්ගේ ජීවිතේ අපිට දැනෙන හා නොදැනෙන දේ සහ ගන්න පුලුවන් දේ බොහෝමයි. ඉතින් යාපනෙන් ගන්න තියන දේ සහ දැන් ඒ මිනිස්සුනගේ ජීවිතේ අපේ පරම්පරාවට පෙන්වන එක අපේ වගකීම. ඒ වගකීම ඉෂ්ඨ වෙලා ද නැද්ද බලන්න ජුනි 20,21,22- ලයනල් වෙන්ඩ් කලාගාරයට හැමෝටම ආරාධනා කරනවා. අපේ අඩුපාඩු කියන්න උදේ 08.30 සිට රාත්‍රී 08.30 දක්වා දවස් තුනේම විවෘතයි.''





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails